Thursday, 11 September 2014

පොලිස්පති තුමනි, අරලියගහ මන්දිරේ ඉස්සරහින් පයින් යන්න දෙන්නෙ නැත්තේ ඇයි?



කිසිම පෙර දැනුම් දීමකින් තොරව අරලිය ගහ මන්දිරය දෙපස ගාලු පරේ පිහිටුවා ඇති පොලිස් මුර කපොළු වල සිටින පොලිස් මහත්වරුන් ඒ දිගට පදික වේදිකාව දිගේ ගමන් කිරීමට එන සාමාන්‍ය ජනතාව (අසාමාන්‍ය ජනතාවක් කියා කෙනෙක් නැති වුවද ලංකාවේ විශේෂ වරප්‍රසාද ලත් පුද්ගලයින් සිටින නිසා එසේ නොවන කොටස සාමාන්‍ය ජනතාව ලෙස මෙහිදී හඳුන්වමි.) ආපසු හරවා පාරේ අනිත් පසින් යවන අතර පාර මාරු වීම සඳහා ඔවුන් නැවත මීටර් 100කට අධික දුරක් ආපසු ගොස් පාර මාරු වී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අරලියගහ මන්දිරය පසුකොට කහ ඉරක් හමුවනතුරු ගමන් කොට නැවත පාර මාරුවී තමන්ගේ කටයුත්ත සඳහා යා යුතුය. පයින් ගමන් කරන්නේ සැප ඇත්තන් නොවේ. සමහර විට ගිනි ගහන අව්වේ හදිසි බැංකු කටයුත්තකට හෝ පෞද්ගලික කටයුත්තකට දුවන කාර්යාල සේවකයෙකුට (බොහෝ විට බඩගින්නේ, පිපාසයෙන් ඉන්න ) මෙවැනි අසාධාරණයක් සිදුවුවහොත් එය  හමර් වලින් ගොස් සීත මාළිගා වලට වී පොදු ජනයාගේ යහපත වෙනුවෙන් මොර ගහන රාජ රාජ මහාමාත්‍යාදීන්ට හෙන හත වදින අපරාධයක් නොවේද?

පයින් ගමන් යන හම්පඩ මහජනයාගේ කිළුටු දාඩිය ගඳ සීත කාමර විනිවිද ගොස් බිසෝ කුමාරවරුන්ගේ මෙලොව සුඛවිහරණයට (පරලොව ගැන නම් කතා වැඩක් නැත ) බාදා කරාවී යැයි සිතෙනවානම්, කරුණාකර කහ ඉරක් ඇති තැනකදී මේ පිළිබඳව දැනුවත් කොට ඔවුන් හරවා යැවීමට හෝ පොලිස් මුර කපොළු අසලින් කහ ඉරක් ඉදි කිරීමට කටයුතු නොකරන්නේ ඒ සඳහා චීනෙන් ඉල්ලූ ආධාර තවම අනුමත නොවී වත්ද? නැත්නම් කවදාවත් පයින් නොගිය මහ උත්තමයන්ට ඇති පාක්ෂිකභාවය නිසා කවුරුවත් මෙතෙක් මේ පිළිබඳව පැමිණිලි කොට හෝ දැනුවත් කොට නැතුවාවත්ද? පොලිස්පති තුමනි, මේ ඔබේ (පමණක් නොව රටේ ජනතාවගේද ) අවධානය පිණිසයි.

No comments:

Post a Comment