Friday 26 June 2015

My Grandma අපේ ආච්චී 2- පතෝල හා මල්වඩම්

මේ උත්සාහ කරන්නේ මීට මාස තුනකුත් දින හතරකට පෙර දුන් එක්තරා පොරොන්දුවක් ඉටු කරන්නයි. ඒ පොරොන්දුව වූයේ අපේ ආච්චී ගැන ලියූ විස්තරයේ 'පතෝල හා මල්වඩම්' ගැන කතාන්දරද රැගෙන හැකි ඉක්මණින් එන බවයි. ඊට පෙර හා පසුවද නොයෙක් පොරොන්දු ලබා දුන් නමුත් අද හිටි හැටියේ මෙය ඉටු කිරීමට සිත්විය. 

****************************************

සැමියා විසින් අනුචිතව සළකන ලදුව දීගය අත් හැරී කුළුඳුල් දියණියද සමඟ කාටවත් බරක් නොවී තම අභිමානයද රැකගෙන ඊට වින කරන්නට ආ වුන්ට එරෙහිව නැගී සිටි, ඍජු තරමක් දරදඬු ගති පැවතුම් හා උණුවෙන හිතක් හිමි කටකාර එළිසහාමිනේ ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ මෙම 'විදිය' විවාහයෙන් හා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා හුරු වූවකට වඩා ජන්මයෙන්ම ලද්දක් යැයි සිතීමට කාරණා මෙම පතෝල හා මල්වඩම් ගැන සිද්දි දෙක නිසා ජනිත වේ. මන්ද අදාල සිද්ධි දෙකම අයත්වන්නේ ඇයගේ විවාහයට පෙර හිරිමල් යොවුන් වියට වීම නිසයි.

එළිසහාමිනේගේ දෛනික ජීවිතයේ එක් නොවරදින අංගයක් වූයේ දිය නෑමයි. මොන අසනීපයකින් සිටියද මිය යාමට දින එකොලහකට පෙරාතුව අවසන් වරට හොඳ සිහියෙන් සිටිනතාක් කල් ඇය එම පුරුද්දෙන් මිදී එක් දිනක්වත් සිටියායැයි මා අසා නැත. මේ නිසාම දෝ අපේ තාත්තාගේ පඩිපතින් කටවල් අටක් නඩත්තු කරමින් අසීරුවෙන් සිටියදී පවා මාසිකව 'ලයිට්බෝයි, සන්ලයිට් හා රොබින් නිල් පැකට්ටෙකක්' සහිත දැකුම් මල්ලක් ගෙනා පඩි දවසට ආච්චීට 'කතා කිරීමට' යාමට අම්මා පුරුදු වී සිටියාය.

තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය. 
Photo courtesy: www.google.com

මේ ගංදෑලේ සුන්දර හිඟුරුගමුව හා කණුපැලැල්ල ගම්දෙක අතර සීතල යුද්දයට මුල්වන්නේ කුඩාඔයටත් වඩා කුඩාඔය නිම්නයේ හිඟුරුගමුව මායිමට පිහිටා තිබූ 'ගඟේ පිට්ටනිය'යි. ඊට අමතරව හෙල්මැළි ක්‍රමයට වගාකල කුඹුරුයාය මත්තෙහි 'ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.

පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.

රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..

වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.

මෑතක දිනෙක ඇතිවූ හදිසි සිතුවිල්ලකින් බිරිඳ හා දරු දෙදෙනාවත් කැටිව දිය නෑම සඳහා මා ගඟේ පිට්ටනියට ගියෙමි. වෙල ඉහලින් වූ බෝධිය හා එය දරා සිටි ගරා වැටුණු ප්‍රාකාරය පසුකරනවිට එකල හමුවූ දැවැන්ත දිය කඳුර හා ඉන් එතෙර වීමට තුබූ කළු යකඩ පාළම අද එහි නැත. මේ යකඩ පාලමටම ඇමිණූ අඩි හතරක් පමණ පළල වූත් අඩි තුනක් පමණ ගැඹුරින් යුතුවූත් යකඩ කාණුවක ආධාරයෙන් එදවස ගඟ ඉහත්තාවෙන් හරවා කුඹුරු යායට උඩින් ගලාගිය ඇල කඳුර හරහා මෙගොඩ විය. අද ඒ දැවැන්ත කඳුරත් පාලමත් යකඩ කාණුවත් වෙනුවට එහි ඇත්තේ සිමෙන්ති කාණුවක් හා ඊට යටින් ගිය බෝක්කු කටකි. 

මේ කඳුර දකිනවිට යම්කිසි පිළිකුලක් හා බියක්ද මුසුවූ නහය අකුලවන සුළු ජුගුප්සාජනක හැඟීමක් පෙර මගේ සිතේ ඇතිවිය. බියට හේතුවූයේ දැවැන්ත බෝ ගස හා අනෙක් විශාල ගස් යට සරුවට වැඩී තිබූ විසල් අලකොල ගාල නිසා කිසිදිනෙක මම මේ අඳුරු අගල නිසිලෙස දැක තිබුණේ නැති වීමයි. පිළිකුලට හේතුවූයේ වැසිකිළි යාම සඳහා වල කක්කුස්සි හෝ පෝච්චි, කොමෝඩ් සහිත වෙනම 'කාමර' නොතිබූ අපේ අම්මලාගේ තරුණ කාලයේ හැම දෙනාම ඒ සඳහා ගියේ මේ කඳුරට යැයි අසා තිබුණු හෙයිනි. 

බෝක්කුවෙන් එගොඩ වූ විට හමුවන්නේ පන්සල් වත්තයි. පන්සල් වත්ත මායිමෙන් හා කඳුර අයිනෙන් ගඟේ පිට්ටනිය දක්වා බැසීම සඳහා එකල ගල් පඩි අල්ලා තැනූ කුඩා අඩිපාරක් විය. පන්සලට පහලින් ගඟේ පිට්ටනියට යාව දැවැන්ත ඕවිටේ පිහිටි ඔයේගෙදර වත්ත හා රත්තාගේ වත්ත ලෙස හැඳින්වුණු හුදෙකලා නිවෙස් දෙකක් හා සරුසාර ගොඩ එළවලු කොරටු දෙකක් විය. මෙකියන කාලයෙහි මේ එක කොරටුවක අයිතිකාරයා වූයේ ගොළු පුංචිබණ්ඩේ ලෙස අන්වර්ථයෙන් හැඳින්වූ දක්ෂ ගොවියෙකි. සැබවින්ම ගොළුවූයේ ඔහු නොව ඔහුගේ පියා හෝ මුත්තා බව කියවේ. ගොවිතැනට දක්ෂ වූ තරමටම හේ අධික තණ්හාකාරයෙක් ලෙසද කුප්‍රකටව සිටියේය. 

Photo courtesy: www.google.com

වරක් අසනීපයෙන් පෙළෙමින් සිටි ගමේ අයෙකුට උයාදීමට පතෝල කරලක් අවැසි විය. ඒ වනවිට මුළු ගමෙන්ම පතෝල කොටුවක් සරුවට වැවී තිබුණේ පුංචිබණ්ඩේගේ කොරටුවේ පමණක් වූ අතර ඔහුගේ මසුරු බව දන්න කිසිවෙකුත් ඔහුගෙන් පතෝලයක් ඉල්ලීමට යාමට මැළිවිය. මෙවර ඉදිරියට ආවේ අපේ කතා නායිකා තරුණ එලීසාහාමිනේයි. සැමදා නෑමට යනවිට දැක පුරුදු දොඩා ඇති පුංචිබණ්ඩේගෙන් මේ වෙලාවේ හැටියට ඉල්ලුවොත් පතෝල කරලක් ඉල්ලා ගැනීම අපහසු නොවේයැයි ඇය සිතන්නට ඇත. අදහස ක්‍රියාවට නැංවූ ඇය එදින නා ආපසු එන අතර කොරටුවට හිස පොවා කාරණාව කියා මසුරු ගොවියාගෙන් පතෝල කරලක් ඉල්ලා ඇත. ඈ ලදුයේ කිසිසේත් බලාපොරොත්තු වූ පිළිතුරක්නම් නෙවෙයි. ඇස්පනාපිට දිලිසී දිලිසී එල්ලෙන හොඳින් ඇදුණු පතෝල කරල් දෙසත් එලිසාහාමිනේ දෙසත් මාරුවෙන් මාරුවට නුරුස්නා බැලුම් හෙලූ ගොවියා එක් වරම 'උඹට පිස්සුද එළීස නෝනේ.. මේ මලෙන් ඇදුන විතරයි කරල් මේව හොද්දකට ගන්න තව මාස තුනකින් මෙහා බෑ.. වෙන කොහෙන් හරි බලපන්' කියා ඉවත ගියේලු. .

ඇලේ ගෙදර රන්මැණිකලාගේ පිටුපස දොරට රෑ මැද්දෑවේ තඩිබාන තරුණ ගැහැණු කටහඬකි.

'රන්මැණිකක්කේ.. දොර ඇරපං. මං එළීසහමිනේ.'

'උඹ ඔය ලාම්පුව පැත්තකින් තියල ගිහින් බුදිය ගනින්.. මං මේ වැඩේ ඉවරයක් කරල යන්නම්.. කාටවත් කටේ කෙළ එහෙම හලනව නොවෙයි ඕං මේ ගැන' තමාටත් අණ දෙමින් ලහි ලහියේ දුම මත තිබූ සියළු දර බිමට බා ඒ මත සීරුවෙන් තැබූ දැවැන්ත පතෝල මිටිය මත නැවතත් දර අසුරමින් වසන් කරන තම විසේකාර තරුණ යෙහෙලිය දෙස රන්මැණිකා අයාගත් මුවින් හා විස්මිත දෑසින් ඒ මැදියම් රැයේ බලා උන්නාය.

පසුදා සුපුරුදු වේලාවට දියට යන එළිසාහාමිනේ එනු දුටු ගොළු පුංචිබණ්ඩේ මුසපත් දෙනෙතින් යුතුව ඇය ඇමතුවාය. 'බලපන් එළීසෝ.. ඊයේ උඹටවත් කරලක් දෙන්නේ නැතුව මං පරිස්සං කරපු අච්චර යස පතෝල කරල් ටික.. මොකෙක්ද කඩප්පුලියෙක් වත්තට පැනල එක කරලක් නෑර ඊයෙ රෑ කපාගෙන ගිහිල්ලනේ බං..'

"ඈ බං.. උඹ කියුව නේද ඔව්ව මලෙන් එළියට ආපු හැටියේ ලපටි කරල් කියල.. ඉතින් මොකාටවත් මොකක්ද උඹේ ලපටි කරල කපන් යන්න තියෙන උවමනාව.. හොඳට බලපන්.. වැල පාමුල බිම වැටිල ඇති පරවෙලා.. මං යනව බං නා ගන්ඩ" 

****************************************
එළීසාහාමිනේගේ ප්‍රාණසම මිතුරියක වූ ඇගිස්නෝනා දීග ගියේ පිටගම්කාරයෙකු සමග වුවත් උන් දෙපල ටික දිනකින් නැවත් හිඟුරුගමුවට පැමිණ ගම්සභා ඉඩමක කොනක පැලක් අටවා ගත්තේලු. මේ ඉඩමට කාලාන්තරයක් බැල්ම හෙලමින් සිටි ගමේ ආරච්චිල මේ සිදුවීමෙන් කුපිත වී 'අකුරටම රාජකාරිය කිරීමට' කියා ඉඩං මහත්තුරුන්ට පෙත්සම් ගසා මොන මොනවාදෝ ලියකියවිලි වගයක් පෙන්නා ඔවුන් එතනින් පන්නා දමා ඔහුගේ 'අනුකම්පාවෙන්' උන්ට පාළු සොහොන් පිටියට යාබද අඳුරු මුල්ලක ඉඩං කෑල්ලක් වෙන්කොට දුන්නේලු. ආරච්චිලගේ දැනුමට, රාජකාරියට හෝ බල පරක්‍රමයට අභියෝග කල නොහී ඔවුහු පරාජය බාරගෙන පසෙකට උවත් එළිසහාමිනේට අනුව නම් එය ආරච්චිලයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුවූ නොහොබිනා කමක්ම විය.
Photo courtesy: www.google.com

දින කීපයකට පසු ආරංචිවූයේ දැඩිලෙස බියට හා කම්පනයට පත්විමෙන් උණෙන් හා මරු විකල්ලෙන් කියවන 'ආරච්චිලයාට' සෙත් ශාන්තියක් කිරීමට අහල ගම් සියල්ලේම කට්ටඩියන් ආරච්චි නිවසට රැස්ව ඇති බවකි. සුපුරුදු පරිදි එදින උදයේ නිවසෙහි දොර ඇර එලියට බට ආරච්චිලගේ ඇඟ මතට කඩා වැටුනේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැවැන්ත මල් වඩමක් හා මළමිනී දවටන සුදු සළු පොදියකි. ඊට අමතරව මිදුල හා පිල්කඩ පුරාමත් මිනී ඇට කැබලි හා මරණ සැරසිලි විසිරී එය තනිකරම අමු සොහොනක සිරි ගත් බව කියවේ. මේ අසුභ දර්ශණයෙන් හා හදිසියේ මතු වූ අමනුස්ස බියකින් මුළු ගමම ඇළලී යද්දී සුපුරුදු අවඥාසහගත මද සිනහවෙන් යුතුව එළිසාහාමිනේ තොවිල්පොලේදී මෙසේ පැවසූ බව කියවේ.

"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"

**************************************
ඊයේ ජූනි 25 අපේ අම්මගේ උපන් දිනය.. ගෙදර යන්න නැති උනත් ගිය වෙලාවක පෙන්නන්න කියල හිතාගෙන ඇයට උපන්දින තෑග්ගක් ලෙසයි මෙය හදිසියේ ලියා පල කලේ. නමුත් නැවත කියවනවිට හා කොමෙන්ට් කියවනවිට හැඟී ගියේ කිසිම අවස්ථා සම්භන්දයක් නැති 'වල් පල් තැලීමක්' මිස කියවිය යුත්තක් ලියවී නොමැති බවත් එයින් කතා රසයට දැඩි සේ හානියක් වී ඇති බවත්ය. රෑ නොසෑහීමෙන්ම නින්දට ගිය නමුත් උදේ පාන්දර හදිසියේ අවදිවී වහාම නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි. සිදුවූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව! 

Tuesday 23 June 2015

නමුණුකුලින් සමනලියක්.. No longer foster, no longer friend!

කොළොම්තොට නැත මහලු වී.. අවන්හල් නැත පැරණි වී.. ඒ වුනාට හිස්ටින් එකක් වාගේ මේ දවස් වල අපේ ජීවිතේ මල්ලී... කාට කියන්නද? මං දැක්ක ත්‍රී වීල් එහෙක ඕකම ගහල තියෙනව ලස්සනට වෙන විදියකට.... 'සල්ලිත් නෑ සනීපත් නෑ'.. ඒ මදිවනම් බැරියැ.. වෙනදට වැඩ තියෙනකොට තිබුනු විවේකයත් නෑ.. 

මොනව කියුවත් ඉතින් බ්ලොග් කියවන්නේ නැතුව ඉන්න බෑනේ.. රවී අයියගේ නිදහස් සිතුවිලි කොමෙන්ට් අස්සේ අළුත් කෑල්ලක් බැහැල ඉන්නවට ඔළුව දාල බැලුව.. අම්මට සිලි.. ගමේ කෙල්ලක්නේ. ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙනව බදුල්ලේ එකෙක් කියන්නේ ඉතින් සුපිරිම තමයි කියල.. හැක්. අනිවා මේත් සුපිරිම එකියක්. ඔන්න බොරුනම් ගිහිල්ලම බලපල්ල.. 





Wednesday 17 June 2015

නෙළුම් යාය බ්ලොග් සංසදයේ මණ්ඩලේ කචල්.. ලේකම් ගේ රාජකාරී නිසි බලධාරියෙකු අතට..


අර කොළඹ ගමය ලියන නෙළුං අජිත් ඉන්නේ.. අන්න මෑන් හදන්නේ මාව කපාගෙන ගිහින් නෙළුම් යායේ ඔක්කොම වැඩ මිනිහ අතට ගන්න.. හුහ් ඒවා කොහෙද මං ඉන්නකම්.. මේක අතාරින්නෑ ලේසියෙන්..

මෙතනින් බලාපල්ලකෝ මිනිහ ලියල තියෙන ඒවා. මතක ඇතුව එතන මං දාල තියෙන කොමෙන්ටෙකත් කියෝල ඒ කියල තියෙන ඒවටත් උත්තරයක් දීල එන්න පුළුවන්නම් හොඳයි.

හොඳයි යාලුවා අපි එහෙනම් තලවකැලේදී හම්බෙමු!

Sunday 7 June 2015

Start to save a life- STaRT to recognize a STROKE

පසුගිය අප්‍රේල් මස අවුරුදු නිවාඩුවට බදුල්ලේ සිට ගාල්ල බලා එමින් සිටියදී පිට පිට ලැබුනු දුරකතන ඇමතුම් වලින් දැනගන්නට ලැබුනේ එතරම් සුභ දායක ආරංචි නොවේ. ගාල්ලේ සිටින මගේ බිරිඳගේ පියා හදිසි අසනීප තත්වයකින් (ක්ලාන්තය, වමනය හා සෙම පිටවීම වැනි රෝග ලක්ෂණ සහිතව) ලඟම පිහිටි රජයේ රෝහල වෙත රැගෙන ගිය බවත්, එතනින් ගිලන් රථයකින් වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බවත් රැගෙන යන විට ශරීරයේ එක් පසක් පණ නැති සෙයක් දක්නට ලැබුණු බවත් ඒ ආරංචි අතර විය. 

හැඬූ කඳුලෙන් යුතුව තොරතෝංචියක් නැතුව රට වටේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මිතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සිට රෝහල් කම්කරු ශ්‍රේණිය දක්වා වූ සියලු දන්න අඳුනන උන් වෙත කතාකරමින් විස්තර අහන බිරීඳ හා දරු දෙදෙනාවද පරිස්සමින් රැගෙන වහා වහා කරාපිටිය රෝහල වෙත කෙලින්ම රිය පැදවූ මට අවසානයේ සැනසුම් සුසුමක් හෙලිය හැකිවූයේ...

"වෙලාවට ඔයගොල්ලන් බල බල ඉන්නෙ නැතුව ඉක්මණට ඉස්පිරිතාලෙකට එක්ක ගියේ.. ගණන් ගන්නේ නැතුව අත් බේත් කර කර එහෙම ඉඳල තව පැයක් හමාරක් පරක්කු උනානම් හැමෝටම කණගාටු වෙන්න වෙනවා.. දැන් බය වෙන්න දෙයක් නෑ. බ්ලඩ් ක්ලොට් එකක් හිරවෙලා ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා. දැන් හරි බෙහෙත් දුන්න.. වෙන කම්ප්ලිකේෂන්ස් මොකුත් නැත්නම් බලල දවස් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන්" යන දේව (වෛද්‍ය) වචනය කණ වැකුණායින් පසුවයි. 


වෘත්තීය ජීවිතයේදීද නොයෙක් වර මේ 'ස්ට්‍රෝක්' නැත්නම් ආඝාතය ගැන අසා ඉගෙන කරගෙන සිටියත් එහි නියම බැරෑරුම්කම මට හරියටම දැනුනේ එදායි. එහෙත්..

මා දැනට රැකියාව කරන ස්ථානයේ ඉදිකිරීම් කළමණාකරු මා මිත්‍ර තරුණ ඉන්ජිනේරු මහතාට මගේ මාමණ්ඩියට තරම්ම ආඝාතයෙන් 'එතෙර වීමට' පහසු වුනේ නෑ. දැනට මාසයකට ආසන්න කාලයකට පෙර හදිසියේ ඇතිවුණු රෝග තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක සතියකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර කොට අද වන විටත් සාමාන්‍යය තත්වයෙන් රාජකාරී කර ගැනීමට නොහැකිව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් ඔහු පසුවෙනවා. මාස දෙකක් ඇතුලත ඒ මා අත්දුටු දෙවෙනි 'ආඝාත' තත්ත්වයයි.

ඊයේ මූණුපොතේ සරමින් සිටියදී අහම්බෙන් දක්නට ලැබුණු ලිපියක් නිසා මේ සටහන තැබීමට මට සිත්වූවා. මා වෛද්‍ය වරයෙක් නොවන නිසාත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසාත් ඒ සටහන 'පමණක්' මෙසේ සිංහලට පරිවර්තනය කර දැක්වීමට අදහස් කරනවා. අඩුපාඩු වැරදි ඇතොත් සාකච්ඡා කරමු. 

සටහන් කලේ: Angie Kassabie

මාගේ මිතුරන් සියළු දෙනාගෙන්ම මෙය කියවන ලෙසත් එකිනෙකා අතර බෙදා හදා ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඔබ මේ සරළ කාරණා කිහිපය දැන සිටියොත් සමහර විට යම් දිනෙක යම් අයෙකු මරණයෙන් ගලවාගැනීමට ඔබට හැකිවේවී. 

ආඝාතය හඳුනා ගැනීම සඳා අළුත් සහ සරල විදියක්! ඔබ මෙය තවත් දසදෙනෙකු අතර බෙදා ගත්තේනම් ඔබ යමෙකුගේ ජීවිතයක් ගලවා ගත් බවට සතුටු වීමට ඔබට හැකිවේවි. ආඝාතය නැත්නම් ලේ කැටියක් නිසා සිදුවන මොළයට ලේ ගමනාගමනය වීම අවහිර වීමේන් ඇති වන රෝග තත්වය හඳුනා ගැනීමට සරළ ක්‍රියාකාරකම් හතරක් මේ සමඟ ඉදිරිපත් කර ඇත. 

මැදි වයස් කාන්තාවක් වූ ජේන් වරක් උත්සවයක් අතරතුර පය පැකිළී වැටුනා. වටේ සිටි අය ඇය වෙනුවෙන් වෛද්‍ය සහය ලබා ගැනීමට තැත් කළත් ඒ උත්සව අවස්ථාවට බාදා කිරීමට මැළි වූ ඈ, එය තමාගේ අළුත් පාවහන් යුවල නිසා වූ බවත් වෙනත් කිසිදු අපහසුතාවයක් නොමැති බවත් අඟවා දිගටම පාටියට සහභාගී වෙමින් සිටියා. 

නමුත් ටික වේලාවකට පසු ඇගේ හිතවතුන්ට ඇගේ සැමියා විසින් දන්වනු ලැබුවේ දැඩි අපහසුතාවයකින් සිටි ජේන්ව රෝහල් ගත කල බවයි. එදින හවස හය පමණ වන විට ආඝාතය නිසා ඇතිවූ මොළයේ මරණය හේතුවෙන් ජේන් සදහටම දෑස පියා ගත්තා. වෛද්‍ය මතය වූයේ මුල් අවස්ථාවේදී ඇය වටා සිටි අයට ඇගේ රෝගය හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා නම් ජේන්ව ජීවත් කල හැකිව තිබූ බවයි.

මේ සටහන කියවීමට ඔබට ගත වන්නේ සමහර විට මිනිත්තු කිහිපයක් පමණයි. 

ස්නායු වෛද්‍යවේදියෙකු පවසන්නේ මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ හඳුනා ගෙන පැය තුනක් ඇතුලත රෝගියෙකු සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලොත් ආඝාතය නිසා ඇතිවන රෝගී තත්වයන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කළ හැකි බවයි. ඒත් එය එතරම්ම පහසු නෑ.

ආඝාතය නිසා ඇතිවන රෝග ලක්ණ හඳුනා ගැනීම එතරම් ම පහසු නෑ. අවාසනාවකට මෙන් ඒ ගැන අපේ නොදැනුවත්කම නිසා මේ තත්වය තවත් දරුණු වෙනවා. අහල පහල සිටින්නන් විසින් රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා හා ඒ වෙනුවෙන් ගත කරන කාලය තුලදී අදාල රෝගියාගේ මොළයට මෙමඟින් ඉතා විශාල හානියක් සිදුවීම වළක්වන්න බෑ. 

වෛද්‍යවරුන් මීට පෙරදී මෙම රෝගය හඳුනා ගැනීම සඳහා සරළ ක්‍රියාකරකම් තුනක් හඳුන්වා දී තිබුණා. ඒවා STR ලෙස පහසුවෙන් මතක තබා ගත හැකියි. 

S- Smile - ඔබ ඉදිරියේ සිටින රෝගියාට සිනහා වන ලෙස පවසන්න. 

T- Talk- ඔහුට හෝ ඇයට එක දිගට කියවෙන වචන දෙක තුනක වාක්‍යයක් පවසන ලෙස පවසන්න. උදා: මම ඔබට ආදරෙයි.

R- Raise both arms- ඔහුට හෝ ඇයට තම අත් දෙකම එකවර ඉහලට ඔසවන ලෙස දන්වන්න.

රෝගී පුද්ගලයා මින් එක ක්‍රියාකාරකමක් හෝ කිරීමට නොහැකි තත්වයෙන් සිටිනවානම් ඔහු වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරන්න. ඔබේ රෝගියා ආඝතය නැතිනම් ලේ කැටියක් සිරවීම නිසා මොළයට ලේ ගමනාගමනය අවහිර වීමේන් මොළයේ ශෛල විනාශ වෙමින් මරණය කරා වේගයෙන් ලං වෙමින් සිටිනවා විය හැකියි. රෝගියා වෛද්‍යවරයා වෙත රැගෙන යන්නාට මේ සියළු විස්තර පැවසීමටද මතක තබා ගන්න.

ආඝාතය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබන අලුත්ම ක්‍රියාකාරකම වන්නේ රෝගියාගේ දිව පරීක්ශා කර බැලීමයි. ඔහුට හෝ ඇයට තම දිව එළියට දික් කර පෙන්වන ලෙස කියන්න. එය වකුටු වී, ඇද ගැසී හෝ එක් පසෙකට ගමන් කර ඇත්නම් එයද ආඝාතයේ පූර්ව නිමිත්තක් විය හැකියි. වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරන්න.

මගේ කොටස මම ඉටු කරා යැයි සිතමි. එතකොට ඔබ?

පරිවර්තනය (සමහර කොටස් ඉවත් කර) අවසානයි.

දැන් ක්‍රියාකාරකම් හතරක් ඇති නිසාත් එය STRT (Smile, Talk, Raise both arms, Tongue) ලෙස මතක තබා ගන්නවාට වඩ අපට දැනෙන මතක හිටින ලෙස STaRT  ලෙස මතක තබා ගැනීම පහසු වේයැයි මම සිතමි. ජීවිතයක් බේරා ගැනීමට දැනුමක් එක්කර ගැනීම වෙනුවෙන් වෙන්කල ඔබේ කාලයට ස්තූතියි. 

Thursday 4 June 2015

A Seven Billion's Dream

මල්ලි මෙහෙ වරෙන්.. උඹෙ ඉන්නව කිව්ව නේද කවුද යාලුවෙක් ඔය දුම් පරීස්සා වැඩේ කරන?

අහ්! මහත්තයා.. ඔව් මේ.. යාලුවෙක්මත් නෙවෙයි ඒත් උදව්වක් ගන්න පුළුවන්.. මොකක්ද කේස් එක?

නෑ බං හෙටින් කාර් එකේ ආදායම් බලපත්තරේ ඉවරයි.. ඊයේ ඉරිද දැම්ම දුං සහතිකේ ගන්න.. මේ පරය ෆේල් කරානේ කළු දුම වැඩියි කියලා.. හදාගෙන එන්නලු. තව එක පාරක් පුළුවන් ඔය ගෙවපු එකෙන්ම ගොඩ දාගන්න. ඒකත් ෆේල් උනොත් ආයි මුල ඉඳන් සල්ලි බඳින්න එපැයි. බලපං පොඩ්ඩක් ඌට කතා කරල ගොඩ දාගන්න ඔය රුපියල් පන් හය සීයක් දීල.. මුන්ගෙ අම්මලාට මුනුත් අපිටම තමයි කෙලින්න බලාගෙන ඉන්නේ..

වැඩේ නං මොනව හරි කරගන්න පුළුවන් වෙයි මහත්තයා.. ඒත් කාර් එක? ඒක හදා ගන්නෙ නැද්ද?

ආ.. ඒක ලබන මාසෙවත් බලමු. මේ මාසේ වියදං පට්ට අවුල්. දැං සෑහෙන්න කාලෙක ඉඳලා ඔය ඔයිල් ගහන සීන් එකයි දුම දාන සීන් එකයි තියෙනවා.. අතේ කීයක් හරි තියෙනකොට වෙලාවක් නෑ.. වෙලාවක් හම්බෙනකොට එම්ටි පොකට්. 

මොනා කතා කරනවද සර්.. මහත්තුරුත් ඔහොම කියනවනම් අපි ගැන කවර කතාද.. 

හරි හරි..උඹ එහෙනං ඌට කතා කරල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අරං පලයං කාර් එක. මෙන්න ඊයේ දීපු ඩොකියුමන්ට් ටිකයි රුපියල් දාහකුයි තියෙනවා.. පන්සීයකින් ගොඩ දාගන්න බලපං.. නැත්තං මට කොහොමත් පාඩුයි..හෙහ්..


******************************

ආ.. ඔව්. ඇයි උඹ මිස්කෝල් එකක් ගැහුවේ? වැඩේ හරිද?

හරි තමයි.. පට්ට කේස් මහත්තයා.. ස්ටාර්ට් එකේ පොඩ්ඩක් තියාගෙන ඉඳල ජියර් එකට දාල රේස් කරන කොට දුම දානව ඕසෙට.. හැමෝම බැලුව කාර් එක දිහා.. ඒ මදිවට පෝලිමේ ඉඳල ඉස්සරහට ගන්නකොට නවත්තගෙන හිටපු තැන තඩි ඔයිල් පැල්ලමක්. මං දඩ බඩ ගාල පයින් පස් ටිකක් දාල වහල දැම්මා..

හරි හරි. දැන් මොකෝ අරූ කියන්නේ.. පාස් කරන්න බෑ කියනවද.. යකෝ ඌට කියපන් ලෙඩක් තියෙන නිසා තමයි ඌට පගාවක් දෙන්නේ කියල.. හුහ්.. 

නෑ ඒක හරි.. පන්සීය දුන්නට බෑම කියුව.. ඒපාර මං තව දෙසිය පනහක් අතේ තිබ්බම නහයන් අඬ අඬ ඕකේ කරල දුන්න.. හැබැයි ඉක්කණට හදා ගන්නලු.

අනේ උගෙ අම්මගෙ රෙද්ද.. සහතිකේ දුන්නනං ඔන්න ඕක අරං වරෙන්.. උගෙ බණෙන් මට වැඩක් නෑ.

හරි මහත්තය.. මහත්තය.. මේ මේ.. ඩ්‍රයිවර් අයියට තේ ටිකක් අරන් දීලම එන්නං නේ..

ඇයි ඌට දිය තත්තෙද ඔය ටිකට.. ඉතුරු දෙසීය පනහෙන් බොන්න බැරිනං නාල හරි කමක් නෑ විජහට වරෙන් මට දොලහමාරට පොඩි එකී ගන්න යන්නෝනි..  

*******************************

මුදලාලි අංකල් දෙන්නකෝ අපිට රෝල්ස් දෙහෙකුයි. කිරි පැකට් දෙහෙකුයි. ගෝල්ලීප් දෙහෙකුත් දෙන්න කීයද ගාන?

කන්න නං නැතත් කමක් නෑ මල්ලි ගනිංකො ඔය සිකරට් එක.. මුදලාලි නැද්ද මේ කිරි පැකට් මෙයිට වැඩිය කූල් එව්වා? මාර දැවිලක්නේ තියෙන්නේ මේ දවස් වල..  

ඩ්‍රැයිවර් අයිය බලපංකෝ අර බඩදරු ගෑනිගේ මූණේ හැටි විතරක්.. හරියට මීට කලින් කවදාවත් සිගරට් දුමක් වැදිල නෑ වගේ.. වේසි ඔරවන්නෙ නිකං ඒකිගෙ සල්ලි වලින් අපි සිගරට් එකක් ගහනවා වගේ.. 

හා හා මහත්තය ඔය හිස් කිරි පැකට් නිකං පාරට විසික්කන්න එපා.. කොල්ලො ඔය පැකට් ටික අහුලල දාහං කුණු බක්කියට.. සැන්ටිපෝට් කාරයා ආවොත් විනාසයි.

ක්‍රෑහ්.. තුහ්.. බලපංකෝ නාකියාගේ කටේ සැර.. අරං දාගන්න කියහං දැන් කෙළ බෙට්ටත් උගේ ලබ්බට.. හා හා ඔය කොටේ විසි කරල දැන් යමං අර යකා ආයි කෝල් කරන්න කලින්..


********************************

මහත්තයා.. මහත්තයා හම්බෙන්න විසිටර්ල දෙන්නෙක්.. 

කවුද.. එවනව බලන්න..

මහත්තයාහ්..

අහ්! උඹලද? මොකෝ කාලෙකින් අපිව මතක් වෙලා.. කොහෙද දැන් තාම පරණ තැනමද? ඉඳල හිටල කෝල් එකක්වත් දීල උන්නද මලාද බලන්න නරකයි නේද? හැක්..

ඒක තමයි සර් ආවෙත්.. ප්‍රොජෙක්ට් එක නතර කරානේ.. පරිසර වාර්තාවේ ප්‍රශ්ණයක්ලු.. අපි අනාත වෙලා ඉන්නේ..

ඇහ්.. ඒකත් එහෙමද? ඔය බොරු බං රෙද්දෙ පරිසර වාර්තා.. මොකෝ අපි පරිසරේ කනවැයි.. අරුන්ට ගිය කොමිස් ටික මුන්ට එන විදියට හදා ගන්නකං ඔය මොනව හරි ඇදල ගන්නවා.. කෝ දැන් ගෝලයෝ ඔක්කොම ඉන්නවද ටීම් එකේ? 

ඔව් මහත්තය දහයක් දොලහක් ඉන්නව තාම..

හරි මොනවහරි කොන්තරාත් එකක් බලමු. හෙට වරෙල්ල කට්ටිය අරගෙන.. හැබැයි දහයෙන් පස්සේ. උදේට මං පොඩ්ඩක් පරක්කු වෙනවා.. අර විල්පත්තුව එළි කරන තම්බින්ට විරුද්ධව යාළුවෝ සෙට් එකක් ප්‍රොටෙස්ට් එකක් තියෙනවනේ කොටුවේ ඉස්ටේසම ඉස්සරහා.. ඒකට පොඩ්ඩක් ඔලුව දාල එන්නෝනෙ.. ඒවත් කෙරෙන්න එපැයි.. හැක්.

*********************************


ඒයි.. දුවව ගත්තද?

ඔව්. හරි හරි.. මං මේ ට්‍රැෆික් එකේ ඉන්නේ.. මේ මඟුල හැමදාමනම් කරන්න බෑ. වෑන් කාරයට කියනව මීට පස්සේ ඌට එන්න වෙන්නේ නැති දවසට වෙන වාහනයක් හරි එවන්න කියලා..

ඉතින් එක ඔයා කියන්නකෝ මට කියන්නේ.. හිහ්..

හැම වාහනේම ඉන්නේ තනි මිනිහයි නැත්නං එක මිනිහයි තව පොඩි එහෙකුයි විතරයි.. මට මේ පේන මානේ තියෙන වාහන ඔක්කෝගෙම ඉන්න උන් ටික දාතහැකි බස් දෙහෙකට.. මේ වාහන සිය ගාන වෙනුවට එහෙම බස් දෙකක් දිව්වනං ට්‍රැපික් එකකුත් නෑ.. මෙච්චර තෙල් ගොඩක් ඉඩක් මිනිසුන්ගේ වෙලාවල් වැය වෙන්නෙත් නෑ. 

මේ ඕවා ඔයා කියන්න රටේ ලොක්කන්ට මට කියල මොකෝ මං බස් දාන්නයැ? දැන් ඔය ළමය පරිස්සමින් අරං එන්න. මතක ඇතුව හොඳ පළතුරු ටිකකුයි පුතාට ලැක්ටො කැලමයින් එකකුයි ගේන්න. කොල්ලගේ ඇඟ පුරාම බිබිලි බිබිලි දාල.. මොනව වෙලාද මංදා අඩු වෙන්නෙම නෑනේ.

හොඳ පළතුරු.. හුහ්.. එහෙනම් ඉන්නව මෙහෙමම මං ගමේ ගිහින් ටිකක් හොයාගෙන එන්නං.. මෙහෙ තියෙන්නේ චීනෙන් ගේන ගූ ගහල හදන ඇපල් බරුයි, කාබයිට් සැරට කහපාට වෙච්චි අඹ පැපොල් කෙහෙල් ගැටයි විතරයි.. නොද්දකින් මේ වේස හැත්ත.. ළමයෙකුට දෙන පළතුරකටවත් වහ නොදා විකුණන්න බෑනේ.

හරි හරි ඔතන ඉඳං පුපුරලා වාහනේ හප ගන්නේ නැතුව ගෙදර එනවා.. නැත්තං තව ජංජාලයක්..

***********************************

ආ.. මහත්තය.. මේ මම..

ඔ..ඔව්. තමුසෙල කට්ටිය ගෙනාවද? මං මේ පොඩ්ඩක් එළියේ ඉන්නේ.

ඔව් සර් අපි දොලොස් දෙනෙක් ආවා නවය වෙනකොට.. මහත්තය එනකං හිටිය කෑමෙනුත් පස්සේ මේ ආවේ නැති නිසා පොඩ්ඩක් බැලුවේ.. 

ඒකනේ බලනවකෝ අයිසේ.. මට ඉස්ටේසම ගාව ඉඳල හදිසියේ ජෙනරල් හොස්පිටල් එක ගාවට දුවගෙන එන්න උනානේ.. දුවට අසනීප වෙලා කියල පන්තියේ ටීචර් කෝල් එකක් දීලා..

ඇයි සර්, මොකක්ද අප්සෙට් එක..

නෑ මේ හුස්ම ගන්න අමාරු වෙලා.. මෙයාට කොහොමත් වීස් එක වගේ තියෙනවා පොඩි කාලේ ඉඳල.. අද අර මාසෙකට දවස් දෙකක් පාරෙ ඩියුටි දානවනේ ට්‍රැපික් වැඩ වලට.. දන්නවනම් මං අද යන්න දෙන්නෙත් නෑ..

ඉතින් දැන් මොකද මහත්තයා වෙලා තියෙන්නේ? අපි එන්නද ඉස්පිරිතාලේ ලඟට?

නෑ නෑ.. ඕනෙ නෑ.. තමුසෙලාට තියා මටවත් ඇතුලට යන්න දෙන්නේ නෑ ICU එකේ.. ඔක්සිජන් අල්ලනවා.. පාරේ වාහනවල කාබන් මොනොක්සයිඩ් දුමට මෙයාට විස වෙලා.. හදවතට ලේ ගමන් කරන එක අඩු වෙලාලු.  මේ ඉස්කෝල වල උන්ටත් පිස්සුනේ.. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් අයියෝ.. මගෙ කෙල්ල..


***********************************

ඔහ්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හෙට ජූනි පහ ලෝක පරිසර දිනේලු. ඔය හෙටට විතර පොඩ්ඩක් කොලපාට ෆොටෝ එකක් ස්ටේටස් අප්ඩේට් එකක් එහෙම බුකියට දාල පරිසරේට දැනෙන්න ආදරේ කරන්න අමතක කරන්න එපා.. නැත්තං නිකන් අපි ගොඩේ වගේ වෙනවනේ.. ඊට පස්සේ ආයි තව තුන්සිය හැට හතර දවසක්ම තියෙනවා කැමති හැටියට පිස්සු කෙළින්න. හෙට දවස ගැන උදේ පාන්දර මං මතක් කරද්දී ඉතුරු තුන්සිය හැට හතර දවස මතක් කර දුන් 'ලොකු පුතා' වෙනුවෙන් මේ පෝස්ට් එක.. ජය ශ්‍රී!