Friday, 27 February 2015

කන්ද උඩින් පායන සඳ The moon friend


මිහිදුම් සළු සේල ඉරමින් වත.......... පාන
කඳුකර කොමලියේ ඔබෙ රුව.... අසමාන
නුකුස සිප ගන්න නු බලනා....... මාන
සොඳුරියෙ ඔබ මෙන්ම මම දකිනෙමි හීන

සැඩ හිරු රැසින් හෙම්බත් වූ.. හඳ පලුව
පසෙක දමා ඇත ඉඟවට.... ඇඳි සළුව
තුන් තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
දහවල පුරා ඇයි සඳවතියේ...... ගොළුව

අමාවකේ යෞවනයන්...... සොයා යන
ඝනඳුර ඉරා රෑ මැදියම........ ජනිත වන
හිරු පෑයූ කලට ඔබටය.... දෙවන තැන
සබැඳිය බැරි ඇයිද ඉන්නට එකම තැන

- කේඒ(එම්)එස්


සොරකම් කිරීම- තිස් වසරකට එපිටින් ලියා තිබූ අම්මාගේ කවි පොතක පිටුවකිනි.. 
The moon is a friend for the lonesome to talk to.
-Carl Sandburg
මහපොළොවේ ඉපදී ඔප නොදමා දිස්න දෙමින් මහ පොළොවටම අයිතිව වෙසෙන ඒ සුන්දර කිවිඳියට උපහාරයක් වනු පිණිස සද් චේතනාවෙන් ලියා තැබූ වගයි...

Photo courtesy- Google Images

47 comments:

  1. //හිරු පෑයූ කලට ඔබටය.... දෙවන තැන
    සබැඳිය බැරි ඇයිද ඉන්නට එකම තැන//
    අර්ථ දෙකක් විතර හිතෙනවා...
    අපි නම් හඳට කථා කරන්නෙ වෙන විදිහකට.ඒකට වඩා මේ විදිහ හොඳයි වගේ.. ලස්සන කවි ටික.

    ReplyDelete
    Replies
    1. අම්මට පෙන්නන්නම් උබේ කොමෙන්ට් එක.. තැන්කූ වේවා!

      Delete
  2. Replies
    1. 'එළ' ඒවා තව ගොඩක් ලියල තියෙනවා.. මට පිහිටල තියෙන්නේ අම්මගෙ හැකියාවෙන් අබැටක් විතරයි.. තැන්කූ වේවා!

      Delete
  3. ඔබේ මව මගේ වයසේද කියා හිතෙනවා. මෙවැනි අදහස් ලියවුනු කවීන් දැන් අඩුයි. මවට මගේ ප්‍රශංසාව පිළිගන්වන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමනි, මේ අගය කිරීම් ඇයට හුඟක් වටීවි. වයස ගැන නම්, තිස් වසරකට පෙර ඇය මිත්තණියක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා..

      Delete
  4. හප්පේ අපූරුයි නොවැ.... මෙන්න කවි කවි කියන්නෙ ලොවෙත් නැති කවි...
    පට්ටයි කලණයො...
    නෑ නෑ කළණ ලැයි අම්මෙ

    ReplyDelete
    Replies
    1. මයියෝ.. ඇත්තටම අපූරුයි.. ස්තූතියි.. අම්මට හැබැයි තේරෙයිද දන්නෑ පට්ටයි කිව්වම.. මොකෝ ලමයෝ මේ ලමයා කවි පට්ට ගහන්නේ කියල ඇහුවොත් උඹට කියන්නං.. ජය ශ්‍රී!

      Delete
  5. අන්තිම පේලියේ ප්‍රශ්න කිරිම තුල මාර අර්ථයක් තියනවා..
    පට්ටයි මචං එල ද බ්‍රා අම්මගේ හැකියාව..
    දනගහලා වදිනවා ඔබගේ අම්මාට..

    ReplyDelete
    Replies
    1. මචං මෙන්ඩෝ.. අපේ අම්ම අතින් ලියවෙච්චි දෙවල් වලින් දශමයයි මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ. ගොඩාක් දේවල් කොල කෑලිවල, තුන්ඩු වල, ලියුම් වල හැංගිලා විනාස වෙලා.. ඒ ටිකටවත් වටිනාකමක් දෙන්න හිතල තමයි මෙහෙම පල කරේ.. මේ වගේ කොමෙන්ට් වලින් ඒ වටිනාකම ඉහලින්ම ලැබෙනවා.. ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
  6. සඳ ලස්සනයි ඇතිදා තරු රෑ අහසේ
    මල් ලස්සනයි සමනළයින් රගන වෙලේ
    මිනිසුන් ලස්සනයි නැතිදා කුණු කහට හිතේ
    කවි ලස්සනයි අම්මා උඹේ ලිව්ව මලේ!

    ReplyDelete
    Replies
    1. අහසේ සඳද තරු පොකුරුද...... පිපි රෑක
      රහසේ ඇවිත් රසවිඳ විසිතුරු...... නේක
      කවියේ ගුණ කියා ඇගයූ පෙර....... දාක
      අයියේ අගෙයි! මවටත් පවසමි..... මේක

      Delete
    2. අහසට සොඳුරු සඳ වට ඇති සොඳුරු තරු
      ගසකට සොඳුරු අතු ඉති මත මල් පොකුරු
      මලකට සොඳුරු මලවට ඇති පෙති මහරූ
      දිවියම සොඳුරු මව් හදවත හැඳිනු තුරු

      Delete
    3. අඳුරු අහස සඳවත හා තරු ගොන්නේ
      පඳුරු වරා නැගි මහ තුරු වැජඹෙන්නේ
      කදුරු වුවද ගස මල සුවඳකි දෙන්නේ
      සොඳුරු දිලා කවි මුතු මැණිකකි දුන්නේ

      Delete
  7. නියමයි කමියෝ .මේවා ලියාපු තැනම පුස් කන්න දෙනවට වඩා මෙහෙම ඔප දාලා හැමෝටම කියවන්න දීපන් .ඒක තමයි දෙන ලොකුම සම්මානය ...කමියගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා !!
    ("මිහිදුම් සළු" කියල පටන් ගන්න කොටම මට මේ සින්දුව මතක් උනේ .නමුනුකුල අසලමනේ ඉන්නේ .ඒ නිසා අවුලක් නැ )

    මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැඟවගමු
    නිකෙළෙස් හද බැඳී විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට....

    වන ගැබ වන පළ නෙළා ගෙනෙන්නම්
    වනමල් දහරින් මාල ගොතන්නම්
    පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
    තුරු සෙවනැල්ලක මල් අතුරන්නම්....

    ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
    පාරාදීසය මෙහි ඉදිවී ඇත
    මානවිකාවෙනි හෙට හිරුකිරණට
    ටිකිරි සිනාවක් මුසුකරලනු මැන .....

    ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
    ගී තනු - නිමල් පෙරේරා
    ගායනය - සුනිල් එදිරිසිංහ සමග නීලා වික්‍රමසිංහ

    ReplyDelete
    Replies
    1. මේකත් නමුණුකුළ දිහාම බලං ලියපු එකක්.. හැබැයි සළු ලිහන වෙලාවක.. හැක් හැක්.. අගෙයි සින්දූර්.. පට්ට ලස්සන සින්දුවක්. උඹ හරි..මේ පාර ගෙදර ගියාම හොයන් එන්නෝනෙ පරණ කවි පොත් ටිකක්.. ඉඩ තියෙන විදියට ටයිප් කරල අරන් තියෙන්න.. ජය ශ්‍රී!

      Delete
    2. මාතෘකාව දැක්කම මට මතක් උනේ හෙන්‍රි කල්දේරා

      Delete
    3. කන්ද උඩින් පායන හඳ ලන්ද දිගේ මං එනකොට...///
      මටත් මාතෘකාව දාන්න යනකොට ඔය සින්දුවයි හන්තානට පායන හඳ කියන එකයි දෙකම මතක් උනා.. :)

      Delete
  8. මෙහෙම එළිසමය සහිත කවි දැන් ලියවෙන්නෙම නැති තරං.මේ කවි ටික පල කරපු එක ගොඩක් වටිනවා කමියෝ.මෑණියන් ලියු තව කවි ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ මං ලියන කවි කියවල නැතෙයි? හැක් හැක්..

      නෑ ඒක හරි හැලපයියේ.. දැන් ඉන්න උන්ගේ අදහස් කොච්චර හොඳ උනත් වචන හා භාශාවේ දැනුම මදි.. ඒක නිසා සඳැස් ලියුවත් එළිවැට එළි සමය තියාගන්න බෑ.. මං දැකපු තව දෙයක් තමයි ඒ කාලේ කවියෝ ව්‍යංගාර්ථයෙන් ලියන දේවල් දැන් ගෙඩි පිටින් ලියනවා.. ඒකටත් හේතුව ගොඩාක් වෙලාවට උපමා උපමේය වගේ භාශා අලංකරණ නොදැනීම.. ස්තූතියි අගේ කිරීමට.. ජය ශ්‍රී!

      Delete
  9. / නුඹ කුස සිප ගන්න නුබ බලනා...... මාන /

    කොල්ලො මෙතන තියනව පොඩි කේස් එකක්..බයනු දෙක මාරුවෙන්න ඕමනයි. නුබකුස කියන්නෙ තනි වචනයක්..අහස, අහස්කුස කියන තේරුම තියෙන්නෙ. නුබගැබ කියලත් කියනව. ඊට පස්සෙ එන්නෙ නුබ නෙවෙයි නුඹ..ඔබ, යුෂ්මතා, You....:)

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්පා.. ඒකත් එහෙමද? රවි අයියා ඕං පේනව නේද අම්මගෙයි පුතාගෙයි ගැප් එක.. අදහසනම් දැනගෙන උන්නා.. ඒත් මං කල්පනා කරලා කල්පනා කරලා ටිකක් බරට දැනෙන 'නුඹ' කෝකටත් කියලා අහසට දැම්මා.. බොහෝම ස්තූතියි හතලිස් අවුරුද්දකට කිට්ටු වෙන්න ඉගෙනගෙනත් මතක තියාගන්න බැරි වෙච්චි පාඩමක් ආයෙ ජීවිතේට අමතක නොවෙන්න කියල දුන්නට.. ජය ශ්‍රී!

      Delete
  10. එතකොට කල්‍යාණට කළා හිත ආවේ අම්මගෙන්ද?

    මේ, අනවශ්‍ය කොමෙන්ටු බෙදා දෙන්න එපා (විහිළු). ඔබ දන්නවනේ කල්‍යාණ මොකද මා එතැන නොලීවේ කියා. අපේ පියවි ඇසට නොපෙනෙන දේවල් ලෝකයේ වෙනවා. මේවා තේරුම් ගන්න ටිකක් විතර අමාරුයි. ඔබ නම් දන්නවා ඇති!

    ReplyDelete
    Replies
    1. කලාහිත ආවේ අම්මගෙන් තමයි.. අම්මට ලැබුණේ ආච්චි අම්මගෙන්.. අපේ ආච්චි අම්මා දක්ශ හිටිවන කවිකාරියක්. ඒ වගේම ඕනම තැනක අවස්ථානෝචිතව කතා කරන්න දන්නවා. සමහරවිට දෙපැත්ත කැපෙන ඒවා පවා.. යශෝධරාවත කට පාඩම්ලු. මමනම් කියනව අහල නෑ පොඩිකලේ රෑ නිදිමරන තැන්වල සෙට් වෙලා නැති නිසා.. හොඳම දේ තමයි ආච්චි අම්මා අකුරු දන්නේ නෑ.. කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නෑ. ඒත් අම්මලට හොඳට උගන්නල තිබුණා. අම්මා වැඩියෙන්ම ලියුවේ කවි තමයි.. සමහරුන්ට සින්දුත් ලියල දීල තියෙනවා. ඒවයින් බොහොම ටිකයි අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ.

      අර කොමෙන්ටෙක ගැන.. මට හිතෙන්නේ ඔබේ අදහස් එතනට වටිනාකමක් එකතු කරනවා කියලයි.. ඔව්.. අපි හැමෝටම හැමදේම තෙරෙන්නේ නෑ.. ඉතින් තෙරෙන කෙනෙකුගේ අදහස් දැන ගැනීම හොඳයිනේ.. :)

      අහ්! ස්තූතියි කලාහිතටත් ගොඩ උනාට. ජය ශ්‍රී!

      Delete
    2. නැහැ, මා ඔබගේ කලාහිත කියවනවා. හමුදා රසකතාත් ආසාවෙන් කියෙව්වා. ඉස්සර (පොඩි කලේ) අපේ හිතේ තිබුන ස්ටේරියෝටයිපින් එකක් තමා හමුදාවේ කලාහිත් නැතිය කියන එක.

      මොනවා වුණත් මගේ බ්ලොගය කියවන සියල්ලන්ගේම බ්ලොග් මා කියවනවා. මගේ දුර්වල කමක් තමා කොමෙන්ටු නොදාන එක. එයටත් හේතු තියනවා.

      ආච්චි අකුරු නොදැන ඔපමණ කළා නම්, දැනගත්තා නම් කොහොම හිටීද? අම්මල, තාත්තලාගේ හැකියාවන්ගෙන් කොටසක් දරුවන්ට කොහොමත් එනවා. විධිමත් අධ්‍යාපනය කියන්නේ (ඔබේ ආච්චිත් කළා වගේ) එම හැකියාවන් ඔප මට්ටම් කිරීමයි. අද නම් සමහරුන්ට විශ්ව විද්යාල අධ්‍යාපනය පවා ලබා ගැනීමට තියන අවස්ථාවට එතරම් වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද වැඩිපුර හිත යොමු කරන්නේ තියන දේවල් ගැන නොවේ, නැති දේවල් ගැන.

      Delete
    3. ස්තූතියි දීර්ඝ විස්තරේට... ඔය වගේ ස්ටීරියෝටයිප්ස් අමතක කරන්න හරි අමාරුයි නේද?

      ඇවිත් බල්නව වගේම පොඩියට හරි කොමෙන්ට් එකකුත් දාන එක ලියන කෙනාට ලොකු දෙයක්..

      ///වැඩිපුර හිත යොමු කරන්නේ තියන දේවල් ගැන නොවේ, නැති දේවල් ගැන/// හොඳටම හිතට වැදුනා.. ජය ශ්‍රී!

      Delete
  11. එහෙව් අම්මගෙ පුතාද මේ... සැක්! (:-)
    ඔය එළිසමය රැකීම පැරණි කවීන්ගෙ ක්‍රමයක්. නිසඳැසකට වඩා ඒකෙ තියෙනවා අපූරු අගයක්. මාත්‍රා පිහිටවීමත් හොඳ හැකියාවක්. මේ නිර්මාණය ගැන පුතෙක් විදිහට ඔබ ගොඩක් සතුටු විය යුතුයි. හැමෝටම ඔහොම අම්මලා නෑ. තව තියේනම් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් මොකක්ද මේ පුතයගේ අවුල සැක් සැක් කියන්න ඈ?

      ඔව් බං, ඉස්සර අපිට අගයක් තිබ්බෙ නෑ.. නැත්නම් පුස්තකාලෙකට තරම් දෙවල් ලියල ඇති.. ඉතුරු වෙලා තියෙන ටිකවත් මෙහෙම සමාජගත කරන්න හිතුවේ ඒකයි.. තැන්කූ වේවා ඇගයීමට. ජය ශ්‍රී!

      Delete
  12. කාලෙකට පස්සේ මේ වගේ කවියක් කියෙව්වමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීශණ.. ඔව් දැන් ගොඩක් කවි අර්ථයෙන් පෝසත් උනත් වචන වලින් එහෙම නෑ.. ජය ශ්‍රී!

      Delete
  13. කවිය අවංකෙන්ම මගේ හිත ගත්තා...පළමු පදය දැක්ක ගමන් මෙන්න මේ ගීතය මතක් උනා...

    මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
    නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට //

    වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
    වන මල් දහරින් මාල ගොතන්නම්
    පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
    තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්

    මිහිදුම් සළු තිර...

    ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
    පාරාදීසය මෙහි පිරී ඇත
    මානවිකාවෙනි හෙට හිරු කිරණට
    ටිකිරි සිනාවක් මුසු කරනු මැන

    මිහිදුම් සළු තිර... //

    ගායනය - සුනිල් එදිරිසිංහ / නීලා වික්‍රමසිංහ
    පද - බණ්ඩාර කේ ‍විජේතුංග

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරෝ.. උඹයි සින්දුවයි හිතන්නේ එකම විදියට වෙන්නෝනෙ.. ඒක නිසා කමෙන්ට් දෙකත් අයිඩෙන්ටිකල්.. මගේ රිප්ලයි එකත් එහෙම වෙන්න එපැයි.. "මේක ලියුවෙත් නමුණුකුල දිහා බලාගෙනම තමයි.. හැබැයි සළු ලිහන වෙලාවක.. හැක් හැක්.. අගෙයි සිරෝ.. පට්ට ආස සින්දුවක්". ජය ශ්‍රී!

      Delete
  14. ලස්සන කවි පන්තියක්... මට කියවන්න හිතෙන්නේ මෙන්න මේ වගේ කියවපු ගමන් තේරෙන කවි...
    සමහර විට ඒ අපේ කලා මොකක්ද එකේ තියෙන අවුලක් නිසා වෙන්නත් ඇති...

    වහෙන් ඔරෝ තේරුම් තියෙන කවි ලියන කවි රචකයෝ මා හට කමත්වා.

    ReplyDelete
    Replies
    1. මෙතනින් පහලට තියෙන කොමෙන්ට් ටික දැක්කත් රිප්ලයි එකක් දෙන්න බැරි උනා ලොකු මලේ.. ඒකට තරහා අවසර මුලින්ම.... (මේ දවස්වල බ්ලොග් කියවනවට වඩා වෙන දෙයක් කරන්න බැරි උනා.. අඩුම තරමින් මොකුත් අළුතෙන් ලියන්නවත්..)
      හැමෝටම රස විඳින්න පුළුවන් කවියක් බව දැන ගැනීම සතුටක්.. වහෙන් ඔරෝ උනත් රස කවි බසක් නම් මමනම් රසවිඳිනවා.. කලා මොකක්ද එක අවුල්නම් අච්චර සාරෙට ලියන්න බෑ මං හිතන්නේ.. ජය ශ්‍රී!

      Delete
  15. මගේ සුභපැතුම් අම්මාට පිළිගන්වන්න.. හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා.. ඇත්තටම අම්මට සතුටු හිතෙයි.. ජය ශ්‍රී!

      Delete
  16. Replies
    1. ස්තූතියි මදුරංග.. ජය ශ්‍රී!

      Delete
  17. අම්මට මේකත් පෙන්වන්න.
    http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16079-2015-03-06-22-17-59

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියා අපේ නිර්මාණවලට ඔබ දෙන මේ වටිනාකම් අමිලයි.. @ 26 හමුවන බලාපොරොත්තුවෙන්.. ජය ශ්‍රී!

      Delete
  18. කලාහිත මම අද ඔබේ පහුගිය මිස් වෙච්ච පොස්ටු සමග මේකත් කිය්ව්ව්වා කවි හා හමුදා රසකතා . අම්මා සහ පුතා ගැන වගේම ආච්චී ගැනත් සන්තෝෂයි. ආච්චිලා කාලේ විස්තර තව ටිකක් හොයල ලියන්න . මොකද අපිට ලියල තියන්න බැරි වුනොත් ඒ ඉතිහාසේ සැඟවිලා යනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාගේ ඇගයීමට.. උත්සාහ කරනවා ඒ දේවල් හැකි තරම් සමාජ ගත කිරීමට. අපෙං පසුව මුඛ පරම්පරාගතව වත් මේ දෙවල් පවතින එකක් නෑ කියල හිතෙනව අද දරුවන්ගේ 'ඉන්ටරෙස්ට්ස්' දිහා බැලුවම.. ලියා තැබීම වැදගත් වේවී. ජය ශ්‍රී!

      Delete
  19. වටින ලස්සන කවියක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්... ඔබේ කොමෙන්ටුව ඊට වඩා වටිනවා.. ජය ශ්‍රී!

      Delete
  20. ලස්සනයි කලා අදයි දැක්කෙ

    ReplyDelete
    Replies
    1. කවදාවත් පරක්කු නෑ අගය කිරීමකට.. ස්තූතියි මව වෙනුවෙන්

      Delete