Friday, 27 February 2015

කන්ද උඩින් පායන සඳ The moon friend


මිහිදුම් සළු සේල ඉරමින් වත.......... පාන
කඳුකර කොමලියේ ඔබෙ රුව.... අසමාන
නුකුස සිප ගන්න නු බලනා....... මාන
සොඳුරියෙ ඔබ මෙන්ම මම දකිනෙමි හීන

සැඩ හිරු රැසින් හෙම්බත් වූ.. හඳ පලුව
පසෙක දමා ඇත ඉඟවට.... ඇඳි සළුව
තුන් තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
දහවල පුරා ඇයි සඳවතියේ...... ගොළුව

අමාවකේ යෞවනයන්...... සොයා යන
ඝනඳුර ඉරා රෑ මැදියම........ ජනිත වන
හිරු පෑයූ කලට ඔබටය.... දෙවන තැන
සබැඳිය බැරි ඇයිද ඉන්නට එකම තැන

- කේඒ(එම්)එස්


සොරකම් කිරීම- තිස් වසරකට එපිටින් ලියා තිබූ අම්මාගේ කවි පොතක පිටුවකිනි.. 
The moon is a friend for the lonesome to talk to.
-Carl Sandburg
මහපොළොවේ ඉපදී ඔප නොදමා දිස්න දෙමින් මහ පොළොවටම අයිතිව වෙසෙන ඒ සුන්දර කිවිඳියට උපහාරයක් වනු පිණිස සද් චේතනාවෙන් ලියා තැබූ වගයි...

Photo courtesy- Google Images

Tuesday, 24 February 2015

හමුදා රස කතා 2- ඇරීම Beware of your Backside

හම්මේ... හීතල.. දේශපාලනෙත් තිත්ත වෙලා.. ක්‍රිකටුත් තිත්ත වෙලා.. උණ ලෙඩා වගේ අත්දෙක බැඳන් හිටිය මාසෙකටත් වැඩියි.. මේක හරියන්නේ නෑ.. බලමු අයිස් ටික කඩන්න.. පොඩි කික් එකක් එන්න පටන් ගමු හමුදා කතාවකින්.. 

*********************************************

සාමාන්‍යයෙන් 'අරිනව' කිව්වම එක එක තේරුම් තියෙනවනේ.. (කැත හිත තියෙන උන් දැන් කොහොම හිතුවත් මේක 'ඒ' ජාතියේ කතාවක් නෙවෙයි..) හමුදාවෙදිනම් 'අරිනව' කියන්නේ මොකක් හරි 'ටාස්ක්' එකක් දුන්නම ඒක නොකර 'කර අරින' එකට.. එහෙම නැත්නම් ඒ වැඩේ මොකක් හරි ක්‍රමේකින් කාගෙ හරි ඇඟේ ගහල තමන් ගොඩ යන එක.. ගොඩ යනවයි කිව්වට ඉතින් මාට්ටු නොවී ඉන්නකම් විතරයි.. මාට්ටු වෙච්චි වෙලාවට 'අබ සරණයි' තමයි.. අරිනව කියන වචනෙ හැදිල තියෙන්නෙ 'Screw' කියන ඉංග්‍රීසි වචනෙ අමු අමුවේ සිංහලට හරවලා.. ඔය අරින එකේ ප්‍රධාන කැටගරි කීපයක් තියෙනවා.. සීනියර්ස් ලට අරින එක.. ජූනියර්ස් ලට අරින එක සහ බැචාලට අරින එක.. ඔතනින් ඩේන්ජරස්ම ඇරිල්ල සීනියර්ලට ඇරීම, කැතම එක ජූනියර්ස්ලට ඇරිල්ල.. පජාතම එක බැචාලට ඇරිල්ල.. ඔය මොනව කිව්වත් අරින එකා අරිනවාමයි.. උන්ට අමතන පොදු නම 'ඇරන්ස්'. අපේ බැච් එකෙත් හිටියා නමගිය 'ඇරන්ස්' ල කීප දෙනෙක්ම.. මාත් හොඳ ඇරන්ස් කෙනෙක් තමයි.. හැබැයි මං ඇරියේ සීනියර්ස් ලට විතරයි.. කවදාවත් ජූනියර් එකෙකුටවත් බැචෙකුටවත් ඇරල නෑ.. මේ කියන්න අපේ එකෙක් බැචෙකුට ඇරපු රජ ඇරිල්ලක්..

කැඩෙට් ට්‍රේනින් කියන්නේ පට්ට වහක්.. කෑම්ප් එකේ ඉන්න බල්ලටත් සර් කියාගෙන, හැම සීනියර් එකාගෙම බයිට් එක වෙලා.. උන්ගෙ අතේ පයේ හිරි ඇරෙනකං ගුටි කාගෙන.. ටොයිලට් එකට ගියත් ඩබල් එකේ.. උදේ පහයි කාලෙ ඉඳල රෑ දහය වෙනකම් රුටීන් ට්‍රේනින්ග්, ඊට පස්සෙ ඔෆීශියල් හරි අන් ඔෆීශියල් හරි පනිශ්මන්ට්, නින්දක් නැතුව ලයින්ස් ලියාගෙන.. කොච්චර කන්ඩ තිබ්බත් කන්ඩවත් වෙලාවක් නැතුව, ඒ ඔක්කොමත් හරි සබ්ජෙක්ට් 16ක් ඉංග්‍රීසියෙන් ඉගෙනගනිමින්, ඉංග්‍රීසියෙන් විභාග ලියමින්.. අනේ අම්මේ.. එහෙම දුකක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.. අපි හරියටම අවුරුද්දයි මාස නවයක් හිටියා කැඩෙට් වෙලා. {ඔන්න කැඩෙට් ට්‍රේනින් යනවනම් යෝශිත වගේ යන්න ඕනි ජනාධිපතිගේ පුතා වෙලා විතරයි.. කොන්ඩෙ කපන්නෙත් කමඩාන්ට් ඇවිල්ලලු..හෙක් හෙක්.. ඒක ගැන වෙන දවසක කියන්නම්කෝ.} 

ඔය කාලෙ ඇතුලත එනවා 'Junior Officers Infantry Training' කියල ගොඩබිම සටන් ක්‍රම ගැන පුහුණුවක් සති දෙකක.. තියෙන්නේ මැදවච්චියට උඩින් පූනෑවේ කැලෑවක තියෙන Combat Training School එකේ.. රෙද්දෙ ගොඩබිම සටන් කිව්වට ඇඟට තමයි දෙන්නෙ සති දෙකම.. රෑට ක්ලාස් දාල මොන මොනව හරි පොඩ්ඩක් කියල දෙනව කවුද ඕවා අහගෙන ඉන්නේ.. (මෙන්න මෙතනට අදාල වෙනව මගේ ඇරිල්ලක්.. ඒකත් මේ ගමන්ම කියන්නංකෝ අන්තිමට) ඕකෙ තියෙන අමාරුම ඉවෙන්ට් එකක් තමයි රක්සැක් මාච් (Rucksack march) එක. කිලෝ 30ක පැක් එකක් පිටේ එල්ලන් තඩි 303 රයිෆලෙත් අරං ෆුල් කොම්බැට් සූට් එකෙන් කිලෝමීටර් 25ක රන් එකක්.. දුවන්න තියෙන්නේ පට්ට ගිනියමේ මිහින්තලේ ඉඳන් මැදවච්චිය හරහා පූනෑවට.. මෙතනදි හැමෝම වගේ දන්න ඒ උනත් හැමෝම වගේ කරන අහිංසක ඇරිල්ලක් තමයි අර කිලෝ තිහේ වැලි පැක් එක මගදි හලනව කිලෝ දයක් විතර වෙනකම්.. නැත්නම් මග මැරෙනවා.. පටන් ගත්දි බැලුවට අන්තිමට ඕක බලන්නේ නෑ.. ඔන්න මගේ තවත් ඇරිල්ලක් මතක් වෙනව. මං නම් හැලුව කිලෝ විසිනවය හමාරක්ම ඕන මගුලක් කියලා..හැක් හැක්.. 


අමාරුම එක වෙපන් එක.. මුලින් හරස් අවි.. ටිකකින් උරේ අවි.. ඊට පස්සෙ පිටේ අවි.. හිසේ අවි.. කිහිල්ලේ අවි..අන්තිමට හැරමිටි අවිත් ගෙනියනවා.. කොහොම හරි කෑම්ප් එකට යන්න තමයි ඕනි.. දුවන ඇවිදින එකට වැඩිය අමාරු ඔය අවිය තමයි.. ඔන්න ඉතින් මාච් එක පටන් අරන් ටික දුරක් යනකොට ටීම් එක කෑලි තුන හතරකට කැඩෙනවා.. මුලින්ම යන්නෙ එක දාගන්න දුවන ෆිටාල සෙට් එක.. දෙවෙනියට යන්නෙ ලොස් වුනොත් ලොක්කොන්ගෙන් කන්න වෙයි කියල හිතන ඇඟේ හයියට වඩා හිතේ හයියෙන් දුවන උන් ටික.. තුන, හතර, පහ ඉතින් අපි වගේ කයියක් ගහගෙන පුලු පුලුවන් විදියට දුවන සෙට් එක.. අන්තිමට එන්නෙ ලොස්ම සෙට් එක.. උන් ටික දක්කගෙන තමයි ඉන්ස්ට්‍රක්ටර්ලත් එන්නේ.. අපි කරන්නේ අන්තිම සෙට් එක එනවද බල බල හති ඇර ඇර ඊට ටිකක් ඉස්සරහින් දුවන එක. රන් එක පටන් අරන් ටික දුරක් ඔහොම ගියා.. එක තැනක අපි ඔහොම පොඩ්ඩක් වාඩි උනාම මං දක්ක අපේ බැච් එකේ අර ප්‍රසිද්ද ඇරන්ස් එකෙක් අපිව පහු කරගෙන දුවනවා.. එච්චර ගානක් උනේ නෑ.. ආයෙ හිමින් හිමින් ඉස්සරහට යද්දි පේනවා අපිට පිටිපස්සෙන් එකෙක් හති දාගෙන දුවගෙන එනව අපිට කිට්ටු කරන්න. සපෝට් එකටත් එක්ක ටිකක් ස්ලෝ වෙල ඌ එනකම් හිටියා.. මූට ඇඬෙන්න වගේ.. අමාරුවෙන් ඇවිත් අහනවා.. මචන් 'රොබා' දැක්කද කියලා.. රොබා කියන්නේ අර අපිව පහු කරන් දුවපු ඇරන්ස්. මං කිව්ව ඌ මචන් අපිව පහු කරල ගියා කියල.. අම්මට සිරි.. මූ රොබාගේ  මවු දෙමවුපියෝ එක පෙලට මස්ට කරනවා.. බැලින්නම් මුගේ අතේ වෙපන් දෙකක්.. නතර වෙච්චි වෙලාවක රොබා මුගෙ අතට වෙපන් එක පොඩ්ඩක් බලාගනින් කියල දීල චූ කරන්න මුවා වෙලා.. මුවා උනා උනාම තමයි.. (මමනම් ගත් කටටම කිව්වා විසිකරපං ඔය ලබ්බ ඌ පස්සේ ඇවිත් ගෙනියන්නැතැයි කියලා.. ඒත් ඔක්කෝටම කන්න වෙන බව දන්න නිසා අනිත් උන් අරූට පොඩි පොඩි සපෝට් දිදී කෑම්ප් එකට එනකම්ම ගෙනාවා. එතනින් එහා ටික වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.) 

දැන් කියන්න යන්නේ මගේ ඇරිල්ල ගැන.. මිහින්තලෙං පටන් අරන් පූනෑවෙන් ඉවර වෙන්න තිබ්බට අපි එතන ඉඳලත් තව වවුනියාව පැත්තට කිලෝමීටර් දෙක තුනක් ගිහින් කෑම්ප් එක වටේ තියෙන පාරකින් තව කිලෝමීටර් පහක් විතර දුවගෙන තමයි එන්න ඕනි. ඒ ඔෆිසර්ස්ලට අමතර රැග් එකක්.. මං කොහෙන් හරි හොයාගත්තා ඕකෙ නියම දුර ගන්නේ කෑම්ප් එක ගාවට විතරයි කියලා.. අනික වෙලාවකුත් නෑ ඕක ඉවර කරන්න කම්ප්ලීට් කරා කියන්න විතරයි ඕනි.. ඉතින් මොකටද මුන්ගෙ පනිශ්මන්ට් කන්නේ කියල ගත්ත කලන්තයක් කෑම්ප් එකට කිලෝමීටරයක් විතර තියල.. බුදිය ගත්ත ගහක් අයිනේ.. අම්මට සිරි ඉන්ස්ට්‍රක්ටර්ල වට කරගෙන.. පැය බාගයක් විතර හිටියා.. මුං ලෑස්තිය දැන් මාව ඇම්බියුලන්ස් එකේ දාගෙන යන්න. මං කිව්වා මට මේක කොහොමහරි කම්ප්ලීට් කරන්න ඕනි.. මං ටිකක් ඉඳල ආයෙ දුවන්නම් කියල. මුන්ට හෙන හැපි මගෙ'කමිට්මන්ට්' එක ගැන.. තව ටිකක් ඉඳල ගැහුව මෙඩාගෙන් ඉල්ලගෙන සුක්‍රෝස් එකකුත්.. ඔන්න දැන් මං ආයෙම දුවන්න ලෑස්තිය. ඒ පාර එකෙක් කියනවා.. 'කැඩෙට් ඔෆිසර් ඔය පැත්තෙන් යන්න ඕන නෑ මෙතනින් කෙලින්ම PT ග්‍රවුන්ඩ් එකට යන්න' කියල. ඉබ්බ දියේ දාන්නද ඇහුවම ඇන්නාවේ කිව්වලු.. හැක් හැක්.. (ඒ කාලේ බැචාල ඉතින් ඕවට පොඩි පොඩි කාඩ් ගහනව ඕව කවුද ගනන් ගන්නේ..)


මගේ ඇරිලි තව ඉවර නෑ.. අර උඩින් කිව්ව වගේ.. මං ඔය කිසි දෙයක් ඕනෙවට වැඩිය කරන්න ගියේ නෑ. අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය තේරුම් අරං ඒ ටික කරල නිකං හිටිය, බොරු පනිශ්මන්ට් ටාස්ක් කරේම නෑ කිව්වොත් හරි. මොකද සමහර වෙලාවට රෑ එලිවෙනකම් නිදිමරාගෙන ලියුවත් ලයින්ස් 10000ක් එහෙම ලියන්න බෑනේ. ඒ වෙලාවට හොඳට නිදාගෙන පහුවෙනිදට ගුටියක් කන එක ලේසියි. මරන්නෙ නෑනෙ. හැක් හැක්.. ඒක නිසා සාපේක්ශව අනිත් උන්ට වඩා අඩුවෙන් මහන්සි උනේ කිව්වත් වරදක් නෑ. මේ හේතුව නිසා අර මං කිව්ව වගේ රෑට ක්ලාස් කරන වෙලාවට සමහරවිට සෙට් එකෙන්ම මං විතරයි ඇහැරිලා ඉන්නේ. ඉතින් කිරනව දැක්කම උන් ආයිත් ඔළුවෙන් හිටවනව.. මං ආතල් එකේ පාඩම අහගන්නව.. එක්සෑම් කරන්න ගියාමත් එහෙමයි.. පන්තියේ ඇහැරිලා අහන් හිටි නිසා මට වැඩිය මහන්සි නොවී ලියන්න පුළුවන්.. අරුන් ඒකටත් ඔක්කොම නෝට්ස් එහෙම ආයෙ ආයෙම ලිය ලිය මුල ඉඳන් දුක් විඳගෙන පාඩම් කරන්න ඕනි. විභාගෙට ගිහිල්ලත් සමහරු නිදි.. ඊට පස්සේ රී එක්සෑම්.. මුලු අවුරුදු තුනම මගේ තියරිය උනේ ඕකයි. මොකක්ද දන්නවද රිසල්ට් එක.. මං බැච්ටොප්. හයස්ට් ඇග්‍රිගේටර්.. බෙස්ට් මිඩ්ශිප්මන් (ස්වොර්ඩ් ඔෆ් ඔනර්) ඇන්ඩ් සික්ස් මන්ත් සීනියොරිටි ගේන්.. (දිගටම හිටියනම් නේවි කමාන්ඩර්වුනත් වෙන්ඩ තිබ්බා .. හැක් හැක්) ඔන්න මගේ ඇරිල්ල. 

තව ඉස්ටෝරි දෙක තුනක්ම ඇරිලි ගැන ලියන්ඩ හිතන් ආවත් දැන් නිකං ඇති ඇති වගේ.. නිකම්ම උන්නු මං අහල ගියත් මදෑ.. එහෙනම් හැමෝටම ජය ශ්‍රී!

Photo courtesy: www.google.com