"අම්මේ, මම ක්ලාස් යන්නද?"
පහළොස් හැවිරිදි ආකාශ් සාලයේ සෝෆාවේ වාඩි වී සිටි පියුමාලි දෙස නොබලාම ඇසුවේය. ඔහුගේ හඬේ තිබුණේ අකමැත්ත මුසු යාන්ත්‍රික බවකි. පියුමාලි කිසිවක් නොකියා ඔහුගේ මුහුණ දෙස බැලුවාය. කෙස්වැටිය වෙනස් වී ඇත. ටී-ෂර්ට් එකේ අත් දිගු කර ඇත. ඇයට ආකාශ් පෙනුණේ තමාගෙන් ගිලිහී යන, තමාට අයිති නැති නන්නාඳුනන තරුණයෙකු ලෙසය.
"ම්ම්... ඉක්මනට එන්න. පාරවල් ගාණේ රස්තියාදු වෙන්නේ නැතුව."
ඇගේ හඬේ තිබුණේ ආදරයට වඩා විධානයකි.ආකාශ් පිටව ගිය පසු පියුමාලි ගැඹුරු සුසුමක් හෙළුවාය. අසූවේ දශකයේ මුල උපන් ඇයට, ජීවිතය යනු වගකීම් සහ සීමාවන්ගේ එකතුවකි. සැමියාගෙන් වෙන් වූ දා සිට ඇගේ මුළු ලෝකයම වූයේ ආකාශ්ය. ඔහු වෙනුවෙන් ඇය තනිවම අප්‍රමාණ දුක් වින්දාය. ඇයට අවශ්‍ය වූයේ තමා කියන පදයට හැදෙන, තමාගේ සෙවණැල්ල සේ සිටින "හොඳ ළමයෙකු" නිර්මාණය කිරීමටය. නමුත් මීට මාස තුනකට පෙර ඒ සියල්ල උඩුයටිකුරු විය. එදා ආකාශ්ගේ කාමරයේ දොර අඩවල් කර තිබුණි. පොතක් තැබීමට එහි ගිය පියුමාලිට දුටු දෙයින් ඇගේ පපුව නැවතුණි. ආකාශ් ස්වයං වින්දනයේ යෙදෙමින් සිටියේය. පියුමාලිට දැනුණේ තමා මහ පොළොවට වැලලුණාක් මෙනි. ඇයට අනුව එය මහා පාපයකි, "නොහැදියාවකි", ඔහු කුඩුකාරයෙකු හෝ අපරාධකරුවෙකු වීමට යන පළමු පියවරය. එතැන් පටන් ඇය ආකාශ් දෙස බැලුවේ සැකයෙනි. ඔහුගේ දුරකථනය, ඔහුගේ පොත් බෑගය, ඔහු නාන කාමරයේ ගත කරන කාලය පවා ඇය මැන බලන්නට වූවාය.
"උඹ දැන් හරි නරක් වෙලා ආකාශ්. ඉස්කෝලේ වැඩත් ඔක්කොම පාළු කරගෙන,"
ඇය නිතරම ඔහුට දොස් නැඟුවාය. ආකාශ් කිසිවක් නොකියා නිහඬ විය. ඒ නිහඬතාවය ඇතුළෙන් ඔවුන් අතර තිබූ බැඳීම සෙමෙන් දියවී ගියේය. ඇගේ දැඩි පාලනය සහ සැකය හමුවේ ආකාශ් මවගෙන් තවත් ඈත් විය. ඔහුගේ ලකුණු තවත් අඩු විය. පියුමාලි එය දුටුවේ තමාගේ සැකය සනාථ වීමක් ලෙසය. බැරිම තැන ඇය ආකාශ්ගේ පියා වන චන්දනට ඇමතුමක් ගත්තාය. වෙන්ව ජීවත් වුවද චන්දන දරුවාගේ අවශ්‍යතා සොයා බැලුවේය.
"ඔයාගේ පුතා දැන් අතින් අල්ලන්න බෑ චන්දන. සේරම නරක වැඩ පුරුදු වෙලා. ඉගෙනීමත් බිංදුවට වැටිලා. ඔයා අදම ඇවිත් ඕකට හොඳට දෙකක් කතා කරලා, තදින් අවවාද කරන්න. නැත්නම් ඕකා විනාශ වෙයි,"
පියුමාලි දුරකථනයෙන් හැඬුවාය.එදින සවස චන්දන නිවසට ආවේය. පියුමාලි හිතුවේ චන්දන ආකාශ්ට කෑගසා බණිනු ඇත කියාය. නමුත් චන්දන කළේ ආකාශ්ව කැටුව අසල ඇති ක්‍රීඩා පිටියට යාමයි. හවස් යාමයේ මඳ පවන හමා ආ ක්‍රීඩා පිටියේ වැට අසල චන්දන සහ ආකාශ් බොහෝ වේලාවක් නිහඬව බලා සිටියහ. ඈත අහසේ තරු එකින් එක පාදෙන්නට පටන් ගෙන තිබුණි.
"පුතා..."
චන්දන සෙමෙන් ආකාශ්ගේ උරහිසට අතක් තැබුවේය. ඔහුගේ හඬේ තිබුණේ පියෙකුට වඩා මිතුරෙකුගේ ස්වරයකි.
"අම්මා ඔයා ගැන ගොඩක් බයෙන් ඉන්නේ. එයා හිතන්නේ ඔයා සෑහෙන්න වෙනස් වෙලා කියලා."
ආකාශ් සපත්තු අගින් බිම තිබූ බොරළු කැටයක් පසෙකට තල්ලු කරමින් බිම බලාගත්තේය.
"අම්මා හිතන්නේ මම මහා වැරදිකාරයෙක් කියලා තාත්තේ. දැන් මට ගෙදර ඉන්නත් අප්පිරියයි. හැම තිස්සෙම බලන්නේ රවාගෙන, සැකෙන්. මම මොනවා කරත් ඒක වැරැද්දක් විදිහටමයි එයා දකින්නේ."
චන්දන මෘදු ලෙස සිනාසුණේය.
"මම දන්නවා පුතා. ඔයා දැන් ඉන්නේ ළමා කාලයයි තරුණ කාලයයි අතර මැද කලාපයක. ඔය වයසට සිරුරේ, මනසේ ඇතිවන හෝමෝන වෙනස්කම්, අලුත් හැඟීම්, කුතුහලය කියන්නේ ජීව විද්‍යාත්මකව ඉතාම සාමාන්‍ය දෙයක්. මමත් ඔය වයස පසු කරපු කෙනෙක්. ඒක පාපයක්වත්, නොහැදියාවක්වත්, ලෙඩක්වත් නෙවෙයි. හැබැයි... ඒ දේවල් අපේ ජීවිතේ, අපේ ඉලක්ක සහ අධ්‍යාපනය අඩාල කරගන්න හේතුවක් කරගන්න හොඳ නැහැ. තමන්ගේ හැඟීම් පාලනය කරගන්න ඉගෙන ගන්න එක තමා නියම පිරිමිකම."
තමා මහා අපරාධකාරයෙකු නොවන බව පියා තේරුම් ගැනීම ආකාශ්ගේ හිතට මහා සහනයක් විය. පපුව ඇතුළේ හිරවී තිබූ මහා බරක් නිදහස් වූවා සේ ඔහුට දැනුණි.
"හැබැයි පුතා, අම්මා එක්ක තරහ වෙන්න එපා," චන්දන නැවතත් පැවසීය.
"අම්මා ඉපදුණේ වෙනස්ම කාලෙක. එයා හැදුණු වැඩුණු සාම්ප්‍රදායික වටපිටාව ඇතුළේ එයා දන්නේ ආදරය පාලනයෙන් සහ නීති රීතිවලින් විතරක් පෙන්වන්න. ඔයා වැරදි පාරක ගිහින් ජීවිතය විනාශ කරගනියි කියන මහා බය විතරයි එයාගේ හිතේ තියෙන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ වැඩ ටික හරියට කරලා පෙන්වන්න. එතකොට අම්මගේ හිතේ තියෙන බය ඉබේම නැති වෙලා යයි."
එතැන් පටන් ආකාශ් මවට වඩා පියාට ලැදි විය. ඔහු තමන්ගේ ලෝකයේ සිදුවන ඕනෑම රහසක්, ගැටලුවක් තාත්තා සමඟ විවෘතව බෙදා ගත්තේය. නිවසට පැමිණි පසුද ඔහු නිතරම දුරකථනයෙන් පියා සමඟ සිනාසෙමින් කතා කරනු දුටු පියුමාලිගේ හදවත ඊර්ෂ්‍යාවෙන් සහ දැඩි වේදනාවෙන් පිරී ගියේය. ඇයට දැනුණේ තමා කොන් වී ඇති බවකි.
"මම රෑ තිස්සේ නොනිදා, ලෙඩට දුකට තනිවම ළඟ ඉඳන් හදපු දරුවා. දැන් හැමදේටම තාත්තා ලොකු වෙලා.
"ඔයා මගෙන් දරුවා සූක්ෂ්මව ඈත් කරනවා චන්දන,"
දිනක් පියුමාලි චන්දනට දුරකථනයෙන් දැඩි ලෙස චෝදනා කළාය.චන්දන පියුමාලිගේ වේදනාව තේරුම් ගත්තේය. ඔහු සන්සුන්ව මෙසේ කීවේය.
"පියුමාලි... ඔයා තාමත් හිතන්නේ 1980 ගණන්වල විදිහට. මේ ඉන්නේ Gen Z පරම්පරාවේ දරුවෙක්. තාක්ෂණයත් එක්ක ලෝකය දකින ළමයෙක්. ඉස්සර වගේ අණ කරලා, බය කරලා, හැඟීම් යටපත් කරලා දරුවෝ හදන්න බැහැ. වැරැද්ද සහ වයසට සිදුවන ජීව විද්‍යාත්මක වෙනස්කම් පටලවා ගන්න එපා. ඔයා එයාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. නිතරම වැරදි හොයන එක නතර කරලා, එයා කැමති දේවල් ගැන කතා කරන්න. සැකය වෙනුවට මිත්‍රත්වය දෙන්න. එතකොට එයා ඔයාගෙන් හැංගෙන්නේ නැහැ."
චන්දන දුන් උපදෙස පියුමාලිගේ හිතට තදින් වැදුණි. ඇය සැබවින්ම දරුවාට පණ මෙන් ආදරය කළාය. නමුත් ඇගේ ආරක්ෂාකාරී ආදරය දරුවාට සිරගෙයක් වී ඇති බව ඇයට වැටහුණි. ඇය සෙමෙන් වෙනස් වීමට තීරණය කළාය.පළමු පියවර ලෙස පියුමාලි ආකාශ්ගේ පෞද්ගලිකත්වයට ඉඩ දුන්නාය. ඇය ඔහුගේ කාමරයට යද්දී දොරට තට්ටු කිරීමට පුරුදු වූවාය. ඔහුගේ බෑගය හෝ දුරකථනය රහසින් පරීක්ෂා කිරීම සහමුලින්ම නතර කළාය. මුල් දිනවල ආකාශ් මවගේ මේ හදිසි වෙනස දෙස බැලුවේද යම් සැකයෙනි. නමුත් පියුමාලි උත්සාහය අත්හැරියේ නැත.
දෙවනුව, ඇය කතා කරන ස්වරූපය වෙනස් කළාය. "උඹ නම් කවදාවත් හැදෙන්නේ නැහැ" කියනවා වෙනුවට, විභාග ලකුණු අඩු වූ දිනක ඇය සාලයේ මේසය මත කිරි වීදුරුවක් තබා, "මේ පාර ලකුණු අඩුයි, හැබැයි මම දන්නවා පුතාට ඊළඟ පාර මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා" යැයි පවසා ඔහුගේ උරහිසට තට්ටු කළාය. ආකාශ් පුදුමයෙන් මව දෙස බැලුවේය. ඇගේ ඇස්වල තිබූ 'සැකකාර පරීක්ෂක' බැල්ම වෙනුවට පැරණි සෙනෙහස නැවත මතු වන බව ඔහුට දැනෙන්නට විය.
තෙවනුව, ඇය ඔහුගේ ලෝකයට එබී බැලීමට උත්සාහ කළාය. දිනක් සවස ආකාශ් පරිගණකයෙන් යම් වීඩියෝ නිර්මාණයක් කරමින් සිටියදී, පියුමාලි එතැනින් වාඩි වූවාය.
"මොකක්ද පුතා ඒ කරන්නෙ? අම්මටත් කියලා දෙන්නකෝ" ඇය ඇසුවාය.
ආකාශ් මුලින් මැලවුණත්, පසුව ඉතා උනන්දුවෙන් ඇයට තාක්ෂණය ගැන, නවතම AI මෙවලම් ගැන පැහැදිලි කළේය. එතෙක් කල් තම මව මේවා තේරුම් නොගනී යැයි සිතූ දේවල් ඇය උනන්දුවෙන් අසා සිටීම ඔහුගේ හිතේ තිබූ මහා බිත්තිය බිඳ දැමීමට සමත් විය.සති කිහිපයක් යද්දී නිවසේ තිබූ අඳුරු, පීඩාකාරී ස්වභාවය සහමුලින්ම තුරන් විය. අවවාද හෝ බණ කීම් නැතත්, අම්මා තමා පිටුපස ශක්තිමත් පවුරක් සේ සිටින බව ආකාශ්ට වැටහුණි.
දිනක් රාත්‍රියේ මහා වැසි වැටෙමින් තිබුණි. පියුමාලි සාලයේ වාඩි වී පොතක් කියවමින් සිටියාය. කාමරයෙන් එළියට ආ ආකාශ් කුස්සියට ගොස් කෝපි කෝප්ප දෙකක් හැදුවේය. ඉන් එකක් පියුමාලි අසලින් තැබූ ඔහු, කිසිවක් නොකියා ඇය අසලින් වාඩි විය.ඔහු වචනයෙන් කිසිවක් කීවේ නැත. ඔහු කළේ තමන්ගේ ජංගම දුරකථනය පියුමාලි වෙත දිගු කිරීමයි. එහි තිබුණේ ඔහු චන්දන (තාත්තා) සමඟ කළ කෙටි පණිවිඩ සංවාදයකි.
“තාත්තේ, අම්මා දැන් මාව ගොඩක් තේරුම් ගන්නවා. මම මේ පාර එක්සෑම් එක උපරිම කරනවා. අම්මා මං ගැන දුක් වුණා ඇති.” ආකාශ් තාත්තාට ලියා තිබුණි.පියුමාලි ජංගම දුරකථනය දෙස බලා සිනාසුණාය. ඇගේ දෑසින් සතුටු කඳුළු කඩා හැළුණි. ආකාශ් දෙස බලද්දී, ඔහු කෝපි කෝප්පය තොලගාමින් සාලයේ ජනේලයෙන් පිටත වදින වැහි බිඳු දෙස බලමින් සිටියේය. වචනයක්වත් නොකීවද, ඒ නිහඬතාවය ඇතුළේ තිබුණේ පරම්පරා දෙක යා කළ මහා ආදරයකි.
ඇත්තටම මේ ජීවිත වේදිකාවේ කා අතේවත් එකහෙළා වැරැද්දක් තිබුණේ නැත. පියුමාලි වැරදි නැත; ඈ උත්සාහ කළේ තමන් දන්නා එකම ක්‍රමයෙන් දරුවා ආරක්ෂා කර ගැනීමටය. ආකාශ් වැරදි නැත; ඔහු මුහුණ දුන්නේ සොබාදහම විසින් උරුම කර දුන් වයසට අදාළ ජීව විද්‍යාත්මක වෙනස්කම්වලටය. චන්දනද වැරදි නැත; ඔහු උත්සාහ කළේ පාලමක භූමිකාව රඟ දක්වන්නටය.
ජීවිතයේ බොහෝ ගැටලුවලට වැරදිකරුවන් කවුදැයි ලියා තබන්නට ඉතිහාසයේ කිසිදු කතෘවරයෙකුට නොහැක්කේ එබැවිනි. හැමෝම තමන්ගේ පරම්පරාවේ, තමන්ගේ භූමිකාවේ හැටියට නිවැරදිය. අවශ්‍ය වන්නේ එකිනෙකා දෙස බලන කෝණය වෙනස් කරගත හැකි නම්‍යශීලී අවබෝධය පමණි.එබැවින්, මේ ජීවිත පිටුවේ සැබෑ වැරදිකරු කවුදැයි සොයන්නට වෙහෙස නොවන්න... එහි "කතෘ අඥාතයි."
- කල්‍යාණ මිත්‍ර




