2021.03.22 දින The Island පුවත්පතේ පළවුණු හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් රවී විජේගුණරත්න විසින් රචිත "Re-foresting in North and de-foresting in South" ලිපියේ අනුවර්තනයකි.
******************************************************************************************
පසුගිය දිනෙක මා විවේකීව පසුවන මොහොතක දිගුකලක් මාගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කල නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩර් චතුර ගමගේ ගෙන් මා වෙත ලද දුරකථන ඇමතුමකි. "Sri Lanka expects every man to perform his duty" යන මාගේ පෙර ලිපියෙන් හඳුන්වා දී ඇති පරිදි කමාන්ඩර් චතුර ගමගේ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණය බිහිකළ තවත් එක් සුවිශේෂී නිලධාරියෙකි. යුධයේදී ලද තුවාලවල පසු අපහසුතා සමඟ පසු කලෙක විශ්‍රාම යනවිට ඔහු පස් වරක් 'රණ ශූර පදක්කමෙන්' පිදුම් ලබා සිටියේය. තවදුරටත් හේ තොරතුරු තාක්ෂණයේ GIS & Remote Sensing විෂය පථය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙකි. ඉදින්, හදිසියේ මෙන් මා චතුරගෙන් ලද දුරකථන ඇමතුමෙන් කියවුනේ කලකට පසු හද ප්‍රීතියෙන් උතුරායන අන්දමේ පුවතකි. "සර්, සර්ගේ උත්සාහය ලස්සනට ඵල දරලා.. යාපනේ අවට දූපත් ඔක්කොම කොළ පාටින් ලස්සනට පේනවා.. මම සර් ට ගූගල් ඉමේජස් එවන්නම්!".
ඒ ඡායාරූප නැරඹීම මා හට ඉතා ප්‍රීතිදායක කටයුත්තක් විය. 2011 වසරේදී ඉතා කුඩා ව්‍යායාමයක් ලෙස අප ආරම්භ කල කඩොලාන නැවත වගා කිරීමේ වැඩසටහන නිසා මේ වනවිට උතුරු අර්ධද්වීපයේ කරෙයිතිව්, කයිට්ස්, මණ්ඩතිව්, පුන්කුඩුතිව්, එළුවතිව්, අනලතිව් සහ නාගදීප පුදබිම පිහිටි නයනතිව් යන දූපත් නැවත වරක් හරිත පැහයෙන් බැබළීමට පටන් ගෙන ඇත.
2011 වසරේ මා උතුරු නාවික විධානය බාර ආඥාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ අප විසින් කල නිරීක්ෂණයන්ට අනුව එක්තරා පිරිසක් විසින් දිගින් දිගටම මේ කඩොලාන කැලය දර සඳහා කපා දමමින් සිටින බව වටහා ගැනීමට හැකි විය. දිනපතා මෙම දූපත් අතර මාර්ගයන්හි ඉතා විශාල ලෙස දර පටවාගත් බයිසිකල් නිතර ගමන් කිරීම එකල සුලභ දසුනක් විය. ගෘහස්ත අවශ්‍යතාවයන්ට එහා ගොස් ව්‍යාපාරයක් ලෙස විශේෂයෙන්ම පාන් පෝරණු සඳහා ඔවුන් මෙලෙස කඩොලාන කපා දැව සැපයීම සිදුකරයි. හොඳ හයිය දැව කඳන් වූ කඩොලාන ශාක වියළුණු පසු පෝරණු සඳහා කදිම ඉන්ධනයක් විය.
මෙම දූපත් භුමි වල ආරක්ෂාව නාවික හමුදාවේ වගකීමකි. මගේ පළමු පියවර වූයේ පොලිසියේ සහය ඇතිව මෙම අනවසර කඩොලාන කපා දැමීම වහාම නතර කරවීමයි. කලක් යනවිට අබාවයට යමින් තිබූ කඩොලාන පරිසරය නැවත දළුලා වැඩෙමින් පැවතිනි. ඒ සමඟම දූපත් ආශ්‍රිත මුහුදේ මාළු ගහණයද ක්‍රමානුකුලව ඉහල ගියේය. විශේෂයෙන්ම ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් ඵලදාව ඉතා සරු විය. ඔබ දන්නා පරිදි ඉස්සන් කකුළුවන් වැනි මත්සයින් බිත්තර දමනු ලබන්නේ මේ කඩොලාන ආශ්‍රිතව සැඟවුණු අඳුරු මුහුදු සිමාවේයි. අනෙක් විලොපිතයන්ගෙන් ආරක්ෂාවී තම ගහණය බෝ කර ගැනීම සඳහා ඔවුන්ට මෙම පරිසරය ඉතා වැදගත්වේ.
මේ අතර මගේ උපදෙස් මත එවකට උතුරු නාවික විදානයේ මගේ නියෝජ්‍ය අඥාපතිවරයා ලෙස සේවය කල පසුකලෙක නාවික හමුදාපතිවරයා වී දැනට ඇෆ්ගනිස්ථානයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අද්මිරාල් පියල් ද සිල්වාගේ මැදිහත්වීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් යෝජනා හා සැළසුමකට අනුව මෙම දූපත් යාකරන මාර්ග දෙපස කඩොලාන අලුතින් සිටුවීමේ වැඩසටහනකට අත ගැසුවෙමු. ආරම්බයක් ලෙස අපි කරෙයිනගර් දක්වා දිවෙන මාර්ගයේ දෙපස කඩොලාන ශාක සියයකට වැඩි ප්‍රමාණයක් සිටවුයෙමු. නමුත් තෙමසක් පමණ ගතවෙද්දී මේවා මුහුදු ජලයට සෝදාගෙන ගොස් අපේ ව්‍යායාමය අසාර්ථක විය. උත්සාහය අත් නොහළ අපි නැවත නැවතත් එහි පැල සාම්පල වගා කල නමුත් ඒ හැම අවස්ථාවකදීම එය අසාර්ථක විය. පැය හයකට වරක් නැගෙන බසින වඩදිය හමුවේ වැඩෙන පැල වල මුල් සෝදාගෙන යාම ප්‍රධාන අභියෝගය බව වටහාගෙන 2017 වසර වනවිට උතුරු විධානයේ නාවික ආඥාපතිවරයා ලෙස අද්මිරාල් පියල් සහ කණ්ඩායම විසින් සුළු පිළියමකින් සාර්ථකව කඩොලාන අලුතෙන් වගාකිරීමේ සටන ජයගන්නා විට අපි අප්‍රතිහත ධෛර්යයෙන් පුරා වසර 6ක් පමණ නොසැළී නොපසුබටව මේ වෙනුවෙන් කැපවී සිටියෙමු. මේ ක්‍රමයෙන් කරෙයිනගර් කළපුව අවට පමණක් කඩොලාන පද්දති 600ක් පමණ අලුතෙන් පැල කිරීමට අපේ කණ්ඩායමට හැකිවිය.
කඩොලාන විනාශකිරීම වැලැක්වීම හා නැවත සිටුවීම පිළිබඳව වැඩියෙන්ම සතුටු වූ අයෙක් වේනම් ඒ 'සින්නම්මා'යි. අතංගුවක් ගෙන කඩොලාන ආශ්‍රිතව කකුළුවන්, ඉස්සන් හා පොකිරිස්සන් ඇල්ලීම ජීවිකාව කරගෙන ගිය ඈගෙන් තරුණ නිළධාරීන්ව සිටි අවධියේ සිට අපි සති අන්තවලදී ඉස්සන් හා කකුළුවන් මිලට ගැනීමට පුරුදු වී සිටියෙමු. යාපනයේ ප්‍රකට තල් රා සමඟ මිරිස් සැරට හැදු මේ කලපු ඉස්සන් කකුළුවන් ඉතා අගේට මුසුවෙයි. කඩොලාන සංරක්ෂණය සමඟ ඉහලගිය සින්නම්මාගේ මත්ස්‍ය ඵලදාව සිංගප්පුරුවට කකුළුවන් අපනයනය කරන අතරමැදියෙකු විසින් කිලෝවක් රුපියල් එකසිය විස්ස බැගින් මිලදී ගත අතර සින්නම්මා ඒ පිළිබඳව සතුටින් පසු වුවාය. කවදත් නාවික නිලධාරින් සමඟ කුළුපගව කටයුතු කල ඈ පසුකලෙක අපේ කඩොලාන වැවීමේ හා සුරැකීමේ ව්‍යාපාරයේ සිවිල් පෙරගමන්කාරියක වුවාය.
නාවික හමුදාවේ මැදිහත්වීමෙන් මේ දූපත් වාසීන්ගේ ජීවිතවලට ගෙන ආ මෙම හරිතාලෝකය දැන් ඔවුන් විසින්ම ඉතා උනන්දුවෙන් රකිනු ලබයි. ඔවුනතර කිසිවෙකු දැන් කඩොලාන පද්දතියට හානි කිරීමට ඉදිරිපත් නොවන සේම පිටස්තරයෙකුට එසේ කිරීමටද ඉඩ නොදීමට වග බලා ගනියි. කමාන්ඩර් චතුර සැටලයිට් ඉමේජ් ඔස්සේ නිරීක්ෂණය කර මා වෙත ලබාදුන් ඡායාරුප වල හරිත පැහැය මා අමන්දානන්දයට ලක්කලේ එලෙසයි.
නමුත් දකුණේ තත්වය..
මා විසින් රචිත "Read between the lines" කෘතියේ 42 වන පිටුවේ සඳහන් කර ඇති ආකාරයට:
' ඔබ කුඹුක්කන් ඔය අසලට ගිය විට එයට කුඹුක්කන් ඔය යන නම ලැබුනේ ඇයිදැයි ඔබට නිතැතින්ම වැටහී යනු ඇත. ගඟ දෙපස එක සීරුවට පෙනෙන මානයේ ඔබට සරුවට විශාලව වැඩුණු කුඹුක් ගස් සිය ගණනක් එසේත් නොමැතිනම් දහස් ගණනක් දැකිය හැක. එය ඔබට කිසිදා අමතක නොවන අගනා දර්ශනයකි. දෙවියන්ට ස්තුති වේවා! මේවා මිනිස් වාසයෙන් සෑහෙන දුරකින් පිහිටා තිබීම නිසාම ආරක්ෂිතව වැජඹෙනවා විනා මිනිස් ඇත පොවන මානයක වූවානම් මේ වනවිට මුලින් කපා හෙලා දමා සල්ලිකාර හීනමාන මන්දිරයක පොළොවක පෑගෙමින් දුක් විඳිනවා ඇත.
මා තේරුම් ගත පරිදි ස්වභාවධර්මයේ පරම හතුරන් මේ සල්ලිකාර හීනමානකාරයින් වේ'
මා එසේ ලියුවේ 2018 වසරේදීයි. මාගේ ඒ ප්‍රකාශනයෙහි හරි වැරැද්ද මම නොදනිමි. නමුත්, 2020 වසරේ මා යාල මහකැලේ කතරගම පාද යාත්‍රාවේ දී සිටන විට දුසු දසුනකින් තැති ගැන්මට ලක්වී සිටිමි. කුඩා කැබිලිත්ත ඓතිහාසික මුරුගන් දේවාලය අසලින් ගලා බසින කුඹුක්කන් ඔය ඉවුරේ වසර තුන්සියයකට වඩා පැරණි යැයි සිතිය හැකි දැවැන්ත කුඹුක් ගසක් මුලින් ඉදිරී වැටි තිබුණු අතර හාස්කමක් ලෙස මුරුගන් දේවාලයට කිසිදු හානියක් සිදුවී නොතිබුණු නමුත් එම දැවැන්ත ගස ඒ වනවිටත් කොටන් කර ලොරිවලට පැටවීමට පිරිසක් ක්‍රියා කර තිබුණි. අතිශය දුෂ්කර එමෙන්ම හැම අතින්ම ආරක්ෂාව සපයා ඇති මෙම ඝන වනාන්තරය තුල මෙවැනි අතපෙවීමක් කරන්නට හැකි කාටද?
මේ උතුරෙන් පාඩම් ඉගෙන ගැනීමට දකුණට හොඳම කාලයයි!
- විශ්‍රාමික අද්මිරාල් රවී විජේගුණරත්න.
කතෘගේ පූර්ණ අනුමැතිය ඇතිව සිංහල බසට අනුවර්ථනය 'කල්‍යාණ මිත්‍ර'ගෙනි.