වසර දෙකකට අධික කාලයක් තිස්සේ ලෝකය වෙලාගත් දරුණු වයිරසයක් හා ඒ හා සමානව සියලු ක්ෂේත්‍ර වල සිදුවූ කඩා වැටීමත් සමඟ සමස්ථ ලෝකයම ඉදිරියේදී ආහාර හිඟයකට මුහුණ දීමට සුදානම් විය යුතු බව ලෝක ආහාර වැඩසටහන මේ වන විතත් අනතුරු අඟවා ඇත. ලංකාවේ අපිට ආහාර හිඟයට අමතරව වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල දැඩි හිඟයකටද දැනටමත් මුහුණ දීමට සිදුවී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව සංචාරක ව්‍යාපාරය, විදෙස් ශ්‍රමිකයින් වැනි අදායම් හරහා සියලු අවශ්‍යතා පිටරටින් ආනයනය කිරීමේ යැපුම් ආර්ථිකයක් පැවතිම හා වසංගතයෙන් දුර්වල වූ අපේ ආර්ථිකයේ මිළදී ගැනීමේ හැකියාව මේ වනවිට සීග්‍රයෙන් පහත බසිමින් පවතින හෙයිනි. මෙයට තාවකාලික පිලියමක් ලෙස රජය යම් යම් ආනයනික භාණ්ඩ සඳහා සම්බාධක පනවා ඇති නමුත් මෙය බොහෝ පිරිසකගේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. ආනනයනය සීමා කර ඇති භාණ්ඩ අතර බොහොමයක් සුඛෝපබෝගී වාහන, මිලාධික ඇඳුම්, සුවඳ විලවුන්, විදුලි උපකරණ, ජංගම දුරකථන හා උපාංග ආදී විශ්වයේ නියමයෙන් මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුනාගත් අවශ්‍යතාවයන්ගෙන් එහාට විහිදීගිය පරාසයක භාණ්ඩ වේ. අපේ වැඩිහිටියන්ගෙන් අප අසා ඇති පරිදි මීට වසර පණහකට පමණ ඉහත කාලයකදී මෙවන් වූ සංවෘත ආර්ථික රටාවකට අප රට හැඩ ගැසෙමින් යද්දී ජනතාව කෝප වූයේ හාල් පරිප්පු සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල හිඟය නිසයි. 1977 සිට ක්‍රියාත්මක වන විවෘත ආර්ථික සංකල්ප වලින් අනතුරුව වසර 45කින් අද වන විට ජනතාව ගෑස්, කිරිපිටි, ඉන්ධන, වාහන අමතරකොටස්, ජංගම දුරකථන හා පරිඝනක අමතර කොටස් වැනි මූලික අවශ්‍යතා වලින් බැහැර වූ භාණ්ඩ වල හිඟය නිසා කුපිත වී සිටිති..
මේ පිළිබඳව මහජනතාව ලෙස අප සතු වගකීමක් හෝ වගවීමක් නොමැතිද? පැහැදිලිවම තිබේ. පසුගිය දශක දෙක තුනක කාලය තුල ජනතාව ඉතා වේගයෙන් හා අන්තනෝමතික ලෙස අධි පරිභෝජනවාදී ජිවිත රටාවකට හුරුවෙමින් සිටියහ. ලංකාවේ ඒක පුද්ගල ආදායම දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්ෂව ඉහළය. වැඩිපුර හම්බකරන්නට සමත් වූ මිනිසුන් ඉවක් බවකින් තොරව ආත්මාර්ථකාමී ලෙස සම්පත් නාස්ති කරමින් සිටියහ. එය ක්‍රම ක්‍රමයෙන් නාගරික සමාජයේ සිට ගමටද, ගමේ ප්‍රභූ පැලැන්තියේ සිට මද්‍ය ආදායම් ලබන පහළ මධ්‍යම පන්තිය දක්වාම ක්‍රමයෙන් පැතිර ගියේ තම ආදායමට සරිළන ජිවන රටාවක් වෙනුවට මිනිසුන් ණය වී ගෙවල් හදන, වාහන මිළදී ගන්නා, කෙනෙකු පළඳින ඇඳුමෙන්, භාවිතා කරන සුවඳ විලවුන් වර්ගයෙන්, අත රැඳී ජංගම දුරකතනයේ වර්ගයෙන් අනිකාගේ ජිවන මට්ටම මනින, උන්මන්තක ස්වරුපයක් දක්වා එය පැතිර යවමිනි. කුසට අහරක්, හිසට සෙවනක්, විළි වසා ගැනීමට ඇඳුමක් යන මූලික අවශ්‍යතාවයන් මේ වනවිට ආනයනික ක්ෂණික හා සකස්කළ ආහාර, ජීවත්වීමට නොව ප්‍රදර්ශනයට ඉදිකළ මහා මන්දිර හා විවිධ සන්නාමයන්ගේ ප්‍රවර්ධන ප්‍රයෝග වලට හසුවූ මිලාධික ඇඳුම් පැළදුම් විලාසිතා දක්වා වෙනස් වී තිබේ. පොතක ඇතුළත කතාව එහි පිටකවරයෙන් මනින්න එපා යන ප්‍රසිද්ධ කියමන වචන වලට පමණක් සීමා වී එකිනෙකා පරයා භෞතික වශයෙන් කැපී පෙනීමේ හරසුන් වෑයමක අප සියලු දෙනාම වේලි සිටියෙමු.
ඉදින්, මේ ලැබුවා වූ දුෂ්කර කාලය අපේ ආකල්ප වෙනස් කරගැනීමේ පියවරක් ලෙස නව ආරම්භයක් කරගැනීමට අපි උත්සාහ කරමු. සුඛෝපභෝගී වාහන, මහා පරිමාණ ගොඩනැගිලි, මිලාධික පාරිභෝගික භාණ්ඩ වෙනුවට දියුණුවේ මිනුම් දඬු ලෙස මිනිසුන්ගේ සතුට, සමානාත්මතාවය හා දැනුම අගයන සමාජයක් දක්වා අපි අපේ ආකල්ප වෙනස් කර ගනිමු. අපි හැකි සෑම අයුරකින්ම අධි පර්භෝජනවාදී හා නාස්තිකාර, අසාධාරණ ජිවිත භාවිතයන්ගෙන් මිදී සරළ ජිවන රටාවකට හැඩ ගැසෙමු. ස්තුතියි.
- යසිත්මා රශ්විනි යාපාබණ්ඩාර , සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල.