දෙදාස් පහළොවේ දාසයේ වගේ බ්ලොග් වල පැළපදියම් වෙලා හිටි කාලේ දවසක මාතලන්ගේ සින්ඩියෙන් වෙන්නෝනි අහම්බෙන් දැකලා ගිහින් බලපු බ්ලොග් පෝස්ට් එකක අපූරු කවි පන්තියක් තිබ්බා. ඒ කවිය නම් කරලා තිබ්බේ 'එතකොට උඹ පත්තිනි, මම?' වගේ අමුතු නමකින්. මම කොහොමත් කවි වලට, විශේෂයෙන් සඳැස් කවි වලට ආසා නිසාත් ඒ අමුතු හෙඩිම නිසාත් ඒක කියවන්න ගත්තා... පලවෙනි කවියම Wow එකක්...
මව් ඇවෑමෙන් උනත් මං මේ රටේ නැටුමට රාජිණී
කෝවලන් නුඹ ළඟයි නිවුනේ හිතේ නැගි අනුරාගිනී
ලෝකයම අමතකව නුඹ මට තුරුලු වූ හැටි ස්නේහෙනී
දන්නෙ නෑ ඇය හිතේ හිටි බව අවුලමින් විරහාගිනී...
අද මේ සටහන ලියන්න ඕනිවෙලා බ්ලොග් එකට ගිහිල්ලා බලද්දි මේ තියෙන්නේ කවි පන්තියම බැබළි බැබළී.. බ්ලොග් වල වටිනාකම ඒකයි ඉතින්. හරි ඒක පසුවට. ඔන්න ඔතනින් තමයි මට බොක්කට වැදුණේ 'සොඳුරු සඳවතී' බ්ලොග් එක. ලියුවේ 'ශානි ශෂී' කියලා ගෑනු ළමයෙක් කියලා හිතපු කෙනෙක්. එදා ඉඳලා ෆ්‍රී වෙලාවට ඒ බ්ලොග් එකේ අලුතෙන් දාන කවි වගේම කලින් උන්දෑ 2010 වගේ ඉඳලා ලියපු ඒවත් ටික ටික කියවලා පුලුවන් වෙලාවට කවි පිළිතුරක් එහෙමත් දීලා තියෙනවා. පස්සේ පස්සේ ඉතින් බ්ලොග් ලියවිල්ලයි, කියවිල්ලයි දෙකම අතෑරලා ෆේස් බුක් එකේ ස්ථීර පදිංචියට ආවට පස්සේ ඔන්න අඳුන ගත්තා මේ කොළමාලම.. එක එක නම් වලින් හැංගි මුත්තන් කර කර ඉඳලා දැන් නම් යංතං මනුස්ස වේශයෙන් ඇත්ත නමින් පෙනී ඉන්නවා.
මොන විහිළු කරත් මේ උන්දිගේ හලන්න බැරි ලොකුම හැකියාවන් දෙක තමයි කෑම ඉවිල්ලයි කවි ලියවිල්ලයි. ඔය දෙකෙන් මොන එක වැඩියෙන්ම රසද කියලා බලන්න තාම Lotus එකට කෑම ඕඩරයක් දෙන්න බැරි උනාට කවි නම් අම්මප.. හැබෑ රහයි. ඔය ඉවිලි පෙවිලි අස්සේ මේ අංගනාවී එයැයිගේ දෙවෙනි කවි පොතත් ලියලා කියුවම මාත් ඉතිං පොතක් ඉල්ලුවා. කවි පොත ලියන්න උන් මහන්සියට වඩා මහන්සිවෙලා දසමාර යුද්ධයක් කරලා සති හයකට විතර පස්සේ අත්සනත් ගහපු පොතක් පිළියන්දල ඉඳලා කොල්ලුපිටියට වඩම්මවා ගන්න අද පුලුවන් උනා. සති හයක් දුක් විඳලා ගෙන්න ගත්ත පොත කොල්ලුපිටියේ ඩර්ඩන්ස් එක ළඟ ඉඳලා කොම්පඤ්ඤවීදියට එනකොට බාගයක් කියවලා ඉවරයි. ඉතුරු ටිකත් ආ ගමන් කියවලා මේක ලියන්න ගත්තේ.
කවි පොත නම්... මාරයි. සඳැස් නිසඳැස් කවි පන්ති හතළිස් දෙක එක හුස්මට කියවගෙන යතෑකි. සමහර කවි නිකං උලකින් එකපාර අනිනවා වගේ පපුවට.. සමහර ඒවා.. අර සංජීව් ලෝන්ලියෙස් කියනවා වගේ හදවතේ සියුම්ම තැන්වල පිහිතුඩකින් ආදරේ ලියනවා වගේ.. ඒ ඔක්කොටම හපන් ඒ කවි වලට දාලා තියෙන නම්. අමුතු මුතු වගේ..
'මට යසෝදරා වෙන්නට නම් බෑ' කවිය එහෙම පිටින්ම හැවිල්ලක්.. ළමයෙක් බඩට ආවම දාලා ගිය මිනිහෙක් ගැන මොන නිබ්බුත පදද? ඒ කවි පන්තියම මෙතන දාන්න තියෙනවා නම් මරු. ඒත් ඒක කරන එක හරි නෑනේ.
'පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා..
ගේන පලා අතින් තියා තොලකට ලෙවකනවා..
ඊට පස්සෙ මම ආයෙත් හොඳ අම්මා වෙනවා..' හුම්ම්...
'ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරී..
තනියෙම බුදු වෙන්න ඔයා දැන් සේරම හරී..".. හෙහ්. අවසානය තමයි තාත්විකම..
'පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී'
'ගල්කිස්ස කියන්නෙත් එක්තරා ප්‍රේමයක්' කවි පන්තියේ එක තැනක ශානිකා මෙහෙම ලියනව..
'මතක මල්ලත් අරන් අදත් ඉඳ හිටක..
හංදියෙන් නගිනව දෙසිය පනස් පහක..
ටිකට් එක කැඩුවාට ගල්කිස්සේ කොණට..
අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට..' ඒක අතරමඟ කඩාවැටුණු අසම්පූර්න ප්‍රේමයක් ගැන අනුවේදනීය උපහැරණයක්...
සෝශල් මීඩියා පරිස්සමට පාවිච්චි කරන්න තේරෙන්නේ නැතුව තරු හීන දැකලා කපටියෙකුට රැවටිලා 'ලීක් කරගෙන' පවුලත් විනාස කරලා තමනුත් විනාස වෙන තරුණියකගේ අවසානය.... මුලු කවි පන්තියක කඳුලු කතාව එකමෙක පේළියකට කැටි කරන්න ශානිකා සමත් වෙන්නේ අර කියුවා වගේ පපුවටම ඇනලා...
'ඇයමයි මල් වැවුවේ ඇයගෙම මල් වඩමේ'
රාමාගේ සීතල ආදරයට එහාගිය රාවනාගේ දඩබ්බර, උණුහුම් ආදරේ ගැන මේ සීතාවගේ හිතේ විශේෂ කැමැත්තක් ඇති බව නම් හැබැයි.. පොතේ නම වැටුණු කවි පන්තිය වගේම තව කවි පන්ති කීපයක්ම රාවණා හා සීතාගේ මේ ආදරේ ගැන ලියවිලා තියෙනවා. ඒක අසම්මත ප්‍රේමයක්ද අනියම් ප්‍රේමයක්ද කියල හිතන්න ශානිකා අපිට ඉඩ ඇරලා නෑ. මොකද එක කවියක ඈ ලියනවා..
'ප්‍රේමය ප්‍රේමයම මිස..
එහි නෑ නියම් අනියම්'
ශානිකා ගේ කවි වල මම දැකපු තවත් එක විශේෂත්වයක් තමයි ප්‍රේමයේදී වගේම විරහාවේදීත් ඇය නුරාව සඟවන්න උත්සහා නොකිරීම. ලඟින් ඉද්දි වගේම දුරස් උනා කියලත් අනුරාගි හැඟීම් පහල වෙන එක වළක්වන්න බෑනේ.. ඇත්තම කතාව දුරස් උනාම දැනෙන නුරා හැඟීම් වඩා කටුකයි.. වේදනාකාරියි.. ශානිකා හරිම ලස්සනට සංවරව ව්‍යංගයෙන් මේ හැඟීම් අපිත් එක්ක කවියෙන් බෙදා ගන්නවා මේ පොත ඇතුළේ.
මේ සටහන ඉවර කරන්න ඕනිනේ.. ඒකට 'ආරතී ඇයට ඉඩ දෙන්න ඒ ඇගේ පංගුව' කියන කවියේ මේ කොටසට වඩා හොඳ තැනක් මට හිතාගන්න බෑ.. අසම්මත යැයි සම්මත තුන්කොණ් ප්‍රේමයක අනුවේදනීය මළගම.. අවසන් හාදුවත් නළල මත නොතියාම නික්මෙන.. අවසරයි. ඔබ කවියට ආදරේ නම් කියවිය යුතුම කවියක්.. රංකඳ රාවණා!
'දැන් ඉතින් වැඩක් නෑ නිදහසට කරුණූ...
අසම්මත කියන්නෙම චෝදනාවක් දරුණූ...
ආරති, මායි මගෙ හිතයි දැන් සදහටම මැරුණූ...
ජීවිතේ බොහෝ තැන් ඇති ඇයට නම්.. මා නිසා මඟ හැරුණූ...'
-කල්‍යාණ මිත්‍ර