Thursday, 22 January 2015

මූණු පොතේ කවි මඩුව- දුංහිඳ අන්දරය Tag- Facebook is there for FUN


මූණු පොතේ ගුරු පාර දිගේ ජීවිතය සොයා යන විටෙක අහම්බෙන් වගේ නෙත ගැටුනු සිව් පදයකි.. කවිය ලියා තිබුනේ ප්‍රියන්ති හංසමාලී නම් කිවිඳියයි. කවියත් එක්ක කලාහිතේ තියෙන ලවු එක එසේ මෙසේ එකක් නොවේ. දන්න අතීතයේ ආච්චි අම්මාගෙන් අම්මාටත් අම්මාගෙන් කල්‍යාණ මිත්‍රයාටත් ලෙස දායාද ලැබුණු කවි හිත නිසා පැටලුණු ලෙහුනු අවුල් අනන්ත අප්‍රමාණ නමුත් දෙවරක් නොහිතා මේ කවි අකුලටද හොට දැමූයෙමි. හොහෝ.. එයනම් රස කවි ගුලාවකි. ඇසුරු සැනින් අනෙක් පසින් පිළිතුරු ලැබින. අතු ගංඟාවෝ හෙමින් හෙමින් ගලාවිත් කවි දොළ කවි ගංගාවක් විය. කල්‍යාණ මිත්‍රයාත් බොහෝ කලකින් නිදහසේ ඒ කවි දියේ ඔබ මොබ පිහිනා ගියේය. අවසන දුන්හිඳ අභියසදී සොඳුරු කවි පෙම උතුරා වාන් දැමූවද අඹුදරුවන් නිවසේ බලා සිටිනා බැවින් ඉක්මණින් ආපසු ආයුතු විය. 

හංසි 
පන්හිඳ ගොළුය ඉකියද තනිවට...... නැත්තේ
තුන්යම සුසුම කුමකට තරහව......... ඇත්තේ
පින්මදි හෙයිනි සෙනෙහස මගෙ හිත ගත්තේ
දන්දුන් හිතද යාවිද මිය මතු ............ මත්තේ

කල්‍යාණ

පන්හිඳ ගොලුවෙලා ඉකිබිඳුමක් .....පමණී
සුසුමක උණුහුමින් නෙතු වියලී... ගොසිනී
පින්මද වුවද හිත ඔබෙ හිත ලඟ..... බැවිනී
මිය යා නොහැක මා ඔබ වෙනුවෙන් රැඳුනී

හංසි

ලස්සන වචන මගෙ හදවතෙ ලියා...... ගමී
රිද්දන අහිමි බව නොසිතා ඉවස........ ඉමී

කැන්දන මිහිර හිත පතුලෙම රඳව ..... ලමී
මත්තට මියෙමි ඔබෙ දෙපතුලෙ දිවිය දෙමී


කල්‍යාණ

උයනක් අසල බඩ ලඳු කැලයක  වෙසෙන
කිරිලක් ගයනවලු ඇගේ ආදරෙ..... පමණ

සැරයක් වලක වැටි හිටි ගේ කුරුළු.. තැන
වරුවක් මෙහේ හිත හිත ඒ කිරිලි..... ගැන


හංසි

හෙල් කඳු පල්ලම්ද පැන දිය කඩිති.... නෙක
එන්නම් සොයාගෙන ගන්නට ඔබව...... දැක
දෙන්නම් හදවතම කෙරුමට මාව ........ රැක
සිත්තම් පාන කිරිලිය මා නොමැත ...... සැක


කල්‍යාණ

සිත්තම් පාන කිරිළිය හදවත............. මැද්දේ
දැන්නම් සැක නොමැත හිත ඔබ වෙත පැද්දේ

වැරදීමකින් මම පෙර මල් හී.............. විද්දේ
පඳුරක් වෙතයි කිරිලිය තවමත්.......... බැද්දේ




චමින්ද
දැන් දුටුමි පිපුනු හැටි කවියක් එක..... ඉත්තේ
තුන් දිනකින් බැරිවිය ලිමට මේ........ මත්තේ
දන්දුනහොත් මේ ටික වන බව කිය... යුත්තේ

තුන් සිත පහදුනු සදා සෙනෙහස එනු ඇත්තේ


සම්පත්

පන්හිද ගොළුද ඉකියද තනිවට........... ඇත්තේ
තුන්යම කුසුම අද දින හරහට............ ඇත්තේ

පින්මදි නොමැත සෙනෙහස මගේ සිත් ගත්තේ
දන්දෙන්නට හිතයි සිත මගේ නුඹ....... මත්තේ


හංසි

සුන්දර සිතුම් අවදිව හිත......... නලවනවා
ලස්සන සිතැඟි කවි සිතුවිලි... ලියවෙනවා

ගින්දර සමග කළ සෙල්ලම්.......රිදවනවා
කැන්දන දුකද සවියක් වී ...... දිරි දෙනවා


චමින්ද

මන් අද නුබෙ කවියට සැනසි...... යනවා
ඉන්ලද සතුටට තුති පුද.............. ලනවා
ගින්දර වුවද සිතල වි.................. එනවා

සන්තොස කිවිදියට නැවතත් පුද දෙනවා


හංසි

පුන්සඳ දිලෙන රෑ තරු මල් පිපින...... රැයේ
නන්දන උයනෙ දෙව්ලියො ගී ගයන.. පැයේ
සුන්දර පැතුම් මුසුකර ඔබෙ සුමුදු .......ලයේ
ලංකර ගන්න එන්නම් යස සිහිනෙ..... මයේ


ඇලෙක්ස්

දුන්හිඳ ලඟදි හමුවී නෙත සිත ........ගත්තේ
තිස්සෙම එකම එක පැතුමකි හිත ..ඇත්තේ
බින්න බහිහින්නයි හිතුවේ ඔය .....පැත්තේ
ලංවී ගන්න ඇයි පූරුවෙ පින ......නැත්තේ?


හංසි

දුන්හිඳ ළඟදි හමුවී බහ දුන්න....... කියා
පෙම් ලොව කිරුළු හිමිවී අද තුටුව. ඔයා
ලිව් සිය දහස් ගොනුවි කවි තනුව.. වියා
බින්නෙට එන්න එක්වී කවි ලියමු මෙයා

කැළුම්

දුන්හිඳ ළඟදි නුඹ මට නම් බහා.... දුන්නා
අද අපි සතුට විඳිමින් පෙම්වත්... වෙන්නා
වෙන් වුනු දුකට ඌ නුඹ ගැන හිත මින්නා

හංසියො පාළයා දිය ඇල්ලට...... පැන්නා


හංසි

පායන කලට සඳ අහසේ කවුරුත් ලොබ......... බඳින්නේ
"පාලය" මොටද මගෙ ලෝකයෙ රජ වෙන්නට පතන්නේ
කාලය ගෙවෙයි ඔහු පසුවට වෙනතක් වත්...... බලන්නේ
ආලය හිමිය " මිය යන තුරු ඔබ මාගෙම"....... කියන්නේ


මංජුල
පිලිසිඳ ගත්ත සිතුවිලි ඔබ ලඟ....... නතර
වුහැටි මතක ඇත ලබැදියෙ හද..... නිතර
නෙත්යුඟ කෙවෙනි ආදර රුක්ෂයෙ පතර

දුන්හිඳ මතක දේ ඔබලඟ අප......... අතර


හංසි
හමු උනි දිනෙක දී මට යස....... හස රැල්ල
කියවුනි සිතැඟි නෙත් අග පෙම් කඳුලැල්ල
විඳවමි තනිව මට හිමි නැත...... අරුනැල්ල
සමුගමි පතල සුභ දුන්හිඳ.......... දිය ඇල්ල

කල්‍යාණ

දුන්හිඳ කඩා වැටුනත් හිස මත.......... ඔන්න
'පන්හිඳ' නිසා බෑ අත ඇරලා............ යන්න
එන්නට බැරිය දා දරු පැටවුන්......... දෙන්න
බින්නට නොවෙයි කැමතිද 'එකගෙයි කන්න'


කැළුම්
සුමියට හිතෙන දේවල් බලපන්......... ඔන්න
මොනවද දෙන්නෙ දෙකකට ඔයහැටි කන්න
යාහා පාලනෙ සහානත් නැතුවලු..... දෙන්න
හිතපන් ටිකක් ඉස්සර එකගෙයි....... කන්න


හංසි

ඔවදන අගෙයි සතුටින් එය......... පිළිගන්න
එනමුදු සොයුර කරුණත් මෙම.... අහගන්න
ඇති හැකි අයට වැඩ බැරි නැත... දැනගන්න
හොඳ නම් ගලද අඹරන කහ... නොතකන්න


කල්‍යාණ

රැවුම් ගෙරුම් ඉවසන එක.. දෙන්නෙකුගේ
කැවුම් කනව මෙනි වෙනසක් නෑ 'එක ගේ'
'බැළුම් බෝල' විකුණා හෝ මම..... මාගේ
කැළුම් බය නොවෙන් රකිනවමයි.... දීගේ


කැළුම්

නුඹ නම් සුපිරි වැඩ කරුවෙකි මිතුර..... මගෙ
රැකපන් පළමු බිරිඳයි දරු දෙදන.......... අගෙ
බැළුමෙන් වාසි නොමගන් එය ගොඩක් අගෙ

හදපන් ළමයි වැඩි වෙයි ජාතියත්......... මගෙ


හංසි

සුන්දර අහසෙ නෙක තරු මල් හිනැහෙනවා
කන්දක නොයෙක් දිය ගංගා.... බැස යනවා
අත්තක පිරුණු ඵල හුඟකට...... රස දෙනවා
එක්වෙමු සොඳින "එක ගේකත්" හිත්ලනවා


කල්‍යාණ
සුන්දර සොඳුරු මුත් හීතල දුරුතු.. මහේ
පොපියන නිබඳ කවි හිත ඉගිලේවි රැහේ

කවි දීගෙකට එන බව කී...... පුංචි පහේ
කවිකාරියේ ඔබ දැක මල් පිපුණි... ඉහේ


හංසි
සුන්දර දියඇලිය වතුපිටි සරුසාර ...........මෙහේ
කන්දක මිහිදුමය නෙත සිත පිනයි.......... ඔහේ
ලස්සන සිතුවිලිය කවි පද මැවෙයි........... ඉහේ
දෙන්නෙම සතුටකිය මෙහි ගමෙ මේ දුරුතු මහේ

කල්‍යාණ

පෙම්බර බදුලු පුර මා දිනු ගම...... සිරස
දුන්හිඳ දිය කොමළි හා ඇගෙ දරු. පිරිස
චන්දන සිසිල දෙන මන පිනවන.. සරස
කැන්දන හඬ ඇසේ ඔබ දැකගනු පිණිස

හංසි
සඳවති බලමු කුමටද ආවාට............ ඇගේ
එකගෙයි විඳිමු හදවතෙ සතුටක්ම... නැගේ
විඳවමු කුමට සිහිකර කරදරම.......... සගේ
නංවමු සිහල බල යුතුකම එයයි........ වගේ


කල්‍යාණ
රැස්වුන පිරිස දුන්හිඳ ලඟ... කවිය සොයා
හිස් වුනි හනික ඉර අවරින්..... විසිර ගියා
විස්සක් තිහක් ආවත් ඔබෙ.. සුවය සොයා
ඉන්නව නේද කවිහිත ලඟ අතැර නොයා

දුන්හිඳ සොඳුර මන බන්ඳන පිය ලෝලී
ඔබ සිහිවෙලා තව ලියවෙයි.. කවි පේලී
අයිතිය කියා කුලවමි නගනව.... සෝලී
ඉතින් අවසරයි මගෙ කවි....... මනමාලී

කිසිදා දැක නැති, මෙතෙක් නොදැන සිට ඒ සොඳුරු කවි සිතැත්තිය ප්‍රියන්ති හංසමාලී (හංසි) ටත්, එවන්ම වූ චමින්ද, සම්පත්, ඇලෙක්ස්, තරංග (කැළුම්) හා මංජුල යන නොදුටු කිවි සොහොයුරන්ටත් ඒ කවි හැන්දෑව වර්ණවත් කිරීමට එක්වීම ගන බොහෝමත්ම තුති. ඔබේ නිර්මාණ අනවසරයෙන් උපුටාගෙන මෙහි පල කරනුයේ ඒ සඳහා නිසි නිර්මාණාත්මක වටිනාකමක් දීමට පමණක් බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තූතිය- ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න බව මතක් කර දුන් නංගීට

කල්‍යාණ මිත්‍ර


Saturday, 17 January 2015

නියඟයට පසු.. හදවතින් ඇරයුමක්

Photo courtesy- www.google.com

කලා වැවේ ඉස්මත්තෙන් හඳ පායන ලීලා
බලා ඉන්නවා තවමත්- හිරිමල් කිරි කෝඩුවියට
ඉගිල්ලෙන්න බෑ මැණිකේ මගෙ අත්තටු සිඳිලා..//

කෝල කොමල මල් හසරැලි - ඉතින් බෝ දුරයි අද මට
තබා ගියේ මගෙ තනියට- මේ කඳුලැලි විතරයි
හිතට උරුම නැති සතුටක්- මගෙ හදවත පාරයි...

නාන තොටමුණේ නැවතී- අදත් බලනවා රහසින්
නුඹේ හිනාවෙන් හැඩවුණු- නෙළුම් කැකුළු බෝමයි
මට විතරක් නොවෙයි සොඳුරු- ගං දියටත් පාළුයි...

සමහර මතක හැමදාමත් සුන්දරයි.. ඔය උඩින් ලියල තියෙන්නේ මගේ ඒ වගේ එක මතකයක්.. 2004 වසරේ මුල් හරියෙදී වරක් පුහුණුවක් සඳහා මාස කිහිපයකට තායිලන්තයේ සතාහිප් නාවික කඳවුරට යන්න වුනා.. ඊට ටික දවසකට කලින් විවාහ ගිවිස ගත්ත මගේ ජීවිතේ විශේෂිතම වූ දවස් කීපයක් අතර තමයි ඔය කැඳවීම ලැබුණේ. ගමන යෙදිල ඉන්න අතරතුර දවසක් හදිසියේම වගේ මාව බලල යන්න ආව මගේ අතිජාත මිත්‍රයා (අර මගේ අභිනොනික්මන කෙටිකතාවට පාදක උනු නේරංජන දිය රැළි මත නිසඳැස ලියුව එකා) ජයවීර මට සින්දු කීපයක් ඇතුලත් CD එකක් දීල 'මචං ඔය කවුඩ ගේ අලුත් සිංදු ටිකක්, එහෙදි අහපන්' කියල ගියා. 

සතාහිප් යන්න කලින් බැංකොක් වලට ගොඩ බැහැපු ගමන් මං කලේ පටුනාම් මාකට් එකෙන් පෝටබල් සීඩී ප්ලේයරයක් ගත්ත එක.. මං ප්‍රියකරන ලංකාවේ ගායක ගායිකාවන්ගේ ගීත දහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු CD තිබුනත් අනිච්ඡානුකවම මගේ අතගියෙ අපෙ ආදරණීය කවුඩා නැත්නම් විශාරද සරත් පීරිස් ගේ ගීත ඇතුලත් උනු CD පටියට.. එදා සිට නැවත ලංකාවට ගොඩ බහින තුරුත් ඉන් පසු ලැබුණු හැම අවස්ථාවකමත් කී සැරයක්නම් මේ සිංදුව මං ඇහුවද කියන්න මට මතක නෑ.. යොවුන් සරසවි මානවිකාවකගේ පන්හිදෙන් මතුවෙච්චි නෑඹුල් පද රචනයත්, අපූරු නැවුම් සංගීතයත් එක්ක මුහු වෙච්චි කවදත් මට අහල පුරුදු ආදරණීය 'අපේ කවුඩා' ගේ නිරවුල්, ගැඹුරු, ලයාන්විත කටහඬත් ගීතයට අපූරු රසයක් එකතු කරනවා.. 

මේ ගීතයත් එක්ක මා මිත්‍ර ජයවීර විසින් රචිත සරත් විසින් සංගීතවත්කොට ගායනා කල පහත ගීත තුනත් ඇතුලත්ව උපරිම ගීත 6ක් හෝ 7ක් තිබුණු ඒ සීඩී පටය දැන් මා ලඟ නැතත් ඒ සංවේදනාවන් (සඳුමල්ගෙන් කොපි කළෙමි) නම් හිතේ පතුලේම තාමත් තියෙනවා.

සරත්ගෙත් මගේත් ජයවීරගේත් හිතවත්කම් බොහෝම ඈතට යනවා.. 1988 වසරේ මම බදුලු මැදි මහ විදුහලට යනකොට සරත් මගේ පන්තියේ.. ඔහුගේ පියා අපේ විදුහලේ ඒ වගේම බදුල්ල දිස්තික්කයේම ප්‍රසිද්ධ සංගීත ආචාර්ය විජේසිරි පීරිස් මහත්මයා.. පහු කාලෙක සරත් ඔහුගේ උපන් දිනයෙන් තිබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් පන්තියක් පහලට ගියත් අපි නැවත උසස්පෙළ කරන කාලෙදි එක ලඟ පන්ති දෙකකදි සෙට් වෙනවා.. ඒ 12 හා 13 ගණිත අංශ සිසුන් ලෙස.. ඒ වෙනකොට ජයවීර මගේ පන්තියට එකතු වෙලා.. උසස්පෙළ ඉවර කරපු ගමන් මම නාවික හමුදාවට බැඳෙනව..  සරත් හා ජයවීර  එයින් වසර දෙකකට පමණ පසු පේරදෙණියේ විශ්වවිද්‍යාලයේ එකම වසරක සිසුන් ලෙස නැවත එක් වෙනවා.. පුහුණුව අවසන් කරල හිටපු මම 2000-2001 කාලේ රාජකාරි නිවාඩු අතරතුර 'පේරා' හි නිළ නොලත් නේවාසිකයෙකු වෙන්නේ මේ බැඳීම් නිසා.. එහෙ මෙහෙ වෙලා හැංගිල පොත් යටට තෙරපිලා තිබ්බ කවි හිත් සංගීත හිත් එකී මෙකී නොකී 'කලා හිත්' සරසවි බිමකදී තටු ලැබිලා නිදහසේ ඉගිලෙන හැටි ගැන කියන්න මම ප්‍රබල සාක්ෂිකාරයෙක්.. ඔය සරසවි රස මතකයන් අතරත් බලසම්පන්නම එක පේරදෙණි මතකයන් කියල තමයි මටනම් හිතන්නේ.. ඒ ගැන මේක බලන බොහෝ 'පේරා' බ්ලොග්කරුවනුත් එකඟවෙයි කියල හිතනවා. කාලයත් එක්ක නොයෙක් බැඳීම්, වගකීම් හා වගවීම් නිසා අවස්ථා ගනන අඩු වුනත් අවසර කල් රහස් තැන ලද විට අපේ එකතුවේ රස නම් දශමෙකින්වත් අඩු වුනේ නෑ.. බොහෝම මෑතකදි ඒ වගේ එකතුවුණු අවස්ථාවක් තමයි 'තිලකසිත' බ්ලූක් එක දොරට වැඩුමට පෙර දින.. සරත් ගැන තිලකසිතත් ඔය පොත දොරට වැඩුමෙන් පස්සෙ දවසක කියල තියෙනව මෙහෙම.. එදින සරත් කලා වැවේ සිංදුව එතනදි කිව්වත් තාක්ශනික භ්‍රන්තයක් නිසා බොහෝ දෙනෙකුට එය රස විඳීමට නොහැකි උනා..

කාලය සමහර දේවල් හරි අපූරුවට නැවත නැවත හගිස්සවනවා.. ඊයේ රාත්‍රීයේ මා මිත්‍ර ජයවීර ඔහුට පුරුදු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්තව කොංගෝ හා උගන්ඩා යන රටවල සාම සාධක මෙහෙයුම්හි රාජකාරියක් සඳහා උගන්ඩා බලා පිටත්වී ගියා. ඔහුට සමුදීමට එහි ගිය අවස්ථාවේ නැවත අපි දෙන්නාගේ කතාවට මාතෘකාව වුනේ (හා ඊට දුරකථනය ඔස්සේ සම්භන්ද උනේ) සරත්.. ඒ විශේෂ හේතුවක් නිසා.. 

අවුරුදු 15කට වැඩි සරත්ගේ නිර්මාණ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් මේ මස 27 වනදා සනිටුහන් වෙනවා.. ඔහුගේ නිර්මාණ ඇතුලත් ප්‍රථම සංයුක්ත තැටිය 'නියඟයට පසු' නමින්  එදිනට බදුල්ල සයිමන් පීරිස් අණුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී දොරට වඩිනවා. ඉහතින් සඳහන් කර ඇති ගීත හතරත් ඇතුලත්ව එහි ඇතුලත්වන ගීත 17ම සරත් විසින් සංගීත නිර්මාණය කොට ඇති අතර ඔහුට අමතරව අමරසිරි පීරිස්නෙලු අධිකාරි ශානිකා සුමනසේකර ජයොද්‍ය සචින් යන ශිල්පී ශිල්පිනියන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යාපීඨ කලා කවයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  ගීත ගායනයෙන්ද ජයවීර බන්ඩාර, තිලකසිරි ඒකනායක, බෝගන බෝකන්ද, වසන්තා මිහිඳුකුලසූරිය, ජයන්ත ජෝතියරත්න, බී.එච්, ගුණරත්න, චන්දිමාල් ලියනආරච්චි, උත්‍රා කුමාරි සහ පද්මිණි ශ්‍රියාලතා යන ගී පද රචකයින් පද රචනයෙන්ද දායක වී තිබෙනවා.. 



දෙගොඩ තලා උතුරා යමින් කඳු වැටි සමතලා කරමින් මිනිස් ජීවිත බිලිගන්න ඒ රුදු වැස්ස බදුල්ලට ආගන්තුක නොවුනත් කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගර මෙන් නොව බදුල්ලේ ජනතාවට  කලාත්මක අගයන්ගෙන් යුත් නව නිර්මාණ නම් බොහෝ සෙයින් ආගන්තුකයි.. වෙසෙසින්ම ආදරණීය බදුලු පුත්‍රයෙකුගෙන් ලැබෙන එවන් තිලිණයක් ඊටත් වඩා නුහුරුයි නුපුරුදුයි.. ඉතින් ඒ නිර්මාණ නියගයට පසු මේ වැටෙන සරත් පීරිස් සංගීත වැහි සුයාමය සැබවින්ම එහි මුඛ්‍ය අගය තව තවත් වැඩි කරනවා.. බදුල්ල 'මහගම සේකර පරපුර' නම් නිර්මාණකරුවන්ගේ එකමුතුවේ අප්‍රතිහත ධෛර්‍යෙන් හා බොහෝ සංගීත ලැදි හිතවතුන්ගේ ආදර අනුග්‍රහයෙන් මේ මස 27 වෙනිදා සවස 6ට 'නියඟයට පසු' දොරට වඩින්න දැන් සියල්ල සූදානම්.. පේරාදෙණිය විවි යේ උප කුලපති මහැදුරු අතුල සේනාරත්න මහත්මාගේ මුලසුනෙන් හා දර්ශන රුවන් දිසානායක හා දර්ශනන වික්‍රමතුංග යන සංගීතවේදීන්ගේ සංගීත කතිකාවතින් හැඩවෙන මේ සැන්දෑවට ඔහු සමඟ සංගීත් නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, හර්ෂණ දිසානායක, ශානිකා සුමනසේකර හා අනුරාධා නන්දසිරි යන ආරාධිත ප්‍රවීණ හා නව පරපුරේ ගායක ගායිකාවන් ගීතවත් වනු ඇත.  

වැඩිය කියන්න නරකයි.. එතකොට ඕනෙම දෙයක රස අඩුවෙනවනේ.. ඔන්න බදුල්ලේ අපිට කාලෙකින් අහන්න දකින්න ලැබෙන සුපිරි සංගීත ඇත්දැකීමක් 'අපේ එකෙක්ගෙම' හදින් (හඬින් පමණක් නොව ) අහන්න දකින්න විඳින්න ලැබෙන මේ මොහොතට මමනම් කොහොමහරි එකතු වෙනවා.. එන්න පුළුවන් කමක් තියෙන හැමෝටමත් එදාට අපිත් එක්ක එකතු වෙන්න කියල හදවතින්ම ආරධනා කරනවා. තියෙන්නේ බදුල්ලෙනේ.. ඉතින් වෙලාවක් තිබුනත් ගොඩක් දෙනෙකුට එන්න වෙන්නේ නැහැනෙ.. ඒක බොරුවක් නොවෙයිනේ.. හැබැයි මේ අවස්ථාව සාර්ථක වෙන්න කියල ඔහු වෙනුවෙන් සුභ පතා ප්‍රාර්ථනා කරන්නයි කියල මට ඔබෙන් බය නැතුව ඉල්ලන්න පුළුවන්. ඒ වගේම තව එක ඉල්ලීමක් 27 වෙනිදගෙන් පස්සේ නිකුත් කරන මේ සංයුක්ත තැටියක් කොහෙන් හෝ මිලදී ගෙන ඒ සොඳුරු අත්දැකීමට පසුව හෝ සමවදින්න කියලත් කාරුණිකව ඉල්ලනවා.. එය අනිවාර්‍යෙන්ම ඔබේ ජීවිතයට මතක හිටින හඬක් හදවතක් වනවා නොඅනුමානයි.. ජය ශ්‍රී!  



ප.ලි.- විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් වෙත 'ඇක්සස්' තියෙන අපේ සොඳුරු බ්ලොග් හිතවතුන්ගෙන් මේ ගැන පොඩි 'ප්‍රමෝශන්' එකක් දීමට 'බකප්' එකක් දෙන ලෙසද ඔහු වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තූතියි කළින්ම.


Saturday, 3 January 2015

අප්පච්චී.. (අහවලා නොවෙයි) The easiest thing to forget


නැගී ඉන්නට රුකුල් දෙන
මහ පොළොවේ ලේ උරුමය ලියා දෙන
කනබොන ටික වතුර ටික ගෙනත් දෙන
දුක අමාරු ටික සඟවාගෙන
මල් පල වැල පමණක් පිටට දෙන
උඹට තව තව පූදින්න
ඉඩදී දිනෙන් දින 
පොළොවටම යටවෙන
එන්න තියන්නෙපා උඩට පේන්න
තව තවත් පහලටම තෙරපන්න
දවාලෙහි පමණක් ඇවිත් හිස පොවා යන
වැස්සට කුණාටුවට පිටුපාන
නියගෙදි උනත් හිතුමතේ පෙලන 
ඉර දිහාටම තවත් කඹුරන්න
තරහක් නම් නෑ හිතේ පුංචි දුකක් හැර
මං උඹේ සදාදර 
.
.

'මුල' 
.
.
ඕක කිව්වම දැන් ඉතින් ආයෙමත් ඔරවන්න..

- කලණ

Tuesday, 23 December 2014

ආගන්තුක ආදරය- Debutante

විසි තිස් වසරකට පෙර පාසැල් ගිය     පාරේ
දියණිය කැටුව යමි ඇගෙ පාසැල්        වාරේ
මතකය ඉදිරියට පැන හොලවා ඇස්     දාරේ
බොඳ වුනෙ නැති මතක හිත පතුලින් බේරේ


*******************************

කොණ්ඩය වවා පීරා හිස             පිටු පසට
දහසය වියැති කොල්ලෙකි විස පෙවු තුඩට
අත්කොට කමිසයට හා සුදු         කලිසමට
එහෙමට හැඩක් නැතිමුත් මහතය      උසට

සිස්සත්තෙන් පැන ඇවිත් මහ විදුහල්  මෑණී
පස් අවුරුද්දකුත් ගතවී සාපෙත්         පැමිණී
හිටියෙන් හුඟක් මිතුරන් පෙම් ලොව ඇමිණී
හිත පිස්සුවට මුත් පොඩි අඩුවක්         තිබුනී



කලකට ඉහත දුටුවිට පොඩි කෙල්ලක්ය
ලඟකදි මල් පිපී දැන් මල්       වත්තක්ය
ඉහල ගත් හුස්ම යලි පහරනු     බොරුය
මේ ඇයමදැයි අදනම් සිත     සැකයක්ය

විහිළු කර තිබූ ඇති පදමට      බාලේ
පහල පංතියේ කෙල්ලකි ඒ    කාලේ
අහල ගං හතක මල් පිපෙනා    ලීලේ
පහල උන හිතට තටු ලැබුණා  ආලේ

සිසි වන උවන ඉඟසුඟ අත් මිටින්   ගෙනා
නිසි පුළුලුකුල මන බන්දන නුවන්     පිනා
දිසි රණ ලියක් ගැන පෙර කී සැවුල්    දනා
කිසි කමකට නැතුව ඇගෙ රුව තිබේ වනා

වෙනදා නැති අමුතු කිතියක් හිතෙ      විනී
උදයෙම ගොහින් ඇය එන මග බලා   උනී
දනි පනි ගා වැටෙන හදවත බලෙන් මෙනී
උස්සං ඉන්න බෑ ආයෙත් බිමට           පනී

සුපුරුදු ලෙස පැමිණ ඇගෙ මුතු හස    පෙන්නා
ගුඩ් මෝනින් අයියේ කියලා           සිනහ උනා
සුභ පැතුමටවත් දෙන්න උත්තර නැති වෙන්නා
හුම් සද්දයක් නෑ මං එතනම                 උන්නා

ටිලිං ටිලිං බෙල් එක හඬ දෙන     නාදේ
වටිං ගොඩිං පන්සිල් නද රැව්       පිළිදේ
දොහොත් මුදුං බැඳ වැන්දත් මුණි  පාදේ
වෙනිං මොකුත් මතකයෙ නෑ කළ කීදේ

ඔහොම දවස් ගනනාවක්                  පහු කෙරුවා
බොහොම දෙනෙක් මගෙ වෙනසක් ගැන  ඇහුවා
කොහොම හරි ගොඩ යන්න විදියක් ගැන හෙව්වා
රහම රහට කවි ලියුමක් මං                        ලියුවා


මධු මල ලෙස මුදුව පිපි මගෙ නංගි         සුදෝ
හැදු වැඩු දෙමවුපිය දෙදෙනට පින් නොවෙදෝ
සිදු වන වෙනස හද කෙළෙසක       පවසමිදෝ
පිදු හදවතට පිටුපා යන් නෑ                  නේදෝ

දහිරිය අරන් පසුදා වරුවක          හවස
පස්සෙන් ගිහින් දුන්නා කියවන   විලස
හද පෙළු නුහුරු සිතුවිලි මැද ගෙවු දවස
කඩුපුල් සමන් මල් ගැන්නා රෑ      අහස

පිළිතුරු පතා සුභ නැකතින් ගොස් උදයේ
එනතුරු ඒ දසුන මග රකිමින්       සිටියේ
ඇති තුරු රිදුණු හදවත පෙම් කිටි කිටියේ
පිවිතුරු හිනාවෙන් මගෙ හිස මල් පිපියේ...

- කලණ..

Wednesday, 17 December 2014

හමුදා රස කතා Which one is better?


හැමෝම අහල තියෙන විදියට නැත්නම් ගොඩාක් දෙනෙක් හිතන විදියට හමුදා ජීවිත හරිම දරදඬු, දුෂ්කර, වෙහෙසකර එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවනම් 'මහ එපා කරපු' එකක්.. ඒක ඇත්ත බොහෝ විට, ඒ වගේම අහන්න දකින්න ලැබෙන දේ හා බොහෝ හමුදා පුද්ගලයින්ගේ ස්වාභාවයන් පිටින් නිරීක්ශණය කරාම පේන්න තියෙන්නෙත් ඒ වගේ තමයි. අපේ 'විචාරක තුමා' වගේ සරළ සුන්දර මිනිස්සු දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි මේ බොහෝ හමුදා පුද්ගලයින් තුල ඉතාමත් සැහැල්ලු විනෝදකාමියෙකුත් ඉන්නවා තමන්ට ඉතාමත් කුළුපග ඇසුරකදී එළියට එන. කල්පනා කරල බලන්න ඔබේ බොහොම හිතවත් හමුදා යාලුවෙක් ඉන්නවනම් 'සෙට්' වෙච්ච වෙලාවට ඔවුන් කොච්චර 'ෆන්' ද කියලා.. 
මගේ කෙටි කාලීන හමුදා අත්දැකීම් අනුව රාජකාරියෙන් බැහැරව ඉන්න විට මේ හමුදා පුද්ගලයින් බොහෝ විනෝදශීලියි. සෙට් වෙන්න, කයිවාරු ගහන්න, ෆන් ගන්න, සිංදු කවි කරන්න විතරක් නෙවෙයි 'මඩ ගහන්නත්' ඔවුන් එකසේ සමත්.. රාජකාරී ජීවිතේදී අත්දකින කුඩා සිදුවීමක් හෝ කිසිසේත්ම සිදු නොවූ තනිකරම හිතළුවක් වුනත් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් කරන මේ 'මඩ ගැහිල්ල' හමුදා පුද්ගලයින් අතර ඉතාම ජනප්‍රියයි.. විශේෂයෙන්ම කිවයුතු දෙයක්නම් මඩට මඩකින් පිළිතුරු දෙනවා විනා මේ හරහා කෝප ගැනීමක් හෝ යාලුකම් අත් හැරීමක් සිදු වෙන්නේ නෑ. සමාන නිළයන් අතර මෙන්ම තමන්ට වඩා ජේෂ්ඨ කනිෂ්ඨ නිළධාරීන් අතර වුවත් මෙවන් අවස්ථාවල කිසිම දුරදිග යන ගැටළු ඇතිවන්නේ නෑ.. මේ ටික මුලින් කිව්වේ කවුරුහරි හිතුවොත් ආයුධ අතේ තියෙන උන්ට විහිළු කිරීම ඇස් රතු වෙන වැඩක් නොවේදැයි කියල ඒ අදහස ඉවත් කර ගන්නයි.. තවත් ඉතාමත් වැදගත් දෙයක් මතක් කල යුතුයි. එනම් හමුදා නිළධාරීන් අතර සම්ප්‍රධායක් ලෙස මෙවන් අවස්ථාවල කථා නොවෙන මාතෘකා තුනක් තිබෙනවා.. ඒ දේශපාලනය, ආගම සහ කාන්තාවන් (බිරින්දෑ වරුන්) ගැනයි.. ගැටුමක් නොමැතිව හාස්‍යයකින් පමණක් සැනසීමට එයත් ප්‍රධාන හේතුවක්.

මේ වගේ අවස්ථාවල කියවෙන 'හමුදා රස කතා' බොහෝ ප්‍රමාණයක් තිබුනත් පිටස්තරයෙකුට මේවා රස විදින්න හැකියාව අඩුයි.. ඒකට ප්‍රධාන හේතුව තමයි මේවා බොහොමයක් හමුදා වචන හා ක්‍රමවේද පදනම් කරගෙන ගොඩ නැගුනු ඒවා නිසා ඒ පිළිබඳ අවබෝදය අඩුවීමෙන් එහි රසය උකහා ගැනීමට නොහැකි වීමයි. මිලිටරි බාවිතයෙන් බැහරව මෙවන් හාස්‍යයට බඳුන් වන එක් මාතෘකාවක් තමයි 'ඉංග්‍රීසි'.. එක්කො හැමෝටම ඉංග්‍රීසි බැරි නිසා එහෙම නැත්නම් ඔක්කොටම පුලුවන් එක්තරා ප්‍රමාණයකට නිසා මෙහිදී කවුරුවත් අපහසුතාවයට පත් වීමක්නම් වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ හරහා අපූරු විනෝදයක් නිර්මාණය කර ගන්නවා..එච්චරයි.. මේ එවන් කෙටි කතා දෙකක්..
**********************
වරක් අපේ එක් නිළධාරියෙකුට පිටරටින් ආ නැවක Liaison Officer කෙනෙක් විදියට වැඩ කරන්න සිද්ද උනාලු. රාජකාරි කටයුතු වලින් අනතුරුව හවස මේ නැවේදී අදුනගත් විදේශීය නිළදාරියෙකුත් සමග ගෝල් ෆේස් පැත්තෙ රවුමක් යන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ලෝකල් සුද්දොත් එක්ක වගේ නෙවෙයි ඇත්තම සුද්දොත් එක්ක ඉංගිරිස් කතා කරන එක පහසු නිසා (වැරදුනාට ගානක් නැති නිසා) අපේ එකත් ඉතින් දන්න වැඩ කෑලි ඔක්කොම දදා යාළු සුද්දත් එක්ක චැට.. ඔහොම යන ගමන් තිබහට කියල පොඩි හට් කඩේකට ගොඩවෙලා දෙන්න බොන්න මොනව හරි ගන්න.. සුද්ද දැක්ක ගමන් ෆැන්ටා බෝතලයක් ගත්තලු.. අපේ එකා ඉතින් මහේලයි සංගයිත් බොන නිසා කියල කූල් කොකා කෝලා එකක් අරන් දැන් දෙන්නත් එක්ක මුහුද දිහා බලන් බොනවලු. 
උගුරක් දෙකක් බීපු සුද්දා යාළුවා දිහා බලල බිබී හිටපු ෆැන්ටා බෝතලේ තිබ්බ අත මුහුද දිහාට දික් කරල කිව්වලු.. 'Fantastic' කියලා.. ආයි මොකද අපේ එකත් එම පයින්ම උගේ බෝතලේ උස්සල කිව්වලු........... "කොකෑස්ටික්"  
**********************
ගොඩාක් දෙනෙක් මාත් එක්ක එකඟ වෙයි කාලයක් තිස්සේ පවත්වාගෙන යන ඕනෙම හමුදා කඳවුරක් ලස්සනට පිඩලි අල්ලල, මල් වවල, ගහ කොල හිටවල පාරවල් කාණු ගැටි පවා පාට කරල ඉතා අලංකාරව මේන්ටේන් කරගෙන ඉන්න බවට. මෙහෙම තියෙන්න ප්‍රධාන හේතුව තමයි ජේෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ශනය හා වැඩ කිරීමට ඕනෑ තරම් අය සිටීම (හෝ බලෙන් වැඩ කිරීමට පෙළඹවීම කියන්නත් පුළුවන්) කොහොම හරි උතුරු පලාතේ ඔය වගේ නාවික හමුදා අනුඛන්ඩයක වරක් අපේ එක්තරා නිළධාරියෙකු අණ භාර නිළධාරියා විදියට වැඩ කලාලු. මෙතනත් ඉස්සරහා ඔය මන් කිව්ව වගේ ලස්සනට පිළිවෙලට හදල මල් වවල ක්‍රෝටන් ගස් හිටවල පිළිවෙලට පවවාගෙන ගිහින් තියෙනවා. ඔය අතර අයාලේ ගිය එළුවෙකුත් මෙතනට ප්ලග් වෙලා.. ඉතින් 'අණබාර නිළධාරියාගේ පූර්ණ අනුමැතිය' ඇතිව 'කොල්ලො' ටික මේ එළු නාම්බවව නාවල සුද්ද කරල කෑම්ප් එක ඇතුලෙම ලොකුමහත් කරන්න පටං අරං.. දවසක් උදේ බලනකොට එර එළු තඩිය ඉස්සරහ හිටවල තිබුන ක්‍රෝටන් ගස් ටික ඔක්කොම තැනින් තැනින් කාලා විනාස කරල දාලලු.. ඊට පහුවෙනිදා ජේෂ්ඨ නිළධාරියෙක් කඳවුරු පරීක්ශාවටත් එන්න නියමිතයිලු.. මේක දැක්ක අපේ නිළධාරියාගේ මොලේ මඥ්ඥං වෙලා දැන් මොකද කරන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නවලු.. ඔය අතරේ අණුකණ්ඩයේ ජේෂ්ඨ නැවියෙක් ඇවිත් කියනවලු 'සර් අපි මේක එච්කිවු එකට දැන්නුවොත් හොඳයි නේද කියල.. ඒ පාර මෑන්ටත් හිතිල 'ඒක තමයි හෙට ඇවිල්ල ලොක්ක මේක ගැන අහනකොට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි' කියල තීරණය කරාලු සිග්නල් එකකින් මේ බව ඉහලට දැනුං දෙන්න.. ඔක්කොටම හපන් දැන් ගහපන්කො ඉංග්‍රීසියෙන් සිග්නල්.. එළුවගේ මෑණියන් වහන්සේ මතක් කර කර ලියුවලු කෙටියෙන්ම.. ඔය සිග්නල් කොම්‍යුනිකේශන් වල තියෙනව බේසික් ප්‍රින්සිපල් එකක් ක්ලියර් ඇන්ඩ් බ්‍රීෆ් කියල.. ඉතින් ආයි මොනවද මෙන්න මැසේජ් එක.......... "මටන් ඊටන් ක්‍රෝටන්"
**************************

මේක නම් අනේ අම්මපල්ල ඇත්තම ඇත්ත එකක්.. මයෙ ඉස්සරහම මගේම බැචෙකුට වෙච්චි නිසා බය නැතුව කියන්නේ.. ඉංගිරිස් ප්‍රශ්නෙකට වැඩිය මෙතන නම් තියෙන්නේ පැනික් Panic කේස් එකක්.. ඔන්න අපි ට්‍රේනින් කාලේ.. ඔක්කොම කරන්න තියෙන්නේ රුටීන් එකකටනේ. දවසේ අන්තිම ටාස්ක් එක තමයි රෑ අටට තියෙන 'ඩියුටි ඔෆිසර් රවුන්ඩ්ස්' වලට සූදානම් වෙන එක.. හැම එකක්ම සෝදල අස් කරල සුද්ද කරල නියමිත නිළ ඇඳුම ඇඳගෙන රෙඩි වෙලා ඉන්න ඕනි.. ටොයිලට් එක පවා හෝදලා මොප් කරල තියන්නේ වතුර බිංදුවක්වත් නැති වෙන්න.. නැත්නම් ඔළුව කොමඩ් එක අස්සට දාල ප්ලශ් කරනවනේ..හි හි.. ඉතින් අපරාදේ කියන්න බෑ ඔය මොනවා කලත් වැඩක් නෑ එන ගමන්ම මොකක් හරි එකක් පුලප් pull-up කරල බැච් එක පිටින්ම රෑ දහය විතර වෙනකම් දුවවනවා.. පට්ට සනීපයි. ඔන්න ඉතින් මං කියන දවසෙත් අපි ඉතින් ලෑස්ති වෙලා බලං ඉන්නවා ඕනෙ දෙයකට.. එදා එන්න හිටිය බුවා (ඩියුටි ඔෆිසර්) ටිකක් අනිත් උන්ට වඩා වෙනස්.. හොඳට හොයල බලනවා.. ඒ වගේම මෑන්ස් අනිත් උන්ට වඩා ටිකක් ස්මාර්ට්.. හොඳට ඇඳල කරල එහෙමත් ඉන්නවා.. ඉතින් ඔන්න බුවා ආවා.. ඇවිත් මගේ ඉස්සරහ හිටිය අපේ බැච් එකේ හිටපු අහිංසකම හොඳටම වැඩත් කරන එකෙක් ගාව නැවතිලා උගේ සපත්තුවක් අපේ එකාගේ සපත්තුවක් ගාවට ලං කරල හරව හරව බලනවා.. දෙකම ගින්දර වගේ පොලිශ් කරලා දිලිසෙනවා.. තියරි එකක් තියෙනවනේ ට්‍රේනි කෙනෙක්ගේ සපත්තු අනිත් හැමෝටම වඩා හොඳට දිලිසෙන්න ඕනි කියලා.. (කොහෙද තියෙන්නේ කියලනම් අහන්න එපා.. ඒත් එහෙම එකක් තියෙනවා) ඉතින් විනාඩියක් දෙකක් ඔහොම බල බල ඉන්නකොට මං බලගෙන අපේ එකාට මූත්‍රා පිටවෙන්න වගේ ඇඹරෙනවා බයටම.. එක පාරටම ලොක්ක අඩියක් පොළොවේ ගහල අහපි 'Which one is better? is that your fucking one or my one?' හිතා ගන්න පුළුවන්ද අපේ එකා දුන්නු උත්තරේ.................... "ස..ස..සර්.. යුවර් ෆකින් වන්"
**************************

බ්ලොග් එකක් ලියන්න පටං ගත්තත් හරි මේ වගේ නසරානි කාලයක් උදා වුණේ නෑ. බලන බලන හැම තැනම වේස පාලනේ.. හැම එකාම බනිනව හැබැයි ලියන්නෙත් කියවන්නෙත් එව්වමයි.. හරියට මරා ට බැන බැන චන්දෙ දෙනව වගේ. ඔතනින් එහා ගිහින් කතා කරන්න වැදගත් හරි මිනිහෙක්ගේ හිත් ගනී කියල හරි හිතෙන මාතෘකාවක් නොතිබිච්ච නිසා මොකුත් නොලිය ඉන්න හිතුවා.. දෙසැම්බර් මාසෙන් බාගෙකටත් වැඩිය ගිහින් කලාහිත ගොලුවෙලා නිසා පොඩි සිඟිති ආතල් එකක් ගන්න මේ ටික ලියුවේ.. කට්ටියට කියවලා බැන බැන හරි යන්න බැරියැ..