*******************************
"සමන්මලී, මම මන්ඩේ ටියුස්ඩේ නැති නිසා හෙට උදේ වරුවේ ටිකක් ඔෆීස් එකට එනවා. විශේෂ වැඩක් තියෙනවනම් නෝට් ඒකක් දාල ටේබල් එක උඩින් තියල යන්න...."
"නෑ සර්, කමක් නෑ.. මම සර් එන වෙලාවට ඔෆිස් එකට එන්නම්.."
එය අසා මුවට නැගුණු මදහස සඟවා ගන්නට උත්සාහ දරන්නාක් මෙන් අසංක තැනට නොගැලපෙන තරමේ විශ්මයාර්ථයක් මුහුණින් පෙන්නුම් කලද ඊට ගැලපෙන වචන කිහිපයක් සොයා ගැනීමට අපොහොසත් වූයේ, නිකම්ම " හ්ම්.. කරදරයක් නැත්නම් විතරයි" කියා හනික සෙනසුරාදා හවස තම කාර්‍යාලයෙන් පිටවිය.
'කෙල්ල එන බව දැනගෙනම මං එහෙම ඇහුව කියල එයාට හිතුනද දන්නෙත් නෑ'. විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපස පාරේ අත් අල්ලාගෙන නිදහසේ පුරහල දෙසට ඇවිද යන තරුණ ජෝඩු වල දර්ශනයෙන් ඔහු වෙනදාට වඩා කුල්මත් වී සිටී.. 'යන්න ඕනෙ කෙන්ට් එක පැත්තෙ, හඳය මොකද දන්නෑ කරන්නේ' කාලෙකට පසු අත්විඳින මේ සමනළ සැහැල්ලුව නිකන්ම සෝදා හැරිය යුතු නැත.
හඳයා හෙවත් කොළඹ ආපසු නැවත හමුවූ මේ අතිජාත ගමේ මිත්‍රයා, 'මූට අපි හඳයා කියන බව මෙහෙ කවුරුත් දන්නේ නැතුව ඇති.. උගෙ කැම්පස් කාඩ් එකත් වෙන මොකද්ද නේ', ඔහු ගැන මෙනෙහි කරන හැම මොහොතකම නිරායාසයෙන් අසංකගේ හිතට නැගෙන සිතුවිල්ලයි. වසර හතරකට වැඩි කාලයක් රතු වැස්සීගේ හැඩකාර දඟයා, ගමටම හයිරං පාපු රතු හඳයාගේ ආඩම්බර අයිතිකාරයා වූ 'හඳයා' තම සුරතලාගේ නමින්ම තමන්ට ඇමතීම ගැන නම් එතරම් පැහැදීමකින් එකල නොසිටි බව අසංක සිහි කලේය. 'දැන්නං ඌ ඒ නමට ආසයි'.
*********************************
අසංකට වඩා දෑවුරුද්දකින් වැඩිමල් වුවද ඔහු ආශ්‍රය කිරීම ගැන ගෙදරින් අවනඩුවක් නොවූයේ දෙදෙනාම ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව කඩඉම ජයගෙන නගරයේ එකම පාසැලක අකුරු කිරීමත් කොතරම් නොසණ්ඩාල වැඩ කලද ඉගෙනීමේ කටයුතුද යහපත් මට්ටමෙන් කරගෙන ගිය නිසාත් විය යුතුය. අසංක උසස් පෙළ සඳහා වානිජ විශයය තෝරා ගත් අවුරුද්දේම හඳයා කලා අංශයෙන් සරසවි වරම් ලබා පාසැලෙන් පිටවිය. ඔහු කැම්පස් යනතුරු වසරක් හමාරක් කඩින් කඩ හමුවී පොඩි ජල්ලියක් ඇල්ලුවද ඉන් මතු දෙදෙනා අතර මහා ලොකු සම්බන්දයක් පැවැත්වීමට අවකාශ නොලැබිනි. කළමනාකරණ පීඨයේ ඉගෙන ගනිද්දීම වරලත් ගණකාධිකාරී වරයෙකු වශයෙන් සුදුසුකම් සපුරාගත් අසංක උපාධිය ලබා වසර දෙකක් ඉක්මවීමටත් ප්‍රථම විදේශ ගතවීම නිසා ඔහුගේ බොහෝ සබඳතා සීමා වුණි.
පවුලෙං ඈත්වී වසර හයක් රටවල් දෙකක ස්ථාන තුනක රාජකාරී කිරීම අසංකට එතරම් අපහසු නොවූයේ කුඩාකල පටන් ඔහු සිතූ පරිදි ඔහු හා තම පවුල අතර තිබුණු දුරස්තර භාවයයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වූ අසංකට පවුලේ විශේෂ ස්ථානයක් නොලැබුනේය. අයියා ලොකු වීම නිසාද නංගී එකම කෙල්ල වීම නිසාද මල්ලී බාලයා වීම නිසාද ඔවුනොවුන්ට හිමි විශේෂ වරප්‍රසාද බුක්ති විඳිමින් සිටියහ. සමහරවිට සෑම දෙයක්ම ඕනෑවටත් වඩා දුරට හිතන අසංක තව කරුණක් නිසා තමන් පවුලට බරක් වූවාදැයි කුහුලෙන් සිටියේය. අසංක හා අයියා අතර වයස පරතරය අවුරුදු හතරක් විය. නංගී හා බාල මල්ලී අතර එය වසර තුන හමාරකි. නමුත් ඔහු හා නැගනිය අතර වයස පරතරය යන්තම් වසරක් හා මාස තුනකි. යමක් කමක් තේරෙන වයසට ආපසු අසංක මෙය සංසංදනය කර බැලීය. ඔහුගේ නිගමනය වූයේ තමා ඉපදීමට පෙර දෙමවුපියන් ගැහැණු දරුවෙකු බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් එය ඉටු නොවුණු නිසා ඔවුන් ගැහැණු දරුවෙකු සාදා ගැනීමට ඉක්මන් වූ බවත්ය. මෙය අදටත් ඉඳ හිට අසංකගේ සිතට එන නමුත් දැන්නම් ඔහු මදහසකින් එය බැහැර කරයි. නමුත් එදවස එය එසේ පහසු නොවීය.
සාමාන්‍ය සිරුරකින් හෙබිව සිටි එතරම්ම කඩවසම් නොවූ තමා දෙස කිසිදු ගැහැණු ලමයෙකු විශේෂයෙන් ආකර්ශනය නොවේ යැයි ඔහු සිටි පූර්ව නිගමනය නිසා පාසැලේදීවත් විශ්ව විද්‍යාලයේවත් ඔහුට පෙම්වතියක් නොවීය. ඔහු හැසිරුනේද එය ඔහුගේ අභිරුචිය වූ පරිදි හෙයින් නොයෙක් හේතූන් මත ලඟින් වැඩ කටයුතු කිරීමට සිදුවූ කිසිදු ගැහැණු ලමයෙකුවත් කිසිදිනෙක ඔහු හා ඕනෑවට වැඩි භජනයකට යෑමට බිය විය.
*******************************
කෙන්ට් එකට ඇතුළුවීමට ඇති ස්ථානයේ ඇති පෙට්‍රොල් ශෙඩ් එකේ නිදහස් ස්ථානයක් බලා වාහනය ගාල් කල අසංක ඒ සෙනසුරාදා හවස් යාමයේ හඳයා පැමිනෙණ තුරු බලා සිටී.. මීට හාර පස් මාසයකට ප්‍රථමව මෙවන්ම වූ දිනයක තමා හඳයා බලාපොරොත්තුවෙන් මෙහි මෙයාකාරයෙන්ම සිටියේයැයිද අද හා ඒ දවස තුල යම් පුදුමය එළවන සුළු සමානාත්මතාවයක් ඇතැයිද ඔහුට සිතෙන්නට විය. එදා හඳයා වෙනදාට වඩා බැරෑරුම් මුහුණකින් තමා හමුවට ආ සැටිත් මදුවිත තොල ගානවට වඩා ඔහු කල්පනාවේ නිමග්නව සිටි හැටිත් තමා නිරීක්ශනය කල බවද ඒ පිළිබඳව තමා විමසීමක් කල විට ඔහු කථා කල අයුරුද ඒ අයුරින්ම ඔහුගේ මනසේ රැඳී තිබේ.
"මචං අපේ වයිෆ්ලගේ ලඟින්ම නෑයෝ වෙන පවුලක ගෑණු ළමයෙක් ඉන්නව රස්සාවක් හොයනව. බුලත්සිංහල ගම. ඕපන් යුනිවසිටියේ මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් කරා. හැබැයි කෙල්ලගෙ කඩ්ඩයි කොම්පියුටරුයි එච්චරම පොලිශ් නෑ. යන්තං තමයි ගැටගහ ගන්නෙ. දැන් වැඩ කරනව නුගේගොඩ තැනක පොඩි ක්ලාර්ක් වැඩක් රුපියල් පාලොස් දාහයි දෙන්නෙ.. කෙල්ලගෙ වියදමටවත් මදි. මාත් අලුතෙම්මනෙ මේ ඇපොයින්මන්ටෙක ගත්තෙ. ඒක නිසා මං ඉන්න තැනකට ගන්නත් බෑ. අනික ඒක හරිත් නෑනෙ බන්. මහ උනුත් හරිම අමාරුවෙන් ගැටගහගන්නේ, අපේ උන්දැත් නිතරම කියනව මොකක් හරි ටිකක් හොඳ තැනකට කෙල්ලව දාල දෙන්න කියල. මං ඉතින් මේ උඹෙන්වත් අහන් නැතුව හිටියේ අපේ කොම්පැණියටත් හපන්නෙ උඹලයේ. කඩ්ඩයි කොම්පියුටර් කොටන්ඩයි බැරුව මෙලෝ දෙයක් කරන්න බෑනේ."
"හහ් හහ් හා.. ඕකද උඹ මූණ පුළුටු කරං හිටියෙ. ලබ්බේ කොම්පියුටරුයි කඩ්ඩයි.. ඒ දවස් වල අපි කඩ්ඩෙං කෙටුවද බන්.. ඕව වැඩකට ගියාම හරියනව.. උඹ එවපන් මං ගාවට. මං කොහොමත් සෙකට්‍රි කෙනෙක් අරන් නෑ. අපි පුරුදු කරල ගමු" එහෙම නිදහසේ කතා කරේ තමන්ද නැත්නම් උගුරෙන් පහලට ගිය චන්ඩියාදැයි එකවරම අසංකට සිතා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහු වහාම වරද නිවරද කලේය. "අපි මාස හයක් විතර ට්‍රේනින් ඇග්‍රීමන්ට් එකක තියල බලමු. මං ගාවම තියා ගන්නංකෝ. එතකොට ඔය අඩුපාඩු කාටවත් පේන්නෙ නෑනෙ." එවර ඔහුට පෙරට වඩා පහසුවක් දැණිනි.
*********************************
CV of Ayesha Samanmali Herath.. සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, භාවිතා කරන්නේ හේරත් අගට. සමන්මලී කියනවට අකමැති ඇති ඒකනේ ඊ මේල් එක ayeashash87@ වෙන්නෙ. හිහ් හිහ්.. දැන් කෙල්ලො කොහොමත් පොශ් නම් වලටනෙ කැමති.. හඳයාගේ ඊමේල් එකත් එක්ක ආපු ඇටැච්මන්ට් එකේ ප්‍රින්ට් අවුට් එක අතේ තියාගෙන අසංක තනියම හිනා වුනා.. ඒත් පොශ් නම්.. එහෙම කියද්දි අසංක එක පාරම හීතල වෙලා ගියා..
Thanking you for gracing our precious occasion- Kishani & Prabath
එහෙම තමයි අසංකගෙයි කිශානිගෙයි වෙඩින් එකේ තැන්ක්යූ කාඩ් එකේ තිබ්බේ. "අයියෝ බබා අසංක කියන නම කිශානි කියන එකත් එක්ක මැච් වෙන්නෙ නෑනේ. ඉතින් ප්‍රභාත් කියන්නෙත් ඔයාගෙම නමක් නෙ.. ඇයි ඕක දැම්මම ඔච්චර ප්‍රශ්ණයක් වෙනවද?" මුලින් මේ අදහස දාපු වෙලේ අසංක තදින්ම විරුද්ද උනේ ඔහු මේ මගුලට ආරාධනය කිරීමට සිතා සිටි ඔහුගේ ආගන්තුක මිතුරන් කිසිවෙකුත් ඔහුගේ මෙම මැද නම නොදැන සිටිනා බව සක් සුදක් සේ දැන සිටි නිසයි. කුඩා කල පාසැලේ කනිශ්ඨ පන්තිබාර ගුරුතුමිය 'අසංක ප්‍රභාත් සමරනායක..අ' කියූ විට අත ඔසවා 'ඉන්නව ටීච..අ..' කියුවායින් පසු ඔහුට මතක විදියට කිසිවෙකුත් ඔහුට ප්‍රභාත් කියා අමතා නැත. එදා මෙදා තුර තම හිතවතුන්ට අසංක වූ ඔහු රාජකාරීයේදී මිස්ට අසංක හෝ මිස්ට සමරනායක විය. රට ඉන්න කාලෙදී නම් සුද්දන්ට හා සිංහල නොදත් උන්ට සෑම් විය. වෙනකක් තබා තැන්ක්යූ කාඩ් එකට ඒ නම දැමීමට අදිමදි කරන කිශානී පවා ඔහු ආමන්ත්‍රනය කලේ අසංක හෝ අසා බබා කියායි. කරුණු කාරනා කෙසේ වේවා එදින හා ඉන්පසු බොහෝ අවස්ථාවල සිදුවූ පරිදි අවසානයේ ඇගේ කැමැත්තට ඉඩදී අසංක නිහඬ විය. අසංකට මතක විදියට මේ කරුණ ගැන නැවත ඔහුට කේන්ති ගියේ දෙවරක් පමණි. තැන්ක්යූ කාඩ් බෙදන වේලාව වන විට හොඳින් මත්වී සිටි වැඩිය පයුරු පාසානමක් නොතිබූ ඔහුගේ එක් මිත්‍රයෙකු හඬ නගා 'අපි හිතුවෙ කිශානි වෙන එකෙක්ව බැඳල අසංකයත් එක්ක පැනල යනව කියල, මේකෙ අසංකයගෙ නම නෑනෙ' කියනවිට කිශානී ඇඹරෙනවා දැක හා කිශානීට මේ යෝජනාව කර තිබුනේ ඇගේ රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය බව දැනගත් අවස්ථාවේ පමණි. තිස්තුන් හැවිරිදි වියෙහිවූ වරලත් ගණකාධිකාරී අසංක විදේශ ගතව පැමිණීමෙන් අනතුරුව ලංකාවේ ප්‍රමුඛ පෙලේ වාහන ආනයනය කර බෙදා හරින සමාගමක අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා ලෙස පත්වීමක් ලැබුණි. ඔහු පිටරට සේවයේ යෙදී සිටියදී ජපානයේ මුල්පෙළේ වාහන නිශ්පාදන සමාගමක් හා ගණකාධීකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම මේ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකමක් විය. කවදත් වෘත්තීය ජීවිතයේදී කෙළින් හා උවමනාවෙන් වැඩ කල අසංකට ටික දිනකින්ම විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලයක් ගොඩ නගා ගැනීමට හැකිවීම නිසා රැකියා ස්ථානයේ වගකීම් මැද වුවත් සැහැල්ලුවෙන් සිටීමට හැකි විය. ඔහු කියවීමට යොමුවිය. නිදහස් අවස්තාවලදී සිතට දැනෙන දේ කවිකර ලිවීමටද ඔහු පුරුදු විය. අසංක බ්ලොග් එකක් ලිවීමට පටං ගත්තේය. හිතට දැනෙන සිතුවිලි නිදහසේ අකුරු කල ඔහු බ්ලොග් අවකාශයේ මිතුරන් අතර ජනප්‍රිය අයෙක් විය. එහෙත් වෘත්තීය ජීවිතය තුල ඔහු කාර්ය බහුල පුද්ගලයෙකු වියයුතුයැයි හංවඩු ගසා තිබීම නිසා ඔහු අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින් තම අනන්‍යතාවය රැක ගැනීමට අසීරු උත්සාහයක්ද දැරීය. එහෙත් මෑතක හඳයා නැවත හමුවනතුරු අසංකට කොළඹ යාලුවන් සිටියේ නැත. ගෙදර නොගිය සති අන්තයක වෙන්ඩ්ට් එකේ තනිවම නට්‍යයක් බැලීමටත් එසේ නැතිනම් විහාරමහාදේවී උද්‍යානයේ සිඟිති උයනේ සෙල්ලම් කරන පොඩි උන් දෙස ඔහේ බලා සිටීමටත් හැර වෙනත් විශේෂ රාජාකාරීයක් ඔහුට නොවීය. ඉඳහිට මත් පැන් පානය කරත් තනිවම ගොස් බීමටවත් ගෙදර තබාගෙන බීමටවත් ඔහුට හුරු නොවීය.
රාජකාරී අවශ්‍යතාවයන් මත වසරකට කිහිප වරක් විදේශ ගත වීමට සිදුවූ අසංකට ලෝක වෙළඳ මධ්‍යස්තානයේ ගුවන් ටිකට් පත් නිකුත් කරන කාර්යාලයේ සිටි විසිපස් හැවිරිදි සුන්දර තරුණියක වූ කිශානී මුණ ගැසෙන්නේ ඔය අතරය.. මුලින් මුලින් සර් යැයි ආමන්ත්‍රනය කල ඇය තවදුරටත් යනවිට නිකම්ම අසංක යැයි කියා ඇමතීමට පටං ගත් හෙයින් අසංකද ඇය දෙස විශේෂයෙන් බැලීය. ටික දිනක් ඇසුරු කිරීමෙන් පසු ඇය අවිවාහක බවත් පෙම්වතකු නොමැති බවත් ගෙදරින් විවාහ වීමට බල කරන බවත් දැනගත් අසංක එක් සාමාන්‍ය වැඩ කරන දිනෙක දුරකථන ඇමතුමක් දී ඇගෙන් විශේෂ යමක් ඇසුවේය. එදින සිට ඇයට ඔහු 'අසා බබා' විය.
විවාහයේදීනම් ඔහුට එතරම් බරක් දැරීමට සිදු නොවීය. සරල සැහැල්ලු පුද්ගලයෙකු වූ කිශානී ගේ පියා ඔහුගේ වුවමනාවට වඩා සිය බිරිඳගේ හා දියනියගේ වුවමනා එපාකම් වලට අත දිගහැර වියදම් කර නට්ටං විය. විවාහයට දින දෙකකට පෙර කටාර් සිට සිය පිලිපීන ජාතික බිරිඳ සමග පැමිණි කිශානීගේ සොහොයුරාට අසංකව වත් අසංකට ඔහුවවත් එතරම් දිරෙව්වේනම් නැත. මුවින් නොබැන සියල්ල ඉවසූ අසංකට තැක්යූ කාඩ් සිද්දියෙං පසු විවාහය ගැන තිබූ අප්‍රසන්නම මතකය වන්නේ මදු සමය ගත කරනවා වෙනුවට දින දෙකක් තුල ලංකාවෙන් බාගයකට වඩා දුර ඇවිද්ද, අයියා වෙනුවෙං කිශානීගේ උවමනාවට සංවිදානය කල විනෝද චාරිකාවයි. අසංකත් කිශානීගේ පියාත් හැර අන් අයනම් එම චාරිකාවෙන් විනෝද වූ බවක් දක්නට තිබිනි. අසංක වඩාත් කම්පාවට පත්වූයේ ඔහු වඩාත්ම කැමැත්තෙන් බාරගත් මංගල තෑග්ග වූ තම කාර්‍යමණ්ඩලයෙන් ඔහුට අනුග්‍රහය දැක්වූ නුවර 'ට්‍රී ඔෆ් ලයිෆ්' හෝටලයේ දින දෙකක පැකේජය එක් දිනක ඝෝෂාකාරී දහවල් ආහාරයකින් පමණක් නිමා කිරීමට සිදු වීම නිසයි.
*****************************
ට්‍රේනින් ඇග්‍රිමන්ට් එකක් නිසා මානව සම්පත් කළමණාකාරවරයා විසින් වැඩි කරදර කිරීමකින් තොරව සමන්මලීව අසංක වෙත එවා තිබිණි. ඇය මානව සම්පත් අංශයෙන් නික්ම කාර්යාල කාර්ය සහායකු සමග විගණන අංශයට පැමිණීමට ප්‍රථම තම හිතවතෙකු වූ මානව සම්පත් කළමණාකාරවරයාගෙන් අසංකට ඇමතුමක් ලැබුණි. "මිස්ට සමරනායක, අයි ඩෝන්ට් තින්ක් ශී විල් සූට් යූ ඈස් අ සෙකට්‍රි.. නීඩ් ලොට් ඔෆ් ඉම්පෲමන්ට්ස්.. බට් ශී ඉස් ක්වයිට් ඉනසන්ට්.."
"ඔන්ලි ඉනසන්ට් ඉට්සෙල්ෆ් වුඩ් නොට් හෙල්ප් නො ජයේ. බට් ලෙට්ස් සී" බොරු අහංකාරකමක් මවාපෙන්නමින් අසංක හිනා වුවද ඇය මොන තත්ත්වයේ සිටියද ප්‍රතික්ශේප නොකිරීමට ඔහු ඉටා ගෙන තිබුනි. එය තම මිතුරු හඳයාට පිටු නොපෑමට ගත් තීරණයක්ද එතනින් එහා ගිය තීරණයක්ද.. අසංක වැඩි දුර සිතීම පසුවට කල් තැබුවේය.
ටිනිනිනික්... ටිනිනිනික්..//
සියුම් හඬක් දෙමින් වයිබ්‍රේට් වන ජංගම දුරකථනය මොහොතකට අසංකට බාදා කලේය. ගෙදර ලෑන්ඩ් ලයින් එක.. අසංක මොහොතකට සැලී ගියේ ඇඟ මද රස්නයක් තියෙද්දී අම්මා අතට දී ආ පුතා ගැන එතෙක් විමසීමක් කිරීමට නොහැකි වූ බැවිනි.
"ආ.. අසංක පුතා.. අම්ම කිව්ව කියන්න කියල එන ගමං ග්‍රයිප් වෝට එකක් ගේන්න කියල.. තව මොනවද වගයක් කිව්ව මට මතකත් නෑ.. කෝකටත් එනකොට මගදි කෝල් එකක් දෙන්න" කිශානී ගේ පියාගේ සැහැල්ලු කටහඬ ඇහෙද්දි අසංකටත් සැහැල්ලුවක් දැනුන.
"පුතාට කොහොමද තාත්තෙ? උණ ගතිය අඩුද? හා මං ගේන්නම්.. කිශානි කතා කරාද? මට මේ ටිකක් බිසී වෙලා කෝල් එකක් ගන්නවත්..."
"ආ..ඔව්..එයානම් අදත් රෑ වෙනවලු. කොලු පැටියට නම් දෙයියන්ගේ පිහිටයි. ඒත් බඩ ටිකක් බුරුලට ගියා. ග්‍රයිප් වෝට එකක් බැලුව. ඔහෙ නෑ"
"හා මං ටිකක් කලිං එන්නම්කො. එනකොට කෝල් එකක් දෙන්නං.."
"හොඳයි..මං තියනව.."
අසංකට මුලින් මුකුත්ම විශේෂ හැඟීමක් ඇතිවුනේ නෑ.. ඒත් එක්කම 'කොල්ලට සනීපයිනං බුදු සරණයි'.. ඔහුගේ හිත සැහැල්ලු වෙලා ගියා.
"යස්, හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, කම් ඉන්.."
අසංකගේ නොසිතූ ආමන්ත්‍රණයෙන් ඇයත් ඇය සමග සිටි සුළු සේවකාත් ගැස්සී ගිය බවක් පෙණුනා.. ඒ සමගම එය 'ඔවු මං එයාව හොඳට දන්නවා.. ඒක නිසා ඔයාගෙං වැඩක් නෑ' වගේ ආමන්ත්‍රණයක්ද වූ නිසා පෙරට වඩා වැඩි ගරු සරු බැල්මකින් ඇය දෙස බැලූ සුළු සේවකයා දත් දෙකක් විරිත්තා ඇගෙන් සමුගත්තා. බිය වූ මුහුණෙන්ම පහත්වන නලලත ඇස් ගෙඩි දෙකෙන් ඔසවා තබා ගන්නට වෑයම් කරමින් ඇය කාමරය තුලට පැමිණ අසංකගේ ඉදිරිපස සිට ගත්තා. ඇය ලස්සනයි කියන්නද.. අහිංසකයි කියන්නද.. අසංක මොහොතක් ඇය දෙස බලා සිටියා.. හ්ම්ම්.. දම්පාට පසුබිමේ සුදු මල් වැටිච්ච චාම් ඔසරිය. තද වෙන්ඩ පීරා පිට මැදට වෙන්නට ගොතා තිබූ දිගත් නැති කෙටිත් නැති කොණ්ඩය.. නුපුරුදු ලෙස යන්තමින් රෝස පාට උලා තිබූ සිහින් දෙතොල්පට.. මුව ඇස්.. මං මොනවද මේ බලන්නේ.. ඇය කොහොම ඇඳල හිටියත් මට මොකද.. අසංක පියවි සිහියට එළඹුණා.. ඒත් ඔහුට වචනයක් නම් හම්බුනේ නෑ කතා කරන්න.
"සමන්මලී අද වැඩට එන බව ප්‍රදීප් අයියලා දන්නවද?" ඔහු ලේසිම තැනෙකින් කතාව පටන් ගත්තා.. හ්ම්.. ප්‍රදීප්.. ජීවිතෙ පළවෙනි වතාවටද මං දන්නෑ හඳයට ප්‍රදීප් කිව්වෙ.. අසංකට හිනා ගිය..
අහපු ප්‍රශ්ණයත් එය ඇසූ කාරුණික විලාශයත් ඉන් අනතුරුව නැගූ මන්දස්මිතයත් නිසා ඇය බොහෝ සෙයින් සංසුන් වූවා..
"ඔව් සර්.. මං ඊයේ එහේ ගිහින් අයියටයි අක්කටයි කතා කරල ආවේ.."
අසංක තවත් යමක් කියන්න කලිං සිය හෑන්ඩ් බෑග් එකට අත දමා බුලත් අතක් ගත් ඇය මේසය වටේ ගොස් එය අසංකගේ අතට දී දණ ගසා වැන්දා.. සිහිනයෙන් මෙන් හිඳ සිටි පුටුවෙන් නැගිට්ට අසංකට කොපමණ වෙලා තමන් සිටි ඉරියව්වෙන්ම සිටියාදැයි මතකයක් නෑ. කෙසේ හෝ ඇය නැවත හැරී මුල් තැනට ගොස් හෑන්ඩ් බෑග් එක දා ගන්නවා දුටු නිසා "බොහොම හොඳයි. ඔය සීට් එක ඇරේන්ජ් කරල තියෙන්නෙ ඔයාට.. ටිකක් රිලැක්ස් කරන්න..මං චුට්ටක් එළියට යනවා." කියමින් වහා තම කාමරයෙන් පිට වුනා.
කිසිම දිනෙක රාජකාරී කටයුත්තකට හැර කාර්යාල පරීශ්‍රයේ නිකං ඇවිද නැති අසංක ජීවිතෙ පළමු වරට තම සේවා ස්ථානය තුලම යන එන මං නැත්තෙක් උනා. කරන්නට පහසුම දෙය ලෙස ඔහු ඇඟිලි සටහන් යන්ත්‍රයේ ඇඟිල්ල ඔබා ආරක්ශක අංශයෙන් යතුර ගෙන ගොස් වාහනයේ නැගී කාර්‍යාලයෙන් පිටතට වාහනය පැදවූවා.
ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට වුනා. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත.
කතාව තව ඉවර නෑ.. ඊළඟ කොටසෙන් හමුවෙමු.
Photo courtesy: www.google.com
හනිමුං එකට කරපු වැඩේනං කැතයි අෑ....ෙහක් ෙහක්..
ReplyDeleteහරි හරි ඊ ලග ෙකාටසත් ඉක්මනට දාමුෙකා්...
ජ ය ෙව් වා !!!
උඹ හරි මචං අසංකගෙ හනිමූන් එකට උනු දේම තමයි ලයිෆ් එකටත් වෙලා තියෙන්නේ.. කාටවත් කියන්න එපා.. උඹට විතරක් කියන්නම්.. ඇත්තටම මං හිතුවේ මේකේ ඉතුරු කොටස දානකං එකෙකුටවත් තේරෙන එකක් නෑ කියල.. හෙක් හෙක්.. හෙට දානව.. ජය ශ්‍රී!
Deleteපැණි හඳ කන්න බැරි උන හාවා වගේ අහිංසක කොල්ලෙක්ද කොහෙද මේ අසංක. පවු :)
Deleteප්‍රියා.. පැණි හඳ කන්න බැරි වුන එකට ඌට දුකයි තමයි.. ඒත් වැරදිල ගත්ත එක තීරණයක් නිසා ජීවිතේම අමාවකක් උනොත්.. මේ අසංකගේ හොල්මං උඹල අපි ඔක්කොම ලඟ ඉන්නව..ඊලඟ කොටසත් දැම්මම නිවීහැනහිල්ලේ කියවල බලපං.. ජය ශ්‍රී!
Deleteඅසංකයා විතරක්ය අර බුලත් අතේ සීන් එක කියවලා මාත් උඩ ගියා. සමන්මලී මරු දැරිවියක්නෙ.
ReplyDeleteබලමුකො ඉතිරි කොටසත්. මේක මෙගාවක් නෙමේ නේ?
මං හිතුවෙම විටක් කන්න හදනවා කියලා.. හැක් හැක්
Deleteආ අමතක උනා. අසංක ලියන බ්ලොගේ ලිංක් එක දියන්කො.! :D :D
ReplyDeleteමෙගාවක් නෙවෙයි..තනි කොටසින් දාන්න හිටියෙ..ටිකක් විතර දිග නිසා දෙකට කැඩුව.. ඊලඟ කෑල්ල (අන්තිම ) තවත් රසවත්.. ඒකෙම දාන්නං බ්ලොගේ විස්තරෙත්..
Deleteඋඹ ආයෙ මඟුලක් ඉල්ලනවා. යකෝ ඒ ලින්ක් එකේ තමයි මේ ඉන්නෙ!!
Deleteනැහැ නේද? ඔන්න නියම ලින්ක් එක දෙවෙනි කොටසෙදී පොරොන්දු වූ පරිදිම දුන්නා..
Deleteම්ම්... අමුතු අමුතු ජීවිත !! ලියමුකො බලන්න අනෙක් ටිකත්. //රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය// හෙහ් හෙහ්..... :D
ReplyDelete\\ම්ම්... අමුතු අමුතු ජීවිත !!..\\ චන්දන මගේ උවමනාව තේරුම් ගත්ත කියන්න පුලුවන් කොමෙන්ට් එකෙන්ම.. චන්දනට කියන්න.. මට ඔය පාං පිටි වලින් එම්බාම් කරා වගේ ඉන්න බියුටි කචල් ගෑනු දැක්කම වස අප්පිරියයි.. හිහ්..
Deleteමටත් එහෙමමයි...
Deleteඅඩෝ කලපලුවාවේ පලවෙනි පටුමගේ කොහෙද බොල අසංකයෙක් , ඉන්නවනම් මම දකින්න එපැයි. :P
ReplyDeleteමේ මචෝ සමරනායක පහලට එද්දී සමරසිංහ වෙලා තිබ්බා ,එක හදපන් . කතාව ගලාගෙන යනවා අපූරුවට , අනික් කොටස බලනකං කමෙන්ට් කරන්නේ නෑ ..ඕ යේස්
අප්පට ඇත්ත නේන්නං.. මට නෙවෙයි වැරදිල තියෙන්නෙ ට.. හිහ්..ඔක්කොටම කලින් ගිහින් ඒක හදල ආව.. ඒ කියන්නෙ උඹ මේක හරිම උනන්දුවෙන් කියෝල තියෙනව.. මට ඒකම ඇති.. උඹට කියන්න මචං මේකෙ ඊලඟ නැත්නං අන්තිම කොටස දානකම් මාත් මේ ගැන කොමෙන්ට් කරන්නේ නෑ.. ඕ යේස්..
Deleteහ්ම්.............මානුෂික ගති පැවතුම් ගැන හොඳ විග්‍රහයක ආරම්භයක් බව පෙනෙනවා. හොඳයි ඉදිරියට යමු. අපේ සිතුවිලි අපිව රූකඩ බවට පත්කරන අවස්ථා එමටයි. මටනම් කීපවතාවක් වෙලා තියෙන්නේ ගෙදරට හැරෙන හන්දිය පහුකරගෙන කාරෙක තවත් කිලෝමීටරයක් විතර ගියාම සිහිය යථා තත්වයට ඒම පමණයි.
ReplyDeleteමට හිතෙන විදියට මිනිහෙක් හිතන විදියෙත් ක්‍රියා කරන විදියෙත් තියෙන නොගැලපීම් මත තමයි ජීවිත කතා ගොඩ නැගෙන්නෙ.. මේ නොගැලපීම නිසා උඩුහිත හා යටිහිත අතර නිරන්තර අරගලයක් කරන්න මිනිහෙකුට වෙනව.. මේකෙ ඉතුරු කොටස අවසානයේදී මං මේ කියපු දෙය වඩාත් නිර්මාණාශීලීව ඉදිරිපත් වේවි කියල හිතනව.. ස්තූතියි ඔබතුමාට මෙය උනන්දුවෙන් කියවනවට..
Delete"අසා බබා" ට මොකද වුනේ එතකොට?
ReplyDeleteටිකක් වත් තමන් හොයන්නෙ මොකක්ද කියල දැනං හිටියෙ නැද්ද?
හිතන්න කම්මැලි වුණාම ගෙවන්න වෙන වන්දිය වැඩියි නේද හැඟීමකට වහල් වෙලා ගෙවන්න වෙන වන්දියට වඩා?
\\ ටිකක් වත් තමන් හොයන්නෙ මොකක්ද කියල දැනං හිටියෙ නැද්ද?\\ තිස්ස මහත්මය.. මං විචාරක තුමාගේ කොමෙන්ට් එකට රිප්ලයි එක ලියල එනකොට ඔබේ කොමෙන්ටුව දැක්කේ. මට හිතෙනව අපරාදේ උඩ කොමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට මේකම දාන්න තිබ්බ කියල.. අපෙන් ඉල්ලන්නෙ මොකක්ද අපි දෙන්නෙ මොකක්ද.. මෙතන තමයි ගැටුම.. ඉතුරු ටිකත් කියවන්න.. ස්තූතියි..
Delete"අපෙන් ඉල්ලන්නෙ මොකක්ද අපි දෙන්නෙ මොකක්ද.. මෙතන තමයි ගැටුම" - සුපිරි!
Deleteකියන්නට එපා මෙය මට ඔබේ කතාවමයි කියා.....
ReplyDeleteඅනේ මංද, නිකමට වගේ හිතෙන්නෙම එහෙමයි. ඉක්මනට දාමු ඊළඟ කොටස. කතාවනම් අපූරුයි.
ස්තූතියි සඳුමල්.. මෙය ඵලය නිසා හටගත් හේතුවක්.. අනේ.. මගේ කතාවනම් නෙවෙයි.. වැඩි විස්තර දෙවෙනි කොටසට.. ජය ශ්‍රී!
Deleteනියමයි !
ReplyDeleteබොහෝම ස්තූතියි..
Deleteමම මේ බැලුවේ මේක ලියලා තියෙන්නේ බ්ලොග් එකට ටටා බායි කියලා ගියපු කාමියා මද කියලා. කතාව අපූරුවට ගලාගෙන යනවා. දෙවැනි කොටස එනතුරු බලාසිටිමි. ජයවේවා !!!
ReplyDelete:))))))
Deleteෂා..!! කමිය.. ඔයාද මේක ලිව්වෙ ආ..!! (මේ උබේ ආදර කතාවද?) මේක කියවද්දි මගේ එහා පැත්තෙ වැඩ කරන සුද්දිව මතක් වෙනව බං. රෝස පාට සාරියක් ඇඳල පිච්ච මල් දෙකක් කනේ ගහගල උදේ පාන්දරම වැඩට ඇවිත් ගුඩ් මෝනින් ටික්කා කියනකොට නිකං මොනාද වගේ අප්පා.... හීනෙන්... 😍..
ReplyDeleteලියුවේ නම් මන් තමයි බං.. ඒත් මගේ කතාවක් නෙවෙයි.. හිටාන්කෝ අද දෙවෙනි කොටස දාන්න.. එතකොට තේරෙයි.. :)
Deletemage sinhala natuwa gihin ban
ReplyDeletechrome වල ලෙඩක් බන්, uninstall කරලා ආයෙම දා ගනින්.. එතකොට හරියයි..
Delete