Wednesday 13 October 2021

උතුරුමැද නිහඬ මාරයාට එරෙහිව නාවික හමුදාවේ නිහඬ ක්‍රියාන්විතය Navy’s peacetime war against insidious killer

හිටපු නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න (විශ්‍රාමික) විසින් ලියන ලද 2020 අගෝස්තු මස 6 වන දින The Island ඉංග්‍රීසි පුවත් පතෙහි පලවූ Navy’s peacetime war against insidious killer නමැති ලිපිය. සුමිත් කළනසිරි විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

***************************************************************************



නාවික හමුදාව විසින් නිෂ්පාදනය කොට ස්ථාපනය කරන ලද ප්‍රති-ආශෘති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත්කිරීම 

වසර හතළිහකට ආසන්න මාගේ හමුදා ජීවිතය තුල හමුදා නිලධාරියෙකු ලෙස දැරිය හැකි ඉහළම තනතුර දක්වා ගමන් කල මාගෙන් යමෙකු 'ඔබ වඩාත්ම කැමැත්තෙන් ඉසිලූ ජේෂ්ඨ තනතුර කුමක්දැ'යි විමසුවහොත් නොපැකිලව මා ලබා දෙන පිළිතුර වනුයේ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුර යන්නයි. එය නාවික හමුදාවේ දෙවන ඉහළම තනතුර වන අතර නාවික හමුදාපතිවරයාට හිමිවන තරමේම වාගේ වරප්‍රසාද රැසක් හිමි නමුත් වගකීම අතින් ඊට වඩා පහසු රාජකාරියකි. මන්ද එය එතුවක් කල් අප කරගෙන ආ නාවික රාජකාරිවලම දිගුවක් වන අතර සේනාධිනායකයාට හෝ ආරක්ෂක අමාත්‍යවරයාට, ලේකම් වරයාට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට ඉඳුරාම වගවීමක් නැත. එසේම දෛනික ආරක්ෂක කවුන්සිල රැස්වීම් හා හමුවීම් නැත. හමුදාපති වරයාගේ අනුදැනුම මත රටපුරා ඇති නාවික විධාන, ආයතන, නෞකා හා අනුකණ්ඩ වල සැරිසරමින් නාවික හමුදාව බිම් මට්ටමේ පාලනය කිරීම මාණ්ඩලික ප්‍රධානියාගේ ප්‍රධාන වගකීම වේ. මෙය එතෙක් අප සිදුකල රාජකාරියේම දිගුවක් විමත් පිඩනයකින් තොරව තමන්ගේම කාලසටහනකට අනුව රාජකාරි කිරීමට හැකිවීමත් නිසා මාණ්ඩලික ප්‍රධානි තනතුර මා තෘප්තිමත්වම කැමැත්තෙන්ම ඉසිලූ තනතුර ලෙස හඳුන්වා දිය හැක. 

අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහු යටතේ වසරකට වැඩි කලක් මා මාණ්ඩලික ප්‍රධානි තනතුර දැරුවෙමි. ස්වකැමැත්තෙන් මා උතුරු හා නැගෙනහිර නාවික විධාන වල වැඩි වැඩියෙන් සැරිසරමින් එම කටයුතු සොයා බැලීම පිළිබඳව ඔහු මා ගැන බොහෝ පැහැදී සිටියේය. 

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රාජකාරි කල සමයේ මා හැකි සෑම විටම අපේ නැවියන්ගේ හා නිළධාරීන්ගේ පවුල් වල ළඟම ඤාතීන්ගේ අවමඟුල් වලට සුළු වේලාවකට හෝ සහබාගිවීමට කටයුතු කළෙමි. විශේෂයෙන්ම නාවික හමුදාවට ඉතා විශාල වශයෙන් නැවියන් ලෙස එකතුවන පිරිසක් වෙසෙන උතුරු මැද පළාතේ මළගෙවල් බොහොමයකදී මා අත්දුටු සත්‍යයක් වුයේ ඔවුන් බොහෝ දෙනෙක් මියයන්නේ වකුගඩු ආශ්‍රිත ආබාධ හේතුවෙන් බවයි. ජිවත්වන්නවුන්ද බොහෝ දෙනා වකුගඩු ආශ්‍රිත රෝග වලින් පිඩා විඳිමින් ජිවත් වූවෝය. මිය ගිය බොහෝ දෙනා ආසන්න වශයෙන් වයස අවුරුදු පනස්‌ ගණන්වල වූ මැදිවියේ දෙමවුපියෝ වූහ.  වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD)  ලෙස හඳුන්වන දිගුකල් පවතින වකුගඩු ආබාධ හේතුවෙන් ඔවුහු තම තරුණ හා කුඩා දුවා දරුවන්ගේ වගකීම් එලෙසම මේ මිහිමත ඉතුරු කොට තබා ජිවිත කාලය තුල සැපක් සතුට නොලබාම අප හැර ගොස් සිටියහ. මේ බොහෝ මරණ, හෝ ඊටත් වඩා ඒ හේතුවෙන් දුක් විඳින ඔවුන්ගේ සමීප ඤාතීන් නිතර දැකීම මට මහත් කම්පාවක්ම විය. 

දිගුකාලින වකුගඩු රෝග වලට බලපෑ ආසන්නම හේතුව ඔවුන් අහාර පිසීමට හා බිමට භාවිත කල බැරලෝහ ඇතුළු වෙනත් රසායනික ද්‍රව්‍ය ආසාධිත ජලය වේ. ප්‍රමාණය ඉක්මවා භාවිතා කරනු ලබන පොහොර හා කෘමි නාශක රසායන ද්‍රව්‍ය පානිය ජාල මුලාශ්‍ර වලට එකතු වීම හා භූගත ජල මුලාශ්‍ර වැව් ජලය සමඟ මිශ්‍ර වීම ආදී තාර්කික කරුණු කොතරම් ඉදිරිපත් වුවද මගේ මතය නම් මේ පිලිබඳ සැබෑම හේතුව අපි තවම නිට්ටාවටම සොයාගෙන නැතිබවයි. ඒවා අපි ඒ අදාළ ක්ෂේත්‍ර වල විද්වතුන්ට බාර කරමු. 

වසර 2015දී අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් හා කල සොයා බැලීමකදී දැනගත් පරිදි ඒ වනවිට උතුරු මැද පළාතේ හඳුනාගත් CKD රෝගීන් 30500කට වැඩි ප්‍රමාණයක් වාර්ථා වී සිටි අතර එම සංඛ්‍යා දිනෙන් දින ඉහල යමින් තිබුණි. මේ සියලු රෝගීන් නිතිපතා Dialysis හෙවත් සායනිකව රුධිර පිරිසිදුකිරීමේ අධික වියදම් සහ අවධානමක් සහිත ප්‍රතිකාර ක්‍රම වලට ලක් කර යුතුව තිබේ. මේ රෝගය අවම කිරිමේ එකම ප්‍රායෝගික විසඳුම නම් මේ CKD බලපෑම අධික ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට පානිය හා ආහාර පිසීම සඳහා පිරිසිදු ජලය ලබාගත හැකි මාර්ගයක් සැකසීමයි.  

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මා මේ පිළිබඳව එවකට නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සමඟ සාකච්චා කල අතර ඔහුගේ අනුදැනුම මත මා විසින් එවකට උතුරු මද නාවික විධානයේ විධාන ඉංජිනේරු නිළදාරී ලෙස කටයුතු කල කමාන්ඩර් (ඉංජිනේරු) එම්.සී.පී දිසානායක (දිසා) ට අඩු වියදම් ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුවෙමි. කාර්යශුර නිලධාරියෙකු වූ දිසා යුධ සමයේ ඔහු විසින් නායකත්වය දෙනු ලැබූ පර්යේෂණ හා නව නිපැයුම් කණ්ඩායම නිසා ඒ පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලුවේය. ඔහුගේ ප්‍රතිචාරය වුයේ එතෙක් බොහෝ කලක් නාවික හමුදාව සිය ප්‍රධාන නෞකා වල ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කල එතෙර නිෂ්පාදිත RO Plant (Reverse Osmosis water purification plant) එකක් අඩු වියදමකින් නාවික හමුදා ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් මෙරටදී නිෂ්පාදනය කරමු යන්නයි. දශක ගණනාවක් පුරා මෙම නෞකාවල ආනයනික RO Plant අලුත් වැඩියා කිරීමෙන් ඔවුහු ඒ පිලිබඳ මනා දැනුමකින් හා පළපුරුද්දකින් සන්නද්ධව සිටියහ.  

එවකට පැවතී මිල අනුව දෛනිකව ජල ලීටර් 10,000ක් පිරිසිදු කළහැකි ප්‍රමාණයේ එක ආනයනික RO Plant එකක් රුපියල් මිලියන 3.8 (ලක්ෂ 38ක්) පමණ විය. ගෙනත් සවිකිරීමේදී එහි මිල ලක්ෂ 50 ඉක්මවා ගියේය. ඒ හා සමානම හොඳ තත්වයේ වූ RO Plant එකක් නිෂ්පාදනය කිරීම සඳහා දිසා ගේ ඇස්තමේන්තුව වුයේ රුපියල් ලක්ෂ නවය හමාරකි. අවශ්‍ය තැනට ගෙනගොස් සවිකිරීම සඳහා මුළු ඇස්තමේන්තුව ලක්ෂ 14 කි. 

ඉන් අනතුරුව එළබි ප්‍රධාන අභියෝගය වුයේ මේ සඳහා ප්‍රතිපාදන සොයාගැනීමයි. මෙහිදී ඉදිරිපත් වූ සියළුම නාවික හමුදා නිළධාරීන් සහ නැවියන් ස්වකැමැත්තෙන් සිය  මාසික වැටුපෙන් රු. 30/- ක මුදලක් මාස්පතා 'සමාජ වගකීම් අරමුදල' වෙත බැරකිරීමට ඉදිරිපත්වීම පැසසුම් කටයුතුවේ. එවකට 55000ක් පමණ වූ නාවික හමුදා සාමාජිකයන්ගේ මෙම අරමුදල මසකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 16.5ක් පමණ වූ හෙයින් අපට ඒ මුදල් යොදවා සෑම මසකටම එක බැගින් අප බලාපොරොත්තු වූ RO Plant නිෂ්පාදනය කල හැකි වීමත් සමඟම අපි ඒ ව්‍යාපෘතිය යුහුසුළුව ඇරඹුවෙමු. මේ අතරතුර 2015 ජූලි මස 11 වන දින අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර ඒ අනුව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මා නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලදී.

නාවික හමුදාපතිවරයා ලෙස 2015 දෙසැම්බර් 22 දින සිදුකල මාගේ උතුරුමැද නාවික විධාන සංචාරයේ ඉතා වැදගත් කර්තව්‍යයක් වූයේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ස්ථාපනය කරන ලද ප්‍රථම RO Plant එක නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ප්‍රේමරත්නගේ ගම වූ කඩවත් රබෑව ගමේදී  විවෘත කොට ගැමියන්ගේ පරිහරණයට බාර දීමයි. ඒ වනවිට ඒ කුඩා ගමේ පමණක් CKD රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් ලියාපදිංච වී සිටියහ. 

එදින පටන් මෙරටදී සහ පිටරටදී මා සහභාගී වූ සියලු වැඩසටහන් සහ හමුවීම් වලදී හැකි පමණ මේ ඉතා වටිනා කටයුත්ත වෙනුවෙන් අරමුදල් රැස්කරවීමට මා කටයුතු කලෙමි. ඒ සමඟම මෙහි වටිනාකම හඳුනාගත් විදේශිකයින් මෙන්ම මෙරට හා පිටරට පදිංචි බොහෝ ශ්‍රී ලාංකිකයින් මේ සඳහා සිය මුල්‍යමය දායකත්වය දක්වන්නට වුහ. මේ අනුව අපට මසකට RO Plant දෙකක් දක්වා නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබිණ. 

පසුව, මේ ගැන දැනගත් ජනාධිපති සිරිසේන වකුගඩු රෝගය වැලැක්වීම සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායට මේ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය හා ප්‍රතිපාදන ලබාදෙන ලෙස උපදෙස් දීම නිසා අපි වැලිසර නාවික හමුදා සංකීර්ණයෙහි පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශය තුල RO Plant නිපදවීම සඳහාම වෙනම ඒකකයක් 'දිසා' ගේ මූලිකත්වය යටතේ ස්ථාපිත කළෙමු.

2016 වසර තුල වාර්තාගත ලෙස යෝජිත RO plant 344ක් නිපදවා උතුරුමැද පළාතේ විවිධ ස්ථාන වල ස්ථාපිත කිරීමටත් මේවා ක්‍රියාත්මක කිරීමට පුහුණුවලත් නැවියන් ඒ ස්ථාන වලට අනුයුක්ත කිරීමටත් අපට හැකිවිය. මේවා බෙදා දීමේදී අසාධිතයන් වැඩිපුර වාර්තාවන ප්‍රදේශ තෝරා ඒවායේ පාසල් හා පන්සල්/පල්ලි ආදී පොදු ස්ථාන වල සැමට පොදුවේ භාවිතා කල හැකි අයුරින් සහ පහසුවෙන් නඩත්තු කල හැකි අයුරින් ස්ථාපනය කිරීමට අපි උත්සුක වූයෙමු. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරනා බෝතල්කල පානිය ජල සාම්පලයකට වඩා ඉහල ප්‍රමිතියේ ජල ලීටර 10000 බැගින් 344ක් හෙවත් සම්පුර්ණ පිරිසිදු ජලය ලීටර් 344000ක් දිනකට මේ හරහා මෙම ආපදාවකට ලක්වූ ජනතාව වෙත නොමිලේ බෙදා හැරීමට සමත්වූ අපි ජංගම රථ තුනක් කාර්මිකයන් සමඟ යොදවා මේවා නඩත්තු කිරීමට කටයුතු කළෙමු. 

වසර 2006 දී කැබිතිගොල්ලෑවේදී ජිවිත 60ක් බිලිගනිමින් පුපුරා ගිය බිහිසුණු බස් බෝම්බය ඔබට මතක ඇතුවාට සැක නැත. හරියටම ඉන් වසර දහයකට පසු, එනම් 2016 ජුනි මස 16 වන දින මා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේදී එම විදුහලේ ජලය පිරිසිදුකිරීමේ යන්ත්‍රයක් ස්ථාපනය කරවා විවෘත කිරීමට එහි ගියෙමි. "අපේ විරෝධාර හමුදාවන් ඉන්නකම් ඔයාල තවදුරටත් බය වෙන්න ඕනි නෑ. අපි කිසිම අවස්තාවක මිට වසර දහයකට කලින් වුනු සිදුවීම නැවත ඔයාලගේ ඇස් ඉදිරිපිට වෙන්න තියන්නේ නෑ. දැන් ඔයාලට පුළුවන් වැඩි වගකීමකින් වැඩි අවධානයකින් ඔයාලගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඔයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ වකුගඩු රෝගයෙනුත් ඔයාලව හැකි පමණ බේරා ගන්න අපි අපේ විෂය ප්‍රවීණයන්ගේ සහයෙන් උපරිමව කටයුතු කරනවා. ආදරණීය දුවේ පුතේ.. ඔයාල උදේට ඉස්කෝලේ එද්දී හිස් බෝතල් අරගෙන එන්න.. ඔයාලත් පිරිසිදු වතුර බීලා ගෙදර අයටත් බොන්න මේ අපි සවි කරපු ෆිල්ටරෙන් ඔයාලට වතුර අරගෙන යන්න පුළුවන්" රැස්ව සිටි සිසු සිසුවියන් අමතා මා එසේ පවසනවිට සිසුසිසුවියන්ගේ දෑස් සතුටු කඳුලෙන් තෙමී යනු ඔවුන් ඉදිරිපිට සිට මා නිරීක්ෂණය කලෙමි.. විශේෂයෙන්ම.. උසස්පෙළ හදාරන වයසේ වූ සිසු සිසුවියන්.. ඔවුන් එදා එවලේ රැස්ව සිටියේ ඉන් වසර දහයකට එපිටින් බස් බෝම්බයට අසුව කීතු කිතු වී ගිය ඔවුන්ගේ ඤාතීන්ගේ සිරුරු ගොඩගසා තිබු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ බව මතක් වී මගේද ගත කිළිපොලා ගිය බව කිවයුතුම වේ. 

2006 ජූනි 16 දින කැබිතිගොල්ලෑවේදී බස් බෝම්බය පුපුරා යාමෙන් අනතුරුව මියගිය අයගේ සිරුරු කැබිතිගොල්ලෑව මහා විදුහලේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබු අයුරු.. 

2016 ජූනි 16 දින කැබිතිගොල්ලෑව මහා විදුහලේදී RO Plant එක විවෘත කල අවස්ථාවේ එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන්  ප්‍රධාන ශාලාවේ අසුන්ගෙන සිටි අයුරු..


සාමාන්‍යයෙන් පාසල් දරුවන් නිවසේ සිට පිරිසුදු වතුර පාසැලට රැගෙන විත් පානය කරති. නමුත් උතුරුමැද පළාතේ දරුවන්.. ඔවුන් පාසැලේ සිට නිවසට පිරිසිදු වතුර රැගෙන යති.. ස්තුතියි නාවික හමුදා පර්යේෂණ ඉංජිනේරුවන්ට! ස්තුතියි දිසා!!

මගෙන් පසුව එම ධූරයට පත් සියලුම නාවික හමුදාපතිවරුන් මෙම අගනා කටයුත්ත නොකඩවා ඉදිරියට කරගෙන යාමට කැපවීම පිළිබඳව මම ඔවුන්ට කෘතඥ පුර්වකව ස්තුතිවන්ත වෙමි. මේ වන විට නාවික හමුදාව විසින් උතුරු හා උතුරුමැද පළාත් තුල ජල පිරිපහදු RO Plant යන්ත්‍ර 900ක් ස්ථාපිත කරවා නඩත්තු කරගෙන යන අතර මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට සිදුවෙමින් පවතී. මේ වෙනුවෙන් සිය කාලය ශ්‍රමය හා මුදල් වැයකළ සියලුම නාවික හමුදා සමාජිකයින්ට මාගේ හදපිරි ගෞරවය පිරිනමමි. මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම ඉතා හොදින් හදුනාගෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ වකුගඩු රෝග පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි අසේල ඉද්දවල මහතාට ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි.

උතුරුමැද ප්‍රමුඛව දිවයින පුරා අත්‍යාවශ්‍ය ප්‍රදේශ වල නාවික හමුදාව විසින් නිපදවා ස්ථාපනය කරන ලද RO Plant විසිරි පවතින අයුරු..


වකුගඩු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අසංග වරුණ රණසිංහ විසින් මේ පිළිබඳව පලකළ 
The Incidence, prevalence and trends of Chronic Kidney Disease (CKD) and Chronic Kidney Disease of uncertain aetiology (CKDu) in North Central Province of Sri Lanka: an analysis of 30,566 patients නම් වූ සිය පර්යේෂණ පත්‍රිකාවේ 6වන පිටුවේදී මෑත කාලීනව උතුරුමැද පළාත තුල වකුගඩු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බවත් ඊට හේතුවක් ලෙස ආරක්ෂාකාරී පිරිසිදු ජලය ලබාගැනීම සඳහා වූ හැකියාව හේතුවිය හැකි බවත් සඳහන් කරයි. 

නාවික හමුදාව යනු නිහඬ හමුදාවකි. ඔවුන් කරන දේ තවත් කෙනෙකු දකින්නේ බොහෝ කලාතුරකිනි. අද වන විට 760කට වැඩි වූ පිරිපහදු යන්ත්‍ර මගින් පිරිසිදු ජලය ලීටර් මිලියන 7.6ක් එනම් ජලය ලීටර් ලක්ෂ 76ක් පිරිපහදු කොට දිනපතා ආපදාවට ලක් පොදු මහජනතාව වෙත නාවික හමුදාව විසින් ලබාදෙනු ලැබේ. තවදුරටත් මේ වනවිට නාවික හමුදාව විසින් විශේෂිත වූ සායනික ජල පිරිපහදු medical RO plants දෙකක් නිපදවා ඩයලයිසිස් පහසුකම ලබන රෝගීන්ගේ පහසුව උදෙසා කොළඹ සහ මහනුවර මහා රෝහල් වල ඩයලයිසිස් යන්ත්‍ර වෙත ලබාදී ඇත. 

හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා ජංගම RO Plant එකක්ද නිපදවා ඇති නාවික හමුදාව ගංවතුර හෝ වෙනත් ඕනෑම ආපදා අවස්ථාවකදී වින්දිතයින් සඳහා පිරිසිදු පානිය ජාල පහසුකම අවශ්‍යවිට ලබාදීම සඳහා සුදානමින් සිටි.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස උතුරුමැද පළාත තුල CKD ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වීමත් සමඟ දැන් දැන් කවදත් නාවික හමුදාවට හිතැති උතුරු මැද තරුණ දරුවෝ වැඩි වැඩියෙන් නාවික හමුදාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට බැඳීමට ප්‍රමුඛත්වය දෙනු අප නිරීක්ෂණය කර ඇත. 

උතුරුමැද පළාත තුල බොහෝ ඉතිහාසය ගුරුවරු මේ වනවිට සිය සිසු සිසුවියන්ට උගැන්වීම් කිරීමේදී නාවික හමුදාව 'මහසෙන් රජුගේ බළකාය' ලෙස අන්වර්ථයෙන් හඳුන්වාදෙනු දක්නට ලැබේ. ක්‍රිස්තුවර්ෂ 277 සිට 304 දක්වා වූ කාලයේ උතුරුමැද රජකම් කල මහසෙන් රජු සිය හමුදාව යොදවා විශාල ප්‍රමාණයේ වැව් 16ක් බඳවා උතුරුමැද බතින් බුලතින් සශ්‍රික කල බව කියවේ. යෝධ මින්නේරිය වැව සාදවා අත්‍යවශ්‍යම වූ ජනතාවකට ජල පහසුකම සැකසූ එතුමා මරණින් මතු 'මින්නේරි දෙවියන්' ලෙස අදටත් දේවත්වයේ ලා සැළකේ.  

යම් හෙයකින් අපේ නාවික හමුදාව දෛනිකව පිරිසිදු වතුර ලීටර ලක්ෂ 76ක් ජලය අත්‍යාවශ්‍යම ජනතාව වෙනුවෙන් නොපිරිහෙළා සම්පාදනය කිරීම අරඹයා 'මහසෙන් රජුගේ බළකාය' ලෙස හඳුන්වන්නේ නම් මා අපේ නාවික ඉංජිනේරු කපිතාන් එම්.සී.පී. දිසානායක ව මහසෙන් රජුගේ උපදේශක සහ ප්‍රධාන ඉංජිනේරු සෙන්පති මේඝවන්නාභය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.  


35 comments:

  1. ඇත්තටම කැබිතිගොල්ලෑවේ දරුවන්ගේ සේම මාගේත් ඇස් කෙවෙණි තෙත් කලා ඔබගේ ලිපිය කියවාගෙන යද්දී!
    පසුගිය අවසාන යුද්ධයේදී නාවික හමුදාව කල කී මෙහෙය පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල ඇත්තේ අපැහැදිලි දැක්මක්. ඒක හරියට "තනියෙං යුද්දෙ කලේ සර්වේන්ඩර!" කියලා හිතා ඉන්නවා වාගේම මිත්‍යාවක්. මා දන්නා පරිද්දෙන් එම යුද්ධයේදී වේදිකාවේ මෙන්ම තිරයෙන් පසු පස සිට නාවික හමුදාව කල මෙහෙය අනුපමේයයි. සාමාන්‍ය ජනතාව එය ගැන කුමන ආකාරයෙන් තේරුම් ගත්තද ප්‍රභාකරන් තුල ඒ පිළිබඳ මනා වැටහීමක් තිබූ බවනම් ඔහුගේ ක්‍රියා කාරීත්වය හා ක්‍රියාන්විතයන් දෙස බැලූ විට පෙනේ!
    නාවික හමුදාව විසින් මහ මුහුදේ කල ක්‍රියාන්විතයන් සේම ගොඩ බිම කල ක්‍රියාන්විතයන් පිළිබඳව මා තරමක් අසාඇත!
    බොහෝ රටවල නායකත්වයට පත්වූ හමුදා නිළධරයින් ඉතාමත් කාර්‍යක්ෂම ලෙසත් විනය ගරුක ලෙසත් ක්‍රියා කරණු අප දැක ඇත! ඒ කාලය,මුදල්, සේමය වැනි සෑම ඉසව්වකම විනයක් ඔවුන් තුල කලපුරුද්දෙන්, පලපුරුද්දෙන් ඇති හෙයින්ය! මෙම ජල ව්‍යාපෘථිය ස්ථාපිත කිරීම සඳහා එතුමා තුල තිබී ඇති කැපවීම කා වගවීම ලිපිය කියවන විට වච්ශ්නයෙන් වචනයට දැනේ. (ඒ එතුමාගේ දක්ෂ කමක්ද; හෙළ බසට නැගූ ඔබගේ ක්‍රියාන්විතයක් දැයි මා නොදනිමි!) ඒ කෙසේ වෙතත් මෙවන් ලිපි මගින්; පොලීසිය යනු දඩ කොල පිදීම ! පමණක් නොවේ කියා කියන්නාක් මෙන්; නාවික හමුදාව යනු "මුහුදු ජීවී කොටසක් " පමණක් යැයි පොදු මතයක් වෙතොත් එය සුනු විසුණු කරලීම සිදුවේ.

    ඒ සියල්ල එතුමාටය!

    ඔබ නැවැතත් මෙලෙස දැකීමට හැකිවීමට හෘදයාගම සතුට සහ ස්තූතිය! අනේ දැන් ඉතින් දිගටම ලියමු! ස්තූතියි නැවත නැවතත්!

    ReplyDelete
  2. //මෙම ජල ව්‍යාපෘථිය ස්ථාපිත කිරීම සඳහා එතුමා තුල තිබී ඇති කැපවීම කා වගවීම// ඒක අද්මිරාල් රවී විජේගුණරත්න ගේ උපන්ගෙයි පුරුද්ද.. මම අමුතුවෙන් ලියපු එකක් නෙවෙයි. යමක් කරනකොට බැහැලාම කරන මේ 'උණ' නිසාම ඔහු හොඳ අහපු වෙලාවල් වගේම 'ඉල්ලගෙන කාපු' වෙලාවලුත් තියෙනවා. මම හම්බන්තොට නැව මුදාගන්නකොට මාධ්‍යවේදීන් මර්ධනය කිරීම ගැන ලියපු වෙලාවේ ඒ බව කෙටියන් ලියුව. ඒ විතරක් නෙවෙයි තව තව ප්‍රශ්ණ වලටත් මුහුණ දෙන්න උනා යුනිෆෝර්ම් එකේ ඉඳිද්දීම. ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අණදෙන ඉහලම හමුදා නිළයේ එනම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට ඉඳිද්දීම තමයි බොරු චෝදනාවකට රිමාන්ඩ් වෙන්න උනේ.. මගේ ළඟ තියෙනවා මේ සිදුවීම් අලලලා විශ්‍රාම ගියායින් පස්සේ ඔහු ලියපු Read between the lines කියන ඔහුගේ ස්වයං චරිතාපදානය.. බලමු වෙලාව තියෙන විදියට මම ඒක සිංහලෙන් නැවත ලියන්න බලාපොරොත්තු වෙනවා.. නාවික හමුදාව කොහොමත් නිහඬ සේවයක්.. නමුත් මේ වගේ ලිපි හරහා පාඨකයාට නාවික හමුදාවේ කාර්‍යභාරය ගැන Glimpses ටිකක් ලැබෙයි. Boasting නම් ලොවෙත් කරන්නෙත් නෑ ඕනිත් නෑ.. ස්තුතියි දිග කමෙන්ට් එකට වගේම පස්සෙන් ඉඳගෙන මේවා කියන්න දෙන untiring back එකට..

    ReplyDelete
  3. නොදැන හිටි දේවල් දැනගත්ත

    ReplyDelete
    Replies
    1. තැන්කියු :) (ඒකනේ.. ඔයාල අපි ගැන දන්නේ ඕපාදුප විතරනේ නැත්නම්.. :))))

      Delete
  4. ලොකු සර්, මේ වැඩ දෛයොන්ටත් කරාන්ඩ බැරි වැඩ. නැත්තං අර පඬිතුමාට ලෙඩේට හේතුව විතරක් කියල නවතින්නේ නෑනේ. ඒ ලොකු සර්ව හමුඋනොත් ඉංග්‍රීසියෙන්ම කියන්ඩ අපි මේ වැඩේ බෝම අගේකොරනවා කියල.

    ඔබ දෙපලටම ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ලොකු සර් බලනවා මේක.. හැට්ටර් සර් ම කියන්න. :)

      Delete
  5. //හම්බන්තොට නැව මුදාගන්නකොට මාධ්‍යවේදීන් මර්ධනය...//

    එහෙම කියන්න එපෑ? දැන් දන්නවා. හ්ම්..බොහොම හොඳ වැඩක්, දක්ශ කළමනාකරණක්.🤔😊👌

    ReplyDelete
    Replies
    1. When you are right, no one remembers.. when you are wrong, no one forgets! :))))

      Delete
  6. Replies
    1. මොකෝ මූන පුළුටු වෙලා.. කවියක්වත් ලියුවේ නැතෙයි ලඟකදී?

      Delete
    2. කවි ඉල්ල....
      අපි එහෙ කතා ලිව්වා... ආවෙත් නෑනේ ඉතින් කලණ කියෙව්වත් හරි

      Delete
    3. උන්මාද චිත්‍රා කියවන්න ගත්තා.. ඒක පට්ට ඉන්ටරස්ටින්.. මේ අනිත් වැඩ ඔක්කොම තියල මුල් කොටස් හයම කියවන ගමන්,

      Delete
  7. බොහෝ පිං අත්වෙන කාර්්‍යයක්. චචනය ඒ අයුරින් රකිමින් තම මියගිය මිතුරා ගාල්ලගේ වෙනුවෙන් තනතුර හිස්ව තබාගැනීම වැනි ක්‍රියාවෙන් ඔහු සත්පුරුෂයෙක් බැව් මෙයට පෙරත් පෙන්වාදි තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේ ගොඩක් කතා තියෙනවා..

      Delete
  8. කමි, ස්තුතියි කියන එක හිතට මදි.
    එක unit එකකින් පිරිසුදු කරන්න තරම් කඳුළු ගොඩක් මේ post එක කියවපු සහෘදයන් හෙලන්න ඇති, නිතැතින්. මගේ කඳුළු තවම ගලනවා....සත්තයි!
    අද දවසම වාසනාවන්ත වේවි, මේ වගේ සුන්දර ලිපියක් කියවලා වැඩ අල්ලපු නිසා.

    අපේ රටේ කොච්චර දේවල් කරන්න පුළුවනිද නියම නායකත්වයක් තියෙනවා නං.... පඩ show නැතිව හැබෑවටම මානව දයාවෙන් යුතුව යහපත් අරමුණෙන් කරනවා නං.

    දෙයියෝ ඉන්නේ උඩ නෙවෙයි; අපි අතරෙමයි. හැබැයි කාට හරි ගණන් වැරදිලා, තිස්තුන් කෝටියක්ම ඉන්නවා ඇත්තේ අමනුස්ස යස්ස පිසාචයෝ- උන් මනුස්ස වේශයෙනුත් ඉන්නවා වෙන්නම ඇති.
    ටිකාක් වෙනුවට- අනේ මෙහෙම දෙවිවරු වැඩි වැඩියෙන් පහළ වෙනවා නං.

    අර කියාපු පොත පරිවර්තනය කරන වැඩෙත් කරන්න කමි. එවැනි දෙයින්, වැරදි කරන අයව විවේචනය කරනවාට වඩා ලොකු මෙහෙයක් හා බලපෑමක් (හෙමිං සැරේ) සමාජයට වෙන බව හොඳටෝම විශ්වාසයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදි බොස්.. ඔබතුමා නිදාගෙන අපිව හැමදාම ඇහැරවනවානේ.. :))) හුම්.. පොතේ වැඩේටත් අත ගහන්න ඕනි වෙලාව තියෙන තියෙන විදියට. :)

      Delete
    2. වෙලාව තියෙයි. පටන් ගන්න කමි!

      Delete
    3. අද රෑ සිට පටන් ගන්නවා.. ඔව්.. අද රෑ.. :)))

      Delete
    4. දැන් කොච්චර විතර දුරට වැඩේ කෙරිලාද කමී?

      Delete
  9. පරිවර්තනය නියමයි.
    හ්ම්ම් ❤️❤️❤️

    ReplyDelete
  10. මන් මේක පොඩි පොඩි වෙනස්කම් එක්ක ඉරිද අරුණ පත්තතරෙන් කියෙවුව. (2021.ඔක්තෝම්බර් 17)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දාල තිබ්බ නෙහ්? පත්තරවල බාසාව ඉතින් බ්ලොග් බාසාවට වැඩිය වෙනස් ඇතිනේ.. ඒක නිසා ඕනි විදියට වෙනස් කරගන්න ඇති. :)

      Delete
  11. අද්මිරාල් රවී විජේගුණරත්න ගේ කාලය අවසන් වි නාවික හමුදාපති නිල නිවාසෙන් ඉවත් නොවි ඉන් පසු නාවික හමුදාපතිට එම නිල නිවස ලබානොදිම අමතකද ?

    ReplyDelete
    Replies
    1. මඩ බං.. ඕව ගණන් ගන්න එපා.. :))))

      Delete
  12. තම්බුත්තේගම පොඩි ඉස්කෝලේ ටත් නාවික හමුදාවෙන් ලබා දුන්න වතුර පහසුකම ඒ මිනිස්සු අදටත් පින් දෙනවා

    ReplyDelete
    Replies
    1. ඔහොම වැඩ කලාම පරම්පරා ගානකට පිං අයිති වෙනවා.

      අම්පාරේ තවම ඉන්නවා, බත් පිඟාන අතට ගත්තාම -බත් පිඬක් අනලා පැත්තකින් තියලා D.S. සේනානායක මහත්තයාට පිං දෙන මිනිස්සු.

      කෝ මෙන්ඩෝ කෝ මෙන්ඩෝ කෝ මෙන්ඩෝ හෙරොයින්?

      Delete
    2. හෙරෝයින් හෙවත් කුඩු..5 වෙනි හිට් එක
      එවලා තියෙන්නේ...

      Delete
    3. උත්තරේ දැක්ක ගමන්ම ආවා බලන්න. ඒත් update වෙලා නෑ තවම.

      Delete