Tuesday, 7 October 2014

සේෆ්ටි සිංහලෙන් - උස් ස්ථානයක වැඩ කිරීම 1 කොටස


උස් ස්ථානයක වැඩ කිරීම (1 කොටස )





"අහ්! කෝ පෙරේර මහත්තය එන්ඩ.. එන්ඩ. අනිත් තුන් දෙනත් ආවද? දවස් කීපයක්ම වැඩේ මිස් උනානේ.. අද දවස හොඳයි.. යමු ගිහින් වාඩි වෙන්ඩ ට්‍රේනින් රූම් එකේ.. මං එන්නම්..." මාසේ අන්තිමට වැඩ ටිකක් වැඩි උන නිසා දවස් කීපයකින්ම බැරි උනා හිතාගෙන හිටපු 'උස් ස්ථානයක වැඩ කිරීම' Working @ Height කියන ට්‍රේනින් එක කරන්න. අද තමයි ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ.

"ගුඩ් මෝර්නින් හැමෝටම.. වැඩිය කාලේ ගන්නෙ නැතුව අපි වැඩේ පටං ගමු. පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකත් එක්කම අපි කතා කරමු. වීඩියෝ දෙක තුනකුත් තියෙනව බලන්න. අන්තිමට ප්‍රැක්ටිකල් එක" ජීවිතේ මං ආසම කරන රස්සාවක්, ඒ කියන්නේ උගන්නන එක ටික වෙලාවකට හරි මෙහෙම කරන්න හම්බවෙන එකත් ලොකු දෙයක්නෙ. ශිෂ්‍යයෝ ටික නම් මීයට පිම්බා වගෙ.. හුම් සද්දයක් නෑ.

මොකක්ද 'උස් ස්ථානයක වැඩ කරනව' කියන්නේ?

ලෝකෙ එක එක ස්ථානවලදි මේ 'උස් ස්ථානයක්' හැටියට සළකන උස යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනව.. සාපේක්ශව ගොඩක් උස මිනිස්සු ඉන්න යුරෝපයේ රටකදී සමහරවිට මේක මීටර් 2ක් හැටියට භාවිතා වෙනව. නමුත් ආසියානු කලපයේදී බොහෝ විට මෙය මීටර් 1.8ක් නැත්නම් අඩි 6ක් විදියට තමයි සළකන්නේ. එක් එක රටවලදී මේක මීටර් 1.2 ඉඳල මීටර් 2.2 වගේ වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරය වශයෙන් මීටර් 1.8 සිට මීටර් 2 පරාසය හඳුන්වන්න පුළුවන්.  ඒ වගේම එක් එක්  ක්ෂේත්‍ර අනුවත් පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට  ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී මීටර් 1.8ක් විදියට සළකන ගමන් නිශ්පාදන ක්ෂේත්‍රයේදී  එය මීටර් 1.4ක් විදියට සළකන්නත් පුළුවන්. මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ පවතින අනතුරේ (Risk) ස්වාභාවයයි.

ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවලට අදාලව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය සම්භන්ද නීති පනත් සම්මත කරගෙන තියෙනව. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ තවම ඒ වගේ නීතියක් වෙනම නෑ. මං දන්න විදියට දැන් අවුරුදු 6ක විතර ඉඳල ඒ කියන්නෙ 2008 වගේ ඉඳල මේ සම්බන්දව පනතක් හදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. ඒක (ආපු දවසක ) බොහෝ විට HSG 65 කියන මහා බ්‍රිතාන්‍ය මොඩලයේ කොපියක් වෙයි කියල හිතනව.. මට හිතෙන්නේ තවම කට්ටියට ඒක සිංහලට (ලංකාවට ) ගලප ගන්න බැරුව ඉන්නව ඇති.

මෙතනත් වෙලා තියෙන්නෙ අපේ රටේ අනිත් බොහෝ ක්ෂේත්‍ර වල වෙලා තියෙනව වගේම වෘත්තීය අත්දැකීම් අඩු හා නැත්තටම නැති ඒත් කොලකෑලී වල හා 'වෙනත්' සුදුසුකම් ඕනවටත් වැඩිය තියෙන සැට් එකක් කම්කරු අමාත්‍යාංශේ Industrial Safety Division එක හා NIOSH (National Institute of Occupational Health & Safety) එක ආක්‍රමණය කරල ඉන්න එක තමයි. පෝස්ට් ග්‍රැජුවෙට් කොලිෆිකේශන් එක විදියට 'Occupational Health' කරපු ඩොක්ටර් කෙනෙකුටවත් අවුරුදු ගනං ආණ්ඩු කන්තෝරුවල ලියුං අත්සන් කරපු Industrial Engineer කෙනෙකුටවත් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන ඒ හැටි කැක්කුමක් තියෙන්නත් බෑනෙ. (මේක අහල මගේ යාලු දොස්තර මහත්තුරු නෝනලාවත් ඉංජිනේරු නෝන මහත්තුරුවත් අමනාප වෙන එකක් නෑ කියල හිතනව ) මාතෘකාවෙන් පිට ගියාද මංදා. ඇත්තටම ඕක මගේ ලෙඩක්. 

ඉතිං. දැනට ලංකාවේ සේෆ්ටි ගැන යන්තං හරි තියෙන සීමිත ලියවිලි අතර මුල් තැන ගන්න කර්මාන්තශාලා ආඥාපනතේත් (Factories Ordnance) මේ සම්භන්දව කිසිම ලියවිල්ලක් නෑ. නමුත් ලංකාව විදියට අපි ලෝක කම්කරු සංවිදානයෙ (ILO) සාමජිකතවය ලබාගෙන එහි ප්‍රඥප්තියට අත්සන් කරල තියෙන නිසා අපිට සදාචාරාත්මක බැඳීමක් තියෙනව ILO එකෙන් මේ සම්භන්දව ලබාදීල තියෙන නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරන්න. එහෙම නොකල කියල හැබැයි කාටවත් නඩු දාන්න බෑ. ඒවා නිර්දේශ විතරනේ. ඕනමනම් ILO එකට පුළුවන් අපේ සාමාජිකත්වය අහෝසි කරන්න. එච්චරයි. (මේව තමයි අපිට තියෙන ප්‍රශ්ණ )

මීට අමතරව මේ වෙනකොට ලංකාවේ බොහෝ කොම්පැණි OHSAS 18001 කියන ප්‍රමිති සහතිකය ලබාගෙන තියෙනව. ඉතින් එතනදිත් අදාල සමාගමට යම්කිසි බැඳීමක් තියෙනව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය යම්කිසි සාධනීය මට්ටමක පවත්වා ගෙන යන්න, නැත්නම් ඊළඟ අවුරුද්දෙ අළුත් කර ගන්න බෑනේ (වෙන වෙන ක්‍රම නොදන්නා අයට පමණක් අදාළ වේ. ) 

තව එකක්.. වෙනත් රටක සමාගමක් ලංකාවට ඇවිත් වැඩක් පටන් ගන්නව කියන්නකෝ. ඒ රටේ නීතියට අනුව ලංකාවෙදි භාවිතා වෙන උසට වඩා උස් ස්ථානයක වැඩ කිරීමේ හැකියාව තිබුන කියල එහෙම කරන්න බෑ. හැබැයි ඒකෙ අනිත් පැත්ත ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අඩුවෙන්ම නිර්දේශ කරල තියෙන උස තමයි සැළකිල්ලට ගත යුතු වන්නේ.

ඉතින් ඔය කොහොම කොහොම හරි ඇවිල්ල (හරිම හිතේ අමාරුවකිං ඒ ටික කිව්වේ) දැනට ලංකාවේ මීටර් 1.8 කියන උස තමයි 'උස් ස්තානයක්' හැටියට සළකන්නේ. මෙච්චර වෙලා කියපු ටික කෙටියෙන්ම කිව්වොත්   
"දැනට ලංකාවේ බල පැවැත්වෙන නීති හා රෙගුලාසි පරිදි යම් පුද්ගලයෙකු මීටර් 1.8ක් හෝ ඊට වඩා වැඩි සිරස් උසකින් ඇද වැටීමට අවකාශ ඇති ස්ථානයක වැඩෙහි යොදවන්නේ නම් ඔහුට ගැළපෙන වැටීම් ආරක්ශක පද්දතියක් මඟින් ආරක්ශාව සලසා දී තිබිය යුතුයි."

රායිට්.. අපි ගමු පොඩි බ්‍රේක් එකක්.. ඉතුරු ටික ඉන්ටවල් එකෙන් පස්සේ. තියෙන ප්‍රශ්ණ ඔක්කොම ඊළඟ කොටසට කලින් අහන්න ඕනි.. මතක තියාගන්න ඔය ඉඳල හිටල ලාවට අනුමත වුනා වගේ නෙවෙයි.. "දුම් පානය ශරීරයට දැඩි සේ අහිතකරයි" 

Photo courtesy www.google.com

Saturday, 4 October 2014

නූතන සින්ඩරෙල්ලා ලගේ ඉරණම




සතුටුවෙයං සින්ඩරෙල්ලෝ...
රජවාසලට ගිහිල්ලත්...
එන්ඩ පුළුවං වෙච්චි එක ගැන...
සපත්තුව විතරක් අඩුව...
නටන්න වුනේ නෑ නේද...
කුමාරවරුන්ගේ තාලෙට...
යන්ඩ හිතන්ඩ එපා...
ආයේ හතරමයිමකවත්...
උන් ගාව නෑ ආදරේ...
උන්ට එක මස් වැදැල්ලක් විතරයි...
උඹවත්...
ඊට දාහක් හොඳයි...
කොළපාට ලිං ගෙම්බා...
බලාගනී උඹව ආදරෙන්...
කන්ඩත් මොනවහරි ගෙනත් දෙයි...
වේලක් ඇර වේලක්වත්...
හිත හදාගෙන ඉන්න බලපං...
දරු පැටියෙකුත් හදාගෙන හුරතල්...
ආබරණ නැතුවට කමක් නෑ...
ලස්සනයි උඹෙ මූණ තාමත්...
උඹට වරදින්නෙ නෑ...
දෙයියන්ගෙ පිහිටෙං බුදුන්ගේ සරණිං...

- කලණ

Thursday, 2 October 2014

සසුනට හිත ගිය පෙම්බරී...



තුණු කෝල කොමල හිත්
සොඳුරු තඩාගේ...
පිපුණු එකම සුදු
හීන පියුම ඇය
නිවී සැඟව යන්නී...

දිවි සාර සසල විල
රළුව කළඹනා...
කළු හංස පියාපත්
මඟැර සැරිසැරූ
රන් හංස සිත්තරාවී...

හිත පුදමි දෙපා මුල
සිල් නොඹිදි කසාවත
ගිනි නිවයි දෙලෝ වැද
දෙසූ දහම් බස
දිවි දියෙන් එතෙර වන්නී...

කලණ


Tuesday, 16 September 2014

වමිය..





සඳ උවන වසා නැගි- අඳුරු වලා පිස
මල් මන්දහාස ඉඳුවරී..
තව කිම්ද නෑර ගොස්- හඟිනු දෙපා සිඹ
පෙම් බැන්ද චන්න කින්නරී..

සිටු මැදුරු බෝම දුර- නෑර පැමිණි මග
පෑව සෙනෙහෙ අගනා..
මට අහිමි කුමර වර- සේද සිනිඳු සර
අළුයමෙක බෑර කෙරුනා..

රළු කඨොර හීන විඳ- රහල් බැඳුම් මැද
සැප සුඟක මිටින් දරනා..
ගිනි ගහන මහද සිදු- යශෝදරාවත
පිනි සෙමෙර සිහිල් සලනා..

Wednesday, 10 September 2014

සේෆ්ටි සිංහලෙන්- ඇරඹුමට මගක්



සේෆ්ටි සිංහලෙන් ලියන්න හිතුනෙ ඇයි? මෙතනින්

"අන්න අහවල් කොම්පණියේ කොල්ලෙකුගෙ  කකුලක් පෙරලිල. හොයිස්ට් එකේ පහලට ගේනවලු ඉස්පිරිතාලෙට අරන් යන්න වෙයි නේද" සති දෙකකට සැරයක් තියෙන කන්සල්ටන්ට් ගේ සේෆ්ටි මීටින් එක ඉවර වෙලා හිස් අතින් වගේ ඇවිත් පුටුවේ වාඩි වෙන්න වුනෙ නැ අපේ ඇඩ්මින් (මැනේජර් ) මහත්තය දුවන් එනව. මං හැදුවේ ලියන්න හිතගෙන ඉන්න පොතට ආරම්භයක් ගන්න අදවත්.. ආයි ඉතින් ඔයිට වැඩිය වෙනස් ආරම්භයක් මොකටද? ඔය තියෙන්නෙ. ඔන්න එහෙනම් හා හා පුරා කියල පටන් ගන්නව 'සේෆ්ටි සිංහලෙන්' ලියන්න. ඔක්කොටොම කලින් බලල එමු ලෙඩාට කොහොමද කියල..

" කෝ බලන්න, ඔය ලෙඩා ලඟින් කට්ටිය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න ළමයි. ඔය මනුස්සය දැන් මැරෙන්නෙ හුස්ම ගන්න බැරුව..." මට කියන්න දෙයක් නෑ ඇඩ්ඩ දෙනව වැඩේ ගානට.

'අහ්! බාසුන්නැහේ මොකෝ මේ? පොඩ්ඩක් හිනාවෙලා ඉඳපන්කො බන් නයා මැරිච්ච අහිකුණ්ඨකයා වගේ නැතුව.. කකුල රිදෙනව උනාට කට රිදෙන්නෙ නෑනෙ..හිහ්.." දොස්තරල දන්නවනම් අපේ ලෙඩ්ඩුත් එක්ක අපි ගනුදෙනු කරන්නේ මෙහෙමයි කියල නඩු දානව. "දැන් මොකෝ උනේ?"

"නැහ්! මහත්තයා මේ පොඩ්ඩක්... කකුල පෙරලුනා. පළංචියෙන් බහිද්දි.. එච්චර අමාරුවක් නෑ" මෙන්න බොලේ ඒ පාර මිනිහට අමාරු නැතිලු.

"මේ ගොල්ලන්ට හැමදාම කියනව මහත්තය පළංචියෙන් පනින්ඩ එපා කියල.. කොච්චර කිව්වත් ලැඩර් එකක් තියා ගන්නේ නෑනෙ. පැනල තියෙන්නේ ගඩොල් කැට දෙකක් උඩට. ගඩොල පෙරළිල කකුල ඇඹරිලා.. අමාරු නැතිලු, බලන්ඩකෝ ඉදිමිලා තියෙන විදිය." සුපවයිසර් මහත්තයගේ බළල පැන්න මල්ලෙන් එළියට, මිනිහ කොහොම කිව්වත් මට ඇහෙන්නෙ "මං උදේ මේක දැකලත් නොදැක්ක වගේ  අහක බලාගෙන ගියෙ නැත්නම් මේ  වැරැද්ද වෙන්නෙ නෑනෙ" කියනව වගේ දෙයක්මයි. මගේ කණේ දෝශයක්ද මංදා.

පොඩ්ඩක් බැලුව කකුල ලඟට අරගෙන. හම්! සේෆ්ටි සපත්තුව දාල තියෙන්නෙ බාගෙට පිටි පස්සෙන් පාග ගෙන. නහයක් තියෙන මිනිහෙකුට ලඟ නම් ඉන්න බෑ. ඇයි ජීවිතේට මේස් දෙකක් පාවිච්චි කරන්නේ නෑනෙ. ඉදිමිල නේන්නං.

"බාසුන්නැහේ කකුලෙ ඇඟිලි ටික නමන්න දිග අරින්න බලන්න.. අහ්! පුළුවන් නේ. මේ මගේ සපත්තුව තද කරන්න බලන්න හිමින් යටි පතුලෙන්.. කියන්න දැන් කොහොමද කොහෙද රිදෙන්නෙ කියල.. ඕ.කේ. කැඩිල බිඳිල නම් නෑ. පෙරළීමක් විතරයි"

ඒ අස්සෙ කවුද එකෙක් උස්සන් එනව වින්ටජිනෝ එකක්.. මහත්තය අමාරුවක් නැත්නම් මේකෙන් ටිකක් ගෑවම හරියයි.. "ඔන්න ඕක විසි කරල මට අයිස් පැක් එක දෙනවා. කොච්චරනම් කියල තියෙනවද කකුලක් පෙරලුනාම, උළුක් උනාම ඔය පේන් කිලර් උලල අතුල්ලන්න එපා කියල පැය විසි හතරක් වත් යනකම්.. උඩින් පෙන්නේ නැති උනාට ඇතුලෙන් ලේ වහනය වීම් වෙන්න පුළුවන්, ඕක උලල බරු ගහනකොට ඇතුලෙ තියෙන තුවාල  ඩබල් වෙනව. එතන උෂ්ණත්වය ඉහළ ගිහින් ලේ නහර තවත් ඕපන් වෙලා ලේ ගැලීමත් ඩබල් වෙනව.. ගේන්නෙ එහෙම නෑ මීට පස්සෙ ඔය මල උළව් ෆස්ට් ඒඩ් බොක්ස් වලට" බැන බැනම මන් අයිස් පැක් එක තියල වෙළුමක් දැම්ම..

" ඇඩ්මින් මහත්තය මෙයාව යවන්න හොස්පිටල් එකට.. එක්ස් රේ එකක් ගන්න ඔනි වෙයි සමහර විට"

"පෙරේර එනව යන්න සයිට් එක බලන්න.. රිපෝට් එකක් දාන්න ඕනි ලොක්කට.. දවස් තුනකට වැඩිය වැඩට එන්න බැරි උනොත් ලොස් ටයිම් ඉන්ජරි එකක්.."
.........

"අහ්! මේ තියෙන්නෙ.. සුපවයිසර් මහත්තය කිව්ව හරි. තනි පළංචි සෙට් එක කියල අත් වැටක් මොකුත් ගහගෙනත් නෑ. ලැඩර් එකක් තියාගෙනත් නෑ. ඒ මදිවට බිම හැමතැනම බඩු. අඩියක් ගහන්න ඉඩක් නෑ. තේ වෙලාව ගහපු ගමන් ස්කැෆෝල්ඩින්ග් ෆ්‍රේම් එකට අඩිය තියල පනින්න ඇති. දැන් කරපන්කො. මං හිතන් නෑ ඔය මනුස්සයට තව සුමාන දෙකකට හරියට අඩිය තියල ඇවිදල වැඩක් කරන්න පුළුවන් වෙයි කියල. මේ කපරාරුව ඉවර කරේ නැ කියන්න මුළු ෆ්ලෝ එකම පරක්කු වෙනව. මේ වගේ පොඩි පොඩි ඇක්සිඩන්ට් දෙක තුනක් මාසෙකට උනොත් ප්‍රොජෙක්ට් එක අවුරුද්දකින් විතර ඩිලේ වෙනවා. අන්තිමට ක්ලයන්ට් ටත් ගෙවල තමයි යන්න වෙන්නෙ"

"සර්, දැන් ඔය තනි පළංචි සෙට් එක තියෙනකොට සේෆ්ටි ඔනි නෑ කියලනෙ මේ ගොල්ලන් කියන්නෙ. මීටර් 1.8ක් උස නැතිලු. මොකක්ද දැන් ඕකේ හරිම දේ? එහෙම නීතියක් ලංකාවේ තියෙනවද? එතකොට ඇයි මීටර් 1.8ක් කියල උසක් තෝරගෙන තියෙන්නෙ? ඊට අඩු උස වලදි  අනතුරු වෙන්නේ නැද්ද?" මිනිහටත් ඔක්කොම ප්‍රශ්ණ අහන්ඩ මතක් උනේ මේ වෙලාවෙ තමයි. කමක් නෑ එහෙමවත් අහල ඉගෙන ගන්න ආසාවක් එනවනම්.

'කොහෙද අයිසෙ මේ ලංකාවේ නීති තියෙන්නෙ.. තිබ්බත් ඒව හරියට ක්‍රියාත්මක වෙනවද?' ඒ ටික මගෙ කටට ආවට මං කිව්වේ නෑ. "ඊට අඩු උසදි අනතුරු වෙනවද නැද්ද කියල දැන් තමුන් ඇස් පනා පිටම දැක්කනේ. පහුගිය කාලේ ඔය බදුල්ල පැත්තෙ උමඟක් හාරන වැඩ බිමක මනුස්සයෙක් මැරුන අඩි හතරකටත් අඩු උසකින් වැටිල.. පිටිපස්සට වැටුනු මනුස්සයගෙ ඔලුව බිම වැදිල එතනම මලා. හොඳයි දැන්වත් ඔය ගැන අහන්ඩ හිතුන එක. හවස වැඩ ඉවර වෙන්න පැයකට කලින් අනිත් තුන් දෙනාවත් එක්කගෙන පහල ට්‍රේනින් රූම් එකට එන්න. අපි 'උස් ස්ථානයක වැඩ කිරීම' ගැන කතා කරමු.

Photo courtesy: www.google.com

Friday, 5 September 2014

සේෆ්ටි සිංහලෙන්- පෙරවදන

සේෆ්ටි ගැන සිංහලෙන් ලියවෙච්ච පොත් තියෙනවද?
මොකක්ද මේ සේෆ්ටි කියන්නේ? හරියටම කියනවනම් Occupational Health & Safety සිංහලෙන් නම් වෘත්තීයමය සෞඛ්‍ය හා ආරක්ශණය.. මේ ආරක්ශණය කියන වචනෙත් හරියටම හරිද කියල ගැටළුවක් තියෙනව. සිංහල ඉංග්‍රීසි ඩික්ශනරියක් පෙරළල බැලුවොත් මේ සේෆ්ටි කියන වචනෙට එක එක තේරුම් දීල තියෙනව. සමහර ඒව Security (සික්‍යුරිටි) කියන වචනෙත් එක්ක පැටලෙනව. කොහොම උනත් ලංකාවෙදි මේ සේෆ්ටි කියන වචනෙ සිංහලට හරවල වෙනස් වෙනස් විදියේ වචන කීපයක් භාවිතා කරනවා. වරායෙදි ඒක නිරාපද (නිර්+ආපදා - ආපදා රහිත කියන තේරුමෙන්) වෙනකොට තවත් තැනක එය සුරක්ශිතතා වෙනව.. මං Hyundai හ්‍යුන්ඩෙයි (සමහරු කියන විදියට හයි හුන්ඩායි ) කියන සමාගමේ වැඩ කරන කාලේ අපි භාවිතා කලේ ඒ වචනේ. ලංකාවේ සේෆ්ටි සම්භන්දයෙන් නමගිය ආයතනයක් වන Holcim හොල්සිම් සමාගමේදී එය ප්‍රවේශම වෙනව. ඒකනම් හොල්සිම් එකේදි මගේ ලොක්ක උන සරත් මහත්තයගේ (සරත් චන්ද්‍රසිරි- ඉංග්‍රීසියෙන් විතරක් තියෙන සේෆ්ටි ලියුං කියුං හොල්සිම් එකේදි සිංහලට හරවන්නෙ එතුමා තමයි ) හඳුන්වාදීමක්. හැබැයි ඒ වචනෙ හුඟක් ගැලපෙනව කියල මාත් හිතනව. මොනව උනත් අනිත් ගොඩක් තැන්වලදි මේක ආරක්ශාව නැත්නම් ආරක්ශණය. ඔය කොළඹ ඇවිදගෙන යනකොට ඕනතරම් කොල පාට බෝඩ් දකින්න තියෙන්නෙ මැද සුදු පාට කුරුසෙකුත් එක්ක යටින් ලියල 'පළමුව ආරක්ශාව' කියල.. හිහ්.. ගොඩක් ඒව හැබැයි බෝඩ් කෑල්ලට විතරයි.
දැන් එතකොට ඔය Occupational Health & Safety කියන එක හරිද? එහෙනම් අයි සමහර තැන්වල Occupational Safety & Health සිංහලෙන් කියනවනම් වෘත්තීමය ආරක්ශණය හා සෞඛ්‍ය වගෙ තේරුමක් එන විදියට ඕක පාවිච්චි කරන්නෙ? කෝකද හරියටම හරි? නැත්නම් දෙකම හරිද? එතකොට කොහොමද ඔතනට Environment කෑල්ලක් එල්ලන්නෙ අර HSE කියල. එතකොට OSH Aසහ OHSAS (18001 ද මොකක්ද එක ) ඔන්න ඕවගේ වෙනස් කම් මොනවද?
අද අපේ ඉන්න ගොඩාක්ම සේෆ්ටි මහත්තුරුන්ටත් (නිවැරදි අවබෝධයක් නැති ) ඒ වගේම උනන්දුව හා මද අවබෝධයක් තියෙන ඒත් වෙනම ඉගෙන ගන්න වෙලාවක් නැති ලොකු මහත්තුරුන්ටත් ( ලොකු කිව්වෙ ඔය ඩිරෙක්ටර්ල, මැනේජර්ල, ඉන්ජිනේරුවෝ වගෙ ලොකු ලොකු පෝස්ට් දරන කස්ටියට ) තියෙන ගොඩාක්ම ප්‍රශ්ණ තමයි මං ඔය උඩින් ඇහුවේ. සමහරුනම් ඉතින් සියල්ල දත් ල වගේ ඔලුව හොල්ල හොල්ල ඉන්නව, ඒත් මගෙත් එක්ක ඉන්න ගොඩක්ම එවුන් නම් මොකක් හරි දැන ගන්න ඕනි උන ගමන් තැනක් නොතැනක් නෑ කෝල් කරල කරදර කරනව.. මචං, සුමා, අඩෝ, හු@#$%#, කල්ල, කළන, මිස්ටර් කළන, කළන මහත්තය, කළන අයිය, සර් බර්.. ඔය මොකක් හරි කියල කොහොම හරි උන්ට ඕනි එක අහගෙන ඕකේ, තෑන්ක්ස්, බායි, හවසට මොකද කරන්නේ, අනිවා සෙට් වෙමු වගේ මොකක් හරිත් කියල ෆෝන් එක කට් කරනව.. ගොඩක් වෙලාවට ආයේ රින්ග් කරන්නෙ නම් ඉතින් ආපහු හිර වෙච්ච වෙලාවක තමයි. මොනව උනත් ඒ වෙලාවට කිසිම මුෂ්ටියක් නැතුව දන්න දේ හුටස් ගාල කියල දෙන්නෙ මගෙ තියෙන උපන්ගෙයි මෝඩ කමට විතරක් නෙමෙයි ඔය සේෆ්ටි ගැන මගේ තියෙන පැසොන් (Passion) එකටත් එක්ක. ආයි කියන්ඩ සේෆ්ටි ගැන කවුරු හරි කතා කරනවනම් මට කන්ඩ ඕනත් නැ. බොන්ඩ තිබුනොත් ඉවර වෙනව දන්නෙත් නෑ.
කතන්දර කියන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් මුල පැටලෙනව. මං කියන්න හැදුවෙ දැන් ඔය කියාපු ප්‍රශ්ණ වලට උත්තරත් එක්ක මොකක්ද මේ සේෆ්ටි කියන්නේ, ලංකාවේ මේ සම්භන්දයෙන් බල පැවැත්වෙන නීති රීති මොනවගේද, ප්‍රායෝගිකව මේ දේවල් ක්‍රියාත්මක කරන්න යනකොට මූණ දෙන්න වෙන අපහසුතා හා ඒවා මඟ හැරගෙන ආයතනයක් තුල කාර්යක්ශමව HSEMS එකක් එහෙම නැත්නම් වෘත්තීමය සෞඛ්‍ය,ආරක්ශණ හා පාරිසරික කළමණාකරනය කියන එක කොහොමද කර ගන්නේ කියන එක සම්භන්ධයෙන් සිංහලෙන් කියවන ඒ ගැන උනන්දුවක් දක්වන හැමෝටම පරිශීලනය කරන්ට පුළුවන් විදියට බ්ලොග් එකක් ලියන්න මං අදහස් කරගෙන ඉන්නව. ඔය කිව්වට මගෙ මේ 'කලාහිත' කියන බ්ලොග් කට්ට සූ ගාල 25ක් 30ක් වත් බලන්නෙ නැති නිස ඔය ටිකම මං මූණු පොතෙත් ස්ටේටස් අප් ඩේට් එකක් විදියට දාන්න හිතන් ඉන්නව. පස්සෙ බලමුකො පුළුවන් උනොත් බ්ලූක් (Blook) එකක් කරන්නත්. බ්ලූක් කියන්නෙ මොකක්ද කියල දැන් බොල්ග් ලියන කාණ්ඩේ නම් දන්නව. අනිත් අයත් හොයල බලන්න. අලුත් වචනයක් මාත් ලඟදි ඉගෙන ගත්තෙ තිලක සිත බ්ලූක් එක දොරට වඩිනව බලන්න ගිහින්..හිහ්..
ඉතින් මේකට නම දාන්න හිතන් ඉන්නේ 'සේෆ්ටි සිංහලෙන්' කියල. ඕනෙම උනොත් සුද්ද සිංහලෙනුත් පැහැදිලි කරල දෙන්න පුලුවන්. ඉතින් ඔය මගේ සේෆ්ටි පැත්තෙ ඉන්න යාලුවොයි ඒ ගැන උනන්දුව තියෙන යාලුවොයි මොනව හරි අදහසක් එහෙම තියෙනවනම්  දැන්මම දාන එක හොදයි.. පටන් ගන්න කලින්ම කියව බලල හිත වෙනස් කර ගන්නවත්.. තැන් කූ.

Thursday, 7 August 2014

කාලය මැවූ නරුම අරුමය...


හොරකං කරල දෙසීයක් 
ගෙදරක පුංචි කොළු ගැටයෙක්
අහුවෙලා අම්මාට- පුච්චලා අතක්
ආයෙ නොකරන්ට හොරකමක්
ගොසිප් ලංකා පුවතක්..

ඇවිල්ලා ළමා රක්ෂණෙං 
අම්මාව ගෙනිහින් කුදලං
දැම්මාලු කූඩුවේ දැන් කූරු ගැනපං
නොකරන්න ආයේ මේ වගේ 'අනුවේදනීය' 
රජකාලේ දඬුවං..

දුවනවා මයේ හිත හැල්මේ.. තිස් අවුරුද්දක් එපිට අතීතෙට..
මොනවද මංදා කියනවා.. දැනෙනවා අමුත්තක් නුහුරට..

ඉන්නවා පොඩි උන් තුන්දෙනෙක්
ලොකු එකා ගහක අත්තක් උඩ පොඩි උන් දෙන්න බිම ඇණ තියාගෙන..
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මොකක්ද කරන සෙල්ලම..
අයියෝ.. ඒ පොඩිම එකා මම නේද අක්කත් එක්ක බිම දූවිලි නාන..

මල්ලී ගෙනෙං බිත්තර දෙකක් කූඩුවෙං විකුණමු අල්ලපු ගෙදර අන්ටීට..
අපි තියමු 'ටූනමන්ට්' එකක්, බෙදමු බුල්ටෝ, සීනි බෝල දිනන උන්ට..

සුපිරි තරඟාවලියක්.. හවස් වෙනකොට හෙම්බත්..
'ස්පොන්සර්' අල්ලපු ගෙදර ඇන්ටී.. අපේම බිත්තර සල්ලි වලින්..
කියන්නේ කොහොමද අම්මාට..
නොකිය ඉමු අපි 'මැරුවත්'..සපථයක්...

"අනේ අක්කේ දවාලේ.. ගත්තානෙ මං බිත්තර දෙකක්...
සල්ලි දුන්නානෙ 'කළු මහත්තයට'.. හලාගෙනද දන්නෙ නෑ කොහෙවත්.."

"අම්මේ.. ඒක...මම..අරගෙන..එනකොට... ප..ප..පැ..පැන්නානේ..නයෙක්..අහසින්.. "
අළුත් තේ දර හරිම සුවඳයි..සනීපයි වදිනකොට තේ ඉපලෙන්..

තව කොහෙද මූ ලොකු උනාම.. ගලවපන් කලිසම.. ගෙනෙන් මට ලනු කෑල්ලක්..
බොරු කියනවද තෝ ආයෙත්.. කෝ ගෙනෙං පොඩි එකී අඹරපං මිරිස් ගුලියක්...

ටයිප් කරන්න අමාරුයි.. ඉතුරු ටික.. ඇස් පියන් පෙඟවෙලා.. තිස් අවුරුද්දකට පසුවත්..

"යුත්තේ යුත්තේ.. පජ්ජලතී.. පජ්ජලතී.. ගිහින් වරෙන් පුතේ..පරිස්සමින්.."
අපේ පොඩි එකා දැන් හොඳ තැනක.. තුණුරුවන්ගේ පිහිටෙන්..
අපරාදේ කියන්ඩ බෑ අදටත්.. දනගහනවා.. ඕන මහ සෙනගක් මැද්දෙත්..

ඇඬුනේ මට ඇයිද මංදා.. හරියටම තාමත්..
අනේ පොඩි එකෝ තව තිස් අවුරුද්දකින්.. වඳින්නේ උඹ කාටද..
අම්මටද.. ළමා රක්ෂනේටද නැත්නං..