Tuesday, 28 April 2015

නෙළුම්යායේ ලියන්නා- බ්ලොග් සංසදයේ පිකප් එක හා ඉස්සරහට මොකද වෙන්නේ Blogger's Guild Proposed Action Plan (1)

මේ ලියුම පුළු පුළුවන් හැමෝම අතරේ බෙදාගෙන කියවලා අදහස් දක්වන්න.. මේක බ්ලූ ප්‍රින්ට් එකක් විතරයි. කිසිවක් අවසන් තීරණ නොවෙයි. වෙනස් වීමට/ කිරීමට අවකාශ තියෙනවා බහුතර මතයට අනුව. ඇනෝ නොදා දාන කොමෙන්ට් එකක් ප්‍රොෆයිල් නමින් දාන්න. ඇනෝ කියන ඒවා කරන්න අමාරුයි. අපිට ඕනේ හමෝටම එකතු වෙන්න පුළුවන් හැමෝටම අවස්ථාව තියෙන බ්ලොග් එකමුතුවක් හදන්න. පුද්ගල නාම චරිත අමතක කරල මේකට සහයෝගය දක්වන්න. ඒ ඔක්කෝටම කලින් උඩින් පල්ලෙන් නැතුව ටිකක් උනන්දුවෙන් කියවන්න. මොකද මේ ලියුම සිංහල බ්ලොග් අවකාශයේ අනාගතය වෙනුවෙන් ගන්න උත්සාහයක්. 

*********************************************************************************

සියළුම බ්ලොග් යාළුවෝ වෙතටයි..

කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැහැ මට වැටහෙන්නේ..

ඒත් ඉතින් මේක කොහොම හරි ලියන්නත් එපැයි. හරි. හැමෝටම ආයිබෝන් කිව්වා ඕන් එහෙනම්. අපිට නැතත් නෙළුම්යායට හා බ්ලොග් කලාවට දිගු ගමනක් තියෙන්න එපැයි.

දැන් හැමෝම වගේ දන්නවනේ නෙළුම්යාය ගැන.. නොදන්න කෙනෙක් ඉන්නවනම් කියල හිතල මේ කියන්නේ.. නෙළුම්යාය කිව්වේ ලංකා නිව්ස් වෙබ් එකේ ගිය විශේෂාංගයකට.. කොළඹ ගමයා ලියන අජිත් ධර්මකීර්ති තමයි ලංකා නිව්ස් වෙබ් වෙනුවෙන් නෙළුම්යාය සංස්කරණය කරේ. ජිත් හා ලංකානිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ චන්දිම විතාන ආරච්චි කාලයක් ඉඳල බ්ලොග් ලියන්නෝ  හා සැලකියයුතු බ්ලොග් ප්‍රමාණයක් කියවන අය. 2014 අවුරුද්දේ ඉඳල අජිත් මේ බ්ලොග් අතුරින් වැදගත් හා ආකර්ශණීය ලිපි අයිතිකාරයාගේ අවසර අරගෙන නෙළුම්යායේ පල කරන්න ගත්තා. මේක හරි ජනප්‍රිය වැඩක් උනා ඒ එක්කම. ලිපි පළවුනු ලේඛකයෝ දන්නවා ඒත් එක්ක තමන්ගේ ලිපි කියවන පිරිස වැඩි උනු ආකාරය.. ඉතින් බොහෝ දෙනෙක් මාත් ඇතුළුව අජිත්ට සම්පූර්ණ අවසරය දුන්නා අපේ ඕනෙම ලිපියක් නෙළුම්යායේ පළ කරන්න. ඒ අයට අමතරවත් රසවත් ලිපි දැක්කම අයිතිකරුගෙන් අහලා නෙළුම් යායේ පළ කරන වැඩේ ඔහොම දිගටම අජිත් කරගෙන ගියා. මේ වැඩේට චන්දිම විතාන ආරච්චි ගෙන් උපරිම සහය ලැබුණු බවත් මතක් කල යුතුයි. 

රායිට්.. මෙන්න කිසිදු පෙර ඇඟවීමකින් තොරව පහුගිය ජනවාරී මාසේ දෙවෙනිදා  නෙළුං අජිත් (ඒක තමයි දැන් එයාගේ සුරතල් නාමය..) පෝස්ට් එකක් දානවා නෙළුම් යාය බ්ලොග් සම්මාන 2014 යනුවෙන් සම්මාන ලභීන්ගේ නම් ලයිස්තුවකුත් එක්ක.. ඒ අතර හොඳම බ්ලොග් පෝස්ටු 3ක්, හොඳම කවි සංකල්පනා 3ක් හා වසරේ බ්ලොග් කරුවා ලෙස එක් පුද්ගලයෙකුත් තෝරගෙන තියෙනවා. බැලූ බැල්මට ඒ හැම එකක්ම යම් පොදු කාරණයක් මුල් කරගෙන, ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් කර අරින එහෙත් දේශපාලන පමණක් නොවන අත්‍යාවශ්‍ය සමාජ පරිවර්ථනයක් සඳහා කුළුගැන්වුනු නිර්මාණ ලෙසයි බොහෝ මධ්‍යස්ථ පිරිසක් දකින්නේ. යම් තරමකට කන්ට්‍රවර්ශල් උනත් අපි දන්නා ලංකා නිව්ස් වෙබ් මාධ්‍ය භාවිතය හා මේ තෝරා ගැනීම් එකම තලයක තිබූ බවයි පෞද්ගලිකව මගේ හැඟීමත්. ඊට පෙරත් ඔය වගේ සම්මාන සඳහා නිර්දේශ හා සම්මාන ලබාදීම් ගැනත් කසු කුසු ගිය නිසා මේකත් බ්ලොග් අතර මහා ලොකු ගැටළුවක් උනේ නෑ. නමුත් සම්මාන උළෙල යතාර්ථයක් වෙන බව දකින්න දකින්න මේක බ්ලොග් ලෝකයේ උණුසුම් මාතෘකාවක් උනා. විශේෂයෙන්ම හුදෙක් සම්මාන උළෙලකින් පමණක් නොනැවතී බ්ලොග් සංසදයක් පිහිටුවීමට හා ඒ හරහා බ්ලොග් කලාව වැඩිපුර ජනගත කිරීම සඳහා ඉදිරි පියවර කිහිපයක් ගැනීමට නියමිත වීමත් සමඟ මේක රියල් එකටම 'බ්ලොග් දෙබරෙට ගල් ගැසීමක්' උනා. තුවාලෙට ලුණු වැටෙන්න ගත්තේ සම්මාන උළෙල පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය වෙන් කිරීමත් සමඟයි. ඒ සිඳුවීම වූ ආකාරය මීට පෙර කිහිප තැනකම ලියා ඇති නිසා ඒ 'අහම්බය' ගැන වැඩිපුර ලියන්නේ නෑ. කිසිම සම්මාන උළෙලකදී හැමෝවම සතුටු කරන්න බෑ වගේම මෙතනදිත් සම්මාන ලබා දීම් ගැන යම් යම් ගැටළු ඇතිවුනත් චන්දිම විතානආරච්චි හා  නෙළුං අජිත්ගේ අප්‍රතිහත ධෛර්‍යය නිසාම  හා  සහෘද හිතවතුන්ගේ නොමසුරු ආධාර උපකාරයෙන් නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ මෞලි මංගල්‍යය හෙවත් පළමු බ්ලොග් සම්මාන උළෙල සාර්ථක ඉදිරි පියවර රැසකට පළමු පියවර තබමින් පසුගිය මාර්තු 26 වන දින ප්‍රමාණාත්මකව අඩු බ්ලොග්කරුවන්ගේ හා ඊට බොහෝ සෙයින් වැඩි මාධ්‍යය අවධානයක් මැද සාර්ථකව අවසන් උනා..

එතනින් එහාට තමයි කතාව. ලංඩන් වල ඉඳලා මේ වෙනුවෙන්ම ලංකාවට ඇවිත් කොළඹ හෝටලේක නැවතිලා තමයි අජිත් මේ වැඩේ සංවිධානේ කරේ. මුල ඉඳලම මේකට බකප් එක දීපු මට උනත් 'අජිත් අයියා දැන් කොහොමද වැඩේ? අපෙන් මොනවද වෙන්නෝනෙ?' කියල අහනවට වඩා උදව්වක් දෙන්න බැරි උනා.. ඉතින් අජිත් වෙනුවෙං ලංකාවේ මේ කටයුතු හොයල බලල උදව් කලේ ලංකා ඩේලි එකේ හිමාෂි කරුණාරත්න, උපුල් නිශාන්ත ශ්‍රී ලංකා මිරර් එකේ කැලුම් ශිවන්ත වගේ අය . ඔවුන්  බ්ලොග් වලට කෙලින්ම සම්බන්ධ  අය නොවෙයි. ඉතින් ඔය වගේ දුෂ්කරතා ගොඩාක් මැද්දේ කරපු සංවිධාන කටයුතු වල අඩුපාඩු නිසා ඔය වෙලාවේ බ්ලොග් කාරයින්ට නිදහසේ වචනයක් දෙකක් කතා කිරීමට නොහැකි උනා. ආ.. කියන්න අමතක උණු දෙයක් තමයි සම්මාන උළෙල අතර තුරේදී ලංකා නිවස් වෙබ් හී නෙළුම් යාය විශේෂාංගයට අමතරව ඉතා ඉහල වෙබ් අවකාශයක් ආවරණය කර හැකි පරිදි නිර්මාණය උනු නෙළුම්යාය වෙබ් අඩවියත් ලෝන්ච් කරා.. ඉතින් වැඩේ ඉවර උනැයි කියමුකෝ. ඒ වුනත් කාටවත් යන්න හදිසියක් නම් නෑ.. එළියේ ලොබියේ ඔන්න පිළිසඳර ආරම්භ උනා. හැමෝම අජිත් ට ස්තූති කරනවා වැඩේ හොඳට කරාට. අන්තිමට එකා දෙන්නා අමාරුවෙන් හැලිලා එක 'සඳැල්ලකට' ප්‍රමාණය ඉතුරු උනාම තමයි බ්ලොග් සංසදයේ වැඩ ගැන කතා බහ පටං ගත්තේ. ඕවා එකක්වත් කලින් ප්ලෑන් කරලා තිබුණේ නැති උනත් හරිම ස්මූත් විදියට සිද්ද උනා.. හරියට නිකම් 'ඩබල් බ්ලැක් ඔන් ද රොක්ස්' වගේ..

ඊලඟට උදා වුනේ ස්ව කැමැත්තෙන් බ්ලොග් සංසදයේ තනතුරු සඳහා ඉදිරිපත් වීමේ වාරය.. ම්හු.. එකෙක්වත් ඒ ගැන වොරි වෙන්නැති පාර මං ඉදිරිපත් වෙලා වැඩිය බරපතල නැති වගකීමක් ගන්න එකඟ උනා. මට නෙළුං අජිය දීපු 'බරපතල නැති වගකීම' තමයි මේ ලියන්නා කම. (හැබැයි පුතෝ පළවෙනි අවුරුද්දට විතරයි). ඊළඟට මාතලන් හැර එතන සිටි අනිත් හැමෝගේම කැමැත්තෙං වසරේ බ්ලොග් කරු වූ මාතලන් ඉදිරි වසර සඳහා සභාපති කියල බලෙං දැම්ම. ඒක කියනකොට මාතලෙන්ගේ මූණ ඇඹුල් වුනේ හරියට අමුවෙං ගල් කාලක් ගැහුව වගේ.. හැක්. බ්ලොගර්ස් ගිල්ඩ් එක ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිසා ඒ කටයුතු නීතීඥ උපුල්ටම පැවරීමටත් (සමාගම් ලේකම් වරයා ලෙස ) හා තාවකාලිකව මුදල් එහෙ මෙහෙ කර ගැනීමට අවශ්‍ය උනොත් ඒ කටයුතු හිමාශිටම පැවරීමටත් හැමෝම එකඟ උනා. ඊලඟට කාරක සභාව පත් කර ගැනීම. යෝජනා උනු නොයෙක් නම් අතරේ අවසාන වශයෙන් දැනට ඇක්ටිව් බ්ලොග් ලියන්නන් හා කියවා කොමෙන්ට් කරන්නන් අතරින් පහත සඳහන් කීප දෙනා කාරක සභාවට නම් කෙරුණා.

ප්‍රදීප් ජයතුංග (ප්‍රා ජේ- බ්ලොග් එකක් නොලියයි. බොහෝ බ්ලොග් කියවා වටිනා කොමෙන්ට් ඉදිරිපත් කරයි)

මේ අය මෙසේ නම් කිරීමට එකම හේතුව උනේ සාපේක්ශව මේ සඳහා ටිකක් වැඩිපුර කාලය වෙන් කිරීමට හැකියාව තිබුණු නිසයි. පළවෙනි අවුරුද්දෙන් පසු මේ සියල්ල වෙනස් වේවී.

ඔන්න ඊලඟට කරපු වැඩේ තමයි මේ හැමෝවමත් ලංකා නිවස් වෙබ් එකේ චන්දිමවත් එකතු කරලා ඊ මේල් ත්‍රෙඩ් එකක් හදාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඊ-සාකච්ඡා කරපු එක. මේක නොකියාම බැරි පට්ටම ආතල් එකක් උනා. බ්ලොගර්ස් ගිල්ඩ් එකක් හදලා ලෝකෙ වටේම ඉන්න බ්ලොග් කරයෝ එකතු කරන්නේ කොහොමද කියල හිතෙන තරමට අන්තිමට මේ ටික දෙනා මත වලින් හැප්පෙන්න උනා. ලොකුම සංවාද ගියේ ප්‍රධාන කරුණු දෙකකට. එකක් බ්ලොග් කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධව.. දෙවැන්න සම්මාන දීම සඳහා බ්ලොගර්ස් ගිල්ඩ් එකේ නැත්නම් බ්ලොග් සංසදයේ ලියාපදිංචි බ්ලොග් කරුවන් පමණක් අතුරින් තෝරා ගැනීම ගැන.. ඊට අමතරව කුඩා කුඩා විවාද ඇති උනා සාමාජික මුදලක් එකතු කිරීම, බ්ලොග් විනිශ්චය කිරීම සඳහා පත් කරන තේරීම් මණ්ඩලය පිළිබඳව වගේ. මේ කාරණාවලදී හැමෝම බොහෝම නම්‍යශීලීව කටයුතු කල බව කිව යුතුමයි. 

ඉතින් ඔයාකාරයට කටයුතු කරල අවසානම නෙවෙයි ඊට තව ඉඩ තියාගෙන ඊයේ වෙනකොට මෙන්න මේ ක්‍රියාමාර්ග ටික නැත්නම් පිළිවෙල අනුගමනය කරන්න කට්ටියම පොදු එකඟතාවයකට ආවා!

1. ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය නමින් මේ බ්ලොගර්ස් ගිලඩ් එක ව්‍යවස්ථාපිත සංස්ථාවක් විදියට ලියාපදිංචි කිරීම- මේ  සම්බන්ධව නීතීඥ වරයෙකු වන  උපුල් ප්‍රනාන්දු දැනට කටයුතු කරගෙන යනු ලබන අතර ව්‍යවස්ථාව හැදීම සඳහා ඔහුට උදවු කිරීමට අවශ්‍ය අවස්ථාවක බ්ලොග්කරුවන් සූදානමින් සිටිනවා.

2. ඉන් පසු සංගමයේ නමින් ගිණුමක් ආරම්භ කෙරෙනවා. සියළුම මුදල් කටයුතු සිදුවන්නේ ඒ හරහායි. මුදල් ලැබෙන මාර්ග ලෙස දැනට ඩොනේශන්ස්, ඇඩ්වර්ටීස්මන්ට් හා සාමාජික මුදල්ද ඉදිරියේදී තවත් මුදල් ලැබෙන හා බ්ලොග්කරුවන්ට අධාරයක් වෙන ආකාරයේ ආයෝජනද (අදාල පාර්ශව වල අනුමැතිය ඇතුව ) සැළසුම් කරගෙන යනවා. මේ සම්බන්ධව  මහ මොළකරුවන් ලෙස දැනට චන්දිම සහ අජිත් කටයුතු කරනු ඇති. මුදල් වියදම් කිරීමේදී සභාපති/ ලේකම්/ කාරක සභික අත්සනින් යුතුව පමණක් වියදම් කල හැකි අයුරින් සකස් කිරීමට නියමිතයි.

3. සාමාජිකයින් ලියාපදිංචි කිරීම- මෙය ඉතාමත් දරුණුවට විවාදයට ලක්වුනා.. අවසානයේ තීරනය උනේ දැනටත් සින්ඩිවල සිදුවන ආකාරයට බ්ලොගේ නම, බ්ලොගේ වෙබ් ලිපිනය, ඊ මේල් ලිපිනයක් හා අන්වර්ථ නම අනිවාර්ය කොටත් සැබෑ නම, දුරකථන අංක ආදී අනෙකුත් තොරතුරු ඔප්ශනල් ලෙසත් ගූගල් ෆෝර්ම් එකක් හරහා එක් රැස් කොට ගබඩා කර තබා ගැනීමයි. ඉන් ඉදිරියට සාමාජික සාමාජිකාවන් ඊමේල් ලිපිනයන් හරහා දැනුවත් කිරීම සිදුවෙනු ඇති. තවද මෙම තොරතුරු ඉතාමත් රහසිගත ලෙස ඉතාමත් සීමිත පුද්ගලයින් පිරිසක් විසින් පමණක් භාවිතා කරනු ඇති. ගූගල් ෆෝම් එක හෙට අනිද්දා වනවිට බ්ලොග් හා සින්ඩි හරහා ඔබ වෙත එවන්න කටයුතු කරනවා.
මෙහිදී ලියාපදිංචියට එරෙහිවූ කාරක සභිකයින්ගේ මතය වූයේ බ්ලොග් කරුවන් අනාවරණය වීමක් විය හැකිය යන්න නමුත් එය වෙනත් කිහිප ආකාරයකින්ම සිදුවිය හැකි නිසාත් ලියාපදිංචි වීමෙන් ඊට වඩා බොහෝ ප්‍රථිලාභ අත්වන නිසාත් අවසානයේ මේ තීරණයට එළඹිනි. 

4. සාමාජික ගාස්තු අයකිරීම පිළිබඳවද නොයෙක් මත ඉදිරිපත් වූ නමුත් අවසානයේ සියලු දෙනාගේ කැමැත්තෙන් තීරණය වූයේ එක් සාමාජිකයෙකු සඳහා යාවජීව සාමාජික ගාස්තුව රුපියල් 1000/- ක් ලෙසත් වාර්ශිකව සාමාජිකත්වය අළුත් කරන්නේ නම් වර්ශයකට රුපියල් 100/- ක් ලෙසත් සාමාජික ගාස්තු අයකල යුතු බවයි. මේ සඳහා අදාල ගිණුම් අංකය ස්ථාපිත  කිරීමෙන් අනතුරුව සියළු සාමාජික සාමාජිකාවන් දැනුවත් කරනු ඇත. මුදල් තැන්පත් කල රිසිට් පත ස්කෑන් කර ඊ මේල් කිරීමෙන් හෝ වෙනත් අයුරකින් තමන්ගේ මුදල් තැන්පතු කිරීම සනාත කලහැකි විය යුතුයි. 

5. nelumyaya.com කියනෙක තමයි මේ සම්මාන උළෙල සඳහා නිර්මාණ එවියයුතු වෙබ් අඩවිය. ඊමේල් ලිපිනය editor@nelumyaya.com හෝ editor@lankanewsweb.com.  එසේම   www.blogpower.info තමයි බ්ලොග් සංසදයේ සිංඩියලියාපදිංචිවන අයගේ බ්ලොග් මෙතන ඔටෝ අප්ඩේට් වෙනවා. ලියාපදිංචි නොවූවත් සම්මාන සඳහා ඉදිරිපත් කිරීමට කැමති ලිපි වෙතොත් ඔබට හෝ අදාල පුද්ගලයාට මේ සින්ඩිය වෙත හෝ නෙලුම් යාය වෙත ඉදිරිපත් කල හැකියි. (ඉහත සින්ඩියේ පළවන නිර්මාණ අතුරින් දැනටත් වන ආකාරයටම වඩා හොඳ නිර්මාණ ලංකා නිව්ස් වෙබ් හි හා නෙලුම්යාය වෙබ් සයිට් එකේද පළවනු ඇත.) අවසානයේදී ඒ සියලු ලිපි අතරින් කැටගරි එකොළහක්  යටතේ සම්මාන සඳහා නම් යෝජනා කරනවා. සමහර අංශ සඳහා ස්ථාන 3ක් හා අනිත්වා සඳහා එක් සම්මානයක් ලෙස ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ලිපියකින් පහැදිලි කරන්නම්. මෙවර සම්මාන උළෙළට පෙර ජයග්‍රාහිකයින්ගේ නම් ප්‍රසිද්ද කරන්නේ නෑ. නොමිනීස් විතරයි. දැනට තීරණය කර ඇති පරිදි දෙවන සම්මාන උළෙල 2016 මාර්තු 26 වෙනි දින ආණ්ඩුවේ නොවන ස්ථානයකදී පැවැත්වෙනු ඇත. ඊට දේශපාලකයින් ගෙන්වනු නොලබන අතර යමෙකු ආවත් ඔහුට තැන දීමක් නොවෙනු ඇත. අනුග්‍රාහකයින් අවශ්‍ය නිසා මාධ්‍යයට දැන්වීම අවශ්‍යය වේ. 

6. බ්ලොග් විනිශ්චය- මෙයත් දැඩිලෙස කතාබහට ලක්වුනා. බ්ලොග් කියවන හා බ්ලොග් වලට ආදරය කරන අපක්ශපාතී කොටසක් හොයා ගැනීම ඉතාම අපහසු උනා. චන්දිම විතාන ආරච්චි  හා අජිත් ධර්මකීර්ති මෙම විනිශ්චය මණ්ඩලයේ සිටිය යුතුම යැයි තීරණය උනා. ඊට අමතරව ප්‍රවීණ මාධ්‍යවේදී හා පුරෝගාමී බ්ලොග් රචක නාලක ගුණවර්ධන හා BBC හි සරෝජ් පතිරණ මේ සඳහා එක් උනා. අජිත්ට අමතරව අනෙක් බ්ලොග් කරුවන් අතරිනුත් මේ සඳහා නියෝජනයක් අවශ්‍යයැයි හැඟුණු නිසා මම හා අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදාන අපේ බ්ලොග් රචනා මේ වසරේ නිර්මාණ ඇගයීමෙන් ඉවත් කරවාගෙන ඒ සඳහා එක් වුනා. අජිත් ධර්මගේ කොළඹ ගමයාද සම්මාන සඳහා නිර්දේශ වන්නේ නෑ. ඊට අමතරව සිය කැමැත්තෙන්ම මාතලන් විසින් තමන්ගේ බ්ලොග් අඩවියත් මෙම තරඟයෙන් ඉවත් කර ගත්තේ එහි කටයුතු සඳහා විනිවිද භාවයකින් ඉදිරිපත් වීමටයි. නමුත් ඔහු ජජ් පැනල් එකේ සාමාජිකයෙකු ලෙස එක් වන්නේ නෑ. මීට අමතරව තාක්ශණික කරුණු ඇතුලත් ලිපි ඇගයීමේදී අදාල ක්ශේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරනවා. දැනට එකඟතාවයකට පැමිණ ඇති ක්‍රයිටේරියා වලට  අනුව එක් එක් විනිශ්චය මණ්ඩල සාමාජිකයා විසින් වෙන වෙනම ලකුණු ලබාදී අවසානයේ තේරීම සිදු කරනු ලැබෙනු ඇති. අවසන් නොමිනීස්ලාගේ ලිපි ජයග්‍රහකයින් තෝරා ගැනීමට පෙර නැවත මුල සිට සමීක්ශණය කිරීමක්ද බලාපොරොත්තු වෙනවා. 

ඔන්න ඕක තමයි නෙළුම්යාය තොරණේ මෙතෙක් විස්තරය කෙටියෙම්ම. මාතලන් නම් ගත්ත කටටම කියුවා මේකත් බොහෝම දිග වැඩියි කියලා. ඒත් මං අසරණයි ඔයිට වැඩිය කොට කරන්න බෑ මාසෙකට වැඩිය දහපාලොස් දෙනෙක් කතා කරපුවානේ. ඉදිරියේදී කරන්න ඉන්න අනෙක් පොදු ව්‍යායාමයන් පිළිබඳව යථා කාලයේදී දැනුවත් කරන්නම් මූලික අදියර මෙහෙම සාර්ථක කර ගත්තම.

හරී. වැදගත්ම දෙය.. බ්ලොගර්ස් ගිල්ඩ් එක නැත්නම් ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ සංසදය කියන හීනය හැබෑවක් කරගන්නනම් මේ විස්තරේ හොඳින් කියවල තම තමන් දන්න සියළුම බ්ලොග් කරුවන් හා එක්ක බෙදාගෙන වැරදි අඩු පාඩු වෙනස් විය යුතු එක්වියයුතු තැන් ගැන හැකි ඉක්මණින් අපිව දැනුවත් කරන්න. අපි ලෑස්තියි ඔබගේ විචාරාත්මක අදහස් වලට කන් දෙන්න. ඉදිරියේදී මුද්‍රිත මාධ්‍ය පරදල වෙබ් මාධ්‍යය ඉදිරියට එන කාලේ වෙනකොට බ්ලොග්කරුවන් ගැන අවබෝධය හා අවධානය වැඩි වෙනවා. ඒ වෙනකොට අපි ශක්තිමත්ව සංධානගත වෙලා හිටියොත් දැන් වෙනවාට වඩා ප්‍රබල දායකත්වයක් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි කියල තමයි අපේ හැඟීම. මේක කිසිම විදියකින් දේශපාලන ව්‍යායාමයක් නෙවෙයි.. බයියෝ ටොයියෝ සහ ගොයියෝ ඔක්කෝම ඉන්න අපි හැමෝගෙම වැඩක්.. 

සියළුම බ්ලොග්කරුවන් එකමුතු වේවා! බ්ලොග් සංසදය දිගුකල් දෙනේවා! ජය ශ්‍රී!

Tuesday, 14 April 2015

~~~~ මංගල සීනු ~~~~ The sweetest of sound

Photo courtesy; www.google.com

"මේං පුන්චි නෝනා පොටෝ එක.. ඇස්වහක් කටවහක් නැහැ හෝදලා බොන්න පුළුවන් ලස්සනේ බැහැ..." මං ළඟටම ඇවිත් දුන්නා.

කාර් එකක් ළඟ දෙන්නෙක් හිටගෙන ඉන්නවා ෆොටෝ එකේ.." කාර් එක නම් එලස් "කියන්න හිතුනත් මම කටවහ ගත්තා..

රැළි කොන්ඩේ තියෙන සුදු කෙට්ටු කෙනයි..කූරු කොන්ඩෙ තියෙන කළු කෙනයි..කළුමත් නැහැ ඉතින් ..
මම ඒක ආපහු දුන්නා...
"ඕව ඉතින් බඹා කෙටූ හැටියටනේ සිද්ධවෙන්නේ නෝනේ. පුන්චි නෝනව ඉස්කෝලේ යන කාළෙත් දැකලා තියෙනවා කිව්වේ..හරි ගුණ යහපත් දරුවෙක් නෝනෙ"
"එන්ඩ කියල බලනවා/ පස්සෙන් පහු බැරිය ඉතින්... සුදුසු දෙයක් කරන්ඩ"
සහරාවෙත් ඉර එළිය විකුණයි මෙයා ඉතින්.. කියල මට හිතුනේ කපු ඇන්ටි ගැන
"හොඳයි මම කේන්දර බලවල කියන්නම්කෝ" අම්ම කීවා.මගේ ඔළුව අංශක 90 කැරකුනේ කම්මුළට ගැහුව වගේ..
අම්ම මා දිහ බැළුවෙ නැහැ..
"අම්මේ?" මගේ හිත කෙඳිරුවා..
"මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නේ..ඕවා කල්දාන වැඩ නෙවිනේ? මේ සෙනසුරාදාට එන්න කියමු."
"ම්.ම්.ම්.ම්.ම්.ම්. හවසට මම කෝල් එකක් දෙන්නම්.. කේන්දර බලවල"
"හොඳයි නෝනේ මම ගිහින් එන්නම්.. පුන්චි නෝනාගෙ පින තමයි ඉතිං"

ඉතුරුටික කියවන්න මෙතනින් නිහඬ සිත්තරාවී... 



*********************************
අවුරුදු නිවාඩුවට ගමේ ඇවිත් ඉන්න නිසා පට්ට බිසී.. හෙට නොනැකතේ කට කපල නිදා ගන්න හිතන් අද නිදි වරාගෙන මිස් වෙච්චි බ්ලොග් ටික කවර් කරනව.. පහුගිය සතියේ හඳුන්වල දුන්නු මගේ හිතවතිය එදාම අළුතින් බ්ලොග් එකක් පටන් ගත්තා නිහඬ සිත්තරාවී නමින්.. මට ලියන්න වෙලාවක් නැති උනත් දැන් ගෝලයෙක් ඉන්නවනේ ලියන්න කියල සතුටු වෙන්න පුළුවන්. තවම කෙල්ල ටිකක් කලබලයි. ඒ වගේම ආගන්තුකයි. අඩු පාඩු එමට තියෙනව හදා ගන්න.  හැබැයි පුදුම හැකියාවක් හා උනන්දුවක් තියෙනව ලිවීමට.. හැකි හැම වෙලාවකම ඒ පැත්තට ගොඩ වෙලා වචනෙකින් හරි සහයෝගයක් දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව.. මෙතන කොමෙන්ට් නොදැම්මට කමක් නෑ.. ඇයට සහයෝගයක් විදියට වචනයක් එතන ලියල යන්න.. කවද හරි දක්ශ ලේඛිකාවක් බ්ලොග් කාරියක් ඇය තුලින් දකින්න ලැබුනොත් අපි හැමෝටම ඒකේ කොටස් කාරයෝ විදියට සතුටු වෙන්න පුළුවන් වෙයි.. තව පැය කිහිපයකින් ලබන්නාවූ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද බ්ලොග් වාසී සැමටම තව තව නවමු අදහස් ගලාගෙන එන හා ඒවා අකුරු කිරීමට අහවරයක් ලැබෙන සැහැල්ලු හා සාමකාමී වසරක් වේවා! සිංහල අවුරුදු පැතුම් හා චාරිත්‍ර වාරිත්‍ර ගැන නම් කියන්න තියෙන්නේ විමලරත්න කුමාරගම කියපු විදියට 'මං නොකෙරුවාත් නොකරමි එය ගැරහීම' කියල තමයි. 'නොකෙරුවත්' කියුවට වයින් කරපු රොබෝ කෙනෙක් වගේ හැම එකම කරන්නත් වෙනවා බලධාරියාගේ අණට අවනත විය යුතු නිසා.. දැනටම හිත හදාගෙන ඉන්නේ හෙට උදේ හතකුත් ගානේ ඉඳල හවස් වෙනකම් බඩගින්නේ ඉන්න.. ජය ශ්‍රී!

Monday, 6 April 2015

ඇත්ත ආදරේ හා බොරු ආදරේ.. A Tear Bewails

Photo courtesy: www.google.com

අප්පච්චි: මගෙ සුදු දුව ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? මම වට පිට බැලුවා .. ආච්චි, සීය , අම්මා, අප්පච්චි මං දිහා බලන් ඉන්නවා.. ඒ හැමෝම තනියෙන් ඉඳන් ඒ ප්‍රශ්නෙ ඇහුව වෙලාවට එ ඇහුව කෙනාට තමා මම වැඩියෙන් ආදරේ කියලා මම කියල තියෙනවා.

මම වැඩියෙන්ම ආදරෙ ම්.ම්.ම්.ම්. වැඩියෙනම් ආදරේ බිත්තියට

හැමෝම හය්යෙන් හිනාවුණා. මම කිව්වෙ ඇත්ත කියල පෙන්වන්න,, මම දුවගෙන ගිහින් බිත්තියට හොඳ උම්ම එකක් දුන්නා

අප්පච්චි: හැබැයි මගෙ දෝනි මට පොරොන්දු උනා මම නැති කාළෙක අම්මයි නංගියි මල්ලියි බලාගන්න

සීයා: එයා ආච්චිවත් බලාගන්නව කිව්වනෙ ආදරෙන්

මම: සීයාවත් බලාගන්නම්.. සීයාට ඉතින් කන්නාඩි දෙකයි. බුලත් හෙප්පුවයි, හැරමිටියයි නේ ඕනි? ආච්චිට නම් කෝලිකුට්ටු, තල , පුහුල් දෝසි නෙ?

මම ඇත්ත කිව්වමත් එයාලා හිනාවෙනවා බොරු කිව්වමත් එයාල හිනාවෙනව

කාලයක් ගතවුනා

හදිසියේ අසනීප වුණු සීයා අපිව දාලා ගියා.

ආච්චි එයාගෙ මිනීපෙට්ටිය ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා අඬ අඬා හිටියා.. කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. නිදාගත්තෙත් නැහැ..

"පව් දෙය්යනේ දැන් ඉතින් තනි වෙලා නෙ?" කියලා තමයි ආපු කෙනෙක් කිව්වෙ

මම: ආච්චි, මම කවදාවත් මැරෙන්නෙ නැතුන් ආච්චිව බලාගන්නම්.. මුළු ලෝකෙන්ම මම වැඩියෙනම් ආදරෙ ආච්චිට තමයි. ආච්චි මහ හයියෙන් ඇඬුවට ඊට පස්සෙ මාව උකුලෙ තියන් මයි හිටියෙ.

අම්මා දොර රෙද්දෙන් එබිකම් කරලා මට ඔළුවෙන් කතා කරල දොඩම් වීදුරු දෙකක් දුන්නා ආච්චිටයි මටයි. මම අරන් ඇවිත් ආච්චිත් එක්ක ඒක බිව්වා

මම කිව්වෙ බොරුවක්.. ආච්චි ඇඬුවට දැන් එයා බිව්වනෙ මට හිතුනෙ.

ඊට පහුවෙනිදා සීයා භූමදානය කරන දවස. මම සීයගෙ කණ්ණාඩි කුට්ට්මයි, ටොර්ච් එකයි බුලත්  විටකුයි හකුරු කෑල්ලකුයි මගෙ රතු පාට අත් බෑගයට දාලා අම්මා දුන්නු අලුත් සුදු ගවුම ඇඳගත්තා.

හැම එකටම ඇඟිලි ගහන අම්මට මම රතු බෑග් එකක් කරේ දාගෙන ඉන්නෙ ඇයි කියලා අහන්න අමතක උනා.
හැමෝම අඬද්දි ලොකු මාමයි අප්පච්චියි ඇඬුවෙ නැහැ. ඇයි කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඇඬුවෙ නැහැ. මිනීපෙට්ටිය සොහොනෙදි ඇරියම හැමෝම ඇඬුවා. ආච්චිව වාහනේට ගෙනියන්න කියල ලොකු මාම කිව්වෙ හොඳ වෙලාවට. මම රිංගල ගියා සීයා ළඟට. අප්පච්චි මාව වඩාගෙන කිව්ව සීයට කතා කරන්න දෝනි කියලා.. 

"සීයෙ මම ආච්චිට වැඩියෙන්ම ආදරෙයි කිව්වෙ බොරුවට හොඳේ. එයා අඬන නිසා තමා කිව්වෙ. "බෑග් එක ඇරලා මට ඕනි දේවල් මම සීයගෙ අත ළඟින් තිබ්බා "සීයාගෙ කණ්ණාඩි කුට්ටමයි ටෝර්ච් එකයි මෙන්න බුලත් විටකුයි තියෙනවා. බුලත් විට මත් උනොත් හකුරු කෑල්ල කන්න හොඳේ.. පල්ලම් බහින්නේ පරිස්සමින් ඔන්න මම නෑනෙ සීයව අල්ලන් යන්න..." සීයගෙ මූනට පාත් වුනෙ ලොකු උම්මා එකක් දෙන්න. ලොකු කඳුළු බිඳු දෙකක් සීයගෙ මූනට වැටුන.. කඳුළු අප්පච්චිගෙ.. කෑගහල ඇඬුවෙ නැතත් හය්යෙන් හිනාවෙන කොට වගෙ අප්පච්චි ගැහුණා. අප්පච්චි අඬනවා. මම ඇත්ත කිව්වම එයා මොකෝ අඬන්නේ? ලොකුමාමා "ඔය දරුවා වාහනේට අරන් යන්න" කිව්වම මාව අතෙන්  අත මාරුවෙලා මං නොදන්න මාමි කෙනෙක් මාව වෑන් එකට වඩා ගෙන ගියා. වෑන් එකේ ඉන්න කොටයි මට මතක් උනේ නෙළුම් මල්..මං ආපහු සොහොන ළඟට දිව්වා.. මිනීපෙට්ටිය වල ඇතුලෙ. හැමෝම පස් මිට මිට අරන් දානවා. මම පොඩිවිච්ච නෙළුම් මල් දෙකක් අරන් ලොකු මාමාටයි අප්පච්චිටයි එක එක දුන්න. 

" ලොකු මාමි සීයගෙ  මරණෙට පස් මිටක්වත් දාන්න ආවනං ඇති කියලා සීය මට කිව්වා.. ඔයා හොඳයි ලොකු මාමි" මම කිව්වා..ලොකු මාමිගෙ මූණ කළු උනා. ඇස් රතු වුණා. අඬන්න තමා හදන්නෙ මට හිතුණා..ඉතිරි නෙළුම් මල් වලින් වැඩිය තැලිච්ච නැති මලක් අරන් වලට දාලා මම අප්ප්ච්චිව හෙව්වා. අප්පච්චියි මාමියි බදාගෙන ඉන්නව මුකුත් නොකියා.. ඇස් වල කඳුළු ....මම හැරිච්ච ගමන් දිව්වම දිව්ව වෑන් එකට. ඇත්ත කිව්වමත් අඬනවා.. 

කාලයක් ගත්වෙලා  අප්පච්චි අපෙන් වෙන් වුණා. මහ හය්යෙන් කෑ ගහල මට අඬන්න හිතුනාට මම ඇඬුවෙ නැහැ. "අනේ අප්පච්චි මුළු ලෝකෙන්ම මම වැඩියෙන්ම ආදරේ ඔයාට" කියලා මට කටක් ඇරල කියන්නම බැරි වුණාඒත් මල්ලියි නංගියි අම්මයි බලාගන්නවා කියලා මම හිතින් කියලා අප්පච්චිගෙ හීතල නළල ඉඹලා පොරොන්දු වුණා.. මට එදා අඬන්න බැරි වුණාට  මම හැමදාම අඬනවා. හැමෝටම හොරෙන් " අනේ .. අප්ප්ච්චි හිටියනං... කියලාදැන් මම මල්ලිටයි නංගිටයි ආදරේ.. ඒත් ඒක ලොකුම ඇත්තද? බොරුවද කියලා මට හිතා ගන්න බැහැ.එහෙම නැත්නම් මගේ ආදරේද ලොකුම බොරුව?නංගිටයි මල්ලිටයි මම ආදරෙයි කියන්නත් බයයි.. එයාලාත් මාව දාල ගියොත්? ඉතින් නංගි මල්ලි හරි " අක්කි ලෝකෙ වැඩියෙන්ම කාටද ආදරේ? " කියලා ඇහුවම මම කියන්නෙ... " අප්පච්චිට " කියලා ඒක බොරුවක් තමා. ඒත් කවුරුත් ඒක අහල අඬන්නෙ නැහැ.. හොරෙන් මම ඇරෙන්නමට  දුක ඇයි දන්නවද? මම මැරුණම මගෙ සොහොනට එකම එක සැරයක් සුදු නෙළුම් මලක් තියන්න කෙනෙක් නැතිවෙයි කියලා..

හංසමාලී

********************************

මේ කාලයේ කොටසක් බ්ලොග් ජනප්‍රිය කරන්න කියලා ලොකු උත්සාහයක් ගන්න අතරෙම සමහර ප්‍රවීණ (ප්‍රවීණ කියනෙකේ පරණ කියන අදහසත් තියෙනවනම් මෙතනට ප්‍රවීණ කියන වචනෙ හරියටම ගැලපෙනවා) බ්ලොග් කරුවන් හා කාරියන් බ්ලොග් වලින් කෙමෙන් ඈත්වෙලා ෆේස් බුක් හා ට්විටර් වගේ (බ්ලොග් වලටත් වඩා) ඩයිනමික් මාධ්‍ය වලට ගොනු වෙනවා.. ඒ වගේම සමහරු ඉන්නව බ්ලොග් ගැන දැනුවත් භාවයක් නැති නිසා හා බ්ලොග් ලෝකයට පිවිසීමට හා ආකර්ශණයක් ගොඩ නගා ගැනීමට ඇති අපහසුව නිසා බ්ලොග් එකකට වඩා ෆේස් බුකියටම සින්න වෙලා ඉන්න කොටසක්. නමුත් ඒ අතර ඉන්න සමහරුන්ට ඉතා ඉහල නිර්මාණාත්මක හැකියාවක් තියෙනව.. මං මීට ටික දවසකට කලින් මේ වගේ මූණු පොතේ ඇතිඋනු කවි සංවාදයක් මගේ බ්ලොග් එකේ දැම්මා.. ඒකට මුල් වුණු ඒ කවිකාරිය මගේ ප්‍රදේශයෙම තරුණ කිවිඳියක් වීම මට ලොකු සතුටක් උනා. ඇගේ කවි හැකියාව ගැන මං පැහැදීමකින් හිටියත් අද මට ඇගේ තවත් හැකියාවක් දක්නට ලැබුනා.. ඒ තමයි මේ ඉහළින් දැක්වුනු ගද්‍ය කාව්‍යය. නිර්මාණයක් ලෙස එය ඉතා සාර්ථකව සිතට වදින්න ඉදිරිපත් කිරීමට ඇය සමත්.. ඉතින් ප්‍රියන්ති හංසමාලී නම් වූ ඒ සුන්දර කලාකාරියට දක්වන අනුග්‍රහයක් ලෙස ඒ නිර්මාණය මෙසේ මෙහි පල කරන්නේ ඇගේ පූර්ණ අවසරය සහිතවයි. අනාගතයේ දවසක ඇය තුලින් තවත් බස්සී කෙනෙකු, ඔමා කෙනෙකු, දිලා කෙනෙකු බිහිවනු දැකීම මගේ අපේක්ශාවයි. ඔබේ අදහස්ද ඇයව දිරිමත් කරාවී. ස්තූතියි.