Photo courtesy: www.google.com
අප්පච්චි: මගෙ සුදු දුව ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? මම වට පිට බැලුවා .. ආච්චි, සීය , අම්මා, අප්පච්චි මං දිහා බලන් ඉන්නවා.. ඒ හැමෝම තනියෙන් ඉඳන් ඒ ප්‍රශ්නෙ ඇහුව වෙලාවට එ ඇහුව කෙනාට තමා මම වැඩියෙන් ආදරේ කියලා මම කියල තියෙනවා.
මම වැඩියෙන්ම ආදරෙ ම්.ම්.ම්.ම්. වැඩියෙනම් ආදරේ බිත්තියට
හැමෝම හය්යෙන් හිනාවුණා. මම කිව්වෙ ඇත්ත කියල පෙන්වන්න,, මම දුවගෙන ගිහින් බිත්තියට හොඳ උම්ම එකක් දුන්නා
අප්පච්චි: හැබැයි මගෙ දෝනි මට පොරොන්දු උනා මම නැති කාළෙක අම්මයි නංගියි මල්ලියි බලාගන්න
සීයා: එයා ආච්චිවත් බලාගන්නව කිව්වනෙ ආදරෙන්
මම: සීයාවත් බලාගන්නම්.. සීයාට ඉතින් කන්නාඩි දෙකයි. බුලත් හෙප්පුවයි, හැරමිටියයි නේ ඕනි? ආච්චිට නම් කෝලිකුට්ටු, තල , පුහුල් දෝසි නෙ?
මම ඇත්ත කිව්වමත් එයාලා හිනාවෙනවා බොරු කිව්වමත් එයාල හිනාවෙනව
කාලයක් ගතවුනා
හදිසියේ අසනීප වුණු සීයා අපිව දාලා ගියා.
ආච්චි එයාගෙ මිනීපෙට්ටිය ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා අඬ අඬා හිටියා.. කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. නිදාගත්තෙත් නැහැ..
"පව් දෙය්යනේ දැන් ඉතින් තනි වෙලා නෙ?" කියලා තමයි ආපු කෙනෙක් කිව්වෙ
මම: ආච්චි, මම කවදාවත් මැරෙන්නෙ නැතුන් ආච්චිව බලාගන්නම්.. මුළු ලෝකෙන්ම මම වැඩියෙනම් ආදරෙ ආච්චිට තමයි. ආච්චි මහ හයියෙන් ඇඬුවට ඊට පස්සෙ මාව උකුලෙ තියන් මයි හිටියෙ.
අම්මා දොර රෙද්දෙන් එබිකම් කරලා මට ඔළුවෙන් කතා කරල දොඩම් වීදුරු දෙකක් දුන්නා ආච්චිටයි මටයි. මම අරන් ඇවිත් ආච්චිත් එක්ක ඒක බිව්වා
මම කිව්වෙ බොරුවක්.. ආච්චි ඇඬුවට දැන් එයා බිව්වනෙ මට හිතුනෙ.
ඊට පහුවෙනිදා සීයා භූමදානය කරන දවස. මම සීයගෙ කණ්ණාඩි කුට්ට්මයි, ටොර්ච් එකයි බුලත් විටකුයි හකුරු කෑල්ලකුයි මගෙ රතු පාට අත් බෑගයට දාලා අම්මා දුන්නු අලුත් සුදු ගවුම ඇඳගත්තා.
හැම එකටම ඇඟිලි ගහන අම්මට මම රතු බෑග් එකක් කරේ දාගෙන ඉන්නෙ ඇයි කියලා අහන්න අමතක උනා.
හැමෝම අඬද්දි ලොකු මාමයි අප්පච්චියි ඇඬුවෙ නැහැ. ඇයි කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඇඬුවෙ නැහැ. මිනීපෙට්ටිය සොහොනෙදි ඇරියම හැමෝම ඇඬුවා. ආච්චිව වාහනේට ගෙනියන්න කියල ලොකු මාම කිව්වෙ හොඳ වෙලාවට. මම රිංගල ගියා සීයා ළඟට. අප්පච්චි මාව වඩාගෙන කිව්ව සීයට කතා කරන්න දෝනි කියලා..
"සීයෙ මම ආච්චිට වැඩියෙන්ම ආදරෙයි කිව්වෙ බොරුවට හොඳේ. එයා අඬන නිසා තමා කිව්වෙ. "බෑග් එක ඇරලා මට ඕනි දේවල් මම සීයගෙ අත ළඟින් තිබ්බා "සීයාගෙ කණ්ණාඩි කුට්ටමයි ටෝර්ච් එකයි මෙන්න බුලත් විටකුයි තියෙනවා. බුලත් විට මත් උනොත් හකුරු කෑල්ල කන්න හොඳේ.. පල්ලම් බහින්නේ පරිස්සමින් ඔන්න මම නෑනෙ සීයව අල්ලන් යන්න..." සීයගෙ මූනට පාත් වුනෙ ලොකු උම්මා එකක් දෙන්න. ලොකු කඳුළු බිඳු දෙකක් සීයගෙ මූනට වැටුන.. කඳුළු අප්පච්චිගෙ.. කෑගහල ඇඬුවෙ නැතත් හය්යෙන් හිනාවෙන කොට වගෙ අප්පච්චි ගැහුණා. අප්පච්චි අඬනවා. මම ඇත්ත කිව්වම එයා මොකෝ අඬන්නේ? ලොකුමාමා "ඔය දරුවා වාහනේට අරන් යන්න" කිව්වම මාව අතෙන් අත මාරුවෙලා මං නොදන්න මාමි කෙනෙක් මාව වෑන් එකට වඩා ගෙන ගියා. වෑන් එකේ ඉන්න කොටයි මට මතක් උනේ නෙළුම් මල්..මං ආපහු සොහොන ළඟට දිව්වා.. මිනීපෙට්ටිය වල ඇතුලෙ. හැමෝම පස් මිට මිට අරන් දානවා. මම පොඩිවිච්ච නෙළුම් මල් දෙකක් අරන් ලොකු මාමාටයි අප්පච්චිටයි එක එක දුන්න.
" ලොකු මාමි සීයගෙ මරණෙට පස් මිටක්වත් දාන්න ආවනං ඇති කියලා සීය මට කිව්වා.. ඔයා හොඳයි ලොකු මාමි" මම කිව්වා..ලොකු මාමිගෙ මූණ කළු උනා. ඇස් රතු වුණා. අඬන්න තමා හදන්නෙ මට හිතුණා..ඉතිරි නෙළුම් මල් වලින් වැඩිය තැලිච්ච නැති මලක් අරන් වලට දාලා මම අප්ප්ච්චිව හෙව්වා. අප්පච්චියි මාමියි බදාගෙන ඉන්නව මුකුත් නොකියා.. ඇස් වල කඳුළු ....මම හැරිච්ච ගමන් දිව්වම දිව්ව වෑන් එකට. ඇත්ත කිව්වමත් අඬනවා..
කාලයක් ගත්වෙලා අප්පච්චි අපෙන් වෙන් වුණා. මහ හය්යෙන් කෑ ගහල මට අඬන්න හිතුනාට මම ඇඬුවෙ නැහැ. "අනේ අප්පච්චි මුළු ලෝකෙන්ම මම වැඩියෙන්ම ආදරේ ඔයාට" කියලා මට කටක් ඇරල කියන්නම බැරි වුණාඒත් මල්ලියි නංගියි අම්මයි බලාගන්නවා කියලා මම හිතින් කියලා අප්පච්චිගෙ හීතල නළල ඉඹලා පොරොන්දු වුණා.. මට එදා අඬන්න බැරි වුණාට මම හැමදාම අඬනවා. හැමෝටම හොරෙන් " අනේ .. අප්ප්ච්චි හිටියනං... කියලාදැන් මම මල්ලිටයි නංගිටයි ආදරේ.. ඒත් ඒක ලොකුම ඇත්තද? බොරුවද කියලා මට හිතා ගන්න බැහැ.එහෙම නැත්නම් මගේ ආදරේද ලොකුම බොරුව?නංගිටයි මල්ලිටයි මම ආදරෙයි කියන්නත් බයයි.. එයාලාත් මාව දාල ගියොත්? ඉතින් නංගි මල්ලි හරි " අක්කි ලෝකෙ වැඩියෙන්ම කාටද ආදරේ? " කියලා ඇහුවම මම කියන්නෙ... " අප්පච්චිට " කියලා ඒක බොරුවක් තමා. ඒත් කවුරුත් ඒක අහල අඬන්නෙ නැහැ.. හොරෙන් මම ඇරෙන්නමට දුක ඇයි දන්නවද? මම මැරුණම මගෙ සොහොනට එකම එක සැරයක් සුදු නෙළුම් මලක් තියන්න කෙනෙක් නැතිවෙයි කියලා..
- හංසමාලී
********************************
මේ කාලයේ කොටසක් බ්ලොග් ජනප්‍රිය කරන්න කියලා ලොකු උත්සාහයක් ගන්න අතරෙම සමහර ප්‍රවීණ (ප්‍රවීණ කියනෙකේ පරණ කියන අදහසත් තියෙනවනම් මෙතනට ප්‍රවීණ කියන වචනෙ හරියටම ගැලපෙනවා) බ්ලොග් කරුවන් හා කාරියන් බ්ලොග් වලින් කෙමෙන් ඈත්වෙලා ෆේස් බුක් හා ට්විටර් වගේ (බ්ලොග් වලටත් වඩා) ඩයිනමික් මාධ්‍ය වලට ගොනු වෙනවා.. ඒ වගේම සමහරු ඉන්නව බ්ලොග් ගැන දැනුවත් භාවයක් නැති නිසා හා බ්ලොග් ලෝකයට පිවිසීමට හා ආකර්ශණයක් ගොඩ නගා ගැනීමට ඇති අපහසුව නිසා බ්ලොග් එකකට වඩා ෆේස් බුකියටම සින්න වෙලා ඉන්න කොටසක්. නමුත් ඒ අතර ඉන්න සමහරුන්ට ඉතා ඉහල නිර්මාණාත්මක හැකියාවක් තියෙනව.. මං මීට ටික දවසකට කලින් මේ වගේ මූණු පොතේ ඇතිඋනු කවි සංවාදයක් මගේ බ්ලොග් එකේ දැම්මා.. ඒකට මුල් වුණු ඒ කවිකාරිය මගේ ප්‍රදේශයෙම තරුණ කිවිඳියක් වීම මට ලොකු සතුටක් උනා. ඇගේ කවි හැකියාව ගැන මං පැහැදීමකින් හිටියත් අද මට ඇගේ තවත් හැකියාවක් දක්නට ලැබුනා.. ඒ තමයි මේ ඉහළින් දැක්වුනු ගද්‍ය කාව්‍යය. නිර්මාණයක් ලෙස එය ඉතා සාර්ථකව සිතට වදින්න ඉදිරිපත් කිරීමට ඇය සමත්.. ඉතින් ප්‍රියන්ති හංසමාලී නම් වූ ඒ සුන්දර කලාකාරියට දක්වන අනුග්‍රහයක් ලෙස ඒ නිර්මාණය මෙසේ මෙහි පල කරන්නේ ඇගේ පූර්ණ අවසරය සහිතවයි. අනාගතයේ දවසක ඇය තුලින් තවත් බස්සී කෙනෙකු, ඔමා කෙනෙකු, දිලා කෙනෙකු බිහිවනු දැකීම මගේ අපේක්ශාවයි. ඔබේ අදහස්ද ඇයව දිරිමත් කරාවී. ස්තූතියි.