Friday, 29 May 2015

උඩඟු දොස්තර කබායකින් යටපත් කල නොහැකි වූ පන්හිඳක් හා කවි හිතක් ගැන අතරමැදි සටහනක් .. An ideation on 'Anithkona - a doctor's heart sutra'

පුංචි බොරැල්ල බෝධියේ අළුත් තුරුපත් ලතාවකට නලවගෙන එන සිහිල් සුළඟක් රාජකාරී නිවස්නයේ බීරළු කවුලු අතරින් අපහසුවෙන් රිංගගෙන ඇවිත් මාව සිසිල් කරන්න අසීරු උත්සාහයක.. ඉඳල හිටල ඒ සුළඟම අරන් එන මහ ඉස්පිරිතාලේ වාට්ටුවක සැර බෙහෙත් සුවඳක් නැත්නම් අසල මල් ශාලාවකින් ඊට එකතු වෙච්චි ෆෝමලීන් සුවඳක් ඊට වඩා පහසුවෙන් මට සමහර 'පෙර නිමිති' සිහි කරනව.. පහු ගිය සතිය හරිම කලබලයි.. වැඩියෙන්ම හිතට.. යාපනයේ පුන්කුඩුතිවු අඳුරු දිවයිනේ නපුරු වන වදුලක වසන්තය එළබීමට මත්තෙන් තැලී පොඩිවී ගිය විත්‍යා පුංචි මල් කැකුල ඒ සතිය  පුරාමත් තවමත් මගේ හිතේ බරට අඩි තිය තිය සක්මන් කරනවා ....

රිදුණු පෑරුණු හිත සනස ගන්න හොඳම ව්‍යායාමය එක්කෝ යමක් කියවන එක.. නැත්නම් ලියනෙක.. මගේ පුංචි පොත් ගුලට මෑතක එකතු වුනු පොත් කීපයක් අතරින් අනිච්ඡානුකවම මගේ අත නවතුනේ නන්දිකඩාල් කළපුවට එපිටින් රතු දුඹුරු පැහැගත් ක්ෂිතජයින් අපහසුවෙන් ඉල්පීමට උත්සාහ ගන්නා වෙහෙසකර ඉර සේයාවකින් සැරසූ අපූරු පොත් පොඩ්ඩක් ලඟ.. ඊට ඇතුලෙන් සායනික කඩදාසි ගොන්නක ලියැවුනත් ජීවිතය ගැනම ලියවුනු කතන්දර ගොන්නක්.. පොතේ නම ටිකක් විතර අමුතුයි.. 'අනිත් කොන- a doctor's heart sutra'.. කතුවරිය අපි කවුරුත් හඳුනන අපේ හිතවතිය 'බෝ' නැත්නම් වෛද්‍ය බෝධිනී සමරතුංග.  



බෝධිනී ට තියෙන්නේ කවි හිතක්.. ඇගේ පෑන ඒ කවි හිත නොමසුරුව අතට අහුවෙන ඕනෙම කඩදාසියක් මත ලස්සනට සිත්තම් කරනව.. වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ ඇයට නිතර මුණ ගැනෙන විවිධ වූ චරිත ඈ ඇගේ පෑන් තුඩින් නැවත නැවත උපද්දවන්න දක්වන්නේ අමුතුම සමත්කමක්. රාජකාරී ජීවිතයේ මුල්ම වකවානුවේ හුරුපුරුදු අගනුවර පරිසරයෙන් මිදී දිවයිනේ අනිත් කොනෙහි පිහිටි රෝහලක දුෂ්කර සේවය කැමැත්තෙන්ම තෝරා ගන්නා ඇයගේ කොහොමත් ලිවීමට කියවීමට බර හිත එනයින්ම තව තවත් කුළුගැන්වෙනවා. වසර ගණනාවක සිට ඔබ මා ආසාවෙන් කියවූ 'අනිත් කොන' බ්ලොග් අඩවිය එහි ප්‍රථිපලයයි.  

අනිත් කොන ලියූ සටහන් මට ගොඩාක්ම සමීපයි. මගේ වෘත්තීය ජීවිතයත් පටන් ගන්නේත් ඊයේ පෙරේද විත්‍යා දියණිය අවසන් ගමන් ගිය කයිට්ස්- පුන්කුඩුතිව් අනිත් කොනේ කුඩා දිවයින් සමූහය ආශ්‍රිත ප්‍රදේශයෙන්. යාපනය නගරයෙන් මෙකී දූපත් සමූහයට එළඹෙන විට පලමුවෙන්ම හමුවන අල්ලම්පිඩි නාවික හමුදා මාර්ග බාධකයේ අණභාර නිළධාරී ලෙස මා පත්වන විට විත්‍යා දැරිය වයස අවුරුදු තුනක පමණ පුංචි එකියක් විය යුතුයි. 

හමුදා නිළධාරියෙක් හා වෛද්‍ය වෘත්තිකයෙක් යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ වෘත්තීන් දෙකක්. හැබැයි, පහසුවෙන් දැකිය නොහැකි බොහෝ සමානතා ද මේ වෘත්තීන් දෙක අතර හිඟ නෑ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික වෘත්තියෙන් බැහැරව මෙවන් වූ දුෂ්කර සේවා නැත්නම් යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයක ජනතාවගේ ගැළවුම්කරුවන් ලෙස කටයුතු කිරීමේදී මේ සමානතා බොහෝ දුරට ඉස්මතු වෙනවා. 

සාධාරණ සේවයක් සඳහා මෙවන් අවස්ථාවල ඇතිවන ප්‍රධානම බාධකය තමයි භාශා ගැටළුව. මට අදටත් නිවැරදිව හසුරුවගත නොහැකි දෙමළ භාශාව කඩිනමින් ඉගෙන ගත් හැටි 'බෝ' ලියද්දී මට මං ගැනම දැනුනේ පුංචි විචිකිච්චාවක්. එදා ඒ සඳහා මා ගත් පියවර වූයේ දෙමළ භාශාව හොඳින් හැසරවිය හැකි ගෝලයෙකු නැත්නම් 'බඩියෙකු' ළංකරගැනීමයි. ඒ ගෝලයා සමඟම මගේ දෙමළ ඉගෙන ගැනීමට තිබූ වටිනා අවස්ථාවද එතනින් මාරුවී ඒමත් සමඟම අහිමි උනා. 

අනිත්කොන පොත ගැන විද්වත් සාකච්ඡාවක් පහුගිය සැප්තැම්බර් මාසේ දවසක තියෙනව කියල බෝධිනී දැනුම් දීල තිබුනත් මොකක් හරි රාජකාරී වැඩක් නිසා ඒ අවස්ථාව මඟ හැරුණ. ඒ ගැන 'බෝ'ගේ මූණු පොතේ තිබුණු පින්තූර ටික දැක්කම තමයි මට හීල්ලුනේ. දශක දෙකකට පමණ පෙර හමුදාවට බැඳෙන්න කලින් මගේ හීනයක් වුනු ජනමාධ්‍යවේදියෙක් වෙන්න හිතාගෙන ගිය ගමනේදී මට හමුවූ ඒ සොඳුරු ගුරුතුමා මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් ඇතුළු බොහෝ විද්වතුන් හා සහෘදයින් රැසක් සමඟ ගෙවා දැමීමට තිබූ ඒ සොඳුරු හෝරා කීපයයි මා විසින් එසේ අතහැර දමා තිබුනේ. 

අතීත මතකයන් හා සැරිසරන ගමන්ම මගේ ඇස් පොත දිගේ ඉස්සරහට ඇදෙනවා. හදිසියෙම වගේ මගේ ඇස් නතර උනේ ඇයට උණ ගැනී අසාධ්‍යව ඉන්න ගමන්ම කාර්ය භාර වෛද්‍යවරිය ලෙස රෝහලේ සේවය කරමින් ලැබූ තවත් සංවේදී අත්දැකීමක් ගැන කියැවෙන 'ජීවිතේ තිත්ත රස' සටහන ලඟයි. 
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ" නැත්නම් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" වගේ කතා අපි බොහෝ දෙනෙකුගෙන් අසා තිබෙනවා.. ඒ ගැන ඇය මෙන්ම මමත් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබත් එසේ පැමිණිලි කර ඇත්නම් නැවත එක් වතාවක් හෝ මේ අනිත්කොන සටහන් කිහිපයක් කියවන ලෙසයි.   

දහවල් කාලයේ අල්ලම්පිඩ්ඩි මාර්ග බාධකයේ කාර්යාලට වී සිටිනා මා බොහෝවිට රාත්‍රිය ගත කිරීමට ඊට කිලෝමීටර් දෙකක් පමණ නුදුරින් අල්ලම්පිඩ්ඩි ගමට මායිමේ පිහිටි කඳවුරේ මාගේ නිවස්නයට යනවා.. කයිට්ස් දූපතේ උතුරු කෙළවරේ වූ මේ ගම ඉදිරියෙන් වූ මණ්ඩතිවු දූපතට ඉහලින් මෝදුවන සඳ තල් අතු අතරින් රාත්‍රියට මනරම් රූප මවනවා.. දූවිලි හා කඳුළු සමඟ මුසුවූ දහවල මනසින් අතුගා දැමීමට සතුරු ප්‍රහරයකින් තොරවූ එවන් රාත්‍රියක් ඉතා අගනේයි. නමුත් ඒ විචිත්‍ර චිත්‍රයට බාදා කරමින් බොහෝ විට අල්ලම්පිඩි ගමේ කාන්තාවකගේ හෝ ළමා ලපටියෙකුගේ හඬින් උන් හිටි ගමන් කන් හිරි වැටී යනවා. බොහෝමත්ම විට ඒ හදිසි අසනීපයකින් අසාධ්‍යවූ අයෙකුගේ අවසන් මොහොත ඇඟවීමටයි. හිතෙන හිතෙන හැටියට උණට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඔවුන්ට රෝහල් හෝ ගෙවන වාට්ටු තිබුණේ නෑ. අසාධ්‍යම අසනීපයකට වුව බෙහෙතක් හේතක් ගැනීමට දහසක් හමුදා බාධක වලට ගතු කියමින් බොහෝ විට පයින් හෝ හමුදා වාහනයක නැගී යාපනේ රෝහලට යෑම හෝ කරෙයිනගර් නාවික හමුදා රෝහලට යාමට වඩා මරණයට මුහුණ දීම බොහෝ සෙයින් පහසු උනා. එවක අනිත්කොනට වෛද්‍යවරුන් යනු ඍශිවරුන්ටත් වඩා දේවදූතයින්ට සමාන දුර්ලභ අත් දැකීමක් වූවා යැයි කීම අතිශෝක්තියක් නොවෙයි. 

දිදුල උඳුවප් සඳ යට එළිය නොවූ එවන් රාත්‍රියක වරක් ඒ මූසල නාදය කන් රිදවා ගෙන තල් කඳන් අතරින් හමුදා මුරපොළ වෙත ඇදී ආවා. ඒ සමඟම රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි භට කණ්ඩායමෙන් මා වෙත ලැබුණු රේඩියෝ සංඥාවකින් කියවුනේ ප්‍රමාණයෙන් කුඩාවූ චායාවන් තුනක් හෝ හතරක් ඔවුන් දෙසට දුවගෙන එමින් සිටින බවයි. මුවාවී හොඳින් නිරීක්ශණය කරන ලෙසත් අවසන් මොහොත වනතුරු වෙඩි නොතබන ලෙසත් ක්ෂණික උපදෙසක් දුන් මා අවිඥානිකවම කැළෑ නිල ඇඳුමට හා යතුරු පැදියට ගොඩ උනා. ඒ මරහඬ නැගී තිබුණේ ගමේ නිවසකින්. වයස අවුරුදු තිස් පහ නොඉක්මවූ ඒ කාන්තාව ගමේ ධීවර සමිතියේ හා නාවික හමුදා පොත්වල සටහන් වී තිබුණේ ගෘහ මූලිකාව ලෙසයි. ඈට අමතරව වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් ඇගේ මව ලෙසත් වයස අවුරුදු දොලහට අඩු ළමුන් හතර දෙනෙකුත් ඒ නිවාස අංකය යටතේ ලියාපදිංචි වී සිටියා. 

පසුව දැන ගැනීමට ලැබුණු ආකාරයට දින කිහිපයක සිට ඈ අධික උණෙන් පෙළෙමින් සිට ඇති අතර කිහිප වරක් කඳවුරු භූමියෙන් පැනඩෝල් ඉල්ලාගෙන ගොස් තිබුණා. ඒ මාරක හෝරාවේ උණ රෝගය උත්සන්න වී වලිප්පුව ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන සිහි විසඥ තත්වයෙන් මට දැක ගැනීමට ලැබෙද්දීත් ඈ ජීවිතය වෙනුවට මරණය තෝරා ගෙන අවසානයි. ඒත් ඊට මූලිකවූ හේතුව මට අදටත් දරා ගන්න බෑ. විත්‍යා දියණිය වෙනුවෙන් පහසුවෙන් නොසැලෙන මගේ කඳුලු නොකඩවා ඇද හැලුනේත් බොධිනී වැනි වූ හිපොක්‍රටිස් පරපුරේ අප්‍රතිහත වෙද දියණියන් වෙනුවෙන් මේ සටහන තැබනුයේත් ඒ සැලුනු හදවතින්මයි. 

මවගේ දරදඬුවූ සිරුර ලඟ කිසිවක් කරකියාගත නොහැකිව හඬා වැටෙන කන් නොඇසෙන කළුවරට ඇස් නොපෙනෙන මහළු ආච්චි අම්මා නවතා පණිවුඩය ලබාදීමට කුඩා මල්ලිලා දෙදෙනා සහ නැගෙණිය සමඟ දිව ආ දොලොස් හැවිරිදි ඒ දියණිය එතෙක් මල්වර කිල්ලෙන් ගෙයි මුල්ලක රෙදි කඩකට ආවරණය වී සිට ඇති බවත් අධික උණ රෝගයෙන් පෙළෙද්දීත් ඇයව තනිකර යාමට හෝ වතුර ටිකක් වත්කර ගෙට ගැනීමට නොහැකිවම ඇගේ අම්මා ඈ අසලින් වැතිර තනි රැකූ බවත් කියවුණු කාගේදෝ වචන ෂෙල් වෙඩි ප්‍රහාර මෙන් මේ දැනුත් කන් සිදුරු අසබඩ පුපුරා යනු මට ඇසෙයි.


ඉදින් වෘත්තීය හා බැඳි සියලු යස ඉසුරු කීර්තිනාම ලාභ ප්‍රයෝජනාදිය පසෙකලා එවන් වූ කෲරතර සමාජ අසංයෝජනයක මුහුවෙමින් ගිලානෝපස්ථානය වෙනුවෙන් කැපවූ දහසක් වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍යය වෘත්තීකයින් වෙනුවෙනුත් ඒ කඳුළු මල් දෝතින් ගෙන 'අනිත්කොන' හරහා මහ සමාජය වෙත වඩම්මවන හිතවත් වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය වෙනුවෙනුත් මේ සටහන මෙසේ වෙන්කොට තබමි. 


Tuesday, 19 May 2015

We were soldiers 2- ගෑණු මුහුද, කූල් දැල්ලෝ සැලඩ් සමඟ 'හොට් සීට්' එකෙන් පොඩුවකට්ටු වෙත ඩීග්‍රේඩ් වීමක්

Photo courtesy: www.google.com
කල්ලරාව ගැන මගේ දෙවෙනි මතකය කලින් කියුවා වගේ ගිරිහඬු සෑය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනාමාන කිරීමට සැලැස්වීමේ කටයුත්තට සමගාමී උනා.. කන්ද පාමුල වැවක් අයිනේ ගස් හෙවනේ ලෑස්ති කරල තිබ්බ ගමේ ආරට හැදූ මහා දානය නෙළුම් කොලවල බෙදාගෙන වළඳපු එකට පස්සේ මට ඒ ගමන ගැන හොඳටම මතක තිබුනේ කන්ද මුදුනේ ඉඳන් කොහොඹ ගහක් හෙවනට වෙලා ඇස් විශ්වාස කරන්න බැරුව බලාගෙන හිටපු රන්වන් පීත්ත පටියකින් වෙන් කෙරුණු සජීවී සුදු රේන්දයක් අල්ලපු නිල් මහ සයුරේ අපරිමිත දර්ශනය.. 'ඔය යාංඔයට පහලින් පුංචි පුංචි ගෙවල් මණ්ඩියක් පේන්නේ.. ආං ඒ තමයි කල්ලරාව.. අර කොටි ගහල හතලිස් ගානක් මැරුණේ.. දැන් ආපහු මිනිස්සු ටික ටික එනවා.. මාළු වාඩි වලට" කවුදෝ කියනවා මතකයි.

දැන් මේක කියවන ඔබ සමහරක් දෙනාට හිතෙනවා වගේම මටත් ඒ වෙලාවේ ඉඳං හිතේ ඇතිවෙච්චි ලොකුම ප්‍රශ්ණේ තමයි යකෝ මෙච්චර අවධානමක් අරන් මේ පට්ට කැලේ මාළු අල්ලන්න එන්න මේ යක්කුන්ට පිස්සුද? කියල වගේ එකක් තමයි. හැබැයි මොකක්දෝ හේතුවකට මං ඒ ගැන කාගෙන්වත්ම අහුවේ නෑ එවලේ.. ඒ වගේම අවුරුදු අටකට විතර පස්සේ ඒකට උත්තරයක් මට කල්ලරාව වැල්ලෙදිම ලැබුනා..

කල්ලරාව ධීවර ගම පිහිටලා තියෙන්නේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ තිරියාය ගම පහුකරල ටිකක් උතුරු පැත්තට යනකොට යාංඔය පාලමට කලින් හම්බවෙන කිලෝ මීටර් 3ක් පමණ වෙන පාරත් මුහුදත් අතර වන බිම් තීරුවේ.මේ හරියට ඒ පැත්තේ මිනිස්සු කිවුවේ 'ගෑනු මුහුද' කියල.. ඒ කියන්නේ ඒ ආසන්නයේ තමයිලු ඉන්දියන් සාගරයේ ඉන්න වැඩිහරියක්ම මාළුවන් බිත්තර දාන්නේ. මේ ගැන වැඩි විස්තරයක් මං කියන්න දන්නේ නෑ. හැබැයි මට මෙහෙම එකක් හිතුනා.. හැමෝම අහල ඇතිනේ 'පුල්මුඩේ ඛනිජවැලි' නිධිය ගැන.. ඔය ඛනිජවැලි නිධිය තියෙන්නේ මං මෙ කියන ස්ථානයට ටිකක් උතුරට වෙන්න. එතන ඉන්න නිළධාරීන් මාත් එක්ක කියපු දෙයක් තමයි මුළු ඉන්දියන් සාගරයටම එකතු වෙන බරින් වැඩි වටිනාම ඛනිජ වැලි මුහුදේ දිය වැල් වල ස්වාභාවය නිසා පුල්මුඩේට එකතුවෙන බව.. මේ දියවැල් වල බලපෑමම වෙන්න පුළුවන් සමහරවිට මේ හරියේ මාළුවෝ වැඩිපුර බිත්තර දාන්න හේතුවත්.

මාළුවෝ බිත්තර දැම්මත් නොදැම්මත් කල්ලරාවට ධීවරයෝ ආකර්ශණය වෙන්නේ මත්ස්‍යය සම්පතට.. එහෙම කියුවට මේක එසේ මෙසේ සම්පතක් නෙවෙයි.. ඔය මං කියපු කිලෝ මීටර් දෙක තුනේ වෙරළ තීරය ආසන්න වශයෙන් මීටර් සියයේ වගේ කොටස් වලට වෙන් කරල තියෙන්නේ. කල්ලරාව ගමේ ධීවර සමිතියට ඇත්තටම අයිති මෙයින් කොටස් දෙක තුනයි. ඉතුරු සියල්ලම කරන්නේ වාඩි ලා ගත් මුදලාලිලා.. බොහෝ විට මීගමුව හලාවත පැත්තෙන් ආපු. ඔවුන් සමහරුන් මේ කොටස් අරගෙන තියෙන්නේ බද්දට.. ත්‍රීකුණාමලයේ හිටියා ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයෙක් 'ඩබල් ඒජන්ට්' කෙනෙක් විදියට දෙපැත්තටම වැඩ කරල පස්සෙ ඝාතනය වුනු. ඔහුගේ බිරිඳට අයිතිව තිබ්බ මෙතන කොටස් කීපයක්.. ඒ දවස්වල මේ කොටසක් බදු දීල තිබුනේ මාසෙකට රුපියල් ලක්ශ විසිපහක වගේ මුදලකට.. ඒ වගේම වාඩියට මිනිස්සු අරන් එන්නේ හැම මනුස්සයාගෙම ගෙදරට රුපියල් පනස් දාහ ගානේ 'ඇඩ්වාන්ස්' එකක් දීලලු. වාඩියක මිනිස්සු 30-40ක් වැඩ.. උදේ මාදැල එළාගෙන ගියාම දවල්ට අදින්නේ ට්‍රැක්ටර් දෙකක් දාලා.. අහුවෙන්නේ තෝරු හා පරවු.. ගණන් කියන්නේ කිලෝ දහස් ගණනින්.. ගොඩගත් සැනින් අයිස් සමග ෆ්‍රීසර් ට්‍රක් වල පටවලා ත්‍රීකුණාමලයට.. ඕකයි කල්ලරාවට ධීවරයින් පණ එපා කියල එන්න රහස..

තිරියාය පැත්තෙ ඉඳන් යනකොට කල්ලරාවට හැරෙන්න ටිකකට කලින් හම්බෙන T හන්දියෙන් වමට ගියාම තමයි කලින් කියපු ගිරිහඬු සෑයට යන්න පුළුවන් වෙන්නේ. ඒ දවස්වල මේ හැම පාරක්ම අධික අවදානම් සහිත කැලෑ මාර්ග.. හමුදා වාහන හැම එකක්ම අනිවාර්‍යයෙන් ආමර් ප්ලේට් ගහල කවර් කරල තියෙන්නෝනෙ. ඒ වගේම හැම පුද්ගලයම එළියට බහිනකොට බොඩි ආමර් හා හෙල්මට් ඇඳල ඉන්න ඕනි. නිළ ඇඳුම කැලෑ නිළ ඇඳුම විතරයි. ගොඩාක් තැන් වලට කරන්ට් නෑ. අත්‍යාවශ්‍යම තැන්වලට ජෙනරේටර් දීල තිබුණා. ඒත් ශබ්දය නිසා භාවිතා කරන්න බෑ.
Photo Courtesy: www.google.com
ඔය හැම නීතියක්ම කරදරයක්ම අස්සේ කල්‍යාණ මිත්‍රයාට පැය විසිහතරෙම ඉන්ටර්නෙට් පහසුකම්, A/C කරපු ඔෆීස් එකක් හා නිවහනක් ද සහිතව ෂෝර්ටයි ටී එකයි ඇඳන් කරන්න පුළුවන් රස්සාවක් දීල තිබ්බ.. හැබැයි පොඩි ගැටළුවක් තිබ්බ.. නින්ද යන්නේ නැති එක.. එහෙම කියුවම අරහෙම පහසුකම් දීල තියන්න හේතුව සාමාන්‍යයෙන් වගකීම හා වග වීම ගැන දන්න කෙනෙකුට පහසුවෙන් හිතා ගන්න පුළුවන්..

මීටර් එකසිය විස්සක් උස කුළුණක නාවික සැතපුම් 96ක් දක්වා නිරීක්ෂණය කරන්න පුළුවන් නවීන රේඩාර් පද්ධතියක්, දිවා රාත්‍රී මුහුද නිරීක්ෂණය කලහැකි අධිබල කැමරා පද්ධතියක්, නාවික සංඥා පද්ධතියක් හා තවත් තාක්ෂණික උපකරණ රැසක් හරහා උතුරු හා නැගෙනහිර නාවික විධානයන්ගේ සාගරික මෙහෙයුම් නිරීක්ෂණය හා සම්න්ධීකරණය තමයි කරන්න තිබුණු 'ආතල්' ජොබ් එක.. හොඳම ආතල් එක කියන්නේ මේ සියලු සජීවී දසුන් නැගෙනහිර නාවික විධානයේ හා නාවික හමුදා මූලස්ථානයේ පිහිටවල තිබුනු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන වලට සජීවීව දර්ශණය වෙනවා. ඉතින් ආතල් ඩබල් ත්‍රිබල්.

ඔය මොන වගකීම තිබ්බත් සාමාන්‍යයෙන් ඒක දරන පුද්ගලයගේ ආකල්ප මත ඊට මූණ දෙන විදිය වෙනස් වෙනවා.. මත් ඉතින් ඔය මොකවත් වැඩිය ඔළුවට ගන්න එකෙක් නෙවෙයි.. කොල්ලො ටිකක් අල්ලගෙන හවසට ක්‍රිකට් පාරක් ගහලා.. සී බාත් එකක් දාල.. මාළු වාඩි පැත්තේ ගිහින් ඕවත් කෙරෙන හැටි පොඩ්ඩක් බලල කරල තමයි ඉන්නේ... ඔය වගේ ගිය වෙලාවක හරියටම පිපිඤ්ඤා සලාද වගේ පේන ඊට වඩා හුඟක් රස උනත් බයෙන් බයෙන් වගේ ටිකක් විතරක් කෑව කූල් කරපු අමු දැල්ලෝ සලාදයක් රස බැලීමට ලැබීම විශේෂ අත්දැකීමක්.. ඊට අමතරව ඉතින් වටේ පිටේ කෑම්ප් වල ඉන්න එවුන්වත් මාරුවෙන් මාරුවට ගෙන්නගෙන හීනියට ඔය මොනව හරි සප්පායම් වෙන්න එහෙමත් අමතක කරන්නේ නෑ.. ඔය වගේ වැඩකට කටගැස්මකට මාළුවෙක් එහෙම ඩෙවල් එකක් දාගන්න ගියාම අපිට සෑහෙන්න වියදම් වෙනවා.. ලුණු ගම්මිරිස් වලට.. මොකද 'දෙන්නෙකුට ඇතිවෙන්න බයිට් එකක්' කියුවම කිලෝ පහලොවක විතර මාළුවෙක් කෑලි කරනවනේ.. ඕකටම මට හිටියා පොඩුවකට්ටු වල SBS ස්කොඩ්‍රන් එක බාරව මගේ බැචා.. මං හිටපු ඒරියා එක බාරව හිටි කොම්පැණි කමාන්ඩර්ත් මගේම 'පැට්‍රෝල්මන්' බැචෙක්. ඌටනම් කැමා යුනිෆෝම් එක ගලවල වෙන එකක් ඇඳ ගන්නවත් වෙලාවක් තිබුණේ 'නැතුව' වගෙයි හිටියේ ඒ කාලේ. 

යුද්දයේ අන්තිමම හරිය වෙනකොට කොටින්ගේ මුහුද මගින් ආයුධ සැපයුම් කටයුතු හා මුහුදු සටන් වලට එළඹීම සෑහෙන්න අඩුවීම නිසා කල්ලරාවේ රෝල් එක 'මුහුදු මගින් පැන යන්නන් ගැන සොයා බැලීම' කියන වගකීමට වැඩිපුර බර උනා.. .. ඒ වගේම කෝකිලායි කලපුව අතික්‍රමණය කරල 'වන් ෆෝර් බේස්' කුඩු පට්ටං කරගෙන හමුදාව මුලතිවු ආසන්නයටම ගියාම නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ එක් අනුඛණ්ඩයක් නයාරු කලපුවේ ස්ථානගත කරා. ඒ හා සමගාමීවම චෙම්මලේ කියන ස්ථානයේ තවත් කුඩා රේඩාර් යන්ත්‍රයක්ද ස්ථාපිත කරා. මීට අමතරව මුල සිටම කල්ලරාවට පහලින් පොඩුවකට්ටු වලට ආසන්නයේම මුහුදට නෙරාගිය තුඩුවක් වන බෝල්ඩර් පොයින්ට් හීද MRL එකක් හෙවත් මල්ටි රොකට් ලෝන්චර් කියන ආධාරක බර අවියක් හා රේඩාර් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක උනා. මේ රේඩාර් එකත් ක්‍රියාත්මක උනේ මගේ ස්කෝප් එක යටතේ.. අර මං කලින් කියපු උණුවෙන හිතක් තියෙන හයේ හතරේ දැවැන්ත දෙවෙනියා තමයි ඔතන ස්ථාන ගත කරලා හිටියේ.

ඔයින් මෙයින් වගකීම් අඩුවීම හෝ වෙනස් වීම මත  මට හිතුනා පොඩි වෙනසක් කරන්න. 'යන්න ඕනේ පොඩුවකට්ටු' ඕක තමයි වෙනස.. කෑම්ප් එක ඒ කියන්නේ අපේ සියලුම ඇඩ්මින් කටයුතු කරපු ශ්‍රී ලංකා නාවික නෞකා 'වළගම්බා' ආයතනයේ ලොකු තැනගේ පූර්ව අනුමැතිය ඇතුව මං දෙවෙනියාව 'මුල්' තැනට දාල මං දෙවෙනියා උනා. ඒ කියන්නේ මං බෝල්ඩර් පොයින්ට් රේඩාර් එකට ගියා. ඕක කන්වින්ස් කරන්න හොඳ පොයින්ට් එකකුත් හම්බුනා මොකද SBS ලත් ඉන්න නිසා එතන තියෙන්නේ පොඩි 'ඇම්ෆීබියස් රෝල්' එකක් වගේ කියන එක. මෙතන Amphibious කියන්නේ මුහුදයි ගොඩ බිමයි දෙකේම කියන එක වගේ අදහසක්. 

************පුංචි තාක්ෂණික පැහැදිලි කිරීමක්***********

'නෞකා ආයතනය' කිව්වම පොඩ්ඩක් අවුල් වගේ නේද.. මෙහෙමයි. නාවික හමුදාවේ ගොඩබිම හා මුහුදේ තියෙන සියළුම 'ආයතන' ක්‍රියාත්මක වෙන්නේ 'නෞකාවක' දින චරියාවකට සමානව.. ඒ නිසා තමයි ගොඩ තිබ්බත් මුහුදේ තිබ්බත් 'ශ්‍රී ලංකා නාවික නෞකා' කියන විශේෂනය එන්නේ. මේ 'නෞකා' ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකයි.. අධිකාරියට පත් කල (Commissioned) හා නොකල ලෙස. අධිකාරියට පත් කල ආයතන ස්වාධීනයි. ඒ කියන්නේ ඩිරෙක්ට් රිපෝට් කරන්නේ නාවික හමුදාපතිට.. අදාල නාවික විධානය භාර අඥාපතිට හා තමන් අයිති ස්කොඩ්‍රන් (Squadron) එක හෝ කන්ටින්ජන්සි (Contingency) එක බාර නිළධාරියෙක් ඉන්නවනම් අන්න එයාට dotted line reporting (for operational & administrative matters).. මේවයේ ලොක්ක Commanding Officer විදියට හඳුන්වනවා.. CO කෙනෙක් උනාම නාවික නීතිය යටතේ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කිරීම දක්වා වන විනිශ්චයකාරවරයෙකුගේ බලතලද ඇතුළුව විශේෂ බලතල බොහෝමයි.

අධිකාරියට පත් නොකල ආයතන ක්‍රියාත්මක වන්නේ විශේෂ ස්කොඩ්‍රන් එකක් ලෙස හා/හෝ පෙර සඳහන් කල ආයතනයකට අනුබද්ධව ඒ CO යටතේ. නාවික හමුදාවේ ක්‍රියාත්මක වන මෙවන් විශේෂිතම ස්කොඩ්‍රන් තුන තමයි ඩෝරා ස්කොඩ්‍රන් එක ලෙස හඳුන්වන වේග ප්‍රහාරක මුරයාත්‍රා බලගණය (Fast Attack Craft Squadraon) , Special Boat Squadron (SBS) නැත්නම් විශේෂ යාත්‍රා බලගණය හා අන්තිම කාලේ කරලියට ගෙනාපු Rapid Action Boat Squadron (RABS) නැත්නම් ක්ෂණික විහිදුම් යාත්‍ර බලගණය.. මෙවන් යාත්‍රාවක් නිළධාරියෙකු විසින් පාලනය වන විට 'අණ බාර නිළධාරී' (Officer in Command) වන අතර සෙසු නිළයකින් පාලනය වන විට 'ස්ථාන භාර නිළධාරි' (Officer in Charge) ලෙස හැඳින් වෙනවා. අණභාර නිළධාරියෙකුට CO කෙනෙකු තරමටම නැති උනත් සෑහෙන්න බලතල හිමි වෙනවා. අනික CO කෙනෙකුට පුළුවන් තමන් සතු බලතල අදාල අණභාර නිළධාරියාට පවරන්න. එහෙම බලවත්ම OIC ලා ඉන්න තැන තමයි නේවි එකේ ඩෝරා ස්කොඩ්‍රන් එක. ස්ථාන භාර නිළධාරියෙකුට හිමිවෙන්නේ රාජකාරිමය වගකීම් පමණයි. 

SBS එක ස්කොඩ්‍රන් 1,2,3... කියල කීපයකට කඩාගෙන ඒවට වෙන වෙනම ස්කොඩ්‍රන් කමාන්ඩර් කෙනෙකුත් සියල්ල එකතු කරල ගත්තම CO කෙනෙකුත් ඉන්නවා. පැට්‍රොල්මන් බේස් විදියට හඳුන්වන ගොඩබිම ආයතන නෞකාවක දින චරියවට අනුව හා CO කෙනෙකු යටතේ පාලනය උනත් එතනින් පහලට පාලනය සිදුවන්නේ 'ආමි' කම්පැනි හා ප්ලැටූන් සිස්ටම් එකට. ඒ ගැන නම් මගේ ලොකු අවබෝධයක් නෑ. ඒ වගෙම මේ පැට්‍රොල්මන් බේස් කීපයක් එකතු කරල පස්සේ කන්ටින්ජන්ට් එකක් (Naval Contingent) හදල ඒවාට කන්ටින්ජන්ට් කමාන්ඩර්ස් (CCO) ලත් පත් කරා. ඒ අයගේ රෝල් එකනම් මට අපැහැදිලියි. කල්ලරාව හා පොඩුවකට්ටු අයිති උනේ ඔයාකාරයට 'වළගම්බා' CO ටත් නිලාවැලි කන්ටින්ජන්සි කමාන්ඩර්ටත් CCO(N). 

නාවික හමුදා මූලස්ථානය (Navy Headquarters), නාවික විධාන මූලස්ථාන (Area Commanders), නාවික හා සාගරික විද්‍යාපීඨය (Naval & Maritime Academy) හා ත්‍රීකුණාමලය නාවික තටාකාංගනය (Naval Dockyard- Trincomalee) මීට ටිකක් වෙනස් විදියකට තමයි පාලනය වෙන්නේ.

************බැක් ටු ද ප්ලේ ග්‍රවුන්ඩ්************

පොඩුවකට්ටු.. කුන්චිකුම්බන් ආරු කියල ගෝමරන්කඩවල කැලේ පැත්තේ ඉඳල හිමි හෙමින් බැහැල ඇවිත් කරදියට මුහු වෙන්න අකමැත්තෙන් වගේ කැලෑ පඳුරු අතරේ ගොනු ගැහෙන කාගෙවත් වැඩි කතා බහකට ලක් නොවිච්චි හා ඇස නොගැටුණු දිය සුන්දරිය.. කරදිය- මිරිදිය දෙවර්ගයේම මත්ස්‍යයින්, අටෝරාසියක් කුරුල්ලෝ, තැනෙක කරවටට මදක් උසින් තැනෙක දණහිසටත් පහලින් රොක් වෙවී පුංචි පුංචි දූපත් රැසක් මවන වචනයෙන් කියා නිමකල නොහැකි සුන්දරත්වයක් මවන ඒ අපරිමිත පරිසර වස්තුව දකිද්දි මට මතක් වෙන්නෙම 'ලොකු පුතා' වගේ කැමරාවක් එල්ලං ගස් වැල් සත්තු කුරුල්ලෝ පස්සේ එලවන පරිසරවේදියෝමයි. ඒත් මේ තාක් කිසිම තැනක මං පොඩුවකට්ටු ඒ පරිසර කලාපය ගැන ගවේශණාත්මක වාර්තාවක් හෝ අඩුම තරමින් පින්තූර ටිකක්වත් දැකල නෑ.. මට එච්චර කලාත්මක ඇහක්වත් ඒ කාලේ ඒවයෙ ඒ හැටි වටිනාකමක් වත් නොතිබිච්චි එක ගැන මම වැඩියෙන්ම දුක් වෙන්නේ දැන්. ත්‍රීකුණාමලයට උතුරින් මුලතිවු දක්වා වෙන ප්‍රදෙශයේ තියෙන එරක්කන්ඩි, කුඹුරුපිඩ්ඩි, සින්නකරච්චි හා පෙරියකරච්චි, යාංඔය, කෝකිලායි, කුමලමුනේ, අලම්පිල්, නයාරු හා නන්දිකඩාල් යන මේ අති සුන්දර කළපු පද්ධතීන් අතුරෙනුත් මගේ හිත් ගත්ත හා වඩාත්ම ජෛව විවිධත්වයකින් හෙබි පරිසර පද්ධති දෙක තමයි මං හිතන විදියට පොඩුවකට්ටු හා යාංඔය. 

පෝස්ට් එක හොඳටම දිග වැඩියි.. මෙදා පොටෙත් බැනුම් අහන්න වෙනවා ෂුවර් එකටම..පෝස්ට් එක දිගයි ඡේද දිගයි මහප්‍රාණ වැඩියි පඳුරු තලල වැඩියි පාරිභාෂික වචන පොදු පාඨකයට තේරෙන්නේ නෑ.. කියලා. දේශපාලන හින්ට් වලින් නම් සම්පූර්ණයෙන්ම වගේ අයින් උනා.. අනිත් වැරදිත් ටිකටික හදා ගන්නම්. පිරිසක් ඉතින් හොඳයි කියලත් කියුවා.. හැබැයි හොඳයි කියපු අයගේ කොමෙන්ට් වලටත් වඩා මං ආසාවෙන් කියෙව්වේ උත්තර ලියුවේ අඩුපාඩු පෙන්නල දීපු අයගේ කොමෙන්ට් වලට.. මොකද වැරදි හදාගෙන ලිවීම දියුණු කර ගන්න ඒක ඉවහල් වෙනව වගේම බනින්නේ අඩුපාඩු පෙන්නල දෙන්නේ හදා ගන්න තියෙන උවමනාවටනේ.. මං හිතන්නේ එහෙමයි. 

පොඩුවකට්ටු වලට මං ආස වෙන්න දෙවෙනි ප්‍රධානම හේතුව, සෆාරී ලෑන්ඩ්මාස්ටරයේ නැගී තිත්ත කරුවලේ බෝල්ඩර් පොයින්ට් තරු හතේ හෝටලයට යන ගමන හා බිරිඳ හා දරු දෙදෙනාත් ලඟම ඥාතීනුත් සතුරා අතට පත් වීම යන බරපතල කාරණය ගැන තොරතුරු රැගෙන හැකි ඉක්මණින් යලි එන්නම්. 






Thursday, 14 May 2015

We were soldiers - වසර හයකට පෙර යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ මතක සමඟ තනිවීමි

අද මැයි මාසේ 14 වෙනිදා.. තවම දවස ලබලා පළවෙනි පැයවත් ගෙවිල ඉවර නෑ.. නිදි නැති තවත් එක රැයක් දිය වෙවී යද්දී මගේ මතකය අවුරුදු හයකින් ආපස්සට ඇදලා දාන්න පාවෙල් පවුලිකොවුස්කි (Pawel Pawlikowski) ගේ අයිඩා (Ida) චිත්‍රපටිය ගැන තරංගී ලියූ මේ විචාරය සමත් උණා.. මේක කියවන වයස්වල මැරිල ඉපදුණු නැති හැමෝටම මතක ඇති මං මේ කියන දවස්.. තිස් වසරක් තිස්සේ දික් ගැහුණු කුරිරු යුද්ධය අවි බලයෙන් යටපත් කිරීමේ සද්දන්ත වෑයමේ අන්තිම අවිනිශ්චිත හෝරා කීපය.. ආරම්භයක් විදියට අයිඩා ගැන කියවද්දි මට මතක් වුණු මේ 'අයිඩා' ගැන මං තරුරසී හි තියපු මේ පුංචි සටහන මෙතන අලවන්නම්..

//දෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ භාරයේ තිබුණු පොඩුවකට්ටු ට්‍රාන්සිට් කෑම්ප් එකට බෝට්ටු වලින් පැනලා එද්දි අල්ලගෙන ආපු උන් අතර ආච්චිත් එක්ක ඇවිත් හිටපු පොඩි කෙල්ලක් හා කොල්ලෙක් හිටියා. ඒ දවස් වල කොල්ලට අවුරුදු නවයක් හෝ දහයක් පමණ හා කෙළි පොඩ්ඩිට අවුරුදු හත අටක් වගේ වෙන්න ඇති. ආච්චීත් හොඳටම වැහැරිලා.. සිංහලෙන් තියා දන්න දෙමළෙං වත් මොකද වුණේ කියන්න බැරි තරමට බය බිරාන්ත වෙලා හිටියේ. ඒ නඩේ හිටපු වෙන වැඩිහිටියෙක් කියපු කරුණු වලට අනුව ආච්චි අම්මත් එක්ක ළමයි දෙන්නව බෝට්ටුවට නැග්ගුවට අම්මටයි තාත්තටයි ගොඩ වෙන්න ඉඩ තිබිලා නෑ. මනුස්සයා කියපු විදියටනම් ඒ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මොකද ඒ බෝට්ටුව එනවත් එක්කම එතනට කඩා පැනපු ත්‍රස්වාදීන් පැනල යන්න හැදූ ඔක්කෝටම වෙඩි තියල මරල..... නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. මිනිහ එදා මගෙන් අහල මහා ජීවිත අවධානමකුත් අරන් කුච්චවේලි කඩමංඩියට බයික් එකේ ගිහින් ඇවිත් පොඩි උන් දෙන්නට අඳින්න දෙන්න සූට් දෙකක් අරන් ඇවිත් තිබු.. දැන් මේක වෙලා අවුරුදු 6ක්.. දැන් ඒ පොඩි එකීට අවුරුදු දහතුනක් දාහතරක් වෙනව ඇති. අම්ම කෙනෙක්ගේ රැකවරණයක් ඕනිම කාලේ.. පොඩුවකට්ටු වලින් බස් එහෙක පටවල පුල්මුඩේ කෑම්ප් එකට යැව්වයින් පස්සේ මොනව උනාද දන්නේ නෑ.. පශ්චාත් යු සාහිත්‍යය.. මටනම් අයිඩ ලා කියන්නේ හැබෑම ජීවිත් අත්දැකීම්. //        

අප්පච්චිගේ Area of Responsibility එක (කල්ලරාව ඇතුලු ඒරියා මැප් එක).. ඉතින් මගේ වගේ තමයි

කල්ලරාව.. ඔය නම මං මුලින්ම ඇහුවෙත් හරියටම මීට අවුරුදු විස්සකට කලින් මැයි මාසේ දවසක.. ත්‍රීකුණාමලයේ ඉඳලා හැතැම්ම 35ක් විතර උතුරින් යාන් ඔය මුහුදට වැටෙන ඉසව්වේ තියෙන පුංචිම පුංචි ධීවර ගම්මානයක්.. හරියටම 1995 මයි මාසෙ 25 වෙනිදා ත්‍රස්තවාදීන් මේ ගමට කඩා වැදිලා අහිංසක ළමා ලපටීන් ඇතුලු 42ක් ජීවිත බිලි ගත්ත.. ඉතුරු උනු අතලොස්සක් දෙනා පණ බේරගෙන ත්‍රීකුණාමලේට පැනල ආවදා ඉඳන් නැවත 1998 යුධ හමුදා මෙහෙයුමකින් මේ පෙදෙස අත්පත් කර ගන්නකම් මේක ත්‍රස්ථවාදීන්ගේ තිප්පොලක්.. ඒ කාලේ කල්ලරාවේ තමයි එල්.ටී.ටී.ඊ. එකේ ප්‍රධානම රෝහල පිහිටලා තිබුනේ. ඊට අමතරව උතුරේ ත්‍රස්ථවාදීන් හා නැගෙනහිර ත්‍රස්ථවාදීන් අතර ගොඩබිම හරහා වුණු සියළු ගනුදෙනු සිදුවුනෙත් මේ ප්‍රදේශය ආශ්‍රිතව.. 

ගූගල් මැප් එකක් බැලුවොත් හොඳට දැක ගන්න පුළුවන් මේ තැනට පිටිපස්සෙන් ගෝමරන්කඩවල කැලෑව එක සීරුවට සම්භන්ද වෙනවා කන්තලේ, සෝමාවතිය රක්ශිතය, ත්‍රිකෝණමඩු හරහා වාකරේට.. වාකරේ කියන්නේ ඒ කාලේ නැගෙනහිර කොටින්ගේ ස්ට්‍රොන්ග් හෝල්ඩ් එක.. ඒ වගේම ඔය කැලෑවම මහවැලි නිම්නය හරහා රට මැදටම ඒ කියන්නේ වස්ගොමුව හා අංගම්මැඩිල්ල රක්ශිතය දක්වාම එක දිගට සම්භන්ද වෙනවා.. ඔය මහවැලි නිම්නයේ සෝමාවතිය ත්‍රිකෝණමඩු පැත්ත ගැන ලස්සන මතක ගොඩක් මේ දවස් වල නිදහස් සිතුවිලි ලියන රවී අයිය ආපහු මතක් කරනව 'කුකුලේගඟ මතක' කියලා.. ඒත් මං නම් ඔය පැත්තේ කුකුලේගඟක් ගැන අහලා නෑ.. සමහරවිට මෑන්ට පොඩ්ඩක් ටැපලිලා ඇති වයසක මනුස්සයානේ.. කවුරුහරි මේ නිදහස් සිතුවිලි සීරීස් එක තවම බලල නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ගිහින් බලන්න.. මේ අපි වගේ නෙවෙයි අන්න කතන්දරනම් කතන්දර.. 
මේකනම් ගත්තේ ගූගල් වලින්

කොහොමින් කොහොම හරි කල්ලරාව කියන්නේ උපාය මාර්ගිකව සෑහෙන්න වැදගත් ප්‍රදේශයක් දෙපැත්තටම.. ඒකම තමයි ආපහු ආමි එකෙන් 'ජයභූමි' මෙහෙයුම කරල නැවත මේ ප්‍රදේශය අත්පත් කර ගත්තේ. ජයභූමි යන කාලේ අපි ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (දැන් විශ්ව විද්‍යාලය) ට්‍රේනින්.. ඒක නිසා ජය භූමි ගැන ලොකු මතකයක් නෑ.. ජයභූමි නෙවෙයි ට්‍රෙනින් කාලේ උන් හිටි තැන්වත් මතක නෑ.. ඉතින් මොන ජය භූමියක්ද.. සමහරවිට අපේ විචාරකතුමාට මේක ගැන අත්දැකීම් ඇති. මං අහල තියෙන විදියටනම් මේ ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමේදී ආමි එකට එල්.ටී.ටී.ඊ. එකෙන් එච්චර ලොකු බාධාවක් වෙලා නෑ. මුහුණට මුහුණ සටන් කරනවට වැඩිය සැඟවී ඉඳන් පහරදෙන ගරිල්ලා ප්‍රහාර වගේ ක්ලැන්ඩස්ටයින් ඇටෑක් තමයි වැඩි හරියක් තිබුනයි කියන්නේ.. සමහරවිට ඔය ගරිල්ලා ප්‍රහාර වලින් වෙන හානිය වැඩි වෙන්නත් පුළුවන් මහ හටනකට වඩා.. 

ඒ කාලේ ෆැශන් එකක් තමයි ආමි එකෙන් සටන් කරල අල්ල ගන්න බූමි ආරක්ශා කිරීමට නේවි එකට හා එයාෆෝස් එකට බාර දෙන එක. ඔය වෙනුවෙන්ම නේවි එකේ බ්‍රාන්ච් එකකුත් පටන් ගත්තා පැට්‍රෝල්මන් කියලා.. ඒ නේවි එකේ ගොඩබිම් මෙහෙයුම් සඳහා කියලා.. මුලින්ම බඳව ගත්ත නිළධාරීනුත් වැඩි දෙනෙක් ආමි ට්‍රේනින් උනු අය.. කාගේ තීරනයකට මොන වාසියකට ඔය බ්‍රාන්ච් එක පටන් ගත්තද මන්දා.. මටනම් හිතෙන්නෙම ඉතින් ඔය ටික ආමි එකෙන්ම කරන්න තිබුනනේ කියලා.. සමහරවිට හමුදාවල විශාලත්වය ගැන හිතල වෙන්න ඇති.. එහෙම උනානම් සමහරවිට ආමි කමාන්ඩර් ඒ කාලෙම ෆීල්ඩ් මාශල් වෙලා නේවි එකෙයි එයා ෆෝස් එකෙයි කමානඩර්ස් ල රියර් අද්මිරාල් නැත්නම් එයාර් වයිස් මාශල් තනතුරෙන් නතර වෙන්න තිබුනා.. හා..හා.. ඕවා මේ පෝස්ට් එකට අදාල කරුණු නෙවෙයි. හමුදාවල දේශපාලනේ කතා කරන්න තහනම්.. ඇත්තටම තහනම් ද මං දන්නේ නෑ.. ඒත් ඒක නිළධාරී නිවාස වලනම් ප්‍රතිපත්තියක්.. 

අපේ ඔෆීස් එකේ (දැන් ඉන්න) මට පෙන්නන්නම බැරි වැඩේ තමයි මේ බාගෙට දන්න එවුන් පැන පැන දේශපාලනේ කතා කරන එක. අහගෙන ඉද්දි හරියට පොඩි එකාගේ ලියුම කියවනවා වගේ. ඒ ඔක්කොටම හපන් ලන්ච් රූම් එකේ කච කචේ. නේවි එකේනම් ඔෆිසර් මෙස් වල කතා නොකරන මාතෘකා තුනක් තියෙනවා. ආගම, දේශපාලනය සහ බිරින්දෑවරුන් (කාන්තාවන් නොවේ) සම්භන්දව.. ඒක රීතියක්. මොකක් උනත් හරිම හොඳ දෙයක්. 

නේවි එකේ ඔෆිසර් මෙස් නෑ තියෙන්නේ වෝඩ් රූම් (ward room), ජූනියර් ඔෆිසර් මෙස් එකට කියන්නේ ගන් රූම් (gun room) කියල.. ජූනියර් ඔෆිසර්ස් ලා විදියට සලකන්නේ ලෙෆ්ටිනන්ට් රෑන්ක් එක සහ ඊට පහල නිළධාරීන්. හැබැයි ලංකාවේනම් පාස් අවුට් උනායින් පස්සේ හැම නිළධාරියාම ඉන්නේ වෝඩ් රූම් වල.. අන්ඩර් ට්‍රේනින් ඔෆ්ෆිසර්ස් ලා පමණයි ගන් රූම් වල ඉන්නේ. සෙසු නිළයන් නම් කියන්නේ ඕවයේ ඉන්න තරමක් ඉන්නේ ලෙඩ්ඩු නිසා තමයි ඕවට වෝඩ් රූම් කියන්නේ කියලා.. 

ආ.. සෙසු නිළයනුත් නෑනේ.. ඉන්නේ නැවියන්.. (නැවියන් කියුවම වෙන මොකුත් හිතනව එහෙම නෙවෙයි..) නැවියන් කොටස් දෙකයි.. ජේශ්ඨ සහ කනිශ්ඨ.. ජේශ්ඨ නැවියන් වෙන්නේ සුළු නිළධාරී සහ ඉන් ඉහල අය.. ඉහල අය කියුවට මහ ගොඩක් නෑ තව රේට්ස් තුනයි. ප්‍රධාන, සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන් විදියට.. ඔය අය අතරින් සමූහ ප්‍රධාන හා පාලක ප්‍රධාන සුළු නිළධාරීන්ට ඊට පහල තරාතිරම් වල නැවියන් 'සර්' කියල ආමන්ත්‍රණය කරනවා.. නිළධාරීන් විසින් 'මිස්ටර්' කියල කියනවා. අනිත් තරාතිරම් වල හැමෝටම කතා කරන්නේ ඔවුන්ගේ තරාතිරම සහ නම යොදලා.. හරියට පෙටි ඔෆිසර් සිල්වා, ලීඩින් සීමන් දිසානායක වගේ. කනිශ්ඨ නැවියන්ගෙනුත් ලීඩින්ග් හෑන්ඩ්ස් ල (leading hands) ඉතින් වැඩක් කරන්නේ නෑ.. සුපවයිසර් ල වගේ තමයි ඉන්නේ.. ආ.. හෑන්ඩ්ස් ල කියන්නේ නැවියන් ට.. 

මේ ඔක්කොම නේවල් ටර්ම්ස්.. සියළු හමුදා අතරින් කස්ටම්ස් සහ එටිකට්ස් (customs & etiquette) වැඩි පුරම තියෙන්නේ නේවි එකටලුනේ.. ඒකනේ ඔය රජවරුන්ගේ පුත්තු එහෙම නේවී එකටම දාන්නේ.. මං කියුවේ එංගලන්තේ.. එංගලන්තේ.. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. 

හැක්.. මොනවද කියන්න ගියේ මොනවද කියුවේ. ඕකනේ කියන්නේ මේ බ්ලොග් කාරයෝ කියන්නේ මහ පට්ට ඇරියස් එකක් තියෙන උන් කියලා.. ඉස්සර මට මතකයි මීඩියා ඩිප්ලෝමා එක කරන කාලේ අපේ කෝස් කෝඩිනේටර් මහැදුරු සුනන්ද මහේන්ද්‍රත් ඔය වගේ.. උදේට පටන් ගන්නවා අපි අද කතා කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම.. කියලා.. හවසට ඉවර වෙන්න කලින් ආපහු මතක් කරනවා  අපි අද කතා කරන්න හිතන් හිටියේ මාධ්‍ය ආචාර ධර්ම ගැන.. හොඳයි අපි ඒක ලබන සතියේදී වැඩිපුර කතා කරමු කියලා.. අවුරුද්දම ඔහොම තමයි.. හැබැයි වෙලාව යනවා තේරෙන්නේ නෑ තලන පඳුරු තැලිල්ලට.. වතාවක් උස්සන් ආවා ලියුමක් කොල්ලෙක් කෙල්ලෙකුට ලියපු පෙම් හසුනක්.. පණිවුඩයක පැහැදිලි බාවය ගැන කියල දෙන්නද කොහෙද.. මෙන්න මෙහෙමයි තියෙන්නේ..

"ප්‍රේම ගග මැණික් වග..
සිරිමා බෝ පිහටලා බෑවා.. 
ඔබ හර්නම් මමත් හර්.. 
මේවගට 
කකට කිශු පිබින 
පිකපුරු බන්ඩාර"... අපි හෙන ගේමක් දීලා ඕකේ වැඩි හරියක් තේරුවා.. එකක් හැර.. 

"ප්‍රේම ගඟේ.. මැණික් වාගේ.. (ජනප්‍රිය සින්දුවක කොටසක්..) 
සිරිමා බෝ පිහිට ලැබේවා. 
ඔබ හරි නම් මමත් හරි. 
මේ වගට 
'කකට කිශු පිඹින' 
පී. කපුරු බණ්ඩාර"... අර 'කකට කිශු පිඹින' කියනෙකනම් අදටත් හිතා ගන්න බෑ.. රායිට් නැවතත් කල්ලරාවට.. (රවී අයියා ස්ටයිල් එක කොපි කලෙමි.)

කල්ලරාව ගැන මගේ දෙවනි මතකය දුවන්නේ වසර දෙදාහට.. ඔන්න එතකොටනම් අපි බ්ලඩි සබ් ලෙෆ්ටිනන්ට්ස් ලා.. කිලර් ස්කොඩ්‍රන් එකේ පොරවල් හෙවත් 2IC ලා. කිලර් ස්කොඩ්‍රන් එක කියුවේ ඩෝරා ස්කොඩ්‍රන් එකට. රියල් නේවි නැත්නම් සාම්ප්‍රධායික නේවි නොවුනත් ලංකාවේ නේවි එකේ රියල් බැට්ල් ෆ්‍රන්ට් එක.. ඩෝරා ජීවිතේ ගැන කියන්න ගත්තොත් කල්ලරාවට යන්න තව අවුරුදු හත අටක් යන නිසා ඒක නොකියා ඉන්නම්. පස්සේ කියන්නම් කියල බොරු පොරොන්දු දෙන්න බෑනේ. 

දවසක් පණිවිඩයක් ආව නේවි එකෙන් හදපු පන්සලක් විවෘත කරන්න නේවි කමාන්ඩර් (ඒ දවස් වල දයා සඳගිරි) එනවා කියල කැමති ඔෆිසර්ස්ලටත් ලෑස්ති වෙන්න යන්න කියලා. මාත් ඉතින් සුදු යුනිෆෝම් එහෙම ඇඳගෙන රෙඩී උනා යන්න.. ඒසී බස් දෙක තුනක් ගියාට අපි ඉතින් මුලින්ම එන නිසා ඒ ඔක්කොම මිස් උනා බොහෝම අමාරුවෙන් අන්තිම මොහොතේ එස්කොට් එක යන බස් එහෙක එල්ලිලා ගියා.. ගියා තමයි.. මුලින්ම වැලි කාගෙන පාරක් වගේ එහෙක ගිහින් එන්ටර් උනා පට්ට කැලේකට.. ඔන්න එවලේ කොල්ලෙක් ගෙනත් දුන්නා හෙල්මට් එහෙකුයි බොඩි ආමර් එහෙකුයි සර් දා ගන්න කොටි ඇම්බුශ් තියෙන්න පුළුවන් කියලා.. අම්මගේ රෙද්ද තුම් මුනින් දාඩිය දාගෙන ඕක අටවන් යනවට වැඩිය වෙඩි කාල මැරෙන එක ලේසි නිසා මං හෙල්මට් එක සීට් එක යටට දාල බොඩි ආමර් එක බස් එකේ ජනේලට හේත්තු කරලා ඒකට ඇලවෙලා කපල ගැහුවා.. කපල ගහනවා කියන්නේ හොඳට නිදා ගන්න එකට.. එතකොට නිදි කිරා වැටෙන එකට කියන්නේ කුකුලා ගහනවා කියලා.. 

ඔන්න කොහොමින් කොහොම හරි පැය දෙහෙකට විතර පස්සේ කැලයක් මැද තියෙන පට්ට ප්ලේස් එහෙකට ඇවිත් ගොඩ බැස්සා.. බැලින්නම් තිරියාය ගිරිහඬු සෑය.. 

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ.. ඔහොම තමයි ඉස්සර අපේ සමාජ අධ්‍යයනය ටීචර් කියලා දුන්නේ.. ලංකාවට ගොඩ බැහැලා බුදු හාමුදුරුවොන්ගේ 'නිසැක' කේශ දාතු තැන්පත් කරල හදපු සෑය. කල්ලරාව ට පිටිපස්සෙන් මහ ගල් කන්දක් උඩ තියෙන පට්ටම ප්ලේස් එකක්. ඕක උඩට නැගපුවාම වටේම පේනව සුපිරියට. ඔය මර්චන්ට් බ්‍රදර්ස් ල ගොඩ බැස්ස තැන ගැන ස්ටෝරි දෙක තුනක්ම තියෙනවා. 

සමහරු කියනවා කල්ලරාවට පහලින් තියෙන පොඩුවකට්ටු වලට ගොඩ බැස්සලු. පොඩුවකට්ටු ගැනනම් පහුව කියනවාමයි.. 

සමහරු කියනවා කල්ලරාවට ඉහලින් යාන් ඔය වැටෙන තැනට ගොඩ බැස්සලු. අන්න අනිත් පොට් එක.. කොළඹ හෙන පොරවල් සෙට් එකක් ඉස්සර එනවා යුද්දෙ නතර වෙච්චි අලුත යාන් ඔය මං ඔය කියන පොට් එකට ඈන්ග්ලින් වලට.. ෆෝ වීලර්ස් වල ඇවිත් කෑම්ප් ගහගෙන දවස් ගනන් ඈන්ග්ලින්. මං තුමා තමයි සාදර අනුග්‍රහය ඒරියා ක්ලියරන්ස් වලට.. එකෙක් සුකී. කොළඹ සුකී'ස් වොක් එක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. රාජකීයන් නම් කොහොමත් දන්නව ඇති ඉස්කෝලෙ ඉස්සරහමනේ තිබ්බේ. ඌ හදනව සුකී'ස් ස්පෙශල් සෝස් එකක් දාල සීසන් කරපු චිකන් ෆ්‍රයි එකක්.. ෆහ්.. කිල් ෆකින් කර්නල් කැලේ.. ඌප්ස්.. ඒ ගැනත් එතනින් ඉවර කරමු. ආයි කියන්නේ නෑ. කියන්න හම්බුනොත් නිකන් බෝනස් එකක් වගේ තමයි. 

තව මතයක් තමයි යාන් ඔයට ඉහලින් තියන 'අරිසිමලේ' වැල්ලට ගොඩ බැස්සයි කියනේක.. අරිසිමලේ ගිය අය ඉන්නවද? අරිසි කියන්නේ හාල් වලටනේ දෙමළෙන්. මෙතන තියෙන්නේ නිකම්ම හාල් නොවෙයි ඔරිමජිනල් සම්බා.. පිස්සු හැදෙනවා එහෙම වැල්ලක්. ආයි ලොවෙත් හොයන්න බෑ.. දැන්නම් මං හිතන්නේ එතන වැලි ඇත්තෙම නැද්ද කොහෙද බලන්න ගිය වුන් පොට්ටනි ගහන් ඇවිත්ම..  

අප්පට සිරි පෝස්ට් එක දිග වැඩි වෙනවා නේද.. රායිට් කොහොම හරි කල්ලරාව ගැන දෙවෙනි මතකයට ආවනේ.. ඉතුරු කොටසකින් යලිත් හමුවෙමු.. ඇත්තටම කියන්න ආවේ යුද්ධයේ අන්තිම වකවානුව ගැන බොහෝම සංවේදී මතක ටිකක් හරියට අර පොඩි උන් දෙන්න ගැන වගේ. ඒත් මතක් වෙන වෙන එව්ව ඔන්නොහේ ලියුවා.. කැමති එකෙක් කියවලා බනින්නේවත් නැතැයි.. එහෙනම් යලි හමුවෙමු.