Monday 25 May 2020

අතිශය විරල වූ 'අපේ කාලයේ විරුවෙකුගේ' කතාව...... SRI LANKA EXPECTS THAT EVERY MAN WILL DO HIS DUTY!

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර C. විජේගුණරත්න විසින් රචිත
'SRI LANKA EXPECTS THAT EVERY MAN WILL DO HIS DUTY' ලිපියේ අසංෂිප්ත සිංහල පරිවර්තනයයි.

ඔබ සියළුදෙනා ඔබේ වගකීම ඉටුකරාවී යැයි ඈ උදක්ම බලාපොරොත්තු වන්නීය!

ට්‍රැෆල්ගාර් සටන ආරම්භ කිරීමට පෙරාතුව වයිස් අද්මිරාල් ලෝඩ් නෙල්සන් විසින් 
රාජකීය යුධ නෞකා බලගණය වෙත නිකුත්කළ පණිවුඩය 

1805 වර්ෂයේ ඔක්තෝබර් විසි එක්වන දින සිය රාජකීය  නාවික නෞකා බලඇණිය පිරිවරා ප්‍රංශ හා ස්පාඥ්ඥ නාවික හමුදාවන්ට එරෙහිව සුප්‍රසිද්ධ ට්‍රැෆල්ගාර් සටන දියත් කිරීමට පෙර වයිස්  අද්මිරාල් ලෝඩ් නෙල්සන් සිය ධජ නෞකාව වූ HMS Victory නැවේ ප්‍රධාන කුඹගසේ සාම්ප්‍රදායික නාවික  ධජ සංඥා ආශ්‍රයෙන් විශේෂ පණිවුඩයක් ප්‍රදර්ශනය කරන  ලදී. “England expects that every man will do his duty”. ට්‍රැෆල්ගාඩ් යනු නැපොලියානු යුද්ධයේ ඉතාමත්ම තීරණාත්මක යුධමය සංධිස්ථානයකි. මෙම පණිවුඩයම එදවස ම විසින් “Sri Lanka expects that every man will do his duty” යනුවෙන් වෙනස්කර මුහුදු සටන්වල යෙදුනු අපගේ සගයන් දිරිමත් කිරීම සඳහා නිරතුරුව බාවතා කළෙමි.

ඉහත ධජ සංඥාව ලබා දෙමින් ලෝඩ් නෙල්සන් සිය සගයනගෙන් බලාපොරොත්තු වූ දේ හා  ම විසින් මගේ සගයන්ගෙන්  බලාපොරොත්තු වූ ඒ දේ ඒ අයුරින්ම ඉටුකරමින් මවුබිම වෙනුවෙන් සිය උපරිමය  කල එක් සුවිශේෂී වූ නාවික නිළධාරියෙකු මෙහි ලා හඳුන්වා දීමට මම කැමැත්තෙමි. ඔහු මේ වනවිට විශ්‍රාම ලබා සිය ගම ප්‍රදේශය වන රත්නපුර ප්‍රදේශයේ ඉතා සරල දිවිපෙවෙතක් ගත කරමින් ජිවත් වෙයි. යමෙකු තම උදර ප්‍රදේශයට වැදුණු සතුරු වෙඩි පහරින් දරුණු තුවාල ලබා බඩවැල් කොටස් එළියට පැන එල්ලෙද්දී තම යාත්‍රාවෙන් එපිටට ගැඹුරු මුහුදට වීසි කරන ලද්දේ නම් තවදුරටත් ඔහුගේ ජීවිතය රැකගැනීමේ හැකියාව ගැන ඔබේ තක්සේරුව කුමක්ද? සත්‍ය වශයෙන්ම එවැන්නෙකුට බාහිර සහයෝගයකින් තොරව  මිනිත්තු කිහිපයකට වඩා ජීවත්වීම ඉතා අසීරු කරුණක් වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ  විශේෂ යාත්‍රා බලගණයට අනුයුක්ත මේ විරෝධාර  නිළධාරියා 2001 වසරේ ජූනි මස 21 වන දින ත්‍රිකුණාමල වරායෙන් එපිට  නොර්වේ අයිලන්ඩ් මුහුදු සිමාවේදී මුහුදු  කොටි සටන් කරුවන් හා ඇවිලී ගිය රුදුරු සටනේදී සිය උදර ප්‍රදේශයට වැදුණු සතුරු වෙඩිපහරින් දරුණු තුවාල ලබා යාත්‍රාවෙන් විසිවී මුහුදට වැටෙන ලදුව ලේ ගලන තුවාල  සහිත සිය බඩවැල් කොටස් එක අතකින් දරාගෙන  එම සටනින්ම මුහුදු බත්වූ සිය සගයින්ද සමඟ ලුණු රස ලේ රසට හැරුණු රුදුරු මුහුදු රළ සමඟ සටන් වදිමින් පුරා පැය දෙකක් තිස්සේ  මරණයට අභියෝග කිරීමට තරම් නිර්භීත විය. ඔහුගේ දැඩි අධිෂ්ඨානය හා ඔහු ලද අසීමිත පුහුණුව නිසාම ඔහු එදා මේ ඇදහිය නොහැකි ව්‍යායාමයෙන් මරණය පරාජය කර තව දුරටත් ජිවත් වීමට වරම් ලද්දේය. අවසානයේ සහෝදර නාවික යාත්‍රාවකින් මුදා ගන්නා ලදුව එවලේම ඔහුව  වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන එන ලදී. ඔහුගේ කුඩා බඩවැල් වලට දැඩි  හානි සිදුකරමින් වැදුණු වෙඩි පහරවලින් හා පැය දෙකක් තිස්සේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රින් අධි සාන්ද්‍ර ලුණු වතුරට නිරාවරණය වීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු  කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවිය. තත්ත්වය ආරංචි වූ සැණින් ඔහු දැක ගැනීම සඳහා දැඩි සත්කාර ඒකකයට ගිය මා අධික කම්පනයට ලක්ව සිටි ඔහුගේ කණට කොඳුරා මට පුරුදු ස්වරයෙන් "හිත හයිය කරගනිං පුතා" යැයි පවසනවිට පියවී තිබු ඔහුගේ  දෑස් මදක් විවරකර මා දෙස බලා හිසින් එකඟතාවය පල කළේය. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ  වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මැද වරින් වර සැත්කම් වලට ලක් කරමින් හා නැවත ආසාදනයට  ලක්වෙමින්ද පරෙස්සමින් තෝරාගත් දියරමය ආහාර වලින් පමණක් යැපෙමින්ද මාස එකොළහක අසීරු කාලයක් තිස්සේ රෝහල්ගතව කරන ලද දුෂ්කර ක්‍රියාව ජයගත් අප කතා නායකයා රෝහලෙන් පිටව එන විට ඔහුගේ අහාර ජීර්ණ මාර්ගයේ හරි අඩකට වඩා ඔහුට අහිමි වී අවසානය. එපමණක් නොව, ඔහුට ආහාර ලෙස ගත හැකිව තිබුනේ ඉතා සුළු වශයෙන් එළවළුවක් හෝ පළතුරක් පමණි. කිසිදු ලෙසකින් මස් හෝ තෙල් සහිත ආහාර ඔහුට අකැප විය. ඉදිරි ජීවිතය පුරාම ඔහු වෛද්‍ය උපදෙස් හා ඖෂධ මත යැපිය යුතුය. සතුරා ඉදිරිපිට රණබිමේ පෑ නොමද දස්කම් හේතුවෙන් ජිවිතයේ හය වරක් 'රණශූර' පදක්කමෙන් පිදුම් ලැබූ විශ්‍රාමික කමාන්ඩර් (වි.යා.බ) චතුර මහේෂ් ගමගේ නම් වූ හේ අපේ කාලයේ 'වීරයන් හා වීරත්වය' පිළිබඳව ජීවමාන සාක්ෂිකරුවෙකු වෙයි.

චතුර යනු විශේෂ යාත්‍රා  බලගණයට ඉඳුරාම බඳවා ගත් පළමු නිළධාරී කණ්ඩායමේ සාමාජිකයෙකි. එතෙක් සම්ප්‍රධායව  පැවති විශේෂ යාත්‍රා බලගණයට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වන නිළධාරීන්ට අමතරව කැඩෙට් නිලධාරීන් ලෙස විශේෂ යාත්‍රා බලගණයට ඉඳුරාම නිලධාරීන් බඳවා ගැනීමට වර්ෂ 1997 දී ශ්‍රී ලංකා නාවික හමුදාව  තීරණය කරද්දී යුද්ධය  සඳහා හොඳින් පුහුණුවූ නිලදාරීන්ගේ දැනෙන අඩුවක් පැවතිනි. විශේෂ යාත්‍රා බලගණය සඳහා කැඩෙට් නිලධාරින් ලෙස බඳවා ගැනීමට අයදුම් කරුවන් තෝරද්දී සාමාන්‍ය කැඩෙට් නිලධාරීන්ට වඩා ඉතා විශාල ලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හා පිහිණුම් පරීක්ෂණවලට යොමු කරනු ලැබේ. රත්නපුර ශාන්ත ඇලෝෂියස් විදුහලේ ආදී සිසුවෙකු වූ චතුර ඉතා හොඳ මළල ක්‍රීඩකයෙකු විය. පාසැල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම ආත්මාරක්ෂක සටන් කලාවේ කෙළ පැමිණියෙකු ද විය. නාවික හමුදා ඉතිහාසයේ මුල්ම වතාවට විශේෂ යාත්‍රා බලගණයට අයත් කැඩෙට් නිළධාරින් පස් දෙනෙකුගෙන් ද සමන්විත්වූ 28 වන බඳවා ගැනීමේ කැඩෙට් නිළධාරියෙකු ලෙස චතුර 1997 ජුලි 30 වන දින නාවික හමුදාවට සම්භන්ද විය. සියලුම කැඩෙට් නිළධාරීන් සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ වූ වසරක මූලික පුහුණුවෙන් පසු චතුර ඇතුළු බනිළධාරීන් පස් දෙනා වැඩිදුර පුහුණුව සඳහා විශේෂ යාත්‍රා  බලගණයට අනුයුක්ත කරන ලදී. මා මුල්වරට ඔහුව දුටුවේ එහිදීයි. ඒ වනවිට විශේෂ යාත්‍රා බලගණය තුල අප අත්හදා බලමින් සිටි සතුරන්ට එරෙහි නව යුධ ක්‍රමෝපායන් සඳහා චතුර ඇතුළු මේ නවක පුහුණුවන නිළධාරින් පස්දෙනා වෙසෙසින්ම යොදා ගන්න ලදී. මේ යුධෝපක්‍රම හා තාක්ෂණය පුහුණු කිරීමන් අප බලාපොරොත්තු වූයේ විශේෂ යාත්‍රා බලගණය දියමතදී පරාජය කල නොහැකි බලවේගයක් බවට පත්කිරීමයි. එවැනි එක විශේෂ පුහුණුවක් වූයේ Anti Drowning Drill හෙවත්  'මුහුදේ නොගිලී සිටීමේ සරඹය'යි. මෙහිදී පුහුණුවන්නන්ගේ අත් පා ගැටගසා ඔවුන් ගැඹුරු දියට විසිකරනු ලැබේ. අත්පා බාවිතයෙන් තොරව මුහුදේ නොගිලී සිටීමේ තාක්ෂනය පසක් කරගන්නා තුරු එසේ කරනු ලැබේ. ඉතා විශාල වශයෙන් මුහුදු ජලය පෙවුණු ඇති දුෂ්කර අභ්‍යාස දාමයක ප්‍රතිඵලයක් වශයෙන් එදා ඔවුන් එම තාක්ෂණයේ ප්‍රමුඛයන් ලෙස පුහුණුව ලබන ලදී.

එදා නොර්වේ අයිලන්ඩ් මුහුදු සිමාවේ කල සටනින් මාරාන්තික තුවාල ලබා මුහුදට ඇද වැටෙනු ලැබුවේ වුවද ජිවිතාපේක්ශාව සඳහා චතුරට එක වැදගත් සහතිකයක් ඔහු සතු විය. එනම් සිහි ඇතිතෙක් කිසි කලෙකත් ඔහු දියේ ගිලී මියයන්නේ නැති බවයි. මේ නව ගෘහස්ත තාක්ෂණික පුහුණු සහ ඇමෙරිකානු නාවික හමුදාවේ  SEAL කමාන්ඩෝ භටයින් සමඟ වසරකට දෙවතාවක් කල සමුහ පුහුණු වැඩසටහන (Balance Style Exercise) නිසා චතුර ඇතුළු ඔහුගේ සගයන් ඉතාමත් දක්ෂ හා නිපුණ තරුණ නිලධාරීන් ලෙස  ඉදිරියට එන ලදී. ඇමෙරිකානු හමුදා සමඟ කල සමුහ පුහුණුවට අමතරව ඔවුන් යුධ හමුදා විශේෂ බළකාය, කොමාන්ඩෝ බළකාය සමඟ නොයෙකුත් පුහුණු කටයුතු වලට සහබාගි වෙන ලද අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශය සමඟ කිමිදුම් පාඨමාලා වලට සහබාගි විය. ඔවුන් ලද මේ විශිෂ්ට පුහුණුව හා ඒ වෙනුවෙන් විඳි දුක්ගැහැට පිලිබඳ සියලු දෙනා දැනසිටීම නිසා මේ තරුණ නිළධාරීන් පස් දෙනා විශේෂ  යාත්‍රා බළගණය තුලදීද සෙසු නිළධාරීන්ගේ හා නැවියන්ගේ පැසසුමට  හා ගෞරවයට නිබඳවම ලක්විය. 2000 වසරේදී මා දෙවනවරට විශේෂ යාත්‍රා  බලගණයේ අණදෙන නිලදාරියා ලෙස වගකීම් බාර ගන්නා අවස්තාව වන විට මේ තරුණ නිලධාරීන් පස්දෙනා විශේෂ යාත්‍රා බලගණයට ඉතා වටිනා සම්පතක් ලෙස මවිසින් හඳුනා ගතිමි. උතුරු නැගෙනහිර වෙරළ තීරයන් දිගට වූ සතුරු බල ප්‍රදේශවලට ඔබ්බෙන් ඉතා රහසිගත මෙහෙයුම් සඳහා රාත්‍රී කාලයේ මවිසින් ඔවුන්ව යොමු කරන ලදී. දිවාකාලයේ විවේක ගන්න ඔවුන්ගේ දවස ඇඳිරි වැටීමත් සමඟ ආරම්භ වේ. පුහුණු වීමේදී අපි අපේ සියලුම රාත්‍රී පුහුණු සම්පුර්ණ ඝන අඳුරේ කිරීමට පෙළඹුනෙමු. ආලෝකය උපදවන කිසිදු උපකරණයක් බාවිතා නොකරන  ලද අතර මෙය අපේ රාත්‍රී කාලයේ ඇස් පෙනීම තියුණු කරගැනීමට ඉවහල් විය. අපේ ගිනි අවි සහ අනෙකුත්  උපකරණ ජලරෝධක බහලුම් වල රුවාගෙන කළපු දිය හරහා අඳුරු රාත්‍රීන් වල පිහිනමින් හෝ හබල් ඔරුවලින් සතුරු ඉලක්ක බලා බොහෝදුර තරණය කිරීමට අපි සමත් උනෙමු. සතුරාට නොදැනෙන ලෙස උන්ගේම පාලනයේ ඇති  වෙරළ තීර වල අපි අපගේ රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. රාත්‍රී  කාලයේ කිසිදු ආලෝකයක් නැතුව හා කිසිදු ශබ්දයක් නොනැගෙන ලෙස ගමන් කිරීම එදවස අපට ඉතා  පහසුවෙන් කල හැකි විය. මෙලෙසින් සතුරු ඉලක්ක වලට නොසිතන තරම් ලංවී අනපේක්ෂිත ලෙස අපගේ 9mm MP5 SD අවිවලින් ඉතා සාර්ථකව සතුරු ඉලක්ක වලට පහර දීමට අපට හැකිවිය. මෙනිසාම ත්‍රස්තවාදීන් විසින් 'නාවික හමුදාවේ හොල්මන් බළකාය' යන අන්වර්ථ නමින් අපේ කණ්ඩායම හඳුන්වන ලදී.

අණදෙන නිලධාරිවරයා ලෙස එක් එක් කණ්ඩායම්වල හැකියාවන් සසඳා බැලීමෙන් අනතුරුව මවිසින් මේ නිළධාරීන් ප්‍රමුඛ කණ්ඩායමට සතුරු වළල්ලෙන් ඔබ්බේ වූ රහිසිගත ඉලක්ක හඹා යාමට කෙටි සහ ඉක්මන් උපදෙස් ලබා දෙන ලද අතර බොහෝ අවස්තාවලදී ඔවුන් ඒවා ඉතා සාර්ථකව නිමාකල අතර අවස්ථා කිහිපයකදී පමණක් අපේ කණ්ඩායම් වලට  සුළු වශයෙන් හානි සිදු විය. අපේ කතා නායකයා චතුර විසින් වරක් යාපනය කලපුවේ K Point ඉදිරියේ කරන ලද එවන් එක් ඉතා අසීරු මෙහෙයුමක් ඉතා සාර්ථව නිමාකල අයුරු මගේ මතකයේ තවමත් ඇත. 2001 වසරේ තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වනතුරුම චතුර විශේෂ  යාත්‍රා බලඝණයේ ඉතා ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. සුව වීමෙන් අනතුරුව හමුදා පටිපාටියට යමින් වෛද්‍ය නිර්දේශය මත වැටුප සහ විශ්‍රාම වැටුප යන දීමනා දෙකම සහිතව විශ්‍රාම යෑමේ අවස්තාව ඔහුට පිරිනමන ලද අතර ඉතා විශ්මයජනක ලෙස ඔහු විසින් එම අවස්තාව ප්‍රතික්‍ෂ්ප කර නාවික හමුදා සේවයේ දිගටම නියැලීමට තීරණය කරන ලදී. මේ කාලය තුලදී ඔහු විසින් තම වියදමෙන් NIBM ආයතනය හා එක්වී පරිඝනක ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පුර්ණ කරන ලද අතර එතැන් පටන් ඔහුගේ පරිඝනක දැනුම විශේෂ යාත්‍රා බලඝණයේ අධි තාක්ෂණික මෙහෙයුම් හා  පුහුණු කටයුතු සඳහා මහත් සේ ඉවහල් විය. එකල ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝන මුලස්ථානය හා ලංකාව  පුරා විහිදී සිටි කුඩා  කණ්ඩායම් එකින් එක සම්බන්ද කල රැහැන ඔහුයි. එමතු නොව ඔහු ඔහුගේ ආත්මාරක්‍ෂක සටන් කළා හැකියා බාවිතයෙන් විශේෂ යාත්‍රා බලඝනයට  ආත්මාරක්ෂක සටන්ක්‍රම හඳුන්වා දීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය. ඒ සඳහා ශාරීරික අපහසුතා පසෙක ලා ඔහු වරක් චීනයේ සංචාරය කරමින් හමුදා ආත්මාරක්‍ෂක සටන් විධි පිලිබඳ හැදෑරීමද සිදු කරන ලදී. ආත්මාරක්‍ෂක සටන් කලාවට ආවේනික ඉතා අසීරු තාක්ෂනයන් ඇසුරෙන් තම නැතිවී ගිය කාය ශක්තිය නැවත ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කර ගැනීමටද මෙමගින් ඔහු සමත් විය. නැවත සටන් බිමට පිවිසීමේ නොතිත් ආශාවෙන් පෙලි ඔහුට තිබු එකම සහ ලොකුම බාදාව වුයේ ආහාර ගැනීම සඳහා ඔහුට තිබූ අනේකවිද අපහසුතා හා බාධකයන් විය. නමුත් මේ කාලයේදීම ඔහුගේ බිරිඳ සිය  කුළුඳුල් දියණිය මෙලොවට බිහිකිරීම චතුර ගේ මහත් සොම්නසට හේතුවිය.

චතුර සිය ප්‍රිය බිරිඳ ලංකා  සහ දියණිය ඉසුමි සමඟ 

2006 වසරේ ජූනි 17 වන දින සිදුවූ එක ඛේදජනක සිදුවීමක් ඔහුගේ ජීවිතය නැවත වරක් වෙනස් කරන ලදී. ඔහුගේ කණ්ඩායම් සගයෙකු මෙන්ම ලඟම මිතුරෙකු වූ විශේෂ යාත්‍රා බලඝණයේ ලුතිනන් සුදේශ් කුමාර දළුගම මෙදින මන්නාරම පේසාලේ ප්‍රදේශයට එපිටින් මුහුදේ ඇති වූ ප්‍රචණ්ඩ සටනකින් අනතුරුව අතුරුදහන් විය. එයින් මතු කිසිම දිනයක දළුගම ගේ සිරුර යලි දැක ගැනීමට ලැබුනේ නැත. මේ සිදුවීමෙන් කම්පාවට පත් වූ චතුර සිය වෛද්‍යවරුන්ගේ දැඩි විරෝදය මැද ස්ව කැමැත්තෙන් නැවතත් සටන් බිමට අවතීර්ණ වීමට තීරණය කළේය.
උප ලුතිනන් චතුර ගමගේ  සහ උප ලුතිනන් සුදේෂ් දළුගම K Point හි  මෙහෙයුමට යාමට සුළු මොහොතකට පෙර  

සියලු සැප පහසුකම් මැද සම්පුර්ණ වැටුපත් විශ්‍රාම වැටුපත් එකවර ලබමින් නිවසට වී ආරක්ෂිතව බිරිඳ හා දියණිය සමඟ  දිවි ගෙවීමේ අවස්තාව තිබියදී, ඒ සියල්ල මෙන්ම සිය  ශාරීරික අපහසුතාද වෛද්‍ය උපදෙස්ද පසෙකලා ස්ව කැමැත්තෙන් යුධ බිමට පය තැබූ චතුර ගමගේ යනු සත්‍ය වශයෙන්ම අපේ කාලයේ අතිශය විරළ වූ සැබෑ විරුවෙකි.

සන්නද්ධ මුහුදු කොටි බළකායට එරෙහිව අවසන් සටනේදී, එවකට කුඩා යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරිව සිටි කපිතාන් DKP දසනායක යටතේ කුඩා යාත්‍රා සමූහයක අණභාර නිළධාරි වරයෙකු වශයෙන් දිවා රාත්‍රී නොබලා මුහුදු සටනේ යෙදෙමින් චතුර ඉතා විශිෂ්ට සේවයක් සපයන ලදී. බොහෝ දිනවල ඔහුගේ ආහාරය වූයේ පළතුරු ජූස් ස්වල්පයක්, වතුර හා ග්ලුකෝස් පමණි. මුර සංචාර නිමවා තම ඇරෝ යාත්‍රා සමුහය සමඟ ගොඩබිමට ආ විට විජලන තත්වයෙන් මුදවා ගැනීමට ඔහුට සේලයින් ලබාදීමට වෛද්‍ය කණ්ඩායම් වලට සිදුවිය. නමුදු මේ කිසිවකින් ඔහුගේ අභිප්‍රායන් දශමයකුදු වෙනස් වීමකට ලක් නොවිණි. අවසන් සටනේ අවසන් දින ගණනාවක් පුරා මුලතිව්  මුහුදේ දිවා රෑ රැක සිටිමින් ඔහු ඇතුළු කණ්ඩායම LTTE ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මුහුදෙන් පළායාමට තිබුණු සියලු  අවස්ථා ව්‍යර්ථ කරන ලදී. කපිතාන් DKP ගේ කුඩා යාත්‍රාවන් ගොඩබිමට ආසන්නයෙන්ම මුලතිව් මුහුදේ  මුරට යොදවා සිටි අතර චතුර ඇතුළු අනෙකුත් SBS/ RABS නිළධාරීන්ගේ හා නැවියන්ගේ අසීමාන්තික කැපකිරීම හමුවේ LTTE නායකයාට මුහුදෙන් කිසිදු ආකාරයේ මෙහෙයුමක් දියත් කිරීමේ හැකියාව සම්පුර්ණයෙන්ම අවහිර කිරීමට නාවික හමුදාව සමත් විය. 'කල නොහැකි දෙයක් යැයි කියූ දෙය කල හැකි බව' යන කියමන චතුර විසින් සිය ක්‍රියාවෙන් සනාථ කරන ලදී.

නෙල්සන් මැන්ඩෙලා විසින් වරක් මෙසේ පවසා ඇත. “It always seems impossible until it’s done”. සමහර දේවල් කර අවසාන වනතුරුම එය කල නොහැකි දෙයක් ලෙස පෙනේ. විදේශයන්හි දී  මාණ්ඩලික නිලධාරි පාඨමාලා වලදී අප උගත් යුධ ක්‍රමෝපායන් අපේ සතුරාට ගැලපෙන ලෙස වෙනස් කිරීමට අපි සමත් උනෙමු. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ කුඩා යාත්‍රා සංකල්පය එවැනි සාර්ථක වු එක් ක්‍රමෝපායක් වේ. ඔහු විසින් සටනකදී සතුරු යාත්‍රා ප්‍රමාණය අභිබවා යන ආකාරයෙන් කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කළේය. යුධ න්‍යායක් ලෙස මේල 'Lancaster Theory' ලෙස හැඳින්වේ. ආසන්න වසයෙන් සමාන වෙඩි බලයක් සහිත යාත්‍රා සමඟින් සතුරු යාත්‍රා කණ්ඩායම් දෙකක් මුහුදේදී ද්වන්ධ  සටනකට එළඹෙන්නේ නම්, වැඩි යාත්‍රා ප්‍රමාණයක් සහිත කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇත. තවදුරටත් මෙය විශ්ලේෂණය කල බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥ ෆෙඩ්රික් ලැන්කස්ටර්, යම්  කණ්ඩායමක් එවන් යාත්‍රා 50ක් සහිතව තවත් එවන් යාත්‍රා 25කින් පමණක් සමන්විත සතුරු කණ්ඩායමක් සමඟ සටනට එළබෙන්නේ නම් කුඩා කණ්ඩායමේ යාත්‍රා 25ම විනාශ වීමේදී බලගතු කණ්ඩායමේ විනාශ වන්නේ යාත්‍රා අටක් පමණක් බව ඔප්පු කොට පෙන්වා ඇත. කෙටියෙන්ම පවසතොත් සතුරු හමුදාවට වඩා ඔබ යොදවන යාත්‍රා ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඔබ පරාජය වීමට ඇති අවස්තාව අවම වේ.

මේ අයුරින්, එවකට නාවික හමුදාපති කරන්නාගොඩ ගේ අධීක්ෂණය හා අනුමැතිය මත අපි අපේ මුහුදු සටන් සඳහා මේ ලැන්කස්ටර් න්‍යාය භාවිතා කළෙමු. නාවික හමුදා වැලිසර නාවික යාත්‍රා වැඩබිමේදී අපි ඉතා විශාල  වශයෙන් කුඩා යාත්‍රා නිෂ්පාදනය ඇරඹුවෙමු. මේ අයුරින් නාවික හමුදාවට ත්‍රස්ත යාත්‍රා  අභිබවා මුහුදු සටන් වලදී ජයගැනීමට අවස්තාව උදා විය. මෙලෙස ඉතා විශාල වශයෙන් කුඩා යාත්‍රා මුහුදු සටන් සඳහා යොදා ගැනීම ඉතා සාර්ථක වූ අතර නිතරම කපිතාන් DKP ගේ යාත්‍රා ජයග්‍රහණයන් ලබා ගැනීමට විය.

British Mathematician Fredrick Lancaster

කුඩා යාත්‍රා පිලිබඳ ලැන්කස්ටර් න්‍යාය මෙතනින් අධ්‍යයනය කල හැක

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව චතුර මගේ කාර්‍ය මණ්ඩලය තුල මගේ පෞද්ගලික ආරක්ෂාව බාර  නිලධාරියා ලෙස වැඩ  බාර ගෙන මා නාවික  හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති හා අවසන් වශයෙන් ත්‍රිවිද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල කාල සීමාව තුල මා සමඟ කටයුතු කළේය. මේ කිසිදු කාලයක ඔහු ඔහුගේ ඉගෙන ගැනීමේ කටයුතු අත් නොහල අතර 2017 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් GIS & Remote Sensing යන විෂය පථය උදෙසා පශ්චාත් උපාධිය (MSc in GIS & Remote Sensing) සාර්ථකව හදාරා  නිම කළේය. අවසානයේ මගේ උපදෙස් මත සිය මාතෘ භුමිය  උදෙසා  කල වසර විසි දෙකක සුවිශේෂී මෙහෙය නිමවා ඔහු 2019 වසරේදී නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා  ලදී.

අවසාන වශයෙන් දෙවන ලෝක යුද්ධයේ සුප්‍රසිද්ධ මිඩ්වේ මුහුදු සටනේ (Battle of Midway) හි සුපිරි වීර ඇමෙරිකානු නාවික හමුදාවේ බෝම්බ ප්‍රහාරක යානා නියමු සහ බලඝන අණදෙන්නා වූ කමාන්ඩර් රිචඩ් හාල්සි බෙස්ට්  (Commander Richard Halsey Best) හා සමකලහැකි අපේ  විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියා  ලෙස මම කමාන්ඩර් චතුර ගමගේ ව හඳුන්වා දීමට කැමැත්තෙමි.

Commander Richard Halsey Best.

කමාන්ඩර් බෙස්ට් වසර 91ක් ජිවත් විය. මගේ ප්‍රාර්ථනය චතුර ද වසර 91ක් ජිවත් වේවා යන්නයි.

“Fortune favors the Brave"














12 comments:

  1. සුපැහැදිලි පරිවර්තනයක්.. සෑහෙන වටින ලිපියක්. අපි හැමදාම අගය කරන්නෝන කැපකිරීමක්. ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ :)) මහන්සිය නිවුන.. <3

      Delete
  2. හොඳ ලිපියක් පරිවර්තනය කරලා තිබෙනවා . මේ වගේ සටන් ගැන , මේ වගේ නිලධාරීන් ගැන දන්නේ නැහැනේ මෙහෙම ලිපි කියවනකන්.

    ReplyDelete
  3. සුප්‍රසිද්ද මිඩ්වේ සටන ගැනත් කමාන්ඩර් බෙස්ට් ගැනත් හැදුන (Midway) චිත්‍රපයටක් ලගදි බැලුවා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිහින් අමතක නොවෙන්නට ඇමරිකානුවන් තමන්ගේ රණවිරුවන්ව හා යුධ වික්‍රමාන්විතයන් සමරන්නේ ඒ විදිහටයි නමුත් කාලයේ වැලිතලාවෙන් වැසීගිය අපේ රණවිරුවන් ගැන මෙහෙම ලිපියකින් මිසක් දැන ගන්නට වෙන මගක් නෑ. යුධ ජයග්‍රහනයත් හෑල්ලුවට පත්කල කුහක දේශපාලුවන් ඉන්නා රටක කවදා අපේ රණවිරුවන් ගැන ඔවුන්ගේ වික්‍රමාන්විතයන් ගැන චිත්‍රපට හැදෙයිද? Midway, Lone Survivor, Saving private Ryan

    ReplyDelete
  4. ඊයේ මේ ලිපිය කියවන්නට ආවත් තිබුනේ නැහැ. අද පෙන්වනවා.

    කමි. නියම මනුස්සයෙක් ගැන කියවන්නට සැලැස්වීම ගැන බොහොම පින්. ගෙදර ගිහින් ඉන්නා වීරයාට නිදුක්- නිරෝගී සුවබර දිවියකට ආසිරි!

    ReplyDelete
  5. මේ වගේ නිළධාරියෙක් ඇයි කමාන්ඩර් නිලයෙන් උඩට ගිහින් නැත්තේ? හොඳ ලිපියක්. සැගවුණ වීරයෙක් ගැන දැනගත්තා.

    ReplyDelete
  6. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ.

    ReplyDelete
  7. එක නම් මාරු.ආඩම්භරයි කියවගෙන යද්දී.

    ReplyDelete
  8. ජනාධිපතිවරයා,අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී මෙම උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ වාර්තාවක්‌ උපුටා දක්වමින් ඊයේ ලංකාදීප පුවත්පතේ වාර්තාවක්‌ පල කර තිබු අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊය රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කල බවයි. සාමාන්‍ය ජනතාවට නීති රීති දමනා රජයේ ප්‍රධානින් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද?

    ReplyDelete
  9. ගොඩක් වටින ලිපියක්. මොළයටයි හදවතටයි දෙකටම හොඳින් දැනුණා. ස්තූතියි ඔබතුමාට.

    ReplyDelete
  10. මුහුණු පොතේ ෂෙයා උනා දැක්ක මේ පෝස්ට් එක. බැලින්නම් අපේ කලණ අය්යනෙ ලියල තියෙන්නෙ

    ReplyDelete