මේක ලේසි පාසු වැඩක් නෙවෙයි.. කවි කියන්නේ මට අබිං වගේ.. ඒත් මූණු පොතේ මේ දවස්වල යන කැමතිම කවි පහක් (හෝ ඊට වැඩියෙන්ද මංදා) තෝරලා පබ්ලිෂ් කරන අභියෝගේකට මගේ LLB බැචියෝ දෙන්නෙක් වෙන මයුරි සහ ඉෆ්කා මාවත් ටැග් කරලා තිබ්බනේ.. උන් දෙන්නගේ සහ ඒ එක්කම ලියපු ගොඩක් උන්ගේ කවි කතන්දර පෝස්ට් කියෙව්වාම සෑහෙන්න ආඩම්බරයක් ආවා.. ඉෆ්කා නම් කවිකාරි.. මට මතක් උනේ ගිය අවුරුද්දේ කොරෝනා අස්සෙම වගේ කොළඹ පොත් ප්‍රදර්ශනේ කවිපොත් කුටිවල අපි දෙන්නා අතරමං වෙච්චි විදිය.. අපේ (almost) next generation එක වෙච්චි බදුල්ලේ පොඩි එකී හිරන්‍යා ගේ තේරීමත් මාව පුදුමයට පත් කරා.. මම ඇත්තටම හිතුවේ නෑ කවියට සාහිත්‍යයට මුන් මෙච්චර ඇල්මක් ඇති මෙච්චර උසස් රසාස්වාදයක් ඇති කියල..
මම සහ මගේ කවි ගැන කියනවා නම්.. I'm basically from old school.. ඇත්තටම කාලයක් තිබ්බ 'කවි නම් සඳැස් තමයි' කියල මගේ ඔලුවේ වැඩ කරපු.. දැන් නම් එහෙම එකක් ඇත්තෙම නෑ.. ඒත් කවියක ප්‍රස්තුතය, රයිම් එක, ෆිනිෂ් එක, වචන වල පොහොසත්කම වගේ දේ ටිකට ඉබේම ලකුණු වැටෙනවා.. වැඩි ලකුණු ගන්න කවි වැඩියෙන් රස විඳිනවා කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
කවි කියුවම මට මුලින්ම ඔලුවට එන්නේ අපේ අම්මා.. ඈ ඉතා දක්ෂ කිවිඳියක්.. ජනමාධ්‍ය භාවිතය කොළඹින් පිට අතිශයින් සීමා වෙලා තිබ්බ හැත්තෑව අසූව අනූව දශක වල දකින ඇහෙන විඳින ඕනෙම දෙයක් සිව් පදයකට හරවපු ඇගේ කවි නිර්මාණ කොපි පොත් වලට, කඩදාසි කොළ වලට, තුණ්ඩු කෑලි වලට හා අපිට කවියෙන් ලියපු ලියුම් වලට විතරක් සීමා උනා.. ඒ නිර්මාණ අතරින් බොහොමයක් දැන් හොයන්නවත් නැති උනත් කට පාඩමෙන් මතක තියෙන එක කවි පෙළක් මම කාලෙකට කලින් බ්ලොග් එකේ දැම්ම, බදුල්ලේ අපේ ගෙදර සාලෙට ඈතින් පේන නමුණුකුල කඳු වැටිය හා ඊට උඩින් පායන සඳ ගැන ලියවෙන ඒ කවි පෙළත් අර වගේම කඩදාසි කොළේක ලියවිලා මැකිලා ගිය අහඹු කවියක්.
මිහිදුම් සළු සේල ඉරමින් වත.......... පාන
කඳුකර කොමලියේ ඔබෙ රුව.... අසමාන
නුබකුස සිප ගන්න නුඹ බලනා....... මාන
සොඳුරියෙ ඔබ මෙන්ම මම දකිනෙමි හීන
සැඩ හිරු රැසින් හෙම්බත් වූ.. හඳ පලුව
පසෙකට දමා ඇත ඉඟවට.... ඇඳි සළුව
තුන් තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
දහවල පුරා ඇයි සඳවතියේ...... ගොළුව
අමාවකේ යෞවනයන්...... සොයා යන
ඝනඳුර ඉරා රෑ මැදියම........ ජනිත වන
හිරු පෑයූ කලට ඔබටය.... දෙවන තැන
සබැඳිය බැරි ඇයිද ඉන්නට එකම තැන
නූතන ජනප්‍රිය කවි පරපුරේ කවි කිවිඳියෝ බොහොමයක් ඉන්නවා නම් වලින් ඔවුන්ව මතක්කිරීම උගහට උනත් මංජුල වෙඩිවර්ධන, මහින්ද මස්ඉඹුල, ට්‍රෝයි මහමොහොට්ටාල, අකාලයේ සමුගත් ඉන්දික ගුණවර්ධන, සුහර්ශනී ධර්මරත්න, කල්පනා ඇම්බ්‍රෝස් වගේ කවි කිවිඳියෝ මතකෙට එන එක වළක්වන්න අමාරුයි.. එහෙත් ඔය අතර මා හිතා මතා නොකියූ නමක් තියෙනවා. "නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්”.. නැත්නම් ''මයෙ අම්මේ යමු යන්ඩ" කියන කවි සූස්තිය අපිට ඔතල දීපු එකා.. මේ කවි සූස්තිය නම් මට අහස පොළොව මාරු වෙන්ඩ වැදුණු එකක්. ඒකෙන් එකක් නම් තෝරන්න බෑ.. ඒත් “නිවන් පුරයට යන්ඩ බස් එකක් නැති වෙලාවක...” අවසානය පොඩ්ඩක් මෙතන ලියන්නම්..
"අපේ තාත්තත්
ආදරේ කළා හැම ගෑනිටම
අපේ අම්මට හැර..
බොහෝ දේ ළඟ තියා ගන්නනම් සොහොයුර
කුමක් හෝ අත්හැරිය යුතුයි හැම මොහොතකම
ජීවිතය විකුණමින් අම්ම මට දන් දුන්න
පිලී ගඳ නැති කවිය ඔබ සැවොම සිප ගන්න....!"
මම කලින් කියපු විදියට කාලයක් මගේ ඔලුවේ තිබ්බ කවි නම් සඳැස් තමයි කියන ආකල්පයට පයින් පහර වැදුනේ ඇත්තටම සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ වෙන්නොනි.. නම් වලින් ගත්තොත් රසිකා ගුණවර්ධන, කාංචනා අමිලානි, නුවන් හේමචන්ද්‍ර, මහේෂ් රත්නායක, වසනා දහනායක කවි වලින් කප් ගහපු බ්ලොග් කාරයෝ කාරියෝ සෙට් එකක් අස්සේ ඔතනත් මම හිතල නොලියා හිටිය නම් දෙකක් තියෙනවා.. එකියක් බස්සිගේ නවාතැන ලියපු බස්සි හෙවත් යශෝධා සම්මානි.. පවුල් පංසල් වෙලා දරුවෝ මල්ලෝ හදාගෙන දැන් පැත්තකට වෙලා හිටියට බස්සි කියන්නේ කවි ෆැක්ටරි එකක්.. බකුසු කවි අතර මේ මම ආසම එකක්.. "චන්දරේ.. "
නුගේගොඩ හන්දියේ - මද්දහන් ගින්දරේ,
සිහින මල් පිපෙනවද චන්දරේ?
දූලි මුසු දහදියෙන් උඹෙ සිනහ යන්තරේ,
බිංදු මුතු මවනවද චන්දරේ?
උල් හිසැති පාවහන් යන්නේම ඔරවගෙන,
කල්ලියක කොලුගැටව් ඉංගිරිසි අසැබි වදනින් බණින,
තල්ලුවකි මැදිවියේ ඔසරියක් කලබලෙන,
හිනාවෙන්නට බැරිය ගින්දරේ. . .
උඹට අත වනන්නේ - හාදු පා කරන්නේ
පොඩි එව්වො විතරමද චන්දරේ?...........
අනිත් එකී ඊට හපන්.. වැඩිය මොකුත් කියන්න ඕනි නෑ 'තරු ඇස් රහස්' කියුවම. තරුරසීත් බ්ලොග් සහ ෆේස්බුක් වල මෙන්ම මුද්‍රිත මාධ්‍යවලින්ද කලඑළි බැහැපු සුපිරි කිවිඳියක්.. ඇගේ 'තරු ඇස් රහස්' පොතේ 73 වෙනි පිටුවේ කවිය මං ආසාවෙන්ම කියවපු කැමතිම ඒ වගේම ලස්සන කතාවකුත් ගොතපු හිතේ රැඳුනු කවියක්..
මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා
රුහිරු කඳුලැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගෙන වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැ’ති නිළ ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට........
අන්තිම එක විදියට මම කැමති මගේම කවියක් දාන්න ඕනි. නැතුව යකෝ අපේ කවි කවුරු කියල හොඳයි කියයිද නේද? සඳ ගැන ලියපු මේ කවිය සඳ ගැනම මිසක් වෙන වෙන අර්ථ හොයා හොයා මගෙන් ප්‍රශ්ණ අහන්න නම් තහනම් කාටවත්ම.
මන්ද අඳුරට ගිතෙල් පහනක් මංද ඈ මුව හිනාවේ..බැන්ද අහසට සරා සඳ මෙන් මහත් හසරැල් ගෙනාවේ..
කන්ද සිඳ මිදුලටම කැන්දූ එලිය මැද සඳ තලාවේ..
වින්ද සෙනෙහස තාම මතකයි සඳේ සොඳුරුම කලාවේ..
නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර හඬන්නේ..
වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි මදින්නේ..
කැලුම් දුන් සඳ රාහු අභිමුව දණින් වැද බිම හොවන්නේ..
තැලුම් පිරිමැද වසා ගමි නෙත් කොහොම යලි සඳ දකින්නේ..
ඔන්න මයුරි, ඉෆ්.. චැලේන්ජ් එක හරි. ආයෙනම් අමාරුවේ නොදා හිටපල්ලා.
ක.මි.
හිත කම්පනය කරවා - කඳුළැලි නැඟුම
ReplyDeleteසොඳුරුම මිහිරකින් - හද වෙණ හැඬවීම
කවියෙන් කළ හැකිය - නැහැ කියනුයෙ කෝම
‘හද බස කවි බසය’ - සත්තකි, ඒ කීම!
නිදි නැති රැයක හද ළඟ ලියවෙන අරුම
Deleteපැදි පෙළහරක සොඳුරුම කවියක් තරම
'නිදි' බ්ලොග් ලෝකයට මේ ගෙන එන වරම
මදි මට මෙහෙම කියලා.. නොකියත් බැරිම :))
බ්ලොග් ලෝකයට පිය මනිනා මුල් කාලේ
Deleteඔබෙනුත් ලැබිණි අගනා උපදෙස් මාලේ
එය ගෙල දරා, පිළිපැද ලියනා ලීලේ
අතරම කවි ලියන්නේ ලියනව වාලේ
ලොකු සර්, කවිය මගේ ටේස්ට් එක නොවුනත් මේ පබැඳුම් වල යම්කිසි අමුත්තක් තිබෙනවා කියා නම් දැනෙනවා.
ReplyDeleteපොඩි මිසීගෙ කවියකුත් මෙතනට තිබුනානම් තවත් අගෙයි කියාත් සිතෙනවා.
ජයවේවා! දිගටම ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Myself Hattor
තැන්කියු හැට්ටර් සර්... පොඩි මිසී හිටි ගමන් ලියුවට එහෙම දිගටම කික් එකේ ලියන්නේ නෑ දැන් හොර වෙලාද කොහෙද ගෙදරටම වෙලා ඉඳල.
Deleteදිගටම නෙහ්.. බලමු බලමු.. ජයවේවා!
Nice to divert our thinking little bit to something enjoyable and forget the world.
ReplyDeleteI have to hide myself in the office today, last night news said Covid D variance was brought to Melbourne from Sri Lanka. Wijebahu
Oh, i.e. disheartening news. Hope this will make no further inroads to spoil the peace of mind of Aussies.. Stay strong-stay safe!
DeleteThanks for the comments Mr. Wijebahu.
පහක් කියවල තියනවද හිතමින් ......
ReplyDeleteපහ පහ කියවල ඇති සුවර් එකටම. :)))
Deleteදුමි දුමින්ද අබේසේකරගේ කවිත් පට්ටයි බං. එකටත් වෙච්චි දෙයක් නෑ
ReplyDeleteසොඳුරු සඳවතීයත් රාහු ගිලගෙන
බලපන් ඉතිං.. උන් දෙන්න මට අමතකම උනානේ.. සඳවතී නම් කේටරින් එකේ බිසී. දුමියා නැත්තටම නැතිවෙලා නේ.
Deleteස්තූතියි කොළොම්පූර්ට අපිව මතක් උනාට..කවි ලියවෙන්නෙ නෑ අප්පා දැන්.කරුමයක් කරුමයක් ඒක
Deleteකණට ගැහුවා වගේ.. :)) හරි හරි අපි සමාව ගත්තනේ අමතක උනාට. දැන් වයසක මැන්ටල් නොවැ. ඉක්මනට අමතක වෙනවා.
Deleteආ..මෙව්වට අපි කමෙන්ට් කලානේ බුකියේ...
ReplyDeleteඔව් ඔව්.. තැන්කු තැන්කූ.. අපේ කවි මෙලෝ රහක් නෑ කියලනේ කොමෙන්ට් කරේ. :)))
Deleteඉදිරි දින කිහිපය තුල කමෙන්ටුවක් තුලින් හමුවන බලාපොරොත්තුවෙන් මේ ඔබෙන් සමුගන්නේ; ඔබේ හිතව්ත් තට්ටයා. ආයුබෝවන් වාසනාවන්!
ReplyDeleteකොමෙන්ටු එපා.. හිතට වැදිච්චි කයි පහක් ගැන පෝස්ට් එකක්ම ලියමු. :)
Deleteමම කමෙන්ටුවක් ලීවත් එය පෝස්ටුවක් වගේම තමයි. සත්තකින්ම මම ඔබේ කවීත්වය පිලිබඳව ඇත්තේ තද බල ගරුත්වයක් කිව්වොත් ඒක නිවැරදියි. කොහොමත් ඔබ යෝජනා කරලා තියෙන්නේ මාව අමාරුවේ දාන අදහසක්.
Deleteකවීත්වය කියුවම නිකම් පොරත්වය වගේ.. මට එහෙම එකක් නෑ.. ඔන්නොහෙ ලියමු මං කියපු එක ගැන.. :))
Deleteමන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
ReplyDeleteබැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ
නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ'ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ
hmmm hmmmmm hmmmm
ආ... මතකයි නේ තාම <3 <3.. :)))
Deleteනැතුව නැතුව :D
Deleteඅපූරුයි ...
ReplyDelete