Monday, 8 February 2016

මොණරාගල වතුර Project 2- කඩි-නමින් ඉදිවෙන වතුර ටැංකි කුළුන හා අපේ සෙමදානය Madness keeps me sane..

මේකේ පළවෙනි පොස්ට් එක කියවලා project එකේ සාර්ථකත්වය පැතූ හැමෝටම..

ඔන්න පිට පිට දෙවෙනි ඉරිදාවටත් අපේ ව්‍යායාමය වෙනුවෙන් කැප කල සාර්ථක ගමනකින් පස්සේ ඊයේ ඉරිදා රෑ 1 පමණ වනවිට මම, විදානේ, කටුස් හා මුද්දා නිරුපද්‍රිතව මොනරාගල සිට නැවත කොළඹ පැමිණියා. අපි පිටත් උනේ සෙනසුරාදා හවස 7.30 ට පමණ කොළඹින්.. ගිය වර මගේ ගමන් සගයින් දෙදෙනා ට අමතරව මෙවර එකතු උනේ විදානේ පමණයි.. මේ පාර අපිට ගිහින් එන්න සුවපහසු වාහනයක් කතා කර ගත්තා..

විස්තර බොහොම කෙටියෙන්.. පහුගිය බ්‍රහස්පතින්දා වැඩේ confirm කල වෙලේ ඉඳන් සෑහෙන්න වැඩ කොටසක් මේ වනවිටත් සිදු වෙමින් පවතිනවා. ලිඳ අවට පිරිසිදු කර ලිඳ නැවත බැඳීමට හා වටේ පාදම දැමීමට, වතුර පොම්පය තබන ස්ථානය පිළිසකර කිරීමට සුදානම් කර තිබුනා. ලිඳේ සිට පාසල දක්වාම කානු කපා වතුර බට සහ කන්ඩියුට් බට එලා ඇති අතර තවම ඒවා වසා දමා නෑ. අපි යනවිට ලොකු බාස් උන්නැහේ හා ගෝලයෝ පාසැල තුල ජලනල එළිම හා ඒ සඳහා කාණු කපමින් හිටියා. 

සිමෙන්ති, කම්භී, ගල්/ වැලි, වතුර ටැංකිය, GI බට, වතුර බට, වයර් ආදී බොහෝ දේ මේ වනවිට මිලදී ගෙන පාසල් වත්තට හා ලිඳ බඳින තැනට ප්‍රවාහනය කොට තිබෙනවා. තව ගල්/ වැලි පයිප්ප ෆිටින්ග්ස් ආදී සමහර දේ මිලට ගැනීමට නියමිතයි. 

ඊයේ ගමනේ සිදුවූ වැදගත්ම දේ නම් වැඩ කරගෙන ආ sequence එක වෙනස් කිරීමට උපදෙස් දීමයි. එනම් ලිඳ බඳින වැඩේ හා බට එලන වැඩේ මුලින් අවසන් කර ටැංකිය සවිකිරීමේ වැඩ දෙවනුව ඇරඹීමට බාස් උන්නැහේ සිතා සිටි බවක් පෙනුනා. නමුත් ටැංකිය රඳවන කොන්ක්‍රීට් ආධාරකය මුලින් නිම කරන ලෙස මා උපදෙස් දුන්නා.. එය වේලීම සඳහා සතියකට වැඩි කාලයක් ගතවෙන බැවින් ඒ අතර තුර අනෙක් වැඩ කර ගත හැකියි. එසේ නොවුනහොත් 'කොන්ක්‍රීට් සවි වෙනතුරු' සතියක් පමණ වැඩ idle වෙනවා. ඒ කාලයේ බාස් උන්නැහේ වෙන වැඩක් පටන් ගත්තොත් ආයි මෙතනට ගෙන්න ගන්න හොර වෙනවා. ඒ වගේම මගේ අත්දැකීමේ හැටියට ඕනෙම වැඩක් දිගට දිගට ඇදි ඇදී යනවිට සියලු පාර්ශවයන්ගේ උනන්දුව හීන වෙනවා.. මේ උනන්දුව තියෙන වෙලේ අපි කෙසේ හෝ මේ වැඩේ කර අවසන් කල යුතුයි.


ටැංකි ආධාරකය සැදීමේ මුල් පියවර ලෙස ඊයේ අපි එහි 'බේස් වලවල්' හතර අපේ ශ්‍රමයෙන් කපා දී ආවා. අද ඒවා කම්භී බැඳ කොන්ක්‍රීට් කිරීමට නියමිතයි. එතනින් එහා විස්තර චායාරුප සමඟින්.. අහ.. අමතක වුනා.. මේ ජල ටැංකිය රඳවන කුළුන 'කඩි' නමින් නම් කිරීමට විදානේගේ යෝජනාවකට අනුව අපි සියළු දෙනා ඒකමතිකව තීරණය කරා.. කඩි යනු ගහන ගහන උදළු පාරක් පාසා කටුස්සාගේ අතින් මිය පරලොව ගිය කළු කඩියි. ඒ පොළොවේ හැම තැනම කඩිගුල් හා ගැඩවිලුන් සිටියා.. අපේ අතිනුත් නොසෑහෙන්න කඩින්ට හා ගැඩවිලුන්ට නොකටයුතු කම් සිදු උනත් ඒවා එතරම් තැකීමක් කරේ නෑ.. ඒත් එක උදළු පාරක් ගසා එයින් හානියට පත්වන කඩි ටික ගැන මහත් විස්සෝපයෙන් බලා සිටි කටුස් ගේ විලාශය නම් සදා නොමැකෙන සුළුයි. ඔන්න එය සිහිවීම පිණිස මේ කුළුන අපි 'කඩි'නමින් ඉදිකරනවා..

කොළඹ සිට මොණරාගල දක්වා.. සෙනසුරාදා රාත්‍රිය.. ගොඩකවෙල කිට්ටුව තැනක..

මොණරාගල සිට මියාගල දක්වා ගමන අරඹමින්.. 

මොණරාගල නගරය පසු කරමින්..

ආ.. යාලුවෙකුත් ඉන්නවා හිනා වීගෙන.. අප්පච්චි මළා කියලා ගෙදර තියන් ඉන්න ඇයි නෙහ්?


දඹගල්ලෙන්  ගිහින් මීගහපිටිය හෙවත් අපේ මිතුරු සාජන් මහත්තයාගේ ගම පසුකොට මියාගල දෙසට හැරෙන තැන පාර.. මෙතන ඉඳන් මේ වගේ කිලෝමීටර් 15-16ක් විතර යන්නෝනේ මගේ හිතේ.. 

මේ මොණරාගල-උයනබැද්ද බස් රථය.. මේ අතුරු මාර්ගයේ ධාවනය උනාට මේකත් මියාගලට යනකම් යන්නේ නෑ.. එක්කෝ මගින් හරවනවා නැත්නම් හැරිලා වෙන පැත්තකට යනවා.. ආපහු එන ගමනේදී මියාගල බස් එක මුණට හමු උනත් ෆොටෝ එකක් ගහගන්න තරම් ඇඟට හයියක් තිබුනේ නෑ ඒ වෙලාවේ..

බස් එක පාරෙන් එකයි.. වාහන දෙක මාරු වෙන්න සෑහෙන්න රිවස් කරන්න උනා අපිට..

කොන්ක්‍රීට් දාලා තියෙන කෑලි අතරින් පතර මේ වගේ සුපිරි ආතල් දෙන පාර කෑලිත් තියෙනවා කඩින් කඩ..  මේ පාරේ තමයි බස් එක යන්නෙත්..

මියාගල ගම තියෙන්නේ ඔය ඉස්සරහා පේන කඳු රාජයාගේ අනිත් පැත්තට වෙන්න තියෙන පොඩි සානුවක වගේ කොටසක.. අපි තව ටිකකින් ඔය ගිරි දඹේ නගින්න ඕනේ..

ඉස්කෝලෙට ගොඩ වෙනකොටම වගේ මෙයා ඉන්නවා දිලිසි දිලිසි.. හිතට ෆිට් ඉතිං.. මේ අපේ වැඩක් නේ..

අපි එන බව සාජන් මහත්තයා කියල.. ලොකු සර්රුත් 'කුඹරේ' වැඩත් අතපහු කරගෙන උදේ වරුවම ඇවිත් හිටියා.. 'කුඹුර' කියන එක මේ පැත්තේ හැමෝම ශබ්ද කරන්නේ 'කුඹර' කියලා..

මට ඉස්සෙල්ලම යන්න ඕනි උනේ ලිඳ බලන්න.. අපිත් එක්ක ගිය අක්කගේ පුතයි අනිත් ඥාති පුතයි දෙන්නත් එක්ක මං ඉස්සර උනා.. බට වලලන්න සුද්ද කරපු කෙටි පාරෙන්ම දැන් ලිඳ ලඟට යන්න පුළුවන්..

කොහෙද ෆොටෝ එහෙකටවත් එක පැත්තකට හරවා ගන්න බෑ මේ කටුස් ව..


තාවකාලික බට ලයින් එක ආර හරහා ගන්න තාවකාලික ඇරෙන්ජන්මන්ට් ..


වාව්.. ලිඳ ළඟ ඔක්කොම එළි කරලා.. පරණ පාදම නම් ඔක්කොම ගැලවෙලා ගිහින්. ඒත් වතුර මෝටරය තියන්න තියෙන තැන පිළිසකර කරලා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා..

මෙන්න බඩු.. දෙයියන්ගේ පිහිටෙන් අපේ වැඩේ වරදින්නේ නෑ.. 

බලා ඉඳලා බෑ.. ටැංකිය තියන කුළුන හදන වැඩේ අදම පටන් ගන්න ඕනි කියල බාස් උන්නැහේට වචනේ දැම්ම.. මෙතන තමයි තැන.. උදලු ගාල ගන්න ඕනි ඉක්මණට මිනින්දෝරු මතත්තයා බලන් ඉන්නේ මැනලා නූල් ගහන්න..

ලොකු බාස් උන්නැහෙයි මිනින්දෝරුවයි 3-4-5 පයිතගරස් ප්‍රමේය දාල නූල් ගහනවා.. ගෝලයෝ දෙන්නා දෙපැත්තේ..

මෙයා ගමේ අංකල් කෙනෙකුත් අල්ලාගෙන තේ ටිකක් හදන්න වගේ අදහස.. ඒකත් නරක නෑ. 

තේ පෝච්චිය බානකොට ඒ ලිපටම තියන්න මයියොක්කා අල ටිකකුත් සුද්ද කරලා ගත්තා..

නූල් ගහන්න බැරි උනාට අපිට නූල් සුත්තර නම් පුළුවන්..

හා හා පුරා කියලා මංගල පස් පිඩලි තුනක්ම කැපුවා තුන් දෙනාත් එක්ක.. එවලේ ඉඳන් තමයි ඔන්න නියම සෙමදානේ පටන් ගත්තේ.. උදලු පාරවල් දෙකක් ගහනවා.. අතේ දිය පට්ටා ගනිනවා.. වතුර උගුරු දෙකක් බොනවා.. වට පිට බලලා ඊළඟ එකාට උදැල්ල දෙනවා.. 


සෙල්ලම් නෑ .. ඊළඟ අවුරුද්දේ ගොවි රජා වෙන්නත් ඉඩ තියෙනවා ඔහොම හිටියට..


 මෙයා ඒ අස්සේ අමුතු ධර්මයක්.. පොඩි දෙන්නට කැමරා ක්ලාස් එකක් දාලා කූල් එකේ..

ඒවා කොහෙද? පින් කර ගන්නකොට අපි විතරක් කරගෙන මදිනේ..


 
මෙන්න සාමුහික උත්සාහයේ ප්‍රථිපල..

මේ ඒකෙම තවත් ප්‍රථිපල.. 

හෙට තියෙන්නේ කම්භී බැඳලා බේස් වලවල් කොන්ක්‍රීට් කරන්න තමයි ඔන්න..

කලින් සැරේ ෆොටෝ වල මේ පන්ති කාමරය පේන්න තිබ්බේ නැද්ද කොහෙද? 

එතකොට මේ තියෙන්නේ දැනට ළමයින්ගේ ජල පිපාසය නිවන්න තියෙන පිළියම.. කවුරුහරි අම්මෙක් උදේට වතුර කලගෙඩි දෙකක් ගෙනත් මේ ටබ් එකට දානවලු.. 

බේස් වලවල් හතරත් කපලා දීල අවශ්‍ය උපදෙස් හා උනන්දුවත් ගෙනියපු බිස්කට් කෙසෙල් ගෙඩි ටිකත් ඒ අයටම දීල අපි පාන් කියා ගන්න බැරුව ආපහු එන්න ආව.. අපේ මාතලීටත් වෙලා ගිහින්ද කොහෙද පිඹල ආවා අපි නිකන් ටින් එකක් ඇතුලේ දාල හොලවන කවඩි වගේ තමයි වෑන් එක ඇතුලේ හිටියේ.. මොනවහරි කතා කරේ පොඩි උන් දෙන්න විතරද කොහෙද.. කොච්චර බඩගිනි තිබ්බත් අපි ආපු ගමන් රෙදි සබන් අරගෙන ගියේ කුඹුක්කන් ඔයට.. ඔයේ හිතල වතුරට පුළුවන් උනා පරිස්සමෙන් අපේ හිතේ සතුට ඉතුරු කරලා ඇඟේ මහන්සිය සෑහෙන දුරට හෝදලා අරින්න.. නාලා ඉවර වෙනකොට අපේ අක්කගේ බත් එකේ සුවඳ ගඟ මායිමට ආවා අපිව එක්ක ගෙන යන්න.. 

ඔන්න ඉතින් අක්කත් එක්ක ගේ දොරකඩ ඉඳන් සමුහ චායරුපෙකටත් කට්ටිය පෙනී හිටියා..

රයිට්. මොණරාගල වතුර Project එකේ මීළඟ සහ බොහෝ දුරට අවසන් වාර්තාවත් එක්ක ආපහු එන්නං. එතකං ජය වේවා කියුව..

- ක.මි.

Thursday, 4 February 2016

වේලි වේලි වතුර සොයා යාම හෙවත් මොණරාගල වතුර project එක.. Charity is a kind of පිස්සුවක්

කලින් කියවපු නෝනා මහත්වරු අලුත්ම චන්ද ප්‍රතිපලය පෝස්ට් එකේ පහලටම ගිහින් බලා ගන්න.. 


කලින් පොස්ට් එකේ මතක විදියට කොහේ හරි ලියුවා මොණරාගල පැත්තේ 'ලොකු' වැඩක් කරන්න යන බව.. ඒත් මොකක්ද කියල හරියකට කියුවේ නෑනේ.. කලින් වතාවේ බදුල්ලේ ඉස්කෝලෙකට අපි කට්ටියක් එකතු වෙලා පොත් පත් බෙදා දුන්නු වෙලාවේ සමහරු මුණ පුක් කර ගත්තා 'හොඳ වැඩක් කරනකොට අපිට කියන්නේ නෑ කියල..' මේ පොස්ට් එක ඒ ඇපෙන් බේරෙන්න.

මේ වගේ වැඩ ඇත්තටම එකාතකින් පිස්සුවක්.. එකක් කරහම ආයි ආයි කරන්න හිතෙනවා.. ඒකටම තව ඒ වගේම පිස්සෝ ටිකක් උදව් කරන්න ගත්තම.. බඩුම තමයි. කලින් වතාවේ කරපු වැඩේ දැකලා මේ දවස්වල වැඩිය සද්ද බද්ද නැතුව සැහැල්ලුවෙන් ඉන්න සිංහයෙක් යෝජනාවක් කරා. මාරයා, දොස්තර නලිනි චන්දිමා (සිත් ආර ලියන්නේ) සහ ඉන්දික ලා එකතු වෙලා කලින් උදව් කරපු ඉස්කෝලෙක දීර්ග කාලයක් තියෙන වතුර ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න වැඩක් කරමුයි කියල.. ඒ අය කරපු වැඩේ ගැන විස්තර ඉන්දික ලියල තියෙනවා මෙතන. ඉන්දිකගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති උන්ට කියවන්න බෑයි කියපු නිසා ඉන්දිකගේ විස්තරෙන් පොඩි කොටසක් මෙතන දාන්නම්.


//ඒ සඳහා අගනා සහ නිසි ලෙසින්ම ලැබිය යුතු දරු පිරිසක් ගැන අපිට මඟ පෙන්වූ නලිනි චන්දිමා සහ චතුෂ තුෂර කුමාරටත් ස්තූතිවන්ත විය යුතුය. නලිනි සහ පිරිවර විසින් තම වෙසක් සත්කාරයට තෝරාගත් පාසැල් කිහිපය අතරින් මීයාගල කණිෂ්ඨ විදුහලෙහි පැටවුන්ට යමක් කිරීමට සිත්වූයේ "වෙසක් සත්කාරයට" ගිය පිරිස එම පාසැලට ලඟා වූ දුෂ්කර ගමණ සහ එවන් දුෂකර ලොවක වෙසෙන්නා වූ ඒ පුන්චි එවුන්ගෙ අපිරිමිත දස්කම් සහ කැපවීම ගැන නලිනි විසින් කර තිබූ විස්තරය නිසාවෙනි.


"වෙසක් සත්කාරයට" එහි ගියවුන් ට්‍රැක්ටරයක නැඟී කිළෝමීටර් දහසයක පමන එම දුර තරනය කල ආකාරය පිළිබඳව තිබූ විස්තරය ඇත්තටම අසම්පූර්ණයැයි සිතුනේ සැබැවින්ම අප එහි ගිය විටය. දඹගල්ල ප්‍රධාන මගින් හැරී මීයාගලට ගිය මඟ මා එතෙක් මෙතෙක් තරනය කල දුෂ්කරම මාර්ග අතරේ මුලටම එනවබව කීම නිවැරදිය. වැස්සට හේදුන මඩ සහිත මඟෙහි කාණු තුබුනෙ මැද වන අතර විසල් ගස්, කටු පඳු අයිනේ සිට අපට අත වනමින් වීදුරු වසාගෙනම සිටින ලෙස බල කලහ. විටක පළමු ගියරයෙහි පමනක් යා යුතුවූ කඳු මඟක්ද එහි අතර මැද වූ තියුණු වැළමිට වංගුද එතරම් දුෂකර නුවූයේ එම කොටස පමණක් කොන්ක්‍රීට් දමා සකස් කර තිබුනු බැවිනි. එහෙත් අන් සියලු දුර මහා කාණු සෑදී ගල් මතුවී තිබූ අති දුෂ්කර මග ඔස්සේම යා යුතු විය. සැබැවින්ම ජීප්‍ මාර්ගයක් වූ එහි මාගේ රථය අපව ගස්සමින් සොළවමින් තරණය කලද එවන් මඟක ට්‍රැක්ටරයක හෝ ත්‍රිරෝද රථයක යන එන, එසේත් නැතිනම් පා ගමනින්ම ඒ කිළෝ මීටර් දාසය තරණය කරන ගම් වැසියන් විඳින අපහසුව සැබැවිනම සිතාගත නොහැක.//


වැඩය අවසානයේ 'තව යමක් විය යුතුද?' කියල ඉන්දික අහපු ප්‍රශ්නෙට විදුහල්පතිතුමාගෙන් ලැබුණු උත්තරය එතරම් සරල නෑ. එනම් වසර ගණනාවක් තිස්සේ පාසලට පවතින ලොකුම අඩුපාඩුව වුනු 'වතුර' ගැටලුවට හැකිනම් පිළිතුරක් ලබා දෙන ලෙසයි. 

කඳු ගැට්ටක් උඩ පිහිටි පාසලේ කිහිප තැනක ලින් කපා වතුර ගැනීමට ගත් උත්සාහයයන් ව්‍යර්ථ වී තිබුනා. නමුත් එතන සිට මිටර් දෙසීයක් පමණ බැවුමේ ගලා යන පුංචි දොළ පාරක් අසල ඉඩමේ ලිඳක් කපා ගැනීමේ අවසරය අදාළ ඉඩම් හිමිගෙන් ලැබී තිබුණු අතර එහි ලිඳක් කපා වතුර මෝටර් යොදා පාසලට වතුර ලබා දීමේ වෑයම සැබෑවක් කර ගැනීමයි විදුහල්පතිතුමා ඉන්දික ගෙන් බලාපොරොත්තු වුනේ. 2013 දී ඉන්දිකට ඒ සඳහා ලැබුණු ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 5 කට ආසන්නයි. තනියම කර ගහන්න බැරි නිසා ඒ වැඩේ ටික ටික මඟ ඇරෙමින් තමයි තිබුණේ. 

නෙලුම්යාය මුලිකව අපි අතින් පහුගිය ටිකේ සිදු උනු සමාජ සත්කාර වල සාර්ථකත්වය නිසා ඉන්දිකට හිතෙන්න ඇති මේ යෝජනාව මට ඉදිරිපත් කරන්න. කල් යල් බලා නෙලුම්යායේ අපේ සහෘද හිතවතුන් කීප දෙනෙකුට මම මේ යෝජනාව ගෙනාවම ඔවුන් 'එක පයින්' ඒ වැඩේ කරන්න කැමති උනා. 


Chandima Withanaarachchi

Jan 27 (7 days ago)
to me
 
Translate message
Turn off for: Sinhala
Let's do it mate

Sent from my iPad

නෙලුම්යායේ අපේ නියමුවා, වැඩිය කතා බහ නැති චන්දිම වැඩේ අනුමත කරේ ඔන්න ඔහොම.. මේ ඊට පස්සේ එහෙ මෙහෙ වෙච්චි ඊමේල් පණිවුඩ කීපයක්. එකෙන් පුළුවන් කතාව තේරුම් ගන්න.

2016-01-20 9:43 GMT+00:00 කල්‍යාණ මිත්‍ර 
මොණරාගල පොලිසියේ xxxxxxxxxx ඉන්නේ මගේ මස්සිනා.. මන් මචන් ට කතා කරාම මියාගල ට මෙහා ගමේ ඉන්න සාජන් මහත්තයෙක් සම්භන්ද කරලා දුන්නා. මිනිහා ප්‍රින්සිපල්වත් දන්නවා. මම කියුවා ප්‍රින්සිපල් ට නොකියා මට ලිඳ කපන වැඩේට බැකෝ එකක් හා ලිඳ බඳින්න බාස් කෙනෙක්ගෙන් ගානක් අහලා දෙන්න කියලා. බැකෝ එකෙන් උපරිම අඩි 15-17ක් විතර කපන්න පුළුවන්ලු. එහෙම කපලා මැද්දෙන් ලිඳ බැඳලා (හෝ කොන්ක්‍රීට් පයිප්ප දාලා) ලිඳ හදන්න ඕනි. ප්ලම්බින් පාර්ට් එකනම් අපිට කරන්න පුළුවන් අවශ්‍ය බඩු ටික අරන් ගියාම. ඕනිනම් එකටත් ප්ලම්බර් කෙනෙක් ගෙනියලා දවසක කුලී දීලා කර ගන්නත් පුළුවන්.

සාජන් මහත්තයා කියුවා දවස් දෙකක් ඇතුලත තොරතුරු දෙන්නම් කියලා.

දැනට තොරතුරු එපමණයි.


ක.මි. 

ඉන්දික සහ අජිත් ධර්ම වැඩේ අනුමත කලේ මෙහෙමයි.... 
මචන්ස්ලා,

ඉතාම සන්තෝසයි උඹල සේරම මේ වැඩේට සප් එක දෙන එක ගැන.

ඔය ඉස්කෝලෙ ගමණ ගැන මම දාපු පෝස්ට් එක පේන්නෙ මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අයට විතරක් නිසා වැඩි යමක් මේ මාරයගෙ පෝස්ට් එකෙන් දැන ගන්න ඇහැකි.

මම කළණට කිව වගේ විදුහල්පති ගැන වැඩියම විස්වාස නොකර, රට අධාර ගැන නොකිය, පරෙස්සමෙන් කරන්න බලන්න. මොකද මහ උන් කොහොම උනත් ඒ පැටව් හරි පව්.

මුලින් එස්ටිමේට් එකක් හදාගෙන, අදාල අයට ඒ වියදම් කෙලින්ම පියවන්න ක්‍රමයක් තිබ්බනම් වඩා හොඳයි. කොහොම උනත්, උඹල වැඩේ ප්ලෑන් කරල ගාන කියන්න, මගෙ උපරිම සහය දෙන්නම්. 

2016-01-20 13:52 GMT+04:00 Ajith Dharma 
වෙල් ඩන්. මේ වගේ කාර්යක්ෂම ලෙස වැඩ කරන කට්ටිය  ඉන්න කොට මොනවාද කරන්න බැරි. පොලිසියත් සමබන්ධ වෙනවා නම් හොඳයි. ඉඳල හිටලා හරි හොඳක් කියන්න. 


ඊළඟට තිබ්බේ ඇස්තමේන්තුව හදන්න. ඒක වැඩේ කරන බාසුන්නහේ හා මොනරාගල පොලිසියේ සාජන් මහත්තයා එක්ක එකතු වෙලා මන් හදලා කට්ටියට යැව්වා.. මෙහෙම..

බාසුන්නැහෙගෙන් අසාගෙන සාජන්ට් මහතා හා මා විසින් පිළියෙළ කල BoQ එක මේ සමඟ අමුණා එවමි. අපට මඟ හැරුණු හෝ අනවශ්‍ය යයි හිතෙන යම් දේ වෙතොත් කරුණාකර දන්වන්න. සංවාදයට විවෘතයි.

**************************************************************
පුළුවන් උපරිමෙන් හොඳට වැඩේ කරන්න හිතාගෙන අවම බජට් එකකින් අපි හදපු ඇස්තමේන්තුව ලක්ෂ හතර හමාරක්.. එත් හැමෝගෙම අදහස උනේ මේකට ඊට වඩා වියදම් වෙයි කියල.. තව උපරිම රුපියල් පනස්දාහක වියදමකින් ඒ කියන්නේ උපරිම ලක්ෂ 5ක වියදමකින් 'කොහොම හරි' මේ වැඩේ කරන අභියෝගය මන් භාර ගත්තා. දැන් බෝලේ මගේ අතේ.. 

මුලින් සයිට් එක බලාගෙන වැඩේට සම්භන්ද වෙන ටීම් එකත් හම්බ වෙලා අවශ්‍ය උපදෙස් දීලා පුළුවන් නම් 'kick-off' සිග්නල් එකත් දීලා එන්න හිතාගෙන මම හා හා පුරා කියලා ගිය සෙනසුරාදා රෑ කොළඹින් පිටත් වෙලා මොනරාගල යන්න සුදානම් උනා. මේ වැඩේට මට හයියට යන්න මම කතා කරේ මගේ අතිජාත ගමන් සගයෝ දෙන්නට .. කොහෙද යන්නේ මොකටද කියල අහන්නෙවත් නැතුව (ඇත්තටම ඇහුවට මන් කියුවේ නෑ.. 'කොහෙද වැඩක් නෑනේ &*&^% යමුද කියපිය... කියුව මිසක්) ගමනට කැමති වෙච්චි ඇනොපිලිස් හෙවත් මුද්දා ට හා සුකුමොළ සුකුමාර කටුස්සට මගේ ආචාරය.

ලෝ බජට් එක නිසා අපි තීරණය කරා ගමන බස් එකේ යන්න. අනික සඳුදා දින ආපහු වැඩට වාර්තා කිරීමේ බරපතල උවමනාවක් තිබුන නිසා මහන්සි වී අනිත් අතට වාහන පැදවීමේ අවධානම ගන්නත් ටිකක් මැලි උනා. කොහොම හරි ඔන්න අපි මොනරාගල ගියා..

ඉතුරු කතාව ෆොටෝ වලින්.. (බයිට් ප්‍රශ්න නිසා ෆොටෝ කොලිටිය අඩුවීම පිලිබඳ සමාව!)



වෙඩිමක පොටෝ අල්ලන්න ගිහින් පරක්කු උණු මුද්දා එනකම් පිටකොටුවේ ෆ්ලොටින් මාකට් එක ළඟ බිම ආතල් ගන්න මා හා කටුස්සා..


බස් එක නවත්තපු ගමන් මොකක් හරි කමක් නෑ ෆොටෝ ගහන මුද්දා බස් එක ගමන් කරන විට නිදි ඇරියස් කවර කරන්න දුක් විඳින අයුරු.. 

මියාගල යන්න සාජන් මහත්තයගෙන් අණ ලැබෙනකම් අපේ අක්කලාගේ ගෙදර සාලේ විවේක ගමිනින්.. 

මෙන්න තැන.. 

ලොකු සර් සමඟ හමුව. පොලිස් නිල ඇඳුමෙන් ඉන්නේ අපේ මස්සිනා. පිටිපස්සේ ඉන්නේ වැඩේ කරන්න බාර දුන්න සාජන් මහත්තයා.. මේ ගමට කලින් ගමේ 'හරිම හොඳ වැදගත්' මනුස්සයෙක්..

ලිඳ කපා ගන්න ඉඩම දීපු මහත්මයා ගේ නිවාස අසලින් සයිට් විසිට් එකට යන ගමන්.

එතනට ගියාම අලුත් යෝජනාවක් ආවා. අලුතින් ලිඳක් කපන්නේ නැතුව මේ තියෙන පරණ ලිඳ සුද්ද කරලා ගන්න. මේ ලිඳේ පායන කාලෙටවත් වතුර නැති වෙන්නේ නැතිලු. අලුත් ලිඳක් කපල ඒ රිසක් එක ගන්නවට වඩා මේ අදහස හොඳ බවයි අපි හැමෝම හිතුවේ. 

දැනට පාවිච්චියට ගන්නේ නැති මේ ලිඳ පායන කාලෙට විතරක් ගමේ මිනිස්සු සුද්ද කරලා පවිච්චියට් ගන්නවලු. එත් ඉස්කෝලේ වැඩේට සම්පුර්ණයෙන්ම ලිඳ දෙන්න ගෙදර අයිති මහතා එකඟ උනා. ඔය එතුමා අපිට ඒ ගැන විස්තර කරමින්.

දැක්කම ආස හිතෙනවා.. 'නිල කැටේට' වතුර.. පොඩි රෙපෙයාර් එකකින් ලිඳ ගොඩ දා ගන්න පුළුවන් වෙයි වගේ. එත් මේ ලිඳ තියෙන්නේ අපි අලුතින් කපන්න හදපු තැනට වඩා දුරින්. ඒක ගැටළුවක් වෙයිද?

අනිත් එක මේ ආර හරහා වැස්ස වෙලාවට සැර ජල පාරක් යනවා. ලිඳ තියෙන්නේ ආරෙන් එගොඩ. එතකොට ආර හරහා බට ගන්න වෙන්නේ කොන්ක්‍රීට් කණු දාල ඒ මත GI බට යවලා ඒ ඇතුලෙන්.

මේ නම් ෆොටෝ එකටමද මංදා.. කොහොම උනත් මිට ටිකක් එහායින් තමයි අලුතින් ලිඳ කපනවද කියල හිතුවේ..

මේ ඒ ස්ථානය.. රිසක් එක තියෙන්නේ 'වතුරට කලින් ගලක් අහුවෙයිද.. පායන කාලෙට වතුර තියෙයිද' කියන එක තමයි..

කොතනින් වතුර ගත්තත් අවසානයේ මේ වගේ බවුමක් දිගේ ඉස්කෝලෙට යනකම් වතුර අද්දන්න ඕනේ.
  
නැවත සාකච්චාව..රතුපාට ෂර්ට් එක ඇඳන් ඉන්නේ ලොකු බාසුන්නැහේ...




 ඒ අතර මුද්දා ඉස්කෝලේ තැන් තැන් වල ඇවිදලා පොටෝ අල්ලලා.. ඒවා දැක්කම නම් හිතෙන්නේ නුවරඑළියේ ගියා වගේ.. හැක හැක.. 

හොඳයි. අවසානයට කතා වුනේ මෙහෙමයි. දැනට ඉදි කරලා තියෙන ලිඳේ ඉඳලා තාවකාලිකව බට ලයින් එක ඇදලා මෝටරේ දාලා වතුර ඉස්කෝලේ උඩට ගෙනත් බලනවා. ඒක සක්සස් නම් ලිඳ අලුතින් හදලා වහලා, ඒ ලයින් එක පර්මනන්ට් හදලා ඉස්කෝලේ ඇතුලේ ස්ටොක් ටැංකියක් ස්ථාපනය කරලා ගොඩනැගිලි වලට, ටොයිලට් වලට හා ගුරු නිවාසෙට වතුර දෙන්න කටයුතු කරනවා. වැඩේ හරියයි කියල සැහෙන්න විස්වාසයක් තියෙනවා. බලමු. හෙට බ්‍රහස්පතින්දා තමයි වැඩේට අත ගහන්නේ. :)

ඔන්න ඔහොම අවශ්‍ය උපදෙස් දීලා වැඩ කරන පිළිවෙල කතා කරගෙන අපි රෑ වෙන්න කලින් ආපහු එන්න පිටත් උනා. මොකද රෑ 8.20 මොනරාගල සිට කොළඹ එන බස් එක උදේ බුක් කරලා තියලයි අපි මේ වැඩේට ගියේ. එන ගමන් සාජන් මහත්තයලා ගෙදරින් කුන්දිරා සංග්‍රහයක් ද බුක්ති වින්දා.. මාර රහයි. 

ඇඳිරි වැටෙන්න කලින් ආපහු ආව නිසා මුද්දට මොනරාගල අවට සිරි කැමරාවෙන් අහු කර ගන්නත් වෙලාව තිබ්බ.. 

බැටරි බහින්න කලින් මාත් සෙල්ෆියක් ගහ ගත්තා හමුදා පොලිස් වාහන මොකුත් නැති වෙලාවක් බලලා.. :p

ඊළඟ ගමනේ විස්තර හා project එකේ progress report එකත් එක්ක හම්බ වෙමු. අපිට ජය වේවා!

*********************************************************************************

සහෝදර සහෝදර වරුනි...

මොණරාගලින් යහපත් චන්ද ප්‍රතිපලයක් .. 

අපි බලපු පරණ ලිඳේ සිට පාසල් වත්ත දක්වා හා එතනිනුත් අඩි 10-15ක් උසට (සවිකරන ටැංකියේ උසට) 'කිසි ගේමක් නැතුව' වතුර පොම්ප කරන්න පුළුවන්ලු.. ජය වේවා!

ඔන්න දැන් අපි වැඩේ ස්ථිර කරා. මේ අනුව ඇස්තමේන්තුවේ පොඩි වෙනස් කම් ටිකක් වෙනවා.. ඒ කියන්නේ බැකෝ එකට යන වියදම හා (පරණ ලිදට සිලින්ඩර් නොදැම්මොත්) සිලින්ඩර් වලට යන වියදම ඉතුරු වෙනවා. පරණ ලිඳ බඳිනවද ඊට සිලින්ඩර් යොදනවද යන්න තීරණය කරන්නේ හෙට ලිද සම්පුර්ණයෙන්ම හිස් කරාට පස්සේ. සිලින්ඩර් දැම්මත් උපරිම සිලින්ඩර් 6ක් වගේ තමයි ඕනේ වෙන්නේ..

නමුත්, පරණ ලිඳ පිළිසකර කිරීමට (සිලින්ඩර් දමා හෝ නොදමා), ආර හරහා කොන්ක්‍රීට් කණු සිටුවා ඒ මතින් GI බට යවා වතුර බට හා කන්ඩියුට් ඒ තුලින් ගෙන යාමට අමතර වියදම් දරන්න වෙනවා. මිලට ගත් මෝටරයත් වඩා කාර්යක්ෂම ගණනින් වැඩි එකක්. එයිටමතරව වයර්, එස්ලෝන් බට ආදී සියල්ල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. මේ වෙනුවෙන් අලුත් ඇස්තමේන්තුවක් හදන ලෙස මා බාසුන්නැහැට දැනුම් දුන්න.. පොඩි ගානක් එහෙ මෙහෙ වෙද්දී අපිට වැඩේ ලස්සනටම කරන්න පුළුවන් වෙයි.

ඔන්න එහෙනම් වැඩේ නැගලා යනවා.. දැන් ආපහු වතාවක් ගිහින් බලලා එන්න හා විවෘතෙට යන්න තමයි තියෙන්නේ..

හැමෝටම ස්තුතියි. 

- ක.මි. 






Thursday, 28 January 2016

නෙලුම්යාය බ්ලොග් සම්මාන 2015 - උණුසුම් තරඟයක්.. Heated heats as blog awards in vicinity

ඈ.. කලණයියේ.. ඉතින් අපිට කියන්නකෝ මොකක්ද නෙලුම්යාය කියන්නේ.. මොකක්ද නෙලුම්යායෙයි සිංහල බ්ලොග් වලයි තියෙන සම්භන්දේ? 

පහුගිය ජනවාරි 4 වෙනිදා ඉස්කෝලේ ළමයින් කණ්ඩායමකට පාසල් උපකරණ බෙදා දීමේ වැඩකට බදුල්ලේ ගිය වෙලාවේ හම්බ උණු නමුණුකුලෙන් එහා බ්ලොග් එක ලියන භාග්‍යා හේමමාලි නංගි එහෙම ඇහුවත් ඒ වෙලාවේ තිබ්බ කලබලේට ඒ ගැන යමක් කියල දෙන්න බැරි උනා. නෙලුම්යායෙන් සංවිධානය කරන දෙවෙනි බ්ලොග් සම්මාන උළෙල අත පොවන මානයට ඇවිත් තියෙද්දී මට මතක් උනේ ගිය අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා 'නෙලුම්යායේ ඉස්සරහට මොකද වෙන්නේ' කියල පොස්ට් එකක් දැම්මට පස්සේ ඒ ගැන යමක් නැවත ලියන්න බැරි උනා කියලා.. 

පහුගිය අවුරුද්දේ මොකද උනේ කියලා ඔය උඩින් කියපු පොස්ට් එක කියවල ඕනේ කෙනෙකුට බලා ගන්න පුළුවන්. මේ කියන්නේ මේ අවුරුද්දේ මොකද වෙන්න යන්නේ කියලා..

බලාපොරොත්තු උන විදියට බ්ලොග්කරුවන්ගේ සංසදය හෙවත් Blogger's Guild එක හැදුනේ නෑ.. එකට පක්ෂපාති වගේම අපක්ෂපාති විවේචනත් නොඅඩුව ලැබුනා. පුද්ගලිකව මම වගේම මා දන්නා පරිදි එහි සභාපති වශයෙන් නම්කළ මාතලන් පවා හිටියේ දැනට එහෙම සංසදයක් අවශ්‍ය නෑ කියන මතයේ. මොකද නම් ලිස්ට් අරන් කන්ටක්ට් නම්බර් අරන් සංගමෙක සාමාජිකත්වයක් දුන්නම බ්ලොග්කරුවන්ගේ නිදහස සිමා වෙනවයි කියල හිතපු නිසා.

ඒක කොහොම වෙතත් 2015 කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් බ්ලොග් රචකයින් එකිනෙකා අඳුන ගත්ත වසරක්.. පත්තරයාගේ ගෙදර පාටියේදී.. නෙලුම්යාය සම්මාන උලෙලදී හා ඒක අවසානයේ අජිත් අයිය නැවතිලා හිටිය හෝටලේ බැල්කනියේදී, සයිබර් සිහින ගල්කිස්සේ බක්මහ උළෙල හා එදින හවස් වරුවේ සුදීක ගේ ගෙදරදී.. අටම් ගේ කඩේ විවෘත කරන වෙලාවේදී.. චෙෆාකි ගේ ගෙදරදී, හැලප අයියගේ ගෙදරදී, තව දවසක අටම් ලගේ ගෙදරදී, ලොකු පුතාලගේ ගමේ ඔයේදී.. කාංචනා අමිලානිගේ, බස්සිගේ එහෙම පොත් දොරට වැඩි වෙලාවේදී, 80 ක්ලබ් එකේදී, සනෝරා එකේදී.. ඇපෙක්ස් එකේදී.. තව මෙකි නොකී තැන් බොහොමයකදී බ්ලොග් හිතවතුන් එකිනෙකා හමු උනා.. ඒ වගේම නොදැක්කත් මුණු පොත හරහා සහ දුරකථන හරහා ඇඳුනුම් කම් ගොඩ නැගුනා.. එහෙම බැලුවම සංසදයක් ඉබේම වගේ හැදිලා..


මීට අමතරව නෙලුම්යායේ මුලිකත්වයෙන් හා නොයෙක් දෙනාගේ අනුග්‍රහයෙන් හා සහභාගිත්වයෙන් සමාජ සත්කාර වැඩ කීපයකටද දායක වීමට බ්ලොග් කරුවන් වන අපට හැකි උනා. තලවකැලේ ප්‍රදේශයේ ද්‍රවිඩ ළමුන් ඉගෙන ගන්න දුෂ්කර පාසල් කිහිපයකට පාසල් උපකරණ ලබාදීම හා ඔවුන් සමඟ ක්‍රීඩාශීලි දවසක් ගතකිරීමට නෙලුම්යායට හිතැති මාධ්‍ය වේදීන් කණ්ඩායමක් හා බ්ලොග් හිතවතුන් පරිසක් සමඟ මටත් අවස්ථාවක් ලැබුනා. රත්නපුරේට සම්භන්ද බ්ලොග් හිතවතුන් නෙලුම්යායත් එක්ක එකතුවෙලා රත්නපුර ශාරිපුත්‍ර පාසලේ ළමුන්ට පොත් පත් හා පාසල් උපකරණ ලබා දීල තිබුනා. එයින් කුළුගැන්වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ බ්ලොග් කරුවන් වන අපි නෙලුම්යායත් එක්ක එකතු වෙලා බදුල්ලේ දුෂ්කර පාසලක ළමුන් සියලු දෙනාටම පහුගිය ජනවාරි මාසයේදී පාසල් පොත් හා උපකරණ ලබා දුන්නා. වසරේ සුවිශේෂීම බ්ලොග් කරුවා වන යාන්හැල්ලේ ශ්‍රංග ව, ඔහුගේ ප්‍රිය බිරිඳ චුටි මැණිකේව, ගොඩේ කතා ලියන මේනක ව හා උඩින් කියූ පරිදි හේමමාලි නංගිව මට හමු උනේ එදා තමයි. 

මේ දවස්වල නෙලුම්යායත් හවුල් කරගෙන අපි තව බරපතල කටයුත්තකට ලෑස්තිවෙලා ඉන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර පාසලකට වසර ගණනාවක සිට ගැටලුවක්ව පවතින වතුර ප්‍රශ්නයක් ස්ථිරසාරව විසඳා දීමට.. අපේ තරමේ හැටියට සෑහෙන විශාල වැඩක් වෙන මෙයට මුදලින් සහය දීමට නෙලුම්යාය වෙනුවෙන් චන්දිම විතානාරච්චි වගේම ලංකාවෙන් පිටත සිටින එහෙත් හදවතින් ලංකාවේ ජිවත් වෙන බ්ලොග් හිතවතුන් කීපදෙනෙකුත්, ලංකාවේ ජිවත් වෙන තවත් 'සුද්දෙක් වගේ' හිත හොඳ බ්ලොග් කරුවෙකුත් සුදානමින් ඉන්න අතර එහි සම්භන්දිකරන හා සංවිධාන කටයුතු වෙනුවෙන් කැපවීමට මා හා සුරංග අදහස් කරගෙන ඉන්නවා.. වැඩේ අවසන් වනවිට ඒ ගැන වැඩි විස්තර දන්වන්නම්. 

මේ සංසදයක් නොවූ නෙලුම්යාය බ්ලොග් එකමුතුවේ වැඩ කටුයුතුයි. ලොකුම වැඩේ ඊළඟ සම්මාන උළෙලයි. පොරොන්දු වූ පරිදිම මෙවර සම්මාන සඳහා විනිශ්චයකරුවෙක් විදියට අවුරුද්ද පුරා පළවුණු බොහොමයක් බ්ලොග් කියවමින් මා තබාගත් සටහන් වලට අනුව කැටගරි 18ක් සඳහා මා විසින් නිර්දශ කල නම් නෙලුම්යාය සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා ට පහුගිය දිනෙක ඉදිරිපත් කළා. 

ඒ අතර වසරේ බ්ලොග්කරු/කාරිය, කාලින සංවාද, ඉතිහාසය, දේශපාලන, කවි/ නිසඳැස්, කෙටි කථා, කෙටි නවකතා, නොස්ටල්ජියා, 18+, ගෘහස්ත කාරණා, චායාරුප, පරිවර්තන, ප්‍රහසන, විද්‍යා හා තාක්ෂණ, විචාර, සංචාරක, සංගීතය හා විශේෂ යන කාණ්ඩ යටතේ නිර්දේශ ඉදිරිපත් කරා. වීඩියෝ බ්ලොග් සහ හයිකු යන කාණ්ඩ යටතේත් සම්මාන ලබා දීමට කටයුතු කර තිබුනත් ඒ සඳහා නිර්දේශ කල හැකි තරමේ බ්ලොග් රචනාවන් සිංහල බ්ලොග් අතර පසුගිය වසර පුරාවට මා දුටුවේ නෑ. 

මා විසින් මෙසේ යවනු ලබන නිර්දේශ ඒ හා සමානවම අනිත් විනිශ්චයකරුවන් විසින් එවන ලබන නිර්දේශ සමඟ සමපාත කිරීම අජිත් විසින් කරනු ලබනවා. ඉන්පසු ඒ ඒ කැටගරි සඳහා නිර්දේශ කල සියලුම නම්/ නිර්මාණ නැවතත් විනිශ්චය මණ්ඩලය අතර සංසරණය කර ඒ සියලු නිර්මාණ සඳහා වෙන් වෙන් වශයෙන් ලකුණු ලබා දීම  කෙරෙනවා. අවසානයට නිර්දේශ වෙන නම් තෝරන්නේ ඒ ලකුණු අනුවයි. එසේ අවසන් වශයෙන් නිරදේශ වෙන නම් සම්මාන උළෙලට ප්‍රථම අජිත් විසින් ප්‍රසිද්ද කරනු ඇති. ඒ අතරින් සම්මාන ලබන බ්ලොග්කරුවන් හා නිර්මාණ ප්‍රකාශයට පත් වෙන්නේ අවසන් මොහොතේ සම්මාන උළෙල අතරතුරයි. 

උදාහරණයක් වශයෙන් මෙවර වසරේ හොඳම කාලින සංවාද ලිපිය ලෙස ලිපි තුනක් සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. මේ සඳහා ජජ් පැනල එකෙන් ලැබුණු නිර්මාණ 10ක් පමණ මේ වනවිට අප අතර නැවත සංසරණය වෙනවා යලි කියවා ලකුණු ලබා දීමට. ඒවායින් 5ක් ඉදිරියේදී ලබා ගන්නා ලකුණු අනුව අවසන් වශයෙන් නිර්දේශ වේවි. ඒවා ඉදිරි කාලයේදී අජිත් විසින් ප්‍රසිද්ධ කරනු ඇත. පොඩි ඉඟියක් විතරක් ඕනිනම් දෙන්නම්.. මේ ලිපි අතර තෙල් මිල පහළයාම, විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය, රග්බි ලෝක කුසලානය, සාහිත්‍ය මාසය, විපක්ෂ නායක පත්කිරීම වගේ බොහෝ සෙයින් එකිනෙකට වෙනස්වූ මාතෘකා වලට අදාල නිර්මාණ තියෙනවා. තරඟය බොහොම උණුසුම්.. හොඳම බ්ලොග්කරු/ කාරිය තේරීමේ කටයුත්තත් ඒ වගේම භාරදුරයි.. 

ගියපාර සංවිධාන කටයුතු කලේ බ්ලොග්වලට සම්භන්ද නැති පිරිසක්.. ඔවුන්ගේ න්‍යායපත්‍රය හා ඇත්ත වශයෙන්ම එසේ එකක් නොතිබීම සැහෙන්න විවේචනයට ලක් වුනා. ඒ විවේචන සම්මාන උළෙලෙන් පස්සේ බොහෝ පොස්ට් වල පළවුණා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපි මෙවර ගොඩක් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. තැන වෙලාව ආදිය දැනුම් දෙන්න මට තවම අවසර නෑ. ඒත් වැඩේ කෙරෙන විදිය නම් ගොඩක් දුරට බ්ලොගර්ස් ලට පත්තියම් වෙන්න ඉඩ තියෙනවා. 

මෙවර සම්මාන උළෙල මෙහෙයවන්නේ නමගිය බ්ලොග් කරුවෙක්.. පහුගිය දවසක තිබුණු පොතක් දොරට වැඩිම සාර්ථකව සිද්ද කරලා ඔහු ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා.. ආරධිතයින්ගේ කතා වෙනුවට ඔවුන් සමඟ කෙරෙන සංවාදමය කතිකාවන් දක්නට ලැබේවි. එයින් බ්ලොගර්ස් ලට කිසිසේත්ම අදාල නැති දිග පල හෑලි අහගෙන ඉන්න වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම හැම තැනකම වගේ මුලිකත්වය දෙන්නේ බ්ලොග්කරුවන්ට/ කාරියන්ට.. මේ සංවාද අතරින් පතර විශේෂ පුවත් විකශයකටද ඔබට සවන් දීමට හැකිවෙනු ඇති. ඒ වගේම ලස්සන ගීත දෙක තුනක් එහෙමත් අහන්න පුළුවන් වෙයි.. මේ හැම එකක්ම වගේ මොකක් හරි බ්ලොග් සම්භන්දයක් එක්ක වෙන වැඩ.. 

උත්සවේ ඉඳගෙන බලාගෙන ඉන්න වෙන කාලය පැය දෙකකට වඩා වැඩි කරන්න කිසි සෙත් බලාපොරොත්තු වෙන්නේ නෑ. සම්මාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව නිදහසේ බ්ලොග්කරුවන් අතර සල්ලාපයට අවස්ථාව දෙන තේ පැන් සංග්‍රහයක්.. ඒ අතර සමහරවිට කැලිප්සෝ ක්‍රමයට සින්දුවක් දෙකක් රසවිඳින්න.. ඒ වගේම හරිම වැදගත් කියපු වෙලාවටම පටන්ගෙන අවසාන අවස්ථාවේ බ්ලොග් කරුවන්ට එකතුවෙන්න තියෙන වෙලාව වැඩි කර ගැනීම.. ඉන් පස්සේ සීමාවක් නෑ.. කැමති තරම් වෙලා ඉඳලා කැමති කැමති විදියට ඒ සැන්දෑව අවසන් කරන්න හැමෝටම විවෘත අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තුව.. බොහොම රසවත් වේවි කියලා හිතනවා.. 

ඉතින් ඕකයි අලුත්ම තත්වේ.. සාමුහික වගකීම රැක ගන්න ඕනි නිසා බොහොම සාවධානව මේ ටික ලියුවේ.. මතක ඇතුව එදාට එන්න.. දිනේ ප්‍රසිද්ධ කරපු ගමන් එදා දවස වෙන් කර ගන්න.. අපි හම්බවෙමු. ජය වේවා!


Sunday, 24 January 2016

ඉමැජින් ලෝකල් ස්ටයිල් හෙවත් Just Imagine

මේ දවස් වල නෙලුම්යායේ බ්ලොග් සම්මාන උළෙල ගැන සෑහෙන්න සාකච්චාවක් යනවා. හැමෝටම කරදර කරන්න බැරි නිසා අපි කීපදෙනෙක් එකේ බර කරට අරගෙන කරනවා.. බර කියුවට තවම සාකච්චා මට්ටමේ බර විතරයි. ඕනි වෙලාවට හැමෝගෙන්ම උදව් ඉල්ලන්නම්.

ගිය පාර සිදුවෙච්චි අඩුපාඩුත් මඟ හැරගෙන අලුත් විදියකට බ්ලොගර්ස්ලගේ සම්පුර්ණ දායකත්වයෙන් තමයි මේ පාර වැඩේ වෙන්නේ. ඔය අතරේ කතාවක් ගියා John Lennon ගේ Imagine සිංදුව ට වචන දාල සිංහලෙන් සින්දුවක් කරමු කියලා.. මොකද අද අපිට අවශ්‍ය වෙලා තියෙන ආකල්පමය වෙනසක් ගැන.. සියලුම ක්ෂේත්‍රයන්ගේ.. මේ සිංදුවේදී අලුත් විදියකට පණිවුඩයක් දෙනවා. ඒ නැවුම් බවට වගේම ඒ අදහසටත් ලොව වටා බොහෝ රසිකයින් කැමතියි. 

වැඩේ ප්‍රොපොස් කරේ අජිත් අයියා.. කියලා ටික වෙලාවකින් අපි අතර ඉන්න ප්‍රවීන ගීත රචකයෙක් imagine තනුවටම ගැලපෙන්න සින්දුවක් ලියලා දුන්නා.. අවසර ගත්තේ නැති නිසා ඒ කවුද කියන්නේ නෑ. ඉතින් බොහෝවිට ඒ සින්දුව හා imagine ඔරිජිනල් එකේ රි-මික්ස් එකක් වගේ අයිටම් එකක් නෙලුම් යායට එකතු වෙයි සම්මාන ප්‍රදාන උත්සවයට.. 

ඕක දැකපු මටත් පොඩි ජොලියක් ගිහිං මාත් ලියුවා imagine එකේ තේරුම විතරක් අරන් ඊට ගැලපෙන සරල සින්දුවක් වගේ එකක්.. මට හිතුන විදියට ටිකක් කඩප්පුලි සින්දුවක් වගේ.. ගිටාර් එකක් ගහ ගහ වචන බර කරලා කියන්න කියලා හිතල තමයි ලියුවේ.. ඉස්සෙල්ල බලන්නකෝ වචන ටික..

ඉමැජින් ලෝකල් ස්ටයිල්..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..

රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..

කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..

ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..

කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..

ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////

වැඩේ කියන්නේ මේක මේල් එකට දාලා පැයක් හමාරක් ගියේ නෑ මෙන්න එනවා සින්දුවක් වෙලා.. වෙන කවුද ඉතින් අපේ මනා ගෙන් මිසක්.. මට නම් හිතට ඇල්ලුවා එකෙන්ම.. වෙලාවක මනා ව හොයන ගිහින් මේක ලයිව් අහලා බලන්න ඕනි.. ස්තුතියි මනා මචං. කොහෙවත් හිටි මාව එක පරම ගීත රචකයෙක් කරාට.. දහ දෙනෙක්වත් අහන්නේ නැතැයි.. 

සින්දුව අප්ලෝඩ් කරාට හරි ගිහින් තිබුනේ නෑ.. මෙතනින් අහන්න පුළුවන් වෙයි මගේ හිතේ..  අමාරුවෙන් ට්‍රයි කරපු හැමෝටම ස්තුතියි. 


Wednesday, 6 January 2016

මිහිදුම් සේල අතරින් අතීතයට පා තැබීමි.. Those faces said it all!!

"ඊයේ සේනානායක පිට්ටනියේ හිටපු සුද්දෙක් අපිට පැන්සලුයි සුවඳ ඉරේසරුයි දුන්නා.. මේ.."

එතකොට මම හිටියේ 3 නැත්නම් 4 වසරේ වගේ බදුල්ල ධර්මදුතේ.. අපේ පන්තියේ එකක් දවසක් ඉස්කෝලේ ඇවිත් සුදුපාට පසුබිමේ නිල්පාට බබ්බු ඇඳපු පැන්සල් වගයක් හා නහයට අල්ලලා හුස්ම ඉහලට ඇද්දම ආපහු පහල දාන්න හිතෙන්නේ නැති තරම් සුවඳ ඉරේසර් කෑලි වගයක් පෙන්නලා ඔහොම කියුවා. පැන්සල් නම් අල්ලන්න දුන්නේ නෑ. එත් ඉරේසරේ නම් බලෙන් වගේ අරගෙන දෙතුන් පාරක් ඒ අපුරු සුවඳ උරා බිව්වා තාම මතකයි. එදා ඉඳලා මං හිතන් හිටියේ සුද්දෝ ලංකාවට එන්නේ පොඩි ළමයින්ට තෑගී දෙන්න කියලා.. ඉතින් මාත් කවදාහරි සුද්දෙක් හම්බවෙනකම් බලන් හිටියා තෑගී ගන්න..

මට ඒ අවස්ථාව ආවේ තව අවුරුදු හතරකින් හෝ පහකින් මම 'මහා විද්‍යාලේ' ඉගෙන ගන්න පටන් ගත්ත අලුත.. කියුවා වගේම සේනානායක පිට්ටනිය පහු කරලා 'ඉස්ටෑන්ඩ්' එක පැත්තට එනකොට උස සුද්දෝ දෙන්නක් හයියෙන් හයියෙන් යනවා. දෙපාරක් හිතුවේ නෑ මායි පමලුයි දෙන්න පස්සෙන් පන්නලා එල්ලුනා උන් දෙන්නගේ බාචු කලිසම් දෙකේ දෙපැත්තෙන්..

'Hello, Hello....  give me pencil please, give me eraser please..' මගේ හීනය මට තේරෙන විදියට මං එලියට දැම්ම.. ම්හ්හූ.. nop.. nop.. gop.. කියනවා වගේ ඇරෙනකොට මොකුත් ලැබෙන පාටක් නෑ.. ඔරලෝසු කනුවත් පහුකරලා ආවත් මොකුත් ලැබෙන්නේ නැති පාර අපි දෙන්නා හිමින් පසු බැස්සා.. එදා තමයි දැනගත්තේ හැම සුද්දම එහෙම තෑගී දෙන්නෙත් නෑ කියල..

ඔය කියපු සිද්දි දෙක අතර ගතවුණු අවුරුදු කීපය මට හරියට නොපැහැදිලි චිත්‍රයක් වගේ.. තාත්තා 'රේල්වේ ගාඩ්' කෙනෙක් උනත් අසීමාන්තික බීමත්කම නිසා 'නොසැලකිලිමත්ව' රාජකාරි කිරීම හේතුවෙන් ඒ වෙනකොට රස්සාවෙන් 'ඉන්ටර්ඩික්' කරලා බව විතරක් දැනන් උන්නා. රාජ්‍ය සේවා කොමිෂන් එකට 'ඇපීල්' කරන්න කියා කියා තාත්තා හැම සතියෙම දවසක් දෙකක් කොළඹ ගිහින් එනවා මිසක් වෙන වැඩක් කරේ නෑ. ගේ පැත්තක තිබ්බ පුංචි සිල්ලර කඩෙන් විකිනෙනවා හා සමානවම කොටසක් ගෙදර කුස්සියටත් යැවෙනකොට දියුණු වීමක් තියා පටන් ගත්ත ප්‍රමාණයෙන් රැක ගන්නවත් බැරි උනා කාලයක් යනකොට.

ඔය අතරේ තමයි මාව ධර්මදුතෙන් ගලවල හද්දා පිටිසර කන්දකැටිය වියලුව DS සේනානායක එකට දාන්නේ ශිෂ්‍යත්වේ පෙනී පෙනී... ඒ වෙන මොකකටවත් නෙවෙයි අයියා එහෙ වැඩ කරපු නිසා ගෙදර කටවල් ගානෙන් එකක් එහෙට මාරු කර ගන්න. මොන ශිෂ්‍යත්වද බඩගිනි දැනෙනකොට නැත්නම්.. අවුරුද්දකටත් අඩු කලෙකදී මාව ආයිමත් කන්දකැටියෙන් බදුල්ලට ට්‍රාන්සර් වෙන්නේ ශිෂ්‍යත්වය සමත්වීමේ ආනුභාවයෙන්මයි. ඒත් සුද්දෙක් තියා පද්දෙක් වත් කිසිම දවසක මට 'ඉඳා ඉගෙනගනින්' කියල පොත පතකින් තියා පැන්සලකින් පෑනකින් වත් උදව්වක් කරේ නෑ..

*****************************************************************************

'මල්ලි මොකද කියන්නේ අර කුරුටු ලා කරා වගේ අපි බදුල්ල පැත්තේ අමාරුවෙන් ඉගෙන ගන්න ළමයි ටික දෙනෙකුට උදව්වක් කරමුද? මාත් උදව්වක් කරන්නම්.. මම පොඩි කාලේ ඉගෙන ගත්තෙත් ලුණුගල ප්‍රථමික පාසලක.' රුසියාවේ ඉගෙනගෙන සුද්දියක් බැඳලා එංගලන්තෙට වෙලා 'ලස්සේට කොඩිය දාලා' ඉන්න කොළඹ ගමයා නැත්නම් අපේ හිතවත් 'නෙළුන් අජිත්' පහුගිය දවසක මට මේල් එකක් එවලා තිබ්බා.. ඕක දැක්ක ගමන් මගේ ඇස්දෙකේ බලාපොරොත්තුවේ කඳුළු ගුලි දෙකක් හිර උනා..

මාසෙකට අඩු කාලයක් ඇතුලේ එහෙ මෙහෙ උන ඊ මේල් පණිවුඩ කිහිපයක සරල වෑයමක් හිතුවටත් වඩා ඉහලින් මල්පල ගන්වමින් පහුගිය 4 වෙනිදා උදේ බදුල්ල ස්ප්‍රින්වැලි පාරේ කොත්මල්ලන්ද කෝට්ටගොඩ උඩගම විදුහලේ 1-11 වසරවල ඉගෙන ගන්නා ගණනින් 67ක් වූ සිසු සිසුවියන් අහුරක්, උන්නේ දෙමවුපියන් හා ගුරු මව්පියවරු ඉදිරියේ ඒ කඳුළු ගුලි දෙක වචන වලට පෙරළලා හෑල්ලු කර ගන්න මට අවස්ථාව ලැබුනා.

" ආදරණිය දුවේ පුතේ.. අද මේ මෙතන ඇවිල්ලා ඉන්න අපි කවුරුවත් කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා ඉන්න සුපිරි පැලැන්තියේ සල්ලි කාරයෝ නෙවෙයි. ඔයාලා වගේම මිට දශක දෙක තුනකට කලින් මීටත් වඩා ගොඩක් අඩු පහසුකම් මැද අමාරුවෙන් ඉගෙන ගෙන අද වෙනකොට යන්තම් සමාජයත් එක්ක හැප්පිලා ඉන්න පුළුවන් තරමේ ස්ථාවරයක් ගොඩ නගා ගත්තු සාමාන්‍ය මිනිස්සු ගැහැණු කීප දෙනෙක් විතරයි. අද මේ පොත් පත් පාසල් උපකරණ ඔයාල අතරේ බෙදලා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම පුංචි ඉල්ලීම් දෙකක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න."

"මේවා උපකාර කරගෙන තව වැඩියෙන් එක අකුරක් හරි ඉගෙන ගන්න උත්සහා කරන්න. එහෙම උනොත් අපේ මේ මහන්සිය අපතේ නොයාවි"

"කවදාහරි හොඳින් ඉගෙන ගෙන ලොකු මහත් වෙලා සමාජයට රටට වැඩදායි පුද්ගලයෙක් විදියට දොරට වඩින කාලයක අද අපි මේ කරන කටයුත්ත ඔලුවේ තියාගෙන ඉඳලා ඔයාලත් එක රුපියලකින් හරි තවත් දක්ෂ ඉගෙනීමට කැපවූ දරුවෙකුට ඉගෙනීම සඳහා උදව්වක් කරන්න උත්සහා කරන්න. අන්න එදාට අපේ මේ මහන්සියේ නියම ප්‍රතිපලය අපිට නැතත් රටට ලැබේවි"

******************************************************************************

මේක ලේසි පහසු වැයමක් වෙන්නේ නෑ.. එක මේල් එකෙන්.. එක මැසේජ් එකෙන්.. එක කෝල් එකෙන්.. දෙපාරක් හිතන්නේ නැතුව වැඩේට 'ඕනේ සහයෝගයක්' දෙන්න එකතු වුනු ඔබ නැතිනම්..

නදීර විජේසිංහ කියන මගේ හිත හොඳ මිත්‍රයා.. ඉවාන් පවුලුෂා.. යාන්හෑල්ල ලියන ශ්‍රංග.. නමුනුකුලෙන් එහා බ්ලොග් එක ලියන හේමමාලි භාග්‍යා.. කොළඹ ගමයා ලියන අජිත් අයියා.. මරණෙට මගුලට දුකට සැපට කොයි දේටත් සින්දු කියන සින්දු ඇනෝ.. වගේම මේ වැඩේ නිසාම අඳුන ගත්ත බ්ලොග් කරුවන වන ගොඩේකතා ලියන මේනක වගේම අපුරුමල් යනුවෙන් අපුරු බ්ලොග් එකක් කරන හේමමාලි භාග්‍යා නැගණියගේ සොහොයුරියක් වන මෙත්මා.. මේ හැමෝම නොමසුරුව මුදලින් උදව් කරා. විශේෂයෙන් දැනුම් නොදුන්නත් ශ්‍රංග මාර්ගයෙන් මේ ගැන දැනුවත් වෙච්චි තිලකසිතේ තිලක මහතා අධික වැඩ කටයුතු නිසා වේලාව මඟ හැරීමෙන් මේ කටයුත්තට දායක වීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින්ද ඉදිරි වැඩකදි අනිවාර්ය සහයෝගය දක්වන බව සඳහන් කරමින්ද මා වෙත ඊ මේල් පණිවුඩයක් ඒවා තිබීම මතක් කලයුතුමයි. මා මිත්‍ර නදීර හැරුනුකොට මෙහිලා උදවු උපකාර කල සියලුම දෙනා 'බදුල්ලට' යම් බැඳීමක් ඇති බ්ලොග්කරුවන් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි මෙහිදීත් වැඩිම දායකත්වයක් දැක්වුයේ ලංකා නිවුස් වෙබ් ප්‍රධාන කතෘ චන්දිම විතාන. ඒ වගේම සුද්දගේ රටේ සිට බොහෝ වෙලාවක් මා අමතමින් දිරිමත් කිරීම හා අවශ්‍ය වෙනත් ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉදිරිපත් වීමද ඉතාමත් අගය කල යුතුයි.

පොත් පත් හා පාසල් උපකරණ මිලදී ගැනීමේදී සින්දු අනෝ ගේ හිතවතෙකු වූ බණ්ඩාරවෙල ඇට්ලස් නියෝජිත මහතා ඉතා ඉහල වට්ටමක් සමඟ ඒවා බදුල්ලේ පිහිටි ශ්‍රංග ගේ නිල නිවසටම ගෙනත් දුන්නා. පාර්සල් කිරීමේ කටයුත්ත නොපිරිහෙලා ඉටු කරේ ශ්‍රංග ගේ බළකාය. ඊට ඔහුගේ ආදරණිය බිරිඳ 'චූටි මැණිකේ', භාග්‍යා නංගි හා අගේ යෙහෙළිය, ඔෆිස් එකේ තවත් හිතවතෙක් උදවු දී තිබුණා. මගේ ගැට පද පොත් ලිස්ට් තේරුම් බේරුම් කරගෙන නිවැරදිව ඒවා පාර්සල් කිරීම ඇත්තටම භාරදුර කර්තව්‍යක් බව මට වැටහුණේ ඒ ටික පිළිවෙලට අසුරා ලස්සනට ගබඩා කොට තිබෙනු දකිද්දියි. ඒවා මියන්ගෙන් කරපොත්තන්ගෙන් ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ ශ්‍රංග ගේ හුරතල් 'ටිකිරි' ට ඒ වෙනුවෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙවීමට සිදු උනා.

******************************************************************************

එතනින් පස්සේ කොහොමද මොනවද උනේ කියලා ශ්‍රංග යාන් හෑල්ලේ වගේම මේනකයාගේ ගොඩේ කතාවේත් ලියලා තියෙන නිසා මන් වැඩිය කියන්න යන්නේ නෑ.

පාසලේ අලුත් වසරක ආරම්භක දවස.. 1-11 වසරවල පන්ති එකොළහක ඉගෙන ගන්න ගණනින් 67ක් වූ ඒ පුංචි කිරි සිනා මල්.. උන්නේ දෙමවුපියෝ.. ගුරු භවතුන් මෙන්ම.. බොහොම නිහතමානී සුන්දර මිනිසෙකු වූ විදුහල්පති කරුණාරත්න 'සර්'..

දුනුවංගිය හරහා කොට කොට යන කඳන/ බුලත්වත්ත තනි දොර කොට සී.ටී.බී. බස්සෙක, කපොල්ල හන්දියෙන් හැරිලා අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාරේ එද්දී තේ මන්ඩි අතර හම්බ උන පරණ සිතල මිදුම් ගුළි.. දිය සීරාව නිසා ලිස්සන ගල් උඩ පරිස්සමෙන් අඩිය තිය තියා නගින බහින පාසලට යන අඩිපාර.. ලවක් දෙවක් නැතුව පිපිලා හිනාවෙන රෝස, ඩේලියා, බාබන්ඩේසියා කපුරු අතර ලජ්ජාවෙන් බිමට බරවෙලා පිපිච්ච නම නොදන්නා ඒ විශාල මල් පඳුර..

මාව අතීතයට අරන් ගියා.. එදා හිනා වෙන්න බැරි උන මට අද ඒ වෙනුවටත් එක්ක හිත පුරා හිනාව දොරේ ගලනවා..




මටත් එදා ඉස්කෝලේ යනකාලේ කවුරු හරි මේ වගේ පුංචි හරි උදව්වක් කරානම්.. ඔව් මම හිනා වෙන්නෙත් මෙහෙමයි.. ලජ්ජාවෙන්..ඒත් හරි ආසාවෙන්.. හරියටම හරි. ඔව්. එහෙම තමයි.. ඒ පුංචි මුණු ඔක්කොම මට මගේ ඒ හිනාව මවලා පෙන්නනවා..

ඔවුන් වෙනුවෙන් කියන්නේ.. නැවතත් ස්තූතියි!!!!