(A fictitious blog novel about controversial supply chain to North & East during and immediate after the war)
පෙර වදන..ලිඛිතා මංජරි විසින් සිය මුහුණු පොතේ හා කඩදාසිකොලේ බ්ලොග් එකේ මේ දිනවල ලියමින් සිටින අංජලිකා වෙල්ලාලගෙ-දර්ශන් ඉලෙයිරාජා-කිත්ම දොඩංගොඩ අතර තුන් ඈදුතු ප්‍රේමය ගැන කියවෙන මට ඇහෙන සරින් නවකතාවේ අතුරු කතාවක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දර්ශන් නම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු සිසුවා විසින් තහනම් සංවිධනයක් වෙනුවෙන් අනවසරයෙන් නිපදවන ලබන නියමු රහිත කුඩා ගුවන් යානා (Unmanned area vehicle) පිලිබඳව කියවීමේදි සිතේ ඇතිවූ සිතුවිල්ලක් මත නිර්මානය කරන ලද ප්‍රබන්දයක් මෙලෙස ඔබ වෙත ඉදිරිවපත් කරමි.
මෙම කතාව 2007 වසරේ අග බාගයේ සිට ඉදිරියට ලියවෙන අතර ඉන් පෙර සිදුවූ සිද්ධින් පිළිබඳව සඳහනක් වෙතොත් ඒ බැව් ඉඟි කරනවා ඇත. බොහෝදෙනෙකු සිතන පරිදිම මෙය LTTE සංවිදානයේ හා ශ්‍රී ලංකා ආරක්ශක සේවයේ එවකට ක්‍රියාකාරකම් වලට සමාන ආකෘතියෙන් ලියැවෙනු ඇති නමුත් මෙය හුදෙක් නිර්මාණාත්මක ලේඛනයක් මිස කිසිසේත් සත්‍ය ලෙස සිදුවූ සිදුවීමක් හෝ සත්‍ය චරිත ලෙස ජීවත්වූ/ ජීවත්වන කිසිවෙකු හා සම්බන්ද කතාවක් නොවේ.
2007 වසරේ අග බාගය යනු උතුරු නැගෙනහිර යුද්ධය ඉතා දැඩි ලෙස ඇවිල යමින් තිබූ වකවානුවක් වූ අතර රජයේ පාලන ප්‍රදේශ වෙතින් උතුරු නැගෙනහිර වෙත කෙරෙනු ලබන ආහාර ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දැඩි ලෙස නියාමනයට ලක් කොට තිබීම නිසා ඒ අවසරයෙන් අවස්ථාවාදි දකුණේ සමහර ව්‍යාපාරිකයෝ සිය හිතවත් දේශපාලකයින්ගේ අනුබලයද සහිතව නොයෙකුත් කූඨ ව්‍යාපාර හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඉතා අධික ලාබ සහිතව උතුරට සැපයීම කරගෙන ගිය අතර ඒ සම්බන්දතා හරහා ත්‍රස්ත සංවිධානය විසින් දකුණේ විවිධ අපරාධ සිදු කිරීම්, ඔවුන්ගේ ත්‍රස්ථ ක්‍රියා සඳහා දකුණේ පුද්ගලයින් යොදා ගැනීම්, ආර්ථික මර්මස්ථාන වලට ඉහළ පෙළේ පුද්ගලයින්ට ප්‍රහාර එල්ල කිරීම් සැළසුම් කිරීම් නොකඩවා දියත් කලේය. මෙය භූමියේ හමුදාවලට මෙන්ම ජාතික බුද්ධි අංශ සේවාවන්ටද ඉතාමත් අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය.
මේ හැමටම වඩා පීඩාවට පත් පාර්ශවයක් වූයේ උතුරට සම්බන්ධ දකුණේ ජීවත් වූ ද්‍රවිඩ උගතුන්, ව්‍යාපාරිකයින්, රජයේ නිළදාරින් හා විශ්ව විද්‍යාල සිසුන් වේ. ඔවුන් වෙත නිරන්තරයෙන් රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වූවා සේම ත්‍රස්ත සංවිධනයේ නොමද බලපෑම් වලටද යටත් වීමට සිදුවීම බොහෝසෙයින් සිදුවිය. ඒවාට හවුල් වීම ඔවුන්ගෙ ජිවිත වලට තර්ජනයක් වූ අතර ඒවා මඟහැරීම ඔවුන්ගේ මෙන්ම උතුරේ වෙසෙන ඔවුන්ගේ ඤාති හිත මිත්‍රාදීන්ගේ ජිවිත වලටද තර්ජනයක් විය. එහෙයින් ඔවුන් බොහෝ දෙනෙකුගේ එකම අපේක්ශාව වූයේ 'දෙපැත්තෙන් එක පැත්තකට' රහසේ වැඩි සහයෝගයක් දී ඒ මාර්ගයෙන් අඹුදරුවන් සමඟ රටින් පැන ගැනීමයි.
2009 මැයි මාසයේදි යුද්ධමය වශයෙන් ත්‍රස්ත සංවිධානය පරාජය වීමෙන් අනතුරුවද මෙම ව්‍යාපාර, තොරතුරු රැස් කිරීම්, නව ආයුධ නිර්මාණය, නව සටන්ක්රම අධ්‍යයනය මෙන්ම මේ යට රැඳි දේශපාලනය දිගටම ක්‍රියාත්මක වූවායැයි අනුමාන කරමින් මේ නිර්මාණය ඉදිරියට යනු ඇත. ලිඛිතාගේ පූර්ව අවසරය සහිතව ඇගේ කතාවේ එන චරිත වන බිශොප් (දර්ශන් ඉලෙයිරාජා), KD (කිත්ම දොඩංගොඩ), දේවා, සංජු සහ රෝහිත පෙරේරා වැනි චරිත මේ කතාවේදි තැනින් තැන ඔබට හමුවෙනු ඇත. ස්තූතියි ලිඛිතා මංජරී සොහොයුරියට..
*******************************************
පසුබිම් කතා අංක එක..
බී. ඔස්ටින් පෙරේරා සහ පුත්‍රයෝ යනු 60 දශකයේදී කොළඹ-මහනුවර- ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ජනප්රියවු අත්‍යාවශ්‍ය භාන්ඩ ප්‍රවාහන, සැපයුම් හා විකුණුම් සමාගමක් වේ. එහි නිර්මාතෘ ඔස්ටින් පෙරේරා පහතරටින් ගොස් මහනුවර පදිංචි වූ වෙළඳ පවුලක සාමාජිකයෙක් වූ අතර උඩරට වංශවත් පවුලක කාන්තාවක හා විවාහ වී නුවර පදිංචි වී සිටියේය. ඔහු දක්ශ ව්‍යාපාරිකයෙකු වූ අතරම සමාජසේවා සඳහාද දේශපාලකයින් සඳහාද නොමසුරුව වියපැහැදම් කිරීම හේතුවෙන් ඉතා ජනප්‍රිය පුද්ගලයෙකුව සිටියේය. 70-77 කාලයේ ඔහුගේ ව්‍යාපාර වල යම් පසුබෑමක් සිදුවූයේ නමුත් 77න් පසු දේශපාලන හිතවත්කම් හරහා ත්‍රිවිද හමුදා වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලැබීමෙන් පසු ඔහුගේ ව්‍යාපාර යළිත් වේගයෙන් හිස ඔසවන්නට විය.
94 පළාත් පාලන මැතිවරණය ආසන්න වනවිට ඉහළපෙලේ ධනවතෙකු වූ ඔස්ටින් මුදලාලිට මධ්‍යම පළාත් සබාව සඳහා ඡන්දයට ඉදිරිපත් වීමට නාම යෝජනා වුවද ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වූ ඔස්ටින් මහතා සිය වැඩිමහල් පුත්‍රයා වන රෝහිත පෙරේරා ඡන්දයට ඉදිරිපත් කලේය. පියාගේ මුදල් හා හොඳ නාමය මුල් කරගෙන මධ්‍යම පළාත් සබාවට තේරි පත්වු රෝහිත පෙරේරා පසුව සිය දේශපාලන සම්බන්දතා ද යොදා ගනිමින් පවුලේ ව්‍යාපාර පුළුල් කර අතර පියාගේ වියෝවෙන් පසු ඒවායේ වැඩි අයිතිකරු බවට පත්විය.
2005 වසරේ පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් අනතුරුව කෙළින්ම ව්‍යාපාරික කටයුතුවල යෙදීමෙන් ඉවත්වූ රෝහිත පෙරේරා මන්ත්‍රීවරයා ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සිය පුත්‍රයා, සහෝදරයා සහ හිතවතුන්ට වෙන් වෙන් වශයෙන් පවරා ඒ සියල්ලෙහි නූල් දුර සිට හැසිරවීම කරගෙන ගියේය. මේ සමහර ව්‍යාපාර ඉතා ලාබදායි වූ නමුත් එතෙක් සිය පියා විසින් පවත්වාගෙන ආ නිරවුල් හා සාධරණ ක්‍රම වලින් බැහර වූ හෙයින් විරුද්ධ පාක්ශිකයින්ගේ වාග් ප්‍රහාර වලින් බේරීමේ පළිහක් ලෙස හේ සිය ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ශ ක්‍රියාකාරිකයෙකු හා මැණික් හා ස්වර්ණාභරණ ක්ශෙත්‍රයේ ව්‍යාපාරික දැවැන්තයෙක් වූ වෙල්ලාලගේ පවුලේ කණිටු දියණියට වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටි තම පුත්‍රයා විවාහ කර දෙමින් විශාල දේශපාලනික හා ව්‍යාපාරික පිම්මක් පැන්නේය.
පසුබිම් කතා අංක දෙක..
1971 වසරේ මැයි මස අවුරුදු නිවාඩුවෙන් පසු යළි පාසැල් ආරම්භ වූ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස්පෙළ පන්තියේ සිසුන් දෙදෙනෙකු අතර සංවාදයකි. මහනුවර උසස් පවුලකින් කොළඹ පැමින සිසු නේවාසිකාගාරයේ සිට පැමිණෙන ධර්මේන්ද්‍ර දොඩංගොඩ සිය අතිජාත මිත්‍රයා වූ තිරුසෙල්වන් ඉලෙයිරාජාට නුවරින් ගෙනා අතිරස ආස්මි ඇතුලු කෑම පාර්සලයක් තෑගි කල අතර දෙදෙනාම එක්ව තිරු ගේ මෑණියන් පිළියෙල කර එවූ තෝසේ, සාම්බාරු, සම්බල් සහ උළුඳු වඩේ පාර්සලය දිග ඇරගෙන කන ගමන් මේ කතා කරන්නේ පාසැල් නිවාඩු සමයේ ඇතිවූ තරුණ කැරැල්ල පිළිබඳවයි. හොස්ටල් එකේ මෙන්ම ගෙදරදිත් දැඩි විනය නීති යටතේ හැදී වැඩුණු ධර්මේන්ද්‍ර කැරැල්ල කළ තරුණයන්ට එරෙහිව කතා කළ අතර වැල්ලවත්තේ සිය ගෙදර සිට සිදුවූ සිදුවීම් වඩාත් ආසන්නයෙන් නැරඹූ එමෙන්ම කැරළිකාර තරුණයින්ගේ ඉල්ලීම් වලට වඩා සංවේදි වූ තිරු කැරැල්ල ගමන් කල දිශානතිය විනා එහි අරමුණ විවේචනය නොකිරීමට වග බලා ගත්තේය.. "ධර්මේ බලන්න.. තව ටික දවසකින් උඩහා පැත්තේ අපේ කොල්ලොත් ඔය විදියටම නීතිය අතට ගන්න හදනව"
ඉන් හරියටම වසර දොළහකුත් මාස දෙකක ඇවෑමෙන් රාජ්‍ය භාෂා දෙපාර්ථමේන්තුවේ භාෂා නිළධාරි තිරුසෙල්වම් ඉලෙයිරාජා, ඔහුගේ සුන්දර බිරිඳ සහ වසරක් වියැති දියණිය සතියක් පුරා බම්බලපිටිය පොළිස් නිළධාරී නිවස්නයේ ඉන්ස්පෙක්ටර් ධර්මේන්ද්‍ර දොඩංගොඩගේ නිළ නිවසේ අඳුරු කාමරයක බියෙන් ගැහෙමින් නොනිදා හෝ රැය පහන් කිරීමට වාසනාව ලද්දේ ආයුධ ගත් මැරයින්ගේ ග්‍රහණයට හසුව මරණය පෙනි පෙනි සිටිද්දි නිළ රියෙන් පැමිණි, තමා සමඟ එක බත් පත බෙදාගෙන කෑ සිය පාසැල් සගයා විසින් බේරාගෙන ආර්ක්ශිතව ඔහුගේ නිළ නිවස තෙක් රැගෙන යාම නිසයි. කළබල ඉවර උනු වහාම රාජකීයයේ සිය මිතුරන්ගේ මාර්ගයෙන් රැකියා ස්ථානයේ මාරුවක් හදාගත් තිරු, පවුල පිටින් ස්ථිර පදින්චියට යාපනය බලා යාමට ප්‍රතම මොහොතක් සිය සගයා වැළඳගෙන කඳුළු සැලුවේය.
දිනෙන් දින ඇවිලී ගිය කුරිරු යුද්ධයෙන් දිවයින උතුර හා දකුණ ලෙස කොටස් දෙකකට බෙදි යද්දී ඉඳහිට දෙමිතුරෝ සැප දුක් බෙදා ගත් නමුත් එකිනෙකා හමුවීමට ලැබු අවස්තා ඉතාම අල්ප විය. කල් ඇවෑමෙන් ධර්මේන්ද්‍ර පොලිසියේ විශේෂ මෙහෙයුම් අංශයේ ඉහළට යද්දි යාපනයේ පදිංචි ඔහුගේ පාසැල් සගයාට ඔහුව දුරකථනයෙන් ඇමතීමේ අවස්ථාව පවා සීමා සහිත විය. තිරු මහතා භාවිතා කල සියලු දුරකතනවලට ත්‍රස්ත සංවිදානයේ ඔත්තු කරුවන් විසින් රහසේ සවන්දීම නිසා ඔවුන් එකිනෙකා කතා කිරිමද සම්පූර්ණයෙන්ම පාහේ නැවති තිබියදි වසර 2006 එක් අඳුරු දිනයකදි ජෙශ්ඨ පොලිස් අධිකාරි ධර්මේන්ද්‍ර දොඩන්ගොඩ ට ඒ මූසල ආරංචිය කණ වැකින. සංවිධානය විසින් දුන් අණක් පැහැර හැරීමේ චෝදනාව නිසා දේශද්‍රෝහි ලේබලය යටතේ ඒ සොඳුරු මිත්‍රයා යාපනයේ සිය නිවසේදි සංවිධනයෙ තුවක්කු කරුවෙකු අතින් ඝාතනය වී තිබිණි. පසුව දැනගන්නට ලැබුණු පරිදි සංවිධානය විසින් ඔහුට අණ කර තිබුණේ පණිවුඩකරුවෙකු ලෙස සංවිධානයේ ඝාතකයෙකු ධර්මේන්ද්‍ර දොඩංගොඩ වෙත යැවීමට කටයුතු කරන ලෙසයි. ඒ හොඳ මිනිසා මිත්‍රත්වය පාවාදෙනු වෙනුවට ඔහුට ඤාතීත්වයෙන් සිය සහෝදරියගේ පුත්‍රයා වූද මාස කීපයකට මත්තෙන් සිය දියනියගේ සැමියා වූද අරුල් දේවනායගම් හෙවත් දේවාට සිය බිරිඳ, දියණිය මෙන්ම උසස් පෙළ හදාරමින් සිටි තරුණ පුතණුවන්ගේද අනාගතය බාර දී වීරයෙකු ලෙස අශිෂ්ඨත්වයේ වෙඩි උණ්ඩයට ළය දී නිහඬ ව ගොස් තිබුණි.
**********************************************
වර්ථමාන කතාවට ප්‍රවේශයක්...
දිනය: 2007 ඔක්තෝබර් මස 20,
ස්ථානය: වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය
වේලාව සවස 5ට ආසන්න වේ. සාමාන්‍ය ඇඳුම් ඇඳගත් තළෙලු උස මහත ගැහැණියක් ගේට්ටුවෙන් පිටව යාමට මෙන් ගොස් යමක් අමතකවූ විලාසයෙන් නැවත කලබලයෙන් අමුත්තන්ගේ කාමරය පසුකරමින් බන්ධනාගාරය දෙසට යමින් සිටියාය. යමින් ගමන්ම ඈ අත තිබූ සුදු තුණ්ඩු කැබැල්ල ගුලිකොට නො.42 කාමරයේ ඇගේ පැමිණීම අපේක්ශාවෙන් මෙන් සිටි රිමාන්ඩ් සිරකරුවා දෙසට විසිකරමින් මෙසේ පැවසුවාය.
"රෑ නමයට.. කෝල් සයින් එක ඇල්ෆා රෝමියෝ කියන්න කියුව"
හිස නොසොල්වා මුහුණෙන් කිසිදු හැඟීමක් පිට නොකළ සිරකරුවා ඇස් පමණක් කරකවා තුණ්ඩු කෑල්ල වටෙන තැන නිරීක්ශ්ණය කළේය.
ඉන් පැය හතරකට පසු.. හරියටම රාත්‍රි නවයට..
ට්‍රිං..ට්‍රීංං...
"හෙලො.."
"කෝල් සයින් ප්ලීස්.."
"ඇල්ෆා රෝමියෝ.."
"රයිට් පුතා.. නියමයි. මම මයික් සියරා. උඹ හෙට උදේම වත්තල යාඩ් එකට පලයං. ලොරි 34ක් යනව හෙට යාඩ් එකෙන් වවුනියාව ආමි කෑම්ප් එකට. උඹේ අයිඩි එකයි ලයිසන් එකයි අනිත් ඩොකියුමන්ට් ටිකයි එතන මහත්තය දෙයි. මතක ඇතුව උඹය කියල අඳුනගන්න තියෙන ඔක්කොම කොහෙ හරි දාලා පලයන්. පර්ස් අස්සේ කෙල්ලොන්ගෙ අම්මගෙ ෆොටො එහෙම තියෙනව නම් ඒවත් ඔක්කොම දාලා පලයන්."
"හරි.. ඒවා ඔක්කොම අයින් කරා. මග වියදමට කියල දීපු සල්ලි විතරයි සාක්කුවෙ"
"නියමයි..උඹේ ලොරිය එතනින් අන්තිමට පිටත් කරයි. මොනම වෙලාවකවත් අනිත් උන්ට ඉස්සර කරන්න එපා. මැදවච්චිය රෝඩ් බ්ලොක් එකට යනකං මොකෙක්වත් නවත්තන්නේ නෑ. මැදවච්චියෙන් ඔක්කොම නවත්තල උඹේ ඩොකියුමන්ට් ටික බලනව. ලොරියේ යටයි හිතුනොත් පිටිපස්ස උනත් ඇරල බලනව. ප්‍රස්නයක් නෑ ඩිමාන්ඩ් එකේ තියෙන බඩුමයි පටවල තියෙන්නේ. උඹ පැනික් උනේ නැත්නම් උන් එහෙමවත් බලන්නේ නෑ. මැදවච්චියෙන් යනකොට උඹ තමයි අන්තිමට යන්නෝනි."
"හරි"
"පූනෑව කෑම්ප් එක පහු කරලා වවුනියාව පැත්තට හැතැක්ම දෙකක් යනකොට වම් අත පැත්තේ මුලින් සොහොන් පිට්ටනිය, ඊළඟට ඇලත් එක්ක ලොකු කුඹුක් ගස් දෙක, ඊළඟට වම් අත පැත්තේම පස් පාර.. ඒකට ලොරිය දාලා මීටර් පන්සීයක් ඉස්සරහට යනකොට මුත්තවර් පාරට එයි. කෝල් සයින් එක ඇහුවොත් ඇල්ෆා රෝමියෝ කියාං. මතකනේ.. ගංජා අරක්කු එහෙම කෙළලා ගිහිං කෙළොගන්නව නෙවෙයි."
'පිස්සුද.. එහෙම කරනවද"
"මට නෙවෙයි යකෝ.. තෝ වගේ එකෙක් එහෙම පිස්සුවක් කෙළපු නිසා තමයි මට මේ අදටත් අස්සේ හැංගිලා ඉන්න වෙලා තියෙනේ.. මොනව හරි හේතුවකට උඹට තැන මිස් උනොත් හරි ආමි කාරයෙක් වාහනේට නැග්ගොත් හරි උඹ සාමාන්‍ය විදියට කෑම්ප් එකටම ගිහිං බඩු බාලා ලොරිය අරං වරෙන්. අපේ ප්ලෑන හරිගියොත් මුත්තවර් උඹව කරදරයක් නැතුව ගෙදරට ඇරලවයි. ඔය ෆෝන් එකයි උඹට දෙන ඩොකියුමන්ට් ටිකයි උගේ අතට දුන්නම කෑෂ් වලින් රුපියල් විසිදාහ උඹට ලැබෙයි"
"හරි මහත්තය.."
"ගියා ආවා.. මොකුත් නොදන්නව නොවුනා වගේ ආපහු රස්සාව කරගෙන හිටපන්. විස්වාසේ අනුව තමයි ඉස්සරහට වැඩ හම්බෙනවද බඩු හම්බවෙනවද කියල තීරණේ වෙන්නේ"
"ඒවා ඒ විදියටම කෙරෙයි"
"හරි.. උඹ ගැන මට හොඳ රෙකමන්ඩේශන් එකක් හම්බුනා පුතා.. පරිස්සමෙන්"
"හරි මහත්තය"
***************************************
හමුවෙමු ළඟදීම.. පළමු කොටසින්..
- ක.මි.