Wednesday, 29 June 2016

බ්ලොග් නේවිකරණය.. Navalization of Sinhala Blogging

ඇඩෝව්.. කවුද ඩෝ චණ්ඩි.. කෝ ඔය විචාරකල.. අරයලා මෙයාල.. පුළුවන් නම් අරන් එමු බලන්න මීට වැඩිය ලොකු ආමි ලොක්කෙක් බ්ලොග් වලට.. (කුරුළු ලොක්කොනම් නේන තරමට කැමතියි.. )

සරත් ගේ ලොක්කත් ගේමට බැහැල ඉන්නේ හරිය.. 

අපි යනවා.. ඔහේල ඒ පැත්තේ ගිහින් ප්‍රශ්ණ තියෙනවනම් විසඳගෙන එනවා හොඳයි.. අපිට තව කුමන්ත්‍රණ කරන්ඩ තියෙනවා.. බදුල්ලකරණය.. මාගකරණයෙන් පස්සේ දැන් නේවිකරණය.. හැක් හැක්...

 අනුග්‍රහය- www.navy.lk

Monday, 27 June 2016

වැඩේ කම්ප්ලිට්.. Job done. Thanks all!

ප්‍රිය මිතුරු මිතුරියනි..
පසුගිය දිනෙක ඔබේ උපකාරයෙන් කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකාවේ දැරියන් පිරිසකට පාසැල් පාවහන් ලබා දී ඉතිරි වූ මුදලෙන් ඔවුන්ටම අවශ්‍ය කාන්තා යට ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසුවා මතක ඇති. ඒ කටයුත්ත අද දින අදාළ පාසලේදී සිදුකල බව පවසන්නේ සතුටින්. මගේ සහභාගිවීමක් අවශ්‍ය නොවුණු නිසා ඒ කටයුත්ත සම්භන්දිකරණය කල Urekha Darshani ගුරුතුමිය හා සෙසු ගුරුවරියන් අතින්ම රුපියල් 25500/- වටිනා යට ඇඳුම් කට්ටල 100කට ආසන්න ප්‍රමාණයක් සිසුවියන් අතර බෙදා දුන්නා.. අත්‍යවශ්‍යම සිසුවියන් සොයාගැනීම හා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයන් හඳුනා ගැනීම අදාළ ගුරුවරියන් විසින් සිදු කර ඒවායේ මිල ගණන් කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් ලබා ගෙන අවශ්‍ය මුදල මට දැන්වූ පසු Urekha ගුරුතුමියගේ ගිණුමට රුපියල් 25500/- මුදලක් බැර කරා. නමුත් ඒ අවශ්‍ය සියල්ල එකවර ලබාගැනීමට නොතිබූ නිසා අලුතෙන් මසා නිමකර දීමට යම් කාලයක් ඔවුන් ගත්තා. කෙසේ හෝ පහුගිය සිකුරාදා දිනයේදී අවශ්‍ය යටඇඳුම් කට්ටල සියල්ල ඔවුන්විසින් පාසල වෙත ඒවා තිබුණු අතර අද දිනයේදී ඒවා දියණියන් අතර බෙදා දෙනු ලැබුවා.. යුරේකා ගුරුතුමිය විසින් මා වෙත ඒවා තිබුණු චායාරුප කිහිපයක් මේ සමඟ පලකරනවා.. ඒ දියණියන්ගේ මුවග දිලෙන කිරි සිනහවේ දිස්නයටත් ඔවුන් පා පැළඳි කිරි සුදු පා වහන් යුවලේ දිස්නයටත් මගේ නම් නෙතඟට නැගුනේ සතුටු කඳුළක්.. දන්නවා ඔබටත් එය එසේම වේවි.. ස්තුතියි!









Friday, 10 June 2016

බ්ලොග් ගොසිප් කීපයක් කෙටියෙන්.. Blog Gossip Little Short

ටින් ටැං ටොන්.. මේ නෙලුම් පුවත් සේවයයි..  මුලින්ම සිරස්තල..

කටුස්සා රට හැර යයි..

සරත් විමලසූරිය රට හිනස්සයි..

බ්ලොග් වසන්තය හබක්..

බ්ලොග් කරුවකු හා බ්ලොග් කාරියක යුග දිවියට..

සම්මානනීය බ්ලොග් කාරිනි නුවරකුමාරි අඩු වයසෙන් මියයයි..


ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු සමාගමේ සාදර අනුග්‍රහයෙනි..

ඉතා කුඩා සරිරයකට හිමිකම් කියූ සත් ගුණවත් කටුස්සා තුමා අඬ අඬා සිට හදිසියේ රට හැර ගොස් දැන් එහි සිට හිනාවීමට පටන් ගෙන ඇත.. ඒ වෙනුවට කටුස්සගේ පැනයාමෙන් අඩුවූ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු වෙළඳාම ගැන සිතමින් මැන්ඩිස් මුදලාලි අඬන්නට පටන් ගෙන ඇතැයි නෙලුම් පුවත් සේවයට වාර්තාවේ.

පහුගිය දවස්වල නොයෙක් ජාතියේ කෙරුම් කාරයෝ බ්ලොග් ලොව ආක්‍රමණය කල බව විවිද පුවත් සේවා වලින් ආරංචි විය.. ඒ අතර චිත්තර කාරයෝ, දේශපාලකයෝ, ලේඛකයෝ ආදී මෙකි නොකී අය බොහෝ වූ අතර මේ වර බ්ලොග් ලොව කැළඹු නවතම සෙල්ලම වාර්තා වෙන්නේ ලොවෙත් (හිටියට අපේ රටේ කවදාවත් හිටපු) නැති උඩු රැවුල් කාර නේවි කාරයෙකු විසිනි. හේ සරත් විමලසූරිය නම් වන අතර ඔහු ගැන කීමට නෙලුම් පුවත් සේවයට වචන හොයා ගත නොහැකි නිසා ඒ පැත්තට ගොස් මේකා කොයි වගේදැයි හොයා ගන්නා ලෙස බල කරනු ලැබේ..

තමන්ගේ තරමට වඩා ඉදිමෙන්න හැදු බ්ලොග් වසන්තය දින 44 කින් හබක් වී ඇතැයිද එහි ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා එකාට එකා ටොයියා බයියා කියමින් ඇනකොටා ගන්නා අතර සපෝට් සංවිධායක තුමා (මෙසේ) මඩ ගසන බවද දක්නට ලැබේ.. කෙසේ වෙතත් පෙර නොවූ විරූ ජවයකින් නැවත බ්ලොග් ලොව ආක්‍රමණය කල පැරණි බ්ලොග් කරුවන් හා සමව කරට කර තරඟ කරමින් වසන්ත සමය තුල බ්ලොග් පිබිදීමට උරදුන් ජයග්‍රහණය කල නොකළ සියලු සිංහල බ්ලොග් කරුවන්ට නෙලුම් පුවත් සේවයේ ගවුරව බහුමානය මෙසේ පිළිගන්වනු ලැබේ..

ඉතිරි පුවත් ඔබවෙත ගෙන එන්නේ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක Ratathota Wisthara මහතාගේ අනුග්‍රහයෙනි. Next gossip bring to you veteran English Lecture Ratathota Wisthara Mr. sponsorship.

මේ අතර පහු ගිය දෙතුන් දොහ තුල යුග දිවියට එළඹී ප්‍රවීණ බ්ලොග් කරු මනෝගේ ලෝකයේ මනෝජ් ප්‍රනාන්දු ට හා පුංචි කැකුළු මල තුෂානි ට නෙළුම් පුවත් සේවයේ උණුසුම් සුභ පැතුම් එකතු කරනු ලැබේ.. හෝව්..හෝව්.. මේ දෙදෙනා විවාහ වුයේ වෙනත් දෙදෙනෙකු සමඟ බැවින් ඔවුන් දෙපලටද ටියුබ් ලයිට් නෙලුම් පුවත් සේවය සුභ ප්‍රර්ථනා කරයි..

අවසානයට අවමංගල දැන්වීම්..

කලක් බ්ලොග් ලොව දිග විජය කළා වූ සම්මානනීය බ්ලොග් ලේඛිකා නුවර කුමාරි  පුද්ගලික හේතු මුල් කරගෙන අවසන් ගමන් ගියාය.. නෙලුම් ගොසිප් සේවයට වාර්තා වන පරිදි නුවර කුමාරි හොල්මනෙන් ඇවිත් පුලු පුලුවන් විදියට බ්ලොග් කියවන හෙයින් නැවත වෙන නමකින් හෝ උට්ඨානය ලැබීමට (ඉඩ ලැබෙන පරිදි) ඉඩ කඩ ඇත. එතෙක් නෙලුම් පුවත්ව සේවය වෙනුවෙන් නුවර කුමාරිට RIP (Return if Possible) කියමු..

කාලගුණය යහපත් හෙයින් රාජකාරි වැඩකට යාමට පුවත් සේවය සැණෙකින් අවසන් කරමි.

ටැං ටින් ටොන්..

Friday, 3 June 2016

සපත්තු මේස් අරං කැළණියට ගියෙමි... Some jobs don't have JDs...

එක වචනයට.. උදව් කල.. උදව් කිරීමට උත්සාහ කල.. හා සහයෝගයට කතාකල ඔබ සැමට ස්තුතියි.. පින් කැමති අයට පිං.. හිතේ සතුට අපේක්ෂා කරන අයට ඒ සතුට.. ඉහළින්ම ලැබේවි.. දූවරුන්ගේ පාසලක් නිසා පින්තූර ගැනීමත් මෙහි පළකිරීමත් ප්‍රවේශමෙන් කරමි.. බොහෝ දෙනෙකු උදව් කල හෙයින්ද, ආධාර අවශ්‍යවූ දරුවන් සීමිත වූ හෙයින්ද (වෙනත් අය වෙතින්ද ආධාර ලැබී තිබු නිසා දැනට සපත්තු අවශ්‍ය වුයේ දරුවන් 20 දෙනෙකුට පමණි) ලැබුණු මුදල් ආධාර වලින් වැඩි ප්‍රමාණයක් තවමත් අත ඉතිරිව ඇත..
තව මේ වනවිට ඒ දරුවන්ට දැවෙන ගැටළුවක් වී ඇති බව පැවසුනේ සුදු ඇඳුමට අඳින යට ඇඳුම් කට්ටලයි. (සොයා ගැනීමට හැකිවූ භාවිතා කල යට ඇඳුම් ගුරුවරියන් විසින් සෝදා ළමයින්ට ලබා දීමට කටයුතු කල බව විදුහල්පතිනිය පැවසිය.) එ නිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන යට ඇඳුම් හා ඒවායේ ප්‍රමාණයන් ලිස්ට් එකක් සාදා කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් මිලට ගැනීමටකටයුතු කරන ලෙසත් අදාළ බිල්පත මා විසින් ගෙවන්නට කටයුතු කරන බවටත් දැන්වූවා.. 'අදාළ නැති' වුවත් ඒ අවස්ථාවේ වෙනත් විකල්පයක් මට මතක් වුයේ නෑ.. වෙනත් හොඳ යෝජනාවක් තිබේනම් දන්වන්න..
මල්කැකුළු වන් සුන්දර දියණියන්ගේ විළිබර සතුටු මුහුණු ඔවුන්ගේ යහපත සඳහා ඔබෙන් වසන් කිරීමට සිදුවීම ගැන සමාවන්න.







   

නම් වශයෙන් සඳහන් නොකළ නමුත් ඔබ සැමට නැවතත් ස්තුතියි.. ඉදිරියේදී ලැබුණු ඉතුරු මුදල් වලින් කුමක් කරන්නේද යන්නත් මෙලිසින්ම දන්වන්නම්..

මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල Urekha Haloluwa ගුරුතුමියට විශේෂ ස්තුතිය..




Wednesday, 1 June 2016

සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? Other side of සුදීක's same coin


කැලණියේ හෙලේනා විජයවර්ධන ඉස්කෝලේ කියන්නේ සුපිරි පාසලක් නෙවෙයි.. ඒ අවට ආර්ථික අපහසුතා වලින් පිඩිත දෙමවුපියන්ගේ දරුවෝ තමයි ඒකෙ අකුරු කරන්නේ.. ගොඩක් දෙනෙකුට උපාලි විජේවර්ධන පදනමේ ශිෂ්‍යත්ව ලැබෙනවා.. ඒකෙන් තමයි ඉගෙන ගන්නේ.. මේ අවු අස්සේ ඊයේ පෙරේදා පාත්වෙච්චි හෙන ගෙඩියෙන් උන්හිටිතැන් අහිමි උන පොඩි එවුන් අනූ දෙනෙක් ඉන්නවලු ඉස්කෝලේ ඒ ගන්න බැරුව.. පොත්පත් හම්බ වෙලා.. ඒත් පාසැල් ඇඳුම් හා සපත්තු මේස් කාගෙන්වත් ලැබිලා නෑ.. විස්තරේ ඇහුවම මට හිතුනා අපිට පුළුවන් වෙයි කියලා උදව්වක් කරන්න..
මොකද කියන්නේ.. පුළුපුළුවන් විදියට එකතු වෙලා සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? ළමයි 10-15කට හරි අරන් දෙන්න අපි එකතු උනොත් බැරිවෙන එකක් නෑ.. කාගෙන්වත් පුද්ගලිකව ඉල්ලීමක් කරන්නේ නෑ අනවශ්‍ය පීඩනයක් වෙයි කියල හිතන නිසා.. කරදරයක් නොවෙයි කරගන්න පුළුවන්වෙයි කියල හිතනවානම් විතරක් උදව් කරන්න.. ස්තුතියි.

ක.මි.

Monday, 9 May 2016

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක..2- Floating Warriors

අද මේ කොටස සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව 2009 වසරට පෙර පැවතී නෞකා හා යාත්‍රා පිළිබඳව විස්තරයක් ගේන්න.. වසර 2001 අප්‍රේල් මාසේ 21 වෙනිදා මුලතිව් මුහුදේදී සතුරු වෙඩි වරුසා මැද අපෙන් වෙන්වී ගිය P 495 ඩෝරා යාත්‍රාව හා එහිදී මියගිය අභීත රණවිරු නැවියන් ගැන මතකය අලුත් කරමින් ගිය සතියේ ලියන්න පටන් ගත්ත ලිපිය මගදී හිතුනා ඒ විස්තරයත් එක්කම එකල යුද සමයෙහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය භාරය ගැනත් පොඩ්ඩක් ලියන්න.. විශේෂයෙන්ම ඩෝරා යාත්‍රා වල කාර්යභාරය ගැන.. මේ විස්තර ගැන උනන්දු බොහෝ දෙනෙක් ඉන්න නිසා මැයි මාසයේ ඇතුලත ලිපි දෙක තුනක් ඒ සම්භන්දව ලියන්න හිතුවා.. මුල් ලිපිය නොකියවපු කෙනෙකුට මෙතනින් බලා ගන්න පුළුවන්.. ගිය අවුරුද්දෙත් හරියටම මැයි මාසේ මේ වගේ විස්තරයක් ලියන්න අරන් කොටස් දෙකකින් නැවතුනා.. බලමු පුළුවන් උනොත් ඒකත් මේකටම කපල් කරන්න..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සියල්ල බලඝණ 8 කට වර්ග කර තිබුණි. පළමු බලඝණය IPC හෙවත් Inshore Patrol Craft (අභ්‍යන්තර වෙරළාරක්ෂක යාත්‍රා) ලෙසත් දෙවන බලඝණය CPC හෙවත් Coastal Patrol Craft (වෙරළබඩ ආරක්ෂක මුර යාත්‍රා) ලෙසත් නම් විය. මේ සිංහල නම් මට හරියටම ෂුවර් නැත. කට වහරේ මතක තිබු සැටියෙනි. මේ යාත්‍රා දෙවර්ගයම සාමාන්‍යයෙන් අධිකාරි නොලත් නිලධාරීන් හෙවත් ජේෂ්ට නැවියන් විසින් ස්ථාන භාර නිලධාරීන් (Officer-in- Charge) ලෙස පාලනය කල අතර වරාය ආරක්ෂාව භාර මාණ්ඩලික නිලධාරී (Staff Officer- Harbour Defence) ගේ අණ හා පාලනය යටතේ තිබු අතර යුදමය රාජකාරීන් වලට යෙදවීමේ හැකියාව අතින් බොහෝ පහල මට්ටමේ තිබුණි. Offensive (සතුරා හඹා ගොස් පහරදීම?) රාජකාරි සඳහා කිසිසේත් යොදා නොගත් අතර Defensive (ලඟට ආවොත් පහරදෙන?) role එකක් පමණක් පවරා තිබුණි. IPC 1 කාණ්ඩයට ඔබ අසා ඇති Waterjet, Javelin, Arrow, Wave rider, Fiberglass Dinghy (FGD) වැනි කුඩා යාත්‍රා ඇතුලත් වූ අතර  CPC 2 කාණ්ඩයට ඊට මදක් විශාල වූ Chevron, Dockyard වැනි නම් වලින් හැඳින්වූ යාත්‍රා ඇතුලත් විය. කාලයෙන් කාලයට මේවගේ පොඩි පොඩි වෙනස්කම් වූ නමුත් බහුතරය මෙසේ හැඳින්විය හැක.

  වොටර්ජෙට් වර්ගයේ යාත්‍රා.. 
සංදර්ශනයට වඩා සුදුසු ඇරෝ වර්ගයේ කුඩා යාත්‍රා.. 
වේව් රයිඩර් යාත්‍රාවකින් ගොස් කුඩා බෝට්ටුවක් පිරික්සන අවස්ථාවක්..
ඉදිරිපස බර අවියක් සවිකර waverider යාත්‍රාවක් යුද්දයට සුදුසු ලෙස සකස් කරගෙන තිබු අයුරු..
Chevron වර්ගයේ Coastal Patrol Craft -CPC එකක්.. මේවා කට වහරේ චැවටන් ලෙස හඳුන්වනු ලැබිය.
 
 Colombo Dockyard හි නිෂ්පාදනය කිරීම නිසා 'ඩොක්යාඩ්' යන නමින් හැඳින්වූ CPC එකක්..
මුලින් 'ඩෝරා' අතර තිබී පසුකාලීනව වේගය මද කම නිසා CPC ලෙස නම්කළ ප්‍රංශයේ නිෂ්පාදිත යාත්‍රාවක්.. 'ෆ්‍රෙන්ච් ඩෝරා' යන නමින් හැඳින්වින..
පසු කාලීනව SBS එක හා RABS යන විශේෂ ප්‍රහාරක කණ්ඩායම් දෙක කළපු හා ආසන්න මුහුදු තිරයේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් මෙම Waterjet හා Waverider බෝට්ටු Command craft ලෙස හා Javelin / Arrow යාත්‍රා ඒවායේ පරිවාර සේනා ලෙස යොදා ගනිමින් කුඩා කුඩා ප්‍රහාරක කණ්ඩායම් නිර්මාණය කර ගත් අතර යුද්ධයකදී ඉතාමත්ම වැදගත්ම අවශ්‍යතාවය වන අණ හා පාලනය (Command and Control) පවත්වා ගැනීමේ අපහසුතාවය/ නොහැකියාව මත මේ යුධ උපක්‍රම කොතෙක් දුරට සාර්ථක වුවාදැයි වෙනම සාකච්චා කල යුතුයි. කෙසේ වතුදු මේ කණ්ඩායම් සඳහා 'ඉහලින්' මනා අනුග්‍රහයක් හා ප්‍රචාරණයක් නම් ලැබුණි. මන්ද පිටත් සිට බලා සිටින්නෙකුට මෙය ඉතා ආකර්ෂණිය යුද උපක්‍රමයක් (සංදර්ශනයක්?) මෙන් දැකිය හැකි වීමයි..

3 වන බලගණය වුයේ මා පෙර විස්තරයේ සඳහන් කල Fast Gun Boat (FGB) හෙවත් ගන් බෝට් ස්කොඩ්‍රන් එකයි. ඒවා තනි තනි නැව් (Independant) ලෙස වෙන වෙනම අණදෙන නිලධාරියෙකු යටතේ පාලනය වන අතරම Operational Requirement එක නිසා සමුහයක් ලෙසද කටයතු කලේය. අදාළ නැව් සියල්ලේම අණදෙන නිලධාරීන් අතුරින් ජේෂ්ඨතමයා Senior Officer Present in Afloat (SOFA) ලෙස නැව් කණ්ඩායමේම ආරක්ෂක රාජකාරීන් සම්භන්දිකරණය කරයි. පෙර සඳහන් කලාක් මෙන් නාවික හමුදාවේ අඩුම සැලකිලි මැද තමන්ගේ පමණ ඉක්මවා රාජ කාරී කල එහෙත් කලාතුරකින්වත් හොඳක් අහන්නට නොලැබෙන කණ්ඩායමක් ලෙස මෙම නැව් කණ්ඩායම මගේ මතකයේ පවතී.
 උදාර හා ප්‍රතාප ලෙස නම් කල FGB කාණ්ඩයේ නැව් දෙකෙන් එකක්..
 රණරිසි නැව
 Anti Submarine Gun Ship එක වූ පරාක්‍රමභාහු නැව
FGB (ගන් බෝට්) එකක් වතුර යට කොටසේ රෙපෙයාර් එකකට ගොඩට ගන්නා යුරු හා නැවත මුහුදට එක්කරන අවස්ථාවක්..
අධිකාරියට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා යන ගෞරව ආමන්ත්‍රණය සහිතව නමක් මේ නැවකට හිමිවේ. අතීතයේ පටන් මේ නැව් සඳහා නම් ලබා දීම විවිධ නායකයින්ගේ නම් සමඟ සසඳා සිදු කර ඇත. නාවික හමුදාවට 1973දී  පමණ එක්වූ නැව් 5ක් SWRDB අකුරු පහ මුල් කරගෙන සූරයා, වීරයා, රක්ෂක, දක්ෂයා, බලවතා ලෙස නම් තැබීය. JR ගේ කාලයේ එක්වූ නැව් දෙකක් 'ජය'සාගර හා සාගර'වර්ධන' ලෙස හා තවත් ගන් බෝට් දෙකක් ජගතා හා රණකාමි ලෙස නම් විය. ඉන්පසුව එක්වූ නැව් බොහොමයක් 'රණ' යනුවෙන් පටන් ගැනිණි. රණධිර, රණවික්‍රම, රණජය, රණරිසි, රණසුරු, රණගජ, රණවිජය එවන් නැව් වේ.. චන්ද්‍රිකා ගේ සමයත් සමඟ මේ ප්‍රවනතාවය වෙනස් විය. එසමයෙහි ගෙන්වූ Landing Ship Tanker (LST) වර්ගයේ නැව සහ Anti-submarine war ship එකක් ලෙස ගෙන්වූ FGB එක යශෝධා හා විමුක්ති ලෙස නම් තැබීමට ගත උත්සහයක් ඇය විසින් ව්‍යර්ථ කොට පසුව ශක්ති සහ පරාක්‍රමභාහු ලෙස පිලිවෙලින් නම් තැබූ බව සඳහන් වේ. උදාර, ප්‍රතාප ලෙස ගන් බෝට් දෙකක්ද සයුර, සමුදුර, සාගර ලෙස Off shore Patrol Vessels (OPV) තුනක් හා මිසයිල් පද්දතියක් සහිතව යැයි කියූ සුරනිමල, නන්දිමිත්‍ර ආදී Fast Missile Vessels (FMV) වර්ගයේ නැව් දෙකඩ ඉන් අනතුරුව නාවික හමුදාවට එකතු විය.

අප මුලින් කතා කරගෙන ආ අයුරෙන්, 4 වන නාවික බලගණය වුයේ 4th Fast Attack craft Flotilla (4FAF) ලෙස නම් ලද නාවික හමුදාවේ ප්‍රභලම ප්‍රහාරක ඒකකය වූ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනය හෙවත් ඔබ අප සැවොම දන්නා 'ඩෝරා' බලඝනයයි. තිස් වසරක යුද්ධයේ වෙසෙසින්ම අවසාන දශක දෙක තුල නාවික හමුදාවේ බල පරාක්‍රමය මුහුදු සිමාව තුල ආරක්ෂා කිරීමට තම ලෙයින් දහදියෙන් හා කඳුලෙන් අසීමිත කැපකිරීම් කර අභීත වීර නවිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වූ ඩෝරා ස්කොඩ්‍රන් එක, එක අණදෙන නිලධාරී වරයෙක් යටතේ හා ඒ ඒ යාත්‍රා සඳහා වෙන වෙනම අණභාර නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වූ යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් සහිතව සැදුම් ලත්තේය.
 ඩෝරා යන වචනය එක් වීමට මුල්වූ ඊශ්‍රායලයේ නිෂ්පාදිත Super Dvora වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක් (Fast Attack Craft- FAC) 
 ඊශ්‍රායලයේම නිෂ්පාදිත Shaldag වර්ගයේ FAC එකක්..  
 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Ultra Fast Attack Craft (UFAC) එකක්.. P 495 යාත්‍රාව මේ වර්ගයේ එකක් විය.
ඇමෙරිකාවේ Trinity Marine සමුහය මගින් නිෂ්පාදිත FAC එකක්.. 
Killer වර්ගයේ කොරියන් FAC එකක්..
5 වන බලගණය ලෙස Auxiliary Ships හෙවත් යුධ කටයුතු සඳහා විවිද සහය ලබා දෙන නැව්, තෙල් වතුර ආහාර ගබඩා කරගෙන ගොස් බෙදා හැරීම හා ප්‍රධාන වශයෙන් භටයින් ප්‍රවාහනය කිරීමට උදව් වන නැව් කණ්ඩායම හැඳින්වින. ජෙට්ලයිනර් නැව කුලියට ගත එකක් නමුදු අයත් වුයේ මෙම බලඝනයටයි. ඊට අමතරව හංසයා, ලිහිණියා, A 541, A 542 වැනි පුද්ගලයින් ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රාද, A 520, A521 වැනි භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත යාත්‍රාද ඒ අතර විය. තවත් එක් විශේෂ යාත්‍රාවක් වුයේ Hovercraft යනුවෙන් හැදින්වුණු ගොඩබිම හා මුහුදේ දෙකේම යාත්‍රා කල හැකි වූ වායුපා යානයයි. නිරන්තර නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්යවූ බැවින් මේ යාත්‍රාවෙන් නම් ගත නිසි ප්රෝයෝජනයක් නොවිය..
 
 Hovercraft එක මුහුදේදී හා ගොඩබිම අසලදී..


 P 541 හා P 542 මගී ප්‍රවාහන යාත්‍රා.. මේ යාත්‍රා දෙකෙන් එකක් 2000 වසරේදී ත්‍රිකුණාමලය වරායට එල්ල වූ කළු කොටි ප්‍රහාරයෙන් අබලන් තත්වයට පත් වූ අතර ඉතිරි නැව දැනට තල්මසුන් බැලීමට සංචාරකයින් ගෙන යන ව්‍යාපාරයට යොදවා ඇත. 
6 වන බලඝනය OPV විය. මුල් කාලයේ අභීත, එඩිතර, වික්‍රම සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල OPV තුනක් නාවික හමුදාව සතු වූවත් 90 දශකයේ මැද භාගය වනවිට ඒ අතරින් එඩිතර නැව ත්‍රස්ත ප්‍රහාරයකට නතුව කන්කසන්තුරය වරාය තුල ගිලී ගොස් තිබු අතර අභීත හා වික්‍රම නැවු දෙක තවදුරටත් භාවිතයට ගත නොහි පරණ යකඩ සඳහා විකිණීමට ඉවත් කර (Decommission) තිබුණි.  ඒ වනවිට තිබු ජය සාගර හා සාගරවර්ධන නැව් දෙකෙන් සාගරවර්ධන නැවද LTTE ප්‍රහාරයකින් තලෙයිමන්නාරමට ඔබ්බෙන් මුහුදේ දියබත් වී ගිය අතර එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කල එවකට කමාන්ඩර් අජිත් බෝයගොඩ හා තවත් පිරිසක් බොහෝ කාලයක් තිස්සේ සතුරු ඇත අඩංගුවේ පසුවී යුද්දය අවසන් වීමට ටික කලකට පෙර නිදහස් වී පැමිණියහ.
ජයසාගර නැව
වසර 2000 වනවිටත් ලංකාවට OPV එකක් කියා තිබුනේ ජයසාගර නව පමණි. පහුගිය පොස්ට් එකේදී බොහෝ දෙනෙකු සී සික්නස් ගැන ලියන්න කී විට මට එක වරම මතක් වුයේ ජයසාගර නැවයි. මෙහි නැව් බඳේ හැඩය (Hull shape) එක නිසා ඉතා කුඩා මුහුදු චලනයකට පවා විශාල වශයෙන් නැව පැද්දේ.. අපි එකල මේ නැව් බඳ නෑඹිලියකට නැත්නම් පොල් ලෙල්ලකට සමාන කළෙමු. එය එතරම් වතුර මත කැරකේ. සාමාන්‍යයෙන් සී සික් නැති බොහෝ දෙනෙකු ජයසාගරේදී හරහා වැටෙයි. මුහුදට නොයන්නේ නම් ජයසාගර නැව මල් සාගරයකි. ඊට ප්‍රධානම හේතුව එය බොහෝ විට ගාල්ල හෝ කොළඹ වරායට අනුයුක්තව තිබීමයි. පසුකාලීනව වඩා ප්‍රමාණයෙන් හා පහසුකම් වලින් වැඩි සයුර, සාගර, සමුදුර වැනි OPV එකතු වුවද තවමත් ජයසාගර නැවද බැරි බැරි ගාතේ හෝ නාවික හමුදාවට තම සේවය සපයයි.
 සමුදුර OPV එක
 සයුර නැව
මුල් කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවූ ප්‍රමාණයෙන් විශාල OPV එකක්.. 
7 වන බලඝනය FMV (ෆාස්ට් මිසයිල් වෙසල්ස්) වෙනුවෙන් වෙන්කර තිබුණි. ඔය කියුවට ලංකාවේ නේවි එක කිසිම කිසි දිනෙක මේ නැව් වල මිසයිල් භාවිතා කර නැත. මේ නැව් හා එහි තිබු මිසයිල් පිළිබඳව මා ගැඹුරින් හදාරා නැති මුත් පොදුවේ මිසයිල් සම්භන්දව හදාරා ඇති බැවින් ඒ පිලිබඳ යම් අදහසක් පමණක් මා සතුව වේ. මේ නැව් වල තිබුනේ ගේබ්‍රියල් නමින් හැඳින්වූ SSM (surface to surface missile) විශේෂයකි. මේවා රේඩාර් මගින් පාලනය කල යුතුයි. එනම් මේවා භාවිතා කල හැක්කේ රේඩාර් භාවිතා කල හැකි සිමාවේ පමණි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මුහුදු සිමාවේ ඇතුලත පමණි. නේවි එක භාවිතා කරන Marine Radars වලින් ගොඩබිම නිරීක්ෂණය කල නොහැක. එසේනම් මේ මිසයිල භාවිතා කල හැක්කේ සතුරු නැව් ඉලක්ක කර පමණි. අපේ සතුරන් වූ LTTE එකට මිසයිල ගසා විනාස කිරීමට තරම් නැව් (මුල් කාලයේ හඳුනා ගෙන) තිබුනේ නැත. කලක් යනවිට මේ මිසයිල අලුත් වැඩියා කල යුතු වේ.. මිසයිලයක වටිනාම කොටස වන warhead එක ඉතා ඉහල මිළක් වේ. මේ පිළිබඳව නිපුණ නිලධාරීන් එහි සිටිය යුතුවේ. නැව මුලින් ගේන අවස්ථාවේ එහි සිටි නිලධාරීන් ඒ පිළිබඳව පුහුණුවක් ලැබූ මුත් කාලයක් සමඟ ඔවුන් වෙනත් නැව් වලට මාරුවී යාම නිසා අවසානයේ මේ මිසයිල ඒ නැව් වලටම මර උගුලක් විය. කවුදෝ කියුවේ 'මේවා පත්තු කලොත් නැට්ට කඩපු අහස් කූර වගේ කොහේ ගිහින් නතර වෙයිද නොදන්නා' බවයි. මා දන්නා තරමින් පසු කලෙක මේවා පරිස්සමෙන් ගලවා ආරක්‍ෂිත ස්ථානයක තබා නැව් පමණක් OPV ලෙස භාවිතයට ගත්තේය.
නන්දිමිත්‍ර FMV එක
නාවික මෙහෙයුම් වලට නිහඬව බොහෝ මෙහෙයක් කල, අපේ වචනයෙන් කියනවනම් බර ඇද්ද Landing Craft (එකවර ගොඩබිමට Land කරන්න පුළුවන් විදියට හදපු නැව්) 8 වෙනි බලගණයට අයත් විය. මේ අතරින් Landing Ship Tanker (LST) එකක් වූ ශ්‍රී.ල.නා.නෞ. ශක්ති නැව විශේෂ වේ. උතුරට අවශ්‍ය ආහාර, යුධෝපකරණ හා භට පිරිස් පටවාගෙන ත්‍රිකුණාමලය හා කන්කසන්තුරය අතර මේ නැව කී වරක් ගමන් කොට ඇත්දැයි කිව නොහැක. එසේම ප්‍රමාණය හා හැඩය නිසා මේ නැව රළු මුහුදු තත්වයන්ට සාපේක්ෂව හොඳින් නුහුණ දුන් අතර එනිසාම ඒ සමඟ එහි ආරක්ෂාවට ගමන් කරනා ගන් බෝට් හා ඩෝරා යාත්‍රා වලට 'අමු වහක්' වීමද නොකියාම බැරිය. තව දුරටත් Landing Craft Mechanized (LCM) වර්ගයේ රණගජ, රණවිජය හා පබ්බත ආදී නැව්ද ඊට ප්‍රමාණයෙන් කුඩා වූ Landing Craft Utility (LCU) නම් වූ තවත් කුඩා යාත්‍රා දෙකක්ද නාවික හමුදාව සතු විය..
  

 ලංකාවේ නිෂ්පාදිත රණගජ හා රණවිජය LCM මුහුදේදී හා ගොඩබිමට land කර ඇති අවස්ථාවක්
 ශක්ති නැව
ශක්ති නැව වැනි LST එකක් ගොඩබිමට Land කර වාහන  හා troops ගොඩ බාන අවස්ථාවක්
කුඩා ප්‍රමාණයේ LCU එකක්..
ඉහත සඳහන් සියලු චායාරූප අන්තර්ජාලය ඇසුරිණි
හඃ.. මම හරිම කම්මැලි වැඩක් මේ කරේ.. විස්තර ලියන එක.. ඒත් ඉතින් අසන්නන්න්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නත් එපැයි.. ඊළඟ එකෙන් වත් බලමු P 495 අහිමි වූ මෙහෙයුම හා තවත් එවැනි ඩෝරා මෙහෙයුම් කිහිපයක් හා එකල අපේ ඩෝරා ජිවිතේ ගැන ටිකක් ලියන්න.. මැයි මාසේ ඉක්මනට ඉවර නොවුනොත් ඒ විස්තරත් ලියනවා..