Sunday 26 February 2023

Check Point..! 5 වෙනි දිගහැරුම

4 වෙනි දිග හැරුමට..


මේ අතර සිකුරාදා දහවලෙහි වන්නි අඥාපතිවරයාගේ හදිසි කැඳවීමකින් පූනෑවේ සිට වවුනියාවේ ඒකාබද්ධ වන්නි ආරක්ශක සේනා මූලස්ථානයට ගිය නාවික හමුදාවේ උතුරුමැද නාවික ආඥාපතිවරයා එහි සිට නාවික හමුදා මූලස්ථානය සමඟ දිගු දුරකථන සංවාදයකි. අනෙක් පසින් නාවික හමුදා මූලස්ථනයේ නාවික පුද්ගල හා පුහුණු අධ්‍යක්ශක කාර්‍යාලයේ මාණ්ඩලික නිළධාරියෙක් සම්බන්ද වී සිටී..

"හෙලෝ.. මචං.. මම වන්නි Joint Operation Commanderගේ ඔෆිස් එකේ ඉන්නේ.. මම ඔයාගේ ඩිරෙක්ටර්ටත් කෝල් කරා.. මේ සීස් කරලා තියෙන ලොරියේ ඩ්‍රයිවර්ගේ ඩීටේල් වලින් හොයාගෙන ගියාම තමයි ගෙදරින් කියලා තියෙන්නේ මිනිහ MSR withdrawal එකේදි මිසින් වෙලා දැන් අවුරුදු 7ක් කියල. නේවි එකෙන් තවම පේ එකත් යනවලු අම්මලාට.. පදවි ශ්‍රීපුර ගම.. ලීඩින් පැට්‍රොල්මන් කෙනෙක් වෙන්නෝනි ගෙදරින් කියපු විස්තර හැටියට. XP 22 ගාණක් වගේ ඔෆීශියල් නම්බර් එක.. මේ ෆැක්ස් එකේ නම්බර් එක පැහැදිලි මදි.."

"...."

"ආ.. ඒ කියන්නේ හරි නේ.. RMAS රත්නායක.. අනුර සමන්ත රත්නායක නේ? Leading Patrolman.. කවදා ඉඳලද? අනූනවයේ දෙසැම්බර් 4 ඉඳලා.. Roger.. Copied. Thanks machan, I'll call you back if there is any further information is required"

"...."

"Good day buddy" නිළ දුරකථන ඇමතුමක් වුවද ඔවුන් දෙදෙනාගෙ සුහද කතා විලාශය යුධ හමුදා ජේෂ්ඨ නිළදාරියාගේ සිත් ගත්තේය. යුධ හමුදා කණිෂ්ඨ හා ජේෂ්ඨ නිළධාරීන්ට වඩා නාවික හා ගුවන් හමුදාවල නිළධාරීන් අතර දැන හැඳුනුම් කම් මෙන්ම සුහදතාවයද සාමාන්‍යයෙන් වැඩිය. ඒ ප්‍රමාණාත්මනකව ඔවුන් සුළු පිරිසක් වන හෙයින් විය හැක.

"හරි නේ සර් ඉන්ෆොමේශන් එක.. As per records at Navy headquarters; bugger is missing from December ninety nine. Still in the MIA list. "

"Oh.. fuck...! මොනවද මචං මේ වෙන්නේ? Now you tell me how to tell this to the top?" විශ්මයාර්තය මෙන්ම සෝපාහාසයද මුසු සිනහාවකින් නාවික නිළධාරියා දෙස බලා සිටි යුධ හමුදා නිළදාරියා ' ඔයත් ඉන්න. මම කමාන්ඩර්ට කතා කරලා ඉන්නම්' කියා තොරතුර දැනුම්දීම පිණිස යුධ හමුදාපතිවරයාව සම්බන්ද කර ගත්තේය. දීර්ඝ විස්තරයකින් අනතුරුව නැවත නාවික අඥාපතිවරයා දෙස හැරුණු නිළධාරියා..

"මචං, සර් කියන්නේ මේක ප්ලොට් එකක් වෙන්න පුලුවන් කියලා.. එනිවේ දැන් ඉන්ට් එකෙන් කන්ෆර්ම් කරලා තියෙනවා මේ මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් අයිටම් තිබ්බ ට්‍රක් එක ටෙරා ල සීස් කරලා මුලතිව් වලට ගෙනියල තියෙනව කියල. එතකොට මේ ඩ්‍රයිවර්ගේ සීන් එකත් එක්ක පැහැදිලියි මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියනෙක. ඩ්‍රයිවර් කෙනෙක් විදියට කාඩර් එකෙක් යැව්ව කියමුකෝ සප්ලයර් ළඟට. ඒත් කොහොමද මිනිහට හරියටම තමන්ට අවශ්‍ය කරන ට්‍රක් එකම ලැබෙන්නේ?"

"You mean some involvement from the supplier?"

"Got to suspect everyone neh? මේවා සප්ලයි කරන්නෙත් ඔස්ටින් පෙරේරලා නේද?"

"මම හිතන්නේ උන් දැන් ඩිවිශන් කඩලා තියෙනවා.. දැන් මාළු සම්පූර්ණයෙන්ම වගේ කරන්නේ අරුන් සෙට්ටෙකනේ.. සංජුලා.. ට්‍රින්කො වලින්.. මේ ට්‍රක් එක ඇවිත් තියෙන්නෙත් වත්තල ඒ වගේ සබ් එකකින් නේද? රෝහිත පෙරේරා මිනිස්ටර් උනායින් පස්සේ හැංගිලා නේ ගේම් එක ගහන්නේ.."

"හෙහ් හෙහ්.. Now you know where the problem is.. Anyway, You can brief this to Navy Commander too now. What my boss suggested is not to disclose any of these to unwanted. අර කොල්ලගෙ pay එක නවත්තන්නවත් පවුලේ උන්ව ඉන්ක්වයර් කරන්න යන්නවත් එපා දැන්ම. බලමු උඩින් මොකක්ද කියන්නේ කියල.."

"Definitely sir,  We'll have a separate inquiry on that from our end. I'll come back to you after discussing this with my commander."

"Thanks machan"

"Thanks sir, good day"

*********************************************

සිකුරාදා උදය වරුවේ තම හිත මිතුරු ත්‍රීකුණාමල දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය සේවා බාර නිළධාරියාගේ ඉල්ලීම මත ඔහු සමඟ සපුගස්කන්ද හා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණ වෙත ගිය අරුල් දේවනායගම් ඉරිදා දිනයේදි ත්‍රිකුණාමලයේ ගැටුම් සහිත ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටින අත්‍යාවශ්‍ය ඩීසල් හා පෙට්‍රොල් තොග පිළිබඳ ලියකියවිලි කටයුතු වලට ඔහුට සහයෝගය දැක්වීය. මාස හයකට පමණ පෙර තෙල් ගබඩා සංකීර්ණ වෙත එල්ලවූ ත්‍රස්ත ගුවන් ප්‍රහාර හේතුවෙන් ඒ වනවිටත් සපුගස්කන්ද හා මාකොළ අවටත්, කොළොන්නාව ගබඩා සංකීර්ණයේත් ආරක්ශාව ඉතා දැඩිකොට තිබුණි. මේ හේතුවෙන් දේවාගේ දැනහැඳුනුම් කම් හා ඔහුගේ සිංහල භාෂා කථන හැකියාව හැකි සෑම විටම ප්‍රයෝජනයට ගැනීමට මිතුරු ද්‍රවිඩ රජයේ නිළධාරින් නිතරම පාහේ ක්‍රියාකළහ.

මිතුරාගේ ඉල්ලීම් වලට සිනහාමුසුව උපකාර කල දේවා ඒ සියල්ල සහ සම්භන්ද කර දීමෙන් අනතුරුව සිය කැබ් රථයේ ප්‍රදර්ශණය කරමින් තිබූ 'අත්‍යාවශ්‍ය සේවා' පුවරව ඉවත් කර සැහැල්ලුවෙන් මොරටුව කටුබැද්ද දෙසට ධාවනය කරන්නට යෙදුනේ දවසේ යොදාගෙන තිබූ ප්‍රධානතම කටයුත්ත වූ සිය මස්සිනා ඇතුලු යාපනයෙන් මොරටුව සරසවියට තේරී පත්වූ ඉන්ජිනේරු සිසුන් සිව් දෙනාට සුදුසු නවාතැනක් සොයා දීමේ අදහසිනි. පත්තර වල තිබූ දැන්වීම් හා ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ලැබුණු තොරතුරු මත නිවාස කිහිපයක්ම පරීක්ශා කලද සිය සිත්ගත් තැනක් ඒ අතර නොවීය. ඇත්තෙන්ම සමහර නිවැසියන් යාපනයේ දමිල සිසුන් සඳහා බව පැවසූ සැනින් නවාතැන් ලබාදීම කාරුණිකව ප්‍රතික්ශේප කළෝය. 

නුරුස්නා හැගීමෙන් පැය කිහිපයක් කටුබැද්ද අවට සැරි සැරූ ඔහු අවසානයේ කොළඹ අවට පදිංචි සිය ද්‍රවිඩ මිතුරෙකුගේ සහය පැතීය. 

"උඹට ඔෆර් කරන්න පුලුවන්නම් වැල්ලවත්තෙන් අපාර්ට්මන්ට් එකක් බලපං බං. වටේම ඉන්නේ අපේ උන්. කන බොන කෑම ටික පවා කොල්ලොන්ට පත්තියං වෙයි. ආරක්ෂාවත් හොඳයි. මම කන්ටැක්ස් දෙක තුනක් එවන්නං. කතා කරලා ගිහිං බලපං. ඔය උදේට හවසට පොඩ්ඩක් බස්සෙකේ යන එන එක මොකක්ද කොල්ලන්ට? උන්ටත් හොඳයි රටතොට දකින්නත් එක්ක" සත්‍යවශයෙන්ම තමාට එය එතෙක් මතකයට නොපැමිණීම ගැන දේවාටම පුදුමය. මුව පුරා මිතුරාට ස්තූති කල දේවා ඔහු දුන් හෝඩුවාවක් ඔස්සේ වැල්ලවත්තට ගොස් පරීක්ශා කල පළමු ගෙවල් තුනම ඔහුගේ හිත් ගත් නමුත් සදාරණ මිල, නිස්කලංක බාවය හා නිහතමානී අයිතිකරු හා කතාවෙන් පසු රාමක්‍රිශ්ණ පාරේ මහල් නිවාස සංකීර්ණයක බිම් මහලේ පිහිටි ඇටැච්ඩ් බාත් රූම් එකක් සහිත ලොකු කාමරයක් තවත් කොමන් බාතෘම් එකක් සමඟ කාමර දෙකක්, කුඩා පැන්ට්‍රියක් හා සාලය වැනි කොටසක් සහිත එම නිවස කුලියට ලබා ගැනීමට එකඟව අත්තිකාරමක්ද ලබාදී කොළබ පැමිණි විට තමන් නවාතැන් ගන්නා අත්‍යාවශ්‍ය සේවා ජනරාල් කාර්‍යාලයට අයත් නවාතැන් පොළ බලා පැමිණියේ සාර්ථක දවසක නිමාව සනිටුහන් කරමිනි. 

***********************************************

දවසේ අවසන් ටර්න් එකට බස් රථය කොට්ටාවෙන් පිටත් වූ සැණින් මහේෂ් සමීරට කියා බස් රථයේ දුරකථනයෙන් අයිතිකරුගේ නිවසට ඇමතුමක් ලබාගත්තේය. 

"මහත්තය මට හෙටයි අනිද්දයි පොඩි නිවාඩුවක් ඕනී" එසැණින් බස් රථ හිමියා ඔහුගේ ඇඟට කඩා පැන්නේය.

"උඹ ඊයෙයි පෙරේදයිත් නිවාඩු නේද? මහේෂ් ඇත්ත කියපං. උඹට රස්සාව කරා ඇතිද? බස් එකෙන් බහින්න ඕනි නම් ඒක කියල මං එකෙක් හොයාගන්නකං ඉඳල මහත්තයෙක් වගේ බැහැපං. උඹට මම කියලානේ රස්සාව දුන්නේ.. මට තව වැඩ තියෙනවා. මට බෑ උඹේ කුණු අදින්න කියන කියන වෙලාවට"

"එහෙම එකක් නෑ.. අම්මට සනීප නෑ. පොඩි උන් තුන්දෙනාව බලන්න එකෙක් නෑ. මහත්තය දන්නවනේ. හෙට රෑ වෙන්න කලින් මම උන් ගාව ඉන්නෝනි. මහත්තයට බැරිනං හෙට ඉඳලම එකෙක් හොයාගන්න බස් එකට.. මම බහින්නං"

"උඹලගේ ඔය ඝනකම රස්සාවල් ඉල්ලගෙන එද්දි නෑනේ බං. හෙට මම ඩ්‍රයිවර්ලා මවන්නයැ. මට හෙට උදේ ලොකු වැඩක් තියෙනව.. උදේ ටර්න් එක ඇවිත් යන ගමන් මහරගමදි මට බස්සෙක දීල උඹ යන දේවාලෙක පලයන්." ඔහු තම අවසාන තීරණය එසේ ප්‍රකාශ කරද්දි කිසිත් නොකී මහේෂ් ෆෝන් එක කට් කර සමීර අතට දුන්නේය. 

"ඇයි මහේෂයියා.. මොකක්ද අවුල.. උඹ හෙටත් නිවාඩුද?"  කිසිවක් හරි හැටි නොතේරුණු සමීර මහේෂ් ව විමසා සිටියේය. එයට 'ඔව්' යනුවෙන් හැඟවෙන පරිදි ඔළුව පමණක් වනා ඉදිරිය බලාගෙන ලොකු කල්පනාවකින් වාහනය පදවන මහේෂ් දෙස බලාසිටි සමීරට වැටහුණු එකම දෙය වූයේ ළඟදීම මහේෂ් මොකක් කෝ 'ලොකු පිම්මක්' පනින්න යනවා කියා පමණකි.

'දරුවන් බලන්න යනවා'යි එවලේ කටට ආවාට කියුවාට මහේෂ් හිටියේ ඒ ගැන ඇත්තටම වද වෙමිනි. මුසාවකින් හෝ සිය දරුවන් මේ දේට ඈඳා ගැනීමට ඔහුගේ හිත් නොදේ.. ඔහු සිය දියණියන් දෙදෙනාටත් පුතාටත් බොහෝසෙයින් ඇලුම් කරයි. දරුවන්ද ඔහුට බොහෝ ලෙන්ගතු වෙති. විශේෂයෙන් බාල දියණියට සිය මව පිළිබඳ එතරම් මතකයක් නැත. මහේෂ් ගේ බිරිඳ ඔහු හැරදා ඇගේ මව වෙසෙන සයිප්‍රසයට පලායනවිට ඇගේ වයස යන්තම් වසර එක හමාරකි. මහේෂ්ගේ බිරිඳගේ මව හෙවත් ඔහුගේම පුංචි අම්මා සෑහෙන කාලයක සිට සයිප්‍රසයේ සේවය කරයි. 'ඈ එහෙන් පවුල් වෙලා'යි ගමේ බොහෝ දෙනා පැවසුවද ඈ වසර දෙකකට පමණ සැරයක් ලංකාවට විත් මාසයක් හමාරක් ගතකොට යයි. වැඩිමල් දියණිය ඉපදුන පසුව තෙල්දෙණියේ මුදලාලිගේ පවුලද සමඟ මහේෂ්ලා මුලින්ම නැවත ගෙදර පැමිණි දිනයේද ඈ එසේ නිවසට පැමිණ සිටියාය. ඇගේ මැදිහත්වීම මත එදා මහේෂ්ලාට නැවත පවුල හා ඉක්මණින් සම්භන්ද වීමටද හැකියාව ලැබුණි.

මහේෂ් මුදලාලිගේ බසයේ වැඩකල ඉදිරි වසර හතරක පමණ කාලයේදි ඔවුන්ට තවත් පුතෙකු හා දියණියක ලැබුණි. බාල දියණිය ඉපදීමෙන් අනතුරුව මහේෂ්ගේ බිරිඳ යම් පසුප්‍රසව මානසික ආතතියකට ගොදුරු වූවාය. කීපවරක් හසලකින් මහියංගණයෙන් මෙන්ම බදුල්ල මහ රෝහලෙන්ද ප්‍රථිකාර ගත් නමුත් ඇගේ නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහ වූ බවක් දක්නට නොලැබිණි. මහේෂ් හා නිතර අඩදබර කිරීම වැඩිමල් දියණියට නිතර බැණ වැදීම, ළමයින්ගේ කටයුතු පමණක් නොව ඇතැම් විට ඉවුම් පිහුම් කටයුතු පවා අතපසු කිරීම් නිතර දක්නට ලැබිණි. මේ අතර ඇගේ මව ලංකාවට ආවාය. ඈ සිටි මාස එකහමාරේ නිවසේ තත්ත්වය බොහෝසෙයින් සාමකාමී වූ අතර මව හා දුව සහයෝගයෙන් කටයුතු කරගෙන යනු දක්නට හැකිවිය. නිවාඩුවෙන් පසු මව නැවත සයිප්‍රසය බලා ගමන් කිරීමෙන් පසුව වුවත් මහේෂ්ගේ බිරිඳ සෑහෙන හොඳින් නිවසේ කටයුතු කරගෙන යෑම මහේෂ්ට ඉමහත් සැනසිල්ලක්ම වූයේය.

නමුත් රහසේ යමක් සිදුවෙමින් පැවතී තිබිණි. බදුල්ලේ ක්ලිනික් එකට යනවා කියා එක් දිනක් ගෙදරින් පිටව ගිය ඇය යළි නිවසට නොආවාය. පසුව දැනගත් පරිදි ඈ ඇගේ මව සමඟ රහසිගතව කතිකා කොටගෙන මහේෂ් හා දරු තිදෙන අතහැර මව වෙසෙන සයිප්‍රසයට පලාගොස් තිබිණි. මහේෂ් දරුවන් තිදෙනා සමඟ නිවසේ තනිවිය. කොතරම් ආඩපාලි කීවත් අවසානයේ දරුවන්ගේත් මහේෂ් ගේත් පිහිටට ආවේ ඔහුගේ මවයි. මිත්තණිය හා දරුවන් අතර සම්භන්දය වර්ධනය වෙන තෙක් මහේෂ් නිවසේ නතරවිය. හඳුන්ගොමුව බස් රථයේ රියදුරුකම හමුදාවේ සිට විශ්‍රාම ගොස් සිටි ඔහුගේම මාමාට පවරන ලදී. ටික දිනකින් නිවසේ අගහිඟකම් දැඩිවූ බැවින් මිතුරෙකුගේ මාර්ගයෙන් හෝමාගම පිටකොටුව බස් රථයකට සම්භන්ද වීමට ඔහු කොළඹ ආයේය. දරුවන්ගේ විය හියදම් වෙනුවෙන් සති දෙකකට වතාවක් ඔහු ඔහුගේ වියදමට ගන්නා මුදලක් හැර ඉතුරු මුදල් සියල්ල මවට යවයි.

බස් රථ රස්සාවෙන් කොතරම් හම්බ කරත් ඉතිරියක් නැත. මහේෂ් අවසන් වතාවට ගමට ගියේ මින් මාස එක හමාරකට පමණ පෙර සිය වැඩිමල් දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්ස්වයටයි. පඩියට අමතරව බස් රථ හිමියාගෙන් ලැබුණු රුපියල් තුන් දහසක මුදලින් සහ සමීරගෙන් එපා කියද්දි ලැබුණු රුපියල් දෙදහසක මුදලෙනුත් පුංචියට උත්සවයක් ගෙන එහි කටයුතු නිමා කරගැනීමට හැකිවිය. මාමාගෙන් ආරංචිය ලැබී අනාරාධිතවම පැමිණි තෙල්දෙණියේ මුදලාලි හාමිනේ දියණියට පුංචි ලස්සන කරාඹු ජෝඩුවක් තෑගි කලාය. එතෙක් ඈ පැළඳ සිටියේ සිය මිත්තණියගේ දෙකණේ තිබු පරණ මෝස්තරයේ ලොකු අරුංගල් දෙකයි.

ඇගේ මැදිහත්වීමෙන් එකතු කල මහේෂ්ගේ සුන්දර පවුලට වූ විනාශය පිළිබඳව තෙල්දෙණියේ හාමිනේ බොහෝ පසුතැවිල්ලෙන් උන්නාය. ඈ මහේෂ් ළඟට කැඳවා ළමයින් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම පිළිබඳව බොහෝ වේලාවක් උපදෙස් දුන්නාය. කන්න බොන්න දෙනවා පාසැල් යවනවා යන්න හැර ඒවාගේ දේ ගැන මෙතක් මහේෂ්ටවත් කිසිවක් කල්පනා වූයේ නැත. සල්ලි කීයක් හෝ ඉතිරිකර වැඩිමල් දියණියගේ කරට මාලයක් සාදා දැමිය යුතුය, මාස් පතා දරුවන් වෙනුවෙන් යමක් ඉතුරු කල යුතුය වැනි අදහස් මහේෂ්ගේ ඔලුවට දැමුයේ ඇයයි. ඒ විතරක් නොව ඈ යන්නට පෙර මහේෂ්ට හොඳ තැනකින් තව කසාදයක් පවා කතාකිරීමට තමා අදිටන් කරගෙන සිටිනා බව ඔහුගේ මවට පැවසුවාය.

මහේෂ් තලඑළෙළුය.. කොළඹ කාස්ටක අවුවේ රත්වෙන බස් රථයේ දවස මුළුල්ලේම ගත කරන හෙයින් ඔහු දැන් තවත් කළු වී ඇතැයි සිතේ. කුඩා කල සිටන් වත්තේ කුඹුරේ වැඩ කිරීමෙන්, ඇලේ දොලේ කොල්ලන් සමඟ තරඟයට පිහිනීමෙන් මෙන්ම කරදඬු උස් මහත් වූ දා පටන් වාහන ස්ටියරින් වීල් හා ඔට්ටු වීමෙන් ඔහුගේ සිරුරේ ප්‍රමාණයට සාපෙක්ශව උඩුකය හොඳින් වැඩී තිබේ. පළල් උරහිස් සමඟ අත්වල හා බෙල්ලේ මාංශපේශී හොඳින් වැඩී තිබීම හැර මහේෂ් ප්‍රාංශු දේහදාරියෙකුයැයි කිවහැකි පුද්ගලයෙක් නොවේ. රිය පදවනවිට ඔහුගේ අපිළිවෙලට වැවුණු රැවුල් ගස් මැදින් පේන කළු මුහුණේ හා විශේෂයෙන්ම ඇස් දෙකේ අමුතු කාන්තියක් ඇත. අනෙක් වේලාවට මුහුණ හැඟීම් විරහිත බවක් පෙන්වයි. හෝමාගම බසයේ වැඩ කරද්දී මෙන්ම කොට්ටාව බසයේ වැඩ කරද්දීද සමහර මගී කාන්තාවන්ගේ ඇල්මට බැල්මට මහේෂ් ලක්වූ අවස්ථා නැත්තේ නොවේ.. පෙර දිනයේ සමීර මතක් කල සුදු මහත කාන්තාව ඉන් එක් අයෙකි. ඈ ගැන සමීරගේ හැඳින්වීම මතක් වී මහෙෂ්ට සිනහවක් පහළ විය. එහෙත් සිනහවකින් බැල්මකින් එහාට කිසිදු කාන්තාවකට මහේෂ්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. ඇත්තටම ඔහු බිරිඳගේ අත්දැකීමෙන් පසු කාන්තාවන් කෙරෙහි යම් බයකින් පසුවෙන්නා සේ පෙනේ.

"මල්ලි.." මහේෂ් ලෙහෙසියෙන් සමීරට මල්ලි කියා අමතන්නේ නැති බැවින් සමීර විශේෂයෙන් හිස ඔසවා ඔහු දෙස බැළුවේය. 

"ටවුන් හෝල් බහින්න.. ටවුන් හෝල්.. සලාකා.. ඇස්වාට්ටුව.. ඉබ්බන්වල ඔක්කොම මෙතනින් බහින්න.. ආයේ නවත්තන්නේ යූනියන් ප්ලේස්.. මඟ නවත්තන්න බෑ.. පොලිසියෙන් ලියනවා.. කරුණාකරලා ඔක්කොම බැහගන්න.. ආ.. හරි යං හරී...ඊ" මාරුවෙන් මාරුවට මහේෂ්ගේ මූණ දෙසත් පිටුපස දොර දෙසත් බලමින් කෑ ගැසූ සමීර බස් රථය ඉදිරියට ඇදෙද්දී තවත් අඩියකින් මහේෂ් වෙත කිට්ටු විය..

"මම හෙට උදේ ට්‍රිප් එකෙන් පස්සේ බැස්සම දවස් තුන හතරකට එන එකක් නෑ. සමහරවිට ආයේ කවදාවත්ම එන එකක් නෑ. අඟහරුවාද බදාද වගේ වෙනකං බලල උඹ හොඳ එකෙක් හොයල ලොක්කට සෙට් කරපං.. අර 255 වැඩ කරපු පච්චය මම හිතන්නේ දැන් බැහැල වාහනයක් හොයනව.. ඌට කලින් මේ රූට් එක පැදල පාරත් හුරුයි. ඌව හරි බලපන් සෙට් උනොත්"

"මොන හුයන්නක්ද ඕයි තමුසේ මේ කියන්නේ? තමුසේ හෙට ගෙදර නෙවෙයිද යන්නේ.. මොකක්ද මේ තමුසෙට දවස් දෙක තුනක ඉඳලා වෙලා තියෙන්නේ? මහේෂයිය කියපං මට.. උඹට මට කියන්න බැරි දෙයක් නෑනේ.."

"කියන්නං දවසක.. දැනට උඹ ඔය මම කියපු එක ඔළුවට ගනිංකෝ"

********************************************

ඉතිරිය ඊළඟ කොටසින්..

පසු සටහන- සමහර මීලිටරි වචන නොතේරෙන එක කියවන්න බාදාවක් කියල පොඩි පොඩි කොමෙන්ට් ටිකක් ආව නිසා මේ පහලින් පොඩි එක්ස්ප්ලනේශන්ස් ටිකක් දාන්නේ. (ඒක මම එච්චර කැමති වැඩක් නම් නෙවෙයි.)

මේක දිගට යන කතාවක්.. කොටසෙන් කොටසට තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. සිද්ධි ටික අධ්‍යයනය කරගෙන යද්දී එකින් එක හාවෙන හැටි පෙනෙයි. තාම මේක තියෙන්නේ ඉම්ටෙලිජන්ස් උනුත් හොයන මට්ටමේ. ඉතින් කොහොමෙයි කියවන උන්ට කතාව තේරෙන්නෙ..

කොමෙන්ට් විදියට පේන අඩුපාඩු නිවැරදි වෙන්න ඕනි තැන් අපහැදිලි තැන් දානවානම් බොහොම අගෙයි

කියනව හැමෝටම ස්තූතියි! 

Joint Operation Commander- ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරී (ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ශක බළකාය සම්බන්ධීකරණය කරමින් ඒ ඒ හමුදා කළාප වලට අණදෙන ජේෂ්ඨ හමුදා නිළදාරියායි. බොහෝවිට යුධ හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකි)

MSR withdrawal- MSR හෙවත් Main Supply Root යනු ක්‍රියාන්විත ප්‍රදේශයකට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යුධ කළාපය හරහා පවත්වාගෙන යනු ලබන හමුදා පාලන ප්‍රදේශයකි. වව්නියාව හා උතුර අතර මෙලෙස පවත්වාගෙන ගිය සප්ලයි රූට් එක 1999 දී දැවන්ත ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශ වී ගිය අතර එහිදී බොහෝ හමුදා සාමාජිකයින් පිරිසක් ජීවිතක්ශයට හා අතුරුදහන් බවට පත්විණි. ත්‍රස්ත ප්‍රහාර හමුවේ හමුදා පසුබැස යාම withdrawal ලෙස හඳුන්වයි.

Leading Patrolman- නායක නාවික සෙබළ (යුධ හමුදාවේ කෝප්‍රල් තනතුරට සමාන නාවික හමුදා සෙසු නිලයකි)

Roger- සංඥා භාශාවේදී යම් පණිවුඩයක් නිසි ලෙස ලබාගත් බව පැවසීම සඳහා යොදා ගන්නා පදයකි.

MIA list- Missing in Action list (ක්‍රියාන්විතයේදී අතුරුදහම් වූවන්ගේ නාම ලේඛනය)


-ක.මි.

34 comments:

  1. Roger .
    මියා කීවම මට මියා කලීපා මතක් උනේ.වෙලාවට පහලින් විස්තර කරල තිබ්බෙ.ඔයැයි අකමැති උනාට ඒ ෆුට්නෝට්ටෙක අපට වටිනවා.
    මහේශ් මොනවගේද කියල කාලයක් තිස්සෙ තිබ්බ කුතුහලය තරමකට සංසිදුනා. පාංශු දේහධාරී නොවුනට රියදුරු අසුනෙ වාඩිනාම අර මැද කණ්නාඩියෙන් නම් උන්දැව ලස්සනට පේනව ඇති ශුවර්.
    අද කතාව බොහොම හොඳයි.තැන් කීපයකටම සම්බන්ධ උන නිසා දැන් අර කොටස් ටික ඔක්කොම එක තැනකට ආවා අද කොටහෙන්.

    මේ මහේශ් ඊළඟට මොකක්ද කරන්න හදන්නෙ කියල මන් මේ කල්පනා කරන්නෙ.

    බලමු ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. මියා කලීපා කියන්නේ කවුද? 🤭🤭
      හරි.. ආයේ නුහුරු වෙයි කියල හිතන වචන වලට ෆුර් නෝට්ටෙකක් දාන්නම්.
      //රියදුරු අසුනෙ වාඩිනාම අර මැද කණ්නාඩියෙන් නම් උන්දැව ලස්සනට පේනව ඇති ශුවර්.// ආ..එහෙනම් ඒකයි අර ගෑල්ලමයි මිනිහා දිහා උනන්දුවෙන් බලනව ඇත්තේ. මම ඔය දේවල් ගැන වැඩි අවදානයක් නැති නිසා මීටර් නෑ. බස්සෙහෙක ගියත් යන්නේ කෙළින් බලාගෙන.. 🤭

      Delete
    2. අන්නේකයි ඩ්‍රැයිවර් නෝනල නැති එකේ අඩුව.

      Delete
    3. තායිලන්තේ ඉද්දිත් කෙළිම්ම බලාගෙන හිටි කොල්ලෝ අපි.. එහෙ රියදුරු කොන්දොස්තර මහත්මීන් වැහි වැහැල් 😍

      Delete
  2. මුලින්ම කමෙන්ට් කරලා .. කියවනවා.....

    ReplyDelete
  3. Roger
    ඔය තියෙන්නෙ අද කෑල්ලත් ලෙසටම.

    ReplyDelete
  4. මාලබේ පොතුඅරාව පාරේ පදිංචි අවුරුදු 38ක් වන තළෙලු උඩුකය හොඳින් වැඩුන උස අඩි 6යි පළල අඟල් 39ක් වන හැඩැති බංඩියක් ඇති කඩවසම් පුතුට සුදුසු මනාලියක් මෑණියන් සොයයි.භේද නොසැලකේ.දික්කසාද වැන්ඳඹු වූවද සලකාබැලේ.

    විනෝදයට නොලියන්න....

    ReplyDelete
    Replies
    1. මොනව හොඳ උනත් වැඩක් නෑ හදවත කටුස්සෙක්ගේ වගේ නොවුනොත් 😍

      Delete
    2. හොඳින් වැඩුන උඩු කය විතරක් විවාහයට මදි නොවැ

      Delete
  5. ඒ කියන්නෙ නැති වෙච්ච ලොරිය, හමුදාවෙන් ඇල්ලුවද? දේසපාලුවොත් සම්බන්ධ , හොරබඩු ගේම් එකක් වගේ කියලයි හිතුනෙ. අපිට ඔයිට වැඩිය තේරුමක් නෑ, අපේ හාංදුරුවනේ!

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නෙ නැති වෙච්ච ලොරිය, හමුදාවෙන් ඇල්ලුවද?// හපොයි.
      /එනිවේ දැන් ඉන්ට් එකෙන් කන්ෆර්ම් කරලා තියෙනවා මේ මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් අයිටම් තිබ්බ ට්‍රක් එක ටෙරා ල සීස් කරලා මුලතිව් වලට ගෙනියල තියෙනව කියල./ මේ ටික දැක්කේ නැතෙයි?
      යුද්ධේ තියෙද්දිත් LTTE එකෙන් පාලනය කරපු ප්‍රදේශ වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයුවේ ආණ්ඩුවෙන්.. රතුකුරුස වගේ ආයතන ඒවා මොනිටර් කරා. නමුත් යුද්දේ දරුණු වෙද්දි LTTE එකට බැරි උනා මේවා නිසි මගින් රෝහල්වලට දිසාපතිට ඇවිල්ල බෙදිලා හම්බවෙන සුළු ප්‍රමාණයෙන් මැනේජ් කරගන්න. ඉතින් එයාල එක එක ගේම් ගහලා ඒ වගේ සාමාන්‍ය ජනතාවට එන බෙහෙත්, සර්ජිකල් අයිටම්, ඉන්ධන විතරක් නෙවෙයි ඩ්‍රයි රෙශන් උනත් මගදිම කොල්ල කෑවා සංවිධානෙ කාඩර්ලගෙ උවමනාවලට ගන්න. මේකත් එහෙම පැහරගත්ත ලොරියක්. වවුනියාවෙන් එහාට කමුදාවෙන් ගාඩ් එක දෙනවා මූහමලේට යනකම් එහෙම එන වාහන වලට. එතනින් එහාට රෙඩ් ක්‍රොස් එකෙන්. ඒක නිසා මේක වවුනියාවට යන්න කලින් මගදි හරවගන්නේ. ඒක කරන/ වෙන ලින්ක් එක ගැන තමයි තාම කතාව.. ඒ අතර හමුදාව නොමඟ යවන එකේක ට්‍රික්ස් තියෙනවා.. ඉස්සරහට තව පැහැදිලි වෙයි. (කියලා හිතනවා)

      Delete
  6. *****************************රොජර්

    ReplyDelete
  7. යන හැඩ හොඳය - හොඳටම ලෙසටම හොඳය
    පවතීවා වේගෙ - ලියවිලි ඉක්මන්ය
    එන පොට හොඳය - බය වෙන්නේ මක්කටය
    පසුබිම අපූරුය - ගිනි කෙළි එන සේය

    Foot Note වැඩේ හොඳයි කමී, මං වගේ සියල්ල නොදත් දුහුනන් ඉන්නවනේ තවත්...

    ReplyDelete
  8. Foot note දාලා කඩ්ඩෙන් ඕන ටික කොටන එක හොදයි, නැත්තං රහ නැති වෙනව.
    එනිවේ, මරු ප්ලොට් එක!

    ටිලිං ටිලිං

    ReplyDelete
  9. මෙම කතාව සමලිංගික පිරිමි දෙන්නෙක් ගැන කියවෙන කතාවක්ද මල්ලි

    ReplyDelete
  10. ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරී සුමිත් සොල්දාදුවා

    ReplyDelete
  11. කළණ අයියා ආයෙමත්...!
    over..

    ReplyDelete
  12. නාඋකයා නිවන් ගිහින්ද?

    නාඋකයා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි.
    දවස් 3 ක් බලං හිටියා එන්නෙම නැති පාටයි.

    සාමාන්‍ය බල නැව් දෙවැනි පන්තිය විශ්‍රාමික නාවික ලොරි රථ රියදුරු ජෙනරාල් සුමිත් විශ්‍රාමික සාමාන්‍ය සෙබලාට නිවන් සැප සම්පත් අත්වේවා කියා පුංචි අපිත් පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. උනන්දුවෙන් බලාගෙන හිටියාට ස්තූතියි.. ඔන්න ආවා නාවිකයා මරණෙන් නැගිටලා :)))

      Delete