Photo courtesy- www.google.com
පවුලේ බඩ පිස්සා වීම හැමෝගෙම ආදරයට ලක් වීමට හේතුවක් යැයි මතයක් තිබුනද මට නම් ඒ ගැන ඇත්තේ පොඩි නෝක්කාඩුවකි.. මෑතක සිට ඒ නෝක්කාඩුව දෙගුණ තෙගුණ වී ඇත්තේ මා අසාවෙන් කියවන බ්ලොග් දෙකක් වන තිලක සිත හා නිදහස් සිතුවිලි හි කතුවරුන් තම ආච්චි අම්මලා ගැන ලියන දේ නිතර නිතර කියවීමට සිදුවීමයි. මෙකල මෙන් 2x2 ෆැමිලි නොව එකල අවම වශයෙන් වූ 6x6 ෆැමිලි එකක මුළු පවුල් ඩයස්පෝරාවෙන්ම අන්තිමයාට පමණක් දෙවෙනි වූ හා අපේ පවුලේ බඩපිස්සා වූ මා ඉපදෙනවිට අපේ තාත්තාගේ තාත්තා මිය ගොස් වසර තුනකි. අම්මාගේ තාත්තා ගැන මට මතක ඇත්තේ ඔහු කෑම කන විට උගුරු ඇටේ අසාමාන්‍ය ලෙස ඉහල පහල ගිය අයුරුත් ඔහු මියගිය පුවත අසා අම්මා පපුවට ගසා ගනිමින් අඬන අයුරුත් පමණි. වෙනකෙක් තබා අම්මා පවා ඒ මළගේ දිනවල මා ගැන උවමනාවෙන් සොයා නොබැලූ නිසා මම ඒ දින කිහිපය ඔහේ නිදා ගත්තෙමි.
ඊලඟට අප හැර ගියේ අද කතා නායිකාව වන, අත්දැක ඇති දේට වඩා අසා ඇති දේ නිසා මට වැඩියෙන්ම 'මිස්' වන අපේ අම්මාගේ අම්මා හෙවත් 'අපේ ආච්චීයි'. තාත්තාගේ අම්මා මියගියේ ඊටත් වසර හතරකට පමණ පසුව වුවත් බොහොමත් තද සිත් ඇත්තියක් යැයි අසා තිබූ කරුණු නිසාත්, අපෙන් බැහැරව එකලට අනුව බදුල්ලට 'බොහෝ දුරින්' බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදෙශයේ නැන්දා සහ බාප්පා ලඟ විසීමත්, ඒ සියල්ලටම වඩා ඇය මිය යන විට 'ටීන්' වියට එළඹ සිටි අපට මළ ගෙදරකදී වුව 'වෙනත්' බොහෝ වැඩ තිබූ නිසාත් 'අපේ ආච්චි අම්මා' තරම් මට අදටත් 'තාත්තලාගේ ආච්චි අම්මා' එතරම් 'මිස්' නොවේ.
ඒ එක්දාස් නවසිය අසූ පහේ අවුරුද්ද විය යුතුයි. ඒ වනවිට මිනී පෙරහැරක ඉදිරියෙන්ම සේසතක් ඔසවා ගෙන යා හැකි තරමට මම සාමාන්‍ය මට්ටමේ පොරක් වී සිටියෙමි. හදිසියේ වෑළඳුනු අංශ භාග රෝගයෙන් ඔත්පලවී දින එකොලහක් රෝහලේ නේවාසිකව සිටි ආච්චි අම්මා ටිකින් ටික මියයමින් සිටි බව ගෙදර ඇත්තන්ගේ කතා බහට ලක්විය. මේ ටිකින් ටික මිය යන අයුරු දැක ගැනීමේ කුතුහලයෙන් පෙළුණ මමත් එදින හවස රෝහලට ගිය අයුරුත් ඇඳේ දිගාවී සිටි ඇගේ පොරවනය මදක් මෑත්කර අත ටිකක් තදින් අල්ලා බැලූවිට ඇතුලට එබුණු සම බොහෝ වෙලාවක් යනතුරු ප්‍රකෘති තත්වයට පත් නොවූ බවත් මට ඇය ගැන ඇති අවසාන මතකයයි. පසුදින 'ඔෆීශියලි' මියගිය ඇගේ දෙණ දින තුනක් පමන නිවසේ තැන්පත් කර තිබුනත් මම ඒ දෙස නොබැලීමි.
මිය යාමට පෙරද ඇය වැඩි ඇඟෑලුම් කම් දැක්වූයේ ලොකු අයියාටත් දෙවෙනි අයියාටත් වූ අතර නිදහස් සිතුවිලි හී රවී අයියාට ඔහුගේ ආච්චී අම්මා කතා කලාමෙන් 'සුට්ටි පුතා' කියා ඈ අපේ පවුලේ සුට්ටි පුතා වූ මා ඇමතුවේ නැත. ඒ වෙනුවට අපිට විස්කිරිඥ්ඥාවකින්, හුළං ඉස්කෝතුවකින් හෝ බුල්ටෝ එකක් වැනි වූ පිං පඩියෙන් ගන්නා ලද රස කැවිල්ලක රස විඳීමටත් ඇය සිටිනාවිට මදක් සැර බාල වෙන ඇගේ දුවගේ රැවුම් ගෙරවුම් වලින් මදක් නිදහස්ව සෙල්ලම් කිරීමටත් පමණක් අවස්ථාව සැලසිනි. බඩපිස්සා වීම ගැන මගේ නෝක්කාඩුව ඇත්තේ ඔතනයි.. ආච්චීගේ ෆොටෝ මහ හුඟක් නැත. මට මතක විදියට හැඳුනුම්පතේ වූ ඡායාරූපය ලොකු කොට දැනටත් අපේ නිවසේ තබා ඇති කලු සුදු ඡායාරූපයකුත් අවුරුදු දවසක මඩ නාගෙන සෙල්ලම් කරමින් සිටි අප සැම ආච්චී අසල පෙල ගස්වා එවකට ලංකාදීප පත්තරේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කල අප පවුලේ හිතවතෙකු වූ නිමල් දයාරත්න මහතා වරක් ලබාගත් එක් වර්ණ ඡාරූපයකුත් පමණක් අප නිවසේ විය. එහෙත් ඇගේ ඡායාව සදා නොමැකෙන ලෙස අපේ හිත්වල ඇඳ තැබීමට අපේ අම්මා වරක් ලියා තැබූ මේ කවිය සමත් වී ඇත.
රතුමල් චීත්තය ඈතින්......... දිස් වෙනවා
ගෙලවට සුදු රෙද්ද සුළඟට ලෙල දෙනවා
පාං කෙසෙල් ගෙඩි මල්ලක් ගෙන එනවා
අපෙ අම්මා හෙමිහිට......... සිරිගම එනවා
එය අපට ඉතා අසීරු වූ වකවානුවකි. ආච්චී පිංපඩි රැගෙන පාං කෙසෙල්ගෙඩි පිරවූ මල්ලක් අතින් ගෙන අළුතින් ඉදිකල බදුළුසිරිගම අප නිවස දෙසට හෙමි හෙමින් පියමනින අයුරු එදවස අපට දිව්‍යමය දසුනක්ම විය. මේ කවිය ලියන කියවන කිසිම මොහොතක අපේ නිවසේ කිසිවෙකුටවත් අදටත් ඇස් වලින් කඳුළු වහන් කල නොහැක.
වසර තිහකට පමණ පසු දැන් යලිත් අපේ අම්මා තුලින් මම ඇය දකිමි. වෙනසකට ඇත්තේ ආච්චි අම්මාගේ සුදෝ සුදුවූ පුළුං කොණ්ඩය වෙනුවට නළලාසන්නයේ පමණක් අතරින් පතර සුදුවූ අපේ අම්මාගේ 'මෙලෝ රහක් නැති' කොණ්ඩය පමණි. ආච්චි අම්මාගේ කොණ්ඩය සුදුවූ කතාව විශේෂ එකකි.. ඊට පෙර සුදු කොණ්ඩ ගැන අවශේෂ කතාවක් සිහියට නැගේ. දිනක් ඉස්කෝලේ කාලේ දවසක ඔය අම්මලාගේ කොණ්ඩ ගැන කතාවක් කොහෙන්දෝ ඇදී ආවේය. දිනපතා භාවිතා කරන බෙහෙත් තෙල් වල ආනුභාවයෙන් ඒ වන විටත් පනස් වියට ආසන්න වෙමින් සිටි අපේ අම්මාගේ කොණ්ඩය තද කළු පැහැයෙන් දිලිසෙමින් තිබූ නිසා මම ඒ ගැන උදම් ඇනූවෙමි. එවිට එහි සිටි තවත් එකෙක්.. 'අඩෝ.. අපෙ අම්මගෙත් එක කෙස් ගහක් ඉදිල නෑ'යි පාරම් බැවේය. කීර්තිය බෙදා ගැනීමට අකමැති වූ මගේ මුඛරි කට ඉස්සරහට පැන 'ඒ කියන්නේ උඹලෑ අම්මගේ අනිත් කෙස් ගස් ඔක්කොම ඉදිලා'යි පැවසීම නිසා වටේ පිටේ සිටි උන් කොක් හඬලා සිනා සීමට පටන් ගත් අතර අරූ සුමානයක් පමණ මූන එල්ලාගෙන සිටියේය.. අරූ.. ඇත්තටම බ්ලොග් අතර අරූ කාලෙකින් දකින්න නොලැබීම කණගාටුවට කරුණකි. මෙවැනි අතීත කතා ලිවීමෙහි කෙළ පැමිණියෙකු වූ අරූගේ 'අවුල් වන්නට පෙර' කියවූ උන්ටනම් මා හෝඩියේ පන්තියෙ එකෙකු සේ පෙනෙනු නොඅනුමානය. අපේ මූ නම් දැන් බදුල්ලේ නොම්මර එකේ රෙදිපිළි වෙළෙන්දෙකි. පරන තරහ මරහා මතක නැති නිසා ඉඳහිට ගොඩ වූ විට කෑල්ලකින් කැත නැතුව රුපියල් තුන් හාර සීයක් අඩුකර බිල් කිරීමට සේවිකාවන්ට කියයි.. මට වෙලාවකට හිතෙන්නේ මූ 'අතින් පාඩු කරන්' මට රෙදි විකුණනවා යැයි කියා නිසා මං ඒ පැත්තේ ගොඩ වන්නේ එහෙමත් කලාතුරකිනි. කොහොමත් මං ඔය 'රෙදි' ගැන එතරම් තැකීමක් නොකරමි.
වරහන් ඇර ඇර පඳුරු තල තලා මේ කතාව දිග්ගස්සා කියවන උන්ගෙං බැනුම් ඇසීමට මට හිතක් නැත. ඒ නිසා ඔන්න ආච්චීගේ කොණ්ඩේ සුදුවූ කතාවෙන් පටං ගනිමි. අපේ ආච්චී විවාහයන් දෙකක් කරගෙන ඇත. අද මොඩ් සිංහලයා රෝම ලංදේසි නීතියට බයේ ගිනි කකා එකම විවාහයක එල්ඹී සිටියද මීට ශත වර්ශයකට හෝ ඊට එපිටින් සිටි සිංහලයින් අද කාලේ 'සුද්දන්' මෙන් නිවහල්ව සිතා මතා නිදහසේ කටයුතු කර ඇතියැයි මට හිතෙන එක හේතුවක් වන්නේ මේ කැන්දන් යාම, බින්න බැසීම, බහු විවාහ, එකගෙයි කෑම වැනි තමන්ට සුදුසු පැකෙජ තෝරා ගැනීමට තරම් එඩිතර වීම හා විවාහය කොල කෑල්ලකින් බල ගන්වා පසුව කොල කෑල්ලට බැන බැන සිටීම වැනි මෝඩ පහේ වැඩ අඩුවෙන් කිරීමයි. ආච්චීගේ පළමු විවාහය දෙදරා යාමත් කොණ්ඩය සුදු වීමට අඩිතාලම වැටීමත් එකම දවසේ සිදු වී ඇත. ආච්චී එකල හැඩ කාරියකි. ඒ සීයා 'හයි' කාරයෙකි.. නගරයේ 'ලොකු හෝටලේක' ලියන රස්සවක් කර හවසට එනවිට රස කෑම ජාති පිරවූ පොට්ටනියක් හිස තබාගෙන වෙනම කොළු ගැටයෙක් පස්සෙන් එන්නේලු. හෝටලයෙන්ම යම් පදමකට සැර ජාතී වලින් අනුමත වී එන ඔහු ආ සැණින් නා කියා ගන්න අතර නෑමෙන් අනතුරුව උණු උණු සව් වීදුරුවක් බීමට කැමැත්තෙන් පසු වීලු. ආච්චීගේ දෛනික කටයුතු අතර මේ සව් වීදුරුව මුල් තැනක් ගත්තේලු. මේ වන විට මගේ ගනණය කිරීම් වලට අනුව සොලොස්විය ඉක්ම නොවූ නමුත් කුඩා බිළිඳියකගේ එනම් අපේ ලොකු අම්මාගේ මවු වූ අපේ ආච්චීට දිනක් මේ සවු වීදුරුව නියමිත වේලාව වන විට සකස් කර ගනීමට නොහැකි වූ අතපසුවෙං ඌරු ජුවල් ආවේශ කරගත් ඒ සීයා නාම්බා උණු උණුවේ ගොජ දමමින් ලිපේ පැසි පැසී තිබූ ඒ සවු හැලිය කිසිම හිතක් පපුවක් නැති නරුමයෙකු සේ තම සියුමැලි තරුණ බිරියගේ හිස මත වත් කෙරුවේලු. වරු ගණනක් ගඟේ බැස සිටීමෙන් හා සිංහල බේත් හේත් වල ආනුභාවයෙන් වෙනත් අතුරු ආන්තරාවක් නැතිව ආච්චී සුවපත් උවද මැදි වයසට එළඹීමටත් පෙර කෙස් වැටිය සුදු වීමට ඒ සව් සාත්තුව හේතුවූ බව පැවසේ. මාමාවරුන් එකතුව තක්කඩි සීයාව ගස් බැඳ පහරදී එළවා දැමීමෙන් ආච්චීගේ ඒ දීගය හමාර වූ බව අදටත් අපේ අම්මා උජාරුවෙං කියන්නේ ඒසේ නොවුනානම් ඇගේ පියාට හෙවත් බෙහෙවින් නිවුණු සාධාරණ හා යුක්ති යුක්ත මනුස්සයෙක් වූ අපේ සීයාට ඇයව නොලැබෙන්නට ඉඩ තිබූ නිසා විය හැක. කෙසේ උවද චන්ඩි සීයා එළවා දැමූ මුත් ඔහු තුල සිටි චණ්ඩියා ආච්චී විසින් රඳවා ගත්තාදැයි ඉන්පසු කතා අහන විට මට සිතේ.
ඉන්පසු එළඹියේ සංක්‍රාන්ති සමයකි. ස්වාමියා එළවා දැමූ මුත් ඒ නිවසෙං ඉවත්වී නැවත මහ ගෙදරට යාමට ඇය කැමැත්තක් දැක් වූයේ නැත. කුඩා බිළිඳියද සමග ඇය තනිවම එහි විසුවාය. අදින් වසර අසූවකට නොඅඩු වූ ඒ අතීතයේ 'හයියූ, ඒ මනුස්සයයි පොඩි එකයි බඩගින්නේ මැරෙන්නැති නේද රස්සාවකුත් නොකර මනුස්සයෙකුගේ හවු හරණකුත් නැතුව' කියා කීමට හේතුවක් නොතිබූ බව මෙය කියවන සමහරක් අයට මතක් කර දීමට සිදුවේ. මන්ද යත් ඇයට ගෙවල් කුලියක් ගෙවීමට, ජල බිල්පත්, වතුර බිල්පත්, මෙකී නොකී දහසකුත් එකක් බිල් පත් ගෙවීමට, ටීවී ෆ්‍රිජ් සෝෆා ඇඳං මෙට්ට මිළට ගැනීමට, මොබයිල් ෆෝන් රී ලෝඩ් කර ගැනීමට, සේවක පඩි නඩි ගෙවීමට වාහන වලට තෙල් ගැසීමට ලමයා ඉස්කොලෙ දමා ගැනීමට පගාව දීමට ආදී කිසිවක් කෙරෙහි වද වීමට සිදු නොවිනි. කොටින්ම කියතොත් එදා ජීවත් වීම යනු අද මෙන් 'මහ බරක්' නොවුණි. ඇත්නම් යමක් තම්බා පොඩි එකීටත් කවා තමනුත් කා ඉතුරු වන දෙයක් වේනම් වට පිටාවේ උන්ටත් බෙදා දීමටත්, අහල පහල පොඩි එකියකට ලමයා බලා ගැනීමට දී කයියකට බැතකට උර දීමටත් මිනිහෙක් ඕනෑම නැත. නමුත් එදා හිටි උන්ද අදට වඩා මහ හුඟක් හොඳ උන් යැයි කිව නොහේ. තරුණ අඟනක් දරුවෙකුත් සමග තනි පංගලමේ සිටිනවා යන්න අහල පහල පිරිමින්ටනම් තිත්ත කරුවලේ පිපුණු කඩුපුල් මලෙක සුවඳ මෙන් නාස් කඩාගෙන යන ඉවක් වූවාට සැක නැත. එකම වෙහෙස කරුවලේ කඩුපුල් මල සොයා ගැනීම පමණි. අනෙක් කරුණ නම් 'ඔහොම හිටියට එළිසා හාමිනේ මහ වස එකී' යනුවෙන් සමාජගතව තිබූ බැම්මයි. නෝන්ජල් පිරිමියෙකුට පැනීමට ඒ බැම්ම උස වැඩි වූවාට සැක නැත. එහෙත් හැම පිරිමියාම නෝන්ජල් නොවේ..
ඔය අතර ගමේ දාමරික යැයි හැඳින්වුනු හිත හොඳ චන්ඩියෙක් විය.. මිනිහාගේ නම අපේ අම්මා කියා ඇතිමුත් මේ ලියන මොහොතේ මට මතක නැත.. අම්මාගෙන් දැන් ඔය ගැන විමසා මෙය පළවූ පසු ඇයට පෙන්වා දිය හැකි 'සප්‍රයිස්' එක කුඩු කරගැනීමට නොහැකි නිසා උගේ නමෙන් වැඩක් නැතැයි සිතා මෙය දිගටම ලියමි. මිනිහා හැර ගිය එළිසාහාමිනේ ගැන උන්දෑගේ හිතේ මෙව්වා එකක් ඇති වන්නට ඇත. අපේ ආච්චිත් හොඳ බජාර් පොරක් නිසා නිතර නිතර හමු වීමෙන් මෙව්වා එක තව තවත් මෙව්වා වන්නට ඇත. ඔයින් ඔහොම වතාවක් මුන්දෑ තරුණ වැන්දඹු එලීසා හාමිනේට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර මුඛරි කමේ උල්පත වන්වූ අපේ ආච්චීගේ මුවින් 'ට්‍රැක්ටරෙං හාපු මගේ කුඹුරට උඹෙ නගුලෙං මක් කොරන්නද' ආකාරයේ නොසණ්ඩාල කතාවක් අසාගෙන පසුබැස ගිය බව කියවේ. මොන චන්ඩියත් ගෑනිට බය නමුත් ගෑණු ගන්න කලින් රියල් චන්ඩියෝය.. රා පොලේදී සූදු පොලේදී මිතුරන්ගේ උසුළු විසුළු අසා කොක්කෙන් බැරිනම් කෙක්කෙන් එළිසාහාමිනේ අඹු කමට ගන්නට සපථ වූවාදැයි නොදනිමි. නමුත් ඒ හෝරාව එළඹිනි. එළිසා හාමිනේ සිඟිති දියණියද තුරුලු කොටගෙන පිදුරු හෙවිල්ලූ ඒ කාමර කෑලි දෙකේ ගෙයි ඇතුළු කාමරයේ තනි පැදුරේ සැතපෙන්නීය.. චණ්ඩියා බඩින් ගත් අපේ දුශ්ඨයා දැන් එළිසාහාමිනේගේ බල පරාක්‍රමය ගැන වූ සමාජීය පවුර හා ඒ කටු මැටි ගැසූ ගෙපැලෙහි ඇතුළු කාමරේ බිත්තිය එකවර අතික්‍රමණය කිරීමට සූදානමිනි. ඩිඩිඩිඩිං.. ඩිඩිඩිඩිං... ස්වාභාවධර්මයා මනා ලෙස අවස්ථානුකූලව සංගීතය මුසු කොට ඇත.
මද විරාමයක්.. ඇඩ් එකක් දමා ගැනීමට සුදුසුම වෙලාවයි.. (මතක ඇතුව 26 වෙනිදා නෙළුම් යාය බ්ලොග් සම්මන උළෙලට ඔබත් එන්න.. එදාට හමුවී කතා කරමු.. පස්වරු දෙකට කිරුළපන දී...) ටිං ටැං ටොං...
ගින්නක් නැතුව දුමක් දමන්නේ නැත.. ඒ අතින් අපේ ආච්චි අම්ම නිකම්ම නොව ගිනි ජාලාවකි.. පෙනෙන දුමටද වඩා ගින්න බලවත්ය. ගමේ චන්ඩින්ට හයිරං පාන්නටත් එසේ කොට තනියම නිවසක රැය පහන් කරන්නටත් ඉතා හොඳ ආත්ම ශක්තියක් උවමනාය.. ඒ විතරක් මදිය.. තව මොකක් හෝ අතේ හයියට ආයුධයකුත් උවමනාය.. අද මෙන් කට පුංචන් බහුල නොවූ එකල කැත්ත යනු භාවිතා කරන්නට දන්න එකාට ඉතා හොඳ ආයුධයකි.. හාවෙක්ගේ වැනි තියුණු කණක් ඇති එලිසාහාමිනේ බිත්තියට එපිටින් ඇහෙන සර සර හඬ ඇඳින්නාය.. හරියට එතන බිත්තියක් නැතුවාක් මෙන් ඉන් එපිට සිටින්නේ කවුද උගේ අරමුණ කුමක්ද හා උගේ ඉදිරි ක්‍රියාකලාපය මොනාකාරයෙන්දැයි ඇයට පෙනේ. හැබෑ චණ්ඩියෝ නැත්නම් හැබෑ යුධ සෙනෙවියෝ එසේය.. චන්ඩි කමට ගෑණු පිරිමි බේදයක්ද නැත..
එහෙ මෙහේ විසිරී තිබූ පොරවනය සකස් කර පොඩී එකීට පෙරවූ ඇය පැදුරෙන් නැගිට්ටාය.. බුරුල්ව තිබූ රෙද්ද ලිහා තවත් වරක් තද වෙන්නට ඉණ බැදගෙන පැදුර අයිනෙන් තබා තිබූ මිට දිග ඇඹුල් කැත්ත ගෙන පහන් දැල්ල මදක් අඩු කොට බිත්තියට මෙපිටින් සිට ගත්තාය. ඇය බලාපොරොත්තු වූ ගොදුර එනම් චණ්ඩියාගේ අතේ පෙර බාහුව බිත්තියට ඉහලින් මේ පැත්තට වැටින. තරයේ දෑතින් අල්ලාගත් ඇඹුල් කැත්ත ඉහලට ඔසවා දෝත පුරා පහර දීමට ගත් සිතුවිල්ල එක්වරම වෙනස් කර ඇය කැත්තෙ මොට්ට පැත්තෙන් එනම් නොපිටින් වැරෙන් පහරක් ඒ අත වෙත එල්ල කලාය. සමහරවිට උණහපුළුවට උගේ පැටියා වටී කියන්නැහේ පුතාගේ චන්ඩිකමට ලෝකෙන්ම බැණුම් අහන ගමන් රෑ බත් පත බෙදා පුතා ගෙදර එනතුරු මග බලන් ඉන්න ඒ කෙසඟ අම්මා ඇයට සිහිවන්නට ඇත.. සමහරවිට වෙනත් සාස්තරයක් නොදැන චණ්ඩිකමෙන් ජීවත් වූ මේකාට අතක් නැතුව ඉස්සරහට ජීවත් වෙන්න බැරිවෙයි කියා දුක හිතෙන්නට ඇත.. නැත්නම් කොච්චර චණ්ඩිකම් නොපනත්කම් කලත් ඌත් යස ඉළංදාරියෙක් නිසා කවදා හරි පෙළවහක් කරගෙන දරු මල්ලෝ හදාගෙන හොඳින් ඉන්නට තවත් එක අවස්ථාවක් දෙන්නට හිතුවා විය හැක.. ඒ කොහොම උනත් ගමම දෙවනත් වෙන්නට ඇසුණු 'බුදු අම්මෝ' හඬත් කැලෑ පෙරලාගෙන දුවන ගෝණෙකුගේ වැනි හඩත් කණ වැකීමෙන් අනතුරුව එළීසාහාමිනේ සැහැල්ලු සිනාවකින් මුව සරසා ගෙන සිඟිති දියණිය ලඟින් පැදුරේ ඇලවුනාය..
ඒ කතාව එතනින් ඉවර කරේනම් ඒ අපේ ආච්චි අම්මා නොවේ.. පහුවදා හැන්දෑ වෙලේ බොරු හේතුවකුත් හදාගෙන ඈ අරුන්දෑගේ ගෙවල් පැත්තට ගොඩවුනාය.. බෙහෙත් හා පතුරු තබා වෙලන ලද පෙර බාහුවත් එක්ක සහලෝලා පෙළුණු උනෙන් පිල මත වැතිර සිටි චණ්ඩියාට ඇය දැක මළ මුත්‍රා පිටවුණිදැයි නොදනිමි. නමුත් ඇ වෙනසක් නොමැතිවම 'මොකෝ බන් මේ අතට වෙලා තියෙන්නේ' යි අසනවිට නම් හේ නිරුත්තර විය.. ඒ වෙනුවට උන්ගේ අම්මා 'බලපං එළීසෝ මුගේ මරුමුස් කමට ඊයේ රෑ කාත් එක්කදෝ ආරෝවක පැටලිලා කරගෙන තියෙන හරියක්.. කණුපැලැල්ලේ වෙදානම් කිව්වේ තුන් හාර මාසෙකට මෙහායින් අත ගොඩ දාන්න බෑයි කියලා' කියනවිට ඇය ඒ අම්මා සමගම ශෝක වූවාය. ඇය ආපිට ආවේ ලෙඩාට අවශ්‍ය බෙහෙත් කැඳත් සාදාගෙන පසුවදා නැවත එන පොරොන්දුව පිටයි.. එයාකාරයෙන්ම ඔහු සනීප වෙන තුරුම හැකි සෑම අවස්ථාවකම ඔහුට උවටැන් කිරීමටද ඒ අම්මාට අවශ්‍ය වෙලාවක අවශ්‍ය උපකාරයක් කිරීමටද ඈ කිසිම විටෙක නොපැකිළුනාය..
*******************************
ආච්චි අම්මා ගැන පොතක් ලියන්නට මම සිතා නොසිටියෙමි.. ඒත් ලියවෙනවිට මෙය කුඩා පොතක් තරම් වේදැයි නොදනිමි. ඔබේ වටිනා කාලය පැහැර ගනිමින් මේ දේවල් කියන්නේ මින් වසර ගනනාවකට එපිටින් වූ ඒ සරළ ජන ජීවිතය හා ජන වින්‍යාශය ගැන බැඳුණු අනුපමේය සෙනෙහසින් හා එහි මා සිත් ගත් වීර චරිතය වූ අපේ ආච්චි අම්මාගේ ආනුභාවයෙන් අත්මිදීමට නොහැකි නිසායි.. ඒ හැර මම අද ගෙවන බිසී ජීවිතයට වෛර නොකරමි. ඉදිරි කොටසකින් 'පතෝල හා මල් වඩම්' ගැන බලාපොරොත්තු වන්න..