Showing posts with label පෞද්ගලිකයි.. රහස් නැත... Show all posts
Showing posts with label පෞද්ගලිකයි.. රහස් නැත... Show all posts

Saturday, 26 January 2019

අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

සොඳුරු සඳවතී 'ඇස්' ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි කියල හිතුන නිසා ඔන්න අමුවෙන්ම ලියල දානවා.. :)
Those eyes... <3

ඒ ලෙවල් ෆස්ට් ෂයි එකෙන් කෙළවාගෙන උපරිමේට පිස්සු කෙළලා හෙම්බත්වෙලා හිටපු අපි දෙතුන් දෙනෙක් සෙකන්ඩ් ෂයි එකට මීට වඩා බැහැල වැඩ කරන්න ඕනි කියල හිතල ප්ලෑනක් ගැහුවා.. හරිම සිම්පල් ප්ලෑනක්.. උදේම කට්ටියම එකතු වෙනවා අපේ යාළුවෙක් 'ටික්ක' වැඩේ කරපු ඉන්ස්ටිටියුට් එකක් තිබ්බ එතැනට.. ඌ ඇත්තටම කොහොම අපේ යාලුවෙක් උනාද මංදා.. රට වටේම ඇවිදින අපේ දණ්ඩ පූසා හෙවත් බයිසන් හෙවත් විරාමය බ්ලොග් එක ලියපු අරිට්ටකී තමයි ඌව යාළු කරගෙන තිබ්බේ. එතන අයිතිකාරයා සර් කෙනෙක්. මිනිහ උදේට නෑ.. ටික්ක විතරයි. ඒක නිසා උදේ වරුවට අපි එතන පොරවල්. උදේ වරුවේ ඔය කියන තැන ක්ලාස් වර්ග දෙකක් තිබ්බ.. එකක් ඕ ලෙවල් රිපීට් වෙච්චි උන්ට තිබ්බ රිවිෂන් ක්ලාස් එකක්.. ඕ ලෙවල් රිපීට් කියුවම ඉතින් ආයෙම අහන්න දෙයක් නෑනේ.. ඒ ආපු කොල්ලෝ කෙල්ලෝ රොත්ත බුරුත්තට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බේ නෑ.. අරුන්ට උගන්නන්න උවමනාවක් තිබ්බෙත් නෑ.. උදේ වරුව පොඩි මගුල් සක්වලක් වගේ ක්‍රියේට් කරලා අතරින් පතර ගුරුවරයෙක් ගිහින් මක්ක හරි බාගෙට කුණුහබ්බයක් උගන්නල එන එක තමයි කරේ.. ඕකට උගන්නන්න ආවෙත් ඉස්කෝල වල උගන්නන ගුරුවරු නෙවෙයි. උන්ට එන්න බෑනේ උදේ වරුවේ. ඉතීම් එහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් තමයි ඉගැන්නුවේ. පස්සේ මේකේ වැඩි බර අදින්න උනා අපිට.. සල්ලි වලට නෙවෙයි.. ටික්කගේ ෆිට් එකට.. ගණන්, විද්‍යාව සම්පුර්ණයෙන්ම වගේ සහ ඉංග්‍රීසි අතරින් පතර අපි තමයි ඉගැන්නුවේ. හැබැයි අපේ තිබ්බ උණට  අතින් කාගෙන උනත් ඒ ටික හොඳටම ඉගැන්නුවා.. ඒක නිසා ක්ලාස් එකත් ජනප්‍රිය උනා.. සර්ටත් පට්ට ලාභයි.. ඉතීම් ඌ උදේ නෙවෙයි මහා රෑක ගියත් අපිට එතන අපේ වගේ රඟන්න දුන්න.. හවස් වරුව විතරයි අවුල්.. ක්ලාස් වැඩියිනේ.. ඒ වෙලාවට අපි රෙස්කෝස් එකට ගිහිං ක්‍රිකට් ගහනවා..

රයිට්.. එතකොට උදේ ඔතන තිබ්බ අනිත් ක්ලාස් එක තමයි බාහිර උපාධි කරන එව්වොන්ට උගන්නන එක.. මං හිතන්නේ ඒ දවස්වල බාහිර උපාධි තිබ්බේ BA(General) ඩිග්රි එකකට.. අන්න ඔතන හිටියේ අපිට වඩා දෑවුරුද්දක් වගේ වැඩිමල් සෙට් එකක්.. හැබැයි උන් ශිෂ්‍යයෝ.. අපි ටෙම්පරි හරි ගුරුවරු නිසා අපි උන්ටත් ලොකු සීන් එකේ තමයි හිටියේ.. හැබැයි එතන හිටපු අක්ක බබාලා නම් ගොඩක් අපිත් එක්ක පෑල්.. එහෙම වෙන්නත් හේතුවක් තිබුනා.. ඔය මන් කියපු අරිට්ටකිය ඒ දවස්වල නතරවෙලා හිටියේ අපේ සෙට් එකට සෙට් වෙච්චි ෆස්ට් ෂයි ලියන එකෙක් වෙච්චි පොඩි බූලා හෙවත්, ගමයා හෙවත් මිස්ටර් අසාර්ථක ලගේ ගෙදර.. මිස්ටර් අසාර්ථක කියල කාඩ් එක ගැහුවේ මමද කොහෙද.. ඕකගේ මොන වැඩේ කරන්න ගියත් හෙනම ප්ලෑන් .. කොලයක් අරගෙන ඉරි ගහල තීරු බෙදල එක එකාගේ රෝල් අයිඩෙන්ටිෆයි කරගෙන අරවද මේවද ඔක්කොම කරලා අන්තිමේ අතින් කියක් හරි කෙලවාගෙන විරුවා පට්ටං ගහගෙන ඉන්නවා. ඊළඟ වැඩේටත් එහෙමයි ඉතිං. ඒ ලෙවල් වලටත් ඔහොම ප්ලෑන් කරලා අන්තිමේ F දොළහක්ම අරන් තමයි නතර උනේ.. ඒ උනාට හරිම හිත හොඳ එකා.. සියලු දුසිරිතෙන් තොරයි. ඒ උනාට අපි කීයටද කාල බීල නාල ඉවර වෙන්නේ ඌ ඉන්නවා අපිව පරිස්සම් කරන්න.. හැබැයි ඔය යකාට දැන්නම් මිස්ටර් අසාර්ථක කියන්න බෑ.. දැන් ආණ්ඩුකාරයෙක්ගේ ලේමෙක්.. උගේ වැඩ ඔක්කොම සාර්ථකව කර ගන්නවා.. ඒම මදැයි :)

හරි. දැන් ඉතීම් පොර අපේ අරිට්ටකියව ගෙදර නවත්තගෙන හිටියෙත් කිසිම ය කිරීමකින් තොරව. දෙන්නත් එක්ක එකට පාඩම් කරලා ගොඩ යන පරම පිවිතුරු චේතනාවෙන්.. පස්සේ මම ඔතනට සෙට් උනාම මූ මටත් කතා කරා උන්ගේ ගෙදර නැවතිලා පාඩම් කරන්න. සියලු බරපැන උන්ගේ ගෙදරින්. උන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් පාරෙමයි. හැබැයි අපේ ගෙවල් පහු කරලා තව කිලෝ මීටර් පාළොහක් විතර යන්නෝනි. බදුල්ල පැත්ත දන්නා උන් දන්නවා ස්ප්‍රින්වැලි හෙවත් වසන්ත නිම්නයේ පහළ තියෙනවා ති සුන්දර ගමක් 'කඳන' කියල.. නිමල් සිරිපාල හිටපු සෞඛ්‍ය ඇමතිගේ ගම.. නිමල් සිරිපාල පස්සෙත් තව තව ඇමති කම් දරුවත් සෞඛ්‍ය ඇමති කාලේ බදුල්ලට කරපු වැඩ කන්දරාව නිසා තාමත් මතක ඒ විදියට.. ඔය නිදාගෙන වගේ හිටියට වැඩ කරන්න ගත්තම යකා වගේ. අනික පට්ට මීටරේ.. ලෝකේ හැම තැනම පොරට න්ටක්ට්ස්.. මට හැමදාම හිතෙන දෙයක් තමයි 2015 'පොද්ද' කල්ල 'හිටන්' වෙනුවට නිමල් ලොක්ක දැම්මනම් අද කතාව මීට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ කියනඑක.. ඒවා ඒ උනාට කියන්න බෑ.. කෙළවෙන්න තියෙනවනම් සක්කරයා ආවත් කෙලවෙනවම තමයි.. හා..හා.. දේශපාලනේ අදාළ නෑනේ මට.. කියන්න ආවේ මොකක්ද? ආ කඳන ගැන නේ..

කඳන කියන්නේ ඒ කාලේ වෙනකොටත් ඉඳුල් නොවිච්චි පට්ට ලස්සන ගමක්.. එහෙ ලයිෆ් එකත් හරි වෙනස්. නගරයෙන් ඈත වෙලා තිබ්බත් මිනිස්සුන්ගේ සියලු බැඳීම් තිබ්බේ නගරයත් එක්ක නිසා ඒ මිනිස්සු හැමදාම උදේම නැගිටලා උයල පිහල කාල බීල ගමේ කාන්තාවෝ වැඩිහිටියෝ විතරක් ඉතුරු වෙද්දී අනිත් හැමෝම වගේ බස් එකෙන් නගරෙට එනවා. නගරය වැඩ අරඹන කොට මේ මිනිස්සුත් එතන. උදේ ගමෙන් එන බස් දෙක තුන හා හවස ගමට යන බස් දෙක තුන කියන්නේ ගමේ දින චරියාවේ වැදගත්ම අංග දෙකක්.. එතන තියෙනවා ලස්සන එකමුතුවක්. හදිසියක් නිසා තමන් එදාට යන බස් එකට ඒ ගන්න බැරි උනොත් අන්තිම බස් එකට කොහොම හරි පණිවිඩේ දීල ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ.. සමහරවිට පැයක් හමාරක් ගමන පමා උනත් පමා වෙන පුද්ගලයා ගැන හැමෝම හොයල බලනවා මිසක් තමන්ගේ ගමන පරක්කු වෙනවා කියල කවුරුවත්ම කවදාවත් කම්ප්ලේන් කරන්නේ නෑ. අන්න ඒ වගේ. මිනිස්සුත් හරිම අහිංසක සුන්දර ඈයෝ.. නැන්දලා මාමල, බාප්පල පුන්චිල අයියල අක්කල දුවල පුතාල තමයි හැමෝම.. කොටිම්ම ඔක්කොම වගේ නෑදෑයෝ.. ආ ඔය නිමල් ලොක්කගේ මහගෙවල් මේ අපේ යාළුවගේ ගෙදෙට්ට පිටිපස්සේ වගේ.. ඒ කාලේ බුවා කියන්නේ නිමල් මාම කියල.. දැන්නම් මක්ක කියනවද මංදා..

කඳන ගැන කියුව වැඩිද මංදා.. හරි.. ඉතීම් ඔන්න දැන් මාත් කඳන පදිංචියට ගිහින් එහෙ ජිවිතේට හුරු උනා කියමුකෝ.. ඒ කියන්නේ උදේ පහට විතර නැගිටලා පට්ට හීතලේම වොෂ් එකක් දාගෙන උණු උණුවෙන් රතු කැකුළු බත් වේලක් බඩ පිරෙන්න කාලා  5.45 ට එන බදුලු බස් එකේ නගරෙට එනවා.. ඔන්න ඔය බස් එකේම අපිත් එක්ක ආවා ලස්සන ඇස් දෙකක් තියෙන අක්කි බබෙක්.. වැඩේ කියන්නේ අක්කිගෙ නමත් 'නයනා'.. සරීර ලක්සන වලින් ගත්තොත් මේ උන්දී මට හාත්පසින්ම වෙනස්.. ඒ කියන්නේ 'ලස්සනයි, සුදුයි, පුංචියි..'.. හැබැයි මට හරිම ලෙන්ගතුයි.. කතා කරත් බඩ පිරෙනවා.. කතා කරනකොට ළඟටම ඇවිත් අර ලස්සන ඇස් වලින් කෙලින්ම ඇස්  දිහා බලාගෙන බොහොම හිමින් කතා කරන්නේ.. රැවුල වැවිල වැඩියි නම් ඒක කියන්නේ මූන අතගාල.. කතා කරන ගමන් ෂර්ට් එකේ කොලර් එක හදනවා,, බොත්තම් පේළිය කෙලින් කරනවා.. ඒ කියන්නේ කතා කරන වචන ටික උනත් 'බොක්කේන්ම තමයි කතා කරන්නේ.. මෙයා එක්ක තව අක්කෙක් ආවා ඈ නෑ කමෙන් මගේ යාලුවාගේ නැන්දා.. :) මෙයාලා ආවේ මං අර කලින් කියපු බාහිර උපාධි පංතියට.. පස්සේ මතක් වෙලා මං මේ ගැන බැලුව ඇත්තටම ඒ පන්ති වලට ඒ දවස්වල කියුවේ GAQ ක්ලාස් කියල.. ඔය GAQ කියන එකට ලංකාවටම විතරක් අදාළ තේරුමක් තියෙනවා ගූගල් එකේ General Arts Qualifying (exam; Sri Lanka) කියල.. මට හිතෙන්නේ BA(General) එකේ මුල් අදියර වෙන්න ඇති.. හරි.. ඉතීම් ඔය අක්කලා දෙන්නත් අපේ සෙට් එකටම සෙට් වෙච්චි.. ඒ අක්කල නිසා GAQ ක්ලාස් එකේ අනිත් අක්කලත් අපිට සෙට් වෙච්චි.. ඕකට ඒ ක්ලාස් එකේ අයියල නම් ඒ හැටි මනාපයක් තිබ්බේ නෑ උනාට අපි ඒවාට සැලුනේ නෑ..

ඔහොම අපි සතුටින් සමාදානෙන් ඉන්න අතරේ (ඉඳල හිටලා ඒ ලෙවල් වලට පාඩමුත් කරා ඈ!) මගේ හිත දවසින් දවස අර අක්ක වෙත බැඳුනා කියහන්කෝ.. එයයිත් අපරාදේ කියන්න බෑ මට සෑහෙන්න 'එක' දුන්න.. ඔක්කොටම හපන් අපේ ගොබිලෝ ටික.. උන් අපි දෙන්නව කසාදි බන්දල දීලත් ඉවරයි ඕක ඉව වැටෙනකොටම.. බස් එකේ එක සීට් එක වෙන්කර ගෙන ඉන්න එක, දවල්ට එක බත් එක කන එක, සිකරට් බොනවට බනින එක, දෙන්නට දෙන්න හොඳට පාඩම් කරන්න කියාගන්න එක වගේ දේවල් තමයි අපේ ලව් එකේ මුල්ම අදියර උනේ..

ඊළඟ පියවර විදියට මම කලේ කට්ටියවම දවසක් අපේ ගෙදර එක්ක ගිය එක.. සාමාන්‍යයෙන් අපේ ගෙදර කවුරු ආවත් ඒ ළඟ තේ වත්තේ ඇවිදින්න යන එක පුරුද්දක්.. තේ වත්තට ගියාම දැන් ඌව වෙල්ලස්ස කැම්පස් එක හදල තියෙන පැත්තෙන් මුළු බදුල්ල නගරයම ලස්සනට බලා ගන්න පුළුවන්.. ඉතීම් දවල්ට කෑම හදනකම් අපිත් ගියා තේ වත්තේ ඇවිදින්න.. අන්න එදා තමයි අපි දෙන්න පළවෙනියටම ඔෆීෂියල් පෙම්වත්තු වගේ කටයුතු කලේ.. කල කටයුතු මොනවද කියල අහනවා එහෙම නෙවෙයි ඔන්න.. ඊට පස්සේ ඉරිදා නිවාඩු දවසට අපි කඳන පහලින් ගලන ඔයේ නාන්න යනවා.. එයා ඉරිදට යාළුවගේ ගෙදර එනවා.. අපි නාන්න යන්නේ එතනින්.. උදේ නවයට විතර නාන්න යන්න පහලට බැස්සම හවස තුන හතරට තමයි 'නාලා' එන්නේ ගෙදර.. :D

තව විස්තර ලියන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. නැතුව මට මොනවා ලියවෙයිද කියල බයකට එහෙම නොවෙයි ඈ! හෙහ් හෙහ්.. අපි ඔහොම කොච්චර ආදරෙන් සමාදරෙන් හිටියත් කවදාවත් 'ආදරයක්' ගැන කතා කරලා නෑ.. හොඳකටද නරකටද මංදා එහෙම දෙයක් ගැන කතා කරන්න උත්සාහ කරලම නැද්ද කොහෙද.. ඒ කාලේ කොහොමත් දැන් වගේ අක්ක මල්ලි ලව් ඒ හැටි ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ.. සමාජ අසම්මතයක් විදියටම නොවුනත් පොඩි ප්‍රතිරෝදයක් තිබුන අපේ හිත්වලම ඒ වගේ දේවලට.. අනේ මංදා.. ඒ ලෙවල් ලියල ඉවරවෙලා මම කඳනට ආයුබෝවන් කියල ගෙදර ආව එකෙන් අපි හම්බ වෙන ෆ්‍රිකුවන්සි එක සෑහෙන්න අඩු උනා.. වෙනද වගේ ගැන්සිය නැති නිසා මම ඉන්ස්ටිටියුට් එක පැත්තට ගියේ නෑ. ඒ වෙනුවට හවස ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ පැත්තට ගිහින් එයාලව බස් එකට ඇරලවල එනවා. සෙල්ලම් කරන්න හිත ගිය දවසට ඒකත් මිස් වෙනවා.. හ්ම්ම්.. නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ එතනින් එහාට ගොඩක් දේවල් රුවිතෙටමයි උනේ.. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් ටික කාලෙකින්ම මම නේවි ජොයින් වෙනවා කියන ආරංචියට නම් එයා පණිවුඩයක්ම එවල හම්බවෙලා දුක සතුට දෙකම මුසුව සුභ පැතුවා..

කොහොම හරි ඉන්ටරෙස්ටින්ම වැඩේ උනේ ඊට පස්සේ.. පලවෙනි මාස තුනේ ඉංග්‍රීසි කෝස් එකෙන් පස්සේ අපිව ඇකඩමියට යැව්වම එතන එකම භිෂණයක්.. අපිට සීනියර් බැච් තුනක් එතකොටත් ඇකඩමියේ ට්‍රේනින් වෙනවා.. උන්ගේ අටෝරසියක් කැට මැද්දේ තිබුන එකක් තමයි 'කෙල්ලගෙන් ' ලැබුන ලියුම උන් ඉස්සරහ කියවන එක.. ඒක දන්නේ පස්සේ.. කෙල්ලක් නෑ  කියපු උන්ට තඩි ගෙම්බෙක් හොයල අල්ලාගෙන ඇති කරන්න කියපු නිසා හා අපි ලියුම් කියවනකම් උන් තම තමන්ගේ ගෙම්බා හුරතල් කර කර, උන්ට 'තොලක් එහෙම දාල' ආතල් ගන්න සෙට් වීම නිසා මම ගත්ත කටටම කියුව මට 'කේලලක්' ඉන්නවයි කියල.. හුටා ඊට පස්සේ තමයි දන්නේ කෙල්ලගේ පින්තුරයක් ළඟ තියා ගන්නත් ඕනි එවන ලියුම් සති අන්තේ උන් ඉස්සරහ කියවන්නත් ඕනි කියල.. අන්න ඒ වෙලාවේ මට ආයෙම පිහිටට ආවේ මගේ ලස්සන ඇස් අක්ක බබා තමයි.. මම වහාම කෝල් එකක් දීල යාළුවට විස්තරේ කියල එයාට ෆෝන් එකට එන්න කියුව පහුවෙනිදට කතා කරන්න. අපේ එකා ඒක කියපු වෙලාවේ නම් කෙල්ල හොඳටම රතු වෙලා ඇඹරුනා ලු.. කොහොම හරි එයා පහුවෙනිදා කියපු වෙලාවට යාළුවගේ ගෙදරට ඇවිත් මට කතා කලා.. මම විස්තරේ කියුවම ඒ සතියෙම පොඩි ෆොටෝ එකකුත් දාල සාමාන්‍ය විස්තර අහල ලියුමක් එවල තිබ්බ.. ඒ ෆොටෝ එක දැක්කම අරුන් කියුවනේ මේ කෙල්ලට පිස්සුද යකෝ තෝ වගේ වළහැඩියෙක් එක්ක යාලු වෙන්න කියල.. හැක්. ලියුම කියෙව්වම ඇහුව ඒ උඹේ කෙල්ලද අම්මාද කියල.. මං පහුවෙනිදම ආයෙම කෝල් එකක් අමාරුවෙන් අරගෙන ඔය කතන්දර දෙකම එයාට කියුව. එදානම් අපි දෙන්නම කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා.. එදා ඉඳල මාස දෙක තුනක් යනකම් එයා පැණි බේරෙන ලව් ලෙටර් සති පතා වගේ එව්වා.. කොහොම හරි අපේ බැචාලත් තාම හිතාගෙන ඉන්නේ 'නයනා' තමයි ඒ කාලේ ලව් එක කියල..

මාස දෙක තුනකින් ඒ ගොන් පාට් එක ඉවර උනාට පස්සේ පැණි ලියුම් 'ගෙන්න ගන්නා' එකත් නතර උනා.. අහම්බෙන් මිසක් කතා කරන්න උනෙත් නෑ.. ඔය අතරේ එයා බාහිර උපාධිය ඉවර කරලා 'ඒජිඔෆිස්සෙකේ' රස්සාවකට ගියා.. පස්සේ ආරංචි උනා කොල්ලෙක් සෙට්වෙලා ඉන්නවා කියල.. තවත් කාලෙකින් ආරංචි උනා බැන්දයි කියල.. පස්සේ පස්සේ ආරංචි එන එකත් නතර උනා.. :)

මේ බොහොම මෑතක.. බොහොම මෑතක.. මට දවසක් එයා අහම්බෙන් හම්බුනා බදුල්ලේදී.. අනේ.. අර ලස්සන ඇස් දෙකයි ඒ ලෙංගතු කමයි එහෙමමයි.. එදා කතා කරෙත් ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මගේ ටී ෂර්ට් එකේ කොලර් එක හද හදා.. දැන් ලොකු ළමයි දෙන්නෙක්ගේ අම්මෙක්.. හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා.. මගේ විස්තරත් ඇහුව.. නෝනවයි ළමයින්වයි එක්කගෙන දවසක එහෙ එන්නත් ආරාධනා කරා.. මමත් ඉතින් කට්ටියටම ගාල්ලේ එන්න කියල ආරාධනා කරා.. අන්න එදා මම පළවෙනි වතාවට එයාට 'අක්කේ' කියල කතා කරා.. එයා නම් කලිනුත් කියල තියෙනවා.. ඒ වුනාට එදා ආයෙම කට පුරා හිනාවෙලා 'මල්ලී' කියල කියුව..  'මට පෙම් කළ' කියල කියන්න පුලුවන්ද බැරිද මංදා.. සනත් නන්දසිරිගේ මේ සින්දුව ඇහෙද්දී මට එයාවවත් එයාගේ අහිංසක ලස්සන අමුතු ඇස් දෙකවත් මතක් වෙන එක නවත්වන්නම බෑ..

ඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා.. මා හා හිනැහුණු අහිංසකාවිය..
අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. ……………………… මුදු නිසංසලාවිය..
මමනම් ආසයි අහන්න නයනා.. ඉස්සර වාගේ ඔබේ මුවින්..
දෙනෙත පියාගෙන කියන්න මුමුණා..
එක වදනක් හෝ කෝල ලෙසින්.. ..

Sunday, 20 January 2019

පොලිස් කොත්තුවක් සමඟ වසර තුනකට පසු නැවතත් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට..

කුරුඳුවත්ත පොලිසියත් එක්ක මගේ අත්‍යන්ත බැඳීමක් නෙව තියෙන්නේ.. 2016 ජනේරු මාසේ අහක යන මඟුලක් ෆොටෝ අල්ලල කුරුඳුවත්ත පොලිසියේ දවසක් ලගින්න උනායින් පස්සේ මං කොටිම්ම ආයේ රීඩ් ඇවනියු එක පැත්තෙන්වත් හදිසියකටවත් නොයා හිටියේ.. ඒ තරම් ප්‍රිය මනාපයි පොලිස් උත්තමයන්ව එදා ඉඳං හිටං..

ඒ උනාට ඊයේ සෑ උනානේ ආයිම හෙටානිද්දට එහෙ ගිහින් එන්න සිද්ද වෙන වැඩක්.. ඊයේ සෑ නවයත් පහුවෙල.. මං ගංගාරාමේ පැත්තේ ඉඳං ඇවිල්ල හිට පිත්තල හංදියෙන් වමට දාන්න යනකොට මයෙ අම්මපල්ල කහ ලයිට් එක තිබුනේ.. ඉතිම් මං ආපු වේගෙන්ම නැවුව වමට.. එතකොටම රතු ලයිට් එක පත්තු උනා තමයි ඉතිම්.. ඒක වෙනම කතාවක්.. අපොයි හරෝනකොටම පැන්නේ නැද්ද පොලිස් අංකල්ල දෙන්නෙක් ඉස්සරහට..
පොලිස් කාරයෙක් උනත් සුද්දෙක් නම් අවුලක් නෑ සර්...

ඉතිම් එයාල මගේ ලයිසම පරිස්සමට තියාගෙන මට කොල කෑල්ලක් දීල කියුව මේ දවස්වල ආණ්ඩුවටත් සල්ලි නැති නිසා තැපැල් කන්තෝරුවට සුපියල් 1100/- ගෙවල පොලිසියට ඇවිත් ලයිසම ඉල්ල ගන්න කියල.. කොහෙ පොලිසියටද ඇහුවම තමයි මගෙ මල එජස් වුනේ.. ඇයි යකෝ මේ ලංකාවටම තියෙන්නේ කුරුඳුවත්ත පොලිසිය විතරද.. ඉඳකින්.. දැන් පලකො ඔය ගුබ්බෑයම අස්සේ ආයෙම.. නිකම්ම යන්න හොඳ නැති නිසා පොලිසියට පොඩි මඩකුත් ගහගෙන මගේ ඇරියස් එකත් කවර් කරගන්න හිතුන මේ කතාව දාන්න බ්ලොග් එකේ.. හෙහ් හෙහ්.. ආං එහෙමයි අපි ඈ!

මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

"පොලිස් කොත්තු දෙකා…..යි…."

පොලිස් කොත්තුවක් නොවේ..

විනාඩි පහක් යන්න කලින් හොඳ උනු උනු කොත්තු දෙකක් අරුන් දෙන්නට හම්බුනා.. මට හෙන කුතුහලේ මේ පොලිස් කොත්තු සීන් එක.. මම හෙමීට කොල්ලෙක් ලඟට කිට්ටු කලා..

"ඈ.. බං.. උඹල පොලීසියට හෙන බක්තිය නෙහ්.. ස්පෙශල් පොලිස් කොත්තු විනාඩි පහෙන් දෙන්නෙ ටේබල් එකට.."

ඌ කැත විදියෙ හිනාවක් දාල මෙහෙම කියුව..

"සර් කාටවත් කියන්නේ නැති බව දන්නව.. ඔය යක්කු සල්ලි දෙන්නේ නෑනෙ සර්..  අපි ඔය බාගෙට කාල ඉතුරු කරන කොත්තු, චිකන් අඬු එහෙම වෙනම එකතු කරල තියනව.. ඉතිම් එනකොටම ඒවයින් ලොකු කොත්තු දෙකක් මිරිස් සැරට අලුතෙන් ගහල දුන්නම වැඩේ ශේප්!.."

හායි යාළුවනේ.. සඳුදට මාව කු.පො.යේ ඇරස්ට් කල්ල කියල ආරංචි උනොත් එහෙම හොඳවැයින් පොලිස් කොත්තුවකුත් අරං මාව බලන්න එන්ටල..ජය වේවා! කියුව එහෙනම්..

ක.මි..

Thursday, 9 August 2018

I said goodbye to Facebook!


It was a fun.. I'd never regret the time I spent with Facebook. I was there for about 09 long years.. But, I thought the time has come to use that time for a more meaningful work. So I deactivate my FB account with effect from yesterday. I'll miss few good people those with whom I had contacts only over FB. But I'm still not brave enough to loose you guys; the bloggers, that easily so I thought I'd continue with this.

Cheers!

KM

Monday, 23 July 2018

බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It's weird being traveller in busses!

මේ ඔයාල හැමෝම අර අටමගේ බුකියේ සකලංසමාලේ ඉන්නවල නේද? මාත් ඉන්නෝ අනේ.. එතන හරි ෂෝයි.. :))) මේ ඊයේ එතන ලියුව එකක්.. පරණ ලව් එක මතක් වෙලා මෙහෙත් ගෙනත් එල්ලුව.. කමක් නෑනේ.. 

බස් වල ගෑල්ලමයින්ට වෙන අකටයුතුකම් ගැන බදුල්ලේ නම්කි කෙනෙක් එතන ලියල ඒකට සුසූ ගාල කොමෙන්ට් වැටෙනවා දකිනකොට බදුල්ලේම එකෙක් විදියට පදිරි වෙන්න බැරි නිසා මේක ලියුවේ.. බස් වල ගිය කාලේ මල් වගේ සොරි..මං වගේ පිරිමි ළමයින්ට වෙච්චි අකටයුතුකම් කීපයක් මේ. 
Inside a crowded Bus in Sri Lanka- Photo courtesy www.google.com
පළවෙනියට මතක් වෙන එක උනේ අනූ තුනේ වගේ.. අර බස් වල ගේමක් නැතුව සිකරට් එකක් එහෙම ගහගෙන යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බ කාලේ.. අපි ඒ ලෙවල්.. අපේ කොල්ලෙක්ගේ අයිය කෙනෙක් මක්කද වෙලා මැරිලා අපි සේරම හවස බදුල්ලේන් බිබිල යන බස් එකට ගොඩ උනා.. මම ඉතින් හැදිච්චි එකා නිසා බස් එක අද්දනකම් ඉඳල එල්ලිලා පොල්ලත් අල්ලං පස්සට ගිය කොන්ද අංකල්ගේ ඉල්ලීමට.. ගිහිං හිටගෙන ඉන්නකොට පොඩි අමුත්තක් දැනුන.. බැලින්නං ළඟ ඉන්න අංකල් කෙනෙක්ට පොල්ල මාරුවෙලා.. මගේ කලිසම ඉස්සරහ හොයනවා.. පොඩ්ඩක් බැලුව ඔරෝල.. ම්හු.. මිනිහ ජනේලෙන් ඈත බලාගෙන මගේ පොල්ලම හොයනවා.. මමත් ඒ පාර අල්ලන් හිටපු බස් එකේ පොල්ල අත ඇරලා මිනිහගේ පොල්ල හොයන්න සෙට් උනා.. අනේ.. ජෝකෙක්වත් ඇඳලා නැද්ද ලූස් ද මංදා අංකල් කාරයා හොඳට හරි බැරි ගැහිලා දුන්නේ නැද්ද මට අල්ලන්ඩ. මාත් සයිස් එක එහෙම මැනගෙන පොල්ල විතරක් මොකද කියල බෝල දෙකත් අල්ලලා.. උගේ මෑණියන් ට පිංදීල මිරිකුවා සෙට් එකම බීපු රන්කිරි කටිං එන්න.. ඒ ගැම්මෙන්ම අත නවල දුන්න වැලිමිටි පාරක් උදර කුහරෙයි උර කුහරෙයි තාවකාලිකව විසන්ධි වෙන්න.. ඒ කාලේ අර මාස්ටර් ඔයාමා ගේ පංති එහෙම ගිහිල්ල අඟලක් දුරින් ඉඳල මුෂ්ටි පහර දීල උළු කැට කඩපු කාලේ.. ඉතිං අඟල් හයක් විතර ඇදල දීපු වැලිමිටි පාරට මටම බය හිතුන මේක මෙතැනම මිය යයි වත්ද කියල.. ඤරස් ගාල සද්දෙකුත් ආවද කොහෙද.. අන්න ඒ නිසාම මම සුටුස් ගාල එතනින් මාරුවෙලා අපේ එවුන් හිටිය මැද්දට ගිහින් හොඳ එකා වගේ හිටිය.. බහිනකම් බයේ හිටියේ.. 

ඊළඟට මතක් වෙන එක උනේ ඊට අවුරුදු දෙක තුනකට පස්සේ.. කොළඹ මීඩියා ඩිප් එකක් කරන්න අරං සෙනසුරාද රෑ කෝච්චියේ බදුල්ලෙන් ඇවිත් ඉරිදා රෑ බස් එකේ ආපහු යනවා.. ඒ කාලේ ඔය මාසේ දෙවෙනි සති අන්තෙට මම ටිකක් වැඩිපුර කැමති.. මොකද ඒ දවස්වලට බස් වල ගෑල්ලමයි ගොඩයි. ගාමන්ට් වල පඩි දීලා නිවාඩු දෙනවා මයේ හිතේ.. අපේ එවුං කියල තිබ්බ හැටියට අන්න ඒ වගේ කෑල්ලක් සෙට් කර ගත්තනං ඒ කාලේ සැප තමයි කියල මම හිතාගෙන හිටියේ.. ඒ උනාට කොහේ.. ම්හු.. උන් උන්ගේ පාඩුවේ දෙන්න තුන්දෙනා යන එනවා මිසක් අපි දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. ඒ වුනාට මම සැලුනේ නෑ. උපේක්ෂාවෙන් ඉඳල එක දවසක් පෝලිමේ ඉන්න ගමන් එකකට ටෝක් කල්ල 'හිතවත්' උනා.. 'අක්ක අක්ක' කියල මම කියපු ආදරණිය සුවරෙටද මංදා ඒ 'අක්ක' ඇවිත් මාත් එක්කම එක සිට් එකේ ඉඳ ගත්තත් එක්ක. අහෝ.. බස් එක මහරගමට එන්න උනේ නෑ.. ඕක්.. ඕක්‌.. ගානකොට මම පැනල ජනේලේ ඇරලා දුන්න.. චීස් ගාල විද්ද වමනේ පාරෙන් කොටහක් මගේ ඇඟේත්.. අන්තිමට මගේ ලේන්සුවෙන් මාත් ඇඟ පිහදාගෙන උන්දැට ඒකත් දුන්න.. ඒ පාර අතේ තිබ්බ තඩි මල්ලක් මගේ උකුල උඩින් තියල උන්දා කට කපල නිදා ගත්ත.. ආයි නැගිට්ටේ අර වගේම දෙතුන් පාරක් වමනේ දාන්න තමයි.. බලංගොඩ තේ බොන්න නැවත්තුවම මම බොහොම අමාරුවෙන් අරුන්දව උස්සල සිට් එක උඩින් තියල ගිහිං අතපය හෝදගෙන චූ කල්ල ආව.. අඩුම සිකරට් එකක් බොන්නවත් පිරියක් ඉතුරු වෙලා තිබ්බේ නෑ මට.. දෙවෙනි ගමන පටන් අරගෙනත් අර සෙතේම තමයි. මෙන්න යකෝ මැරිලා වගේ නිදාගෙන හිටි ගෑණි 'බණ්ඩාරවෙල ටිකට් බහින්න'යි කියපු ගමන් දඩ බඩ ගාල නැගිටල මගේ දිහාවත් බලන්නේ නැතුව බැග් එකත් අරං බැහැල ගියා.. මම දුකට හිස් වෙච්චි වෙන සිට් එකකට ගිහිං ඉතුරු ටික නිදා ගත්ත.. 

තුන්වෙනි එක උනේ ඊට සෑහෙන කාලෙකට පස්සේ.. හරියටම 2009 අප්‍රේල් වගේ.. ඒ කාලේ මම හිටියේ මුලතිව් කිට්ටුව කල්ලරාවේ.. මාසයක් විතර මුහුදෙයි, ගොඩබිමයි කැලෙයි කොලෙයි ඇවිදලා රෑ ගාණක් නිදි මරල ඔන්න දවසක් ගෙදර එන්න කියල ආව.. දඹුල්ලට එනකං වාහනයක් දෙනෝ ඒ කාලේ අපිට.. උදේ පාන්දරින් එන්න බෑ පාරවල් ක්ලියර් කරනකං ඉන්න ඕනිනේ.. කොහොම හරි මම පොඩි වෙච්චි ටී ෂර්ට් එකකුයි කැසුවල් කලිසමකුයි ඇඳගෙන කිළුටු ඇඳුම් සෙට් එකත් බෑග් එකේ දාගෙන හතට විතර එහෙං වාහනේ පිටත් වෙලා දහයට එකොළහට විතර දඹුල්ල ටවුමෙන් බැහැල වාහනේ ආපහු යැව්වා.. බැලින්නං දඹුල්ල කිරි කොකා වගේ දිළිසෙනවා.. මම මඩ නාපු වලහැඩියෙක් වගේ ඒ මැද.. ගානකුත් නෑ ඒ උනාට.. ඔන්න එතකොටම ආපි පොළොන්නරු ඉඳල කොළඹ යන බස් එකක්.. මම ටක් ගාල නැග්ග.. ඉඩ තිබ්බේ පිටිපස්සෙම සීට් එකේ මැද විතරයි. මම එතන වාඩි උනා.. කොන්දොස්තර ටිකට් කඩන්න එනකොටත් මම බාගෙට නිදි.. ටික වෙලාවකින් මට මොකක්ද අමුත්තක් දැනිල ඇහැරිලා බලනකොට බස් එකේ පිටිපස්සේ සෙනග ඔක්කොම වගේ මගේ දිහා බලාගෙන.. බස් එකක් නතර කරලා.. කොන්දොස්තර මගේ ලඟට ඇවිත් බය පක්ෂපාතව වගේ මහත්තයා අයිඩෙන්ටිය දෙන්න පුළුවන්ද ඇහුව.. මට වැඩේ තේරුණා.. මම සාමාන්‍යයෙන් කරන්නේ නැති උනත් ඒ වෙලාවේ වචනයක්වත් කියාගන්න බැරුව මහන්සියෙන් හිටි නිසාම මම සර්විස් අයිඩෙන්ටිය දික් කරා.. නිල්පාට සර්විස් අයිඩෙන්ටිය දකින කොටම කොන්දා මල්ලි මගේ එහා පැත්තේ හිටපු කෙල්ලෝ තුන්දෙනාගේ ඇඟට කඩා පැන්න.. 

"මම කියුවේ..මම කියුවේ.. හමුදාවේ මහත්තයෙක් කියල.. කොච්චර දෙනෙක් යනවද අපිත් එක්ක.. මාස ගාණක් කැලේ ඉඳල එනකොට රැවුල් කොන්ඩ කපල එන්නය.. රෑ කීයක් නිදි මරලද කවුද දන්නේ.. ඒ මහත්තය ඉන්න සිට් එකේ ඉන්න බැරි නම් ඔය මිස්ලා බැහැල යන්න මම සල්ලි දෙන්නම්.." 

බැලින්නං මගේ එහා පැත්තේ හිටපු ඉටිකිරිස් එකට ඇඳගෙන කොළඹ යන ටීචර් ලා තුන් දෙනෙක් මම 'කොටියෙක්' වෙන්න ඇති කියල රිපෝර්ට් කරල..

Thursday, 25 January 2018

අන්න ගන්නවානම් මළ ගෙවල්! Not the length but the depth of life what matters..

Image result for sri lanka funeral
අතිවිශාල ජනකායක් සහභාගී වූ ලංකාවේ අවමගුල් 'උත්සවයක්'- පිංතුරය Google අනුග්‍රහයෙන්

සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන්  ඉවරයක් වෙන එකකුත් නෙවෙයි..

මේ සති අන්තයේ යෙදුණු කටයුතු දෙකක් නිසා කොළඹින් පිට නොයා ඉන්න කලින්ම තීරණය කරලා තිබුනයින් තවදුරටත් මිත්‍රද්‍රෝහියෙක් නොවී තරුරසිගේ අලුත් නවකතාව 'දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය' ගැන කතාබහට සෙනසුරාදා හවස්වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට ගොඩ වෙලා එන්නත් බෝනස් අවස්ථාවක් ලැබුන.. පුළුවන් අය එතැනදී මුණ ගැහෙමු.
තරුරසී ගේ වැඩේ ගැන විස්තරේ..

සති අන්තයේ යෙදුන ප්‍රධාන කටයුත්ත මගුලක්.. මනමාලයට මගේ වයස.. ඒ කියන්නේ හරිනම් ජිවිතාබෝධය ලැබෙන්න ඕනි වයස.. ඒ උනාට මූ අමාරුවේ වැටෙන්න තීරණය කරලා.. ඒක උගේ කැමැත්ත කියමුකෝ.. වෙඩිම ගන්නේ කොළඹ තරු හෝටලේක.. කෑම පිඟානක් අස්ප ගානක් ලු.. ඒක නිසා ඉන්වයිට් කරනකොට මුලින්ම කියුවේ 'මචං බැචාලා විතරයි.. ෆැමිලි එක්ක පස්සේ සෙට් වෙමු' කියල.. ෆැමිලි එක්ක එන්න ගත්තොත් එකා හතර පහ වෙලා ඉන්න එකේ ඌට ඇඳන් ඉන්න කලිසමත් උකස් තියන්න වෙනවා.. ඌ නම් බලෙන් දා ගන්න ලෙඩක් නිසා ඌට වෙන අලාභය කෙසේ වෙතත් ඔතනට පවුල දක්කන්න ගියොත් අපිට වෙන අපහසුතා? හම්මේ ඉතීම් ඕනිම නෑ.. කොහොම හරි උගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් එක නිසා අපේ සතුට උතුරා ගිහිං තමයි දෙවෙනි ඉවෙන්ට් එක සෙට් උනේ.. ඒ කියන්නේ ඉරිදා වැඩේට බැචා ල ඔක්කොම එන නිසා අපි තීරණය කරා සෙනසුරාද දවල් ඉඳලම වෙඩිම සමරන්න.. අන්න එහෙමයි අපි.. කොහොමත් වෙඩිමට කියල අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැති එකේ (සර්විස් ඉන්න උන් නම් archsword වත් ගහයි) අපේ අදහස කලින් දවසේ ඉඳල සප්පායම් වෙලා එතන ගිහින් එක බත් පිඟාන දෙන්න තුන්දෙනා ගානේ කාල අරුගේ බර ටිකක් හෑල්ලු කරන්න..  හරි.. කියන්න ගියේ වෙඩිමක් ගැන නෙවෙයිනේ.. ඔයිට හාත්පසින්ම වෙනස් 'අවවෙඩිමක්' ගැන..
Image result for Navy wedding arch sword
නේවි වෙඩිමක්..
****************************************************************************************

පෙරේදා රෑ.. ඔය මගුල සහ ගෙට් එක ගැනම කතා කරන්න මගේ බැචෙකුට කෝල් එකක් දුන්න.. මම කතා කරනකොට ඌ හිටියේ නුවර ඉස්පිරිතාලේ.. 'මචං වයිෆ් ගේ අම්ම ඇඩ්මිට් කලා.. ලියුකේමියාව' ඌ කියුව.. 'අහ.. සොරි මචං.. දැන් මොකද? මොකක් හරි උදව්වක් ඕනි වෙනවද? දන්නා අඳුනන කෙනෙක් සෙට් කර ගනිමුද?' මම ඇහුව.. 'නෑ මචං.. අවශ්‍ය ඔක්කොම ඉස්පිරිතාලෙන් වෙනවනේ.. අවුලක් නෑ.. අපි බලමු' ඌ කියුවම මම හෙටත් කෝල් එකක් දෙන්නම් මොනවා හරි ඕනේ කමක් උනොත් කතා කරපං කියල ෆෝන් එක කට් කරා..

ඊයේ රෑ.. වැඩ ඉවරවෙලා කාමරේට ගිහිං නිදහස්වෙලා රෑ නවයට විතර මම ආපහු කෝල් එකක් ගත්ත..

'මචං අම්මට කොහොමද?'

'ආ.. අම්ම නැති උනා මචං..'

'ඔහ්..... දැන් මොකද වෙන්නේ කොහෙද උඹ ඉන්නේ?' මට වෙන අහන්න දෙයක් කියන්න දෙයක් එක පාරට ඔලුවට ආවේ නෑ..

'ම්ම්ම්.. අපි අදම අවසන් කටයුතු කරා මචං.. අම්මත් කලින්ම කියල තිබ්බේ පැය විසි හතරක් යන්න කලින් වැඩ කරන්න කියල.. ඊයේ රෑ උඹ කතා කරලා ටික වෙලාවකින්..රෑ එකොළහට විතර අම්ම නැති උනේ.. වයිෆුයි එයාගේ අක්කයි දෙන්නම අම්ම නැති වෙනකොටත් ළඟ හිටියා.. පස්සේ අද උදේම මරණ සහතිකේ එහෙම අරගන්න හොස්පිටල් එකෙන්ම ගොඩක් උදව් කරා.. දුර ඉන්න නෑයින්ට එන්න එපා කියලම පණිවුඩේ කියුව.. කොළඹ ඉන්න එක පුංචි අම්ම කෙනෙක් විතරක් ආවා.. මහයියාවත් හවස රිසර්ව් කර ගන්න පුළුවන් උනා.. අපි ටික වෙලාවක් මල් ශාලාවේම මිනිය තියාගෙන ඉඳල හවස අවසන් කටයුතු ඉවර කරා..'

උගේ දීර්ඝ විස්තරේ ඉවර වෙනකොට මම මගේ උත්තරේ හදාගෙන ඉවරයි..

'මචං.. ලෝක චාරිත්තරේට කියල අපි මරණ බදාගෙන අනේ අපොයි කියුවට ඇත්තටම විය යුත්ත ඕක තමයි.. හැබැයි ඒක ඔය විදියටම කර ගන්න පුළුවන් උනා කියන්නේ උඹයි **යි (වයිෆ් ගේ නම) ග්‍රේට්.. ආයි ඉතින් ** ගැනවත් උඹ ගැනවත් අහන්න දෙයක් නෑනේ.. වෙරි ගුඩ් මචං.. මට කියන්න වෙන දෙයක් නෑ.. **ගේ අම්මට ට සුභ ගමන්.. **ගේ අම්ම නිසා ඒ අම්මත් අර වගේ හිතල තිබ්බ එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.. "

ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් 'සෝක ආතල්' අර ගන්න අද කාලේ මළගෙවල් ගැනම අහල අහල අපි සමහරුන්ට මේ කතාව ඇත්තක්ය කියල හිතා ගන්න අමාරු නම් මගේ මේ යාලුවා හා ඔහුගේ බිරිඳගේ මේ කතාව පොඩ්ඩක් කියවල ඉමු.

ඔහු ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි නාවික හමුදාවේ නිළධාරියෙක්.. ඇය කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මහරගම ජිවත් උණු ජයවර්ධනපුර රෝහලේ සේවය කල  වෘත්තීය හෙදියක්.. ඔවුන් විවාහ උනේ 2005 වසරේ වගේ.. මගේ යාළුවා කොළඹින් ඈත මංසන්ධියක් වීම නිසා අතිශය කාර්යබහුල වෙච්ච නගරයකට ආසන්න ගමක පදිංචිකරුවෙක්.. ඔහුට කවදාවත් ගමෙන් පිටට ඒමට ඕනි උනේ නෑ.. ඒ නිසාම ඔහු ගමේ ඉඩමකම මහා ගෙදරට කිට්ටුවෙන් ලස්සන පොඩි ගෙයක් හදල තිබ්බ.. ජෝඩුව විවාහ වෙලා පදිංචියට ගියේ මේ ගෙදරට.. ඇය රැකියාවෙන් ඉවත් උනා.. ළමයි දෙන්නෙක් ලැබුන.. සැමියා රස්සාවට යද්දී ඇය ගමේ ගෙදරට වෙලා ළමයි හදාගෙන හිටියා.. ළමයි ඉස්කෝලේ යන වයසට ආවම ගෙවල් ලඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලෙට දැම්ම.. ඊට අමතරව ගෙදර ඉඳගෙන ඈ ළමයින්ට අමතර දේ ඉගැන්නුවා. ලොකු දරුවා ඉතා විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් උනාම ලඟම තියෙන නගරයේ මහා විද්‍යාලයට ඇතුල් කළා..

හොඳම එක.. විශ්‍රාම යාම සඳහා සුදුසු සේවා කාලය ආපු ගමන් ඔහු විශ්‍රාම යාමට අයදුම් කරා.. දැන් ඉන්නේ විශ්‍රාම යන්න කලින් ලැබෙන නිවාඩුව විඳිමින්.. හෙට අනිද්දට පුර්ණ විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා පුංචියට වගාවක් කරගෙන පවුලත් එක්ක ඉන්න ඔහු සුදානමින් ඉන්නේ.. නේවි එකේ හිටියානම් මේ උපරිම පහසුකම් ගන්න පුළුවන් කාලේ.. අවුරුදු 55ක් වෙනකං ඉන්න තිබ්බ.. ඒත් උන් ජෝඩුවට ට ඒවායේ තඹේක වටිනාකමක් නෑ..
Image result for A farmer in sri lanka with smile
මේ අව්‍යාජ හිනාවයි මල් මිටයි උඹල ජෝඩුවට... (ආ.. මගේ බැචා හොඳ බ්ලොග් පාඨකයෙක්.. මාතලන් ගැන චෙෆාකි ගැන අටම් ගැන නිතර මගෙන් අහනවා.. සමහර බ්ලොග් පොස්ට් ගැන අපි බෝතල් ගණන් වාද කරලත් තියෙනවා.. ඒක නිසා ඌ මේක දකිනවා ෂුවර්!) 

ඔව්.. පුදුම වෙන්න එපා.. තාමත් අපේ රටේත් ඒ වගේ හිතන වැඩ කරන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හැබැයි කොච්චර දැනගෙන හිටියත් මටවත් එක පාරට අර අවමගුල අවසන් කරපු සරළ පිළිවෙත විස්වාසේට ගන්න බැරි උනා කියහන්කෝ..

අනේ අපි කොයිතරං නම් පටලවගෙනද මේ ජිවිතේ?

Monday, 22 January 2018

අපේ ඩැඩා ගේ වැඩ හිටං.. While we wait for life; He enjoys it.....!

අපේ තාත්තා.. තාත්තා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳල හිතාගෙන ඉන්නේ.. ඒත් හරියටම ගලපගන්න බැරි උනා ඊයේ වෙනකං.. ඔන්න ඊයේ මට සෙට් උනා කොණක්..

දැන් මාසෙකට විතර කලින් දවසක් අම්මගෙන් කෝල් එකක් ආවා.. අද රෑ 'අරුම පුදුම රෝද හතර' බලන්න කියල.. ටීවී බැලිල්ලක් අපේ ගෙදර රුටීන් එකේ නැති නිසා මම කෝකටත් කියුව අම්මට ආපහු ඒක පටන් ගන්න කලින් කෝල් එකක් දෙන්න කියල.. ඒත් එදා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි බලාපොරොත්තු වුනු කොටස එදා විකාශය උනේ නෑ.. ඉතින් ඕක ඔහොමම අමතක උනා.. ඔන්න ඊයේ හවස ආයෙම කෝල් එකක් ආවා බදුල්ලෙන් 'අරක අද යනවලු' කියල.. ඒ පාර කෝකටත් කියල ඊයෙත් රෑ නවයට ටීවීයෙක ඉස්සරහ ඉඳගත්ත..

අරුම පුදුම රෝද හතරේ නිවේදකයා 'තනියෙම කන්දක් කපන්න ගත්ත චීන ගොවියෙකු' ගැන ඌණපූරණයකින් පටන් ගත්තේ.. ඒකත් නරකම නෑ.. ඒ වුනාට ඒ චීන ජාතිකයා බලාපොරොත්තු උනා වගේ තමන්ට බැරිවෙන හරිය තමන්ගේ දරුවන් කරයි කියල අපේ තාත්තා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. එයා දන්නවනේ එයාගේ දරුවන්ගේ තරම..

අපේ ගම බදුල්ලේ නගර සිමාවේ කන්දක් උඩ තියෙන අලුත් ගමක්.. වෙල් යායවල්, වැව්, ගංගා වගේ ගමට සුන්දරත්වය ගේන විශේෂ කරුණු මොනවාවත් එහෙමටයි කියල මහලොකු 'ගමේ කමක්'වත් ඇති තැනක් නෙවෙයි.. වටේට තියෙන තේ වතු ටිකයි ගම පිටිපස්සෙන් තියෙන ගල් කන්දයි විතරක් උනත් 'ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන අතිශය සුන්දර රමණිය භුමි භාගය' අයත් කන්දේම අනිත් පැත්තේ හෙවත් ඉතුරු භාගයේ  පිහිටලා තියෙන නිසා පොඩ්ඩක් කන්දට නැගල වටපිට බැලුවම නම් ලස්සනයි තමයි.. ගමේ මිනිස්සු කියපු විදියට ගමට තිබුණු ලොකුම අඩුව තමයි ගමටයි කියල පන්සලක් නොතිබුණු එක.. මිට අවුරුදු දහ දොළහකට කලින් ඒකට එක්තරා විසඳුමක් ලැබුන.. කොහේදෝ ඉඳල වැඩිය ඉරිසින්නාන්සේ කෙනෙක් බාවනානුයෝගිව වැඩ ඉන්නයි කියල අපේ ගම තෝරා ගත්තට පස්සේ ගමේ කෙලවරේ පුංචි බිම් කඩක උන්නාන්සේට පන්සලක් වෙන් කරලා දෙන්න ගමේ මිනිස්සු කටයුතු කළා.. පස්සේ මේ 'පන්සල' නගරාශ්‍රිත පන්සලක ඉන්න නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ භාරකරත්වයටත් පත්වෙලා සඟ සතු දේපලක් බවටත් පත් උනාටත් පස්සේ අර ඉරිසින්නාන්සේ පංසල දාල යනවා..

ඔහොම කාලයක් අවතැන් වෙලා තිබ්බ පන්සලට ටවුමේ පංසලේ නායක හාමුදුරුවොන්ගේ ගෝල නමක් වෙන පූජ්‍ය කටුගස්තොට නාලකවංශ කියන මම කීප ආකාරයකින් ගරු කරපු ලොකු හාමුදුරුනමක් වඩින්නේ ඔය අතර.. අපේ තාත්තගේ පරම්පරාවත් පැවතෙන්නේ කටුගස්තොට ආශ්‍රයෙන් නිසා ටික කාලෙකින්ම දෙන්න හොඳටම සෙට් වෙනවා.. හාමුදුරුවෝ ගිහි කාලේ හොඳ බාසුන්නැහැ කෙනෙක් ලු. කලින් කියපු ලොකු හාමුදුරුවන් ළඟ පන්සල්වල තමයි වැඩ කරලා තියෙන්නේ.. පිළිම නෙලන්න, ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර, මේසන් වැඩ, වඩු වැඩ ඕනෙම වැඩක් ඇඟේම පිහිටලා තිබ්බේ.. පංසලේ ඉන්න ගමන් වැඩ නැති වෙලාවට තිබ්බ සේරම බණ පොත් කියවලා ගැඹුරු අභිධර්මය ඇතුළු බොහෝ ධර්ම කරුණු ගැන නායක හාමුදුරුවන්ටත් වඩා දැනුම රැස් කරගෙන තමයි මහණ වෙලා තියෙන්නේ.. ඒ මහණ වෙලා උපසම්පදාවෙන් පස්සේ අවුරුදු ගානක්ම දඹාන පැත්තේ මාවරාගල කියන ආරණ්‍ය සේනාසනයට වෙලා වනගතව භාවනා කරලා.. ඔහොම ඉද්දී නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට තමයි ඇවිත් අපේ පංසල භාරගෙන තියෙන්නේ.. මම කැමති පළවෙනි කරුණ හාමුදුවන්ගේ ඒ ධර්මාවබෝධය..
කල්‍යාණ මිත්‍රයෝ දෙදෙනා 2010 වසරේදී.. 
ඒ වගේම හාමුදුරුවෝ හරිම කෙලින් කතා කරනවා.. කොටින්ම නායක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මහා නායක හාමුදුරු නමකට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. දායකයින්ටත් එහෙමයි.. මේ කරුණ නිසාම සමහරු හාමුදුරුවොත් එක්ක අමනාපයි.. ඒත් හමුදුරුවොන්ට ඒක ගානක් නෑ.. ආයේ මනාප කෙනෙක් කියල උනත් විශේෂයක් නෑ.. හොඳම උදාහරණෙ අපේ තාත්තා.. හමුදුරුවොන්ගේ ලඟින්ම හිටපු සගය උනාට මම හිතන්නේ හාමුදුරුවොන්ගෙන් වැඩිපුරම බැණුම් අහලත් ඇත්තේ අපේ තාත්තා තමයි.. ඒක මම කැමති තවත් ගුණයක්..

තව එකක්.. හාමුදුරුවෝ කිසිම ආකාරයකින් දේශපාලන සම්භන්දකම් තියාගත්තේ නෑ.. කිසිම දේශපාලකයෙක් පංසලේ කිසිම වැඩකට ගෙන්න ගත්තේ නෑ වගේම පංසලට ආපු කිසිම දේශපාලකයෙකුට සාමාන්‍ය දායකයෙකුට එහා විශේෂත්වයක් පෙන්නුවේ නෑ.. ඒ එක්කම හාමුදුරුවන්ගේ තිබ්බ උඩින් කියපු විශේෂ හැකියාවනුත් මගේ විශේෂ ආකර්ෂණයට හේතු උනා..

හාමුදුරුවෝ මුලින් පටන් ගත්තේ පෝය දවසේ ඉඳන් එක දිගට දවස් හතරක් කරන භාවනා වැඩසටහනකින්.. ඒ එක්කම කලින් නිකම්ම නිකං පන්සලක් වෙච්චි එක 'විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්' උනා.. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැති උනත් මට හිතෙන්නේ ඒ වගේ සංවිධානාත්මක වැඩසටහනක තිබ්බ රික්තයක් පිරවීම නිසාද මංදා හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා.. ඒ එක්කම බදුල්ල අවටින් විතරක් නෙවෙයි කොළඹ ඉඳල පවා පෝයට ඒ වෙනුවෙන්ම ඇවිත් නේවාසිකව ඉඳල භාවනා වැඩසටහනට සහභාගී වෙන කණ්ඩායම් පවා එන්න ගත්ත. ඒ නිසාම පන්සලේ භෞතික සම්පත් මදි කම ලොකුවට දැනෙන්න ගත්ත.. ධර්ම ශාලාවක්, වැසිකිළි කැසිකිලි පහසුකම්, නේවාසික බැතිමතුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් වගේ දේවල්.. ඒ වගේම වඳින පුදින තැන්, සක්මන් මළු, භාවනා කුටි වගේ වගේ දේවල් වල අවශ්‍යතාවයත් ඇති උනා මගේ හිතේ..

ඒත් ප්‍රතිපත්තියක් විදියට හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් ඉල්ලුවේ නෑ.. අඩුම තරමින් පන්සලේ විදුලි බිල ජල බිල ගෙවන්න සම්මාදමක්වත් ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට විදුලිය නැත්නම් ගිනිමැලයක් ගහගෙන ඉන්න වතුර නැත්නම් ලිඳක් කපාගන්න එක තමයි හමුදුරුවොන්ගේ පිළිවෙල උනේ.. නමුත් දායක දායිකාවෝ එකතු වෙලා පංසල ගොඩ නැගුවා.. ඒ සියල්ලම හැසිරුවේ ලොකු හාමුදුරුවෝ.. දායක දායිකාවෝ එකතු වෙලා බුදු කුටිය හදනකොට උන්නාන්සේ ඒක ඇතුලේ ඉතාමත් කලාත්මක බුදු පිළිමයක් නෙළුව.. ඒක හරිම ලස්සනට පින්තාරු කරා..  උඩු වියනේ කලාත්මකව මල් කැටයම් චිත්‍රයට නැගුවා.. ගල් කටුවයි මිටියයි අරං කන්දෙන් පෙරලගෙන ආපු ගල් වල ලස්සන පහන් කෙටුවා.. ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මහා ගල් පෙරලලා බැමි දාල කන්ද උඩට ලස්සනට ලස්සනට ගෙබිම හදල ඒ එක තැනක බෝධියක් රෝපණය කරා.. තවත් පැත්තක බුදු කුටිය හා දොළොස් මහේ පහන.. එතනින් උඩට එක තැනක ධර්ම ශාලාව.. අනිත් පැත්තට ගල් පොකුණක් හා සක්මන් මළුවක්.. එතනිනුත් උඩට ගියාම අලංකාර චෛත්‍යයක්.. මේ වගේ කිසිම දේශපාලකයෙකුගේ වත් ලොකු සල්ලිකාරයෙකුගේවත් ඇල්ම බැල්ම නැතුව පංසල දවසින් දවස ගොඩ නැගුනා..

අපේ මහා ජෝඩුවත් වගකීම් ඔක්කොගෙන්ම වගේ නිදහස් වෙලා පැන්ෂන් එකෙන් කකා හිටපු එක දවසින් දවස පන්සලටම සින්න වෙන්න ගත්ත.. මම කලින් වතාවක නාය යාම් ආධාර ගැන ලියුව වගේ මොකක් හම්බුනත් 'අනේ සාධු මේක පංසලට හොඳයි' කියල ඒ දේවල් පන්සලටම පුජා කරා.. පැන්ෂන් එක තාත්තගේ උනාට ඒවා කෙරුනේ නම් අම්මගේ අතින්.. අපේ තාත්තට සල්ලි වල අගයක් වගේ වගක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙමයි.. ඒ නිසාම අපිට වෙච්චි අවනඩුත් බොහොමයි.. ඒත් තාත්තා කවදාවත් වෙනස් උනේ නෑ.. එයාට තිබ්බේ බොහොම සරල අවශ්‍යතා ටිකක්.. හැබැයි යමක් පටන් ගත්තොත් කවුරු හිටයත් නැතත් ඒක අවසානයක් වෙනකම් හීන් සීරුවට කරගෙන යන්න තාත්තට ලොකු ආත්ම ශක්තියක් තිබ්බ.. එයාට භාහිර ලෝකේ වෙන්නේ මොකක්ද කියන්නේ මොනවද කියන එක තමන්ගේ වැඩේට අදාලම නෑ..

 අපේ තාත්තා අතින් අපිට බොහෝ අඩුපාඩුකම් වෙලා තියෙනවා.. ඒ කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම නිසා හා ඒ එක්ක අපේ පවුලට ආපු අගහිඟකම් නිසා.. හැබැයි අපේ තාත්තා එදා ඉඳන්ම ලෝකෙට බොහොම හොඳ මිනිහෙක්.. බොන්නත් සිංදු කියන්නත් තිබ්බ ලැදියාව නිසා පවුලේ වගකීම් වලින් දුරස් උනාට තාත්තාට පවුලෙන් පිට කිසිම කෙනෙක් කිසිම දොසක් කියල නැතුව ඇති.. නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් පස්සේ තාත්තගේ බීමත්කම සම්පුර්ණයෙන්ම නතර උනත් සංගීතයට ලැදි බව නම් අඩුවක් උනෙම නෑ.. ඒ වෙනුවෙන් හාමුදුරුවන් කොච්චර දඬුවම් දුන්නත් හාමුදුරුවන්ට තාත්තව හදන්න බැරි උනා.. දඬුවම් කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න දීපු ටාස්ක්.. හැබැයි තාත්තා බොහොම සැහැල්ලුවෙන් ඒවා ඉවසල සින්දුවක් කියාගෙන හිටියා.. අන්තිමේ හාමුදුරුවොම දඹදිව ගිය වෙලාවේ හාමුදුවන්ගේ වියදමෙන් තාත්තට සර්පිනාවක් අරගෙන දීල හිත හදාගෙන තිබුන.. :)

නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයට වැටුනම තාත්තාගේ ජිවිතේ එක පැත්තක් කෙලින්ම U turn එකක් ගැහුවා කියුවොත් හරි.. එතකං ජිවිතේ ලොකු වගකීමක් ගත්තේ නැති බරක් පතලකට ගත්තේ නැති අඩියක් පුඩියක් ගහල ජොලියේ සින්දුවක් කියාගෙන හිටපු තාත්තා එක වරම වගකීම් සහිත පුද්ගලයෙකු උනා.. පන්සලේ එකතුවෙන මුදල් හදල වල භාරකාරත්වය ලැබුනෙත් තාත්තට.. මහා ලොකු මුදලක් එකතු නොවුනත් ලැබෙන රුපියල පවා පිළිවෙලට සටහන් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන පන්සලට අරන් දෙන්න තාත්තා කටයුතු කරා.. හැබැයි තාත්තට ඒ මදි උනා.. ලොකු හාමුදුරුවෝ බණ කියල අහවරවෙලා සිවුර ගලවල අඳනය පිටින් පංසලේ වැඩ කරද්දී තාත්තා ඒ වගේම තවත් බරපතල කටයුත්තකට අත ගැහුවා.. ඒ අර කන්ද උඩට උඩට පංසලේ තැන තැන හැදිච්ච වන්දනාමාන කරන ස්ථාන වලට හා ධර්ම ශාලා වලට යන්න පාරවල් හදන එක.. බැකෝ වලින් කපල මඩ වෙලා තිබ්බ කන්ද පාමුලම පන්සලට ඇතුළු වෙන තැනින් 'පාර හදන්න' තාත්තා පටන් ගත්ත.. කොහොමද.. කන්ද පුරා ඇවිදලා තමනට පෙරලන්න පුළුවන් ප්‍රමාණයේ විශාල තිරිවාන ගල් පෙරලගෙන ඇවිත් ගලෙන් ගල වලවල් හාරලා යට කරලා මතුපිට සුමට වෙන විදියට අඩි අටකට වැඩිය පළලින් වැඩි පාරක් තාත්තා 'තනියම' හදන්න ගත්ත.. ඔය වැඩේ පටන් ගන්නකොට තාත්තට වයස අවුරුදු හැත්තෑව පිරිලා.. සමහර දවසටම ගෙනල්ල යටකරන්න වෙන්නේ එක ගලයි නැත්නම් දෙකයි.. මාසෙට දවස් හතරක් සිල් සමාදන් වෙලා ඉතුරු දවස් හැම එකකම උදේම පංසලට ගිහිං තාත්තා වැඩ කරා.. එතන ඉඳල එක දිගට අවුරුදු හතකට ටිකක් වැඩි කාලයක් එහෙම වැඩ කරලා තාත්තා පන්සල පුරා කන්ද උඩට උඩට ඉතා අලංකාර ඒ වගේම ශක්තිමත් තනිකරම ගල් වලින් නිම කරපු පාරවල් මීටර් තුන්සියයක් පමණ 'තනිවම' හදල නිම කරා.. එක සත පහක වියදමක් නැතුව.. අද ඒ පාරෙන් කිසි ගැටළුවක් නැතුව වාහනයක් පංසල ඉහලටම ගන්න පුළුවන්..

පංසල ඉහත්තාවේම තියෙන අලංකාර චෛත්‍ය හදල නිම කරනවත් එක්කම වගේ තාත්තගේ 'රෝඩ් ප්‍රොජෙක්ට්' එකත් ඉවර උනා.. චෛත්‍ය හදල කොත නිරාවරණය කරන දවසේ ඉතා විශේෂ සිදුවීමක් උනා.. කොත නිරාවරණය කිරීමේ උත්සවයට වැඩම කරලා හිටපු ඌව පළාතේ සියළුම මහා සංඝයා ඉදිරියේ කටුගස්තොට නාලකවංශ හාමුදුරුවෝ මයික් එක අරගෙන මේ කටයුත්ත අගය කරලා චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න තාත්තාට ආරාධනය කරා.. ඒක හරිම සංවේදී මොහොතක් උනා..

මිනිහෙක්ගේ ජිවිතේ වෙච්චි වැරදිවලට ගෙවන වන්දි ගණනය කරන සිස්ටම් එකක් තිබුනානම් මට හිතෙන්නේ අපේ තාත්තා ඒවා පොලියත් වැල් පොලියත් එක්ක ඔක්කොම එකවර ගෙවා දමල තියෙනවා.. කඳු පාරේ මඩේ ලිස්සමින් කූඩැල්ලෝ එල්ලෙමින් ගිය පාරේ අද සැදැහැවතුන් සැහැල්ලුවෙන් තියන අඩියක් අඩියක් ගානේ ඒ පින් තාත්තට අනුමෝදන් වෙනවා නිසැකයි.. ඒ උනත් තාත්තා ඒ දේවල් වත් ලොකුවට ගණන් ගන්න එකක් නෑ.. සිංදුවක් කියල හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න තියෙනවනම් ඒක තමයි මම දකින තාත්තා අත්දකින සැනසීම..

අවුරුදු හැත්තෑනවයක හැරමිටියෙන් ඇවිදින මේ මහලු කොල්ලා හොයාගෙන රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරෙන් ගිය දවසේවත් ඒක වෙනස් උනේ නෑ.. මේ වීඩියෝවේ මුල් විනාඩි පහ හයෙන් අපේ ගමේ පංසලත් අපේ තාත්තගේ දාඩිය මහන්සියෙන් හදපු ඒ පාරත් අපේ තාත්තගේ සිංදු කෑල්ලකුත් අහගන්න පුළුවන්..

********************************************************
අවුරුදු 62 වගේ අඩු වයසකින් සසර ගමනේ අවසානයට ආසන්න නැවතුමකින් නික්ම ගිය ඒ කටුගස්තොට නලකවංශ නම් වූ ප්‍රිය යතිවරයාණන්ට මේ සටහන උපහාරයක් වේවා!




Thursday, 18 January 2018

ඩබල්ලේ උඩුවෙල! Deep down the memory lane..

ඉස්කෝලේ කතාවක්ද සුනාමි කතාවක්ද මොකක්ද මංදා.. මොකක් උනත් අම්බලන්ගොඩයාගෙන් එහෙම මෙහෙම කතන්දර අහන්න බෑනේ.. ඒක නිසා ඔන්නොහෙ ලියනවා.. මේකේ මුලක් මැදක් අගක් නෑ.. එහෙම එකක් ගැන මගෙන් අහන්නත් එපා..

ඒ 1988 අවුරුද්ද.. මම මහා විද්‍යාලෙට ආවේ ජනවාරි 18 වෙනිදා.. මම එනකොට පන්ති බෙදල.. මාව දාල තිබ්බේ A පංතියට.. හැබැයි එහෙම ඉන්න උනේ බොහොම ටික දවසයි.. අපිව කඩල දැම්මනේ D පංතිය හෙවත් කුස්සියට.. ගෘහ විද්‍යාව උගන්නපු මානෙල් ටීචර් තමයි අපේ පන්ති බාර.. ගෘහ විද්‍යාව ඉගෙන ගත්තේ ගෑල්ලමයි විතරක් නිසාද කොහෙද ඒ ටීචර් පන්තිදීත් වැඩිපුර හිටියේ ගෑල්ලමයි එක්ක තමයි.. මානෙල් ටීචර් මට හොඳටම මතක මටයි නදිෂයාටයි දීපු දඬුවමක් නිසා.. ඒක වෙනම ලියන්න ඕනි.. ලියල තියෙනවා මගේ හිතේ මෙතනද කොහෙද.. මේ ලියන්න ගත්තේ 'උඩ්ඩ' ගැන..

අපිව D පන්තියට දාල ටික දවසකින් 'මල්ලිකා' ටීචර් ඇතුළු සෙට් එකක් ආව අපිව 'නිවාස' වලට බෙදන්න.. මල්ලිකා ටීචර් ව විතරක් මතක ඇත්තේ පස්සේ කාලෙක අපේ 'ආදරණියම' ගුරුතුමියක් වීම නිසාත් එතුමියගේ 'උස' හා සුදු සාරිය නිසාත් වෙන්න පුළුවන්.. කොහොමත් මේ පැටලිල්ල උනෙත් මල්ලිකා ටීචර්ටම තමයි.. කොහොම හරි ඔය නිවාස බෙදන සීන් එකේදී ටීචර් අපි එක එක්කෙනාගේ නම් අහගෙන ගියා.. අපි ඉතින් පිළිවෙලට නම් කියුව.. සුමිත් කළනසිරි, නදීෂ අබේසිංහ, පමල් පියංක අමරකෝන් ඔහොම කියාගෙන යන ගමන් මෙන්න එකෙක් කියපි 'ඩබල්ලේ උඩුවෙල' කියල..

මට ඇහුනේ හාමුදුරු කෙනෙක්ගේ නමක් වගේ.. ඒ පැත්ත බැලුවම අම්මප ඉන්නවා එකෙක් ගෝරිලි පැටියෙක් වගේ අතකින් කටත් වහගෙන.. නම අහන්න අහන්න අරකම කියනවා කට අතින් වහගෙන.. ටීචර් ටත් තේරුනේම නෑ. කොහොම හරි ටීචර් ලා දෙතුන් දෙනාම අහල අහල අන්තිමේ කියුව ඒ.ඒ. උඩුවෙල කියල.. ඒ.ඒ. කියන්නේ අරුණ අනුරුද්ධ කියන එක.. යකෝ මෙච්චර ලස්සන නමක් තිබිල කියපන්කො කට ඇරලා අරුණ අනුරුද්ධ උඩුවෙල කියල.. හෙහ්.. එහෙම කියන්න බැරි .. මම කියුවේ කට ඇරලා කියන්න බැරි පොඩි කේස් එකක් තිබුනනේ ඌට.. ඒක දන්නේ පස්සේ.. එදා ඉඳන් උගේ කාඩ් එක 'කැන්ගරු පොකට්'..
පොකට් එකේ පැටියෙක් දාගෙන ඉන්න කැන්ගරුවෙක්ගේ ඉමේජ් එකක් ඉස්සුවේ ගුගල් ඉමේජ් වලින් හිටං
මේ කැන්ගරු පොකට් නොහොත් ගොරිල්ලා නොහොත් ඩබල්ලේ උඩුවෙල නොහොත් අපේ උඩ්ඩා සුපිරිම චරිතයක්.. පිටින් පෙනිච්ච මනුස්සයාට වඩා බොහොම හිතවත් මිත්‍රශීලි ඒ වගේම හොඳ විනෝදකාමී කොල්ලෙක්.. ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ උන්ගේ ගෙදර පිහිටා තිබීම නිසා අපෙන් ඌට වෙච්චි කරදර අලාභහානි මෙච්චරක්ය කියන්න බැරුව ඇති.. ඌට ගෙදරින් තිබ්බ සම්බාධකත් බැලන්ස් කරගෙන අපිවත් එන්ටර්ටේන් කරන්න ඌ ගත්ත මහන්සියේ තරමට වඩා ගොඩක් ලොකු මහන්සියක් ඌට ගන්න උනා අර පත සරිරෙත් උස්සන් අපිත් එක්ක එක සීරුවට ඉස්කෝලේ තාප්පෙන් උන්ගේ වත්තට පනින්න..

මම මුලින්ම ලෑන්ඩ් ෆෝන් එකකින් ටැප් කරලා කෝල් එකක් ගන්න ඉගෙන ගත්තේ උන්ගේ ගෙදරින්.. එතකොට කාඩ් ගහන්න, කැරම් ගහන්න වගේ ක්‍රීඩා ත් ප්‍රගුණ කරන්න පුළුවන් උනා.. ඒ ඔක්කොටම වඩා තාම මතක 'ලෙච්චිමි' ගේ කූල් ඩ්‍රින්ක් එක.. 'බේබිමාතියා.. ලොකු නෝනා ආවොත් මාත් යිවරයි..' කිය කියා ලෙච්චිමි අපිට හැමදාම බිස්කට් එක්ක කූල් ඩ්‍රින්ක්ස් හදල දෙනවා.. ඉස්කෝලේ ඩබල් පීරියඩ් සෙට් වෙච්චි තාක්ෂණික සෞන්දර්ය වගේ විෂයන් තියෙන දවස් කියන්නේ ලෙච්චමී ට වැඩ වැඩි දවස්.. මොකද අපි අනිවාර්යයෙන් තාප්පෙන් පැනල 'උඩ්ඩා'ලගේ ගෙදරට යනවනේ.. අනේ.. ඌ අපි වගේ එහෙම මැරෑටියෙක් වත් නොසන්ඩාලයෙක්වත් නෙවෙයි.. ඌට පීරියඩ් කට් කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.. ඒ උනාට 'අපි වෙනුවෙන් අපි' කියල ඌ අනිවා අපිත් එක්ක එනවා..

ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් වලදී මට උඩ්ඩා එක්ක ලොකුවට සෙට් වෙන්න බැරි උනත් හම්බෙච්චි හැම වෙලාවකම පරණ ලෙන්ගතුකම එහෙමම තිබ්බ.. මට උඩ්ඩාව ඉස්කෝලෙන් පස්සේ හම්බුනේ දෙතුන් වතාවයි.. ඒ හැම එකක්ම වගේ අපි උන්ගේ ගෙදර ගිය වෙලාවල විතරයි.. ඒත් අන්තිමට හම්බුනේ 2003/ 2004 වගේ අහම්බෙන් හාලිඇලදී.. ඒ කාලේ මට වාහනයක් නොතිබ්බත් කාගේ හරි අටමගලයක් පැදගෙන ගිහින් දවසක් හාලිඇල දී හුළං බැහැල ටයර් කඩයක් හොයන් යන්න උනා.. බැලින්නං ඒ හාලිඇල ටයර් කඩය කරේ උඩ්ඩා.. ඉතිං තව මොනවද? සෑහෙන්න ආගිය තොරතුරු කතා කර කර ඉඳල ජංගම දුරකථන අංක එහෙමත් හුවමාරු කරගෙන අපි වෙන්වුනා.. ඒත් ආයේම කවදාවත් අපිට කතා කරන්නවත් හම්බ වෙන්නවත් උනේ නෑ.. 2004 සුනාමියෙන් පස්සේ දවසක හදිසියේ නදීෂයාට කෝල් එකක් ගන්න කොට ඌ ඒ අසුබ ආරංචිය මට කියුව..

'මචං උඹ දන්නවද? යාල පැත්තේ ට්‍රිප් එකක් ගිහිං ඉද්දි උඩ්ඩා සුනාමියට අහුවෙලා බං.. ශිහ්.. මාර අපරාදේ..' 'අයියෝ'.. මට කියවුනේ එච්චරයි.. උඹ මැරුණට 'මහ විද්‍යාලේ' වගේම අපේ හිත් වල හැමදාම ජිවත් වෙනවා මචං.. කවද හරි ආයෙම සෙට් වෙමු' .. එතකං උඹට සුභ ගමන්!

(අපි BMMV 95 කණ්ඩායම කියල බුකියේ ගෘප් එකක් හදාගෙන පොඩියට කරගෙන යනවා.. මේ එතන ලියපු එකක්.. පස්සේ හිතිලා බ්ලොග් එකේ එල්ලුවේ.. 'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා)  

Tuesday, 21 February 2017

මගේ සිමා කිරිල්ල සහ තලල්ලේ තැලිල්ල .. Dikwella experiences continued/-

මේ ට්‍රෙන්ඩ් එක ගෙනාවේ චෙෆාකි.. එයාටම ආවේනික වෙච්චි රස වෑහෙන සයිලියකින් දික්වැල්ලේ සුදා ගේ බයිට් කඩේ ගැන ලියපු පෝස්ට් එක කියවපු වෙලේ ඉඳන් මම ඉන්නේ ආයේ කවදද ඒ පැත්තෙන් යන්නේ කියල බල බල.. චෙෆා එක්ක හරි හරියට දික්-වලි යන්න ගත්තේ විසිරි සිහින ලියන අපේ වාසනාවන්ත කළු සුදු අක්කා..  එයත් ඔය දකුණු ලක අභිමානවත් සුජාත දියණියක් ය කියන්නේ.. අම්බෝ.. එයාට නම් විහිලු කරන්න ඕනි බලාගෙන.. අතපය කඩාගෙන ආපහු තිබ්බ විදියට හදා ගන්න ඕනෙනම් ඉතිං කමකුත් නෑ විහිළුවක් කරාට.. (මම කියුව කියලනම් කියන්න එපා).. එතකොට අණ්ඩ කොන්ට්‍රෝල් නැතිවෙන්න කලින් තංගල්ල දික්වැල්ල හතර මායිම මැනපු හොඳ කකුලක් තමයි ගස්ලබ්බත්.. දික්වැල්ලේ සුද්දගේ කතාව දැකල ගස් ලබ්බගේ ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකාවක අත්දැකීමකුත් ලියල තිබ්බ උගේ නෙවෙයි වගේ.. හැක්. ඔන්න ඉතිං අපිටත් සෙකන්ඩ් වෙන්න පුළුවන්ය.. මගෙත් අත් දැකීමක් තියේ ඔය ලඟින්ම යන 'සිත මන්මත් කරවන සටනක්' ගැන.. හැබැයි ඉතිං බදුල්ලේ ඉඳල දික්වැල්ලට එන්න හෙන වටයක් තියෙනවා.. ඒක නිසා දික්වැල්ල පැත්තේ එන්න උණු විදිය මේකෙම මුලට අමුණලා දෙකට කඩල පොඩි වටයක් ගිහිල්ල තමයි එන්න වෙන්නේ.. තරහා අවසර..

මගේ සිමා කිරිල්ල..

කාලේ හරියටම මීට අවුරුදු විසි එක හමාරකට විතර කලින්.. 1995 අවුරුද්දේ.. උසස් පෙළ විභාගේ ඉවර උන ගමන් මගේ අතීසාර මිත්තරයට ඕනි උනා කියහන්කෝ සිමා කරන්න.. ඇත්තටම ඒක ඌට නෙවෙයි උගේ සනුහරේ එහෙකුට ඕනි වෙච්චි එකක් වෙන්නොනි.. ඉතිං මූ මටත් කතා කරා සිමා කරන්න.. මම අදටවත් දන්නේ නෑ ඔය සිමා කියන්නේ මොකක්ද කියල හරියට.. ඉතිං එදා ගැන හිතා ගන්ඩලකෝ.. ඕනේ මංගල්ලයක් කියල මාත් අම්මට කියුව මට සිමා කරන්න ඕනි කියල.. 'කෙහෙල්මල් සිමාවෙක් නෙවෙයි ඊළඟ පාරවත් හරියට පාඩන් කරලා විභාගේ ලියපං' කියල අම්ම එවෙලේම තීන්දුව ප්‍රකාශ කරා. ඒත් නවාතැන් පහසුකම් හා තව තව අඩුපාඩු සල්ලිකාරයෝ වෙච්චි මගේ යාළුවගේ දෙමව්පියන් දරන්න සුදානම් බවත් ගිහින් බලල ඇවිත් අකමැතිනම් නොකර නිකං ඉන්න හෝ බාගෙට කරලා ඉතුරු ටික පස්සේ උනත් කරන්න පුළුවන් වගේ ගොඩක් ඇවිටිලි වලින් පස්සේ මටත් 'කොළඹ ගිහිං සිමා කරන්න බලලා එන්න' අවසරය ගත්තා.

ඔන්න ඉතිං අපි දෙන්නත් ඊට දවස් දෙක තුනකට පස්සේ රෙදි පෙරෙදි එහෙම ඔතාගෙන රෑ බස්සෙහෙක නැගලා බදුල්ලෙන් කොළඹ ආවා.. කලින් අහගෙන තිබ්බ විස්තර අනුව එලි වෙන්ඩ කිට්ටුව විජේරාම හන්දියෙන් බැහැල 'සිකරට් දෙකක්' එහෙම පත්තු කරගෙන සිමා කරන්න මුල් පියවර තිබ්බ.. එදා උදේ වරුවේ කරේ බෝඩින් හොයපු එක.. ජම්බුගස්මුල්ල පාරේ ද කොහෙද සුපිරි බෝඩිමක කාමරේක බූරු ඇඳන් දෙකක් එකකට මාසෙකට තුන්සියකට වගේ මිලකට හොයා ගන්න වරුවෙන් පුළුවන් උනා. බූරු ඇඳට අමතරව ඇදගෙන නාන්න ලිඳක් හා පහළොවකට විතර පොදු කක්කුස්සියක් භාවිතා කිරීමේ අයිතිය හා රෑ නවයෙන් පස්සේ ලයිට් දාන්න බෑ, ෆෑන් දාන්න, හීටර් ගහන්න, උයන්න බෑ වගේ බෑ ලිස්ට් එහෙකුත් අර තුන්සීයටම නොමිලේ හම්බුනා මතකයි. උන්න විදියට මලා මදැයි කියල බෝඩිමේ ඇන්ටිට හයසීයක් දීල ඇඳන් දෙක 'බුක්' කරගත්තු අපි කරේ තිබ්බ බෑග් ඇඳන් දෙක උඩින් තිබ්බේ අපේ අයිතිය අඟවන්න. හැරෙන තැපෑලෙන් ආපහු හයිලෙවල් පාරට ඇවිත් චිකන් කොත්තු දෙකක් කාල ඉස්ප්‍රයිට් දෙහෙකුත් බීල ගොල්ලීප් දෙකකුත් පත්තු කරගෙන ඔන්න සිමා කරන්න ඊළඟ පියවරත් තිබ්බ..

එදා සෑ තමයි සෑ.. බූරු ඇඳන් දෙකට වෙලා කයියක් ගහගෙන ඉන්නකොට ඔන්න එකා දෙන්න එනවා. සමහරු අපි ඉන්න බව දැක්ක.. සමහරු දැක්කෙත් නැද්ද කොහෙද.. ඒ එන උන් ඔක්කොමගේ තිබ්බේ එකම රුටීන් එකක්.. පොඩි තුවා කෑලි කරේ දාගෙන එලියට යනවා.. මුණයි කර දෙපැත්තයි පිහද පිහද ඇතුලට එනවා. ගඳ ගහන මේස් ජෝඩුව සපත්තු ජෝඩුවටම ඔබල සපත්තු ජෝඩුව කකුලෙන් ඇඳ යටට තල්ලු කරනවා. ඊළඟට කෝට්ටේ යටින් ගන්න පට්ට හඩු ගඳ සරමක් දෙපාරක් ගසල ඔලුවෙන් ඇතුලට බස්සන සැණින් කලිසම ඉණෙන් පහලට වැටෙනවා. මාරුවෙන් මාරුවට කකුල් දෙකෙන් පන්නන කලිසම දෙපාරක් ගසල කලිසම ඇතුලෙන් ගන්න තද පාට ගුලියක් එක සාක්කුවකට ඔබල බූරු ඇඳ ගාව ඇනේක කලිසම රන්දනවා.. ඊළඟට ඔටෝමැටිකලි අත යන්නේ කලුපාට ඔෆිස් බෑග් එකට.. ඇඳ උඩ වාඩිවෙලා අර බෑග් එකෙන් ගන්න පරාට, වඩේ, පොල් රොටි වගේ මොනවහරි දෙයක් උගුරෙන් පහලට තල්ලු කරලා ඇඳ යටින් බෝතලයක් අරං ගුඩු ගුඩු ගාල වතුර බෝතල් භාගයක් ගසනවා. සමහරු පත්තර කොලේ ගුලි කරලා ඈත තියෙන ඩස්බින් එකට විසි කරලා ඇඳෙන් නැගිටලා ජනෙල් පලුවෙන් අත් දෙක එලියට දාල බෝතලේ ඉතුරු වතුර ටිකෙන් අත සෝදනවා. සමහරු කොලේ විසි කරන්න කලින් එකෙම්ම අත පිහදලා දාල බෝතලේ ඉතුරු වතුර ටික හෙටට තියා ගන්නවා. ඊට පස්සේ මෙලෝ වගක් නැතුව ඇඳේ දිගාවෙලා දෙපරන්දේ අත් දෙක ගහගෙන බිත්තිය පැත්තට හැරිලා ගොරවන්න ගන්නවා. මේක බලාගෙන හිටපු අපි දෙන්නට සිමා වලට තුන්වෙනි පියවර තියන්නනම් ආපහු සිකරට් දෙකක් ඕනිම කියල තේරිලා ගෝල්ලිප් දෙකයි ගිනිපෙට්ටියයි අරං ලිඳ ගාවට යනවා. ආපහු කාමරේට එන්නේ හරියටම රෑ අටයි පනස් නවයට.. ලයිට් නිවන්න කලින් ඇඳන් දෙක හොයා ගන්න ඕනි නිසා.

නයිට් ඊස් ස්ටිල් වෙරි යන්ග් සහෝදරවරුනි. ලිඳ ගාව තිබ්බ කූල් එක විනාඩි පාළොහක් වගේ යද්දී ඇඳ ගාව දියවෙලා දාඩිය ගලන්න ගන්නවා. ඒ එක්කම වගේ කට ළඟ තිබ්බ සිකරට් සුවඳින් මත් වෙලා හිටපු නහය වැඩ පටන් ගන්නවා. දාඩිය ගඳ, පුස් ගඳ, ඉඳුල් ගඳ, සපත්තු මේස් ගඳ, කටවල්වල ගඳ, පඩ ගඳ එක්ක එළියෙන් එන කක්කුස්සි ගඳ එකතු වුනාම පට්ට සැලඩ් එක.. ඒ ගමන්ම අරලිය මල් ෆිල්ම් එකේ ෆ්‍රෙඩි සිල්වා කියපු කියමන ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා.. ෆ්‍රෙඩි කියන්නේ "උඩින් මදුරුවෝ උස්සගෙන යනවා යටින් මකුණෝ අල්ලාගෙන නොහිටින්න" කියල.. අම්මප.. මට නම් මේ මදුරුවොත් එක්ක තරහ ලේ බොනවටම නෙවෙයි.. කණ ලඟටම ඇවිත් තව 'තැන් කූ..ඌ..ඌ..' කියලත් යනවනේ.. කොහොම හරි මධ්‍යම රාත්‍රිය වෙන්න කලින්ම මම නම් සිමා හීනය දකින අදහස ඇත ඇරලම දැම්ම. තවත් දුක හිතෙන දේවල් දරා ගන්න බැරි නිසාම අපි දෙන්න උදේ අනිත් උන් ඔක්කොම යනකං කොට්ටවලින් මූණු වහගෙන ඉඳල පස්සේ නැගිටලා නාල කරලා ඇඳ ගත්ත සිමා එකට යන්න. ඇත්තටම මට හෙන ආඩම්බරයි මගේ යාළුවා ගැන මූ තාමත් එක හිතිං සිමා කරන්න හිත හදාගෙන ඉන්න එක ගැන..

උදේ නවයට දහයට විතර අපි දෙන්න බෞද්ධාලෝක මාවතේ කොහෙන්දෝ බස් එකෙන් බැහැල මළලසේකර මාවතේ ඇවිදගෙන ගිහිං සිමා එකට ගියා. උඹ රෙජිස්ටර් වෙනවද නැද්ද? අරූ අන්තිම වතාවටත් මගෙන් ඇහුව.. හිතට ආපු වචන ටික මං බොහොම සාවධානව කියල දැම්ම... මට බෑ හු** මේ හු** කට්ට කන්න.. උඹ ඕනේ හු*** කර ගනින්.. මං අද රෑ බස්සෙකේ ආපහු යනවා.. අපරාදේ උඹ අර හු*** මටත් එක්ක ගෙවපු තුන්සිය.. පුළුවන්නං ආයේ ඉල්ලා ගනිං.. වෙනදට එකට පහක් කියන එකා හෙන සාන්ත දාන්ත විදියට කට පියාගෙන ගිහිං රෙජිස්ට්‍රාර් හම්බුනා.. මං පහල ලොබි එකේ ලගා ගහ ගත්ත අරූ එනකං. ඔන්න එතකොටයි පින්වතුනි මං පෙර කරපු අකුසලයකින් කට ඉස්සරවෙලා සිමා කරන්න බෑ කියපු මෝඩකම මට ටික ටික වැටහෙන්න ගත්තේ.. සිරි පැරකුම් එකේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ වගේනේ යකඩෝ සිමා එක.. බාගෙට තං, බාගෙට ගල්, බාගෙට බුරි.. අම්මට උඩු.. බදුල්ලේ මොන කොලෑන්ස් ද? දැන් ඉතීම් පරක්කු වැඩියි.. ටෞකණ්ඩ.. අම්මප ඔය හරියේ හොඳ උස ගලක් තිබ්බනම් මම එදා අර මෝඩ බිසෝවරු කරා වගේ ඒකෙන් පහළට පැනල මැරෙනවා.
Related image
සිමා කරන්න එදා ඇවිත් හිටිය ගෑණු ළමයින්ගෙන් කොටසක්.. හැක්.
"හරි..යමං.." මගේ හීන සාගරේ බිඳගෙන අරූ කණ ළඟටම ඇවිත් කෑ ගහපි. අම්මට මුගේ තියෙන සතුට.. යකෝ සිමා කරන්න රෙජිස්ටර් වෙලා ඔහොමනම් අවුරද්දක් හමාරක් කරනකොට මූ සතුට වැඩිවෙලා වෙන ලෙඩක් හදා ගන්නත් බැරි නෑ.. මයේ මොකෝ.. උඹනේ කට්ට කන්නේ කියල මාත් වැඩි කතා බහක් නැතුව බෝඩිම පැත්තට යන බස් එහෙක එල්ලුනා. අර ඇඳුම් දෙක තුන තියෙන බෑග් එක ගන්න නැත්නම් අම්මප මම නම් ආයේ ඔය මුස්පේන්තු බෝඩිම පළාතෙවත් යන්නේ නෑ.. ඒත් ඉතින් සන්තකේට තිබ්බ සේරම එතනනේ. යන්නම වෙනවා.. මෙන්න බොලේ.. මම ගිහිං ඇඳුම් දෙක තුන බෑග් එකට ඔබා ගන්නකොට අරුත් උගේ ඇඳුම් බෑග් එකට දානවා..
"ආ.. බොල.. තෝ කොහේ යන්නද? ඇයි කෝස් එක පටන් ගන්න පරක්කු වෙනවද?"
"කවුද හු** කෝස් එක කරන්නේ?"
"එහෙනං සල්ලි දීල රෙජිස්ටර් උනේ මොන පු* අමරුවකටද?"
"හඃ.. හඃ.. හඃ.. මං මේ රෙජිස්ටර් වෙච්චි ලියුම ගිහිල්ල පෙන්නලා මිසක අපේ අම්මට මෙතන තියෙන අමාරුකම් කියුවොත් අම්ම විස්වාස කරයි කියල තෝ හිතනවද? ඈ යකෝ.. තෝ පොඩි කාලේ ඉඳලම අපේ අම්මව දැන ගෙනත්"
"#$%^&**&^%$#,.. හික් හික් හික්.. තොපේ තාත්තට කසන්න සල්ලි තියෙන නිසා හොඳයි.. එහෙනං යමං ආපහු පුරුදු බදුල්ලේම ලගා ගහන්න"

ඔන්නොහොමයි පිංවතුනි මේ කතාවට ප්‍රවිෂ්ට වෙන්ඩ කියල ලියපු මගේ සිමා කිරිල්ල ඉවර උනේ..

එදා මිටිං ඇරපු කුරුල්ලෝ වගේ ජම්බුගස්මුල්ල පාරෙන් ආපු අපි එක පයින් ගෙදර ගියා කියල හිතනවද? පිස්සුද ළමයෝ එහෙම යන්න. ඔය යාළුවගේ තාත්තා වැලිගම..  අම්මගේ ගම අහංගම ගොයියාපානේ.. (දැන් අවුරුදු හතළිහක් වෙලාවත් ඔය ගොයියාපාන කියනකොටම ඒකෙ පද පෙරලලා කියන්න හිතෙන එක අදටවත් නතර වෙලා නෑ කියහන්කෝ ඉතිං) උන්ගේ ලොකු අම්මලා ඇතුළු නෑදෑ සනුහරේම ඉන්නේ එහේ. ඉතින් එදා අපි පිටකොටුවෙන් මාතර බස් එහෙක නැගල ගියා ගොයියාපානේ.. 
Image result for pettah bus stand
පිටකොටුව CTB බස්ටෑන්ඩෙක..
ඒ ගිහින් නටපු විගඩන් කියනවනම් වෙනම ලියන්න වෙන්නේ. ඒක නිසා එහෙ දවස් කීපයක් නතර වෙලා හිටියා කියල විතරක් ලියන්නම්. ඉතිං අතේ සල්ලිත් හිඟ වෙනකොට නටන්න තියෙන පිස්සුත් ඔක්කොම නටල ඉවර උනාම අපිම හිතුව ආපහු බදුලු යන්න. ඒ යන්නේ මාතරට ගිහින් මාතරින් මොණරාගල බස්සෙහෙක වැල්ලවායට ගිහිං එතනින් බදුල්ලට ඔන්න ඔහොම දිග ගමනක්.. ඉතින් අපි එදා උදේ අහංගමින් පිටත් වෙලා මාතරට ඇවිත් මාතරින් මොණරාගල යන බස් එහෙකට නැගල කරලා පිටිපස්සට වෙන්න තියෙන සීට් එකක් බලල හරි බරි ගැහිලා වාඩි එහෙම උනා.. යාළුවා තමයි නඩේ ගුරා.. ඒ කාලේ මං ඔයි පැත්තට ආගන්තුකයි හොඳටෝම.. අනේ ටිකක් වෙලා යද්දී වයසක අම්මල ළමයි වඩා ගත්ත අම්මල එහෙම ඇවිත් අපි දෙන්නගේ සිට් දෙක දිහා බලනකොට අපි ඒවා දීල කෙලිම්ම පිටිපස්සේ ෆුට් බෝඩ් එකටම සෙට් උනා. ඒ කාලේ ඔය බස් වල සිකරට් එහෙම බොනවට විරුද්ද වීගෙන වීගෙන වගේ එන කාලේ.. ඒත් චන්ඩි ව‍ගේ උන් ඇතුලෙම බිව්වා.. අපි වගේ නොන්ඩි කලේ ෆුට් බෝඩ් එකට ඇවිල්ල සිකරට් එකක් ගහල යන එක. ඒක වැරද්දක් විදියට කවුරුත් හිතුවේ නෑ. ඉතීම් ෆුට් බෝඩ් යන එකේ එහෙම වාසියකුත් අපිට ලැබුන..
Image result for matara bus stand
මාතර බස්ටෑන්ඩ් එක..
ඔය බස් වල ගිහිං තියෙන ඈයෝ දන්නවා ඕකේ සීටින් ඇරෙන්ජ්මන්ට් එක.. ෆුඩ් බෝර්ඩ් එක ළඟම අනිත් පැත්තේ පේළියේ තුනේ සිට් එකේ එදා හිටියේ අපිට ටිකක් ඉතර වැඩිමල් අක්කල තුන් දෙනෙක්.. 'ගාමන්ට් එහෙක වැඩ කරන' ලක්ෂණ තිබ්බට එහෙම නොවෙන්නත් තිබ්බ. ඒ කෙලින්ම පිටිපස්සේ දිග සිට් එකේ හිටියේ 'අනිවා ආමි' පොරවල් තුනක්. හොඳ උස මහත කොල්ලෝ මතක විදියට.. උඩු රැවුල් වවල ෂර්ට් අත හීනියට වැලිමිටෙන් උඩට නවල බඩ මැද්දට වෙන්න ඇඳපු කලිසමට හිරට හිරේ යට කරපු ෂර්ට් එක, කොළපාට බෙල්ට් එක හා ටිකක් ලොකු ට්‍රැවලින් බෑග් එක තමයි ඒ කාලේ ආමි කොල්ලොන්ගේ අයිඩෙන්ටි කාඩ් එක. ඒ වගේම තමයි ඔහොම යාළුවෙක් හම්බුනාම අනිවාර්යයෙන් අහන ප්‍රශ්ණ තුනකුත් තිබුන.. 'දැන් කොහෙද ඉන්නේ? කවදද ආවේ? කවදද යන්නේ?' කියන්නේ ඒ ප්‍රශ්ණ තුන..
පරණ දොර දෙකේ CTB බස්සෙකක්.. පින්තූරේ ගත්තේ උත්පල දිල්හාන් ගේ ෆේමස් බස් බ්ලොග් එකෙන්..
ඔන්න ඉතිං වැඩේ.. අක්කල තුන්දෙනා ඉස්සරහ සිට් එකේ.. අයියල තුන්දෙනා පිටිපස්සේ සිට් එකේ.. අපි දෙන්න එතන ෆුට් බෝඩ් එකේ.. මාතරින් පිටත් වෙනකොට ටික ටික පටන් ගත්ත අයියලාගේ විහිලුව දෙවුන්දර හරියට වගේ එනකොට අක්කලාට කරදරයක් වෙච්චි බව පෙනුනා.. එතනින් තව ටිකක් ඉස්සරහට එනකොට ඒ අයියලාගේ හැසිරීම අක්කලාට විතරක් නෙවෙයි මුළු බස් එකටම කරදරයක් වී ගෙන ආව.. හැමෝම නුරුස්නා බැල්මක් දැම්ම මිසක් කවුරුත් ඉතින් ආර්මි ඩයල් නිසා කතාවකට ගියේ නෑ.. අපිනම් ඉතින් නුරුස්නා බැල්මක්වත් දාන්න ගියේ නැත්තේ අතේ දුරින් හිටපු නිසා.. හොම්බ තලාගෙන ගෙදර ගියාම අරුගේ අම්මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි ඇල්ල වැල්ලවාය පාරේ පල්ලමකින් පහලට පනින එක.. ඔන්න ඒ නිසා අපි දෙන්න ෆුට් බෝඩ් එකේ පහලටම බැහැල තව සිකරට් එකක් ගැහුවා ඉස්ට්‍රෙස් යන්න. මාතර ඉඳන් ගන්දර ට එන්න බස් එක පෑ බාගයක්වත් යන්නේ නෑ. ඒත් ගන්දරට එනකොට අයියල හොඳටම ෆෝම් වෙලා.. එහෙම තමයි ආමි අයියල.. ළඟ පිකප්.. 

ඔන්න ඒ වෙලාවේ අපේ කතා නායකයා ෆිල්ම් එකට එන්ටර් වෙනවා.

මේ කතා නායකයා ඉස්සරහ ෆුට් බෝඩ් එකේ කොන්දොස්තර මහත්තයා ළඟ කතාවක් දාගෙන හිටියේ.. වැඩිය උස මහත නැති අවුරදු විසි පහක විතර කොල්ලෙක්.. මූ මං බලාගෙන වෙඩිල්ලක් වගේ එනවා පිටිපස්සේ සිට් එක ලඟට.. ඇවිත් ආමි උන් තුන් දෙනාගෙන් තනියම ගේම ඉල්ලුවා වන්ෂොට් වන් වගේ.. "අඩොව්.. කැ* වැඩ කරන්න එපා ඩො.. උඹලටත් නංගිලා ඉන්නවා නේද? උඹල විතරක් නෙවෙයි මේ බස් එකේ යන්නේ.. තව ගෑණු මිනිස්සු ඉන්නවා .. පොඩි උනුත් ඉන්නවා...." ආදී වශයෙන්.. අම්මට.. ආර්මි උන් එහෙම සෙකන්ඩ් වෙනවද? අඩෝ.. තෝ කවුද ඩො අපිට උගන්නන්න.. දැනගන් අපි ආමි එකේ.. " ඔන්න බලලා පැන්න මල්ලෙන් එළියට. ඊට පස්සේ දෙපැත්තෙන්ම දරුණු වාග් සංග්‍රාමයක්.. හැබැයි තාම කවුරුවත්ම අතපය ඉස්සුවේ නෑ.. බස් එක ඉස්සරහට යනවා.. බස් එකේ හිටපු හැඩිදැඩි පිරිමින්ට නින්ද ගිහිං.. අපි දෙන්න අත් මිට මොළවාගෙන... ඒත් ආමි කාරයොන්ට පේන්නේ නැති වෙන්ට.. ගෑණු කට ඇරගෙන සින් එක දිහා බලාගෙන.. බස් එක තාමත් හිමි හිමින් ඉස්සරහට යනවා..

ඔහොම ගිහිං.. එක තැනකදී බෙල් එකක්වත් ගහන්නේ නැතුව බස් එක කඩයක් අයිනට කරලා නතර කරා. අපේ වීරයා අපි දෙන්නව තල්ලු කරගෙන පිටිපස්ස දොරෙන් එලියට පැනල කඩේ ලඟට දිව්වා.. ඒ සැණින් මූ ආපහු බස් එක පැත්තට දුවන් එනවා.. අම්මට සිරි ගජ.. කඩේ හිටි නොහිටි පිරිමි දහයක් විතර "උගේ අම්මට..&^&%$#" කියාගෙන මුගේ පස්සෙන්.. අපි දෙන්න ෆුට් බෝඩ් එකෙන් බස් එක ඇතුලට විසි උනා..වීරයා ආපු ස්පීඩ් එකටම පිටිපස්සේ සිට් එකට පැනල අරුන් තුන් දෙනාට එක මුෂ්ටි ප්‍රහාරය බැගින් එල්ල කරා. ඒ සංඥාව මගේ හිතේ.. අර පිටිපස්සෙන් ආපු රොත්ත බුරුත්තම අරුන් තුන්දෙනාගේ ඇඟට කඩන් පැන්න.. ඒක නෙවෙයි නියම සීන් එක.. කොහේ හිටිය ගෑණුද මංදා හෙන හමුදාවක් තත්පර ගාණකින් බස් එක වට කරා.. සමහරුන්ගේ අතේ කොහු ඉදල්.. සමහරුන්ගේ අතේ පිහි මන්නා.. සමහර ගෑණු බස් එකේ එල්ලිලා.. තව සමහරු අතේ තියෙන කොහු ඉදල් වලින් බස් එකට තඩි ගහනවා.. හැමෝම සමෝසමේ කුණුහබ්බ වපුරනවා.. මේ ඔක්කොටම එක විනාඩියක් යන්නැති මගේ හිතේ.. වීරයා ආපහු පැන්න බස් එකෙන් එළියට .. හරි හරී.. කියාගෙන.. ඩ්‍රයිවර් බස් එක ඇද්ද.. යන බස් එකෙන් ටිකක් දුර වෙනකනුත් කුණුහරප වපුරන කටවල් පැන්න.. ඊළඟට ඔක්කොම එක රොත්තට හූ..ඌ..ඌ.. කියුව.. බස් එක හෝන් එකක් ගහල සැර දාල ඇදල ගියා.. මම ටක් ගාල වීදුරුවෙන් එබිලා ළඟ තිබ්බ කඩේක බෝඩ් එකෙන් ගමේ නම බලා ගත්ත.. "තලල්ල"

ඊට පස්සේ තමයි පින්වතුනි කට්ටිය ආමි රණවිරුවෝ දිහා බැලුවේ.. අම්මට.. කෝ රණවිරුවෝ.. එතන හිටියේ ලේ පෙරාගෙන වැරහැලි ඇඳගත්ත මූණු ඉදිමිච්චි හිඟන්නෝ වගේ තුන් දෙනෙක්.. මෙන්න අර නින්ද ගිහින් හිටපු පිරිමින්ට ඇහැරිලා.. ඔහොම මදි.. තව මුන්ට තලන්න ඕනි.. ඒ  බස් එකේ පිරිමි.. වැඩේ කියන්නේ ගෑනුන්ගේ අනුකම්පාව මේ වෙනකොට පටාස් ගාල ආමි උන් තුන් දෙනාට යොමු වෙලා.. ඒ මදිවට සමහර ගෑනු අර කෙල්ලෝ තුන් දෙනා දිහා බලන්නේ හරියට උන් තුන්දෙනා අරුන්ට ගැස්සුවා වගේ.. තවත් සමහරු කෙල්ලොන්ට ඇනුම් පදත් කියන්න අරං.. බස් එක දික්වැල්ල ස්ටෑන්ඩ් එකට ආවා.. ඇත්තටම ස්ටෑන්ඩ් එකට එන්න කලින් අරුන් තුන් දෙනා බස් එකෙන් එළියට පැන ගත්ත.. හැමෝම සැනසුම් සුසුමක් හෙළුව.. ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තොර මහත්තයයි දෙන්න එකිනෙකා දිහා බලල ඔලොක්කු හිනාවක් හුවමාරු කර ගත්ත.. අපි දෙන්න ආයෙම ෆුට් බෝඩ් එකේ පහලම තට්ටුවට බැස්ස.. ඉස්ට්‍රෙස් එක අඩු කරගන්න..
ගුටි කාල සුදු කොඩිය දාන් යන තරුණයෙක්.. රණවිරු අයියලා එදා දික්වැල්ලෙන් එහාට යන්න ඇත්තේ මෙහෙම වෙන්නොනේ

දැන් අවුරුදු විසි ගානක් වෙලත් මම දික්වැල්ල මාතර අතර පාරේ යන්නේ කල්පනාවෙන්.. අර බෝඩ් එක දකිනකොට තාමත් ලාවට හී ගඩු පිපෙනවා.. ඒ එක්කම අර කිසි හේතුවක් නැතුව කුණුහබ්බෙන් බැන බැන බස් එකට තඩි ගහපු ගෑණු මතක් වෙලා පොඩි හිනාවක් යනවා.. "ඔයාට අර සිද්දිය මතක් වෙනවා නේද තාම?" ඒ අපේ බිරිඳ.. එයැයිට ඒ කාලේ සිද්දිය කියල තියෙනවා..  "අනේ අප්පච්චි ඒ කතාව කියන්නකෝ" ඒ ලොකු උන් දෙන්න.. මම ආයෙම හිනා වෙනවා.. මේ "තලල්ල" මෙතන කතා කියා කියා ඉන්න බෑ පරිස්සමෙන් එලවන්න ඕනි.. ඒ මම.. හැබැයි හිතෙන් කියන්නේ..


Tuesday, 6 October 2015

නොනිමි ගුරුතරු.. To teacher(s) with love

අද ගුරු දිනේලු.. ඔය දින කේස් එකට මම නම් විරුද්ධයි.. එත් මොනවා කරන්නද මං විරුද්ද උනා කියල ඕව නවත්වනවා ඇයි.. සින්දු ඇනොගේ  ගුරු දින පෝස්ට් එකට කම්මල දාල තිබ්බ කොමෙන්ටෙක දැක්කම මේ ටික ලියන්නම හිතුනා.. මගේ ශිෂ්‍ය කාලයේ ගුරුවරු ගැන මතක ටිකක්..

**************************************
අකුරු කියවපු දවසේ ලොකු අයියා කොළඹ ඉද්දි ගෙනත් දීපු ලස්සන නිල්පාට සයිඩ් බෑග් එකයි ප්ලාස්ටික් බෝතලෙයි කුමාරෝදය පොතයි අරගෙන මම ඉස්සෙල්ලම ඉස්කෝලේ යනවා කියල ගියේ බදුල්ල ධර්මදුතේ 'බාලාංශ' පන්තියට.. අපේ අම්මට වැඩිය ටිකක් තලත්තැනි සුදු මහත 'ටීචර්' කෙනෙක් තමයි අපේ පන්තිය භාරව හිටියේ.. දවස් කීපෙකට පස්සේ දැන ගත්තා ඒ 'සේනානායක' ටීචර් බව.. (එවකට බදුල්ල නගරාධිපති පර්සි සේනානායක ගේ බිරිඳ).. ඒ කාලේ අපේ අම්මට පස්සේ මට වැඩිම ආරක්ෂාවක් දැනුනේ ටීචර් ළඟ ඉන්නකොට.. ඉන්ටර්වල් එකට කෝප්පයක් පුරවල දුන්නු පුංචි බිස්කට් වල සුවඳයි.. විභාගකටද මන්දා වතාවක් පන්තිය ඉස්සරහට ගිහිල්ල හයියෙන් කියාපු රෝස මලේ නටුවේ කටු ගීතයයි ඇරුනම මට ඒ පන්තියේ මතක තිබුනේ සේනානායක ටිචර්ගේ ආදරේ විතරයි.. හැබැයි 'බාලංශයෙන්' පාස් වෙලා 1 ශ්‍රේණියට එනකොට ලැබුණු තෑග්ගක් අදටත් මගේ ළඟ තියෙනවා.. තෑග්ග දුන්නේ සේනානායක ටිචර්.. ලස්සන ලොකු රවුම් අකුරින් තෑග්ග 'ලියල' තිබුනේ රිපෝර්ට් එකේ..
"දීප්තිමත් අනාගතයක සුභ ලකුණු දක්නට ඇත".. ඕක තමයි තෑග්ග.. ඒ තෑග්ග ලියපු රිපෝර්ට් එක තාමත් මගේ පුද්ගලික ලිපිගොනුවේ තියෙනවා..
වාසනාවට එක ශ්‍රේණිය භාරව සිටියේත් සේනානායක ටීචර් මයි.. එක නිසා මගේ පාසල් ජිවිතේ මුල් අවුරුදු දෙක වර්ණවත් කල ඒ සදාදරණිය ගුරුතුමියට පළමු ආචාර වෙඩිමුරය මෙසේ පිරිනමනවා.. ඒත් දෙපා නැමද ආදරය දැක්වීමට අද ඇය අප අතර නෑ..

1 සිට 4 ශ්‍රේණිය දක්වා මගේ පාසල් සමය හැල හැප්පීම් අඩු වකවානුවක්.. ඔය කාලයේදී හැමදාම වගේ අම්මා මාව පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අතර සතියේ මැද පොළ පැවැත්වුණු සැම බදාදා දිනෙකම අම්මගෙන් ලැබුණු 'අලියා බීම එක හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩිය' මට ඊළඟ සතිය දක්වා පාසල් යාමට අනුබලයක් එක්කරා. මා මුලින්ම 'ටිපිටිප්' එහෙක රස බැලුවේ 2 පන්තියේදීයි. එවක මගේ 'එක මේසේ' සගයා වතාවක් ටිපිටිප් පැකට් එකක් ගෙනවිත් තිබු අතර මටත් එකක් රස බැලීමට දුන්නා..

ඒ වගේම මුලින්ම රුපියල් සියයේ නෝට්ටුවක් ලඟට දැක්කේත් එම පන්තිදීමයි. මගේ පන්තියේ බොහෝ මුස්ලිම් මිත්‍රයින් සිටි අතර ඒ අතුරින් 'ෆයිසාල්' ගේ පියා බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. ෆයිසාල් වරක් රුපියල් සියයේ නෝට්ටුවක් ගෙනවිත් අපිට පෙන්වූ අතර එසැනින් එය 'ටීචර්'ගේ කණට වැටි තිබුනා. ඇය එය පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා දහවලෙහි ඔහුගේ දෙමවුපියන්ට භාර දුන්නේ නැවත එසේ මුදල් රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසද අවවාද කරමින්මයි. ඒ දෙක වසරේදී අපට ඉගැන්වූ 'ස්වර්ණලතා' ගුරු මහත්මියයි.. සුදු මහත උස 'ලස්සන' ගුරුවරියක් වූ ඈ මගේ මතකයේ එතරම් හොඳ තැනක නැතිවීම කණගාටුවක්.

එලෙසම 3 ශ්‍රේණියේ සිටි අපට එකවර වසරක 'ප්‍රමෝෂන්' එකක් ලැබීමත් මට හොඳින් මතකයි. පාසැල් නිවාඩු කාලය අවසන්ව අලුත් පොත් වලට බ්‍රවුන් පේපර් කවර දමා 'ස්ටිකර්' එකක් අලවා අක්කලාට කියා රවුම් අකුරින් '3 ශ්‍රේණිය' ලෙස ලියාගෙන ගිය පොත් වල නොබෝ දිනකින්ම '3 ශ්‍රේණිය' යන්න මකා දමා  ඒ වෙනුවට '4 වසර' ලෙස ලියාගෙන එන ලෙස එකල අපේ පන්තිය භාරව සිටි 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය දැනුම් දුන් අයුරු මට අද වගේ මතකයි. කොන්ඩේ තැනින් තැන සුදු වූ තලෙළු එහෙත් පියකරු වැඩිහිටි ගුරුවරියක් වූ 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය මට මට වඩාත් ලංවුයේ මා බාලාංශ පන්තියේ සිටියදී 5 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි අපේ පොඩි අයියගේ ගුරුතුමියද ඈ වූ බැවිනි. අම්මා එන්න පරක්කු දිනවල බාලාංශ පන්තිය ඇරී අයියාගේ පන්තිය අසලට එන මා කෙටි බිත්තියෙන් මෙපිට සිට පහ ශ්‍රේණියේ වැඩ ඉගෙන ගනිද්දී ඈ මා හට බොහෝ කාරුණික වුවාය..

පහ වසරේදී මට ඉගැන්වූ සුදු කෙට්ටු උස රුපයෙන් ලස්සන එත් මට එතරම් ලස්සන නැතිවූ ගුරුවරියගේ නම 'සුරම්‍යා' වගේ එකක් විය. එසේ වීමට හේතු දෙකක් තිබුණි. පහල පන්තිවල සිටම පන්තියේ එක හෝ දෙක ස්ථාන රක ගැනීමට මට හැකි විය.. 'එක' වීම සඳහා මාත් මා මිතුරු 'දිමුතු'ත් අතර සිතල යුද්දයක් විය.. එනම් එක වාරයකදී මා 'එක' වනවිට ඊළඟ වාරයේ මදක් වැඩිපුර උනන්දු වී දිමුතු එක වෙයි. ඊළඟ වර නැවත මා ටිකක් වැඩිපුර උනන්දු වී 'එක' වෙමි. මෙය අප දෙදෙනාටම යහපත් ලෙස බලපෑවක් යයි මම අදටත් සිතමි. එහෙත් පෙර කී ගුරුවරිය මේ දාමය බින්දාය..

සියලු විෂයන් වල ලකුණු එකතු කිරීමේදී පහ වසර මැද වාරික පරීක්ෂණයන්ගෙන් මා පෙරමුණේ සිටි බව මට පැහැදිලි විය. එහෙත් 'අත්වැඩ' විෂය ඉතිරිව තිබිණි. ස්වභාවයෙන්ම දිමුතුත් මාත් දෙදෙනාම 'අත්වැඩ' සඳහා කම්මැලියන් වීමු. එහෙත් එය මගේ 'උනන්දු වීමේ වාරය' වූ බැවින් ගිනිපෙට්ටි සිගරට් පෙට්ටි ඊයම් කොළ හා පාප්ප පොල්කටුවක් රැගෙන ගිය මා ඇඟ පුරාම පාප්ප උලාගෙන මහංසිවී හොඳ තත්වයේ පුටු සෙටියක් හදා ඉදිරිපත් කල අතර හිල්පොල්කට්ටක් හා කළු රෙදි කැල්ලක් රැගෙන ආ දිමුතුවා පොල්කට්ටේ ඇස් දෙකට ඉහලින් කළු රෙදි කෑල්ල අලවා කළු හොම්රන් පැස් එකක් ගෙන දැලි රැවුලක් ඇඳ රකුසු මූණක් නිර්මාණය කර තබා පිට්ටනියට පැන සෙල්ලම් කරන්නට වුවේය. (එය හැබෑම අපුරු අත්වැඩක් වූ බව නම් කිව යුතුමයි.) අවසන් විග්‍රහයේදී දිමුතුට අත්වැඩ සඳහා ලකුණු සියයෙන් සීයක් ලැබී මුළු එකතුවෙන් ලකුණු දෙක තුනකින් මා අභිබවා යාමට හැකිවූ අතර අත්වැඩ සඳහා ලකුණු හැටක් පමණ ලැබූ මා දෙවෙනියා විය. හිතේ අමාරුව පසෙක තබා දිමුතුගේ ඒ සරල අපුරු නිර්මාණය මාද රස වින්දෙමි. මෙහි අවශේෂ කතාවනම් දිමුතුගේ පියා වූ දිසානායක සර් එවකට ධර්මදුතේ උප විදුහල්වරයෙකු වීමයි.

මට 'මතක නැති' ඒ ටිචර්ත් සමඟ ඉන් ඉදිරියටත් මගේ ඒ හැටි ඇයි හොඳයියක් නොවිණි. වාරාවසාන විභාගයේදී චිත්‍ර විෂයට පෙනී සිටීමට මට නොහැකි විය. චිත්‍ර විෂයට ලකුණු නොමැතිව මා එවර තුන්වෙනියා වූ අතර 'කළු තරංග'යා ලකුණු කීපයකින් මාව අභිබවමින් දෙවැන්නා විය. ඒ වෙනුවට තරංග ගේ අම්මගෙන් ඔහුට අත් ඔරලෝසුවක් තෑගි ලැබී තිබුණු අතර 6 වසර ආරම්භයේදී 'තරංග' පන්තියේ උනන්දුවෙකු වී සිටියේය. එහෙත් ඉන් අනතුරුව මා එම පාසලේ නැවත විභාගයකට මුහුණ නොදුන්නෙමි.

ඒ අසුහත වසරයි. නව පාසැල් වරය ආරම්භයේදී මා පාසල් ගියත් එතෙක් පැවතී මගේ උනන්දුව ඒ වනවිට ගිලිහි ගොස් තිබුණි. පවුලේ වැඩිමලා වූ ලොකු අයියා ගුරුවරයෙකු ලෙස එවකට ඔහු ඉගැන්වූ වියලුව කන්දකැටිය ඩි.එස්.සේනානායක විදුහලට මා ඇතුලත් කිරීමට කටයුතු කල අතර ඔවුන් සමඟ ගුරු නිවාසයේ නතර වී පාසැල් යාමේ හැකියාව තිබුණි. කිසිදු පැකිලීමකින් තොරවම මම ධර්මදුතයට සමු දුනිමි.

කන්දකැටිය පාසලේ ගතකල වසරකට අඩු ඒ පරිච්චේදය මගේ පාසල් ජිවිතයේ ප්‍රීතිමත්ම අවධියයි.. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුයි. කෙසේවතදු ඒ ප්‍රීතිය හා සමඟ ගොඩ නැගුණු ශිෂ්‍ය පෞරුෂය මා ඉහල තැනකට ඔසවා තැබුවේය. හය වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 174ක් ලබා ඌව පළාතේ දෙවෙනියා ලෙසත් කන්දකැටිය විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වූ පළමුවැනියා ලෙසත් මා අසූ හත වසරාවසානයේදී එම පාසලට සමුදුනිමි. එහිදී හවස්වරුවේ විශේෂ පන්ති පවත්වමින් කිසිදු අමතර අයකිරීමකින් තොරව මගේ පන්තියට ඉගැන්වූ ඒ හොඳ ගුරුතුමියගේ නම මට අද මතක නැත. එහෙත් අමාවකට පෑයූ සඳක්වන් වූ ඇගේ  ඒ පින්බර වත සිහිකරමින් ඇයට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර ඒ සමඟම මට ඒ අවස්ථාව උදා කර මගේම ලොකු අයියා වූ 'ලලිත් සර්'වද මේ මොහොතේ සිහිපත් කරමි. 

එවර ලකුණු 176ක් ලබාගනිමින් ඌව පළාතේ පළමුවැනියා ලෙස සමත්වීමට මගේ දිගුකාලින මිතුරා දිමුතු සමත් විය. අප දෙදෙනාටම ලංකාවේ හතර දිග්බාගයේම පාසල්වලින් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුණු අතර දිමුතු කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වන විට අපිට හැකි විදියට මම බදුල්ල මැදි මහා විදුහලට ඇතුළත් වීමි. 

බදුලු මැදි මහා විදුහලේදී මුලින්ම 7'A' පන්තියට මා ඇතුලත් වූ නමුත් සෑම පන්තියකම ළමුන් ප්‍රමාණය ඉක්මවා සිටීම නිසා A,B,C පන්ති තුනෙන්ම අහඹු ලෙස ළමුන් තෝරා D පන්තියක් නිර්මාණය කිරීමේදී මාද D පන්තියට එක් වුනෙමි. දොස් කීමට මාම හැර වෙනකෙක් නොවූ නමුත් මෙතැන් සිට මගේ අධ්‍යාපන ගමන අවපසට ගමන් කල බව කිව යුතුමය.  7D පන්තිය බාරව සිටි 'මානෙල් ටීචර්' ගෘහ විද්‍යා කාමරයද භාරව සිටි අතර පිරිමි ළමයින්ට වඩා පන්තියේ ගෑනු ළමයින් අතර ජනප්‍රිය විය. එකා දෙන්නා දවසින් දවස මල්වර වෙමින් පිපි පිපී ආ කෙල්ලන් එදවස කොහොමත් අපිට වඩා 'ලොකු' වූ අතර මඩ නාගෙන හඩු නාගෙන හිටි අප කොල්ලන් කරදරකාරයන් ලෙස බොහෝ ගුරුවරියන් හා කෙල්ලන් සලකන්නට ඇතැයි දැන් මට සිතේ. කොහොමත් ඔය වයසේදී කොල්ලන්ට එතරම් තැනක් නැත. 

මානෙල් ටීචර් හා සම්භන්දව මට ඇති ලොකුම මතකය නම්.. දිනක් මම හා මගේ අතිජාත මිත්‍රයා නදීෂ එක්වී අපේම පන්තියේ සිටි තවත් දෙතුන් දෙනෙකුට පිට්ටනියේදී නෙළුවෙමු. ගුටි කෑ උන් අතර 'සිට්ටම්මා'ද විය.. ('සිට්ටම්මා උවැසියෙකි'යි හත වසර සිංහල පොතේ කොහේ හෝ තිබුණු අතර ඈ නිසා අපේ එකෙකුට 'සිට්ටම්මා' නම රෙජිස්ටර් විය. ගුටිකෑවේ අපේ සිට්ටම්මායි.) "අඩෝ දැනගනින්.. ආයි දැඟලුවොත් ඇට දෙක පුක වටේ කරකවනවා.." කොහෙන්දෝ අහුලාගත් චන්ඩි පාට් එකක් මවිසින් සිට්ටම්මාට එල්ල කරන ලද අතර ඌ කෙලින්ම දුවගොස් නතර වුයේ පන්තිභාර මානෙල් ටීචර් ලඟයි.. "ටීචර්..ටීචර්.. මේ දෙන්න මගේ ඇට දෙක පුක වටේ කරකවනවා කියල බැනල ගැහුවා.." ටිචර්ට මොනවා හිතුනාදැයි නොදනිමි. මාත් නදිෂත් පැයක් පමණ පන්තිය ඉස්සරහා ඉඳගෙන එකිනෙකා මාරුවෙන්නට කන් අල්ලාගෙන ස්කොට් ගැසූ බව පමණක් මතකයේ ඇත.  

8D පන්තියට යනවිට D පන්තිය 'අම්බ චාටර්' කොල්ලෝ සෙට් එකක් ඉන්න එකක් ලෙස හංවඩු ගැසී අවසානය. එවකට පාසලේ සිටි හැන්ඩි විද්‍යා ගුරුවරයෙකු වූ ප්‍රේමදාස සර් අපේ පන්තිය භාරගත් නමුත් ප්‍රේමදාස සර්ගේ නෑකමට මල්ලි කෙනෙකු වූ අපේ පන්තියේ පමල් හැරෙන්න වෙන එකෙකුවත් විශේෂයෙන් හදා ගන්නට සර්ට බැරිවිය. ඉස්කෝලෙදි කල නොහැකි වූ සියලු කුපාඩි වැඩ හවස පන්ති වලදී කරන්නට පමල් අපිවද එක් කර ගත් බැවින් අපි 'දෙකුපාඩියෝ' වීමු. අධික ලෙස ශිෂ්‍ය සටන් හා නොකඩවා දින ගණන් පාසැල් වසා තිබු ඒ යුගයේ මට මතක ඇති වැඩක් ලෙස කරේ මුල්ම වතාවට ඉස්කෝලේ කට් කර 'මමයි රජා' බැලීමට යාමයි. ඔෆිෂියලි දුම් පානය හා මත්පැන් පානය ඇරඹුවේද මේ වසරෙදීම වේ.
9D වනවිට අපි නැවතත් කෙල්ලන්ව අභිබවා අපේ ආධිපත්‍ය පන්තිය තුල පතුරවමින් උන්නෙමු. උගුරු දණ්ඩ කැඩී දැලි රැවුල් ඇඳුනු මුහුණු ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ ලක්ෂණ මතු කලේය. අපිට වැඩිය 'පොරවල්' ලොවෙත් සිටිය නොහැකිය. 'ගැන්සි' මානසිකත්වය පැතිරෙමින් තිබු අතර අපේ පන්තියේ කුප්‍රකට 'අට දෙනාගේ කල්ලියේ' මමත් යාවජීව සාමාජිකයෙකු වීමි. ඒ කතා ද වෙනම පොස්ට් එකක් දෙකක් ලිවිය යුතුම වන බැවින් මෙහිදී උවමනාවෙන්ම මග හරිමි. 9D පන්තිය භාර ගැනීම සමහර ගුරුවරු උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරද්දී ඒ වගකීමට අත තැබුවේ අදටත් මගේ ආදරණියම ගුරු තරුව වන 'අපේ ගීතා ටිචයි'.. ඇස් බොඳවී ස‍ටහන ලිවිම අතපසු වීම නොවැලක්විය හැක.  නමින් 'ගිතාන්ජලි හේමචන්ද්‍ර' වූ ඇයද එවකට බදුල්ල නගරාධිපති වූ හේමචන්ද්‍ර මහතාගේ දයාබර බිරිඳයි. (ගුරුකම මහා වැදගත් රස්සාවක් වූ එකල බොහෝ ඉහල පැලැන්තියේ මහත්වරුන්ගේ බිරින්දෑවරු ගුරුවරියෝ වුහ.) 

එතැන් සිට පුරා වසර තුනක් ඇය සැබවින්ම අපේ දෙවෙනි මව විය. නවය වසර වන විටම  හැඩි දැඩි තරුණයෙකු වූ අපේ බන්දුලයාගේ 'පයට පෑගෙන්න තරම්' දික්වූ රැවුල කපා ගැනීමට යැයි කීමට ඇයට බොහෝ වෙලාවක් ගතවිය.. එහෙත් එය කියූ ආකාරය නිසා ඉන්පසු කිසිදිනෙක අපි කිසිවෙකුවත් නොගැලපන ලෙස රැවුල මුහුණේ ඉතුරු කර නොගත්තෙමු. ඇය අපට දඬුවමක් කල දිනයක් මට මතක නැත.. ඒත්  'ගීතා ටීචර්' නිසා අපි බොහෝ හැදුනෙමු. 'ඇය නිසා' අප නොකර අත්හල 'දඟ වැඩ' බොහෝය.. එසේම එවන් 'දඟ වැඩ' කර අසුවූ විට ඇය දැක්වූ ප්‍රතිචාරද බොහෝ සංවේදී විය. මේ සටහන තැබීමට මා පෙලඹවූ ඒ සිදුවීම වුයේ මිට හරියටම වසර විසිහතරකට පෙර ගුරුවරුන්ගේ දිනයදාට පසුවදායි.

ගුරුවරුන්ගේ දිනයදා අපේ 'ශිෂ්‍ය නායකයෝ' එක්ව ගුරු උපහාර මොකක් හෝ යමක් සංවිධානය කර තිබිණි. ඒ වගේ ඒවාට අපි වගේ මැරැටියන් සාමාන්‍යයෙන් සහභාගී කර ගන්නේ නැත. ගුරුවරුන් සැවොම උපහාර උළලේ වූ අතර අපි 'අට දෙනා' පාසලෙන් පසුව පහල ඉස්කෝලේ පිට්ටනිය අසල 'ටැග්  ගැහි ගැහි' හිටියේ මේ උපහාර උළෙල කඩාකප්පල් කිරීමට මොකක් හෝ අවස්ථාවක් ලැබෙන තුරුයි. මොකුත්ම නැති උනොත් අවසානයට පිටව යන ශිෂ්‍ය නායකයෙකුට බඩ කට පුරා නෙලීමට අපි සුදානමින් සිටියෙමු. ටික වෙලාවකින් අපිට ගොදුරක් ලැබුණි. එක් ගුරුවරියකගේ පුතෙකු අලුත්ම මවුන්ටන් බයිසිකලයකින් අප සිටි තැනට ආවේය.. අපිට වඩා වසරක් දෙකක් පහල පන්තියක සිටි කොල්ලා අල්ලාගෙන අපි 'බයිට්' කිරීමට පටන් ගත්තෙමු. සමහරු එහෙන් මෙහෙන් ඌට ඇන්න අතර සමහරු බයිසිකලයේ හුලන් යවා සීට් අඹරවා විකාරයක් කළහ.. ඒ අතර තවත් සමහරුන් උගේ අම්මා ඇතුළු ගුරු ප්‍රජාවටම තිත කුණුහරුපයෙන් බණින්නට විය. දස වැඩ ඉවසා සිටිය නොහී කොල්ලා අඩාගෙනම ගුරු උපහාර උළෙලට කඩා වැදිණි. 

අපේ උවමනාව හරිය.. දෙබරයට ගල් ගසා ඇවිස්සිමු. උත්සවයේ සිටි සියලු ගුරුවරු කඩා වැදී එකක් දෙකක් ගසා බණිමින් අපව එළවා දැමීමත් සමඟ උත්සවයද කඩාකප්පල්වී ගියෙන් අපිද සතුටින් ගෙවල්වල ගියෙමු. වඩාත්ම ආකර්ශනීයම ජවනිකාව පසුදා උදයේයි. වැසි දිනක් වූ එදින උදයේම ආවේෂ වූ කපුවෙකු මෙන් දිගු කුදයක්ද උරුක් කරමින් අර කොල්ලගේ අම්මා හෙවත් ගුරුතුමී අපේ පන්තියට කඩා වැදුනාය.. ඒ සමඟම පෙර සිට අපව නිරීක්ෂණය කර තිබු අංශභාර 'දසනායක සර්'ද පැමිණ අපි අට දෙනාව නිවැරදිව අඳුනාගෙන පන්තිය ඉදිරියට පැමිණවූ විගස පරලවූ යකින්නියක සේ ඒ 'ගුරු මෑණියෝ' අපේ මූණු වලට කඩා පාත් උනි. "තොපි දන්නේ නෑ මං කවුද කියල.. මගේ කොල්ලට අත තියන්න.. මගේ මහත්තයා අයි.පී. අහවලා.. හිටපියව්.. තොපි ඔක්කොම මං ටයර් උඩ යවනවා.." 

අද මෙන් නොව එදවස පොලීසිය, තරුණයින් හා ටයර් අතර බොහෝම ආසන්න බැඳීමක් වූ හෙයින් මේ කණ වැකුණු සැනින් එතෙක් තුෂ්නිම්බුතව බලා සිටි 'ගීතා ටීචර්' වැලහින්නක සේ හඬා වැටෙන්නට වුවාය.. එමතු නොව වෙනදාට දඬුවම් කිරීම සඳහා වරදක් සොයමින් සිටිනා දසනායක සර් පවා ඇගේ ඒ නාඩගම අවසන් වනතුරු සිට කිසිත් නොකියා පන්තියෙන් බැහැරව ගියේය. බලා සිටිය නොහැක.. ටීචර් සනසවා ගැනීමට කුමක් හෝ කලයුතුම බැවින් අපි පහසුවෙන් එකඟ නොවන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනෙමු. එනම් අපේ ටීචර්ට වැඳ 'සමාව ගැනීම'ටයි. ටයර් එකක් නොව කන්දක් උඩ යැව්වත් අරුන්දාගෙන් නම් සමාව ගැනීමට එකෙක්වත් සුදානම් නැත. මා මුලින්ම ඉදිරිපත් වී අපේ ටීචර් ඉදිරියට ගොස් 'ටීචර් අපිට සමාවෙන්න.. අපි ආයි එහෙම වැඩ කරන්නේ නෑ'යි කියා වඳින්නට හැදුවා පමණි.. 'එපා මට වඳින්න..ඔයගොල්ලන් කවද හරි හැදෙනකම් කවදාවත් මට වඳින්න එපා'යි කියමින් ඇය දිගටම හැඩුවාය.. අපි පන්තියේ කොල්ලන් කෙල්ලන් බොහොමයක් එදා හිතේ හැටියට කඳුළු වගුරවමින් ඇයත් සමඟ ඇඩුවෙමු.
පසුදා උදයේ අපි නැවත කතාවී ගොස් ඇයට වැඳ සමව ගත්දී අගේ මුව යලිත් විකසිත විය.. සැබවින්ම එදා සිට අපි බොහෝ දුරට හොඳ ළමුන් වීමු. 

මේ සටහන දැනට වෘදව සිටින ඒ අපූරු ගුරු මෑණියන්ට උපහාරයක් වේවා! 

*****************************************
ප.ලි. 
පසුව නැවතත් නරක වීම හා උසස්පෙළ සමයේ සිටි ගුරුභවතුන් මෙන්ම පංතිභාර නොවුනත් අපේ ජිවිත ඒකාලෝක කිරීමට  ඇප කැපවූ තවත් ගුරු මෑණිවරුන් පියවරුන් කිහිප පොලක් හා බැඳුණු අතීත සිද්දීන් ඉදිරි දිනෙකදී පැවසීමට සිතා සිටිමි. සමහරවිට ඒ එන වසරේ ගුරුදිනයද විය හැක. සටහන දිග වුවාට කමා වන්න. 

Wednesday, 5 August 2015

A day not to forget; yet forgets..


පායන්න හිරුවී
පුබුදන්න පියුම් විල මත
හිනැහෙන්න සඳක් වී
දුරලන්න අඳුර අහසින්
ලඟ ඉන්න සැමදා
ළෙංගතුම හිතැත්තිය වී...

නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං 'අම්මී'ට!

(අමතකවන මුදියන්සේලාගේ මොට්ටපාල වන මා විසින් චූටි මැණිකේ හෙවත් ලොකු දෝණී විසින් සකස් කරන ලද උපන්දින සුභ පැතුම් පතෙන් අනවසරයෙන් උපුටාගෙන සින්ග්ලිශ් යුනිකේත භාවිතයෙන් අච්චුගස්වා කලබලයෙන් මෙහි පලකොට සමාව භජනය කරන ලදී.)

Friday, 3 July 2015

ෆ්‍රොම් Mrs. කල්‍යාණමිත්‍ර - To you with love


තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
අත මත අත තබා හිඳුවා පෝරුවක අත්සන ගසා නිවැරදි ලෙස නීතියට ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක උන්නත් ලඟින් පෙර අප උණුසුමෙන් වෙලී දෙන්නා තුන්දෙනා හා වැඩි වෙන කල නොසැලී දෙන්නට දෙන්න මිස වෙන සරණක් නොලැබී මේ ජීවිතේ ඔබ අන් හැමටම වඩා වටී

අවුරුදු දුසිමක ප්‍රේම කතා ගොඩක් මැවී කෝල හැගුමකින් සංකාවක් හිතට මැවී ඇගිලි ගනිමින් පැටව් සමග එලිපත්තටවී බලා හිදිමි ඔබ එනතුරු සිකුරාදා මගේ හිමී

හැම පැටියාම අපේ පැටව් වගෙ හින්දා රට රකින්ඩ ඔබ ගියේ යුතුකම හින්දා රත්තරන් මහත්තයා හැමදා මගේ හින්දා
පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා


****************************
හෝව්.. හෝව්.. ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් ප්ලීස්.. මේක මේ අපේ උන්දෑ එහෙම ලියුව එකක් නොවෙයි.. 

ඊයේ රාත්තිරියේ කල්‍යාණමිත්‍රයා එක්ක පොඩි 'චැට්' එකක් දාපු 'රූපේ' ලමයා ට මේ දවස් වල කල්‍යාණමිත්‍රයා 'විප්‍රවාස'ව ඉන්න එක ගැන බොහෝම දුක හිතිලා.. (විප්‍රවාස වචනය හැලපේ අයියාගෙන් කොපි කලෙමි.) මෙන්න බොලේ ටික වෙලාවකින් එනව අපූරු කවියකුත් ලියාගෙන.. හැබැයි මේකා ලියල තියෙන්නේ අපේ ගෙදර උන්දෑ ලියන විදියට. ඒකට 'රූපේ' ම දාපු හෙඩිමම තමයි මං දැම්මෙත්. 

රූපේ ගේ අවසරය මත මේක මගේ බ්ලොග් එකේ පබ්ලිශ් කරන ගමන් මුල් කවි දෙකට විතරක් මාත්‍රා පිහිටුවන්න කියල හිතල පුංචි වෙනසක් කරා.. තුන හා හතර කවි වල තිබුණු හෘදයාංගම ගතිය නිසාම ඒවා කිසිම හැඩ ගැන්වීමකින් තොරවම පලකලා.

කල්‍යාණමිත්‍රයා ආසම චරිතයක් තමයි කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන් කියන්නේ. එයාගේ බොහෝම ප්‍රසිද්ධ 'තත්පර තිහේ කතාව' මෙතනට නිකමට වගේ එල්ලන්න හිතුනා.. 


රස්සා බෝලේ උඩ දදා මෙහෙට වෙලා හිටියට අනිත් වීදුරු බෝලවල වටිනාකම නොදන්නව නෙවෙයි.. සමහර දේවල් තියෙනව අපිට අවශ්‍ය විදියටම පාලනය කරන්න බැරි. මොනව කරන්නද ඉතින්?


Friday, 26 June 2015

My Grandma අපේ ආච්චී 2- පතෝල හා මල්වඩම්

මේ උත්සාහ කරන්නේ මීට මාස තුනකුත් දින හතරකට පෙර දුන් එක්තරා පොරොන්දුවක් ඉටු කරන්නයි. ඒ පොරොන්දුව වූයේ අපේ ආච්චී ගැන ලියූ විස්තරයේ 'පතෝල හා මල්වඩම්' ගැන කතාන්දරද රැගෙන හැකි ඉක්මණින් එන බවයි. ඊට පෙර හා පසුවද නොයෙක් පොරොන්දු ලබා දුන් නමුත් අද හිටි හැටියේ මෙය ඉටු කිරීමට සිත්විය. 

****************************************

සැමියා විසින් අනුචිතව සළකන ලදුව දීගය අත් හැරී කුළුඳුල් දියණියද සමඟ කාටවත් බරක් නොවී තම අභිමානයද රැකගෙන ඊට වින කරන්නට ආ වුන්ට එරෙහිව නැගී සිටි, ඍජු තරමක් දරදඬු ගති පැවතුම් හා උණුවෙන හිතක් හිමි කටකාර එළිසහාමිනේ ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ මෙම 'විදිය' විවාහයෙන් හා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා හුරු වූවකට වඩා ජන්මයෙන්ම ලද්දක් යැයි සිතීමට කාරණා මෙම පතෝල හා මල්වඩම් ගැන සිද්දි දෙක නිසා ජනිත වේ. මන්ද අදාල සිද්ධි දෙකම අයත්වන්නේ ඇයගේ විවාහයට පෙර හිරිමල් යොවුන් වියට වීම නිසයි.

එළිසහාමිනේගේ දෛනික ජීවිතයේ එක් නොවරදින අංගයක් වූයේ දිය නෑමයි. මොන අසනීපයකින් සිටියද මිය යාමට දින එකොලහකට පෙරාතුව අවසන් වරට හොඳ සිහියෙන් සිටිනතාක් කල් ඇය එම පුරුද්දෙන් මිදී එක් දිනක්වත් සිටියායැයි මා අසා නැත. මේ නිසාම දෝ අපේ තාත්තාගේ පඩිපතින් කටවල් අටක් නඩත්තු කරමින් අසීරුවෙන් සිටියදී පවා මාසිකව 'ලයිට්බෝයි, සන්ලයිට් හා රොබින් නිල් පැකට්ටෙකක්' සහිත දැකුම් මල්ලක් ගෙනා පඩි දවසට ආච්චීට 'කතා කිරීමට' යාමට අම්මා පුරුදු වී සිටියාය.

තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය. 
Photo courtesy: www.google.com

මේ ගංදෑලේ සුන්දර හිඟුරුගමුව හා කණුපැලැල්ල ගම්දෙක අතර සීතල යුද්දයට මුල්වන්නේ කුඩාඔයටත් වඩා කුඩාඔය නිම්නයේ හිඟුරුගමුව මායිමට පිහිටා තිබූ 'ගඟේ පිට්ටනිය'යි. ඊට අමතරව හෙල්මැළි ක්‍රමයට වගාකල කුඹුරුයාය මත්තෙහි 'ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.

පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.

රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..

වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.

මෑතක දිනෙක ඇතිවූ හදිසි සිතුවිල්ලකින් බිරිඳ හා දරු දෙදෙනාවත් කැටිව දිය නෑම සඳහා මා ගඟේ පිට්ටනියට ගියෙමි. වෙල ඉහලින් වූ බෝධිය හා එය දරා සිටි ගරා වැටුණු ප්‍රාකාරය පසුකරනවිට එකල හමුවූ දැවැන්ත දිය කඳුර හා ඉන් එතෙර වීමට තුබූ කළු යකඩ පාළම අද එහි නැත. මේ යකඩ පාලමටම ඇමිණූ අඩි හතරක් පමණ පළල වූත් අඩි තුනක් පමණ ගැඹුරින් යුතුවූත් යකඩ කාණුවක ආධාරයෙන් එදවස ගඟ ඉහත්තාවෙන් හරවා කුඹුරු යායට උඩින් ගලාගිය ඇල කඳුර හරහා මෙගොඩ විය. අද ඒ දැවැන්ත කඳුරත් පාලමත් යකඩ කාණුවත් වෙනුවට එහි ඇත්තේ සිමෙන්ති කාණුවක් හා ඊට යටින් ගිය බෝක්කු කටකි. 

මේ කඳුර දකිනවිට යම්කිසි පිළිකුලක් හා බියක්ද මුසුවූ නහය අකුලවන සුළු ජුගුප්සාජනක හැඟීමක් පෙර මගේ සිතේ ඇතිවිය. බියට හේතුවූයේ දැවැන්ත බෝ ගස හා අනෙක් විශාල ගස් යට සරුවට වැඩී තිබූ විසල් අලකොල ගාල නිසා කිසිදිනෙක මම මේ අඳුරු අගල නිසිලෙස දැක තිබුණේ නැති වීමයි. පිළිකුලට හේතුවූයේ වැසිකිළි යාම සඳහා වල කක්කුස්සි හෝ පෝච්චි, කොමෝඩ් සහිත වෙනම 'කාමර' නොතිබූ අපේ අම්මලාගේ තරුණ කාලයේ හැම දෙනාම ඒ සඳහා ගියේ මේ කඳුරට යැයි අසා තිබුණු හෙයිනි. 

බෝක්කුවෙන් එගොඩ වූ විට හමුවන්නේ පන්සල් වත්තයි. පන්සල් වත්ත මායිමෙන් හා කඳුර අයිනෙන් ගඟේ පිට්ටනිය දක්වා බැසීම සඳහා එකල ගල් පඩි අල්ලා තැනූ කුඩා අඩිපාරක් විය. පන්සලට පහලින් ගඟේ පිට්ටනියට යාව දැවැන්ත ඕවිටේ පිහිටි ඔයේගෙදර වත්ත හා රත්තාගේ වත්ත ලෙස හැඳින්වුණු හුදෙකලා නිවෙස් දෙකක් හා සරුසාර ගොඩ එළවලු කොරටු දෙකක් විය. මෙකියන කාලයෙහි මේ එක කොරටුවක අයිතිකාරයා වූයේ ගොළු පුංචිබණ්ඩේ ලෙස අන්වර්ථයෙන් හැඳින්වූ දක්ෂ ගොවියෙකි. සැබවින්ම ගොළුවූයේ ඔහු නොව ඔහුගේ පියා හෝ මුත්තා බව කියවේ. ගොවිතැනට දක්ෂ වූ තරමටම හේ අධික තණ්හාකාරයෙක් ලෙසද කුප්‍රකටව සිටියේය. 

Photo courtesy: www.google.com

වරක් අසනීපයෙන් පෙළෙමින් සිටි ගමේ අයෙකුට උයාදීමට පතෝල කරලක් අවැසි විය. ඒ වනවිට මුළු ගමෙන්ම පතෝල කොටුවක් සරුවට වැවී තිබුණේ පුංචිබණ්ඩේගේ කොරටුවේ පමණක් වූ අතර ඔහුගේ මසුරු බව දන්න කිසිවෙකුත් ඔහුගෙන් පතෝලයක් ඉල්ලීමට යාමට මැළිවිය. මෙවර ඉදිරියට ආවේ අපේ කතා නායිකා තරුණ එලීසාහාමිනේයි. සැමදා නෑමට යනවිට දැක පුරුදු දොඩා ඇති පුංචිබණ්ඩේගෙන් මේ වෙලාවේ හැටියට ඉල්ලුවොත් පතෝල කරලක් ඉල්ලා ගැනීම අපහසු නොවේයැයි ඇය සිතන්නට ඇත. අදහස ක්‍රියාවට නැංවූ ඇය එදින නා ආපසු එන අතර කොරටුවට හිස පොවා කාරණාව කියා මසුරු ගොවියාගෙන් පතෝල කරලක් ඉල්ලා ඇත. ඈ ලදුයේ කිසිසේත් බලාපොරොත්තු වූ පිළිතුරක්නම් නෙවෙයි. ඇස්පනාපිට දිලිසී දිලිසී එල්ලෙන හොඳින් ඇදුණු පතෝල කරල් දෙසත් එලිසාහාමිනේ දෙසත් මාරුවෙන් මාරුවට නුරුස්නා බැලුම් හෙලූ ගොවියා එක් වරම 'උඹට පිස්සුද එළීස නෝනේ.. මේ මලෙන් ඇදුන විතරයි කරල් මේව හොද්දකට ගන්න තව මාස තුනකින් මෙහා බෑ.. වෙන කොහෙන් හරි බලපන්' කියා ඉවත ගියේලු. .

ඇලේ ගෙදර රන්මැණිකලාගේ පිටුපස දොරට රෑ මැද්දෑවේ තඩිබාන තරුණ ගැහැණු කටහඬකි.

'රන්මැණිකක්කේ.. දොර ඇරපං. මං එළීසහමිනේ.'

'උඹ ඔය ලාම්පුව පැත්තකින් තියල ගිහින් බුදිය ගනින්.. මං මේ වැඩේ ඉවරයක් කරල යන්නම්.. කාටවත් කටේ කෙළ එහෙම හලනව නොවෙයි ඕං මේ ගැන' තමාටත් අණ දෙමින් ලහි ලහියේ දුම මත තිබූ සියළු දර බිමට බා ඒ මත සීරුවෙන් තැබූ දැවැන්ත පතෝල මිටිය මත නැවතත් දර අසුරමින් වසන් කරන තම විසේකාර තරුණ යෙහෙලිය දෙස රන්මැණිකා අයාගත් මුවින් හා විස්මිත දෑසින් ඒ මැදියම් රැයේ බලා උන්නාය.

පසුදා සුපුරුදු වේලාවට දියට යන එළිසාහාමිනේ එනු දුටු ගොළු පුංචිබණ්ඩේ මුසපත් දෙනෙතින් යුතුව ඇය ඇමතුවාය. 'බලපන් එළීසෝ.. ඊයේ උඹටවත් කරලක් දෙන්නේ නැතුව මං පරිස්සං කරපු අච්චර යස පතෝල කරල් ටික.. මොකෙක්ද කඩප්පුලියෙක් වත්තට පැනල එක කරලක් නෑර ඊයෙ රෑ කපාගෙන ගිහිල්ලනේ බං..'

"ඈ බං.. උඹ කියුව නේද ඔව්ව මලෙන් එළියට ආපු හැටියේ ලපටි කරල් කියල.. ඉතින් මොකාටවත් මොකක්ද උඹේ ලපටි කරල කපන් යන්න තියෙන උවමනාව.. හොඳට බලපන්.. වැල පාමුල බිම වැටිල ඇති පරවෙලා.. මං යනව බං නා ගන්ඩ" 

****************************************
එළීසාහාමිනේගේ ප්‍රාණසම මිතුරියක වූ ඇගිස්නෝනා දීග ගියේ පිටගම්කාරයෙකු සමග වුවත් උන් දෙපල ටික දිනකින් නැවත් හිඟුරුගමුවට පැමිණ ගම්සභා ඉඩමක කොනක පැලක් අටවා ගත්තේලු. මේ ඉඩමට කාලාන්තරයක් බැල්ම හෙලමින් සිටි ගමේ ආරච්චිල මේ සිදුවීමෙන් කුපිත වී 'අකුරටම රාජකාරිය කිරීමට' කියා ඉඩං මහත්තුරුන්ට පෙත්සම් ගසා මොන මොනවාදෝ ලියකියවිලි වගයක් පෙන්නා ඔවුන් එතනින් පන්නා දමා ඔහුගේ 'අනුකම්පාවෙන්' උන්ට පාළු සොහොන් පිටියට යාබද අඳුරු මුල්ලක ඉඩං කෑල්ලක් වෙන්කොට දුන්නේලු. ආරච්චිලගේ දැනුමට, රාජකාරියට හෝ බල පරක්‍රමයට අභියෝග කල නොහී ඔවුහු පරාජය බාරගෙන පසෙකට උවත් එළිසහාමිනේට අනුව නම් එය ආරච්චිලයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුවූ නොහොබිනා කමක්ම විය.
Photo courtesy: www.google.com

දින කීපයකට පසු ආරංචිවූයේ දැඩිලෙස බියට හා කම්පනයට පත්විමෙන් උණෙන් හා මරු විකල්ලෙන් කියවන 'ආරච්චිලයාට' සෙත් ශාන්තියක් කිරීමට අහල ගම් සියල්ලේම කට්ටඩියන් ආරච්චි නිවසට රැස්ව ඇති බවකි. සුපුරුදු පරිදි එදින උදයේ නිවසෙහි දොර ඇර එලියට බට ආරච්චිලගේ ඇඟ මතට කඩා වැටුනේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැවැන්ත මල් වඩමක් හා මළමිනී දවටන සුදු සළු පොදියකි. ඊට අමතරව මිදුල හා පිල්කඩ පුරාමත් මිනී ඇට කැබලි හා මරණ සැරසිලි විසිරී එය තනිකරම අමු සොහොනක සිරි ගත් බව කියවේ. මේ අසුභ දර්ශණයෙන් හා හදිසියේ මතු වූ අමනුස්ස බියකින් මුළු ගමම ඇළලී යද්දී සුපුරුදු අවඥාසහගත මද සිනහවෙන් යුතුව එළිසාහාමිනේ තොවිල්පොලේදී මෙසේ පැවසූ බව කියවේ.

"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"

**************************************
ඊයේ ජූනි 25 අපේ අම්මගේ උපන් දිනය.. ගෙදර යන්න නැති උනත් ගිය වෙලාවක පෙන්නන්න කියල හිතාගෙන ඇයට උපන්දින තෑග්ගක් ලෙසයි මෙය හදිසියේ ලියා පල කලේ. නමුත් නැවත කියවනවිට හා කොමෙන්ට් කියවනවිට හැඟී ගියේ කිසිම අවස්ථා සම්භන්දයක් නැති 'වල් පල් තැලීමක්' මිස කියවිය යුත්තක් ලියවී නොමැති බවත් එයින් කතා රසයට දැඩි සේ හානියක් වී ඇති බවත්ය. රෑ නොසෑහීමෙන්ම නින්දට ගිය නමුත් උදේ පාන්දර හදිසියේ අවදිවී වහාම නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි. සිදුවූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව!