Monday, 11 September 2017

අභි නොනික්මණ - දෙවෙනි හා අවසාන කොටස



කලින් කියෙව්වේ නැතිනම් මුල් කොටස මෙතනින් කියවා එන්න

පිත්තල හන්දියේ හැමදාම දකින රතු එළිය වෙනුවට එදා කොළ එළියක් දැල්වෙමින් තිබුනා.. නොනවත්වාම රථය ධාවනය කල අසංක විහාරමහා දේවී උද්‍යානය අසල රථය නවත්වා සිඟිති උයන දෙස බලා සිටියා උද්‍යාන පල්ලන් කිහිප දෙනෙකු මිස ළමුන් කිසිවෙකුත් නොවූ එදෙස බලා සිටීමෙන් ඔහුගේ සිත සංසුන් වූවාද නොවූවාද ඔහුට වැටහුනේ නෑ. හදිසියේ නින්දෙන් ඇහැරුණු අයෙකු මෙන් එක්වරම සිය ජංගම දුරකතනය අතට ගත් අසංක එහි බොත්තම් කිහිපයක් තද කලා.

"යස් මිස්ට අසංක" සිය කාර්යාල හිතවතියගේ ලෙන්ගතු හඬින් නම් ඔහු පියවි සිහියට ආවා.

"මේඛලා.. මං හදිස්සියේ පොඩ්ඩක් එළියට ආවා.. අද අර අළුතෙන් ට්‍රේනි ගර්ල් කෙනෙක් ආවානේ මට.. ඒ ළමයට ඉඳගන්නවත් කියන්න බැරි උනා හරියට.. පොඩ්ඩක් බලනවද ඒ පැත්ත.. අයිටී ඉන්ඩක්ශන් එකටයි. සේෆ්ටි ඉන්ඩක්ශන් එකටයි බලල යවන්න.. මීල් රූම් එකටත් ඩීටේල්ස් දෙන්න ප්ලීස්.. නිකං ඉන්නවනම් කියවන්න අපෙ පොලිසි මැනුවල් වගේ කොමන් ඩොකියුමන්ට් දෙක තුනක් දෙන්න.. ජොබ් එකට අදාල දේවල් මොකුත් දැම්ම කියන්න යන්න එපා.. මං තව ටිකකින් එනවා..ඩූ ඉට් ෆො මී ප්ලීස් මේඛලා"

"විත් ප්ලෙශර්.. ශුව මිස්ට අසංක.."

"තෑන්ක්ස් අ ලොට්.. බායි"

නිදහස් වුනු අසංකගේ සිතට එකපාර මතක් උනේ සමන්මලී ඇවිත් බුලත් අතත් දීල දණ ගහල වැඳපු විදිය.. මීට කලින් අසංකට ගෑණු ලමයෙක් වැඳල තිබුණෙ ජීවිත කාලයටම දෙපාරයි.. ඒ වෙන කවුරුත් නොවෙයි අසංකගෙම නංගී.. පළවෙනි පාර රට යනකොට විවාහ වෙලා හිටපු නැති නංගී යන්තම් පහත්වී තමාට වැන්ද බවත් ඉන් වසර කිහිපයකට පසු අසංකගේ වැඩි වියදමකින් පැවැත්වූ ඇගේ විවාහය දවසේදී නොරටක සිට පැමිණ සිට තමාට ඇය බුලත් හුරුලක් දී දණගසා වැන්ද බවත් අසංකට මතක තිබුණි. ඊට අමතරව ඔහු හිත යටින් වැඳුමක් බලාපොරොත්තුව සිටි දිනයක්ද විය.. බොහෝ කලකට පෙර කියවූ එක්තරා පොතක කුලවමියක් සරණ බැඳ යනදින තම අතගත් මනාලයාගේ දෙපා නැමදි වගක් සටහන් වී තිබිණි. එහෙත් කිශානී හෝ ඇගේ පවුලේ වැඩිහිටියෙකු ඒ පොත කිසිදිනෙක කියවා නැතිබව පමණක් එදින අසංකට පසක් විය..

අරමුණකින් තොරව වාහනයෙන් බැසගිය අසංක පාර මාරු වී ෆාමසියකින් ග්‍රයිප් වෝට බෝතලයක් හා තවත් බිළිඳු නිශ්පාදන දෙක තුනක් මිළදී ගෙන හැකි ඉක්මණින් නැවතත් තම කාර්යාලය වෙත වාහනය ධාවනය කරන්නට විය. 

*******************************
සමන්මලීට කාර්යාලයේ වැඩ අමාරු නොවූවාද නැත්නම් අමාරු රාජකාරි ඇයට නොපැවරූවාදැයි කිසිවෙකුට ගැටළුවක් නොවීය.. රුපියල් විසිපන්දහසක් වූ ඇයගේ 'ට්‍රේනින් පඩිය' ඇයට සහනයක් වූ බවත් ඇය සතුටින් රාජකාරී කරන බවත් හඳයා පැවසූවත් ඊට පෙර සිටම එය අසංකට දැනී තිබිණි. පළමු වැටුප ගත් දින ඇය අසංකට වතුර රස්නෙන් තබාගෙන පානය කල හැකි ආකාරයේ අලංකාර බඳුනක් තෑගි කලාය. 

'මොකටද වියදම් කරේ අපරාදෙනෙ.. ඔයාගේ වියදමට ඉතුරු කර ගන්න.. වැඩ ටික ඉක්මණට අල්ලගෙන ජොබ් කන්ෆමේශන් එක ගන්න ට්‍රයි කරන්න.. ඒක තමයි වැදගත්' පණ්ඩිත වාක්‍ය පැවසූවද ඇය කෑමට ගිය පසු එය දෙතුන් වරක් කරකවමින් බලා මේසයේ කොණක තබමින් එහි හැඩ බලන්නට අසංක අමතක කලේ නැත. 'මේක තියෙනවනම් පොඩි මැට් එකක් ගන්නවෙයි' ඔහුට සිතුණි. එසැණයකින්ම ඇය ආපසු එනු ඇතැයි සැක සිතුණු නිසාදෝ කඩිමුඩියේ නැවත ජෝගුව ඇසුරුමට එබූ අසංක එය ඇසුරුම පිටින්ම මේසයේ නොගැලපෙන කෙලවරක තබා තම කොම්පියුටරයට මූණ ඔබා ගත්තේය.

පසුදින අසංක කාර්යාලයට පැමිණෙන විට ලස්සන පොඩි මැට් එකක් උඩ ඒ නිල්පාට ජොග්ගුව තබා මද රස්නයෙන් යුතු උණු වතුර එකක් එහි පුරවා තිබිණි. තම කාර්යාල මේසය වෙනදාට වඩා පිළිවෙලකට අස්පස් වී ඇති බවක් අසංක දුටුවද ඔහු වඩාත්ම පුදුම වූවේ තමා පෙරදින මේ ජොග්ගුව තබා ගැලපේයැයි සිතූ ස්ථානයේම අද දින එය තිබෙනු දැකීමෙනි. එදිනවත් ඉන්පසු ගතවුණු සිව් මසකට ආසන්න කාලය පුරාවත් අසංක මේ පිළිබඳව සමන්මලීගෙන් විමසීමක් නොකල නමුදු එදින උදය වරුවේ සමන්මලී කිහිප සැරයක් තමන් දෙස බිය සැක මුසු ලෙස හොරෙන් හොරෙන් බලනවා අසංකගේ ඇස ගැටිණි.  

මේ අතරතුර දිනෙක තම විවාහයේ තුන්වන සංවත්සරයත් පුතුගේ පළමුවන උපන් දිනයත් ලඟ ලඟ දින දෙකක යෙදී තිබුණු හෙයින් අවස්ථා දෙකම අළලා විශේෂ සාදයක් කිශානී විසින් සංවිධානය කරන ලදී.. අසංකගේ අදහස වූයේ ළඟම හිතවතුන්ට නිවසට ආරාධනය කොට කෑමක් පිළියෙල කිරීම වුව 'පැමිණෙන අයගේ පහසුව තකා' කිශානී විසින් එය කොස්වත්තේ පිහිටි උත්සව ශාලාවකට පවරන ලදී. ඒ සමගම ගෙට ගෙවදීමට පෙර සිට අසංක සිතා සීටි පරිදි තුන් වේල් පිරිතක් කියා හාමුදුරුවරු දෙතුන් නමකට හීල් දානයක් දීමද යටත් පිරිසෙයින් තව වසරකින් කල් ගියේය. 

මහ රෑ ඒසී කල හෝටල් කාමරය තුල පැවති උත්සවයේ බිලටත් වඩා අසංකට දරා ගත නොහැකි වූයේ.. අසනීපයෙනුත් සිටි පොඩි එකා මරහඬ දී අඩන්නට පටන් ගැනීමයි.. කිශානීගේ මවට කෙසේවත් මේච්චල් කරගත නොහැකි වූ පොඩ්ඩා වාසනාවකට හෝ අවාසනාවකට 'හඳයා' හා බිරිඳ සමග පැමිණ සිටි සමන්මලී තුරුලේ සැනහෙමින් නිදන්නට වීම අසංකට කෙසේ වෙතත් කිශානිටනම් බොහෝ සෙයින් සතුට ගෙනා බව පෙණුනි. සාදයේ තවත් අතුරු ඵලයක් ලෙස පසුදිනම අසංක නුගේගොඩ දඹදිව චාරිකා සංවිධානය කරන ආයතනයට කතා කොට 'හදිසි අවශ්‍යතාවයක්' නිසා අත්තිකාරම් බැඳ වෙන්කර තිබූ ටිකට් පත් දෙක කැන්සල් කරන ලෙසත් අත්තිකාරම් මුදල් ඉදිරි චාරිකවක් වෙන් කිරීම සඳහා යොදා ගන්නා ලෙසත් උපදෙස් දුන් අතර අම්මාට කතා කොට නුගේගොඩ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙවර ගමන ඉන්දියාවේ කලබල නිසා අවලංගු කර ඇති බවත් ගමන යන දිනය ඉදිරියේදී තමාට දැනුම් දෙන බවත් පැවසූවායැයි සම්‍යක් සත්‍යයක් ප්‍රකාශ කලේය. 

සාදයෙන් පෙර හා පසුවද කිශානී 'කිශානී' ම වූ අතර අසංක, අසංක වෙනුවට 'ප්‍රභාත්' විය.

සඳුදා සහ අඟහරුවාදා බැංකොක් හී සූදානම් කර තිබූ වාහන ආනයන කරුවන්ගේ ලෝක සංසදයේ වැඩමුළුවට සහභාගී වන ලෙස ඉහළින් ලැබුනු දැනුම්දීමට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාවක් මෙවර අසංකට නොවීය. පසුගිය මාස හය තුල තමා දෙවරක්ම මෙවැනි 'කැට' නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් වෙන අයට 'පාස්' කල බව පමණක් ඔහුට සිහිවිය. ගමන ස්ථීර කිරීමෙන් පසු ඉරිදා හවස ෆ්ලයිට් එකට ටිකට් එක පවා කිශානි සිකුරාදා හවස එනවිට ගෙදර ගෙනැවිත් තිබිණි. කාර්යාල කාමරයෙන් පිට රාජකාරීවලදී වෙනදා නොතිබූ මොකක්දෝ කම්මැලි කමක් දැන් තමා පසුපස එන බව අසංක තේරුම් ගෙන සිටියත් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. කලයුතු විශේෂ රාජකාරීයක් නැතුවද සිත රවටා ගැනීමට ඔහු ඉරිදා උදය වරුවේ කාර්යාලයට ඒමට සිතා ගත්තේය.

********************************

ඩෙනිම් කලිසමට නිල්පාට කොටු වැටුණු සැහැල්ලු කොට්න් කමිසය හොඳින් ගැලපුණි. වෙනදාට බොහෝ විට අමතක වන 'රෝයල් මිරාජ්' සෙන්ට් එක එදා අසංක ටිකක් වැඩිපුරත් එක්ක ගල්වා ගත්තේය. අසංක ඔෆීස් එකට එනවිට අට හමාර පසුවූවා පමණි. මද රස්නය රැගත් උණු වතුර ජොග්ගුව මේසය මත සිහින් දුම් රැල්ලක් මුදාලමින් තිබුණි. 

"ගුඩ් මෝනින් සර්"

කාමරයේ කෙළවර ලිපිකරු මේසය අසල උඩවැඩියා මලක් පිපී ඇත. මොහොතකට අසංකට ඇස් ඉවතට ගත නොහැකි විය. සාරිය වෙනුවට ගවුමක්.. බැඳපු කොණ්ඩය වෙනුවට පිට මැදට කඩල දාපු කැරළි කොණ්ඩයක්.. පළපුරුදු කෙනෙකු මෙන් ඇඳුම මැච් කරල ගාල තියෙන තොල් ආලේපනයක්.. හැබැයි අර ලස්සන දිලිසෙන මුව ඇස්.. 

"මෝනින්.. අද සමන්මලී ගොඩාක් වෙනස්.." 
කුහකයෙක් වෙන්න හොඳ නෑ.. 
"ලස්..සනයි.." මොහොතකට අසංක අසංකම උනා.

"සර්ත්.. තැන්කියූ සර්.." සමන්මලීත් ඒ ටික කියා ගත්තෙ අමාරුවෙන්..

වෙනදා වගේ ලැප් එක දිග ඇර ගත්තත් අසංක ඒ දිහා බලනවට වඩා කරේ මේසෙ උඩ තිබ්බ කොලයක් කුරුටු ගාන එක.. සමන්මලී කොයි වෙලේ හෝ තමුන්ට ඇමතුමක් ලැබේයැයි විමසිලිමත් වෙමින්ම යම් දත්ත වගයක් කොම්පියුටරේට කවමින් සිටියා..

අඩුම තරමින් ඉදිරි පැය තුනක් හෝ හතරක් මේ දෙය මෙයාකරයෙන්ම සිදු උනා.

"සමන්මලී විශේෂ වැඩක් නැත්නම් දැන් යන්න.. මාත් තව ටිකකින් යනවා. ෆ්ලයිට් එක රෑ අටට.. හෙට අනිද්ද දවස් දෙකේ ඔයාගේ ස්ටඩීස් මොනව හරි තියෙනවනම් කර ගන්න.. මතක ඇතුව ට්‍රේනින් රෙකෝඩ් එක අප්ඩේට් කරන්න.." තව මොනවද මොනවද උපදෙස් ටිකක් දුන්නට පස්සේ සමන්මලී පුටුවෙන් නැගිටල අසංක ලඟට ආවා. 

"සර් එහෙනම් මං යන්නම්.. මං ආවට පස්සෙ සර් පිටරට යන පළවෙනි දවස.. බුදු සරණින් එහෙනම් පරිස්සමින් ගිහින් එන්න" එක්වරම මේසය වටෙන් පැමිණි ඇය අසංක පාමුල දණ ඔබා වැන්දා.. 

පුටුවෙන් නැගිටුනේ ඉඳං හිටිය අසංක නෙවෙයි.. බිමට නැමුණු අසංක දෙවුරෙන් අල්ලා සමන්මලීව සිටෙව්වා.. ඇගේ උරපතු දිගේ ගෙල දෙසට ඔහුගේ අත් ගමන් කරා.. ඇගේ සිහින් ගෙල වටේ එක්වුණු අසංකගේ දෑතේ මහපට ඇඟිලිවලින් ඒ නිකට ඔසවනු ලැබුවා.. දෙයියනේ ඇස් දෙකේ කඳුලු.. දින දෙකකට වෙන්වන තම ස්වාමියා වෙනුවෙන් සේවිකාවකගේ නෙතකට උනන කඳුලු වලට වඩා වැඩි බරක් ඒ කඳුලු වල අසංක දැක්කා.. 

සමන්මලීගේ ගෙලට ඒ නිකට ඔසවා තබාගෙන ඒ ඇස් අසංකගේ ඇස් වෙත රඳවා තබා ගත හැකි වූ විට අසංකගේ නැවත ඇගේ උරපතු දිගේ දෙ අත් ගොබ සොයා ගියා.. ඉන්පසු නැවත උරපතු වෙතත් එතනින් පිට දිගේ මදක් දුර පහලටත් ගමන් කල ඒ අත් විදුලි වේගයකින් මෙන් එක්වරම සමන්මලී අසංක වෙත ඇද ගනු ලැබුවා.. මෙතෙක් සිහිනෙන් පමණක් රසවිඳ තිබූ රසවත් පළතුරක් ලෝකයේ කොහේදෝ කොණක තිබී තමන් අතට හැබෑවටම පත් වුනාක් වැනි හැඟීමකින් අසංක ඒ දුර්ලභ වූ පළතුර පරිස්සමින් සිප ගත්තා.. වායු සමීකරණය කර තිබූ ඒ සීතල කාමරය තුල මෙතෙක් තමා පැතූ ඒ සදාතනික උණුසුම අසංකට දැණුනා. 
ගතවූයේ නිමේශයකටත් අඩු කාලයක් විය හැකියි.. අසුරු සැණකින් තම අත් ගොබ වලට මැදිවී පොලොවෙන් ඉහලට එසවී සිටි සමන්මලීවත් රැගෙන අංශක එකසිය අසූවක කෝණයකින් ආපසු හැරුණු අසංක තම දෑතට එවලේ අසුවූ තමා පැතූ ලෝකය මෙතෙක් තමා වාඩිවී සිටි පුටුව මත හෙලුවා. රැගෙන යාමට කිසිවක් නොවූයෙන් හිස් අතින්ම කාර්යාල කමරයෙන් පිටවී අසංක ද ප්‍රභාත් ද නොවූ ඔහු තම රථය වෙත පැමිණ හදිසියෙන් මෙන් ඔෆීස් පාක් එකෙන් පිටතට රථය ධාවනය කරා..

********************************
සමන්මලී.. 'මට ඒ නමින් කතාකලේ ඔහු පමණයි.. අනිත් අයගෙන් වසන් කිරීමට උත්සහ කල ඒ නමින් ඔහු අමතද්දී මං ඒකට කැමති උනේ ඇයි' ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි උනා.. ඇය වැඩිදුර කිසිවක් සිතුවේත් නෑ.. සුළු වෙලාවකට ලද ඒ උණුසුමෙනුත් කිසිදා සිහිනෙන් හෝ වාඩි වීමට උත්සාහ කල මෙම පුටුවේ වාඩිවී සිටින මේ අහම්බයෙනුත් ඇය විකසිත වී සිටියා.. ඇස් එකලස් කරගත් මොහොතේ ඒ මේසය මත වූ කටු සටහන් ගොන්නේ ලියා තිබුණු මේ පද වැල් සමන්මලීගේ නෙත ගැටුනා.. 

නේරංජන දිය රැළි මත
බිඳී යයි ඇසළ පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනි...
මම කොහොම නික්ම එන්නද ගිහි ගෙයට නොපැරදී...
සියක් පෙර නිමිති දැක ඉපදෙමින් මැරි මැරී...
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී...

කන්ථකද විකුණු මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට සිල්ප දක්වනා...
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා...

ගම පුරා හැදුනු නිබ්බුත
අසා කළකිරී තැවෙමින
බාවනා වඩා මගඵල ලබන්නට බැරී...
කැණිමඩලට උරදෙමි තුරුලේ සුවය හිමි නැතී... 

**** නිමි ****

****************************************
නිධාන කතාව

නුවර එලිෆන්ට් වෝක් හෝටලයෙදි 2002 වසරේදි වරක් පැවැත්වුණු සාදයක් අතරතුර ඝෝශාකාරි සංගීතය මැද්දේ එවකට පේරාදෙණිය වි.වි. අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ මා අතිජාත මිත්‍ර ජයවීර බණ්ඩාර පේපර් සර්වියට් එකක යමක් කුරුටු ගාමින් උන්නා. මද වේලාවකින් මා ඇමතූ ඔහු 'මේක කියවලා බලපං ඔය මට ඊයේ රෑ හිතට ආපු අදහසක්' කියා ඉහත ගීතය අඩංගු පේපර් සර්වියට් කැබැල්ල මගේ අතට දුන්නා. පළමු වර කියවීමේදීම එහි අර්ථයත් පද ගැලපීමත් නොමැකෙන ලෙස මගේ හිතේ සටහන් වුණා. වරෙක මෙම ගීතය 'කපුගේ' ලවා ගායනය කරවීමට අප කතිකා වුවත් ඒ සඳහා අවස්ථාවක් ගැනීමට නොහැකී වූ නිසාත් කපුගේ මහතා ගේ අකල් වියෝව නිසාත් එය මෙතෙක් පද රචනයකට පමණක් සීමා වුණා. 

ගීත රචනයෙහි මෙන්ම තොරතුරු තාක්ශණයේද කෙළ පැමිණියෙකු වූ මොහු මා කොම්පියුටර් ගැසීමට ඉගෙන ගැනීමටද පෙර පටන් බ්ලොග් ලියන්නෙක් වී සිටියා.. පේරාදෙණිය වි.වි. තේමා ගීතය ලෙසත් සයන්ස් ෆැකල්ටියේ තේමා ගීතය ලෙසත් දැනටත් භාවිතා වන ගීත දෙකත් තව ඉතා අලංකාර ගීත හා පබැඳුම් කිහිපයක් සමග මේ පබැඳුම ද  ඔහුගේ මෙම බ්ලොග් සටහනෙහි ඇතුලත් වෙනවා. 

රාජකාරී කටයුතු වලට මුල් තැන දෙමින් නිර්මාණකරනයෙන් බැහැරව ඉන්න ඒ අති දක්ශ නිර්මාණශීලී මා මිතුරාට නැවත බ්ලොග් අවකාශයේ සැරි සැරීමට සිත් පහල වේවායි අවසන් වශයෙන් ලියා තබමි. 


Thursday, 7 September 2017

අභි නොනික්මණ


ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට විය. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත. විවේකී ඉරිදා දිනයේ කොළඹ පාරවල වාහන තදබදය බොහෝ අඩු බැවින් එය අසංකගේ මනෝ ලෝකය හා එතරම් ගැටුනේද නැත. කෙසේ නමුත් පිත්තල හංදියේ කලර් ලයිට් ලඟ වාහනය නැවැත්වීමට සිදුවීම නිසා තමා මේ යන්නේ තමන්ට හුරු බොරැල්ල දෙසට බවත් මෙහි අවසානය රාජගිරිය කලපළුවාව පළමු පටුමගේ තමන්ගේම යැයි කියාගන්නා නිවස බවත් ඔහුට සැනෙකින් පසක් විය. ඒ හා සමඟම හිරිවට්ටා සැත්කමකට භාජනය කොට තිබූ තුවාලයක් හිරි ඇරීමේදී ඇදුම් දෙනවාක් වැනි වේදනාවකින් ඔහුගේ පපුව පිරී යන්නට විය.


*******************************

"සමන්මලී, මම මන්ඩේ ටියුස්ඩේ නැති නිසා හෙට උදේ වරුවේ ටිකක් ඔෆීස් එකට එනවා. විශේෂ වැඩක් තියෙනවනම් නෝට් ඒකක් දාල ටේබල් එක උඩින් තියල යන්න...."
"නෑ සර්, කමක් නෑ.. මම සර් එන වෙලාවට ඔෆිස් එකට එන්නම්.."
එය අසා මුවට නැගුණු මදහස සඟවා ගන්නට උත්සාහ දරන්නාක් මෙන් අසංක තැනට නොගැලපෙන තරමේ විශ්මයාර්ථයක් මුහුණින් පෙන්නුම් කලද ඊට ගැලපෙන වචන කිහිපයක් සොයා ගැනීමට අපොහොසත් වූයේ, නිකම්ම " හ්ම්.. කරදරයක් නැත්නම් විතරයි" කියා හනික සෙනසුරාදා හවස තම කාර්‍යාලයෙන් පිටවිය.

'කෙල්ල එන බව දැනගෙනම මං එහෙම ඇහුව කියල එයාට හිතුනද දන්නෙත් නෑ'. විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපස පාරේ අත් අල්ලාගෙන නිදහසේ පුරහල දෙසට ඇවිද යන තරුණ ජෝඩු වල දර්ශනයෙන් ඔහු වෙනදාට වඩා කුල්මත් වී සිටී.. 'යන්න ඕනෙ කෙන්ට් එක පැත්තෙ, හඳය මොකද දන්නෑ කරන්නේ' කාලෙකට පසු අත්විඳින මේ සමනළ සැහැල්ලුව නිකන්ම සෝදා හැරිය යුතු නැත.

හඳයා හෙවත් කොළඹ ආපසු නැවත හමුවූ මේ අතිජාත ගමේ මිත්‍රයා, 'මූට අපි හඳයා කියන බව මෙහෙ කවුරුත් දන්නේ නැතුව ඇති.. උගෙ කැම්පස් කාඩ් එකත් වෙන මොකද්ද නේ', ඔහු ගැන මෙනෙහි කරන හැම මොහොතකම නිරායාසයෙන් අසංකගේ හිතට නැගෙන සිතුවිල්ලයි. වසර හතරකට වැඩි කාලයක් රතු වැස්සීගේ හැඩකාර දඟයා, ගමටම හයිරං පාපු රතු හඳයාගේ ආඩම්බර අයිතිකාරයා වූ 'හඳයා' තම සුරතලාගේ නමින්ම තමන්ට ඇමතීම ගැන නම් එතරම් පැහැදීමකින් එකල නොසිටි බව අසංක සිහි කලේය. 'දැන්නං ඌ ඒ නමට ආසයි'. 


*********************************

අසංකට වඩා දෑවුරුද්දකින් වැඩිමල් වුවද ඔහු ආශ්‍රය කිරීම ගැන ගෙදරින් අවනඩුවක් නොවූයේ දෙදෙනාම ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව කඩඉම ජයගෙන නගරයේ එකම පාසැලක අකුරු කිරීමත් කොතරම් නොසණ්ඩාල වැඩ කලද ඉගෙනීමේ කටයුතුද යහපත් මට්ටමෙන් කරගෙන ගිය නිසාත් විය යුතුය. අසංක උසස් පෙළ සඳහා වානිජ විශයය තෝරා ගත් අවුරුද්දේම හඳයා කලා අංශයෙන් සරසවි වරම් ලබා පාසැලෙන් පිටවිය. ඔහු කැම්පස් යනතුරු වසරක් හමාරක් කඩින් කඩ හමුවී පොඩි ජල්ලියක් ඇල්ලුවද ඉන් මතු දෙදෙනා අතර මහා ලොකු සම්බන්දයක් පැවැත්වීමට අවකාශ නොලැබිනි. කළමනාකරණ පීඨයේ ඉගෙන ගනිද්දීම වරලත් ගණකාධිකාරී වරයෙකු වශයෙන් සුදුසුකම් සපුරාගත් අසංක උපාධිය ලබා වසර දෙකක් ඉක්මවීමටත් ප්‍රථම විදේශ ගතවීම නිසා ඔහුගේ බොහෝ සබඳතා සීමා වුණි.

පවුලෙං ඈත්වී වසර හයක් රටවල් දෙකක ස්ථාන තුනක රාජකාරී කිරීම අසංකට එතරම් අපහසු නොවූයේ කුඩාකල පටන් ඔහු සිතූ පරිදි ඔහු හා තම පවුල අතර තිබුණු දුරස්තර භාවයයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වූ අසංකට පවුලේ විශේෂ ස්ථානයක් නොලැබුනේය. අයියා ලොකු වීම නිසාද නංගී එකම කෙල්ල වීම නිසාද මල්ලී බාලයා වීම නිසාද ඔවුනොවුන්ට හිමි විශේෂ වරප්‍රසාද බුක්ති විඳිමින් සිටියහ. සමහරවිට සෑම දෙයක්ම ඕනෑවටත් වඩා දුරට හිතන අසංක තව කරුණක් නිසා තමන් පවුලට බරක් වූවාදැයි කුහුලෙන් සිටියේය. අසංක හා අයියා අතර වයස පරතරය අවුරුදු හතරක් විය. නංගී හා බාල මල්ලී අතර එය වසර තුන හමාරකි. නමුත් ඔහු හා නැගනිය අතර වයස පරතරය යන්තම් වසරක් හා මාස තුනකි. යමක් කමක් තේරෙන වයසට ආපසු අසංක මෙය සංසංදනය කර බැලීය. ඔහුගේ නිගමනය වූයේ තමා ඉපදීමට පෙර දෙමවුපියන් ගැහැණු දරුවෙකු බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් එය ඉටු නොවුණු නිසා ඔවුන් ගැහැණු දරුවෙකු සාදා ගැනීමට ඉක්මන් වූ බවත්ය. මෙය අදටත් ඉඳ හිට  අසංකගේ සිතට එන නමුත් දැන්නම් ඔහු මදහසකින් එය බැහැර කරයි. නමුත් එදවස එය එසේ පහසු නොවීය.

සාමාන්‍ය සිරුරකින් හෙබිව සිටි එතරම්ම කඩවසම් නොවූ තමා දෙස කිසිදු ගැහැණු ලමයෙකු විශේෂයෙන් ආකර්ශනය නොවේ යැයි ඔහු සිටි පූර්ව නිගමනය නිසා පාසැලේදීවත් විශ්ව විද්‍යාලයේවත් ඔහුට පෙම්වතියක් නොවීය. ඔහු හැසිරුනේද එය ඔහුගේ අභිරුචිය වූ පරිදි හෙයින් නොයෙක් හේතූන් මත ලඟින් වැඩ කටයුතු කිරීමට සිදුවූ කිසිදු ගැහැණු ලමයෙකුවත් කිසිදිනෙක ඔහු හා ඕනෑවට වැඩි භජනයකට යෑමට බිය විය.  


*******************************

කෙන්ට් එකට ඇතුළුවීමට ඇති ස්ථානයේ ඇති පෙට්‍රොල් ශෙඩ් එකේ නිදහස් ස්ථානයක් බලා වාහනය ගාල් කල අසංක ඒ සෙනසුරාදා හවස් යාමයේ හඳයා පැමිනෙණ තුරු බලා සිටී.. මීට හාර පස් මාසයකට ප්‍රථමව මෙවන්ම වූ දිනයක තමා හඳයා බලාපොරොත්තුවෙන් මෙහි මෙයාකාරයෙන්ම සිටියේයැයිද අද හා ඒ දවස තුල යම් පුදුමය එළවන සුළු සමානාත්මතාවයක් ඇතැයිද ඔහුට සිතෙන්නට විය. එදා හඳයා වෙනදාට වඩා බැරෑරුම් මුහුණකින් තමා හමුවට ආ සැටිත් මදුවිත තොල ගානවට වඩා ඔහු කල්පනාවේ නිමග්නව සිටි හැටිත් තමා නිරීක්ශනය කල බවද ඒ පිළිබඳව තමා විමසීමක් කල විට ඔහු කථා කල අයුරුද ඒ අයුරින්ම ඔහුගේ මනසේ රැඳී තිබේ.

"මචං අපේ වයිෆ්ලගේ ලඟින්ම නෑයෝ වෙන පවුලක ගෑණු ළමයෙක් ඉන්නව රස්සාවක් හොයනව. බුලත්සිංහල ගම. ඕපන් යුනිවසිටියේ මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් කරා. හැබැයි කෙල්ලගෙ කඩ්ඩයි කොම්පියුටරුයි එච්චරම පොලිශ් නෑ. යන්තං තමයි ගැටගහ ගන්නෙ. දැන් වැඩ කරනව නුගේගොඩ තැනක පොඩි ක්ලාර්ක් වැඩක් රුපියල් පාලොස් දාහයි දෙන්නෙ.. කෙල්ලගෙ වියදමටවත් මදි. මාත් අලුතෙම්මනෙ මේ ඇපොයින්මන්ටෙක ගත්තෙ. ඒක නිසා මං ඉන්න තැනකට ගන්නත් බෑ. අනික ඒක හරිත් නෑනෙ බන්. මහ උනුත් හරිම අමාරුවෙන් ගැටගහගන්නේ, අපේ උන්දැත් නිතරම කියනව මොකක් හරි ටිකක් හොඳ තැනකට කෙල්ලව දාල දෙන්න කියල. මං ඉතින් මේ උඹෙන්වත් අහන් නැතුව හිටියේ අපේ කොම්පැණියටත් හපන්නෙ උඹලයේ. කඩ්ඩයි කොම්පියුටර් කොටන්ඩයි බැරුව මෙලෝ දෙයක් කරන්න බෑනේ."

"හහ් හහ් හා.. ඕකද උඹ මූණ පුළුටු කරං හිටියෙ. ලබ්බේ කොම්පියුටරුයි කඩ්ඩයි.. ඒ දවස් වල අපි කඩ්ඩෙං කෙටුවද බන්.. ඕව වැඩකට ගියාම හරියනව.. උඹ එවපන් මං ගාවට. මං කොහොමත් සෙකට්‍රි කෙනෙක් අරන් නෑ. අපි පුරුදු කරල ගමු" එහෙම නිදහසේ කතා කරේ තමන්ද නැත්නම් උගුරෙන් පහලට ගිය චන්ඩියාදැයි එකවරම අසංකට සිතා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහු වහාම වරද නිවරද කලේය. "අපි මාස හයක් විතර ට්‍රේනින් ඇග්‍රීමන්ට් එකක තියල බලමු. මං ගාවම තියා ගන්නංකෝ. එතකොට ඔය අඩුපාඩු කාටවත් පේන්නෙ නෑනෙ." එවර ඔහුට පෙරට වඩා පහසුවක් දැණිනි.    


*********************************

CV of Ayesha Samanmali Herath.. සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, භාවිතා කරන්නේ හේරත් අගට. සමන්මලී කියනවට අකමැති ඇති ඒකනේ ඊ මේල් එක ayeashash87@ වෙන්නෙ. හිහ් හිහ්.. දැන් කෙල්ලො කොහොමත් පොශ් නම් වලටනෙ කැමති.. හඳයාගේ ඊමේල් එකත් එක්ක ආපු ඇටැච්මන්ට් එකේ ප්‍රින්ට් අවුට් එක අතේ තියාගෙන අසංක තනියම හිනා වුනා.. ඒත් පොශ් නම්.. එහෙම කියද්දි අසංක එක පාරම හීතල වෙලා ගියා..    

Thanking you for gracing our precious occasion- Kishani & Prabath 
එහෙම තමයි අසංකගෙයි කිශානිගෙයි වෙඩින් එකේ තැන්ක්යූ කාඩ් එකේ තිබ්බේ. "අයියෝ බබා අසංක කියන නම කිශානි කියන එකත් එක්ක මැච් වෙන්නෙ නෑනේ. ඉතින් ප්‍රභාත් කියන්නෙත් ඔයාගෙම නමක් නෙ.. ඇයි ඕක දැම්මම ඔච්චර ප්‍රශ්ණයක් වෙනවද?" මුලින් මේ අදහස දාපු වෙලේ අසංක තදින්ම විරුද්ද උනේ ඔහු මේ මගුලට ආරාධනය කිරීමට සිතා සිටි ඔහුගේ ආගන්තුක මිතුරන් කිසිවෙකුත් ඔහුගේ මෙම මැද නම නොදැන සිටිනා බව සක් සුදක් සේ දැන සිටි නිසයි. කුඩා කල පාසැලේ කනිශ්ඨ පන්තිබාර ගුරුතුමිය 'අසංක ප්‍රභාත් සමරනායක..අ' කියූ විට අත ඔසවා 'ඉන්නව ටීච..අ..' කියුවායින් පසු ඔහුට මතක විදියට කිසිවෙකුත් ඔහුට ප්‍රභාත් කියා අමතා නැත. එදා මෙදා තුර තම හිතවතුන්ට අසංක වූ ඔහු රාජකාරීයේදී මිස්ට අසංක හෝ මිස්ට සමරනායක විය. රට ඉන්න කාලෙදී නම් සුද්දන්ට හා සිංහල නොදත් උන්ට සෑම් විය. වෙනකක් තබා තැන්ක්යූ කාඩ් එකට ඒ නම දැමීමට අදිමදි කරන කිශානී පවා ඔහු ආමන්ත්‍රනය කලේ අසංක හෝ අසා බබා කියායි. කරුණු කාරනා කෙසේ වේවා එදින හා ඉන්පසු බොහෝ අවස්ථාවල සිදුවූ පරිදි අවසානයේ ඇගේ කැමැත්තට ඉඩදී අසංක නිහඬ විය. අසංකට මතක විදියට මේ කරුණ ගැන නැවත ඔහුට කේන්ති ගියේ දෙවරක් පමණි. තැන්ක්යූ කාඩ් බෙදන වේලාව වන විට හොඳින් මත්වී සිටි වැඩිය පයුරු පාසානමක් නොතිබූ ඔහුගේ එක් මිත්‍රයෙකු හඬ නගා 'අපි හිතුවෙ කිශානි වෙන එකෙක්ව බැඳල අසංකයත් එක්ක පැනල යනව කියල, මේකෙ අසංකයගෙ නම නෑනෙ' කියනවිට කිශානී ඇඹරෙනවා දැක හා කිශානීට මේ යෝජනාව කර තිබුනේ ඇගේ රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය බව දැනගත් අවස්ථාවේ පමණි. 

තිස්තුන් හැවිරිදි වියෙහිවූ වරලත් ගණකාධිකාරී අසංක විදේශ ගතව පැමිණීමෙන් අනතුරුව ලංකාවේ ප්‍රමුඛ පෙලේ වාහන ආනයනය කර බෙදා හරින සමාගමක අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා ලෙස පත්වීමක් ලැබුණි. ඔහු පිටරට සේවයේ යෙදී සිටියදී ජපානයේ මුල්පෙළේ වාහන නිශ්පාදන සමාගමක් හා ගණකාධීකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම මේ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකමක් විය. කවදත් වෘත්තීය ජීවිතයේදී කෙළින් හා උවමනාවෙන් වැඩ කල අසංකට ටික දිනකින්ම විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලයක් ගොඩ නගා ගැනීමට හැකිවීම නිසා රැකියා ස්ථානයේ වගකීම් මැද වුවත් සැහැල්ලුවෙන් සිටීමට හැකි විය. ඔහු කියවීමට යොමුවිය. නිදහස් අවස්තාවලදී සිතට දැනෙන දේ කවිකර ලිවීමටද ඔහු පුරුදු විය. අසංක බ්ලොග් එකක් ලිවීමට පටං ගත්තේය. හිතට දැනෙන සිතුවිලි නිදහසේ අකුරු කල ඔහු බ්ලොග් අවකාශයේ මිතුරන් අතර ජනප්‍රිය අයෙක් විය. එහෙත් වෘත්තීය ජීවිතය තුල ඔහු කාර්ය බහුල පුද්ගලයෙකු වියයුතුයැයි හංවඩු ගසා තිබීම නිසා ඔහු අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින් තම අනන්‍යතාවය රැක ගැනීමට අසීරු උත්සාහයක්ද දැරීය. එහෙත් මෑතක හඳයා නැවත හමුවනතුරු අසංකට කොළඹ යාලුවන් සිටියේ නැත. ගෙදර නොගිය සති අන්තයක වෙන්ඩ්ට් එකේ තනිවම නට්‍යයක් බැලීමටත් එසේ නැතිනම් විහාරමහාදේවී උද්‍යානයේ සිඟිති උයනේ සෙල්ලම් කරන පොඩි උන් දෙස ඔහේ බලා සිටීමටත් හැර වෙනත් විශේෂ රාජාකාරීයක් ඔහුට නොවීය. ඉඳහිට මත් පැන් පානය කරත් තනිවම ගොස් බීමටවත් ගෙදර තබාගෙන බීමටවත් ඔහුට හුරු නොවීය.

රාජකාරී අවශ්‍යතාවයන් මත වසරකට කිහිප වරක් විදේශ ගත වීමට සිදුවූ අසංකට ලෝක වෙළඳ මධ්‍යස්තානයේ ගුවන් ටිකට් පත් නිකුත් කරන කාර්යාලයේ සිටි විසිපස් හැවිරිදි සුන්දර තරුණියක වූ කිශානී මුණ ගැසෙන්නේ ඔය අතරය.. මුලින් මුලින් සර් යැයි ආමන්ත්‍රනය කල ඇය තවදුරටත් යනවිට නිකම්ම අසංක යැයි කියා ඇමතීමට පටං ගත් හෙයින් අසංකද ඇය දෙස විශේෂයෙන් බැලීය. ටික දිනක් ඇසුරු කිරීමෙන් පසු ඇය අවිවාහක බවත් පෙම්වතකු නොමැති බවත් ගෙදරින් විවාහ වීමට බල කරන බවත් දැනගත් අසංක එක් සාමාන්‍ය වැඩ කරන දිනෙක දුරකථන ඇමතුමක් දී ඇගෙන් විශේෂ යමක් ඇසුවේය. එදින සිට ඇයට ඔහු 'අසා බබා' විය.     

විදේශගතව සිට පැමිණෙද්දී අත තිබූ මුදලින් නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගත් නිසා අසංක මිතුරෙකුගේ මාර්ගයෙන් බැංකු ණයක් අනුමත කරවාගෙන කලපලුවාව පළමු පටුමගේ බාගෙට ඉදිකර තිබූ මෙම නිවස මිලට ගත්තේය. ඔහුගේ රැකියා ස්ථානයේ ලිපි ශීර්ෂයක සටහන්ව තිබූ වැටුප් විස්තරය දුටු බැංකු කළමණාකාරවරයා දෙවරක් සිතීමකින් තොරව ඒසා විශාල ණය මුදල අනුමත කරණු දුටු අසංකට තමා කුඩා කල තම පියා රුපියල් පනස් දහසක නිවාස ණයක් ලබා ගැනීම සඳහා මාස තුනකට වැඩි කාලයක් බැංකු ගානේ රස්තියාදු වූ අයුරු සිහිවිය.. 'ලියන්න ඕනෙ මේක ගැනත් පෝස්ට් එකක්' බැංකුවේදීම ඔහු හිතා ගත්තේය. කෙසේ වුවත් හිච් වීමෙං පසු වියදම් ඉහල යාමත් වැටුපෙන් සැළකිය යුතු මුදලක් බැංකු ණයට බැර වීමත් බාගෙට සාදා තිබූ නිවසේ තාත්තාගේ මූලිකත්වයෙන් දිනපතා සිදුවන යම් යම් අලුත් වැඩියාවන්ට මුදල් වියදම් වීමත් ඒ ඔක්කොටම වඩා 'හෙට අනිද්දා වෙඩින් එක ගන්නකොට කීයක් හරි තියෙන්න එපැයි' යන සිතුවිල්ල නිසාත් අසංක අමතර වියදම් බොහෝ දුරට කපා දැම්මේය. අමතර නොවූවත් මාසිකව අම්මා අතට දුන් මුදලෙන්ද කොටසක් කපා දැමිමට සිදුවීම ඔහු කම්පාවට පත් කලේය.        

විවාහයේදීනම් ඔහුට එතරම් බරක් දැරීමට සිදු නොවීය. සරල සැහැල්ලු පුද්ගලයෙකු වූ කිශානී ගේ පියා ඔහුගේ වුවමනාවට වඩා සිය බිරිඳගේ හා දියනියගේ වුවමනා එපාකම් වලට අත දිගහැර වියදම් කර නට්ටං විය. විවාහයට දින දෙකකට පෙර කටාර් සිට සිය පිලිපීන ජාතික බිරිඳ සමග පැමිණි කිශානීගේ සොහොයුරාට අසංකව වත් අසංකට ඔහුවවත් එතරම් දිරෙව්වේනම් නැත. මුවින් නොබැන සියල්ල ඉවසූ අසංකට තැක්යූ කාඩ් සිද්දියෙං පසු විවාහය ගැන තිබූ අප්‍රසන්නම මතකය වන්නේ මදු සමය ගත කරනවා වෙනුවට දින දෙකක් තුල ලංකාවෙන් බාගයකට වඩා දුර ඇවිද්ද, අයියා වෙනුවෙං කිශානීගේ උවමනාවට සංවිදානය කල විනෝද චාරිකාවයි. අසංකත් කිශානීගේ පියාත් හැර අන් අයනම් එම චාරිකාවෙන් විනෝද වූ බවක් දක්නට තිබිනි. අසංක වඩාත් කම්පාවට පත්වූයේ ඔහු වඩාත්ම කැමැත්තෙන් බාරගත් මංගල තෑග්ග වූ තම කාර්‍යමණ්ඩලයෙන් ඔහුට අනුග්‍රහය දැක්වූ නුවර 'ට්‍රී ඔෆ් ලයිෆ්' හෝටලයේ දින දෙකක පැකේජය එක් දිනක ඝෝෂාකාරී දහවල් ආහාරයකින් පමණක් නිමා කිරීමට සිදු වීම නිසයි.  


*****************************
ට්‍රේනින් ඇග්‍රිමන්ට් එකක් නිසා මානව සම්පත් කළමණාකාරවරයා විසින් වැඩි කරදර කිරීමකින් තොරව සමන්මලීව අසංක වෙත එවා තිබිණි. ඇය මානව සම්පත් අංශයෙන් නික්ම කාර්යාල කාර්ය සහායකු සමග විගණන අංශයට පැමිණීමට ප්‍රථම තම හිතවතෙකු වූ මානව සම්පත් කළමණාකාරවරයාගෙන් අසංකට ඇමතුමක් ලැබුණි. 

"මිස්ට සමරනායක, අයි ඩෝන්ට් තින්ක් ශී විල් සූට් යූ ඈස් අ සෙකට්‍රි.. නීඩ් ලොට් ඔෆ් ඉම්පෲමන්ට්ස්.. බට් ශී ඉස් ක්වයිට් ඉනසන්ට්.."

"ඔන්ලි ඉනසන්ට් ඉට්සෙල්ෆ් වුඩ් නොට් හෙල්ප් නො ජයේ. බට් ලෙට්ස් සී" බොරු අහංකාරකමක් මවාපෙන්නමින් අසංක හිනා වුවද ඇය මොන තත්ත්වයේ සිටියද ප්‍රතික්ශේප නොකිරීමට ඔහු ඉටා ගෙන තිබුනි. එය තම මිතුරු හඳයාට පිටු නොපෑමට ගත් තීරණයක්ද එතනින් එහා ගිය තීරණයක්ද.. අසංක වැඩි දුර සිතීම පසුවට කල් තැබුවේය.

ටිනිනිනික්... ටිනිනිනික්..//

සියුම් හඬක් දෙමින් වයිබ්‍රේට් වන ජංගම දුරකථනය මොහොතකට අසංකට බාදා කලේය. ගෙදර ලෑන්ඩ් ලයින් එක.. අසංක මොහොතකට සැලී ගියේ ඇඟ මද රස්නයක් තියෙද්දී අම්මා අතට දී ආ පුතා ගැන එතෙක් විමසීමක් කිරීමට නොහැකි වූ බැවිනි. 

"ආ.. අසංක පුතා.. අම්ම කිව්ව කියන්න කියල එන ගමං ග්‍රයිප් වෝට එකක් ගේන්න කියල.. තව මොනවද වගයක් කිව්ව මට මතකත් නෑ.. කෝකටත් එනකොට මගදි කෝල් එකක් දෙන්න" කිශානී ගේ පියාගේ සැහැල්ලු කටහඬ ඇහෙද්දි අසංකටත් සැහැල්ලුවක් දැනුන.
"පුතාට කොහොමද තාත්තෙ? උණ ගතිය අඩුද? හා මං ගේන්නම්.. කිශානි කතා කරාද? මට මේ ටිකක් බිසී වෙලා කෝල් එකක් ගන්නවත්..."
"ආ..ඔව්..එයානම් අදත් රෑ වෙනවලු. කොලු පැටියට නම් දෙයියන්ගේ පිහිටයි. ඒත් බඩ ටිකක් බුරුලට ගියා. ග්‍රයිප් වෝට එකක් බැලුව. ඔහෙ නෑ"  
"හා මං ටිකක් කලිං එන්නම්කො. එනකොට කෝල් එකක් දෙන්නං.."
"හොඳයි..මං තියනව.."
අසංකට මුලින් මුකුත්ම විශේෂ හැඟීමක් ඇතිවුනේ නෑ.. ඒත් එක්කම 'කොල්ලට සනීපයිනං බුදු සරණයි'.. ඔහුගේ හිත සැහැල්ලු වෙලා ගියා.

"එක්ස්කියුස් මී සර්"

"යස්, හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, කම් ඉන්.."

අසංකගේ නොසිතූ ආමන්ත්‍රණයෙන් ඇයත් ඇය සමග සිටි සුළු සේවකාත් ගැස්සී ගිය බවක් පෙණුනා.. ඒ සමගම එය 'ඔවු මං එයාව හොඳට දන්නවා.. ඒක නිසා ඔයාගෙං වැඩක් නෑ' වගේ ආමන්ත්‍රණයක්ද වූ නිසා පෙරට වඩා වැඩි ගරු සරු බැල්මකින් ඇය දෙස බැලූ සුළු සේවකයා ත් දෙකක් විරිත්තා ඇගෙන් සමුගත්තා. බිය වූ මුහුණෙන්ම පහත්වන නලලත ඇස් ගෙඩි දෙකෙන් ඔසවා තබා ගන්නට වෑයම් කරමින් ඇය කාමරය තුලට පැමිණ අසංකගේ ඉදිරිපස සිට ගත්තා. ඇය ලස්සනයි කියන්නද.. අහිංසකයි කියන්නද.. අසංක මොහොතක් ඇය දෙස බලා සිටියා.. හ්ම්ම්.. දම්පාට පසුබිමේ සුදු මල් වැටිච්ච චාම් ඔසරිය. තද වෙන්ඩ පීරා පිට මැදට වෙන්නට ගොතා තිබූ දිගත් නැති කෙටිත් නැති කොණ්ඩය.. නුපුරුදු ලෙස යන්තමින් රෝස පාට උලා තිබූ සිහින් දෙතොල්පට.. මුව ඇස්.. මං මොනවද මේ බලන්නේ.. ඇය කොහොම ඇඳල හිටියත් මට මොකද.. අසංක පියවි සිහියට එළඹුණා.. ඒත් ඔහුට වචනයක් නම් හම්බුනේ නෑ කතා කරන්න. 

"සමන්මලී අද වැඩට එන බව ප්‍රදීප් අයියලා දන්නවද?" ඔහු ලේසිම තැනෙකින් කතාව පටන් ගත්තා.. හ්ම්.. ප්‍රදීප්.. ජීවිතෙ පළවෙනි වතාවටද මං දන්නෑ හඳයට ප්‍රදීප් කිව්වෙ.. අසංකට හිනා ගිය.. 

අහපු ප්‍රශ්ණයත් එය ඇසූ කාරුණික විලාශයත් ඉන් අනතුරුව නැගූ මන්දස්මිතයත් නිසා ඇය බොහෝ සෙයින් සංසුන් වූවා.. 

"ඔව් සර්.. මං ඊයේ එහේ ගිහින් අයියටයි අක්කටයි කතා කරල ආවේ.."

අසංක තවත් යමක් කියන්න කලිං සිය හෑන්ඩ් බෑග් එකට අත දමා බුලත් අතක් ගත් ඇය මේසය වටේ ගොස් එය අසංකගේ අතට දී දණ ගසා වැන්දා.. සිහිනයෙන් මෙන් හිඳ සිටි පුටුවෙන් නැගිට්ට අසංකට කොපමණ වෙලා තමන් සිටි ඉරියව්වෙන්ම සිටියාදැයි මතකයක් නෑ. කෙසේ හෝ ඇය නැවත හැරී මුල් තැනට ගොස් හෑන්ඩ් බෑග් එක දා ගන්නවා දුටු නිසා "බොහොම හොඳයි. ඔය සීට් එක ඇරේන්ජ් කරල තියෙන්නෙ ඔයාට.. ටිකක් රිලැක්ස් කරන්න..මං චුට්ටක් එළියට යනවා." කියමින් වහා තම කාමරයෙන් පිට වුනා.  

කිසිම දිනෙක රාජකාරී කටයුත්තකට හැර කාර්යාල පරීශ්‍රයේ නිකං ඇවිද නැති අසංක ජීවිතෙ පළමු වරට තම සේවා ස්ථානය තුලම යන එන මං නැත්තෙක් උනා. කරන්නට පහසුම දෙය ලෙස ඔහු ඇඟිලි සටහන් යන්ත්‍රයේ ඇඟිල්ල ඔබා ආරක්ශක අංශයෙන් යතුර ගෙන ගොස් වාහනයේ නැගී කාර්‍යාලයෙන් පිටතට වාහනය පැදවූවා.

ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට වුනා. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත.

කතාව තව ඉවර නෑ.. ඊළඟ කොටසෙන් හමුවෙමු. 

Photo courtesy: www.google.com