Thursday, 30 July 2015

පාවෙන ඡන්ද දෙකක් විකිණීමට තිබේ.. (දේශපාලන පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.) The story of majority I see...

(මේ කතාව කීමෙන් කිසියම්ම වූ පුද්ගල චරිතයකට අවැඩක් කිරීමේ අදහසක් තුන් හිතකවත් නොවූ බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි.)
Photo courtesy: www.google.com
යම්කිසි අවශ්‍යතාවයක් සඳහා දිනක් මා සමඟ රැකියාව කරන එක්තරා නිළධාරියෙකුට මම රාජකාරී වෙලාවේදී ඇමතුමක් දුන්නෙමි. උස නිසාමදෝ මංදා මේ ගොඩනැගිල්ලේ යම් යම් ඉහළ ස්ථාන වලට හරියට ජංගම දුරකතන සම්බන්ධතා නැත. දෙතුන් වරක් උත්සාහකොට අපහසුවෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු සිටින්නේ 47 වෙනි තට්ටුවේ බව සඳහන් කලත් අදාල පණිවුඩය ලබා දීමට ප්‍රථම ඇමතුම යලිත් විසන්ධි විය. වෙනත් වැඩක් යෙදුනු හෙයිනුත් ඇමතුම ලබා ගත් කාරණය එතරම්ම හදිසි එකක් නොවූ හෙයිනුත් මා ඒ උත්සාහය පසුවට කල් තබන ලදී. ඊට පැය භාගයකට පමණ පසු අදාල නිළධාරියා දාඩිය පෙරාගෙන මා සොයා කාර්යාලයට ආවේය. මේ වනතුරුත් අභ්‍යන්තර සෝපාන පහසුකම් සපයා නැති මේ ගොඩනැගිල්ලේ යම් දුරක් පඩිපෙළ බැස පැමිණ 'හොයිස්ට්' එකක් එනතුරු රැඳී සිට බිම් මහලේ කාර්යාලයට පැමිණීමට අවම වශයෙන් පැය භාගයක් ගතවේ. ඔහු එසේ පැමිණ '.... මට කතාකරේ?'යි අසනවිට මට මතක් වූයේ මේ නිකරුණේ ගතවන කාලයයි. වැඩය පසෙක තබා ඒ ගැන මා ඔහුට 'මනුස්සයෝ.. ඕකට ඔය මුදුනේ ඉඳල එන්න ඕනිද? සිග්නල් තියෙන තැනකට ගිහින් කෝල් එකක් දෙන්න තිබුණානේ'යි පවසමින් දොස් තබන විට ඔහුගේ මූණ බල බලා ඉද්දී අඳුරු වීය.. "ෆෝන් එකේ සල්ලි ඉවර වෙල...." වට පිට බලමින් මා වෙත නැඹුරු වී ඔහු කියනා විට මා ඔහුට කතා කල කාරණය මට සහමුලින්ම අමතක වීය.  

මෑතක දිනෙක මේ නිළධාරියාගේම මවගේ අභාවයෙන් වසරක් නික්ම ගිය තැන යෙදෙන දානමය පුන්‍යකර්මය යෙදී තිබුණි. මට මතක විදියට ඒ පහුගිය 16 හෝ 17 වැනි දිනකටය.. මා ඒ ගැන විමසූ වෙලේ ඔහු කීවේ එය 25 වෙනි සෙනසුරාදාට කල් තැබූ බවයි. හේතුව නම් 'ඇඩ්වාන්ස් එක ගන්නා තුරු' ඉන්න අවශ්‍ය වීමත් සෙනසුරාදා වරුවක් පමණක් නිවාඩු ගැනීමෙන් 'වැඩේ ගොඩ දා ගෙන' ඉරිදා වැඩට ඒමට හැකි වීමත්ය. ඉරිදා යනු අද වන විට පෞද්ගලික අංශයේ නම් මෙම ශ්‍රේණි වල නිළධාරීන්ගේ අනිවාර්‍ය වැඩකරන දිනයකි. 'ඉරිදා හතරේයි පෝය දවසේයි ඕ.ටී. ටික' කරේ නැත්නම් මාසයම සොරි වන්නේය.

මීට පෙර වරෙක ඔහු කුඩා කරාඹු ජෝඩුවක් ඔතාගෙන වටපිට බලමින් මා වෙත ආවේය. "... මං අද ආවේ මේක තියල රුපියල් හාරදාහක් ගන්න, ඉන් අනිද්දට දුවගේ කොන්වකේෂන් එක, ඇඳුම් ගන්න දැන් එනවා කියුවා පිටකොටුවට.. මේක උගස් තියාගන්න බැරි උනා.. තියෙනවනම් මට රුපියල් හාරදාහක්...." මා සල්ලි කාරයෙකු නොවේ. ඒත් වෙලාවට එදා මා අත රුපියල් හාරදහසක් තිබුණි. නැත්නම් එවලේ මගේ පපුව හිර වෙනවා නියතය. එයින් එළඹුණු 25 වෙනිදා ඔහු වහාම ඇඩ්වාන්ස් එක ගෙන මගේ ණය පියවා දැමුවේය. ඒත් ඉන් දින කිහිපයකට පසු ඔහුට වෙනත් ගටළුවක් තිබුණි. ඒ රුපියල් පන්සීයක අවශ්‍යතාවයකි. කෝච්චියේ සීසන් එක එදා අළුත්කල යුතු විය. 

ඔහුට වඩා මට තවත් හිතවත් නැත්නම් ලෙංගතු මගේ පරණ ගෝලයෙකුද මේ ඔෆීසියේම වෙයි.. ඌට සල්ලි අවශ්‍යතාවයක් ඇතිවූ විට දෙතුන් පාරක් මේසය ලඟට පැමිණ කැරකී යයි. 'ඇයි මොකෝ' මා අසන නමුත් මගේ පර්ස් එකේ ඔහුට ඕනි ගාන හරියටම ඇති බව ඔහු දනී.. 'මෙච්චරයි තියෙන්නේ'යි මා පවසීමට ප්‍රථමම 'ආ.. ඒ ඇතියි' කියා එය රැගෙන යයි. මෑතක සිට අළුත් සෙල්ලමකි. එනම් නීති විරෝධී වුවත් මා භාවිතා නොකරන මගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්නේ ඔහුයි. යනිං එනිං 'කාඩ් එක තියෙනවදයි' අසාගෙන යන විට මා එය පර්ස් එකෙන් ඇද මේසය මත තබමි. කිසි කතා බහක් නතුව පහු වෙනිදාට කාඩ් එක ආපසු ගෙනත් දෙනු ලැබේ.. 25 වනදා හවසට බංකුවෙන් 'සල්ලි ලැබුණු බවට' SMS එකක් එන අතර ඊ මේල් එකකින් එන මාසික ගනුදුනු සටහන බැලුවොත් මිස කාඩ් එක රැගෙන ගොස් ඔහු මොනවා කලාදැයි මා දන්නෙත් නැත. (තවමනම් මෙවැනි කටයුතු නිසා මට අවැඩක් හෝ හිත් නොහොඳ වීමක් වී නැති නමුත් තව කොපමණ කලක් ඔවුන්ට ඔවුන්ගේ වගකීම හරියට ඉටු කළහැකිවේදැයි විශ්වාස නැත.. ඒත් මේ රුටීන් එක නැවැත්වීමටද මට හැකියාවක් නැති සෙයකි.. ඊටත් වඩා ඊට සිත් නොදේ..)

ආසන්නම තිගැස්සීම ඊයේ සිදුවිය. ඉහත කී නිළධාරීන් දෙදෙනාම නිවසේ සිට වැඩට යන එන්නන් වේ. ඔෆීස් චමරියේ උයන කෑම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු කන්නේ හා ඊට වඩා ඒ පිළිබඳව කතා කරනුයේ 'වෙන කරන්නම දෙයක් නැති නිසා' කනවා මෙනි. (ගෙදරින් බත් කටක් කනවා වගේ ඇත්තටම රහ නැති උනත් කොළඹ ගෙයක් නැති නිසාත් කඩ වල පට්ට ජරාව ගිනිගණන් දී කෑමේදී කන ප්‍රමාණෙට වඩා පිච්චෙන නිසා මමනම් හැකි සෑම විටම තුන් වේලම ඔෆීස් චමරියෙන් කමි.) නමුත් මා හිතා හිටියේ හවසට ගෙදර යනවුන් මට වඩා බොහෝ වාසනාවන්තයින් බවත් ගෙදර ගොස් හිතේ හැටියට උයාගෙන කා සැනසීමෙන් හිඳ ආපසු වැඩට එන බවත්ය. මා ඇතුලතින් කම්පාවට පත් කරමින් ඊයේ මා දුටුවේ මගේ මේ හිතවතුන් දෙදෙනාම ඔෆීසියෙන් පිටත් වීමට පෙර තම තමන්ගේ කෑම එක ෂොපින් මල්ලක ඔතාගෙන අතේ උන්ඩි කරගන්නා ආකාරයයි.. පැත්තකට කතාකොට මට වඩා හිතවත් එකාගෙන් මම 'සහැල්ලුවෙන් මෙන්' ඒ ගැන ඇසුවෙමි. 'දැන් ගියාම ගොඩක් වෙලාවට රෑට ඉවෙන්නේ නෑ.. පොඩි දෙන්නට මේක කවල නිදි කරාම අපිට ඔය මොනව හරි හදාගෙන කන්න බැරියැ.. අනික මේකට කැපෙන්නේ ගානෙන් බාගයයිනේ.' මම මොහොතකට නැවතත් සසල වීමි. මොහු කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකු වූ නමුත් මා කලින් සඳහන් කල නිළධාරියා වැඩිහිටි දුවකගේ හා පුතෙකුගේ පියෙකි. ඔහු තම රාත්‍රී කෑම එක ඔතාගෙන යාමේ පසු කතාව මා වැඩි දුර නොසිතා සිටියෙමි..

මා මේ සඳහන් කල නිළධාරීන් දෙපලම ඕ.ටී. හා අනෙකුත් දීමනා සහිතව මසකට රුපියල් හතලිස් දහසක ආසන්න වැටුපක් ලබන 'වැඩ පරීක්ශක' හෝ ඊට සමාන ශ්‍රේණියක නිලධාරීන් දෙපලක් වූ අතර මා සමඟ මෙහි වැඩ කරන අනිත් බොහෝ සේවක මහත්වරුන් ඔවුනට වඩා අඩු පඩියක් ගන්නා පහල ශ්‍රේණි වල අය වේ. යමෙකුට මතක නම් මා ගිය මාර්තු 31 වනදා සටහන් කල ආකාරයට යහපාලනයෙන් බෝනස් එකට වැදුණු පොරෝ පහරත් සමඟම බෝනස් එක බලාගෙනම සමහර අමතර වැඩ යොදාගෙන හා අවසන් කර තිබූ මොවුන් බොහෝ දෙනෙකු කබලෙන් ලිපට වැටුනු බව නොරහසකි. ඒ නැතත් දරු පවුලක් රකිමින් ලංකාවේ ජීවත්වීම යනු අද වනවිට 'මාරම ගේමක්' වී හමාරය. මූලික අවශ්‍යතා කීහිපයක් බොහෝම අමාරුවෙන් මා ඔය පෙර සඳහන් කල ආකාරයට කලමණාකරනය කරගන්නවා හැර බොහෝ විට ඒ ජීවිතවල විඳීමක් කියා දෙයක් ඇත්තේම නැත.  

පසුගිය ජනවාරි අටවනදා වෙනසකට සවියක් වීම සඳහා මා උදේ පාන්දරම දරු පවුලත් පටවාගෙන ගාල්ලේ සිට බදුල්ලට පැද්ද අතර බලාපොරොත්තුවූ වෙනස නම් සිදුවූ නමුත් ඒ සඳහා මා හට අමතරව වියදම් කිරීමට සිදුවූ රුපියල් හය හත්දහසක මුදල 'වෙනස' හරහා පියවා ගැනීමට මෙතෙක් නොහැකි විය. (ඒ වෙනුවට මට මෙතෙක්නම් ලැබුනේ පාඩුම පමණි. රටට මොනාකාරයේ වාසි උනාදැයි සිතන්නට මේ වෙලාවේ මට නොහැකිය.) පාසැල් නිවාඩු කාලය තුල ගාල්ලේ බිරිඳගේ නිවසේ ජීවත් වන හෙයින් මෙවර 17 වනදා ඡන්දය දමන්නට යන්නේ නම් මට ඒ සඳහා 'ඉතා අධික' වියදමක් දැරීමට සිදුවන බව දැනටම ප්‍රත්‍යක්ශ කොට ගෙන සිටිමි. 

ඔය අතරේම තවත් සිත කැඩෙන වැඩක් විය. එනම් මා මුළින් සඳහන් කල නිලධාරියාගේ වාර්ෂික ඇගයීම් වාර්ථාව සකස් කොට යැවීමට මට අද සිදුවිය. ඔහුගේ බොහෝ වැඩවල ගුණත්මක හෝ ප්‍රමාණත්මක භාවය ගැන මා එතරම් පැහැදීමකින් නොසිටියත් මේ වෙලාවේ ඔහුව රස්සාවෙන් දොට්ට දාන්න බැරි නිසාම මා මොළයට නොව හදවතට යටත්ව 'සැටිස්ෆැක්ටරි' වාර්ථාවක් ප්‍රධානියාට බාර දුනෙමි. ප්‍රධානියා සමඟ පොඩි කතාවක් දාගෙන ඉන්න විට ඔහු සිනාසී ප්‍රධාන කාර්යාලයෙන් ලැබී තිබූ වාර්ථාවක් මා අත තැබීය. එයනම් ගිවිසුම් කාලය ඉක්ම ගිය එහෙත් සේවා දිගුවීම් නොදී දැනටද රාජකාරියෙහි යොදවා සිටින නිලධාරීන්ගේ නම් ලැයිස්තුවයි. අහෝ.. එහි ඉහලින්ම තිබුණේ මගේ නමයි. පසුගිය මැයි මස 20 වනදා සිට මා සේවා ගිවිසුමකින් තොරව මෙහි සේවය කරමි. 'වඩක් කරන්නෙත් නැතුව බ්ලොග් බල බල ඉන්නව.. ඒ මදිවට බෝනස් දුන්නේ නෑ කියලත් ලියලා' යැයි 'බ්ලොග් ලියන කියවන ලොකු කකුල්' අතර ඉන්න ලොක්කාගේ බොක්කක් හෙට කෝල් එකක් දී තිබුණොත් අනිද්දා සිට මටත් 'රැකියා විරහිත' ලිස්ට් එකට මාරු වීමක් ෂුවර්ය.
photo courtesy: www.google.com
මේ අවු අස්සේ ඡන්දය දාන්න යන්න 'ලොකු ගාණක්' වියදම් කරන්න කොහොමත් බැරිය. ඒ නිසාම මුලින් තීරණය කලේ මෙවර චන්දය විසි කොට දැමීමටයි. ඒත් පසුව වෙනත් අදහසක් පහල විය. එනම් මගේ හා බිරිඳගේ ඡන්ද දෙක ගානකට ආවොත් විකුණා දැමීමටයි. ගාණ නම් ගාල්ලේ සිට බදුල්ල දක්වා ගිහින් ඒමට වියදම් වෙන මුදලය.. බස් එකේනම් යා නොහැක; ඒ නිසා වාහනයේ යාමට යන වියදම- (ඉන්ධන ඇතුලු අවමය..) රුපියල් දහදාහක්.. අවම ලන්සුවයි. කොහොමත් කන විදියට ඒදවස් දෙකේත් කන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් අමතර මුදලක් නොඉල්ලමි. බෝනස් එකක් ලෙස නිවාඩුව අතරතුර බදුල්ලේ ගෙදර ගොස් වටේ පිටේ බලාගෙන ඒමට හැකි නිසාත් ඡන්දය නොදී සිටියායයි හිතට එන අසහනයෙන් මිදීමට හැකි නිසාත් මෙය කොහොමත් හොඳ අදහසකි. 

මට අමතරව දනටම තම තමන්ගේ ඡන්ද මෙසේ විකිණීමට සින්දු ඇනෝ, උපුල් නිශාන්ත වැනි ප්‍රඥාවන්ත මිතුරන් කිහිප දෙනෙක්ද කැමැත්ත පළකර ඇත. අවශ්‍ය තවත් අය ඉන්නවානම් මේ වෙන්දේසියෙන්ම ගොඩ යාමටද හැක. ඔබගේ අවශ්‍යතාවය හා අවම ලන්සුව කොමෙන්ට් කරන්න.

හරීන් ෆර්නෑන්ඩූ, නිමල් සිරිපාල වැනි දැවැන්තයින් නිසා මගේ ඡන්ද දෙකනම් සෑහෙන ගානකට විකුණා ගත හැකි වනු ඇතැයි සිතමි. වෙනත් මතයක් දරණ පරිත්‍යාගශීලියෙකු වේනම් මා මිතුරු සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනුවෙන් අනුග්‍රහයක් දැක්වීමට වුව ඉදිරිපත් විය හැක. නැත්නම් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඥානසාර සාදු වෙනුවෙන් බැරිනම් ස්වාධීන අපේක්ශකයෙකු වෙනුවෙන් වුවද කම් නැත. වටින්නේ ගාන විතරකි.

කරුණාකර යම් අයෙකු ඡන්දය දීමේ වටිනාකම ගැන බරසාර දේශන මෙහි කොමෙන්ට් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ වෙනුවට ඔබට තැබිය හැකි ලන්සුව පමණක් ප්‍රකාශ කිරීම සෑහේ, මන්ද ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම මා බොහෝ තැනවල කියවා ඇති නිසාවෙනි. දැන ගැනීමට අවශ්‍ය වන්නේ මා කරන කැපකිරීම වෙනුවෙන් ඡන්දය ලබන්නාට කලහැකි කැපකිරීම පමණි. මන්ද ඡන්දය ලබා ගත්පසු යලිත් පස් අවුරුද්දක් යනතුරු උන්දැලාට මා වැනි එකෙක් මතකේවත් නැති නිසා පුළුවන් වෙලාවේ මගේ වියදම පියවා ගත යුතුයි. තවදුරටත් ඔබේ දේශපාලන මත මෙහි පිටු ගණන් පුරා වැපිරීමෙන්ද පලක් නොවන බව කරුණාවෙන් සලකන්න. මා නැවත කියමි. අවශ්‍ය 'ගණන' පමනි.  



Thursday, 23 July 2015

අරූ නැවතත් කලඑළි බසී Aru back in action

කලකට පෙර ලන්ඩන් සිට අවුල් වන්නට පෙර අරූගේ අඩවිය ලියූ අරුණ පෙරේරා හෙවත් අපේ හිතවත් අරූ අයියා.. අපිට බරපතල අසාධාරණයක් කර පැන ගියත් හිතින් අපිව අත් හැර ගොස් නැති බව.. මෙන්න කියවන්න.. ලංකා නිව්ස් වෙබ් හරහා දෙල්කඳ හන්දිය සමඟ ඔබ හමුවට.. අරූගෙන් ඔබ මා ඇසිය යුතුම ප්‍රශ්ණය එනම් 'ලියා අවසන්වන්නට පෙර අවුල් වූයේ මන්ද?' යන්න දැන් ඔබට විමසිය හැක.. අරූ අයියා ඒක නම් පට්ටම අවුල් ඈ..

දෙල්කඳ හංදියේ සිට......


Friday, 3 July 2015

ෆ්‍රොම් Mrs. කල්‍යාණමිත්‍ර - To you with love


තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
අත මත අත තබා හිඳුවා පෝරුවක අත්සන ගසා නිවැරදි ලෙස නීතියට ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක උන්නත් ලඟින් පෙර අප උණුසුමෙන් වෙලී දෙන්නා තුන්දෙනා හා වැඩි වෙන කල නොසැලී දෙන්නට දෙන්න මිස වෙන සරණක් නොලැබී මේ ජීවිතේ ඔබ අන් හැමටම වඩා වටී

අවුරුදු දුසිමක ප්‍රේම කතා ගොඩක් මැවී කෝල හැගුමකින් සංකාවක් හිතට මැවී ඇගිලි ගනිමින් පැටව් සමග එලිපත්තටවී බලා හිදිමි ඔබ එනතුරු සිකුරාදා මගේ හිමී

හැම පැටියාම අපේ පැටව් වගෙ හින්දා රට රකින්ඩ ඔබ ගියේ යුතුකම හින්දා රත්තරන් මහත්තයා හැමදා මගේ හින්දා
පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා


****************************
හෝව්.. හෝව්.. ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් ප්ලීස්.. මේක මේ අපේ උන්දෑ එහෙම ලියුව එකක් නොවෙයි.. 

ඊයේ රාත්තිරියේ කල්‍යාණමිත්‍රයා එක්ක පොඩි 'චැට්' එකක් දාපු 'රූපේ' ලමයා ට මේ දවස් වල කල්‍යාණමිත්‍රයා 'විප්‍රවාස'ව ඉන්න එක ගැන බොහෝම දුක හිතිලා.. (විප්‍රවාස වචනය හැලපේ අයියාගෙන් කොපි කලෙමි.) මෙන්න බොලේ ටික වෙලාවකින් එනව අපූරු කවියකුත් ලියාගෙන.. හැබැයි මේකා ලියල තියෙන්නේ අපේ ගෙදර උන්දෑ ලියන විදියට. ඒකට 'රූපේ' ම දාපු හෙඩිමම තමයි මං දැම්මෙත්. 

රූපේ ගේ අවසරය මත මේක මගේ බ්ලොග් එකේ පබ්ලිශ් කරන ගමන් මුල් කවි දෙකට විතරක් මාත්‍රා පිහිටුවන්න කියල හිතල පුංචි වෙනසක් කරා.. තුන හා හතර කවි වල තිබුණු හෘදයාංගම ගතිය නිසාම ඒවා කිසිම හැඩ ගැන්වීමකින් තොරවම පලකලා.

කල්‍යාණමිත්‍රයා ආසම චරිතයක් තමයි කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන් කියන්නේ. එයාගේ බොහෝම ප්‍රසිද්ධ 'තත්පර තිහේ කතාව' මෙතනට නිකමට වගේ එල්ලන්න හිතුනා.. 


රස්සා බෝලේ උඩ දදා මෙහෙට වෙලා හිටියට අනිත් වීදුරු බෝලවල වටිනාකම නොදන්නව නෙවෙයි.. සමහර දේවල් තියෙනව අපිට අවශ්‍ය විදියටම පාලනය කරන්න බැරි. මොනව කරන්නද ඉතින්?


Friday, 26 June 2015

My Grandma අපේ ආච්චී 2- පතෝල හා මල්වඩම්

මේ උත්සාහ කරන්නේ මීට මාස තුනකුත් දින හතරකට පෙර දුන් එක්තරා පොරොන්දුවක් ඉටු කරන්නයි. ඒ පොරොන්දුව වූයේ අපේ ආච්චී ගැන ලියූ විස්තරයේ 'පතෝල හා මල්වඩම්' ගැන කතාන්දරද රැගෙන හැකි ඉක්මණින් එන බවයි. ඊට පෙර හා පසුවද නොයෙක් පොරොන්දු ලබා දුන් නමුත් අද හිටි හැටියේ මෙය ඉටු කිරීමට සිත්විය. 

****************************************

සැමියා විසින් අනුචිතව සළකන ලදුව දීගය අත් හැරී කුළුඳුල් දියණියද සමඟ කාටවත් බරක් නොවී තම අභිමානයද රැකගෙන ඊට වින කරන්නට ආ වුන්ට එරෙහිව නැගී සිටි, ඍජු තරමක් දරදඬු ගති පැවතුම් හා උණුවෙන හිතක් හිමි කටකාර එළිසහාමිනේ ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ මෙම 'විදිය' විවාහයෙන් හා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා හුරු වූවකට වඩා ජන්මයෙන්ම ලද්දක් යැයි සිතීමට කාරණා මෙම පතෝල හා මල්වඩම් ගැන සිද්දි දෙක නිසා ජනිත වේ. මන්ද අදාල සිද්ධි දෙකම අයත්වන්නේ ඇයගේ විවාහයට පෙර හිරිමල් යොවුන් වියට වීම නිසයි.

එළිසහාමිනේගේ දෛනික ජීවිතයේ එක් නොවරදින අංගයක් වූයේ දිය නෑමයි. මොන අසනීපයකින් සිටියද මිය යාමට දින එකොලහකට පෙරාතුව අවසන් වරට හොඳ සිහියෙන් සිටිනතාක් කල් ඇය එම පුරුද්දෙන් මිදී එක් දිනක්වත් සිටියායැයි මා අසා නැත. මේ නිසාම දෝ අපේ තාත්තාගේ පඩිපතින් කටවල් අටක් නඩත්තු කරමින් අසීරුවෙන් සිටියදී පවා මාසිකව 'ලයිට්බෝයි, සන්ලයිට් හා රොබින් නිල් පැකට්ටෙකක්' සහිත දැකුම් මල්ලක් ගෙනා පඩි දවසට ආච්චීට 'කතා කිරීමට' යාමට අම්මා පුරුදු වී සිටියාය.

තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය. 
Photo courtesy: www.google.com

මේ ගංදෑලේ සුන්දර හිඟුරුගමුව හා කණුපැලැල්ල ගම්දෙක අතර සීතල යුද්දයට මුල්වන්නේ කුඩාඔයටත් වඩා කුඩාඔය නිම්නයේ හිඟුරුගමුව මායිමට පිහිටා තිබූ 'ගඟේ පිට්ටනිය'යි. ඊට අමතරව හෙල්මැළි ක්‍රමයට වගාකල කුඹුරුයාය මත්තෙහි 'ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.

පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.

රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..

වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.

මෑතක දිනෙක ඇතිවූ හදිසි සිතුවිල්ලකින් බිරිඳ හා දරු දෙදෙනාවත් කැටිව දිය නෑම සඳහා මා ගඟේ පිට්ටනියට ගියෙමි. වෙල ඉහලින් වූ බෝධිය හා එය දරා සිටි ගරා වැටුණු ප්‍රාකාරය පසුකරනවිට එකල හමුවූ දැවැන්ත දිය කඳුර හා ඉන් එතෙර වීමට තුබූ කළු යකඩ පාළම අද එහි නැත. මේ යකඩ පාලමටම ඇමිණූ අඩි හතරක් පමණ පළල වූත් අඩි තුනක් පමණ ගැඹුරින් යුතුවූත් යකඩ කාණුවක ආධාරයෙන් එදවස ගඟ ඉහත්තාවෙන් හරවා කුඹුරු යායට උඩින් ගලාගිය ඇල කඳුර හරහා මෙගොඩ විය. අද ඒ දැවැන්ත කඳුරත් පාලමත් යකඩ කාණුවත් වෙනුවට එහි ඇත්තේ සිමෙන්ති කාණුවක් හා ඊට යටින් ගිය බෝක්කු කටකි. 

මේ කඳුර දකිනවිට යම්කිසි පිළිකුලක් හා බියක්ද මුසුවූ නහය අකුලවන සුළු ජුගුප්සාජනක හැඟීමක් පෙර මගේ සිතේ ඇතිවිය. බියට හේතුවූයේ දැවැන්ත බෝ ගස හා අනෙක් විශාල ගස් යට සරුවට වැඩී තිබූ විසල් අලකොල ගාල නිසා කිසිදිනෙක මම මේ අඳුරු අගල නිසිලෙස දැක තිබුණේ නැති වීමයි. පිළිකුලට හේතුවූයේ වැසිකිළි යාම සඳහා වල කක්කුස්සි හෝ පෝච්චි, කොමෝඩ් සහිත වෙනම 'කාමර' නොතිබූ අපේ අම්මලාගේ තරුණ කාලයේ හැම දෙනාම ඒ සඳහා ගියේ මේ කඳුරට යැයි අසා තිබුණු හෙයිනි. 

බෝක්කුවෙන් එගොඩ වූ විට හමුවන්නේ පන්සල් වත්තයි. පන්සල් වත්ත මායිමෙන් හා කඳුර අයිනෙන් ගඟේ පිට්ටනිය දක්වා බැසීම සඳහා එකල ගල් පඩි අල්ලා තැනූ කුඩා අඩිපාරක් විය. පන්සලට පහලින් ගඟේ පිට්ටනියට යාව දැවැන්ත ඕවිටේ පිහිටි ඔයේගෙදර වත්ත හා රත්තාගේ වත්ත ලෙස හැඳින්වුණු හුදෙකලා නිවෙස් දෙකක් හා සරුසාර ගොඩ එළවලු කොරටු දෙකක් විය. මෙකියන කාලයෙහි මේ එක කොරටුවක අයිතිකාරයා වූයේ ගොළු පුංචිබණ්ඩේ ලෙස අන්වර්ථයෙන් හැඳින්වූ දක්ෂ ගොවියෙකි. සැබවින්ම ගොළුවූයේ ඔහු නොව ඔහුගේ පියා හෝ මුත්තා බව කියවේ. ගොවිතැනට දක්ෂ වූ තරමටම හේ අධික තණ්හාකාරයෙක් ලෙසද කුප්‍රකටව සිටියේය. 

Photo courtesy: www.google.com

වරක් අසනීපයෙන් පෙළෙමින් සිටි ගමේ අයෙකුට උයාදීමට පතෝල කරලක් අවැසි විය. ඒ වනවිට මුළු ගමෙන්ම පතෝල කොටුවක් සරුවට වැවී තිබුණේ පුංචිබණ්ඩේගේ කොරටුවේ පමණක් වූ අතර ඔහුගේ මසුරු බව දන්න කිසිවෙකුත් ඔහුගෙන් පතෝලයක් ඉල්ලීමට යාමට මැළිවිය. මෙවර ඉදිරියට ආවේ අපේ කතා නායිකා තරුණ එලීසාහාමිනේයි. සැමදා නෑමට යනවිට දැක පුරුදු දොඩා ඇති පුංචිබණ්ඩේගෙන් මේ වෙලාවේ හැටියට ඉල්ලුවොත් පතෝල කරලක් ඉල්ලා ගැනීම අපහසු නොවේයැයි ඇය සිතන්නට ඇත. අදහස ක්‍රියාවට නැංවූ ඇය එදින නා ආපසු එන අතර කොරටුවට හිස පොවා කාරණාව කියා මසුරු ගොවියාගෙන් පතෝල කරලක් ඉල්ලා ඇත. ඈ ලදුයේ කිසිසේත් බලාපොරොත්තු වූ පිළිතුරක්නම් නෙවෙයි. ඇස්පනාපිට දිලිසී දිලිසී එල්ලෙන හොඳින් ඇදුණු පතෝල කරල් දෙසත් එලිසාහාමිනේ දෙසත් මාරුවෙන් මාරුවට නුරුස්නා බැලුම් හෙලූ ගොවියා එක් වරම 'උඹට පිස්සුද එළීස නෝනේ.. මේ මලෙන් ඇදුන විතරයි කරල් මේව හොද්දකට ගන්න තව මාස තුනකින් මෙහා බෑ.. වෙන කොහෙන් හරි බලපන්' කියා ඉවත ගියේලු. .

ඇලේ ගෙදර රන්මැණිකලාගේ පිටුපස දොරට රෑ මැද්දෑවේ තඩිබාන තරුණ ගැහැණු කටහඬකි.

'රන්මැණිකක්කේ.. දොර ඇරපං. මං එළීසහමිනේ.'

'උඹ ඔය ලාම්පුව පැත්තකින් තියල ගිහින් බුදිය ගනින්.. මං මේ වැඩේ ඉවරයක් කරල යන්නම්.. කාටවත් කටේ කෙළ එහෙම හලනව නොවෙයි ඕං මේ ගැන' තමාටත් අණ දෙමින් ලහි ලහියේ දුම මත තිබූ සියළු දර බිමට බා ඒ මත සීරුවෙන් තැබූ දැවැන්ත පතෝල මිටිය මත නැවතත් දර අසුරමින් වසන් කරන තම විසේකාර තරුණ යෙහෙලිය දෙස රන්මැණිකා අයාගත් මුවින් හා විස්මිත දෑසින් ඒ මැදියම් රැයේ බලා උන්නාය.

පසුදා සුපුරුදු වේලාවට දියට යන එළිසාහාමිනේ එනු දුටු ගොළු පුංචිබණ්ඩේ මුසපත් දෙනෙතින් යුතුව ඇය ඇමතුවාය. 'බලපන් එළීසෝ.. ඊයේ උඹටවත් කරලක් දෙන්නේ නැතුව මං පරිස්සං කරපු අච්චර යස පතෝල කරල් ටික.. මොකෙක්ද කඩප්පුලියෙක් වත්තට පැනල එක කරලක් නෑර ඊයෙ රෑ කපාගෙන ගිහිල්ලනේ බං..'

"ඈ බං.. උඹ කියුව නේද ඔව්ව මලෙන් එළියට ආපු හැටියේ ලපටි කරල් කියල.. ඉතින් මොකාටවත් මොකක්ද උඹේ ලපටි කරල කපන් යන්න තියෙන උවමනාව.. හොඳට බලපන්.. වැල පාමුල බිම වැටිල ඇති පරවෙලා.. මං යනව බං නා ගන්ඩ" 

****************************************
එළීසාහාමිනේගේ ප්‍රාණසම මිතුරියක වූ ඇගිස්නෝනා දීග ගියේ පිටගම්කාරයෙකු සමග වුවත් උන් දෙපල ටික දිනකින් නැවත් හිඟුරුගමුවට පැමිණ ගම්සභා ඉඩමක කොනක පැලක් අටවා ගත්තේලු. මේ ඉඩමට කාලාන්තරයක් බැල්ම හෙලමින් සිටි ගමේ ආරච්චිල මේ සිදුවීමෙන් කුපිත වී 'අකුරටම රාජකාරිය කිරීමට' කියා ඉඩං මහත්තුරුන්ට පෙත්සම් ගසා මොන මොනවාදෝ ලියකියවිලි වගයක් පෙන්නා ඔවුන් එතනින් පන්නා දමා ඔහුගේ 'අනුකම්පාවෙන්' උන්ට පාළු සොහොන් පිටියට යාබද අඳුරු මුල්ලක ඉඩං කෑල්ලක් වෙන්කොට දුන්නේලු. ආරච්චිලගේ දැනුමට, රාජකාරියට හෝ බල පරක්‍රමයට අභියෝග කල නොහී ඔවුහු පරාජය බාරගෙන පසෙකට උවත් එළිසහාමිනේට අනුව නම් එය ආරච්චිලයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුවූ නොහොබිනා කමක්ම විය.
Photo courtesy: www.google.com

දින කීපයකට පසු ආරංචිවූයේ දැඩිලෙස බියට හා කම්පනයට පත්විමෙන් උණෙන් හා මරු විකල්ලෙන් කියවන 'ආරච්චිලයාට' සෙත් ශාන්තියක් කිරීමට අහල ගම් සියල්ලේම කට්ටඩියන් ආරච්චි නිවසට රැස්ව ඇති බවකි. සුපුරුදු පරිදි එදින උදයේ නිවසෙහි දොර ඇර එලියට බට ආරච්චිලගේ ඇඟ මතට කඩා වැටුනේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැවැන්ත මල් වඩමක් හා මළමිනී දවටන සුදු සළු පොදියකි. ඊට අමතරව මිදුල හා පිල්කඩ පුරාමත් මිනී ඇට කැබලි හා මරණ සැරසිලි විසිරී එය තනිකරම අමු සොහොනක සිරි ගත් බව කියවේ. මේ අසුභ දර්ශණයෙන් හා හදිසියේ මතු වූ අමනුස්ස බියකින් මුළු ගමම ඇළලී යද්දී සුපුරුදු අවඥාසහගත මද සිනහවෙන් යුතුව එළිසාහාමිනේ තොවිල්පොලේදී මෙසේ පැවසූ බව කියවේ.

"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"

**************************************
ඊයේ ජූනි 25 අපේ අම්මගේ උපන් දිනය.. ගෙදර යන්න නැති උනත් ගිය වෙලාවක පෙන්නන්න කියල හිතාගෙන ඇයට උපන්දින තෑග්ගක් ලෙසයි මෙය හදිසියේ ලියා පල කලේ. නමුත් නැවත කියවනවිට හා කොමෙන්ට් කියවනවිට හැඟී ගියේ කිසිම අවස්ථා සම්භන්දයක් නැති 'වල් පල් තැලීමක්' මිස කියවිය යුත්තක් ලියවී නොමැති බවත් එයින් කතා රසයට දැඩි සේ හානියක් වී ඇති බවත්ය. රෑ නොසෑහීමෙන්ම නින්දට ගිය නමුත් උදේ පාන්දර හදිසියේ අවදිවී වහාම නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි. සිදුවූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව! 

Tuesday, 23 June 2015

නමුණුකුලින් සමනලියක්.. No longer foster, no longer friend!

කොළොම්තොට නැත මහලු වී.. අවන්හල් නැත පැරණි වී.. ඒ වුනාට හිස්ටින් එකක් වාගේ මේ දවස් වල අපේ ජීවිතේ මල්ලී... කාට කියන්නද? මං දැක්ක ත්‍රී වීල් එහෙක ඕකම ගහල තියෙනව ලස්සනට වෙන විදියකට.... 'සල්ලිත් නෑ සනීපත් නෑ'.. ඒ මදිවනම් බැරියැ.. වෙනදට වැඩ තියෙනකොට තිබුනු විවේකයත් නෑ.. 

මොනව කියුවත් ඉතින් බ්ලොග් කියවන්නේ නැතුව ඉන්න බෑනේ.. රවී අයියගේ නිදහස් සිතුවිලි කොමෙන්ට් අස්සේ අළුත් කෑල්ලක් බැහැල ඉන්නවට ඔළුව දාල බැලුව.. අම්මට සිලි.. ගමේ කෙල්ලක්නේ. ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙනව බදුල්ලේ එකෙක් කියන්නේ ඉතින් සුපිරිම තමයි කියල.. හැක්. අනිවා මේත් සුපිරිම එකියක්. ඔන්න බොරුනම් ගිහිල්ලම බලපල්ල.. 





Wednesday, 17 June 2015

නෙළුම් යාය බ්ලොග් සංසදයේ මණ්ඩලේ කචල්.. ලේකම් ගේ රාජකාරී නිසි බලධාරියෙකු අතට..


අර කොළඹ ගමය ලියන නෙළුං අජිත් ඉන්නේ.. අන්න මෑන් හදන්නේ මාව කපාගෙන ගිහින් නෙළුම් යායේ ඔක්කොම වැඩ මිනිහ අතට ගන්න.. හුහ් ඒවා කොහෙද මං ඉන්නකම්.. මේක අතාරින්නෑ ලේසියෙන්..

මෙතනින් බලාපල්ලකෝ මිනිහ ලියල තියෙන ඒවා. මතක ඇතුව එතන මං දාල තියෙන කොමෙන්ටෙකත් කියෝල ඒ කියල තියෙන ඒවටත් උත්තරයක් දීල එන්න පුළුවන්නම් හොඳයි.

හොඳයි යාලුවා අපි එහෙනම් තලවකැලේදී හම්බෙමු!

Sunday, 7 June 2015

Start to save a life- STaRT to recognize a STROKE

පසුගිය අප්‍රේල් මස අවුරුදු නිවාඩුවට බදුල්ලේ සිට ගාල්ල බලා එමින් සිටියදී පිට පිට ලැබුනු දුරකතන ඇමතුම් වලින් දැනගන්නට ලැබුනේ එතරම් සුභ දායක ආරංචි නොවේ. ගාල්ලේ සිටින මගේ බිරිඳගේ පියා හදිසි අසනීප තත්වයකින් (ක්ලාන්තය, වමනය හා සෙම පිටවීම වැනි රෝග ලක්ෂණ සහිතව) ලඟම පිහිටි රජයේ රෝහල වෙත රැගෙන ගිය බවත්, එතනින් ගිලන් රථයකින් වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බවත් රැගෙන යන විට ශරීරයේ එක් පසක් පණ නැති සෙයක් දක්නට ලැබුණු බවත් ඒ ආරංචි අතර විය. 

හැඬූ කඳුලෙන් යුතුව තොරතෝංචියක් නැතුව රට වටේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මිතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සිට රෝහල් කම්කරු ශ්‍රේණිය දක්වා වූ සියලු දන්න අඳුනන උන් වෙත කතාකරමින් විස්තර අහන බිරීඳ හා දරු දෙදෙනාවද පරිස්සමින් රැගෙන වහා වහා කරාපිටිය රෝහල වෙත කෙලින්ම රිය පැදවූ මට අවසානයේ සැනසුම් සුසුමක් හෙලිය හැකිවූයේ...

"වෙලාවට ඔයගොල්ලන් බල බල ඉන්නෙ නැතුව ඉක්මණට ඉස්පිරිතාලෙකට එක්ක ගියේ.. ගණන් ගන්නේ නැතුව අත් බේත් කර කර එහෙම ඉඳල තව පැයක් හමාරක් පරක්කු උනානම් හැමෝටම කණගාටු වෙන්න වෙනවා.. දැන් බය වෙන්න දෙයක් නෑ. බ්ලඩ් ක්ලොට් එකක් හිරවෙලා ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා. දැන් හරි බෙහෙත් දුන්න.. වෙන කම්ප්ලිකේෂන්ස් මොකුත් නැත්නම් බලල දවස් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන්" යන දේව (වෛද්‍ය) වචනය කණ වැකුණායින් පසුවයි. 


වෘත්තීය ජීවිතයේදීද නොයෙක් වර මේ 'ස්ට්‍රෝක්' නැත්නම් ආඝාතය ගැන අසා ඉගෙන කරගෙන සිටියත් එහි නියම බැරෑරුම්කම මට හරියටම දැනුනේ එදායි. එහෙත්..

මා දැනට රැකියාව කරන ස්ථානයේ ඉදිකිරීම් කළමණාකරු මා මිත්‍ර තරුණ ඉන්ජිනේරු මහතාට මගේ මාමණ්ඩියට තරම්ම ආඝාතයෙන් 'එතෙර වීමට' පහසු වුනේ නෑ. දැනට මාසයකට ආසන්න කාලයකට පෙර හදිසියේ ඇතිවුණු රෝග තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක සතියකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර කොට අද වන විටත් සාමාන්‍යය තත්වයෙන් රාජකාරී කර ගැනීමට නොහැකිව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් ඔහු පසුවෙනවා. මාස දෙකක් ඇතුලත ඒ මා අත්දුටු දෙවෙනි 'ආඝාත' තත්ත්වයයි.

ඊයේ මූණුපොතේ සරමින් සිටියදී අහම්බෙන් දක්නට ලැබුණු ලිපියක් නිසා මේ සටහන තැබීමට මට සිත්වූවා. මා වෛද්‍ය වරයෙක් නොවන නිසාත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසාත් ඒ සටහන 'පමණක්' මෙසේ සිංහලට පරිවර්තනය කර දැක්වීමට අදහස් කරනවා. අඩුපාඩු වැරදි ඇතොත් සාකච්ඡා කරමු. 

සටහන් කලේ: Angie Kassabie

මාගේ මිතුරන් සියළු දෙනාගෙන්ම මෙය කියවන ලෙසත් එකිනෙකා අතර බෙදා හදා ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඔබ මේ සරළ කාරණා කිහිපය දැන සිටියොත් සමහර විට යම් දිනෙක යම් අයෙකු මරණයෙන් ගලවාගැනීමට ඔබට හැකිවේවී. 

ආඝාතය හඳුනා ගැනීම සඳා අළුත් සහ සරල විදියක්! ඔබ මෙය තවත් දසදෙනෙකු අතර බෙදා ගත්තේනම් ඔබ යමෙකුගේ ජීවිතයක් ගලවා ගත් බවට සතුටු වීමට ඔබට හැකිවේවි. ආඝාතය නැත්නම් ලේ කැටියක් නිසා සිදුවන මොළයට ලේ ගමනාගමනය වීම අවහිර වීමේන් ඇති වන රෝග තත්වය හඳුනා ගැනීමට සරළ ක්‍රියාකාරකම් හතරක් මේ සමඟ ඉදිරිපත් කර ඇත. 

මැදි වයස් කාන්තාවක් වූ ජේන් වරක් උත්සවයක් අතරතුර පය පැකිළී වැටුනා. වටේ සිටි අය ඇය වෙනුවෙන් වෛද්‍ය සහය ලබා ගැනීමට තැත් කළත් ඒ උත්සව අවස්ථාවට බාදා කිරීමට මැළි වූ ඈ, එය තමාගේ අළුත් පාවහන් යුවල නිසා වූ බවත් වෙනත් කිසිදු අපහසුතාවයක් නොමැති බවත් අඟවා දිගටම පාටියට සහභාගී වෙමින් සිටියා. 

නමුත් ටික වේලාවකට පසු ඇගේ හිතවතුන්ට ඇගේ සැමියා විසින් දන්වනු ලැබුවේ දැඩි අපහසුතාවයකින් සිටි ජේන්ව රෝහල් ගත කල බවයි. එදින හවස හය පමණ වන විට ආඝාතය නිසා ඇතිවූ මොළයේ මරණය හේතුවෙන් ජේන් සදහටම දෑස පියා ගත්තා. වෛද්‍ය මතය වූයේ මුල් අවස්ථාවේදී ඇය වටා සිටි අයට ඇගේ රෝගය හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා නම් ජේන්ව ජීවත් කල හැකිව තිබූ බවයි.

මේ සටහන කියවීමට ඔබට ගත වන්නේ සමහර විට මිනිත්තු කිහිපයක් පමණයි. 

ස්නායු වෛද්‍යවේදියෙකු පවසන්නේ මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ හඳුනා ගෙන පැය තුනක් ඇතුලත රෝගියෙකු සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලොත් ආඝාතය නිසා ඇතිවන රෝගී තත්වයන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කළ හැකි බවයි. ඒත් එය එතරම්ම පහසු නෑ.

ආඝාතය නිසා ඇතිවන රෝග ලක්ණ හඳුනා ගැනීම එතරම් ම පහසු නෑ. අවාසනාවකට මෙන් ඒ ගැන අපේ නොදැනුවත්කම නිසා මේ තත්වය තවත් දරුණු වෙනවා. අහල පහල සිටින්නන් විසින් රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා හා ඒ වෙනුවෙන් ගත කරන කාලය තුලදී අදාල රෝගියාගේ මොළයට මෙමඟින් ඉතා විශාල හානියක් සිදුවීම වළක්වන්න බෑ. 

වෛද්‍යවරුන් මීට පෙරදී මෙම රෝගය හඳුනා ගැනීම සඳහා සරළ ක්‍රියාකරකම් තුනක් හඳුන්වා දී තිබුණා. ඒවා STR ලෙස පහසුවෙන් මතක තබා ගත හැකියි. 

S- Smile - ඔබ ඉදිරියේ සිටින රෝගියාට සිනහා වන ලෙස පවසන්න. 

T- Talk- ඔහුට හෝ ඇයට එක දිගට කියවෙන වචන දෙක තුනක වාක්‍යයක් පවසන ලෙස පවසන්න. උදා: මම ඔබට ආදරෙයි.

R- Raise both arms- ඔහුට හෝ ඇයට තම අත් දෙකම එකවර ඉහලට ඔසවන ලෙස දන්වන්න.

රෝගී පුද්ගලයා මින් එක ක්‍රියාකාරකමක් හෝ කිරීමට නොහැකි තත්වයෙන් සිටිනවානම් ඔහු වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරන්න. ඔබේ රෝගියා ආඝතය නැතිනම් ලේ කැටියක් සිරවීම නිසා මොළයට ලේ ගමනාගමනය අවහිර වීමේන් මොළයේ ශෛල විනාශ වෙමින් මරණය කරා වේගයෙන් ලං වෙමින් සිටිනවා විය හැකියි. රෝගියා වෛද්‍යවරයා වෙත රැගෙන යන්නාට මේ සියළු විස්තර පැවසීමටද මතක තබා ගන්න.

ආඝාතය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබන අලුත්ම ක්‍රියාකාරකම වන්නේ රෝගියාගේ දිව පරීක්ශා කර බැලීමයි. ඔහුට හෝ ඇයට තම දිව එළියට දික් කර පෙන්වන ලෙස කියන්න. එය වකුටු වී, ඇද ගැසී හෝ එක් පසෙකට ගමන් කර ඇත්නම් එයද ආඝාතයේ පූර්ව නිමිත්තක් විය හැකියි. වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරන්න.

මගේ කොටස මම ඉටු කරා යැයි සිතමි. එතකොට ඔබ?

පරිවර්තනය (සමහර කොටස් ඉවත් කර) අවසානයි.

දැන් ක්‍රියාකාරකම් හතරක් ඇති නිසාත් එය STRT (Smile, Talk, Raise both arms, Tongue) ලෙස මතක තබා ගන්නවාට වඩ අපට දැනෙන මතක හිටින ලෙස STaRT  ලෙස මතක තබා ගැනීම පහසු වේයැයි මම සිතමි. ජීවිතයක් බේරා ගැනීමට දැනුමක් එක්කර ගැනීම වෙනුවෙන් වෙන්කල ඔබේ කාලයට ස්තූතියි.