Thursday, 30 October 2014

කොස්ලන්දද නාය ගියේය...


කොස්ලන්දද නාය ගියේය...

පොඩි උන් දෙන්නාත් බිරිඳත් උගසට තබා පැමිණ කොළඹ සිට ලියමි...

කොස්ලන්දත් නාය ගියේය.. මහ වැසි මැදම හිමිදිරියේ කොස්ලන්ද දෙමළ විදුහලට ජීවිතයට නව අකුරක් සොයා ගිය පොඩි එවුන් හැත්තෑපස් දෙනෙකු මහ වැසි මැදම ආපසු පැමිණ පොලොවේ පස් කකා වැලපෙනු දුටිමි. උන්ගේ දෙමව්පියෝ ඒ පස් යට පනපිටින් වැලලී උන්හ.

අයෙක් දෑත් හිස මත බැඳගෙන පස්යට වැළලී තම ඥාතියා හෝ ඥාතී සමූහයා ගැන විලාප දෙති.
අයෙක් කම්ම්මුලේ අත්ගසා ගෙන සිදුවූ අහස පොළොව නුහුල්ලන අපරාධය විශ්වාසකොට ගත නොහී ලතවෙති.

මාධ්‍ය අතවැසියෝ එකා පරයා එකා 'බ්‍රේකින් නිව්ස්' අප්ඩේට් කිරීම සඳහා ෆොටෝ අල්ලමින් හා බාගෙට මැරී ගොඩ ආවුන් ගෙන් ප්‍රශ්ණ විචාලමින් දුව යති. 

මේ අතර ෆෝ වීල් ඩ්‍රයිව් වාහන වලින් අමාරුවෙන් කන්ද තරණය කර මෙහි ආ සමහර මහත්වරු 'ටැලිෆෝන්' මගින් තම තමන්ගේ ලොක්කන් සමග සිදුවී ඇති සිදුවීම හා ආකාරය ඇනලයිස් කරති..

1815 කන්ද උඩරට පාවාදීමත් සමග ලාංකිකයන්ගේ ශිෂ්ඨාචාරය හා සභ්‍යත්වය නාය ගියේය..

ඉන් අනතුරුව 1948 සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනයද, 57 සිට ජාතීන් අතර සහයෝගීතාවයද නාය යමින් පවතී..

1977 සිට සදාචාරය බරපතල නාය යෑමකට ගොදුරු වූ අතර අද වන විට එය විළිලැජ්ජා නැති උපරිමයකට පැමිණ ඒ හා සමගාමීව ආර්ථික නාය යාමකටද හසුව ඇත.

මේ සියල්ල මැද මධ්‍යම කඳුකරයේ ඊසාන බෑවුමට වැසි රැගෙන ඊසානදිග මෝසම් සුළඟ හා වර්ශා කාල නොකඩවා එළඹියේය.. සෑම වසරකම ජූනි අගෝස්තු මාසවල දැඩි නියඟින් පීඩා විදින ලංකාවේ අඩුම සංවර්ධිත මේ කලාපය ඉන් මනත එළඹෙන දරුණු මෝසම් වර්ශාවෙන් සිය ජීවිතාශාව මද කලකට අත් හැර ගනිති.  ' 'හත් දුරුත්ත' ලෙස ව්‍යවහාරික භාශාවෙන් හැඳින්වෙන ජනේරුවේ ඇද හැලන දින ගනනාවක නොනවතින වැස්සෙන් පසු යන්තම් වසන්තයට අරුනළු වැටුනද ඒ හා සමගම ලඟ එන දැඩි නියගයට යලි සූදානම් විය යුතුය.

මේ 'කපුගේ'ද නොගැයූ ඌව වෙල්ලස්සේ ගීතයයි. 

ඌණ සංවර්ධිත මෙම කලාපයේ වෙසෙන බහුතර ජන කොට්ඨාශයකට ඉහත සඳහන් කල අනේක විධ නාය යෑම් ගැන අඩු වැටහීමක් තිබුණද (මොණරාගල දිස්ත්‍රීක්කයේ ආසන්නතම මැතිවරණ ප්‍රථිඵල වලින් මා කියූ මෙම කරුණ සනාථ වේ) කලින් කල එළඹෙන වර්ශා කාලයත් සමග කඳු බෑවුම් නාය යාම ගැන නම් අති බිහිසුණු වැටහීමක් ඇත.

2011 වර්ශයේ මුල බදුල්ල දිස්ත්‍රීක්කයේ ස්ථාන බොහෝ ගණනක මෙවැනි නාය යාම් බහුල විය.  වෙනදා සාපේක්ශව අඩු තර්ජනයකට ලක්වූ බදුල්ල නගර ආශ්‍රිත ප්‍රදේශයද එවර නාය යාම් වලට ගොදුරු විය. ඌව වි.වි ආශ්‍රිත පස්සර මාර්ගයේ 2 සැතපුම් කණුව අසලත්, බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හංදිය අසලත්, බදුල්ල බදුලුසිරිගම, සුවිනීතගම, වීර්යපුර, ඉඹුල්ගොඩ, කටුපැලැල්ලගම, එළදලුව වැනි තදාසන්න ප්‍රදේශත් දැඩිව නාය යාම් වලට ලක්විය. 

එක්වරම නින්දෙන් අවදි වූ දේශපාලකයින් හා නිළධාරීන් තම නින්දාව වසා ගැනීමට නොයෙකුත් පිළියම් ගෙන ආහ. ඔවුන් පළමුවෙන්ම කලේ යන්තම් හෝ නිවසක ඉරිතැලීමක් හෝ සිදුවී ඇත්නම් ඒ නිවස අයිති කලාපයම නාය යාමට ලක්විය හැකි 'අනාරක්ශිත' කලාපයක් බවට නිවේදනය කිරීමයි. එසේ කිරීමෙන් අනතුරුව එවැනි ග්‍රාම සේවා වසම් වල ලැයිස්තුවක් නගර සභාවට හා දිස්තීක් ලේකම් කාර්යාල වල ප්‍රදර්ශනය කලේය. 

ඉන්පසු සහන දීම ඇරඹිනි. 

ගෙවල් සම්පූර්ණයෙන්ම කඩා වැටුනු තැන් පූර්ණ හානි ලෙසත් ඉරි තැලීම් පමනක් සිදුවූ ස්ථාන අර්ධ හානි ලෙසත් වෙන් කරනු ලැබීය.
කඳු උඩ තාවකාලික නිවාස හා පැල්පත් සාදාගෙන හිටි ජනයාගේ නිවෙස් වැස්ස ඇරඹීමත් සමගම ඔවුන් විසින් හැරදා යන ලදී. මෙසේ හැරදා ගිය සමහරුන් නිවසෙහි සෙවිලි තහඩු පවා ගලවා ගෙන ගිය නිසා ඒවා වැස්සට හේදී ගරා වැටුණි. මේ අතර සැබෑවටම බරපතල විනාශයන්ට ලක්වූ නිවෙස් කිහිපයක්ද විය. ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හන්දිය අසල පිහිටි විශාල නවීන නිවස ඉහලින් කඩාවැටුනු දැවැන්ත පස්තට්ටුවකින් සම්පූර්ණයෙන්ම යටවී විනාශ වී ගියේය.

නිලධාරීන්ගේ ගණන් ගැනීමට අනුව මේ දෙවර්ගයම පූර්ණ හානි විය. 

ඉහතින් සඳහන් කල ප්‍රදේශවල තම තම හැකි පමණින් ශක්තිමත්ව ගොඩ නගා ගෙන සිටි පහල මධ්‍යම පාන්තික නිවාස බොහෝමයක ඉරි තලා බිත්ති අතර අඟල් තුන හතර විවර මතුවී තිබුනත් අතරින් පතර හෝ යොදා තිබූ කොන්ක්‍රීට් ලින්ටල් නිසා කඩා වැටී තිබුනේ නැත. මේ අතර නාය යාමේ කිසිම තර්ජනයක් නොතිබූ නමුත් ඉදිකිරීමේ අඩුපාඩු නිසා සෑහෙන කලක පටන් සියුම් ලෙස ඉරිතලා තිබූ නිවෙස්ද තිබුණි.

නිළධාරීන්ට මේවා සියල්ල අර්ධ හානි විය.

ලැයිස්තු දේශපාලක අමනයන් අතට පත් වීමෙන් පසු ඒවාට තවත් ඇඩිශන්ස් ඇන්ඩ් ඕල්ටරේශන්ස් එන්නට විය.

ඉන්පසු එළඹියේ ලාබ, සමාවන්න හානිවූවන්ට සහන ලබා දෙන කාලයයි. පෙරමුණ ගත්තේ ගමේ සංධානයේ සංවිධායකවරයායි. ග්‍රාම සංවර්ධන සමිතිවල නිළධාරීන් පොරවල් විය. 

පූර්ණ හානි වූ හා අර්ධ හානි වූ 'සමහරුන්ට' ඉඩම් බෙදාදෙන ලදී.. බදුල්ල නගරයේ සිට කිමි 12ක පමණ දුරින් තෙල්බැද්ද ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ ඉඩමක් කැබලි කර පර්චස් 7-8 කොටස් විසිපහක් තිහක් බෙදාදීමට නියමිතව තිබූ අතර එසේ බෙදා දෙනවයි කී දින වනවිටත් සමහරු එහි ඉදිකිරීම් ආරම්භ කර තිබිණි. ඒ අතර සංධානයේ ප්‍රබල අධාර කරුවනුත් ග්‍රාම සංවර්ධන සමිති වල ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුත් හැර නිවාස අහිමි වූවන් සිටියේ නැත.  

වලකඩදෝව හංදියේ නිවස හිමිව තිබූ මහත්මියටත් ගරා වැටුණු නිවාස වල පදින්චිව සිට ඉවත්ව ගොස් සිටි එදිනෙදා වේල බදුල්ල නගරය තුල කුලියක් මලියක් කර හම්භ කරගත් කම්කරු පිරිසෙන් කොටසකටත් වැලිඔය ජානකපුර සිට මුලතිවු දක්වා දිවෙන පාරෙන් හැරී කිමි 5ක් පමණ ඇතුලට ගිය තැන්හී පිහිටි අක්කරයක් බැගින් වූ ඉඩම් කොටස් බෙදාදෙන ලදී. අදාල ලියකියවිලි ලබා ගැනීමට නම් ලැබුණු ඉඩම් කොටසේ නිවසක් තාවකාලිකව හෝ ඉදිකර පදිංචි විය යුතුය. නිවස ඉදිකර ගැනීම සඳහා ටකරං තහඩු 10ක් රජයෙන් ලබා දීමටව නියමිතව ඇති නමුත් ටකරං ලබා ගන්නා උන් ඒව විකුණා දමා යාවි යැයි සැකය නිසා ටකරං ලබා දෙන්නේද මිට නැති උදලු තලය හා කැති තලය (වගා කිරීමට පෙළඹවීමට) දෙන අවස්ථාවෙදීමය. ඒ සඳහා ඉළුක් හෝ මානා වලින් හෙවිල්ලූ නිවසක පදිංචි වී 'පෙන්විය' යුතුය. පෙන්වීමට නැතහොත් කීමට කාරණා බොහෝය. නමුත් ඒ ගැන ඔය ඇතියැයි සිතේ.

අර්ධ හානී වූවන්ටද  අපූරු වන්දි ලැබිණි. සමහරුන්ට ටකරන් තුනකි. ඔවුන් නිවෙස් හෙවිල්ලා තිබුනේ ඇස්බැස්ටෝස් වලින් නමුත් හානි වී තිබුනේ බිත්ති වලටය.

සමහරුන්ට වැසිකිලි පෝච්චියකි. ඔවුන්ගේ ටයිල් අල්ලා සකස් කර තිබුණු ඉස්තරම් වැසිකිලිවලට කිසිදු හානියක් වී නොතිබිණි. 

සමහරුන්ට සිමෙන්ති කොට්ට පහකි. තමන්ගේ නිවාස වලට වූ හානි සම්භන්දයෙන් රජයෙන් ලැබුණු මේ වන්දි බොහෝ දෙනෙකු අත්සන් කොට බාර ගෙන තිබුණි. සමහරු පැත්ත පලාතකවත් පැමිණ තිබුනේ නැත. සමහරුන්ටනම් රජ මගුල් ය. අයියා..අයියා කියමින් සංවිධායකතුමා පස්සෙන් ගිය සමහර ගැහැණු නම් බොහෝ ප්‍රථිලාභ ලැබූ බව ගම් වැසියෝ අදටත් කියති.  

අපේ මහ ගෙදර නිවසේ බිත්ති ස්ථාන 16කින් පුපුරා ගොස් තිබුණි. මුල් කාලයේ ඉද්කර තිබූ සමහර ඉදිකිරීම් වලටම අල්ලා පසු කාලයේ වෙනත් ඉදිකිරීම් කර තිබූ නිසා ඉදිකිරීම් වල ප්‍රමිතියක් තිබුණේ නැත.  සමහර තැන්වල අඟල් හතර පහ තරමේ පැලුම් විවර විය. වැස්සත් සමග කඩා නොවැටුනද වහලය සමග එක කොටසක් ඇදී ගොස් තිබූ නිසා එම කොටස කඩ ඉවත් කර අනෙක් ටික බේරා ගන්නට සිදුවිය. 

පවුලේ බාලයා ලෙස මහ ගෙයි නිවසේ 'සාඩම්බර භාරකාරයා' වූ මට ඒ වනවිට එහි පදිංචි වී නොසිටියත් මහ ගෙයි බර ප්‍රථම වරට දැනෙන්නට විය. අම්මාගේ අණින් මා එහි කැඳවූ මුල් අවස්තාවේ මා විසින් ලබා ගත් ෆොටෝ කිහිපයක් පමණක් මෙහි දක්වනුයේ එහි තරම ඔබට යම් තරමකින් හෝ දැනෙන්නටයි. 




කිසිදු පැහැදීමක් නැතත් මෙවන් පොදු ස්ථාන මග හැරීමෙන් එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නා බව හොඳින්ම දන්නා අම්මා එන්න කියා තිබූ දවසේ ආධාර බෙදා දෙන තැනට නොවරදවාම ගොස් තිබිණ. අප නිවසට වූ හානිය වෙනුවෙන් සංවිධායක තුමාගේ තක්සේරුව වී තිබුණේ සිමෙන්ති කොට්ට හතරකි. පෙර දිනයකදී ගමේ සංවිධාන කටයුතු සම්භන්දයෙන් 'නිමල් ඇමතිතුමාගේ' මූණටම දොස් කීම නිසා 'හරිනම් ඕකවත් දෙන්න වටින්නේ නැති' ගනයට අපේ නිවස නැත්නම් අපේ අම්මා ගොනු කර තිබිණි. සියලු ලෞකික අසාවන්ගෙන් කෙමෙන් ඈත්වී පන්සලටම සීමාවෙමින් සිටින අම්මා කෙසේ හෝ 'උපේක්ශාවෙන්ම' කිවයුතු සියල්ල කියා දී තිබුණි. අවසන සිමෙන්ති කොට්ට හතර එපා කියා එන්නට ගොස් ආපසු හැර්‍රි ගිහින් එය භාරගෙන කුඩා ලොරි රථයකට එම ස්ථානයේදීම මුදල් බැඳ පන්සලට ගෙනගොස් දමන ලෙස පවසා ඇය එන්නට ආවාය.

කවදත් ඔය වැනි දේ සම්භන්දයෙන් කිසි විශ්වාසයක් නැති මම බිරිඳත් සම්ග කතිකා කර බැංකු ලෝන් එකක් හෝ ලබාගෙන නිවස කඩා අලුත් වැඩියා කිරීමට ඉටා ගත්තෙමි. මිතුරෙකුගේ මාර්ගයෙන් සරල නිවාස සැලසුමක් ඇඳගත් මා  එය අනුමත කර ගැනීමට නගර සභාවේ ටීඕ මහත්තයෙකු වූ මගේම තවත් හිතවතෙකුට ඇමතුමක් දුන්නෙමි.. 
"මචං උඹල ගෙවල් හරිය අවධානම් කලාපයක් කරලනේ තියෙන්නේ. දැන් ඒ පැත්තෙ ප්ලෑන් ඇපෲ කරන්න බෑනෙ."
ලද ආරංචියෙන් විස්සෝප වී ගිය මම වහාම මගේ හිතවත් බැංකු මිත්‍රයෙකු ඇමතූවෙමි. 
"ඔව් බං.. දැන් ඔය පැත්තෙ ඔප්පු වලට ණය දෙන්නෙ නෑ.. අවධානම් කලාපයේනෙ.."
මෙය හරියන්නේ නැත. වහාම දින දෙකක් නිවාඩු ගෙන ගම රට ගියේ දෙකෙන් එකක් විසඳා ගෙන ඒමටයි. දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හතර මායිම් නොදන්නා මා අම්මාවත් එකතු කොටගෙන එහි ගොස් කුඩා කල සිට හොඳින් දන්නා හඳුනනා ප්‍රාදේශීය ලේකම් වරයා මුණ ගැසුනෙමි. 
"ඇන්ටි ඔය කේස් එක තියෙනවා.. ගොඩාක් දෙනෙකුට..තවම මේකට ස්ථීර තීරණයක් නෑ. ඇන්ටිලාට ඉඩමක් හම්භ උන නැති එක ගැන මට ලියුමක් දෙන්නකෝ. මං හොයල බලන්නම්.. එතකං ටිකක් ඉන්න වෙනවා."
ඔහුද අසරණය.. ඊට එහා යමක් කියා වැඩක් නැත. අපි හැරී ආවෙමු.

අතින් වියදම් කර මහා ලොකුවට රෙපෙයාර් කරද වැඩක් නැති නිසා දැන් වසර තුනකට අධික කාලයක් මේ 'හිල්' තාවකාලිකව වසාගෙන අපි එහි ජීවත් වෙමු. අහ්! කියන්නට අමතක වූ දෙයක් නම් අපේ ලංකාවේ සුපිරි අධ්‍යාපන ප්‍රථිපත්තියට පිං සිද්ද වෙන්නට මා කොළඹ සිටියදී මගේ දරු පැටවුන් සහ බිරිඳද 2012 සිට මේ මර උගුලේ සිර කර තැබීමට සිදු වූ වගයි..

දැන් කොස්ලන්ද ද නාය ගොස් ඇත!!!

අපි තවමත් අවධානම් කලාපයේ වෙමු. ඌව පළාත් සභා මැතිවරණයද පැමිණ ගියේය. හිඟමනේ පැමිණ චන්ද ලබාගත් දේශපාලක අලුගුත්තේරුවෝද උන්ට කත් අදින පරිපාලන බලු ගැත්තෝද ඊලඟ නාය යන බූමියට ගොස් ලොක්කන්ට සිටුවේශන් ඇනලයිස් කරන තුරු සුවසේ නිදි වදිති.

Wednesday, 22 October 2014

පස්සෙන් එන (යන) ප්‍රේමය...




මොකක් හරි සංවේදී කතාවක් කියෙව්වම ඒක මට දැනෙන විදිය  එවලේම පුංචි වචන තුන හතරකින් කුරුටු ගාන්න මට තියෙන්නේ පුදුම උණක්.. ඒ වගේ ලියපු නොලියපු කවි කුරුටු ගී මගේ ඩෙස්ක් එක උඩ කටු කොල වල දවස් ගානක් තිබිල විසි කරල දානව ගොඩක් වෙලාවට.. ඒත් දැන් බ්ලොග් එකක් ලියන්නයි ගොඩක් බ්ලොග් කියවන්නයි පටන් අරන් තියෙන නිසා ගොඩාක් වෙලාවට ඒක කොමෙන්ට් එකක් විදියට අදාළ බ්ලොග් එකට දානවා. ඒ අතරිනුත් කිහිපයක් මගේ කලාහිතටත් ඉඳල හිටල දාල තියෙනවා. 
අටම්පහුරේ අටමා මේ වගේ හිතට දැනෙන කතා ලියන්න දස්සයනෙ.. ඉතින් අටම් ලියපු මටම දාවුණු පැටවුනට හා මටද අම්මා වන් කියන ලිපිය මට දැනුණු විදියයි මේ. 

එතකොට අටම්ගෙම රාහු ගිල්ල ආදරේ මම ගිල ගත්තෙ මේ විදියට.

ඉතා විශාල පරාසයක කරුණු රසවත්ව ක්‍රමවත්ව හා ඉක්මණින් ලියන්න පුළුවන් අපූරු හැකියාවක් තියෙන කෙල්ලක් විදියට තමයි බස්සිගේ නවාතැනේ බස්සිව මං අඳුනගෙන තියෙන්නෙ. ඉතිං බස්සිගෙ අපිට කොහෙ හරි වැරදුනා බං කියන බස්සිම සඳහන් කරන පරිදි 'අමුතු කවිය' මට අමුතු නොවුනේ මේ විදියට

මේ ඊයෙ පෙරේද දවසක බස්සි BnS ලගේ අලුත් සිංදුවකට අපූරු පෙරවදනක් ගෙන එමින් තරුණ මහළු කාටත් ආදරේ හිතෙන උද්ධෘතයක් වන 'ප්‍රේමය' ගැන අපූරු සටහනක් තියල තිබුනා. ඉතින් පුරුදු විදියට ඒ සටහනත් කියවල ඉවර උනේ කටුකොල වල මෙහෙම කුරුටු ගාන ගමන්. බස්සිගේ නවාතැන කොමෙන්ට් එක්ක කියවන අයනම් මේ වෙනකොට මේක දැකලත් ඇති. එහෙම නොදැකපු කෙනෙකුට කියවන්න ඔන්න මං මෙතනත් දානවා. ජය ශ්‍රී!

පස්සෙන් එන (යන) ප්‍රේමය

මා නතර වෙලා...
කතා නොකරන ඔය දෙනෙත ලඟ
හිනාවක් නැති හිනා වත ලඟ
මා නතර වෙලා...//

ගත විඩාමැයි.. හිත බරක් මැයි..
නින්ද දුර රෑ යාමයේ..
සතුට ලඟ නෑ පැන ගිහින්..
විල්ලුද කටු මැද සයනයේ..

සසර දුව යන රිය සකක්මැයි..
අඳුර විනිවිඳි ප්‍රේමයේ..
පතා එන මුදු අරුම සෙනෙහස..
නිසා හිත බෝ දුක් තියේ..

මා නතර වෙලා.. මා නතර වෙලා..

කලණ  (2014.10.21)

Photo courtesy- www.google.com

Friday, 10 October 2014

එක්ව පිය නගමු නැවුම් උදෑසනක් වෙත Together towards the morn..

එක්ව පිය නගමු නැවුම් උදෑසනක් වෙත-                                           Together, towards the morn


අපේ ජේෂ්ඨ උත්තම විචාරක තුමාගේ පෝස්ටුවකට ලියපු කොමෙන්ටුවක් නිසා මටත් මේ දවස් වල බ්ලොග් අවකාසේ ටිකක් බිසි..හෙහ් හෙහ්.. කොහොමත් අඩුවෙන් කතා කරන මාතෘකාවක් වෙන සේෆ්ටි ගැන සිංහලෙන් ලියන ලිපි පෙළ අපේ සහෘදයින්ගේ බුද්ධියට ගෝචර උනු නිසා එන කොමෙන්ට් වලට උත්තර ලියන්නත් වෙනවනේ ඒකයි. නමුත් මේ පොස්ට් එක නම් ඒ කොමෙන්ටුවේම පළවුණු වැඩිය කතා බහට ලක් නොවෙච්චි වෙනත් සබ්ජෙක්ටුවක් ගැනයි. ඒ කිව්වේ තිස් අවුරුදු බිහිසුණු යුධ අත්දැකීම් ගොනුකරගෙනත් අපේ රටේ කතා බහ කල හැකි මට්ටමේ 'පශ්චාත් යුධ සාහිත්‍යක්' බිහි නොවීම ගැන. සමහරවිට 'බිහි නොවීම' කියන්න තවම කල් වැඩිත් ඇති. නමුත් වඩා ක්‍රියාශීලි සමාජ මාධ්‍යය තුලදීවත්, බ්ලොග් අවකාශය ඇතුළුව, සාධනීය මට්ටමකින් මේ පිළිබඳව මූලාරම්භයක් දකින්නට ලැබෙන්නේ නැ.

මීට අවුරුදු එක හමාරකට විතර කලින් මේ දේවල් ගැන හිතේ විතරක් තියාගෙන උන්නු කාලේ දවසක අපේ අයියගේ පුතා දවසක් මාව හොයාගෙන ගෙදරට ආවා.. මිනිහා ඒ දවස් වල සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අන්තිම වසරේ ශිෂ්‍යයෙක්.. තව කොණ්ඩ කාරයෙකුත් එක්ක බොහොම බැරෑරුම් මූණක් මවාගෙන ඇවිත් මගේ ඉස්සරහ වාඩි උනා..

"බාප්පි මේ පාර වීර දිනේට (අර මැයි 18 වෙනිද එන දිනේ නැතුව සාම්ප්‍රදායික ජාතික වීර දිනය නෙවෙයි මං හිතන්නේ. ) අපි සිංදුවක් කරල රිලීස් කරන්න හිතං ඉන්නව. මේක ලංකාවේ ප්‍රේක්ශකයෝ විතරක් නෙවෙයි ඉන්ටනැශනල් ඕඩියන්ස් එකක් ටාගට් කරල කරන්නේ."

"ශා.. හොදයිනෙ.. එහෙනම් ඉන්ගිරිස් සින්දුවක් තමයි පුතෝ කරන්න වෙන්නේ. අනික ඉහලම ටෙක්නික්ස්.."

"ඒ ගැනනම් කේස් එකක්ම නෑ බාප්පි.. ලංකාවේ දැනට තියෙන ස්ටූඩියෝස් ඔක්කොගෙම ටෙම්පරි වැඩ කරන්නෙ අපේ උන් තමයි.. ඒ සපෝට් එක නම් තියෙනව.. ඒත්.." 
හැබෑට මුන් ලංකාවේ ඇප්ලයිඩ් මියුසික් ෆස්ට් බැජ් එකනේ.. මට ඒක මතක් උනේ එවලේ. ඒත් ඇයි 'ඒත්'?

"ලොකුම ප්‍රශ්ණේ මගේ හිතේ තියෙන විදියට මට මේකට ලිරික්ස් ටික ලියා ගන්න ඕනි.. යුද්ධෙ ගැනයි සාමේ ගැනයි දෙකම දන්න, ඉංග්‍රීසිත් දන්න, කලාවත් දන්න අළුත් අදහස් තියෙන කෙනෙක් වෙන්න ඕනි. වැඩි වයසක කෙනෙකුට සමහර විට මගේ හිතේ තියෙන එක තේරුං ගන්ඩත් බැරිවෙයි.. යුද්ධෙ ගැන නොකියා අතුරු කතාවකින් යුද්ධයයි සාමයයි ගැන කථා කරන්න.. ඒකයි මං බාප්පිවම හොයාගෙන ආවේ.."

යකෝ මූ කියන්නේ මං වැඩිය වයසක නෑ කියල ඒ කියන්නේ මටත් දැන් සෑහෙන්න වයසක් ඇති.. සිංදු ලියන එක පැත්තක තියල මං මං ගැන කල්පනා කරා හරියට මඛාදේව රජ්ජුරුවෝ වගේ.

"බාප්පි මොකද කියන්නේ? ලියමු නේද?" ශිහ් ආතල් එක කනව.. මූ පොඩි කාලෙත් ඔහොමමයි.. 'කල්ල පොඩ්ඩක් පුතාව බලන්න අ අ ..' අපේ ලොකු නෑනගේ සොඳුරු  ආඥාවට මං ඉතින් මූව ඇඳේ තියාගෙන 'සුදු ගෝන' කියවනව... හොඳම හරියේ 'දිකුද්' ඇවිත් ඇත්ගොව්වව පාගල මරල හෑන්ස් ව බේර ගන්න යනකොටම.. හොඈහ්..හොඈහ්...

"හ්ම්.. ලියල බලමු..මගේ ඉන්ගිරිස් නම් ඉතින් එච්චරම.."

"හරි..හරි..ඔන්න එහෙනම් මේ වගේ........." කොල්ලො දෙන්නගේ අතොරක් නැති විස්තර අස්සේ මම දෙපැයක් විතර ලියල කපල කොටල මෙන්න මේක ලියල අතට දුන්න...

You & me, were on a journey 
Underneath the same brolly
Over the footprints of ages
Then the dark clouds arose

Clouds had turned to storms
Avarice gone beyond norms
You took me on a reproach
I followed the same approach

Battled the ill frustration
We’ve crossed the bourn
Love you the new generation
Together towards the morn //
Come; let us see the world is moving
Why they asks; you & me the knowing

See the making culture
To the path of future
We wanna be ours forever
Please; be my teacher
I’m alone, a loosing creature
Gotta have this chance or never

This Sri lanka; we born to live in harmony

A land like no other, magnify with dignity

සිංදුව ලියල අතට දෙනකොටම කොල්ල තීම් එහෙකුත් හදාගෙන ඉවරයි.. ටුවර්ඩ්ස් ද මෝර්න්.. හ්ම්..නරක නෑ. හැබයි කතාව තව ඉවර නෑ.. 
කොල්ලො දෙන්න වැඩේට ඉටිකිරිස් වගේ සැටිස් කියල පේනව මූණු දෙකෙන්ම.. ඒත් මුන් යන්නේ නෑනෙ.. හිටිය කියල කර්තෘ බාගේ ගෙවන එකක් යැ.. පලයල්ලකො දැන්වත් මගේ නිවාඩු දවස කන්නෙ නැතුව.. එහෙම කියන්ඩ බැරි නිසා මං ඇහුව "මොකක්ද ඊළඟ ප්‍රශ්ණෙ?" 

දෙන්න මූණෙන් මූණ බලාගෙන හිනා වෙනව.. " බාප්පි දැන් මේක අපේ උන්ට පැහැදිලි කරල දෙන්නෙ... O.o " මුගෙ යාලුවාටත් මං දැන් බාප්පිම වෙලා.. ඕකනම් මොකක්ද පාරෙ යන එනකොට දහ අටේ විස්සේ කෑලි අන්කල් අන්කල් කියන එකේ.. 

"අහ්! දැන් මොකද කරන්නෙ.. ඉන්නකො බලන්න...."

ඔබ හා මා එකම ගමනක උන්නා
එක කුඩයක් යට එකම අරමුණක...
අතීතයේ පා පිය සටහන් මත
අඳුරු වළාකුළු අප වට ලන සඳ...

වලාකුල මහ බීරුමකට හැරුණා
ආරෝව ඒ හා එක්ව වැඩුනා...
ඔබ මගේ වැරැද්දම දැක්කා
මාද ඔබ ගිය පාරේම ඇදුනා...

කළකිරීම් හා සටනේ වැද
අපි අපේ සීමා පසු කලා..
හො හෝ.. අළුත් පරපුර අපි ඔබට ආදරෙයි
එක්ව පිය නගමු අපි නැවුම් උදෑසනකට...
එන්න බලමු අපි ලෝකය යන අත
ඇයිද අහන්න ඉඩ තියන්නෙ ඔවුන්ට අපි..
ඔබත් මමත් පමණක් දැනගත යුතු දෙය...

අපි රස විඳිමු.. අපේ වට පිටාව..
ගොඩ නැගෙන හැටි සොඳුරු හෙට දිනකට
අපි අපේම විය යුතුයි.. සදහටම..
දෝත පා පිළිගත යුතුයි මෙ අවසන් අවස්ථාව..
වෙන්න මගේ ගුරුවරිය.. උගන්නන්න මේ 
තනිකඩයාට... ජිවිතය...

මේ අපේ රටයි..සතුටින් සාමයෙන් ඉන්න උගැන්නූ...
වෙන කොහේවත් නෑ ලෝකයේ.. සුරකිමූ අභිමානයෙන්..

අන්තිමට.. අපේ පවුලේ ඊලඟ පරම්පරාවේ ලොකුම කොල්ලගේ ඉන්ගිරිස් දැනුමට පිං සිද්ද වෙන්න.. මට සිංහලෙනුත් ආයෙම කවියක් (පරිවර්ථනයක්)  ලියන්න උනා.. හැබැයි මේකට නම් විනාඩි පාළොහක් වත් ගියේ නෑ. 

පසුව ලියමි (ඉතා කණගාටුවෙන්)

කොහොම හරි කොල්ලො මේකට ලස්සන තනුවක් දාල. කැම්පස් එකේම කොල්ලො කෙල්ලො සෙට් වෙලා රෙකොඩින් එකකුත් කරල ට්‍රැක් එකක් හදාගෙන තිබ්බ.. හැබැයි අපේ කොල්ලගේ හිතේ හැටියට වැඩේ කොරන්ඩ ඒ කියන්නෙ මියුසික් වීඩියෝ එක කරන්ඩ රුපියල් වලින්ම ලස්ස දහයක් පාලොහක් විතර යනවලු. කාටද අප්පේ ඔච්චර කාසි තියෙන්නෙ. ඒක නිසා වැඩේ වීර දිනේට කොරන්ඩ බැරුව ගියා. කොල්ලත් පහු බැහැල යන්තං සන්තං ගොඩ දාන්න කැමති නෑ. ඉතින් ඉස්පොන්සරයෙක් හම්බ වුනේ නැත්නං කවද හරි සල්ලි හොයල ඌම කරනව කිය කිය ට්‍රැක් එක ලැපේ දාගෙන කැරකෙනව.. මේ දවස්වල ලොක්කගේ චන්ද ප්‍රමෝශන් එකකට සින්ංදුවක් කරනව මයේ හිතේ. ඒක ගොඩ ගියොත් ඒ පහනින්ම තමයි මේකත් දල්ල ගන්න වෙන්නේ. අපේ රටේ නව පරපුරේ උන්ට ඒතරම්ම අතහිත දීමක් තියෙනවනේ ඉතින්. 

photo courtesy:  www.google.com

Tuesday, 7 October 2014

සේෆ්ටි සිංහලෙන් - උස් ස්ථානයක වැඩ කිරීම 1 කොටස


උස් ස්ථානයක වැඩ කිරීම (1 කොටස )





"අහ්! කෝ පෙරේර මහත්තය එන්ඩ.. එන්ඩ. අනිත් තුන් දෙනත් ආවද? දවස් කීපයක්ම වැඩේ මිස් උනානේ.. අද දවස හොඳයි.. යමු ගිහින් වාඩි වෙන්ඩ ට්‍රේනින් රූම් එකේ.. මං එන්නම්..." මාසේ අන්තිමට වැඩ ටිකක් වැඩි උන නිසා දවස් කීපයකින්ම බැරි උනා හිතාගෙන හිටපු 'උස් ස්ථානයක වැඩ කිරීම' Working @ Height කියන ට්‍රේනින් එක කරන්න. අද තමයි ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ.

"ගුඩ් මෝර්නින් හැමෝටම.. වැඩිය කාලේ ගන්නෙ නැතුව අපි වැඩේ පටං ගමු. පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකත් එක්කම අපි කතා කරමු. වීඩියෝ දෙක තුනකුත් තියෙනව බලන්න. අන්තිමට ප්‍රැක්ටිකල් එක" ජීවිතේ මං ආසම කරන රස්සාවක්, ඒ කියන්නේ උගන්නන එක ටික වෙලාවකට හරි මෙහෙම කරන්න හම්බවෙන එකත් ලොකු දෙයක්නෙ. ශිෂ්‍යයෝ ටික නම් මීයට පිම්බා වගෙ.. හුම් සද්දයක් නෑ.

මොකක්ද 'උස් ස්ථානයක වැඩ කරනව' කියන්නේ?

ලෝකෙ එක එක ස්ථානවලදි මේ 'උස් ස්ථානයක්' හැටියට සළකන උස යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනව.. සාපේක්ශව ගොඩක් උස මිනිස්සු ඉන්න යුරෝපයේ රටකදී සමහරවිට මේක මීටර් 2ක් හැටියට භාවිතා වෙනව. නමුත් ආසියානු කලපයේදී බොහෝ විට මෙය මීටර් 1.8ක් නැත්නම් අඩි 6ක් විදියට තමයි සළකන්නේ. එක් එක රටවලදී මේක මීටර් 1.2 ඉඳල මීටර් 2.2 වගේ වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරය වශයෙන් මීටර් 1.8 සිට මීටර් 2 පරාසය හඳුන්වන්න පුළුවන්.  ඒ වගේම එක් එක්  ක්ෂේත්‍ර අනුවත් පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට  ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී මීටර් 1.8ක් විදියට සළකන ගමන් නිශ්පාදන ක්ෂේත්‍රයේදී  එය මීටර් 1.4ක් විදියට සළකන්නත් පුළුවන්. මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ පවතින අනතුරේ (Risk) ස්වාභාවයයි.

ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවලට අදාලව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය සම්භන්ද නීති පනත් සම්මත කරගෙන තියෙනව. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ තවම ඒ වගේ නීතියක් වෙනම නෑ. මං දන්න විදියට දැන් අවුරුදු 6ක විතර ඉඳල ඒ කියන්නෙ 2008 වගේ ඉඳල මේ සම්බන්දව පනතක් හදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. ඒක (ආපු දවසක ) බොහෝ විට HSG 65 කියන මහා බ්‍රිතාන්‍ය මොඩලයේ කොපියක් වෙයි කියල හිතනව.. මට හිතෙන්නේ තවම කට්ටියට ඒක සිංහලට (ලංකාවට ) ගලප ගන්න බැරුව ඉන්නව ඇති.

මෙතනත් වෙලා තියෙන්නෙ අපේ රටේ අනිත් බොහෝ ක්ෂේත්‍ර වල වෙලා තියෙනව වගේම වෘත්තීය අත්දැකීම් අඩු හා නැත්තටම නැති ඒත් කොලකෑලී වල හා 'වෙනත්' සුදුසුකම් ඕනවටත් වැඩිය තියෙන සැට් එකක් කම්කරු අමාත්‍යාංශේ Industrial Safety Division එක හා NIOSH (National Institute of Occupational Health & Safety) එක ආක්‍රමණය කරල ඉන්න එක තමයි. පෝස්ට් ග්‍රැජුවෙට් කොලිෆිකේශන් එක විදියට 'Occupational Health' කරපු ඩොක්ටර් කෙනෙකුටවත් අවුරුදු ගනං ආණ්ඩු කන්තෝරුවල ලියුං අත්සන් කරපු Industrial Engineer කෙනෙකුටවත් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන ඒ හැටි කැක්කුමක් තියෙන්නත් බෑනෙ. (මේක අහල මගේ යාලු දොස්තර මහත්තුරු නෝනලාවත් ඉංජිනේරු නෝන මහත්තුරුවත් අමනාප වෙන එකක් නෑ කියල හිතනව ) මාතෘකාවෙන් පිට ගියාද මංදා. ඇත්තටම ඕක මගේ ලෙඩක්. 

ඉතිං. දැනට ලංකාවේ සේෆ්ටි ගැන යන්තං හරි තියෙන සීමිත ලියවිලි අතර මුල් තැන ගන්න කර්මාන්තශාලා ආඥාපනතේත් (Factories Ordnance) මේ සම්භන්දව කිසිම ලියවිල්ලක් නෑ. නමුත් ලංකාව විදියට අපි ලෝක කම්කරු සංවිදානයෙ (ILO) සාමජිකතවය ලබාගෙන එහි ප්‍රඥප්තියට අත්සන් කරල තියෙන නිසා අපිට සදාචාරාත්මක බැඳීමක් තියෙනව ILO එකෙන් මේ සම්භන්දව ලබාදීල තියෙන නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරන්න. එහෙම නොකල කියල හැබැයි කාටවත් නඩු දාන්න බෑ. ඒවා නිර්දේශ විතරනේ. ඕනමනම් ILO එකට පුළුවන් අපේ සාමාජිකත්වය අහෝසි කරන්න. එච්චරයි. (මේව තමයි අපිට තියෙන ප්‍රශ්ණ )

මීට අමතරව මේ වෙනකොට ලංකාවේ බොහෝ කොම්පැණි OHSAS 18001 කියන ප්‍රමිති සහතිකය ලබාගෙන තියෙනව. ඉතින් එතනදිත් අදාල සමාගමට යම්කිසි බැඳීමක් තියෙනව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය යම්කිසි සාධනීය මට්ටමක පවත්වා ගෙන යන්න, නැත්නම් ඊළඟ අවුරුද්දෙ අළුත් කර ගන්න බෑනේ (වෙන වෙන ක්‍රම නොදන්නා අයට පමණක් අදාළ වේ. ) 

තව එකක්.. වෙනත් රටක සමාගමක් ලංකාවට ඇවිත් වැඩක් පටන් ගන්නව කියන්නකෝ. ඒ රටේ නීතියට අනුව ලංකාවෙදි භාවිතා වෙන උසට වඩා උස් ස්ථානයක වැඩ කිරීමේ හැකියාව තිබුන කියල එහෙම කරන්න බෑ. හැබැයි ඒකෙ අනිත් පැත්ත ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අඩුවෙන්ම නිර්දේශ කරල තියෙන උස තමයි සැළකිල්ලට ගත යුතු වන්නේ.

ඉතින් ඔය කොහොම කොහොම හරි ඇවිල්ල (හරිම හිතේ අමාරුවකිං ඒ ටික කිව්වේ) දැනට ලංකාවේ මීටර් 1.8 කියන උස තමයි 'උස් ස්තානයක්' හැටියට සළකන්නේ. මෙච්චර වෙලා කියපු ටික කෙටියෙන්ම කිව්වොත්   
"දැනට ලංකාවේ බල පැවැත්වෙන නීති හා රෙගුලාසි පරිදි යම් පුද්ගලයෙකු මීටර් 1.8ක් හෝ ඊට වඩා වැඩි සිරස් උසකින් ඇද වැටීමට අවකාශ ඇති ස්ථානයක වැඩෙහි යොදවන්නේ නම් ඔහුට ගැළපෙන වැටීම් ආරක්ශක පද්දතියක් මඟින් ආරක්ශාව සලසා දී තිබිය යුතුයි."

රායිට්.. අපි ගමු පොඩි බ්‍රේක් එකක්.. ඉතුරු ටික ඉන්ටවල් එකෙන් පස්සේ. තියෙන ප්‍රශ්ණ ඔක්කොම ඊළඟ කොටසට කලින් අහන්න ඕනි.. මතක තියාගන්න ඔය ඉඳල හිටල ලාවට අනුමත වුනා වගේ නෙවෙයි.. "දුම් පානය ශරීරයට දැඩි සේ අහිතකරයි" 

Photo courtesy www.google.com

Saturday, 4 October 2014

නූතන සින්ඩරෙල්ලා ලගේ ඉරණම




සතුටුවෙයං සින්ඩරෙල්ලෝ...
රජවාසලට ගිහිල්ලත්...
එන්ඩ පුළුවං වෙච්චි එක ගැන...
සපත්තුව විතරක් අඩුව...
නටන්න වුනේ නෑ නේද...
කුමාරවරුන්ගේ තාලෙට...
යන්ඩ හිතන්ඩ එපා...
ආයේ හතරමයිමකවත්...
උන් ගාව නෑ ආදරේ...
උන්ට එක මස් වැදැල්ලක් විතරයි...
උඹවත්...
ඊට දාහක් හොඳයි...
කොළපාට ලිං ගෙම්බා...
බලාගනී උඹව ආදරෙන්...
කන්ඩත් මොනවහරි ගෙනත් දෙයි...
වේලක් ඇර වේලක්වත්...
හිත හදාගෙන ඉන්න බලපං...
දරු පැටියෙකුත් හදාගෙන හුරතල්...
ආබරණ නැතුවට කමක් නෑ...
ලස්සනයි උඹෙ මූණ තාමත්...
උඹට වරදින්නෙ නෑ...
දෙයියන්ගෙ පිහිටෙං බුදුන්ගේ සරණිං...

- කලණ

Thursday, 2 October 2014

සසුනට හිත ගිය පෙම්බරී...



තුණු කෝල කොමල හිත්
සොඳුරු තඩාගේ...
පිපුණු එකම සුදු
හීන පියුම ඇය
නිවී සැඟව යන්නී...

දිවි සාර සසල විල
රළුව කළඹනා...
කළු හංස පියාපත්
මඟැර සැරිසැරූ
රන් හංස සිත්තරාවී...

හිත පුදමි දෙපා මුල
සිල් නොඹිදි කසාවත
ගිනි නිවයි දෙලෝ වැද
දෙසූ දහම් බස
දිවි දියෙන් එතෙර වන්නී...

කලණ