Thursday 23 February 2023

Check Point..! 4 වෙනි දිගහැරුම

3 වෙනි දිග හැරුමට..


"ආ.. නගින්න.. හොඳේක.. දිගේක.. වේගෙන් යනේක.. ඔට්ටා..ඔට්ටා..ඔට්ටාව්...අ" 

"ආ.. ඕම නගින්න.. ගෙඩවෙන්න..ගොඩවෙන්න.. ටවුනෝල්.. කිල්ලපන.. නුගේ..ඩ..මාරගම..ඔට්ටා..ඔට්ටා..ඔට්ටා...ව්..අ" බැස්ටියන් මාවතෙන් හරවා ගත් සැනින් ටයිම් එක දාගෙන පසුපස දොරේ තනි අතින් එල්ලී සමීරයා කෑගසයි. ඔහුගේ කෑගැසීමේ අමුතු රිද්මයක් ඇතැයි මහේෂ්ට සිතේ.. මේ වෙලාවට කොටුව ස්ටේශන් එක ඉස්සරහා බස් පොදියකි. එයින් අවම බස් 5ක් හෝ හයක් මහරගම, කොට්ටාව, හෝමාගම හෝ රුක්මල්ගම දක්වා දිවෙන 138 බස් වේ. බස් රථයට සෙනග නංවා ගැනීම රියදුරාගෙ හා ගෝලයාගේ දක්ශතාවය මෙන්ම වාසනාව මතද තීරණය වන තියුණු තරඟයකි. එය එක්තරා ආකාරයක විනෝද ක්‍රීඩාවකි. ජයග්‍රාහකයා සතුටු වේ. පරාජිතයා ඊළඟ නැවතුමේදි ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ධාවනයේ යෙදේ. කිසිවෙකුට විශාල වාසි හෝ විශාල අවාසි නැත. ජයගහණය තීරනය වන්නේ ඉතා කුඩා ඉලක්කම් වලිනි. ඒත් කම්ප්ලේන් නැත. සියල්ලෝම ධාවනයේ යෙදෙති. 

බස් රථය දවසේ පළමු ටර්න් එකට කොට්ටාව දෙසට ඇදේ.. රීගල් හෝල්ට් එක පසුවෙද්දි සීට් ගාණට සෙනග වාඩිවී ඇත. එය හොඳ ආරම්භයකි. උදෑසන බස් රථයට නැගි විගස ස්ටියරින් වීල් එක, රියදුරු අසුන හා ඒ අවට පිස දමා හඳුන්කූරු දෙකක් දල්වා හොඳින් සුවඳ වදින තැනක ගැසීම මහෙෂ් විසින් පුරුද්දක් ලෙස කරයි. ඉදිරිපස වීදුරුවලට හා පැති කණ්නාඩි වලට වතුර ගසා පිරිසිදු කර බස් රථයට නගින සමීර සිය ටිකට් කඩන යන්ත්‍රය මෙම හඳුන්කූරු අසල තබා ඊට වඳියි. මේවා කවදා කෙසේ පුරුදු උනාද නොදන්නා නමුත් දෛනිකව ඒ දේ සිදුවේ. බුද්ධ රූපයක් හා තවත් දෙවිරූප රැගත් ෆ්‍රේම් කරන ලද රූප පෙළක් ඉදිරිපස ඉහළින් එල්ලා ඇතත් ඒවාට වැඳීමක් හෝ දුම් ඇල්ලීමක් කෙරෙන්නේ නැත. ඒත් ඉන්දියන් හඳුන්කූරු වලින් එන ශාන්ත සුවඳ ඉදිරි දවසේ ඔවුන්ගේ ගිණිකන ජීවිතයට යම් මානසික සුදානමක් ඇති කරවන සෙයකි.

මහේෂ් හෝ සමීර තවම උදෑසන ආහාර කිසිවක් ගෙන නැත. පුරුද්දක් ලෙස හිස්බඩ බොන වතුර වීදුරුව පමණක් පානය කර ඔවුන් පළමු ටර්න් එක පිටකොටුවේ සිට කොට්ටාවට යති. උදෑසන ආහාරය ලබා ගැනීමට සමාන්‍යයෙන් ඔවුන් දෙදෙනාම කොට්ටාවේ පොල් අතු බත් කඩයට යති. මහේෂ්ට පුරුද්දට මෙන් උදේට රතු    බත් ඕනෑ වේ. සමීර නම් බොහෝවිට ඉදියප්පන් හෝ පාන් කෑමට ගනී. කෑම වෙනුවෙන් දෙදෙනාට දිනක ආදායමෙන් රුපියල් දෙසීයක් වෙන් කරගත හැක. උදේ දවල් දෙවේල සඳහා රුපියල් දෙසිය පනහක් පමණ වැයවෙන අතර මදිපාඩුව ටිකට් කඩන අතර සමීර එහෙමෙහෙ කර ගනී. දවස හොඳ වූ කල එයිට අමතරව තව රුපියල් සීයක් හමාරක් අමතරව උපයා ගැනීමට හැක. ඒවා දෙදෙනාගෙ බුලත් විට සිගරට් අවශ්‍යතා වලට ප්‍රමාණවත් වේ. මහේෂ් ගේ දෛනික වැටුප රුපියල් නවසීයකි. සමීරට රුපියල් පන්සීයකි. එය සති දෙකකට වරක් ලබා ගත හැක. දෛනික වියදම් සඳහා අවශ්‍ය වුණත් නොවුණත් ඔවුන් දෙදෙනාම සිය වැටුපෙන් දිනකට ‍රුපියල් එකසිය පණහා බැගින් ලබා ගනිති. ඒ මුදලද කෙසේ හෝ වියදම් වේ. 

කොට්ටාව බසයේ සේවයට එක්වී නොබෝ දිනකින් නාවින්නේ කිත්තා හෙවත් කීර්ති, මහේෂ් ව සොයා ආයේය. කීර්ති යනු කිරුළපන නුගේගොඩ ප්‍රදේශයේ සිට හෝමාගම කොට්ටාව දක්වා පාතාල බලය පතුරුවාගෙන සිටි කිරුළපන ජගත්ගේ ප්‍රධාන ගෝලයෙකි. සෑම බස් රථයකින්ම මහරගමදි ජගත්ගේ නියෝජිතයාට කප්පමක් ගෙවිය යුතුය. ඒ වෙනුවෙන් ඔවුහු එම මාර්ගයේ බස් රථ ධාවනය නොනිළ ලෙස පාලනය කරති. ප්‍රධානම දෙය දුරගමන් සේවා බස් රථ මගින් මගීන් ඩැහැගැනීම පාලනයයි. තවදුරටත් ව්‍යාප්ත වූ ජාලයක් වූයේ වැල්ලවාය තණමල්විල ප්‍රදේශ වල සිට එන කංසා එකතු කර කොළඹ හා ඒ අවට බෙදා හැරීමයි. දුර පලාත් වලින් එන බස් නිතර නිතර සෝදිසියට ලක්වන හෙයින් ඒවා කොට්ටාව මහරගම අවටදී නියෝජිතයන් අතට පත්වේ. එතනින් එහාට ආරක්ශිතව බෙදා හැරීම මෙම ජාලයයි. නාවින්නේ කීර්ති මෙහි එක් ප්‍රධාන තැරැව්කරුවෙකි.

මහේෂ් හමුවී කතාකල කීර්ති ඔහුගේ බස් රථයෙන් දින දෙක තුනකට වරක් පැකට් කරන ලද ගංජා පාර්සලයක් පිටකොටුවට එවීමට එකඟ කර ගත්තේය. ඒ සඳහා ගෙවීම වරකට රුපියල් පන්සීයක් හා පැට්ටෙකි. එක කංසා සුරුට්ටුවකට සෑහෙන ගංජා ප්‍රමාණයක් එතූ කුඩා කඩදාසි පැකට්ටෙකක් පැට්ටෙක් ලෙස හැඳින්වේ. පිටකොටුව දෙවන හරස් වීදිය මෙන්ම මැනිං මාකට් පෙදෙසේත් ගංජා අලෙවිය කලේ කීර්තිගේ නියෝජිතයින් වේ. මහේෂ් ලාට අමතරව තවත් බස් රථ එකකින් හෝ දෙකකින් කීර්තිගේ ගංජා පිටකොටුවට පැමිණෙන බව දන්නා නමුත් ඒ කවුදැයි හරියටම මහේෂ්ලා නොදනිති. මේ ආදායමින් ඔවුන් දෙදෙනා දින දෙක තුනකට වරක් කොත්තුවක් හා ගල් අරක්කු බාගයක් රැගෙන කාමරයට ගොස් සප්පායම් වෙති. මහේෂ් ගේ බස් රථයෙන් ගේන පාර්සලය බාර ගැනීමට ගංජා අලෙවි කරන පුද්ගලයින් කිසිවෙකු බස් රථය අසළට නොපැමිනේ. එය සමීර හෝ මහේෂ් විසින් රැගෙන ගොස් පෙර එකඟ වූ කඩයක තබා එයි. ඒ හැර පිටකොටුවේ ගංජා විකුණන උන් හා මහේෂ්ලා අතර කිසිදු ගණුදෙනුවක් නොවේ. 

බස් රථය කොම්පඥ්ඥවීදිය කොමර්ෂල් බැංකුව අසළ නවතාගෙන සිටින අතර තුර මහේෂ් සිය අඩුම කුඩුම රැගත් කළු පාට කුඩා මල්ල හොඳින් පිරික්සා බැලුවේය.කළුපාට නොකියා වර්ගයේ ජංගම දුරකථනය එහි සුරැකිව ඇත. තවම ඔන් කරන්නට වෙලා වැඩිය. මහේෂ් දැන් සෑහෙන කලෙක සිට මෙවන් ජංගම දුරකථනයක් මිළදී ගැනීමට සිතුවත් එහි මිල එකවර ගෙවා දැමීමට ඔහුට නොහැකිය. දරුවන් තිදෙනා බලා ගන්නා අම්මා වෙත සති දෙකකට සැරයක් රුපියල් අටදාහක් හෝ දහ දාහක් ඔහු දැමිය යුතුමය. මහෙෂ් විවාහ වූයේ ඔහුගේම පුංචි අම්මාගේ දියණියක සමඟ වූ හෙයින් ඒ විවාහයට දෙපසින්ම තදින් විරුද්ධ විය. මහේෂ්ට බර වාහන ලයිශන් තිබූ හෙයින් ඔහුව හමුදාවේ රියදුරු අංශයට ඇතුල් කිරීමට ඒ වනවිටත් හමුදාවේ රියදුරෙකු වූ ඔහුගේ මාමා කටයුතු කරමින් සිටියේය. පුංචි අම්මාගේ දියණිය සාමාන්‍යපෙළ විභාගය යන්තං සමත්ව ගෙදර ඉන්නා අතර දෙදෙනා අතර ඇයි හොඳැයියක් ඇතිවී ඔහු සිය බිරිඳ වීමට කැමැත්තෙන් උන් නැගෙණියද කැටුව සිය ගම්පළාත වූ හසළකින් පලා යන විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකක් වූයේත් නැත.

වෙන්න බිරිඳ සමඟ හසලකින් පළාගිය මහේෂ් තෙල්දෙණිය ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක ලොරියක මුලින් ගෝලයෙකු ලෙසත් පසුව රියදුරා ලෙසත් වැඩ කරමින් හාඩ්වෙයාර් මුදලාලිටම අයිති කුඩා කාමරයක බිරිඳ සමඟම නැවතී උන්නේය. සිය බිරිඳට පළමු දරු ප්‍රසූතියට ආසන්න වනතුරුත් ඔවුන් විවාහ වී නොසිටිය බව දැනගත් මුදලාලි හාමිනේ මැදිහත්ව ඒ කටයුතු පිළිවෙලක් කර දුන්නාය. ඉතා දක්ශ ලෙසත් විශ්වාසවන්ත ලෙසත් රාජකාරී කල මහේෂ් ටික දවසකින්ම මුදලාලිගේ ප්‍රියතම ගෝලයෙක් බවට පත්විය. තෙල්දෙණියේ මුදලාලි බස් රථයක් මිළදී ගත්තේ ඔය අතරයි. හා හා පුරා කියා මුදලාලි මිළදී ගත් බස් රථයේ ප්‍රථම රියදුරා වීමටද මහේෂ්ට හැකිවිය. මහනුවර-හඳුන්ගොමුව අතර ධාවනයට යෙදවීමට ප්‍රථම මුදලාලි ගේ පවුලේ උදවිය හා මහේෂ්ගේ බිරිඳ හා දරුවාද සම්ඟ කතරගම වන්දනාවට ගොස් එන අතර මුදලාලිගේ පෙරැත්තයට මහේෂ් හසළක දෙකේ ඇළ ප්‍රදේශයේ පිහිටි සිය නිවස දෙසට බස් රථය ධාවනය කළේය. 

බරවර්ධන ඔය  අසබඩ පාර අයිනේ අලුත්ම බස් රථය නවතා සිය බිරිඳ හා දියණියද කැටුව තවත් සෙනඟක් පිරිවරා වසර දෙක තුනකට පසුව ගමට එන මහේෂ් දෙස ගම්මු අමුතු වීරත්වයකින් යුතු කුතුහලයකින් බැලීය. සිඟිති දියණියගේ සුරතලයත් මුදලාලි හාමිනේ සහ මුදලාලිගේ මැදිහත් වීමත් තරුණ යුවළ මේ වන විට ලබා තිබූ ප්‍රගතියත් නිසා බිරිඳගේ මව ඉතා ඉක්මණින් මහේෂ් සහ සිය දියණිය සමඟ විරසකය අත් හැරිය මුත් ඇගේ වැඩිමල් සොහොයුරිය වූ මහේෂ් ගේ අම්මා තවදුරටත් නොරුස්නා මුහුණෙන්ම උන්නාය. මුදලාලිගේ මේ කරුණාව උදෙක්ම මහේෂ්ලාගේ යහපත පිණිස නොවූයේ නොබෝ දිනකින් ඇරඹෙන තම බස් සේවාවට අතරමඟ සිටින මහේෂ්ලාගේ ඥාතීන්ගේ සහයෝගය හා ආරක්ශාව ලබා ගැනීමේ යටි අරමුණක්ද සහිත විය. බස් සේවාව ඇරඹී නොබෝ දිනකින්ම මහේෂ් සිය බිරිඳ හා දරුවාද සමඟින් ගමට පැමිණ බිරිඳගේ නිවසේ නවාතැන් ගත්තේය. බස් රථය රාත්‍රීයේ හඳුන්ගමුවේ නවත්වන බැවින් මහේෂ්ට වාහනයක එල්ලී හෝ නිවසට යාමට ඒමට හැක.

"ආ..කොට්ටා..බහින්න..කොට්ටා..ව්.. ඔක්කොම ඉස්සරහින් බහින්න.. කවුරුත් ඉන්නෙපා බස්සෙකේ.. දැම්ම යන්නේ නෑ අපී..ඊ" සිතුවිළි අතර සිරවී මෙතෙක් බස් රථය පදවාගෙන ආ මහේෂ් සමීරගේ හඬින් අවදිව ස්ටියරින් වීල් එක වටා තුන් වරක් අත්දෙක ගෙන ගොස් කොට්ටාව බෝධිය දෙස බලා පස්ස උස්සා ස්ටියරින් වීල් එකට වැඳ බස් රථය කරකවා නැවතුම්පොළට ඇතුල් කලේය. "වෙලා තියෙනව.. දහයයි විස්ස දාගනිං ටයිම්මෙක.. දාගෙන වරෙං යන්න කන්න.. යකෙක් කන්න බඩගිනියි"

*****************************************

මීගමු පාරේ පසෙකට වෙන්නට අතර කල අලුත්ම සුදුපාට ඇලියොන් වර්ගයේ කාරෙයෙන් බැස වත්තල පොලිස් ස්ථානය ඇතුළට ඇවිද ආ සුන්දර තරුණ කාන්තාව හා මැදිවියේ පිරිමියා පිළිගැනීමට සාජන් ජයශංක ඉදිරියට ඇවිත් සිටියේය. 

"මැඩම් ලා කෝල් කරලා ආපු එක හොඳයි. ඕඅයිසී මහත්තය යන්න හැදුවේ මම තියාගත්තා ටිකක්. ඉස්සෙල්ල මහත්තයාට කතා කරලා එන්න" 

"අනේ තැන්කියු මිස්ටර් ජයශංක.. ආ. ඔන්න ඔයාට මම තව හකුරු ටිකක් ගෙනාවා.." යැයි පැවසූ තරුණ කාන්තාව පසුපසට හැරි ඔවුන් පසුපසින් ආ කාන්තාවට යම් ඉඟියක් කලාය.

"ආ.. ඒවා නම් මොනවද.. මෙතන එපා. ඇතුලේ ඔෆිස්සෙකේදි ගන්න බැරිය. සර්ගේ පාර්සල් එක අරගෙන මැඩමුයි මිස්ටර් සෙනෙවිරත්නයි විතරක් යමුකෝ මාත් එක්ක.. ඔය ළමය අතනින් ටිකක් ඉන්න. මම එන්නම්" කියා සාජන් ජයශංක ස්ථානාධිපතිගේ නිළ කාමරයට යාමට ඉස්සර විය.

මුලින් ඇතුළට ගිය සාජන්වරයා නිළධාරියාට ආචාර කොට ඇතුළට එන ලෙස අමුත්තන් දෙදෙනාට හිසින් සන් කළේය. 

"සර්.. මේ අර NIB එකෙන් ඉන්ක්වයර් කරන්න එවලා තිබ්බ මිසින් වෙච්චි ලොරිය අයිති කම්පැණි එකේ..."

"ආ.. යෙස්. මට සාජන් මහත්තය කියුව විස්තරේ. එන්න වාඩි වෙන්න. මොකක්ද මේ නෝනගේ නම?" එළඹ යන මැදිවියේ හුන් ස්ථානාධිපතිවරයා සිය කපටි පෙනුමැති ගිජු දෑස තරුණ කාන්තාව වෙතම යොමු කරගෙන ඇසුවේ ඇගේ රූ සපුවෙන් වශීකෘත වූවෙකු පරිද්දෙනි. කාන්තාව යම් අපහසුතාවයකට පත් වූ බව ඇගේ ඉරියව්වලින් පැහැදිලි වූ නමුත් වහා සිනහවක් උපදවාගත් ඇය

"මම ෂෙලීන්.. මේ ඉන්නේ අපේ මැනේජර් මිස්ටර් සෙනෙවිරත්න. මම හේකිත්ත ලේන් එකේ M.S. Direct Distributors කම්පැණි එකෙන්.." යනුවෙන් කෙටි හැඳින්වීමක් කලේය. 

"සර්.. හොඳ කිතුල් හකුරු තිබුණා එතන. එදා ඉන්ක්වයරි එකට ගිය වෙලාවේ අපිට තේ බොන්න හම්බ වුනා. ඩයබැටික් නිසා සර්ත් තේ බොන්නේ කිතුල් හකුරු එක්ක කියුවම මෙන්න මේ සර්ට හකුරු වගයක් ගෙනත් මේ අය.. මම ඒත් කියුවා සර් බණියිද දන්නෙත් නෑ කියලා" කියමින් සාජන් වරයා සෙනෙවිරත්න මහතා ළඟ තිබූ හකුරු සහ තවත් බොහෝ දෑ අඩංගු යැයි සිතිය හැකි බරැති පාර්සලය ඔසවා ස්ථානිධිපතිවරයාගේ පැති මේසයේ කෙළවරකින් තැබුවේය.

"හොඳ කිතුල් හකුරු නම් ඉතින් කවුරුත් කනවා"යි දෙපැත්ත කැපෙන අසංවර විහිළුවක් කල ස්ථානධිපතිවරයා "ඒත් අපි ඕවා බලාපොරොත්තු වෙන්නේ නෑ. රාජකාරිය තමයි වැදගත්" කියා තරුණ කාන්තාව දෙස යළිත් බලා හොඃ හොඃ ගා හිනාවක් නැගුවේය. ඉන්පසු උගුරේ රැල් බුරුල් හැර ගැඹුරු හඬකින්

"දැන් මොකද ලොරියටයි ගෝලයාටයි වෙලා තියෙන්නේ? තාම ආවේ නැද්ද? සාජන් ජයශංක අපේ රිපෝට් එක යැව්වා නේද බුද්ධි කාර්‍යාංශයට? AS මහත්තයාටයි DIG මහත්තයාටයි පිටපත් කලානේ"

"ඔව් සර්, ඊයෙම යැව්වනේ"

"එතකොට ඔය නෝනලා ආවේ?"

"මම කියුව සර් ඇවිත් පැමිණිල්ලක් දාන්න කියල අනිත් ලොරි ටික ඔක්කොම ආවට පස්සේ මේ වාහනෙයි රියදුරායි ආවේ නෑ කියල.. එතකොට මෙයාලටත් හොඳයි. අපිටත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පැමිණිල්ලක් තියෙනවානේ සර්"

"ඔව්. ඒක හොඳයි. එහෙනම් ඔයාල පැමිණිල්ලක් දාල යන්න. අපිට ලැබන තොරතුරක් තිබ්බොත් අපි දන්වන්නම්. සාජන් ජයශංකත් එක්ක සම්බන්දතාවය දිගටම තියාගන්නකෝ"

******************************************************

දහයයි විස්සේ ටර්න් එකට කොට්ටාවෙන් ඇද්දවූ බස් රථය තිඹිරිගස් යාය හරියෙන් පසු වෙනදාට වඩා හෙමින් ගමන් කරන බව සමීර නිරීක්ශණය කලේය.. අතරමඟ හෝල්‍ට් එකකදී ඉදිරි දොර වෙත දිව ආ සමීර 'මහේෂයිය ඇදලා යමං.. ෂේප්.. 12ට කලිං හරවන්න පුලුවන්'ය කියූවට මහේෂ් 'හ්ම්' කියුවා විනා වේගය වැඩි කල බවක් දක්නට නොලැබිනි. මැලේ වීදිය හරියේදි පසුපසින් ආ හෝමාගම බසය හෝන් එකක් ගසා මහේෂ්ලාව පසු කරමින් ඉදිරියට ගියේය. වෙලාව බැලූ මහේෂ් 'තව විනාඩි පහළොවක්' කියා තමාටම කියාගෙන වටපිට බලා සමීර අහල පහල නැති බව වටහාගෙන සිය අඩුම කුඩුම බෑගයේ තිබූ කුඩා ජංගම දුරකතනය ගෙන එය පණ ගන්වා උඩ සාක්කුවට ඔබා ගත්තේය. 

කොටුව බෝ ගහ යටින් සියළු දෙනා බස්සවා බැස්ටියන් මාවතෙන් බසය හරවා ගත් මහේෂ් දොළහට විනාඩි පහක් පමණ වෙද්දි කොටුව ස්ටේසම ආසන්නයට බස් රථය රැගෙන ආවේය. 

"සමීර වරෙන්. මේක ගනින්. ටික ටික ඉස්සරහට ගනිං. හදිසියක් නෑ. මම බොගක් දාලා එන්නං. පාලම පන්නන්න එපා ලියනවා..'' කියා සමීරට සුක්කානම පවරා බස් රථයෙන් බැස මාර ගස් හෙවනේ වූ පෙට්ටි කඩයට ගොඩ වැදී සිගරට්ටුවක් දල්වා ගත්තේය. වෙලාව හරියටම දොළහයි එකය. 'ඩ්‍ර්‍ර්‍ර්‍ර්‍රර්ර්ර්..' හඬක් නගමින් වයිබ්‍රේට් වූ දුරකතනය අතට ගත් මහේෂ් එහි සඳහන් වූ අංකය දෙස හොඳින් බලා කෝල් එක කට් කර දැමුවේය. තවත් තත්පර තිහකට පමණ පසුව නැවත එම අංකයෙන්ම ඇමතුම ආ හෙයින් උරමින් සිටි සිගරට් කොටය බිම දමා පාගා දැමූ හේ ඇමතුමට සම්බන්ද වී මිනිසුන් රැඳි ඉසව්වෙන් මදක් ඈත් මෑත් විය. 

'හෙලෝ'

"කෝල් සයින්"

"ඇල්ෆා රෝමියෝ"

"නියමයි කොල්ලෝ.. නියමයි. උඹ වැඩේ තිතටම කරා. මුත්තවර් උඹව සෑහෙන්න ඇප්‍රිශියේට් කරා. උඹ කිසිම කරදරයක් කරෙත් නෑ. ප්‍රශ්ණයක් ඇහුවෙත් නෑ කියල. ජයියගෙ රෙකමන්ඩේශන් එක හරියටම හරි උඹ ගැන"

"හ්ම්" 

"මොකද උඹ කතා නැත්තේ? උඹට සෙට් නැද්ද වැඩේ?"

"නෑ. එහෙම එකක් නෑ... කියන්න... මම කැමතියි"

"රයිට්, අනිද්දා සෙනසුරාද තියෙනවා ලොකු වැඩක්.. උඹ හෙට හවස දෙක වෙද්දි යන්නෝනි කොළොන්නාවෙ තෙල් ගබඩාවට. හෙට එතන උඹව රෙජිස්ටර් කරනව බවුසර් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. රෙජිස්ටර් කරන්න කලින් උඹේ අයිඩෙන්ටි ලයිසන් ගන්න මුත්තවර් උඹට කෝල් කරයි. මුත්තවර් කොළඹ ඉන්නව. හම්බ උනාම වැඩේ වෙන විදිය උඹට කියයි. මේක ටිකක් අමාරු වැඩක්. අමාරු කියන්නේ.. වැඩේ එක දවසින් ඉවරයි. ආපහු විත්ඩ්‍රෝ වෙන්න දවසක් දෙකක් යයි. පොඩ්ඩක් පයින් කැලේ මැදින් එහෙම එන්න වෙයි. මුත්තවර් ගේ උන් ඒවා ඔක්කොම ඇරේන්ජ් කරයි. උඹ කෝකටත් අමතර ඇඳුමක් දාගෙන පලයන්. අනිත්වා පෙර පරිදිමයි. මතකනේ. හෙට යද්දිවත් අනිත්දා යද්දිවත් අඳුන ගන්න පුලුවන් කිසිම දෙයක් ගෙනියන්නේ නෑ. මුත්තවර් දෙන එකක් විතරයි. තේරුණානෙ?"

 "ඔව්. තේරුණා"

"හරි. ගුඩ් ලක් පුතා.. හෙට එක වෙද්දි කෝල් එක එයි ෆෝන් එක ඔන් එකේ තියාගනිං."

"හරි"

***************************************************

"හරි.. යමං.. ඇදල ගියොත් එක හමාරට නුගේගොඩින් ස්කූල් ක්‍රවුඩ් එක ගහතෑකි.."

"ආ.. නගින්න.. හොඳේක.. දිගේක.. වේගෙන් යනේක.. ඔට්ටා..ඔට්ටා..ඔට්ටාව්...අ" 

"ආ.. ඕම නගින්න.. ගෙඩවෙන්න..ගොඩවෙන්න.. ටවුනෝල්.. කිල්ලපන.. නුගේ..ඩ..මාරගම..ඔට්ටා..ඔට්ටා..ඔට්ටා...ව්..අ" 

****************************************

හමුවෙමු පස්වෙනි දිගහැරුමෙන්..

- ක.මි.

29 comments:

  1. අද ආරම්භයටත් අවසානයටත් කැමති.එක මරු.
    හොදේක දිගේක වේගයෙන් යනේකට අපි කැමති 😏🏃

    මේ කතාවටත් එහෙම හොදේක දිගේක වේගෙන් යනේක වෙනව හරි.

    මහේශ් මොන වගේද කියල අද්ත් හිතගන්න බැරිඋනා

    ReplyDelete
    Replies
    1. //හොදේක දිගේක වේගයෙන් යනේකට අපි කැමති// ඕ.. කවුරුත් කැමතිනේ.. ඉඩ පාහසුකම් ඇතුව ඉක්මණින් ගමණක් බිමනක් යන්න..

      //මහේශ් මොන වගේද කියල අද්ත් හිතගන්න බැරිඋනා// තාම කොටස් හතරනේ.. තව ටිකක් ඉවසමු

      Delete
  2. තැනට ඔබින බස් වහර, සිදුවීම් පෙළගස්වන ආකාරය සුපිරි....

    ReplyDelete
  3. එළ කොල්ලෝ එළ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි (කොල්ලා කිව්වටත් එක්කම) 🙏

      Delete
  4. හ්ම්... අද කොටස යම් කිසි මට්ටමකට පාඨකයා ගේනවා. මට මතක් වුණේ එක පාරට ම, අර කමල් හසන්ගෙ ෆිල්ම් එකක් තිබුණා... පොඩ්ඩක් මතක් කරල නම හොයල දාන්නං.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=KVj70Iv58T0

      Delete
    2. අම්මෝ.. පැය තුනක විතර පිලුමක් නෙහ්? බලන්න ඕනි නිවිහැනහිල්ලේ.. තැන්ක්ස් බ්‍රෝ.. 🙏 උඹ කියුව වගේ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට පැහැදිලි කර කර යන්න බෑ මේවා. බිග් පික්චර් එක හදා ගන්නෝනි පාඨකයා.. කතාව රහ වැටුණ එකා ඒක ගලපගන්නව කලින්ම

      Delete
  5. මරු මරු.. දැන් තමයි ටික ටික තේරෙන්න ගන්නේ..

    ReplyDelete
    Replies
    1. එක ටිප් එකක් දෙන්නම්. තාම කතාවේ පොඩි එකම එක සිදුවීව්මක් විතරයි ලියුවේ. ආ.. දෙවෙනි එකකට අඩිතාලමක් දැම්මා මේකේ අන්තිම කොටසේ.
      තෑන්ක්ස් බ්‍රෝ 🙏

      Delete
  6. වියමන රහයි, එක එක රසයන් ගෙනෙන
    නෙක නෙක පුවත් සිහියට නංවා ගෙනෙන.
    ඊළඟ කොටස තෙක් ඉවසා දරාගෙන
    බලා හිඳිමි නොපමාවම කියවන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදි බොස් 🙏

      Delete
  7. 'මහෙෂ් විවාහ වූයේ ඔහුගේම පුංචි අම්මාගේ දියණියක සමඟ වූ හෙයින් ඒ විවාහයට දෙපසින්ම තදින් විරුද්ධ විය'.

    ඉහත චේදය මගින් අනුර කුමාර සහෝදරයාට අපහාසයක් සිදුවන බැවින් එය ඉවත් කරන මේන් දන්වා සිටිමු

    ReplyDelete
    Replies
    1. ගම් වල බොහොම සාමාන්‍ය කතා ඕවා.. කවුරුවත් සිරා ගන්න ඕනි නෑ 😁

      Delete
  8. කක්කුස්සියේ රජවරු
    බොක චන්දන

    ReplyDelete
    Replies
    1. රෙන පුකට මොන කැටයම් ද නේ බං? 😁

      Delete
  9. හොඳේක.. දිගේක.. වගේම වේගෙන් යං අතරමග නවත්තන්නැතුව.
    එල. (ද බ්‍රා එක මෙන්ඩ ඇවිල්ල දායි. හැක්..)

    ReplyDelete
    Replies
    1. මඟ බ්‍රේක්ඩවුන් එකක් වෙන්න කලින් පුලුවන් දුරක් යන්න තමයි ප්ලෑන 😁

      Delete
  10. නාවූක හමුදාවේ රියදුරු( හිටපු ) විශ්‍රාමික සිවිල් සා සේ දෙක බල නැවි එක නාවික විධානය උතුර ඩිංගි යාත්‍රාව

    ReplyDelete
  11. අර ප්‍රයිවෙට් බස් දෙබස් ටික මසුරං. 🙏👌🤣

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. 😍🙏 සමහරවිට අද කොටසෙන් පස්සේ බස් දෙබස් නැත්තටම නැති වෙන්න ඉඩ තියෙනවා..

      Delete
  12. සෑහෙන වේගෙන් ලියනවනේ . නිදි ගෙන් බෝවුනද මන්ද. මේ කෑල්ල හොඳයි

    ReplyDelete
    Replies
    1. 🤭😁 නිදි තමයි ඇහැරුවේ.. ආයේ නින්ද යන්න කලින් ලියපු තරමක් නේ..

      Delete