Wednesday, 17 May 2017

සොයා සොයා ආවා මා සෙව්ව මැණිකක් හම්බුනා.. Cut a Diamond with a Diamond!

මහ සිංහරාජ වනන්තරේට යාබද රූණ කන්ද රක්ෂිත වනයට මායිම් වුන අපේ ගම පස්යොදුන් කෝරලේ, නැගෙනහිර මායිමේ, සබරගමුව,දකුණු පලාත් වලට මායිම්වයි තියෙන්නෙ. සමන් දෙවියන්ට අයිති සබරගමුවෙ මායිමේ ඉන්න අපේ ගමට මැණික් ගැරීමේ පුරුද්දත් ආගන්තුක උනේ නැහැ. ගමේ බොහෝ උදවිය මැණික් ගැරීමට සම්බන්ද වුනා. මැණික් ගැරීම ගමේ සිද්ද උන තැන පුවක් දොල. පුවක්දොල හරක්ගැටගැහු හේනට එහා බොල්ලුන්න කඳුකරේ ඉපදිලා, පහලට ඇදී ගල්ලනවිල කුඹුරුයාය දිගේ ඇවිත්, ජනපද මාර්ගය පහු කරල, ගල්ගොඩවල් මැද්දෙන් ආපහු තැන්නකට බහින්නෙ සුදු වැලි පොතට. සුදුවැලිපොත තැන්නෙදි බොරලුගොඩ පාර පැනල ටික දුරක් ගිහින් අතලෙ වෙලට පල්ලම් බැහැල වෙල දිගේ ගිහින්, අතලෙ බාඳුරාගෙදර ලඟින් මගුරු ගඟට එකතු වෙන්නෙ පරිණත ඇලක් හැටියටයි.
මේ ගමනෙදි කදුකරෙන් එක්කාසු කර ගන්න මැණික් කැට ටික ආරක්ෂාවට හංගගෙන තියෙන්නෙ සුදුවැලිපොත තැන්නෙ. මේක ගැන කල්පනා කලහම මට හිතෙන්නෙ පුවක්දොල කියන රූමත් ලලනාව මගුරු ගඟ කියන ස්වාමියා හොයාගෙන යන ගමනෙදි තමන් සතු වටිනා මැණික් කැට ටික සුදුවැලිපොත කියන නෙරිපොටේ හංගාගෙන ඉන්නේ කියලයි. කොහොමහරි මේ නෙරිපොටේ තියෙන මැණික් ටික සොයාගන්න අපේ උදවිය පුවක්දොල පීරුවා. ඇලොන් මාම, සුමනෙ අයිය, තැපැල් මහත්තයල, ලක්ෂමන්ල, බන්ඩාරායියල, මහතුන් අයියල වගේ කවුරුත් මේ වැඩේට සම්බන්ද උනා. මේ මැණික් ගැරිල්ලට ආපු ඇලොන් මාමගෙ මිත්‍රයෙක් උන තොටලඟ හාමු මහත්තය මාමගෙ ඉල්ලීමට හදවපු බුදු පිලිමෙ තමා අදත් පුවක් දොලේ බෝධිය ලඟ තියෙන්නෙ. කාටකාටත් මේ මැනික් ගැරිල්ලෙන් වාසි උනා. ගම ඇතුලෙ මැණික් ඇති ප්‍රධාන තැන පුවක්දොල බවයි කාගෙත් අදහස උනේ.
තවත් විශේෂ මැණික් ගැරිල්ලක් කලේ අපේ නුගකඳ ගුණදාස අයිය....
ඔහොම හිටපල්ලා.. ඒවා එහෙම ලේසියෙන් කියන්න බෑ.. පොඩ්ඩක් මගේ කතාවත් අහල ඉන්න ඕනි.. අනික මේක අගේ කරලා කියන්න ඕනි කතාවක්.. මටත් ඔත්තුව දුන්නේ තරුරසි.. ලින්ක් එකේ ගිහින් එකක් කියෙව්වා.. දෙවෙනි එකේ බාගෙට කියවද්දි හිතුනා අනිත් උන්වත් එකතු කරගෙනම කියවන්න.. මේක එසේ මෙසේ පන්හිඳක් නෙවෙයි.. දිසාපති කෙනෙක්ගේ පන්හිඳක්.. හැබැයි අපි කැමති අර අව්‍යාජ නොස්ටල්ජියාව තමයි දොරේ ගලන්නේ.. කියෙව්වොත් වහ වැටෙනවා ෂුවර්..
ඔන්න එහෙනං මෙතනින් ගිහින් අනිත් ටික කියෝලා දිසාපති පන්හිඳ තව තව ලියවන්න බල කරපල්ලා.. කියවන අපිට ජයවේවා!

Tuesday, 16 May 2017

රැන්සන්වෙයාර්? මොන හුයන්නක්ද යකෝ මේ? Ransomware? wtf?

මං දන්නා කොම්පීටර් ජිල්මාට් එකක් නෑ.. ඒත් මේ දවස්වල හැමෝම කතා වෙනවනේ මොකක්ද කොම්පිටරේට බෝ වෙන්න පුළුවන් වයිරස් උණක් ගැන.. මාත් පොඩ්ඩක් විමසිල්ලෙන් හිටිය.. ඔය අතරේ අපේ ඉටිකිරිස් සෙකට්‍රි නෝනා අපි හැමෝටම මේල් එකක් එවල.. බැලුවම ඒකෙ තියෙන්නේ මේ ගැන.. අම්මප.. පැහැදිලි සිංහලෙන්ම සංසිද්දිය කියල.. මුන්දට කොහොමද යකඩෝ මෙච්චර දැනුමක් කියල බලද්දී තමයි දැක්කේ. මේක එවල තියෙන්නේ අපේ කොම්පැණියේ කොම්පීටර් සර්විස් කරන්න යවන තැනින්.. ඒකලා මොක උනත් සෑහෙන්න මහන්සිවෙලා හොඳටම කියල දීල තියෙන නිසාත් අන්තිමට යාළුවො යාළුවො අතරේ බෙදා ගන්න කියලත් කියල තියෙන නිසා ඔන්න අලෝනවා බ්ලොග් එකේ.. කොම්පීටර් වැඩ ඇලජික් එහෙකුට උනත් තේරෙනවා.. ඒක නිසා කියෝලා බැලුවට පාඩු වෙන එකක් නෑ. 
මහන්සිවෙලා මේක ලියල එවපු AJS කොම්පීටර් කඩේ කොල්ලොන්ට මගේ බලවත් මෙව්වා එක.. ඔන්න එහෙනම් ඒ කතාව.
රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.

Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්. අපගේ ෆේස්බුක් පිටුවේ ගොඩක්දෙනා අහලා තිබුණා මොකද්ද මේ වයිරස් එක
මින් සිදුවන බලපෑම කොහොමද කියලා. අපේ රටේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මගින්ද විනාඩි කිහිපයක් මේ සම්බන්ධව වෙන් කරලා තියනවා ඔබ දකින්නට ඇති. ඉතින් මේගැන හරියටම දැනගන්න මෙම ලිපිය කියවන්න.

Ransomware 
කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස්Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළRansomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.

පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. 😲 සරලව Ransomware එකක ක්‍රියාකාරීත්වය තමයි ඔය විදිය.

මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 🤓

01. 
Encrypting ransomware.

මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.😓

02. 
Locker ransomware / Master Boot Record (MBR) ransomware.

මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි. 😒

                    සියලුම Microsoft Windows සංස්කරණවලට මේRansomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා. මෑතකදී මේ විදියට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ. 😱 සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා. මේ වෛරස් එකෙන් ගොඩක්ම අලාබහානි වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට.. අද දවස ඇතුලත බ්‍රිතාන්‍ය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිම විදියක සේවයකට පරිගණක යොදාගන්න බැරි වෙලා තියනව.. ඒ වගේම රුසියාවේ දෙවන ප්‍රධාන විදුලි සංදේශන සේවය වන Megafon ආයතනයත් මේ වනවිට Ransomware වෛරස් එක ආසාධනය වෙලා තියනවා. 🤔

අපිට තිබෙන ගැටළු කිහිපයක් සහ රීට පිළිතුරු බලමු.
  1. වෛරස් ගාඩ් වලින් Ransomware අල්ලන්නේ නැද්ද ?
  2. අදාළ මුදල් Payment කරන තැනින් මේක කරන අයව අල්ලගන්න බැරිද ?
  3. අපිට Decryption Key එක හොයාගන්න විදියක් නැද්ද ?
  • මේ වෛරස් එකට නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ නිසාම Antivirus Programවලින් Detect කරගන්න හරි අමාරුයි.  
  • වෛරස් එක කප්පම් ඉල්ලන්නේ Bitcoin කියන Crypto-Currency එකෙන්.Credit Card, Pay-pal වගේ ක්‍රමයකින් මුදල් ඉල්ලනවා නම් ලේසියෙන්ම මේක කරන අයව කොටු කරගන්න පුළුවන්. නමුත් Bitcoin වලින් ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවලට සම්බන්ධ වන කාගේවත් අනන්‍යතාව කාටවත් හොයාගන්න පුළුවන්කමක් නෑ. 😏
  •  Decryption Key එකටත් මම කලින් කිව්වා වගේ නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ වගේම කිහිප වරක් විවිධ Decryption Keys යොදාගෙන unbreakable encryption එකක් හැදෙනවා. ඒ නිසා Decryption Key හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් මේ වනතුරු කාටවත් හොයාගන්න බැරි වෙලා තියනවා. 😏

අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ?
  • Ransomware වලින් ගැලවෙන්න තියන "හොදම ක්‍රමය" වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පරිගණකය Ransomware වලට ආසාධනය වුනොත් අපිට අපේ වැදගත් දේවල් ටික තියනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන්.
  • ඒ වගේම මේ දවස්වල Software වගේ දේවල් අන්තර්ජාලයෙන් ගන්න එපා. Torrents භාවිතා කරන එකත් අඩු කරන්න. Virus බෙදාහැරීමේ ක්‍රමවලින් ඉස්සරහින්ම ඉන්නේ Torrent හරහා වෛරස් බෙදාහැරීම.
  • Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න.. Ransomwareවෛරස් එක නිශ්චිතව හදුනාගන්න බැරි වුනත්, අදාළ Programs වල හැසිරීම් රටාව බලලා ඒවා Detect කරගන්න පුළුවන්කමක් Antivirus Programවලට තියනවා. (Behavior-Based Detection) 
  • තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න.. එතකොට Ads ආකාරයෙන් බෙදාහැරෙනRansomware ක්ලික් කරන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්.
  • ඒ වගේම Office, Public WiFi Networks වගේ තැන්වල තියන පොදු ජාල(Networks) වලට තමන්ගේ Device සම්බන්ධ කිරීමෙන් හැකිතාක් වලකින්න. තමන්ගේ පරිගණක ජාලයට සම්බන්ධවෙලා තියන වෙනත් ඕනම Device එකකට Spread වෙන්න Ransomware වලට පුළුවන්. 

  • කෙටියෙන්ම කිව්වොත් අපට Ransomware එකක් Infect වුනාට පස්සේ කරන්න දෙයක් නැහැ, Ransomware එකක් ආසාධනය වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරි දවස් කිහිපය තුලදී ඉන්ටර්නෙට් එකේ වැඩ කරනකොට ටිකක් සැලකිල්ලෙන් ඉන්න.. නොහිතන ඕනම වෙලාවක මේවා අපේ පරිගණකවලටත් ඇතුල් වෙන්න පුළුවන්. යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.

Friday, 5 May 2017

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක.. War, it ain't nothin' but a heartbreaker - 3

මේක ලියන්න ගත්තේ පහුගිය අවුරුද්දේ මැයි මාසේ.. ඒ උනාට ලියන්න බැරි උනා.. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ ඉතිං. මේකේ දෙවෙනි කොටස විදියට එකක් ලියුවත් ඒකෙ මුලින් කියන්න බලාපොරොත්තු වෙච්චි කතාවට අදාලව කිසිම දෙයක් ලියවුනේ නෑ.. එකත් ඉතින් බොහොම සාමාන්‍ය දෙයක් තමයි.. බලමු අදවත්..

2001 අප්‍රේල් මාසේ අවුරුදු දවස්වල අපි හිටියේ කන්කසන්තුරේ.. එතකොට මම P 495 ඩෝරා එකේ දෙවෙනියා.. මගේ ලොක්ක උනේ ලුතිනන් කමාන්ඩර් රජීව් සේනාරත්න.. ඔහු ගැන වෙනම ලියන්න ඕනි.. රජිව් සර් මුලින්ම ඩෝරා එකක OIC කෙනෙක් වෙලා ආවේ එතකොට මම දෙවෙනියා විදියට හිටපු P 442 ඩෝරා එකට.. රියර් අද්මිරාල් සින්නයියා තමයි ඒ කාලේ ඩෝරා බලඝණයේ අණ දෙන නිලධාරී හෙවත් CO. පස්සේ රජිව් සර් 495 ඩෝරා එකට මාරු වෙලා යනකොට මාත් ඒ එක්කම ඒකට ගියා. 495 එක MSIS (Multi-sensored stabilized integrated System) කියන වෙපන් සිස්ටම් එකත් එක්ක කපල් කරපු මි.මි. 23 Typhoon වර්ගයේ ප්‍රධාන අවියක් සවි කරපු ඒ දවස්වල විදියට නවීනතම යාත්‍රාවක්.. Attack එකක් වෙලාවට ඒ වෙපන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ ඩෝරා එකේ දෙවෙනියා.. ඉතිං සාමාන්‍යයෙන් ඒ වගේ ඩෝරා එහෙකට තව අමතර නිලධාරියෙක් (3rd Officer in Command- 3IC) කෙනෙකුත් ඉන්නවා. අපිත් එක්ක හිටිය 3IC මගේ ජුනියර් බැච් එකේ.. බලපිටියේ සොයිසා කෙනෙක්.
A fully equipped Ultra Fast Attack Craft (UFAC) with MSIS and Typhoon
MSIS with Day vision Camera, Night Vision Camera and Laser range finders etc.

A MSIS turret fitted on a ship mast 

Attack එකක් වෙලාවට ඩෝරා එකක මේ OIC- 2IC සම්භන්දතාවය හරිම වැදගත්.. අනිත් crew එකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් වැදගත්.. නමුත් attack එකේ scale එක හා OIC ගේ tactical maneuvers ගැන හොඳම විව් එක තියෙන්නෙත්, ඒ අනුව ප්‍රධාන අවිය හසුරුවන්නෙත්, සෙසු අවි හැසරවිම සඳහා උපදෙස් දෙන්නේත් (Gun Comm හරහා) දෙවෙනියා නිසා මේ අවබෝධය crucial. කාලය බොහොම සීමිතයි ඒ වගේම ගොඩක් කතා කරන්න කියන්න ගියාම පැටලෙන්ඩ, වරදින්න හා පැනික් වෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා attack එකක් වෙලාවට අපි දෙන්න කතා කරන්නෙම නැති තරම්.. එක බැල්මකින් නැත්නම් වීල් එක හසුරුවන කෙනාට දෙන ඕඩර් එකකින් එහෙමත් නැත්නම් එක 'කුණුහරුපයකින්' ඊළඟ ඇක්ෂන් එක මොකක්ද වෙන්න ඕනි මොකක්ද කියල දැනගන්න පුළුවන්..

වතාවක් අපි පොයින්ට් පේදුරු මුහුදේ පැට්‍රොල් එක තව එක ඩෝරා එකක් එක්ක.. එතකොට නාගර්කෝවිල් වලට එනකම් කොටි ලයින් එක.. නාගර්කෝවිල් වලට පොඩ්ඩක් උඩින් මනල්කාඩු වල අපේ තිබ්බ අන්තිම ඩිෆෙන්ස් ලයින් එක.. මුහුදෙන් ගොඩ බිමට කිට්ටු කරන්න පුළුවන් මනල්කාඩු හරියට විතරයි.. ඊට පහලට ගිහින් ලං උනොත් ගොඩබිම තියෙන MBT වලින් කන්න වෙනවා.. ඔය පේදුරුතුඩුව ට එළියෙන් මුහුදේ එක දිගට ගල් වැටියක් තියෙනවා හැතැක්ම හතරක් 5ක් ඈතින් ගොඩබිමට සමාන්තරව.. ඉතින් ඔය ගල් වැටියට ඇතුලෙන් ගොඩබිමට කිට්ටුව අපි ඩෝරා දෙක ඉහල පහල යාත්‍රා කරමින් නාගර්කෝවිල්, වෙත්තිලකර්නි, චලෙයි, චුන්ඩිකුලම් ඉඳල මුලතිව් වෙනකම් මුහුද දිහා ඇහැ ගහගෙන ඉන්නවා.. ඇහැ කියුවට රේඩාර් එක තමයි ඉතීම්..

ඔහොම ඉද්දි දවසක් නාගර්කෝවිල් සහ වෙට්ටිලකර්නි වලින් එකදිගට කොටි බෝට්ටු මුහුදට දාන්න ගත්තා.. සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ මුලතිව් හෝ චලෙයි පැත්තට ආයුධ හෝ වෙනත් භාණ්ඩ අරගෙන බෝට්ටු එන්න තියෙන වෙලාවට අපේ අවධානය වෙනස් කරන්න එහෙම.. ඒ වගේ වෙලාවට උන් කරන්නේ ගොඩබිම ඉඳල හැතැක්ම 5-6ක් එලියට ඇවිත් වටේ පිටේ තියෙන ඩෝරා ටික එතනට ගෙන්නාගෙන සෙල්ලමක් දාන එක. අපි අහුවෙයි ඕවට.. ඒත් එදා බෝට්ටු එහෙම ගොඩබිමින් එලියට ආවේ නෑ. ගොඩබිමට කිට්ටුවෙන්ම එක ළඟ ගුලියක් වගේ පේනවා මිසක් රේඩාර් එකෙන් පැහැදිලිව පෙන්නේ නෑ.. අපි මේ ගැන උතුරු නාවික විධානයේ ආඥාපති තුමාව දැනුවත් කරාම එතුමා අවශ්‍ය කටයුතු කරලා හදිසි අවස්ථාවකට සුදානම් කරා මුළු නාවික විධානයම සැනෙකින්.. එතකොට එදා ශක්ති සහ තවත් නැවක් ට්‍රින්කෝ වල ඉඳල KKS වලට එමින් තිබුනේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා හමුදා සාමාජිකයෝ අරගෙන.. සමහරවිට මේ ඒ නැව් වලට පහරදීමකට සුදානමක් ද නොදන්නා නිසා ඒවාටත් මේ ගැන දැනුම් දීලා අවශ්‍ය සුදානම් වීම කරලා තිබුනා. ඒ වගේම අපේ උදව්වට තව ඩෝරා යාත්‍රා කිහිපයක් පේදුරු තුඩුව මුහුදුටත් යාත්‍රා කරමින් තිබුනා..

නමුත් එදා මේ සිටුවේෂන් එක ගැන මටවත් රජිව් සර් ටවත් සෑහීමකට පත්වෙන්න බැරි උනා. එතන ඊට වඩා යමක් සිදුවෙන බව අපිට වැටහෙමින් තිබුනා.. මේ වෙනකොට action station හෙවත් සියලු දෙනා තම තමන්ගේ අවි ආයුධ වලට වෙලා පුර්ණ යුධ අවස්ථාවකට සුදානමින් හිටියේ.. මමත් ගන් කම්පියුටර් එක ඉස්සරහා වාඩිවෙලා MSIS කැමරාවෙන් කොටි බෝට්ටු පැත්ත නිරීක්ෂණය කරන්න උත්සාහ කරාත් ඉර බැහැගෙන යන වෙලාවේ දකුණ/ බටහිර පැත්ත බලන්න තියෙන අමාරුව නිසා පැහැදිලි පින්තුරයක් ගන්නත් බැරුව හිටියේ.. රේඩාර් යන්ත්‍රයත් කැමරා මොනිටර් එකත් දිහා මාරුවෙන් මාරුවට බල බල හිටපු OIC එකවරම 'Steer south- වන්-එයිට්-සීරෝ' කියල එන්ජිං දෙකම ස්පීඩ් අප් කරා.. මම දන්නවා මේ යන්නේ කොටින්ගේ මුහුදු සීමාවට මේ ගැන පැහැදිලි විස්තරයක් බලා ගන්න කියල.. ඉතින් මමත් හැකි ඉක්මනින් කැමරා එක නාගර්කෝවිල් මුහුදු සීමාවට මානාගෙන සුදානම් උනා.. අනිත් ඩෝරා එක මනල්කාඩු වලට එළියෙන් නතර කරලා අපි මුහුද අයින දිගේ නාගර්කෝවිල් පැත්තට ගියා.. කොයි වෙලාවේ MBT එන්ගේ ජ් කරයිද නම් දන්නේ නෑ..

ගියා තමයි.. අම්මට සිලි වෙනවා.. එක පොකුරට බෝට්ටු විස්සකට වැඩියි මුල් cluster එකේ. දහයක් විතර හෙන පත සයිස් Attack craft. ඩෝරා එහෙකට වැඩිය ඕනිනම් පොඩ්ඩක් පොඩි ඇති. තව පොඩි බෝට්ටු කිහිපයක් හා suicide craft කීපයක් ඒ අතර.. අපි එන වගේ වගක් නැතුව උන් එක cluster එකට මුහුද අයිනෙම්ම පේදුරු තුඩුව පැත්තට එනවා හෙමි හෙමීට.. අපි ඒ බෝට්ටු පහුකරලා තව පහලටම ගියා.. එතනත් ඒ වගේම cluster එකක්.. වේගෙන් උඩට එනවා පලවෙනි group එකට සෙට් වෙන්න බලාගෙන වගේ.. පුදුමේ කියන්නේ මේ ගෘප් දෙකෙන් එකක්වත් එහෙම නැත්නම් ගොඩ බිම ඉඳලාවත් තනියම උන්ගේ රේන්ජ් එකට ගිය අපේ ඩෝරා එකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. අපි මේ විස්තරත් ඔක්කොම ඉහලට දැනුම් දීල ආපහු හරවාගෙන මනල්කාඩු ඉස්සරහට ඇවිත් අපේ යුනිට් එක්ක එකතු උනා. ඒ වෙනකොට අපේ ඔක්කොම ඩෝරා 6ක් විතර.. MSIS හයි කරපු නයිට් ෆයිටින්ග් වලට ගැලපෙන ඒවා තිබුනේ තුනක් වගේ.. තව ට්‍රින්කෝ වලින් හා මැනාර් සයිඩ් එකේ තිබ්බ ඩෝරා කිහිපයක් අපිත් එක්ක එකතුවෙන්න එන ගමන්.

අපි ලයින් එකක් හදල මනල්කාඩු වලට ටිකක් පහලට වෙන්න බැරියර් එකක් ෆෝම් කරා. ටික වෙලාවකින් එනමි ක්ලස්ටර් දෙකම එකතු වෙලා තනි යුනිට් එකක් වෙනවා අපි බලාගෙන.. ඊට පස්සේ හෙමි හෙමින් උඩට එනවා.. අපි මුලින්ම මේ ගෘප් එකට එන්ගේජ් කරනකොට කළුවර වැටෙන්න ඇවිත්. ඒ වෙනකොට අපි දෙගොල්ලම PPD චැනල් එක ඇතුලේ .. කලින් කියපු ගල් පරය නිසා අපිට බෝට්ටු හරවන්න පුළුවන් බොහොම සිමා සහිතව.. ඒ වගේම මෙතැනදී enemy අපිව out number කරනවා වැඩි බෝට්ටු ප්‍රමාණයකින්.. නමුත්, surprisingly, අපි attack කරනකොට උන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙඩි තියනවා මිසක් අපිට ඇටැක් කරන්න මහන්සි වෙන්නේ නෑ. දිගටම උන්ගේ ටාස්ක් එකට යනවා විතරයි.  මේක හරිම වොරියින්ග්. මේ විදියට ටිකක් වෙලා යනකොට මුන්ගේ movements වලින් සහ intelligence වලින් අපිට තේරුනා මුන් මේ යන්නේ KKS හාබර් එකට කියල..

හාබර් එක ඉස්සරහ MV Ruhunupura නැව ඇන්කර් කරලා unloading කරනවා.. වැරදිලා හරි රුහුණුපුර ට සුවිසයිඩ් එකක් ගහල හාබර් මවුත් එකේ ගිලුනොත් KKS හාබර් එක ඉවරයි. KKS හාබර් එක ඉවරයි කියන්නේ යාපනේ ඉවරයි.. බොහොම සිම්පල් විදියට එහෙම හිතුවට මේක මහාම මහා බයානක අවස්ථාවක්.. පොයින්ට් පේදුරු වලින් හැරුනාම KKS හාබර් එකට තියෙන්නේ හැතැක්ම දොළහයි. සුවිසයිඩ් බෝට්ටුවකට එක ඩෑෂ් එකෙන් රීච් කරන්න පුළුවන් විනාඩි 15ක් ඇතුලත.. ඒ කියන්නේ මේ ගෘප් එක තව හැතැක්ම 3-4ක් මෙහෙම ගිහිං පොයින්ට් පේදුරු වලින් ටර්න් කරාම මුන්ගේ මේ සියලු ටැක්ටික්ස් වෙනස් වෙනවා.. එක ටීම් එකක් ඩෝරා එක්ක එන්ගේජ් වෙයි. අනිත් ටීම් එක කෙලින්ම KKS පැත්තට අදියි.. ගියෝත්නම් පුතා ලොවෙත් නවත්වනවා බොරු..!

අපි ආයිම වතාවක් ඕගනයිස් වෙලා attack run එකක් කරා.. ඒත් බෝට්ටු තිහකට වැඩිය තියෙන හොඳට ඔගනයිස් වෙලා යන මේ cluster එකට එහෙම attack කරන්න බෑ කියල අපිට තේරුණා. වෙන තැනකනම් ගොඩ බිමින් ෆයර් සපෝර්ට් ගන්න තිබ්බ.. මේ තැනෙ හැටියට ඒකත් බෑ. ගොඩින් ගැහුවොත් අපි දෙගොල්ලම අනතුරේ. ඉක්මණින් තීරණයක් ගන්න ඕනි.. මම OIC දිහා බැලුව.. ඔහු කිසිම කලබලයක් නැතුව සෙට් එක අතට ගත්තා..

"මේ ගෘප් එක මෙහෙම තනි ක්ලස්ටර් එකට ඉන්නකං අපිට මුන්ට ගහන්න බෑ. මම ඇතුලට යනවා.. එහෙමෙහෙ වුනාම උඹල වෙන වෙනම එන්ගේජ් කරපල්ලා"

ඊළඟට වෙන්න තියෙන දේ ගැන මට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ.. මම ගන් කොම් එක අතට ගත්තා..
"අපි මුන්ගේ ලඟට ටිකක් කිට්ටු කරනවා- මම මුලින් එන්ගේජ් වෙනකම් ඉඳල වටේ පිටේ පේන්න තියෙන ඔක්කොටම ගහපල්ලා.. මම කියනකම් ෆයර් එක නතර කරන්න එපා...."

මම හොඳට හරි බරි ගැහිලා ගන් කැමරා එක ඉස්සරහා වාඩි උනා..

"ස්ටියර් ටූ-වන්-සීරෝ" ..

"ටූ-වන්-සීරෝ සර්" වීල් එකේ හිටපු LME (Leading Engineering Mechanic) ඕඩර් එක කන්ෆර්ම් කරා..

"ලං වෙනකං එන්ගේජ් කරන්න එපා" කාලෙකින් OIC ගෙන් මටත් උපදෙසක් ලැබුනා.. සාමාන්‍යයෙන් අපි මේන් ගන් එකෙන් එන්ගේජ් වෙන්න පටන් ගන්නේ මීටර් 2000-2200 වගේ රේන්ජ් එකේදී.. එහෙම ගිහින් 1000-1200 විතර ලං වෙනකොට හරවාගෙන එනවා.. එදා මම LRF එක (Laser range finder) එක ඔබ ඔබ හිටියා ළඟම පෙනුන කොටි බෝට්ටුව මීටර් 1000ක් විතර වෙනකම් ලං වෙනකම්.. ඒ වෙනකොට අපේ ඩෝරා එක 'පිස්සු හැදිච්ච කඟවේනෙක්' වගේ කොටි බෝට්ටු ක්ලස්ටර් එක අස්සට කඩා පනිමින් හිටියේ.. මගේ කැමරා මොනිටරේ පුරවලා දැන් කොටි බෝට්ටු.. අලගෙඩි වගේ.. ඒ වෙනකොට බෝට්ටුවේ එළියේ හිටපු කොල්ලන්ටත් තමන්ගේ ඉස්සරහා තියෙන බෝට්ටු වල ඡායාව හොඳින්ම පේන්න තරම් අපි කිට්ටුවෙලා.. මට මොහොතකට මුළු ලෝකෙම අමතක උනා කියුවොත් හරි.. හිත ඇතුලෙන් යකෙක් කෑගහනවා..

'Waste the bloody motherfuckers!!!'

මම 23mm Typhoon එක engage කළා.. ඒ එක්කම මුළු ඩෝරා එකම එකම වෙඩි හඬකින් දෙදරලා යන්න පටන් ගත්තා.. ටාගට් ට්‍රැක් කරන්න, රේන්ජ් සිලෙක්ට් කරන්න ඒවා මොකුත් නෑ.. මම ගන් එක මුහුදට පැරරල් තියල මගේ ෆයරින් ආර්ක් එක ඇතුලේ මිලිමීටර් විසි තුනේ බෝම්බ වරුසාවක් වැපිරුවා.. ඒ එක්කම වගේ 'ටින්- ටින්- ටින්..' ගාලා ඩෝරා එකේ ඇලුමිනියම් බඳ හිල්වෙන සද්ද ඇහෙන්න ගත්තා..

"හාර්ඩ පෝට්..."

"හාර්ඩ පෝට් සර්.." LME බෝට්ටුව හරවනවත් එක්කම එක පාරම බෝට්ටුවේ වේගය බාල වේගන ගියා..

"ස්ටාර්බඩ් එන්ජිම නතර උනා සර්" LME කෑ ගහනවා..

"උඹ පහලට පලයන්.. මම වීල් එක ගන්නම්.." මම ගන් කම්පියුටර් එක අතෑරලා වීල් එකට පැන්න..

තනි එන්ජින් එකෙන් දුවනකොට වීල් එකෙන් ගෙනියන්න අමාරුයි. ඊට ලේසියි එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකෙන් steer කරන එක.. මම වීල් එකෙන් කන්ට්‍රෝල් අයින් කරලා පෝට් එන්ජින් කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඩෝරා එක එනමි ක්ලස්ටර් එකෙන් එළියට ගත්තා හිමි හිමිට.. ඒත් ඉස්සරහා ඇණිය බරට යට යනවා තේරෙනවා..

"බෝසන් ස්ටෝර් එකට වතුර පිරෙනවා වගේ.. වෝටර් ටයිට් කරලා ගිහින් ඇතුලෙන් වටේම බලපන් තව කොහෙද වතුර දාන්නේ කියල" මම සොයිසා ව ඒ වැඩේට පිටත් කරා..

"මගේ ස්ටාබඩ් එන්ජින් එකට වැදුනා.. මම හෙමිට එලියට ගන්නවා.. දැන් මුන්ගේ ක්ලස්ටර් එක කැඩිලා උන් අනාථ වෙලා ඉන්නේ.. උඹල වෙන වෙනම අරං එන්ගේජ් වෙයල්ලා.. මම මෙහෙමම හාබර් එකට අදිනවා.. "
OIC සෙට් එක අරන් ජයග්‍රාහිව කියුව..

කොහොම හරි Damage Control කරගෙන තනි එන්ජින් එකෙන් අපි KKS එනකොට කොටි බෝට්ටු ආපහු හරවලා පහු බහින්න පටන් අරං.. ඒ වගේ Planned Attack එකක Command and Control නැතුව ගියාම මූලික අවස්ථාවේ තියෙන පහසුකම් එක්ක සටන් කරන ත්‍රස්තවාදී කණ්ඩායමකට අතරමගදී ආපහු අර මුලින් වගේ ඔර්ගනයිස් කර ගන්න බෑ. P 495 අපි එදා කරේ ඒ දේ.. මේ වගේ බොහෝ සිද්දි 495 ඩෝරා එකත් එක්ක මතකෙට එනවා..

P495 අපට අහිමිවෙච්චි දවසේ කතාව ආයේ දවසක කියන්නම්. ජයවේවා!


Saturday, 29 April 2017

සුභ ගමන් විචාරකතුමනි.. !!!

කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් හිතේ ඉතුරු කරලා ඔහු නික්ම ගිහින්..
බ්ලොග් ලෝකයේ දී හඳුනාගත් ආදරණීය වැඩිහිටියා.. වයසට ගියත් ඔබට තිබ්බේ බොහොම තරුණ හිතක්.. ඒ වගේම ජවසම්පන්න කටහඬක්.. ඒත් එදා නෙළුම් යාය සම්මාන උලෙළ දවසේ කතාකරනකොට ඔබේ කටහඬ බොහෝම දුබල වෙලා.. මම හිතුවේ සම්මානය ගන්න වෙලාවට ඔබව සජීවීව සම්බන්ධ කරගන්න.. ඒත් ඒක බැරිඋනා .. පස්සේ ඔබම මට කතා කලා..
"මට ටිකක් නින්ද ගියා කල්‍යාණ.. මොකද උනේ? කවුද සම්මානේ ගත්තේ?" මේ විස්තරත් තව ගොඩක් දේවලුත් ඔබත් එක්ක කතා කරන්න ඉතුරු වෙලා තියෙද්දී ඔබ යන්න ගිහිං.
 ජීවිතේ එහෙම තමයි නේද? ඔබට සුභ ගමන් විචාරකතුමනි.
මම
කල්‍යාණ..

Tuesday, 25 April 2017

2. නමක් නැති කතාවක්.. Request permission to carry on SIR!

“පලවෙනි චක්‍රයේ පලවෙනි වියයාමය දෑත හා උරහිස් සම්බන්දවයි ....”
“සැරසීම ...වම් පා පෙරට දෑත ඇගිලි මිට මොලවා සරිර්යෙන් මදක් පිටුපසට ...”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය සදහා සැරසෙන්.......”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය අරබන්......”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
on the march- a school cadet platoon
පිනි වැටෙන පාන්දර කැඩෙට් සාර්ජන් ගේ කටහඩ අනුරපුර සෙන්ට්‍රල් ගෘන්ඩ් එක පුරා ඇහෙනවා,  සාර්ජන් බුද්දික මු තවම 11 වසරේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් අනුරපුර සෙන්ට්‍රල් එකෙන් බිහිවෙන 4 වෙනි RSM වෙනවා අනිවා .....මේ පාර මම සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදිනවා සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් හර්මන්ලොස් එකේදී CSM අදිනවා...
“මෙන්ඩිස් අයියේ “
මගේ කල්පනා ලෝකය බිද වැටුනා....මම ඉස්සරහා සාර්ජන් බුද්දික.
“අඩෝ පකයා තුමනි කියලා කතා කරහන් “
“ගහපිය ඩිප්ස් 10ක්”
“කියපන් මොකද?”
“කොල්ලෝ ටික අහනවා අද ටිකක් කලින් ප්‍ර්ක්ටිස් ඉවර කරමුද කියලා”
“ඒ මොකද”
“ඇයි අද දිනේ මතක නැද්ද අදනේ එලවල් පංති වලට අලුත් ළමයි එන දවස...මෙන්ඩිස් අයියත් අද නේද ඉස්සර වෙලාම පංතියට යන්නේ”
“ඇයි උන් කලින් ගිහින් එලේවල් පංති වලට උගන්නන්ද? අනේ මේ #කන්නේ නැතුව පෝලිං වෙන්න කියහන්...මට ඔය #ත්තවල් එකක් වත් වැඩක් නැහැ”
“උබ දන්නවනේ ගිය පාර කන ලගින් අපි සිලෙක්ෂන් ඉස්සුවේ උබ ඒක මේ පාර නිවත්තකෙට දීලා ආය පුරේට බහින්න හිතන්න නම් එපා, නෙවිල්ලා හැපිලා උබව මරයි”
“හරි හරි මෙන්ඩිස් අයියේ අපි හෙට උදේ 6 ට අපි පෝලිං වෙලා ඇති එහනම් ඔයා සළුවඩන සර්ට කියනවද අදට ප්‍රක්ටිස් නවත්තනවා කියලා”
පැවිලියන් එක කෙලවරේ ඉන්න කැප්ටන් සළුවඩන ලගට මම ඩබල් එකේ ගියා
“සුබ උදැසනක් වේවා ....තුමනි.....අද දින පුහුණු වීම අවසන් බැවින් විසර යාමට අවසර පතමි තුමනි .....”
“අවසර දෙමි”
“මෙන්ඩිස් මෙතන ඉදලා කම්න්ඩ් කරනවා බලන්න තමුසේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදින්න බලගෙන නේද ඉන්නේ”
ප්ලටුන් එක ගෘන්ඩ් එක කෙලවරේ
“හෙට උදේ 6 ට නැවත පුහුණු වීම් සදහා පෝලිං වනතුරු විසිර .............යා...”
“මෙන්ඩිස් අයියේ” කොට කලිසමක් ගහගත්තු 10 වසරේ පොඩි එකෙක්..
“ගුල්ලා අයියයි කිරි අයියයි හයිලයිට් එක ලග ඉන්නවා කිව්වා”
“හරි මල්ලි උබ පලයන් එයි මෙහෙ වරෙන් ශලිනි ඉන්නේ උබලගේ පංතියේ නේද ඒකිව මතක් කරා කියහන් හරි උබ පලයන්”
මම නා ගෙන ඉස්කුල් යුනිෆොර්ම් එකත් දාගෙන 5 වෙනි බල ඇණි කැඩේටින් මුලස්ථානය තියන අපේ ඉස්කෝලේ ගෘන්ඩ් එක ලග ගේට්ටුවෙන් පාරට පැන්නා. අම්මලා තාත්තලා එක්ක අලුත් ළමයි ඉස්කෝලේ පැත්තට එනවා
සමහර එවුන් දැම්මම එන්නේ නිකන් ඩොකලා අර කනේ ගහලා පපුවට තියලා බලන නලාව අල්ලගෙන යන විදිහට
මම හයිලයිට එක ලගට යනකොට ගුල්ලයි කිරියයි පුන්චයි හෝටලේ කෞන්ටරේ ලග
“මෙන්ඩ උඩට යමන් උබට ප්ලේන්ටියක් ඕනේ නේද?”
“මට බ්‍රිස්ටල් බොන්න බැහැ ඉදා..මේකත් දාලා ගොල්ලිප් එකක් අරගෙන වරෙන්” මම රුපියල් 10ක් දික් කරා
හයිලයිට හෝටලේ කියන්නේ පුරේ පොස්ට් ඔපිස් එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියන හෝටලයක් එකේ කොල්ලා දවසක් වලියක් දා ගෙන ජෝසප් ගැන්සියක් එක්ක කටාගේ කඩේ ලගදි අපේ එවුන් තමයි අත දාලා බේරලා තියෙන්නේ එදා ඉදලා එකේ උඩ තට්ටුව අපිට ලියලා දීලා තිබුනේ. දුමක් දාන්න බිලා වැඩි උන අපේ එවුන්ට නිදා ගන්න එතන අපිට සුරපුරයක්.
අපි ටික උඩට යනකොට දෙලයි කදිරයි බකලයි සිගරට් එකකට මරා ගන්නවා, වස්සා හිනා වේවි බලගෙන ඉන්නවා ඒ දවස්වල අපි සිගරට් එක බොන්නේ පැනෙන් ඉරි ඇදලා...ඉර ලගට එනකොට අන්තිම සිගරට් උගුර කකුල මේසෙට තියලා අදින එක බකලා හැමදාමත් කරන වැඩක් ඉතින් වලි හැබැයි ඒවා සුන්දර වලි.  
වස්සා තමයි අපේ ගැන්සියේ ලීඩර් හැබැයි ඌ සිගරට් එකක් අරක්කු ටිකක්වත් කටේ තියන්නේ නැහැ ඒ උනාට පුරේ ඉන්න හැම ගැන්සියක්ම එවුන් ඌ ට පදිරි
ඌ බිව්වේ නැති උනාට අපි ඉන්න ඕනෑම තැනක ඌ ඉන්නවා.
පෙලන්ටි උගුරක් ගහලා සිගරට් එක පත්තු කරලා පපුව පිරෙන්න දුම් පාරක් අද්දා
“මෙන්ඩ අද එලේවල් පංති වලට අලුත් එවුන් එනවා” ඒ ගුල්ලා “මම දන්න විදිහට උබලගේ කොමස් එච්  පංතියට පරන එකෙකුට ඉන්නේ උබ විතරයි.”
“නියමයි මෙන්ඩ අපි බහින්නම් උබලගේ පංතියට උබට තනියම උබට තනියම රැග අදින්න බැහැනේ” ඒ කදිරා ඌ අපේ ඉස්කෝලේ වයිසගේ පුතා
“ඕන හුත්තක් මට රැග කරනවා තියා පංතියේ ඉන්නවත් වෙලාවක් තියෙයිද දන්නේ නැහැ උබලා ඕන එකක් කරගන්නින්”
අපි ඉස්කෝලෙට යනකොට මෙන්හෝල් එකේ තිබුන අලුත් උන්ගේ රැස්වීම ඉවර වෙලා ශිෂ්‍ය නායකයෝ අලුත් උන්ව පන්ති වලට එක්කරගෙන යනවා.
පඩි පෙළ දිගේ නැගලා කොරිඩෝ එක දිගේ කෙලවරේ තිබුන පංතියට ගියා. කොමර්ස් එච් පංතිය අවුරුදු 2ක් ඉන්න වෙන තැන.
පංතියට ඇතුල්වෙලා ගුරු මෙසේ ලග ඉදලා පංතිය දිහා බැලුවේ අවුරුදු 2ක් ඉන්න වෙන සෙට් එක කවුද කියලා.
දකුණු අත පැත්තෙන් කොල්ලෝ 10යි නැහැ 13යි මමත් එක්ක 14යි, අනිත් පැත්තේ කෙල්ලෝ පලවෙනි පේලියේ 4යි, දෙවැනි පේලියේ 3යි, අනිත් පේලියේ 3යි, පිටිපස්සෙම අන්තිම පේලියේ බිත්තිය අයිනට වෙන්න ඩයනා කට් කපපු එකයි කොල්ලෝ කෙල්ලෝ වෙන් කරන මැද තීරුව අයිනේම ඩේස් එකේ කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ලෙක්.
කොල්ලොන්ගේ පැත්තේ පිටිපස්සෙම පේලියේ එකෙක්වත් නැහැ යකෝ මුන් දැම්මම චාර්ටඩ් එකෞන්ටන්ලා වෙලාද, මේ ඔක්කොම ටිකට තප්පර 30ක් යන්න ඇති පංතියේ හිටපු එවුන් ඔක්කොම නැගිට්ටා...
අම්මට හුඩු මෙච්චර බක්තියක් මට දෙනවද මුන්...හොද සෙට් එකක්.
“හරි හරි තමුසෙලා මම ආවා කියලා නැගිටින්න ඕනේ නැහැ ඉදගන්නවා ඉදගන්නවා...”මම අත උස්සලා පංතියට කිව්වා
“හමුසේ ආව හින්දා නෙමයි එයාල නැගිට්ටේ මම ආපු හින්දා සමුසේ ගිහින් ඉදගන්නවා මෙන්ඩිස්” විලි ලජ්ජා කෝටි විසි හතරයි පංති බාර ගීත්සර් මගේ පිටිපස්සේ
පොත් දෙකත් රෝල් කරගෙන පිටිපස්සෙම පේලියට ගියා ඉදගන්න හැදුවට පුටුවේ දුවිලි වගේ දැන් ඉතින් මොකේද දන් වළදන්නේ,
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික් කරා..


මෙහි එන නම් ගම් ඉස්තාන සිදුවීම් සියල්ල සැබෑම සත්‍ය ඒවා බව සලකන්න.
මෙතෙක් කල් කාටවත් නොකිව කතාවක් මම උබලට කියන්න ලැහැස්ති වෙන්නේ ඒක ටිකක් දිග කතාවක් හිමිට හිමිට කියන්නම්.
මේ කතාවේ එන යාලුවෝ කිසි කෙනෙක් ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මට මුණ ගැහිලා නැහැ අඩුම තරමේ අද වෙනකන් මම ඉස්කෝලෙට අඩිය තියලා නැහැ..මුණ ගැහෙන්නත් නැති වෙයි. ඒකට හේතුවත් මේ කතාව ඇතුලේ තියෙනවා.
1997 පුරෙන් පිට වෙලා කටුනායක ඇවිත් 2750 පඩියට නුල් කපන්න පටන් අරගෙන පෙට්ටි කරගහන කොට කන්ටේනර් අතු ගානකොට ආයමත් දාලා පුරේට යන්න හිතුනා අද මෙතන ඉන්න එක ශක්තියක් උනේ ඔයද කියලා අද මට හිතෙනවා....
අවුරුදු නිවාඩුවට සඳුගේ ගෙදර ගිය වෙලාවේ සඳු මාව දාලා මහ ගෙදර ගියා කම්මැලි කමේ ටීවී එක කන්න හදනකොට දෙමල ෆිල්ම් එකක අන්තිම හරිය අහුඋනා...එකත් එක්ක මට කවදාවත් නොහිතුන දෙයක් හිතුනා..මට කවදාවත් ජිවිතේ පිටිපස්සට ගිහින් හදන්න දෙයක් හිතිලා නැහැ එත් කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ මම ඒ අවසථාව ගන්නවා...
ඒ අවස්ථාව ගන්නේ එකම එක නිමේෂයක් වෙනස් කරන්න එතකොට මට පුලුවන් ආයමත් පුරේට ගිහින් මගේ පරණ යාලුවෝ හම්බවෙන්න..
මනෝ .....මම අවුරුදු 21 කක් ඔයාට දුන්න පොරොන්දුව රැක්කා...එත් මට හයිය දෙන්න ඒ පොරොන්දුව කඩන්න..සමහර විට ඔයාටත් එහම හිතෙනවා ඇති.
උබලගෙන් දෙයක් ඉල්ලනවා කැමතිනම් මේ කතාවට නමක් දියල්ලා.
කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ උබලා ඒ අවස්ථාව ගන්නවද?


- මම එල ද බ්‍රා මෙන්ඩා 

Thursday, 20 April 2017

කුණු ගැන රත්තරං වටිනා අත්දැකීමක්.... precious little කුණු experience!

හැම තැනම කුණු ගැන කතා! මේ අසාධාරණයට ලක්වෙලා මියගිය මිනිස්සුන්ගේ මරණ වලට මාත් අනියම් වග උත්තරකරුවෙක් කියල හිතෙනකොට එන වරදකාරී හැඟීම නිසාම මම ඒ ගැන ලියන්න ගියේ නෑ. ඒත් කුණු කතා ඔක්කොම වගේ කියෙව්වා. ඒ අතර තිබුණු කවදත් සුවිශේෂ යමක් ලියන සුජීව කොකාවල ගේ The Null Device බ්ලොග් එකේ ගිය මේ කුණු කතන්දරේ කියවෙනවා කුණු උප සංස්කෘතියක් ගැන. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්න සීත කාමර වල ඉඳගෙන ඉන්න සුදු කරපටි මහත්වරුන්ට නොහැකි බවත් ඒ සඳහා ඒ උපසංස්කෘතිය සහිත භුමියේ පය ගසා ඇවිද යා යුතු බවටත් සුජීව යෝජනා කරනවා. මේ කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ මට අහම්බයෙන් එහෙම තැනකට එබිලා බලන්න ලැබුණු අවස්ථාවක්.. ඇත්තටම මට අදටත් හිතා ගන්න අමාරුයි මේ පිළිවෙල.

ඒ 2003 අවුරුද්දේ අග හෝ 2004 මුල වෙන්නොනි.. මිතොටමුල්ලට නෙවෙයි ඊට කලින් බ්ලුමැන්ඩල් වලට කොළඹ කුණු දාපු කාලේ..  මම ඒ කාලේ වැඩකලේ නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යුධ නෞකාවක ඉංජිනේරු නිළධාරී වශයෙන්.. විශාල යුධ නැව් වලනම් මේ රාජකාරියට වෙනමම Marine Engineer කෙනෙක් අනුයුක්ත කලත් කුඩා නෞකා වලදී එම රාජකාරිය භාර වෙන්නේ නැවේ ඉන්න අමතර නිලධාරියෙකුට.. මගේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමර ශිල්පී (Engine Room Artificer- ERA) නැවියෙකු හා ඉංජිනේරු කාර්මික නැවියන් කීපදෙනෙක් ඇතුලත් වෙනවා.

මේ කියන දවස්වල අපි (නැව) කොළඹ වරාය ට ඇවිත් හිටියේ. ඒ නැවේ වතුරෙන් යට කොටසේ රෙපයාර් සඳහා.. මේ රෙපෙයාර් කටයුතු කරේ Colombo Dockyard (CDL) එකෙන්.. ඒ සඳහා නැව විශේෂයෙන් සකස් කල ආධාරකයක රඳවා වතුරෙන් ඉහලට ඔසවා ගන්නවා. මේකට සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ කාලයක් ගතවෙන නිසා ඒ කාලය තුල නැවේ තියෙන අනෙකුත් අඩුපාඩු සකස් කර ගැනීමත් කාලයෙන් කාලයට එන මේන්ටෙනන්ස් වගේ දේවල් මේ කාලයටම යොදා ගෙන සිදු කිරීමත් සාමාන්‍ය පුරුද්ද.. ඉතින් මේ වඩාත් එක්ක නැවේ ඉංජිනේරු කාර්යමණ්ඩලය ඉතාමත් කාර්ය බහුල වෙනවා. මේ ටික සඳහන් කලේ හඳුන්වා දීමක් වශයෙන්..
A ship dragged on slipway for underwater repairs
මේ docking පීරියඩ් එකේදී නැවේ එන්ජින් හතරේම major routine maintenance එකක් යෙදිලා තිබුන නිසා අපි කරේ dock එකට ගන්න කලින් නැවේ එන්ජින් හතර ගලවල බිමින් තියා ගත්ත එක. එන්ජින් එක්කම shaft, propellers, after steering system, rudders මේවා ඔක්කොම ගලවල අයින් කරනවා. නැව් ගැන දැනීමක් නැති උතුමෝ මේ කියන කෑලි  බෑලි ඒ හැටි තකන්න ඕනි නෑ. ඔයින් මෙයින් කොහොම හරි නැවෙන් බාගයක් විතර දැන් CDL ජැටිය උඩ.. ඉංජිනේරු අංශයේ නැවියන් හෝ ගාල වැඩ.. ඔය අතරේදී අපේ ERA ට ඕනි වෙලා තියෙනවා බොහොම වටිනා සහ හොයා ගන්න අමාරුම ඒ වගේම නැවත සවි කිරීමේදී අත්‍යවශ්‍යම වෙන පිත්තල බෙයාරින් (Bearings) 4ක් වැඩි පරිස්සමට අයින් කරන්න. මේවා එන්ජින් එකයි ෂාෆ්ට් එකයි සම්භන්ද වෙන තැනට එන බෙයාරින් වගයක්. 1970 දශකයේ චීනයේ පාවිච්චි කරපු නැව් වෙච්චි අපේ ඒ යුධ නෞකාවකට spare parts හොයන්න සමහරවිට චීනෙත් නෑ කියල දන්නා නිසාම මිනිහා මේ බෙයාරින් 4 වෙනම ඔයිල් භාජනේක දාල පරිස්සමට අරන් තියල..
A kind of brass bearings (Ball Bearings)
අන්තිමට නැව undock කරන්නත් කිට්ටුව තමයි මිනිහට බෙයාරින් හතර මතක් වෙලා තියෙන්නේ.. බැලින්නම් බෙයාරින් හතර තියා බෙයාරින් දාපු ඔයිල් භාජනේවත් හොයා ගන්න නෑ. දෙලෝ රත්වෙලා ආවා මෑන් මගේ ලඟට.. එක පාරට මටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියල.. කෝකටත් ගත්ත CO (Commanding Officer හෙවත් අණදෙන නිලධාරියා)  ට කෝල් එකක්. අරං කියුව විස්තරේ.. CO ත් අම්බානට පැනික් උනා.. එකක් මේක ලංකාවේ ගන්න නෑ.. ඒ මැටිරියල් එක සහ ඩිසයින් එක නැතුව ලේත් මැෂින් එකකින් කප්පව ගන්නවත් බෑ. ඕඩර් කරලා චීනෙන් ගෙන්නන්න ගියොත් මාස ගානක් යන්න පුළුවන්. සමහරවිට චීනෙත් නැති වෙන්නත් පුළුවන්. එතකන් නැව Operational කරන්න බෑ. එන්ජින් ටික හයි කරන්නේ නැතුව නැව undock කරන්න බෑ. එක දවසක් CDL එකේ වැඩිපුර තියාගන්න උනොත් ලක්ෂ කියකින් බිල නගීද කියන්නත් බෑ. ඔක්කොටම හපන් මේක Area Commander ට සහ Navy Commander ට කියන එක.. ප්‍රශ්ණ කෝටියයි. එදා දවසෙම අපි තුන්දෙනත් බැහැල නැවේ මුළු crew එකම දාල CDL එකේ අහුමුළු සේරම ඇවිස්සුව... ම්හු.. බඩු නෑ.

ඉහ අත බදාගෙන මමත් CO සර්ත් අපේ ERA හෙවත් අස්සයා මැරිච්චි ජොකියාත් CDL ජැටිය උඩට වෙලා කල්පනා කරනවා.. කොහෙන් හරි ආපු අයිඩියාවකට අපි ගිහින් CDL එකේ security එකෙන් ඇහුව කවුද මෙහෙ කුණු අයින් කරන්නේ කියල.. බැලින්නම් එක එක ජාතියේ කුණු අයින් කරන්න එක එක කන්ට්‍රැක්ටර් ලා ඉන්නේ. උන් අතරින් oil waste අයින් කරන කන්ට්‍රැක්ටර් ගේ නම්බර් එක ඉල්ලා ගත්ත.. ගත්ත ඌට කෝල් එකක්.. මමමයි කතා කරේ. "මම නේවි එකේ කොළඹ හාබර් එකේ කෑම්ප් එකෙන් ලෙෆ්ටිනන් අහවලා" කියුවම ඌ ටිකක් සාවධානව ඇහුන්කන් දුන්න.. ඌට මුළු විස්තරේම කියල අන්තිමට මට ඇඬේන්නත් වගේ කිට්ටු වෙනකං ඉඳල ඌ කියපි "මහත්තය අපි කුණු ගෙනිච්චට ඒවා අපිට අයිති නෑ. අපි ට්‍රාන්ස්පෝර්ට් එක විතරයි කරන්නේ.. ඒවා අහවල් තැනට ගෙනිහින් අහවලාට බාර දෙනවා" කියල.. ආයෙත්  කනිපින්දන් ගහල අමාරුවෙන් අහවලා ගේ නොම්මරේ ඉල්ලගෙන ඌට කතා කරලා මුල ඉඳන් මගේ දුක් ගැනවිල්ල කියුව. ඒ වෙනකොට මට විතරක් නෙවෙයි CO ටත් ඇඬේන්න වගේ.. මුළු විස්තරයම අහල මිනිහත් කියපි "මහත්තය අපි මෙතන චෙක් කරලා බා ගන්නවා විතරයි.. කුණු තෝරන්න එන්නේ අහවලාගේ කට්ටිය.." කියල..


A busy garbage site- not in Sri Lanka
 ඔහොම අහවල්ලු තුන් හතර දෙනෙකුට කතා කරලා අන්තිමේ ඒ වෙනකොට කොළඹ කුණු කන්දේ නොනිළ අයිතිකාරයා හෙවත් කුණු ගෝඩ් ෆාදර් ව කන්ටැක් කර ගන්න අපිට පුළුවන් උනා. කන්ටැක් කියුවට ඇත්තටම ඇපොයින්ට්මන්ට් එකක් තමයි දුන්නේ පහුවෙනිදට.. හැබැයි නේවි නොවුනානම් සහ ඒ වෙනකොට කොළඹ වාරයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නේවි එකට පවරලා නොතිබුනා නම් ලොවෙත් මේ සොයා ගැනීම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි පහුවෙනිදා උදේ හරියටම දහය වෙනකොට නාල කරලා අලුත් යුනිෆෝම් එහෙම ඇඳලා මාත් CO ත් අපේ ERA ත් තුන්දෙනා CO ගේ නාහ නිල රථයෙන් බ්ලුමැන්ඩල් ගියේ 'කුණු ලොකු බොස්' හම්බවෙන්න. 

පොරගේ 'සෙකට්‍රි' කියපු පාරවල් තුන හතරකින් හැරී හැරී ගියාම අපිට පලවෙනි මාර්ග බාදකේ වැටුන.. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ CO නිසාද කොහෙද බටු ඇට දෙකක් විතර උස කොලු ගැටයෙක් ඇවිත් මගෙන් ඇහුව 'බොස් මේ කොයෙද?" කියල.. ලොකු අයියගේ නම කියපු ගමන් එතෙන හිටපු වෙන එකෙක් අතුරුදන් වෙලා තව හන්දියකින් මතුඋනා.. බටු ඇට දෙකය මට ඌව පෙන්නලා 'අතනින් යන්න මාතියා' කියුවම CO වාහනේ ඉස්සරහට ගත්ත.. එතනට යනකොට අරූ ආයෙම අතුරුදහන්.. වෙන එකෙක් ඇවිත් වාහනේ නැවැත්තුව.. ඌ මොකුත් අහන්නත් කලින් අපේ මග පෙන්නන්න ඊළඟ හන්දියෙන් මතුවෙලා අත වැනුවා.. මම ඔලුවෙන් මිනිහව පෙන්නුවා අලුත් මාර්ග බාදකයාට.. එතකොට ඌ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යන්න දුන්න. ඊළඟ හන්දියෙන් එහාට වාහනේ යන්න බෑ. තව දෙපොලකින් විතර හැරිලා ගියාම පාර ඉවර උනා. ඒ පාර වටේම එකම වහලක් වගේ.. හරියට ගෙයක් ඇතුලෙන් පාර ඉවර උනා වගේ. තැන් තැන් වල පොඩි යකඩ ගේට්ටු තුන හතරක් සහ එල්ලෙන මල් වගේ වැල් තිබ්බ පෝච්චි ටිකක් ඇරෙන්න මොකුත් එලියට පේන්න නෑ. එතන තිබ්බ එක ගේට්ටුවකින් අපිව ඇතුලට දාල අර හොල්මන් මග පෙන්වන්නා ආයෙම අතුරුදහන් උනා.

එතන ඇතුලේ කොල්ලෝ සහ කොලු වයස ඉක්මවල ගිය තලත්තැනි තුන් හතර දෙනෙක්ම හිටිය. උන් ඔක්කොම හොඳට ඇඳලා කරලා හිටියා.. ඒත් කවුරුවත් අපිත් එක්ක විස්තර කතා කරේවත් මොකුත් කියුවේවත් නෑ. විනාඩි කීපයක් මෙහෙම ඉඳල මම එකෙක්ගෙන් 'ලොකු අයිය' ගැන ඇහුව.. 'ටිකක් ඉන්න දැන් එන්න කියයි' කියල ඒ ගමන්ම වගේ ඔයාල ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න කියුවම කොල්ලෙක් අපිට ඉස්සර උනා. අපි ඌ පස්සෙන් වැටුන. ගේ ඇතුලේත් වට දෙක තුනක් ගිහින් ලස්සනට කාපට් කරලා හදපු ලොකු විසිත්ත කාමරේක සෝෆා එකක් පෙන්නුවා අපිට වාඩි වෙන්න. ඒ පෙන්නලා ඌ ගියා.

අපි බලාපොරොත්තු උනේ හෙන ගාම්භීර ගොරෝසු කටහඬක් තියෙන දැල් බැනියමක් ඇඳලා පච්ච කොටපු ඩයල් එකක්.. ඒත් අපි ඉස්සරහට ආවේ අවුරුදු 35ක විතර සාමාන්‍ය පෙනුමැති කොල්ලෙක්.. දුක් මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි ව්‍යාපාරිකයෙක්ගේ වගේ පෙනුමක් තමයි මෑන් ගේ තිබ්බේ.. අපේ ඉස්සරහින්ම ඇවිත් වාඩි වෙලා "මොකක්ද සර් කේස් එක?" කියල ඇහුවේ බොහොම යටහත් පහත්ව වගේ.. ඇත්තටම පොර මූ ද නැත්නම් නියම ඩයල් එක ආයේ තව ඇතුළෙද හිතා ගන්න බැරි උනත් අපේ CO මිනිහට සම්පුර්ණ විස්තරේ කියුව..
"බය වෙන්න එපා.. ඔය කියන විදියේ අයිටම් එකක් පහුගිය ටිකේ මෙහෙට ආවනම් අපිට හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඉන්නකෝ මම නියම මෑන් ව ගෙන්නන්න" කියල කියුවම තමයි අපි කතාකරල තියෙන්නේ නියම 'අයියට' කියල මට කන්ෆර්ම් උනේ.

මිනිහා ගෝලයෙකුට කතාකරන්න හිතනකොට ගෝලය එතන.. "... මහත්තයට එන්න කියපං.. මේ සර් ලට බොන්න මොනවහරි ගෙනෙන්" කියනකොටම අපේ CO අත උස්සල "බොන්න නම් මොකුත් ඕනේ නෑ. අපේ වැඩේ උනානම් ඇති මල්ලි" කියුවත් බොසා වත් ගෝලයා වත් ඒක කණකට ගත්තේ නෑ.

විනාඩියක් යනකොට '..... මහත්තය' ආව.. අර ගේ ඉස්සරහ හිටපු එකෙක්..

"... ...ජීය ඉන්නවනං එන්න කියන්න' බොස් සාවධානව ඕඩර් එක දුන්න.. විනාඩි බාගයක් යනකොට '... ...ජියා' එතන.

'මහත්තය කියන්නකෝ මූට මොකක්ද අයිටම් එක කියල.. ' කියපු ගමන් අපේ ERA පැහැදිලි විස්තරයක් සැපයුවා.. විස්තරේ බාගයක් කියනකොට '... ..ජීය' ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්ත.. ඉවර කරන්න උනේ නෑ.. "ඒක තියෙනවා මට මතකයි" කියල '... ...ජියා' උත්තර දුන්න.. අන්න ඒ වෙලාවේ මටත් CO ටත් ERA ටත් දැනුනු සතුට කියන්න වචන නෑ පිංවතුනි..

"ආ.. ඒක ගෙනත් මේ මහත්තුරුන්ට දීපං.. අරුන් නැවේ තියෙන ඒවත් ඔහොම ගලවන් එනවද දන්නේ නෑ.." කියල ලොක්ක කියනකොටත් '... ...ජියා' ගිහිං ඉවරයි. ඒ එක්කම කේක්, බිස්කට් සහ කුල් බීම සංග්‍රහයක් අපේ ඉස්සරහ.. සතුටට මොකුත් කන්න බැරි උනත් අපි තුන්දෙනාම කුල් ඩ්‍රින්ක් එක අතට ගත්ත..

මට මේක පුදුම ප්‍රෙහෙලිකාවක්.. ඇත්තම කියුවට නැවේ ඒ වෙනකොටත් මාස ගානක් වැඩ කරලා තිබ්බට වත්, EO උනාටවත් මටවත් ඔය කියන බෙයාරින් 4 මතක තිබ්බේ නෑ. මූ කොහොමද මේක ටක්කෙටම දන්නේ.. අනික ඩොක්යාඩ් එකෙන් අතුරුදහන් වෙච්චි එක කොහොමද මේ මුඩුක්කු පේලියෙන් මතු වෙන්නේ? ඒ වෙනකොට 'මල්ලි' කියල කුණු අයියට කතා කරන ගානට අපේ CO පොරත් එක්ක සෙට් වෙලා වැඩිය කතා නොකරට අපිත් එක්කත් ඒ සුහදතවයම පෙන්නන නිසා මම ඕනේ එකක් කියල මිනිහගෙන් ඒ ගැන ඇහුව.. "කොහොමද ඒක කුණුත් එක්ක ඇවිත් මෙතනට එන්නේ?"

"ඔය කොළඹින් එන කුණු කොයිම වෙලාවකවත් නිකන් විසි කරලා දාන්නේ නෑ සර්.. කුණු කියන්නේ සල්ලි උල්පතක්.. එක මිනිහෙකුට එපා වෙලා විසි කරන දේවල් සමහරවිට තව මිනිහෙකුට ඕනිම දේ වෙනවා. කොළඹ විසි කරන කුණු ට්‍රැක්ටර් දහයක් ගත්තොත් නවයක්ම එහෙම තව කෙනෙකුට ඕනි වෙන නැත්නං ආපහු පාවිච්චි කරන්න පුළුවන්, වෙන වැඩක් ගන්න පුළුවන් ඒවා.. විශේෂයෙන්ම හාබර් එකෙන් ලොකු බිල්ඩින් හදන තැන්වලින් ෆැක්ටරි වලින් එහෙම ගේන කුණු අපි කවදාවත් නිකං විසි කරන්නේ නෑ. මේ ගෙවල් පේලි ඔක්කොගෙම ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මේ කුණු තෝරන එක තමයි.. දවසට දාහක් හමාරක් මහන්සියක් නැතුව හොයනවා උන්.. යකඩ, අලුමියම්, පිත්තල, පොලිතින් ප්ලාස්ටික්, පත්තර විදුරු ටින් මේ ඔක්කොම ජාති වෙන වෙනම කිරල උන්ට සල්ලි දෙනවා.. ඒවගෙන් සමහර ජාති යකඩ, ප්ලාස්ටික් පොලිතින් පත්තර එහෙම කෙලින්ම අපේ ලොරිවල රි සයිකල් කරන තැන්වලට යවනවා. සමහරු ඇවිත් අරන් යනවා.. තව කොටසක් පුච්චන්න පුත්තලමේ සිමෙන්ති පැක්ටරියට යවනවා.. තඹ, පිත්තල එහෙම එක පාරට විකුනන්නේ නෑ.. ඒවා ආයෙම තෝරලා උණු කරන්නේ නැතුව විකුනන්න පුළුවන් ඒවා වෙනම එකතු කරනවා.. අනිත්ව තලලා එකතු කරලා තියල තඹ පිත්තල ඉල්ලුම වැඩි කාලෙට වැඩි මිලට විකුනනවා.. ඔය '... ...ජීය' තමයි කාලෙක ඉඳල ඒවා එකතු කරන්නේ.. මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි..  ඔය ෆැක්ටරි වලින් එහෙම ගොඩක් වෙලාවට දන්නා එවුන් ඔය කෑලි හොයාගෙන එනවා. තව නාඩාර් ල එනවා ඇවිත් මිනිස්සු හොයන ජාතියේ කෑලි සල්ලි වලට අරං යනවා.. සර්ලා නේවි නොවුනනන් අද '... ...ජියා' ඕක දෙන්නේ ලක්ස ගානක් ඇදලා.."
Kids and teenages on Garbage Dump- fighting for daily bread
කුණු ගැන රත්තරන් කතාවක් ඒ විදියට අහන්න ලැබුනේ එදා කුණු සක්විතිගේම කටහඬින්.. මේ කතාව සුදු පිටුවල කළු අකුරෙන් කීප වතාවක් කියවල තිබ්බට එතනට යනකං ඒක එහෙමය කියල නිකමටවත් හිතුනේ නෑ.. මගේ කුතුහලේ තවත් සැරයි.. ඒ වගේම 'ලොකු අයිය' දැන් තවත් හිතවත් නිසා මම ආයෙම මුට්ටියක් දැම්ම.. "මට ආසයි ඔය කුණු තෝරන විදිය බලන්න"

"හඃ. හඃ.. හඃ.. මහත්තයල නේවි එකේ නිසා තමයි මෙච්චරවත් දුරක් මේකේ එන්න උනේ.. නැත්නම් '...... හංදියෙන් මෙහාට එන්න වෙන්නේ නෑ.. සෙට් එකත් ගලෝල කුණු වලට වෙන් කරනවා මේකේ උන්.. මේක වෙනම ලෝකයක් සර්.. මේ කුණු අපිට ගඳ නෑ.. කුණු තමයි අපේ උන්ගේ ජිවිතේ.. කුණු ගොඩවල්වල ඉන්න ඌරු මීයෝ තමයි අපේ හුරතල්ලු.. හැබැයි අපි මේ කුණු ලෝකෙන් එහාට ගියාම කොන් වෙනවා.. ඒක නිසා අපේ උන් මෙතනින් එහා ලෝකේ දිහා බලන්නේ තරහෙන්.. කුණු තෝරන පීල්ඩ් එකේ නම් සර්ලා යන්න එපා ඔය යුනිපෝමුත් ඇඳගෙන.. ඒක අමු අපායක්.." එහෙම කියනකොට '... ...ජීය' ආව අපේ බෙයාරින් හතරත් අරගෙන.. ෂාහ්.. අලුතෙන් ගත්ත වගේ සුපිරියට සුද්ද කරල දිලිසි දිලිසි තියෙනවා.. පුංචි පිත්තල කම්භී කෑල්ලකින්ම කොක්කක් වගේ හදල එකට අමුණලා.. ERA ගේ මූනත් ඒ එක්කම දිලිසෙනවා..
"මල්ලි ලොකු උදව්වක් මේක.. කියලවත් කර ගන්න බැරි.. අපි මාර අප්සෙට් එකේ හිටියේ.. ලක්ෂ ගානක් නම් දෙන්න නෑ.. මට පුළුවන් ඔයාගේ මේකට මහන්සියයි වියදමයි කියනවනම් සාධාරණ ගානක් දෙන්න" බැලින්නම් CO එනකොට cash imprest එකෙන්ද කොහෙද දහ දාහකුත් අරං ඇවිත්..
"පිස්සුද සර් සල්ලි ගන්න.. සල්ලි නෙවෙයි ඕනි උදව්වක් ඕනි වෙලාවක කියන්න.. ආ.. '... ...ජියා' මෙහෙ වරෙන්.. මේ සර්ලට ඕනෙලු උඹේ පිත්තල කඩේ බලන්න.. හඃ..හඃ,. යනිම්ගමන් එතන පොඩ්ඩක් පෙන්නපන්.. යකඩ ඉස්ටෝරුවෙන් එහාට යන්න එපා පීල්ඩ් එක පැත්තට.. කවුරුවත් දකින්න ඕනෙත් නෑ. වාහනේ එලියට යනකම් පොඩ්ඩක් පස්සෙන් හිටපං" ලොකු අයිය සමුගැනීමේ අවසරය දුන්න..

එනින් ගමන '... ...ජීය' අපි තුන්දෙනවා උගේ පිත්තල/ තඹ ඉස්ටෝරුවට එක්ක ගියා. ඒත් අපත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. අඩි විස්සේ හතළිහේ වගේ කාමරයක් පුරෝලා එක එක ජාතියේ තඹ පිත්තල හා වෙනත් (යකඩ නොවන) ලෝහ වල එක එක විදියේ කෑලි ලස්සනට පිළිවෙලට එල්ලලා ගැට ගහල වැල් වැල් වගේ එල්ලෙනවා.. පිත්තල screw ඇන, පිත්තල කම්බි ඇන එහෙම එක එක සයිස් වලින් බාල්දි බැරල් ගණන් පුරෝලා.. තඹ එක පැත්තක.. සාමාන්‍ය ප්‍රමාණයේ පිත්තල පහන්, ඉලත්තට්ටු, අලියා පාත්තර පවා තියෙනවා.. කුණු ගොඩවල් වලින් ඇහින්දපුව  කියල කියන්නවත් බෑ.. ඔක්කොම ලස්සනට සෝදලා සුද්ද කරලා.. එතන තිබ්බ පිත්තල වල බර අනුව වටිනාකම විතරක් ඒ කාලේ හැටියට රුපියක් කෝටියක් වත් වෙන්න ඇති. වැඩි විස්තරයක් දැන ගන්න '... ...ජියා' කතා කරන්නෙත් නැති නිසා බෙයාරින් හතරත් පරිස්සමෙන් අරං අපි වාහනේට ගොඩ වෙලා එන්න ආව.. '..... හන්දියෙන්' මහපාරට දානකොටම එච්චර වෙලා අපි දිහා බලං හිටපු '... ...ජියා' අතුරුදහන් උනා..

මගේ කුණු කතාව මෙතකින් අවසානයි. කියවූ ඔබ සැමට ස්තුතියි! ඒත් ලංකාවේ කුණු කතාව කවදා ඉවරවෙයිද කියල හිතෙනකොට .. හ්ම්ම්ම්...