මේ උත්සාහ කරන්නේ මීට මාස තුනකුත් දින හතරකට පෙර දුන් එක්තරා පොරොන්දුවක් ඉටු කරන්නයි. ඒ පොරොන්දුව වූයේ අපේ ආච්චී ගැන ලියූ විස්තරයේ 'පතෝල හා මල්වඩම්' ගැන කතාන්දරද රැගෙන හැකි ඉක්මණින් එන බවයි. ඊට පෙර හා පසුවද නොයෙක් පොරොන්දු ලබා දුන් නමුත් අද හිටි හැටියේ මෙය ඉටු කිරීමට සිත්විය.
****************************************
සැමියා විසින් අනුචිතව සළකන ලදුව දීගය අත් හැරී කුළුඳුල් දියණියද සමඟ කාටවත් බරක් නොවී තම අභිමානයද රැකගෙන ඊට වින කරන්නට ආ වුන්ට එරෙහිව නැගී සිටි, ඍජු තරමක් දරදඬු ගති පැවතුම් හා උණුවෙන හිතක් හිමි කටකාර එළිසහාමිනේ ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ මෙම 'විදිය' විවාහයෙන් හා ජීවිතයෙන් ලද කටුක අත්දැකීම් නිසා හුරු වූවකට වඩා ජන්මයෙන්ම ලද්දක් යැයි සිතීමට කාරණා මෙම පතෝල හා මල්වඩම් ගැන සිද්දි දෙක නිසා ජනිත වේ. මන්ද අදාල සිද්ධි දෙකම අයත්වන්නේ ඇයගේ විවාහයට පෙර හිරිමල් යොවුන් වියට වීම නිසයි.
එළිසහාමිනේගේ දෛනික ජීවිතයේ එක් නොවරදින අංගයක් වූයේ දිය නෑමයි. මොන අසනීපයකින් සිටියද මිය යාමට දින එකොලහකට පෙරාතුව අවසන් වරට හොඳ සිහියෙන් සිටිනතාක් කල් ඇය එම පුරුද්දෙන් මිදී එක් දිනක්වත් සිටියායැයි මා අසා නැත. මේ නිසාම දෝ අපේ තාත්තාගේ පඩිපතින් කටවල් අටක් නඩත්තු කරමින් අසීරුවෙන් සිටියදී පවා මාසිකව 'ලයිට්බෝයි, සන්ලයිට් හා රොබින් නිල් පැකට්ටෙකක්' සහිත දැකුම් මල්ලක් ගෙනා පඩි දවසට ආච්චීට 'කතා කිරීමට' යාමට අම්මා පුරුදු වී සිටියාය.
තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය.
තවද සීතල ස්ප්‍රිංවැලි, කඳන හා වේවැල්හින්න කඳු මුඳුන් වලින් පෙරී දුනුවංගිය අසලදී තරමක හැඩකාරියක් ලෙස මල්වර වන කුඩාඔය දිය කොමළිය බදුළු ඔයට වැදී සැඟවී යාමට මත්තෙන් කණුපැලැල්ල හා හිඟුරුගමුව ගම් දෙක සදාකාලිකව බේද කරමින් එමැදින් නිසොල්මනේ ගලා බසිනා හෙයින් එළිසාහාමිනේට දිය නෑම සඳහා අමුතුවෙන් බිලක් ගෙවීමට හෝ මහන්සියක් වීමට කාරණාවක් නොවීය.
Photo courtesy: www.google.com
මේ ගංදෑලේ සුන්දර හිඟුරුගමුව හා කණුපැලැල්ල ගම්දෙක අතර සීතල යුද්දයට මුල්වන්නේ කුඩාඔයටත් වඩා කුඩාඔය නිම්නයේ හිඟුරුගමුව මායිමට පිහිටා තිබූ 'ගඟේ පිට්ටනිය'යි. ඊට අමතරව හෙල්මැළි ක්‍රමයට වගාකල කුඹුරුයාය මත්තෙහි 'ලේනිගේ ගල' යනුවෙන් හැඳින්වූ සුවිසල් නිදන්ගල හා ඒ අශ්‍රිත විහරස්ථානයද කොයි වේලෙත් වෙල්යාය හරහා හමා යන නැවුම් සුළගෙන් නටන බෝ කොලවල සිසිලෙන් නැහැවුනු බෝ හෙවනත් මෑතක් වනතුරුම හිඟුරුගමුවේ 'අගය වැඩි' කලේ පුංචිම සන්දියේ හිඟුරුගමුව වැසියන් වූ අපේ හිත්වල පවා යම් ගර්වයක් ඉතිරි කරමිනි.
පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.
රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..
වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.
පසු කලෙක මේ ගම් දෙක යා කරමින් වෙල මැද්දාවෙන් හා කුඩා ඔය මතින් දිවෙන 'අලුත් පාර' හා පාලම ඉදිකරන ලදී. එවකට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිවරයා වූ වින්සන්ට් ඩයස් මහතාගේ ආරධනයෙන් පාළම විවෘත කිරීමට එහි පැමිණි අගමැති ප්‍රේමදාස මහතාව පිළිගැනීමට අපේ අම්මා ලස්සනට කවි කීපයක් කී නමුත් අද එහි මුල් පද දෙක හැරුණුකොට අනෙක්වා මගේ මතකයේ නැත.
රලු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ
යාවී දෙගොඩ මහ පාලම තැනුනානේ..
වින්සන්ට් ඩයස් මහතා අද ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු ගේ මාමණ්ඩියයි.
මෑතක දිනෙක ඇතිවූ හදිසි සිතුවිල්ලකින් බිරිඳ හා දරු දෙදෙනාවත් කැටිව දිය නෑම සඳහා මා ගඟේ පිට්ටනියට ගියෙමි. වෙල ඉහලින් වූ බෝධිය හා එය දරා සිටි ගරා වැටුණු ප්‍රාකාරය පසුකරනවිට එකල හමුවූ දැවැන්ත දිය කඳුර හා ඉන් එතෙර වීමට තුබූ කළු යකඩ පාළම අද එහි නැත. මේ යකඩ පාලමටම ඇමිණූ අඩි හතරක් පමණ පළල වූත් අඩි තුනක් පමණ ගැඹුරින් යුතුවූත් යකඩ කාණුවක ආධාරයෙන් එදවස ගඟ ඉහත්තාවෙන් හරවා කුඹුරු යායට උඩින් ගලාගිය ඇල කඳුර හරහා මෙගොඩ විය. අද ඒ දැවැන්ත කඳුරත් පාලමත් යකඩ කාණුවත් වෙනුවට එහි ඇත්තේ සිමෙන්ති කාණුවක් හා ඊට යටින් ගිය බෝක්කු කටකි.
මේ කඳුර දකිනවිට යම්කිසි පිළිකුලක් හා බියක්ද මුසුවූ නහය අකුලවන සුළු ජුගුප්සාජනක හැඟීමක් පෙර මගේ සිතේ ඇතිවිය. බියට හේතුවූයේ දැවැන්ත බෝ ගස හා අනෙක් විශාල ගස් යට සරුවට වැඩී තිබූ විසල් අලකොල ගාල නිසා කිසිදිනෙක මම මේ අඳුරු අගල නිසිලෙස දැක තිබුණේ නැති වීමයි. පිළිකුලට හේතුවූයේ වැසිකිළි යාම සඳහා වල කක්කුස්සි හෝ පෝච්චි, කොමෝඩ් සහිත වෙනම 'කාමර' නොතිබූ අපේ අම්මලාගේ තරුණ කාලයේ හැම දෙනාම ඒ සඳහා ගියේ මේ කඳුරට යැයි අසා තිබුණු හෙයිනි.
බෝක්කුවෙන් එගොඩ වූ විට හමුවන්නේ පන්සල් වත්තයි. පන්සල් වත්ත මායිමෙන් හා කඳුර අයිනෙන් ගඟේ පිට්ටනිය දක්වා බැසීම සඳහා එකල ගල් පඩි අල්ලා තැනූ කුඩා අඩිපාරක් විය. පන්සලට පහලින් ගඟේ පිට්ටනියට යාව දැවැන්ත ඕවිටේ පිහිටි ඔයේගෙදර වත්ත හා රත්තාගේ වත්ත ලෙස හැඳින්වුණු හුදෙකලා නිවෙස් දෙකක් හා සරුසාර ගොඩ එළවලු කොරටු දෙකක් විය. මෙකියන කාලයෙහි මේ එක කොරටුවක අයිතිකාරයා වූයේ ගොළු පුංචිබණ්ඩේ ලෙස අන්වර්ථයෙන් හැඳින්වූ දක්ෂ ගොවියෙකි. සැබවින්ම ගොළුවූයේ ඔහු නොව ඔහුගේ පියා හෝ මුත්තා බව කියවේ. ගොවිතැනට දක්ෂ වූ තරමටම හේ අධික තණ්හාකාරයෙක් ලෙසද කුප්‍රකටව සිටියේය.
Photo courtesy: www.google.com
ඇලේ ගෙදර රන්මැණිකලාගේ පිටුපස දොරට රෑ මැද්දෑවේ තඩිබාන තරුණ ගැහැණු කටහඬකි.
'රන්මැණිකක්කේ.. දොර ඇරපං. මං එළීසහමිනේ.'
'උඹ ඔය ලාම්පුව පැත්තකින් තියල ගිහින් බුදිය ගනින්.. මං මේ වැඩේ ඉවරයක් කරල යන්නම්.. කාටවත් කටේ කෙළ එහෙම හලනව නොවෙයි ඕං මේ ගැන' තමාටත් අණ දෙමින් ලහි ලහියේ දුම මත තිබූ සියළු දර බිමට බා ඒ මත සීරුවෙන් තැබූ දැවැන්ත පතෝල මිටිය මත නැවතත් දර අසුරමින් වසන් කරන තම විසේකාර තරුණ යෙහෙලිය දෙස රන්මැණිකා අයාගත් මුවින් හා විස්මිත දෑසින් ඒ මැදියම් රැයේ බලා උන්නාය.
පසුදා සුපුරුදු වේලාවට දියට යන එළිසාහාමිනේ එනු දුටු ගොළු පුංචිබණ්ඩේ මුසපත් දෙනෙතින් යුතුව ඇය ඇමතුවාය. 'බලපන් එළීසෝ.. ඊයේ උඹටවත් කරලක් දෙන්නේ නැතුව මං පරිස්සං කරපු අච්චර යස පතෝල කරල් ටික.. මොකෙක්ද කඩප්පුලියෙක් වත්තට පැනල එක කරලක් නෑර ඊයෙ රෑ කපාගෙන ගිහිල්ලනේ බං..'
"ඈ බං.. උඹ කියුව නේද ඔව්ව මලෙන් එළියට ආපු හැටියේ ලපටි කරල් කියල.. ඉතින් මොකාටවත් මොකක්ද උඹේ ලපටි කරල කපන් යන්න තියෙන උවමනාව.. හොඳට බලපන්.. වැල පාමුල බිම වැටිල ඇති පරවෙලා.. මං යනව බං නා ගන්ඩ"
****************************************
එළීසාහාමිනේගේ ප්‍රාණසම මිතුරියක වූ ඇගිස්නෝනා දීග ගියේ පිටගම්කාරයෙකු සමග වුවත් උන් දෙපල ටික දිනකින් නැවත් හිඟුරුගමුවට පැමිණ ගම්සභා ඉඩමක කොනක පැලක් අටවා ගත්තේලු. මේ ඉඩමට කාලාන්තරයක් බැල්ම හෙලමින් සිටි ගමේ ආරච්චිල මේ සිදුවීමෙන් කුපිත වී 'අකුරටම රාජකාරිය කිරීමට' කියා ඉඩං මහත්තුරුන්ට පෙත්සම් ගසා මොන මොනවාදෝ ලියකියවිලි වගයක් පෙන්නා ඔවුන් එතනින් පන්නා දමා ඔහුගේ 'අනුකම්පාවෙන්' උන්ට පාළු සොහොන් පිටියට යාබද අඳුරු මුල්ලක ඉඩං කෑල්ලක් වෙන්කොට දුන්නේලු. ආරච්චිලගේ දැනුමට, රාජකාරියට හෝ බල පරක්‍රමයට අභියෝග කල නොහී ඔවුහු පරාජය බාරගෙන පසෙකට උවත් එළිසහාමිනේට අනුව නම් එය ආරච්චිලයාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුවූ නොහොබිනා කමක්ම විය.
දින කීපයකට පසු ආරංචිවූයේ දැඩිලෙස බියට හා කම්පනයට පත්විමෙන් උණෙන් හා මරු විකල්ලෙන් කියවන 'ආරච්චිලයාට' සෙත් ශාන්තියක් කිරීමට අහල ගම් සියල්ලේම කට්ටඩියන් ආරච්චි නිවසට රැස්ව ඇති බවකි. සුපුරුදු පරිදි එදින උදයේ නිවසෙහි දොර ඇර එලියට බට ආරච්චිලගේ ඇඟ මතට කඩා වැටුනේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැවැන්ත මල් වඩමක් හා මළමිනී දවටන සුදු සළු පොදියකි. ඊට අමතරව මිදුල හා පිල්කඩ පුරාමත් මිනී ඇට කැබලි හා මරණ සැරසිලි විසිරී එය තනිකරම අමු සොහොනක සිරි ගත් බව කියවේ. මේ අසුභ දර්ශණයෙන් හා හදිසියේ මතු වූ අමනුස්ස බියකින් මුළු ගමම ඇළලී යද්දී සුපුරුදු අවඥාසහගත මද සිනහවෙන් යුතුව එළිසාහාමිනේ තොවිල්පොලේදී මෙසේ පැවසූ බව කියවේ.
"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"
Photo courtesy: www.google.com
"දැන්වත් අපේ රාළහාමිට තේරෙයිද දන්නෑ අමු සොහොනක් ලඟ මනුස්ස පවුලකට ජීවත් වෙන්ඩ බෑ කියල"
**************************************
ඊයේ ජූනි 25 අපේ අම්මගේ උපන් දිනය.. ගෙදර යන්න නැති උනත් ගිය වෙලාවක පෙන්නන්න කියල හිතාගෙන ඇයට උපන්දින තෑග්ගක් ලෙසයි මෙය හදිසියේ ලියා පල කලේ. නමුත් නැවත කියවනවිට හා කොමෙන්ට් කියවනවිට හැඟී ගියේ කිසිම අවස්ථා සම්භන්දයක් නැති 'වල් පල් තැලීමක්' මිස කියවිය යුත්තක් ලියවී නොමැති බවත් එයින් කතා රසයට දැඩි සේ හානියක් වී ඇති බවත්ය. රෑ නොසෑහීමෙන්ම නින්දට ගිය නමුත් උදේ පාන්දර හදිසියේ අවදිවී වහාම නැවත පෙර ලියවිල්ල 'ඩ්‍රාෆ්ට්' කර මෙසේ වෙනස් කොට අද දින නැවත් පල කරමි. සිදුවූ අපහසුතාවය ගැන බලවත් කණගාටුව!