Monday 9 May 2016

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක..2- Floating Warriors

අද මේ කොටස සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව 2009 වසරට පෙර පැවතී නෞකා හා යාත්‍රා පිළිබඳව විස්තරයක් ගේන්න.. වසර 2001 අප්‍රේල් මාසේ 21 වෙනිදා මුලතිව් මුහුදේදී සතුරු වෙඩි වරුසා මැද අපෙන් වෙන්වී ගිය P 495 ඩෝරා යාත්‍රාව හා එහිදී මියගිය අභීත රණවිරු නැවියන් ගැන මතකය අලුත් කරමින් ගිය සතියේ ලියන්න පටන් ගත්ත ලිපිය මගදී හිතුනා ඒ විස්තරයත් එක්කම එකල යුද සමයෙහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය භාරය ගැනත් පොඩ්ඩක් ලියන්න.. විශේෂයෙන්ම ඩෝරා යාත්‍රා වල කාර්යභාරය ගැන.. මේ විස්තර ගැන උනන්දු බොහෝ දෙනෙක් ඉන්න නිසා මැයි මාසයේ ඇතුලත ලිපි දෙක තුනක් ඒ සම්භන්දව ලියන්න හිතුවා.. මුල් ලිපිය නොකියවපු කෙනෙකුට මෙතනින් බලා ගන්න පුළුවන්.. ගිය අවුරුද්දෙත් හරියටම මැයි මාසේ මේ වගේ විස්තරයක් ලියන්න අරන් කොටස් දෙකකින් නැවතුනා.. බලමු පුළුවන් උනොත් ඒකත් මේකටම කපල් කරන්න..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සියල්ල බලඝණ 8 කට වර්ග කර තිබුණි. පළමු බලඝණය IPC හෙවත් Inshore Patrol Craft (අභ්‍යන්තර වෙරළාරක්ෂක යාත්‍රා) ලෙසත් දෙවන බලඝණය CPC හෙවත් Coastal Patrol Craft (වෙරළබඩ ආරක්ෂක මුර යාත්‍රා) ලෙසත් නම් විය. මේ සිංහල නම් මට හරියටම ෂුවර් නැත. කට වහරේ මතක තිබු සැටියෙනි. මේ යාත්‍රා දෙවර්ගයම සාමාන්‍යයෙන් අධිකාරි නොලත් නිලධාරීන් හෙවත් ජේෂ්ට නැවියන් විසින් ස්ථාන භාර නිලධාරීන් (Officer-in- Charge) ලෙස පාලනය කල අතර වරාය ආරක්ෂාව භාර මාණ්ඩලික නිලධාරී (Staff Officer- Harbour Defence) ගේ අණ හා පාලනය යටතේ තිබු අතර යුදමය රාජකාරීන් වලට යෙදවීමේ හැකියාව අතින් බොහෝ පහල මට්ටමේ තිබුණි. Offensive (සතුරා හඹා ගොස් පහරදීම?) රාජකාරි සඳහා කිසිසේත් යොදා නොගත් අතර Defensive (ලඟට ආවොත් පහරදෙන?) role එකක් පමණක් පවරා තිබුණි. IPC 1 කාණ්ඩයට ඔබ අසා ඇති Waterjet, Javelin, Arrow, Wave rider, Fiberglass Dinghy (FGD) වැනි කුඩා යාත්‍රා ඇතුලත් වූ අතර  CPC 2 කාණ්ඩයට ඊට මදක් විශාල වූ Chevron, Dockyard වැනි නම් වලින් හැඳින්වූ යාත්‍රා ඇතුලත් විය. කාලයෙන් කාලයට මේවගේ පොඩි පොඩි වෙනස්කම් වූ නමුත් බහුතරය මෙසේ හැඳින්විය හැක.

  වොටර්ජෙට් වර්ගයේ යාත්‍රා.. 
සංදර්ශනයට වඩා සුදුසු ඇරෝ වර්ගයේ කුඩා යාත්‍රා.. 
වේව් රයිඩර් යාත්‍රාවකින් ගොස් කුඩා බෝට්ටුවක් පිරික්සන අවස්ථාවක්..
ඉදිරිපස බර අවියක් සවිකර waverider යාත්‍රාවක් යුද්දයට සුදුසු ලෙස සකස් කරගෙන තිබු අයුරු..
Chevron වර්ගයේ Coastal Patrol Craft -CPC එකක්.. මේවා කට වහරේ චැවටන් ලෙස හඳුන්වනු ලැබිය.
 
 Colombo Dockyard හි නිෂ්පාදනය කිරීම නිසා 'ඩොක්යාඩ්' යන නමින් හැඳින්වූ CPC එකක්..
මුලින් 'ඩෝරා' අතර තිබී පසුකාලීනව වේගය මද කම නිසා CPC ලෙස නම්කළ ප්‍රංශයේ නිෂ්පාදිත යාත්‍රාවක්.. 'ෆ්‍රෙන්ච් ඩෝරා' යන නමින් හැඳින්වින..
පසු කාලීනව SBS එක හා RABS යන විශේෂ ප්‍රහාරක කණ්ඩායම් දෙක කළපු හා ආසන්න මුහුදු තිරයේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් මෙම Waterjet හා Waverider බෝට්ටු Command craft ලෙස හා Javelin / Arrow යාත්‍රා ඒවායේ පරිවාර සේනා ලෙස යොදා ගනිමින් කුඩා කුඩා ප්‍රහාරක කණ්ඩායම් නිර්මාණය කර ගත් අතර යුද්ධයකදී ඉතාමත්ම වැදගත්ම අවශ්‍යතාවය වන අණ හා පාලනය (Command and Control) පවත්වා ගැනීමේ අපහසුතාවය/ නොහැකියාව මත මේ යුධ උපක්‍රම කොතෙක් දුරට සාර්ථක වුවාදැයි වෙනම සාකච්චා කල යුතුයි. කෙසේ වතුදු මේ කණ්ඩායම් සඳහා 'ඉහලින්' මනා අනුග්‍රහයක් හා ප්‍රචාරණයක් නම් ලැබුණි. මන්ද පිටත් සිට බලා සිටින්නෙකුට මෙය ඉතා ආකර්ෂණිය යුද උපක්‍රමයක් (සංදර්ශනයක්?) මෙන් දැකිය හැකි වීමයි..

3 වන බලගණය වුයේ මා පෙර විස්තරයේ සඳහන් කල Fast Gun Boat (FGB) හෙවත් ගන් බෝට් ස්කොඩ්‍රන් එකයි. ඒවා තනි තනි නැව් (Independant) ලෙස වෙන වෙනම අණදෙන නිලධාරියෙකු යටතේ පාලනය වන අතරම Operational Requirement එක නිසා සමුහයක් ලෙසද කටයතු කලේය. අදාළ නැව් සියල්ලේම අණදෙන නිලධාරීන් අතුරින් ජේෂ්ඨතමයා Senior Officer Present in Afloat (SOFA) ලෙස නැව් කණ්ඩායමේම ආරක්ෂක රාජකාරීන් සම්භන්දිකරණය කරයි. පෙර සඳහන් කලාක් මෙන් නාවික හමුදාවේ අඩුම සැලකිලි මැද තමන්ගේ පමණ ඉක්මවා රාජ කාරී කල එහෙත් කලාතුරකින්වත් හොඳක් අහන්නට නොලැබෙන කණ්ඩායමක් ලෙස මෙම නැව් කණ්ඩායම මගේ මතකයේ පවතී.
 උදාර හා ප්‍රතාප ලෙස නම් කල FGB කාණ්ඩයේ නැව් දෙකෙන් එකක්..
 රණරිසි නැව
 Anti Submarine Gun Ship එක වූ පරාක්‍රමභාහු නැව
FGB (ගන් බෝට්) එකක් වතුර යට කොටසේ රෙපෙයාර් එකකට ගොඩට ගන්නා යුරු හා නැවත මුහුදට එක්කරන අවස්ථාවක්..
අධිකාරියට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා යන ගෞරව ආමන්ත්‍රණය සහිතව නමක් මේ නැවකට හිමිවේ. අතීතයේ පටන් මේ නැව් සඳහා නම් ලබා දීම විවිධ නායකයින්ගේ නම් සමඟ සසඳා සිදු කර ඇත. නාවික හමුදාවට 1973දී  පමණ එක්වූ නැව් 5ක් SWRDB අකුරු පහ මුල් කරගෙන සූරයා, වීරයා, රක්ෂක, දක්ෂයා, බලවතා ලෙස නම් තැබීය. JR ගේ කාලයේ එක්වූ නැව් දෙකක් 'ජය'සාගර හා සාගර'වර්ධන' ලෙස හා තවත් ගන් බෝට් දෙකක් ජගතා හා රණකාමි ලෙස නම් විය. ඉන්පසුව එක්වූ නැව් බොහොමයක් 'රණ' යනුවෙන් පටන් ගැනිණි. රණධිර, රණවික්‍රම, රණජය, රණරිසි, රණසුරු, රණගජ, රණවිජය එවන් නැව් වේ.. චන්ද්‍රිකා ගේ සමයත් සමඟ මේ ප්‍රවනතාවය වෙනස් විය. එසමයෙහි ගෙන්වූ Landing Ship Tanker (LST) වර්ගයේ නැව සහ Anti-submarine war ship එකක් ලෙස ගෙන්වූ FGB එක යශෝධා හා විමුක්ති ලෙස නම් තැබීමට ගත උත්සහයක් ඇය විසින් ව්‍යර්ථ කොට පසුව ශක්ති සහ පරාක්‍රමභාහු ලෙස පිලිවෙලින් නම් තැබූ බව සඳහන් වේ. උදාර, ප්‍රතාප ලෙස ගන් බෝට් දෙකක්ද සයුර, සමුදුර, සාගර ලෙස Off shore Patrol Vessels (OPV) තුනක් හා මිසයිල් පද්දතියක් සහිතව යැයි කියූ සුරනිමල, නන්දිමිත්‍ර ආදී Fast Missile Vessels (FMV) වර්ගයේ නැව් දෙකඩ ඉන් අනතුරුව නාවික හමුදාවට එකතු විය.

අප මුලින් කතා කරගෙන ආ අයුරෙන්, 4 වන නාවික බලගණය වුයේ 4th Fast Attack craft Flotilla (4FAF) ලෙස නම් ලද නාවික හමුදාවේ ප්‍රභලම ප්‍රහාරක ඒකකය වූ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනය හෙවත් ඔබ අප සැවොම දන්නා 'ඩෝරා' බලඝනයයි. තිස් වසරක යුද්ධයේ වෙසෙසින්ම අවසාන දශක දෙක තුල නාවික හමුදාවේ බල පරාක්‍රමය මුහුදු සිමාව තුල ආරක්ෂා කිරීමට තම ලෙයින් දහදියෙන් හා කඳුලෙන් අසීමිත කැපකිරීම් කර අභීත වීර නවිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වූ ඩෝරා ස්කොඩ්‍රන් එක, එක අණදෙන නිලධාරී වරයෙක් යටතේ හා ඒ ඒ යාත්‍රා සඳහා වෙන වෙනම අණභාර නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වූ යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් සහිතව සැදුම් ලත්තේය.
 ඩෝරා යන වචනය එක් වීමට මුල්වූ ඊශ්‍රායලයේ නිෂ්පාදිත Super Dvora වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක් (Fast Attack Craft- FAC) 
 ඊශ්‍රායලයේම නිෂ්පාදිත Shaldag වර්ගයේ FAC එකක්..  
 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Ultra Fast Attack Craft (UFAC) එකක්.. P 495 යාත්‍රාව මේ වර්ගයේ එකක් විය.
ඇමෙරිකාවේ Trinity Marine සමුහය මගින් නිෂ්පාදිත FAC එකක්.. 
Killer වර්ගයේ කොරියන් FAC එකක්..
5 වන බලගණය ලෙස Auxiliary Ships හෙවත් යුධ කටයුතු සඳහා විවිද සහය ලබා දෙන නැව්, තෙල් වතුර ආහාර ගබඩා කරගෙන ගොස් බෙදා හැරීම හා ප්‍රධාන වශයෙන් භටයින් ප්‍රවාහනය කිරීමට උදව් වන නැව් කණ්ඩායම හැඳින්වින. ජෙට්ලයිනර් නැව කුලියට ගත එකක් නමුදු අයත් වුයේ මෙම බලඝනයටයි. ඊට අමතරව හංසයා, ලිහිණියා, A 541, A 542 වැනි පුද්ගලයින් ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රාද, A 520, A521 වැනි භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත යාත්‍රාද ඒ අතර විය. තවත් එක් විශේෂ යාත්‍රාවක් වුයේ Hovercraft යනුවෙන් හැදින්වුණු ගොඩබිම හා මුහුදේ දෙකේම යාත්‍රා කල හැකි වූ වායුපා යානයයි. නිරන්තර නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්යවූ බැවින් මේ යාත්‍රාවෙන් නම් ගත නිසි ප්රෝයෝජනයක් නොවිය..
 
 Hovercraft එක මුහුදේදී හා ගොඩබිම අසලදී..


 P 541 හා P 542 මගී ප්‍රවාහන යාත්‍රා.. මේ යාත්‍රා දෙකෙන් එකක් 2000 වසරේදී ත්‍රිකුණාමලය වරායට එල්ල වූ කළු කොටි ප්‍රහාරයෙන් අබලන් තත්වයට පත් වූ අතර ඉතිරි නැව දැනට තල්මසුන් බැලීමට සංචාරකයින් ගෙන යන ව්‍යාපාරයට යොදවා ඇත. 
6 වන බලඝනය OPV විය. මුල් කාලයේ අභීත, එඩිතර, වික්‍රම සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල OPV තුනක් නාවික හමුදාව සතු වූවත් 90 දශකයේ මැද භාගය වනවිට ඒ අතරින් එඩිතර නැව ත්‍රස්ත ප්‍රහාරයකට නතුව කන්කසන්තුරය වරාය තුල ගිලී ගොස් තිබු අතර අභීත හා වික්‍රම නැවු දෙක තවදුරටත් භාවිතයට ගත නොහි පරණ යකඩ සඳහා විකිණීමට ඉවත් කර (Decommission) තිබුණි.  ඒ වනවිට තිබු ජය සාගර හා සාගරවර්ධන නැව් දෙකෙන් සාගරවර්ධන නැවද LTTE ප්‍රහාරයකින් තලෙයිමන්නාරමට ඔබ්බෙන් මුහුදේ දියබත් වී ගිය අතර එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කල එවකට කමාන්ඩර් අජිත් බෝයගොඩ හා තවත් පිරිසක් බොහෝ කාලයක් තිස්සේ සතුරු ඇත අඩංගුවේ පසුවී යුද්දය අවසන් වීමට ටික කලකට පෙර නිදහස් වී පැමිණියහ.
ජයසාගර නැව
වසර 2000 වනවිටත් ලංකාවට OPV එකක් කියා තිබුනේ ජයසාගර නව පමණි. පහුගිය පොස්ට් එකේදී බොහෝ දෙනෙකු සී සික්නස් ගැන ලියන්න කී විට මට එක වරම මතක් වුයේ ජයසාගර නැවයි. මෙහි නැව් බඳේ හැඩය (Hull shape) එක නිසා ඉතා කුඩා මුහුදු චලනයකට පවා විශාල වශයෙන් නැව පැද්දේ.. අපි එකල මේ නැව් බඳ නෑඹිලියකට නැත්නම් පොල් ලෙල්ලකට සමාන කළෙමු. එය එතරම් වතුර මත කැරකේ. සාමාන්‍යයෙන් සී සික් නැති බොහෝ දෙනෙකු ජයසාගරේදී හරහා වැටෙයි. මුහුදට නොයන්නේ නම් ජයසාගර නැව මල් සාගරයකි. ඊට ප්‍රධානම හේතුව එය බොහෝ විට ගාල්ල හෝ කොළඹ වරායට අනුයුක්තව තිබීමයි. පසුකාලීනව වඩා ප්‍රමාණයෙන් හා පහසුකම් වලින් වැඩි සයුර, සාගර, සමුදුර වැනි OPV එකතු වුවද තවමත් ජයසාගර නැවද බැරි බැරි ගාතේ හෝ නාවික හමුදාවට තම සේවය සපයයි.
 සමුදුර OPV එක
 සයුර නැව
මුල් කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවූ ප්‍රමාණයෙන් විශාල OPV එකක්.. 
7 වන බලඝනය FMV (ෆාස්ට් මිසයිල් වෙසල්ස්) වෙනුවෙන් වෙන්කර තිබුණි. ඔය කියුවට ලංකාවේ නේවි එක කිසිම කිසි දිනෙක මේ නැව් වල මිසයිල් භාවිතා කර නැත. මේ නැව් හා එහි තිබු මිසයිල් පිළිබඳව මා ගැඹුරින් හදාරා නැති මුත් පොදුවේ මිසයිල් සම්භන්දව හදාරා ඇති බැවින් ඒ පිලිබඳ යම් අදහසක් පමණක් මා සතුව වේ. මේ නැව් වල තිබුනේ ගේබ්‍රියල් නමින් හැඳින්වූ SSM (surface to surface missile) විශේෂයකි. මේවා රේඩාර් මගින් පාලනය කල යුතුයි. එනම් මේවා භාවිතා කල හැක්කේ රේඩාර් භාවිතා කල හැකි සිමාවේ පමණි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මුහුදු සිමාවේ ඇතුලත පමණි. නේවි එක භාවිතා කරන Marine Radars වලින් ගොඩබිම නිරීක්ෂණය කල නොහැක. එසේනම් මේ මිසයිල භාවිතා කල හැක්කේ සතුරු නැව් ඉලක්ක කර පමණි. අපේ සතුරන් වූ LTTE එකට මිසයිල ගසා විනාස කිරීමට තරම් නැව් (මුල් කාලයේ හඳුනා ගෙන) තිබුනේ නැත. කලක් යනවිට මේ මිසයිල අලුත් වැඩියා කල යුතු වේ.. මිසයිලයක වටිනාම කොටස වන warhead එක ඉතා ඉහල මිළක් වේ. මේ පිළිබඳව නිපුණ නිලධාරීන් එහි සිටිය යුතුවේ. නැව මුලින් ගේන අවස්ථාවේ එහි සිටි නිලධාරීන් ඒ පිළිබඳව පුහුණුවක් ලැබූ මුත් කාලයක් සමඟ ඔවුන් වෙනත් නැව් වලට මාරුවී යාම නිසා අවසානයේ මේ මිසයිල ඒ නැව් වලටම මර උගුලක් විය. කවුදෝ කියුවේ 'මේවා පත්තු කලොත් නැට්ට කඩපු අහස් කූර වගේ කොහේ ගිහින් නතර වෙයිද නොදන්නා' බවයි. මා දන්නා තරමින් පසු කලෙක මේවා පරිස්සමෙන් ගලවා ආරක්‍ෂිත ස්ථානයක තබා නැව් පමණක් OPV ලෙස භාවිතයට ගත්තේය.
නන්දිමිත්‍ර FMV එක
නාවික මෙහෙයුම් වලට නිහඬව බොහෝ මෙහෙයක් කල, අපේ වචනයෙන් කියනවනම් බර ඇද්ද Landing Craft (එකවර ගොඩබිමට Land කරන්න පුළුවන් විදියට හදපු නැව්) 8 වෙනි බලගණයට අයත් විය. මේ අතරින් Landing Ship Tanker (LST) එකක් වූ ශ්‍රී.ල.නා.නෞ. ශක්ති නැව විශේෂ වේ. උතුරට අවශ්‍ය ආහාර, යුධෝපකරණ හා භට පිරිස් පටවාගෙන ත්‍රිකුණාමලය හා කන්කසන්තුරය අතර මේ නැව කී වරක් ගමන් කොට ඇත්දැයි කිව නොහැක. එසේම ප්‍රමාණය හා හැඩය නිසා මේ නැව රළු මුහුදු තත්වයන්ට සාපේක්ෂව හොඳින් නුහුණ දුන් අතර එනිසාම ඒ සමඟ එහි ආරක්ෂාවට ගමන් කරනා ගන් බෝට් හා ඩෝරා යාත්‍රා වලට 'අමු වහක්' වීමද නොකියාම බැරිය. තව දුරටත් Landing Craft Mechanized (LCM) වර්ගයේ රණගජ, රණවිජය හා පබ්බත ආදී නැව්ද ඊට ප්‍රමාණයෙන් කුඩා වූ Landing Craft Utility (LCU) නම් වූ තවත් කුඩා යාත්‍රා දෙකක්ද නාවික හමුදාව සතු විය..
  

 ලංකාවේ නිෂ්පාදිත රණගජ හා රණවිජය LCM මුහුදේදී හා ගොඩබිමට land කර ඇති අවස්ථාවක්
 ශක්ති නැව
ශක්ති නැව වැනි LST එකක් ගොඩබිමට Land කර වාහන  හා troops ගොඩ බාන අවස්ථාවක්
කුඩා ප්‍රමාණයේ LCU එකක්..
ඉහත සඳහන් සියලු චායාරූප අන්තර්ජාලය ඇසුරිණි
හඃ.. මම හරිම කම්මැලි වැඩක් මේ කරේ.. විස්තර ලියන එක.. ඒත් ඉතින් අසන්නන්න්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නත් එපැයි.. ඊළඟ එකෙන් වත් බලමු P 495 අහිමි වූ මෙහෙයුම හා තවත් එවැනි ඩෝරා මෙහෙයුම් කිහිපයක් හා එකල අපේ ඩෝරා ජිවිතේ ගැන ටිකක් ලියන්න.. මැයි මාසේ ඉක්මනට ඉවර නොවුනොත් ඒ විස්තරත් ලියනවා.. 

Wednesday 4 May 2016

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක.. War, it ain't nothin' but a heartbreaker

එදා මැයි මාසේ අද වගේම දවසක්.. හරියටම මීට අවුරුදු 15කට කලින්.. බුරුල් කරගෙන තිබුණු ආරක්ෂක බඳ පටිය යලිත් මදක් තදකරගෙන බිම තියලා තිබ්බ හැවර්සැක් එකත් කකුල් දෙක අස්සේ හිරකරගෙන මම ඉදිරියෙන් පෙනෙන නොපෙනෙන කවුළුවෙන් ඔහේ බලාගෙන හිටියා.. ඒ වෙනකොට මා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 30-40 ක් පමණ හා අත්‍යවශ්‍ය බෙහෙත් හා අනෙකුත් ද්‍රව්‍ය පුරවාගත් ගුවන් හමුදාවේ ඇන්ටනොව් යානය වැල්වැටිතුරේ ගුවන් සීමාවට ඇතුළුව තල් රුප්පාවට ඉහලින් පලාලි ගුවන් තොටුපල වෙත ලඟා වෙමින් තිබුනා. කන් අගුලුවැටි කී..ඊ..ඊ ශබ්දයෙන් රිදුම් දෙද්දී මම නහය මිරිකාගෙන කන් දෙකෙන් හා කටින් සිරුරේ ඇතුලත හා පිටත පීඩනය සමාන කර ගැනීමට අලස උත්සාහයක් ගන්නා අතර ගුවන් නියමුවන් විසින් සාර්ථකව යානය ගුවන් පථය මත ගොඩ බස්වා තිබුනා..

මීට හරියටම සති දෙකකට පෙර එනම් අප්‍රේල් 20 දින දහවලේ කලබලෙන් මේ ගුවන් තොටුපලෙන්ම නික්ම කොළඹ යන්නට සිදු නොවුනානම්.. //නාවික හමුදාවට ගුවන් බල ඇණියක් එක් කිරීමේ පළමු පියවර වශයෙන් නාවික නිලධාරීන් 8 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට කල උත්සාහයේ එක් පියවරක් ලෙස අපිට ගුවන් හමුදා වෛද්‍ය පරීක්ෂණයකට හදිසියේ මුහුණ දීම සඳහා ගුවන් මගින් රත්මලානට පැමිණීමට සිදු වුනා. ඇත්තටම ඒ වනවිටත් 'ලයන් එයාර්' ආයතනය මගින් කරන ලද Aptitude ටෙස්ට් එකක් හා පුර්ණ වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් සමත් වී අපි 8 දෙනෙකු ඉන්දියාවේ අදාල පුහුණුව ලැබීම සඳහා තොරා ගෙන තිබුනත් පසුව වියදම් අඩුකර ගැනීම සඳහා පුහුණුව ගුවන් හමුදාව විසින් ලබා දීමට ගත ප්‍රතිපත්තිමය හදිසි තීරණයක් නිසා අපිට නැවත ගුවන් හමුදාව මගින් පවත්වනු ලැබූ සම්පුර්ණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුනා..// එකකට එකක් වෙනස් සිතුවිලි වලින් මගේ හිත පිරෙද්දී ගුවන් යානයෙන් බිමට පැනගත් මම පෝලිමේ විත් ගුවන් පථයට මදක් ඈතින් නවත්වා තිබු ඩිෆෙන්ඩර් රථයට ගොඩ වුනා. සුළු මොහොතකින් තවත් නිලධාරීන් දෙදෙනෙකු හා ගුවන් තැපැල් මල්ල සමඟ තවත් යම් යම් බෑග් වගයක් රැගත් නැවියන් දෙතුන් දෙනෙකුත් සමඟ දුවිලි පිරුණු පලාලි කන්කසන්තුරය මාර්ගය දිගේ අපි කන්කසන්තුරය නාවික හමුදා කඳවුර වෙත ඒමට පිටත් උනා..

"සර්.. මාර කේස් එක නේද?".. "රජීව් සර්ටයි සොයිසටයි කොහොමද සර්?" "මැරිච්ච කොල්ලොන්ගේ ගෙවල් ඔක්කොටම ගියාද? එපා වෙනවා නේද සර් 'මිසින්' කියල කියන්න ගියාම?" "පයිලට් ල ගන්න වැඩේට මොකද සර් වෙන්නේ? ඇයි ආයෙම මෙඩිකල් තියන්නේ?" "මොකක්ද සර්ගේ අලුත් ඇපොයින්මන්ට් එක?" පලාලි සිට කන්කසන්තුරේට එන ටිකට කනිෂ්ට නිලධාරීන් දෙපළගේ අනේකවිද ප්‍රශ්න වලට මම මොනවාදෝ උත්තර දුන්න.. හැකි සෑම උත්සාහයක්ම අරගෙන සාමාන්‍ය විදියට ඉන්න උත්සහ ගත්තත් ඒක පහසු උනේ නෑ කියල විතරක් මතකයි..

*********************************************************************************
මේ කියන කාලය වනවිට කොටින්ගේ මුහුදු ගමන් ඉතාම උච්ච ස්ථානයකට ඇවිත් තිබුනා. විශේෂයෙන්ම ඔවුන්ගේ ආයුද ගෙන ඒමේ කටයුතු. ඔබ දැන් දන්නා පරිදි ඈත මුහුදේ නවතා තියෙන නැවකින් පුංචි පුංචි යාත්‍රා වලට පටවාගත් ආයුද නාවික හමුදා ඇසට හොරෙන් ගොඩ බිමට රැගෙන ඒම.. මේක නැවත්වීම සඳහා නාවික හමුදාවෙන් දිවයින වටා ආරක්ෂක වළලු තුනක් යොදවා තිබුනා.. ඈතින්ම තියෙන්නේ ලොකු නැව් ටික.. ලොකු කියුවට ලංකාවේ නේවි එකට ඒ හැටි ලොකු නැව් තිබුනේ නෑ.. Offshore Petrol Vessels යනුවෙන් හඳුන්වපු සාමාන්‍ය මට්ටමේ (ටොන් 500- 1000 අතර වගේ) නැව් කීපයක් තමයි තිබුනේ.. ඔය ටික මාරුවෙන් මාරුවට මුහුදේ.. දවස් 10ක් 15ක් ඉඳලා ඇවිත් දවස් 5-6ක් රෙස්ට් කරලා ආයිම යනවා.. ඊට ඇතුලෙන් Fast Gun Boat නැත්නම් කට වහරෙන් ගන් බෝට් කියා හැඳින්වුණු කුඩා යාත්‍රා (ඩෝරා වලට වඩා මදක් විශාල) වලින් ආරක්ෂක වැටක් නිර්මාණය කර තිබුනා.. ගන් බෝට් වල තත්වයත් අතිශය ඛේදනීයයි.. වතුර පරිස්සම් කරගෙන දවස් තුනක් හතරක් මුහුදේ ඉන්න පුළුවන්. හැබැයි ගොඩට එනකොට වේලපු කරවල වගේ තමයි ගොඩක් දෙනා.. මුහුද සැර නැත්නම් (සුළං නැත්නම්) ඉන්න බෑ පිච්චෙනවා.. සුළං සැර උන ගමන් නැව (බෝට්ටුව) පැද්දෙන්න ගන්නවා.. ඒ වෙලාවට තමයි බඩ කටින් එන්නේ අම්ම මෝ සිහි වෙන්න.. මොන යුද්දද ඉතින්..

යුද්දේ වෙනුවෙන් නේවි එකේ කාර්යභාරය සියයට ගණනක් විදියට පෙන්නලා දෙන උදවිය (ඔය විචාරක තුමාල එහෙම.. හැක්) ඉස්සර නැවකින් ගිහින් ගොඩ බහින්නේ පොළොවට වැඳ වැඳ.. ලෝකේ තියෙන අමාරුම රස්සාව මුහුදු රස්සාව කියලා තේරෙන්න මුහුදට ගිහින්ම බලන්න ඕනි.. මගේ මතය නම් නේවි එකේ ඩෝරා හැරුණු විට ඔය කියූ අනිත් නැව් කණ්ඩායම් දෙකම කල කාර්ය භාරය කෙටියෙන්ම විස්තර කරන්න පුළුවන් මෙහෙම.. Punching above weight.. ඔවුන් කලේ තමන්ගේ තරමට වඩා ගොඩාක් එහා ගිය රාජකාරීන්.. ඒක නිසා ප්‍රතිපල හරහා ඔවුන්ගේ කැපවීම මනින එකට මම එකඟ නෑ.

මේ සටහන ලියන්න ගත්තේ මීට අවුරුදු 15 කට කලින් අප්‍රේල් මාසේ 21 වෙනිදාවක මාව නියත මරණයෙන් බේරලා මගේ වෙනත් ගමන් සගයින් පස් දෙනෙකුත් සමඟ මුලතිව් මුහුදේ සැඟවී ගිය මගේ ආදරණිය P 495 ඩෝරා යාත්‍රාව ගැන ලියන්න.. අප්‍රේල් 21 වෙනිදාම ලියන්න හිටියත් විභාග කටයුත්තක් නිසා පහු උනා.. ඊට සති දෙකකට පස්සේ අද තමයි විවේකයක් ලැබුනේ.. 2001 මැයි මාසේ 4 වෙනිදා මම රත්මලානෙන් ගුවන් හමුදා යානයට නැගලා නැවත කන්කසන්තුරයට ගියේ මගේම මළ ගෙදරින් පස්සේ මිනිය වළලලා එතෙක් ජිවත් වුනු ගෙදරට යන ගන්දබ්බයෙක් වගේ.. ඒකයි කතාව එතනින් පටන් ගත්තේ.. ඒ යන්න කලින් සති දෙකක කාලයක් මම ලංකාවේ ප්‍රදේශ 5ක මිනී නැති මළගෙවල් පහකට සහභාගී වුනා.. මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.. ඒක හරිම අමාරු වැඩක්..

*********************************************************************************
ඩෝරා ජිවිතේ හරි වෙනස්.. ඩෝරා එකත් අරන් කන්කසන්තුරේ සති දෙකකට ඔපරේෂන් ඇටෑච්මන්ට් එකකට ගියාම ජිවිතේ ඊටත් වෙනස්..

මීටර් විස්සක් විතර දිග මීටර් 5ක් විතර පළල ඇලුමිනියම් තහඩු වලින් හදපු සැහැල්ලු නමුත් අධිවේගී ඒ වගේම අධික වෙඩි බලයක් සහිත නවීනතම යුධ අවි වලින් සන්නද්ධ අපූරු යාත්‍රාවක් තමයි ඩෝරා එකක් කියන්නේ. ඔය යාත්‍රාවේ ඉඩෙන් භාගයක්ම යන්නේ විශාල එන්ජින් දෙකට සහ ඒ හා සබැඳි අනෙක් යාත්‍රාව හසරවිමේ පද්ධතිය අඩංගු කාමර වලට.. ඒ ඔක්කොම තියෙන්නේ යාත්‍රාවේ පසු පස කොටසට වෙන්න.. ඉස්සරහම තියෙනවා ඇන්කර් එකේ කේබල් එක සහ අනිත් බඩු භාණ්ඩ දාල තියෙන පොඩි ස්ටෝරු කාමරයක්. ඊළඟට ප්‍රධාන අවියේ උණ්ඩ හා සෙසු අවිවල උණ්ඩ ගබඩා කරපු අවි ආයුද ගබඩාව.. ඔය ගබඩාවට හා පසු පස එන්ජින් කාමර වලට අතර මැදි කොටස බොහොම පරිස්සමට ඉඩ පාවිච්චි කරලා හදපු ගෙයක් වගේ.. නිලධාරීන්ට හා නැවියන්ට නිදා ගන්න හදපු bunk ඇඳවල්, නානකමරයක් හා වැසිකිලියක්, පොඩි පැන්ට්‍රියක්, ෆ්‍රිජ් එකක් අවන් එකක්, ටීවී එකක් වගේම කෑම මේසයක් වගේ ගොඩක් දේවල් ඔය පොඩි ඉඩේ හරි ලස්සනට පරිස්සමට ස්ථානාගත කරලා තියෙනවා.. මේ සියල්ල නැව් තට්ටුවට යටින් තියෙන්නේ. ඔපරේෂන් රූම් එක තියෙන්නේ නැව් තට්ටුවට ඉහලින් කොටසේ..

ඩෝරා එකක වේගය හා වෙඩි බලය ඉතා ඉහලයි. ඉස්සරහා නැව් තට්ටුවේ ප්‍රධාන අවිය ස්ථානගත කරලා තියෙනවා.. මෙය බොහෝ විට 23mm හෝ 30mm උණ්ඩ යොදා ගන්නා කම්පියුටරයිස්ඩ් වෙපන් සිස්ටම් එකකින් පාලනය කරන අවියක්.. දිවා හා රාත්‍රී දුර බලන කැමරා හා ගන් කන්ට්‍රෝල් සිස්ටම් එකකින් තමයි ක්‍රියාත්මක කරන්නේ.. වෙපන් එක හා සිස්ටම් එක stabilized.. නැව පැද්දුනාට වෙපන් එකේ aim එක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම target එක lock කරන්න පුළුවන්. එහෙම ලොක් කරාම නැව හැරවෙනකොටත් එක්තරා angle එකක් දක්වා වෙපන් එක target එකට aim වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වෙපන් එක ෆයර් කරන්නේ නැවේ දෙවන අණභාර නිලධාරියා.. ඔහු ඒ සම්භන්දව දක්ෂයෙකු හා පළපුරුදු කෙනෙකු වීම ඉතාම වැදගත්.. ඒ ඇයි කියලා පස්සේ කියන්නම්..

සාමාන්‍යයෙන් නවීනතම යුද ආයුද වලින් සන්නද්ධ ඩෝරා යාත්‍රාවක නිලධාරීන් තුන් දෙනෙක් ඉන්නවා.. අණභාර නිලධාරියා (officer-in-command), දෙවන අණභාර නිලධාරියා හා අමතර නිලධාරියෙකු වශයෙන්.. නායක නැවි තරාතිරමේ හා ඊට පහල නැවියන් 15-18ක් අතර වගේ කණ්ඩායමකුත් මේකේ ඉන්නවා.. එයින් ජෙෂ්ටතමයා හඳුන්වන්නේ කොක්සන් (coxswain) යනුවෙන්.. ඔහු සාමාන්‍යයෙන් යාත්‍රික අංශයේ (සීමන්) නායක නැවි තරාතිරමේ කෙනෙක්.. ඊට අමතරව තවත් යාත්‍රික අංශයේ අවි විශේෂ පුහුණුව ලැබූ නැවියන්, මැරයින් ඉංජිනේරු සහකාර නැවියන්, විදුලි කාර්මික/ ගුවන් විදුලි කාර්මික නැවියෙකු, සංඥා අංශයේ නැවියෙකු වශයෙන් කාර්ය මණ්ඩලයක් මේ පුංචි ඩෝරා යාත්‍රාවක වරකට ගමන් කරනවා..

ඩෝරා යාත්‍රාවක මුහුදේ ඉන්න පුළුවන් කාල සීමාව එහි වතුර හා ඉන්දන රැගෙන යාමේ හැකියාව මත තමයි රඳා පවතින්නේ.. සාමාන්‍යයෙන් ඩෝරා යාත්‍රාවක ඉන්ධන (ඩිසල්) ලීටර් 8000 සිට 14000 ක් පමණ ගෙන යා හැකියි. මෙය යාත්‍රාවේ නිර්මාණය අනුව වෙනස් වනවා.. ඩිසල් ලීටර් 14000ක් යනු ඉතා විශාල ප්‍රමාණයක් යයි හැඟුනත් මේ යාත්‍රාවක ඉන්ධන වැය වීමේ ප්‍රමාණයත් සමඟ සසඳන කල එය එතරම් විශාල නෑ.. සමහර යාත්‍රා වල උපරිම වේගයෙන් පැයක් ධාවනය කිරීමේදී ඉන්ධන ලීටර් 900 ක් පමණ වැය වෙනවා.. එනිසා සාමාන්‍ය තත්ත්ව යටතේදී ඩෝරා එකක යාත්‍රා කාලය සාමාන්‍යයෙන් පැය 12ක් 15ක් අතර තමයි රඳවන්නේ...

ලිපිය දිග වෙන නිසා ඉතුරු ටික දවස් දෙක තුනකින්..