Friday 25 December 2015

උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ.. Stay home and KIT via blogging

2015 දී සිංහල බ්ලොග් අවකාශයට අලුතෙන් එකතු වෙච්චි හොඳම රසකාරකය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් බය නැතුව කියන්න පුළුවන් ඒ ශ්‍රංග ගේ යාන්හෑල්ල කියල.. 90 දශකයේ හා ඉන් ඔබ්බට සබරගමුවේ කොනක ජන ජීවිතයේ කටුක මිහිරියාව ඊටම අවේනික වූ ජනවහරද සමෝසමේ මිටින් ගෙන සයිබර් පන්හිඳෙන් පණ පිහිටුවා දමා ගසන සුරංගයා නිසා උගේ ආච්චම්ම 2015 බ්ලොග් රියල්ස්ටාර් වෙලා ඉවරයි.. ශ්‍රංග ගේ ලියවිල්ල ඉස්තරන්.. කොච්චර ඉස්තරන් ද කියනවනම් ඒ බ්ලොග් එක කියවලම අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත බ්ලොග්කරුවනුත් ඉන්නවා.. 

“ඔබෙරා ......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ ......................"

පංසලට ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන් වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා.


ආධාර පත්‍රයයි
......................... විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ ................................

“යකෝ හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද?"

සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්. ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත් පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක් නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත් දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා...............


...............මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි. මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල් පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක් සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල් කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්.

“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත් මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි.. මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන් ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩි වැඩී යනවා.

ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ  බදුල්ලෙනුත් ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම් සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි.. 

මල්වට්ටියක්.. වෙන්දේසියක්.. පන්සලේ ලොකු පින්කමක් බුදු හිමියනේ.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්.. 

සලපිල් කියන ඒවා අදකාලේ නම් මැජික් වගේ මන් හිතන්නේ.. ඒ දවස්වල නම් මොන වැඩේ පටන් ගන්න ගියත් මුලින් කරන්නේ සල්පිලක් තියල ආධාර එකතු කර ගන්න එක මුලින්ම.. පන්සල් තමයි මේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය.. සල්පිල් ගැන තා බොහෝ රස කතන්දර ඒ කාලේ සල්පිල් වලින් 'ගොඩගිය' අපේ සමහර අයියලාට මතක් වෙයි.. මොකද ඔය සමහර ගෑනු දරුවෝ ඉන්නවා දවල්ට පට්ට ආඩම්බරයි.. එලියකටවත් බහින්නේ නෑ.. ඒ වගේ අයව බලා කියා ගන්නනම් රෑකට රාත්තිරියකට ඔය වගේ සල්පිලක් වෙන්දේසියක් කටිනයක් තියෙන්නම ඕනි.. 

හරි මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ගොඩ වෙලා කියවලා බලන්ඩලා මේනකයාගේ ගොඩේ කතා.. 


ඇයි කොළඹ යන්නේ? මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ....ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි.. අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ...

මගේ ගානේ හැමෝටම නත්තලක් තෑග්ගක්!!!

Monday 7 December 2015

දෛවයෝගයකින් නොවේදෝ... How could you not be sad in a cruel world like this?

උදේ ඉඳන් හිතට හරි නෑ.. මේ ටික ලියන්න කියලා හිතලා දෙතුන් පාරක්ම අත ඇරලා දැම්මා.. පුංචි සිද්දියක්.. ඒ වුනාට හිතට ලොකු බලපෑමක් කරා.. 

පාසල් නිවාඩුව නිසා පවුල ගෙනත් ගාල්ලේ ඉන්දලා මම උදේ වැඩට එන්න පිටත් උනා.. මම සැලසුම් කරේ හරියටම උදේ පහට නිවසින් පිටත් වෙන්න.. හයයි තිහට කලින් කොට්ටාවෙන් එලියට දැම්මොත් ට්‍රැෆික් එකට සෙට් වෙන්න කලින් ඔෆිස් එකට පැනගතහැකි.. 6.55 ට පටන් ගන්න උදේ green area මිටින් එක ඇඩ්‍රස් කරන්නනම් ඊට කලින් ඔෆිස් එකට යන්නත් වෙනවා.. සතියට දවස් දෙකක් පමණක් මේ සයිට් එකේ රැඳෙන නිසා ඒ දවස් දෙකේ මිටින් එකේ කතා කරන එක කොහොම හරි කරන්නත් ඕනි.. කමිට්මන්ට් ගොඩයි. ඒක නිසා වෙලාව ටක්කෙටම වැදගත්.. 

කොහොමින් කොහොම හරි අපේ උන්දැගේ formalities ඉවරවෙලා ගෙදරින් පිටත් වෙනකොට 5.12යි. ඒ කියන්නේ 'සේෆ්ටි මාජින්' එක එතැනින්ම ඉවරයි.. හැබැයි දෙයියනේ කියලා බද්දේගම එන්ට්‍රන්ස් එකට එනකන්වත් එක්ස්ප්‍රස් වේ එකේදිවත් වැඩි අවහිරයක් නොවුණු නිසා හරියටම 6.17 වෙනකොට කොට්ටාවෙන් එලියට එන්න පුළුවන් උනා.. ඉස්කෝල නිවාඩු නිසාද කොහෙද ඒ හැටිම වාහනත් නෑ පාරේ.. ඒක නිසා හයිලෙවල් එකත් හයිවේ එකේම එක්ස්ටෙන්ෂන් එකක් වගේ කියල හිතාගෙන ආවා කොට්ටාව හන්දියට එනකම්.. 
කොට්ටාව හන්දියේ කහ ඉර.. වම පැත්තේ කොනේම බස් එකක් නවත්වාගෙන .. මැද ලයින් එකෙත් වාහනයක්.. මම දකුණටම වෙන්න නතර කර ගත්තේ පුදුම නොඉවසිල්ලකින්.. මේ මිනිස්සුන්ටත් මේ වෙලාවේම පාර මාරු වෙන්න ඕනි උනානේ.. ෂඃ.. මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් මාරු උනා.. ඒ පිටිපස්සෙන් එනවා අබාධිතයෙක්.. කිහිලිකරු දෙකකුත් සහයෝගෙට අරගෙන.. බොහොම හිමින් තමයි ගමන් කරන්නේ.. 'මේ යකා' මේක ක්‍රොස් කරන්න සැහෙන වෙලාවක් ගනියි වගේ..මම වෙලාව දිහා තත්පරේට දෙතුන් වතාවක් බලනවා..

'ෂිහ්.. කාලකන්...' වචනේ ඉවර වෙන්න කලින් මන් ආපහු කහ ඉර දිහා බැලුවා.. දැන් මගේ ඉස්සරහින් පාර මාරු වෙනවා.. කකුල් දෙකම දඟර වැටිලා.. ඒ මදිවට බෙල්ල ලඟත් කුදයක්.. වයස.. ඔව් මම වගේම මැදි වයසේ වගේ තමයි.. කිහිලි කරු දෙක මිනිහගේ උසට හරියන්න විශේෂයෙන් හදපු දෙකක් වගේ.. සාමාන්‍ය ඒවාට වඩා කොටයි.. එත් ඒකත් ටිකක් උස වැඩියි වගේ.. කිහිලි කරුව මාරුවෙන් මාරුවට තියල ඉස්සරහට පියවරක් තියන හැම වෙලාවේම මිනිහ පිම්මක් වගේ තමයි පනින්නේ.. තව මීටරයක් හමාරක් පැන ගන්න තියෙනවා.. ඒක සම්පුර්ණ කරාම මනුස්සයට ලොකු ජයග්‍රණයක් වගේ දැනෙයි.. 

මට ගමන අමතක වෙලා ස්වයංක්‍රියව මං මේ අපුරු පුද්ගලයා දිහා බලන් ඉන්නවා..

Oh! shit! I was counting seconds for a 130+ kilometers of damn race of life.. this guy is struggling to limp across the road.. 

සිය ජයග්‍රාහී පියවර pavement එක මත තැබූ ඔහු කෘතඥ පුර්වක ලෙස මා දිහා බලා සිනහා වුනා.. ගමනේ ඉතිරි ටික ආවේ උදේ ගෙදරින් ආ මා නොවෙයි.. 

Wednesday 2 December 2015

ආත්මාර්ථකාමී බ්ලොග්කරනය හා අතෙන් කයිට් කොමෙන්ට්කරනය Selfish Blogging vs Solicitous Commenting

දෙකෙන් එකක් තෝරා ගැනීමට කාලය එළඹ තිබේ..

පුළුවන් තරම් කාලයක් බ්ලොග් පෝස්ට් ලිවිම හා සහෘද බ්ලොග්කරුවන්ගේ පෝස්ට් කියවා ඒ වෙනුවෙන් යම් අදහසක් කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කිරීම කරගෙන ආවෙමිය.. පහුගිය දෙතුන් මසක සිට බ්ලොග් ලියන එක සැහෙන දුරට මඟ හැරී ගියේ වැඩ ටිකක් වැඩිවූ නිසාවෙන් වන නමුත් ඒ කාලය පුරාවටම මගේ ලිස්ට් එකේ මෙන්ම මාතලන් සින්ඩියේ, අටම්පහියේ, කුරුටු සින්ඩියේ, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයේ, හැලප අයියගේ රාජ් ගේ හා විචාරකගේ  ආදී මෙකි නොකී අටෝරසියක් සින්ඩි හා බ්ලොග් වලට අලුතෙන් එකතුවෙන ලිපි කියවා සටහනක් තැබීමට මට 'moral obligation' එකක් ඇතැයි සිතා ඉඩ ලැබෙන සැම විටෙකම අතට අහුවෙන ක්‍රමයකින් ලොග් වී කොමෙන්ට්කරනය අතපසු නොකර කරගෙන යාමට උත්සහ දැරුවෙමිය. ඒ වෙනුවෙන්ම උලව් ඉස්මාට් ෆෝන් මගුලක්ද මිලදී ගත් අතර එයින් බ්ලොග් කියවා කොමෙන්ට් කරන විට දෙක දෙක නොව දෙක තුන වදින ලෙඩක්ද හදාගෙන රවියා, දෙමල නයන්නා වැනි මහත්වරුන්ගේ කුණු කතාද සාවධානව ඉවසා සිටියෙම්ය.. දැන් නම් බිත්තියටම තදවී ඇති බැවින් 'බ්ලොග්' සඳහා වෙන් කළහැකි කාලය සැලකිය යුතු ප්‍රතිශතයකින් කපා දැමීමට සිදුවී ඇතිය. ඉදින්.. දෙකෙන් එකක් තෝරා ගත යුතුය.. 
 දෙක යනු.. 

එක.. තොපි කියෙව්වත් එකයි නැතත් එකයි.. මගේ බ්ලොග් එකේ මන් ලියනවා.. උඹලට ඕනිනම් බලලා කොමෙන්ට් කරපල්ලා.. නැත්නම් කුදගහගනියව්..හැබැයි මගෙන් රිප්ලයිවත් උඹලගේ අටමගල් කියවන්න එයි කියලවත්නම් බලාපොරොත්තු වෙන්න එපා.. ආදී වශයෙන් සිතා.. හිතට එන දේ 'මගේ බ්ලොග්' එකේ ලියා දමා කඩේ වසා ආත්මාර්ථකාමී බ්ලොග්කරනයේ යෙදීම....

දෙක.. 'මගේ බ්ලොග්' එක සම්පුර්ණයෙන්ම අත හැර සිත් සේ පිනුම් ගැසිය හැකි බ්ලොග් ලිස්ට් එකක් හොයාගෙන අනුන් වෙනුවෙන් අතෙන් කයිට්  'කොමෙන්ට්කරනයේ' පමණක් යෙදීම..  

මේ කැටගරි දෙක හා කලින් කියූ සමබර (සමබර කියුවට සමබරම නොවෙයි එක් අන්තයකටම නොගොස් සිටින) බ්ලොගාල බොහෝ දෙනෙක් මතක් උනත් ඉල්ලගෙන කන්න ඕනේ නැති නිසා 'එක' කැටගරිය ගැන නොහිතා නොලියා සිටිය යුතුයැයි සිතමිය.. 

'දෙක' ගැන කියන විටනම් සුපිරි නම් කීපයක්ම මතකෙට එයි.. 

ගෝරිල්ලන් ගැන පමණක් නොව ලස්සන ගෑනු ළමයින් ගැනද අතිශය උනන්දු ප්‍රා ජේ බ්ලොග් එකක් ලියුවානම් එය සිංහල එන්සයික්ලෝපීඩියා එකක් වනු නොඅනුමානය.. 

එකෙක් මලා කියුවත් එලද බ්‍රා කියන බ්‍රා මෙන්ඩා ලියන්න ගත්තොත් යාන් හෑල්ලට එහා ගිය ආත්ම කතනයක් කියවිය හැකිවනු ඇත. 

ඩබල් ආදිපාද කම්මල වරක් සිරාගේ හතේ කාමරයට උගේ දොස්තර ලවු එක ලියා යැවුවේය.. එය කියවූ උන් මේකා නොලියන එකට මුගේ හතර වරිගෙටම බැන්නේය.. 

ගෙදර උන්දැට 'ගරු කරන' නිසා නොලියා හිටියට පත්තරයා කතා සාගරයකි. 

ලොවෙත් නැති බ්ලොග් එකක් ලියන னයන්න දෙමල praයන්න ඉංගිරිස් කොන්ක්‍රීට් බාසුන්නැහේ දේශකයා ගේ අවතාරය නොව දේශකයාම බව සමහරු පලි ගහන්නේ  ඌ ලියපු සමහර කොමෙන්ට් වල 'ගුණාත්මක' භාවය එතරම් ඉහල නිසාය.. 

කාලයක් මේ සෙට් එකේම හිටපු ඇනොපිලිස් මුද්දා ට ඩෙංගු හැදිලා නිසා දැන් ඌ බ්ලොග් පැත්තේ එන්නේ නැත්ද කොහෙදය.. 

තව මේ වගේම අතින් කයිට් කොමෙන්ට් කාරයෝ සිටියත් මේ අයගේ විශේෂයක් ඇත්තේ අනුන්ගේ බ්ලොග් එකක් තමන්ගේ වගේ කරගෙන නොමසුරුව ඒ වෙනුවෙන් කොමෙන්ට් වියදම් කිරීම හා බොහෝ විට මුල් කොමෙන්ට් එක දෙකෙන්ම සෙට්වී පෝස්ට් එක ගැලවී විසිවෙන තුරු කොමෙන්ට් හරඹය ඇදගෙන යාමට ඔවුන් දක්වන කැපවීමය.. මට ඇත්තටම ආස එහෙම එකෙක් වෙන්නටය..  එහෙත් එච්චර වියදම් කරන්නට හිත හදා ගන්නටත් අමාරුය.. 
ඒක නිසා හිත හදාගෙන පළවෙනි කාණ්ඩයට එකතු වෙන්න හිතුනත්.. එක්කෝ ඕනා නැතිය.. කාලා බිලා පුරුදු වෙච්චි එකා ගේ අස්සේ කොටුවෙලා ඉන්නවා වගේ ඒක මටනම් මෙලෝ රහක් නැතිය.. 

අම්මට සිලි.. මෙහෙම ලියාගෙන යනකොට තවත් ක්‍රමයක් මතක් විය.. එනම්.. බ්ලොග් ගනු-දෙනුවකට යාමය.. වෙන විදියකින් කියුවොත් මන් ලියන ඒවා බලල කොමෙන්ට් කරන උන්ගේ බ්ලොග් මාත් කියවා කොමෙන්ට් කරනවා' වැනි අසාධාරණ නොවන එහෙත් ආත්මාර්ථකාමී සංදිස්ථානයක් හොයා ගැනීමය.. ටිකක් හිතාගෙන යනකොට හැබැවටම ගොඩක් උන් කරන්නෙත් ඒකය.. මටත් එහෙම ඔප්ෂන් එකකට ටික කාලයකට හරි යන්න හිතෙනවාය.. 

එකතකින් මෙච්චර කල් හොයා හොයා බ්ලොග් කියෙව්වේ අජිත් ගමයා මට පවරපු රාජකාරියක් නිසාය.. එනම් ඊළඟ බ්ලොග් සම්මානෙට සුදුසු ඒවා තෝරන්නට උදව් වෙන්න  කියාය.. ඒ වැඩේ මන් මට හැකි අයුරින් උපරිමෙම්ම කල බව සතුටෙන් කිව යුතුය.. දැන් උවත් මගේ අද වෙනතුරු යාවත්කාලින කරන ලද 'නිර්දේශිත බ්ලොග් පොස්ට්'  ලැයිස්තුව ඉදිරිපත් කල හැකිය.. මේ මාසෙන් ඒ වගකීමත් ඉවර නිසා මගේ තේරීම පහසු වනු ඇතිය.. අජිත් ගමයාට දැන් මගේ නිර්දේශ වලින් වැඩක් තිබුනා නැතා මේ මාසේ අවසන් වෙන විට විස්තරයක්ද සමඟ මගේ නිර්දේශ ලැයිස්තුව මේ බ්ලොග් එකේම පල කිරීමට හිතා ඉන්නවාය.. ඒ වගත් එසේය.. (මාතලන් ගෙන් කොපි කරන ලදිය..)

හරිනම් දැන් මුලටම ගොස් මාතෘකාවේ සිටම වෙනස් කොරගෙන ආ යුතුය.. ඒත් ඔන්නොහෙ ඒකට කම්මැලිය.. තවමත් අවසන් තීරණයක් ගෙන නැති නිසා සමහර විට මේ පොස්ට් එකට වැටෙන කොමෙන්ට් වලටත් මගෙන් රිප්ලයි නොවැටිය හැකිය.. එසේ වුවොත් මාගේ චොයිස් එක 'එක' බව සැලකිය යුතුය.. නැත්නම් උඩුකුරිඥ්ඥ වෙලාම වෙන්නත් පුළුවන්ය..