Tuesday 23 December 2014

ආගන්තුක ආදරය- Debutante

විසි තිස් වසරකට පෙර පාසැල් ගිය     පාරේ
දියණිය කැටුව යමි ඇගෙ පාසැල්        වාරේ
මතකය ඉදිරියට පැන හොලවා ඇස්     දාරේ
බොඳ වුනෙ නැති මතක හිත පතුලින් බේරේ


*******************************

කොණ්ඩය වවා පීරා හිස             පිටු පසට
දහසය වියැති කොල්ලෙකි විස පෙවු තුඩට
අත්කොට කමිසයට හා සුදු         කලිසමට
එහෙමට හැඩක් නැතිමුත් මහතය      උසට

සිස්සත්තෙන් පැන ඇවිත් මහ විදුහල්  මෑණී
පස් අවුරුද්දකුත් ගතවී සාපෙත්         පැමිණී
හිටියෙන් හුඟක් මිතුරන් පෙම් ලොව ඇමිණී
හිත පිස්සුවට මුත් පොඩි අඩුවක්         තිබුනී



කලකට ඉහත දුටුවිට පොඩි කෙල්ලක්ය
ලඟකදි මල් පිපී දැන් මල්       වත්තක්ය
ඉහල ගත් හුස්ම යලි පහරනු     බොරුය
මේ ඇයමදැයි අදනම් සිත     සැකයක්ය

විහිළු කර තිබූ ඇති පදමට      බාලේ
පහල පංතියේ කෙල්ලකි ඒ    කාලේ
අහල ගං හතක මල් පිපෙනා    ලීලේ
පහල උන හිතට තටු ලැබුණා  ආලේ

සිසි වන උවන ඉඟසුඟ අත් මිටින්   ගෙනා
නිසි පුළුලුකුල මන බන්දන නුවන්     පිනා
දිසි රණ ලියක් ගැන පෙර කී සැවුල්    දනා
කිසි කමකට නැතුව ඇගෙ රුව තිබේ වනා

වෙනදා නැති අමුතු කිතියක් හිතෙ      විනී
උදයෙම ගොහින් ඇය එන මග බලා   උනී
දනි පනි ගා වැටෙන හදවත බලෙන් මෙනී
උස්සං ඉන්න බෑ ආයෙත් බිමට           පනී

සුපුරුදු ලෙස පැමිණ ඇගෙ මුතු හස    පෙන්නා
ගුඩ් මෝනින් අයියේ කියලා           සිනහ උනා
සුභ පැතුමටවත් දෙන්න උත්තර නැති වෙන්නා
හුම් සද්දයක් නෑ මං එතනම                 උන්නා

ටිලිං ටිලිං බෙල් එක හඬ දෙන     නාදේ
වටිං ගොඩිං පන්සිල් නද රැව්       පිළිදේ
දොහොත් මුදුං බැඳ වැන්දත් මුණි  පාදේ
වෙනිං මොකුත් මතකයෙ නෑ කළ කීදේ

ඔහොම දවස් ගනනාවක්                  පහු කෙරුවා
බොහොම දෙනෙක් මගෙ වෙනසක් ගැන  ඇහුවා
කොහොම හරි ගොඩ යන්න විදියක් ගැන හෙව්වා
රහම රහට කවි ලියුමක් මං                        ලියුවා


මධු මල ලෙස මුදුව පිපි මගෙ නංගි         සුදෝ
හැදු වැඩු දෙමවුපිය දෙදෙනට පින් නොවෙදෝ
සිදු වන වෙනස හද කෙළෙසක       පවසමිදෝ
පිදු හදවතට පිටුපා යන් නෑ                  නේදෝ

දහිරිය අරන් පසුදා වරුවක          හවස
පස්සෙන් ගිහින් දුන්නා කියවන   විලස
හද පෙළු නුහුරු සිතුවිලි මැද ගෙවු දවස
කඩුපුල් සමන් මල් ගැන්නා රෑ      අහස

පිළිතුරු පතා සුභ නැකතින් ගොස් උදයේ
එනතුරු ඒ දසුන මග රකිමින්       සිටියේ
ඇති තුරු රිදුණු හදවත පෙම් කිටි කිටියේ
පිවිතුරු හිනාවෙන් මගෙ හිස මල් පිපියේ...

- කලණ..

Wednesday 17 December 2014

හමුදා රස කතා Which one is better?


හැමෝම අහල තියෙන විදියට නැත්නම් ගොඩාක් දෙනෙක් හිතන විදියට හමුදා ජීවිත හරිම දරදඬු, දුෂ්කර, වෙහෙසකර එහෙම නැත්නම් කෙටියෙන්ම කියනවනම් 'මහ එපා කරපු' එකක්.. ඒක ඇත්ත බොහෝ විට, ඒ වගේම අහන්න දකින්න ලැබෙන දේ හා බොහෝ හමුදා පුද්ගලයින්ගේ ස්වාභාවයන් පිටින් නිරීක්ශණය කරාම පේන්න තියෙන්නෙත් ඒ වගේ තමයි. අපේ 'විචාරක තුමා' වගේ සරළ සුන්දර මිනිස්සු දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි මේ බොහෝ හමුදා පුද්ගලයින් තුල ඉතාමත් සැහැල්ලු විනෝදකාමියෙකුත් ඉන්නවා තමන්ට ඉතාමත් කුළුපග ඇසුරකදී එළියට එන. කල්පනා කරල බලන්න ඔබේ බොහොම හිතවත් හමුදා යාලුවෙක් ඉන්නවනම් 'සෙට්' වෙච්ච වෙලාවට ඔවුන් කොච්චර 'ෆන්' ද කියලා.. 
මගේ කෙටි කාලීන හමුදා අත්දැකීම් අනුව රාජකාරියෙන් බැහැරව ඉන්න විට මේ හමුදා පුද්ගලයින් බොහෝ විනෝදශීලියි. සෙට් වෙන්න, කයිවාරු ගහන්න, ෆන් ගන්න, සිංදු කවි කරන්න විතරක් නෙවෙයි 'මඩ ගහන්නත්' ඔවුන් එකසේ සමත්.. රාජකාරී ජීවිතේදී අත්දකින කුඩා සිදුවීමක් හෝ කිසිසේත්ම සිදු නොවූ තනිකරම හිතළුවක් වුනත් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් කරන මේ 'මඩ ගැහිල්ල' හමුදා පුද්ගලයින් අතර ඉතාම ජනප්‍රියයි.. විශේෂයෙන්ම කිවයුතු දෙයක්නම් මඩට මඩකින් පිළිතුරු දෙනවා විනා මේ හරහා කෝප ගැනීමක් හෝ යාලුකම් අත් හැරීමක් සිදු වෙන්නේ නෑ. සමාන නිළයන් අතර මෙන්ම තමන්ට වඩා ජේෂ්ඨ කනිෂ්ඨ නිළධාරීන් අතර වුවත් මෙවන් අවස්ථාවල කිසිම දුරදිග යන ගැටළු ඇතිවන්නේ නෑ.. මේ ටික මුලින් කිව්වේ කවුරුහරි හිතුවොත් ආයුධ අතේ තියෙන උන්ට විහිළු කිරීම ඇස් රතු වෙන වැඩක් නොවේදැයි කියල ඒ අදහස ඉවත් කර ගන්නයි.. තවත් ඉතාමත් වැදගත් දෙයක් මතක් කල යුතුයි. එනම් හමුදා නිළධාරීන් අතර සම්ප්‍රධායක් ලෙස මෙවන් අවස්ථාවල කථා නොවෙන මාතෘකා තුනක් තිබෙනවා.. ඒ දේශපාලනය, ආගම සහ කාන්තාවන් (බිරින්දෑ වරුන්) ගැනයි.. ගැටුමක් නොමැතිව හාස්‍යයකින් පමණක් සැනසීමට එයත් ප්‍රධාන හේතුවක්.

මේ වගේ අවස්ථාවල කියවෙන 'හමුදා රස කතා' බොහෝ ප්‍රමාණයක් තිබුනත් පිටස්තරයෙකුට මේවා රස විදින්න හැකියාව අඩුයි.. ඒකට ප්‍රධාන හේතුව තමයි මේවා බොහොමයක් හමුදා වචන හා ක්‍රමවේද පදනම් කරගෙන ගොඩ නැගුනු ඒවා නිසා ඒ පිළිබඳ අවබෝදය අඩුවීමෙන් එහි රසය උකහා ගැනීමට නොහැකි වීමයි. මිලිටරි බාවිතයෙන් බැහරව මෙවන් හාස්‍යයට බඳුන් වන එක් මාතෘකාවක් තමයි 'ඉංග්‍රීසි'.. එක්කො හැමෝටම ඉංග්‍රීසි බැරි නිසා එහෙම නැත්නම් ඔක්කොටම පුලුවන් එක්තරා ප්‍රමාණයකට නිසා මෙහිදී කවුරුවත් අපහසුතාවයට පත් වීමක්නම් වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ හරහා අපූරු විනෝදයක් නිර්මාණය කර ගන්නවා..එච්චරයි.. මේ එවන් කෙටි කතා දෙකක්..
**********************
වරක් අපේ එක් නිළධාරියෙකුට පිටරටින් ආ නැවක Liaison Officer කෙනෙක් විදියට වැඩ කරන්න සිද්ද උනාලු. රාජකාරි කටයුතු වලින් අනතුරුව හවස මේ නැවේදී අදුනගත් විදේශීය නිළදාරියෙකුත් සමග ගෝල් ෆේස් පැත්තෙ රවුමක් යන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ලෝකල් සුද්දොත් එක්ක වගේ නෙවෙයි ඇත්තම සුද්දොත් එක්ක ඉංගිරිස් කතා කරන එක පහසු නිසා (වැරදුනාට ගානක් නැති නිසා) අපේ එකත් ඉතින් දන්න වැඩ කෑලි ඔක්කොම දදා යාළු සුද්දත් එක්ක චැට.. ඔහොම යන ගමන් තිබහට කියල පොඩි හට් කඩේකට ගොඩවෙලා දෙන්න බොන්න මොනව හරි ගන්න.. සුද්ද දැක්ක ගමන් ෆැන්ටා බෝතලයක් ගත්තලු.. අපේ එකා ඉතින් මහේලයි සංගයිත් බොන නිසා කියල කූල් කොකා කෝලා එකක් අරන් දැන් දෙන්නත් එක්ක මුහුද දිහා බලන් බොනවලු. 
උගුරක් දෙකක් බීපු සුද්දා යාළුවා දිහා බලල බිබී හිටපු ෆැන්ටා බෝතලේ තිබ්බ අත මුහුද දිහාට දික් කරල කිව්වලු.. 'Fantastic' කියලා.. ආයි මොකද අපේ එකත් එම පයින්ම උගේ බෝතලේ උස්සල කිව්වලු........... "කොකෑස්ටික්"  
**********************
ගොඩාක් දෙනෙක් මාත් එක්ක එකඟ වෙයි කාලයක් තිස්සේ පවත්වාගෙන යන ඕනෙම හමුදා කඳවුරක් ලස්සනට පිඩලි අල්ලල, මල් වවල, ගහ කොල හිටවල පාරවල් කාණු ගැටි පවා පාට කරල ඉතා අලංකාරව මේන්ටේන් කරගෙන ඉන්න බවට. මෙහෙම තියෙන්න ප්‍රධාන හේතුව තමයි ජේෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ශනය හා වැඩ කිරීමට ඕනෑ තරම් අය සිටීම (හෝ බලෙන් වැඩ කිරීමට පෙළඹවීම කියන්නත් පුළුවන්) කොහොම හරි උතුරු පලාතේ ඔය වගේ නාවික හමුදා අනුඛන්ඩයක වරක් අපේ එක්තරා නිළධාරියෙකු අණ භාර නිළධාරියා විදියට වැඩ කලාලු. මෙතනත් ඉස්සරහා ඔය මන් කිව්ව වගේ ලස්සනට පිළිවෙලට හදල මල් වවල ක්‍රෝටන් ගස් හිටවල පිළිවෙලට පවවාගෙන ගිහින් තියෙනවා. ඔය අතර අයාලේ ගිය එළුවෙකුත් මෙතනට ප්ලග් වෙලා.. ඉතින් 'අණබාර නිළධාරියාගේ පූර්ණ අනුමැතිය' ඇතිව 'කොල්ලො' ටික මේ එළු නාම්බවව නාවල සුද්ද කරල කෑම්ප් එක ඇතුලෙම ලොකුමහත් කරන්න පටං අරං.. දවසක් උදේ බලනකොට එර එළු තඩිය ඉස්සරහ හිටවල තිබුන ක්‍රෝටන් ගස් ටික ඔක්කොම තැනින් තැනින් කාලා විනාස කරල දාලලු.. ඊට පහුවෙනිදා ජේෂ්ඨ නිළධාරියෙක් කඳවුරු පරීක්ශාවටත් එන්න නියමිතයිලු.. මේක දැක්ක අපේ නිළධාරියාගේ මොලේ මඥ්ඥං වෙලා දැන් මොකද කරන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නවලු.. ඔය අතරේ අණුකණ්ඩයේ ජේෂ්ඨ නැවියෙක් ඇවිත් කියනවලු 'සර් අපි මේක එච්කිවු එකට දැන්නුවොත් හොඳයි නේද කියල.. ඒ පාර මෑන්ටත් හිතිල 'ඒක තමයි හෙට ඇවිල්ල ලොක්ක මේක ගැන අහනකොට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි' කියල තීරණය කරාලු සිග්නල් එකකින් මේ බව ඉහලට දැනුං දෙන්න.. ඔක්කොටම හපන් දැන් ගහපන්කො ඉංග්‍රීසියෙන් සිග්නල්.. එළුවගේ මෑණියන් වහන්සේ මතක් කර කර ලියුවලු කෙටියෙන්ම.. ඔය සිග්නල් කොම්‍යුනිකේශන් වල තියෙනව බේසික් ප්‍රින්සිපල් එකක් ක්ලියර් ඇන්ඩ් බ්‍රීෆ් කියල.. ඉතින් ආයි මොනවද මෙන්න මැසේජ් එක.......... "මටන් ඊටන් ක්‍රෝටන්"
**************************

මේක නම් අනේ අම්මපල්ල ඇත්තම ඇත්ත එකක්.. මයෙ ඉස්සරහම මගේම බැචෙකුට වෙච්චි නිසා බය නැතුව කියන්නේ.. ඉංගිරිස් ප්‍රශ්නෙකට වැඩිය මෙතන නම් තියෙන්නේ පැනික් Panic කේස් එකක්.. ඔන්න අපි ට්‍රේනින් කාලේ.. ඔක්කොම කරන්න තියෙන්නේ රුටීන් එකකටනේ. දවසේ අන්තිම ටාස්ක් එක තමයි රෑ අටට තියෙන 'ඩියුටි ඔෆිසර් රවුන්ඩ්ස්' වලට සූදානම් වෙන එක.. හැම එකක්ම සෝදල අස් කරල සුද්ද කරල නියමිත නිළ ඇඳුම ඇඳගෙන රෙඩි වෙලා ඉන්න ඕනි.. ටොයිලට් එක පවා හෝදලා මොප් කරල තියන්නේ වතුර බිංදුවක්වත් නැති වෙන්න.. නැත්නම් ඔළුව කොමඩ් එක අස්සට දාල ප්ලශ් කරනවනේ..හි හි.. ඉතින් අපරාදේ කියන්න බෑ ඔය මොනවා කලත් වැඩක් නෑ එන ගමන්ම මොකක් හරි එකක් පුලප් pull-up කරල බැච් එක පිටින්ම රෑ දහය විතර වෙනකම් දුවවනවා.. පට්ට සනීපයි. ඔන්න ඉතින් මං කියන දවසෙත් අපි ඉතින් ලෑස්ති වෙලා බලං ඉන්නවා ඕනෙ දෙයකට.. එදා එන්න හිටිය බුවා (ඩියුටි ඔෆිසර්) ටිකක් අනිත් උන්ට වඩා වෙනස්.. හොඳට හොයල බලනවා.. ඒ වගේම මෑන්ස් අනිත් උන්ට වඩා ටිකක් ස්මාර්ට්.. හොඳට ඇඳල කරල එහෙමත් ඉන්නවා.. ඉතින් ඔන්න බුවා ආවා.. ඇවිත් මගේ ඉස්සරහ හිටිය අපේ බැච් එකේ හිටපු අහිංසකම හොඳටම වැඩත් කරන එකෙක් ගාව නැවතිලා උගේ සපත්තුවක් අපේ එකාගේ සපත්තුවක් ගාවට ලං කරල හරව හරව බලනවා.. දෙකම ගින්දර වගේ පොලිශ් කරලා දිලිසෙනවා.. තියරි එකක් තියෙනවනේ ට්‍රේනි කෙනෙක්ගේ සපත්තු අනිත් හැමෝටම වඩා හොඳට දිලිසෙන්න ඕනි කියලා.. (කොහෙද තියෙන්නේ කියලනම් අහන්න එපා.. ඒත් එහෙම එකක් තියෙනවා) ඉතින් විනාඩියක් දෙකක් ඔහොම බල බල ඉන්නකොට මං බලගෙන අපේ එකාට මූත්‍රා පිටවෙන්න වගේ ඇඹරෙනවා බයටම.. එක පාරටම ලොක්ක අඩියක් පොළොවේ ගහල අහපි 'Which one is better? is that your fucking one or my one?' හිතා ගන්න පුළුවන්ද අපේ එකා දුන්නු උත්තරේ.................... "ස..ස..සර්.. යුවර් ෆකින් වන්"
**************************

බ්ලොග් එකක් ලියන්න පටං ගත්තත් හරි මේ වගේ නසරානි කාලයක් උදා වුණේ නෑ. බලන බලන හැම තැනම වේස පාලනේ.. හැම එකාම බනිනව හැබැයි ලියන්නෙත් කියවන්නෙත් එව්වමයි.. හරියට මරා ට බැන බැන චන්දෙ දෙනව වගේ. ඔතනින් එහා ගිහින් කතා කරන්න වැදගත් හරි මිනිහෙක්ගේ හිත් ගනී කියල හරි හිතෙන මාතෘකාවක් නොතිබිච්ච නිසා මොකුත් නොලිය ඉන්න හිතුවා.. දෙසැම්බර් මාසෙන් බාගෙකටත් වැඩිය ගිහින් කලාහිත ගොලුවෙලා නිසා පොඩි සිඟිති ආතල් එකක් ගන්න මේ ටික ලියුවේ.. කට්ටියට කියවලා බැන බැන හරි යන්න බැරියැ..