Monday 15 August 2016

ඉයන්ගේ අභියෝගය හෙවත් මගේ සිත් ගත් ගීත 16ක්.. Most difficult assignment in a while

ඉයන් පුංචි අභියෝගයක් කරලා තිබ්බනේ.. මම හිතා ගත්ත ඒක මගේ අයිස් බ්‍රේක් කර ගන්න හොඳ අවස්ථාවක් කියල.. හිතුවට දැන් බැලුවම ඒක කාලෙකින් හම්බවෙච්චි ලොකුම අමාරු වැඩක්.. ඒ කියන්නේ මගේ කැමැත්ත සිංදු දාසයකට සීමා කරන එක.. 

මම සිංදුවකට කැමති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා.. පළවෙනිම එක ඒ සින්දුව මට දැනෙන විදිය. මේක වෙන්නේ තනිකරම ඒ අවස්ථානුකුලව.. දෙවෙනි කාරණය සිංදුවේ පදමාලාව- ඒකට ගීත රචකයා නම් කිසිසේත්ම වැදගත් වෙන්නේ නෑ.. තුන්වෙනි කාරණය සංගීතය- සංගීතය ගැන මට ලොකු අවබෝධයක් නෑ ස්වර හත ඇරුනුකොට.. හැබැයි සිංදුවේ අර්ථයට හා ගායකයාගේ කට හඬට ගැලපෙන ඒකාකාරී නොවන සංගීතය මට මිහිරියි.. ඊට අමතරව සමහර ගායක ගායිකාවන්ටත් පොඩි මෙව්වා එකක් තියෙනවා නොකියුවොත් වැරදියි.. ගීතයක රූප රචනාවක් හොඳ වීම නිසා ගීතයකට විශේෂ කැමැත්තක් ඇතිවූ අවස්ථා ඇත්තෙම නැති තරම්.. හැබැයි සමහර කැමති ගීත වලට හොඳ රූප රචනා තිබීම නිසා කැමැත්ත වැඩිවූ වෙලාවල් තියෙනවා.. බාචි සුසාන් ගේ නිහඬ ගමනේ ගීතය මෑත කාලයේත්, නන්දා මාලිනීගේ පිපුණු මලේ රුව එමල දනීදෝ ගීතය මුල්කාලයේත් (දැන් නම් ඒ රූප රචනය විකාශනය වෙනවද දන්නෙත් නෑ) එහෙම රූප රචනාවන් නිසා සිංදුවට තිබුණු කැමැත්ත වැඩි වුනු අවස්ථා දෙකක්..

මුලින් කියුවා වගේ මේකනම් අමාරුම වැඩක්.. ඒක නිසා පුළුවන් තරම් වැඩි ගායක පිරිසකගේ අත අරින්නම බැරි සිංදු තෝරා ගන්න හිතුව.. 

අංක 1- මට මුලින්ම සිංදුවකට කියල දැනුනේ මේ සිංදුව.. අපි පුංචිම කාලේ මට වයස 7-8ක් වගේ ඇති අපේ ගමේ මොකක් හරි අවස්ථාවක පොඩි සංගීතයක් තිබ්බ.. ගමේම අය තමයි සිංදු කියුවේ.. අපේ අයියලාගේ යාලුවෙක් හිටියා 'හෙවන්' කියල අමුතු නමක් තිබ්බ.. Heaven කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කාලේ ඒ නම අමුතු නමක් තමයි.. අන්න ඒ හෙවන් අයිය තමයි එදා අර පුංචි සංගිතේදී මේ සිංදුව කියල මාව පිස්සු වැට්ටුවේ.. ඔය මං උඩින් කියපු හැම ඉංග්‍රීඩියන් එකක්ම මේකේ අඩු නැතුව තියෙනවා.. අදටත් එදා වගේම කන්දෙක ඇතුලෙන් අහන සිංදුවක්.. කොච්චර හිතේ තියෙනවද කියුවොත්ව වතාවක් මම (නේවි එකේ ට්‍රේනින් ගිය මුල්කාලේ) අම්මට ලියපු කවි ලියුමක් අවසන් කරේ මෙහෙම.. 
...ලොව ජය අරන් මම එනතුරු නොපමාව
ඔබ මග බලනවද ඉඳ ඉඳිකඩ ගාව...


අපේ ගෙදර මමයි අපේ ලොකු අක්කයි ඇරෙන්න අනිත් ඔක්කොම සංගීත කාරයෝ.. පළාත් මට්ටමෙන් තාත්තා, ලොකු අයිය වගේම පොඩි අක්කත් පළමු තැන දිනලා තියෙනවා ගායනයෙන්.. පොඩි අක්ක ජාතික මට්ටමෙන් පැවැත්වුණු 'සිංහ ගී උදානය' වැඩසටහනේ කුසලතා ජයග්‍රහණයක් පවා ලැබුවා සාගරිකා ගෝමස් ගායිකාවගේ ලෝනා මුණි රාජාගේ සිංදුව කියල .. ඒ වැඩසටහනේ පළවෙනියා වුනේ අමරදේවගේ සින්දුවක් කියපු අසංක ප්‍රියමන්ත පීරිස්.. 

අංක 2- මට ඇඟටම දැනිච්ච අනිත් සිංදුව කියුවේ ඒත් ඔය උඩින් කියපු වයසේදීම වගේ.. අපේ ලොකු අයියයි එයාලගේ යාලුවෙක් වෙච්චි ධම්මි අක්කයි අපේ ගෙදර තිබ්බ පැදුරු සාජ්ජෙකදී.. ඒ කාලේ ඒ ගොල්ලන්ගේ මල් මල් තරුණ වයස.. දෙන්න අතර මොනවා මොනවා හරි මෙව්වා එකක් තිබ්බද දන්නෙත් නෑ.. හැබැයි ධම්මි අක්ක අපේ අයියට වැඩිය සුට්ටක් වැඩිමල් ද කොහෙද.. (මේ ඔක්කොම දේවල් ඒ දවස්වල එක එක්කෙනා කතා කරපුව.. සිංදුවත් එක්කම මගේ හිතට වැදුණු..) වැඩේ කියන්නේ මෑතක් වෙනකං මම හිතන් හිටියේ මේක යුග ගීතයක් කියල.. යූ ටියුබ් වල ආයෙම පරණ සින්දු අහන්න ගත්තම තමයි දැනගත්තේ එහෙම නෙවෙයි කියල.. 

අංක 3- ඔයින් ටික කාලෙකට පස්සේ ආවේ මගේ ත්‍රාඩ කාලේ.. නහයට අහන්නේ නැති එකේ සිංදු අහන්නේ මොකාද? හැබැයි රූකාන්ත ගුණතිලක කියල ඒ වගේම ත්‍රාඩ ඩයල් එකක් ඒ කාලේ අපිටම ගැලපෙන ස්ටයිල් එකකින් සිංදු කියන්න ගත්ත.. ඔන්න ආපහු සිංදු රහ වැටුන.. නිතරම රුකා ගේ සිංදු කෑල්ලක් කටේ.. කොච්චර වැඩේ නැගල ගියාද කියුවොත් අපේ තාත්තගේ අම්ම- අපි කියුවේ ආතා කියල- නැතිවෙලා 87-88 වගේ මළගෙදර යන්න මුණ සෝදන ගමනුත් මේ සිංදුව කියල අම්මගෙන් බැනුනුත් ඇහුව.. 


අංක 4- ඊළඟට ආවේ රහස් පොලිස් රැවුල එන කාලේ.. 89-90 වගේ ඒ කාලේ අපේ වයස් වල කෙල්ලෝ ඔක්කොම අපිට වැඩිය උස මහතයි.. උන් අපිව ගණන් ගන්නෙත් නෑ.. උන් ඔක්කොටම වගේ ඒ කාලේ අමුතු පිස්සුවක් තිබ්බ.. ඒ ගායකයෙකුට ලව් කරන.. ඒක නිසාම 'පුද්ගලයෙක් විදියට' අපි කොල්ලෝ ඔක්කොම ඌට ඉරිසියා කරා. හැබැයි කෙල්ලොන්ට ලියුන් ලියනකොට නැත්නං ඉස්කෝලේ ඩෙස් එකට ගහල සිංදු කියනකොට ඊටත් ටික කාලෙකට පස්සේ ගෙදරට වලි දාල සංගීත බලන්න යනකොට නම් අපිත් ඌට ෆුල් ලව්. අපේ කාලයේ (ජෝතිගෙන් මිල්ටන් ගෙන් පස්සේ කාලයේ) වැඩිම කෙල්ලන් පිරිසකගේ ආදරේ දිනාගන්න ගායකයෙකුට පුළුවන් උනා නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි නාමල් උඩුගම.. මොකක්දෝ හිතා ගන්න බැරි හේතුවකට නාමල්ගේ 'නිහඬ වෙලා හද නොසැලී හසරැල්' සිංදුව ඇහෙනකොට අදටත් මට ඇඟ හිතල වෙලා ලොකු දුකක් දැනෙනවා..
අංක 5- අපේ ගෙදර උන් වගේම මගේ ඉස්කෝලේ යාළුවෝ අතරත් හොඳටම සිංදු කියන්න, සිංදු අහන්න වගේම සිංදු ලියන්න පුළුවන් හෙන සෙට් එකක් ඉන්නවා.. සිංදු කියන්න පුළුවන් උන් දෙන්නගෙන් එකෙක් නම් දැන් සෑහෙන්න තරමක් ප්‍රසිද්ධ වෘත්තීය නොවුනත් වෘත්තීය මට්ටමේ ගායකයෙක් හා සංගීතඥයෙක් .. අනිකා දැන් බීල බීලම කටහඬ සවුත්තු කරගත්ත ඉංජෙක්.. මං වැඩ කරන ආයතනයේම ජේෂ්ට ව්‍යාපෘති කළමනාකරුවෙක් නිසා මාසෙකට සැරයක් දෙකක් තාම සෙට් වෙනවා.. අමරදේවගේ සිංදු (ඉස්සර) කියනවා ඇත්තටම අමරදේවට වඩා ලස්සනට.. 92න් පස්සේ අපිට ආවා අමරදේව පිස්සුවක්.. පිපුණු කුසුම, කොළොම්තොට වගේ අමරදේවගේ කැසට් මිටි ගණන් එකතු කරන්නත් පැය ගණන් සෙට් වෙලා එක දිගට ඒවා අහන්නත් අපිට ඕනේ තරම් වෙලා තිබ්බ.. ඇත්තටම අමරදේව 'මාස්ටර්' ගේ සිංදු මොනවටද අකමැති කියල කියන එක මිට වඩා ගොඩක් ලේසියි.. ඒත් මේ කියන කාලේදී හිතට අල්ලපු මේ සිංදුව තාම ඒ වගේම හිතේ තියෙනවා.. කියන්නේ 'කළු' ගැන.. කවුද කළු කියල නොදන්නා අයගෙන් අහන්න වෙන්නේ 'මන්ද කළු පිං නොකලේ?' කියල තමයි.. 
අංක 6- ඔය කාලෙම තමයි සංගීත සංදර්ශන ලංකාවේ අතිශයින් ජනප්‍රිය උනේ.. ජිප්සීස් හා සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම් හා නාමල්, අතුල අධිකාරී හා ඒ වගේම තව පට්ටම ඩයල් එකක් වන ආත්මා තමයි අපේ කාලේ සංගීත සංදර්ශන 'රන්' කරේ.. අනිත් උන් සපෝට් කැරක්ටර්ස් විතරයි.. ට්රු රුටු ටුටු රුටු ටුටු ට්රුට්න්.. ට්රුං ටුන්ටු ට්රුට්න් ට්රුං ටුන්ටු  ට්රුං ටු ට්රුන් ටුන්.. කියල ලියතඹරා මියුසික් එක ඇහෙනකොට නටපු නැති එකෙක් ඒ කාලේ අපේ වයස්වල කොල්ලොන් අතර හිටියේ නෑ මං දන්නා තරමින්.. ලියතඹරා එකට අදටත් ආස උනත් මම ආත්මාගේ වැඩියෙන්ම ආස සිංදුව ඒක නෙවෙයි.. මීට අවුරුදු 15 කට විතර කලින්ම මගේ බැචෙක් ගේ වෙඩින් එක වෙලාවේ නුවර අර්ල්ස් රිජන්සි හෝටලේදි ගානට අනුමත වෙලා ඉන්න වෙලාවක අපේ ජෙෂ්ට උත්තමයෙක් 'සුපිරියටම' කියපු මේ සිංදුවට ගහන්න ආයි එකක් නෑ තාමත්..

97-99 අවුරුදු මගේ මතකයෙන් ඉරේස් වෙලා තියෙන්නේ.. නේවි එකේ ට්‍රේනිං කාලේ.. කෙලින්ම මාව උණු කරලා අලුත් අච්චුවක වක්කරල අරගත්තේ ඒ දවස්වල.. ඊට  පස්සේ  ආවේ ජීවිතයත් මරණයත් අතර ෆන් ගත්ත ඩෝරා ජිවිතේ.. මළත් මොකද AC එකේ සිංදුවක් අහගෙන කියල තමයි ඒ කාලේ කියන්නේ.. රෑට රේඩාර් වොච් එකේ ඉන්න ගමන් නොනවත්වා සිංදු අහනවා.. අනිත් වෙලාවට හිමාලි සිරිවර්ධන ගේ සෙන්ශේෂන් ලගේ නැටුම් එක්ක 'නන්ස්ටොප් කැරෝකේ' බලනවා 'මැගී' කකා 'මාමයිට්' බිබී.. ඔය  කාලේ තමයි චන්දන ලියනාරච්චි සහ සශිකා නිසංසලා කියන ගායක ගායිකා දෙන්නගේ සිංදු නැගල ගියේ.. තව සුභානි හර්ෂනී කියල ගායිකාවකුත් ආවා.. හැබැයි ගොඩක් කල් අල්ලලා ගියේ නෑ.. දීපිකා ප්‍රියදර්ශනී ල, නිරෝෂා විරාජිනී ල, සමිතා ල, අසංක ප්‍රියමන්ත ලත් බොහොම ප්‍රශස්ථ මට්ටමෙන් සීන් එකේ හිටියා.. රෑ නිදිවරාගෙන ඩෝරා එකේ දී අහපු සිංදු තමයි මගේ ලිස්ට් එකේ 7, 8, 9, 10 තියෙන්නේ.. මේ හැම සින්දුවකටම අදටත් එදා මතකයෙන්ම ආසයි..

අංක7- සශිකා නිසංසලා මේකට පස්සේ තව ලස්සන සිංදු ගොඩක් කියුවට මගේ මතකයේ ගැඹුරින්ම සශිකාව තියෙන්නේ මේ සිංදුවට මගේ තියෙන ලව් එක නිසා.. 
අංක 8- අසංක ප්‍රියමන්ත කියන්නේ දැන් 'විහිලුවට ලක්වෙන' ගායකයෙක් උනාට මුල් කාලේ අපි හිතුවේ කවද හරි ඊළඟ 'අමරදේව' වෙයි කියල.. පට්ටම සිංදු සෙට් එකක් තිබුනේ.. ඒ අතරින් මේ සිංදුව  තමයි අදටත් අසංක ප්‍රියමන්ත කියන ගායකයා ගැන මගේ අනන්‍යතාවය..

අංක 9- දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සිංහල ගීත ලොවට අමිල ගීත ගණනාවක් දායාද කරපු ගායිකාවක්.. මම කියන මේ 2000- 2002 වගේ කියන්නේ දීපිකා ගේත් පීක් එක.. මොන සින්දුව කියුවත් ලස්සනයි.. ජනප්‍රියයි.. ඒ අතරින් ඇස් පියාගෙන විඳපු මේ ගීතය මට ජීවිතේට අමතක වෙන එකක් නෑ.. 
අංක 10- නිරෝෂා විරාජිනී කියන්නේ අපේ කාලයේ ගීත කෝකිලාවිය.. ආයේ ඒකෙ කතා දෙකක් නෑ.. තමන් හොයන ආදරය කවදාවත් නොලබපු නිරෝෂා ගායනා කරපු ආදර ගීත නිසා ඇයට පෙම් කල බොහෝ තරුණයින්ගේ ආදරණිය පෙම්වතිය වෙන්න නම් වාසනාව ලැබුවා.. මමත් අගේ ඒ පෙම්වතුන් අතර කෙනෙක්.. අදටත් නිරෝෂා ගේ සිංදුවක් ඇහෙනකොට දකිනකොට ඒ ලව් එක ඒ විදියටම මතක් වෙනවා.. (ඒ නිරෝෂාව බැඳ ගන්න බැරි උන නිසා මම පස්සේ වෙන නිරෝෂා කෙනෙක්ව හොයල බැඳ ගත්ත.. ) සිනාතොටක් කැසට් එකේ එන මේ සිංදුව ම්ම්ම්ම්ම්ම්... කොච්චර ඇහුවත් මදි..
2003 වසරේදී වගේ මම ගියා තායිලන්තයේ පුහුණුවකට.. එතකොට මට ලැප්ටොප් එකක් තිබුනේ නෑ.. මගේ යාලුවෙක් අන්තිම මොහොතේ මට CD සෙට් එකක් ගහල දුන්න mp3 ෆොර්මැට් එකේ.. අමරදේව, කපුගේ, වික්ටර් වගේ ගායකයින්ගේ සින්දු වෙන වෙනම සිය ගණනක් බැගින්.. මම එහෙ ගිය ගමන් පටුනාම් මාකට් එකෙන් ගත්ත පෝටබල් cd ප්ලේයර් එකක්.. එදා ඉඳන් එනකල්ම කරේ සිංදු අහපු එක තමයි.. මොන හේතුවකටද මන්දා අනිත් cd වලට වඩා වික්ටර් ගේ cd එක තමයි වැඩිපුර ඇහුවේ.. 

අංක 11- අපේ ලොකු අක්ක මට වැඩිය අවුරුදු නවයක් විතර වැඩිමල්.. මට තේරෙන වයසේ වගේ ඉඳල එයා තමයි මාව බලා ගත්තේ, ගෙදර දොර වැඩ කලේ ඉවුවේ පිහුවේ හැම එකක්ම.. එයා අවුරුදු 35ක්-36ක් වෙනකම් ගෙදර හිටියා.. මගුලක් හරියන්නේ නැතුව.. අන්තිමට අනිත් ඔක්කොම බැඳලා එයයි මායි තමයි ගෙදර ඉතුරු උනේ.. ඔය දවස්වල අම්මයි අපි දෙන්නයි හරි එකතුයි.. කොහොම හරි එයාට කටයුත්තක් ලැස්ති වෙනකොට මම 'ලොකු මිනිහෙක්' අන්තිමට මගේ අතින් තමයි එයාගේ මගුලේ සියලු වැඩ උනේ.. ඔයිට ටික කාලෙකට පස්සේ තමයි මම ඔය කියපු ට්‍රේනින් එකට ගියේ.. වික්ටර්ගේ මේ සිංදුව කළුගල් බරුවක් වගේ මගේ හිතේ තැන්පත් උනෙත් ඔය කාලෙම තමයි.. 
(ආ.. කියන්න අමතක උනා.. මම මොනරාගල චැරිටි වැඩ වලට යද්දී අපේ උන්ට උයල කන්න බොන්න දුන්නේ එයා තමයි.. එයා මේ දවස්වල අසනීපෙන්- බ්‍රෙස්ට් කැන්සර් එකකට බෙහෙත් කරනවා)

ඊළඟ සිංදු තුන මගේ ඔලුවේ තැන්පත් කරේ අර මම කලින් කියපු යාළුවා.. නොයෙක් අවස්ථාවල විශේෂයෙන්ම යම් තරමකට අනුමත වෙලා 'නියම ෆ්‍රිකුවන්සි' එකේ ඉන්න වෙලාවට ඒ ඒ සිංදු උගේ කටහඬින් ම මගේ ඔලුවේ ස්ටෝර් වෙලා තියෙන්නේ.. 

අංක 12- අමරසිරි පිරිස් ගේ සිංදු කියුවොත් මුලින්ම මේ සිංදුව කියෙන් කී දෙනෙකුට මතක් වෙයිද දන්නේ නෑ.. මොකද එයාට ඒ තරම් ජනප්‍රිය සිංදු තියෙනවා.. මට මේක සෙට් උනේ නියම වෙලාවේ නියම ෆ්‍රිකුවන්සි එකේ නිසා මට මුලින්ම ඔලුවට එන්නේ මේ සිංදුව මගේ යාලුවාගේ හඬින්.. ඒ අවස්ථාවේ රූප රාමුත් සමඟ..

අංක 13- පොල්ගොල්ලේ ඔහුගේ නිවසේදී බණ්ඩාර අතාවුද කියන සුපිරි ගායකයාව හම්බ වෙලා සජීවීව ඔහුගේ හඬින් ගීත කීපයක් අහන්න ලැබුනෙත් මේ යාලුවෝ පේරා හිටපු කාලෙම තමයි.. හැබැයි මේ සින්දුවත් අදටත් මට මතක තියෙන්නේ පේරාදෙණිය රෙස්ට් හවුස් එකේ බිලා පැනිදෙනියේ බෝඩිමට යන අතරමග බෝක්කුවක් උඩ ඉඳන් කියපු ඒ මිහිරි හඬින් හා රූප රචනාවෙන් මයි.. 

අංක 14- මේ සිදුවීමත් පේරාදෙණියේ / පැනිදෙනියේ රාජා අයියගේ බෝඩිම එක්ක බැඳුනු හා අද වෙනකම් රස විඳින සිදුවිමක මතකයක්.. ඔය මගේ යාළුවා හිටියේ රාජා අයියගේ බෝඩිමේ යට තට්ටුවේ.. උඩ තට්ටුවේ හිටියේ කැම්පස් එකේ ගෑල්ලමයි.. කවදාවත් කෙල්ලෙක් ගැන නොහිතපු මූට ජුනියර් බැච් එකේ සයන්ස් එකේ කෙල්ලක්ට හිත ගිහිල්ල තිබ්බ ඔය කාලේ.. කෙල්ලත් මූට කැමතියි.. වැඩියෙන්ම මූ සිංදු කියනවා අහන්න.. හැබැයි  හෙනම බේබද්දා නිසා කැමති වෙන්නත් බෑ.. කොහොම හරි ඔහොම දෙකට දෙවාරේ ඉද්දි කැම්පස් එකේ තිබ්බ මොකක් හරි ඉවෙන්ට් එහෙක මූට සිංදුවක් කියන්න තිබ්බ.. කෙල්ලත් බලාගෙන ඉන්නවා.. ශාලාව මීයට පිම්බා වගේ.. ලාවට ඇහෙන මියුසික් එක අස්සෙන් කෙල්ලට මධුර මනෝහර ස්වරයකින් මෙහෙම ඇහෙන්න ගත්ත.. '..... හදේ දොරටු විවර කලෙමි.. සොඳුර ඔබේ නමින්..' තව ඉවසන්න බැරි උනා.. කෙල්ල කැමති උනා මේ බේබද්දට.. 
ප.ලි. මම සිංදු කියනවා අහන්න කැමති එක්කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා.. ඒ මගේ ප්‍රිය බිරිඳ.. සමහර විට ආදරේ නිසා කපුටෙක් අඬනවා වගේ මගේ වොයිස් එක ඇයට මිහිරියට ඇහෙනවා ඇති.. අදටත් අපි කොහේ හරි දුර ගමනක් යද්දී ඇය කැමතියි මම ඔය උඩින් කියපු සින්දු දෙක අහන්න මගේ කට හඬින්.. මේ නිධාන කතාව නිසා ඇයත් ඒ සින්දු දෙකට අතිශයින් ප්‍රිය කරනවා..

සමහර සිංදු තියෙනවා මොන තරඟෙට දැම්මත් නිතරඟයෙන් දිනන.. හරියට රනිල් වික්‍රමසිංහ කොළඹින් චන්දේ ඉල්ලනවා වගේ.. ඊළඟ චොයිස් දෙකත් ඔබ්වියස්.. හේතු පාඨ ඕනේ වෙන එකකුත් නෑ.. අර මම මුලින් කියපු මගේ කැමැත්තේ සියලු අංග නොඅඩුව සපුරන මේ ගීත දෙක අවසානයට නම් කරනවා විශේෂ හේතුවක් සඳහන් නොකරම

අංක 15- නන්දා මාලිනීගේ ගීත ගොන්නකින් එකක් තෝරලා දෙන්න කියල කවුරුහරි කියුවොත් මට ඒක බොහොම අමාරු ටාස්ක් එකක්.. හැබැයි මගේ එක අඩුපාඩුවක් වෙන 'කාන්තාවක් අඬනවා/ විලාප දෙනවා අහගෙන ඉන්න අමාරු කම' නිසා නන්දා මාලිනීගේ මේ සිංදුව මට හොඳටම රිද්දනවා..


අංක 16- මේ තාක් අහපු සිංදු නිසා හිත කලබල වෙලා නම් අන්තිමට මේ සින්දුව අහමු.. සිත නිවන මේ මියුසික් එකත් එක්ක හෙළයේ මහා ගාන්ධර්වයා ගේ මධුර මනෝහර හඬට ආදරේ කරන්න විශේෂ හේතුවක් ඕනිද?

ඉයන්.. ඔන්න බොස්.. ටාස්ක් කම්ප්ලිටඩ්. මේ අයි හෑව් ද පර්මිෂන් ටු කැරි ඔන්?