Wednesday, 16 September 2015

අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

අද සැප්තැම්බර් 16.. මෙච්චර කාලෙකට මං ලියපු කිසිදෙයක් draft එකේ නතර වෙලා තිබුනේ නෑ.. හිතුනද ලියුව පබ්ලිෂ් කරා.. එත් පහුගිය ටිකේ පොස්ට් දෙකක්ම draft විදියට ඉතුරු වෙලා තියෙනවා.. මේකත් කොච්චර දුර ලියයිද දන්නේ නෑ.. ලියන්නම හිතාගෙන තමයි පටන් ගන්නේ.. බැරි උනොත් මට සමාවෙලා උඹ හිතාගනින් මචං 'මේකා මේ උත්සහ කරේ මං ගැන ලියන්න.. ඒත් අවුරුදු 14කට පස්සෙත් මූට හිත හදාගෙන ඒ ගැන ලියාගන්න බැරුවයි ඔය ලිවිල්ල පැත්තක තියල අඬන්නේ' කියල.. ඒකත් හරියට මීට අවුරුදු 18කටත් කලින් දවසක බැච් එකේ පලවෙනි නිවාඩුව ගිහින් එනකොට උඹ හදාගෙන ආපු ලෙටර් පෑඩ් එකේ සුදු කෙලි පොඩ්ඩියක්ගේ රුපයක් දාල එතනින් ලියල තිබ්බ උඹේ මේ අදහස වගේ නේද? 

"We are going to sea to protect this paradise; If we won't come back, please tell them that we sacrificed our lives on behalf of their future..."

2001 සැප්තැම්බර් 16.. කන්කසන්තුරේ වරායට අනුබද්ධ 'උත්තර' නාවික කඳවුරේ දියත් නිළධාරී නිවාසය මළ පාලුයි. දවසෙම මුහුදේ ඉඳන් ඇවිත් මහන්සි වෙලා හිටියත් නිදා ගන්න හිතන්නවත් බෑ... දවසෙම මම හිටියේ මුහුදේ. ඒ 'බේබි ලැන්ඩා' විදියට ව්‍යවහාරයේ හඳුන්වන Landing Craft Utility (LCU) වර්ගයේ කුඩා යාත්‍රාවක.. මුහුදෙන් ගෙනිහින් පියර් එකක් නැති තැනක ගොඩබිමට ම්නවහරි බාන්න තියෙන මේ වගේ යාත්‍රා යුද්දෙකට යන්නේ නෑ.. 2001 අප්‍රේල් මාසේ 21 උදේ බිහිසුණු  මුහුදු සටනකින් පස්සේ එවකට මං සේවය කරපු P 495 ඩෝරා යාත්‍රාව සදාකාලිකවම මුලතිව් මුහුදේ සැඟවිලා ගියාම මට තාවකාලිකව හම්බුනු 'සංක්‍රාන්ති' පත්වීමක් මේ බේබි ලැන්ඩා එක. ඒ නිසා මට උනේ එදා පේදුරු තුඩුවට ඔබ්බෙන් මුහුදේ වෙන මාරාන්තික සටන මහමුහුදේ ආරක්‍ෂිත ස්ථානයකට වෙලා 'සෙට් එකේ' අහගෙන ඉන්න.. ඒ තරම් අමාරුවෙන් ගෙවපු  දවසක් එතෙක් මගේ ජිවිතේ ගෙවිලා නෑ මගේ හිතේ. 

(එදා 495 යාත්‍රාව ඉරණම් පැට්‍රොල් එක යද්දී මම KKS වල නතර උනා.. නාවික හමුදාවට ගුවන් බල ඇණියක් එක් කිරීමේ පළමු පියවර වශයෙන් නාවික නිලධාරීන් 8 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට කල උත්සාහයේ එක් පියවරක් ලෙස අපිට ගුවන් හමුදා වෛද්‍ය පරීක්ෂණයකට හදිසියේ මුහුණ දීම සඳහා ගුවන් මගින් රත්මලානට පැමිණීමට සිදු වුනා. ඇත්තටම ඒ වනවිටත් 'ලයන් එයාර්' ආයතනය මගින් කරන ලද Aptitude ටෙස්ට් එකක් හා පුර්ණ වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් සමත් වී අපි 8 දෙනෙකු ඉන්දියාවේ අදාල පුහුණුව ලැබීම සඳහා තොරා ගෙන තිබුනත් පසුව වියදම් අඩුකර ගැනීම සඳහා පුහුණුව ගුවන් හමුදාව විසින් ලබා දීමට ගත ප්‍රතිපත්තිමය හදිසි තීරණයක් නිසා අපිට නැවත ගුවන් හමුදාව මගින් පවත්වනු ලැබූ සම්පුර්ණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුනා.. එය එසේ නොවුනා නම් මේ සටහන ලියන්නට මා තවත් ජිවතුන් අතර නෑ..)

පෙරදින රාත්‍රියේ ට්‍රින්කෝ ඉඳල 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' නැව (M/V Pride of South) ආමි එකේ 1300 කට අධික පිරිසක් නංවාගෙන KKS දක්වා යාත්‍රා කරමින් තිබුනා.. ඒ සඳහා ආරක්ෂාවට නාවික හමුදාවේ ෆාස්ට් ගන් බෝට් (Fast Gun Boat) ලෙස හඳුන්වන කුඩා ප්‍රමාණයේ නැව් දෙකක් යොදවා තිබුණා.. මේ කොන්වෝයි (Convoy) එක පේදුරු තුඩුවේ සිට ඊසාන දිගින් නාවික සැතපුම් 50ක් පමණ ආසන්න වන විට උතුරු නාවික විධානයට අයත් තවත් ගන් බෝට් එකක් හා වෙරළාරක්ෂක යාත්‍රා (Coastal Patrol Craft) දෙකක්ද එහි ආරක්ෂාවට එකතු වුනා. මේ ගන් බෝට් වලින් අධික වෙඩි බලයක් ලබා දිය හැකි නමුත් වේගයේ මද කම හා හැසිරවීමේ අපහසුතා නිසා අධිවේගී කුඩා LTTE ප්‍රහාරක හා මරාගෙන මැරෙන යාත්‍රා සඳහා හොඳ 'ටාගට්' එකක් වුනා මිස ඒ හා සටන් කිරිමට හැකියාවක් තිබුනේ නෑ. ඊලාම් යුද්දය පුරාවටම LTTE මුහුදු කොටි තර්ජනයට සාර්ථකව පහරදිය හැකි ප්‍රහාරාත්මක බල ඇණිය උනේ ඩෝරා යාත්‍රා බලගණය පමණයි. 

මේ වනවිට උතුරු නැගෙනහිර මුහුදේ නොනවතින නාවික මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුනා.. LTTE සංවිධානය මුහුදු මගින් ආයුද ප්‍රවාහනය කිරීම වැලැක්වීම සඳහා M (මුලතිව්) හා C (චලෙයි) යන ප්‍රධාන LTTE මුහුදු කොටි කඳවුරු වලට එපිටින් ඩෝරා යාත්‍රා දෙක බැගින් දවස පුරාම තුන්සිය හැටපස් දවසෙම රඳවා තිබුණා. මේ නිසාම මුහුදු කොටින් මේ ප්‍රධාන කඳවුරු වල මෙහෙයුම් අඩු කරමින් චුන්ඩිකුලම්, වෙත්තිලකර්නි හා නාගර්කෝවිල් වැනි අවශේෂ කොටි කඳවුරු හරහා ප්‍රහාර දියත් කිරීමේ ප්‍රවණතාවයක්ද නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක් කරා.. 

ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව මෙසේ ආරක්ෂිතව රැගෙන යන අතර පේදුරුතුඩුවේ සිට ඊසාන දෙසට නාවික සැතපුම් 25ක් පමණ තිබියදී එහි ආරක්ෂාවට යොදවා තිබු උදාර නැවේ අණදෙන නිළධාරී තැනගෙන් C හි සිටි P 462 ඩෝරා යාත්‍රාවට හදිසි ඇමතුමක් ලැබුණා.. එයින් කියවුනේ ඔවුන් ආසන්නයේම කුඩා යාත්‍රා සමුහයක් සැක කටයුතු ලෙස දිස්වන බවයි. ඒ හා සැනෙකින්ම වාගේ ඒවා මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා බවත් ඔවුන් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ඉලක්ක කරගෙන පහර දීම ආරම්බ කොට ඇති බවත් දැන්වුනා. මේ වනවිට වෙලාව පාන්දර 4.50 පමණ වන්නට ඇති. එසැනින් ක්‍රියාත්මක වූ P 462 යාත්‍රාව හා P 442 යාත්‍රාව චලෙයි සිට අදාල ස්ථානය කරා උපරිම වේගයෙන් යාත්‍රා කිරීම පටන් ගත්තා.. ඒ සමඟම ඊට එපිටින් M හි සිටි P 497 හා P 490 ඩෝරා යාත්‍රා දෙකත් සටන පවතී ප්‍රදේශය වෙත වේගයෙන් තම යාත්‍රා මෙහෙයවූවා. C ස්ථානයෙන් පිටත්වූ යාත්‍රා දෙක මඟ නවත්වා ගැනීම සඳහා නාගර්කෝවිල් හි සිට මුහුදු කොටි යාත්‍රා හතරක් ඒ දෙසට වේගයෙන් යාත්‍රා කරනු ලැබුවත් එහි වුවමනාව වන්නේ ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලැබෙන ආරක්ෂාව අඩපණ කිරීම බව දන්නා නාවික යාත්‍රාවෝ උපක්‍රමිකව ඒවා මග හරිමින් ප්‍රධාන අරමුණ වූ හමුදා පුද්ගලයින් 1310 ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ආරක්ෂා කිරීම වෙනුවෙන් හැකි උපරිම වේගයෙන් ඒ දෙසට යාත්‍රා කරා. 

උදැසන 0605 පැය වන විට p 462 හා p 442 ඩෝරා යාත්‍රා දෙක අදාල සටන් පැවතී ස්ථානයට ලඟා වන විට මුහුදු කොටින් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවට මීටර් 600ක් පමණ ආසන්නයට ලං වෙමින් මිමි 23 බර අවි වලින් නැව් බඳට වෙඩි තබමින් සිටියා.. හැසරවිමේ අපහසුතා මැද වුවත් නාවික හමුදාවේ උදාර, එඩිතර ii හා ජගතා යන ගන් බෝට් තුනත් වෙඩි බලයෙන් හීන p 251 හා p 252 යන වෙරළාරක්ෂක යාත්‍රා දෙකත් විස්සකට අධික වූ අධිවේගී මුහුදු කොටි ප්‍රහාරක යාත්‍රා හා මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලංවිම වළක්වාගෙන දැඩි පරිශ්‍රමයකින් හා අදිෂ්ටනයකින් යුතුව සටන් වදිමින් සිටියා. ඊට අමතරව ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවේ තට්ටුව මත සිටි යුද හමුදා සාමාජිකයින් තම තමන් අත රැඳි කුඩා මැෂින් තුවක්කු වලින් කොටි යාත්‍රා දෙසට වෙඩි තබමින් තම ශක්තිය හැකි පමණින් කිසිදා අත් නොවිඳි මුහුදු සටනකට දායක කරමින් සිටි බවද සඳහන් කල යුතුමයි.

p 462 හා p 442 වේග ප්‍රහාරක මුර යාත්‍රා හෙවත් ඩෝරා යාත්‍රා දෙක සටනට අවතීර්ණ වීමත් සමඟම  සටනේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගත්තා.. තම රේඩාර් තිරයේ දක්නට ලැබෙන රුපයෙන් හා උදාර නැවේ අණදෙන නිළදාරි තැනගේ විස්තරයත් සමඟ යුද පිටියේ චිත්‍රය මනසින් මවා ගෙන සිටි ඩෝරා යාත්‍රා දෙකේ අණභාර නිලදාරීන් දෙපල සිය අත්දැකීම් බහුල සටන් කරුවන් අමතමින් ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කර කෙලින්ම තම යාත්‍රා මුහුදු කොටි යාත්‍රා හා ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාව අතරට යාත්‍රා කලේ දැවැන්ත කොටි වෙඩි වරුසාවට නොපරදින එවන්ම වූ වෙඩි වරුසාවක් මුහුදු කොටි යාත්‍රා දෙසට එල්ල කරමින්මයි.. සුළු වෙලාවකින් p 497 හා p 490 ඩෝරා යාත්‍රා දෙකද මුහුදු දිය දෙබෑ කරමින් සිය සගයින් හා එක්වෙමින් ද්වන්ධ සටනට අවතීර්ණ වත්ම ඊලම් යුද ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ එක් දැවැන්තම මුහුදු සටනකට දෙපාර්ශවයම එක්වී සිටියා.

යුද හමුදා සාමාජිකයින් 1310ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව.. එදා ප්‍රහාරයේ LTTE යේ දැවැන්ත ඉලක්කය.. උතුර හා නැගෙනහිර අතර එකම සම්භන්දය වූ මුහුදු මාර්ගය අඩපණ කරමින් යාපනය හුදෙකලා කර ගැනීම.. යුද හමුදා සාමාජිකයින්ගේ මානසිකත්වය බින්දුවට ඇද දමමින් සටනේදී  පහසු ගොදුරු බවට ඔවුන් පත් කර ගැනීම.. නාවික හමුදාව සතුවූ මුහුදේ ඒකාධිකාරිය තම පාලනයට නතු ගොඩබිම් ප්‍රදේශ ආසන්න මුහුදේදී තමන් සතු කර ගැනීම.. නාවික හමුදාවට දැවැන්ත පරාජයක් ඒක කිරීම මගින් තම මුහුදු සටන් හැකියාව ලොවට හඬගා කීම.. මේකි නොකී අතිශය වැදගත් භාරදූර වූ මුහුදු මෙහෙයුම මුහුදු කොටි නායක සුසෙයි විසින් නාගර්කෝවිල් හි මුහුදු කොටි කඳවුරේ සිට ඍජු අණදීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබු අතර කිලිනොච්චියේ සිටිමින් සටනට උපදෙස් දෙමින් සිටි 'ප්‍රභා' ගේ එකම අණ වුයේත් 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' ම තමාට ලබා දෙන ලෙසයි. LTTE මුහුදු කොටින් තම නායකයින්ගේ අණ පහසුවෙන් බැහැර කිරීමට සුදානමින් සිටියේ නෑ.. 

උතුරු මුහුදේ මෙයාකාරයෙන් දරුණු සටන් ඇවිලෙමින් යද්දි උතුරු නාවික විධානයේ හා නැගෙනහිර නාවික විධානයේ සියලු නෞකා හා ආයතනද හදිසි අවස්ථාවකට සුදානම් කෙරුණු අතර තවත් ඩෝරා යාත්‍රා හතරක් කන්කසන්තුරය වරායෙනුත් තවත් ඩෝරා යාත්‍රා 4ක් ට්‍රින්කෝ වලිනුත් සටනට එක්වීම සඳහා ක්ෂණිකව ගමන් අරඹා තිබුනා. කන්කසන්තුරයෙන් පිටත්වූ යාත්‍රා වලට පැයක පමණ කාලයකදී සටන් ප්‍රදේශයට යා හැකි නමුත් ට්‍රින්කෝ සිට එම ස්ථානයට ළඟ වීමට අවම වශයෙන් පැය 4ක කාලයක් ගතවෙනවා. 

මේ ආසන්න මුහුදේ එකිනෙකා කා කොට ගන්නා මුහුදු සටන් වචනයෙන් විස්තර කල නොහැකි තරම්ම ඉතා භයන්කරයි. සැඟවීමට හෝ මුවා වීමට තැනක් නැති මහා මුහුදේ වේගයෙන් එකිනෙකා දෙසට යාත්‍රා හසුරවමින් බර අවි වලින් වෙඩි තබා ගන්නා අතර මුලින්ම නිවැරදි ඉලක්කය ගන්නා එකා ජය ගන්නවා.  එදා මෙම ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාවේ ගමන්කළ යුද හමුදාවේ 55 වන සේනාංකයේ කෝප්‍රල් තිලකරත්න එස්.එම්. සෙ. 300601 සෙබළා 2001 සැප්තැම්බර් මස 25 වන දින නාවික හමුදාපති තුමාට ලිපියක් එවමින් තම කෘතවේදීත්වය මෙසේ පළ කරනවා. 

"නාවික ප්‍රහාරක යාත්‍රා වල නිළදාරින්/ සහෝදර නැවියන් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කල ආකාරය විස්මය දනවන දසුනක් විය. විශාල යුද හමුදා සෙබල පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් කල අයුරු අප ජිවිත කතාවේ කිසිදිනෙක නොමියෙන මතක සටහන් වී අප හදවත් තුල සදාකාලිකවම තැන්පත් වී ඇත.
.... රුදුරු දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ට එරෙහිව සීය අවි මෙහෙයවමින් ඔවුන්  සටන් කල ඒ නිර්භීතබාවයට හා දැක්වූ එවන් දස්කම් විස්කම් වෙනුවෙන් මෙලොව පුදන්නට ගෞරව හා සම්මාන මෙතෙක් බිහිවී නොමැති බව මාගේ විශ්වාශයයි...
නාවික යාත්‍රා වල සිටි සහෝදර නැවියන් එකා පිට එකා මැරි වැටෙමින් ජිවිත පරිත්‍යාග කරද්දී පවා රුදුරු ත්‍රස්තවාදී බෝට්ටු උඩින් තම යාත්‍රා පදවමින් නොසැලෙන අරමුණක පිහිටලා ප්‍රහාරය දියත් කල ආකාරය අප හදවත් තුලින් කිසිදා මැකී නොයන අතිශය බිහිසුණු දසුනකි. ගොඩබිමේ යුද පෙරමුණේ යුද්දයේ බිහිසුණු බව අප අත්විඳ ඇතත් කිසිදු හව් හරනක් නැති මහා සයුර මැද මෙවන් වික්‍රමයන් කල ඔබගේ වීර වික්‍රමාන්විත පුතුන් අප හදවත් තුල සදාකාලික වීරයින් සේ රැඳී සිටිනු ඇත.." 55 වන සේනාංකය යනු බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ අවසන් සටනේ පෙරමුණ ගත් විරෝදාර සෙබළුන් රැසක් සපිරි යුද හමුදාවේ එක් සාර්ථකම ප්‍රහාරක සේනාංකයකි. 

මේ අතර ප්‍රයිඩ් ඔෆ් සවුත් රැගත් නාවික හමුදා ගන් බෝට් සටන් පවතී ප්‍රදේශයෙන් මදින් මද ඈත් වන්නට වීම LTTE යට දැනෙන්නට ඇත. ඔවුන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව තව දුරටත් මුහුදේ තබා ගැනීමේ හැකියාව අවම වෙමින් පවතින්නට ඇතැයිද සිතිය හැක. මුහුදු කොටි යාත්‍රා හා ඩෝරා යාත්‍රා අතර සටන් ඇවිලෙද්දී කොටි බෝට්ටු අතරින් වේගයෙන් මතුවුණු කුඩා මරාගෙන මැරෙන බෝට්ටුවක් අවි බලයෙන් හා වේගයෙන් අඩුවූ  p 251 වෙරළාරක්ෂක යාත්‍රාව හඹා ගොස් පේදුරුතුඩුව මුහුද බිහිසුණු පිපිරුම් හඬකින් කම්පා කරවමින් එහි ගැටී පුපුරුවා ගත්තේය. ඒ සමඟම තම පමණට වඩා වෙර ගෙන එතෙක් වෙලා අභිතව සටනේ නියැලී දිවි දෙවෙනිකොට සටන් කල ඒ අභීත විරු පුතුන් එකොලොස් දෙනෙකු පිරිවරාගෙන ඒ යාත්‍රා තෙමෝ උදැසන නැගෙන හිරු කිරණ පරයා නැගුනු කළු දුමාරය මැදින් උතුරු මුහුදේ සදහටම සැඟවී ගියාය. 

ඒ මේ මහසටන මැද නාවික හමුදාවට සිදුවූ පළමු අහිමිවීමයි. සටන තවමත් ඇවිලෙමින් පවතී. LTTEය පසු බැසීමට සුදානම් නැත. ඔවුන්ගේ මෙහෙයුම මාරාන්තිකය.. ඔවුන් මාස ගණනාවක් තිස්සේ මේ දැවැන්ත මෙහෙයුමට හොඳින්ම සුදානම් වී පැමිණ ඇතුවට සැක නැත. කොතරම් අලාභ හානි මැද්දේ වුවද නැවත නැවත ඔවුන් නාවික යාත්‍රා හඹා එති. පෙරදින රාත්‍රියේ සිට මුහුදේ නිදි වරමින් සිටි ඩෝරා යාත්‍රාවල ඉන්ධන , උණ්ඩ හා නැවියන්ගේ සටන් ශක්තිය හිනා වෙමින් යයි.. හදිසියේ පිටත්වූ යාත්‍රා වලද සමහර නිලදාරීන් හා නැවියන් නිවාඩු ලබා ගොස් සිටි නිසා ඒ වෙනුවෙන් එක් කර ගන්නා ලද කණ්ඩායම් අමඟ එහි යුද සුදානම සපුරා බලාපොරොත්තු විය නොහැක. ට්‍රින්කෝ වලින් පිටත්වූ යාත්‍රා තවමත් සටන් බිමට ලඟා වී නැත. 100% ක්ම නොපිරිහෙලා ඉතිරිව ඇත්තේ චිත්ත ශක්තිය පමණි. ට්‍රින්කෝ වලින් එන යාත්‍රා සටන් බිමට එනතුරු එය එසේම මුදා හල යුතුය. 

මේ වනවිට ට්‍රින්කෝ වලින් පිටත්වූ ඩෝරා හතර සටන් බිමට ආසන්න වෙමින් සිටි නිසා p 465 යාත්‍රාවේ අණභාර නිළධාරී ලුතිනන් ප්‍රියන්ත සංඥා යන්ත්‍ර හරහා සටනේ විස්තර සියල්ල ලබාගෙන කෙලින්ම සටන අවතීර්ණ විය. වෙඩි බලය හීන වෙමින් අපහසුවෙන් සිටි සෙසු නාවික හමුදා යාත්‍රා අභිබවමින් සටන් පෙරමුණට බට p 465 යාත්‍රාව සතුරු යාත්‍රා ආසන්නයටම යමින් දැවැන්ත ප්‍රහාරයක් මුදා හළේය. එදා සටනට ට්‍රින්කෝ වලින් පිටත් වූ p 465 ඩෝරා යාත්‍රාවේ තාවකාලික අණභාර නිලධාරියා වූ ලුතිනන් ගීකියනගේ දොන් ජනක ප්‍රියන්ත යුද්දයට ගිය කල 'මැරෙනවා පෙන්නේ නැති' ටයිප් එකේ බුලට් එකකි. නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීමේ 'සුපිරි චරිතයක්' වූ ප්‍රියන්ත පසුගියදා කරුවලගස්වැවදී සිදුවූ වාහන අනතුරකින් නොසිතු අයුරින් ජිවිතයෙන් සමුගත් නමුත්  එතෙක් මෙතෙක් නාවික හමුදාව බිහිකළ පළමු පෙළ 'සටන්කරුවෙකු' ලෙස අභිමානයෙන් සටහන් කල හැකිය. . මොහුට මෙලෙස සතුරාට පන්න පන්න ප්‍රහාරය එල්ල කිරීමට ඒ වනවිට ප්‍රදාන අවිය සම්බන්ධ පරිගණක පද්දතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරමින් නිවැරදි ඉලක්කයන්ට නොනවතින වෙඩි බලයක් ලබා දුන් p 465 යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ උප ලුතිනන් සමීර විතාරණ ගේ සටන්කාමිත්වය හා රණ ශුරත්වය නොමද පිටුවහලක් විය. සැබවින්ම එදා p 465 යාත්‍රාව භාර නිලධාරීන්ගෙන් උප ලුතිනන් සමීර පමණක් ඒ වන විට යාත්‍රාවේ රැඳී සිටි නිසා OIC ලෙස ලුතිනන් ප්‍රියන්තත් සහයක නිලධාරියෙකු ලෙස උප ලුතිනන් තමින්ද කුමාරත් සමඟ සටනට එක්වීම සඳහා හදිසියේ පිටත් වී තිබුණි. උප ලුතිනන් සමීර විතාරණත් උප ලුතිනන් කුමාරත් යනු මා සමගම එකට නාවික හමුදාවට එක්වූ සහෝදර නිලධාරීන් දෙපළකි. 

p 465 යාත්‍රාවේ ප්‍රහාර හමුවේ කොටින්ට යන එන මං නැති විය. සිසිකඩ විසිර ගිය කොටි බෝට්ටු තනිකර ගනිමින් සෙසු නාවික හමුදා යාත්‍රා විසින් කොටින්ට ඉතා විශාල ලෙස හානි කරමින් තිබිණි. එහෙත් හැකියාව හා නිර්භීතකම තරමටම වාසනාව p 465 යාත්‍රාවේ නැව් කණ්ඩායම සතු නොවුනා විය හැක. කොහෙන්දෝ ඉගිලී ආ සතුරු උණ්ඩයක් නැව් බැඳ පසාරු කරමින් ගොස් ප්‍රධාන එන්ජින් යන්ත්‍ර පාලනය කරන පුවරුවේම පතිත වී පුපුරා ගියේය. එයින්ම ප්‍රධාන එන්ජින් යන්ත්‍ර දෙකම අඩපණ වූ අතර ක්ෂණයකින් සතුරු යාත්‍රා මැදම p 465 වේගය අඩාල වී ගොස් සම්පුර්ණයෙන්ම නැවතිණි. ලේ රස ඉව වැටුණු රුදුරු ත්‍රස්තවාදීන් සැනෙකින් සීය බෝට්ටු වල ප්‍රධාන අවි p 465 දෙසට මානා වෙඩිවරුසා මුදා හරින්නට විය. එහෙත් සටන අත හැරීමට හෝ යටත් වීමට ලුතිනන් ප්‍රියන්ත උප ලුතිනන් සමීර ඇතුළු කිසිවෙක් සුදානම් නැත. මව්බිම නැත්නම් මරණය.. එය ඔවුන්ගේ ලේ වලටම කා වැදි තිබුණි. සතුරු යානා රැසක තනි ඉලක්කය වී තම සගයින් එක එකා මැරි වැටෙද්දී ජිවත් වීම සඳහා නොව ආත්මාභිමානය සඳහා වූ අවසන් සටනට ඔවුහු අවතීර්ණ වුහ. සිරුරු කීතු කීතු ඉරා දමමින් පියාඹන සතුරු වෙඩි උණ්ඩ මැද ලේ මස් වැදලි එල්ලෙන සිය සිරුරු යන්තම් වාරු කරගෙන ඔවුහු තම අවසන් අධිෂ්ටානය එසේ තුවක්කුවට මුදා හරිද්දී.. 

සිය සගයින් සතුරු හමුදාවට මැදිව එක්තැන්ව කරන සටන ක්ෂණයකින් සෙසු ඩෝරා යාත්‍රාවෝ නිරීක්ෂණය කළහ. වහ වහා රොද බැඳුනු යාත්‍රා කණ්ඩායම එක පෙලට යාත්‍රා පෙළගස්වමින් සිය උපරිම වෙඩි බලය මුදා හරිමින් සතුරු හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරමින් කඩා පනින්නට වූ අතර තවත් 'මැරෙනවා පෙන්නේ නැති' එකෙක් වූ හා නාවික හමුදා මුහුදු සටන් ඉතිහාසය තුල සදා නොමැකෙන ලෙස තම නම රැන්දුවාවූ ලුතිනන් කමාන්ඩර් ටිරෝන් හලල්ඩින් නම් වූ ඒ අභීත සෙන්පතියා හා ඔහුගේ කණ්ඩායම සතුරු වෙඩි වරුසාවක් මැද්දට සිය p 472 යාත්‍රාව යුහුසුළුව මෙහෙයවමින් p 465 යාත්‍රාව කඹයක ආධාරයෙන් ගැට ගසාගෙන ප්‍රහාර සිමාවෙන් පිටතට ඇදගෙන යාමට තරම් නිර්භීත හා කාර්යක්ෂම වීම නිසා නිලධාරීන් තිදෙනෙකු හා නැවියන් 17 දෙනෙකු සමඟ සදාකාලිකව මුහුදු පතුලේ සඟවා යාමට නොදී p 465 යාත්‍රාව මුදා ගැනීමට හැකි විය. එසේම පලායන සතුරන්ට පවා පන්න පන්න පහරදී ඔවුන්ගේ අරමුණ වූ ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව හා එහි ගමන් ගත් 1310ක් වූ යුද හමුදා සාමාජිකයින්ගේ ජිවිත නිරුපද්‍රිතව කන්කසන්තුරය වෙත රැගෙන ඒමටත් එදා මේ අභීත මුහුදු සටන්කරුවන් අවසානයේ සමත් විය. 

p 465 යාත්‍රාව මුදා ගත් නමුත් මගේ හිතාදර මිත්‍රයා උප ලුතිනන් සමීර විතාරණ ඇතුළු එහි සිටි නැවියන් හත් දෙනෙකුත් ප්‍රහාරයට සහභාගී වූ අනෙක් යාත්‍රාවල සිටි තව නැවියන් තුන් දෙනෙකුත් ලෙස ලක් මාතාවගේ අභීත නාවික පුත්‍රයින් එකොලොස් දෙනෙකු ඒ වන විට දැයෙන් සමුගෙන ගොස් සිටියහ. ඒ උදේ විනාශ වූ  p 251 යාත්‍රාවේ සිටි නැවියන් එකොලොස් දෙනාට අමතරවයි...


ලුතිනන් සමීර විතාරණ.. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් දැයට දායාද කල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා වෙසෙසින් 28 වන බඳවාගැනීමේ නම ඉහලට ඔසවා තැබීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ, පවුලේ වැඩිමලා ලෙස සිය නැගෙණිය හා මල්ලිගේ අනාගතය යහපත් කර ගැනීමට හා දෙමවුපියන්ට අත්වැලක් වීමට නොඉවසිල්ලෙන් බල සිටි, මගේ හෘදයංගම මිත්‍රයා..

එදා ඒ උඹේ පපුව පසාරු කරගෙන උණ්ඩය කිඳා බසිද්දී අර උඹ 'ලෙටර් පෑඩ් එකේ ලියු සටහන' උඹට මතක් වෙන්න වෙලාවක් නොතිබිච්ච බව මට හොඳටම විශ්වාසයි. ඒත් උඹේ සිතල සිරුර KKS හාබර් එකට අරන් ආපු p 485 ඩෝරා එකෙන් උස්සලා මගේ අතින්ම බිමට බාද්දී මට දැනිච්ච හැඟීම ඒ වචන වහගෙන ලොකු පැල්ලමක් වෙලා මගේ හිතේ නොමැකි තියෙනවා මචං.. මේ වගේ සටහනක ඒ හැමදේම ලියාගන්න බෑ.. එදා අප්‍රේල් 21 මගේ ඉරණම් ගමන මග ඇරලා ගුවනින් රත්මලානට යන්න මාත් එක්ක උඹත් ආවත් උඹේ ඉරණම් ගමන මග ඇරලා උඹව කොහෙවත් එක්ක යන්න මට එන්න බැරි උනා මචං. අවුරුදු දා හතරක් කියන්නේ එච්චර ලොකු කාලයක් වෙන්න බෑ.. උඹ අද ඊයෙත් මාත් එක්ක හිනා වෙලා කරට අත දා ගෙන හිටියා වගේ මට මතකයි.. කමක් නෑ.. අපි කවද හරි ආයි හම්බ වෙමු. උඹට ජය! 

මම කල්ලා.. 





132 comments:

  1. තාම කියෙව්වෙ නෑ .පළවෙනියට කමෙන්ටුවක් දාල දුවල ගිහින් කියවල එන්නම් :)

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම කියෙව්ව... මුළු කතාවම චිත්‍රපටයක් වගේ මැවුන.එකට හිටිය හොඳම යාළුවො පෙනී පෙනී නැතිවෙද්දී කොච්චර සංවේදී වෙනවද කියල හිතාගන්න පුළුවන්. මේක කියවද්දී තාත්ත ඊයෙ කිව්ව සිද්ධියක් මතක් උනා.මගේ බාප්පත් නාවික හමුදාවෙ කොටි නැව් වලට ගහද්දි සටන් කරලා අන්තිමට කොහොමහරි බේරෙන්න හැමෝම බෝට්ටුවලට පැනල බාප්පත් එහෙම පනිද්දි ලිස්සල ගිහින් ඔලුව වැදිලා ඔලු කට්ට පුපුරල සිහිනැතිව මාස ගානක් හිටියලු.ඒ කාලේ තමයි එයාගේ නෝනට පලවෙනි බබා හම්බවෙන්න ඉඳල තියෙන්නෙ .ඒ සිදුවීමත් එක්ක වෙච්ච කම්පනය නිසා අන්තිමට හම්බවුන පලවෙනි බබා මන්දමානසික ළමයෙක්.

      Delete
    2. මමත් කියෙව්වේ දැන් හංසි.. ලියවිල්ල නම් නිකන් පොඩි එකාගේ ලියුම වගේ.. එක දිගට ලියාගෙන ගිහිල්ල පබ්ලිෂ් කරලා දැම්මේ නැත්නම් මේක කියාගන්න මට බැරි වෙන නිසා.. දැනට උනත් එක දිගට කියවන්නත් අමාරුයි..
      හන්සිගේ බාප්පාගේ/ දරුවගේ කතාව මේ වගේම ශෝචනීය කතා මැද අතුරු කතා ගොඩට වැටෙන්නේ.. ඒක අතිශයින්ම ඛේදනීයයි.. ඒ දරුවා ගැන මගේ කණගාටුව!

      Delete
  2. අනේ ඒවා ඔට්ටු නෑ හොදේ..මමයි ඉස්සෙල්ලම ආවෙ.කියවල එන ටිකට මං සෙකන්ඩ් වෙලා! :(

    ReplyDelete
    Replies
    1. හරි හරි.. එක්කෙනෙක් චීෆ් ගෙස්ට්, අනික් කෙනා ගෙස්ට් ඔෆ් ඕනර්.. දැන් ගහගන්නේ නැතුව ඉඳපල්ලා.. :)

      Delete
  3. උදාරතර රණවිරුවන්ට මාගේ උත්තමාචාරය..

    කියන්න දෙයක් නෑ කමියා.. අතිශය සංවේදීයි..

    ReplyDelete
    Replies
    1. //උදාරතර රණවිරුවන්ට මාගේ උත්තමාචාරය..// මගෙත්.. දැන් සමහරු 'පඩි ගන්න පඩියට මිනි මරපු කුලී හේවායෝ' කියුවට එකත් ලේසි නෑ මචං....

      Delete
    2. මචං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. මොකද අපට වෙඩි බෙහෙත් ගඳක් වත් දැනෙන්න උඹලා ඉඩ දුන්නෙ නෑ..

      Delete
    3. කුලියට උනත් මරණ එක මැරෙන එක ලේසි නෑ බං.. එක නිසා කාටවත්ම මින් පස්සේ වෙඩි බෙහෙත් ගඳක්වත් දනේන්නත්නම් මං කැමතියි.

      Delete
    4. යුද්දෙකට හරියට ගිය එකෙකුට විතරයි ඕවගේ කතාවක් කියන්නත් පුළුවන්.

      Delete
    5. //පඩි ගන්න පඩියට මිනි මරපු කුලී හේවායෝ //

      එහෙම කියපු උං ඊට හොඳයි උගෙ අම්මට හැමනුනානං … !!!!

      Delete
    6. අම්මට හැමිනිච්ච්චි උන් නම් හිටියද මන්දා.. එහෙම කියාපු උන්නම් හිටියා ඕනි තරම්..

      Delete
  4. අතිශයින්ම සංවේදීයි... ඇත්තම කිව්වොත් උඹේ මිත්‍රයා වෙනුවෙන්, ඒ වීරයා වෙනුවෙන් මටත් ඇඩුනා . හැමදෙනාටම නිවන් සැප ලැබේවා...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩය සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. දැන් හයිවේ එක නිසා ඒ පැත්තෙන් නොගියට අම්බලන්ගොඩ කතා ගොඩක් තියෙනවා මටත් කියන්න.. සෙට් වෙමු මචං..

      Delete
  5. කවදා හෝ ආයෙම හමුවෙමු.චිත්‍රපටයක් බැලුව වගෙයි.

    ReplyDelete
  6. //උඹ අද ඊයෙත් මාත් එක්ක හිනා වෙලා කරට අත දා ගෙන හිටියා වගේ මට මතකයි.. කමක් නෑ.. අපි කවද හරි ආයි හම්බ වෙමු. උඹට ජය! // :(

    ReplyDelete
    Replies
    1. සමිරයාගේ තොල් හෙන ඝනකමයි .. අපි ඉස්සර ඕකට විහිලුත් කරනවා.. බොඩි එක ගන්නකොට ඇස් දෙකයි කටයි බාගෙට ඇරිලා.. ඇස් දෙක පියෙව්වම ඒ විදියටම තිබ්බා.. එත් කට නම් වහන්නම බැරි උනා.. කොහොමත් මුගේ කට වහන්න බෑ ලේසියෙන්.. සිංහල වචන දෙකට ප්‍රංශ වචන තුන හතරක අනුපාතෙට කොච්චරවත් කියවන එකමයි වැඩේ.. ඒත් පස්සේ ජයරත්න එකේ උන් සුපර් ග්ලු දාල කට වහල අලවල තිබ්බ....

      Delete
  7. උඹේ හිතේ තියෙන හැගීම හිතාගන්න පුළුවන් කල්ලා ... සමීරට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. ඌට එහෙම ලේසියෙන් යන්න දෙන්න මට තාමත් හිත හදාගන්න බෑ බං.. උඹට එක තේරුණ එක ලොකු දෙයක්.

      Delete
  8. කියවනකොට ඇස් තෙත්වෙලා ,පපුව හිරවෙලා , බඩේ දැවිල්ලක් ආවා

    ReplyDelete
    Replies
    1. ලියනකොට මටත් එහෙමයි බං... :(

      Delete
    2. ඒ කලින් දවසෙ රෑ ගහපුවට ගැස්ට්‍රික් ඇවිත් අටං.කතාවට නෙවෙයි.

      Delete
    3. ගැස්ට්‍රික් තිබ්බත් නැතත් අටමා සංවේදියි හලපයියේ..

      Delete
    4. අ‍ෙනෙේ ‍ෙමෙේ හැපලයි‍ෙයෙේ උඹ උකාං

      Delete
    5. හි හි.. මෙන්න අනුග්‍රාහකතුමයි සංවිධායක තුමයි කෙල ගන්නවා :)

      Delete
  9. Replies
    1. සංවේදී නොවී මෙහෙම සටහනක් ලියාගන්න මට තාම බෑ.. ස්තුතියි.

      Delete
  10. සංවේදියි .ඇත්තටම යුද්ධය මේ වගෙ දුක් කතා කොයි තරම් නම් අපේ රටට දායාද කරන්න ඇතිද

    ReplyDelete
    Replies
    1. ගණන් කරගන්න බැරි තරම්.. ස්තුතියි!

      Delete
  11. :'( කියන්න මුකුත් ගලපගන්න බෑ. ඒ තරම් හිත බරයි. :'(

    ReplyDelete
    Replies
    1. ලියන්න මටත් අමාරු උනා සිත්තමි :/

      Delete
  12. Replies
    1. මෙහෙත් එහෙමයි මිත්‍රයා!

      Delete
  13. අපේ රට වෙනුවෙන් ඒ හැමදෙනෙක්ම කරපු කැපකිරීම් ඉතා උදාරයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. මොකද උවමනාව තිබ්බත් හැමෝටම එහෙම කරන්න බෑනේ..

      Delete
  14. කමියා... නෝ වර්ඩ්ස් ටු සේ මචං. බොක්කෙත් පතුළටම දැනුනා...

    ReplyDelete
    Replies
    1. නෝ නීඩ් ටු සේ මචං.. හිත ඇති උන්ට එහෙම තමයි.

      Delete
  15. බොක්කෙ මිතුරෙකුගේ අහිමිවීම නෑදෑයෙක් (පවුලේ සමීපතමයන් හැර) මිය යාමට වඩා සෑහෙන්න වෙනස්.
    උඹලාගේ කැපවීමෙන් උදාකරගත් නිදහසට කවුරු වුණත් තර්ජනයක් වුණොත් අපි හැමෝම එරෙහි වෙනවා අපේ ශක්ති ප්‍රමාණයෙන්.
    ඒ කැපවීම කල සැමටම උපහාරය!
    උඹේ මිතුරා ඇතුළු මියගිය සැමට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ආයෙත් එහෙම කාලයක් එන්න එපා කියලයි මගේ ප්‍රාර්ථනය...

      Delete
  16. තුන් හතර වතාවකට අමාරුවෙන් කියවගත්ත , මේ සටන ගැන පත්තරෙන් කියවල තිබුනත් යුද්දෙට කෙලින්ම සම්බන්ද වෙච්චි උඹගෙ සටහන සොවේදී වැඩියි.
    මේ වෙලාවෙ සටන් විරාම නිරීක්ෂකයො ඩෝර වල හිටිය නේද ?. මට මතක විදිහට ලංකාවෙ නාවික හමුදාවෙ නිපුනත්වය හා අණ දීම හා ක්‍රියාත්මක වීමේ කාර්‍යක්ෂම තාවය ගැන සටන් විරාම නිරීක්ෂකයෙක් ලිපියක් ලියල තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔය වෙනකොට සටන් විරමේ පටන් ගෙන තිබ්බේ නෑ බං.. 2002න් පස්සේ තමයි ඒ හාල්පාරුවෝ බෝට්ටු වල යන්න ගත්තේ අපිත් එක්ක.. මහ වදයක් උනා අන්තිමට..
      හොඳ එවුනුත් හිටියා.. ඔය උඹ කියාපු එකා වගේ. එත් උන්ගේ ජොබ් එක උනේ අපි කරන හැම එකක්ම 'වැරද්දක්' විදියට උඩට රිපෝර්ට් කරන එක.. එක මහා ඇණයක්.. සටන් විරාම කාරයොත් එක්ක කරපු හැඟී මුත්තන් ටිකක් ගැනත් දවසක ලියන්නම්.

      Delete
  17. //(එදා 495 යාත්‍රාව ඉරණම් පැට්‍රොල් එක යද්දී මම KKS වල නතර උනා.. //
    එතන ඉදන් පහලට යද්දි මේ යාත්‍රාවට වෙච්චි දේ පැහැදිලි මදි. නැවතුනාම ඒකට ඇටෑක් එකක් දුන්නද? එතකොට කවුද ඒකෙ හිටියෙ ?

    ReplyDelete
    Replies
    1. //මේ යාත්‍රාවට වෙච්චි දේ පැහැදිලි මදි. නැවතුනාම ඒකට ඇටෑක් එකක් දුන්නද// ඔව් උඹ හරි. මං මගේ 495 ඩෝරා එකේ අත්දැකීම් ගැන තමයි මුලින්ම ලියන්න හිටියේ.. එත් ඊයේ දවස නිසා මං සමිරයා මැරිච්ච සීන් එක ලියුවේ. 495 ඇටෑක් එක ගැන වෙනම ලියන්නම්. මිට වැඩ වෙනස් ස්ටොරියක්..

      Delete
  18. දැනුනා මචං..
    කමෙන්ටුවක් කොටන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. උඹ ගැන මං දන්නවනේ.. දාහක් දේවල් ඔය ටිකේම තියෙනවා මචං..

      Delete
  19. Replies
    1. 'අන්නෝව්න්' කියුවට හොඳටම කිට්ටුයි වගේ..

      Delete
  20. අකුරු වලින් වෙඩි තියන්න එපා බං....
    අප වෙනුවෙන් දිවි දුන් සහ ආබාධ සහිතවූවන් බවට පත් වූ 'අපේ' කොල්ලන්ට මේ ලිපිය උපහාරයක් වේවා..!! ආචාරයක්ම වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //'අපේ' කොල්ලන්// එහෙම කියුවම සැහෙන්න දැනෙනවා.. එසේම වේවා!

      Delete
  21. කියන්න දෙයක් හිතා ගන්න බැ කල්ල .......... මගේ ඇස් දෙක බොද වෙලා ......
    උඹලා හැමොටටම මගේ උපහාරය ..........

    කඳුළයි සැමදා ලැබුවේ
    සැප නෑ කිසිදා ලැබුවේ
    මේ බිම ඔබෙ ලේ හැලුවේ
    අප සැමදා ණය ගැතිවේ
    මේ දෙරණේ – ඔබ විරුවන්

    ReplyDelete
    Replies
    1. නොසිතූ නිමේශේන්ම වෙන්වී ගියේ.. මව් බුමියේ ලේ ගංගා ගලා.. :(

      Delete
  22. මට ඇස් තෙත් වෙන්න හේතු කාරනා කිහිපයක්ම බලපෑවා ලිපිය ගැන මං කතා නොකරම ඉන්නම් කමි.ඇයි ඕක සැප් :16 ම උනේ. දරගන්නම අමාරුයි. මොනවා උනත් ඒ උදාර වීර සෙබළු හැම දෙනාටම උතුම් නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බර් 16 විශේෂ දවසක්.. වීර පුතුන් මියගිය වගේම වීර දූ පුතුන් 'ජනිත' වූ..

      Delete
  23. රැබ්ස් පටං ගන්නත් හේතු වුණ සමීප සිදුවීම ඕකද..
    මට ඉස්සර මතකයි ඉතිහාසය දැං ටිකක් අපහැදිලියි..
    සමහර දේවල් තියේ කළණෙ සමහර මිනිස්සුන්ට කොච්චර කිවත් වැඩක් නැති මේ වගේ දේක අමිහිරි බව දන්නෙ ඒවට සම්බන්ධ වෙච්ච අපිම තමයි...
    බලං ඉන්න අයට සමහර විට මේක අධික්‍රියාදාම හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ කියයි...

    එතකොට ඕ කාලෙ කලණෙ සබ් ලෙෆ්ටිනන්ට් ද... ඒ කියන්නෙ අවුට් වෙද්දි කමාන්ඩර් වගේ ද කැපා අැන්ද වෙන්න බෑ එහෙම වුණානං කළණෙ තාම ඇතුලෙ

    ReplyDelete
    Replies
    1. //මේ වගේ දේක අමිහිරි බව දන්නෙ ඒවට සම්බන්ධ වෙච්ච අපිම තමයි... // ටූ තම්බ්ස් අප්! අනිත් ප්‍රශ්න ටිකට වෙන දවසක උත්තර දෙන්නම්.. නැත්නම් කොමෙන්ට් එක පොස්ට් එකක් වෙනවා..

      Delete
    2. //අනිත් ප්‍රශ්න ටිකට වෙන දවසක උත්තර දෙන්නම්//
      ඕකේ.. ඒවට උතතර අහගන්න අදහස මං අතෑරියලු.. ආයෙ මේ කපේට ඕකට උත්තර හම්බෙන්නෑ...:-)(නිකමට වගේ)

      Delete
    3. සමහරවිට.. ඒත් දැනටනම් හිතාගෙන ඉන්නේ මේවා ගැන ලියන්නමයි ..

      Delete
  24. ලලිත් එදිරිසිංහ කියල අපේ පාසැල් සගයෙක් ජීවිතෙන් සමුගත්ත , මට මතක මේ ඇටෑක් එකේදි වගේ.

    ReplyDelete
    Replies
    1. http://navy.lk/fallen-comrades-2006-to-date.html?pageno=5

      ඔය ඉන්නේ මචං.. කමාන්ඩර් ELP එදිරිසිංහ KDU 12th intake එකේ.. උඹට වැඩිය ක්ලාස් දෙකක් විතර උඩින් ඉන්න ඇති කියල හිතෙනවා.. මේ ඉන්සිඩන්ට් එක නෙවෙයි බං ඒක වෙනම ලියන්න ඕනි කතාවක්.. ගාමිණී කුලරත්න ගැන කතාවුනු තරම් කතා වුනු නැති ඒ වගේම වීරයෙක්.. 2006.05.11 වෙත්තිලකර්නි මුහුදේදී.. වෙලාවක ලියන්නම්.. ආඩම්බර වෙයන් බය නැතුව එක ඉස්කෝලේ වෙච්චි එක ගැන..

      Delete
    2. මට වැඩිය එක පන්තියක් උඩ. ඒ කිවුවට එහා මෙහා පන්ති දෙකේ . අනිවා මචං ආඩම්බරයි ඌ ගැන. අපි ත් එක්ක හිටපු බර ගානක් නැතිඋනා යුද හමුදාවෙ. පලවෙනියට බංලාදේශ් ගිහින් ට්‍රේනින් වෙච්චි සෙට් එකේම සෑහෙන ගානක්.
      මම වෙනුවෙන් ( අපේ එවුන් වෙනුවෙන් ) මේ ගැන ලියපන් .

      Delete
  25. එක දිගටම ලිපිය කියෝගන ගියා කමියො.
    මේක කියෝනකොටත් ඒ බිහිසුනු තත්වය දැනෙනවනං එදා එතන හිටිය කට්ටිය මොන වගේ තත්වෙකට පත්වෙන්න ඇද්ද කියල හිතාගන්න බෑ.

    මොනව උනත් ත්‍රිවිධ හමුදාවේ සැමට මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. බිහිසුණු කම වැඩි වෙනවා බං ඒ මැරෙන්නේ මාත් එක්ක එක සිගරට් එක ප්ලේන්ටිය බෙදාගෙන කකා බිබී හිටපු එකෙක් කියල දකිනකොට..

      උඹලගේ අපේ ආචාරය විතරයි දැන් උන්ට ඉතුරු.. :(

      Delete
  26. "We sleep safely in our beds because rough men stand ready in the night to visit violence on those who would harm us." - Sir Winston Churchill

    ඒ වගේ ධීර වීර සොහොයුරන් කී දාහක් අප වෙනුවෙන් දිවිපුදන්නට ඇද්ද? හිතවත් මිතුරෙක් සහ රණ විරුවෙක් වෙනුවෙන් මල්ලි උඹේ මතක අනුමෝදනාව අපූරුයි.

    ReplyDelete
    Replies
    1. //මතක අනුමෝදනාව// වටිනවා වචනේ හුඟක්.. ස්තුතියි රවී අයියා..

      Delete
  27. අමතක කළ නොහැකි මිනිසුන්

    ReplyDelete
    Replies
    1. අමතක කළ නොහැකි මතකයන් සමඟ.. :/

      Delete
  28. අපිත් ඒ මුහුදේ ඒ සටනට මැදි වෙලා හිටියා වගේ හැඟීමක් එන්නම මේක උඹ ලියලා තියෙනවා කල්ලෝ.ආයෙත් නම් යුද්ධ එපා.

    රත්මලානේ මැලිබන් හන්දිය ගාව තියෙනවා නාවික හමුදාවේ හිටපු ඉහළ නිලධාරීයෙකුගේ පිළිරුවක්.රියල් අද්මිරාල් කෙනෙක්ගේ.1992 දී තමයි ඔය kks මුහුදේදීමද කොහෙද මිය ගිහින් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් නම් යුද්ධ එපා.++++++++++++

      ඔය කියන කාලේදී නම් මැරුණු එකම අද්මිරාල් වරයා හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ෆර්නැන්ඩු විතරයි. මැරුණේ නම් මුහුදේදී නෙවෙයි ගෝල් ෆේස් එක ඉස්සරහදි කොටි සුවිසයිඩ් බෝම්බයකින්. සමහරවිට සර් ගේ ගම ඔය පැත්තේ නිසා රත්මලාන හන්දියේ පිළිරුවක් තියෙනවද දන්නේ නෑ. මැලිබන් හන්දියේ ලලිත් ඇතුලත්මුදලිගේ පිළිරුවක් තියෙනවයි වගේ මට මතක තිබ්බේ.

      Delete
    2. රියල් අද්මිරාල් තනතුරට ඔහු උසස්වීම ලැබුවේ මරණයෙන් පසුව වෙන්න ඕනේ.ඔය කියන ලලිත් ඇතුලත්මුදලි ප්‍රතිමාව ආසන්නයේම තමයි මේකත් තියෙන්නේ.ඇතුලත්මුදලිගේ එක හැදුවේ මැතක.අර ප්‍රතිමාව ගොඩක් කල් ඉඳන් තිබ්බ එකක්.මම හෙට අනිද්දා දිහාට එකේ තියෙන නම බලලා කියන්නම්.ඒ හැබැයි ඔය උඹ කියන නාවික හමුදාපතිවරයා නොවේයි.

      Delete
    3. එහෙනම් ඔය කියන්නේ රියර් අද්මිරාල් මොහාන් ජයමහ විය යුතුයි. (මැරෙන්න කලින් කොමදෝරු) උතුරු නාවික විධානයේ ආඥාපති වෙලා ඉද්දි මැරුණේ කයිට්ස් වල බෝම්බෙට අහුවෙලා 1992 නොවැ. 8 වෙනිදා ජෙනරල් ඩෙන්සිල් කොබ්බැකඩුව මේජර් ජෙනරල් විජය විමලරත්න ඇතුළු කණ්ඩායමත් සමඟ.. :( ඒ තව ලංකාවේ මිලිටරි ඉතිහාසයේ ට්‍රැජඩි එකක්..

      Delete
    4. ඔව්,බං ඒ "මොහාන් ජයමහ"තමයි.නාවුක හමුදාපති ක්ලැන්සිට පෙර යුද්දෙන් මියගිය සීනියර් ඔෆිසර් නේවි එකේ ඔහු වෙන්න ඇති නේද?

      Delete
    5. නේවි එකේ නම් ඔව්. ආමි ත් එක්ක බලුවොත්නම් ඉන්නවා පාරමී කුලතුංග එහෙම :/ අපරාදේ ඉතින්..

      Delete
    6. රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු එක්ක මිය ගියා මගේ පාසැල් බැචා සඳුන් ගුණසේකර. එදින ගැන මගේ අනික් මතකය තමයි ඒ වෙනකොට නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් මැච් එකක් ගහනවා ලංකාවේ. ඔවුන් නැවතී සිටියේ ටාජ් සමුදා හෝටලයේ. එම බෝම්බය නිසා දෙවෙනි දිනයේ නවසීලන්ත කණ්ඩායම රටින් පිටවෙලා ගියා. පළමු දිනයේ මගේ ටියුෂන් ක්ලාස් බැචා බ්‍රෙන්ඩන් කුරුප්පු ඕපනින් ඇවිල්ලා නොදැවී 200 ක් ගැහුවා. අපිනම් හිතුවේ පරදින්න බයට ගියා කියලා.

      ඔබ සඳහන් කරපු පාරමී කුලතුංග මගේ පෞද්ගලික මිත්‍රයෙක්. ඔහු මැරෙන්න සුමානයකට කලින් අපේ පොදු මිතුරෙකුගෙ විවාහ මංගල්‍යකදී අන්තිමට හමුවුනේ. ඔහු සද්ධන්ත පුද්ගලයෙක්. ඔහු එතන හිටපු වයස 3 ක විතර කෙලි පැංචියක් එක්ක සෙල්ලම් කළා. ඒක තමයි මගේ අවසාන මතකය.

      Delete
    7. බොහොම ළඟ ළඟ මතක ගොඩක් නේද ඉයන්? පාරමී කුලතුංග ගැනත් සඳුන් ගුණසේකර ගැනත් ලියවෙන්නම ඕනි. සඳුන් ගුණසේකර කියන්නේ ක්ලැන්සි ෆර්නෑන්ඩු ගේ Flag Officer. නාවික හමුදාවේ 18 වෙනි බඳවා ගැනීමේ හිටිය දක්ෂතම නිලධාරියෙක්.
      ක්‍රිකට් කියන්නෙත් මගේ ආසම විෂයක්. මෙතන නම් ඔබට පොඩි පටලවිමක් වෙලා වගේ.. බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී 201* ලබා ගත්තේ 87 තරඟාවලියේදී.. ඒ තරඟය ජය පරාජයෙන් තොරව නිම උනා SSC පිටියේදී.. ඉන් අනතුරුව තමයි දෙවන සහ තුන්වන තරඟ අත හැර නවසිලන්ත කණ්ඩායම පිටව ගියේ..
      කෙසේ වුවත් මේ අඳුරු මතකත් එක්ක කලාහිතට ගොඩ වැදීම ඔබ මා වෙනුවෙන් දක්වන ලද සුවිශේෂ අනුග්‍රහයක් ලෙස සලකනවා.. ස්තුතියි.

      Delete
    8. සඳුන් ගුණසේකර මගේ කාමරයේ කලක් නැවතී සිටියා. මා ගොඩබිමේ රාජකාරි කරද්දී මුහුදු සේවයෙන් විරාමයක් ලැබුණ ගමන් අප සොයා ආවා.
      මට හමුවී ඇති ඉතා හොඳ හිතක්, පපුවක් තිබුණ සුමිතුරෙක්...
      ඒ වගේම අසාධාරණය ඉදිරියේ දිවි නොතකා ආවේගශීලී වූ නිළධාරියෙක්.
      සඳුන්ගේ මතකය කලකට පසු අවදි වී නෙතට කඳුළක් ආවා....

      Delete
  29. මම මේ වගේ ෆිල්ම්ස් කීපයක්ම බලලා තියෙනවා මචෝ... යුද්ධය කියන්නේ මනුස්සකම නැති තැනක්නේ...

    මගෙත් ඉස්කෝළේ කාළේ හොඳම යාළුවෝ කීප දෙනෙක්ටම මේ ඉරනම අත් උනා.. මගේ හොඳම යාළුවත් නැති උනා.. ඌ කොමාන්ඩෝ යුනිට් එකේ...

    උඹ කියනවා වගේ ආයෙත් මේ වගේ දේවල් නොවෙනවා නම් එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් මේ වගේ දේවල් නොවෙනවා නම් +++++++++++++++++++ එච්චරයි...//

      අපේ පරම්පරාවල මෙහෙම අත්දැකීමක් නැති එකෙක් හොයා ගන්න එක කිසගෝතමිට දීපු ටාස්ක් එකටත් වැඩිය අමාරු එකක්..

      Delete
  30. බය සැක නැතුව පාරෙ බැහැල යන්න ඇහැකි වාතාවරණයක් හදල දෙන්න කමියල කොච්චරක් නම් දුක් විඳින්න ඇද්ද....බොලාව හේග් කුදලන්න තතනන කාලෙක අපේ ඇස් ඇරවෙන මේ වගේ පෝස්ට් එකක් ලියවෙච්චි එකම අගෙයි කමියො..සැලූට්....

    ReplyDelete
    Replies
    1. හේග් වලට කුදලන්න බැහැ. දේශපාලන බම්මන්නන් කියන දේ අහන්න එපා. ඉතා දැඩි ඉවසීමකින් බලාගෙන ඉන්න.

      Delete
    2. ඕව චන්ද ගන්න කියන කතා. එහෙම නම් ඉතින් සෝනියා ගාන්ධිත් හේග් ගෙනියන්න වෙනවා.

      Delete
    3. හේග් ගෙනිච්ච නොගිනිච්ච.. මැරිච්චි එහෙකුට හරි පණ දී ගන්න පුළුවන් නම්..

      ඉස්සර 'රණවිරුවෝ' කියාපු කටවල්වලින්ම සමහරු දැන් කුලියට මිනි මරපු හේවායෝ කියනකොටනම් අහන ඉන්න ටිකක් අමාරුයි. කුලියක් හම්බුනා උනත් මරණ එක මැරෙන එක පට්ට අමාරුයි..

      Delete
  31. මේවා ලියන්න වෙන කෙනෙක් නැ , උඹ ලියහං මුුල ඉදං අන්තිම සටන වෙනකං ...
    ......... නැත්තං දන්නවනේ

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා.. අර කිරිබත්ගොඩ ෆෝන් කඩ කාරයට දාපු පාට් එක වගේද?

      දන්න නැත්නම් දැනෙන ටික ලියන්නම්..

      Delete
  32. මම මුලින්ම ඇම්බුෂ් එකකින් බේරුණු දිනය මතක් වුනා. දෙවැනි ඇම්බුෂ් එකෙන් බේරුනත් මගේ සොල්දාදුවකුගේ දෙකට කැඩුන සිරුර මගේ ඔඩොක්කුවට ගත්තට පස්සේත් ඒ කොල්ලා මාදිහා තප්පර කීපයක් බලා හිටියා. LCM එකෙන් සහ 'ලිහිණියා' එකෙන් දෙවරක් KKS සිට TCO ආව හැටිත්, නාවික හමුදාවෙන් දුන්න ආරක්ෂාවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. සටනකදී අපේ එකෙක් මැරුණම හිතට එන හැඟීම වචන වලින් කියන්න හරිම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. //සටනකදී අපේ එකෙක් මැරුණම හිතට එන හැඟීම වචන වලින් කියන්න// ඔව් ඒක තමයි අමාරුම උනේ..

      ඇසින් දුටු සාක්කි වලට ඉදිරිපත් උනාට තුති.

      Delete
  33. මේ සටන ගැන කියෙව්වා මතකයි පත්තරවල . සටනේ මරුන සගයෙක් ගැන ඒ සටනෙම හිටි කෙනෙක්ගෙන් අහන එකත් හරිම සංවේදියි. කල්යන මිත්‍ර කවද හරි තමන්ගේ අත් දැකීම් අළලා පොතක් ලියන්න. නිවැරදිම දේ අපට දැන ගන්න ලැබෙන්න කෑලි අතින් දාල ලියන මාධ්‍යවේදීන්ට වඩා ඔය වගේ කෙනෙකු ගෙන්.

    ReplyDelete
    Replies
    1. //කල්යන මිත්‍ර කවද හරි තමන්ගේ අත් දැකීම් අළලා පොතක් ලියන්න// එහෙම හිතන් ඉන්නවා.. මටත් ඕනි 'මවපු භිෂණයක්' වෙනුවට ඇත්තම භිෂණය මොන වගේද කියල එකෙක් දෙන්නෙක් හරි දැනගන්න..

      Delete
  34. සුමිත් මේක දාන එකක් නැතිනිසා මම ම දැම්ම. සමීරට උපහාර වේවා.
    http://nelumyaya.com/?p=4255

    ReplyDelete
  35. බොහොම සංවේදි සටහනක්..

    ReplyDelete
    Replies
    1. සංවේදී වෙච්චි වෙලාවක ලියු එකක්.. ඒක වෙන්නැති..

      Delete
  36. ඇහිපිය ගහන වේගේ ටිකක් වැඩි උනා මේක කියවද්දී...
    අද දවසේ බලපු පෝස්ට් කීපයම ගොඩක් සංවේදියි. ඒ අතරින් මේක වෙනස්...
    ඒ මොවුන් යුධ වැදුනේ අප වෙනුවෙන් බව අපි දන්න නිසා වෙන්න ඕනේ...
    දිග කමෙන්ට් වලට වෙලා නැහැ, දන්නවනේ කාලෙකට පස්සේ වැඩක් ලැබිල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මං දන්නවනේ.. වැඩ කීයක් කියලද?

      Delete
  37. සමාවෙන්න ජේද දෙකක් වත් කියෝගන්න බැහැ. නමුත් පපුව ගැහෙනකොට උඩින් පල්ලෙන් කියෝගත්ත. මම මේ වගේ දේවල් කියවන්නවත්, අහන්නවත් , දකින්නවත් කැමති නැහැ. නමුත් ලියා තබනවා නම් කියෝන තවත් අයගේ ඇස් ඇරෙයි.

    යුද්දය කියන්නේ කාලකන්නි දෙයක්. පිදුරු ගෙවල් ඇතුලේ මිනිස්සු හිරකරලා පුච්චලා , ඒ එළියෙන් මස් පුච්චලා කනවා වගේ මගේ හැඟීම. කවුරුවත් අවුලලා වාසි ගන්නකොට, වෙනත් උන් මරනවා. මරලා විසඳන්න පුලුවන්ද? අදටත්??

    කිසිම කෙනෙක් තමන්ගේ පණට ආදරේ නැහැ කියල කියනවා නම් ඒක පටපල් බොරුවක්. එහෙම තියෙද්දී පණ පරදුවට තියලා එහෙම යන මිනිස්සු ගැන මට තියෙන්නේ අප්‍රමාණ ගෞරවයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. මැරුණු ඒ හැම ජීවිතයක්ම අපිට වඩා දහස් ගුණයක් වටිනා මිනිස්සු වටේ තියන් අපි මොනවද උදම් අනන්නේ මේ යුද්දේ දිනුවා කියල? ඇත්තටම අපි දිනලද?

    මේ වගේ කතන්දර අතීතයට එක් උනත් අනාගතයේ මේ වගේ කතා ආයෙත් අහන්න ලැබෙයි. ඊට කලින් මගෙත් ඇතුළුව, මිනිස්සුන්ගේ ඇස් ඇරෙනවා නම් කොපමණ හොඳද?

    ReplyDelete
    Replies
    1. //පිදුරු ගෙවල් ඇතුලේ මිනිස්සු හිරකරලා පුච්චලා , ඒ එළියෙන් මස් පුච්චලා කනවා වගේ මගේ හැඟීම// ටිපිකල් කැන්ඩි ස්ටයිල් උපමාව.. ආයි හෝදන්න දෙයක් නෑ.. එහෙමම තමයි.

      ස්තුතියි උඹේ දීර්ග කොමෙන්ටුවට.. හිත ඇති උන්ගේ තමයි හිත් රිදෙන්නේ..

      පුළු පුළුවන් විදියට ලියල තියන්නම්.. හැබැයි ඉතින් මට 'කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්' ලියන ළමයා වගේ පිළිවෙලට ලස්සනට ඔය වැඩේ කරන්න නම් බෑ..

      ප.ලි. 16 සිට 17 ට ගතවූ කාලය නම් වැඩියි.. :/

      Delete
  38. කියාගන්න දෙයක් නෑ.. අම්මාපල්ලා !!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං පපුවට දැනුනහම..

      Delete
    2. පුරේ නදර්න් එකේ වැට මායිමේ උන්න අපිට ආමි එයාෆෝස් නේවි කොල්ලෝ ගෙදර උන් වගේ බං..
      යන්නං මචං කියල ගියපු ගොඩක් උන් ආවෙ නෑ …එන්නෙත් නෑ……

      Delete
    3. එහෙම මතක තියෙන උන්ට විතරයි මේවා පපුවෙන් කියවන්න තේරෙන්නේ.. :(

      Delete
  39. මං මොනව කිව්වත් ඔබේ හිතේ තියනදේට කිට්ටු කරන්න බැරි නිසා ප්‍රශ්නයක් විතරක් අහන්නම්. SLN Air Wing එකක් පටන් ගත්තද?

    ReplyDelete
    Replies
    1. ඔව් පටන් ගත්තා.. ඒත් ඒක දිගටම තියා ගත්තේ නෑ.. එයා ෆෝස් එකෙන් රිටයර් වෙච්චි ඔෆිසර්ස් ල තුන් දෙනෙක් එහෙම අරගෙන වැලිසර කෑම්ප් එකේ වෙනම යුනිට් එකක් විදියට පටන් ගත්තා.. අපි අට දෙනෙක් ෆ්ලයර්ස් ල විදියට ට්‍රේන් වෙන්න සිලෙක්ට් උනා. ඒත් හෙලිකොප්ටර් ගත්තේ නෑ.. දයා සඳගිරි කියල ගොබිලෙක් ඇවිත් ඒක කෑවා.. ඒ වෙනකොට අපි අනුරාධපුරේ ට්‍රේනින් පටන් අරගෙනත්.. Fixed wing ෆ්ලයින්ග් අවර්ස් නම් 40-50ක් විතර තියෙනවා.. Rotary wing පදින්න බැරි උන එක තමයි මට පුද්ගලිකව වෙච්චි ලොකුම පාඩුව :( නේවි එකට වෙච්චි පාඩුව ගැන නම් පොස්ට් එකක්ම දාන්න වෙනවා.. එයාෆෝස් එකේ එයාර් සුපිරීයෝරිටි එකට කෙළවෙන නිසා හිටපු එයාර් ෆෝස් කමාන්ඩර් එහෙමත් ඒකට අකුල් හෙලුවා කියල ආරන්චියි.

      Delete
  40. සතුරාට මුහුණදී සටන් කර දිවිදුන් එක වීරයෙක් වෙනුවෙන් බ්ලොග් දහදාහක් ලිව්වත් මදි. තමන්ගේ දරුවන්, මව්පියන්, සහෝදර සහෝදරයන් තනිකර අපි වෙනුවෙන් සටනේදී නැතිඋන අයත්, සටනින් මව්බිම මුදාගෙන ජයග්‍රහනය කල හැමෝමත් හැමදාම වීරයෝ.

    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    ReplyDelete
    Replies
    1. සිංහලයෙකු කියල මේ සිංදුවේ තියෙන්නේ ඔබ සඳහන් කල හලාල්ඩීන්, කර්නල් මුතාලිෆ්, සහ හැමජාතියෙම අය ඇතුලත්ව වෙන්න ඕන

      Delete
    2. මාත් කැමතිම සින්දුවක්.. ඔය සිංහලයෙකු කියන වචනේ මිස්ඉන්ටර්ප්‍රිට් වෙන හින්ද දැන් වැඩිය ප්‍රමෝට් කරන්නේ නෑ..

      ඉයන් දන්නවද අවසන් සටනේදී තීරණාත්මකම නාවික හමුදා මෙහෙයුම් වූ කොටි ආයුද නැව් විනාශ කිරීමේ සෑම මෙහෙයුමකටම මුහුදේ සිට අණ දුන්න සීනියර් මෝස්ට් ඔෆිසර් දෙමල ජාතිකයෙක් බව :) (හැබැයි ඔහු කතාවෙන් හා ක්‍රියාවෙන් නම් තනිකරම සුද්දෙක්) අපිට තිබ්බේ ත්‍රස්තවාදීන් එක්ක ගැටුමක් මිසක් දෙමල සිංහල ගැටුමක් නෙවෙයි..

      Delete
    3. ඒක සහතික ඇත්ත. දිවිදුන් සෙබස්ටියන් පිල්ලේ පොලිස් විරුවාගේ ඉඳන් සියළු අන් භාශා කථාකරන අන් දෙවියන් අදහන එහෙත් තමන් උපන් මව්බිම වෙනුවෙන් එකාවගේ සටන් කරපු අය 'සිංහලයෝ' තමයි. හෙළයෝ, හෙළබිමේ පුත්තු.

      Delete
    4. // 'සිංහලයෝ' තමයි. හෙළයෝ, හෙළබිමේ පුත්තු// ටූ තම්බ්ස් අප්!

      Delete
  41. හරිම සන්ග්වේදී කතාවක් . මීට සමීප තවත් කතාවක් මට නැවතත් මතක් වීම තවත් දුකක්. වන්ෂනත අමරසේකර - කෑගල්ලෙන් බිහි උන නාවික රණවිරුවා අපේ හොඳම යාලුවත් kks වලදී මේ වගේම අපිට අහිමි උන මීට ගොඩක් කලින්

    ReplyDelete
    Replies
    1. http://navy.lk/fallen-comrades-1991-to-1995.html?pageno=17

      ඔබ තුමාව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් වන්ෂනාථ අමරසේකර අපිට අහිමි වෙලා අනිත්දා 20 ට වසර විස්සක්.. එතුමා ගැන අසා තිබුනත් එකට සේවය කර නෑ.. එතුමා මිය ගියේ මම නේවි එකට ජොයින් වෙන්න කලින්.

      මිතුරෙකු අහිමි වීමේ දුක සමඟ ඔහු ගැන සියුම් ආඩම්බරයකුත් ඔබ තුමාට දැනෙනවට සැකයක් නෑ.

      Delete
  42. මේක කියෙව්වහම මගෙ හිතට ආවෙ යුද්දෙදි පන බේරගන්නව මැරෙනව කියන එක තනිකරම වාසනාව මත තියන එකක් කියන එක ........
    හබැයි දැං වෙන ඒව දිහා බැලුවම මැරිච්ච උන් වාසනාවන්තයෝ කියල තමා කියන්ඩ වෙන්නෙ ...
    දැං නං ඩෝර කතා ඉල්ලන්නත් නිකං මොකද්ද වගේ ......

    ReplyDelete
    Replies
    1. //යුද්දෙදි පන බේරගන්නව මැරෙනව කියන එක තනිකරම වාසනාව මත තියන එකක්// ඇත්තටම, නිර්භීතකම තියෙන එකා තමයි ඉදිරියට යන්නේ.. හැකියාව හා දක්ෂකම තියෙන එකා තමයි ජය ගන්නේ.. වාසනාව තියෙන එකා තමයි පණ පිටින් ආපහු එන්නේ.. (කණ්ඩායම් වැඩක් නිසා සටනින් දිනුවත් සමහර වෙලාවට නම ගහපු බුලට් එකක් අයිතිකාරයව හොයාගෙන ඇවිත් එක්කගෙන ගිය වෙලාවල් තියෙනවා)
      //දැං නං ඩෝර කතා ඉල්ලන්නත් නිකං මොකද්ද වගේ ......// මං ලියන්නත් අදිමදි කර කර හිටියේ ඕකයි බං.. එත් නොලියම බැරි තව කතා ටිකක් තියෙනවා :(

      Delete
  43. මිතුරෙක් නැතිවීම කියන එක කොහොම වුනත් දුකයි. රජයට පක්ෂව සිදුවුනත් , විපක්ෂව සිදුවුනත්.. මිතුරු කම එහෙමමයි.. ක. මි. ට දැනෙන්න ඇත්තේ මට මේ බ්ලොග් එක ලියද්දි දැනුන දුකමයි...
    http://kalukitty1.blogspot.com.au/2015/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. අගෝස්තු මාසේ නොහිතපු තරම් වැඩ අධික වෙච්චි නිසා බ්ලොග් ලියන කියවන එක ගොඩක් අතපසු උනා.. කවිඳු ගේ පරණ පොස්ට් කීපයක්ම මේ කියවන ගමන්..

      සුරංජි ගැන ලියපු පොස්ට් එක කියෙව්වම මේකත් කවිඳුට බොක්කටම වදින්න ඇති කියල හිතුනා.. :(

      Delete
  44. කමි. මම මේ පෝස්ට් එක කියෙව්වේ නෙලුම් යායෙන්. මේ පැත්තට එන්න බලනකොට ඩොංගලයා පිස්සු කෙලින්න පටන්ගත්තා.

    මේ සිදුවීම් කියවනකොට මගෙ පපුව හිරවෙලා ඇඟ හීතල වෙලා යනවා. රට වෙනුවෙන් ජීවිතය දුන් අපේ රන විරුවන්ට නිවන් සුව ලැබේවා.

    ප.ලි.
    මමත් පුන්චි කාලෙ හරිම ආසාවෙන් හිටියා හමුදාවට යන්න. තවමත් එහෙමයි. නමුත් යන්න බෑ. ඒ ගැන දුකයි.

    ReplyDelete
  45. යන්න බැරි හේතුව දැන ගත්තේ නෙලුම්යායේ අජිත්ගෙන්ම තමයි. ඒ ගැන දුක් වෙන්න එපා. මොකද හැම මිනිහාගේම මොකක් හරි අඩුවක් තියෙනවා.. ඔය ඔක්කොම හරියට තිබිල 'හදවතක්' අඩු වෙනවට වැඩ ඔය වගේ පොඩි අඩුවක් හොඳයි කියල හිතන්න. කසුන් වගේ අය එහෙම හිතුවට සමහරුන්ට හමුදාව 'තව එක රස්සාවක්' විතරයි :( දිගටම එන්න කලාහිතට.. ස්තුතියි.

    ReplyDelete
  46. api mokkuda?ubala thamai weerayo....

    ReplyDelete
    Replies
    1. සමන් අබේසුන්දර මහතා සාදරයෙන් පිලිගන්නවා කලාහිතට..

      මම නෙවෙයි සමීර ලා වගේ උන් ගැන නම් ඔබ කියූ දෙයත් එක්ක එකඟයි.. එකාතකින් අපි හැමෝම කවද හරි කාගේ හරි වීරයෝ.. දිගටම එන්න. ජය ශ්‍රී!

      Delete
  47. කමි.
    මේ ලිපිය හෙමීට කියවල අදහස් ලියන්නම් හොඳේ. දැනට ඇවිත් ගියා.

    ReplyDelete
    Replies
    1. කියෙව්වනම් මේ කොමෙන්ට් එකවත් දාන්නේ නෑ ෂුවර් එකටම :)

      Delete
  48. !) p 465 ඩෝරා යාත්‍රාවේ තාවකාලික අණභාර නිලධාරියා වූ ලුතිනන් ගීකියනගේ දොන් ජනක ප්‍රියන්ත යුද්දයට ගිය කල 'මැරෙනවා පෙන්නේ නැති' ටයිප් එකේ බුලට් එකකි. නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීමේ 'සුපිරි චරිතයක්' වූ ප්‍රියන්ත පසුගියදා කරුවලගස්වැවදී සිදුවූ වාහන අනතුරකින් නොසිතු අයුරින් ජිවිතයෙන් සමුගත් නමුත් එතෙක් මෙතෙක් නාවික හමුදාව බිහිකළ පළමු පෙළ 'සටන්කරුවෙකු' ලෙස අභිමානයෙන් සටහන් කල හැකිය.{ මේ වගේ සැඟවී ගිය විරුවන් කොතෙක් ඇත්ද ?

    2) වීරයන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට බේරාගත් දේශය කාලකන්නි දේශපාලුවන් උන්ගේ භුක්තියට ලබා ගැනීම දකින විට ඉමහත් ශෝකයක් දැනේ

    3) මා විසින් ලියන ලද සංග්‍රාමයෙන් පසු (සරසවි ප්‍ර​) හමුදාවේ සොල්දාදුවන් මුහුණ දුන් යුද තත්වයන් ගැන කතා කෙරේ. හමුදාවේ සොල්දාදුවන් මෙන්ම නාවික හමුදාවේ රණවිරුවන් ද දරුණු යුද තත්වයන්ට මුහුණ දී ඇති බව පෙනේ. මේ නොලියුණු ඉතිහාසය යම් කෙන්කු විසින් ලේඛනගත කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් RMJ සාදරයෙන් පිලිගන්නවා කලාහිතට. ඔව්. මේ වගේ සැඟවී ගිය බොහෝ විරුවන් ඉන්නවා නාවික හමුදාවේ ඒ දවස්වල නොයෙකුත් හේතු නිසා නිවැරදිව ඇගයීමකට ලක් නොවුණු.. ඒක විශේෂම හේතුවක් තමයි අතිශය බිහිසුණු සටනකින් පසුව ජිවිත පුජා කරන ඔවුන් සදාකාලිකව මුහුදු පතුලේ සඟවා යන බැවින් 'යුද්දයේදී මියගිය' (Killed In Action-KIA)) වෙනුවට 'අතුරුදහන් වුවන්ගේ' (Missing in Action- MIA) ලිස්ට් එකට තමයි වැටෙන්නේ.. මොකද යුද්දයකින් පස්සේ බොඩි එකක් හම්බවුනේ නැත්නම් එකපාර KIA අවුට් කරන්නේ නැනේ.. එදා ඉඳන් ඔවුන්ගේ දෙමවුපියන් බිරිඳ දරුවන් නෑයන් පන්සල් පල්ලි කෝවිල් ගානේ ගිහින් දුක් විඳිනවා.. අර මැරිච්චි එකාට නිසි ගෞරවයක් ලැබෙන්නේ නෑ. අන්තිමේ MIA ලිස්ට් එකේ අවුරුද්දක් ඉඳල හිමිට KIA කියල අවුට් වෙනවා.. ලැබිය යුතු දීමනා ආදිය නිසි පරිදි ලැබුනත් ඒ වෙනොකට ඔහු ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

      මේ වගේ තව බොහෝ දෙනෙක් ගැන ඉදිරියේදී හැකි විදියට ලියා තියන්නම්. ස්තුතියි. ඔබේ පැමිණීම අගය කරනවා.

      Delete
  49. කොමෙන්ට් එකක් දාන්න අකුරු ගලපන්න තේරෙන්නේ නෑ කල්‍යාන මිත්‍ර.....
    සෑහෙන්න දැනෙන සටහනක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔබේ 'ප්‍රොෆයිල් නේම් එක අමුතු උනාට' හැඟීම් අපි ඔක්කොටම හුරුයි නේ.. එකයි ඒ.
      දිගටම රැඳෙන්න කලාහිතත් එක්ක.

      Delete
  50. කමියා ප්‍රශ්ණය මේකයි... රටක හමුදාවක් ඉන්නේ අාරක්ෂාවට... හමුදාව නැත්තං මේ ජීවත් වෙලා ඉන්න කීයක් මැරිලද???? ඒත් යුද්ධය ඉවර වුණ දවස් වල තිබුණ හැගීම මිනිස්සුන්ට දැන් නැහැ... හමුදාව දිහාත් බලන්නේ දේශපාලනික අැසින්.... ඒක වැරදියි.... මේ කැපකිරීම් කරපු අපි වගේම මිනිස්සු තමා හමුදාවේ ඉන්නේ කියලත් රටේ මහජනතාව දැන ගත යුතුයි..... ලිපිය වටිනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට.. //අපි වගේම මිනිස්සු තමා හමුදාවේ ඉන්නේ කියලත්// මේ කතාවත් සැහෙන්න වටිනවා..

      Delete
  51. අදයි මෙ බිලොග් එකට මුලින්ම ආවෙ.කොමන්ටු වලින් මුන ගැහැලා තිබුනට බිලොග් එකේදි මුන ගැහෙන පලමු වෙනි අවස්ථාව.

    මගේ පවුලෙත් හමුදාවෙ සේවය කරන කිහිප දෙනෙක්ම ඉන්නවා.යුධ සමයේදි කිහිප දෙනෙක් ජීවිතත් පරිත්‍යාග කලා.මම කැමති නැ ඔවුන් මිය ගියා කියලා කියන්න.අපිට වගේම අදටත් ජීවත්වෙන්න අවස්ථා තිබුනා.සේවය අත්හැරලා වෙන රැකියාවක් සොයාගෙන.ඒත් එහෙම නොකර රට දැය වෙනුවෙන්ම ජීවිත කැප කලා.අපේ ජීවත් වීම උදෙසා ඔවුන් ජීවිත කැප කලා.අපේ දරැපවුල් වල ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ දරැ පවුල් වලින් ඈත් වෙලා ඉන්න උනා.අපි රාත්‍රියට සුව නින්දකට වැටිලා ඉන්නකොට ඔවුන් නිදි මැරැවා අපි වෙනුවෙන්.ඔවුන් ගැන කියන්න දේවල් බොහොමයි.

    මම අද පොතක් මිලට ගත්තා ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකායෙන් ප්‍රකාශයට පත්කල සතුරාට යටත් නොවන මා කියන පොත.යුධ සමයේ ක්‍රියාන්විත ගැනයි එහි තිබෙන්නේ.අපේ විරැවන් ගැන මහත් අභිමානයක් ඇතිවෙනවා ඒ පොත කියවනකොට.ඔබෙ පොස්ටි එකත් නැවත වතාවක් කියවන්න ඔන.නැවතත් මෙහි පැමිනෙන්නමි.ජය

    විවෙකයක් තිබෙන වෙලාවක ඇවිත් යන්න මෙන්න පාර
    මනෝ මන්දිර

    ReplyDelete
  52. මගේ පාසලේ ආදි සිසුවෙක්. ගම්පහ බණ්ඩාරණායකේට අමතක කරන්නම බැරි අනෙක් නිළදාරියා තමා මේජර් පිංතු. 1994 හර්මන්ලෝස් කුසලානය දිනු ශිෂ්‍යභට කණ්ඩායම බාරව සිටියේ ඔහුයි

    ReplyDelete
  53. ++++ මොනව කියන්නද කියල තේරෙන්නෙ නැහැ :(

    ReplyDelete
  54. 'හොඳ යුද්ධයක් හෝ නරක සාමයක් කියා දෙයක් නැත' කොහේදි දෝ කියෙවුවා සොයුර ඉතාම සංවේදී සටහනක් කියවන්න ලැබුණේ දැන්

    ReplyDelete
  55. මුදා ගන්නට දෙරණ - පුදා ඔබෙ දිවි කුසුම
    එදා ජයගත් සයුර - සදා සමරමු සොයුර

    ReplyDelete