මේක ලියන්න ගත්තේ පහුගිය අවුරුද්දේ මැයි මාසේ.. ඒ උනාට ලියන්න බැරි උනා.. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ ඉතිං. මේකේ
දෙවෙනි කොටස විදියට එකක් ලියුවත් ඒකෙ මුලින් කියන්න බලාපොරොත්තු වෙච්චි කතාවට අදාලව කිසිම දෙයක් ලියවුනේ නෑ.. එකත් ඉතින් බොහොම සාමාන්‍ය දෙයක් තමයි.. බලමු අදවත්..
2001 අප්‍රේල් මාසේ අවුරුදු දවස්වල අපි හිටියේ කන්කසන්තුරේ.. එතකොට මම P 495 ඩෝරා එකේ දෙවෙනියා.. මගේ ලොක්ක උනේ ලුතිනන් කමාන්ඩර් රජීව් සේනාරත්න.. ඔහු ගැන වෙනම ලියන්න ඕනි.. රජිව් සර් මුලින්ම ඩෝරා එකක OIC කෙනෙක් වෙලා ආවේ එතකොට මම දෙවෙනියා විදියට හිටපු P 442 ඩෝරා එකට..
රියර් අද්මිරාල් සින්නයියා තමයි ඒ කාලේ ඩෝරා බලඝණයේ අණ දෙන නිලධාරී හෙවත් CO. පස්සේ රජිව් සර් 495 ඩෝරා එකට මාරු වෙලා යනකොට මාත් ඒ එක්කම ඒකට ගියා. 495 එක MSIS (Multi-sensored stabilized integrated System) කියන වෙපන් සිස්ටම් එකත් එක්ක කපල් කරපු මි.මි. 23 Typhoon වර්ගයේ ප්‍රධාන අවියක් සවි කරපු ඒ දවස්වල විදියට නවීනතම යාත්‍රාවක්.. Attack එකක් වෙලාවට ඒ වෙපන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ ඩෝරා එකේ දෙවෙනියා.. ඉතිං සාමාන්‍යයෙන් ඒ වගේ ඩෝරා එහෙකට තව අමතර නිලධාරියෙක් (3rd Officer in Command- 3IC) කෙනෙකුත් ඉන්නවා. අපිත් එක්ක හිටිය 3IC මගේ ජුනියර් බැච් එකේ.. බලපිටියේ සොයිසා කෙනෙක්.
A fully equipped Ultra Fast Attack Craft (UFAC) with MSIS and Typhoon
MSIS with Day vision Camera, Night Vision Camera and Laser range finders etc.
A MSIS turret fitted on a ship mast
Attack එකක් වෙලාවට ඩෝරා එකක මේ OIC- 2IC සම්භන්දතාවය හරිම වැදගත්.. අනිත් crew එකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් වැදගත්.. නමුත් attack එකේ scale එක හා OIC ගේ tactical maneuvers ගැන හොඳම විව් එක තියෙන්නෙත්, ඒ අනුව ප්‍රධාන අවිය හසුරුවන්නෙත්, සෙසු අවි හැසරවිම සඳහා උපදෙස් දෙන්නේත් (Gun Comm හරහා) දෙවෙනියා නිසා මේ අවබෝධය crucial. කාලය බොහොම සීමිතයි ඒ වගේම ගොඩක් කතා කරන්න කියන්න ගියාම පැටලෙන්ඩ, වරදින්න හා පැනික් වෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා attack එකක් වෙලාවට අපි දෙන්න කතා කරන්නෙම නැති තරම්.. එක බැල්මකින් නැත්නම් වීල් එක හසුරුවන කෙනාට දෙන ඕඩර් එකකින් එහෙමත් නැත්නම් එක 'කුණුහරුපයකින්' ඊළඟ ඇක්ෂන් එක මොකක්ද වෙන්න ඕනි මොකක්ද කියල දැනගන්න පුළුවන්..
වතාවක් අපි පොයින්ට් පේදුරු මුහුදේ පැට්‍රොල් එක තව එක ඩෝරා එකක් එක්ක.. එතකොට නාගර්කෝවිල් වලට එනකම් කොටි ලයින් එක.. නාගර්කෝවිල් වලට පොඩ්ඩක් උඩින් මනල්කාඩු වල අපේ තිබ්බ අන්තිම ඩිෆෙන්ස් ලයින් එක.. මුහුදෙන් ගොඩ බිමට කිට්ටු කරන්න පුළුවන් මනල්කාඩු හරියට විතරයි.. ඊට පහලට ගිහින් ලං උනොත් ගොඩබිම තියෙන MBT වලින් කන්න වෙනවා.. ඔය පේදුරුතුඩුව ට එළියෙන් මුහුදේ එක දිගට ගල් වැටියක් තියෙනවා හැතැක්ම හතරක් 5ක් ඈතින් ගොඩබිමට සමාන්තරව.. ඉතින් ඔය ගල් වැටියට ඇතුලෙන් ගොඩබිමට කිට්ටුව අපි ඩෝරා දෙක ඉහල පහල යාත්‍රා කරමින් නාගර්කෝවිල්, වෙත්තිලකර්නි, චලෙයි, චුන්ඩිකුලම් ඉඳල මුලතිව් වෙනකම් මුහුද දිහා ඇහැ ගහගෙන ඉන්නවා.. ඇහැ කියුවට රේඩාර් එක තමයි ඉතීම්..
ඔහොම ඉද්දි දවසක් නාගර්කෝවිල් සහ වෙට්ටිලකර්නි වලින් එකදිගට කොටි බෝට්ටු මුහුදට දාන්න ගත්තා.. සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ මුලතිව් හෝ චලෙයි පැත්තට ආයුධ හෝ වෙනත් භාණ්ඩ අරගෙන බෝට්ටු එන්න තියෙන වෙලාවට අපේ අවධානය වෙනස් කරන්න එහෙම.. ඒ වගේ වෙලාවට උන් කරන්නේ ගොඩබිම ඉඳල හැතැක්ම 5-6ක් එලියට ඇවිත් වටේ පිටේ තියෙන ඩෝරා ටික එතනට ගෙන්නාගෙන සෙල්ලමක් දාන එක. අපි අහුවෙයි ඕවට.. ඒත් එදා බෝට්ටු එහෙම ගොඩබිමින් එලියට ආවේ නෑ. ගොඩබිමට කිට්ටුවෙන්ම එක ළඟ ගුලියක් වගේ පේනවා මිසක් රේඩාර් එකෙන් පැහැදිලිව පෙන්නේ නෑ.. අපි මේ ගැන උතුරු නාවික විධානයේ ආඥාපති තුමාව දැනුවත් කරාම එතුමා අවශ්‍ය කටයුතු කරලා හදිසි අවස්ථාවකට සුදානම් කරා මුළු නාවික විධානයම සැනෙකින්.. එතකොට එදා ශක්ති සහ තවත් නැවක් ට්‍රින්කෝ වල ඉඳල KKS වලට එමින් තිබුනේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා හමුදා සාමාජිකයෝ අරගෙන.. සමහරවිට මේ ඒ නැව් වලට පහරදීමකට සුදානමක් ද නොදන්නා නිසා ඒවාටත් මේ ගැන දැනුම් දීලා අවශ්‍ය සුදානම් වීම කරලා තිබුනා. ඒ වගේම අපේ උදව්වට තව ඩෝරා යාත්‍රා කිහිපයක් පේදුරු තුඩුව මුහුදුටත් යාත්‍රා කරමින් තිබුනා..
නමුත් එදා මේ සිටුවේෂන් එක ගැන මටවත් රජිව් සර් ටවත් සෑහීමකට පත්වෙන්න බැරි උනා. එතන ඊට වඩා යමක් සිදුවෙන බව අපිට වැටහෙමින් තිබුනා.. මේ වෙනකොට action station හෙවත් සියලු දෙනා තම තමන්ගේ අවි ආයුධ වලට වෙලා පුර්ණ යුධ අවස්ථාවකට සුදානමින් හිටියේ.. මමත් ගන් කම්පියුටර් එක ඉස්සරහා වාඩිවෙලා MSIS කැමරාවෙන් කොටි බෝට්ටු පැත්ත නිරීක්ෂණය කරන්න උත්සාහ කරාත් ඉර බැහැගෙන යන වෙලාවේ දකුණ/ බටහිර පැත්ත බලන්න තියෙන අමාරුව නිසා පැහැදිලි පින්තුරයක් ගන්නත් බැරුව හිටියේ.. රේඩාර් යන්ත්‍රයත් කැමරා මොනිටර් එකත් දිහා මාරුවෙන් මාරුවට බල බල හිටපු OIC එකවරම 'Steer south- වන්-එයිට්-සීරෝ' කියල එන්ජිං දෙකම ස්පීඩ් අප් කරා.. මම දන්නවා මේ යන්නේ කොටින්ගේ මුහුදු සීමාවට මේ ගැන පැහැදිලි විස්තරයක් බලා ගන්න කියල.. ඉතින් මමත් හැකි ඉක්මනින් කැමරා එක නාගර්කෝවිල් මුහුදු සීමාවට මානාගෙන සුදානම් උනා.. අනිත් ඩෝරා එක මනල්කාඩු වලට එළියෙන් නතර කරලා අපි මුහුද අයින දිගේ නාගර්කෝවිල් පැත්තට ගියා.. කොයි වෙලාවේ MBT එන්ගේ ජ් කරයිද නම් දන්නේ නෑ..
ගියා තමයි.. අම්මට සිලි වෙනවා.. එක පොකුරට බෝට්ටු විස්සකට වැඩියි මුල් cluster එකේ. දහයක් විතර හෙන පත සයිස් Attack craft. ඩෝරා එහෙකට වැඩිය ඕනිනම් පොඩ්ඩක් පොඩි ඇති. තව පොඩි බෝට්ටු කිහිපයක් හා suicide craft කීපයක් ඒ අතර.. අපි එන වගේ වගක් නැතුව උන් එක cluster එකට මුහුද අයිනෙම්ම පේදුරු තුඩුව පැත්තට එනවා හෙමි හෙමීට.. අපි ඒ බෝට්ටු පහුකරලා තව පහලටම ගියා.. එතනත් ඒ වගේම cluster එකක්.. වේගෙන් උඩට එනවා පලවෙනි group එකට සෙට් වෙන්න බලාගෙන වගේ.. පුදුමේ කියන්නේ මේ ගෘප් දෙකෙන් එකක්වත් එහෙම නැත්නම් ගොඩ බිම ඉඳලාවත් තනියම උන්ගේ රේන්ජ් එකට ගිය අපේ ඩෝරා එකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. අපි මේ විස්තරත් ඔක්කොම ඉහලට දැනුම් දීල ආපහු හරවාගෙන මනල්කාඩු ඉස්සරහට ඇවිත් අපේ යුනිට් එක්ක එකතු උනා. ඒ වෙනකොට අපේ ඔක්කොම ඩෝරා 6ක් විතර.. MSIS හයි කරපු නයිට් ෆයිටින්ග් වලට ගැලපෙන ඒවා තිබුනේ තුනක් වගේ.. තව ට්‍රින්කෝ වලින් හා මැනාර් සයිඩ් එකේ තිබ්බ ඩෝරා කිහිපයක් අපිත් එක්ක එකතුවෙන්න එන ගමන්.
අපි ලයින් එකක් හදල මනල්කාඩු වලට ටිකක් පහලට වෙන්න බැරියර් එකක් ෆෝම් කරා. ටික වෙලාවකින් එනමි ක්ලස්ටර් දෙකම එකතු වෙලා තනි යුනිට් එකක් වෙනවා අපි බලාගෙන.. ඊට පස්සේ හෙමි හෙමින් උඩට එනවා.. අපි මුලින්ම මේ ගෘප් එකට එන්ගේජ් කරනකොට කළුවර වැටෙන්න ඇවිත්. ඒ වෙනකොට අපි දෙගොල්ලම PPD චැනල් එක ඇතුලේ .. කලින් කියපු ගල් පරය නිසා අපිට බෝට්ටු හරවන්න පුළුවන් බොහොම සිමා සහිතව.. ඒ වගේම මෙතැනදී enemy අපිව out number කරනවා වැඩි බෝට්ටු ප්‍රමාණයකින්.. නමුත්, surprisingly, අපි attack කරනකොට උන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙඩි තියනවා මිසක් අපිට ඇටැක් කරන්න මහන්සි වෙන්නේ නෑ. දිගටම උන්ගේ ටාස්ක් එකට යනවා විතරයි. මේක හරිම වොරියින්ග්. මේ විදියට ටිකක් වෙලා යනකොට මුන්ගේ movements වලින් සහ intelligence වලින් අපිට තේරුනා මුන් මේ යන්නේ KKS හාබර් එකට කියල..
හාබර් එක ඉස්සරහ MV Ruhunupura නැව ඇන්කර් කරලා unloading කරනවා.. වැරදිලා හරි රුහුණුපුර ට සුවිසයිඩ් එකක් ගහල හාබර් මවුත් එකේ ගිලුනොත් KKS හාබර් එක ඉවරයි. KKS හාබර් එක ඉවරයි කියන්නේ යාපනේ ඉවරයි.. බොහොම සිම්පල් විදියට එහෙම හිතුවට මේක මහාම මහා බයානක අවස්ථාවක්.. පොයින්ට් පේදුරු වලින් හැරුනාම KKS හාබර් එකට තියෙන්නේ හැතැක්ම දොළහයි. සුවිසයිඩ් බෝට්ටුවකට එක ඩෑෂ් එකෙන් රීච් කරන්න පුළුවන් විනාඩි 15ක් ඇතුලත.. ඒ කියන්නේ මේ ගෘප් එක තව හැතැක්ම 3-4ක් මෙහෙම ගිහිං පොයින්ට් පේදුරු වලින් ටර්න් කරාම මුන්ගේ මේ සියලු ටැක්ටික්ස් වෙනස් වෙනවා.. එක ටීම් එකක් ඩෝරා එක්ක එන්ගේජ් වෙයි. අනිත් ටීම් එක කෙලින්ම KKS පැත්තට අදියි.. ගියෝත්නම් පුතා ලොවෙත් නවත්වනවා බොරු..!
අපි ආයිම වතාවක් ඕගනයිස් වෙලා attack run එකක් කරා.. ඒත් බෝට්ටු තිහකට වැඩිය තියෙන හොඳට ඔගනයිස් වෙලා යන මේ cluster එකට එහෙම attack කරන්න බෑ කියල අපිට තේරුණා. වෙන තැනකනම් ගොඩ බිමින් ෆයර් සපෝර්ට් ගන්න තිබ්බ.. මේ තැනෙ හැටියට ඒකත් බෑ. ගොඩින් ගැහුවොත් අපි දෙගොල්ලම අනතුරේ. ඉක්මණින් තීරණයක් ගන්න ඕනි.. මම OIC දිහා බැලුව.. ඔහු කිසිම කලබලයක් නැතුව සෙට් එක අතට ගත්තා..
"මේ ගෘප් එක මෙහෙම තනි ක්ලස්ටර් එකට ඉන්නකං අපිට මුන්ට ගහන්න බෑ. මම ඇතුලට යනවා.. එහෙමෙහෙ වුනාම උඹල වෙන වෙනම එන්ගේජ් කරපල්ලා"
ඊළඟට වෙන්න තියෙන දේ ගැන මට අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ.. මම ගන් කොම් එක අතට ගත්තා..
"අපි මුන්ගේ ලඟට ටිකක් කිට්ටු කරනවා- මම මුලින් එන්ගේජ් වෙනකම් ඉඳල වටේ පිටේ පේන්න තියෙන ඔක්කොටම ගහපල්ලා.. මම කියනකම් ෆයර් එක නතර කරන්න එපා...."
මම හොඳට හරි බරි ගැහිලා ගන් කැමරා එක ඉස්සරහා වාඩි උනා..
"ස්ටියර් ටූ-වන්-සීරෝ" ..
"ටූ-වන්-සීරෝ සර්" වීල් එකේ හිටපු LME (Leading Engineering Mechanic) ඕඩර් එක කන්ෆර්ම් කරා..
"ලං වෙනකං එන්ගේජ් කරන්න එපා" කාලෙකින් OIC ගෙන් මටත් උපදෙසක් ලැබුනා.. සාමාන්‍යයෙන් අපි මේන් ගන් එකෙන් එන්ගේජ් වෙන්න පටන් ගන්නේ මීටර් 2000-2200 වගේ රේන්ජ් එකේදී.. එහෙම ගිහින් 1000-1200 විතර ලං වෙනකොට හරවාගෙන එනවා.. එදා මම LRF එක (Laser range finder) එක ඔබ ඔබ හිටියා ළඟම පෙනුන කොටි බෝට්ටුව මීටර් 1000ක් විතර වෙනකම් ලං වෙනකම්.. ඒ වෙනකොට අපේ ඩෝරා එක 'පිස්සු හැදිච්ච කඟවේනෙක්' වගේ කොටි බෝට්ටු ක්ලස්ටර් එක අස්සට කඩා පනිමින් හිටියේ.. මගේ කැමරා මොනිටරේ පුරවලා දැන් කොටි බෝට්ටු.. අලගෙඩි වගේ.. ඒ වෙනකොට බෝට්ටුවේ එළියේ හිටපු කොල්ලන්ටත් තමන්ගේ ඉස්සරහා තියෙන බෝට්ටු වල ඡායාව හොඳින්ම පේන්න තරම් අපි කිට්ටුවෙලා.. මට මොහොතකට මුළු ලෝකෙම අමතක උනා කියුවොත් හරි.. හිත ඇතුලෙන් යකෙක් කෑගහනවා..
'Waste the bloody motherfuckers!!!'
මම 23mm Typhoon එක engage කළා.. ඒ එක්කම මුළු ඩෝරා එකම එකම වෙඩි හඬකින් දෙදරලා යන්න පටන් ගත්තා.. ටාගට් ට්‍රැක් කරන්න, රේන්ජ් සිලෙක්ට් කරන්න ඒවා මොකුත් නෑ.. මම ගන් එක මුහුදට පැරරල් තියල මගේ ෆයරින් ආර්ක් එක ඇතුලේ මිලිමීටර් විසි තුනේ බෝම්බ වරුසාවක් වැපිරුවා.. ඒ එක්කම වගේ 'ටින්- ටින්- ටින්..' ගාලා ඩෝරා එකේ ඇලුමිනියම් බඳ හිල්වෙන සද්ද ඇහෙන්න ගත්තා..
"හාර්ඩ පෝට්..."
"හාර්ඩ පෝට් සර්.." LME බෝට්ටුව හරවනවත් එක්කම එක පාරම බෝට්ටුවේ වේගය බාල වේගන ගියා..
"ස්ටාර්බඩ් එන්ජිම නතර උනා සර්" LME කෑ ගහනවා..
"උඹ පහලට පලයන්.. මම වීල් එක ගන්නම්.." මම ගන් කම්පියුටර් එක අතෑරලා වීල් එකට පැන්න..
තනි එන්ජින් එකෙන් දුවනකොට වීල් එකෙන් ගෙනියන්න අමාරුයි. ඊට ලේසියි එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකෙන් steer කරන එක.. මම වීල් එකෙන් කන්ට්‍රෝල් අයින් කරලා පෝට් එන්ජින් කන්ට්‍රෝල් යුනිට් එකෙන් ඩෝරා එක එනමි ක්ලස්ටර් එකෙන් එළියට ගත්තා හිමි හිමිට.. ඒත් ඉස්සරහා ඇණිය බරට යට යනවා තේරෙනවා..
"බෝසන් ස්ටෝර් එකට වතුර පිරෙනවා වගේ.. වෝටර් ටයිට් කරලා ගිහින් ඇතුලෙන් වටේම බලපන් තව කොහෙද වතුර දාන්නේ කියල" මම සොයිසා ව ඒ වැඩේට පිටත් කරා..
"මගේ ස්ටාබඩ් එන්ජින් එකට වැදුනා.. මම හෙමිට එලියට ගන්නවා.. දැන් මුන්ගේ ක්ලස්ටර් එක කැඩිලා උන් අනාථ වෙලා ඉන්නේ.. උඹල වෙන වෙනම අරං එන්ගේජ් වෙයල්ලා.. මම මෙහෙමම හාබර් එකට අදිනවා.. "
OIC සෙට් එක අරන් ජයග්‍රාහිව කියුව..
කොහොම හරි Damage Control කරගෙන තනි එන්ජින් එකෙන් අපි KKS එනකොට කොටි බෝට්ටු ආපහු හරවලා පහු බහින්න පටන් අරං.. ඒ වගේ Planned Attack එකක Command and Control නැතුව ගියාම මූලික අවස්ථාවේ තියෙන පහසුකම් එක්ක සටන් කරන ත්‍රස්තවාදී කණ්ඩායමකට අතරමගදී ආපහු අර මුලින් වගේ ඔර්ගනයිස් කර ගන්න බෑ. P 495 අපි එදා කරේ ඒ දේ.. මේ වගේ බොහෝ සිද්දි 495 ඩෝරා එකත් එක්ක මතකෙට එනවා..
P495 අපට අහිමිවෙච්චි දවසේ කතාව ආයේ දවසක කියන්නම්. ජයවේවා!