Friday 28 November 2014

ඡන්ද උනුසුම මැද රටම හීතල වෙයි El Nino, La Nina and Indian Nino


ජනාධිපතිවරණ ඡන්ද කතා බහකින් රටත් ජනතාවත් ඊට සාපේක්ශව අපේ පුංචි බ්ලොග් ලෝකයත් උණුසුම් වෙමින් පැවතින. 

කතා කිරීමට අප්‍රසන්න තරම් වූ තුච්ඡ දේශපාලන සදාචාරයකට උරුමකම් කියන රටක නොවැදගත් පුද්ගලයෙකු වූ මා ඒ ගැන කියවනවා හැර වෙනත් අදහසක් ප්‍රකාශ කිරීමෙන් හැකිතාක් දුරට වැලකී සිටියෙමි. එහෙත් අද උදේ අසන්නට ලැබුණු 'කතාවක්' නිසා මෙසේ යමක් ලියන්නට සිත් විය. මේ දිනවල පවතින අධික සීතල කාලගුණය නිසා ඌව පළත් සභාව මාස එක හමාරකින් කල් දමා දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත සභා වාර දෙක අවලංගු කිරීම වැඩි චන්දයෙන් සම්මත වූවායැයි කියවේ.. මේ ක්‍රියාව කොතරම් තුච්ඡදැයි තීරණය කිරීම කැමති කැමති අයෙකුට තම තම නැණ පමණින් කර ගැනීමට ඉඩ හැර මේ 'සීතල වීම' ගැන යමක් කිව යුතුයැයි සිතමි. හැබෑවටම මේ ගැන කතා කලයුතුව තිබුනේ ඔවුන්මය. අනෙකුත් සියළුම රාජකාරී එලෙසම සිදුවෙමින් තියෙද්දී තමන් පමණක් හීතලෙන් බේරෙන්නට සරම ගලවා දෙවුර වසා ගන්නා මෙවන් අමනයින් අඩුම තරමින් එවිට තමුගේ යටිකය හෙළුවෙන් බවවත් නොදන්නා කොට මුන්ගෙන් එවන් දෙයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු සෙවීමක් පමණක් නිසා දන්නා පමණින් යමක් ලියා තබමි. 

මෙය ලිවීමට පෙර මා මුලින් සිදුකලේ අන්තර්ජාලයේ සැරි සරමින් මෙතෙක් මේ ගැන පැහැදිලි යමක් ලියවී හෝ කථා බහක් ඇතිවී ඇත්ද යන්න සෙවීමයි.. සිරස නිවුස් ෆස්ට් මගින් අනුරාධපුර හා මොණරාගල ස්ථාන කිහිපයක මිහිදුම් සහිත කාලගුණයක් පෙන්වා තිබුණු අතර කවුරුත් වැඩිය නොකියවන පත්තරයක දෙකක කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් කෝකටත් තෛලය වැනි ගෝලීය උශ්ණත්වය ඉහලයාම නිසා වන කාලගුනික විපර්යාසයක් ලෙසත්, ඊසාන දිග මෝසම් සුලං සක්‍රිය වීම නිසා බූමියට ආසන්න අහසේ පවතින වලාකුළු මගින් හිරු රැස් පොළොවට පතිත වීම වැලැක්වීමෙන් දහවල් කාලයේ උෂ්නත්වය පහත වැටී ඇතිබවත් තව මොන මොනවාදෝත් අඩංගු කොට ඉංග්‍රීසි බසින් කෙටි ලිපියක් දෙකක් පළවී තිබිණි.

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට ඕනෑ වූ නිසා කෝකටත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ වෙබ් සයිට් එකට ගොඩ උනෙමි. ලංකාවේ රූපවාහිනී නාලිකාවක ඉංග්‍රීසි පුවත් අවසන ඉදිරිපත් කරනු ලබන කාලගුණ වාර්ථාවක අසා පුරුදු වචන ටික එලෙසින්ම Warnings-> Severe Weather Warnings යටතෙ අද දිනටද update වී තිබුණි. 

ඊට පහලින් Seasonal Forecast යනුවෙන් සටහන් වී තිබීම නිසා ඒ ගැන උනන්දු වූ නමුත් එය අවසන් වතාවට යාවත්කාලීන වී තිබුනේ 2014 ජූනි මස 5 වනදායි. අවාසනවක මහත.. ඒ සම්භන්ධ යොමුවෙන් ගොස් වාර්ථාව කියවීමට උත්සහ ගත්තද Not Found- The requested URL /images/stories/pdf/june2014en.pdf was not found on this server. යනුවෙන් පමණක් වාර්ථාවක් ලැබුණි.

Climate යන උප හෙඩිම යටතෙ Climate in Sri Lanka හා Climate Change in Sri Lanka යනුවෙන් සටහන් දෙකක්ද එක්කර තිබූ අතර Climate in Sri lanka පිළිබඳව අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි මස දෙවෙනි දින තරම් 'මෑතකදී' සිදුකර තිබූ අතර Climate Change in Sri Lanka පිළිබඳව විද්වත් මහාචාර්යවරයෙකු විසින් සම්පාදිත ලිපියක් 2011 පෙබරවාරි 7 වන දින තරම් 'මෑතකදී' එක්කොට තිබුනි.

වැඩකට නැති වුවද නිකමට මෙන් මම ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියටත් ගොඩවී බැලූ නමුත් ඒ ගැන මෙහි කිසිවක් නොකියමි.

කොල්ලුපිටියේ මුහුදු මට්ටමේ සිට මීටර දෙසීයකට මදක් උසින් වැඩි මා සේවය කරන බිල්ඩිමේ මුදුනත මේ දිනවල සීතල නුවර එළිය සිහි ගන්වයි. ලංකාවේ  සෘතු වෙනසක් නැති නමුත් ප්‍රධාන මෝසම් වර්ශා කාල දෙකක් සහ අතරමැදි මෝසම් කාල වකවානු ලෙස බෙදුනු ප්‍රධාන කාල පරාසයන් හතරක් ඇත. ඒ නිරිතදිග මෝසම් වැසි (මැයි සිට සප්තැම්බර් දක්වා) හා ඊසාන දිග මෝසම් වැසි (දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) ලෙසත් ඒ අතරතුර කාලයන් පළමු අන්තර් මෝසම් කාලය (මාර්තු-අප්‍රේල්) හා දෙවන අන්තර් මෝසම් කාලය (ඔක්තොබර්-නොවැම්බර්) යනුවෙනි. මෙය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් අපේ රටට ඊශාන දිගින් පිහිටි බෙංගාල බොක්කේ සිදුවන පීඩන වෙනස්කම් වලට සාපේක්ශවයි. සරළව කියුවොත් බෙංගාල බොක්කේ අවපීඩනයක් පවතින මැයි සිට සැප්තැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ නිරිතදිග සිට ඊශාන දිශාවටත්, වැඩි පීඩනයක් පවතින දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා කාලය තුල ඊශාන දිග සිට නිරිතදිගටත් සුළං හමා යාමයි. මේ සුළං ලංකාව පසුකරද්දී පවුරක් ලෙස එරෙහිව නැගී සිටින මධ්‍යම කඳුකරයේ වැදීම නිසා ඉහල නගින අතර ජලවාශ්ප ලෙස ඝනීබවනය වීමෙන් ඒ ඒ කාලවලදී මධ්‍යම කඳුකරයේ ඊශාන දිග බෑවුමට හා නිරිතදිග බෑවුමටත් ඒ ඒ මුහුදු ප්‍රදේශ වලටත් වර්ෂා සමය උදා වේ. ඒ සමගම මේ මධ්‍යම කඳුකරයේ බලපෑම අඩු ප්‍රදේශ වන උතුරු පළාතත් දකුණේ හම්බන්තොට වැනි ප්‍රදේශත් වසරේ වැඩි කාලයක් වර්ශා රහිතව පවතී. 

ශ්‍රී ලංකාව පිහිටා ඇති උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර කලාපයද ඇතුළුව සමකය දෙපසින් ඊට ආසන්නව පිහිටා ඇති කලාපය නිවර්තන (Tropical) කලාපය ලෙස හඳුන්වයි. මෙහිදී මෙයාකාරයෙන් පැහැදිලි කිරීමට අපහසු පෘථුවිය මතුපිට සිදුවන සංකීර්ණ පීඩන වෙනස්කම් නිසා නිරන්තරව මෙම කලාපය නැගෙනහිර දෙසට හමා එන සුළං ප්‍රවාහයක් ඇතිවේ. කලකට ඉහත බටහිර ජාතීන්ගේ ජනප්‍රියම රැකියාවක් වූ මුහුදු මගින් කරනු ලබන වෙළඳාම් සඳහා කදිම අත්වැලක් වූ බැවින් මේ සුළං 'වෙළඳ සුලං' Trade winds ලෙස නම් වූ අතර මීට ප්‍රථිවිරුද්ධව ධ්‍රැවයන්ට ආසන්නවන්නට බටහිර දෙසට හමන සුළං ප්‍රවාහය (ලංකාවට අත්දැකීම් නැත) බටහිර සුළං Westerlies ලෙස හඳුවනු ලැබේ. 
Trade winds & Westerlies Pattern 

නවය දහය පංතිවල උගෙනිද්දී මේ මෝසම් සුළං හා වෙළඳ සුළං ගැන සමාජ අධ්‍යයනය ටීචර් උගන්නද්දී කට ඇරගෙන බලා උන්නත් මේ මොනවාදැයි තේරුම් ගත්තේ ඊට කලකට පසුව නාවිකයෙක් ලෙස සමුදුරු තරණය ආරම්භ කිරීමෙනුත් පසුවයි. 

ඉහත පැහැදිලි කිරීම් වලට අනුව අප දැන් පසුකරමින් සිටිනුයේ දෙවන අන්තර් මෝසම් කාල පරාසයයි. සාමන්‍ය ව්‍යවහාරයට අනුව ලංකාවේ බොහෝ ප්‍රදේශයකට සම සමව මධ්‍ය පරිමාණයේ වැසි හා රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ලැබෙන කාලයයි. 
මෝසම් සුළඟේ බලපෑම අවම වීමත් Arctic Oscillation නැතහොත් Northern Annular Mode (NAM) ලෙස හඳුවන උතුරු අර්ධගෝලයේ සමස්ථයක් ලෙස ඇතිවන පීඩන වෙනස්කම් නිසා වෙළඳ සුළං වල බලපෑම අඩුවීමත් නිසා මධ්‍යම කඳුකරයේ බලපෑමකින් තොරව ලංකාව පුරා වර්ෂාමය තත්වයක් හට ගනී. (පළමු අන්තර් මෝසම් සමය තුලද මෝසම් සුළං අඩුවන මුත් උෂ්නාධික කාන්තාර හරහා හමා එන වෙළඳ සුළං නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහල යන අතර වර්ෂා ඇතිවීම අවම වේ) 

නමුත් මෙවර විෂේශත්වයක් ගන්නේ එහෙම නැත්නම් ඌව පළත් සභාව පැවැත්වීමටත් බැරි තරමට රට සීතල වන්නේ ඇයි? 

අර මුලින් කියූ ඕට්‍රේලියාවේ කාලගුණේ ගැන බලන්න හිතුනේ මේ වෙලාවේයි.. සාමාන්‍යෙන් අපේ රටේ රටේ කාලගුණික හා දේශගුණික විපර්යාස ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට වුව මෙවැනි වෙබ් අඩවියක් නිරීක්ශනය කිරීම සෑහේ. දේශගුනේ පමණක් නොව දේශපාලනය ගැන වුව එසේමය. අනිත්වාත් එහෙමය. ඒ අපේ රටේ හැටිය. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා මාධ්‍ය ෆිල් හ්‍යුස්ගේ හිසේ පන්දුව වදින දර්ශනය හා ශෝන් ඇබොට්ව පෙන්වීම ස්වයං වාරණයකට ලක් කරගනිද්දී අපේ නාලිකා යූ ටියුබ් එකෙන් ඩවුන් ලෝඩ් කරගත් පජාත වීඩියෝ පටයක පෙන්වන ෆිල් හ්‍යුස් පිටිය මත ඇද වැටෙන දර්ශනය තුන් හතර වර පෙන්වමින් හඬා වැටුනහ. හැබැයි සටන සංවාදය යද්දී බලාත්කාරයෙන්ම වාරණය කරණ ලදී.. අපේ රටේ එහෙමය. ඒ අනුව යමින් කාලගුණේත් තම වාර්ථා කිරීම් වලට ස්ව‍යං වාරණයක් දාගෙනදෝ නොදනිමි. මොනවා ලියන්න ගියත් මේ මගුල් දේශපාලනේ ගැන ලියවෙන එක නවත්වන්න බැරිය.

දකුණු අර්ධ ගෝලයේදී මුහුදු මට්ටමේ උෂ්ණත්වය වෙනස් වීම (ඉහල පහල යාම ) Southern Oscillation ලෙස හැඳින්වේ. මෙය ENSO හෙවත් El Nino Southern Oscillation ලෙස හඳුන්වනු ලැබේ. මෙම උශ්ණත්වය ඉහලම අගයක් ගන්නා පරාසය El Nino ලෙසත් අවම අගයක් ගන්නා පරාසය La Nina ලෙසත් හඳුවනු ලැබේ. සාමාන්‍යෙන් මෙය බලපැවැත්වනුයේ ශාන්තිකර (පැසිෆික්) සාගරයේ බටහිර දේශාංශ 120ත් 180ත් අතර කලාපයේ එනම් ඕස්ට්‍රේලියානු මහද්වීපය ආසන්නව වන නමුත්  මේ තත්ත්වයන් දෙකම සමස්ථ ලෝකයේම කාලගුණික විපර්යාසවලට හේතු වන බැව් සොයා ගෙන ඇත. El Nino තත්වයේදී බටහිර පැසිෆික් කලාපයේ වැඩි පීඩන තත්වයක්ද නැගෙනහිර පැසිෆික් කලාපයේ අඩු පීඩන කලාපයක්ද ඇතිවන අතර La Nina තත්වයේදී මෙය නැගෙනහිර කලාපයේ වැඩි පීඩන තත්වයක් හා බටහිර කලාපයේ අඩු පීඩන තත්වයක් වාර්ථා වේ. මෙහි ප්‍රථිපලයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශ වල දැඩි සීතල හෝ උණුසුම් තත්වයක් තාවකාලිකව ඇතිවේ. 

Typical effects to global weather during El nino & La Nina

මෙහිම මෙතරම් නොවන සුළු තත්වයක් ඉන්දීය සාගරයේද දැකිය හැකි වන අතර එය Indian Ocean Dipole හෙවත් Indian Nino ලෙස නම් කර ඇත. 

ඔබ ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවිය පිරික්සීමට ලක් කලහොත් ඔවුන් මේ පිළිබඳව කොතරම් අවධානයකින් සිටින්නේද යන්නත් ඒ ගැන දිනපතා නිකුත් කරන වාර්ථා හා අනතුරු ඇඟවීම් කොතරම්ද යන්නත් ගැන සෑහෙන අවබෝධයක් ලබා ගත හැක. ඒ අතින් අපි ගව් ගනනක පිටු පසිනි. හ්ම්ම්...

පසුගිය දිනවලදී ඔවුන්ගේ වාර්ථා අනුව 2014 නොවැම්බර් වනවිට El Nino තත්වයක් ඇතිවීමට 58% ක සම්භාවිතාවක් තිබූ අතර එය මේ වනවිට 78% පමණ තත්වයකට වර්ධනය වී ඇත.. 

El Nino Tracker

මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර එහි ප්‍රථිපලයක් ලෙස විවිධ කාලගුණික විපර්යාසවලට ලක්වීමට ලෝක වැසියන්ට ඉදිරියේදී සිදු වීමට හැක. මේ ඇවිත් ඇත්තේ කසකාරයෙකු පමණි.. පෙරහැර මග එනවා විය හැක.. අපේ කාලගුණේ උන්ට නම් චන්ද උණුසුම නිසා හීතල මැකී ඇතුවා සැක නැත.. ඒත් අපේ මේ හුචක්කු චන්දෙන් ලෝකය වෙනස් කරන්න බැරුවා සේ එහි අහිතකර බලපෑම්ද වෙනස් කල නොහැක. අඩුම තරමින් එවැන්නක් පිළිබඳ දැනුවත් කිරීමක් කිරීමටවත් උනන්දු නොවී උන් උන්ගේ වැඩ වලය. ඒ ගැන කතා කිරීමෙන් පල නැත. අඩුම තරමින් මෙය කියවන ඔබවත් මේ ගැන ටිකක් සොයා බලා සූදානමක් වනවා හොඳයැයි සිතමි.

මුලින්ම ලිවිය යුතු නමුත් පසුව ලියමි. මා කාලගුණ විද්‍යාඥයෙකු හෝ ඒ ලඟින්වත් යන්නෙකු නොවෙමි. නැවියෙකු ලෙස පමණක් මේ ගැන යම් තරමක් උගෙන ඇත්තෙමි. වසර දෙදාහේදී ලංකාවට මෙවැනි බලපෑමක් තිබුණු අතර, එවකට උප ලුතිනන් වරයෙකු ලෙස ඩෝරා යාත්‍රාවක දෙවන අණ භාර නිළධාරියාව සිටි මා හට මේ ගැන සොයා බලා සියළුම නිළධාරීන්ගේ දැන ගැනීම පිණිස 'ප්‍රසන්ටේශන්' එකක් කිරීමට සිදුවීම නිසා ඒ මතකයත් උගත් කරුණු කිහිපයකුත් අන්තර්ජාලය පරිශීලනයෙන් ලබාගත් දැනුමත් භාවිතයෙන් මේ සටහන තැබූයෙමි. මෙහි බොහෝ වැරදි තිබිය හැක. මේ පිළිබඳව මට වඩා බොහෝ අධ්‍යනය කල උගත්තු මෙහි සිටිය හැක. එවන් අයගෙන් යම් උපදෙසක් ලැබේනම් ඒ අනුව යමින් වැරදි හදා ගැනීමටද යමක් අලුතින් ඉගෙන ගැනීමටද කැමැත්තෙමි.

Saturday 22 November 2014

සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 3 (අවසන්) කොටස



මෙහි මුල් කොටස් දෙක කියවා නැතිනම් කරුණාකර මෙතැනින් 1 හා මෙතැනින් 2 කියවන්න. එය ඔබට පහසු වනු ඇත.

මුලින්ම සඳහන් කල යුතු වන්නේ මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කලයුතු විශයයක් නමුත් සියල්ලන්ටම තේරුම් ගැනීමට හැකිවන අයුරින් හා 'බෝරින්' නොවන අයුරින් හැකි තරම් සංක්ෂිප්තව කරුණු දක්වන බවයි. මෙනිසාම ආරම්භයේදී භාවිතා කල නාට්‍යානුසාරයෙනුත් අත්මිදී භාශාවත් කළමණාකරනය කරගෙන මෙය ලිවීමට සිදුවී ඇත.

මුල් කොටස් දෙකේදී උස් ස්ථානයක වැඩ කිරීම සම්භන්දව නීතිමය තත්වයත් එවැනි රාජකාරීයක  තිබෙන ප්‍රධාන අනතුරු වර්ගත් සාකච්ඡා කරා ඔබට මතක ඇති. 
අද අවසන් වශයෙන් ඒ ඒ අනතුරු වලට නිර්දේශ කල හැකි පූර්ව ආරක්ශක ක්‍රමවේද (Control Measures) ගැන පොදුවේ කතා කරමු. 

මේ වීඩියෝ එක දැම්මෙ උස් ස්ථානයක් කිව්වම එකපාරටම ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන පලංචියක් හරි වහලක් හරි වගේ පොළොවට උඩින් තියෙන තැනක්ම වෙන්නෝනෙ කියන මනස පොඩ්ඩක් වෙනස් කරන්න 

Working @ Height වල තියෙන පළවෙනිම අනතුරු දායක තත්ත්වය තමයි මිනිසුන් උඩ සිට පහලට වැටීමට ඇති හැකියාව. මෙහිදී අප සැලකිළිමත් වන කරුණු දෙකක් තියෙනවා..
1. වැටෙන්න නොදී ආරක්ශා කර ගැනීම- Fall Prevention
2. යම් හෙයකින් වැටුනොත් හානි වීමේ හැකියාව හැකි තරම් අඩු කිරීම- Fall Protection
මෙතනදි මේ සිංහල ඉංග්‍රීසි වචන වල සමාන අසමානකම් ගැන වැඩිය හිතන්න එපා. කොහොම හරි විය යුත්තේ ඔය දෙක තමයි.

කලින් පාඩමේ Hierarchy of Control  ගැන කියද්දි මුලින්ම කිව්වා වගේ අපි සෑම විටම ප්‍රමුඛතාවය දිය යුත්තේ මේ Fall Prevention කියන එකට. ඒ කියන්නේ 
'Eliminate / reduce risk of falling so far as  reasonably  practicable' කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. 
ඇත්තටම එහෙම කරන්න පුළුවන්. Settled working environment නැත්නම් ස්ථායී වැඩබිමකදි කරල තියෙන්නෙ මේ දේ තමයි. නමුත් අපි කතා කරන්නේ ඉදිකිරීමක් හෝ තාවකාලිකව අස්ථායි වැඩ වේදිකාවක්නම් පහත සඳහන් ක්‍රම මගින් වැටීම් වැළක්වීම කල හැකියි. 

1. නියමිත උසට හා ප්‍රමිතියට සවි කරන ලද අත්වැට Hand rail/ Guard rail පෙලක් මගින්; ලංකාවේදී අප දැනට අනුගමනය කරනු ලබන පිළිවෙල BS 5973 (superseded by BS EN 12811-1 in 2004)  අනුව මෙහි අවම උස මි.මි. 910ක් විය යුතු අතර හරස් දඬු දෙකක් අතර උපරිම පරතරය මි.මි. 470 ඉක්මවා නොයා යුතුය. කෙසේ වුවත් අනතුරු තක්සේරුව අනුව මෙහි උස අවම සීමාවෙන් පහතට නොවැටෙන ලෙස වෙනස් කරගනු ලැබේ. උදා:- හරස් දඬු දෙකක් හෝ තුනක් ලෙස
2. මිනිසුන්ව ඔසවා රඳවා තබා ගත හැකිලෙස සාදා අනුමත කර ගන්නා ලද කූඩු (Man cage)- මේවා තමන්ට අවශ්‍ය හා එසවීමට භාවිතා කරන උපකරණයන්ට ගැලපෙන පරිදි ඩිසයින් කර සාදා ගැනීමෙන් අනතුරුව බලයලත් නිළධාරීයෙකු ලවා අනුමත කර ගත යුතුයි. තවද එහි රැගෙන යා හැකි උපරිම බර හා වෙනත් අවහිරතා ඇතොත් ඒ බව පැහැදිලිව සටහන් කර තැබිය යුතුය. 
3. ජංගම උස් වැඩ වේදිකා භාවිතය- MEWP- Mobile Elevated Working Platform නිසි ප්‍රමිතියට සාදන ලද පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි හා හැසිරවිය හැකි ජංගම උස් වැඩ වේදිකා භාවිතා කිරීම. උදා:- Scissor lift, cherry pickers, mobile articulated boom cage, mobile tower (scaffolding) with ladder and hand rails
අනේ මේවට සිංහල නම් නං අහන්ඩත් එපා දන්නේත් නෑ..
Scissor Lift
Cherry Picker
Mobile Articulated Boom Cage
Mobile Tower with Ladder & Guardrails

4. වැටීම වළක්වන ආරක්ශක ඈඳනය (Fall restrain harness/ belt) මෙමගින් සිදු කරනුයේ වැඩ කරන්නාගේ එහෙට මෙහෙට ගමන් කිරීමේ හැකියාව පාලනය කිරීම මගින් අනතුරුදායක ස්ථානයකට ලඟාවීම වැළැක්වීමයි. හරියට පොල් පැලේට කිට්ටු කරන්න බැරි වෙන්න හරකගේ ලනුව කොට කරල ගැට ගහනව වගේ.. හැක් හැක්.. (මේ ආරක්ශක ඈඳනය Full body safety harness කක් නොවේ. නමුත් ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා කම නිසාත්, නීතියෙන් ගැලවීමට 'පමණක්' නිසාත්, ගාන අඩු නිසාත් Safety harness වෙනුවට මේ fall restrain belt ලබා දෙමින් සේවකයින් රවටති; අමාරුවේ දමති.)

Hierarchy of control එක්ක සන්සන්දනය කරල බැලුවොත් මෙහි පළවෙනි තුනම වැටෙන්නේ Engineering controls වලට.. අවසාන එක PPE වලට. දැන් පේනවනේ PPE වලින් වැඩ කිරීමේ නිදහස සීමා වෙනව.. ඒකයි PPE හැමවිටම අවම අභිමත ක්‍රමය කියන්නේ.

මේ ක්‍රමයක් තනිවම හෝ වෙනත් එකක් සමග එකතු කරල අරන් Fall Prevention කියන එක තහවුරු කරන්න බැරි වෙන තැන් වලදි අපිට යන්න වෙනවා Fall Protection කියන එකට.. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමේකින් උඩකින් බිමකට තැරි ගැහුනොත් (හි හි.. මං ගෝලයොන්ට බනින වෙලාවට මේ වචනෙ තමයි පාවිච්චි කරන්නේ) වෙන හානිය අවම කරන්න. මෙතනදිත් ප්‍රධාන ක්‍රම තුනක් අනුගමනය කරනවා.
1. අනුමත වැටීම් ආරක්ශන උපාංගයක් සහිත ප්‍රවේශම් ඈඳනය Full body Safety Harness - මෙහිදී අනුමත ආරක්ශක උපාංගය කියන්නේ වැටීම පාලනය කර කම්පනය උරා ගත හැකි ලෙස සකස් කරන ලද කොටසක් සහිත සම්භන්ධකයයි. මෙය Shock absorbent lanyard  හෝ Inertia reel (සීට් බෙල්ට් එකේ මෙන්) විය හැකියි. මෙවැනි උපාංග කිහිපයක්ම ඇති නිසා ඒ ගැන දිගින් දිගටම කතා කිරීමට අපහසුයි. යම් අයෙකුට අවශ්‍යනම් වැඩි විස්තර පසුව ලබා දිය හැකියි. වඩාත්ම වැදගත් වනුයේ පැළඳ සිටින්නා විසින් මෙය අනිවාර්යයෙන්ම අනුමත බර දරා ගත හැකි බවට පරීක්ශා කොට සහතික කරන ලද ඇමුණුම් කොක්කකට තම සම්භන්ද කරගෙන සිටීමයි. 
Full body safety harness with shock absorbing lanyard (doubled)
Inertia reel

පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති පරිදි කි.ග්‍රැ. 100 බර පුද්ගලයෙකු අඩි හයක උසකින් වැටුනොත් ගැටීම මගින් ඔහුගේ සිරුරේ ඇතිකරනු ලබන ප්‍රතිවිරුද්ධ බලය (Arresting force) ආසන්න වශයෙන් රාත්තල් 5000ක් (කි.ග්‍රැ.2200ක්) පමණ වේ. එය තව විදියකින් කියූවොත් මෙම පුද්ගලයා Shock absorbent lanyard එකක් නැති harness එකක් පැළඳ සිටියදී ඉහත අනතුරට මුහුන දුන්නේ නම් අඩි හයක් පහලට වැටී නතර වනවිට ඒ මගින් ඔහුගේ සිරුර මත ඇති කරන තෙරපුම කි.ග්‍රැ. 2200ක් (5000 lbs) වේ. මයික් ටයිසන් ගේ එක මුෂ්ඨි පහරක බර එකල ආසන්න වශයෙන් රාත්තල් 250ක් පමණ වේ යැයි කියනු ලැබේ. මයික් ටයිසන් ගේ හොඳම පහරවල් විස්සක් එකවර දරා ගැනීමට සිදුවුවහොත්? කියනකොටත් මගේ නම් ඇඟ හීතල වී යයි. වැටුනොත් ඇඟ හීතලවී නොව අස්ථි පඥ්ඥරයටම කෙලවී මිස ගොඩ ඒමක් නැත. කම්පනය උරා ගන්නා පටියක් (shock absorbent lanyard) මගින් නම් මෙය ආසන්න වශයෙන් රාත්තල් 800ක් පමණ දක්වා අඩු කර දෙනු ලබන අතර inertia reel එකක් මගින් වැටෙන දුර අඟල් 6ත් 12ත් අතර සීමාවකට අඩු කරන බැවින් හානිය අවම වේ.

මේ සඳහා නිසි පුහුණුවක් හා අධීක්ෂණයක් අතයාවශ්‍ය වේ. නියමිත ප්‍රමිතියෙන් යුතු Full body safety harness එකක් නිවැරදිව පැලඳ සිටීමත් එය අනුමත් ඇමුණුම් ස්ථානයකට සම්භන්ධ කොට තිබීමත් ඉතා වැදගත් වන හෙයින් වැඩ අධීක්ෂකයෙකුට මෙහිදී විශාල වගකීමක් පැවරේ.

2. දෙවන ක්‍රමය නම් නියමිත ඇමුණුම් කොක්කක් ආසන්නයේ නොමැති විටකදී දුරින් පිහිටි එවැනි කොකු දෙකක් යා කර අදිනු ලබන ජීවිතාරක්ශක කඹයකට (Static line/ life line) එය (Harness) සම්භන්ධ කොට ගෙන වැඩ කිරීමයි. මෙහිදී ජීවිතාරකශක කඹයට ඉහතින් කී බොහෝ අවශ්‍යතා බලපාන අතර එහි දිග නිර්ණය කිරීම වැටීමට අවකාශ ඇති උස හා සාපේක්ශව තීරණය කරනු ලැබේ. වහලවල් හෝ ස්ලැබ් වැනි ස්ථාන වලදී මෙම ක්‍රමය අනුගමනය කළ හැක. මෙය PPE හා Engineering Control එක්වන අවස්ථාවකි.
Safety harness with static line

3. වඩාත් සාර්ථක නමුත් සමහරවිට ප්‍රායෝගික නොවන හා මිලෙන් අධික වන ක්‍රමය නම් වැඩ කරන වේදිකාවට යටින් සේෆ්ටි නෙට් එකක් එල්ලීමයි. ප්‍රායෝගිකව සිදුකල හැකි අවස්ථාවල මෙය සිදු කිරීමෙන් බොහෝ අපහසුතා මගහරවා ගෙන පහසුවෙන් රාජකාරි කර ගත හැකි වන අතර සේවකයාට ඇතිවන ආරක්ශාව පිළිබඳ හැඟීම Sense of Security/ Safety නිසා අනතුරු සිදුවීමේ අවධානමද බොහෝ සෙයින් අඩුවේ.
Safety netting

ඉහත සියල්ලේදී අප සාකච්ඡා කරනු ලැබූයේ මිනිසුන් වැටීම වළක්වා ගැනීමයි. දැන් අපගේ දෙවෙනි අනතුර හෙවත් බඩු භාන්ඩ වැටීම නිසා පහල සිටින මිනිසුන් අනතුරට ලක්වීමේ අවධානම හා භාන්ඩ වලට හානි සිදුවීම වළක්වා ගැනීමට එරෙහිව සටන් වදිමු. ජයවේවා!.. අහ්! සමාවෙන්න. එරෙහිව කියනකොට මතක් වෙන්නෙම සටන් වදින්න.. හෙහ් හෙහ්..

මෙහිදී අප ප්‍රධාන වශයෙන් සැලකිළිමත් විය යුතු කාරණා කිහිපයකි.
1. තාවකාලික වැඩ වේදිකාව ශක්තිමත්ව හා අතුරුසිදුරු නැතිව සාදා ගත යුතුයි. 
2. වැඩ වේදිකාව වටේට හා ඇතුල් පැත්තෙන් විවර වී ඇත්නම් ඒ පැත්තෙනුත් වන පරිදි අවම වශයෙන් මි.මී. 150ක උසට (නැවතත් BS 5973) පැති පුවරු (Toe Board) ශක්තිමත්ව සවිකොට ගත යුතුයි. මේ අවම උස වන අතර ඔබ භාවිතා කරන උපකරණ හා ගොඩ ගැසීමට බලාපොරොත්තුවන බඩු මුට්ටු අනුව මෙය සෑහෙන ලෙස උසකට සාදා ගැනීම වැදගත් වේ.
3. කුඩා ප්‍රමාණයේ භාන්ඩ හා උපකරණ සෑම විටම එකින් එකට බැඳ තබා හෝ විශාල භාජනයක් තුල අසුරා තැබිය යුතුයි.
4. භාවිතා කරන සියලු උපාංග නිසි පරිදි ගබඩා කල යුතු අතර වැඩ වේදිකාවෙන් පිටතට යොමු කරන සෑම විටකම ඇමුණුම් නූලකින් භාවිතා කරන්නා හා සම්භන්ද කොට තැබිය යුතුයි.
5. සියළුම උපකරණ නිසි පරිදි පිරිසිදු කොට තෙල් ග්‍රීස් හෝ මඩ වැනි ලිස්සන සුළු ද්‍රව්‍යයන්ගෙන් තොරව තිබිය යුතුයි. ආයුධ මිලට ගැනීමේදී නියමිත ප්‍රමිතියෙන් යුතු සැහැල්ලු හා මිට ලෙහෙසියෙන් ලිස්සා නොයන ආකාරයේ ආයුධ මිලට ගත යුතුයි.
6. ආයුධ ඉහලට හා පහලට ගෙනයාමේදී අතේ රැගෙන යාමෙන් වැළකිය යුතු අතර ඔසවනයකින් ඔසවා තැබීම හෝ ඉණේ රඳවන ආධාරකයක රඳවා ගෙන යා යුතුයි. දොඹකර සහයකින් තොරව බර භාණ්ඩ හෝ උපකරණ ඉහලට ගන්නේ නම් ඒ සඳහා නිසි පරිදි අනතුරු තක්සේරුවක් කිරීමෙන් පසු අවශ්‍ය තරමට සේවකයින් හා වැඩ පරීක්ෂක මහතුන්ගේ සේවය ලබාගෙන එය කල යුතුයි.
7. සෑම විටම වැඩට අදාල භණ්ඩ හා ආයුධ පමණක් අවශ්‍ය ප්‍රමාණයට ඉහලට ගත යුතු වන අතර වැඩි පුර ද්‍රව්‍ය පහළින් ආරක්ශිතව ගබඩා කොට තැබිය යුතුයි.
8. වැඩ කරන ස්ථානයට අනවශ්‍ය පුද්ගලයින් පැමිණීම හැකිතාක් දුරට අවම කරයුතුයි. මේ සඳහා බැරිකේඩ් කිරීම, දැන්වීම් පුවරු සවි කිරීම හා/ හෝ මුර කරුවන් යෙදවීම කල හැකියි. බිම් මහලෙහි අදාල ප්‍රදේශය ආරක්ශිත කලාපයක් කොට එහි ඇතුළු වීමේදී ආරක්ශිත හිස් වැසුම් පැළඳීම අනිවාර්ය කල හැක. 
9. පිටස්තර පුද්ගලයන් නිතර ගැවසෙන ස්ථානයක් නම් උදා: මහා මාර්ගයක්/ ව්‍යාපාරික ස්ථානයක් වැනි; විශේෂ ආරක්ශිත විධි විදාන සළකා බැලිය යුතුයි. උදා: කැනොපි, ආරක්ශක දැල් (Engineering control) වැඩකරන කාල සීමාවන් වෙනස් කිරීම (රාත්‍රී කාලයේ වැඩ කිරීම ), වැඩි පිරිසක් යොදා හැකි ඉක්මණින් වැඩය අවසන් කිරීම (Administration control) වැනි ක්‍රියාමර්ග.

මේ සියල්ල අවස්ථානුකූලව වෙනස් වේ.

තුන්වන අනතුරුදායක තත්ත්වය වන වැඩ වේදිකාව පිටින් දඩ බඩ ගාලා පොලොවට පත බෑ වීම.. තේරෙන විදියට කියනවනම් Collapse of Scaffolding/ working platform මේකට කරන්න තියෙන්නේ ඉතින් හරියට ඕක හදා ගන්න එකනේ.. ඔව් ඔව්.. ඒක කරන්නේ කොහොමද කියල තමයි මේ කියන්න යන්නේ.

පලංචි ප්‍රධාන වශයෙන් හතර වරිගයකි. ඒ 
1. තනියම ගැටගහගෙන උඩට නගින පලංචි- Independent tied scaffolding
2. කාගේ හරි ඇඟේ එල්ලිල උඩට නගින පලංචි- Put log scaffolding
3. කුරුළු කැදලි- bird cages
4. ජංගම ටැම් පලංචි- Mobile tower යනුවෙනි. මේවායෙද එක එක කා කොටා ගැනීම් ඇති අතර ඒවා විසඳා දීම පලංචි ඩිසයින් කරන ඉන්ජිනේරුවාගේ වැඩකි. එච්චර දුර යා යුතු නැත. පොදුවේ ආරක්ශාකාරීව පලංචියක් ගසා ගන්නේ කොහොමදැයි විතරක් බලමු.

1. පලංචි ඉදිකිරීම, පරීක්ශා කිරීම හා සහතික කිරීම ඒ සඳහ සුදුසුකම් ලත් පළපුරුදු වැඩකරුවන් Competent Personnel විසින් පමණක් සිදු කලයුතුයි. 
2. ඉදිකිරීමේදී ඒ සඳහ නියමිත ප්‍රමිතිය (ලංකාවේදී නම් නැවතත් BS 5973) අනුව නියමිත ඩිසයින් එකට ඉදි කිරීම කල යුතුයි. 
3. ඉදි කිරීමෙන් පසු පලංචියක් භාවිතයට පෙර, පෙර කී පරිදි සුදුසුකම් ලත් පුද්ගලයෙකු විසින් පරීක්ශා කොට අනුමත කිරීමෙන් පසු පමණක් භාවිතයට දිය යුතු අතර මේ සඳහා අවශ්‍යනම් Scaffolding handing over/ taking over ක්‍රමවේදයක් අනුගමනය කල හැක. මෙහිදී අවශ්‍යනම් යනුවෙන් සඳහන් කලේ ඕනෑවට වඩා නීති හා බාදා යොදා ගැනීමම ඒවා බිඳ දමා කටයුතු කිරීමට හේතු විය හැකි නිසායි. නමුත් පලංචිය අනුමත කිරීමෙන් පසු එහි ගොඩවෙන පඩිපෙල අසල කොළ පාට හෝ කහ පාට ටැග් එකක් එල්ලා තැබිය යුතුයි. සාමාන්‍යයෙන් කොළ පාට ටැග් එකක් එල්ලනු ලබන්නේ වැටීම් වලින් සම්පූර්ණ ආරක්ශාව ලබා දී ඇති (Fall prevention) පලංචි වල පමණි. Fall protection සඳහා PPE ඇඳීම අවශ්‍ය වන පලංචි වලදී කහ පාට ටැග් එකක් එල්ලනු ලැබේ. පලංචියක රතු පාට ටැග් එකක් එල්ලා ඇත්නම් කිසිම විටෙක එහි ගොඩ නොවිය යුතුයි. එයින් අදහස් වන්නේ එක්කෝ එය තවම ඉදිවෙමින් පවතින් හෝ දෝශ සහිත පලංචියක් බවයි.
4. පරීක්ශාවට ලක් කොට අනුමත කරන ලද පලංචියක් කිසිම හේතුවක් නිසා වෙනස් කිරීමට හෝ අවසරයකින් තොරව කොටස් එක්කිරීම නොකල යුතුයි. එවැනි වෙනස්කමක් කරන සෑම විටකම රතු පාට ටැග් එකක් එල්ලා තැබිය යුතුයි.
5. කිසිම විටක පලංචියක් මත අනුමත බරට වඩා බර පැටවීමෙන් වළකින්න. 
6. ඩිසයින් එකක් නැතිනම් හැකි සෑම ස්ථානයකින්ම පලංචිය ස්ථීර ව්‍යුහයකට ඈඳා තැබිය (Tie) යුතුයි. මෙහිදී වර්ග මීටර් 32ක වපසරියකට අවම වශයෙන් එක ස්ථානයකින් හෝ ඈඳීම කල යුතුයි.
7. උස් හා තිරස් බට වලට අමතරව හැඩයට යොදන ආධාරක බට (Longitudinal bracing) ඇතිතරම් යෙදවිය යුතුයි.
8. කියන්න අමතක උනා.. පලංචිය ඉදිකරන බිම හොඳින් නිරීක්ශණය කර ඒ සඳහා සුදුසු බව තහවුරු කර ගත යුතුයි. ඉන් අනතුරුවද උස් අතට තබන බට වලට යටින් ඝනකම ලී පතුරක් බැගින් හා ඊටත් යටින් එවැනි බට 2කට හො3 කට එකක් වන පරිදි ඝනකම දිග ලෑලි අතුරා පොලොව සකස් කර ගත යුතුයි. මේ සඳහාද BS 5973 හි උපදෙස් ලබා දී ඇති අතර ඒවා අනුගමනය කිරීම කල හැක. 
9. බිම සිට ඉදිකරන පලංචියක්නම් හැකිතාක් උඩට පිටින් ලබාදෙන ආධාරක බට (Out riggers) හරහා පාදම ස්ථාවර කල යුතුයි. 

දැන් නම් හොඳටෝම මහන්සිය.. සිරීපාදේ කන්ද කොපමණ දුර නැග්ගත් මහ ගිරිදඹේ නොනැග මළුවට ගොඩ වෙන්න බැරිය.. අමාරුවෙන් හරි ඒ ටිකත් නගිමු.. 

ඒ කියන්නේ අපේ අන්තිම ප්‍රධාන අනතුරුදායක තත්වය.. ඉහළින් ගමන් කරන විදුලි රැහැන්.. සුද්දා නම් මේකට මරු පෝස්ටරයක් ගසන්නේය.. "Look up & Live" සිංහලෙනුත් එවැන්නක් නිර්මාණය කල යුතුය. කෙසේ නමුත් උස් ස්ථානවල වැඩකිරීමේදී සිදුවන මරණ වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් මේ ගනයට අයත් වේ. මේ ගැටලුව බොහෝ විට high rise construction වලදී නැත.. එහෙත් medium rise/ low rise construction සහ industrial/domestic maintenance තත්ත්ව වලදී මේ ගැන බොහෝ සෙයින් අවධානය යොමු කල යුතුයි. 
1. හොඳම දේ මුලින්ම හොඳ අනතුරු තක්සේරුවක් කර ගැනීමයි.
2. පලංචිය ඉදිකිරීමට පෙර භූමිය නිරීක්ශනයේදී අනිවාර්යෙන්ම උඩ බැලීමටත් මතක තබා ගන්න
3. හැකි සෑම අවස්ථාවකම විදුලි රැහැන් මග හැර පලංචි ඉදිකර ගන්න
4. විකල්ප ක්‍රියාමර්ගයක් නොමැති අවස්ථාවලදී පලංචි ඉදිකිරීමට පෙර අදාල විදුලි රැහැන්වල වෝල්ටීයතාවය සොයා බලා ඊට ගැලපෙන අනුමත මායිමක් ඉතුරු කිරීමෙන් පසු පමණක් පලංචිය ඉදිකිරීම අරඹන්න.
5. එයත් කල නොහැකි විටක නම් විදුලි සම්පාදක සමාගම හා ගිවිසුමකට පැමිණ අදාල කාලය තුල සැපයුම විසන්දි කර ගන්න. මේ සඳහා ඔබට අමතර වියදමක් හා වෙහෙසක් දැරීමට සිදුවනු නොඅනුමානයි. නමුත් 'ගෝල්ඩන් රූල්' එකනම් විදුලි රැහැන් හා පලංචි එක තැන තිබිය නොහැක යන්නයි.
6. ඉහත අවස්ථා 4 දී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවකි. 

  • පලංචි සඳහා යකඩ බට භාවිතා කරන්නේ නම් අදාල වෝල්ටීයතාවයට නිර්දේශිත අවම දුරට Safety clearance වඩා මොනම හේතුවක් නිසාවත් අදාල බට විදුලි රැහැන් වලට ලන් නොකල යුතුයි. 
  • මේ සඳහා පලංචිය ඉදිකරන අවස්ථාවේ වෙනම නිරීක්ශකයෙක් යොදවන්න. 
  • කරන්ට් වැදීමට වයර් එකේ ගෑවිය යුතුම නොවන බව මතක තබා ගන්න. මා දන්නා පරිදි Arc flash යනු චුම්බක ක්ශේෂත්‍රයක් හරහා සන්නායකින් තවත් සන්නායකට විදුලිය පැනීමයි. මෙය කියවන ඉලෙක්ට්‍රිකල් ඔස්තාද් කෙනෙකු හිටියොත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් තවදුරටත් කරනු ඇත. 
  • කෙසේ නමුත් මේ අවම සේෆ්ටි ක්ලියරන්ස් Safety clearance එක නිර්ණය කරනු ලබන්නේ මෙම සාධකය මුල් කර ගෙනයි. 
  • පලංචිය මත වැඩ කිරීමේදීත් එය එසේමයි. ඇලුමිනියම් හෝ යකඩ ඉණිමං, කොකු හෝ වෙනත් ඉහලට ඔසවන දෑ භාවිතය සපුරා තහනම්ය. 
  • මෙවැනි කටයුතු අනිවාර්යෙන්ම වැඩ අවසර පත්‍රයක් මගින් පාලනය කල යුතුයි.
  • එසේම වගකිවයුතු පුද්ගලයෙකුගේ අධීක්ශණය යටතේ පමණක් මේ සඳහා සේවකයින් යෙදවිය යුතුයි. 
  • මෙවැනි කටයුතු දිගින් දිගට ඇදගෙන යන්නේ නැතුව හැකි ඉක්මණින් කර අවසන් කර පලංචි ගලවා ඉවත් කල යුතුයි. 
  • මේ සඳහා සහභාගී වන කණ්ඩායම දෛනිකව tool box කතාබහ හරහා දැනුවත් කල යුතු වන අතර අවසර නොලත් කිසිම පුද්ගලයෙකු පලංචි මතට ගොඩ වීම වැලැක්වියයුතුයි. 
  • මෙවැනි ස්ථාන රාත්‍රී කාලයෙදී හෝ අත් හැර නොදැමිය යුතු අතර හැකිනම් වට ආරක්ශාවක් ලබා දී ඇතුළුවන ස්ථාන මුර කරුවන් යොදා ආරක්ශා කල යුතුයි. මන්ද කඩාකප්පල්කාරී ක්‍රියා වල යෙදෙන්නන් හා වීර ක්‍රියා කිරීමට කැමති ජනයාගෙන් පරිස්සම් කරගතයුතු බැවිනි.

හම්මේ.. කතාකල දේට වඩා නොකල දේ බොහෝව ඇති විටෙක මම උස් ස්ථානයක වැඩ කිරීම ගැන ලිවීම මෙයින් අවසන් කරමි. කිවයුතු දේ නම් මෙම මූලික කරුණු හරහා ඕනෑම කෙනෙකුට වැඩක් 'ප්ලෑන් කරගත' හැකි බවයි. වැඩිමනත් විස්තර සඳහා යා යුතුනම් තනිවම අන්තර්ජාලය තුල සැරි සැරීමෙන් හෝ යමක් වටහා ගැනීමට (කිසිවක්ම නොදැන සිටි අයෙකුට වුවද ) මෙම දැනුම ප්‍රයෝජනයට ගත හැක. 

මේ ලිපිය කියවූ මගේ බොහෝ මිතුරු මිතුරියෝ ඒ ගැන එක්කර තිබූ කොමෙන්ට් අනුව ඔවුන් ඉතා හොඳ අවබෝදයකින් සිටිනා බව පසක් වේ. මෙයින් මා අදහස් කලේ එහෙ මෙහෙ විසිරී තිබුනාවු ඒ දැනුම හා අවබෝධය පිළිවෙලකට අසුරා දීමයි. අනික, හිතුනු ගමන් පටන් ගෙන එකදිගට මතකයෙන් ලියාගෙන (ටයිප් කරගෙන ) ගොස් පළ කිරීමෙන් පසු පුටුවෙන් නැගිටිනවා හැර කිසිම පොතක් පතක් හෝ වෙනත් ලියවිල්ලක් බලමින් නොලියන නිසා කරුණු පෙළ ගැස්සීමේදී හා අන්තර්ගත කරුණු වල වුව වෙනස් කම් තිබිය හැක. නිදොස් කිරීම සඳහා එවැනි තැන් පෙන්වා දෙන්නේ නම් අගේ කොට සළකමි. 

මෙය ලියැවිල්ලකට ගෙන අන්තර්ජාලය භාවිතා නොකරන ඔබේ සේවක මහතෙකුට ලබාදීමට හෝ වෙනත් ස්ථානයක පල කිරීමට හෝ මගෙන් කිසිම බාදාවක් නැත. ඇත්තටම එසේ කරනවානම් මා සතුටු වෙමි. මන්ද මගේ උත්සාහය වැඩි දෙනෙකු දකින හෙයිනි. 

අවසන් වශයෙන් මා ඔබට සුළු අභ්‍යාසයක් පවරමි. මා මෙහි උඩින් එක්කල වීඩියෝව දැන් මතකද? අර office එකක ගෑණු කෙනෙක් man hole එකකින් ඇතුලට වැටෙන්නෙ.. අන්න ඒක. මා ඉහතින් සඳහන් කල කාරණා වලට බොහෝ සෙයින් වෙනස් situation එකක් තමයි එතැන වෙන්නේ.. ඔබට පුළුවන්ද මේ මූලික කරුණු අරගෙන ඒ සිද්දිය නැවත නොවෙන්න විසඳුම් යෝජනා කරන්න.. මං දන්නව ඔබට පුළුවන්.. හැබැයි මට ඕන පහුගිය කොටසෙදි ඉගෙන ගත්ත hierarchy of control කියන එකත් එක්ක ඔබේ විසඳුම් ගැලපෙන විදිය පැහැදිලි කිරීමකුත් සමඟයි.. හැමෝම අවශ්‍ය නෑ.. හිතන්න ලියන්න වෙලාව හොයාගන්න පුළුවන් කෙනෙක් හිටියොත් උත්තර ලියන්න.. මම කොමෙන්ට් වලදි ඔබේ උත්තර නිර්වචනය කරන්නම්. පුංචි අභ්‍යාසයක් පමණයි. 

මුල් කොටස් දෙකේදීම ඉතා උනන්දුවෙන් කියවා දීර්ග ලෙස කොමෙන්ටු ලෙස විචාර එක්කල හා සුබ පැතූ සැමට ස්තූතියි. වෙනත් මාතෘකාවකින් සේෆ්ටි සිංහලෙන් හා නැවත හමුවෙමු. ජය ශ්‍රී! 

Monday 3 November 2014

සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 2 කොටස


සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 1 බලන්න පුලුවන් මෙතනින්.. අවශ්‍යනම් එතන තියෙනව ඊට පෙර කථා කල මාතෘකා වලට යන්න ඕනි විදියත්.. 

මේ මාතෘකාව බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වුණු නිසා මේ ටික ඔක්කොම එක බ්ලොග් එකකට ගොනු කරල කලාහිත කලා කටයුතු වලට නිදහස් කර ගන්නත් අදහසක් තියෙනව.. තව ටිකක් බලමු කෝකටත්..

දැනට ගොඩක් දවසකට කලින් උනත් පහු ගිය වතාවේ අපි කතා කරේ උස් ස්ථානයක වැඩ කිරීම සම්භන්දව ලංකාවේ බල පැවැත්වෙන නීතිමය තත්වය ගැන කියල ගොඩක් දෙනෙකුට මතක ඇති.. වැඩ කිරීම කෙසේ වෙතත් උස් ස්ථානයක පදිංචි වෙලා ඉන්න එකනම් මාරයාගේ තුරුල්ලේ නිදන් ඉන්නවා වගේ පට්ට බයංකාර අත්දැකීමක් කියල අපි හැමෝම දැක්කනේ කොස්ලන්දේ වෙච්ච දෙයින්.. පොඩි අත් වැරැද්දකින් ඕනෙම උස් ස්ථානයක් කෙනෙකුට කොස්ලන්දක් වෙන්න පුලුවන් බව මතක තියාගෙන තව ටිකක් මේක ගැන ඉගෙන ගනිමු.

ඇත්තටම යම් උස් ස්ථානයක රාජකාරියක් කරන්න සිද්ධ වුනොත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු 4ක් තියෙනව.. අපි මේකට දන්න සිංහලෙන් නම්, වැරදුණා ඉන්ග්‍රීසියෙන් නම් Major Hazards involved in Working @ Height කියල කියනව. මේ හතර තමයි

1. වැඩ කරන උස ස්ථානයේ සිට මිනිසෙකු පහලට ඇද වැටීමට ඇති හැකියාව- Falling from Height
2. වැඩට යොදා ගන්නා ආයුධ හෝ අමුද්‍රව්‍ය උඩ සිට පහලට වැටීමට ඇති අවස්ථාව- Falling Objects
3. යම් කිසි අහේතුවකට වැඩ කරමින් ඉන්නා අට්ටලය පිටින් කඩාගෙන බිමට සම්ප්‍රාප්ත වීමට ඉඩ ඇත්ද යන බව- Collapse of working platform/ Scaffolding
4. ඉහලින් ගමන් කරන විදුලි රැහැන් වල ගැටීමෙන් හානි වීමට ඇති හැකියාව- Overhead Power Cables

මේ හතර තමයි ප්‍රධාන වෙන්නේ.. ඊට අමතරව කරන රාජකාරිය සම්භන්දව යෙදෙන අවදානම් තත්වයන්ද එනවා.. අපි හිතමු කෙනෙක් අට්ටාලයක් උඩ නැගල කරන්ට් එක සම්භන්ද වැඩක් කරනව කියල.. එතකොට ඉතින් කියන්න ඕනි නැනෙ විදුලිය හා සම්භන්ද අනතුරු තියෙනව කියල.. ඒ වෙලාවට තමන්ගෙ අවදානම් තක්සේරුවට (Risk Assessment) මේ බවත් ඇතුලත් කරගෙන ඒ සඳහාත් පිරියම් යෙදිය යුතුයි. දවසක විදුලිය සම්භන්ද ප්‍රවේශම(Electrical Safety) ගැන හා වෙන්ව තැබීම හා අගුළු දැමීම (Isolation & Lockout) පිළිබඳව කතා කරන කොට ඒ ගැන මං වැඩි විස්තර කියන්නම්.

එහෙම නැත්නම් අපි දැකල තියෙනව ඔය ගෙවල් හදන තැන් වල උඩ තට්ටු වලට ගඩොල් එහෙම් පාස් කරන්නෙ අතරමග මේ වගෙ අට්ටාල හදාගෙන දෙපාරට.. බිම ඉඳන් අට්ටාලෙට විසි කරනව.. අට්ටාලෙ ඉන්න මෑන් ඒ ගැම්මෙන්ම උඩ තට්ටුවට විසි කරනව.. මේ විදියට වරුවක් විතර වැඩ කලොත් අර මනුස්සයට කොන්දක් ඉම්පෝට් කරන්න වෙනව.. මේවට කියන්නෙ ශාරීරික ක්‍රියාකාරකම් වලින් වන අපහසුතා නැත්නම් Manual Handling Issues කියල.. මෙතනදි වෙන්නේ නැවත නැවත් සිදුවන ඒකාකාරී වෙහෙසකර චලනයක් Repetitive Movement. ඒ ගැනත් වෙනම ලියන නිසා මෙහිදී කතා කරන්නේ නෑ. මුලින් කියපු කාරණා හතර මේ හැමතැනටම අදාල නිසා ඕනෑම උස් ස්ථානයක වැඩ කිරීමකට අදාල අනතුරු තක්සේරු වාර්ථාවකට එක්විය යුතුයි. 

මෙම Hazards  ටික හොයා ගත්තයින් පස්සේ අවධානම තක්සේරු කිරීම Risk Assessment කල යුතුයි. එය කරන ක්‍රමය ඉදිරි දිනයකදී ඉගෙන ගනිමු. මෙම අවධානම් තක්සේරු වාර්ථාවේදී ඔබ විසින් පවතින අවධානම Existing Risk; කළමණාකරනය කර ගත හැකි අවම මට්ටමකට අඩු කිරීම Residual Risk සඳහා ගැලපෙන පාලන ක්‍රම වේද Control Measures ඉදිරිපත් කළ යුතුයි. හැමෝටම තේරෙන භාශාවෙන් කියනවනම් රිස්ක් එක පුළුවන් තරම් අඩු කර ගැනීමට කළ හැකි සියලු ක්‍රියාමර්ග සඳහන් කල යුතුයි. 

බොහෝ දෙනෙකු සේෆ්ටි පටලවා ගන්නේ නැත්නම් ඇන ගන්නේ මෙතැනදීයි. මම පිළිගන්න හා අනුගමනය කරන සේෆ්ටි 'So far as reasonably practicable' විය යුතුයි.එනම් හැකිතාක් දුරට හේතු සහගත හා ප්‍රායෝගික විය යුතුයි. එසේ වන්නට හැකි වූ විට අනෙක් වෘත්තීන් හා ගැටීම අවම කර ගත හැක. අත්දැකීමෙන් හා දැනුමෙන් ප්‍රයෝජන ගත යුතුයි.

Control Measures නිර්ණය කිරීමේදී ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුව මතක් කර ගන්න. මෙය ඉතා අමාරු වැඩකි. නමුත් ඔබගේ ප්‍රායෝගික බව මෙහිදී ඉතා වැදගත් වේ. මේ සියල්ල අවස්ථානුකූලව වෙනස් වූවත් පොදුවේ සඳහන් කල හැකි කිහිපයක් මෙසේ දැක්විය හැක.
1. සෑම විටම මිනිස් ජීවිත පළමු තැනට ගන්න.
2. නැවත එකලස් කල නොහැකි හා මිළ කල නොහැකි දේ ඇත්නම් ඒවා දෙවෙනි කොටසට අයත් වේ.
3. ඉහත කරුණු දෙකට අමතරව නීතිමය තත්ත්වයන් යටතේ දඬුවම් නියම කල හැකි හා/හෝ ආයතනයේ කීර්ති නාමයට හානි විය හැකි සිදුවීම් වැලකීමට කටයුතු කිරීම කල යුතුයි. 
4. ඉතා විශාල මූල්‍ය හානියක් සිදුවිය හැකි ගබඩා හෝ එවන් වෙනත් ස්ථාන ඇත්නම් ඊලඟ තැන දිය යුතුයි.
5. විශාල මූල්‍ය හා ශ්‍රම හානි සිදුවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියට (Production Process) බාදා වන කටයුතු කෙරෙහි ඊලඟ අවධානය යොමු විය යුතුයි. 

මෙයාකාරයෙන් ඔබ විසින් ප්‍රමුඛතා අනුව (සමහර ආයතන වල මේවා සුරක්ෂිතතා ප්‍රතිපත්ති හා පරමාර්ථ  Safety Policies & Objectives ලෙස හඳුනා ගෙන ඇත.) යමින් Control Measures නිර්ණය කල යුතුයි.

තව දුරටත් මෙම පාලන විදි ක්‍රමද(Control Measures) වඩා ප්‍රථිඵලදායි ලෙස වර්ගීකරනය කර (Hierarchy of Control) ඇත. මෙය තැන් කිහිපයකදී කිහිපාකාරයක් ගන්නා නමුත් වඩා වැඩි පිළිගැනීමක් ඇති  ආකෘතියකින් (NEBOSH) ඉදිරිපත් කරන්නේ නම් 

1. Eliminate- සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
2. Reduce- හැකිතාක් දුරට අඩු කිරීම
3. Isolate- වෙන්කර තැබීම
4. Control- පාලනය කිරීම (මෙය ඉංජිනේරු ක්‍රම මගින් පාලනය කිරීම(Engineering Control)- උදා: අනතුර හා පුද්ගලයා අතර ද්‍රව්‍යමය බාධකයක් නිර්මාණය කිරීම(Physical Barrier) හා පරිපාලනමය ක්‍රම මගින් පාලනය කිරීම (Administrative Control) උදා: අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු වීම වැළැක්වීම (Restricted Entry) ලෙස දෙයාකාරයකට වර්ග කරනු ලැබේ.
5. Personnel Protective Equipment (PPE)- පුද්ගලික ආරක්ශණ උපකරණ මගින් ආරක්ශාව ලබා ගැනීම
6. Disciplinary Action- විනයානුකූල ක්‍රියාමර්ග අනුගමනය කිරීම

සෑම විටම උපරිම ප්‍රවේශම සහතික කිරීම සඳහා ඉහලම වර්ගීකරණයේ පූර්ව පරිපාලන විධි ක්‍රම තෝරා ගත යුතු නමුත් එය ප්‍රායෝගික නොවන අවස්ථාවලදී ඊට වඩා පහලින් ඇති විධි ක්‍රම මගින් ප්‍රවේශම තහවුරු කර ගත යුතුය.

මේ අනුව පුද්ගලික ආරක්ශන උපකරණ (PPE) භාවිතය හා විනයානූකූල ක්‍රියාමාර්ග(Disciplinary Procedures) සෑම විටම අවම අභිමත ක්‍රම වේ.  

මේ ටික හැම තැනටම පොදු නිසා මෙතනදී සඳහන් කිරීමෙන් ඉදිරි පාඩම් වලදී අපේ වැඩ කටයුතු පහසු වනු ඇත. කෙසේ හෝ දැන්නම් ගුරාටත් මහන්සියටම අකුරු වැරදෙමින් යයි.. වැඩි කල් නොගොස් ඊලඟ පන්තියේදී අපි අර මුලින්ම සඳහන් කල Hazards හතරට අදාල පොදු පාලන විදි ක්‍රම Control Measures සමඟ මුණ ගැසෙමු. එතෙක් ඔබට ජය ශ්‍රී!