Wednesday 4 September 2019

සඳට පෙම් බැඳ..

Image result for lunar eclipse images
Image courtesy to Google

මන්ද අඳුරට ගිතෙල් පහනක් මංද ඈ මුව             හිනාවේ..
බැන්ද අහසට සරා සඳ මෙන් මහත් හසරැල්        ගෙනාවේ..
කන්ද සිඳ මිදුලටම කැන්දූ එලිය මැද සඳ             තලාවේ..
වින්ද සෙනෙහස තාම මතකයි සඳේ සොඳුරුම    කලාවේ..
නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර             හඬන්නේ..
වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි              මදින්නේ..
කැලුම් දුන් සඳ රාහු අභිමුව දණින් වැද බිම              හොවන්නේ..
තැලුම් පිරිමැද වසා ගමි නෙත් කොහොම යලි සඳ   දකින්නේ..

- ක.මි.

Tuesday 2 April 2019

මොන ජීවිතයක්ද බම් මේ.. Bohemian Rhapsody ලෝකල් වර්ෂන්.. (මත් වූ සිත්තරෙකුගේ මනෝවිකාර)

Image result for bohemian rhapsody lyrics

මොන ජීවිතයක්ද බම් මේ..
ටෞකන්ඩ.. මොන නාඩගමක්ද හැබෑට..
නායට අහුවෙච්චි පරඬලාවක් වගේ..
මොණර නැටුම් නැටුවට පුක එළියේ..
ඒක හංගන්න බෑ 
මම නිකම්ම නිකං නසරානියෙක් විතරයි
ආවා ගියා ජිවිත..
උලත් එකයි බං පිලත් එකයි ඒ ජිවිත වලට
ඕනේ හුළඟක් හමපුවාවේ මයේ මොකෝ..
ඇත්ත තේරුම් ගනිල්ලා කෙලින් බලල නිකට උස්සල අන්නෙහෙම..
පොඩි එකා මළා අම්මේ.. ඌ මළා 
උඹ දොට්ට දාපු දවසෙම 
හැබැයි සිත්තරෙක් උපන්නා 
අන්න ඌ ජිවිතේ අඳින්න පටන්ගෙන..
හිතුමතේ.. හතර අතේ..
අහ.. උඹව අඬවන්න නෙවෙයි අම්මේ..
කියල යන්නෙපැයි යන තැනක.. පොඩි එකාට උඹ කියල දුන්නු විදියටම
ගණන් ගන්නෙපා හෙට ආවේ නැත්නම්  
හිතපන් මම හොඳින් කියල හොඳ තැනක 
දැන් පරක්කුයි මස්සිනේ කතා කරනවා මට යන්න 
හීන් දාඩිය පිට දිගේ මතක් වෙනකොට 
හතර හන්දි වෙව්ලනවා චන්ඩියා වගේ උන්නට 
තොපි හොඳින් හිටපියව් 
දැකලවත් හැදියව් පුලුවන්නම්.. මේ අමු ඇත්ත..
අම්මගේ රෙද්දේ කලාව..
අනේ අම්මේ මට මැරෙන්න බයයි යකුනේ 
මොනෞත්තකට මං ඉපදුනාද දෙයියනේ..
අන්න පේනවා මිනිහෙක්ගේ ඡායාවක් ඈතින් 
සිංහ බා සිංහ බා ගල්ලෙන බිඳිනවද තෝ 
කන ළඟ පුපුරනවා අකුණු පුක හීන් වෙන්න 
ගැලිලියෝ.. කෝ මේකා.. අහපන් තාරකා  හැමිනෙනවද?
මම නිකම්ම නසරානියෙක් විතරයි කවුරු වදවෙන්නද මං ගැන 
මොකෙක්ද ඌ චිත්‍ර ඇඳ ඇඳ හිටි හිඟන්නා 
යන්න දීපන් ඔය යකාට චුත වෙලා ඔය කරදරෙන් 
එනෝ යන අපේ ජිවිත.. අතෑරපන් මාව මට යන්න 
දෙයියන්ගේ නාමෙන් යන්නෙපා.. අතෑරපන් ඕකව ///
එපා එපා යන්න දෙන්නෙපා එයාට.. අතෑරපන් යකුනේ මාව..
නෑ නෑ අනේ යන්න දෙන්නෙපා එයාට.. අතෑරපන් යකුනේ..
අනේ.. අනේ..
අතාරින්නෙපා මාව.. අතාරින්නෙපා යකුනේ.. යන්න බෑ මට ..
මම දැන් ලොකු ළමයෙක්.. යන්න දීපියව් මට 
මගේ සුරංගනාවී බලාගෙන මම එනකං.. අසෙනිය මල් පලස උඩ.. 
උඹ හිතාන හිටපං මට අරින්න පුළුවන් කියල 
ඔව් හිතාන හිටපං ලව් කල්ල මට කෙළවන්න පුළුවන් කියල 
ඕ..හ.. උඹට ඒක කරන්න බෑ මයෙ මැණික ..
මට පැනල යන්න ඕනේ.. මෙතනින් පැනල යන්න ඕනේ..
ඌ..හ..හ..හ්.. අනිවා.. යේ .හ්..
ගණන් ගන්නෙපා බොලව්..
දැකපුදෙන් උන්.. දකපුදෙන් ..
අපිට පාන්දෞත්තෝ..
පඩයක් වටින්නේ නෑ මට මාවවත්..
ඔව්. හුළඟ හමපුවාවේ.. ඔව් ඔව්.. හුළං හමපුවාවේ.. ඕ..යේ.. ..

- ක.මි.

මේ මගේ සන් මිත්‍ර අකලංක දිසානායක හා අමිල උදේශ් යන දෙපළගේ ඉල්ලීමක් මත Freddie Mercury ගේ Bohemian Rhapsody (Queen) ඔපෙරා අන්තරා කොටස අනුසාරයෙන් කල ලෝකල් වර්ෂන් එකකි.  විකිපීඩියාව ට අනුව බොහිමියානුවා යන්නෙහි මුල් අරුත කළාකරුවෙකු යන්නයි. එනයින් ගෙන මතට හා පාප මිත්‍ර සේවනයට ඇබ්බැහි වූ සිත්තරකුගේ මනෝ විකාරයක් ලෙස මේ වර්ෂන් එක ලියා ඇත. 1975 දී Queen ලා කල ඔපෙරාවට අනුව නම් මේ බොහිමියානුවා විසින් සිදු කල මනුෂ්‍ය ඝාතනයකට පසු ඔහුගේ චිත්ත සංතානය ඔහු පෙළන පසුතැවීම Freddie විසින් ලියා ඇත. 

නමුත් මා මෙහිදී එය එක සිදුවීමකට ලඝු නොකර නිවැරදි වෘත්තීය පසුබිමක් නොමැතිකමින් අයාලේ යන අපේ බොහෝ තරුණ කලාකරුවන්ගේ ඛේදවාචකයක් ලෙස ඉස්මතු කිරීමට උත්සහ කල බවත්  බ්ලොග් පොස්ට් එකක්ම නොවුනත් මතු පැවැත්ම සඳහා මෙහි ලියා තැබූ වගත් කරුණාවෙන් සලකන්න. 

Saturday 2 March 2019

කොලොම්පුරේගේ ඉල්ලගෙන ඇන ගැනීම, කටුස්සාගේ අනාගත ස්වරූපය, කම්මලේගේ හදිසි අතුරුදහන් වීම, යකාගේ විදුරු බිඳිල්ල, නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ කණ්ඩා ගේ සාදර සමාදර බ්ලොග් හැන්දෑව Blogger's Eve March 2019

මාස දෙහෙකටත් වැඩි කාලයක් ඉඳල අපේ කණ්ඩා ට උණක් බෝ වෙලා තිබ්බනේ බ්ලොග් කාරයෝ ටිකක් එකතු කරගෙන පාටියක් දාන්න.. අපිනම් ඔය නිතර දෙවේලේ තැන තැන සෙට් වෙන එවුන් වෙච්චි ඕකේ ඒ හැටි ලකයක් ගැන හිතුවේ නැති උනත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් එක හා අටම්පහිය ෆේස්බුක් පේජ් එක හරහා බ්ලොග් මන්දගාමී වෙන්න නොදී ඇදගෙන යන නයනේ, නිදි, අතුල අබේරත්න වගේ ජේෂ්ඨ පුරවැසියෝ සෙට් එකටත් විප්‍රවාසව ඉඳල ඇරියස් එක්ක එන කණ්ඩාටත් මේක මහා පරිමාණයෙන් ම කරන්න ඕනි උනා. ඉතින් දැන් මාස දෙහෙක වගේ ඉඳල මේ වෙනුවෙන්ම හැදිච්චි මැසෙන්ජර් ගෘප් එකක ඔය ගැන කතා වෙනවා. කණ්ඩා ලංකාවට එන දිනය අල්ලලා මාර්තු පළවෙනිදා තමයි දිනය දාගත්තේ. පංච තන්තරේ අලුතෙන්ම ලියන 'නිදි' බොස් කලිම්ම එකඟ උනා එයාගේ මහරගම වාසභවන පළවෙනිදාට මේ පුණ්‍ය කටයුත්තට වෙන් කරන්න. ඒ විතරක් නෙවෙයි එදාට එයා ගානේ දවල් (ඕනිනම්) හා රාත්‍රී (අනිවාර්ය) භෝජනයත් සුදානම් කරන්න භාර ගත්තා. තව එක එක්කෙනා ඉතින් කජු, කිරිපැණි, වරක, මල් පැල, නැදුන් පැල වගේ ඒවා බාර ගත්තා. පාටි දැම්ම වගේ නෙවෙයි අන්තිමේ බජට් දෙන්න බැරි නිසා ඔන්න මම නම් ළූණු සිවියක්වත් භාර ගත්තේ නෑ මේ වගකීමෙන්මයි කියන්නේ හිටං.. බීම මයේ හිතේ කණ්ඩා ගෙන්.. ආ.. තව එකෙක් ඔක්කොටම වඩා වටිනා වැඩක් භාර ගත්තා.. ඒ පාටියට දින කවුන්ට් ඩවුන් කරන්න. මේ බැරෑරුම් කටයුත්තට අත ගැහුවේ පාටියට සහබාගි වෙන්න වැඩිම උනන්දුවක් තිබ්බ කොලොම්පුරේ ආරච්චි අසංග යා.. හරි දැන් ඉතින් දවස් ගැනගෙන ගැනගෙන ඔහොම එනවා.. එනවා.. එනවා.. මෙන්න බොලේ එකපාරටම නොහිතූ හෙනයක් පාත් උනා..

අපේ කොලොම්පුරේ ආරච්චියාගේ ඇඟේ ඉන්න නාවිකයා එලියට පැනල අහක යන ගෝරියකට මැදිවෙලා පිහි ඇනුමක් කාගෙන කළුබෝවිල ඇඩ්මිට් කරන්න උනා කියහන්කෝ.. අපිනම් අවන්කවම සතුටු උනා එක දවසේ පාටිය දවස් හතක් අදින්න ලැබෙන එකයි පළවෙනිදා වෙනකම්ම ඉන්න ඕනි නැති වෙන එකයි නිසා පණිවුඩේ දැකපු ගමන්.. ඒ උනාට මේකට ඒ හැටි හෙනයක් නෑ.. දවස් දෙකක් විතර අතපසු උනත් ආරච්චියා ඉස්පිරිතාලේ ඉඳගෙනම ආපහු දින ගනින වැඩේ පටන් ගත්තම අපි ආයෙම හිත හදා ගත්ත ඔරිජිනල් ප්ලෑන් එකේ පාර්ටියට විතරක් සෙට් වෙන්න. හැබැයි පස්සේ බැලින්නම් සාධාරණ සැකයක් ආවා මූ බලෙන්ම පිහියෙන් ඇන ගත්තද කියල මොකද ඉස්පිරිතාලේ ඉඳන් කියෙව්වෙම නර්ස් නෝනලා ගැන. ආයි ඇනගෙන ආයි එන්න තිබ්බත් කැමතියි කියල තමයි කියුවෙනම්. චූ බටේ ගහල තිබ්බ නිසා යන්තම් අතපය නොහොල්ල ඉඳල සම්හව් පාර්ටියට කලින් දවසේ ටිකට් කප්පව ගත්ත උනත් අනේ කොල්ලට වෛද්‍ය (සහ අපේ ) උපදෙස් මත පාර්ටියට නම් සහබාගි වෙන්න බැරි උනා. ඒ වෙනුවට පාර්ටිය දවසේ උදේ කණ්ඩාත්, නයනේ සහ අටමා ත්, අතුල අබේරත්න අයියත් ගල්කිස්සේ කොලොම්පුරේ ගේ ගෙදරට ගිහින් ඔහුගේ දුක සැප බලල ඇවිත් තිබුනා.. උගේම බාසාවෙන් කියුවොත් Moral of the Story - අධික උනන්දුව බයානක ප්‍රථිපල ගෙනත් දෙන්න පුළුවන්..
පිනට කෑව පිහි පහර සමඟින් කොලොම්පුරේ ආරච්චි කළුබෝවිල සිටියදී..
ඔන්නොහොම මාර්තු පළවෙනිදා ත් ආවා කියමුකෝ. ප්ලේන් එක නතර කරන්නත් කලින් දොර ළඟ ඉඳන් එළියට පැනපු කන්ඩා දුවගෙන ගිහින් අසංග යාවත් බලලා උගේ වැලන්ටයින් ව නැන්දම්මාට බාර දීල බැලන්ටයින් විතරක් අරන් මහරගම ඇවිත් තිබුන.. හවස තුන හමාර විතර වෙද්දී අටම පණිවුඩේ දාල තිබ්බ ෂාප් ෆොර් ඔ ක්ලොක් පාටිය අරඹන බවට. මමත් කම්මලෙත් (16:10 අවිස්සාවේල්ල ට්‍රේන් එකට සෙට් වෙන්න ගියත් මට ඒ ට්‍රේන් එක මිස් වෙච්චි බැවින්) 16:35 කෝච්චියෙන් කොටුවෙන් පිටත් වෙලා කරදරක් නැතුව 17:15 වගේ වෙද්දී 'ඇහැ ඇරගෙන' අපි එනකම් බලාගෙන හිටපු 'නිදි'තුමාගේ මාලිගෙට සැපත් උනා. අපි යනකොටත් චෙෆාකි, නයනේ, අතුල, අටම්, මුද්දා හෙවත් ඇනොපිලිස්, ලොක්කා සහ ලොක්කගේ යාළුවත්, නිදිගේ අතිජාත මිත්‍රයින් දෙපලකුත් සෙට් වෙලා හිටියා.. පස්සේ අඳුනා ගත විදියට එයින් එක් අයෙකු නිදි ගේ බ්ලොග් වල නිතර කියවෙන ඔහුගේ ලංගම හිතවතා 'නෙවිල්'.. අති දක්ෂ ගායකයෙකු මෙන්ම වාදකයෙකු වූ නෙවිල් සාදයේ අවසාන බාගය සම්පුර්ණයෙන්ම ඔහුගේ අණසකට යටත් කර ගැනීම යන්තම් වැළකුණේ අටමාගේ සිංදු ආදිපත්‍යය පැතිරීම නිසයි..

මේ අතර අපි යනවිට 'වොෂ්' එකක් දාගන්න බාත් රූම් එකට ගිහින් හිටි අතුල අබේරත්න මයා සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී අප අතරට ආවා.. අතුල අයිය දැක්ක ගමන් ඔක්කොම කතාවුනේ මේ නම් වයසට ගිය කටුස්සාම තමයි කියල.. අම්මප.. කතා බහත් ඒ වගේමයි.. එකම වෙනස කටුස්ස වගේ අතුල අයිය බල්ලට මචන් කියනකන් ගහන්නේ නැති එකයි වැදගත් කතා බහක් අස්සේ අත උස්සල ගොන් කතාවක් කියන්නේ නැති එකයි විතරයි මගේ හිතේ.. හෙහ් හෙහ්.. ඉතින් ඔහොම කඩින් කඩ විඩෙන් විඩේ සතෙන් සතේ කට්ටිය එකතු වෙන්න ගත්ත.. ඉවාන් සහ ප්‍රා ජේ, තිලිණ, ඉයන් එහෙම එනකොට සාදය නැගලම යන්න ගත්ත.. කටගැස්මට හදල තිබ්බ මයියොක්ක සහ කොච්චි ලුණුමිරිස, කුකුළා, දුවන පුහුල්, කරත්ත එංජින් අස්සේ පට්ට රෝස්ටඩ් කජු එකක් තිබ්බ මතකයි. සාදය නැගලම යන වෙලාවේ තමයි මද්දා ආවේ මිනිහගේ රෝද දෙකෙන් කොහෙද රස්තියාදුවකුත් ගහල.. තනියම නෙවෙයි හැබැයි තමන්ගේ ඇබේණියත් එක්ක.. බ්ලොග් ලියන කාන්තා පාර්ශවේ අපි මේකෙන් හිතා මතාම හලලා තිබ්බේ රෑ රාත්තිරියේ ඔය ගෑණු පරානවලට ආරස්සාව සපයන අමතර වගකීමක් ගන්න බැරි නිසා. හැබැයි මද්දගේ ගෑල්ලමය එතන එකම ගෑණු පරානේ වුනත් කිසිම අපහසුතාවයකින් තොරව සාදයට සහබාගිවීමේ හැකියාව තිබ්බ.. ඒක අපි අනිත් හැම බ්ලොග් එකමුතුවකමත් දැකල තියෙනවා. බ්ලොග් ලියන කියවන හැමෝම හොඳ සමාජශීලි වැදගත් මහත්වරු නෝනාවරු වීම ආඩම්බරයක්.
මූණු ටික බලධාරියා විසින් කපා හරින ලදී..
ඔය අතරේ තමයි කම්මලයට ඒ අනුවේදනීය කෝල් එක ආවේ.. පස්සේ ඒ ගැන දැනගත්තත් (අනේ අහන්න නම් එපා මොකක්ද කියල..) එවලේ හිතා ගන්න බැරි උනා කම්මලේ මොකද එච්චර කලබල උනේ කියල.. කොහොම හරි ඉඳගෙන හිටපු තැනින් දඩිබිඩි ගාල නැගිට්ටේ විදුරු දෙක තුනකුත් පොඩි කරගෙන.. අපි හිතුවේ දෙයියෝ කෝප වෙලා කියල අපි තනියෙම බොනවට.. ෆෝන් එක කණේ ගහගෙන ගිය කම්මලේ ටික වෙලාවකින් මිසින්. ඒකෙන් මේකෙන් උනේ කම්මලේව හොයන්න යන මුවාවෙන් යසට හිටි අතුලයාත් වරක බෙදන්න යන්න කියල මල ගෙදරක කෝප්ප හෝදන්න යන්න තියෙනවා කියල පැන ගත්ත පාටියෙන්. මොනවා උනත් මිනිහා ගිය එකෙන් මහරගම ටවුම පුරා ෆෝන් එකකුත් කනේ ගහගෙන පිස්සෙක්.. පිස්සෙක් වගේ ඇවිද ඇවිද හිටපු කම්මලයව කුදලාගෙන කාරෙකට දාගෙන පරිස්සමෙන් ගේ ගාවින්ම ගිහින් බස්සල තියෙනවා. නැත්නම් අද ගම්පහ මළගෙයක්.. ඔය අතරේ කරටි කැඩෙන්න ගසල හිටිය ලොක්කත් මතුගම පිරිතකට යන්න තියෙනවා කියල රෑ දහයට විතර මහරගමින් පැන්න යාළුවාත් එක්ක. පිරිත් අහපු තරම වැඩිවෙලා තවම දෙන්න නිවන් ගිහින්ද කියලනම් තවම හොයන්න බැරි උනා..

ලොක්කගේ පිරිතයි කම්මලේගේ මතක බණයි අතුල අයියගේ වරකා දානෙයි ඔක්කොම ඉවර වෙන කොටත් පාටියට සාමාජිකයෝ එන එක නැවතිලා තිබ්බේ නෑ. අන්තිමට (මතක විදියට) ආවේ නිදි ගේ කතාවල නිතර දකින්න ඉන්න තවත් චරිතයක්. ඇස් දොස්තර අයේෂ්මන්ත.. බැලුවම අපේ මුද්දා ගේත් හිතවතෙක්. දොස්තර මහත්තය ආපු ගමන් අටම  දුන්න නිදි ගේ බ්ලොගින් ගැන එක්ස්ප්ලනේෂන් එකක් ආයි මං හිතන්නේ නෑ නිදි ගේ යාළුවො එකෙක්වත් උන්දෑගේ දිහා ඇහැක් ඇරලා බලයි කියල.. කොටිම්ම කියුවොත් නිදි ව හාන්සි කරලම දැම්ම.. හෙහ් හෙහ්.. අටමාගේ ආදිපත්‍යය පතුරුවේ කතා ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි.. සම්පුර්ණ සිංදු සිලෙක්ෂන් එකත් තනිකරම වගේ කරේ අටම තමයි.. සික්ස් එයිට් බීට් එකේ එකක් ඉවර වෙනකොටම.. "පබළු නගේ නාමල් තිලකේ.. සුමනෝ.. ඕ ...ඕ " කියල ඇල්ලුවම ආයි ලොවෙත් කියලම මිසක් අතාරින්නෙ නෑ. අටම එහෙම එක හිතින් නොහිටින්න නෙවිල් ලොක්ක තාමත් අපිව වට කරගෙන ඩොල්කිය ගහමින් සින්දු කියනවා. අටම නොවන්න අම්මප එකෙක්වත් ඒ සිංදු ඇහිල්ල කිවිල්ල නතර කල්ල නැගිටියි කියලනම් හිතන්න බෑ.

අටම මොන මඩ ගැහුවත් ඒ වියතුන් සබාව මැද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී තමන්ගේ කොටහ නොපිරිහෙලා ඉටු කරපු සිරුරින් ඉතා කුඩා දැවැන්ත මනුස්සයෙක් හිටියා.. ඒ තමයි එතන ප්‍රධාන සහය නළුවා වෙච්චි නිදි මහත්තය. නිදි කියුවට මං දැක්ක විදියට එතන හොඳටම ඇලට් එකේ හිටිය මනුස්සය. කණ්ඩා පාර්ටි දාන්න සහයට අල්ලාගෙන තිබ්බේ සුපිරිම ඩයල් එකක් නෙව.  කතා බතා සින්දු බින්දු අස්සේ ඒ ඔක්කොටම දායක වෙන ගමන් අපි කවුරුත් දන්නේ නැතුව නිදි මහත්තය සුපිරි රාත්‍රී භෝජනයක් ලැස්ති කරලා. ඉන්දියානු ක්‍රමේට පූරි එක්ක සම්බාරු හා පොල් සම්බෝල, බත්, කුරහන් පිට්ටු, පෝක්, මාළු බොකු, පරිප්පු එක්ක තව මොන මොනවද තිබ්බ මතකයි.. එවලේ කා ගන්න බැරිව දුක් උනා විතරක් නෙවෙයි දැන් මේ ලියද්දි මතක් වෙද්දීත් දුකයි. අමාරුවෙන් පූරි කෑල්ලක් එක්ක මොන මොනවද ටිකක් කෑවේ. ඒ පූරි 'සුපිරි හෙවත් පට්ට' කියල එවලේම ලෝකේ වටේම හොඳට පූරි කාල එක්ස්පිරියන්ස් තියෙන ඉයන්, ප්‍රා වගේම චෙෆ් ආකිටෙක් ගෙන්ද පැසසුමට ලක් උනා.. ඉතින් තව මොනවද? කාල ඉවරයි කියල හිතුවද? පුහ්.. අන්දරේ කිරි කාපු විදිය කලින් අහල තිබ්බට හැබැවටම පළමෝත අත්දැකීමක් විදියට ගත්තේ ඊයේ තමයි. කාල තියෙනවද කුරහන් පිට්ටු කිරි සමඟ කිතුල් පැණි?. අතුරු පසට නිදි මහත්තයාගේ අතින්ම.. වාව්.. එහෙම රහක්. ස්තුතියි බොස් එකෙන්ම.
කුරහන් පිට්ටු, කිරි සමඟ කිතුල් පැණි.. නිදි ගේ පංච තන්ත්‍රය ඇසුරිනි..
පහුවෙනිදා හෙවත් අද උදේ ඉඳල ආපහු රාජකාරි ගොඩක් කරන්න දීල තිබ්බ නිසා අපි කීප දෙනෙක් මධ්‍යම රාත්‍රියට ආසන්නව එන්න පිටත් වෙනකොටත් සාදය සම්පුර්ණයෙන්ම නැවතිලා තිබ්බේ නෑ. ඒ උනාට අපිට එන්න උනා ඉතින්. අපි ආවයින් පස්සෙත් ආයෙම දෙයියෝ කෝප වෙලා විදුරු කීපයක් වට්ටලා බින්දා කියලත් ආරංචියි. දෙයියෝ වැට්ටුවට බින්දේ ටයිල් වල වැදිච්ච නිසා ඔන්න නිදි මහත්තය හෙටම ටයිල් ගලවනවලු ගෙදර. ඔයින් මෙයින් මහරගමින් ඩ්‍රොප් කරන්න කියල ඉයන් ගේ වාහනේට නැගපු කණ්ඩා ව මත්තේගොඩ උගේ ගේ දොරකඩිනුත් මාව මගේ කොම්පඥ්ඥවීදියේ නවාතැන ළඟිනුත් පරිස්සමින් බස්සල ඉයන් ගෙදර යනකොට අඩුම අලුත් දවසෙත් පලවෙනි හෝරාව ගෙවිල තියෙන්න ඇති. කාලෙකින් හමුවෙච්චි විසි දෙනෙකුට ආසන්න බ්ලොග් සහෝදරත්වය- බ්ලොග් ලියවෙනවා අඩුයි කියලාවත් කියවනවා අඩුයි කියලාවත් බින්දුවකින්වත් අඩු වෙලා  නෑ.. බජට් ඉල්ලන්න, ආණ්ඩුවට මඩ ගහන්න ටොයි බයි වෙනස හොයන්න කවුරුවත් හිටියෙත් නැති නිසා වැඩේ නැගලම ගියා. වෙන මොන වැඩේ තිබ්බත් අද කියට හරි මේක ලියල පබ්ලිෂ් කරන්නම ඕනි කියල හිතා ගත්තේ ඒ කාලෙකින් ගත්ත 'පට්ට ෆන්' එකට සාධාරණය ඉටු කරන්නම ඕනි නිසා. මේ සාදයට බර කර ගහපු උන්ගෙන් අසංග ට ඉක්මනින්ම සුවය ලැබී තව පාර්ටියක් සංවිධානය කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් සංවිධානය කරපු බරපැන දරපු හා සහබාගි උණු හැමෝටම A BIG SALUTE! Thanks Guys! It was such a wonderful day.. Thanks again!

- කල්‍යාණ මිත්‍ර

Saturday 26 January 2019

අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

සොඳුරු සඳවතී 'ඇස්' ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි කියල හිතුන නිසා ඔන්න අමුවෙන්ම ලියල දානවා.. :)
Those eyes... <3

ඒ ලෙවල් ෆස්ට් ෂයි එකෙන් කෙළවාගෙන උපරිමේට පිස්සු කෙළලා හෙම්බත්වෙලා හිටපු අපි දෙතුන් දෙනෙක් සෙකන්ඩ් ෂයි එකට මීට වඩා බැහැල වැඩ කරන්න ඕනි කියල හිතල ප්ලෑනක් ගැහුවා.. හරිම සිම්පල් ප්ලෑනක්.. උදේම කට්ටියම එකතු වෙනවා අපේ යාළුවෙක් 'ටික්ක' වැඩේ කරපු ඉන්ස්ටිටියුට් එකක් තිබ්බ එතැනට.. ඌ ඇත්තටම කොහොම අපේ යාලුවෙක් උනාද මංදා.. රට වටේම ඇවිදින අපේ දණ්ඩ පූසා හෙවත් බයිසන් හෙවත් විරාමය බ්ලොග් එක ලියපු අරිට්ටකී තමයි ඌව යාළු කරගෙන තිබ්බේ. එතන අයිතිකාරයා සර් කෙනෙක්. මිනිහ උදේට නෑ.. ටික්ක විතරයි. ඒක නිසා උදේ වරුවට අපි එතන පොරවල්. උදේ වරුවේ ඔය කියන තැන ක්ලාස් වර්ග දෙකක් තිබ්බ.. එකක් ඕ ලෙවල් රිපීට් වෙච්චි උන්ට තිබ්බ රිවිෂන් ක්ලාස් එකක්.. ඕ ලෙවල් රිපීට් කියුවම ඉතින් ආයෙම අහන්න දෙයක් නෑනේ.. ඒ ආපු කොල්ලෝ කෙල්ලෝ රොත්ත බුරුත්තට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බේ නෑ.. අරුන්ට උගන්නන්න උවමනාවක් තිබ්බෙත් නෑ.. උදේ වරුව පොඩි මගුල් සක්වලක් වගේ ක්‍රියේට් කරලා අතරින් පතර ගුරුවරයෙක් ගිහින් මක්ක හරි බාගෙට කුණුහබ්බයක් උගන්නල එන එක තමයි කරේ.. ඕකට උගන්නන්න ආවෙත් ඉස්කෝල වල උගන්නන ගුරුවරු නෙවෙයි. උන්ට එන්න බෑනේ උදේ වරුවේ. ඉතීම් එහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් තමයි ඉගැන්නුවේ. පස්සේ මේකේ වැඩි බර අදින්න උනා අපිට.. සල්ලි වලට නෙවෙයි.. ටික්කගේ ෆිට් එකට.. ගණන්, විද්‍යාව සම්පුර්ණයෙන්ම වගේ සහ ඉංග්‍රීසි අතරින් පතර අපි තමයි ඉගැන්නුවේ. හැබැයි අපේ තිබ්බ උණට  අතින් කාගෙන උනත් ඒ ටික හොඳටම ඉගැන්නුවා.. ඒක නිසා ක්ලාස් එකත් ජනප්‍රිය උනා.. සර්ටත් පට්ට ලාභයි.. ඉතීම් ඌ උදේ නෙවෙයි මහා රෑක ගියත් අපිට එතන අපේ වගේ රඟන්න දුන්න.. හවස් වරුව විතරයි අවුල්.. ක්ලාස් වැඩියිනේ.. ඒ වෙලාවට අපි රෙස්කෝස් එකට ගිහිං ක්‍රිකට් ගහනවා..

රයිට්.. එතකොට උදේ ඔතන තිබ්බ අනිත් ක්ලාස් එක තමයි බාහිර උපාධි කරන එව්වොන්ට උගන්නන එක.. මං හිතන්නේ ඒ දවස්වල බාහිර උපාධි තිබ්බේ BA(General) ඩිග්රි එකකට.. අන්න ඔතන හිටියේ අපිට වඩා දෑවුරුද්දක් වගේ වැඩිමල් සෙට් එකක්.. හැබැයි උන් ශිෂ්‍යයෝ.. අපි ටෙම්පරි හරි ගුරුවරු නිසා අපි උන්ටත් ලොකු සීන් එකේ තමයි හිටියේ.. හැබැයි එතන හිටපු අක්ක බබාලා නම් ගොඩක් අපිත් එක්ක පෑල්.. එහෙම වෙන්නත් හේතුවක් තිබුනා.. ඔය මන් කියපු අරිට්ටකිය ඒ දවස්වල නතරවෙලා හිටියේ අපේ සෙට් එකට සෙට් වෙච්චි ෆස්ට් ෂයි ලියන එකෙක් වෙච්චි පොඩි බූලා හෙවත්, ගමයා හෙවත් මිස්ටර් අසාර්ථක ලගේ ගෙදර.. මිස්ටර් අසාර්ථක කියල කාඩ් එක ගැහුවේ මමද කොහෙද.. ඕකගේ මොන වැඩේ කරන්න ගියත් හෙනම ප්ලෑන් .. කොලයක් අරගෙන ඉරි ගහල තීරු බෙදල එක එකාගේ රෝල් අයිඩෙන්ටිෆයි කරගෙන අරවද මේවද ඔක්කොම කරලා අන්තිමේ අතින් කියක් හරි කෙලවාගෙන විරුවා පට්ටං ගහගෙන ඉන්නවා. ඊළඟ වැඩේටත් එහෙමයි ඉතිං. ඒ ලෙවල් වලටත් ඔහොම ප්ලෑන් කරලා අන්තිමේ F දොළහක්ම අරන් තමයි නතර උනේ.. ඒ උනාට හරිම හිත හොඳ එකා.. සියලු දුසිරිතෙන් තොරයි. ඒ උනාට අපි කීයටද කාල බීල නාල ඉවර වෙන්නේ ඌ ඉන්නවා අපිව පරිස්සම් කරන්න.. හැබැයි ඔය යකාට දැන්නම් මිස්ටර් අසාර්ථක කියන්න බෑ.. දැන් ආණ්ඩුකාරයෙක්ගේ ලේමෙක්.. උගේ වැඩ ඔක්කොම සාර්ථකව කර ගන්නවා.. ඒම මදැයි :)

හරි. දැන් ඉතීම් පොර අපේ අරිට්ටකියව ගෙදර නවත්තගෙන හිටියෙත් කිසිම ය කිරීමකින් තොරව. දෙන්නත් එක්ක එකට පාඩම් කරලා ගොඩ යන පරම පිවිතුරු චේතනාවෙන්.. පස්සේ මම ඔතනට සෙට් උනාම මූ මටත් කතා කරා උන්ගේ ගෙදර නැවතිලා පාඩම් කරන්න. සියලු බරපැන උන්ගේ ගෙදරින්. උන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් පාරෙමයි. හැබැයි අපේ ගෙවල් පහු කරලා තව කිලෝ මීටර් පාළොහක් විතර යන්නෝනි. බදුල්ල පැත්ත දන්නා උන් දන්නවා ස්ප්‍රින්වැලි හෙවත් වසන්ත නිම්නයේ පහළ තියෙනවා ති සුන්දර ගමක් 'කඳන' කියල.. නිමල් සිරිපාල හිටපු සෞඛ්‍ය ඇමතිගේ ගම.. නිමල් සිරිපාල පස්සෙත් තව තව ඇමති කම් දරුවත් සෞඛ්‍ය ඇමති කාලේ බදුල්ලට කරපු වැඩ කන්දරාව නිසා තාමත් මතක ඒ විදියට.. ඔය නිදාගෙන වගේ හිටියට වැඩ කරන්න ගත්තම යකා වගේ. අනික පට්ට මීටරේ.. ලෝකේ හැම තැනම පොරට න්ටක්ට්ස්.. මට හැමදාම හිතෙන දෙයක් තමයි 2015 'පොද්ද' කල්ල 'හිටන්' වෙනුවට නිමල් ලොක්ක දැම්මනම් අද කතාව මීට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ කියනඑක.. ඒවා ඒ උනාට කියන්න බෑ.. කෙළවෙන්න තියෙනවනම් සක්කරයා ආවත් කෙලවෙනවම තමයි.. හා..හා.. දේශපාලනේ අදාළ නෑනේ මට.. කියන්න ආවේ මොකක්ද? ආ කඳන ගැන නේ..

කඳන කියන්නේ ඒ කාලේ වෙනකොටත් ඉඳුල් නොවිච්චි පට්ට ලස්සන ගමක්.. එහෙ ලයිෆ් එකත් හරි වෙනස්. නගරයෙන් ඈත වෙලා තිබ්බත් මිනිස්සුන්ගේ සියලු බැඳීම් තිබ්බේ නගරයත් එක්ක නිසා ඒ මිනිස්සු හැමදාම උදේම නැගිටලා උයල පිහල කාල බීල ගමේ කාන්තාවෝ වැඩිහිටියෝ විතරක් ඉතුරු වෙද්දී අනිත් හැමෝම වගේ බස් එකෙන් නගරෙට එනවා. නගරය වැඩ අරඹන කොට මේ මිනිස්සුත් එතන. උදේ ගමෙන් එන බස් දෙක තුන හා හවස ගමට යන බස් දෙක තුන කියන්නේ ගමේ දින චරියාවේ වැදගත්ම අංග දෙකක්.. එතන තියෙනවා ලස්සන එකමුතුවක්. හදිසියක් නිසා තමන් එදාට යන බස් එකට ඒ ගන්න බැරි උනොත් අන්තිම බස් එකට කොහොම හරි පණිවිඩේ දීල ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ.. සමහරවිට පැයක් හමාරක් ගමන පමා උනත් පමා වෙන පුද්ගලයා ගැන හැමෝම හොයල බලනවා මිසක් තමන්ගේ ගමන පරක්කු වෙනවා කියල කවුරුවත්ම කවදාවත් කම්ප්ලේන් කරන්නේ නෑ. අන්න ඒ වගේ. මිනිස්සුත් හරිම අහිංසක සුන්දර ඈයෝ.. නැන්දලා මාමල, බාප්පල පුන්චිල අයියල අක්කල දුවල පුතාල තමයි හැමෝම.. කොටිම්ම ඔක්කොම වගේ නෑදෑයෝ.. ආ ඔය නිමල් ලොක්කගේ මහගෙවල් මේ අපේ යාළුවගේ ගෙදෙට්ට පිටිපස්සේ වගේ.. ඒ කාලේ බුවා කියන්නේ නිමල් මාම කියල.. දැන්නම් මක්ක කියනවද මංදා..

කඳන ගැන කියුව වැඩිද මංදා.. හරි.. ඉතීම් ඔන්න දැන් මාත් කඳන පදිංචියට ගිහින් එහෙ ජිවිතේට හුරු උනා කියමුකෝ.. ඒ කියන්නේ උදේ පහට විතර නැගිටලා පට්ට හීතලේම වොෂ් එකක් දාගෙන උණු උණුවෙන් රතු කැකුළු බත් වේලක් බඩ පිරෙන්න කාලා  5.45 ට එන බදුලු බස් එකේ නගරෙට එනවා.. ඔන්න ඔය බස් එකේම අපිත් එක්ක ආවා ලස්සන ඇස් දෙකක් තියෙන අක්කි බබෙක්.. වැඩේ කියන්නේ අක්කිගෙ නමත් 'නයනා'.. සරීර ලක්සන වලින් ගත්තොත් මේ උන්දී මට හාත්පසින්ම වෙනස්.. ඒ කියන්නේ 'ලස්සනයි, සුදුයි, පුංචියි..'.. හැබැයි මට හරිම ලෙන්ගතුයි.. කතා කරත් බඩ පිරෙනවා.. කතා කරනකොට ළඟටම ඇවිත් අර ලස්සන ඇස් වලින් කෙලින්ම ඇස්  දිහා බලාගෙන බොහොම හිමින් කතා කරන්නේ.. රැවුල වැවිල වැඩියි නම් ඒක කියන්නේ මූන අතගාල.. කතා කරන ගමන් ෂර්ට් එකේ කොලර් එක හදනවා,, බොත්තම් පේළිය කෙලින් කරනවා.. ඒ කියන්නේ කතා කරන වචන ටික උනත් 'බොක්කේන්ම තමයි කතා කරන්නේ.. මෙයා එක්ක තව අක්කෙක් ආවා ඈ නෑ කමෙන් මගේ යාලුවාගේ නැන්දා.. :) මෙයාලා ආවේ මං අර කලින් කියපු බාහිර උපාධි පංතියට.. පස්සේ මතක් වෙලා මං මේ ගැන බැලුව ඇත්තටම ඒ පන්ති වලට ඒ දවස්වල කියුවේ GAQ ක්ලාස් කියල.. ඔය GAQ කියන එකට ලංකාවටම විතරක් අදාළ තේරුමක් තියෙනවා ගූගල් එකේ General Arts Qualifying (exam; Sri Lanka) කියල.. මට හිතෙන්නේ BA(General) එකේ මුල් අදියර වෙන්න ඇති.. හරි.. ඉතීම් ඔය අක්කලා දෙන්නත් අපේ සෙට් එකටම සෙට් වෙච්චි.. ඒ අක්කල නිසා GAQ ක්ලාස් එකේ අනිත් අක්කලත් අපිට සෙට් වෙච්චි.. ඕකට ඒ ක්ලාස් එකේ අයියල නම් ඒ හැටි මනාපයක් තිබ්බේ නෑ උනාට අපි ඒවාට සැලුනේ නෑ..

ඔහොම අපි සතුටින් සමාදානෙන් ඉන්න අතරේ (ඉඳල හිටලා ඒ ලෙවල් වලට පාඩමුත් කරා ඈ!) මගේ හිත දවසින් දවස අර අක්ක වෙත බැඳුනා කියහන්කෝ.. එයයිත් අපරාදේ කියන්න බෑ මට සෑහෙන්න 'එක' දුන්න.. ඔක්කොටම හපන් අපේ ගොබිලෝ ටික.. උන් අපි දෙන්නව කසාදි බන්දල දීලත් ඉවරයි ඕක ඉව වැටෙනකොටම.. බස් එකේ එක සීට් එක වෙන්කර ගෙන ඉන්න එක, දවල්ට එක බත් එක කන එක, සිකරට් බොනවට බනින එක, දෙන්නට දෙන්න හොඳට පාඩම් කරන්න කියාගන්න එක වගේ දේවල් තමයි අපේ ලව් එකේ මුල්ම අදියර උනේ..

ඊළඟ පියවර විදියට මම කලේ කට්ටියවම දවසක් අපේ ගෙදර එක්ක ගිය එක.. සාමාන්‍යයෙන් අපේ ගෙදර කවුරු ආවත් ඒ ළඟ තේ වත්තේ ඇවිදින්න යන එක පුරුද්දක්.. තේ වත්තට ගියාම දැන් ඌව වෙල්ලස්ස කැම්පස් එක හදල තියෙන පැත්තෙන් මුළු බදුල්ල නගරයම ලස්සනට බලා ගන්න පුළුවන්.. ඉතීම් දවල්ට කෑම හදනකම් අපිත් ගියා තේ වත්තේ ඇවිදින්න.. අන්න එදා තමයි අපි දෙන්න පළවෙනියටම ඔෆීෂියල් පෙම්වත්තු වගේ කටයුතු කලේ.. කල කටයුතු මොනවද කියල අහනවා එහෙම නෙවෙයි ඔන්න.. ඊට පස්සේ ඉරිදා නිවාඩු දවසට අපි කඳන පහලින් ගලන ඔයේ නාන්න යනවා.. එයා ඉරිදට යාළුවගේ ගෙදර එනවා.. අපි නාන්න යන්නේ එතනින්.. උදේ නවයට විතර නාන්න යන්න පහලට බැස්සම හවස තුන හතරට තමයි 'නාලා' එන්නේ ගෙදර.. :D

තව විස්තර ලියන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. නැතුව මට මොනවා ලියවෙයිද කියල බයකට එහෙම නොවෙයි ඈ! හෙහ් හෙහ්.. අපි ඔහොම කොච්චර ආදරෙන් සමාදරෙන් හිටියත් කවදාවත් 'ආදරයක්' ගැන කතා කරලා නෑ.. හොඳකටද නරකටද මංදා එහෙම දෙයක් ගැන කතා කරන්න උත්සාහ කරලම නැද්ද කොහෙද.. ඒ කාලේ කොහොමත් දැන් වගේ අක්ක මල්ලි ලව් ඒ හැටි ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ.. සමාජ අසම්මතයක් විදියටම නොවුනත් පොඩි ප්‍රතිරෝදයක් තිබුන අපේ හිත්වලම ඒ වගේ දේවලට.. අනේ මංදා.. ඒ ලෙවල් ලියල ඉවරවෙලා මම කඳනට ආයුබෝවන් කියල ගෙදර ආව එකෙන් අපි හම්බ වෙන ෆ්‍රිකුවන්සි එක සෑහෙන්න අඩු උනා.. වෙනද වගේ ගැන්සිය නැති නිසා මම ඉන්ස්ටිටියුට් එක පැත්තට ගියේ නෑ. ඒ වෙනුවට හවස ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ පැත්තට ගිහින් එයාලව බස් එකට ඇරලවල එනවා. සෙල්ලම් කරන්න හිත ගිය දවසට ඒකත් මිස් වෙනවා.. හ්ම්ම්.. නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ එතනින් එහාට ගොඩක් දේවල් රුවිතෙටමයි උනේ.. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් ටික කාලෙකින්ම මම නේවි ජොයින් වෙනවා කියන ආරංචියට නම් එයා පණිවුඩයක්ම එවල හම්බවෙලා දුක සතුට දෙකම මුසුව සුභ පැතුවා..

කොහොම හරි ඉන්ටරෙස්ටින්ම වැඩේ උනේ ඊට පස්සේ.. පලවෙනි මාස තුනේ ඉංග්‍රීසි කෝස් එකෙන් පස්සේ අපිව ඇකඩමියට යැව්වම එතන එකම භිෂණයක්.. අපිට සීනියර් බැච් තුනක් එතකොටත් ඇකඩමියේ ට්‍රේනින් වෙනවා.. උන්ගේ අටෝරසියක් කැට මැද්දේ තිබුන එකක් තමයි 'කෙල්ලගෙන් ' ලැබුන ලියුම උන් ඉස්සරහ කියවන එක.. ඒක දන්නේ පස්සේ.. කෙල්ලක් නෑ  කියපු උන්ට තඩි ගෙම්බෙක් හොයල අල්ලාගෙන ඇති කරන්න කියපු නිසා හා අපි ලියුම් කියවනකම් උන් තම තමන්ගේ ගෙම්බා හුරතල් කර කර, උන්ට 'තොලක් එහෙම දාල' ආතල් ගන්න සෙට් වීම නිසා මම ගත්ත කටටම කියුව මට 'කේලලක්' ඉන්නවයි කියල.. හුටා ඊට පස්සේ තමයි දන්නේ කෙල්ලගේ පින්තුරයක් ළඟ තියා ගන්නත් ඕනි එවන ලියුම් සති අන්තේ උන් ඉස්සරහ කියවන්නත් ඕනි කියල.. අන්න ඒ වෙලාවේ මට ආයෙම පිහිටට ආවේ මගේ ලස්සන ඇස් අක්ක බබා තමයි.. මම වහාම කෝල් එකක් දීල යාළුවට විස්තරේ කියල එයාට ෆෝන් එකට එන්න කියුව පහුවෙනිදට කතා කරන්න. අපේ එකා ඒක කියපු වෙලාවේ නම් කෙල්ල හොඳටම රතු වෙලා ඇඹරුනා ලු.. කොහොම හරි එයා පහුවෙනිදා කියපු වෙලාවට යාළුවගේ ගෙදරට ඇවිත් මට කතා කලා.. මම විස්තරේ කියුවම ඒ සතියෙම පොඩි ෆොටෝ එකකුත් දාල සාමාන්‍ය විස්තර අහල ලියුමක් එවල තිබ්බ.. ඒ ෆොටෝ එක දැක්කම අරුන් කියුවනේ මේ කෙල්ලට පිස්සුද යකෝ තෝ වගේ වළහැඩියෙක් එක්ක යාලු වෙන්න කියල.. හැක්. ලියුම කියෙව්වම ඇහුව ඒ උඹේ කෙල්ලද අම්මාද කියල.. මං පහුවෙනිදම ආයෙම කෝල් එකක් අමාරුවෙන් අරගෙන ඔය කතන්දර දෙකම එයාට කියුව. එදානම් අපි දෙන්නම කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා.. එදා ඉඳල මාස දෙක තුනක් යනකම් එයා පැණි බේරෙන ලව් ලෙටර් සති පතා වගේ එව්වා.. කොහොම හරි අපේ බැචාලත් තාම හිතාගෙන ඉන්නේ 'නයනා' තමයි ඒ කාලේ ලව් එක කියල..

මාස දෙක තුනකින් ඒ ගොන් පාට් එක ඉවර උනාට පස්සේ පැණි ලියුම් 'ගෙන්න ගන්නා' එකත් නතර උනා.. අහම්බෙන් මිසක් කතා කරන්න උනෙත් නෑ.. ඔය අතරේ එයා බාහිර උපාධිය ඉවර කරලා 'ඒජිඔෆිස්සෙකේ' රස්සාවකට ගියා.. පස්සේ ආරංචි උනා කොල්ලෙක් සෙට්වෙලා ඉන්නවා කියල.. තවත් කාලෙකින් ආරංචි උනා බැන්දයි කියල.. පස්සේ පස්සේ ආරංචි එන එකත් නතර උනා.. :)

මේ බොහොම මෑතක.. බොහොම මෑතක.. මට දවසක් එයා අහම්බෙන් හම්බුනා බදුල්ලේදී.. අනේ.. අර ලස්සන ඇස් දෙකයි ඒ ලෙංගතු කමයි එහෙමමයි.. එදා කතා කරෙත් ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මගේ ටී ෂර්ට් එකේ කොලර් එක හද හදා.. දැන් ලොකු ළමයි දෙන්නෙක්ගේ අම්මෙක්.. හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා.. මගේ විස්තරත් ඇහුව.. නෝනවයි ළමයින්වයි එක්කගෙන දවසක එහෙ එන්නත් ආරාධනා කරා.. මමත් ඉතින් කට්ටියටම ගාල්ලේ එන්න කියල ආරාධනා කරා.. අන්න එදා මම පළවෙනි වතාවට එයාට 'අක්කේ' කියල කතා කරා.. එයා නම් කලිනුත් කියල තියෙනවා.. ඒ වුනාට එදා ආයෙම කට පුරා හිනාවෙලා 'මල්ලී' කියල කියුව..  'මට පෙම් කළ' කියල කියන්න පුලුවන්ද බැරිද මංදා.. සනත් නන්දසිරිගේ මේ සින්දුව ඇහෙද්දී මට එයාවවත් එයාගේ අහිංසක ලස්සන අමුතු ඇස් දෙකවත් මතක් වෙන එක නවත්වන්නම බෑ..

ඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා.. මා හා හිනැහුණු අහිංසකාවිය..
අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. ……………………… මුදු නිසංසලාවිය..
මමනම් ආසයි අහන්න නයනා.. ඉස්සර වාගේ ඔබේ මුවින්..
දෙනෙත පියාගෙන කියන්න මුමුණා..
එක වදනක් හෝ කෝල ලෙසින්.. ..

Sunday 20 January 2019

පොලිස් කොත්තුවක් සමඟ වසර තුනකට පසු නැවතත් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට..

කුරුඳුවත්ත පොලිසියත් එක්ක මගේ අත්‍යන්ත බැඳීමක් නෙව තියෙන්නේ.. 2016 ජනේරු මාසේ අහක යන මඟුලක් ෆොටෝ අල්ලල කුරුඳුවත්ත පොලිසියේ දවසක් ලගින්න උනායින් පස්සේ මං කොටිම්ම ආයේ රීඩ් ඇවනියු එක පැත්තෙන්වත් හදිසියකටවත් නොයා හිටියේ.. ඒ තරම් ප්‍රිය මනාපයි පොලිස් උත්තමයන්ව එදා ඉඳං හිටං..

ඒ උනාට ඊයේ සෑ උනානේ ආයිම හෙටානිද්දට එහෙ ගිහින් එන්න සිද්ද වෙන වැඩක්.. ඊයේ සෑ නවයත් පහුවෙල.. මං ගංගාරාමේ පැත්තේ ඉඳං ඇවිල්ල හිට පිත්තල හංදියෙන් වමට දාන්න යනකොට මයෙ අම්මපල්ල කහ ලයිට් එක තිබුනේ.. ඉතිම් මං ආපු වේගෙන්ම නැවුව වමට.. එතකොටම රතු ලයිට් එක පත්තු උනා තමයි ඉතිම්.. ඒක වෙනම කතාවක්.. අපොයි හරෝනකොටම පැන්නේ නැද්ද පොලිස් අංකල්ල දෙන්නෙක් ඉස්සරහට..
පොලිස් කාරයෙක් උනත් සුද්දෙක් නම් අවුලක් නෑ සර්...

ඉතිම් එයාල මගේ ලයිසම පරිස්සමට තියාගෙන මට කොල කෑල්ලක් දීල කියුව මේ දවස්වල ආණ්ඩුවටත් සල්ලි නැති නිසා තැපැල් කන්තෝරුවට සුපියල් 1100/- ගෙවල පොලිසියට ඇවිත් ලයිසම ඉල්ල ගන්න කියල.. කොහෙ පොලිසියටද ඇහුවම තමයි මගෙ මල එජස් වුනේ.. ඇයි යකෝ මේ ලංකාවටම තියෙන්නේ කුරුඳුවත්ත පොලිසිය විතරද.. ඉඳකින්.. දැන් පලකො ඔය ගුබ්බෑයම අස්සේ ආයෙම.. නිකම්ම යන්න හොඳ නැති නිසා පොලිසියට පොඩි මඩකුත් ගහගෙන මගේ ඇරියස් එකත් කවර් කරගන්න හිතුන මේ කතාව දාන්න බ්ලොග් එකේ.. හෙහ් හෙහ්.. ආං එහෙමයි අපි ඈ!

මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

"පොලිස් කොත්තු දෙකා…..යි…."

පොලිස් කොත්තුවක් නොවේ..

විනාඩි පහක් යන්න කලින් හොඳ උනු උනු කොත්තු දෙකක් අරුන් දෙන්නට හම්බුනා.. මට හෙන කුතුහලේ මේ පොලිස් කොත්තු සීන් එක.. මම හෙමීට කොල්ලෙක් ලඟට කිට්ටු කලා..

"ඈ.. බං.. උඹල පොලීසියට හෙන බක්තිය නෙහ්.. ස්පෙශල් පොලිස් කොත්තු විනාඩි පහෙන් දෙන්නෙ ටේබල් එකට.."

ඌ කැත විදියෙ හිනාවක් දාල මෙහෙම කියුව..

"සර් කාටවත් කියන්නේ නැති බව දන්නව.. ඔය යක්කු සල්ලි දෙන්නේ නෑනෙ සර්..  අපි ඔය බාගෙට කාල ඉතුරු කරන කොත්තු, චිකන් අඬු එහෙම වෙනම එකතු කරල තියනව.. ඉතිම් එනකොටම ඒවයින් ලොකු කොත්තු දෙකක් මිරිස් සැරට අලුතෙන් ගහල දුන්නම වැඩේ ශේප්!.."

හායි යාළුවනේ.. සඳුදට මාව කු.පො.යේ ඇරස්ට් කල්ල කියල ආරංචි උනොත් එහෙම හොඳවැයින් පොලිස් කොත්තුවකුත් අරං මාව බලන්න එන්ටල..ජය වේවා! කියුව එහෙනම්..

ක.මි..

Tuesday 8 January 2019

"ගාල්ලගේ මැරුණම ඔළුව ගෙනියනවා.." Bravest of the Brave; Fondly Remembering the Founder 2IC of SLN's Special Boat Squadron- Late LCdr Sandun Gallage

෴සදාකාලික වීරයෙක්෴
ජාතිය රන් විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹවේ
සුරතල් සිඟිති සිනා නගමින් මව් ඇකයේ නැලවෙද්දී මවගෙන් ඇසෙන දේශාභිමානී ගායනා ඇසෙන විට ඒ කුඩා ළයේ දෑ බැති මල් නූපදීයයි කාටනම් කිව හැකිද ? 1970 ඔක්තෝබර් මස 19 දින කැදැල්ල එළිය කරන්නට උපන් ඒ කිරි කැටියා ඉන් වසර 26කට පසු 1996 ඔක්තෝබර් 20 දින වැදූ මව නොසිඳෙන සෝ සයුරක ගිල්වමින් දිනූ දැයට තම දිවි පුද කල බව අනේ…ඒ සිත් කෙසේ දරා ගන්නද ?
ඔහු… 
සමන්ත වරුණ ගාල්ලගේ ,
ලුතිනන් කොමාන්ඩර් ,
NRP 609 ,
ශ්රී ලංකා නාවික හමුදාව 
 As an Officer Cadet- early 90's
සඳුන් යන නමින් සැමගේ සිත් දිනා ගත් ඔහු කුඩා කල සිටම හුරුබුහුටි කාර්යශූර දරුවෙකු වුනා . රගර්, කරාටේ ,ජූඩෝ, පිහිනුම් අංශ වලින් පාසලේ කැපී පෙනෙන සිසුවෙකු වූ ඔහු ගැන ගුරුවරුන් පවා අහස උසට බලාපොරොත්තු තබා ගත්තා . ගල්කිස්ස ජීවිතාරක්ෂක සමාජයේ පිහිනුම් ශූරයෙකු වූ සඳුන් කැළණියේ ගංවතුරට හසුවූ 38 දෙනෙකු බේරා ගත් නමුත් එතරම් වෙහෙස වී සිටියදීත් " ඒ මිනිස්සු බඩගින්නෙ ඉඳිත්දි මට කන්න බෑ අම්මේ " කියා එදින නිරාහාරව ගත කලා .

මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපුන් අවිහිංසක තරුණයෙකු වුනත් සඳුන්ගේ පැතුම වුනේ රටේ පවතින යුධමය වාතාවරණය තුරන් කොට සාමය උදා කරන සටනට උරදෙන්නට හමුදා සේවයට බැඳෙන්නටයි . "පුතේ වීර මාතාවක් වෙන්න මාත් කැමතියි . ඒත් දැන් මේ රටේ තියෙන්නේ බිස්නස් එකක් . තරුණ ළමයි වෙළඳ භාණ්ඩ තත්වයට පත් වෙලා තියෙන නිසයි මම ඔයා හමුදාවට බැඳෙනවට අකමැති " මව ඔහුට විරුද්ධ වුනේ එහෙමයි . "අම්මි මේ situation එක නිසා ඉදිරියේදී සිංහළ දෙමළ මුස්ලිම් මිනිසුන්ට ජීවත් වෙන්න රටක් නැති වෙනවා . මම කවදාහරි රටට සේවයක් කරලා මැරුණොත් අම්මාට මාව මේ ලෝකෙට බිහිකල එක ගැන ආඩම්බර වෙන්න පුළුවනි." ඔහුගේ අදහස වුනේ එයයි . ඔහු පළමුවෙන් අයදුම් කල යුධ හමුදා සේවයට යන්නට මව කැමති කරවා ගන්නට නොහැකි වුනත් තම පුතුට දැඩි ඇති ආදරය නිසාම දෙවන වරනම් ඔහුගේ ආසාවට විරුද්ධ වන්නට අම්මාට නොහැකි වුනා .

As a Midshipman- Prior to commission
1990 පෙබරවාරි 01 දින ශ්රී ලංකා නාවික හමුදා සේවයට එක්වූ ඔහු පුහුණු කාලය තුලදීද දක්ෂ , අවංක , එඩිතර , විනය ගරුක නිළ දරුවෙකු වුනා . ඔහු නාවික හමුදාවේ සිටියදී රට වෙනුවෙන් කල සේවය ගැන , ඔහු කළ වික්රමයන් ගැන පියාට පවසා තිබුනත් මව දැන ගත්තේ ඔහු මිය ගියාටත් පසුවයි . " ලොකු අම්මා මල් යහනාවල් උඩ අයියලාව හැදුවට එයාට කොටි ගැන message එකක් ලැබුනම කන කෑම එකත් පැත්තක තියලයි කොටි වනසන්න යන්නේ . උන්ගෙ බෝට්ටු ගිල්ලවලම තමයි ආපහු එන්නෙත් " ඒ තොරතුරු මව දැන ගත්තේ නාවික හමුදාවේම සේවය කරන ඥාති පුතෙකුගෙන් . රටේ පවතින අවිචාර යුගය හේතුවෙන් සඳුන්ගේ බාප්පා ඔහුව හමුදාවෙන් අස්කරගෙන නවසීලන්තයට ගෙන්වා ගැනීමට උත්සාහ කලත් " බාප්පලා රට ගිහින් සැප වින්දට අපිත් ඒ දේම කලොත් මේ රටේ දුප්පත් මිනිසුන්ට ජීවත් වෙන්න රටක් කෝ ?" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ඔහුට වඩාත් ආදරේ කල බාප්පාගේත් හිත රිදවමින් . 

Commissioned as a Sub Lieutenant in 1992
1993 ජනවාරි 18 දිනය නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කලා . ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ නිළධාරින් දෙදෙනෙකු හා නාවිකයන් 42 ක් විශේෂ යාත්රා බලඝණය නමින් නාවික කොමාන්ඩෝ ඒකකයක් පිහිටුවා ගත්තා . එහි නිර්මාතෘ වූයේ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මැතිතුමායි . " Bravest of the Brave " ඔවුනගේ උදෘත පාඨය වුනා . මුහුද , ගොඩබිම හා ගුවන යන අංශ තුනෙහිම අති දක්ෂ කොමාන්ඩෝ සටන් කරුවන් ලෙස පුහුණුව ලබා විශේෂිතවූ මෙහෙයුම් සඳහා පෙරට යන නාවික හමුදා විශේෂ යාත්රා බළඝණය පිහිටුවීමේදී ඔහු එහි ආරම්භක දෙවන අණදෙන නිළධාරියා වූයේ ඔහුගේ ඒ උත්තරීතර කැපවීම නිසාවෙනි . අති දක්ෂ පිහිනුම් ශූරයෙක් , නිර්භීත සටන්කාමියෙක් ,ප්රහාරක යාත්රා මෙහෙවීමේ හා ඉලක්කයට වෙඩි තැබීමේ නිපුණයෙකු වූ ඔහු එම තනතුරට ඉහලම සුදුසුකම් දැරුවා .
අනෙක් අතට කොටි ඔත්තුකරුවන් ගැන ඔහුට තිබුනේ පුදුම ඉවක් . ඔවුන් සමගම සිනාසී කමින් බොමින් ගැවසුන දෙමළ වෛද්යවරයෙක් ගැන ඔහු අනතුරු ඇඟවූ අතර පරීක්ෂා කර බැලීමේදී පොළව යට තිබූ අවි ආයුධ සොයා ගත හැකි විය. නිවාඩු යන්නට ගිය උසස් නිළධාරියෙකුට " සර් , ඒ පාරෙන් යන්න එපා " කියූ ඔහුගේ කීම පිළිගත් නිසා එම නිළධාරියා හා පවුලේ අයගේ ජීවිත ආරක්ෂා විය .
පියකරු සිනාවෙන් හා නිහතමානි කතාවෙන් නාවික හමුදාවේ උසස් පහත් නිළ බේදයක් නොතකා සැමගේ සිත් දිනා සිටි මේ නිළධාරියා කිළාලි කලපුවේදී කොටින්ට එල්ල කල මරු ප්රහාර හේතුවෙන් සහ ඔහුගේ සටන්කාමී බව හේතුවෙන් කොටින්ගේ ඝාතන ලැයිස්තුවටද ඇතුලත් විය . ඔහුගේ නිවසට කතාකොට මවටත් මරණ තර්ජන එල්ල කරන තරමට ඔහු කොටින්ට හිසරදයක් වී සිටියේය . "ගාල්ලගේ මැරුණම ඔළුව ගෙනියනවා " යන කොටින්ගේ ප්රකාශය එකල නාවික හමුදාවේ ප්රසිද්ධ රහසක් විය . හමුදා සේවය පිළිබඳ නැවතත් මවගෙන් මැසිවිලි නැගෙන්නට විය . " එක පුතෙක් ඉන්න අම්මලත් තමන්ගෙ පුතාව යුද්දෙට යවද්දි පුතාලා තුන්දෙනෙක් ඉන්න අම්මා අකමැති වෙන්නේ ඇයි . අපි ඉපදෙන කොට ගෙනාවෙ මරණෙ විතරයි . ඉතින් රටට සේවයක් කරලා ඒ මරණයට වටිනාකමක් ලැබෙන විදියටයි අපි මැරෙන්න ඕනෙ. අම්මා ඒ ගැන ආඩම්බර වෙන්න " මවගේ කඳුළු මැද මවටත් සිතන්නට යමක් කියා දුන් ඔහුගේ පිළිතුර විය .
මේ අතර තුරුණු වියේ හුන් සඳුන්ට මල්සරාගේ හී සර පහරින් බේරෙන්නට නොහැකි විය. නාවික හමුදා නිළධාරිනියක වූ නිෂිකා කුමුදිනී සමඟ විවාහ දිවියට පත්වූ ඔහු රුමල් මිත්සර පුතුගේ ජන්මයෙන් පිය පදවියෙන් අභිෂේක ලැබුවේය .
Could be the last happiest movement of his life..
තමාගේ 26 වන උපන් දිනයට නිවාඩු එන බව නිවසට දන්වා තිබුනත් පැවරුන හදිසි රාජකාරියක් නිසා එම ගමන පසෙක ලන්නට සිදුවිය. 1996/10/20 දින සහෝදර නැවියන් සමඟ ප්රහාරක යාත්රාවකට නැගුනු ඔහු පිටත් වුනේ තවත් කොටි දඩයමකටයි . යාපනය චලෙයි , නල්ලතන්නිතුඩුවායිහි පිහිටි මුහුදු කොටි මර්මස්ථානයක් වනසන්නට එදා යුධ හමුදා හා නාවික හමුදා රණ ශූරයන් එක්ව මෙහෙයුමක් දියත් කලා . ඔවුන් වෙරළට ගොඩබසින්නට සූදානම් වෙද්දී කොටින්ගෙන් වෙඩි වරුසාවක් එල්ල විය . තම යාත්රාවේ සිටි නැවියන් දිරිමත් කරමින් සතුරන්ට එරෙහිව ඔහු එඩිතරව සටන් වැදුනා . ප්රති ප්රහාර එල්ල කරමින්ම තම නැවියන්ට මුහුදට පනින්නට අණ දුන් ඔහු නොකඩවා සතුරන් හා ගැටුනා . දරුණු සටන් පවතින අතරතුරේදී සතුරන්ගෙන් එල්ල වූ ප්රහාරයකට ඔහුද ලක් විය. රටට මහඟු සේවයක් ඉටු කරමින් සිටි සමන්ත වරුණ ගාල්ලගේ තම අභිමානවත් රණ සේවය නිමා කරමින් තම අවසන් හුස්ම ලක්මවට පුද කලේ එලෙසිනි .
රණ වික්රම පදක්කම , රණ ශූර පදක්කම , පූර්ණ භූමි හා වීර වික්රම විභූෂණයෙන් ජාතියෙන් පිදුම් ලද ඔහු වෙනුවෙන් " මෙවන් අකල් වියෝවක් නොවී සසර වසනා තුරා යලිත් හමුවනු මැනවි " ඔහුට ආදරය කල සහෟදයන්ගේ පැතුම වූවා සේම , සදාකාලික වීරයාණෙනි, ඔබ අපට අහිමිව වසර 22 ක් සපිරෙන මොහොතේ මෙලෙස ඔබ සමරමු.
"ඉතිරිවැ සිටිනා අප ලෙස වයසට
නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමැයෙති දිරුමට
නොම පිරිහෙති ඔහු වසර නිසා
ඉර බැස යද්දී - ඉර පායද්දී
අප සැම සිහිපත් කරමු ඔවුන් "

“They shall grow not old ,as we that are left grow old
Age shall not weary them ,nor the years condemn ,
At the going down of the sun , and in the morning ,
We will remember them”

- Subhashini Edirisooriya (Former Leading Medical Assistant and a close family friend of Gallage's family)

PS- Hi! Friends :) How do you do? I'll be back soon here. :)