Thursday 16 March 2017

සෙමා ආයතනයේ සබාපතිට මේ අභියෝගය භාර ගත හැකිද? No half measures when bloggers are around!


සෙමා ආයතනයේ සබාපති ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන
උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (Strategic Enterprise Management Agency -SEMA) හෙවත් සෙමා ආයතනයේ සබාපති ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන ගේ ලිපියක් ඊයේ දිවයින e-paper එකේ පළවී තිබෙනු දුටුවා.. ඒ ලිපියට අනුව ඔහු මේ අදහස සමාජගත කිරීමට උත්සහ ගෙන ඇති අයුරු දුටුවා. 
"...ගල්අඟුරු මත පදනම් වු පොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනිය බලශක්‌තිය වඩාත් ලාභදායී බව සනාථ විය. එබැවින් තවදුරටත් ගල් අඟුරු භාවිතයෙන් විදුලිබල උත්පාදනය ලාභදායී බව පෙන්වීම මිත්‍යාවක්‌ මෙන්ම වෙනත් අරමුණක්‌ සඳහා ජනතාව මුලාකිරීමකි. මෙම උත්සාහය සඳහා සාවද්‍ය දත්ත භාවිතය හා අත්‍යාවශ්‍ය දත්ත වසන් කිරීම මෙන්ම යල් පැනගිය ගණිත ක්‍රමවේද භාවිතය ඉතා පැහැදිලිය. "

මේක විවාදාත්මක මාතෘකාවක්. මෑත කාලයේදී බ්ලොග් ලිවීමට පෙළඹුණු තරුණ විදුලි ඉංජිනේරුවෙකු වන පෙනෙන නොපෙනෙන බ්ලොග් අඩවියේ රචක නදීර විජේසිංග මේ මතයේ අඩුපාඩු පෙන්වා දෙමින් ලිපි කිහිපයක්ම රචනා කර තිබෙනු දුටු බැවින් මේ ලිපිය නදීර ගේ අවධානයට යොමු කරවීමට මා උත්සහ ගත්තා. ඒ වෙනකොටත් ඔහු ඊට පිළිතුරු ලිපියක් සකස් කරමිනුයි ඉඳ ඇත්තේ. ඒ අනුව සෙමා සභාපතිවරයාගේ ලිපියට පිළිතුරු ලිපියක් නිවැරදි දත්ත හා මුලාශ්‍ර ද සහිතව නදීර විසින් අද දවසේදී පළකර තිබෙනවා. සත්‍ය වශයෙන්ම ඔහු ඉදිරිපත් කරන කරුණු බොහෝ තර්කානුකුලයි. ඒ වගේම මෙහි සැඟවුණු කතා මතු කරවන සුළුයි. තරුණ විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් නදීර ගේ මේ ඉදිරිපත්වීම එක ආකාරයකින් ඔහුගේම වෘත්තීය අනාගතය අතුරේ රැගෙන යාමක්. නිවැරදි තොරතුරු දන ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ පිපාසාවෙන් පෙලෙන කොටසක් ලෙස අපි බ්ලොග් කරුවන් මේ විවධ මත පතුරවන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව මගේ හැඟීමයි. එසේම මෙහිදී ඔවුන් මතු කරන කාරණා වල ප්‍රයෝගික බවද ප්‍රශ්ණ කල යුතුයි. 

එන්න. මේ සංවාදයට දායක වෙන්න.. අපි උත්සහ කරමු සෙමා සභාපතිවරයා ලවා මිට පිළිතුරක් ලබා ගැනීමට.. ඒ වගේම නදීරගේ පිළිතුර (සංස්කරණය කර) දිවයින e-paper එකේම පල කරවීමටත්.. 


සංවාදය ට එකතු වෙන්න මෙතනින් පෙනෙන නොපෙනෙන ලෝකයට ඇතුල් වෙන්න. 

Tuesday 7 March 2017

අම්බෝහ්.. වෝටර්ස් එජ් හෙවත් 'දියවන්නාව ආශ්‍රයේ මෙවර පිපෙන' නෙළුම් පොහොට්ටු Nelumleaks- Grand Nelumyaya Blog Awards 2016

අම්බෝහ්.. වෝටර්ස් එජ්? අන්න එහෙමයි ඕක ඇහිච්ච ගමන් මට කියවුනේ.. ඔය හෝටලේ නම ඇහෙන කොටම මට මතක් වෙන්නේ නළු නිළි නෝනා මහත්වරුන්ගේ නැහ්නන් ක්‍රිකට් ක්‍රීඩක නෝනා මහත්තුරුන්ගේ උපන්දින සාද ගන්න හදපු තැනක් වගේ එකක්.. ඉතිං අපි මේ අහිංසක බ්ලොග්කාරයොන්ගේ පුංචි උස්සවයක් වගේ එකක් ඕකේ ගන්නවා කියුවම..හුහ්.. අම්මෝහ්.. කියවෙන්නේ නැද්ද? 

මං එක දෙයක්නම් ඉන්තේරුවෙන්ම දන්නවා.. අපි මේ පුංචි බ්ලොග් මහත්තැන්ලාටත් වෝටර්ස් එජ් යන්න පාර කපලා දුන්නේ අපේ නෙගටිව් මාකටිං අංශයේ ප්‍රධානි සරසාතුමා හා එතුමාගේ සත්ගුණවත් ගෝල බාල ඇනෝ නඩය තමයි.. සරසතුමා ඇතුළු නඩේ පස්ස උඩ දාගෙන නෙළුන්අජියා නොහොත් ලංඩන් ඇල්බට් ටයි නෙළුම්යායේ මහා මොළකාර ඉන්ටර්පෝල් රතු වරෙන්තුධාරී තුමාටයි කෙලින්න ගත්ත එකෙන් තමයි උන්නැහේලට ඕනේ වෙලා තියෙන්නේ මේක නිකම්ම නිකං හේදිලා යන්න නොදී ඔය කියන ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන්ම කරන්න.. ඉතිං ඔය ලොකු ලොකු ඌරෝ කැකුණ තලනකොට අපි වගේ හබන් කුකුළන්ටත් එහෙන් මෙහෙන් වෝටර්ස් එජ් කෑලි වදිනවා.. හෙහ්.. කොහොමහරි මාත් වැඩිය ඇඳලා තිබ්බේ නැති සූට් එකක් එහෙම අපුල්ලලා අරන් තියා ගත්තා 25 වෝටර්ස් එජ් යන්න.. ඔය වගේ තැනකට යනකොට පිළිවෙලකට යන්න එපයි හිටං. ගිය පාර අර අමාත්තියාන්සේ තිබ්බ එකටත් කළු සේට් එකයි ඩෙනිමයි ඇඳලා ගියා කියලත් මේ අසානාසි එක එක කඩප්පුලි කතා කියුව එක ඔන්නොහේ.. හැබැයි මෙතනත් එහෙම විසේස ඇඳුමක් එහම කියල නෑ.. තමන් කමැති එකක් ඇඳන් එන්න පුළුවන්ලු. 

මේ පාර තියෙන්නේ පුටු 250 ලු. අච්චර ලොකු හෝටලයක් වෙලත් පුටු දෙසිය පනහද අම්මප තියෙන්නේ.. ඒ මොනවා උනත් එන්න හිතං ඉන්න උන්දලා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් 'ගොයින්' කියල නම ලකුණු කරලා එන එක හොඳයි.. හැබැයි ඕකට ඉතින් ෆේස් බුක් අකවුන්ට් එහෙකුත් තියෙන්න ඕනි මයේ හිතේ.. ඒකට මනාප නැති උන් ඉන්නවනම් ඔය දන්නා අඳුනන එකෙක් මාර්ගෙන් හරි මාත් එනවා කියල කියල තියහල්ල. මොකද ඔව්වයි ඉඳගන්න කන්න බොන්න එහෙම දෙන්නේ එක පිළිවෙලකටනේ.. ඒ වැඩේට ලේසියි මයේ හිතේ.. ඒ නැතත් ඉතින් එදාටම උනත් එන එකෙක් ට එන්න බැරිවෙන එකක් නෑ ආයිබෝං..

ඔය කතන්දරේ ගැන ලස්සන ලස්සන කතා බහ යනෝ මේ ටිකේ... වෝටර්ස් එජ් කියුවම බර වැඩියි වැඩියි වගේනම් 'තොටුපළ අයිනේ' වගේ අපිට සෙට් වෙන නමක් දාගමුලු මාතලන් කියනවා..හැක්. එදාට විතරක් හෝටලේ නම වෙනස් කරන්න දෙනවනම් ඒකත් මාරු අයිඩියාව.. ඒක අහල එක මහත්තයෙක් බලන් ඉන්නේ කවුරුහරි අත වනනකම් එයත් වන්න.. අටමා ට නම් එතන තියෙන සෙටප් එක හරියන්නේ නැතිලු.. ඒ සෙටප් එක හරි නැහ්නන් අපි ගෙදරින් සෙටප් එකක් ගෙනියල සිංදු අහමු මෙයා කියල කියන්නත් ගිහිං මං ඉතිං කියුවේ නෑ..  ඕකගේ කට හොඳ නෑනේ.. මට එදාට වතුර අයිනේ නෙවෙයි ගිලිලා ඉන්න වෙන්නේ ඕවා කියන්න ගිහිං. 

මෙදා පාර සම්මාන දෙන එක ගැනත් මුලදී මුලදී එක එක කතන්දර කතා උනා.. කැටගරි 16 කට එකකට ස්ථාන තුන ගානේ.. ගියපාර වගේම.. ඊළඟට හොඳම බ්ලොග්කරු 1,2,3 ස්ථාන හා කුසලතා සම්මාන 2ක්, හොඳම දෙමළ මාධ්‍ය බ්ලොග්කරු, වගේම නෙලුම්යාය ලයිෆ් ටයිම් අවොර්ඩ් එක (එකක්ද දෙකක්ද මංදා) තව කතාවක් යනවා හොඳම ව්ලොගර් (vlogger) කියල එහෙකුත් දෙන්න.. කොහොම හරි ඉතිං මේ ටිකේ පුල් බිසී.. බ්ලොග් කියවන්නයි.. අජියා අටම් හා ඉවාන් එක්ක ඊ මේල් වලින් කෙල ගන්නයි.. :)

ඔය හැම කැටගරියටම අවසාන නිර්දේශ ලෙස උපරිම බ්ලොග් අඩවි/ බ්ලොග් පෝස්ට් පහ ගානේ තව සතියක් වගේ ඇතුලත ප්‍රකාශයට පත් කරන්න තමයි උත්සාහය.. ඒ නම් කරන හැමෝටම එදාට එතනට එන්න කියල විශේෂයෙන් අරාධනා කරනවා. එන්න නොහැකිනම් අඩුම තරමින් නියෝජිතයෙක්වත් එවන්න. ගියපාර සමහරුන්ගේ සම්මාන දුන්නේ ඔෆිස් වල, පාරවල් වල නැත්නම් බාර් වල මාස ගානකට පස්සේ.. තවත් දෙතුන් දෙනෙක් ගේ සම්මාන තාම මගේ අල්මාරියේ.. මේ පාර එහෙම කරන්න අදහසක් නෑ. අමාරුවෙන් කරන මේ වැඩේට පැමිනිමෙන්වත් අනුග්‍රහය දක්වන්න බැරිනම් ඒක සම්මාන ලබන්න නුසුදුසුකමක් විදියට තමයි සලකන්න වෙන්නේ. ඒකට දැනට පිළියමක් කතා කරගෙන යනවා.. ලකුණු ප්‍රතිශතයෙන් 5%ක් වගේ සම්මාන උළෙලට සහභාගී වීම වෙනුවෙන් වෙන් කරන්න. මේ ලකුණු දීල තියෙන පිළිවෙලට බොහොම සුළු වශයෙන් තමයි එකකට එකක් වෙනස් වෙන්නේ.. ඉතිං 'අති විශේෂ' එකක් හැර අනිත් ඕනෙම එකක් නොපැමිණීම නිසා ඊට පහලින් තියෙන එකකින් රීප්ලේස් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක.. දැන් එහෙමයි.. මේ පාර තියෙන අවධානයත් එක්ක බ්ලොග් සම්මාන උළෙල කියන එකේ වටිනාකම ඒ විදියට ඉහල යනවා.

තව ගොසිප් දෙක තුනක් කියන්නත් කට කහනවා.. ඒත් ඉතිං තාම අජෙන්ඩ එක හදලත් නැති එකේ.. අනික බැණුම් අහන තරමට අජියා ටත් කියන්න මොනවා හරි ඉතුරු කරන්නත් ඕනි එකේ.. ඔන්නොහෙ අදට ඔය ඇති. එහෙනම් ජැන්ඩි සූට් ගහල මාර්තු 25 හවස වෝටර්ස් එජ එකේදී සෙට් වෙමු ඈ! ජයවේවා!