Thursday 28 January 2016

නෙලුම්යාය බ්ලොග් සම්මාන 2015 - උණුසුම් තරඟයක්.. Heated heats as blog awards in vicinity

ඈ.. කලණයියේ.. ඉතින් අපිට කියන්නකෝ මොකක්ද නෙලුම්යාය කියන්නේ.. මොකක්ද නෙලුම්යායෙයි සිංහල බ්ලොග් වලයි තියෙන සම්භන්දේ? 

පහුගිය ජනවාරි 4 වෙනිදා ඉස්කෝලේ ළමයින් කණ්ඩායමකට පාසල් උපකරණ බෙදා දීමේ වැඩකට බදුල්ලේ ගිය වෙලාවේ හම්බ උණු නමුණුකුලෙන් එහා බ්ලොග් එක ලියන භාග්‍යා හේමමාලි නංගි එහෙම ඇහුවත් ඒ වෙලාවේ තිබ්බ කලබලේට ඒ ගැන යමක් කියල දෙන්න බැරි උනා. නෙලුම්යායෙන් සංවිධානය කරන දෙවෙනි බ්ලොග් සම්මාන උළෙල අත පොවන මානයට ඇවිත් තියෙද්දී මට මතක් උනේ ගිය අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා 'නෙලුම්යායේ ඉස්සරහට මොකද වෙන්නේ' කියල පොස්ට් එකක් දැම්මට පස්සේ ඒ ගැන යමක් නැවත ලියන්න බැරි උනා කියලා.. 

පහුගිය අවුරුද්දේ මොකද උනේ කියලා ඔය උඩින් කියපු පොස්ට් එක කියවල ඕනේ කෙනෙකුට බලා ගන්න පුළුවන්. මේ කියන්නේ මේ අවුරුද්දේ මොකද වෙන්න යන්නේ කියලා..

බලාපොරොත්තු උන විදියට බ්ලොග්කරුවන්ගේ සංසදය හෙවත් Blogger's Guild එක හැදුනේ නෑ.. එකට පක්ෂපාති වගේම අපක්ෂපාති විවේචනත් නොඅඩුව ලැබුනා. පුද්ගලිකව මම වගේම මා දන්නා පරිදි එහි සභාපති වශයෙන් නම්කළ මාතලන් පවා හිටියේ දැනට එහෙම සංසදයක් අවශ්‍ය නෑ කියන මතයේ. මොකද නම් ලිස්ට් අරන් කන්ටක්ට් නම්බර් අරන් සංගමෙක සාමාජිකත්වයක් දුන්නම බ්ලොග්කරුවන්ගේ නිදහස සිමා වෙනවයි කියල හිතපු නිසා.

ඒක කොහොම වෙතත් 2015 කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් බ්ලොග් රචකයින් එකිනෙකා අඳුන ගත්ත වසරක්.. පත්තරයාගේ ගෙදර පාටියේදී.. නෙලුම්යාය සම්මාන උලෙලදී හා ඒක අවසානයේ අජිත් අයිය නැවතිලා හිටිය හෝටලේ බැල්කනියේදී, සයිබර් සිහින ගල්කිස්සේ බක්මහ උළෙල හා එදින හවස් වරුවේ සුදීක ගේ ගෙදරදී.. අටම් ගේ කඩේ විවෘත කරන වෙලාවේදී.. චෙෆාකි ගේ ගෙදරදී, හැලප අයියගේ ගෙදරදී, තව දවසක අටම් ලගේ ගෙදරදී, ලොකු පුතාලගේ ගමේ ඔයේදී.. කාංචනා අමිලානිගේ, බස්සිගේ එහෙම පොත් දොරට වැඩි වෙලාවේදී, 80 ක්ලබ් එකේදී, සනෝරා එකේදී.. ඇපෙක්ස් එකේදී.. තව මෙකි නොකී තැන් බොහොමයකදී බ්ලොග් හිතවතුන් එකිනෙකා හමු උනා.. ඒ වගේම නොදැක්කත් මුණු පොත හරහා සහ දුරකථන හරහා ඇඳුනුම් කම් ගොඩ නැගුනා.. එහෙම බැලුවම සංසදයක් ඉබේම වගේ හැදිලා..


මීට අමතරව නෙලුම්යායේ මුලිකත්වයෙන් හා නොයෙක් දෙනාගේ අනුග්‍රහයෙන් හා සහභාගිත්වයෙන් සමාජ සත්කාර වැඩ කීපයකටද දායක වීමට බ්ලොග් කරුවන් වන අපට හැකි උනා. තලවකැලේ ප්‍රදේශයේ ද්‍රවිඩ ළමුන් ඉගෙන ගන්න දුෂ්කර පාසල් කිහිපයකට පාසල් උපකරණ ලබාදීම හා ඔවුන් සමඟ ක්‍රීඩාශීලි දවසක් ගතකිරීමට නෙලුම්යායට හිතැති මාධ්‍ය වේදීන් කණ්ඩායමක් හා බ්ලොග් හිතවතුන් පරිසක් සමඟ මටත් අවස්ථාවක් ලැබුනා. රත්නපුරේට සම්භන්ද බ්ලොග් හිතවතුන් නෙලුම්යායත් එක්ක එකතුවෙලා රත්නපුර ශාරිපුත්‍ර පාසලේ ළමුන්ට පොත් පත් හා පාසල් උපකරණ ලබා දීල තිබුනා. එයින් කුළුගැන්වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ බ්ලොග් කරුවන් වන අපි නෙලුම්යායත් එක්ක එකතු වෙලා බදුල්ලේ දුෂ්කර පාසලක ළමුන් සියලු දෙනාටම පහුගිය ජනවාරි මාසයේදී පාසල් පොත් හා උපකරණ ලබා දුන්නා. වසරේ සුවිශේෂීම බ්ලොග් කරුවා වන යාන්හැල්ලේ ශ්‍රංග ව, ඔහුගේ ප්‍රිය බිරිඳ චුටි මැණිකේව, ගොඩේ කතා ලියන මේනක ව හා උඩින් කියූ පරිදි හේමමාලි නංගිව මට හමු උනේ එදා තමයි. 

මේ දවස්වල නෙලුම්යායත් හවුල් කරගෙන අපි තව බරපතල කටයුත්තකට ලෑස්තිවෙලා ඉන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර පාසලකට වසර ගණනාවක සිට ගැටලුවක්ව පවතින වතුර ප්‍රශ්නයක් ස්ථිරසාරව විසඳා දීමට.. අපේ තරමේ හැටියට සෑහෙන විශාල වැඩක් වෙන මෙයට මුදලින් සහය දීමට නෙලුම්යාය වෙනුවෙන් චන්දිම විතානාරච්චි වගේම ලංකාවෙන් පිටත සිටින එහෙත් හදවතින් ලංකාවේ ජිවත් වෙන බ්ලොග් හිතවතුන් කීපදෙනෙකුත්, ලංකාවේ ජිවත් වෙන තවත් 'සුද්දෙක් වගේ' හිත හොඳ බ්ලොග් කරුවෙකුත් සුදානමින් ඉන්න අතර එහි සම්භන්දිකරන හා සංවිධාන කටයුතු වෙනුවෙන් කැපවීමට මා හා සුරංග අදහස් කරගෙන ඉන්නවා.. වැඩේ අවසන් වනවිට ඒ ගැන වැඩි විස්තර දන්වන්නම්. 

මේ සංසදයක් නොවූ නෙලුම්යාය බ්ලොග් එකමුතුවේ වැඩ කටුයුතුයි. ලොකුම වැඩේ ඊළඟ සම්මාන උළෙලයි. පොරොන්දු වූ පරිදිම මෙවර සම්මාන සඳහා විනිශ්චයකරුවෙක් විදියට අවුරුද්ද පුරා පළවුණු බොහොමයක් බ්ලොග් කියවමින් මා තබාගත් සටහන් වලට අනුව කැටගරි 18ක් සඳහා මා විසින් නිර්දශ කල නම් නෙලුම්යාය සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා ට පහුගිය දිනෙක ඉදිරිපත් කළා. 

ඒ අතර වසරේ බ්ලොග්කරු/කාරිය, කාලින සංවාද, ඉතිහාසය, දේශපාලන, කවි/ නිසඳැස්, කෙටි කථා, කෙටි නවකතා, නොස්ටල්ජියා, 18+, ගෘහස්ත කාරණා, චායාරුප, පරිවර්තන, ප්‍රහසන, විද්‍යා හා තාක්ෂණ, විචාර, සංචාරක, සංගීතය හා විශේෂ යන කාණ්ඩ යටතේ නිර්දේශ ඉදිරිපත් කරා. වීඩියෝ බ්ලොග් සහ හයිකු යන කාණ්ඩ යටතේත් සම්මාන ලබා දීමට කටයුතු කර තිබුනත් ඒ සඳහා නිර්දේශ කල හැකි තරමේ බ්ලොග් රචනාවන් සිංහල බ්ලොග් අතර පසුගිය වසර පුරාවට මා දුටුවේ නෑ. 

මා විසින් මෙසේ යවනු ලබන නිර්දේශ ඒ හා සමානවම අනිත් විනිශ්චයකරුවන් විසින් එවන ලබන නිර්දේශ සමඟ සමපාත කිරීම අජිත් විසින් කරනු ලබනවා. ඉන්පසු ඒ ඒ කැටගරි සඳහා නිර්දේශ කල සියලුම නම්/ නිර්මාණ නැවතත් විනිශ්චය මණ්ඩලය අතර සංසරණය කර ඒ සියලු නිර්මාණ සඳහා වෙන් වෙන් වශයෙන් ලකුණු ලබා දීම  කෙරෙනවා. අවසානයට නිර්දේශ වෙන නම් තෝරන්නේ ඒ ලකුණු අනුවයි. එසේ අවසන් වශයෙන් නිරදේශ වෙන නම් සම්මාන උළෙලට ප්‍රථම අජිත් විසින් ප්‍රසිද්ද කරනු ඇති. ඒ අතරින් සම්මාන ලබන බ්ලොග්කරුවන් හා නිර්මාණ ප්‍රකාශයට පත් වෙන්නේ අවසන් මොහොතේ සම්මාන උළෙල අතරතුරයි. 

උදාහරණයක් වශයෙන් මෙවර වසරේ හොඳම කාලින සංවාද ලිපිය ලෙස ලිපි තුනක් සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. මේ සඳහා ජජ් පැනල එකෙන් ලැබුණු නිර්මාණ 10ක් පමණ මේ වනවිට අප අතර නැවත සංසරණය වෙනවා යලි කියවා ලකුණු ලබා දීමට. ඒවායින් 5ක් ඉදිරියේදී ලබා ගන්නා ලකුණු අනුව අවසන් වශයෙන් නිර්දේශ වේවි. ඒවා ඉදිරි කාලයේදී අජිත් විසින් ප්‍රසිද්ධ කරනු ඇත. පොඩි ඉඟියක් විතරක් ඕනිනම් දෙන්නම්.. මේ ලිපි අතර තෙල් මිල පහළයාම, විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය, රග්බි ලෝක කුසලානය, සාහිත්‍ය මාසය, විපක්ෂ නායක පත්කිරීම වගේ බොහෝ සෙයින් එකිනෙකට වෙනස්වූ මාතෘකා වලට අදාල නිර්මාණ තියෙනවා. තරඟය බොහොම උණුසුම්.. හොඳම බ්ලොග්කරු/ කාරිය තේරීමේ කටයුත්තත් ඒ වගේම භාරදුරයි.. 

ගියපාර සංවිධාන කටයුතු කලේ බ්ලොග්වලට සම්භන්ද නැති පිරිසක්.. ඔවුන්ගේ න්‍යායපත්‍රය හා ඇත්ත වශයෙන්ම එසේ එකක් නොතිබීම සැහෙන්න විවේචනයට ලක් වුනා. ඒ විවේචන සම්මාන උළෙලෙන් පස්සේ බොහෝ පොස්ට් වල පළවුණා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපි මෙවර ගොඩක් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. තැන වෙලාව ආදිය දැනුම් දෙන්න මට තවම අවසර නෑ. ඒත් වැඩේ කෙරෙන විදිය නම් ගොඩක් දුරට බ්ලොගර්ස් ලට පත්තියම් වෙන්න ඉඩ තියෙනවා. 

මෙවර සම්මාන උළෙල මෙහෙයවන්නේ නමගිය බ්ලොග් කරුවෙක්.. පහුගිය දවසක තිබුණු පොතක් දොරට වැඩිම සාර්ථකව සිද්ද කරලා ඔහු ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා.. ආරධිතයින්ගේ කතා වෙනුවට ඔවුන් සමඟ කෙරෙන සංවාදමය කතිකාවන් දක්නට ලැබේවි. එයින් බ්ලොගර්ස් ලට කිසිසේත්ම අදාල නැති දිග පල හෑලි අහගෙන ඉන්න වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම හැම තැනකම වගේ මුලිකත්වය දෙන්නේ බ්ලොග්කරුවන්ට/ කාරියන්ට.. මේ සංවාද අතරින් පතර විශේෂ පුවත් විකශයකටද ඔබට සවන් දීමට හැකිවෙනු ඇති. ඒ වගේම ලස්සන ගීත දෙක තුනක් එහෙමත් අහන්න පුළුවන් වෙයි.. මේ හැම එකක්ම වගේ මොකක් හරි බ්ලොග් සම්භන්දයක් එක්ක වෙන වැඩ.. 

උත්සවේ ඉඳගෙන බලාගෙන ඉන්න වෙන කාලය පැය දෙකකට වඩා වැඩි කරන්න කිසි සෙත් බලාපොරොත්තු වෙන්නේ නෑ. සම්මාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව නිදහසේ බ්ලොග්කරුවන් අතර සල්ලාපයට අවස්ථාව දෙන තේ පැන් සංග්‍රහයක්.. ඒ අතර සමහරවිට කැලිප්සෝ ක්‍රමයට සින්දුවක් දෙකක් රසවිඳින්න.. ඒ වගේම හරිම වැදගත් කියපු වෙලාවටම පටන්ගෙන අවසාන අවස්ථාවේ බ්ලොග් කරුවන්ට එකතුවෙන්න තියෙන වෙලාව වැඩි කර ගැනීම.. ඉන් පස්සේ සීමාවක් නෑ.. කැමති තරම් වෙලා ඉඳලා කැමති කැමති විදියට ඒ සැන්දෑව අවසන් කරන්න හැමෝටම විවෘත අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තුව.. බොහොම රසවත් වේවි කියලා හිතනවා.. 

ඉතින් ඕකයි අලුත්ම තත්වේ.. සාමුහික වගකීම රැක ගන්න ඕනි නිසා බොහොම සාවධානව මේ ටික ලියුවේ.. මතක ඇතුව එදාට එන්න.. දිනේ ප්‍රසිද්ධ කරපු ගමන් එදා දවස වෙන් කර ගන්න.. අපි හම්බවෙමු. ජය වේවා!


Sunday 24 January 2016

ඉමැජින් ලෝකල් ස්ටයිල් හෙවත් Just Imagine

මේ දවස් වල නෙලුම්යායේ බ්ලොග් සම්මාන උළෙල ගැන සෑහෙන්න සාකච්චාවක් යනවා. හැමෝටම කරදර කරන්න බැරි නිසා අපි කීපදෙනෙක් එකේ බර කරට අරගෙන කරනවා.. බර කියුවට තවම සාකච්චා මට්ටමේ බර විතරයි. ඕනි වෙලාවට හැමෝගෙන්ම උදව් ඉල්ලන්නම්.

ගිය පාර සිදුවෙච්චි අඩුපාඩුත් මඟ හැරගෙන අලුත් විදියකට බ්ලොගර්ස්ලගේ සම්පුර්ණ දායකත්වයෙන් තමයි මේ පාර වැඩේ වෙන්නේ. ඔය අතරේ කතාවක් ගියා John Lennon ගේ Imagine සිංදුව ට වචන දාල සිංහලෙන් සින්දුවක් කරමු කියලා.. මොකද අද අපිට අවශ්‍ය වෙලා තියෙන ආකල්පමය වෙනසක් ගැන.. සියලුම ක්ෂේත්‍රයන්ගේ.. මේ සිංදුවේදී අලුත් විදියකට පණිවුඩයක් දෙනවා. ඒ නැවුම් බවට වගේම ඒ අදහසටත් ලොව වටා බොහෝ රසිකයින් කැමතියි. 

වැඩේ ප්‍රොපොස් කරේ අජිත් අයියා.. කියලා ටික වෙලාවකින් අපි අතර ඉන්න ප්‍රවීන ගීත රචකයෙක් imagine තනුවටම ගැලපෙන්න සින්දුවක් ලියලා දුන්නා.. අවසර ගත්තේ නැති නිසා ඒ කවුද කියන්නේ නෑ. ඉතින් බොහෝවිට ඒ සින්දුව හා imagine ඔරිජිනල් එකේ රි-මික්ස් එකක් වගේ අයිටම් එකක් නෙලුම් යායට එකතු වෙයි සම්මාන ප්‍රදාන උත්සවයට.. 

ඕක දැකපු මටත් පොඩි ජොලියක් ගිහිං මාත් ලියුවා imagine එකේ තේරුම විතරක් අරන් ඊට ගැලපෙන සරල සින්දුවක් වගේ එකක්.. මට හිතුන විදියට ටිකක් කඩප්පුලි සින්දුවක් වගේ.. ගිටාර් එකක් ගහ ගහ වචන බර කරලා කියන්න කියලා හිතල තමයි ලියුවේ.. ඉස්සෙල්ල බලන්නකෝ වචන ටික..

ඉමැජින් ලෝකල් ස්ටයිල්..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..

රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..

කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..

ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..

කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..

ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////

වැඩේ කියන්නේ මේක මේල් එකට දාලා පැයක් හමාරක් ගියේ නෑ මෙන්න එනවා සින්දුවක් වෙලා.. වෙන කවුද ඉතින් අපේ මනා ගෙන් මිසක්.. මට නම් හිතට ඇල්ලුවා එකෙන්ම.. වෙලාවක මනා ව හොයන ගිහින් මේක ලයිව් අහලා බලන්න ඕනි.. ස්තුතියි මනා මචං. කොහෙවත් හිටි මාව එක පරම ගීත රචකයෙක් කරාට.. දහ දෙනෙක්වත් අහන්නේ නැතැයි.. 

සින්දුව අප්ලෝඩ් කරාට හරි ගිහින් තිබුනේ නෑ.. මෙතනින් අහන්න පුළුවන් වෙයි මගේ හිතේ..  අමාරුවෙන් ට්‍රයි කරපු හැමෝටම ස්තුතියි. 


Wednesday 6 January 2016

මිහිදුම් සේල අතරින් අතීතයට පා තැබීමි.. Those faces said it all!!

"ඊයේ සේනානායක පිට්ටනියේ හිටපු සුද්දෙක් අපිට පැන්සලුයි සුවඳ ඉරේසරුයි දුන්නා.. මේ.."

එතකොට මම හිටියේ 3 නැත්නම් 4 වසරේ වගේ බදුල්ල ධර්මදුතේ.. අපේ පන්තියේ එකක් දවසක් ඉස්කෝලේ ඇවිත් සුදුපාට පසුබිමේ නිල්පාට බබ්බු ඇඳපු පැන්සල් වගයක් හා නහයට අල්ලලා හුස්ම ඉහලට ඇද්දම ආපහු පහල දාන්න හිතෙන්නේ නැති තරම් සුවඳ ඉරේසර් කෑලි වගයක් පෙන්නලා ඔහොම කියුවා. පැන්සල් නම් අල්ලන්න දුන්නේ නෑ. එත් ඉරේසරේ නම් බලෙන් වගේ අරගෙන දෙතුන් පාරක් ඒ අපුරු සුවඳ උරා බිව්වා තාම මතකයි. එදා ඉඳලා මං හිතන් හිටියේ සුද්දෝ ලංකාවට එන්නේ පොඩි ළමයින්ට තෑගී දෙන්න කියලා.. ඉතින් මාත් කවදාහරි සුද්දෙක් හම්බවෙනකම් බලන් හිටියා තෑගී ගන්න..

මට ඒ අවස්ථාව ආවේ තව අවුරුදු හතරකින් හෝ පහකින් මම 'මහා විද්‍යාලේ' ඉගෙන ගන්න පටන් ගත්ත අලුත.. කියුවා වගේම සේනානායක පිට්ටනිය පහු කරලා 'ඉස්ටෑන්ඩ්' එක පැත්තට එනකොට උස සුද්දෝ දෙන්නක් හයියෙන් හයියෙන් යනවා. දෙපාරක් හිතුවේ නෑ මායි පමලුයි දෙන්න පස්සෙන් පන්නලා එල්ලුනා උන් දෙන්නගේ බාචු කලිසම් දෙකේ දෙපැත්තෙන්..

'Hello, Hello....  give me pencil please, give me eraser please..' මගේ හීනය මට තේරෙන විදියට මං එලියට දැම්ම.. ම්හ්හූ.. nop.. nop.. gop.. කියනවා වගේ ඇරෙනකොට මොකුත් ලැබෙන පාටක් නෑ.. ඔරලෝසු කනුවත් පහුකරලා ආවත් මොකුත් ලැබෙන්නේ නැති පාර අපි දෙන්නා හිමින් පසු බැස්සා.. එදා තමයි දැනගත්තේ හැම සුද්දම එහෙම තෑගී දෙන්නෙත් නෑ කියල..

ඔය කියපු සිද්දි දෙක අතර ගතවුණු අවුරුදු කීපය මට හරියට නොපැහැදිලි චිත්‍රයක් වගේ.. තාත්තා 'රේල්වේ ගාඩ්' කෙනෙක් උනත් අසීමාන්තික බීමත්කම නිසා 'නොසැලකිලිමත්ව' රාජකාරි කිරීම හේතුවෙන් ඒ වෙනකොට රස්සාවෙන් 'ඉන්ටර්ඩික්' කරලා බව විතරක් දැනන් උන්නා. රාජ්‍ය සේවා කොමිෂන් එකට 'ඇපීල්' කරන්න කියා කියා තාත්තා හැම සතියෙම දවසක් දෙකක් කොළඹ ගිහින් එනවා මිසක් වෙන වැඩක් කරේ නෑ. ගේ පැත්තක තිබ්බ පුංචි සිල්ලර කඩෙන් විකිනෙනවා හා සමානවම කොටසක් ගෙදර කුස්සියටත් යැවෙනකොට දියුණු වීමක් තියා පටන් ගත්ත ප්‍රමාණයෙන් රැක ගන්නවත් බැරි උනා කාලයක් යනකොට.

ඔය අතරේ තමයි මාව ධර්මදුතෙන් ගලවල හද්දා පිටිසර කන්දකැටිය වියලුව DS සේනානායක එකට දාන්නේ ශිෂ්‍යත්වේ පෙනී පෙනී... ඒ වෙන මොකකටවත් නෙවෙයි අයියා එහෙ වැඩ කරපු නිසා ගෙදර කටවල් ගානෙන් එකක් එහෙට මාරු කර ගන්න. මොන ශිෂ්‍යත්වද බඩගිනි දැනෙනකොට නැත්නම්.. අවුරුද්දකටත් අඩු කලෙකදී මාව ආයිමත් කන්දකැටියෙන් බදුල්ලට ට්‍රාන්සර් වෙන්නේ ශිෂ්‍යත්වය සමත්වීමේ ආනුභාවයෙන්මයි. ඒත් සුද්දෙක් තියා පද්දෙක් වත් කිසිම දවසක මට 'ඉඳා ඉගෙනගනින්' කියල පොත පතකින් තියා පැන්සලකින් පෑනකින් වත් උදව්වක් කරේ නෑ..

*****************************************************************************

'මල්ලි මොකද කියන්නේ අර කුරුටු ලා කරා වගේ අපි බදුල්ල පැත්තේ අමාරුවෙන් ඉගෙන ගන්න ළමයි ටික දෙනෙකුට උදව්වක් කරමුද? මාත් උදව්වක් කරන්නම්.. මම පොඩි කාලේ ඉගෙන ගත්තෙත් ලුණුගල ප්‍රථමික පාසලක.' රුසියාවේ ඉගෙනගෙන සුද්දියක් බැඳලා එංගලන්තෙට වෙලා 'ලස්සේට කොඩිය දාලා' ඉන්න කොළඹ ගමයා නැත්නම් අපේ හිතවත් 'නෙළුන් අජිත්' පහුගිය දවසක මට මේල් එකක් එවලා තිබ්බා.. ඕක දැක්ක ගමන් මගේ ඇස්දෙකේ බලාපොරොත්තුවේ කඳුළු ගුලි දෙකක් හිර උනා..

මාසෙකට අඩු කාලයක් ඇතුලේ එහෙ මෙහෙ උන ඊ මේල් පණිවුඩ කිහිපයක සරල වෑයමක් හිතුවටත් වඩා ඉහලින් මල්පල ගන්වමින් පහුගිය 4 වෙනිදා උදේ බදුල්ල ස්ප්‍රින්වැලි පාරේ කොත්මල්ලන්ද කෝට්ටගොඩ උඩගම විදුහලේ 1-11 වසරවල ඉගෙන ගන්නා ගණනින් 67ක් වූ සිසු සිසුවියන් අහුරක්, උන්නේ දෙමවුපියන් හා ගුරු මව්පියවරු ඉදිරියේ ඒ කඳුළු ගුලි දෙක වචන වලට පෙරළලා හෑල්ලු කර ගන්න මට අවස්ථාව ලැබුනා.

" ආදරණිය දුවේ පුතේ.. අද මේ මෙතන ඇවිල්ලා ඉන්න අපි කවුරුවත් කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා ඉන්න සුපිරි පැලැන්තියේ සල්ලි කාරයෝ නෙවෙයි. ඔයාලා වගේම මිට දශක දෙක තුනකට කලින් මීටත් වඩා ගොඩක් අඩු පහසුකම් මැද අමාරුවෙන් ඉගෙන ගෙන අද වෙනකොට යන්තම් සමාජයත් එක්ක හැප්පිලා ඉන්න පුළුවන් තරමේ ස්ථාවරයක් ගොඩ නගා ගත්තු සාමාන්‍ය මිනිස්සු ගැහැණු කීප දෙනෙක් විතරයි. අද මේ පොත් පත් පාසල් උපකරණ ඔයාල අතරේ බෙදලා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම පුංචි ඉල්ලීම් දෙකක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න."

"මේවා උපකාර කරගෙන තව වැඩියෙන් එක අකුරක් හරි ඉගෙන ගන්න උත්සහා කරන්න. එහෙම උනොත් අපේ මේ මහන්සිය අපතේ නොයාවි"

"කවදාහරි හොඳින් ඉගෙන ගෙන ලොකු මහත් වෙලා සමාජයට රටට වැඩදායි පුද්ගලයෙක් විදියට දොරට වඩින කාලයක අද අපි මේ කරන කටයුත්ත ඔලුවේ තියාගෙන ඉඳලා ඔයාලත් එක රුපියලකින් හරි තවත් දක්ෂ ඉගෙනීමට කැපවූ දරුවෙකුට ඉගෙනීම සඳහා උදව්වක් කරන්න උත්සහා කරන්න. අන්න එදාට අපේ මේ මහන්සියේ නියම ප්‍රතිපලය අපිට නැතත් රටට ලැබේවි"

******************************************************************************

මේක ලේසි පහසු වැයමක් වෙන්නේ නෑ.. එක මේල් එකෙන්.. එක මැසේජ් එකෙන්.. එක කෝල් එකෙන්.. දෙපාරක් හිතන්නේ නැතුව වැඩේට 'ඕනේ සහයෝගයක්' දෙන්න එකතු වුනු ඔබ නැතිනම්..

නදීර විජේසිංහ කියන මගේ හිත හොඳ මිත්‍රයා.. ඉවාන් පවුලුෂා.. යාන්හෑල්ල ලියන ශ්‍රංග.. නමුනුකුලෙන් එහා බ්ලොග් එක ලියන හේමමාලි භාග්‍යා.. කොළඹ ගමයා ලියන අජිත් අයියා.. මරණෙට මගුලට දුකට සැපට කොයි දේටත් සින්දු කියන සින්දු ඇනෝ.. වගේම මේ වැඩේ නිසාම අඳුන ගත්ත බ්ලොග් කරුවන වන ගොඩේකතා ලියන මේනක වගේම අපුරුමල් යනුවෙන් අපුරු බ්ලොග් එකක් කරන හේමමාලි භාග්‍යා නැගණියගේ සොහොයුරියක් වන මෙත්මා.. මේ හැමෝම නොමසුරුව මුදලින් උදව් කරා. විශේෂයෙන් දැනුම් නොදුන්නත් ශ්‍රංග මාර්ගයෙන් මේ ගැන දැනුවත් වෙච්චි තිලකසිතේ තිලක මහතා අධික වැඩ කටයුතු නිසා වේලාව මඟ හැරීමෙන් මේ කටයුත්තට දායක වීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින්ද ඉදිරි වැඩකදි අනිවාර්ය සහයෝගය දක්වන බව සඳහන් කරමින්ද මා වෙත ඊ මේල් පණිවුඩයක් ඒවා තිබීම මතක් කලයුතුමයි. මා මිත්‍ර නදීර හැරුනුකොට මෙහිලා උදවු උපකාර කල සියලුම දෙනා 'බදුල්ලට' යම් බැඳීමක් ඇති බ්ලොග්කරුවන් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි මෙහිදීත් වැඩිම දායකත්වයක් දැක්වුයේ ලංකා නිවුස් වෙබ් ප්‍රධාන කතෘ චන්දිම විතාන. ඒ වගේම සුද්දගේ රටේ සිට බොහෝ වෙලාවක් මා අමතමින් දිරිමත් කිරීම හා අවශ්‍ය වෙනත් ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉදිරිපත් වීමද ඉතාමත් අගය කල යුතුයි.

පොත් පත් හා පාසල් උපකරණ මිලදී ගැනීමේදී සින්දු අනෝ ගේ හිතවතෙකු වූ බණ්ඩාරවෙල ඇට්ලස් නියෝජිත මහතා ඉතා ඉහල වට්ටමක් සමඟ ඒවා බදුල්ලේ පිහිටි ශ්‍රංග ගේ නිල නිවසටම ගෙනත් දුන්නා. පාර්සල් කිරීමේ කටයුත්ත නොපිරිහෙලා ඉටු කරේ ශ්‍රංග ගේ බළකාය. ඊට ඔහුගේ ආදරණිය බිරිඳ 'චූටි මැණිකේ', භාග්‍යා නංගි හා අගේ යෙහෙළිය, ඔෆිස් එකේ තවත් හිතවතෙක් උදවු දී තිබුණා. මගේ ගැට පද පොත් ලිස්ට් තේරුම් බේරුම් කරගෙන නිවැරදිව ඒවා පාර්සල් කිරීම ඇත්තටම භාරදුර කර්තව්‍යක් බව මට වැටහුණේ ඒ ටික පිළිවෙලට අසුරා ලස්සනට ගබඩා කොට තිබෙනු දකිද්දියි. ඒවා මියන්ගෙන් කරපොත්තන්ගෙන් ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ ශ්‍රංග ගේ හුරතල් 'ටිකිරි' ට ඒ වෙනුවෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙවීමට සිදු උනා.

******************************************************************************

එතනින් පස්සේ කොහොමද මොනවද උනේ කියලා ශ්‍රංග යාන් හෑල්ලේ වගේම මේනකයාගේ ගොඩේ කතාවේත් ලියලා තියෙන නිසා මන් වැඩිය කියන්න යන්නේ නෑ.

පාසලේ අලුත් වසරක ආරම්භක දවස.. 1-11 වසරවල පන්ති එකොළහක ඉගෙන ගන්න ගණනින් 67ක් වූ ඒ පුංචි කිරි සිනා මල්.. උන්නේ දෙමවුපියෝ.. ගුරු භවතුන් මෙන්ම.. බොහොම නිහතමානී සුන්දර මිනිසෙකු වූ විදුහල්පති කරුණාරත්න 'සර්'..

දුනුවංගිය හරහා කොට කොට යන කඳන/ බුලත්වත්ත තනි දොර කොට සී.ටී.බී. බස්සෙක, කපොල්ල හන්දියෙන් හැරිලා අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාරේ එද්දී තේ මන්ඩි අතර හම්බ උන පරණ සිතල මිදුම් ගුළි.. දිය සීරාව නිසා ලිස්සන ගල් උඩ පරිස්සමෙන් අඩිය තිය තියා නගින බහින පාසලට යන අඩිපාර.. ලවක් දෙවක් නැතුව පිපිලා හිනාවෙන රෝස, ඩේලියා, බාබන්ඩේසියා කපුරු අතර ලජ්ජාවෙන් බිමට බරවෙලා පිපිච්ච නම නොදන්නා ඒ විශාල මල් පඳුර..

මාව අතීතයට අරන් ගියා.. එදා හිනා වෙන්න බැරි උන මට අද ඒ වෙනුවටත් එක්ක හිත පුරා හිනාව දොරේ ගලනවා..




මටත් එදා ඉස්කෝලේ යනකාලේ කවුරු හරි මේ වගේ පුංචි හරි උදව්වක් කරානම්.. ඔව් මම හිනා වෙන්නෙත් මෙහෙමයි.. ලජ්ජාවෙන්..ඒත් හරි ආසාවෙන්.. හරියටම හරි. ඔව්. එහෙම තමයි.. ඒ පුංචි මුණු ඔක්කොම මට මගේ ඒ හිනාව මවලා පෙන්නනවා..

ඔවුන් වෙනුවෙන් කියන්නේ.. නැවතත් ස්තූතියි!!!!