Friday, 25 December 2015

උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ.. Stay home and KIT via blogging

2015 දී සිංහල බ්ලොග් අවකාශයට අලුතෙන් එකතු වෙච්චි හොඳම රසකාරකය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් බය නැතුව කියන්න පුළුවන් ඒ ශ්‍රංග ගේ යාන්හෑල්ල කියල.. 90 දශකයේ හා ඉන් ඔබ්බට සබරගමුවේ කොනක ජන ජීවිතයේ කටුක මිහිරියාව ඊටම අවේනික වූ ජනවහරද සමෝසමේ මිටින් ගෙන සයිබර් පන්හිඳෙන් පණ පිහිටුවා දමා ගසන සුරංගයා නිසා උගේ ආච්චම්ම 2015 බ්ලොග් රියල්ස්ටාර් වෙලා ඉවරයි.. ශ්‍රංග ගේ ලියවිල්ල ඉස්තරන්.. කොච්චර ඉස්තරන් ද කියනවනම් ඒ බ්ලොග් එක කියවලම අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත බ්ලොග්කරුවනුත් ඉන්නවා.. 

“ඔබෙරා ......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ ......................"

පංසලට ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන් වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා.


ආධාර පත්‍රයයි
......................... විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ ................................

“යකෝ හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද?"

සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්. ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත් පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක් නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත් දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා...............


...............මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි. මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල් පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක් සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල් කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්.

“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත් මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි.. මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන් ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩි වැඩී යනවා.

ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ  බදුල්ලෙනුත් ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම් සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි.. 

මල්වට්ටියක්.. වෙන්දේසියක්.. පන්සලේ ලොකු පින්කමක් බුදු හිමියනේ.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්.. 

සලපිල් කියන ඒවා අදකාලේ නම් මැජික් වගේ මන් හිතන්නේ.. ඒ දවස්වල නම් මොන වැඩේ පටන් ගන්න ගියත් මුලින් කරන්නේ සල්පිලක් තියල ආධාර එකතු කර ගන්න එක මුලින්ම.. පන්සල් තමයි මේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය.. සල්පිල් ගැන තා බොහෝ රස කතන්දර ඒ කාලේ සල්පිල් වලින් 'ගොඩගිය' අපේ සමහර අයියලාට මතක් වෙයි.. මොකද ඔය සමහර ගෑනු දරුවෝ ඉන්නවා දවල්ට පට්ට ආඩම්බරයි.. එලියකටවත් බහින්නේ නෑ.. ඒ වගේ අයව බලා කියා ගන්නනම් රෑකට රාත්තිරියකට ඔය වගේ සල්පිලක් වෙන්දේසියක් කටිනයක් තියෙන්නම ඕනි.. 

හරි මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ගොඩ වෙලා කියවලා බලන්ඩලා මේනකයාගේ ගොඩේ කතා.. 


ඇයි කොළඹ යන්නේ? මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ....ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි.. අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ...

මගේ ගානේ හැමෝටම නත්තලක් තෑග්ගක්!!!

Monday, 7 December 2015

දෛවයෝගයකින් නොවේදෝ... How could you not be sad in a cruel world like this?

උදේ ඉඳන් හිතට හරි නෑ.. මේ ටික ලියන්න කියලා හිතලා දෙතුන් පාරක්ම අත ඇරලා දැම්මා.. පුංචි සිද්දියක්.. ඒ වුනාට හිතට ලොකු බලපෑමක් කරා.. 

පාසල් නිවාඩුව නිසා පවුල ගෙනත් ගාල්ලේ ඉන්දලා මම උදේ වැඩට එන්න පිටත් උනා.. මම සැලසුම් කරේ හරියටම උදේ පහට නිවසින් පිටත් වෙන්න.. හයයි තිහට කලින් කොට්ටාවෙන් එලියට දැම්මොත් ට්‍රැෆික් එකට සෙට් වෙන්න කලින් ඔෆිස් එකට පැනගතහැකි.. 6.55 ට පටන් ගන්න උදේ green area මිටින් එක ඇඩ්‍රස් කරන්නනම් ඊට කලින් ඔෆිස් එකට යන්නත් වෙනවා.. සතියට දවස් දෙකක් පමණක් මේ සයිට් එකේ රැඳෙන නිසා ඒ දවස් දෙකේ මිටින් එකේ කතා කරන එක කොහොම හරි කරන්නත් ඕනි.. කමිට්මන්ට් ගොඩයි. ඒක නිසා වෙලාව ටක්කෙටම වැදගත්.. 

කොහොමින් කොහොම හරි අපේ උන්දැගේ formalities ඉවරවෙලා ගෙදරින් පිටත් වෙනකොට 5.12යි. ඒ කියන්නේ 'සේෆ්ටි මාජින්' එක එතැනින්ම ඉවරයි.. හැබැයි දෙයියනේ කියලා බද්දේගම එන්ට්‍රන්ස් එකට එනකන්වත් එක්ස්ප්‍රස් වේ එකේදිවත් වැඩි අවහිරයක් නොවුණු නිසා හරියටම 6.17 වෙනකොට කොට්ටාවෙන් එලියට එන්න පුළුවන් උනා.. ඉස්කෝල නිවාඩු නිසාද කොහෙද ඒ හැටිම වාහනත් නෑ පාරේ.. ඒක නිසා හයිලෙවල් එකත් හයිවේ එකේම එක්ස්ටෙන්ෂන් එකක් වගේ කියල හිතාගෙන ආවා කොට්ටාව හන්දියට එනකම්.. 
කොට්ටාව හන්දියේ කහ ඉර.. වම පැත්තේ කොනේම බස් එකක් නවත්වාගෙන .. මැද ලයින් එකෙත් වාහනයක්.. මම දකුණටම වෙන්න නතර කර ගත්තේ පුදුම නොඉවසිල්ලකින්.. මේ මිනිස්සුන්ටත් මේ වෙලාවේම පාර මාරු වෙන්න ඕනි උනානේ.. ෂඃ.. මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් මාරු උනා.. ඒ පිටිපස්සෙන් එනවා අබාධිතයෙක්.. කිහිලිකරු දෙකකුත් සහයෝගෙට අරගෙන.. බොහොම හිමින් තමයි ගමන් කරන්නේ.. 'මේ යකා' මේක ක්‍රොස් කරන්න සැහෙන වෙලාවක් ගනියි වගේ..මම වෙලාව දිහා තත්පරේට දෙතුන් වතාවක් බලනවා..

'ෂිහ්.. කාලකන්...' වචනේ ඉවර වෙන්න කලින් මන් ආපහු කහ ඉර දිහා බැලුවා.. දැන් මගේ ඉස්සරහින් පාර මාරු වෙනවා.. කකුල් දෙකම දඟර වැටිලා.. ඒ මදිවට බෙල්ල ලඟත් කුදයක්.. වයස.. ඔව් මම වගේම මැදි වයසේ වගේ තමයි.. කිහිලි කරු දෙක මිනිහගේ උසට හරියන්න විශේෂයෙන් හදපු දෙකක් වගේ.. සාමාන්‍ය ඒවාට වඩා කොටයි.. එත් ඒකත් ටිකක් උස වැඩියි වගේ.. කිහිලි කරුව මාරුවෙන් මාරුවට තියල ඉස්සරහට පියවරක් තියන හැම වෙලාවේම මිනිහ පිම්මක් වගේ තමයි පනින්නේ.. තව මීටරයක් හමාරක් පැන ගන්න තියෙනවා.. ඒක සම්පුර්ණ කරාම මනුස්සයට ලොකු ජයග්‍රණයක් වගේ දැනෙයි.. 

මට ගමන අමතක වෙලා ස්වයංක්‍රියව මං මේ අපුරු පුද්ගලයා දිහා බලන් ඉන්නවා..

Oh! shit! I was counting seconds for a 130+ kilometers of damn race of life.. this guy is struggling to limp across the road.. 

සිය ජයග්‍රාහී පියවර pavement එක මත තැබූ ඔහු කෘතඥ පුර්වක ලෙස මා දිහා බලා සිනහා වුනා.. ගමනේ ඉතිරි ටික ආවේ උදේ ගෙදරින් ආ මා නොවෙයි.. 

Wednesday, 2 December 2015

ආත්මාර්ථකාමී බ්ලොග්කරනය හා අතෙන් කයිට් කොමෙන්ට්කරනය Selfish Blogging vs Solicitous Commenting

දෙකෙන් එකක් තෝරා ගැනීමට කාලය එළඹ තිබේ..

පුළුවන් තරම් කාලයක් බ්ලොග් පෝස්ට් ලිවිම හා සහෘද බ්ලොග්කරුවන්ගේ පෝස්ට් කියවා ඒ වෙනුවෙන් යම් අදහසක් කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කිරීම කරගෙන ආවෙමිය.. පහුගිය දෙතුන් මසක සිට බ්ලොග් ලියන එක සැහෙන දුරට මඟ හැරී ගියේ වැඩ ටිකක් වැඩිවූ නිසාවෙන් වන නමුත් ඒ කාලය පුරාවටම මගේ ලිස්ට් එකේ මෙන්ම මාතලන් සින්ඩියේ, අටම්පහියේ, කුරුටු සින්ඩියේ, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයේ, හැලප අයියගේ රාජ් ගේ හා විචාරකගේ  ආදී මෙකි නොකී අටෝරසියක් සින්ඩි හා බ්ලොග් වලට අලුතෙන් එකතුවෙන ලිපි කියවා සටහනක් තැබීමට මට 'moral obligation' එකක් ඇතැයි සිතා ඉඩ ලැබෙන සැම විටෙකම අතට අහුවෙන ක්‍රමයකින් ලොග් වී කොමෙන්ට්කරනය අතපසු නොකර කරගෙන යාමට උත්සහ දැරුවෙමිය. ඒ වෙනුවෙන්ම උලව් ඉස්මාට් ෆෝන් මගුලක්ද මිලදී ගත් අතර එයින් බ්ලොග් කියවා කොමෙන්ට් කරන විට දෙක දෙක නොව දෙක තුන වදින ලෙඩක්ද හදාගෙන රවියා, දෙමල නයන්නා වැනි මහත්වරුන්ගේ කුණු කතාද සාවධානව ඉවසා සිටියෙම්ය.. දැන් නම් බිත්තියටම තදවී ඇති බැවින් 'බ්ලොග්' සඳහා වෙන් කළහැකි කාලය සැලකිය යුතු ප්‍රතිශතයකින් කපා දැමීමට සිදුවී ඇතිය. ඉදින්.. දෙකෙන් එකක් තෝරා ගත යුතුය.. 
 දෙක යනු.. 

එක.. තොපි කියෙව්වත් එකයි නැතත් එකයි.. මගේ බ්ලොග් එකේ මන් ලියනවා.. උඹලට ඕනිනම් බලලා කොමෙන්ට් කරපල්ලා.. නැත්නම් කුදගහගනියව්..හැබැයි මගෙන් රිප්ලයිවත් උඹලගේ අටමගල් කියවන්න එයි කියලවත්නම් බලාපොරොත්තු වෙන්න එපා.. ආදී වශයෙන් සිතා.. හිතට එන දේ 'මගේ බ්ලොග්' එකේ ලියා දමා කඩේ වසා ආත්මාර්ථකාමී බ්ලොග්කරනයේ යෙදීම....

දෙක.. 'මගේ බ්ලොග්' එක සම්පුර්ණයෙන්ම අත හැර සිත් සේ පිනුම් ගැසිය හැකි බ්ලොග් ලිස්ට් එකක් හොයාගෙන අනුන් වෙනුවෙන් අතෙන් කයිට්  'කොමෙන්ට්කරනයේ' පමණක් යෙදීම..  

මේ කැටගරි දෙක හා කලින් කියූ සමබර (සමබර කියුවට සමබරම නොවෙයි එක් අන්තයකටම නොගොස් සිටින) බ්ලොගාල බොහෝ දෙනෙක් මතක් උනත් ඉල්ලගෙන කන්න ඕනේ නැති නිසා 'එක' කැටගරිය ගැන නොහිතා නොලියා සිටිය යුතුයැයි සිතමිය.. 

'දෙක' ගැන කියන විටනම් සුපිරි නම් කීපයක්ම මතකෙට එයි.. 

ගෝරිල්ලන් ගැන පමණක් නොව ලස්සන ගෑනු ළමයින් ගැනද අතිශය උනන්දු ප්‍රා ජේ බ්ලොග් එකක් ලියුවානම් එය සිංහල එන්සයික්ලෝපීඩියා එකක් වනු නොඅනුමානය.. 

එකෙක් මලා කියුවත් එලද බ්‍රා කියන බ්‍රා මෙන්ඩා ලියන්න ගත්තොත් යාන් හෑල්ලට එහා ගිය ආත්ම කතනයක් කියවිය හැකිවනු ඇත. 

ඩබල් ආදිපාද කම්මල වරක් සිරාගේ හතේ කාමරයට උගේ දොස්තර ලවු එක ලියා යැවුවේය.. එය කියවූ උන් මේකා නොලියන එකට මුගේ හතර වරිගෙටම බැන්නේය.. 

ගෙදර උන්දැට 'ගරු කරන' නිසා නොලියා හිටියට පත්තරයා කතා සාගරයකි. 

ලොවෙත් නැති බ්ලොග් එකක් ලියන னයන්න දෙමල praයන්න ඉංගිරිස් කොන්ක්‍රීට් බාසුන්නැහේ දේශකයා ගේ අවතාරය නොව දේශකයාම බව සමහරු පලි ගහන්නේ  ඌ ලියපු සමහර කොමෙන්ට් වල 'ගුණාත්මක' භාවය එතරම් ඉහල නිසාය.. 

කාලයක් මේ සෙට් එකේම හිටපු ඇනොපිලිස් මුද්දා ට ඩෙංගු හැදිලා නිසා දැන් ඌ බ්ලොග් පැත්තේ එන්නේ නැත්ද කොහෙදය.. 

තව මේ වගේම අතින් කයිට් කොමෙන්ට් කාරයෝ සිටියත් මේ අයගේ විශේෂයක් ඇත්තේ අනුන්ගේ බ්ලොග් එකක් තමන්ගේ වගේ කරගෙන නොමසුරුව ඒ වෙනුවෙන් කොමෙන්ට් වියදම් කිරීම හා බොහෝ විට මුල් කොමෙන්ට් එක දෙකෙන්ම සෙට්වී පෝස්ට් එක ගැලවී විසිවෙන තුරු කොමෙන්ට් හරඹය ඇදගෙන යාමට ඔවුන් දක්වන කැපවීමය.. මට ඇත්තටම ආස එහෙම එකෙක් වෙන්නටය..  එහෙත් එච්චර වියදම් කරන්නට හිත හදා ගන්නටත් අමාරුය.. 
ඒක නිසා හිත හදාගෙන පළවෙනි කාණ්ඩයට එකතු වෙන්න හිතුනත්.. එක්කෝ ඕනා නැතිය.. කාලා බිලා පුරුදු වෙච්චි එකා ගේ අස්සේ කොටුවෙලා ඉන්නවා වගේ ඒක මටනම් මෙලෝ රහක් නැතිය.. 

අම්මට සිලි.. මෙහෙම ලියාගෙන යනකොට තවත් ක්‍රමයක් මතක් විය.. එනම්.. බ්ලොග් ගනු-දෙනුවකට යාමය.. වෙන විදියකින් කියුවොත් මන් ලියන ඒවා බලල කොමෙන්ට් කරන උන්ගේ බ්ලොග් මාත් කියවා කොමෙන්ට් කරනවා' වැනි අසාධාරණ නොවන එහෙත් ආත්මාර්ථකාමී සංදිස්ථානයක් හොයා ගැනීමය.. ටිකක් හිතාගෙන යනකොට හැබැවටම ගොඩක් උන් කරන්නෙත් ඒකය.. මටත් එහෙම ඔප්ෂන් එකකට ටික කාලයකට හරි යන්න හිතෙනවාය.. 

එකතකින් මෙච්චර කල් හොයා හොයා බ්ලොග් කියෙව්වේ අජිත් ගමයා මට පවරපු රාජකාරියක් නිසාය.. එනම් ඊළඟ බ්ලොග් සම්මානෙට සුදුසු ඒවා තෝරන්නට උදව් වෙන්න  කියාය.. ඒ වැඩේ මන් මට හැකි අයුරින් උපරිමෙම්ම කල බව සතුටෙන් කිව යුතුය.. දැන් උවත් මගේ අද වෙනතුරු යාවත්කාලින කරන ලද 'නිර්දේශිත බ්ලොග් පොස්ට්'  ලැයිස්තුව ඉදිරිපත් කල හැකිය.. මේ මාසෙන් ඒ වගකීමත් ඉවර නිසා මගේ තේරීම පහසු වනු ඇතිය.. අජිත් ගමයාට දැන් මගේ නිර්දේශ වලින් වැඩක් තිබුනා නැතා මේ මාසේ අවසන් වෙන විට විස්තරයක්ද සමඟ මගේ නිර්දේශ ලැයිස්තුව මේ බ්ලොග් එකේම පල කිරීමට හිතා ඉන්නවාය.. ඒ වගත් එසේය.. (මාතලන් ගෙන් කොපි කරන ලදිය..)

හරිනම් දැන් මුලටම ගොස් මාතෘකාවේ සිටම වෙනස් කොරගෙන ආ යුතුය.. ඒත් ඔන්නොහෙ ඒකට කම්මැලිය.. තවමත් අවසන් තීරණයක් ගෙන නැති නිසා සමහර විට මේ පොස්ට් එකට වැටෙන කොමෙන්ට් වලටත් මගෙන් රිප්ලයි නොවැටිය හැකිය.. එසේ වුවොත් මාගේ චොයිස් එක 'එක' බව සැලකිය යුතුය.. නැත්නම් උඩුකුරිඥ්ඥ වෙලාම වෙන්නත් පුළුවන්ය.. 

Tuesday, 24 November 2015

අමුත්තන් ලෙස ජීවත් නොවී පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.. Patriotism is written by blood of those who died defending motherland.

මේ වනවිට මවුබිමෙන් බොහෝ දුර බැහැරව විසුවත් අදටත් ඉතා දක්ෂ ලෙස සිය අත්දැකීම් අකුරු කරන මගේ හිටපු ජේෂ්ට නිලධාරියෙක් වෙන රවී ද සොයිසා මහතා ගේ ෆේස්බුක් පිටුවේ පලව තිබු විස්තරයක් හා එහි පසුබිම් කතාව මුලින් ලියු මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ ෆේස් බුක් පිටුවේ පළවූ විස්තරයක්.. එහි ඇති වටිනාකම නිසාම ඔහුගේ පුර්ණ අවසරය ඇතිව මෙහි නැවත සටහන් කරමි. මේ වනවිටත් මෙය දුටු අයෙක් වෙත්නම් නැවත සටහන් කිරීම පිළිබඳව කමත්වා!

*********************************************************************************

මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ සටහන.. 
රණවිරු රණසුරු ඇලන් අහමඩ් මුස්තෆා පකීර්
ඇලන් අද හිටියානම් වයස අවුරුදු අවුරුදු හතලිස් තුනකි,,ඉතින් ඇලන් අයියේ උඹට ගොඩාක් ස්තූතීයී
මටත් ආඩම්භර වෙන්න පුලුවන් ශ්‍රී ලාංකයෙක් හැටියටඒ කාලවාකවානුවෙ ගුවන් හමුදාවේ යානාවන් අභිරහස් ලෙස අතුරුදහන් වෙමින් තිබුණි.අපේ යානාවලට සිදුවූ දේ කුමක්දැයි කිසිදු හෝඩුවාවක් නොමැතිව නිලධාරීන් පසුවූ යුගයක් විය.රත්මලාන මගී ගුවන් යානා නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි තවත් අහමඩ් කෙනෙකුට ක්‍රියාන්විතයට ඇරයුම් ලැබුණේ මේ අතරතුරය. උතුරට සැපයුම් මාර්ග අවහිරවී තිබුණි. තවත් යානාවන් හෝ නියමුවන් අහිමි කරගැනීම අපට අවාසිදායකය. නමුත් උතුරේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගුවන් හමුදාව දායක විය යුතුව තිබුණි.
"මම MI 17ක් අරගෙන යන්නම්" කියා ඉදිරිපත් වු ඒ ආදරණීය සහෝදරයා නමින් ඇලන් මුස්තෆා අහමඩ් පකීර් විය.ඇලන්ට යුද්ධයවත්,ඉදිරිපත්වීම වත් අලුත් දෙයක් නොවූයේ ඔහුගේ සීයාත්,පියාත්,සහෝදරවරුන් සියළු දෙනාත් ඒ වනවිටත් හමුදා සේවයට හෝ ආරකෂක සේවයට අමුත්තන් නොවූ නිසාය.
නමුත් ඇලන් ගෙන ගිය එම් අයි 17 යානයත් අතුරුදහන් විය.තවත් සෙබලුන් 39ක් සමගම අතුරුදහන් විය.. එක්දහස් නවසිය අනූ හයේ ජනවාරි 22 දා හදිසියේ යානය රේඩාර් වලින් නොපෙනී යන්නට විය.

 
ඇලන් ඒ වන විට තමාගේ ඇවැස්ස නෑනා සමග පෙමින් වෙලී සිටියේය.

විවාහය සඳහා සියල්ල සූදානම් වී තිබුණි.අනාගතය ගැන,විවාහය ගැන ඔබත් මමත් දකින සිහින දකිමින් උන්නේය.
ඇලන් ගේ මව මුදානොගත් ප්‍රදේශවලට ගොස් ඇලන් ගැන සොයන්නට තරම් දිරිය කතක් වුවාය. එසේ නොවන්නේ කෙසේද..ඇය දැයට දිරිය දරුවන් උරුම කළ මවකි.ඇලන් ත්‍රස්ථවාදීන්ට හසුවුණාද? නැතිනම් ඔහුගේ මළ සිරිරවත් දුටුවාදැයි රේඩාර් වලින් යානය නොපෙනී ගිය ප්‍රදේශවල මිනිසුන් ගෙන් අසමින් ඇය ඇලන් ගැන හෝඩුවාවක් සොයන්නට විය.
නමුත් ඇලන් අතුරුදහන් විය..ඒ අතුරුදහන් වීම සදහටම වූ අතුරුදහන් වීමක් බව තහවුරු කළේ දෙදහස් නවයේ හමුදාව සොයාගත් මිසයිල විදිනයන් වලින් එකක දිනය,ස්ථානය සහ ඇලන් ගෙන ගිය යානයේ විස්තර සඳහන් විමය.
 
වාර්ශිකව කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ ඇලන් වගේම ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිදුන් මුස්ලිම් විරුවන් සිහිකිරීමට ගුවන් හමුදාව අමතක කළේ නැත.
ඇලන් අහමඩ්ට රණශූර පදක්කම පිරිනැමූහ.
ඇලන් ගේ මවට මම කථාකලේ මේ ඇලන් ගේ කථාව මට අසන්නට ලැබුණේ අහම්බෙන් නිසාවෙනි.මා කථාකලෙමි...දීර්ග ලෙස කථාකළෙමි. අපේ මුළු පවුලම රට මවුබිම වෙනුවෙන් සේවය කරපු පවුලක් පුතා. මා විමතියට පත් වුනෙමි.ඇය මට පුදුම දිරියක් දෙන ලෙස කථා කලාය.
ඇය ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නම් වූ රණ ශූරයා ගැන ආඩම්භර වූවාය.රණ ශූර ඇලන්ලා ගැන මේ රටේ මුස්ලිම් තරුණයන් කීයෙන් කීදෙනාද අසා තිබෙන්නේ? ඒ කථාවල් දිගහරින්නට තීරණය කළෙමි. එකින් එක එකතු කොට බුකියේ දිගහරින්නට තීරණය කළෙමි.
ඇලන්ලා, ගාමිණීලා,මුස්තෆාලාගේ කථාව නිකම්ම නිකම් සොහොන් ගලක කොටනවාට වඩා මේ රටේ මිනිස්සුන් ගේ හිත්වල කොටන්නට තීරණය කළෙමි.ඇලන් ගෙන් පටන් ගත්තේ මේ රට වෙනුවෙන් මුස්ලිම් මිනිසුන් ගේත් දායකත්වයක් තිබුණා කියන්නට නොවේ... තිබිය යුතුයි කියලා අද පරම්පරාවට කියාපාන්න.
අමුත්තන් ලෙස ජීවත් නොවී,පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.
වසන්ත අභේවර්ධනලාට,හසලක් ගාමිණීලාට වගේම මම ඇලන් මුස්තෆා අහමඩ් පකීර්ලාටත් එක වගේම මා ආදරය කරමි. 
ඇලන් ගේ පවුලේ සියළුම දෙනා මේ යූ ටියුබ් වීඩියෝවේ විනාඩියයි තත්පර 30 සිට විනාඩියයි තත්පර තිස්පහ වෙනකම් වන තත්පර පහ දිහා වුවමනාවෙන් බලා සිටින්නේ..ඒ ඇලන් ගේ යානය බිම හෙළූ මිසයිල විදිනය පෙන්වන නිසා නොව...
ඇලන් ගැන ඔවුන් දන්නා එකම අවසාන හෝඩුවාව එය නිසාවෙනි...ඒ වීඩියෝවේ දැක්වෙන හැම මිසයිල විදිනයකම...කඳුළු කථාවක දිනයක්,වේලාවක් සහ තැනක් ලියා තිබේ.
ඒ කඳුළු කථාව අප වෙනුවෙන් වූ එකකි.බොහෝ මිනිසුන් ගේ සිහින බිඳී ගියේ අප වෙනුවෙනි.
ඉතින් අපි ඔවුන් ගැන සොයමු. ඔවුනගේ හිත මිතුරන්ට කථා කරමු...මවට පියාට කථා කරමු.ඒ අම්මාලා සතුටු කඳුළු සලමින් සතුටු වේවි...
"මගේ දරුවා දිවි පුදා ඇත්තේ හොඳ මිනිසුන් වෙනුවෙනි.මගේ දරුවා දිවි පුදා ඇත්තේ කළගුණ දත් මිනිසුන් වෙනුවෙනි" අම්මාට එහෙම හිතේවි...ඒ ටික හොඳටෝම ඇති වේවි ඒ අම්මා,අප්පලාට තමන් ගේ පුතා මතක් වෙන සෑම මොහොතකම ඒ දුක තුනී කරන්නට.

ඉහත සටහන ගැන රවී ද සොයිසා මහතා තැබූ පසු සටහන..
Mohamad Farshan මල්ලි, 
1996 ජනවාරි 22 .......
ඒ දිනේ කවදාවත් අමතක වෙන්නෙ නෑ ..........
මම හිටියෙ අලිමංකඩ ......
'රිවිරැස' මෙහෙයුම ආරම්භ වෙලා තිබුනෙ .....
අපි අලිමංකඩට ආවේ 'යාපනේ' අර්ධද්දීපයෙන් කිලාලි කලපුව හරහා පලායන 'කොටින්ට' පහර දෙන්න .......


අපි වැඩේ 'තිතටම' දුන්න .......
ඒ නිසා කොටි අපිව ඉලක්ක කරල ඉන්නව කියල අපට ආරංචි උනා ......
ඒ වෙනකොට 'රිවිරැස' සංගුපිටිය පාලම අල්ලගෙන හිටපු නිසා .........
ඒක නිසා අපිට ඕනෙ උනා 'අලිමංකඩින්' 'සංගුපිටිය' දෙපැත්තෙන්ම ........
පලා යන කොටින්ට ගහන්න .........
ඒ අනුව අපිට අලිමංකඩ ඉදල පලාලි එන්න ඕනෙ උනා .......
21 ඒ ගමනට යන්න නම් උනේ අන දෙන නිළධාරී 'සෙඩ්‍රික් මාර්ටින්ටයිනුයි මමයි' ..........


කමාන්ඩර් සෙඩ්‍රික් මාටින්ස්ටයින්
රෑ 'තුෂාර පලිහේන' මම ලගට ඇවිත් කිව්ව 'මචං මම උබ වෙනුවට පලාලි' යන්නද කියල ........
මම හා කිව්ව ..... මම දන්නව තුෂාර යන්නෙ 'වයිෆ්'ට කෝල් කරන්නත් එක්ක කියල .........


ලුතිනන් කමාන්ඩර් තුෂාර පලිහේන
මම 22 'මාර්ටින්ස්ටයිනුයි' 'තුෂාරයි' දෙන්න දාගෙන 'මරුටි' ජීප් එකෙන් අලිමංකඩ 'හෙලි පෑඩ්' එකට ආව .......
MI-17 'හෙලිකොප්ටරයෙන්' පලාලි යන ඔවුන්ට සමුදී ඔවුන් දිහා බලන් ඉන්න කොට .....
ගුවන් නියමුව මට අත වනනව දැක්ක ..........
මම ඔහු ලගට ගියා .....
ඇලන් ! මගේ මිත්‍රය ...... ම් ම් ! මිත්‍රය කියනවට වඩා හොදයි සහෝදර කියන එක ....
වරෙන් යන්න ! මම හවස උබව ගෙනැල්ල බස්සන්නම් !! ඒ ඇලන් ......
වෙනද පැනල යන මම එදා බෑ කිව්ව .....
එහෙනම් හම්බ වෙමු මචං කියල ඇලන් තදින් මගේ අත මිරිකුව ........
ඒ සමග ඉහලට ඇදුනු ඔවුන් නොපෙනි යනතුරු මම බලා සිටිය .......
ආයෙ මම අපි හිටපු කලපුව ආසනයේ වූ කදවුරට ආව .....
මම 'වාහනය' නතර කරන කොට හැමෝම මාව වට කර ගත්ත .......
දැන් ගිය 'හෙලිකොප්ටරයට' කොටි ගහල ........
මම 'හිස්' අහස දිහා බලන් හිටිය ......
ඇස්වල කදු කම්බුල් දිගේ ගලා ගිය .........
Mohamad Farshan උබෙ මේ පිතූරය අවුරුදු 19 පස්සෙ ...........
ආයෙත් මගේ ඇස්වල නැගුනු කදුලු කැට කම්බුල් දිගේ ගලන්න සැලැස්සුව .......
හැමදාම !!! ඔව් හැමදාම !!! ........
සයිබර් අවකාශයේ 'පොර ටෝක්' දෙන නිවට 'පිම්පියන්ට' වඩා ..........
උපන් බිම වෙනුවෙන් දිවි දුන් ........
මගේ මිත්‍රය / ආදරනීය සටන් සගය .........
Mohamad Farshan උබේ සහෝදරය .........
ඇලන් මුස්තෆා අහමඩ් පකීර් ..........
මට වටිනව .........
ටිකක් නෙමේ ගොඩාක් ! ........
අපි ජාතියක් විදියට රටක් විදියට උබට නයයි මචං cry emoticon .......
Happy birthday Allan !!!

*********************************************************************************

Friday, 6 November 2015

යහපාලනයෙන් හොරු ඇල්ලීම හා අම්මට සිරි ලංකාවේ මාධ්‍ය පෝතකයෝ catch me if you can :)



හිතවත් ලංකාදීප කතු තුමනි,

ඉහත නම් සඳහන් මහතුන් අතුරින් 'ජේෂ්ට කළමනාකාර ජයවීර බණ්ඩාර' මහතා මා පුද්ගලිකව ඉතා හොඳින් දන්නා හඳුනන මාගේ මිත්‍රයෙක් වේ. ඔහු පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නිපුනයෙකු වන අතර සතොස තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කල කෙටි කාලයේදී සතොස ශාඛා සියල්ල ඒකාබද්ද කරමින් අලුතෙන් එක්කල පරිගණක ජාලගත කිරීමේ ව්‍යාපෘතිය බාරව කටයුතු කළේය. මෙම ව්‍යාපෘතිය ලංකාවේ නමගිය පුද්ගලික සමාගමක් විසින් කරගෙන ගිය අතර සතොස ආයතනය වෙනුවෙන් ඔහු එය කළමනාකරණය කළේය. ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු පසුගිය 2015 ජනවාරි මස (මාසයක පෙර දැනුම්දීම් කාලයකින් පසු) සතොස ආයතනයෙන් නිත්‍යානුකුලව ඉවත්වී ගොස් දැනට ජාත්‍යන්තර සංවිධානයකට සම්භන්දව විදෙස් රටක සේවය කරයි. එවන් පුද්ගලයෙකු පරීක්ෂණ වලට බාදා කරනවායැයි කියමින් මෙසේ ප්‍රසිද්ධියේ 'රැකියාවෙන් ඉවත්කිරීමට' කටයුතු කරනවයි කීමෙන් ඔහුගේ කිර්ති නාමයට බරපතල හානියක් වනවා නේද? ඔහු මේ වනවිට රැකියාවෙන් ඉවත්වී වසරකට ආසන්න කාලයක් වන බව මේ කොමිසම දන්නේ නැද්ද? නැත්නම් ලංකාදීප ප්‍රවෘත්තිය වැරදිද? කරුණාකර පැහැදිලි කරන්න. 

ස්තුතියි.

කල්‍යාණ මිත්‍ර.

ප.ලි.

ඉහත පුවතේ සඳහන් පුද්ගලයින් අතුරෙන් ප්‍රධාන ඉංජිනේරු මහතා හැර අනෙක් සියලුම නිලධාරීන් මේ වනවිටත් සතොස ආයතනයෙන් සේවයෙන් ඉවත් වී ගොස් ඇතැයි දැන ගන්නට ලැබුණි.


ප.ප.ලි.

ලංකාවේ මාධ්‍ය ආයතන ගැන ලිවීමට සිතනවිට මට සීනියර් ඩ්‍රැකී ගේ මේ පෝස්ටුවේ පළවෙනි ප්‍රශ්ණය හා උත්තරය මතක් වූ බැවින් එය පමණක් ලිවිම සැහේ යයි සිතුවෙමි.

ස්තුතියි.

කල්‍යාණ මිත්‍ර. (ඒ ටික ඕනි නෑනේ)

Friday, 16 October 2015

සමුගැනීමක් නොවේ.. Returning soon if possible



බ්ලොග් කියවීමෙන්, කොමෙන්ට් කිරීමෙන් හා ලිවීමෙන් තාවකාලිකව සමුගැනීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. (ඉඳහිට තියෙන බ්ලොගර්'ස් ලාගේ ගෙට්ටු වලින් නොවේ.. ;)

හැකිවූ විගස යලි එමි.

සැමට ජය ශ්‍රී!

-කල්‍යාණ මිත්‍ර

Tuesday, 6 October 2015

නොනිමි ගුරුතරු.. To teacher(s) with love

අද ගුරු දිනේලු.. ඔය දින කේස් එකට මම නම් විරුද්ධයි.. එත් මොනවා කරන්නද මං විරුද්ද උනා කියල ඕව නවත්වනවා ඇයි.. සින්දු ඇනොගේ  ගුරු දින පෝස්ට් එකට කම්මල දාල තිබ්බ කොමෙන්ටෙක දැක්කම මේ ටික ලියන්නම හිතුනා.. මගේ ශිෂ්‍ය කාලයේ ගුරුවරු ගැන මතක ටිකක්..

**************************************
අකුරු කියවපු දවසේ ලොකු අයියා කොළඹ ඉද්දි ගෙනත් දීපු ලස්සන නිල්පාට සයිඩ් බෑග් එකයි ප්ලාස්ටික් බෝතලෙයි කුමාරෝදය පොතයි අරගෙන මම ඉස්සෙල්ලම ඉස්කෝලේ යනවා කියල ගියේ බදුල්ල ධර්මදුතේ 'බාලාංශ' පන්තියට.. අපේ අම්මට වැඩිය ටිකක් තලත්තැනි සුදු මහත 'ටීචර්' කෙනෙක් තමයි අපේ පන්තිය භාරව හිටියේ.. දවස් කීපෙකට පස්සේ දැන ගත්තා ඒ 'සේනානායක' ටීචර් බව.. (එවකට බදුල්ල නගරාධිපති පර්සි සේනානායක ගේ බිරිඳ).. ඒ කාලේ අපේ අම්මට පස්සේ මට වැඩිම ආරක්ෂාවක් දැනුනේ ටීචර් ළඟ ඉන්නකොට.. ඉන්ටර්වල් එකට කෝප්පයක් පුරවල දුන්නු පුංචි බිස්කට් වල සුවඳයි.. විභාගකටද මන්දා වතාවක් පන්තිය ඉස්සරහට ගිහිල්ල හයියෙන් කියාපු රෝස මලේ නටුවේ කටු ගීතයයි ඇරුනම මට ඒ පන්තියේ මතක තිබුනේ සේනානායක ටිචර්ගේ ආදරේ විතරයි.. හැබැයි 'බාලංශයෙන්' පාස් වෙලා 1 ශ්‍රේණියට එනකොට ලැබුණු තෑග්ගක් අදටත් මගේ ළඟ තියෙනවා.. තෑග්ග දුන්නේ සේනානායක ටිචර්.. ලස්සන ලොකු රවුම් අකුරින් තෑග්ග 'ලියල' තිබුනේ රිපෝර්ට් එකේ..
"දීප්තිමත් අනාගතයක සුභ ලකුණු දක්නට ඇත".. ඕක තමයි තෑග්ග.. ඒ තෑග්ග ලියපු රිපෝර්ට් එක තාමත් මගේ පුද්ගලික ලිපිගොනුවේ තියෙනවා..
වාසනාවට එක ශ්‍රේණිය භාරව සිටියේත් සේනානායක ටීචර් මයි.. එක නිසා මගේ පාසල් ජිවිතේ මුල් අවුරුදු දෙක වර්ණවත් කල ඒ සදාදරණිය ගුරුතුමියට පළමු ආචාර වෙඩිමුරය මෙසේ පිරිනමනවා.. ඒත් දෙපා නැමද ආදරය දැක්වීමට අද ඇය අප අතර නෑ..

1 සිට 4 ශ්‍රේණිය දක්වා මගේ පාසල් සමය හැල හැප්පීම් අඩු වකවානුවක්.. ඔය කාලයේදී හැමදාම වගේ අම්මා මාව පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අතර සතියේ මැද පොළ පැවැත්වුණු සැම බදාදා දිනෙකම අම්මගෙන් ලැබුණු 'අලියා බීම එක හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩිය' මට ඊළඟ සතිය දක්වා පාසල් යාමට අනුබලයක් එක්කරා. මා මුලින්ම 'ටිපිටිප්' එහෙක රස බැලුවේ 2 පන්තියේදීයි. එවක මගේ 'එක මේසේ' සගයා වතාවක් ටිපිටිප් පැකට් එකක් ගෙනවිත් තිබු අතර මටත් එකක් රස බැලීමට දුන්නා..

ඒ වගේම මුලින්ම රුපියල් සියයේ නෝට්ටුවක් ලඟට දැක්කේත් එම පන්තිදීමයි. මගේ පන්තියේ බොහෝ මුස්ලිම් මිත්‍රයින් සිටි අතර ඒ අතුරින් 'ෆයිසාල්' ගේ පියා බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. ෆයිසාල් වරක් රුපියල් සියයේ නෝට්ටුවක් ගෙනවිත් අපිට පෙන්වූ අතර එසැනින් එය 'ටීචර්'ගේ කණට වැටි තිබුනා. ඇය එය පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා දහවලෙහි ඔහුගේ දෙමවුපියන්ට භාර දුන්නේ නැවත එසේ මුදල් රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසද අවවාද කරමින්මයි. ඒ දෙක වසරේදී අපට ඉගැන්වූ 'ස්වර්ණලතා' ගුරු මහත්මියයි.. සුදු මහත උස 'ලස්සන' ගුරුවරියක් වූ ඈ මගේ මතකයේ එතරම් හොඳ තැනක නැතිවීම කණගාටුවක්.

එලෙසම 3 ශ්‍රේණියේ සිටි අපට එකවර වසරක 'ප්‍රමෝෂන්' එකක් ලැබීමත් මට හොඳින් මතකයි. පාසැල් නිවාඩු කාලය අවසන්ව අලුත් පොත් වලට බ්‍රවුන් පේපර් කවර දමා 'ස්ටිකර්' එකක් අලවා අක්කලාට කියා රවුම් අකුරින් '3 ශ්‍රේණිය' ලෙස ලියාගෙන ගිය පොත් වල නොබෝ දිනකින්ම '3 ශ්‍රේණිය' යන්න මකා දමා  ඒ වෙනුවට '4 වසර' ලෙස ලියාගෙන එන ලෙස එකල අපේ පන්තිය භාරව සිටි 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය දැනුම් දුන් අයුරු මට අද වගේ මතකයි. කොන්ඩේ තැනින් තැන සුදු වූ තලෙළු එහෙත් පියකරු වැඩිහිටි ගුරුවරියක් වූ 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය මට මට වඩාත් ලංවුයේ මා බාලාංශ පන්තියේ සිටියදී 5 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි අපේ පොඩි අයියගේ ගුරුතුමියද ඈ වූ බැවිනි. අම්මා එන්න පරක්කු දිනවල බාලාංශ පන්තිය ඇරී අයියාගේ පන්තිය අසලට එන මා කෙටි බිත්තියෙන් මෙපිට සිට පහ ශ්‍රේණියේ වැඩ ඉගෙන ගනිද්දී ඈ මා හට බොහෝ කාරුණික වුවාය..

පහ වසරේදී මට ඉගැන්වූ සුදු කෙට්ටු උස රුපයෙන් ලස්සන එත් මට එතරම් ලස්සන නැතිවූ ගුරුවරියගේ නම 'සුරම්‍යා' වගේ එකක් විය. එසේ වීමට හේතු දෙකක් තිබුණි. පහල පන්තිවල සිටම පන්තියේ එක හෝ දෙක ස්ථාන රක ගැනීමට මට හැකි විය.. 'එක' වීම සඳහා මාත් මා මිතුරු 'දිමුතු'ත් අතර සිතල යුද්දයක් විය.. එනම් එක වාරයකදී මා 'එක' වනවිට ඊළඟ වාරයේ මදක් වැඩිපුර උනන්දු වී දිමුතු එක වෙයි. ඊළඟ වර නැවත මා ටිකක් වැඩිපුර උනන්දු වී 'එක' වෙමි. මෙය අප දෙදෙනාටම යහපත් ලෙස බලපෑවක් යයි මම අදටත් සිතමි. එහෙත් පෙර කී ගුරුවරිය මේ දාමය බින්දාය..

සියලු විෂයන් වල ලකුණු එකතු කිරීමේදී පහ වසර මැද වාරික පරීක්ෂණයන්ගෙන් මා පෙරමුණේ සිටි බව මට පැහැදිලි විය. එහෙත් 'අත්වැඩ' විෂය ඉතිරිව තිබිණි. ස්වභාවයෙන්ම දිමුතුත් මාත් දෙදෙනාම 'අත්වැඩ' සඳහා කම්මැලියන් වීමු. එහෙත් එය මගේ 'උනන්දු වීමේ වාරය' වූ බැවින් ගිනිපෙට්ටි සිගරට් පෙට්ටි ඊයම් කොළ හා පාප්ප පොල්කටුවක් රැගෙන ගිය මා ඇඟ පුරාම පාප්ප උලාගෙන මහංසිවී හොඳ තත්වයේ පුටු සෙටියක් හදා ඉදිරිපත් කල අතර හිල්පොල්කට්ටක් හා කළු රෙදි කැල්ලක් රැගෙන ආ දිමුතුවා පොල්කට්ටේ ඇස් දෙකට ඉහලින් කළු රෙදි කෑල්ල අලවා කළු හොම්රන් පැස් එකක් ගෙන දැලි රැවුලක් ඇඳ රකුසු මූණක් නිර්මාණය කර තබා පිට්ටනියට පැන සෙල්ලම් කරන්නට වුවේය. (එය හැබෑම අපුරු අත්වැඩක් වූ බව නම් කිව යුතුමයි.) අවසන් විග්‍රහයේදී දිමුතුට අත්වැඩ සඳහා ලකුණු සියයෙන් සීයක් ලැබී මුළු එකතුවෙන් ලකුණු දෙක තුනකින් මා අභිබවා යාමට හැකිවූ අතර අත්වැඩ සඳහා ලකුණු හැටක් පමණ ලැබූ මා දෙවෙනියා විය. හිතේ අමාරුව පසෙක තබා දිමුතුගේ ඒ සරල අපුරු නිර්මාණය මාද රස වින්දෙමි. මෙහි අවශේෂ කතාවනම් දිමුතුගේ පියා වූ දිසානායක සර් එවකට ධර්මදුතේ උප විදුහල්වරයෙකු වීමයි.

මට 'මතක නැති' ඒ ටිචර්ත් සමඟ ඉන් ඉදිරියටත් මගේ ඒ හැටි ඇයි හොඳයියක් නොවිණි. වාරාවසාන විභාගයේදී චිත්‍ර විෂයට පෙනී සිටීමට මට නොහැකි විය. චිත්‍ර විෂයට ලකුණු නොමැතිව මා එවර තුන්වෙනියා වූ අතර 'කළු තරංග'යා ලකුණු කීපයකින් මාව අභිබවමින් දෙවැන්නා විය. ඒ වෙනුවට තරංග ගේ අම්මගෙන් ඔහුට අත් ඔරලෝසුවක් තෑගි ලැබී තිබුණු අතර 6 වසර ආරම්භයේදී 'තරංග' පන්තියේ උනන්දුවෙකු වී සිටියේය. එහෙත් ඉන් අනතුරුව මා එම පාසලේ නැවත විභාගයකට මුහුණ නොදුන්නෙමි.

ඒ අසුහත වසරයි. නව පාසැල් වරය ආරම්භයේදී මා පාසල් ගියත් එතෙක් පැවතී මගේ උනන්දුව ඒ වනවිට ගිලිහි ගොස් තිබුණි. පවුලේ වැඩිමලා වූ ලොකු අයියා ගුරුවරයෙකු ලෙස එවකට ඔහු ඉගැන්වූ වියලුව කන්දකැටිය ඩි.එස්.සේනානායක විදුහලට මා ඇතුලත් කිරීමට කටයුතු කල අතර ඔවුන් සමඟ ගුරු නිවාසයේ නතර වී පාසැල් යාමේ හැකියාව තිබුණි. කිසිදු පැකිලීමකින් තොරවම මම ධර්මදුතයට සමු දුනිමි.

කන්දකැටිය පාසලේ ගතකල වසරකට අඩු ඒ පරිච්චේදය මගේ පාසල් ජිවිතයේ ප්‍රීතිමත්ම අවධියයි.. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුයි. කෙසේවතදු ඒ ප්‍රීතිය හා සමඟ ගොඩ නැගුණු ශිෂ්‍ය පෞරුෂය මා ඉහල තැනකට ඔසවා තැබුවේය. හය වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 174ක් ලබා ඌව පළාතේ දෙවෙනියා ලෙසත් කන්දකැටිය විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වූ පළමුවැනියා ලෙසත් මා අසූ හත වසරාවසානයේදී එම පාසලට සමුදුනිමි. එහිදී හවස්වරුවේ විශේෂ පන්ති පවත්වමින් කිසිදු අමතර අයකිරීමකින් තොරව මගේ පන්තියට ඉගැන්වූ ඒ හොඳ ගුරුතුමියගේ නම මට අද මතක නැත. එහෙත් අමාවකට පෑයූ සඳක්වන් වූ ඇගේ  ඒ පින්බර වත සිහිකරමින් ඇයට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර ඒ සමඟම මට ඒ අවස්ථාව උදා කර මගේම ලොකු අයියා වූ 'ලලිත් සර්'වද මේ මොහොතේ සිහිපත් කරමි. 

එවර ලකුණු 176ක් ලබාගනිමින් ඌව පළාතේ පළමුවැනියා ලෙස සමත්වීමට මගේ දිගුකාලින මිතුරා දිමුතු සමත් විය. අප දෙදෙනාටම ලංකාවේ හතර දිග්බාගයේම පාසල්වලින් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුණු අතර දිමුතු කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වන විට අපිට හැකි විදියට මම බදුල්ල මැදි මහා විදුහලට ඇතුළත් වීමි. 

බදුලු මැදි මහා විදුහලේදී මුලින්ම 7'A' පන්තියට මා ඇතුලත් වූ නමුත් සෑම පන්තියකම ළමුන් ප්‍රමාණය ඉක්මවා සිටීම නිසා A,B,C පන්ති තුනෙන්ම අහඹු ලෙස ළමුන් තෝරා D පන්තියක් නිර්මාණය කිරීමේදී මාද D පන්තියට එක් වුනෙමි. දොස් කීමට මාම හැර වෙනකෙක් නොවූ නමුත් මෙතැන් සිට මගේ අධ්‍යාපන ගමන අවපසට ගමන් කල බව කිව යුතුමය.  7D පන්තිය බාරව සිටි 'මානෙල් ටීචර්' ගෘහ විද්‍යා කාමරයද භාරව සිටි අතර පිරිමි ළමයින්ට වඩා පන්තියේ ගෑනු ළමයින් අතර ජනප්‍රිය විය. එකා දෙන්නා දවසින් දවස මල්වර වෙමින් පිපි පිපී ආ කෙල්ලන් එදවස කොහොමත් අපිට වඩා 'ලොකු' වූ අතර මඩ නාගෙන හඩු නාගෙන හිටි අප කොල්ලන් කරදරකාරයන් ලෙස බොහෝ ගුරුවරියන් හා කෙල්ලන් සලකන්නට ඇතැයි දැන් මට සිතේ. කොහොමත් ඔය වයසේදී කොල්ලන්ට එතරම් තැනක් නැත. 

මානෙල් ටීචර් හා සම්භන්දව මට ඇති ලොකුම මතකය නම්.. දිනක් මම හා මගේ අතිජාත මිත්‍රයා නදීෂ එක්වී අපේම පන්තියේ සිටි තවත් දෙතුන් දෙනෙකුට පිට්ටනියේදී නෙළුවෙමු. ගුටි කෑ උන් අතර 'සිට්ටම්මා'ද විය.. ('සිට්ටම්මා උවැසියෙකි'යි හත වසර සිංහල පොතේ කොහේ හෝ තිබුණු අතර ඈ නිසා අපේ එකෙකුට 'සිට්ටම්මා' නම රෙජිස්ටර් විය. ගුටිකෑවේ අපේ සිට්ටම්මායි.) "අඩෝ දැනගනින්.. ආයි දැඟලුවොත් ඇට දෙක පුක වටේ කරකවනවා.." කොහෙන්දෝ අහුලාගත් චන්ඩි පාට් එකක් මවිසින් සිට්ටම්මාට එල්ල කරන ලද අතර ඌ කෙලින්ම දුවගොස් නතර වුයේ පන්තිභාර මානෙල් ටීචර් ලඟයි.. "ටීචර්..ටීචර්.. මේ දෙන්න මගේ ඇට දෙක පුක වටේ කරකවනවා කියල බැනල ගැහුවා.." ටිචර්ට මොනවා හිතුනාදැයි නොදනිමි. මාත් නදිෂත් පැයක් පමණ පන්තිය ඉස්සරහා ඉඳගෙන එකිනෙකා මාරුවෙන්නට කන් අල්ලාගෙන ස්කොට් ගැසූ බව පමණක් මතකයේ ඇත.  

8D පන්තියට යනවිට D පන්තිය 'අම්බ චාටර්' කොල්ලෝ සෙට් එකක් ඉන්න එකක් ලෙස හංවඩු ගැසී අවසානය. එවකට පාසලේ සිටි හැන්ඩි විද්‍යා ගුරුවරයෙකු වූ ප්‍රේමදාස සර් අපේ පන්තිය භාරගත් නමුත් ප්‍රේමදාස සර්ගේ නෑකමට මල්ලි කෙනෙකු වූ අපේ පන්තියේ පමල් හැරෙන්න වෙන එකෙකුවත් විශේෂයෙන් හදා ගන්නට සර්ට බැරිවිය. ඉස්කෝලෙදි කල නොහැකි වූ සියලු කුපාඩි වැඩ හවස පන්ති වලදී කරන්නට පමල් අපිවද එක් කර ගත් බැවින් අපි 'දෙකුපාඩියෝ' වීමු. අධික ලෙස ශිෂ්‍ය සටන් හා නොකඩවා දින ගණන් පාසැල් වසා තිබු ඒ යුගයේ මට මතක ඇති වැඩක් ලෙස කරේ මුල්ම වතාවට ඉස්කෝලේ කට් කර 'මමයි රජා' බැලීමට යාමයි. ඔෆිෂියලි දුම් පානය හා මත්පැන් පානය ඇරඹුවේද මේ වසරෙදීම වේ.
9D වනවිට අපි නැවතත් කෙල්ලන්ව අභිබවා අපේ ආධිපත්‍ය පන්තිය තුල පතුරවමින් උන්නෙමු. උගුරු දණ්ඩ කැඩී දැලි රැවුල් ඇඳුනු මුහුණු ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ ලක්ෂණ මතු කලේය. අපිට වැඩිය 'පොරවල්' ලොවෙත් සිටිය නොහැකිය. 'ගැන්සි' මානසිකත්වය පැතිරෙමින් තිබු අතර අපේ පන්තියේ කුප්‍රකට 'අට දෙනාගේ කල්ලියේ' මමත් යාවජීව සාමාජිකයෙකු වීමි. ඒ කතා ද වෙනම පොස්ට් එකක් දෙකක් ලිවිය යුතුම වන බැවින් මෙහිදී උවමනාවෙන්ම මග හරිමි. 9D පන්තිය භාර ගැනීම සමහර ගුරුවරු උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරද්දී ඒ වගකීමට අත තැබුවේ අදටත් මගේ ආදරණියම ගුරු තරුව වන 'අපේ ගීතා ටිචයි'.. ඇස් බොඳවී ස‍ටහන ලිවිම අතපසු වීම නොවැලක්විය හැක.  නමින් 'ගිතාන්ජලි හේමචන්ද්‍ර' වූ ඇයද එවකට බදුල්ල නගරාධිපති වූ හේමචන්ද්‍ර මහතාගේ දයාබර බිරිඳයි. (ගුරුකම මහා වැදගත් රස්සාවක් වූ එකල බොහෝ ඉහල පැලැන්තියේ මහත්වරුන්ගේ බිරින්දෑවරු ගුරුවරියෝ වුහ.) 

එතැන් සිට පුරා වසර තුනක් ඇය සැබවින්ම අපේ දෙවෙනි මව විය. නවය වසර වන විටම  හැඩි දැඩි තරුණයෙකු වූ අපේ බන්දුලයාගේ 'පයට පෑගෙන්න තරම්' දික්වූ රැවුල කපා ගැනීමට යැයි කීමට ඇයට බොහෝ වෙලාවක් ගතවිය.. එහෙත් එය කියූ ආකාරය නිසා ඉන්පසු කිසිදිනෙක අපි කිසිවෙකුවත් නොගැලපන ලෙස රැවුල මුහුණේ ඉතුරු කර නොගත්තෙමු. ඇය අපට දඬුවමක් කල දිනයක් මට මතක නැත.. ඒත්  'ගීතා ටීචර්' නිසා අපි බොහෝ හැදුනෙමු. 'ඇය නිසා' අප නොකර අත්හල 'දඟ වැඩ' බොහෝය.. එසේම එවන් 'දඟ වැඩ' කර අසුවූ විට ඇය දැක්වූ ප්‍රතිචාරද බොහෝ සංවේදී විය. මේ සටහන තැබීමට මා පෙලඹවූ ඒ සිදුවීම වුයේ මිට හරියටම වසර විසිහතරකට පෙර ගුරුවරුන්ගේ දිනයදාට පසුවදායි.

ගුරුවරුන්ගේ දිනයදා අපේ 'ශිෂ්‍ය නායකයෝ' එක්ව ගුරු උපහාර මොකක් හෝ යමක් සංවිධානය කර තිබිණි. ඒ වගේ ඒවාට අපි වගේ මැරැටියන් සාමාන්‍යයෙන් සහභාගී කර ගන්නේ නැත. ගුරුවරුන් සැවොම උපහාර උළලේ වූ අතර අපි 'අට දෙනා' පාසලෙන් පසුව පහල ඉස්කෝලේ පිට්ටනිය අසල 'ටැග්  ගැහි ගැහි' හිටියේ මේ උපහාර උළෙල කඩාකප්පල් කිරීමට මොකක් හෝ අවස්ථාවක් ලැබෙන තුරුයි. මොකුත්ම නැති උනොත් අවසානයට පිටව යන ශිෂ්‍ය නායකයෙකුට බඩ කට පුරා නෙලීමට අපි සුදානමින් සිටියෙමු. ටික වෙලාවකින් අපිට ගොදුරක් ලැබුණි. එක් ගුරුවරියකගේ පුතෙකු අලුත්ම මවුන්ටන් බයිසිකලයකින් අප සිටි තැනට ආවේය.. අපිට වඩා වසරක් දෙකක් පහල පන්තියක සිටි කොල්ලා අල්ලාගෙන අපි 'බයිට්' කිරීමට පටන් ගත්තෙමු. සමහරු එහෙන් මෙහෙන් ඌට ඇන්න අතර සමහරු බයිසිකලයේ හුලන් යවා සීට් අඹරවා විකාරයක් කළහ.. ඒ අතර තවත් සමහරුන් උගේ අම්මා ඇතුළු ගුරු ප්‍රජාවටම තිත කුණුහරුපයෙන් බණින්නට විය. දස වැඩ ඉවසා සිටිය නොහී කොල්ලා අඩාගෙනම ගුරු උපහාර උළෙලට කඩා වැදිණි. 

අපේ උවමනාව හරිය.. දෙබරයට ගල් ගසා ඇවිස්සිමු. උත්සවයේ සිටි සියලු ගුරුවරු කඩා වැදී එකක් දෙකක් ගසා බණිමින් අපව එළවා දැමීමත් සමඟ උත්සවයද කඩාකප්පල්වී ගියෙන් අපිද සතුටින් ගෙවල්වල ගියෙමු. වඩාත්ම ආකර්ශනීයම ජවනිකාව පසුදා උදයේයි. වැසි දිනක් වූ එදින උදයේම ආවේෂ වූ කපුවෙකු මෙන් දිගු කුදයක්ද උරුක් කරමින් අර කොල්ලගේ අම්මා හෙවත් ගුරුතුමී අපේ පන්තියට කඩා වැදුනාය.. ඒ සමඟම පෙර සිට අපව නිරීක්ෂණය කර තිබු අංශභාර 'දසනායක සර්'ද පැමිණ අපි අට දෙනාව නිවැරදිව අඳුනාගෙන පන්තිය ඉදිරියට පැමිණවූ විගස පරලවූ යකින්නියක සේ ඒ 'ගුරු මෑණියෝ' අපේ මූණු වලට කඩා පාත් උනි. "තොපි දන්නේ නෑ මං කවුද කියල.. මගේ කොල්ලට අත තියන්න.. මගේ මහත්තයා අයි.පී. අහවලා.. හිටපියව්.. තොපි ඔක්කොම මං ටයර් උඩ යවනවා.." 

අද මෙන් නොව එදවස පොලීසිය, තරුණයින් හා ටයර් අතර බොහෝම ආසන්න බැඳීමක් වූ හෙයින් මේ කණ වැකුණු සැනින් එතෙක් තුෂ්නිම්බුතව බලා සිටි 'ගීතා ටීචර්' වැලහින්නක සේ හඬා වැටෙන්නට වුවාය.. එමතු නොව වෙනදාට දඬුවම් කිරීම සඳහා වරදක් සොයමින් සිටිනා දසනායක සර් පවා ඇගේ ඒ නාඩගම අවසන් වනතුරු සිට කිසිත් නොකියා පන්තියෙන් බැහැරව ගියේය. බලා සිටිය නොහැක.. ටීචර් සනසවා ගැනීමට කුමක් හෝ කලයුතුම බැවින් අපි පහසුවෙන් එකඟ නොවන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනෙමු. එනම් අපේ ටීචර්ට වැඳ 'සමාව ගැනීම'ටයි. ටයර් එකක් නොව කන්දක් උඩ යැව්වත් අරුන්දාගෙන් නම් සමාව ගැනීමට එකෙක්වත් සුදානම් නැත. මා මුලින්ම ඉදිරිපත් වී අපේ ටීචර් ඉදිරියට ගොස් 'ටීචර් අපිට සමාවෙන්න.. අපි ආයි එහෙම වැඩ කරන්නේ නෑ'යි කියා වඳින්නට හැදුවා පමණි.. 'එපා මට වඳින්න..ඔයගොල්ලන් කවද හරි හැදෙනකම් කවදාවත් මට වඳින්න එපා'යි කියමින් ඇය දිගටම හැඩුවාය.. අපි පන්තියේ කොල්ලන් කෙල්ලන් බොහොමයක් එදා හිතේ හැටියට කඳුළු වගුරවමින් ඇයත් සමඟ ඇඩුවෙමු.
පසුදා උදයේ අපි නැවත කතාවී ගොස් ඇයට වැඳ සමව ගත්දී අගේ මුව යලිත් විකසිත විය.. සැබවින්ම එදා සිට අපි බොහෝ දුරට හොඳ ළමුන් වීමු. 

මේ සටහන දැනට වෘදව සිටින ඒ අපූරු ගුරු මෑණියන්ට උපහාරයක් වේවා! 

*****************************************
ප.ලි. 
පසුව නැවතත් නරක වීම හා උසස්පෙළ සමයේ සිටි ගුරුභවතුන් මෙන්ම පංතිභාර නොවුනත් අපේ ජිවිත ඒකාලෝක කිරීමට  ඇප කැපවූ තවත් ගුරු මෑණිවරුන් පියවරුන් කිහිප පොලක් හා බැඳුණු අතීත සිද්දීන් ඉදිරි දිනෙකදී පැවසීමට සිතා සිටිමි. සමහරවිට ඒ එන වසරේ ගුරුදිනයද විය හැක. සටහන දිග වුවාට කමා වන්න. 

Wednesday, 16 September 2015

අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

අද සැප්තැම්බර් 16.. මෙච්චර කාලෙකට මං ලියපු කිසිදෙයක් draft එකේ නතර වෙලා තිබුනේ නෑ.. හිතුනද ලියුව පබ්ලිෂ් කරා.. එත් පහුගිය ටිකේ පොස්ට් දෙකක්ම draft විදියට ඉතුරු වෙලා තියෙනවා.. මේකත් කොච්චර දුර ලියයිද දන්නේ නෑ.. ලියන්නම හිතාගෙන තමයි පටන් ගන්නේ.. බැරි උනොත් මට සමාවෙලා උඹ හිතාගනින් මචං 'මේකා මේ උත්සහ කරේ මං ගැන ලියන්න.. ඒත් අවුරුදු 14කට පස්සෙත් මූට හිත හදාගෙන ඒ ගැන ලියාගන්න බැරුවයි ඔය ලිවිල්ල පැත්තක තියල අඬන්නේ' කියල.. ඒකත් හරියට මීට අවුරුදු 18කටත් කලින් දවසක බැච් එකේ පලවෙනි නිවාඩුව ගිහින් එනකොට උඹ හදාගෙන ආපු ලෙටර් පෑඩ් එකේ සුදු කෙලි පොඩ්ඩියක්ගේ රුපයක් දාල එතනින් ලියල තිබ්බ උඹේ මේ අදහස වගේ නේද? 

"We are going to sea to protect this paradise; If we won't come back, please tell them that we sacrificed our lives on behalf of their future..."

2001 සැප්තැම්බර් 16.. කන්කසන්තුරේ වරායට අනුබද්ධ 'උත්තර' නාවික කඳවුරේ දියත් නිළධාරී නිවාසය මළ පාලුයි. දවසෙම මුහුදේ ඉඳන් ඇවිත් මහන්සි වෙලා හිටියත් නිදා ගන්න හිතන්නවත් බෑ... දවසෙම මම හිටියේ මුහුදේ. ඒ 'බේබි ලැන්ඩා' විදියට ව්‍යවහාරයේ හඳුන්වන Landing Craft Utility (LCU) වර්ගයේ කුඩා යාත්‍රාවක.. මුහුදෙන් ගෙනිහින් පියර් එකක් නැති තැනක ගොඩබිමට ම්නවහරි බාන්න තියෙන මේ වගේ යාත්‍රා යුද්දෙකට යන්නේ නෑ.. 2001 අප්‍රේල් මාසේ 21 උදේ බිහිසුණු  මුහුදු සටනකින් පස්සේ එවකට මං සේවය කරපු P 495 ඩෝරා යාත්‍රාව සදාකාලිකවම මුලතිව් මුහුදේ සැඟවිලා ගියාම මට තාවකාලිකව හම්බුනු 'සංක්‍රාන්ති' පත්වීමක් මේ බේබි ලැන්ඩා එක. ඒ නිසා මට උනේ එදා පේදුරු තුඩුවට ඔබ්බෙන් මුහුදේ වෙන මාරාන්තික සටන මහමුහුදේ ආරක්‍ෂිත ස්ථානයකට වෙලා 'සෙට් එකේ' අහගෙන ඉන්න.. ඒ තරම් අමාරුවෙන් ගෙවපු  දවසක් එතෙක් මගේ ජිවිතේ ගෙවිලා නෑ මගේ හිතේ. 

(එදා 495 යාත්‍රාව ඉරණම් පැට්‍රොල් එක යද්දී මම KKS වල නතර උනා.. නාවික හමුදාවට ගුවන් බල ඇණියක් එක් කිරීමේ පළමු පියවර වශයෙන් නාවික නිලධාරීන් 8 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට කල උත්සාහයේ එක් පියවරක් ලෙස අපිට ගුවන් හමුදා වෛද්‍ය පරීක්ෂණයකට හදිසියේ මුහුණ දීම සඳහා ගුවන් මගින් රත්මලානට පැමිණීමට සිදු වුනා. ඇත්තටම ඒ වනවිටත් 'ලයන් එයාර්' ආයතනය මගින් කරන ලද Aptitude ටෙස්ට් එකක් හා පුර්ණ වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් සමත් වී අපි 8 දෙනෙකු ඉන්දියාවේ අදාල පුහුණුව ලැබීම සඳහා තොරා ගෙන තිබුනත් පසුව වියදම් අඩුකර ගැනීම සඳහා පුහුණුව ගුවන් හමුදාව විසින් ලබා දීමට ගත ප්‍රතිපත්තිමය හදිසි තීරණයක් නිසා අපිට නැවත ගුවන් හමුදාව මගින් පවත්වනු ලැබූ සම්පුර්ණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුනා.. එය එසේ නොවුනා නම් මේ සටහන ලියන්නට මා තවත් ජිවතුන් අතර නෑ..)

පෙරදින රාත්‍රියේ ට්‍රින්කෝ ඉඳල 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' නැව (M/V Pride of South) ආමි එකේ 1300 කට අධික පිරිසක් නංවාගෙන KKS දක්වා යාත්‍රා කරමින් තිබුනා.. ඒ සඳහා ආරක්ෂාවට නාවික හමුදාවේ ෆාස්ට් ගන් බෝට් (Fast Gun Boat) ලෙස හඳුන්වන කුඩා ප්‍රමාණයේ නැව් දෙකක් යොදවා තිබුණා.. මේ කොන්වෝයි (Convoy) එක පේදුරු තුඩුවේ සිට ඊසාන දිගින් නාවික සැතපුම් 50ක් පමණ ආසන්න වන විට උතුරු නාවික විධානයට අයත් තවත් ගන් බෝට් එකක් හා වෙරළාරක්ෂක යාත්‍රා (Coastal Patrol Craft) දෙකක්ද එහි ආරක්ෂාවට එකතු වුනා. මේ ගන් බෝට් වලින් අධික වෙඩි බලයක් ලබා දිය හැකි නමුත් වේගයේ මද කම හා හැසිරවීමේ අපහසුතා නිසා අධිවේගී කුඩා LTTE ප්‍රහාරක හා මරාගෙන මැරෙන යාත්‍රා සඳහා හොඳ 'ටාගට්' එකක් වුනා මිස ඒ හා සටන් කිරිමට හැකියාවක් තිබුනේ නෑ. ඊලාම් යුද්දය පුරාවටම LTTE මුහුදු කොටි තර්ජනයට සාර්ථකව පහරදිය හැකි ප්‍රහාරාත්මක බල ඇණිය උනේ ඩෝරා යාත්‍රා බලගණය පමණයි. 

මේ වනවිට උතුරු නැගෙනහිර මුහුදේ නොනවතින නාවික මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුනා.. LTTE සංවිධානය මුහුදු මගින් ආයුද ප්‍රවාහනය කිරීම වැලැක්වීම සඳහා M (මුලතිව්) හා C (චලෙයි) යන ප්‍රධාන LTTE මුහුදු කොටි කඳවුරු වලට එපිටින් ඩෝරා යාත්‍රා දෙක බැගින් දවස පුරාම තුන්සිය හැටපස් දවසෙම රඳවා තිබුණා. මේ නිසාම මුහුදු කොටින් මේ ප්‍රධාන කඳවුරු වල මෙහෙයුම් අඩු කරමින් චුන්ඩිකුලම්, වෙත්තිලකර්නි හා නාගර්කෝවිල් වැනි අවශේෂ කොටි කඳවුරු හරහා ප්‍රහාර දියත් කිරීමේ ප්‍රවණතාවයක්ද නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක් කරා.. 

ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව මෙසේ ආරක්ෂිතව රැගෙන යන අතර පේදුරුතුඩුවේ සිට ඊසාන දෙසට නාවික සැතපුම් 25ක් පමණ තිබියදී එහි ආරක්ෂාවට යොදවා තිබු උදාර නැවේ අණදෙන නිළධාරී තැනගෙන් C හි සිටි P 462 ඩෝරා යාත්‍රාවට හදිසි ඇමතුමක් ලැබුණා.. එයින් කියවුනේ ඔවුන් ආසන්නයේම කුඩා යාත්‍රා සමුහයක් සැක කටයුතු ලෙස දිස්වන බවයි. ඒ හා සැනෙකින්ම වාගේ ඒවා මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා බවත් ඔවුන් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ඉලක්ක කරගෙන පහර දීම ආරම්බ කොට ඇති බවත් දැන්වුනා. මේ වනවිට වෙලාව පාන්දර 4.50 පමණ වන්නට ඇති. එසැනින් ක්‍රියාත්මක වූ P 462 යාත්‍රාව හා P 442 යාත්‍රාව චලෙයි සිට අදාල ස්ථානය කරා උපරිම වේගයෙන් යාත්‍රා කිරීම පටන් ගත්තා.. ඒ සමඟම ඊට එපිටින් M හි සිටි P 497 හා P 490 ඩෝරා යාත්‍රා දෙකත් සටන පවතී ප්‍රදේශය වෙත වේගයෙන් තම යාත්‍රා මෙහෙයවූවා. C ස්ථානයෙන් පිටත්වූ යාත්‍රා දෙක මඟ නවත්වා ගැනීම සඳහා නාගර්කෝවිල් හි සිට මුහුදු කොටි යාත්‍රා හතරක් ඒ දෙසට වේගයෙන් යාත්‍රා කරනු ලැබුවත් එහි වුවමනාව වන්නේ ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලැබෙන ආරක්ෂාව අඩපණ කිරීම බව දන්නා නාවික යාත්‍රාවෝ උපක්‍රමිකව ඒවා මග හරිමින් ප්‍රධාන අරමුණ වූ හමුදා පුද්ගලයින් 1310 ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව ආරක්ෂා කිරීම වෙනුවෙන් හැකි උපරිම වේගයෙන් ඒ දෙසට යාත්‍රා කරා. 

උදැසන 0605 පැය වන විට p 462 හා p 442 ඩෝරා යාත්‍රා දෙක අදාල සටන් පැවතී ස්ථානයට ලඟා වන විට මුහුදු කොටින් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවට මීටර් 600ක් පමණ ආසන්නයට ලං වෙමින් මිමි 23 බර අවි වලින් නැව් බඳට වෙඩි තබමින් සිටියා.. හැසරවිමේ අපහසුතා මැද වුවත් නාවික හමුදාවේ උදාර, එඩිතර ii හා ජගතා යන ගන් බෝට් තුනත් වෙඩි බලයෙන් හීන p 251 හා p 252 යන වෙරළාරක්ෂක යාත්‍රා දෙකත් විස්සකට අධික වූ අධිවේගී මුහුදු කොටි ප්‍රහාරක යාත්‍රා හා මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රයිඩ් ඔෆ් සවුත් වෙත ලංවිම වළක්වාගෙන දැඩි පරිශ්‍රමයකින් හා අදිෂ්ටනයකින් යුතුව සටන් වදිමින් සිටියා. ඊට අමතරව ප්‍රයිඩ් ඔෆ් සවුත් නැවේ තට්ටුව මත සිටි යුද හමුදා සාමාජිකයින් තම තමන් අත රැඳි කුඩා මැෂින් තුවක්කු වලින් කොටි යාත්‍රා දෙසට වෙඩි තබමින් තම ශක්තිය හැකි පමණින් කිසිදා අත් නොවිඳි මුහුදු සටනකට දායක කරමින් සිටි බවද සඳහන් කල යුතුමයි.

p 462 හා p 442 වේග ප්‍රහාරක මුර යාත්‍රා හෙවත් ඩෝරා යාත්‍රා දෙක සටනට අවතීර්ණ වීමත් සමඟම  සටනේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගත්තා.. තම රේඩාර් තිරයේ දක්නට ලැබෙන රුපයෙන් හා උදාර නැවේ අණදෙන නිළදාරි තැනගේ විස්තරයත් සමඟ යුද පිටියේ චිත්‍රය මනසින් මවා ගෙන සිටි ඩෝරා යාත්‍රා දෙකේ අණභාර නිලදාරීන් දෙපල සිය අත්දැකීම් බහුල සටන් කරුවන් අමතමින් ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කර කෙලින්ම තම යාත්‍රා මුහුදු කොටි යාත්‍රා හා ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාව අතරට යාත්‍රා කලේ දැවැන්ත කොටි වෙඩි වරුසාවට නොපරදින එවන්ම වූ වෙඩි වරුසාවක් මුහුදු කොටි යාත්‍රා දෙසට එල්ල කරමින්මයි.. සුළු වෙලාවකින් p 497 හා p 490 ඩෝරා යාත්‍රා දෙකද මුහුදු දිය දෙබෑ කරමින් සිය සගයින් හා එක්වෙමින් ද්වන්ධ සටනට අවතීර්ණ වත්ම ඊලම් යුද ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ එක් දැවැන්තම මුහුදු සටනකට දෙපාර්ශවයම එක්වී සිටියා.

යුද හමුදා සාමාජිකයින් 1310ක් රැගත් ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව.. එදා ප්‍රහාරයේ LTTE යේ දැවැන්ත ඉලක්කය.. උතුර හා නැගෙනහිර අතර එකම සම්භන්දය වූ මුහුදු මාර්ගය අඩපණ කරමින් යාපනය හුදෙකලා කර ගැනීම.. යුද හමුදා සාමාජිකයින්ගේ මානසිකත්වය බින්දුවට ඇද දමමින් සටනේදී  පහසු ගොදුරු බවට ඔවුන් පත් කර ගැනීම.. නාවික හමුදාව සතුවූ මුහුදේ ඒකාධිකාරිය තම පාලනයට නතු ගොඩබිම් ප්‍රදේශ ආසන්න මුහුදේදී තමන් සතු කර ගැනීම.. නාවික හමුදාවට දැවැන්ත පරාජයක් ඒක කිරීම මගින් තම මුහුදු සටන් හැකියාව ලොවට හඬගා කීම.. මේකි නොකී අතිශය වැදගත් භාරදූර වූ මුහුදු මෙහෙයුම මුහුදු කොටි නායක සුසෙයි විසින් නාගර්කෝවිල් හි මුහුදු කොටි කඳවුරේ සිට ඍජු අණදීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබු අතර කිලිනොච්චියේ සිටිමින් සටනට උපදෙස් දෙමින් සිටි 'ප්‍රභා' ගේ එකම අණ වුයේත් 'ප්‍රයිඩ් ඔෆ් සවුත්' ම තමාට ලබා දෙන ලෙසයි. LTTE මුහුදු කොටින් තම නායකයින්ගේ අණ පහසුවෙන් බැහැර කිරීමට සුදානමින් සිටියේ නෑ.. 

උතුරු මුහුදේ මෙයාකාරයෙන් දරුණු සටන් ඇවිලෙමින් යද්දි උතුරු නාවික විධානයේ හා නැගෙනහිර නාවික විධානයේ සියලු නෞකා හා ආයතනද හදිසි අවස්ථාවකට සුදානම් කෙරුණු අතර තවත් ඩෝරා යාත්‍රා හතරක් කන්කසන්තුරය වරායෙනුත් තවත් ඩෝරා යාත්‍රා 4ක් ට්‍රින්කෝ වලිනුත් සටනට එක්වීම සඳහා ක්ෂණිකව ගමන් අරඹා තිබුනා. කන්කසන්තුරයෙන් පිටත්වූ යාත්‍රා වලට පැයක පමණ කාලයකදී සටන් ප්‍රදේශයට යා හැකි නමුත් ට්‍රින්කෝ සිට එම ස්ථානයට ළඟ වීමට අවම වශයෙන් පැය 4ක කාලයක් ගතවෙනවා. 

මේ ආසන්න මුහුදේ එකිනෙකා කා කොට ගන්නා මුහුදු සටන් වචනයෙන් විස්තර කල නොහැකි තරම්ම ඉතා භයන්කරයි. සැඟවීමට හෝ මුවා වීමට තැනක් නැති මහා මුහුදේ වේගයෙන් එකිනෙකා දෙසට යාත්‍රා හසුරවමින් බර අවි වලින් වෙඩි තබා ගන්නා අතර මුලින්ම නිවැරදි ඉලක්කය ගන්නා එකා ජය ගන්නවා.  එදා මෙම ප්‍රයිඩ් ඔෆ් සවුත් නෞකාවේ ගමන්කළ යුද හමුදාවේ 55 වන සේනාංකයේ කෝප්‍රල් තිලකරත්න එස්.එම්. සෙ. 300601 සෙබළා 2001 සැප්තැම්බර් මස 25 වන දින නාවික හමුදාපති තුමාට ලිපියක් එවමින් තම කෘතවේදීත්වය මෙසේ පළ කරනවා. 

"නාවික ප්‍රහාරක යාත්‍රා වල නිළදාරින්/ සහෝදර නැවියන් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කල ආකාරය විස්මය දනවන දසුනක් විය. විශාල යුද හමුදා සෙබල පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් කල අයුරු අප ජිවිත කතාවේ කිසිදිනෙක නොමියෙන මතක සටහන් වී අප හදවත් තුල සදාකාලිකවම තැන්පත් වී ඇත.
.... රුදුරු දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ට එරෙහිව සීය අවි මෙහෙයවමින් ඔවුන්  සටන් කල ඒ නිර්භීතබාවයට හා දැක්වූ එවන් දස්කම් විස්කම් වෙනුවෙන් මෙලොව පුදන්නට ගෞරව හා සම්මාන මෙතෙක් බිහිවී නොමැති බව මාගේ විශ්වාශයයි...
නාවික යාත්‍රා වල සිටි සහෝදර නැවියන් එකා පිට එකා මැරි වැටෙමින් ජිවිත පරිත්‍යාග කරද්දී පවා රුදුරු ත්‍රස්තවාදී බෝට්ටු උඩින් තම යාත්‍රා පදවමින් නොසැලෙන අරමුණක පිහිටලා ප්‍රහාරය දියත් කල ආකාරය අප හදවත් තුලින් කිසිදා මැකී නොයන අතිශය බිහිසුණු දසුනකි. ගොඩබිමේ යුද පෙරමුණේ යුද්දයේ බිහිසුණු බව අප අත්විඳ ඇතත් කිසිදු හව් හරනක් නැති මහා සයුර මැද මෙවන් වික්‍රමයන් කල ඔබගේ වීර වික්‍රමාන්විත පුතුන් අප හදවත් තුල සදාකාලික වීරයින් සේ රැඳී සිටිනු ඇත.." 55 වන සේනාංකය යනු බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ අවසන් සටනේ පෙරමුණ ගත් විරෝදාර සෙබළුන් රැසක් සපිරි යුද හමුදාවේ එක් සාර්ථකම ප්‍රහාරක සේනාංකයකි. 

මේ අතර ප්‍රයිඩ් ඔෆ් සවුත් රැගත් නාවික හමුදා ගන් බෝට් සටන් පවතී ප්‍රදේශයෙන් මදින් මද ඈත් වන්නට වීම LTTE යට දැනෙන්නට ඇත. ඔවුන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව තව දුරටත් මුහුදේ තබා ගැනීමේ හැකියාව අවම වෙමින් පවතින්නට ඇතැයිද සිතිය හැක. මුහුදු කොටි යාත්‍රා හා ඩෝරා යාත්‍රා අතර සටන් ඇවිලෙද්දී කොටි බෝට්ටු අතරින් වේගයෙන් මතුවුණු කුඩා මරාගෙන මැරෙන බෝට්ටුවක් අවි බලයෙන් හා වේගයෙන් අඩුවූ  p 251 වෙරළාරක්ෂක යාත්‍රාව හඹා ගොස් පේදුරුතුඩුව මුහුද බිහිසුණු පිපිරුම් හඬකින් කම්පා කරවමින් එහි ගැටී පුපුරුවා ගත්තේය. ඒ සමඟම තම පමණට වඩා වෙර ගෙන එතෙක් වෙලා අභිතව සටනේ නියැලී දිවි දෙවෙනිකොට සටන් කල ඒ අභීත විරු පුතුන් එකොලොස් දෙනෙකු පිරිවරාගෙන ඒ යාත්‍රා තෙමෝ උදැසන නැගෙන හිරු කිරණ පරයා නැගුනු කළු දුමාරය මැදින් උතුරු මුහුදේ සදහටම සැඟවී ගියාය. 

ඒ මේ මහසටන මැද නාවික හමුදාවට සිදුවූ පළමු අහිමිවීමයි. සටන තවමත් ඇවිලෙමින් පවතී. LTTEය පසු බැසීමට සුදානම් නැත. ඔවුන්ගේ මෙහෙයුම මාරාන්තිකය.. ඔවුන් මාස ගණනාවක් තිස්සේ මේ දැවැන්ත මෙහෙයුමට හොඳින්ම සුදානම් වී පැමිණ ඇතුවට සැක නැත. කොතරම් අලාභ හානි මැද්දේ වුවද නැවත නැවත ඔවුන් නාවික යාත්‍රා හඹා එති. පෙරදින රාත්‍රියේ සිට මුහුදේ නිදි වරමින් සිටි ඩෝරා යාත්‍රාවල ඉන්ධන , උණ්ඩ හා නැවියන්ගේ සටන් ශක්තිය හිනා වෙමින් යයි.. හදිසියේ පිටත්වූ යාත්‍රා වලද සමහර නිලදාරීන් හා නැවියන් නිවාඩු ලබා ගොස් සිටි නිසා ඒ වෙනුවෙන් එක් කර ගන්නා ලද කණ්ඩායම් අමඟ එහි යුද සුදානම සපුරා බලාපොරොත්තු විය නොහැක. ට්‍රින්කෝ වලින් පිටත්වූ යාත්‍රා තවමත් සටන් බිමට ලඟා වී නැත. 100% ක්ම නොපිරිහෙලා ඉතිරිව ඇත්තේ චිත්ත ශක්තිය පමණි. ට්‍රින්කෝ වලින් එන යාත්‍රා සටන් බිමට එනතුරු එය එසේම මුදා හල යුතුය. 

මේ වනවිට ට්‍රින්කෝ වලින් පිටත්වූ ඩෝරා හතර සටන් බිමට ආසන්න වෙමින් සිටි නිසා p 465 යාත්‍රාවේ අණභාර නිළධාරී ලුතිනන් ප්‍රියන්ත සංඥා යන්ත්‍ර හරහා සටනේ විස්තර සියල්ල ලබාගෙන කෙලින්ම සටන අවතීර්ණ විය. වෙඩි බලය හීන වෙමින් අපහසුවෙන් සිටි සෙසු නාවික හමුදා යාත්‍රා අභිබවමින් සටන් පෙරමුණට බට p 465 යාත්‍රාව සතුරු යාත්‍රා ආසන්නයටම යමින් දැවැන්ත ප්‍රහාරයක් මුදා හළේය. එදා සටනට ට්‍රින්කෝ වලින් පිටත් වූ p 465 ඩෝරා යාත්‍රාවේ තාවකාලික අණභාර නිලධාරියා වූ ලුතිනන් ගීකියනගේ දොන් ජනක ප්‍රියන්ත යුද්දයට ගිය කල 'මැරෙනවා පෙන්නේ නැති' ටයිප් එකේ බුලට් එකකි. නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීමේ 'සුපිරි චරිතයක්' වූ ප්‍රියන්ත පසුගියදා කරුවලගස්වැවදී සිදුවූ වාහන අනතුරකින් නොසිතු අයුරින් ජිවිතයෙන් සමුගත් නමුත්  එතෙක් මෙතෙක් නාවික හමුදාව බිහිකළ පළමු පෙළ 'සටන්කරුවෙකු' ලෙස අභිමානයෙන් සටහන් කල හැකිය. . මොහුට මෙලෙස සතුරාට පන්න පන්න ප්‍රහාරය එල්ල කිරීමට ඒ වනවිට ප්‍රදාන අවිය සම්බන්ධ පරිගණක පද්දතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරමින් නිවැරදි ඉලක්කයන්ට නොනවතින වෙඩි බලයක් ලබා දුන් p 465 යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ උප ලුතිනන් සමීර විතාරණ ගේ සටන්කාමිත්වය හා රණ ශුරත්වය නොමද පිටුවහලක් විය. සැබවින්ම එදා p 465 යාත්‍රාව භාර නිලධාරීන්ගෙන් උප ලුතිනන් සමීර පමණක් ඒ වන විට යාත්‍රාවේ රැඳී සිටි නිසා OIC ලෙස ලුතිනන් ප්‍රියන්තත් සහයක නිලධාරියෙකු ලෙස උප ලුතිනන් තමින්ද කුමාරත් සමඟ සටනට එක්වීම සඳහා හදිසියේ පිටත් වී තිබුණි. උප ලුතිනන් සමීර විතාරණත් උප ලුතිනන් කුමාරත් යනු මා සමගම එකට නාවික හමුදාවට එක්වූ සහෝදර නිලධාරීන් දෙපළකි. 

p 465 යාත්‍රාවේ ප්‍රහාර හමුවේ කොටින්ට යන එන මං නැති විය. සිසිකඩ විසිර ගිය කොටි බෝට්ටු තනිකර ගනිමින් සෙසු නාවික හමුදා යාත්‍රා විසින් කොටින්ට ඉතා විශාල ලෙස හානි කරමින් තිබිණි. එහෙත් හැකියාව හා නිර්භීතකම තරමටම වාසනාව p 465 යාත්‍රාවේ නැව් කණ්ඩායම සතු නොවුනා විය හැක. කොහෙන්දෝ ඉගිලී ආ සතුරු උණ්ඩයක් නැව් බැඳ පසාරු කරමින් ගොස් ප්‍රධාන එන්ජින් යන්ත්‍ර පාලනය කරන පුවරුවේම පතිත වී පුපුරා ගියේය. එයින්ම ප්‍රධාන එන්ජින් යන්ත්‍ර දෙකම අඩපණ වූ අතර ක්ෂණයකින් සතුරු යාත්‍රා මැදම p 465 වේගය අඩාල වී ගොස් සම්පුර්ණයෙන්ම නැවතිණි. ලේ රස ඉව වැටුණු රුදුරු ත්‍රස්තවාදීන් සැනෙකින් සීය බෝට්ටු වල ප්‍රධාන අවි p 465 දෙසට මානා වෙඩිවරුසා මුදා හරින්නට විය. එහෙත් සටන අත හැරීමට හෝ යටත් වීමට ලුතිනන් ප්‍රියන්ත උප ලුතිනන් සමීර ඇතුළු කිසිවෙක් සුදානම් නැත. මව්බිම නැත්නම් මරණය.. එය ඔවුන්ගේ ලේ වලටම කා වැදි තිබුණි. සතුරු යානා රැසක තනි ඉලක්කය වී තම සගයින් එක එකා මැරි වැටෙද්දී ජිවත් වීම සඳහා නොව ආත්මාභිමානය සඳහා වූ අවසන් සටනට ඔවුහු අවතීර්ණ වුහ. සිරුරු කීතු කීතු ඉරා දමමින් පියාඹන සතුරු වෙඩි උණ්ඩ මැද ලේ මස් වැදලි එල්ලෙන සිය සිරුරු යන්තම් වාරු කරගෙන ඔවුහු තම අවසන් අධිෂ්ටානය එසේ තුවක්කුවට මුදා හරිද්දී.. 

සිය සගයින් සතුරු හමුදාවට මැදිව එක්තැන්ව කරන සටන ක්ෂණයකින් සෙසු ඩෝරා යාත්‍රාවෝ නිරීක්ෂණය කළහ. වහ වහා රොද බැඳුනු යාත්‍රා කණ්ඩායම එක පෙලට යාත්‍රා පෙළගස්වමින් සිය උපරිම වෙඩි බලය මුදා හරිමින් සතුරු හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරමින් කඩා පනින්නට වූ අතර තවත් 'මැරෙනවා පෙන්නේ නැති' එකෙක් වූ හා නාවික හමුදා මුහුදු සටන් ඉතිහාසය තුල සදා නොමැකෙන ලෙස තම නම රැන්දුවාවූ ලුතිනන් කමාන්ඩර් ටිරෝන් හලල්ඩින් නම් වූ ඒ අභීත සෙන්පතියා හා ඔහුගේ කණ්ඩායම සතුරු වෙඩි වරුසාවක් මැද්දට සිය p 472 යාත්‍රාව යුහුසුළුව මෙහෙයවමින් p 465 යාත්‍රාව කඹයක ආධාරයෙන් ගැට ගසාගෙන ප්‍රහාර සිමාවෙන් පිටතට ඇදගෙන යාමට තරම් නිර්භීත හා කාර්යක්ෂම වීම නිසා නිලධාරීන් තිදෙනෙකු හා නැවියන් 17 දෙනෙකු සමඟ සදාකාලිකව මුහුදු පතුලේ සඟවා යාමට නොදී p 465 යාත්‍රාව මුදා ගැනීමට හැකි විය. එසේම පලායන සතුරන්ට පවා පන්න පන්න පහරදී ඔවුන්ගේ අරමුණ වූ ප්‍රයිඩ් ඔෆ් සවුත් නැව හා එහි ගමන් ගත් 1310ක් වූ යුද හමුදා සාමාජිකයින්ගේ ජිවිත නිරුපද්‍රිතව කන්කසන්තුරය වෙත රැගෙන ඒමටත් එදා මේ අභීත මුහුදු සටන්කරුවන් අවසානයේ සමත් විය. 

p 465 යාත්‍රාව මුදා ගත් නමුත් මගේ හිතාදර මිත්‍රයා උප ලුතිනන් සමීර විතාරණ ඇතුළු එහි සිටි නැවියන් හත් දෙනෙකුත් ප්‍රහාරයට සහභාගී වූ අනෙක් යාත්‍රාවල සිටි තව නැවියන් තුන් දෙනෙකුත් ලෙස ලක් මාතාවගේ අභීත නාවික පුත්‍රයින් එකොලොස් දෙනෙකු ඒ වන විට දැයෙන් සමුගෙන ගොස් සිටියහ. ඒ උදේ විනාශ වූ  p 251 යාත්‍රාවේ සිටි නැවියන් එකොලොස් දෙනාට අමතරවයි...


ලුතිනන් සමීර විතාරණ.. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් දැයට දායාද කල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා වෙසෙසින් 28 වන බඳවාගැනීමේ නම ඉහලට ඔසවා තැබීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ, පවුලේ වැඩිමලා ලෙස සිය නැගෙණිය හා මල්ලිගේ අනාගතය යහපත් කර ගැනීමට හා දෙමවුපියන්ට අත්වැලක් වීමට නොඉවසිල්ලෙන් බල සිටි, මගේ හෘදයංගම මිත්‍රයා..

එදා ඒ උඹේ පපුව පසාරු කරගෙන උණ්ඩය කිඳා බසිද්දී අර උඹ 'ලෙටර් පෑඩ් එකේ ලියු සටහන' උඹට මතක් වෙන්න වෙලාවක් නොතිබිච්ච බව මට හොඳටම විශ්වාසයි. ඒත් උඹේ සිතල සිරුර KKS හාබර් එකට අරන් ආපු p 485 ඩෝරා එකෙන් උස්සලා මගේ අතින්ම බිමට බාද්දී මට දැනිච්ච හැඟීම ඒ වචන වහගෙන ලොකු පැල්ලමක් වෙලා මගේ හිතේ නොමැකි තියෙනවා මචං.. මේ වගේ සටහනක ඒ හැමදේම ලියාගන්න බෑ.. එදා අප්‍රේල් 21 මගේ ඉරණම් ගමන මග ඇරලා ගුවනින් රත්මලානට යන්න මාත් එක්ක උඹත් ආවත් උඹේ ඉරණම් ගමන මග ඇරලා උඹව කොහෙවත් එක්ක යන්න මට එන්න බැරි උනා මචං. අවුරුදු දා හතරක් කියන්නේ එච්චර ලොකු කාලයක් වෙන්න බෑ.. උඹ අද ඊයෙත් මාත් එක්ක හිනා වෙලා කරට අත දා ගෙන හිටියා වගේ මට මතකයි.. කමක් නෑ.. අපි කවද හරි ආයි හම්බ වෙමු. උඹට ජය! 

මම කල්ලා.. 





Tuesday, 25 August 2015

Sling on hammock! නාවික යෙදුම් ගැන මතක කිහිපයක්..

"Cadets, you have to be here again sharp at 1330 hrs for next lesson. You; class leader take charge the division, double up to the gun room, have your dinner and back in time. no hanky panky, OK?"
"OK sir!"
"What is fucking ok? remember, no bloody ok in the Navy. Say 'Aye Aye sir!'.."
"Aye aye sir!"
ඊයේ හිතවත්ම හිටපු නාවික නිලධාරියෙකුගේ මවගේ අවමගුලකට සහබාගි වෙන්න උස්වැටකෙයියාවට ගිය වෙලේ විශේෂ පුද්ගලයෙක් හම්බ උනා.. මගේ නාවික ජිවිතයේ පලවෙනි අංශ භාර නිලධාරියා.. (මළ ගෙදර කියුවට ඉතින් මුලින්ම ගියේ ක්ලබ් හවුස් එකට.. ලස්සන තැන.. පුළුවන් වෙලාවක ගිහින් එන්න.. -ඇඩ් එකක් නෙවෙයි) 

ඔය උඩින් ලියුවේ මට මතක විදියට මං ඒ ජේෂ්ට උත්තමයත් එක්ක කතා කරපු පලවෙනි දෙබස ද කොහෙද. ඊයේ නෙවෙයි ඒ මීට අවුරුදු බර ගානකට කලින් දවසක..  ඒ මතකයත් එක්ක හිතුන පොඩ්ඩක් නාවික හමුදාවේදී භාවිතා වෙන වචන හා විශේෂ යෙදුම් ගැන මොනවා හරි ලියන්න.. අධික වැඩ තියෙන මහත්වරුන් කියවල කලේ නාස්ති කර ගත්තේ නැතත් කමක් නෑ මොකද ඒ හැටි ගත යුත්තක් නම් නෑ. සමහරු මේ විස්තර කියවන්න ආසා නිසයි ලියන්නේ. තරහා අවසර. 

හමුදාව ගැන ලියනකොට ඊටම අවේනික වූ භාෂාවන් වලින් ලියනෙක වැදගත්.. මොකද ඒ වචන නැතුව අපි බලාපොරොත්තුවෙන අදහස ප්‍රකාශ කිරීම සමහරවිට ගොඩක් අමාරුයි. ඉස්සරහට හමුදා කතා ටිකක් ලියන්න ඕනි කියල හිතන් ඉන්න නිසා කියවන අයටත් ඒ වචන දැනගෙන ඉන්න එක හොඳයිනේ. අනික, නාවික හමුදාව කියන්නේ සිරිත් විරිත් හා සම්ප්‍රධායන් (customs & etiquette) ගොඩක් එකතුවුණු තැනක්.. එක නිසාම ඒ හා බැඳුනු අතීත කතාවක් හා වචන මාලාවක් තියෙනවා. ඔන්න බලන්නකෝ ඉතින් ඔය උඩ වාක්‍ය දෙක තුනෙත් මං තද රතු අකුරින් ලියල තියෙන වචන සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත වෙන්නේ නෑ.. නැත්නම් වෙනස් අර්ථයක් ගේන්නේ.. මුලින් ඒ ටික බලමු.

නාවික හමුදාවේදී වෙලාව සටහන් කරන්නේ ඉලක්කම් හතරකින් පැය 24 ක්‍රමයට. කොහේදී ලියුවත් එක එහෙමම විය යුතුයි. මැදට තිත් මොකුත් නෑ එකදිගට ලියනවා. ඔය 1330 hrs කියනෙක වෙනත් තැන්වලදී 13.30/ 13:30 විදියට හෝ 1.30 pm/ 1:30 pm විදියට ලියනවා දැකල ඇති. නාවික හමුදාවේදී am/ pm භාවිතයක් වත් තිත් භාවිතයක්වත් නෑ. මේක කියවන්නේත් ඉලක්කමෙන් ඉලක්කම.. වන් ත්‍රී ත්‍රී සීරෝ අවර්ස් සින්හලෙන්නම් එකයි තුනයි තුනයි බින්දුව පැය විදියට. දවසේ ඕනෙම වෙලාවක් පැටලෙන්නේ නැතුව මේ විදියට පැහැදිලිව කියන්න පුළුවන්. විශේෂයක් තියෙනවා මේ වෙලාව කියවීමේදී 0000 පැය කියලා එකක් කියන්නේ නෑ. දවස ඉවර වෙන්නේ 2359 පැයේන් ඊළඟ දවස පටන් ගන්නේ 0001 පැයේන්. 

සීග්‍ර ගමනේ යාම
double up කියනේකනම් මං හිතන්නේ හැමෝම වගේ අහල තියෙනවා.. හැබැයි මේ ඩබල් කරනවා කියන්නේ නිකම්ම දුවනවා නෙවෙයි ඒක මාර්ච් එකක්.. Double March (විනාඩියකට පියවර 180/ පියවරක දිග අඟල් 36 මතක විදියට).. විනාඩියකට තියන පියවර ගාන හා පියවරක දුර වෙනස් වෙනවා මාර්ච් එකෙන් මාර්ච් එකට.. සෙමින් ගමන (slow march), ගමනේ යාම (quick march), සීග්‍ර ගමනේ යාම (double march)  හා කල් මැනීම (mark time) විදියට මාර්ච් කරන විදි ගොඩක් තියෙනවා.. තව දුරටත් ඉගෙනගෙන ක්ලාස් එකක් එහෙම ගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මෙතන තියෙනවා ඔය හැම පියවරක් ගැනම විස්තර.. කියනෙක මෙච්චර අමාරුනම් කරනෙක කොහොම අමාරු ඇත්ද නේද? එක තමයි ට්‍රින්කෝ නේවි Parade Ground එක ඉස්සරහා ලොකුවට ගහල තියෙන්නේ The more you sweat on training; less you bleed in war කියල... හා හා .. ගෙටින් ලේට්. ඩබලප් ඩබලප්..

එතකොට Dinner.. හෑ. අපි හැමෝම ඉතින් dinner කියන්නේ රෑ කෑමටනේ.. ඒත් එක වැරදියි. dinner කියන්නේ දවසේ අපි ගන්න ප්‍රධානම ආහාර වේලට.. //Dinner usually refers to the most significant and important meal of the day, which can be the noon or the evening meal.// කියල තමයි විකිපිඩියාත් කියන්නේ. නේවි එකේ හැමෝම බරටම කන්නේ දවාලටනේ.. ඒක නිසා dinner කියන්නේ දවල් කෑමට. රෑ කෑමට කියන්නේ supper කියල.. දවල් කෑම වෙලාව මතක් කරන්න විශේෂ නලා ශබ්දයක් නාද කරනවා. ඒකට කියන්නේ dinner call කියලා. එතකොට ඒ නලාවට කියන්නනේ බෝසන් නලාව (Boatswain pipe) කියල.. 

දවල් කෑම විතරක් නෙවෙයි උදේ 'නැගිටලා පැදුරු අකුලලා පිළිවෙලට අහුරපල්ලා' (wakey wakey lash up and stow) කියන තැන ඉඳල රැට 'ලයිට් නිවල බෝසන් පයිප් එක බිමින් තියනකම්ම' (light off pipe down) හැම පණිවිඩයක්ම සන්නිවේදනය කරන්නේ මේ piping හරහා තමයි. මේ නිසාම සාමාන්‍ය ව්‍යවහාරයේදී මේකට කියන්නේ 'පයිප් කරනවා' කියල.. පයිප් කරනවා යන්න හැදුනේ ඉස්සර හැම නැවකම වගේ පබ්ලික් ඇඩ්රස් සිස්ටම් එක විදියට තිබුනේ නැවේ පාලක මැදිරියේ (bridge) ඉඳල හැම කම්පාර්ට්මන්ට් එහෙකටම දුවන පයිප්ප පද්දතියක් හරහා නිසා. අදටත් ගොඩක් නැව් වල මේ ආකාරයේ පයිප්ප තියෙනවා.. නමුත් මේ වෙනකොට ඕනෙතරම් නවීන PA සිස්ටම් තියෙන නිසා බාවිතා වෙන්නේ බොහොම අඩුවෙන්. PA සිස්ටම් එක නැත්නම් පයිප්ප කට ලඟට කරලා ඊට අවේණික නලා ශබ්දය ශබ්දකොට හා පණිවුඩය ප්‍රකාශ කල විට මුළු නැවටම ඒ මැසේජ් එක යනවා ගැටළුවක් නැතුව. 
බෝසන් නලාවක් හා එය හඬවන නැවියෙක් 
මේ පයිප්ප හරහා කතා කරන විදියත් හරි අපුරුයි. මුලින් තමන්ට කතා කරන්න ඕනි ස්ථානය කියලා ඊට පස්සේ කතා කරන කෙනා ඉන්න ස්ථානය කියලා sir නැත්නම් තුමනි කියල ඉවර කරනවා. පිළිතුරු දෙන්නෙත් එයාකාරයෙන්මයි. උදාහරණයක් විදියට නැවක් ගමන් කරන අවස්ථාවක නම් නැවේ ඉහලම ස්ථානයක ඉන්න අවට බලන්නෙකු (look out) පාලක මැදිරිය අමතන්නේ මෙහෙමයි.

අවට බලන්නා 
"පාලක මැදිරිය, වම පස අවට බලන්නා තුමනි" (bridge, port look out sir)
පාලක මැදිරියෙන් පිළිතුරු ලැබෙනවා.
"වම් පස අවට බලන්නා, පාලක මැදිරිය" (port look out, bridge) මෙතැනදී පාලක මැදිරියේ ඉන්න නිලධාරියා ජේෂ්ට නිසා අනිත් පැත්තට තුමනි කියන්නේ නෑ.. කනිෂ්ට නැවියන් අතර කතා බහකදී නම් (උදාහරණ ලෙස එන්ජින් කාමරය හා එන්ජින් පාලන කාමරය වැනි) දෙපසටම sir හෝ තුමනි ලෙස අවසන් කරනවා.. 
"ඇණියේ සිට අංශක 30ක් වම්පසට ඉතා ඈතින් කුඩා වස්තුවක් නිරීක්ෂණය වේ තුමනි"  (30 degrees port from bows; small object appeared far away sir!) 
"බොහොම හොඳයි. දිගටම නිරීක්ෂණය කරන්න" (very good. keep monitoring"
"පාලක මැදිරිය, වම් පස අවට බලන්නා. පණිවුඩය පැහැදිලියි. එසේ කරන්නම් තුමනි!" (Bridge, port look out, roger. will comply sir!"
නැවක පැති හඳුනාගන්නා මුලික සැකැස්මක්

මෙතැනදී වම් පස යන්නට port ලෙස බාවිතා කල බව දුටුවා නේද? ඔව්. නැවක වම් පස හැමවිටම port side එක ලෙසත් දකුණු පස හැමවිටම starboard (ස්ටාර්බර්ඩ්) side එක ලෙසත් තමයි හැඳින්වෙන්නේ. මේ නිසා නේවි එකේදී හැම තැනකදීම වගේ left/ right වෙනුවට port/ starboard ලෙස තමයි කියවෙන්නේ.. එක තැනක හැර.. වම..දකුණ..වම.. ...වම දකුණ වම.. දන්නවනේ. (ඉංග්‍රීසියෙන්) මාර්ච් කරනකොට විතරක් left right..a.. left...... left right..a.. left.. කියනවා අපිත්. ඒ වගේම නැවේ ඉදිරිපස bows ලෙසත් පසුපස stern ලෙසත් හඳුන්වනවා මුලික වශයෙන් ඉහත පින්තුරයේ ආකාරයට. 

එතකොට roger කියන්නේ පණිවුඩය පැහැදිලිව ලබා ගත්තා කියනෙක (I've received your message clearly).. මොකක් හරි කියුවහම 'රොජර් සර්' කියුවොත් ආයි කියන්න බෑ මට ඒක තේරුණේ නෑ කියල.  ඒ වගේම තමයි ඔය 'බොහොම හොඳයි' කියනෙකත්. මුල් කාලේ අපි හිතුවේ ඇත්තටම අපි ගොඩක් හොඳ නිසා බොහොම හොඳයි කියනවා කියලා.. ඉතින් ෆුල් හැපී. පස්සේ බැලුවම ඒක සරඹයේම කොටසක්. 

එකක් මිස් උනා නේද gun room.. ඔව්. නේවි එකේදී ජුනියර් ඔෆිසර්ස්ලාගේ ක්වාර්ටර්ස් එක හඳුන්වනේ Gun room කියලා. එතකොට ජුනියර් ඔෆිසර්ස්ලා වෙන්නේ ලුතිනන් නිලය සහ ඊට පහලින් අය.. හමුදාවේ කපිතාන් නිලයට සමාන නිලය තමයි නේවි එකේ ලුතිනන් නිලය. ඊළඟ නිලය ලුතිනන් කමාන්ඩර් (හමුදාවේ නම් මේජර්) හා එතනින් එහාට ජෙෂ්ට නිලධාරීන් හැටියට සලකන්නේ. ජෙෂ්ට නිලධාරීන්ගේ නිවාසය හඳුන්වන්නේ ward room හැටියට. කතාව ඔහොම උනාට ලංකාවේ තියෙන්නේ බොහොම කුඩා නේවි එකක් නිසා අධිකාරියට පත් කල සියලුම නිලධාරීන් (commissioned officers) මෙහෙ නම් ඉන්නේ ward room වල.. පුහුණු වන නිලධාරීන් (officer under trainees) පමණයි gun room එකේ ඉන්නේ.. room කියුවට මේවා  accommodation blocks  නැත්නම් ෂලේ (chalet) ටයිප් එකට තමයි තියෙන්නේ. 

It's getting boring. finish it quickly!
Aye Aye sir!
වැඩි විස්තර කියන්න ඕනි නෑ නේ. එහෙම තමයි ජේෂ්ට නිලධාරියෙකුගේ විධානයකට අනුකුලතාවය පෙන්වන්නේ. OK කියන වචනය පාවිච්චි කරන්න බෑ. 'Aye' කියන්නේ 'Yes' කියනවට සමාන පරණ ඉංග්‍රීසි වචනයක්. බොහෝවිට ලතින් බාසාවේ 'Ais' (Affirmative කියන තේරුම) කියන වචනෙන් බිඳිලා ආවක් වෙන්න පුළුවන්. 
********************************************
වචන ගැනම කියුව මිසක් යෙදුම් ගැන කියන්නම බැරි උනානේ. මාතෘකාවට දාපු 'sling on hammock' කියන යෙදුම නේවි එකේ නිතර යෙදෙනවා. ඒ වුනත් ඉතින් ඒක නොදන්නා බොහෝ දෙනෙක්ද ඉන්නවා ඔය අතරම.. විශේෂයෙන්ම මුහුදු ගමන්වලට හා නැව් වල සේවයට එන්නේ නැති ගොඩබිම විතරක් සේවය කරන බ්‍රාන්ච් වල නිලධාරින් එහෙම මේ වචන එක්ක ගොඩක්ම ෆැමිලියර් නෑ. මගේ එක ඒ වගේ බැචෙක් දවසක් අලුතෙන්ම ඇපොයින්මන්ට් එකක් බාර ගන්න උතුරු පළාතේ කඳවුරකට ගිහින්. එතන අණ දෙන නිලධාරී තුමා (CO) හොඳ  'සීමන්' කෙනෙක්.  අලුත් නිලධාරියා ගිහින් සැලියුට් එකක් එහෙම ගහලා "Good morning sir, I'm Lieutenant ..........., appointed as ................under your command from today onwards" කියනකොටම ලොක්ක කිව්වලු "OK.... sling on hammock" කියල.. උතුරු පළාතේ ඩොටේ අහගන්නවත් 'සීමන්' කෙනෙක් අහලක පහලක නැති අල්ල පනල්ලේ අපේ එකාගේ හීන් දාඩිය දානවලු මේ මොකක්ද කියුවේ දැන් මොකද කරන්නේ කියල.. කෝකටත් කියල Aye Aye sir කියල ටිකක් වෙලා ඉඳල වෙන මොකුත් අවුලක් නැති නිසා සැලියුට් එකක් ගහල එලියට ඇවිත්. 

'අහන්න පුළුවන්' හැමෝගෙන්ම ඇහුවත් හොයා ගන්න බැරි වෙලා.. පහුවෙනිදා පාන්දර 6 ට විතර මම කන්කසන්තුරේ හාබර් එකෙන් ඩෝරා එකේ එලියට එනකොටම UHF සෙට් එකේ කතා කරනවා.. 

"95, this is ......... golf (G) mike (M). lima (L) tango (T) ........ ඉන්නවද? ඕවර්."
"........... this is 95, lima tango .......... on the mike. over"
"මචං ............ හියර්. ඊයේ රිපෝට් කරේ මෙහෙට. මොකක්ද Sling on Hammock කියන්නේ කියපන්. ඊයේ ආව ගමන් CO කියුවේ.. මෙහෙ කවුරුත් නෑ දන්න එකෙක්. ඕවර්."
"උඹ බය වෙන්න එපා. 'ගිහින් රෙස්ට් කරපන් මං ආයි කතා කරනකම්' කියල තමයි ඔය කියල තියෙන්නේ..ඕවර්"
"95, this is ............... shift to channel 3 please, over"
"................, this is 95, roger, shifting channel 3. out"
"95, this is ........, how do you read me here over"
"This is 95, you are loud and clear. go ahead please. over"
"උගේ අම්xx  .. මේ හුxxx ඕක ඔය විදියට කියන්න තිබ්බේ නැද්ද බං.. මට ඊයේ එළිවෙනකම් නින්ද ගියෙත් නෑ හුxx............................................. ඕවර්"

මේ පින්තුරේ දැම්මේ තනිකඩ ගෑනු දරුවෝ එහෙම ඉන්නවනම් ඒ අයගේ පහන් සංවේගය සඳහා බව කරුණාවෙන් සලකන්න.