Friday 29 May 2015

උඩඟු දොස්තර කබායකින් යටපත් කල නොහැකි වූ පන්හිඳක් හා කවි හිතක් ගැන අතරමැදි සටහනක් .. An ideation on 'Anithkona - a doctor's heart sutra'

පුංචි බොරැල්ල බෝධියේ අළුත් තුරුපත් ලතාවකට නලවගෙන එන සිහිල් සුළඟක් රාජකාරී නිවස්නයේ බීරළු කවුලු අතරින් අපහසුවෙන් රිංගගෙන ඇවිත් මාව සිසිල් කරන්න අසීරු උත්සාහයක.. ඉඳල හිටල ඒ සුළඟම අරන් එන මහ ඉස්පිරිතාලේ වාට්ටුවක සැර බෙහෙත් සුවඳක් නැත්නම් අසල මල් ශාලාවකින් ඊට එකතු වෙච්චි ෆෝමලීන් සුවඳක් ඊට වඩා පහසුවෙන් මට සමහර 'පෙර නිමිති' සිහි කරනව.. පහු ගිය සතිය හරිම කලබලයි.. වැඩියෙන්ම හිතට.. යාපනයේ පුන්කුඩුතිවු අඳුරු දිවයිනේ නපුරු වන වදුලක වසන්තය එළබීමට මත්තෙන් තැලී පොඩිවී ගිය විත්‍යා පුංචි මල් කැකුල ඒ සතිය  පුරාමත් තවමත් මගේ හිතේ බරට අඩි තිය තිය සක්මන් කරනවා ....

රිදුණු පෑරුණු හිත සනස ගන්න හොඳම ව්‍යායාමය එක්කෝ යමක් කියවන එක.. නැත්නම් ලියනෙක.. මගේ පුංචි පොත් ගුලට මෑතක එකතු වුනු පොත් කීපයක් අතරින් අනිච්ඡානුකවම මගේ අත නවතුනේ නන්දිකඩාල් කළපුවට එපිටින් රතු දුඹුරු පැහැගත් ක්ෂිතජයින් අපහසුවෙන් ඉල්පීමට උත්සාහ ගන්නා වෙහෙසකර ඉර සේයාවකින් සැරසූ අපූරු පොත් පොඩ්ඩක් ලඟ.. ඊට ඇතුලෙන් සායනික කඩදාසි ගොන්නක ලියැවුනත් ජීවිතය ගැනම ලියවුනු කතන්දර ගොන්නක්.. පොතේ නම ටිකක් විතර අමුතුයි.. 'අනිත් කොන- a doctor's heart sutra'.. කතුවරිය අපි කවුරුත් හඳුනන අපේ හිතවතිය 'බෝ' නැත්නම් වෛද්‍ය බෝධිනී සමරතුංග.  



බෝධිනී ට තියෙන්නේ කවි හිතක්.. ඇගේ පෑන ඒ කවි හිත නොමසුරුව අතට අහුවෙන ඕනෙම කඩදාසියක් මත ලස්සනට සිත්තම් කරනව.. වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ ඇයට නිතර මුණ ගැනෙන විවිධ වූ චරිත ඈ ඇගේ පෑන් තුඩින් නැවත නැවත උපද්දවන්න දක්වන්නේ අමුතුම සමත්කමක්. රාජකාරී ජීවිතයේ මුල්ම වකවානුවේ හුරුපුරුදු අගනුවර පරිසරයෙන් මිදී දිවයිනේ අනිත් කොනෙහි පිහිටි රෝහලක දුෂ්කර සේවය කැමැත්තෙන්ම තෝරා ගන්නා ඇයගේ කොහොමත් ලිවීමට කියවීමට බර හිත එනයින්ම තව තවත් කුළුගැන්වෙනවා. වසර ගණනාවක සිට ඔබ මා ආසාවෙන් කියවූ 'අනිත් කොන' බ්ලොග් අඩවිය එහි ප්‍රථිපලයයි.  

අනිත් කොන ලියූ සටහන් මට ගොඩාක්ම සමීපයි. මගේ වෘත්තීය ජීවිතයත් පටන් ගන්නේත් ඊයේ පෙරේද විත්‍යා දියණිය අවසන් ගමන් ගිය කයිට්ස්- පුන්කුඩුතිව් අනිත් කොනේ කුඩා දිවයින් සමූහය ආශ්‍රිත ප්‍රදේශයෙන්. යාපනය නගරයෙන් මෙකී දූපත් සමූහයට එළඹෙන විට පලමුවෙන්ම හමුවන අල්ලම්පිඩි නාවික හමුදා මාර්ග බාධකයේ අණභාර නිළධාරී ලෙස මා පත්වන විට විත්‍යා දැරිය වයස අවුරුදු තුනක පමණ පුංචි එකියක් විය යුතුයි. 

හමුදා නිළධාරියෙක් හා වෛද්‍ය වෘත්තිකයෙක් යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ වෘත්තීන් දෙකක්. හැබැයි, පහසුවෙන් දැකිය නොහැකි බොහෝ සමානතා ද මේ වෘත්තීන් දෙක අතර හිඟ නෑ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික වෘත්තියෙන් බැහැරව මෙවන් වූ දුෂ්කර සේවා නැත්නම් යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයක ජනතාවගේ ගැළවුම්කරුවන් ලෙස කටයුතු කිරීමේදී මේ සමානතා බොහෝ දුරට ඉස්මතු වෙනවා. 

සාධාරණ සේවයක් සඳහා මෙවන් අවස්ථාවල ඇතිවන ප්‍රධානම බාධකය තමයි භාශා ගැටළුව. මට අදටත් නිවැරදිව හසුරුවගත නොහැකි දෙමළ භාශාව කඩිනමින් ඉගෙන ගත් හැටි 'බෝ' ලියද්දී මට මං ගැනම දැනුනේ පුංචි විචිකිච්චාවක්. එදා ඒ සඳහා මා ගත් පියවර වූයේ දෙමළ භාශාව හොඳින් හැසරවිය හැකි ගෝලයෙකු නැත්නම් 'බඩියෙකු' ළංකරගැනීමයි. ඒ ගෝලයා සමඟම මගේ දෙමළ ඉගෙන ගැනීමට තිබූ වටිනා අවස්ථාවද එතනින් මාරුවී ඒමත් සමඟම අහිමි උනා. 

අනිත්කොන පොත ගැන විද්වත් සාකච්ඡාවක් පහුගිය සැප්තැම්බර් මාසේ දවසක තියෙනව කියල බෝධිනී දැනුම් දීල තිබුනත් මොකක් හරි රාජකාරී වැඩක් නිසා ඒ අවස්ථාව මඟ හැරුණ. ඒ ගැන 'බෝ'ගේ මූණු පොතේ තිබුණු පින්තූර ටික දැක්කම තමයි මට හීල්ලුනේ. දශක දෙකකට පමණ පෙර හමුදාවට බැඳෙන්න කලින් මගේ හීනයක් වුනු ජනමාධ්‍යවේදියෙක් වෙන්න හිතාගෙන ගිය ගමනේදී මට හමුවූ ඒ සොඳුරු ගුරුතුමා මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් ඇතුළු බොහෝ විද්වතුන් හා සහෘදයින් රැසක් සමඟ ගෙවා දැමීමට තිබූ ඒ සොඳුරු හෝරා කීපයයි මා විසින් එසේ අතහැර දමා තිබුනේ. 

අතීත මතකයන් හා සැරිසරන ගමන්ම මගේ ඇස් පොත දිගේ ඉස්සරහට ඇදෙනවා. හදිසියෙම වගේ මගේ ඇස් නතර උනේ ඇයට උණ ගැනී අසාධ්‍යව ඉන්න ගමන්ම කාර්ය භාර වෛද්‍යවරිය ලෙස රෝහලේ සේවය කරමින් ලැබූ තවත් සංවේදී අත්දැකීමක් ගැන කියැවෙන 'ජීවිතේ තිත්ත රස' සටහන ලඟයි. 
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ" නැත්නම් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" වගේ කතා අපි බොහෝ දෙනෙකුගෙන් අසා තිබෙනවා.. ඒ ගැන ඇය මෙන්ම මමත් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබත් එසේ පැමිණිලි කර ඇත්නම් නැවත එක් වතාවක් හෝ මේ අනිත්කොන සටහන් කිහිපයක් කියවන ලෙසයි.   

දහවල් කාලයේ අල්ලම්පිඩ්ඩි මාර්ග බාධකයේ කාර්යාලට වී සිටිනා මා බොහෝවිට රාත්‍රිය ගත කිරීමට ඊට කිලෝමීටර් දෙකක් පමණ නුදුරින් අල්ලම්පිඩ්ඩි ගමට මායිමේ පිහිටි කඳවුරේ මාගේ නිවස්නයට යනවා.. කයිට්ස් දූපතේ උතුරු කෙළවරේ වූ මේ ගම ඉදිරියෙන් වූ මණ්ඩතිවු දූපතට ඉහලින් මෝදුවන සඳ තල් අතු අතරින් රාත්‍රියට මනරම් රූප මවනවා.. දූවිලි හා කඳුළු සමඟ මුසුවූ දහවල මනසින් අතුගා දැමීමට සතුරු ප්‍රහරයකින් තොරවූ එවන් රාත්‍රියක් ඉතා අගනේයි. නමුත් ඒ විචිත්‍ර චිත්‍රයට බාදා කරමින් බොහෝ විට අල්ලම්පිඩි ගමේ කාන්තාවකගේ හෝ ළමා ලපටියෙකුගේ හඬින් උන් හිටි ගමන් කන් හිරි වැටී යනවා. බොහෝමත්ම විට ඒ හදිසි අසනීපයකින් අසාධ්‍යවූ අයෙකුගේ අවසන් මොහොත ඇඟවීමටයි. හිතෙන හිතෙන හැටියට උණට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඔවුන්ට රෝහල් හෝ ගෙවන වාට්ටු තිබුණේ නෑ. අසාධ්‍යම අසනීපයකට වුව බෙහෙතක් හේතක් ගැනීමට දහසක් හමුදා බාධක වලට ගතු කියමින් බොහෝ විට පයින් හෝ හමුදා වාහනයක නැගී යාපනේ රෝහලට යෑම හෝ කරෙයිනගර් නාවික හමුදා රෝහලට යාමට වඩා මරණයට මුහුණ දීම බොහෝ සෙයින් පහසු උනා. එවක අනිත්කොනට වෛද්‍යවරුන් යනු ඍශිවරුන්ටත් වඩා දේවදූතයින්ට සමාන දුර්ලභ අත් දැකීමක් වූවා යැයි කීම අතිශෝක්තියක් නොවෙයි. 

දිදුල උඳුවප් සඳ යට එළිය නොවූ එවන් රාත්‍රියක වරක් ඒ මූසල නාදය කන් රිදවා ගෙන තල් කඳන් අතරින් හමුදා මුරපොළ වෙත ඇදී ආවා. ඒ සමඟම රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි භට කණ්ඩායමෙන් මා වෙත ලැබුණු රේඩියෝ සංඥාවකින් කියවුනේ ප්‍රමාණයෙන් කුඩාවූ චායාවන් තුනක් හෝ හතරක් ඔවුන් දෙසට දුවගෙන එමින් සිටින බවයි. මුවාවී හොඳින් නිරීක්ශණය කරන ලෙසත් අවසන් මොහොත වනතුරු වෙඩි නොතබන ලෙසත් ක්ෂණික උපදෙසක් දුන් මා අවිඥානිකවම කැළෑ නිල ඇඳුමට හා යතුරු පැදියට ගොඩ උනා. ඒ මරහඬ නැගී තිබුණේ ගමේ නිවසකින්. වයස අවුරුදු තිස් පහ නොඉක්මවූ ඒ කාන්තාව ගමේ ධීවර සමිතියේ හා නාවික හමුදා පොත්වල සටහන් වී තිබුණේ ගෘහ මූලිකාව ලෙසයි. ඈට අමතරව වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් ඇගේ මව ලෙසත් වයස අවුරුදු දොලහට අඩු ළමුන් හතර දෙනෙකුත් ඒ නිවාස අංකය යටතේ ලියාපදිංචි වී සිටියා. 

පසුව දැන ගැනීමට ලැබුණු ආකාරයට දින කිහිපයක සිට ඈ අධික උණෙන් පෙළෙමින් සිට ඇති අතර කිහිප වරක් කඳවුරු භූමියෙන් පැනඩෝල් ඉල්ලාගෙන ගොස් තිබුණා. ඒ මාරක හෝරාවේ උණ රෝගය උත්සන්න වී වලිප්පුව ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන සිහි විසඥ තත්වයෙන් මට දැක ගැනීමට ලැබෙද්දීත් ඈ ජීවිතය වෙනුවට මරණය තෝරා ගෙන අවසානයි. ඒත් ඊට මූලිකවූ හේතුව මට අදටත් දරා ගන්න බෑ. විත්‍යා දියණිය වෙනුවෙන් පහසුවෙන් නොසැලෙන මගේ කඳුලු නොකඩවා ඇද හැලුනේත් බොධිනී වැනි වූ හිපොක්‍රටිස් පරපුරේ අප්‍රතිහත වෙද දියණියන් වෙනුවෙන් මේ සටහන තැබනුයේත් ඒ සැලුනු හදවතින්මයි. 

මවගේ දරදඬුවූ සිරුර ලඟ කිසිවක් කරකියාගත නොහැකිව හඬා වැටෙන කන් නොඇසෙන කළුවරට ඇස් නොපෙනෙන මහළු ආච්චි අම්මා නවතා පණිවුඩය ලබාදීමට කුඩා මල්ලිලා දෙදෙනා සහ නැගෙණිය සමඟ දිව ආ දොලොස් හැවිරිදි ඒ දියණිය එතෙක් මල්වර කිල්ලෙන් ගෙයි මුල්ලක රෙදි කඩකට ආවරණය වී සිට ඇති බවත් අධික උණ රෝගයෙන් පෙළෙද්දීත් ඇයව තනිකර යාමට හෝ වතුර ටිකක් වත්කර ගෙට ගැනීමට නොහැකිවම ඇගේ අම්මා ඈ අසලින් වැතිර තනි රැකූ බවත් කියවුණු කාගේදෝ වචන ෂෙල් වෙඩි ප්‍රහාර මෙන් මේ දැනුත් කන් සිදුරු අසබඩ පුපුරා යනු මට ඇසෙයි.


ඉදින් වෘත්තීය හා බැඳි සියලු යස ඉසුරු කීර්තිනාම ලාභ ප්‍රයෝජනාදිය පසෙකලා එවන් වූ කෲරතර සමාජ අසංයෝජනයක මුහුවෙමින් ගිලානෝපස්ථානය වෙනුවෙන් කැපවූ දහසක් වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍යය වෘත්තීකයින් වෙනුවෙනුත් ඒ කඳුළු මල් දෝතින් ගෙන 'අනිත්කොන' හරහා මහ සමාජය වෙත වඩම්මවන හිතවත් වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය වෙනුවෙනුත් මේ සටහන මෙසේ වෙන්කොට තබමි. 


76 comments:

  1. මොකුත්ම කියාගන්න බෑ මචං. මොකුත්ම හිතාගන්නත් බෑ. :(

    ReplyDelete
    Replies
    1. මගෙත්, මතක් වෙන මතක් වෙන සැරේට ඔළුව හිරිවැටෙනවා..

      Delete
  2. Replies
    1. හ්ම්ම්.. සමහර වෙලාවට ඉල්ලන දේවල් ගැන ලැජ්ජයි නේද?

      Delete
  3. යුද්දෙට පාර කැපූ සියල්ලන් ගැනම දැඩි කෝපයක් ඇතිවුණා.

    ReplyDelete
    Replies
    1. ඉදිරියටත් යුද්ධයම ඉල්ලන අය ගැන?

      Delete
    2. //ඉදිරියටත් යුද්ධයම ඉල්ලන අය ගැන//

      ඒ කාලකන්ණින්ට ආයෙමත් මේ රටේ ඉඩක් නැහැ.

      Delete
    3. මේ රටේ? අපි එහෙම හිතමු.

      Delete
  4. කමිය, මේ බ්ලොග් වලට කමෙන්ට් කොටන කාලයක් ලියන කාලයක් නෙමේ. ඒත් උඹ මේක ලියල තීන්නෙ මගේ ඇහැට අනින්නමයි කියල හිතුන නිසා ලොග් නොවී මේක දාන්නෙ. මේ වෙලාවෙ මම එක රටක හෝටල් කාමරේක තනියම. දරුවො දෙන්න එක්ක හාමිනේ තව රටක තනියම. පොඩි උන් දෙන්නම ඊයෙ රෑ ඉඳල වමනෙ දානවලු, පාන්දර ඉස්පිරිතාලෙ උස්සන් ගිහින්. දැන් උනලු. මේ විස්තර අහගෙන, කිසිදෙයක් කරන්න විදිහක් නැතුව අතපය බැඳල දාල වගේ මම මෙතන. ඒ අස්සෙ හිත සැහැල්ලුවෙන්න බ්ලොගක් බලන්න ආව, ඒක නතර වෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් තවත් හිත කරදර කෙරුවට.. පොඩි උන් දෙන්නට බුදු සරණිං ඉක්මණට සනීප වෙලා ඔය පොඩි පොඩි ගැටළු ඉක්මණට විසඳෙයි මචං.

      Delete
    2. ඇනෝ ඡය ශ්‍රි මහා බෝ හාමදුරැවන්ගෙ පිහිටෙන් පොඩ්ඩන්ට ඉක්මනට සනිප වෙයි.

      Delete
    3. මේ ඇනෝ උඹට මීටර් නැද්ද? මෙහෙම නෙවෙයි වෙනදට 'ගර්ජනා' කරන්නේ..

      Delete
    4. උඔ දන්නවනේ මම කාත් එක්කවත් රන්ඩු වෙන මිනිහෙක් නෙමෙයිනේ

      Delete
    5. උඹට මං කියපු එක තේරිලා නෑ මෙන්ඩෝ. මේ අපි හොඳට දන්න එකෙක්. සාමාන්‍යයෙන් කවුද ගර්ජනා කරන්නේ? අන්න ඌ හදිසියට ඇනෝ ඇවිත්, ඒකයි.

      Delete
    6. මේ අපේ කැලා පුෂා නේද ? පොඩි පැටවූ දෙන්නට ඉක්මන් සුවය පතනවා අය්යේ ....ඉක්මනින් උඹටත් කැදැල්ලේ හැමෝම සමග එකට ඉන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ...

      Delete
    7. //කැලා පුෂා// හැක්..

      Delete
    8. අම්මටහුඩු දැන් තමයි මිටරේ කැරකුනේ

      Delete
    9. //ඒ අස්සෙ හිත සැහැල්ලුවෙන්න බ්ලොගක් බලන්න ආව, ඒක නතර වෙන්නෙ.......//සැහැල්ලුවෙ බන්

      Delete
  5. බෝධිනී අක්ක වගේ තව ගොඩක් මේ රටට ඕනෙ මචං. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියාම ඒක තේරෙනවා

    ReplyDelete
    Replies
    1. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ..

      Delete
  6. දෙයියනේ මේත් අපි අතරම ඉන්න මිනිස්සුම නේද?තාමත් වෙද දෙවිවරුත් ඉන්නව එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ අපි අතරම ඉන්න මිනිස්සු සහ දෙවිවරු තමයි. අවාසනාවට ඒ දෙවිවරු වේගයෙන් මේ රට අතහැර යනවා.

      Delete
  7. කියන්න දෙයක් හිතේන්නේ නෑ කමි :/.

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම ගොඩක් දේවල් කියවෙනවා මනා..

      Delete
  8. කලිනුත් කීප සැරයක් බලල ගිය අය්යෙ. කමෙන්ට් එකක් හිතා ගන්නවත් බැරි උනා.
    ඔයා කවදත් හිතට දැන්නෙන්න ලියවනව නෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මාත් මේවා හිතල ලියනවට වඩා ඉබේම ලියැවෙනවා..

      Delete
  9. පොත ගැන මම අහලා තිබුනට මේ ගැන මම දැනන් හිටියේ නෑ.. හිත කීරිගැහෙන සටහනක්.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. අනිත්කොන කියවනකොටත් මේ වගේම හිත කීරි ගැහෙනවා

      Delete
  10. වෛද්‍යවරුන් ගැන සමාජය තුල ඉතාම වේගයෙන් අප්‍රසාදයක් පැතිර යනවා. විශේෂයෙන් සමාජ ජාල හරහා. ඒත් ඈත දුෂ්කර ගම්මානවලට වෙලා තමන්ගෙ වෘත්තීයමය උසස් අධ්‍යාපනය සහ ඔවුන්ට ආවේනික ලක්ෂණය ලෙස හැඳින්වෙන ලෙඩුන් සහ මුදල් ගණන් කිරීම පවා අමතක කරලා අසරණ මිනිස්සුන් වෙනුවෙන් ජීවිතය කැප කල දේවදූතයො තාමත් ඉන්නවා. ඊටත් එපිටින් ඉන්නෙ යුද බිමේ පහුගිය කාලෙ රැඳුනු වෛද්‍යවරු. මේ අඩවිය මට මග හැරුණු එක ගැන කණගාටු වෙනවා. උඔට ස්තුතියි! හැමදාම වගේ සංවේදී ලිපියක් අත්දැකීම් ඇසුරෙන්.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඒ කැපකිරීම කරන්න බෑ මචං ඒ වගේම ඒ වගේ කැපවීමක් කරපු උන්ව ලේසියෙන් අමතක කරන්නත් බෑ..

      Delete
  11. තමංගේ රාජකාරිය රස්සාවකට වඩා දේවත්වයෙන් සලකල වැඩකරන මිනිස්සු ඕනෙ තරම් අපේ රටේ ඉන්නවා මිත්‍රයා... ඒත් ඒවගේ අය ටීවි එකේ, පත්තරේ යනවා අඩුයි. මම අඳුරන ඩොක්ට කෙනෙක් ඉන්නවා. මම දවසක් එයාට උදව්වක් විදිහට ප්‍රසන්ටේෂන් එකක් හදලා දුන්නා. ඩෙංගු ගැන වැඩසටහනක පෙන්නන්න... එදා ඉඳලා මට මාර විදිහට උදව් කරනවා. මට විභාගෙට ඕනි වෙන රු.5000 ක විතර පාස් පේපර් පොත් ගෙනත් දුන්නා... තාමත් එහෙමයි... අදටත් එහෙමයි. මේ වගේ පෝස්ට් එකක් දාපු එකට ගොඩක් ස්තූතියි මිත්‍රයා!

    ReplyDelete
    Replies
    1. //ඒත් ඒවගේ අය ටීවි එකේ, පත්තරේ යනවා අඩුයි// පිරුණු කලේ දිය නොසැලේ කියනවනේ.. ඒ වගේ නිහඬ සේවය කරන සියළුම වෘත්තිකයින් වෙනුවෙන් මගේ උත්තමාචාරය මේ සමඟම..

      Delete
  12. උඹට විද්‍යාව හම්බු වෙලත් ඇති එහෙනම් එහෙදි සමහරවිට.

    මේ යුද්දෙන් හැමතිස්සෙම තැලුනේ අහිංසක අසරණයෝ යුද්දේ හැම කතාවක්ම කඳුළු කතන්දර විතරයි.
    අනිත් කොන මමත් හොයා ගන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම අනිත්කොන 'හොයාගත්ත' දවසට ඇත්තටම මේ ප්‍රශ්ණ ගොඩක් අඩු වෙනවා බං..

      Delete
  13. උඔගේ ලිපිය මාව මාර විදිහට රිදෙව්වා මචං...

    ReplyDelete
    Replies
    1. සමාවෙයං.. මාත් රිදිච්ච වෙලාවක ලියුවේ.. හිතල නෙවෙයි

      Delete
    2. නෑ බං මම අදහස් කරේ මේ ලිපිය සංවෙිදියි..

      Delete
    3. අන්ඩස්ටුඩ්. උඹ කොහොමත් සංවේදී එකානේ.. මං වගේ මෙලෝ රහක් නැති එහෙකුටත් දැනෙනවනම් උඹට කොහොමත් පට්ට අවුල් වෙන්නෝනේ මේව කියෙව්වම.. ඒකමයි මාත් සමාව ඉල්ලුවේ.

      Delete
    4. සමහර වෙලාවට මගේ කෙල්ලෝ මහත්තයා එක්ක අම්මත් එක්ක කතා නොකරන ප්‍රශ්න මාත් එක්ක කියවන්නෙ ඒ නිසා වෙන්න ඇති.

      Delete
    5. ඒක ඇත්ත. හැමෝටම තව එකෙක්ගේ ප්‍රශ්ණයක් තේරුම් ගන්න බෑ බං. (කරුමෙට අපේ සයිට් වල කෙල්ලෝ නෑ.. ඔක්කොම ප්‍රශ්ණ කියාගෙන එන්නේ මේසන් බාස්ලයි වඩුවොයි.. හැක්.)

      Delete
  14. ඊයෙම පෝස්ට් එක කියෙව්වට කමෙන්ට් එකක් කොටන්න බැරි උනා...

    උතුරේ මිනිස්සු යුද්ධය නිසා දකුණේ මිනිස්සුන්ට වඩා වැඩි දුකක් වින්ද බව දකුණට තේරෙන්න මෙවැනි පොත් පත් එළියට එන එක හොඳයි.
    ඒ වගේම දකුණේ නොවුනත් කළින් මායිම් ගම්මාන (පසුව වෙන නමක් කිව්වට මට දැන් ඒක මතක නැහැ) වල හිටපු සිංහල මිනිස්සුත් සැළකිය යුතු දුකක් වින්දා. ඒවත් ලියවෙනවනම් හොඳයි.
    ඒ වගේම දෙපාර්ශවයටම අනෙත් පාර්ශවය සම්බන්ධ පොත් පත් කියවිය හැකි පරිදිත් ඒ ඒ භාෂා වලින් පලවෙනවා නම් හොඳයි නේද.

    ///අසාධ්‍යම අසනීපයකට වුව බෙහෙතක් හේතක් ගැනීමට දහසක් හමුදා බාධක වලට ගතු කියමින් බොහෝ විට පයින් හෝ හමුදා වාහනයක නැගී යාපනේ රෝහලට යෑම හෝ කරෙයිනගර් නාවික හමුදා රෝහලට යාමට වඩා මරණයට මුහුණ දීම බොහෝ සෙයින් පහසු උනා.///

    දෙමළ මිනිස්සුන්ගේ විමුක්තිය උදෙසා කලායයි කියන LTTE ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ එහි අතුරුපල වෙනුවෙන් වැඩිපුර දුක් විඳින්න සිද්ද උනෙත් දෙමළ මිනිස්සුන්ටමයි.
    යුද්ධය සහ එහි ප්‍රථිපල නිසා දකුණට වෙච්ච සහ අදටත් වෙන හානිය පේනවා අඩුයි. ඒ එය ආර්ථික හානියක් නිසා...

    ReplyDelete
    Replies
    1. //දෙමළ මිනිස්සුන්ගේ විමුක්තිය උදෙසා කලායයි කියන LTTE ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ එහි අතුරුපල වෙනුවෙන් වැඩිපුර දුක් විඳින්න සිද්ද උනෙත් දෙමළ මිනිස්සුන්ටමයි.// ++++++++
      මං හැමදාම හිතපු දෙයක් තමයි LTTE එක යුද්දෙ පටන් ගත්තේ නැත්නම් අද වෙනකොට අපිට නිකම්ම යාපනේට යන්න වීසා ගන්න වෙනවා කියනෙක.. අඩුම තරමින් ඉන්දියාවේ ප්‍රාන්ත වලින් ප්‍රාන්ත වලට යනකොට ගෙවන්න වෙනව වගේ බද්දක් හරි ගෙවන්න වෙනවා යාපනේට ඇතුල් වෙන්න. උන් ඒ තරමට දියුණු වෙනවා අපිට කිට්ටු කරන්න බැරි වෙන්න. LTTE එකෙන් කරේ උන්ගේ ජීවිත පරම්පරා ගානකින් ආපස්සට ඇදල දාපු එක විතරයි.
      සිංහල මායිම් ගම්මාන වල මිනිස්සු තමයි මං හිතන්නේ හමුදාව හා සමානවම යුද්ධයේ කුරිරුකම අත්වින්ඳේ.. ඒ මිනිස්සු පළිහක් විදියට ඒ බෝඩර් ආරක්ශා නොකලනම් යුද්දය ඔය සීමාවන් පැනල රට මැදටම එනවා බොහෝම පහසුවෙන්ම. කණගාටුම කාරණය නම් අදටත් ඒ මිනිස්සු කිසිම අයුරකින් සැළකීමක් කරන්නේ නෑ මොනම ඇගයීමකදිවත්.. කතා කල යුතුම කොටසක්..

      Delete
  15. මචෝ මට නම් කියන්න තියෙන්නේ වල්ලා පට්ට ලියවිල්ලක් කියලා.. හිත නිවුනා... ඒ වගේම කලකිරුණා..

    ReplyDelete
    Replies
    1. කළකිරුණු හිත නිවා ගන්න ලියූ එකක් තමයි මේකත්.

      Delete
  16. මේත් මිනිස් ජීවිතමයි නේද? ඇයි මෙහෙම වෙන්නෙ? මේ දේවල් මතුපිටට නොගැනීම ගැන ලැජ්ජ වෙන්න ඕනෙ.ජපානෙ රුසියාවෙ මිනිස්සු යුද්ධෙ නිසා වින්ද දුකට අඬන අපේ ඇස් වලට අපේ පුංචි දූපත මඟ ඇරිලා... ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. //ජපානෙ රුසියාවෙ මිනිස්සු යුද්ධෙ නිසා වින්ද දුකට අඬන අපේ ඇස් වලට අපේ පුංචි දූපත මඟ ඇරිලා// අපේ ගොඩක් දෙනෙක් කොහොමත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි.. ගොඩක් උන් හැමතිස්සෙම බලන්නේ අපේ ප්‍රශ්ණ අමතක කරල අනිත් උන්ගේ ඒවා ගැන වද වෙලා හිත් රවට්ටගන්න.

      Delete
  17. මාතෘකාවට කෙලින්ම අදාල නොවෙතත් පොඩි කාරණයක් විමසීමට අවසර.. උඩඟු දොස්තර කබායකින් කියල යෙදුවෙ මොකද? දොස්තර වෙනකොටම උඩඟුකමකුත් ස්වයංක්‍රීයව ඇතිවෙනවයි කියලද මල්ලි උඹ කියන්නෙ?....හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. මං ඔය යෙදුම මුලින්ම දැම්මේ බෝධිනී ගෙම කවියකට දාපු කමෙන්ට් එහෙක.. ඒකට බෝධිනී රිප්ලයි කරේ 'viva එකෙන් පස්සේ දොස්තර කබාය ඇන්දේ නෑ' කියල මිසක් ඒක දාන අය උඩඟු නෑ කියල නෙවෙයි. සම්තින් ඊස් දෙයාර් මට හිතෙන්නේ..
      වෙලාවට රවී අයියට විතරයි ඒක මීටර් උනේ.. හැක්

      Delete
  18. ගෙදරින් ඈත ඉන්නේ. අමාරුවෙන් කියවගත්තා. පිළිතුරක් අදහසක් ලියන්න බැහැ මෙතන ඉඳන්.

    ඇය තවත් පටාචාරාවක්ද කිසා ගොතමියක්ද කියා හිතාගන්න අමාරුයි. තව දෙවරක්වත් මේ ලිපිය කියවන්න ඕනේ. මේ අත්දැකීම අප සමග බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ගෙදරින් ඈත ඉඳගෙනත් අමාරුවෙනුත් මෙච්චර දෙයක් ලියාගත්ත එක ගැන ඔබතුමාට ස්තූතියි.

      Delete
  19. බෝධිනී ගැන ලියවුනු මේ ලිපිය ගැන යමක් නොකිව්වොත් ඒක ලොකු වරදක්. ඇය අප මේ වනතෙක් මුහුණට මුහුණ මුණ නොගැසුනු පවුලේ හිතවතියක්. මුලින්ම අපි ඇයව හඳුනා ගත්තේ බ්ලොග් ලෝකයෙන්. අපි දුශ්කර සේවා කලේ ඇත්තෙන්ම ආපසු එන්නේ කවද්ද කිය කියා හිතමින්. ඇය ඒකේ අනිත් පැත්ත. බෝධිනී පළවෙනි ස්ටෙතස්කෝප් එකට පාට්ස් ගන්න හොයපු, පාපැදිය වඩා ප්‍රියකල down to earth චරිතයක්. ඒ වගේම ඇගේම වෘතිය ‍තෝරාගත්තු මගේ දියණියටත් සටහන් වලින් විතරක් නෙවෙයි නවාතැනක් හොයලා දීමටත් වදවුණු, දුක සැප විමසපු අපේම පවුලේ සාමාජිකාවක්.

    ReplyDelete
    Replies
    1. Down to earth නැත්නම් සිංහලෙන් කියනවනම් පොළොවේ පය ගහල ඉන්න තමයි වචනේ..

      Delete
  20. කල්‍යාණ මිත්‍ර , ඔබනම් සැබැවින්ම කලණ මිතුරෙක් ! යලි මා ලියන්නට යොමු කලාක් මෙන්ම අනිත්කොන ගැන යමක් කියන්නත් පසු බට වුනේ නැත. හමුදාව සහ වෛද්‍යවරු ගැන ඔබ පැවසූ දෙයට යමක් එකතු කළ යුතුය... අපටනම් දැනුනේ උතුරු නැගෙනහිරදී මේ දෙගොල්ලොන්ම එකාමෙන් කටයුතු කරන බවකි. අපට ජීවිත තර්ජන තිබියදී පවා රෝහල් අත් නොහැර එහිම රැඳී ඉන්නට ආරක්ෂාව දුන්නා පමණක් නොවේ ඇතැම්විට ආහාර පාන පවා සැපයුවේ ඔවුන් !
    අපට කුමක් හෝ කරදරයක් ප්‍රශ්ණයක් අවශ්‍ය දෙයක් වෙත්නම් කියූ සැනින් ඒ දේ සපයන්න ඔවුන් උත්සුක වුනා. ඒ අප සහ රෝහල් පණ ගන්වා තියාගන්නටයි, කොටින්ම කීවොත්, වෙසක් කාලෙට රෝහල් සරසන්න වෙසක් කූඩු වලට අවශ්‍ය උණ බට හොයා දුන්නෙත් ඔවුන්.
    මා අනිත් කොන අවුරුදු 4ක පමණ කාලයක් ලීවාට, (2009 සිට) පොතක් වෙන්නේ ගිය අවුරුද්දේ.. ඒකත් රන්දි රදිකා යන මිතුරියන් නොවෙන්නට පොතක් ලියවෙන්නේ නැති වෙන්න තිබුනා. ඔවුන් අතරේ හිඳිමින් ඔවුන්ගේ දුක දකිමින් බෙදා ගනිමින් ලියූ ඒ සටහන් විටෙක ඔබ ඉහත ලියූ ආකාරයේම සංවේදී වුනා. බොහෝ විට ඒ මොහොතේම ඒවා ලීවේ නැහැ. ඒකටත් හේතුව දරා ගැනීමට නොහැකි කමයි. උතුරු කොන ජීවිත වල දුක මෙන්ම දකුණු කොන ජීවිත වල දුකද හොඳ හැටි දකිමි ලියමි. ප්‍රසව හා නාරිවේද වාට්ටු වල වැඩ කල හෙයින් බොහෝ දුක් කම්කටොලු දරාගත් ගැහැනුන්ද දැරිවියන්ද, මානසික රෝග ඒකකයේ වැඩ කල හෙයින් හිත් පීඩාවලින් පීඩාවට පත්වූවන් ගැනද කායික රෝග ඒකක වලද වැඩ කළ හෙයින්, ඒ ඒ රෝගාබාද ගැන විතරක්ම නොව ඔවුන්ගේ ජීවන බර, ආර්ථික දුෂ්කරතා, පවුල් ප්‍රශ්න යන මේ සියල්ල ගැන වද වෙන්නට සිදු විය.

    ඒ සියලු දුක් කන්ද, හර්ද කම්පන බවට පත් විය. මා ගැන මගේ පොත් ගැන ඒ ලියවිල්ල ගැන සඳහන් කරමින් දිරි දෙන සොඳුරු බ්ලොග් සොයුරු සොයුරියන්ට බොහෝ තුති !

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් සටහනටම එකතු වෙන්න තිබුණා... තව එකක්.. අර අපූරු පිටකවරයේ ඡායාරූපය ඔබට දුන් දොස්තර හිතවතාටත් ඔහුගේ කලාත්මක ඇහැටත් ස්තූතියි.

      Delete
    2. @"anith kona" - අපි තව දවස් කීපයකින් පොත් විඉනිමට අලුත් වෙබ්සයිට් එකක් ආරම්භ කරනවා. ඔබේ පොතත් එකට දාන්න කැමති නම් pdf එක එවන් පුකුවන් ඔබ විකුණන ප්‍රමාණය දාල .
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17200-an-ideation-on-anithkona-a-doctor-s-heart-sutra

      Delete
    3. ස්තූතියි අජිත් අයියා. මං බෝධිනීව දැනුවත් කරන්නම් මේ ගැන

      Delete
  21. මට මේ කථාව කියෙව්වම අපේ ගමේ රංජන මල්ලිව මතක් උනේ...කවුද රංජන කියන්නෙ..ඉස්සරහා දවසක ඒ ගැටලුවට පිළිතුරු ලිපියකින්ම දෙන්නං...ජය !

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොඳ අදහසක් සිරෝ.. @ තවත් සංවේදී සටහනක් කියවීමට ඇඟිලි ගනිමින්

      Delete
  22. සංවේදී දොස්තර නෝනා වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකරන සටහනක්. බෝධිනී මෙන්ම කලාහිතත් මගේ හිතවතුන් වීම ගැන ඇති වෙන්නේ ආඩම්බරයක්

    ReplyDelete
    Replies
    1. පුංචිම කාලේ පොත් කියවද්දී ගත් කතුවරුන් ගැන ඇති උනේ අමුතුම විසල් හැඟීමක්. අද වන විට ඔබ, බෝධිනී වැනි කතුවරුන්/ වරියන් පුද්ගලිකවම දැන හඳුනා ගැනීමට ලැබුණු පසු ඒ හැඟීමටම තව පුංචි ආඩම්බරයක් මටත් එකතු වුනා.

      Delete
  23. මොනවත් හිතාගන්න බෑ කමියෝ .සංවේදී සටහනක් ....

    සිත සැනසුම දෙන රෝබිය දුරලන
    මුදු ප්‍රිය වදනින් සැම සරසාලන
    ඉසිවර වෙදැදුරු නිවයි අඳුරු
    මිහිබට දෙව්වරු වගෙයි සොඳුරු
    සිත් සනසා දුක් නිවනා
    නිරෝගී පරම ලාභ දෙන
    ඉසිවර වෙදැදුරු ඔබ හෙට දවසේ
    කාසි නොදුටු බුලත් අතකි
    ජීවක වෙද පරපුරේ අයෙකි
    අහස තරම් මහ දැනුමැති
    මේ හදවත ඔසු උයනකි
    සැම සුවපත් අපි පොහොසත්
    පරම ධනය අග තැන්පත්
    විශ්වාසය දැන් බලවත්
    අනාගතය හරි පින්වත්


    පද රචනය - අතුල රන්සිරිලාල්
    සංගීතය - උපාලි කන්නන්ගර
    ගායනය - විශාරද නන්දා මාලිනි

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව පොඩි උන් පහුගිය දවස්වල නිතර කියෝනවා.. අගයක් දැනිල තිබුණේ නෑ.. ඇත්තටම අද මේ වචන ටික දැක්කම සෑහෙන්න හැඟීමක් ආවා.. කොටින්ම ඒ ටෙලිය බලන්නත් අදහසක් ආවා..

      Delete
    2. මෙන්න පොඩි සාරාංසයක් ඒ ගැන ..
      http://www.dramasrok.com/2013/05/horse-doctor-episode-50-final/

      Delete
    3. එළම තමයි.. උඹ සින්දු + ඩ්‍රාමා ඩික්ශනරියනේ බං.. ඉඳල හිටල චන්ගුමී බලල තිබුනට අනිත් එකක්වත් බලල තිබුණේ නෑ.. දැන්නම් බලන්න කැමැත්තක් ඇති උනා..

      Delete
    4. කමියා ඇත්ත මුගේ හැකියාවට මාත් කොර

      Delete
    5. ඒ ගැන අවිවාදයෙන්ම 'සියලු රෙස්පෙක්ට්' සින්දුවාට.. :)

      Delete
  24. අඩු අන්තර්ජාල පහසුකම් මැද සතියක් වනගත වෙලා හිටිය නිසා මේ අපූරු සටහන මට මගහැරුනා.... අනිත් කොන ගැන අහලා තිබුනට කියවන්න තාම වෙලාවක් ලැබුනෙ නෑ..... හැම වෘත්තියකම තාමත් මේ වගේ පරමාදර්ශි මිනිස්සු ඉන්නවා.... මහ රෑ වැස්ස මැද මහපාරෙදි තමන්ගෙ වාහනෙන් බැහැලා ලෙඩෙක් බලලා බෙහෙත් දීල ශතයක්වත් නොගෙන ගිය අපූරු දොස්තරමහත්තයෙක් නපුරු මිනිස්සු ඉන්නවා කියලා අපි ඉස්සර හිතා හිටිය දෙවුන්දරදි මට මුනගැහිලා තියෙනවා.

    ඒ කතා කොහොම උනත් කමි ගෙ ලිවීමේ හැකියාවනම් විශිෂ්ටයි. දැන්වත් අර කලින් දැකපු හීනෙ ඉෂ්ට කරගන්න.

    ReplyDelete
    Replies
    1. //අඩු අන්තර්ජාල පහසුකම් මැද සතියක් වනගත වෙලා// ෂෝයි නේ.. මටත් ආසයි ඒ හැටි කන්ඩ බොන්ඩ නැතුව හරි කමක් නෑ සුමානයක් හමාරක් 'වනගත' වෙලා ඉන්න.. ස්තූතියි ඔබේ ඇගයීමට. දැන් නිදහස් සමාජ මාධ්‍යවේදියෙක් නේ. ඒ මදිද?

      Delete
  25. මේක මට කියවන්න මිස් වුනා. හිත සැලුනා කල්‍යාණ මිත්‍රයා. බෝධිනී වගේ දොස්තරලා ගැන අහන්න ලැබීමත් සතුටක්.

    ReplyDelete
  26. මමත් දොස්තර බෝධිනී ගැන හා ඇගේ "අනිත් කොන" ගැනත් "මනුපුර සක්මණ" ත් කියවා රස වින්දෙමි. පසුව මම ඒවා ගැන කොමෙන්ට් කිහිපයක්ම ඇගේ බොලොග් එකේ දමලා තියෙනවා. ඔබද දක්වන පරිදි හරිම සංවේදි කතා එකතුවක්. වැඩියෙම්ම හදට ඇසෙන්නේ ඒවා හිතලු නොව යතාර්තයන් නිසාය.

    ReplyDelete
  27. මොනවා කියන්නද කියල තේරෙන්නෙ නැහැ බං කමියෝ :(

    ReplyDelete