Wednesday 6 January 2016

මිහිදුම් සේල අතරින් අතීතයට පා තැබීමි.. Those faces said it all!!

"ඊයේ සේනානායක පිට්ටනියේ හිටපු සුද්දෙක් අපිට පැන්සලුයි සුවඳ ඉරේසරුයි දුන්නා.. මේ.."

එතකොට මම හිටියේ 3 නැත්නම් 4 වසරේ වගේ බදුල්ල ධර්මදුතේ.. අපේ පන්තියේ එකක් දවසක් ඉස්කෝලේ ඇවිත් සුදුපාට පසුබිමේ නිල්පාට බබ්බු ඇඳපු පැන්සල් වගයක් හා නහයට අල්ලලා හුස්ම ඉහලට ඇද්දම ආපහු පහල දාන්න හිතෙන්නේ නැති තරම් සුවඳ ඉරේසර් කෑලි වගයක් පෙන්නලා ඔහොම කියුවා. පැන්සල් නම් අල්ලන්න දුන්නේ නෑ. එත් ඉරේසරේ නම් බලෙන් වගේ අරගෙන දෙතුන් පාරක් ඒ අපුරු සුවඳ උරා බිව්වා තාම මතකයි. එදා ඉඳලා මං හිතන් හිටියේ සුද්දෝ ලංකාවට එන්නේ පොඩි ළමයින්ට තෑගී දෙන්න කියලා.. ඉතින් මාත් කවදාහරි සුද්දෙක් හම්බවෙනකම් බලන් හිටියා තෑගී ගන්න..

මට ඒ අවස්ථාව ආවේ තව අවුරුදු හතරකින් හෝ පහකින් මම 'මහා විද්‍යාලේ' ඉගෙන ගන්න පටන් ගත්ත අලුත.. කියුවා වගේම සේනානායක පිට්ටනිය පහු කරලා 'ඉස්ටෑන්ඩ්' එක පැත්තට එනකොට උස සුද්දෝ දෙන්නක් හයියෙන් හයියෙන් යනවා. දෙපාරක් හිතුවේ නෑ මායි පමලුයි දෙන්න පස්සෙන් පන්නලා එල්ලුනා උන් දෙන්නගේ බාචු කලිසම් දෙකේ දෙපැත්තෙන්..

'Hello, Hello....  give me pencil please, give me eraser please..' මගේ හීනය මට තේරෙන විදියට මං එලියට දැම්ම.. ම්හ්හූ.. nop.. nop.. gop.. කියනවා වගේ ඇරෙනකොට මොකුත් ලැබෙන පාටක් නෑ.. ඔරලෝසු කනුවත් පහුකරලා ආවත් මොකුත් ලැබෙන්නේ නැති පාර අපි දෙන්නා හිමින් පසු බැස්සා.. එදා තමයි දැනගත්තේ හැම සුද්දම එහෙම තෑගී දෙන්නෙත් නෑ කියල..

ඔය කියපු සිද්දි දෙක අතර ගතවුණු අවුරුදු කීපය මට හරියට නොපැහැදිලි චිත්‍රයක් වගේ.. තාත්තා 'රේල්වේ ගාඩ්' කෙනෙක් උනත් අසීමාන්තික බීමත්කම නිසා 'නොසැලකිලිමත්ව' රාජකාරි කිරීම හේතුවෙන් ඒ වෙනකොට රස්සාවෙන් 'ඉන්ටර්ඩික්' කරලා බව විතරක් දැනන් උන්නා. රාජ්‍ය සේවා කොමිෂන් එකට 'ඇපීල්' කරන්න කියා කියා තාත්තා හැම සතියෙම දවසක් දෙකක් කොළඹ ගිහින් එනවා මිසක් වෙන වැඩක් කරේ නෑ. ගේ පැත්තක තිබ්බ පුංචි සිල්ලර කඩෙන් විකිනෙනවා හා සමානවම කොටසක් ගෙදර කුස්සියටත් යැවෙනකොට දියුණු වීමක් තියා පටන් ගත්ත ප්‍රමාණයෙන් රැක ගන්නවත් බැරි උනා කාලයක් යනකොට.

ඔය අතරේ තමයි මාව ධර්මදුතෙන් ගලවල හද්දා පිටිසර කන්දකැටිය වියලුව DS සේනානායක එකට දාන්නේ ශිෂ්‍යත්වේ පෙනී පෙනී... ඒ වෙන මොකකටවත් නෙවෙයි අයියා එහෙ වැඩ කරපු නිසා ගෙදර කටවල් ගානෙන් එකක් එහෙට මාරු කර ගන්න. මොන ශිෂ්‍යත්වද බඩගිනි දැනෙනකොට නැත්නම්.. අවුරුද්දකටත් අඩු කලෙකදී මාව ආයිමත් කන්දකැටියෙන් බදුල්ලට ට්‍රාන්සර් වෙන්නේ ශිෂ්‍යත්වය සමත්වීමේ ආනුභාවයෙන්මයි. ඒත් සුද්දෙක් තියා පද්දෙක් වත් කිසිම දවසක මට 'ඉඳා ඉගෙනගනින්' කියල පොත පතකින් තියා පැන්සලකින් පෑනකින් වත් උදව්වක් කරේ නෑ..

*****************************************************************************

'මල්ලි මොකද කියන්නේ අර කුරුටු ලා කරා වගේ අපි බදුල්ල පැත්තේ අමාරුවෙන් ඉගෙන ගන්න ළමයි ටික දෙනෙකුට උදව්වක් කරමුද? මාත් උදව්වක් කරන්නම්.. මම පොඩි කාලේ ඉගෙන ගත්තෙත් ලුණුගල ප්‍රථමික පාසලක.' රුසියාවේ ඉගෙනගෙන සුද්දියක් බැඳලා එංගලන්තෙට වෙලා 'ලස්සේට කොඩිය දාලා' ඉන්න කොළඹ ගමයා නැත්නම් අපේ හිතවත් 'නෙළුන් අජිත්' පහුගිය දවසක මට මේල් එකක් එවලා තිබ්බා.. ඕක දැක්ක ගමන් මගේ ඇස්දෙකේ බලාපොරොත්තුවේ කඳුළු ගුලි දෙකක් හිර උනා..

මාසෙකට අඩු කාලයක් ඇතුලේ එහෙ මෙහෙ උන ඊ මේල් පණිවුඩ කිහිපයක සරල වෑයමක් හිතුවටත් වඩා ඉහලින් මල්පල ගන්වමින් පහුගිය 4 වෙනිදා උදේ බදුල්ල ස්ප්‍රින්වැලි පාරේ කොත්මල්ලන්ද කෝට්ටගොඩ උඩගම විදුහලේ 1-11 වසරවල ඉගෙන ගන්නා ගණනින් 67ක් වූ සිසු සිසුවියන් අහුරක්, උන්නේ දෙමවුපියන් හා ගුරු මව්පියවරු ඉදිරියේ ඒ කඳුළු ගුලි දෙක වචන වලට පෙරළලා හෑල්ලු කර ගන්න මට අවස්ථාව ලැබුනා.

" ආදරණිය දුවේ පුතේ.. අද මේ මෙතන ඇවිල්ලා ඉන්න අපි කවුරුවත් කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා ඉන්න සුපිරි පැලැන්තියේ සල්ලි කාරයෝ නෙවෙයි. ඔයාලා වගේම මිට දශක දෙක තුනකට කලින් මීටත් වඩා ගොඩක් අඩු පහසුකම් මැද අමාරුවෙන් ඉගෙන ගෙන අද වෙනකොට යන්තම් සමාජයත් එක්ක හැප්පිලා ඉන්න පුළුවන් තරමේ ස්ථාවරයක් ගොඩ නගා ගත්තු සාමාන්‍ය මිනිස්සු ගැහැණු කීප දෙනෙක් විතරයි. අද මේ පොත් පත් පාසල් උපකරණ ඔයාල අතරේ බෙදලා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම පුංචි ඉල්ලීම් දෙකක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න."

"මේවා උපකාර කරගෙන තව වැඩියෙන් එක අකුරක් හරි ඉගෙන ගන්න උත්සහා කරන්න. එහෙම උනොත් අපේ මේ මහන්සිය අපතේ නොයාවි"

"කවදාහරි හොඳින් ඉගෙන ගෙන ලොකු මහත් වෙලා සමාජයට රටට වැඩදායි පුද්ගලයෙක් විදියට දොරට වඩින කාලයක අද අපි මේ කරන කටයුත්ත ඔලුවේ තියාගෙන ඉඳලා ඔයාලත් එක රුපියලකින් හරි තවත් දක්ෂ ඉගෙනීමට කැපවූ දරුවෙකුට ඉගෙනීම සඳහා උදව්වක් කරන්න උත්සහා කරන්න. අන්න එදාට අපේ මේ මහන්සියේ නියම ප්‍රතිපලය අපිට නැතත් රටට ලැබේවි"

******************************************************************************

මේක ලේසි පහසු වැයමක් වෙන්නේ නෑ.. එක මේල් එකෙන්.. එක මැසේජ් එකෙන්.. එක කෝල් එකෙන්.. දෙපාරක් හිතන්නේ නැතුව වැඩේට 'ඕනේ සහයෝගයක්' දෙන්න එකතු වුනු ඔබ නැතිනම්..

නදීර විජේසිංහ කියන මගේ හිත හොඳ මිත්‍රයා.. ඉවාන් පවුලුෂා.. යාන්හෑල්ල ලියන ශ්‍රංග.. නමුනුකුලෙන් එහා බ්ලොග් එක ලියන හේමමාලි භාග්‍යා.. කොළඹ ගමයා ලියන අජිත් අයියා.. මරණෙට මගුලට දුකට සැපට කොයි දේටත් සින්දු කියන සින්දු ඇනෝ.. වගේම මේ වැඩේ නිසාම අඳුන ගත්ත බ්ලොග් කරුවන වන ගොඩේකතා ලියන මේනක වගේම අපුරුමල් යනුවෙන් අපුරු බ්ලොග් එකක් කරන හේමමාලි භාග්‍යා නැගණියගේ සොහොයුරියක් වන මෙත්මා.. මේ හැමෝම නොමසුරුව මුදලින් උදව් කරා. විශේෂයෙන් දැනුම් නොදුන්නත් ශ්‍රංග මාර්ගයෙන් මේ ගැන දැනුවත් වෙච්චි තිලකසිතේ තිලක මහතා අධික වැඩ කටයුතු නිසා වේලාව මඟ හැරීමෙන් මේ කටයුත්තට දායක වීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින්ද ඉදිරි වැඩකදි අනිවාර්ය සහයෝගය දක්වන බව සඳහන් කරමින්ද මා වෙත ඊ මේල් පණිවුඩයක් ඒවා තිබීම මතක් කලයුතුමයි. මා මිත්‍ර නදීර හැරුනුකොට මෙහිලා උදවු උපකාර කල සියලුම දෙනා 'බදුල්ලට' යම් බැඳීමක් ඇති බ්ලොග්කරුවන් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි මෙහිදීත් වැඩිම දායකත්වයක් දැක්වුයේ ලංකා නිවුස් වෙබ් ප්‍රධාන කතෘ චන්දිම විතාන. ඒ වගේම සුද්දගේ රටේ සිට බොහෝ වෙලාවක් මා අමතමින් දිරිමත් කිරීම හා අවශ්‍ය වෙනත් ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉදිරිපත් වීමද ඉතාමත් අගය කල යුතුයි.

පොත් පත් හා පාසල් උපකරණ මිලදී ගැනීමේදී සින්දු අනෝ ගේ හිතවතෙකු වූ බණ්ඩාරවෙල ඇට්ලස් නියෝජිත මහතා ඉතා ඉහල වට්ටමක් සමඟ ඒවා බදුල්ලේ පිහිටි ශ්‍රංග ගේ නිල නිවසටම ගෙනත් දුන්නා. පාර්සල් කිරීමේ කටයුත්ත නොපිරිහෙලා ඉටු කරේ ශ්‍රංග ගේ බළකාය. ඊට ඔහුගේ ආදරණිය බිරිඳ 'චූටි මැණිකේ', භාග්‍යා නංගි හා අගේ යෙහෙළිය, ඔෆිස් එකේ තවත් හිතවතෙක් උදවු දී තිබුණා. මගේ ගැට පද පොත් ලිස්ට් තේරුම් බේරුම් කරගෙන නිවැරදිව ඒවා පාර්සල් කිරීම ඇත්තටම භාරදුර කර්තව්‍යක් බව මට වැටහුණේ ඒ ටික පිළිවෙලට අසුරා ලස්සනට ගබඩා කොට තිබෙනු දකිද්දියි. ඒවා මියන්ගෙන් කරපොත්තන්ගෙන් ආරක්ෂා කර දීමට ඉදිරිපත් වූ ශ්‍රංග ගේ හුරතල් 'ටිකිරි' ට ඒ වෙනුවෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙවීමට සිදු උනා.

******************************************************************************

එතනින් පස්සේ කොහොමද මොනවද උනේ කියලා ශ්‍රංග යාන් හෑල්ලේ වගේම මේනකයාගේ ගොඩේ කතාවේත් ලියලා තියෙන නිසා මන් වැඩිය කියන්න යන්නේ නෑ.

පාසලේ අලුත් වසරක ආරම්භක දවස.. 1-11 වසරවල පන්ති එකොළහක ඉගෙන ගන්න ගණනින් 67ක් වූ ඒ පුංචි කිරි සිනා මල්.. උන්නේ දෙමවුපියෝ.. ගුරු භවතුන් මෙන්ම.. බොහොම නිහතමානී සුන්දර මිනිසෙකු වූ විදුහල්පති කරුණාරත්න 'සර්'..

දුනුවංගිය හරහා කොට කොට යන කඳන/ බුලත්වත්ත තනි දොර කොට සී.ටී.බී. බස්සෙක, කපොල්ල හන්දියෙන් හැරිලා අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාරේ එද්දී තේ මන්ඩි අතර හම්බ උන පරණ සිතල මිදුම් ගුළි.. දිය සීරාව නිසා ලිස්සන ගල් උඩ පරිස්සමෙන් අඩිය තිය තියා නගින බහින පාසලට යන අඩිපාර.. ලවක් දෙවක් නැතුව පිපිලා හිනාවෙන රෝස, ඩේලියා, බාබන්ඩේසියා කපුරු අතර ලජ්ජාවෙන් බිමට බරවෙලා පිපිච්ච නම නොදන්නා ඒ විශාල මල් පඳුර..

මාව අතීතයට අරන් ගියා.. එදා හිනා වෙන්න බැරි උන මට අද ඒ වෙනුවටත් එක්ක හිත පුරා හිනාව දොරේ ගලනවා..




මටත් එදා ඉස්කෝලේ යනකාලේ කවුරු හරි මේ වගේ පුංචි හරි උදව්වක් කරානම්.. ඔව් මම හිනා වෙන්නෙත් මෙහෙමයි.. ලජ්ජාවෙන්..ඒත් හරි ආසාවෙන්.. හරියටම හරි. ඔව්. එහෙම තමයි.. ඒ පුංචි මුණු ඔක්කොම මට මගේ ඒ හිනාව මවලා පෙන්නනවා..

ඔවුන් වෙනුවෙන් කියන්නේ.. නැවතත් ස්තූතියි!!!!







151 comments:

  1. එළ එළ ඊගාව පාර අපේ දුප්පත් ඉස්කෝලෙට දෙමු

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්.. ඊළඟ පාර කියන එක තව අවුරුද්දක් යනකම්ම පරක්කු කරන්න ඕනි නෑ.

      Delete
  2. මටනං මෙතෙන්දි ලැබිච්චි ලොකුම දේ තමයි කල්‍යාන මිත්තරයො ගානක්ම ලැබීම. දැං මට බදුල්ලේ තවත් යාලුවෝ ඇත.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ඉන්නවා අලුත් යාලුවෝ ගොඩක් බදුල්ලේ.. උන් ඔක්කොම හරි හොඳ එවුන්/ එකියන්

      Delete
    2. මාත් හොඳ එකෙක් නේ :)

      Delete
    3. අනේ මංදා.. මටනම් තාම අවුලක් නෑ.. ඒත් මේ පත්තරයා කියන කතා ඇහුවම.. හැක හැක..

      Delete
  3. කල්‍යාණ මේකේ මුල හරිය කියවන කොට උගුරේ මොකක්ද හිර වුනා මගේ. ඇස් දෙකට කඳුළු පිරුණා. මගේ බ්ලොගයේ ගුටි කාපු අසරණ ළමයෙක්ගේ කතාවක් ලියල තිබෙනවා ලුණුගල විදුහලේ වෙච්ච. 2014 විතර.
    http://kolambagamaya.blogspot.co.uk/2014/08/blog-post.html
    - මම ලස්සේට කොඩි දාල නැහැ බන්. බොහොම අහිංසක විධිහට ජිවත් වෙන මධ්‍යම පන්තිකයෙක් විතරයි. අතට ලැබෙන අමුදලින් කියක් හරි මේ වගේ වැඩ වලට හැම දාම දෙන එක සිරිතක් වගේ කරනවා විතරයි. ඔයාලා නැත්නම් මේ මොකක් වත් කෙරෙන්නේ නැහැ. තමන්ට ලාභයක් නැතුව මේ වගේ දේවල් කරන අය අඩු කාලෙක මේ බ්ලොග් ලෝකයම දෙන්න හොඳ බලාපොරොත්තුවක්. තලවකැලේ ගමනේ ඉඳන් , කුරුටු ලා ගේ රතනපුරේ පැත්ත , කවුද කිව්වා සයිබරයාය ගැනත් , සහ මෙතනත් හැමෝම සංවේදී මිනිස්සු මේ කරන දේවල් වලින් මිනිසත්කම ගැන අපට තවත් හොන්ඩ අබලපොරොත්තු තියාගන්න පුළුවන් නේද. ඔක්කොටම ගොඩක් ස්තුතියි. සිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. අජිත් ඹබගේ දායකත්වය නොලැබුනේනම් හැමදෙයක්ම මේ තරම් සාර්ථකව කරගෙන යන්න ලැබෙන්නේ නෑ.....

      Delete
    2. අජිත් අයිය තමයි ගිනි පුලිඟුව අපිව පත්තු කරපු..

      Delete
    3. විදානේ ස්තූතියි. හොන්ඩ අබලපොරොත්තු වෙනුවට හොඳ බලාපොරොත්තු කියල ලියවෙන්න ඕනේ ඉහත. කලන මල්ලී ඒක එහම නම් මට හරි ආඩම්බරයක් දැනුනා බං හිතට. උඹල වගේ යුද්ධ කරපු ඒත් ඔලුව හරියට තියාගෙන ඉන්න එවුන් අතරේ අපි කවුද.

      Delete
    4. ඔබ මේ කරන කර්තව්‍යයට බොහොම පින් අජිත්.

      Delete
    5. //යුද්ධ කරපු ඒත් ඔලුව හරියට තියාගෙන ඉන්න එවුන්// ඇත්තටම යුද්ධ කරන්න තියෙන්නේ වැඩි හරියක් ඔලුවෙන්. ඒක නිසා ඔලුව හරියට තියා ගන්නම වෙනවා.. :)

      ප්‍රසා.. ටූ තම්බ්ස් අප්!

      Delete
    6. ස්තූතියි ප්‍රසා මහතා.

      Delete
  4. වචනයක් වචනයක් ගානෙ හිතට කාවදින පෝස්ට් එකටත් ඔබ සියළු දෙනා එක්ව කල සත්කාරයටත් බොහෝම ස්තූතියි.
    කමී ට නිකමටවත් මාව මතක් උනේ නැද්ද ඕකට සම්මාදන් කරගන්න. කමක් නෑ වැඩේ දැන් හොදින් සිද්ද වෙලානෙ. ආයෙ එහෙම දෙයක් කරනකොට මතකෙට ආවොත් කියන්න.
    බොහොම සතුටින් කල හැකි උපකාරයක් කරන්නම්

    ReplyDelete
    Replies
    1. අම්මපල්ල හාන්කවිසියක් මතක් උනේ නෑ නොව.. ආයි අමතක වෙන එකක් නම් නෑ..

      Delete
  5. හොඳ වැඩක් කිරීමෙන් ලැබෙන නිරාමිස ආධ්‍යාත්මික සතුට මේ ලිපියේ වචන අතරේ දෝරේ ගලනවා. ආත්ම ගණනක් පින් ලැබෙන පුණ්‍යකර්මයක්.

    ඔබ සියලුදෙනාටම ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගේ ඇති ඇගයීමට :)

      Delete
  6. බොහොම වටිනා වැඩක්..ආයේ මේ වගේ සත්කාරයක් කරනකොට මාවත් සම්භන්ධ කරගන්න කියා ඉල්ලා හිටිනව..පෙර සංසාරේ කරපු කුසලකර්ම භුක්ති විඳින අතරේ කුසල් එකවුන්ට් එකට තව තවත් කුසල් එකතුකර ගැනීමට ලැබෙන අවස්තාවන් මගහරින එක අපරාදයක්.. මෙන්න මගේ ඊ මේල් එක.. polwattacom@gmail.com

    ReplyDelete
    Replies
    1. මේක පොඩි ට්‍රයල් එකක් කියල හිතමු.. ඉස්සරහට සංවිධානය වෙලා දැනෙන්න වැඩක් කරමු මචන්.. ස්තුතියි බොක්කට :)

      Delete
  7. පෙරහැට ගියාට පස්සෙ පෝස්ට් දාන්නනම් කට්ටිය ඕසෙට... කරන්න කලින් පොඩි පෝස්ට් කෑල්ලක් දාන්න එක බල්ලෙක් හිටියෙ නෑ.. අපි රුපියලක් දෙකක් දීලා පිනක් කරගනියි කියලා ඊරිසියාටවට වෙන්ඩැති...

    පොඩි එව්වන්ගෙ හිනාව දැක්කම උඹලා සාර්තකයි කියලා කියන්න පුළුවන්..

    ජය !!

    (ඕකෙන් නවතින්න එපා හරිය ?)

    ReplyDelete
    Replies
    1. සෙන්න හිතලමයි බන් කලින් වචනයක් වත් ලියුවේ නැත්තේ.. ඉස්සරහට දැනෙන්න වැඩක් කරමු එකතු වෙලා.. ස්තුතියි ඇගයීමට.

      Delete
    2. සෙන්නටත් ඇටම්පිටියෙද හාලි ඇලද මොකක්ද කේස් එකක් තිබුනනේද? අර බ්ලොග්කාරයෙක් වෙලා හිටපුකාලෙ ලියල තිබ්බෙ. මං පූස්තුමාට එකදවසක් කිව්ව මං බ්ලොග්කාරයෙක් හමුවුනාම අහන්නෙ ඔයා බදුල්ලෙ ඉඳල/වැඩකරල/ඉගනගෙන තියනවද කියල

      Delete
    3. //ඔයා බදුල්ලෙ ඉඳල/වැඩකරල/ඉගනගෙන තියනවද කියල// එහෙම නැති උන් ඉන්නේ ටික දෙනයි වගේ.. :)

      Delete
  8. හරිම සුන්දර වැඩක් බං.උඹලට ඒ කාලෙ මෙහෙම දේවල් ලැබුනෙ නැතිවුනත් අහිංසක ළමයි කට්ටියකගෙ මුවේ සිනා මල් පුබුදුවන්නට හැකිවීමම ලොකු පිනක්.මෙහෙම දේවල් කරනකොට පොඩ්ඩක් දැනුම් දීපල්ලා.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ රහසින් වගේ කරේ හිත මතයි.. ඉස්සරහට දැනෙන්න වැඩක් කරනකොට දැනුම් දෙන්නම් හැලපයියේ.. ස්තුතියි!

      Delete
  9. මමත් ඇතුළුව ගොඩක් දෙනෙක් මේවගේ දේවලට සම්මාදම් වීමට කැමතියි. එම නිසා අදහසක්. පොඩි අරමුදලක් පටන් ගන්න. සම්මාදම් වීමට කැමති අයට එක වර හෝ මාස් පතා ගණනක් එවිය හැකි වෙන්න ගිණුම් අංකය ප්‍රසිද්ධ කරන්න. මාස දෙකකට එක් වතාවක් තෝරාගත් පාසැලකට මේවිදිහට උදව් කරන්න. අදාල පලාත අනුව ඒ පැත්තේ බ්ලොග් කරුවන් බෙදා හැරීම සංවිධානයට යොදවන්න. බෙදා හැරීම කල දවසේ හවසට ගල් අරක්කු පාටියක් (සම්මාදම් මුදල් වලින් නොව ) දාන්න. (ඒ කෑල්ල ඔප්ශනල්). අරමුදල 40% දක්වා අඩුවී යනවිට නැවත මුදල් සම්මාදම් ඉල්ලා සිටින්න. මාස හයකට වරක් ආදායම් වියදම් ඒ සඳහා වෙන්වුන බ්ලොග් එකක ප්‍රසිද්ධ කරන්න.

    ප ලි. ඔප්ශනල් කිව්වේ ගල් අරක්කු වෙනුවට අඹ අරක්කු දීමට සලකා බලන්න. හැක්.

    ReplyDelete
    Replies
    1. අනේ ඉයන් අයියා.. අර කුරුට්ටෝ ලෑස්ති කරපු එකේ කහට වතුරයි බුලත් විටයි විතරයි ගල් වතුර ඩිංගක් ගෑවිලාවත් නෑ.. ෂිහ්..

      Delete
    2. ඉයන්.. නියම අදහස.. මන් කියුවේ අර ඔප්ෂනල් කෑල්ල.. හැක හැක. අරමුදල් කෙසේ වෙතත් දැනෙන්න වැඩක් කරන වෙලාවට ලොකු අතු අල්ලන්න උඩ පනිනවා අනිවාර්යයෙන්ම. :)

      විදානේ මචෝ අපිට නම් තේ වතුර විතරයි බුලත් විටකවත් තිබ්බේ නෑ.. :)

      Delete
    3. ඉයන් අදහස් හොඳයි. සාකච්චා කරමු.

      Delete
    4. ගිනි වතුර බොන උන්ට සතයක් දෙන්නේ නෑ ! අම්මප!!

      Delete
    5. //ඉයන් අදහස් හොඳයි. සාකච්චා කරමු.// ඔව්. කලබල නොවී..

      කැන්ඩි ළමිස්සි.. කවුද බං 'ගිනි වතුර' බොන්නේ? ආයි පිස්සුවක් ඇතේයි අපිට? හැක හැක හැක.. අච්චර වටිනා අවුසදයකට කරන අපහාසයක තරම..

      Delete
    6. විදානෙ, චැහ්... මොනවද බං දෙයක් කරනකොට හරියට කරහංකො. :D

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. අදහස නම් අනර්ඝයි... ඒත් ගල් තමයි අවුල...වෙන ජාතියක් යෝජනා කරමු...

      මෙව්ව කරගෙන යනකොට දේසපාලන උවමනා එපාකම් තියන උදවිය මෙව්වට ඔලුව දාල පිම්බෙන්න දඟලන එක තමයි ඉවසන්න බැරි.. එව්වයෙන් පරෙස්සම් වෙන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව හදන්න ඕන මෙහෙම එකක් පිහිටුවනවානම්.. නැත්තම් වැඩක් කෙරෙන දවසට නිල් , කොළ, රතු කොඩි එල්ලෙන්න ගන්නවා කාලයක් යද්දී..වැඩේ කෙරෙන්නත් කලින් අවර ගනයේ කතා කිව්වට අමනාප වෙන්ට කාරී නෑ .. අපේ රටේ හැටි ඔහොමයි..

      Delete
    9. හෑ.. උඹ ඒකත් මකල දැම්මද.. අවුලක් නෑ අවුලක් නෑ.. අපොයි අම්බලමෝ උඹ කලබල නොවී හිටහන්.. මේ බොග් ලෝකේ ඔය වගේ සංවිදනාත්මක වැඩ එහෙමට කෙරෙන්නේ නෑ.. එවෙලෙට සෙට්ටෙලා මොනවා හරි කරොත් ඇරෙන්න.. සංගම් සංවිධාන වියවස්තා ඕනි නෑ මොනවා හරි පුළු පුළුවන් දේවල් අපි කරමු එකතු වෙලා.. එච්චරයි.

      Delete
  10. මචෝ මං උඹේ නම්බර් එක හොය හොයා හිටියේ.. හොයාගන්න කොට පෙරහැර ගිහිං ඉවරයි..
    ..
    ඔය පුංච් එවුන්ගේ හිනාව සතුට අපිත් දැක්කා.. ඒහින්දා ඒ ගැන වැඩිපුර කියන්න යන්නේ නෑ..

    කවුරු කොහේ කොතැන මේ වගේ දෙයක් කලත් ඒක ඉතාම වටිනවා...

    (මචෝ අමතක වීමක් වෙන්න ඇති, ගුරුවරියගේ සටහන් ලියන චීචත් මේ වගේ වැඩක් කරලා තිබ්බා කරුකුදේ සාරිපුත්‍ර විද්‍යාලයේ..)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹේ මේල් එකට නම්බර් එක රිප්ලයි කරා මිසක් මටත් කෝල් එකක්වත් ගන්න නිවනක් තිබ්බේ නෑ බං. පෞද්ගලික ජිවිතයේ අධික ලෙස තෙහෙට්ටු දවස් කීපෙකට පස්සේ අද තමයි ආපහු කොළඹට සේන්දු උනේ..
      හැබැවටම ගුරුවරියකගේ මතකය කල දේ ගැන සඳහන් කරන්න අමතක උනා.. :(

      Delete
  11. හරි.. බොලා ට්‍රෑල් එක ගියානෙ.. ට්‍රිප් එකට කියහං හොඳේ.. ඇහැක් විදිහට කනක් අඳින්න ආසයි.... මතක් කර කර සතුටු වෙන්න පුළුවං දේවල් බං මේවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ට්‍රෑල් එක වගේ නෙවෙයි ට්‍රිප් යන එක දුර වැඩියි. යන්න නම් හැමෝම එකතු වෙන්න වෙනවා.. ස්තුතියි මචන් කලින්ම දෙන ශක්තියට.. ජය වේවා!!

      Delete
  12. ලස්සනට වැඩේ කෙරිලා තිබ්බා දැක්කා. අපේ සුභ පැතුම් . අපිත් ඔයවගේ බදුල්ල පැත්තේ ඉස්කෝලේ ගිය කොල්ලෝ තමයි. ක. මි. ගේ මුල් කතාව මගේ කතාවට සමහර පති වලින් සමීපයි. මහපොළ හම්බ වෙනකන් පැන්සලක් ඉරේසරයක් වත් නිකන් හම්බවුනේ නෑ අපිටටත් අපේ තාත්තාටත් රස්සාව නැතිවෙලත් තිබුනා. අනික් එක අපි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ 80-90 දශකයේ.
    කොහොමවුනත් කනගාටුයි ඔබේ වැඩේට දායක වෙන්න බැරිවීම ගැන. අපිත් මෙවැනි වැඩ කීපයක් කරනවා අපේ ගමේ .එහෙම වුනාට මේ වගේ වැඩ වලටත් පුළුවන් විදිහට උදව් කරනවා ඊළඟ පාර අපිටත් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවිඳුව මගේ ඔලුවේ තිබ්බා.. ඒත් කාලය හරස් වීම නිසා සහබාගි කරගන්න වෙලාවක් උනේ නෑ.. ස්තුතියි ඔබේ ඉදිරිපත්වීමට.. ඉස්සරහට බලමු. :)

      Delete
  13. හදවතිනම් සතුටුයි ඔබලා මේ කරපු යහපත් දේ ගැන.

    ReplyDelete
  14. ඉස්සර අපේ ගේ ඉස්සරහ උණ බම්බු හරහට දාපු කඩුල්ලක් තිබුණේ. මොකද ගේ හදන වැඩ වලට බඩු ගේන් ට්‍රැක්ටර් වලට එන්න පහසු වෙන්න. මමයි, අක්කයි, අපේ ඉස්සරහ ගෙදර මහේෂ් හරි මහින්ද එක්ක මේ උණ බම්බු වල වාඩි වෙලා හවසට ඉන්නකොට, සුද්දෝ අපේ අත් පිරෙන්න පැන්සල්, ඉරේසර්, ජිල් බෝල, දාදු කැට වගේ දේවල් පුරවලා යනවා. අපි කවදාවත් ඉල්ලන්නේ නෑ. නිකම්ම දෙනවා. අපිට ඒ කාලේ තිබුණ, පොත් පත්, පැන්සල් එක්ක බලද්දී ඒවා සුර ලෝකෙන් ආවා වගේ. සුවඳ අදටත් මතකයි. ඒත් අපේ අම්මලා බනිනවා, ගන්න එපා කියලා.

    සමාජ සත්කාරේ හොඳයි. හැබැයි එක දෙයක්. මේවා බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕනේ. මොකද අපි ඉතිහාසයේ දැක්කා පොදු අරමුදල් කාබාසිනියා කරපු කතන්දර. ඒ වගේ පුරුදු තියෙන අය, මේවාට පැනලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අදහස් දෙන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට ඒවායේ ආධිපත්‍ය අතට ගන්නවා අනෙක් අයට නොදැනෙන්න. ඊට පස්සේ හරිය මම කියන්න ඕනේ නෑනේ. මේකේ තියෙන පැරණි සහ අලුත් අයගේ කමෙන්ට් දැක්කම මට ඒක තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකේ දෙවෙනි කෑල්ල ගැන.. උඹ කියන කතන්දර මගේ ඔලුවේ හොඳට තිබුනා.. එකමයි වැඩේ කරලා ඉවර වෙනකම් මේ ගැන මොකුත් කියන්න ගියෙත් නැත්තේ.. ඉස්සරහටත් වැඩක් කරනවානම් පරිස්සමින් තමයි.. අවංකව වැඩක් කරන්න උවමනාව තියෙන උන් පරිස්සමින් අඳුන ගන්න ඕනි.

      Delete
    2. සුදීක හරි, අපි මේ ගැන මුලින් නොකිව්වෙත් ඔය කාරණය උඩ තමා , ලොකුවට බෙර ගහලා ෂෝ දානවට වඩා වැඩේ කෙරිච්ච එක ගැන අපිට බොහොම සතුටුයි .

      Delete
    3. ලොකුවට බෙර ගහලා ෂෝ දානවට වඩා වැඩේ කෙරිච්ච එක ගැන අපිට බොහොම සතුටුයි .
      +++++++++++++++++++++++++++++++++++++++++++++

      "සුකුරුත්තන් මොත්තෙ නතින් පිස්සු පීකුදූ
      අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
      එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදූ
      දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ"

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මං නම් කියෙව්වා බොස්. මකන්න තරම් දෙයක් නෑ ඉතින්.. ඇත්තනේ කතාව.. ඒත් උඹේ කැමැත්තනේ මැකුව එක. අපි ඉස්සරහට දවසක ක්‍රියාවෙන්ම මේ කොමෙන්ට් එක දාමු.

      Delete
  15. උඹලගේ සමාජ සත්කාරයට අපේ උත්තමාචාරය...

    ReplyDelete
    Replies
    1. අපේ සන්තෝෂය.. ස්තුතියි මනෝ.

      Delete
  16. තව තව හිනා මල් පිපෙන පින් කටයුතු රාශියකට ශක්තිය ලැබෙන්ට ඕන..
    ඇත්තටම හිත පිරෙනවා...
    ජයෙන් ජයම වේවා සියල්ලන්ටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා.. හිත පිරුණා..

      Delete
  17. සුපිරි වැඩක් දිගටම මේ වගේ වැඩ කරන්න හැකියාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔව්. පුළුවන් හැටියකට..

      Delete
  18. ජයවේවා කමියෝ ...හිතේ තියන සතුට වචනෙන් කියන්න බැ මචෝ ....
    (යාලුවා පොත් ටික දීලා ඇවිත් මට කියපු කථාව ..."ඈ බොල හු@#$ කවදාවත් දැකලා නැති මුණ ගැහිලා නැතිව කොහොමද මෙච්චර විශ්වාසයකින් මේවාගේ වැඩකට බැස්සේ" කියලා .. )

    නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
    හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

    ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
    (ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

    මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
    (මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

    කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
    (කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

    ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
    (ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

    නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
    හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
    ගී පද රචනය - කපිල කුමාර කාලිංග
    සංගීතය - ආනන්ද ගමගේ

    ReplyDelete
    Replies
    1. පිපි කුසුම වදුලු සිඹිමින් - තුරු සිරස ලපලු අතරින්..
      එන ලහිරු කිරණ මෙතරම් - සොඳුරු නැත..
      රජ මදුරු වලනම්.. //

      ස්තුතියි උඹටත් උඹේ යාළුවටත්..

      Delete
    2. උඹේ යාළුවා එළ බුවෙක්. ඌ මං එනකල් පැය බාගයක් තරං මහපාරේ තැපං උන්නා. කහට උගුරක් තරං දෙන්න උනේ නෑ. උට උඩින්ම පාඩු ඇති

      Delete
    3. //කහට උගුරක් තරං දෙන්න උනේ නෑ// එහෙනම් ඒකයි ඌ සින්දුවට කුණුහබ්බෙන් බැනල තියෙන්නේ ගිය ගමන්.. හැක හැක හැක..

      Delete
  19. //අද මේ මෙතන ඇවිල්ලා ඉන්න අපි කවුරුවත් කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා ඉන්න සුපිරි පැලැන්තියේ සල්ලි කාරයෝ නෙවෙයි.// වැඩිපුර නොපෙනෙන දෙයක් වුණත් ඔය පැන්සල් මකන බෙදන සුද්දොත් ගොඩක් වෙලාවට ඔය වගේ අය. සුනාමිය වෙලාවේ ආපු සමහර සහන සේවකයෝ ඇවිත් තිබුණේ යාළුවන්ගෙන් හදිසියේ සම්මාදම් කරගත් සල්ලි වලින් වන් වේ ටිකට් අරගෙන. හැමෝම ලියපු දේවල් නැවත ලියන්නේ නැහැ. ජය!

    ReplyDelete
    Replies
    1. //ඔය පැන්සල් මකන බෙදන සුද්දොත් ගොඩක් වෙලාවට ඔය වගේ අය// කට්ට කාපු එකා ඒකෙ අමාරුව හොඳට දන්නා නිසා වෙන්නැති. ස්තුතියි වසරේ (මාතලන්ගේ) බ්ලොග්කරුට.

      Delete
  20. තව තවත් මෙවැනි පිංකම් කරගැනීමට අවස්ථාව ලැබේවා !!!!!
    අවුරුද්දෙ අන්තිම මේ වගේ දේවල් වලට සම්මාදම් වීමට අවස්ථාවක් නැතිවෙනව, පොඩි උන් 10 කට විතර සියළු බර පැන අවුරුද්දෙ අන්තිමට මට දරන්න සිද්ධ වෙනව. මේ අවුරුද්දෙ බෝනස් එකත් නැතිව අමාරුවෙන් වැඩේ ගොඩ දා ගත්ත. තව තුන් දෙනෙක් ඉන්නව සපත්තු අරන් දෙන්න. මාසෙ අන්තිමට ඒ වැඩෙත් ඉවර කරන්න ඕනෙ.
    අප්‍රේල් මාසෙ අර ඉස්කෝලෙන් ඉල්ලපු බුදු මැදුර හදන්න පටන් ගමුද ?

    ReplyDelete
    Replies
    1. දහයක්ම නැතත් මටත් සැහෙන්න බරක් අදින්න තියෙනවා බන්.. අමාරුවෙන් තමයි මාත් ගේම ගහන්නේ.. ඇඟේ හයියයි හිතේ හයියයි තමයි.. බුදු මදුරු සීන් එක කරනවමයි කියල එකක් නෑ.. බුදු මැදුරකට වඩා යමක් ඕනි කරන එවුන් ඉන්නත් පුළුවන්. බලමු. මොනවා හරි ඉස්සරහට කරද්දී කෝල් පොජ්ජක් මන්දෝ කරන්නම්. ස්තුතියි බොක්කට :)

      Delete
  21. පෝස්ටුවට කඳුලුත් ආව.

    අරමුදලේ විස්තරේ දාන්න. මමත් කැමතියි උදව් කරන්න. එකම පරහ මට සහභාගී වෙන්න බැරි වෙයි. නමුත් සපෝර්ට් එක දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. අරමුදලක් කියල එකක් නෑ කැන්ඩියෝ.. ඔය කියන්නේ ඉයන් කියපු එක ගැන වෙන්ට ඇති. එහෙම එකක් උනොත් හරි වෙන වැඩක් කරනකොට උදව්වක් ඕනි උනොත් අනිවා කතා කරන්නම්.. ස්තුතියි උඹේ ඉදිරිපත්විමටම.. :)

      Delete
  22. උඹට පොඩිකාලෙ විඳින්න වෙච්ච දුක වෙන එකෙකුට විඳින්න දෙන්නෙ නැතුව උංගෙ හිත්වල මල් පුබුදන්න උඹල එක්කාසු වෙලා කරපු මේ සත්කාරයට උඹලට බොහොම පිං. ඒ වගෙම තවත් ඉඳිරයටත් මේ වගේ දේවල් කරන්න හැකිවෙන්න ශක්තිය ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. පිං කියන්නේ සතුට නම් ඒ පිං උපරිමෙම්ම ලැබුවා මචන්.. ස්තුතියි!

      Delete

  23. එක්සැලන්ට් යැ...

    ReplyDelete
  24. තව තවත් මෙවැනි පිංකම් කරගැනීමට අවස්ථාව ලැබේවා !!!!!
    අවුරුද්දෙ අන්තිම මේ වගේ දේවල් වලට සම්මාදම් වීමට අවස්ථාවක් නැතිවෙනව, පොඩි උන් 10 කට විතර සියළු බර පැන අවුරුද්දෙ අන්තිමට මට දරන්න සිද්ධ වෙනව. මේ අවුරුද්දෙ බෝනස් එකත් නැතිව අමාරුවෙන් වැඩේ ගොඩ දා ගත්ත. තව තුන් දෙනෙක් ඉන්නව සපත්තු අරන් දෙන්න. මාසෙ අන්තිමට ඒ වැඩෙත් ඉවර කරන්න ඕනෙ.
    අප්‍රේල් මාසෙ අර ඉස්කෝලෙන් ඉල්ලපු බුදු මැදුර හදන්න පටන් ගමුද ?

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි පැයකුත් විනාඩි අටකට පස්සෙ දෙක වැටිල තියෙන්නෙ. හැක්...

      Delete
    2. ප්‍රසා , මේක වෙන්නෙ ක්‍රෝම් එකෙන් ආවහම ගිනි නරියගෙන් ආවහම ඩබල් වැටෙන්නෙ නෑ, හැබැයි එතකොට මේ වගේ replay එකකට reply කරන්න comment box එකක් open වෙන්නෙ නෑ. බූර දවසක් බේත් කිවුව ඒව ඔක්කොම කලත් මේ සෙතේම තමයි

      Delete
    3. ප්‍රසා , මේක වෙන්නෙ ක්‍රෝම් එකෙන් ආවහම ගිනි නරියගෙන් ආවහම ඩබල් වැටෙන්නෙ නෑ, හැබැයි එතකොට මේ වගේ replay එකකට reply කරන්න comment box එකක් open වෙන්නෙ නෑ. බූර දවසක් බේත් කිවුව ඒව ඔක්කොම කලත් මේ සෙතේම තමයි

      Delete
    4. අයියේ උඹට කමෙන්ට් නොකර ලියුමක් එවන්න බැරිද?

      Delete
    5. තැපැල් ගාස්තුවෙ හැටියට මූට බර වියදමක් යයි ලියුං දෙක දෙක එවන්න...

      Delete
    6. බොටනං වෙලා තියෙන්නෙ පාරුවෙ පුවක්ද කොහෙද. මටනං අනික් ඔක්කොටම වැඩිය ශුවර් එක තමයි ගිනි නරිය. මේ වෙනකල් කිසිම අවුලක් දීල නෑ.

      Delete
    7. කසුට්, හරි ..හරි අනික් දවසෙ කෝල් එකක් දීල මගෙ කමෙන්ට් එක කියනව.

      ඩ්‍රැකී , උඹේ නොම්බරේ මගෙ ෆෝන් එකේ නෑ . ආයෙ fb එකේ නොම්බරේ දාපන්.
      ප්‍රසා , එකෙක් කිවුව ඩොල්පින් කියල එකක, ඒක දැම්ම ඒකෙන් එද්දි සිංහල අකුරු හරියට පේන්නෙ නෑ, ටයිප් කර්ද්දි බිංදු වගයක් වදිනව .කරුමෙ තමයි

      Delete
    8. අජිත් අයියට කියලා කම්මලට සම්මානයක් අරන් දෙන්න ඕනි. බ්ලොග් වලට ලොග් වෙන්න කන කට්ටට.

      Delete
    9. හොඳම කොමෙන්ට් කරුට නාම යෝජනා භාර ගන්නවා. දැනට ප්‍රා ජේ ඉස්සරහින් ඉන්නේ . ඊළඟට එල ද බ්‍රා . අදාල කොමෙන්ටුවත් එවන්න.

      Delete
    10. ඩබල් ආදිපාද තුමා හා එතුමා පසුපස එල්ලුණු සැමට ස්තුතියි! මටනම් ඩබල් වැටෙන්නේ පෝන් එකෙන් යනකොට තමයි.. (වැරදි දෙයක්වත්ද මන්දා අදහස් උනේ..හැක හැක හැක..)

      Delete
  25. හිතට හීං ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් මෝදු වෙනවා . අපේ වැඩේ සාර්ථක වුනු නිසා. ලොකුවට උත්සවේට වඩා තොරණට වියදම් නොකර හැම සතේම වැඩක් ඇති දෙකට යොදවන්න් පුළුවන් වෙච්ච එක ගැන ආඩම්බරයි. උඹ සහ ශ්‍රංග දෙපලට ආචාරය .

    ReplyDelete
    Replies
    1. //තොරණට වියදම් නොකර හැම සතේම වැඩක් ඇති දෙකට යොදවන්න් පුළුවන් වෙච්ච එක// එකෙන්ම.. ආචාර ලබන්න පාර කපල දුන්නු උඹල ඔක්කොටමත් ආචාරය!!!

      Delete
  26. කලු කමියාට හා පිරිවරට ජය වේවා.. සුරංගයගේ හෑල්ල ඊයේ කියෙව්වා..

    හිටහං මං සතියට සැරයක් ස්පිරිං වැලි යනවා. එතකොට බලාගෙන එන්නං.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ ස්පිරිං වැලි යන්නෙ ස්පිරිං මෙට්ටයක් උඩ බුදියගෙන ඉඳල එන්නද? හැක්..

      Delete
    2. යන යන තැන මගේ පස්සෙන් එල්ලෙන්නේ හොද කෙල්ලෙක් අල්ලගනිංකෝ වදේ.. හැක්..

      Delete
    3. එල්ලගත්ත එක මදිවටද තව එකක් එල්ලන්න හදන්නෙ. පාප මිත්‍රයො. හැක්...

      Delete
    4. දේශකයා හා උගේ හෙවනැල්ලටත් ස්තුතියි! කළු කමිය.. හුහ් හිටාන් ඊළඟ සැරේ සෙල්පි දාන්නේ පෙයාර් ඇන් ලවුලි නාල..

      Delete
  27. බුදු සරණයි දෙවි පිහිටයි.....

    ReplyDelete
  28. මේව රෙෂ්පට් වැඩ කමියා..පොඩි එව්වංගෙ හිතේ සතුටයි වටින්නේ.. උඹත් සහයෝගෙ දීපු හැම එකාමත් (ඉවානයා ඇර)ගැන බොක්කෙන්ම සතුටුයි !!!

    ReplyDelete
    Replies
    1. (ඉවානයා ඇර)

      එකෙන්ම පාද්දෙර්.. ඕ යෑස්..

      Delete
    2. එහෙනම් ඊළඟ පාර ඉවානයා හලන්නම්.. ඒ බර උඹලා ඇදපල්ලා.. හැක හැක..

      ටැංකු ටැංකු බොක්කට :)

      Delete
  29. කමියා................

    මේ වැඩේ ගැන නං ඉතින් කියන්න වචන නැහැ... පිං කියලා තමා කියන්න තියෙන්නේ.... අැත්තට ම අහිංසක දරුවන් ගැන අපිටත් සමාජ වගකීමක් තියෙනවා.... අැත්තට ම කුරුට්ටෝ කරා වගේ කියනවාටත් වඩා අපි කැමතියි කුරුටු, විදානේ, ප්‍රසා අයියා, මධාවියා, සබරේ, අැතුළු පිරිස කියනවානං..... මේකට අපි මුල් වුණාට වැඩේ කරේ අර කියපු සෙට් ඒකම තමයි...

    කමියා අැත්තම කියනවානං අජිත් අයියා කිව්වා මෙහෙම වැඩක් අායෙමත් වෙනවා කියලා. මං විදානෙත් ඒක්කත් කතා කරා..... වැඩේට හැකි සහයෝගයක් දෙන්නම් කියලා බැලුවා... ඒත් කොහොම හරි ඒ වෙනකොටත් ඔබලා වැඩේ ගොඩක් දුරට කරලා.... ඔය බදුල්ල පැත්තේ වෙන වැඩ අපිටත් කියන්න.... දැනට මං ඉන්නේ දියතලාවේ.......

    ReplyDelete
    Replies
    1. දියතලාවේ... කොහේද කොහේද????

      Delete
    2. හෑක්...මුන් ආමි එකේද ? මේ කුරුටු අයියෙ මාව නරිය කන්ද බලන්න එක්කගෙන පලයන්කො

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. විදානේ, ප්‍රසා අයියා, මධාවියා, සබරේ= අලුත් කුරුට්ටෝ
      මම විහිළුවට ලිව්වේ ඒක . ඇත්තටම ඒ හැමෝවම මතක් කරන්න ඕනේ.
      දැන් බැලුවහම රත්නපුරේ බ්ලොගාල සෙට් වෙනවා. බදුල්ලේ සෙට් වෙනවා. එහෙම තමා වෙන්න ඕනේ. ලංකාවේම සෙට් වෙමු. ඉස්කෝල වලට (යන ළමයින්ට ) හොඳක් වෙයිනෙ. මම හිතනවා ඊළගට අතින් දාල හරි මේ යන වෙලාවක බ්ලොගාල ලව්වා අර කවුශි කිව්වා වගේ ළමයින්ට පොඩි ට්‍රේනින්ග් සෙෂන් එකක් දෙන්න. බ්ලොග් ලියන හැටි. අන්තරජාලය පරිස්සමෙන් භාවිතා කරන හැටි. පිටරට ඉන්න බ්ලොගල රසික, නිදහස් සිතුවිලි දුමී අගේ අය ආපු වෙලාවක ඒ අයගේ අන්තර්ජාල අත්දැකීම් බෙදා ගන්න.
      පොත් කියවන්න. කියවන්න ඕනේ මොනවාද. රස්සා හොයන්නේ කොහොමද. හැමෝම ඉංජිනේරුවෝ දොස්තරලා නොවී හොඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්ද? සාර්ථක කලාකාරයෙක් වෙන්නේ කොහොම්ද? අර මාධව හබරකඩ පොතක් ගහල තියනවා. මේ වගේ බ්ලොගලගෙන් ලොකු සේවයක් කරත හැකි.

      Delete
    5. අජිය සප්‍රයිස් එක කාල.. හැක හැක හැක..

      දැන් උඹල සෙට් එකෙන් මොකාද දියතලාවේ ඉන්නේ.. මන් නිතර යන එන පාරනේ.. සෙට්ටෙමු වෙලාවක මන් කියුවේ මේ වගේ පින් අතේ වැඩකට..

      අජිත් අයියා.. කවුද කවුසි? මොනවද කොහෙද කියුවේ? කවුරු උනත් හොඳ අදහසක්.. මන් දැන් ටික කාලෙකට කලින් ඉස්කෝල වල ළමයින්ට first aid, emergency preparedness එහෙම කරා.. ඒ වගේම leadership training එහෙමත් කරලා තියෙනවා හොල්සිම් හිටපු කාලේ.. ඒවා හරිම ජනප්‍රිය උනා. ඒ වගේම ලොකු ළමයින්ට career guidance හුඟක් වටිනවා. කතා කරලා සෙට් කරන්න.. අපි පුලුපුලුවන් විදියට ගිහින් කරන්නම් :)

      Delete
    6. kavushi Ariyabandu මන් හිතන්නේ කොමෙන්ට් එක දැක්කේ සුරංග ගේ බ්ලොගේ වෙන්න ඕනේ. මට තැන මාරු වෙලා.

      Delete
    7. //kavushi Ariyabandu// මං එහෙම කෙනෙක් දන්නේ නෑ.. කොහේ උනත් මොකද හොඳ දෙයක් නොවැ කියල තියෙන්නේ..

      Delete
    8. යකෝ හිරු නැති හෝරාවද මොකද්ද ලිව්වෙ.

      Delete
    9. එහෙම කියන්න එපැයි.. ;) හිරු නෝනා ගැන නේ මේ කියන්නේ.. හැක හැක හැක.

      Delete
  30. උඹලට ගොඩක් පිං...
    පුංචි එව්වන්ගේ හිත් සතුටු කරනවා කියන එක ලොකු පිණක්...
    වඩා වටින්නේ ඒ පින තමන්ටම දැකබලා ගන්න ලැබෙන එක,

    අපේ ගෙදර ජනතාව 1998 ද කොහෙද ඉඳල ගමේ දහම් පාසලේ ළමයින්ට කථින පිංකම කාලෙට මල් ගේන දවස් ගාන බලලා මේ වගේ තෑගී දෙනවා...
    පලවෙනි 10 දෙනාට විශේෂ තෑගී ටිකක් දෙනවා, ඉතුරු හැමෝටම පොත් පත් පෑන් පන්සල් කවකටු පෙට්ටි වගේ දේවල් දෙනවා...
    මේ පාර ළමයි 105 ක් හිටියලු...
    පළවෙනි පාර ගියාට පස්සේ මට ආපහු යන්න බැරි උනා, මුල්‍යම දායකත්වය සපයනවා විතරයි...
    එහෙම සල්ලි දීල නිකං ඉන්න එකෙන් මේ තරම් සතුටක් ලැබෙන්නේ නැති බව හිතෙන නිසයි මචං මට මේක කියන්න හිතුනේ...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. සල්ලි හරි දෙනවනේ. සහභාගී වෙන්න නොලැබුනත් ඔයාට සතුටු වෙන්න පුළුවන්.

      Delete
    2. ඊළඟ එකට නම් කරදර කරනවා.. එතකොට කියක් හරි ලෑස්ති කරන හිටාල්ල.. :) ඕනිනම් සහභාගිත් වෙලා 'සතුට ෆුල් පැකේජ් එක' ගන්නත් සෙට් කරතැකි.

      Delete
  31. නියමයි කමියයියේ. මම වගේ පරක්කු වෙලා වැඩේට ආපූ කවුරුවත් හිටියෙ නෑ නේද. අපි හැමෝම එකතු වෙලා ආයි මේ වගේ වැඩ කරමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ස්තුතියි.. අපි නම් පස් දෙනාම එකට ගියේ.. මොකද 'හංගන්න රහස්' තිබ්බේ නෑනේ කාටවත්.. ;) හැමෝම එකතු වෙලා කරන්න ගිහින් රහස් එලිවෙයිද මංදා.. :p

      Delete
    2. හංගන්න රහස් ???????

      Delete
    3. ඔව්.. ඔය සමහරුන්ට එහෙම හංගන්න රහස් තියෙන නිසානේ 'පරක්කු වෙලා' එන්නේ.. හැක හැක..

      Delete
  32. නියමයි කමියයියේ. මම වගේ පරක්කු වෙලා වැඩේට ආපූ කවුරුවත් හිටියෙ නෑ නේද. අපි හැමෝම එකතු වෙලා ආයි මේ වගේ වැඩ කරමු

    ReplyDelete
    Replies
    1. කම්මලය ආශ්‍රය කරන්නේ පරිස්සමින්.. :) ඌ ගැන අනුකම්පා කරත් උගේ ලෙඩේ බෝ වෙනවා.. :v

      Delete
  33. භාග්‍යා නගාගෙන් ලද ආරාධනයෙන් මට ඇහැක් වුනා පොඩියට හරි මේ වැඩේට සම්බන්ධ වෙන්ඩ. පුංචි ළමයින්ගේ මූණු ටික දැක්කම, හිතේ සතුට කියා ගන්න බැරුවා. මේ පිංකමෙන්, පිංකමට දායක වුනා වගේම යාළුවෝ ගොඩකුත් සෙට් වුනා, ඒ වගේම ලස්සන බ්ලොග් ටිකකුත් හම්බුනා. ආයෙමත් මේ වගේ පිංකන් වලට සහභාගී වෙන්න මනාපයි, මොකක් හාරි තියනවනං මටත් ඊයක් එවනව හොඳයි.

    ReplyDelete
    Replies
    1. හෙනම්මා.. මේ ඇත්ති ඇහැක් විදියට කරපු හරිය මදැයි? ඕන්න හෙනං දිගටෝම බ්ලොග් අවකාසේ රැඳිලා ඉන්නවා හොඳයි.. ආයි මේ වගේ කාරනා කටයුත්තකට හිත්ලාපු කාලෙක ඊයක් මන්දෝ කරන්නම්කො කැන්ගරු දෙසේටම..

      Delete
  34. මම සුරංගගේ හා කල්‍යාණ මිත්‍රගේ පින්තුර වත්පොතේ හෙවත් බුකියේ ශෙයාර් කරපු වෙලේ පිටරට කෙනෙක් කිව්වා මේ ළමයින් දුප්පත් කියල පේන්නේ නැහැනේ. හොඳට ඇඳල ටයි පවා දාල , හොඳ සපත්තු දාල ඉන්නේ කියල. ඔයා (ඒ කියන්නේ මම ) මේ කියන්නේ ඇත්තද කියල? මම කිව්වා එකක් ලංකාවේ පාසැල් වල විනය ඉහලයි. අනික මව්පියෝ අමාරුවෙන් හරි ළමයින්ව පිළිවෙලකට ඉස්කෝලේ යවනවා උගන්වන්න කියල. මම හිතනවා මගේ පිළිතුර නිවැරදියි කියල.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ සුරංගගේ බ්ලොග් එකේ ලියල තිබ්බ මේ ඉස්කෝලේ ගැන.. බොහොම දුෂ්කර විදියට පැවතිලා දෙදාස් එකොළහේ ඉස්කෝලෙම නාය යාමකට අහුවෙලා විනාස උනා. අවුරුදු තුනක්ම පන්සලක බණ මඩුවක පවත්වපු ඉස්කෝලෙට 2014 තමයි කොරියන් ආධාර වලින් ඔය බිල්ඩින් ටික හැදුවේ.. ඒකත් අහල පහල මනුස්සයෙක් පරිත්‍යාග කරපු ඉඩන් අක්කරයක.. ඉඩම දුන්නට යන්න පාරක් නෑ.. ඉස්කෝලේ තියෙන තැන ඉඳල දෙපැත්තට කිලෝමිට තුනක් හතරක් විතර යනකම්ම බස් යන පාරක් නෑ. ඉස්සර මේ මැද්දෙන් බස් එකක් ගියා කඳන ට යනකම් ඒත් දැන් පාර කැඩිලා නිසා ඒ බස් එක යන්නේ දුනුවංගිය හරහා. අපි ගියෙත් ඒ පාරෙන් තමයි.
      //මේ ළමයින් දුප්පත් කියල පේන්නේ නැහැනේ. හොඳට ඇඳල ටයි පවා දාල , හොඳ සපත්තු දාල ඉන්නේ// ඇත්තටම ලෝකේ මොනම ළමයෙක් වත් දුප්පත් නෑ. ඒ ළමයින්ගේ දෙමව්පිය භාර කරුවන්ට තමයි ආර්ථික අපහසුතා තියෙන්නේ. මේ ළමයින්ගේ දෙමවුපියෝ ගොඩක් දෙනෙක් වත්තේ දළු කඩන්න හෝ කම්කරු වැඩට යන අය. සමහරු පුවක් එකතු කරනවා. හරක් ඇති කරනවා. පොඩියට එළවලු වගා කරනවා.. 'මොනවා කරලා හරි ඒ දෙමවුපියෝ මේ ළමයින්ව මේ විදියට පාසලට එවන එකට අපි ගරු කරන්න ඕනි. බදුල්ල නගරේ ඉඳලා කිලෝමීටර් හත අටක් විතර දුරින් තියෙද්දී මෙහෙම් නාය ගිහින් ළමයි 67ක් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක් තමන්ගේ ලමයව එවන්නේ නෑ. එහෙම බැලුවම මේ වැඩිහිටියෝ ගොඩක් අසරණයි.

      තව එකක්.. අපි 'දුප්පත්' ළමයින්ට කියලා නෙවෙයි අමාරුවෙන් අපහසුතා මැද ඉගෙන ගන්න ළමයින්ට තමයි දිරියක් වෙන්න හිතුවේ. මං ආයිත් කියන්නේ ලෝකේ කිසිම ළමයෙක් 'දුප්පත්' නෑ..

      Delete
    2. ඒක ඇත්ත . එහෙම කියන එකත් වැරදියි එයා. //ඇත්තටම ලෝකේ මොනම ළමයෙක් වත් දුප්පත් නෑ.//ඒක හරි. මට ඒත් හිතුන කරන දෙයක අඩුපාඩු හොයන කෙනෙක් කියල මේ.

      Delete
    3. එයා ගෙන් අපිට වැඩක් නෑ.. ඔයා කෙලින් ඉන්නවනම් මෙයා.. :)

      Delete
    4. ඇත්තටම ලෝකේ මොනම ළමයෙක් වත් දුප්පත් නෑ. ඒ ළමයින්ගේ දෙමව්පිය භාර කරුවන්ට තමයි ආර්ථික අපහසුතා තියෙන්නේ.

      සහතික ඇත්ත. කට ඇරහන් කොත්තමල්ලි ඩින්ගක් දාන්න.

      ඉන්දික උ.

      Delete
    5. ඒක හොඳ අදහස.. දැන් පෙවෙන්නේ කොත්තමල්ලි විතරයි :)

      Delete
  35. ළමයින්ට පොත් වලට දෙන්න මා ගාව සල්ලි නෑ බං...ඔය උංගෙ දෙමව්පියො එව්ව කොහොම හරි කොරන්නෙ නැතෑ...හෙහ්...නැද්ද?...

    වැඩේ ඉවර වෙලා පොඩි ආතල් එකක් දෙන්නං කට්ටියටම මගෙ ගානෙ...ඊළඟ පාර මතක ඇතුව කියපං හොඳේ.....ඔය ස්ප්‍රිංවැලි පාරෙ තමයි අපෙ මස්සිනාගෙ ගෙවල් ( නංගි බැඳපු එකා )

    ReplyDelete
    Replies
    1. අර කඩල තියෙන DD එක වෙන්නැති පාටියට ගේන්නෙ. හැක්..

      Delete
    2. //ඔය උංගෙ දෙමව්පියො එව්ව කොහොම හරි කොරන්නෙ නැතෑ// අම්මපා උන් කොහොම කොහොම හරි ලස්සනට පොඩි උන් ටික ඉස්කෝලෙට එවලා තිබ්බා.. :)

      මොන වැඩේ ඉවරවෙලාද දැන් ඔය පොඩි ආතල් එක දෙන්න හිතන් ඉන්නේ?

      Delete
    3. මම ලිව්ව නං අනිවා ලියන්නේ....

      “නංගි බැදපු එකා“ කියලයි.. හැක්..

      Delete
    4. මොකාද ඒ නංගි බැදපු අර රෝස් කුකුළා වත්ද? හැක හැක හැක..

      Delete
  36. මේවා තමා නියම පින්කම්!

    ReplyDelete
  37. මගේ කෙටි කලබල නිවාඩු දවස් හත මොන තරම් සුන්දර වෙන්න තිබ්බද උඹලා එක්ක එකතු වෙන්න ලැබුනානම්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ දවසත් මිට වඩා හුඟක් සුන්දර වෙන්න තිබ්බා.. නිවාඩු පාඩු නොවී ඉදිරියට මොනවා හරි කරමු.
      වචනෙම ශක්තියක් :)

      Delete
  38. කමිය, උඹව මම මූණු පොතේ මගෙ පෝස්ට් එහෙකට ටැග් කලා. පොඩ්ඩක් ඒක බලහන්. ඉල්ලිමක් විතරයි.

    ඉන්දික උ.

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම භාවනාවක් කරා වගේ හිත නිවුනා. පහුගිය අවුරුදු දෙක හමාරක් තිස්සේ ඒ වැඩේ වෙලා නැත්නම් අපි දැන් කරමු. සම්භාන්දතාවයක් හදලා දීපන්. මන් කරන්නම් :)

      Delete
  39. හොඳ වැඩක් බං.අර සෙන්නායියා උඩින් කිව්වා වගේ අපිවත් පොඩ්ඩක් දැනුවත් කරහං මේ වගේ වැඩකදී.

    ReplyDelete
    Replies
    1. අනිවා ඉස්සරහට 'හොඳ වැඩක්' කරනකොට දැනුවත් කරන්නම්.. :)

      Delete
  40. හොඳ වැඩ අපිට කියන්නෙ නැත්තෙ අපි ඔක්කොම අර පත්තරමල්ලි වගේ කියල හිතුව නිසාද?

    කමක් නෑ KMතුමාගෙ කටවුට් ගහනවත් අපිට එන්න කියන්න පස්සෙ

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් තියෙනවා.. එක කරනකොට කියන්නම්කො.. ඔහොම සපෝර්ට් කරනවා කියනකොට අම්මපා චන්දෙ ඉල්ලන්න හිතෙනවා.. හැක හැක හැක..

      Delete
  41. ලියවිල්ලෙ ආරම්භයයි, අවසානයයි හරිම සංවේදී. බොක්කෙන්ම ලියලා. ගොඩක් උන් එහෙම ලියන්නෙ නෑ. ඉතිහාසෙ වළ දානවා.
    මේ සද් කාර්යය වඩාත් වටින්නෙ උඹේ අතීතයත් එක්ක. දැනං උන්න නං පුංචියට හරි උදව්වක් කරල දායක වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සර්! ඉස්සරහට වැඩක් කරනකොට කියන්නම්කො :)

      Delete
  42. අනේ මිත්තරේ වැඩේ ඉවරවෙලා පෝස්ට් දාන එක නං කැත වැඩේ.ඇයි යකෝ කලින් දැම්මනං අපිත් සුපියලකින් හරි දායක වෙනවනේ

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැඩ අණබෙර ගහලා කරන්න නාකයි බං.. එහෙම උනාම ඒක සද්කාර්යකට වඩා ෂෝ ඕෆ් එකක් වෙනවා ඒ වගේම වැඩිපුර පිරිස් සම්භන්ද වුනාම හොඳට වඩා අහන්න වෙන්නේ බැනුම්. එහෙම නෙවෙයි අපි පුළු පුළුවන් විදියට මොන මොනවා හරි කරමු ඉස්සරහටත්. ඒ වගේ වෙලාවක උදව්වක් උපකාරයක් ඕනි උනොත් ඉල්ලන්නම්. 'හොඳ හිතින්' දෙන ඕනෙම උදව්වක් භාර ගන්නවා. :)

      Delete
  43. මේ සත් ක්‍රියාව ගැන ගොඩක් සතුටුයි කල්‍යාන මිත්‍ර. අපිත් අපේ අය්යල, යාළුවො, දන්නා හැමෝම එකතුවෙලා මේ අවුරුද්දේ මුල ඒ කියන්නෙ ජනවාරි දෙවෙනිදා කැකිරාවේ දුෂ්කර පාසල් පහක ඉන්න ළමයි හැමෝටම පාසල් පොත් පාසල් උපකරණ දුන්න ඒ වගේම පාසලට ඕන වෙනත් පොදු උපකරණ ක්‍රීඩා භාණ්ඩ,පුස්තකාල පොත් ..මේ වගේ ගොඩක් දේවල් දෙන්න පුළුවන් උනා. මේ පහලින් තියෙන්නේ අපේ 'අත්වැල'

    http://www.athwela.info/
    https://www.facebook.com/Athwela-888809114521290/?fref=ts

    මේ වගේ දේවල් කරලා දැනුන සතුට ඉහලයි. ඒ නිසාම කල්‍යාන මිත්‍රලට දැනුන සතුට කොච්චර ඉහලද කියල හිතාගන්න පුළුවන් ... :) :)

    ReplyDelete
    Replies
    1. අත්වැල සපයපු ආකාරය දැක්කා. හුඟක් සතුටුයි. අපිට වඩා සංවිධානාත්මකව ඔයාල ඒ වැඩේ කරලා තියෙනවා. අපි තවම ප්‍රථමික අවධියේ.. :)

      හැබැයි කියුවා වගේ දැනුන සතුට නම් උපරිමයි. තව තව අත්වැල සපයන්න හැකියාව ලැබේවා.

      Delete
  44. ඉහළින්ම අගය කරනවා කල්‍යානෙ මේ වෑයම ඔබ ඇතුලු පිරිසගෙ...මගේ හිතෙත් මෙහෙම වැඩක් කරන්න සැලසුමක් තියෙනවා...ඒ සදහා තෝරගත්ත පාසලකුත් තියෙනවා...නුදුරු අනාගතයේ දිනෙක ඒ අහිංසක මුහුණු පොඩි දකින්න යන්න සැලසුමක් තියෙනවා හිතේ...මේ දවස් වල මගේ විදේශගතව ඉන්න මිත්තරයෙකුගෙ ඇරයුමෙන් ලංකාවෙ අඩු පහසුකම් සහිත රෝහලක ශල්‍යාගාරයට අවැසි උපකරණ සම්පාදනය කරන වැඩ පිළිවෙලකට සහයෝගය දෙනවා. ආයෙත් දවසක ලස්සන වැඩක් කරමු.

    ReplyDelete
  45. හොඳ වැඩක් කලණේ! ජය!!

    ReplyDelete
  46. කරදරයක් උනා කියල දැනගත්තෙත් බ්ලොග් පොස්ට් එකකින්, මොකද කර ගත්තේ?
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රශ්නය බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙන්නේ. ස්තුතියි!

      Delete
  47. oyage muulikathwayen paasal upakarana wagayak bedha dhun bawa meeta perath Surangage yaanhaallenda kiyawa thibunaa.
    Kamee, oyata wechcha karadaraya gana liyaunu Ajithge post eka kiyawala sithe athiuna kanagaatuwa nisaa oyawa hoyan enna hithuna.
    Ajithge post ekath oyage blog eke thiyana lipi kihipayakuth kiyawapu mata mathak une //blog kaarayo kiyanne harima sundhara minisun kottasayak// kiyala maathe mala liyapu adahasak.

    kamee, man prarthana karanawa ediri katayuthu sarthaka wewaai kiyaa.

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රශ්නය බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙන්නේ. ස්තුතියි ඔබටත්!

      Delete