Friday 16 June 2017

මා.. හඬවලා.. ඔබ මගෙන් වෙන්වෙලා.... ප්‍රින්ස් ගේ මම කැමති ගී දහය Fondly remembering the tenderhearted late little Prince!

කැමති සිංදු දහයේ පොඩි රැල්ලක් යනවා බුකියේ.. බ්ලොග්කාරයෝත් ගොඩක් දෙනෙක් බුකියේදී ඒ රැල්ලට අහු උනාට ඒක බ්ලොග් වලට එච්චර ඉක්මනට පැතිරුනේ නෑ.. ඒත් අද දැක්ක අමිල චතුරංග අන්සතු දිනපොතක එයා කැමති ගී දහය ලියලා තියෙනවා..

පහුගිය දවස්වල කළා ක්ෂේත්‍රයට සම්භන්ද දෙදෙනෙකුගේ මරණ ආරංචි උනාම හිතට මොකක්දෝ සංකාවක් ඇති උනා.. එකක් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වියෝව.. අනික ආත්මා ලියනගේ ගේ බිරිඳ කුමාරි ලංකා ගේ වියෝව.. ආත්මා ගයන සුප්‍රසිද්ධ 'මාලි.. සිහින කුමාරි..' ගීතය නිසා කුමාරිව ගොඩක් දෙනෙක් හැඳින්වූවේ මාලි ලියනගේ නමින්.. 
ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ අවදියේ
ඊයේ මොකක්දෝ ගොසිප් චැනල් එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරපු වීඩියෝ එකක් ෂෙයාර් උනා ප්‍රින්ස් ගේ ගීත ගැන පාරේ යන එන අයගෙන් අහලා.. ඒක මොන පර්පස් එකකට කරාද නොදන්නවා උනත් එතැනදී අදහස් දක්වපු බොහෝ තරුණ හා මැදිවියේ අය කතා කලේ 'ප්‍රින්ස්? ඒ කවුද?' කියල අහනවා වගේ.. ප්‍රින්ස් ගැන අහල තිබුන අයටත් එයාගේ සිංදු මතක තිබුනේ අඩුවෙන්.. එක්කෙනෙක් දෙන්නෙක් තමයි හැගීම්බරව කතා කරේ ඒ ගැන..

පුද්ගල රසඥතාව විවිද නිසා ඔවුන් පලකළ අදහස් සම්භන්දව විවේචනයක් ඉදිරිපත් කරන්න බෑ.. ඒත්.. එතැනදී කියවුනාට වඩා අපි දන්නා ප්‍රින්ස් කියන්නේ ඉතා විශාල 'ජනප්‍රියත්වයක්' තිබුණු කෙනෙක්.. නමුත් ඔහු ප්‍රබුද්ධ ගායක කුලකයට අයිති උනේ නෑ.. ඒ නිසාම සමහරු පොඩ්ඩක් අකමැතියි ඒ වගේ අයගේ සිංදු අහනවා කියල කියන්න.. ඔය සංතෑසියටම ලක් වෙච්චි තව ගායක ගායිකා සෙට් එකක්ම ඉන්නවා.. ජෝති ඒ ලිස්ට් ඒකෙ මුලින්ම හිටියේ.. ක්ලැරන්ස්, පුන්සිරි සොයිසා, නිහාල් නෙල්සන්, ප්‍රියා සූරියසේන ඊළඟට රූකාන්ත වගේ අය.. නමුත් මේ අය කාලයත් සමඟ සුපිරි නොවුනත් යම්කිසි පිළිගැනීමකට ලක්වුනා.. ප්‍රින්ස් අයිති වෙන්නේ ඊටත් පස්සේ පරම්පරාවට.. ඒ කියන්නේ අපි ගැටවර වියට එළඹුන කාලේ පරම්පරාවට.. ප්‍රින්ස් එක්ක නාමල් උඩුගම, අජිත් මුතුකුමාරණ, කුමාරසිරි පතිරණ, විජේබණ්ඩාර වැලිතුඩුව, රෝයි පිරිස් වගේ නම් ඒ ලිස්ට් එකට මතක් වෙනවා.. මේ අය 90 දශකයේ වගේ ජනප්‍රියත්වයේ ඉහළටම ගියත් ඊළඟට ආපු ප්‍රබුද්ධ රැල්ල නිසා නැත්තටම නැතිවෙලා ගියා.. 'නැත්තටම නැතිවෙන්න' අපිත් වගකියන්න ඕනි මොකද කාලයක් තිබ්බ හේතුවක් නැතුව අපි මේ ගායකයින්ව වර්ජනය කරපු.. ඒ කරලා ප්‍රබුද්ධය කියන ගායකයින්ව 'පමණක්' ඔසවල තියපු නැත්නම් වර නගපු.. 

පසුකාලීනව මම බොහෝ දුරට ඒ අඩුපාඩුව මග හැරගත්ත.. ඒ නිසා මට පුළුවන් උනා බොහෝවිට බේදයකින් තොරව මේ හැම ගායකයෙකුගේම ගීත රස විඳින්න.. ඇත්තටම ඔවුන්ට තියෙනවා වෙනම අනන්‍යතාවයක්.. ඒක හඳුනාගෙන එය රසවිඳින්න හුරු උනොත් අපිට ගොඩක් ගීත ඇත්තටම රස විඳින්න පුළුවන්.. මැදිවියට එනකොට අතීත මතකත් එක්ක මේ ගීතවල වටිනාකම වැඩිවෙලා දැනෙනවද මංදා.. මම දැන් බොහෝවිට දකිනවා අපේ සමකාලීනයෝ මේ ගීත නැවත නැවත අහනවා හා රසවිඳිනවා.. මමත් එහෙමයි.. ඊට අනගි සහයක් යූ ටියුබ් එකෙන් ලැබෙනවා.. මතක තියෙන වචන දෙක තුනක් ටයිප් කරාම ඇති.. අනිවාර්යයෙන්ම ඔබ කැමති සිංදුව හොයා ගන්න පුළුවන්..

ඉතිං පෙර කියූ අවස්ථා තුන හතරම සම්භන්ද කරලා මට හිතුනා අපේ ගැටවර හිත් අවදිකළ ඒ කිරුළු නොපලන් ගී රජවරුන්ගේ මම කැමතිම ගීත දහය ගානේ ලියල පළකරන්න.. අද මේ ලිපිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ ඒ සොඳුරු ගායකයා වෙනුවෙන් වෙන්කරනවා.. 
ප්‍රින්ස්ගේ කැසට්පට එකතුවක්..
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියනකොටම මට කවදත් මතක්වෙන්නේ බදුල්ලේ අපේ ගෙදරට ගෙවල් තුන හතරකට උඩින් තිබුණු බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතාගේ ගෙදර.. :) මොකද 90 මුල් කාලේ වගේ අපේ මුළු ගමෙන් බාගෙකට විතර සිංදු ඇස්සුවේ එතුමා තමයි.. සෙනසුරාදා ට එහෙම උදේ හත හමාර වෙනකොට කණ පැලෙන්න 'සෙටප්' එක දැම්මම ආයි ගමෙන් බාගෙකට නොමිලේ සංගීතය.. කාලයක්ම නොකඩවා මේ විදියට ඇහුනේ ප්‍රින්ස්ගේ'සඳ කුමාරියක්' කැසට් ඒකෙ සිංදු.. කැසට් ඒකෙ නම සඳ කුමාරියක් උනා වගේම ඒ කැසට් ඒකෙ ජනප්‍රියම සිංදුව උනෙත් සඳ කුමාරියක් දීගෙක යනවා කියන සිංදුව.. ඒත් මට ඒ සිංදුව එච්චර ඇල්ලුවේ නෑ.. ඒකට එක හේතුවක් උනේ අපේ කොල්ලෝ ඕකට හදල තිබ්බ වෙන සිංදුවක්.. දීගෙක කියන කෑල්ල වෙනස් කරලා අලුත් කෑල්ලක් දාල කියනවා ඇහෙනකොට මට නං හෙන අප්‍රසන්නයි.. 

සඳ කුමාරියක් කැසට් එකට පස්සේ ප්‍රින්ස් ගේ කැසට් කීපයක්ම ආවා.. ඔබ පෑ පෙම් සිනා.. මහද ප්‍රේමාදරේ.. සහ සෙනෙහස ඔබේ කැසට් ඔක්කොම මතක විදියට එක ළඟ ළඟම ආවේ.. ඒ අතරින් මම වඩාත්ම කැමති උන ගී දහය මෙතන එකතු කරනවා..


ප්‍රින්ස් ගේ ගීත වලින් මම අදටත් රස විඳින එක ගීයක් මේක.. ඔහුගේ අනිත් බොහෝ ගීත වලට වඩා මේක ගොඩක් සෞම්‍යයි වගේ මට හිතෙන්නේ.. තනුව ජයන්ත දිසානායකගේ.. පද ලලිත් වසන්තගේ..

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා 
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්


මේ සිංදුවත් ඕනේ තරං අහන්න පුළුවන්.. මම අහල තියෙනවා ප්‍රින්ස් ඒ කාලේ ජනප්‍රිය වෙච්චි තරුණ ගායිකාවකට පෙම් කලාලු.. පස්සේ ඒ ගායිකාව වෙන විවාහයක් කරගෙන (ඇත්තටම මේ වෙනකොට ඒ ගායිකාව වෙනත් අසාර්ථක විවාහ තුනකින් පස්සේ නැවතත් තනිකඩව ඉන්නවා).. ඒ හිත් වේදනාව ප්‍රින්ස්ගේ බොහෝ ගීත වලට මුල් වෙලා තියෙනවා. කොච්චර තරුණියන්ගේ ආදරයට ලක්වුණු යොවුන් ගායකයෙක් වෙලා හිටියත් ප්‍රින්ස් මැරෙනකොටත් තනිකඩයෙක් උනේ මේ විරහව නිසාමද දන්නේ නෑ..

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී


රූකාන්තව අපි ගොඩක් දෙනෙක් දන්නේ ගායකයෙක් විදියට.. ඒත් රූකාන්ත කියන්නේ හොඳ තනු නිර්මාණ ශිල්පියෙක් වගේම හොඳ සරල ගී රචකයෙක්. ඒ වගේම රූකාන්ත තමන්ගේ සහෝදර ශිල්පීන්ට උදව් කරන හිත හොඳ මනුස්සයෙක්.. මේ ගීතය ඇහෙනකොට 'රුකා ගේ ටච් එක' හොඳට තේරෙනවා.. මේක රූකාන්ත ම ලියල සංගීතවත් කරලා ප්‍රින්ස්ට කියන්න දුන්න ගීතයක්.. 

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා


මේ සිංදුවට ආස හිතුනේ නම් වෙනස් අත්දැකීමක් නිසා.. අසූව දශකයේ අන්තිම වෙනකොට අපි ළමා සමාජ වලින් අයින් වෙලා අවුරුද්දක හමාරක විතර විවේකයකින් පස්සේ අනූවේ මුල් කාලේ යෞවන සමාජවල ක්‍රියාකාරී වෙන්න ගත්ත අලුත.. අංක 510 ප්‍රබෝධා මුතුහර ළමා සමාජයේ මාත් එක්ක හිටපු ලස්සන 'අක්කියෙක්' එතකොටත් ප්‍රබෝධා යෞවන සමාජේ ක්‍රියාකාරී සාමාජිකාවක්.. මාව යෞවන සමාජෙට ගන්න උනන්දු කලෙත් උන්දෑමයි.. ඉතිං මගේ හෙන ෆිට් එක.. හොඳ යාලුවෝ.. අවුරුද්දකින් 'අක්ක' උනාට මගේ හිතේ පොඩි ක්‍රස් එහෙකුත් තිබ්බ උන්දා ගැන.. දවසක් යෞවන සමාජේ රැස්වීමකදී ඔය අක්ක මේ සිංදුව බොහොම ලස්සනට හැඟුම්බරව කියුව.. සිංදුව ප්‍රින්ස් ගේ උනාට මට තාමත් මතක ඒ ෆීමේල් වර්ෂන් එක.. :)

සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්

ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ

සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....


මේ සිංදුව තනුව හා පද රචනය ගත්තම බොහොම පහසුවෙන් 'ප්‍රබුද්ධ' ගායකයෙක්ට උනත් කියන්න පුළුවන් ප්‍රින්ස් ගේ සිංදුවක්.. 'දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා - ජිවිතේ රන් විමන් සාදවා..' මේ කොටස තමයි මට සින්දුවේ මුලින්ම මතක් වෙන්නේ.. එතනින් තමයි මුලට යන්නේ හැමදාම..

මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
ඉතිරේවී ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පිදීලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සදවා.........//
සමසේ දරා දුක් වේදනා
භවයෙන් භවෙ අපි යමු

රුදුරු වෙසකින් බැදී 
ගැහැට දෙන චේතනා.....//
නිබද ගෙනදේ විරහා වෙදනා
සිතින් බැදී කුලුනක් ලෙසේ
භවයෙන් භවෙ අපි ඉමු 

6. පෙම්වතුන් සිනාසේ..

මේ සිංදුවත් මතක තියෙන්නේ විශේෂිතම  හේතුවක් නිසා.. අපි 10 හෝ 11 වසරේ ඉද්දි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.. මේ ට්‍රිප් එකේදී ඉස්කෝලේ ගුරුවරු විදියට ගිය දෙතුන් දෙනාගෙන් එක්කෙනක් උනේ ඊට ටික කාලෙකට කලින් ආව අපේ විද්‍යා ගුරුතුමා.. තරුණ ගුරුවරයෙකු උනත් ඔහු කිසිම ප්‍රියමනාප බවක් නැති මුණේ හිනාවක් නැති 'පන්තියට ආව, ඉගැන්නුවා, ගියා' ටයිප් ඒකෙ බුවෙක් විදියට තමයි අපි දැක්කේ.. ඉතිං මේ 'යකා' අපිත් එක්ක ට්‍රිප් එක යන්න එන එක ගැන අපේ ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ.. හැබැයි ට්‍රිප් එක පටන් ගත්ත වෙලාවේ ඉඳල ඒ හැඟීම වෙනස් උනා.. ඔහු පන්තියෙන් පිටදී බොහොම සුන්දර විදියට එදා හැසිරුනේ.. නියම කොල්ලෙක් වගේ.. අපි උදේ ඉඳන් සිංදු කියල මහන්සි වෙලා ඉද්දි මිනිහා තමයි ආයෙම සිංදු මතක් කරලා දිදී අපිව ෆෝම් කරලගත්තේ.. ඒ මදිවට අපි ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉද්දි ප්‍රින්ස්ගේ පෙම්වතුන් සිනාසේ සිංදුව තනියම කියුව මුළු බස් එකටම ඇහෙන්න.. එදා ඉඳං මටත් හීනයක් තියෙනවා ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහ ඒ වගේ තනියෙම ලස්සනට සිංදුවක් කියන්න.. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන්නේ නෑ කියලත් මම දන්නවා.. 

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

මේක ලියල සංගීතවත් කරලා තියෙන්නේ විශාරද නිහාල් ගම්හේවා. ඒ කාලේ තරුණ තරුණ සේවා සභාවේ සංගීත උපදේශකයෙක් ඒ වගේම බොහෝ තරුණ ගායකයින් ගොඩකට ඔහු සිංදු ලියල තියෙනවා..

හදිසි වැඩ කීපයක් එක පෙළට පෙළ ගැස්සෙමින්හ තිබෙන නිසා ඊළඟ සිංදු තුනේ කතාව හා  පදමාලාව මෙතන ලියන්නේ නැතුව මේ පොස්ට් එක පබ්ලිෂ් කරනවා. නැති උනොත් ආපහු සඳුදා වෙනකම් මේක පෝස්ට් කරන්න වෙන්නේ නෑ..

7. කඳුළු ගංගා ගලා..

8. මා.. හඬවලා .. ඔබ මගෙන් .. වෙන්වෙලා.. 

9.මා තනිවී හඬන පැයේ..

10. සුදුමල් පොකුරක් අතින් දරා මා..

මේක ගැන නම් වචනයක් නොලියම බෑ..

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේද සංගීත ගුරුවරයෙකු බව කියවෙනවා. එහෙත් ඔහුට සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි. බොහෝ ගායකයින් අතින් මගහැරුණු පිය ගුණ ගායනය ඔහු අතින් මග හැරෙන්නේ නෑ.. කළා ලොව එළිපත්තේ සිට අතිශය සංවේදී ගීයක් ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියා ගායනය කරනවා.. මේ ඒ ගියයි.. 
සුදුමල් ‍පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වීරහසේ සැලෙනා කඳුළැලි තවරාසිහිකරනෙමි මගේ පියාණනි..

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ.. :'(

- කල්‍යාණ මිත්‍ර

44 comments:

  1. ඔයා පළවෙනියට ලියල තියෙන්නෙ මමත් ප්‍රින්ස්ගෙ ආසම සින්දුව...

    ඉතිරි ටිකත් බලල එන්නම්.

    ReplyDelete
    Replies
    1. වාව්... මං පළවෙනියා.ප්‍රින්ස්ගෙ සින්දුවලට මමත් කැමතියි. ඒ කැමැත්තෙ මගෙ යොවුන් වයසෙ ඇති වුණ කැමැත්තක්. මෑතක නම් එයාගෙ සින්දු ඇහුව මතකයක් නැහැ.

      ප්‍රින්ස් ගැන කියන්න නම් කාරණා ගොඩක් තියෙනවා. අපේ යෞවනයෙ අපිට ආදරය ගැන අමුතු අමුතු හැඟීම් අරන් ආව ගායකයින් අතරින් කෙනෙක්නෙ ප්‍රින්ස්. මනෝගෙ එෆ්බී පෝස්ට් එකකට ලිව්ව සටහන අරන් මෙතන දානවා...

      ‘‘ප්‍රින්ස්ගෙ මං ආසම සින්දුව ‘‘සඳ රේණු වෑහෙනා‘‘... අපේ අම්මා ප්‍රින්ස්ගෙ සින්දුවලට කැමතියි... එයා ආස බෙල්හුඩ්වලින් ආව චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, ෂර්ලි වෛජයන්ත වගේ අයට තමයි. ඒ හින්දා අපේ ගෙදර එයාලගෙ කැසට් පට තිබුණා. නිතර ඇහුණා... තාත්තා කැමති වික්ටර්, සුනිල්, ටී.එම්, ජෝති... ඉතින් එයාලගෙ සින්දුත් ඇහුණා... මමත් ඒ කාලෙ ප්‍රින්ස්ගෙ සින්දුවලට කැමතියි. අත් අකුරින් ලිව්ව නවකතාවක ‘‘ඔබ පෑ පෙම් සිනා‘‘ සින්දුවත් ලිව්වා මතකයි...‘‘

      අම්මට මං කිව්වා අම්මෙ ප්‍රින්ස් නැති වෙලානෙ.. ‘‘අනේ ඇත්තද? මැරෙන්න තරම් වයසක් නෑ නේද? මොනව වෙලාද මැරිල තියෙන්නෙ...‘‘ අම්ම බොහොම දුකෙන් ඇහුවෙ... මේ සින්දු ටික දකිද්දි එක එක කතන්දර මතක් වෙනවා... ලියන්න කම්මැලියි.

      Delete
    2. තවත් දෙයක්, මම 10 -11 පන්තිවල වගේ ඉද්දි මං ලියපු ගීත රචනා වගයක් ලියුමකුත් ලියල ප්‍රින්ස්ට තැපැල් කළා. උත්තරයක්වත් ආවෙ නෑ ඉතින්... ඒ ගීත දැන් දකිද්දි හිතෙනවා දැන් ඇහෙන ඒවට වඩා නම් හොඳ මට්ටමක තිබුණා කියල.

      Delete
    3. මනෝ ගේ වෝල් ඒකෙ දාපු කොමෙන්ට් එක මම කියවල තිබුන.. මේක ලියන්න හිතුනු එක හේතුවක් ඒකත්.. කම්මැලි වෙච්ච වෙලාවට තමයි මම නම් ලියන්නේ.. :)

      අපේ අම්මටත් ඔය වගේ එකක් උනා.. නන්දා මාලිනි අරලිය ලන්දට කැසට් එකට නිර්මාණ එවන්න කියපු වෙලේ අම්මා සිංදු දෙකක් ලියල යැව්වා.. ඒවා නන්දා ටම ගැලපෙන බොහොම සංවේදී ඒ වගේම බර සිංදු කියන්න පුළුවන්. ගීත රචනා දෙකම ඉතාමත් හොඳ බවත් ඉදිරියේදී තනු නිර්මාණ කරලා ගායනා කිරීමට නියමිත බවත් කියල ලියුමකුත් ආව.. ඒත් කැසට් එක එනකොට ඒකෙ ඒවා තිබ්බේ නෑ.. අපේ අම්මගේ මේ මෑතක් වෙනකම් පොඩි බලාපොරොත්තුවක් තිබ්බ පස්සේ හරි ඒ සිංදුවක් ඇහෙයි කියල.. දැන් නම් මගේ හිතේ ඇහුනත් ඒ වචනවත් මතක නැතුව ඇති..

      Delete
    4. //ඔයා පළවෙනියට ලියල තියෙන්නෙ මමත් ප්‍රින්ස්ගෙ ආසම සින්දුව...//
      මී ටූ

      Delete
    5. දැන් නම් අහන්නේ මේවා. දහයක් නම් ඕනේ නෑ.

      එකක් දෙකක්
      තුනක්
      හතරක් වගේ නම් දැම්මහැකි. ගොඩක් මේවා අහපු අය නම් ලස්සනයි කියල තමයි කිවේ.

      Delete
  2. බොහොම අපූරු ලයිස්තුවක්. කමිගේ කතාව හරි. මම හිතන්නෙත් රසවිඳිම කියන දේ කාලයත් සමග හුරු වෙන දෙයක්. මටත් අමරදේව මාස්ටර්ගේ සිට බස් අජිත් ගේ දක්වා ඕනෑම සින්දුවක් රස විඳින්න පුළුවන්.

    ප්‍රින්ස් මගේ ඥාති සොහොයුරෙකුගේ ළඟම මිත්‍රයෙක්. ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ හිටින කාලෙ දවසක් මේ දෙන්නා අපේ ගෙදර අවා. ප්‍රින්ස් ආවා කියන ආරංචියට ගමෙන් බාගයක් ගෙදර පිරුණා. අන්තිමට අපිට වුනේ ගෙදරට ආපු ගමේ උන්ට සංග්‍රහ කරන්න. කට්ටියගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මගේ පරණ බොක්ස් ගිටාර් එක ගගහා සින්දු කීපයක් කියුවා. ජනප්‍රියත්වය කරේ තියන් නොගිය බොහොම සරල මනුෂ්‍යයෙක්. ප්‍රින්ස්ගේ පෙම් කතාව ඔහුගෙන්ම අසා දැනගත්තා වරක්. පුද්ගලිකව හිතෙන්නේ නම් මේ ගායිකාව සමග ප්‍රින්ස්ගේ හුටපටේ හරි නොගිය එක හොඳයි කියලා.

    ReplyDelete
  3. මං නං සිංහල සින්දු අහන්නේ නෑ. ඉංග්‍රීසි සින්දු තමයි අහන්නේ. මොකද මට සිංහල බෑ නි.
    ඒක නෙමේ මහත්තයාගේ අර පොටෝ කේස් එකේ නඩුවට මොකද උනේ ? තාම විභාග වෙනවද?

    ReplyDelete
    Replies
    1. Ha ha ha ha ha ������

      Commercial break ��

      ++++++++++++++++++++++++

      Creative !

      Delete
  4. ප්‍රින්ස්ගෙ ඔය කැසට් කෑලි හැමේකක් වගෙම මා ගාව තිබුණ.
    මටනං ඔය ප්‍රභුධ්ධ, පීචං කියන ගායකයො බෙදා වෙන්කරන එක දිරෝන දෙයක් නෙමෙයි.
    මොනව උනත් ප්‍රින්ස් ල, නාමල්ලගෙ සින්දු උදේ හවා අනිවාර්යෙන් අහන්න සලස්සපු ඒ කාලෙ අපි පංති ගිය බස් වලට පිං දෙන්න ඕන. හැක්..

    ReplyDelete
    Replies
    1. //ප්‍රින්ස් ල, නාමල්ලගෙ සින්දු උදේ හවා අනිවාර්යෙන් අහන්න සලස්සපු ඒ කාලෙ අපි පංති ගිය බස් වලට පිං දෙන්න ඕන// +++++++

      Delete
  5. මං ආස තව සින්දුවක් තමයි 'අඹ යාළුවේ නිබඳ සෙවනැල්ල සේ' කියන එක

    https://www.youtube.com/watch?v=cdDKR6KMMiM

    ReplyDelete
  6. සිහින මවා මේක ආවේ සකුරා රේන්ජ් ප්‍රින්ස් රාත්‍රියේ වෙන්න ඕනේ. ඉස්කෝලේ යනකාලේ දවසක... ට්‍රයි කරපු කෑල්ල ගැන හිත හිත ඉන්න වෙලාවක හැන්දෑවේ ඇහුන නිසා මේ සින්දුව මතක තියෙන්නේ.

    ReplyDelete
  7. ගස්ලබ්බා පොඩිකාලෙ දුරින් නෑදෑ වෙන පොඩි බාප්පයි,ලොකු බාප්පයි හිටියෙත් අපි හිටපු ගෙදරමයි.ඒ දෙන්නගෙ නාඹර තරුණ කාලෙ.එක්කෙනෙක් බූටකුත් කාල වෙන්නැති ඒ කාලෙ ඇහුවෙම ප්‍රින්ස්... ඉස්කෝලෙ ගිහින් ඔය සින්දු කියලා ටීච අවවාද කලත් වගේ මතකයි.
    ගායිකා කේස් එක දන්නෙ නෑ නෙ. මනුස්සයා බොක්කෙන්ම සිංදු ටික කියල තියෙන්නෙ ඒ කියන්නෙ.
    ඔහුට සුභ ගමන්..!
    ජයවේවා..!!

    ReplyDelete
  8. මටත් එහෙම කිසිම භේද්යක් නෑ මමත් මට හරියන සිංදුවක්නම් අහනවා. ප්‍රින්ස් කියන්නෙ මගේ මුල් පෙළේ ගායකයෙක් නොවුනත් ඔහුගේ සමහර ගීත වලට මා ගොඩක් කැමතියි. හැබැයි ඔබ කියලා තියෙනවා වගේ මගේනුත් පාරකදි ප්‍රින්ස් ගැන ඇහුවත් මමත් ප්‍රින්ස්ගේ සින්දු අහල තිබ්බට ඒ මොනවද කියලා දෙක තුනක්වත් කියන්න ඇත්තටම මතක නැති වේවි. සුභ ගමන්.....

    ReplyDelete
  9. ප්‍රින්ස් කියන්නේ මම ආසා ගායකයෙක් නෙමේ..... පොරගේ සිංදු එහෙම හොයාගෙන අහන්ඩ හිතිලත් නෑ..... ඒඋනාට ඔය සිංදු 10න් 7-8ක් විතර අවුලක් නැතුව අහන්ඩ පුළුවන් ඒවා....

    ටැංකූ මතක් කලාට....

    ReplyDelete
  10. ඔය සෙට් එක ගොඩක් සමීප කළේ 90 දශකයේ මුල හරියේ සති අන්ත දිනක දවල් පැයක තිබුණු සිරස FM ජනප්‍රිය සිංදු 20 වැඩ සටහනෙන්. වැඩ සටහනේ නියම නමනම් මතක නෑ. ඒ සමහර අයගේ සිංදු එපා කරවීමේ ගෞරවයනම් ලැබිය යුත්තේ ප්‍රයිවෙට් බස් කාරයන්ටයි.

    ReplyDelete
  11. අපිත් ඉතින් කාලයක් කණ පිරෙන්න ඔය සිංදු අහපු කාලයක් තිබුනා...
    සුදු මල් පොකුරක් මම කැමති සිංදුවක්...

    ප්‍රින්ස්ට නිවන් සුව ලැබේවා කියල පතනවා...!

    ReplyDelete
  12. ඔය අද
    සඳ කුමාරයා නික්මගියේය
    අරකය මේකය කියල පෝස්ට් දැම්මට අර කමි කිව්ව වගේ ප්‍රබුද්ධ සෙට් එක කරේ තියන ගිය අය හුඟයි.
    ප්‍රින්ස් ආත්මා නාමල් රෝයි ෂර්ලි විජේබණ්ඩාර වැලිතුඩුව චන්දන වගේ අය තමා අපි පට්ට ගැහුවෙ
    අපි ඇච්ච කොල්ලො ඒ දවස් වල
    හැබැයි අදටත් ආදරෙයි ඒ සිංදු වලට
    මට ප්‍රින්ස්ගෙ තෝරල කියන්න තරං එකක් නෑ
    ඔක්කම එක වගෙයි
    පෝස්ට් එකහොඳයි

    ReplyDelete
  13. ප්‍රින්ස්ගෙ ගීත මමත් රසවිදල තියනව. ඔහු කලෙක ඉතා ජනප්‍රියව සිටියා. ඔහු කිසියම් විරහවක අමිහිරි අත්දැකීමක් වින්ද බවත් ඒ නිසා ජීවිතය නාස්ති වුන බවත් කියවෙනව. හැබයි ඒ කසාදෙ කෙරුවනම් ප්‍රින්ස් මැරෙන්නෙ මීට ඉස්සර.
    අනුන්ගෙන් ආදරය බලාපොරොත්තු වීමම අපේ සිත රවටා ගැනීමක් කියලයි මට ටිකක් විතර දාර්ශනිකව සිතෙන්නෙ.
    සැබෑ සැපය තියෙන්නෙ අත් ඇරීම ප්‍රගුන කිරීමෙන්. අනුන්ගෙ ආදරය පතනව කියන්නෙම අපි ඔවුන්ගෙ සිරකරුවන් වෙනව කියන එක. මේක හැම ආකාරයකම බැඳීමකටම අදාලයි.

    ReplyDelete
  14. ප්‍රින්ස්ගේ ගීත මුලින්ම ඇහුන මතකය මට තියෙන්නේ අපේ පුන්ච්ලගේ ගෙදර එක්තරා පාසල් නිවඩු මාසයක මට ඉන්න උනා.මට වඩා අවුරුදු පහ හයකට වැඩිමල් පුන්චිගේ ලොකු පුතාට ඒ දවස්වල මියුසික් උණ හැදිලා තිබුනා.එක්ස්‍රේ කොල වලින් හදා ගත්ත ඩ්‍රම් එකකට මුලු දවසම එක එක කැසට් මහ සද්දෙට දාගෙන තඩි බෑවා. ප්‍රින්ස්ගේ සඳ කුමාරියක් ඒ අතර මුල් තැන ගත්තා.ඒ කාලෙම තව කාගෙ හරි කැසට් එකකුත් ඒ වගේම පට්ට ගැහුවා.එයාගේ නම මතක නෑ හැබැයි සින්දුවක් මතකයි '' මලක් වී ඔබ කිමද පිපුනේ නෙලන්නට බැරි ඉසව්වේ... ඔන්න ඔය වගේ.

    ReplyDelete
    Replies
    1. පුංචිගේ පුතාට ස්තුතියි :) ඒ ඉන්ද්‍රජිත් දොළමුල්ල.. දුරස්වන්නට හිතෙන හැමවිට තවත් ලංවෙනවා කියුවෙත් එයා තමයි

      Delete
    2. මම හෙන කාලෙක ඉඳලා හොයන සිංදුවක් තියනවා , "කල්ප වු සිහින දුටුව රෑයාමේ" කියලා. " යෞවනය සිත් වසඟ නොකලානම් අපිට හිමි නෑ කඳුලු දිය උල්පත්" කියන පදේ නිසා තමයි මට ඕක මතක. ඒකත් ඉන්ද්‍රජිත්ගේ නේද?

      ඔතන්ට එන්න ඕනේ තව ගායකයෙක් තමයි මර්සිලීන් පතිරණ.

      අපි උසස්පෙල පංති ගිය සක්‍යා එකේ ඒ දවස්වල ප්‍රබුද්ධ ගීතය ගැන වැඩසටහනක් කලා. ඒකෙදී ප්‍රින්ස්ගේ සීගිරුයේ කුරුටු ගීත ලස්සනයි ගීතය පට්ට ගැහුවා. සුදු මල් පොකුරක් ගීතයේ රිදම් එකත් පට්ට ගැහුවා, ජෝතිපාලයන්ගේ වේගරිද්ම ගීතයක් එක්ක ගලපලා. ඊට අවුරුදු පහ හයකට විතර පස්සේ රෑක ලක් හඬ අහගන ඉන්න වෙලාවක සුභාවිත ගීද මොකද්ද කියලා ප්‍රෝග්‍රෑම් එකක වාදනයවුන ගීත ගොන්නට ඔය සඳ කුමාරියක් ගීතයත් ඇතුලත්වුනා.

      ප්‍රින්ස්ගේ සඳකුමාරියක් කැසට් එක ඉස්සල්ලම අහනකොට හතර පහේ විතර ඇති. අපේ ගෙදරත් කලවම් මැල්ලුමක් වගේ තැනක්. අම්මා නන්දා, අමරදේව, නීලා, ලතා වගේ ගායක ගායිකාවන්ගේ ගීත අහනකොට තාත්තා සිසිර- ඉන්ද්‍රානි, ජෝතිපාල, සංජීවනී වගේ අයගේ ගීත අහනවා. අක්කා නාමල්ගේ ඉඳලා ඔය උඩ නම් තියන පරපුර. මම ඔය ඔක්කොම අහනවා. ප්‍රින්ස්ගේ මම ආසම ගීතය වෙරලකොනක හිඳ කියන එක. ඒ කැසට් එකේ තව ලස්සන යුග ගීයක් තිබුනා කියලා මතකයි. කලබලේට මතෙකෙට එන්නේ නෑ.

      Delete
  15. Replies
    1. සඳවතී කොමෙන්ට් වලින් දැකල තිබ්බට බ්ලොග් එක දැක්කේ අදනේ.. ටැංකූ ටැංකූ :))

      Delete
  16. ඉස්සර මං පේම ජයන්තියෙ යන කාලෙ ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියෙ හැමදාම ඇහෙන සිංදුව තමයි "සුදුමල් පොකුරක්". ඒ ගැන පිං දෙන්න ඕන ප්‍රින්ස්ට. අපිට සාහිත්‍ය සමිතියෙ ගායනා කරන්න අවසර තිබුණු, ලවක් ගෑවිච්චිවත් නැති සිංදු අතලොස්සෙන් එකක් තමයි ඒක. ඒකත් නොතිබුණා නම් අවසර ලද ලැයිස්තුවෙන් තවත් එකක් අඩු වෙනවනෙ.

    බයිද වේ, ඔය අජිත් මුතුකුමාරණ එහෙම අයිති වෙන්නෙ අපේ යොවුන් කාලයට. ඒ කියන්නෙ බොලෑ මැදි වයසට. ආං ඒක මතක තියාගමු. හුහ්, බලාල්ලකො වයස හතලිස් ගනංවල බුවාලා ගානෙං ගානෙං තරුණ වෙන්න හදන හැටි.

    මාත් ලියන්න ඕනැ මං කැමති සිංදු දහය. කැඳ හැලිය වගේ තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකලා මට අවුරුදු විස්සේ වගේ කාලේ ඉඳල සිංදු කියනවා.. බෝ කලිං පැහුනට මං මක් කරන්නද .. හැක් .. ලියාං ලියාං අර දාසයට ලියුවෙත් නෑ බෝ..

      Delete
  17. 1.
    කැලණි ගඟට සඳ වැටිලා.. කැලණි අහස අඬන්නේ.....
    පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහලට ගලන්නේ...

    2. විළද කැවූ මගෙ ගිරවිය ගියාද කූඩුව අතහැර..
    වන වදුලෙදි දැනුනෙ නැද්ද සාංකාව නුඹේ හිතට...

    ReplyDelete
    Replies
    1. යේස්.. ඒ සිංදු දෙකේම මොකක්ද වෙනස් ලස්සන ගතියක් තියෙනවා

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඇයි මේ සිංදුව? මේකේ මේ අමල් කියල කිව්වට මේක කියන්නේ ප්‍රින්ස්...

    https://www.youtube.com/watch?v=BfAijHRuTEo

    ReplyDelete
  20. ප්‍රින්ස් ගෙ තිබුනෙ මාර අහින්සක කටහඬක්. හෙන 'ලොස්' (පරාජිත ) ගතියකුත් තිබුනා. මගේ ප්‍රියතම ගායකයෙක් නොවුනත්, ඔහුගේ ගීතවල තිබුන ලයාන්විත, සංගීතමය ගතියට කැමතියි. සඳරේණු වෑහෙනා, වෙරළ කොනක හිඳ, සුදුමල් පොකුරක් හරිම ලයාන්විත සින්දු. පෙම්වතුන් සිනාසේ එකේ අන්තරා වාදනය මාර ලස්සනට ඇහුනා. ඒකාලෙ සින්දු කියන කොට ටිං ටිං ටිනිනිනි ටිං ටිං ටිනිනිනි කියලා ඔය අන්තරා කෑලි අතාරින්නේ නැතුව තමයි කියන්නේ. දිගයි හැබැයි සරලයි. බලාගෙන යනකොට විශාරද නිහාල් ගම්හේවා කියන්නේ අපේ රටේ හිටපු අන්ඩරේටඩ් සංගීතඥයෙක්.

    අම්මෝ අක්කි බබාල නම් නේද? ඒ ගොල්ල හින්ද අපි වටේ ගිය තරමක්. ඒ වගේ මතක නැත්තේ කාටද නේද?

    - Dimithri

    ReplyDelete
  21. ප්‍රින්ස්ට මම ආසා නැත. මට ඇහෙන්නේ සින්දුවක් අඬනවා වගේය. නමුත් ඔහුට වෛර කරන්නේද නැත.

    සති අන්තයේ පළාතටම ඇහෙන්නට අපේ අය්යා කාරයා මූට බෑඟිරි තලන්නට සැලැස්සුවා නම් මතකය. ඒ උනත් කලවමට මයිකල් ජැක්සන් ආතා ද සින්දු කිව්වා නිසා කමක් නැති උනාද මන්ද. පුදුමයි ඒ දවස්වල අපේ ගෙදරට ජොනි බට්ටෝ ගැහුවේ නැතුව ගමේ උන්!

    ReplyDelete
  22. මට නං ප්‍රින්ස්ගෙ ලස්සනම සිංදුව
    පිනි වැටෙනා.... මල් යායේ....
    පාවී යයි...... සුමිත් වලා ....

    උඹට මේක මිස් වෙන්ඩ කිසිම විදිහක් නෑ ....

    ReplyDelete
  23. ප්‍රින්ස්ගේ ගීත වලට කැමතියි.එත් ආසම ගීත කියලා නැහැ.

    ReplyDelete
  24. ප්‍රතිචාරයක් දානවද කියල කල්පනා කළේ . සියලුම ප්‍රින්ස් රසිකයන් ගෙන් හා රසිකාවියන්ගෙන් සමාව ඉල්ලනවා. අද තමයි ඉස්සෙල්ලම සින්දුවක් ඇහුවේ ප්රින්ස්ගේ. කලා ගේ ලිස්ට් එක ලසනයි. මගේ අවංක අදහස කිවොත් තරහ යයිද දන්නේ නැහැ. එයාගේ සින්දු වලට හොඳ සංගීතය දෙන කෙනෙක්ව (composer) රෝහණ වීරසිංහ, එච් එම ජයවර්ධන ස්ටැන්ලි පීරිස් වගේ අය හිටියනම් මිට වඩා හොඳයි කියල හිතුන.

    ReplyDelete
  25. සදරේණු වෑහෙනා.... math asama song ekak. Lassana sindu tikak mathak kalat thank u ayya
    ප්‍රින්ස්ට නිවන් සුව පතනවා.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. ඔය සින්දු ඔක්කොටම මාත් හරිම ආසයි....

    ReplyDelete
  28. මෙතන මම ප්‍රින්ස්ගේ ගීතලෝලියෙක් බව කියමින් ප්‍රතිචාර දැක්වූ සියල්ලෝගේම වයස අවු 40යි 50යි අතර බවයි මගේ විශ්වාසය​. එයිනුත් බොහෝ විට 45යි 50යි අතර වෙයි. ප්‍රින්ස් ජනප්‍රියව සිටිය 90/91 කාලයේ
    බොහෝ දුරට මේ ගීතලෝලියාගේ වයස විය හැක්කේ අවු 20/ 21යි. ඒ ඔහුගේ තරුණ වියයි. එහෙයින් වයස නොකියා හිටිය වුනත් මෙහි ප්‍රතිචාර කරුවන්ගේ ආසන්න වයස අපට නිගමන් කල හැකියි. මෙයින් පෙනෙන්නේ මෙතන සිටින බොහෝ බ්ලොග්කරුවන් සම වයසේ අය බවයි. ඒ නිසාමයි, මෙතන අපේ හැඟීීම්ද බොහෝ දුරට සමාන වන්නේ. මමද ප්‍රින්ස්ගේ තදබල ගීත ලෝලියෙක් කියා සිටින අතර ඔහුගේ "සඳරේණු වෑහෙනා" ගීතය අවදියක මගේ ජීවිතයට හා බැඳී තිබුනු එකක් බව කියන්නත් කැමැතියි. එම ගීතය මෙගේ ජීවිතයට බැඳෙන හැටි කියවෙන "සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක්" http://unmanthaka.blogspot.com/2017/02/blog-post.html නමින් මා ලියූ මගේ ජීවිත කතාවක් මගේ බ්ලොගයේ පලකර ඇත. "සුදු මල් පොකුරක් අතේ තබාගෙන"http://unmanthaka.blogspot.com/2017/02/blog-post_10.html නමින් ප්‍රින්ස්ගේ වියෝව ආසන්නයේම මා පළ කල බ්ලොග් පෝස්ටුවක්ද එහි ඇත​.

    ReplyDelete
  29. 2017 ? මන් මේ බ්ලොග්බ්පෝස්‍ට් එක කියවන්නෙ 2021 දී. මට මතක ප්‍රින්ස් නැතිවුනේ ගියාරුද්දෙ වගේ .ඒ නිසා ආයෙ ආයෙ බ්ලොග් පෝස්ට් එකේ අවුරුද්ද බැලුවා.

    හරිම පුදුමයි.

    ප්‍රින්ස් ගැන මම ලීවා නම් මේ ටිකම යි සිද්ධි සහ කාල වකවානුව පොඩ්ඩක් එහා මෙහා වෙනව විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ පුදුමයක් නෑ ඇනොනිමස්.. දැනටත් සමහර දේවල් අපි එකම වෙලාවට එකම වගේ හිතනවා ලියනවා නේ.. (මේ මං හොඳටම දන්නා ඇනෝ කෙනෙක්) :)))

      Delete