දැන් මාසෙකට විතර කලින් දවසක් අම්මගෙන් කෝල් එකක් ආවා.. අද රෑ 'අරුම පුදුම රෝද හතර' බලන්න කියල.. ටීවී බැලිල්ලක් අපේ ගෙදර රුටීන් එකේ නැති නිසා මම කෝකටත් කියුව අම්මට ආපහු ඒක පටන් ගන්න කලින් කෝල් එකක් දෙන්න කියල.. ඒත් එදා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි බලාපොරොත්තු වුනු කොටස එදා විකාශය උනේ නෑ.. ඉතින් ඕක ඔහොමම අමතක උනා.. ඔන්න ඊයේ හවස ආයෙම කෝල් එකක් ආවා බදුල්ලෙන් 'අරක අද යනවලු' කියල.. ඒ පාර කෝකටත් කියල ඊයෙත් රෑ නවයට ටීවීයෙක ඉස්සරහ ඉඳගත්ත..
අරුම පුදුම රෝද හතරේ නිවේදකයා 'තනියෙම කන්දක් කපන්න ගත්ත චීන ගොවියෙකු' ගැන ඌණපූරණයකින් පටන් ගත්තේ.. ඒකත් නරකම නෑ.. ඒ වුනාට ඒ චීන ජාතිකයා බලාපොරොත්තු උනා වගේ තමන්ට බැරිවෙන හරිය තමන්ගේ දරුවන් කරයි කියල අපේ තාත්තා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. එයා දන්නවනේ එයාගේ දරුවන්ගේ තරම..
අපේ ගම බදුල්ලේ නගර සිමාවේ කන්දක් උඩ තියෙන අලුත් ගමක්.. වෙල් යායවල්, වැව්, ගංගා වගේ ගමට සුන්දරත්වය ගේන විශේෂ කරුණු මොනවාවත් එහෙමටයි කියල මහලොකු 'ගමේ කමක්'වත් ඇති තැනක් නෙවෙයි.. වටේට තියෙන තේ වතු ටිකයි ගම පිටිපස්සෙන් තියෙන ගල් කන්දයි විතරක් උනත් 'ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන අතිශය සුන්දර රමණිය භුමි භාගය' අයත් කන්දේම අනිත් පැත්තේ හෙවත් ඉතුරු භාගයේ පිහිටලා තියෙන නිසා පොඩ්ඩක් කන්දට නැගල වටපිට බැලුවම නම් ලස්සනයි තමයි.. ගමේ මිනිස්සු කියපු විදියට ගමට තිබුණු ලොකුම අඩුව තමයි ගමටයි කියල පන්සලක් නොතිබුණු එක.. මිට අවුරුදු දහ දොළහකට කලින් ඒකට එක්තරා විසඳුමක් ලැබුන.. කොහේදෝ ඉඳල වැඩිය ඉරිසින්නාන්සේ කෙනෙක් බාවනානුයෝගිව වැඩ ඉන්නයි කියල අපේ ගම තෝරා ගත්තට පස්සේ ගමේ කෙලවරේ පුංචි බිම් කඩක උන්නාන්සේට පන්සලක් වෙන් කරලා දෙන්න ගමේ මිනිස්සු කටයුතු කළා.. පස්සේ මේ 'පන්සල' නගරාශ්‍රිත පන්සලක ඉන්න නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ භාරකරත්වයටත් පත්වෙලා සඟ සතු දේපලක් බවටත් පත් උනාටත් පස්සේ අර ඉරිසින්නාන්සේ පංසල දාල යනවා..
ඔහොම කාලයක් අවතැන් වෙලා තිබ්බ පන්සලට ටවුමේ පංසලේ නායක හාමුදුරුවොන්ගේ ගෝල නමක් වෙන පූජ්‍ය කටුගස්තොට නාලකවංශ කියන මම කීප ආකාරයකින් ගරු කරපු ලොකු හාමුදුරුනමක් වඩින්නේ ඔය අතර.. අපේ තාත්තගේ පරම්පරාවත් පැවතෙන්නේ කටුගස්තොට ආශ්‍රයෙන් නිසා ටික කාලෙකින්ම දෙන්න හොඳටම සෙට් වෙනවා.. හාමුදුරුවෝ ගිහි කාලේ හොඳ බාසුන්නැහැ කෙනෙක් ලු. කලින් කියපු ලොකු හාමුදුරුවන් ළඟ පන්සල්වල තමයි වැඩ කරලා තියෙන්නේ.. පිළිම නෙලන්න, ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර, මේසන් වැඩ, වඩු වැඩ ඕනෙම වැඩක් ඇඟේම පිහිටලා තිබ්බේ.. පංසලේ ඉන්න ගමන් වැඩ නැති වෙලාවට තිබ්බ සේරම බණ පොත් කියවලා ගැඹුරු අභිධර්මය ඇතුළු බොහෝ ධර්ම කරුණු ගැන නායක හාමුදුරුවන්ටත් වඩා දැනුම රැස් කරගෙන තමයි මහණ වෙලා තියෙන්නේ.. ඒ මහණ වෙලා උපසම්පදාවෙන් පස්සේ අවුරුදු ගානක්ම දඹාන පැත්තේ මාවරාගල කියන ආරණ්‍ය සේනාසනයට වෙලා වනගතව භාවනා කරලා.. ඔහොම ඉද්දී නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට තමයි ඇවිත් අපේ පංසල භාරගෙන තියෙන්නේ.. මම කැමති පළවෙනි කරුණ හාමුදුවන්ගේ ඒ ධර්මාවබෝධය..
කල්‍යාණ මිත්‍රයෝ දෙදෙනා 2010 වසරේදී..
ඒ වගේම හාමුදුරුවෝ හරිම කෙලින් කතා කරනවා.. කොටින්ම නායක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මහා නායක හාමුදුරු නමකට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. දායකයින්ටත් එහෙමයි.. මේ කරුණ නිසාම සමහරු හාමුදුරුවොත් එක්ක අමනාපයි.. ඒත් හමුදුරුවොන්ට ඒක ගානක් නෑ.. ආයේ මනාප කෙනෙක් කියල උනත් විශේෂයක් නෑ.. හොඳම උදාහරණෙ අපේ තාත්තා.. හමුදුරුවොන්ගේ ලඟින්ම හිටපු සගය උනාට මම හිතන්නේ හාමුදුරුවොන්ගෙන් වැඩිපුරම බැණුම් අහලත් ඇත්තේ අපේ තාත්තා තමයි.. ඒක මම කැමති තවත් ගුණයක්..තව එකක්.. හාමුදුරුවෝ කිසිම ආකාරයකින් දේශපාලන සම්භන්දකම් තියාගත්තේ නෑ.. කිසිම දේශපාලකයෙක් පංසලේ කිසිම වැඩකට ගෙන්න ගත්තේ නෑ වගේම පංසලට ආපු කිසිම දේශපාලකයෙකුට සාමාන්‍ය දායකයෙකුට එහා විශේෂත්වයක් පෙන්නුවේ නෑ.. ඒ එක්කම හාමුදුරුවන්ගේ තිබ්බ උඩින් කියපු විශේෂ හැකියාවනුත් මගේ විශේෂ ආකර්ෂණයට හේතු උනා..
හාමුදුරුවෝ මුලින් පටන් ගත්තේ පෝය දවසේ ඉඳන් එක දිගට දවස් හතරක් කරන භාවනා වැඩසටහනකින්.. ඒ එක්කම කලින් නිකම්ම නිකං පන්සලක් වෙච්චි එක 'විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්' උනා.. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැති උනත් මට හිතෙන්නේ ඒ වගේ සංවිධානාත්මක වැඩසටහනක තිබ්බ රික්තයක් පිරවීම නිසාද මංදා හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා.. ඒ එක්කම බදුල්ල අවටින් විතරක් නෙවෙයි කොළඹ ඉඳල පවා පෝයට ඒ වෙනුවෙන්ම ඇවිත් නේවාසිකව ඉඳල භාවනා වැඩසටහනට සහභාගී වෙන කණ්ඩායම් පවා එන්න ගත්ත. ඒ නිසාම පන්සලේ භෞතික සම්පත් මදි කම ලොකුවට දැනෙන්න ගත්ත.. ධර්ම ශාලාවක්, වැසිකිළි කැසිකිලි පහසුකම්, නේවාසික බැතිමතුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් වගේ දේවල්.. ඒ වගේම වඳින පුදින තැන්, සක්මන් මළු, භාවනා කුටි වගේ වගේ දේවල් වල අවශ්‍යතාවයත් ඇති උනා මගේ හිතේ..
ඒත් ප්‍රතිපත්තියක් විදියට හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් ඉල්ලුවේ නෑ.. අඩුම තරමින් පන්සලේ විදුලි බිල ජල බිල ගෙවන්න සම්මාදමක්වත් ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට විදුලිය නැත්නම් ගිනිමැලයක් ගහගෙන ඉන්න වතුර නැත්නම් ලිඳක් කපාගන්න එක තමයි හමුදුරුවොන්ගේ පිළිවෙල උනේ.. නමුත් දායක දායිකාවෝ එකතු වෙලා පංසල ගොඩ නැගුවා.. ඒ සියල්ලම හැසිරුවේ ලොකු හාමුදුරුවෝ.. දායක දායිකාවෝ එකතු වෙලා බුදු කුටිය හදනකොට උන්නාන්සේ ඒක ඇතුලේ ඉතාමත් කලාත්මක බුදු පිළිමයක් නෙළුව.. ඒක හරිම ලස්සනට පින්තාරු කරා.. උඩු වියනේ කලාත්මකව මල් කැටයම් චිත්‍රයට නැගුවා.. ගල් කටුවයි මිටියයි අරං කන්දෙන් පෙරලගෙන ආපු ගල් වල ලස්සන පහන් කෙටුවා.. ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මහා ගල් පෙරලලා බැමි දාල කන්ද උඩට ලස්සනට ලස්සනට ගෙබිම හදල ඒ එක තැනක බෝධියක් රෝපණය කරා.. තවත් පැත්තක බුදු කුටිය හා දොළොස් මහේ පහන.. එතනින් උඩට එක තැනක ධර්ම ශාලාව.. අනිත් පැත්තට ගල් පොකුණක් හා සක්මන් මළුවක්.. එතනිනුත් උඩට ගියාම අලංකාර චෛත්‍යයක්.. මේ වගේ කිසිම දේශපාලකයෙකුගේ වත් ලොකු සල්ලිකාරයෙකුගේවත් ඇල්ම බැල්ම නැතුව පංසල දවසින් දවස ගොඩ නැගුනා..
අපේ මහා ජෝඩුවත් වගකීම් ඔක්කොගෙන්ම වගේ නිදහස් වෙලා පැන්ෂන් එකෙන් කකා හිටපු එක දවසින් දවස පන්සලටම සින්න වෙන්න ගත්ත.. මම කලින් වතාවක නාය යාම් ආධාර ගැන ලියුව වගේ මොකක් හම්බුනත් 'අනේ සාධු මේක පංසලට හොඳයි' කියල ඒ දේවල් පන්සලටම පුජා කරා.. පැන්ෂන් එක තාත්තගේ උනාට ඒවා කෙරුනේ නම් අම්මගේ අතින්.. අපේ තාත්තට සල්ලි වල අගයක් වගේ වගක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙමයි.. ඒ නිසාම අපිට වෙච්චි අවනඩුත් බොහොමයි.. ඒත් තාත්තා කවදාවත් වෙනස් උනේ නෑ.. එයාට තිබ්බේ බොහොම සරල අවශ්‍යතා ටිකක්.. හැබැයි යමක් පටන් ගත්තොත් කවුරු හිටයත් නැතත් ඒක අවසානයක් වෙනකම් හීන් සීරුවට කරගෙන යන්න තාත්තට ලොකු ආත්ම ශක්තියක් තිබ්බ.. එයාට භාහිර ලෝකේ වෙන්නේ මොකක්ද කියන්නේ මොනවද කියන එක තමන්ගේ වැඩේට අදාලම නෑ..
අපේ තාත්තා අතින් අපිට බොහෝ අඩුපාඩුකම් වෙලා තියෙනවා.. ඒ කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම නිසා හා ඒ එක්ක අපේ පවුලට ආපු අගහිඟකම් නිසා.. හැබැයි අපේ තාත්තා එදා ඉඳන්ම ලෝකෙට බොහොම හොඳ මිනිහෙක්.. බොන්නත් සිංදු කියන්නත් තිබ්බ ලැදියාව නිසා පවුලේ වගකීම් වලින් දුරස් උනාට තාත්තාට පවුලෙන් පිට කිසිම කෙනෙක් කිසිම දොසක් කියල නැතුව ඇති.. නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් පස්සේ තාත්තගේ බීමත්කම සම්පුර්ණයෙන්ම නතර උනත් සංගීතයට ලැදි බව නම් අඩුවක් උනෙම නෑ.. ඒ වෙනුවෙන් හාමුදුරුවන් කොච්චර දඬුවම් දුන්නත් හාමුදුරුවන්ට තාත්තව හදන්න බැරි උනා.. දඬුවම් කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න දීපු ටාස්ක්.. හැබැයි තාත්තා බොහොම සැහැල්ලුවෙන් ඒවා ඉවසල සින්දුවක් කියාගෙන හිටියා.. අන්තිමේ හාමුදුරුවොම දඹදිව ගිය වෙලාවේ හාමුදුවන්ගේ වියදමෙන් තාත්තට සර්පිනාවක් අරගෙන දීල හිත හදාගෙන තිබුන.. :)
නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයට වැටුනම තාත්තාගේ ජිවිතේ එක පැත්තක් කෙලින්ම U turn එකක් ගැහුවා කියුවොත් හරි.. එතකං ජිවිතේ ලොකු වගකීමක් ගත්තේ නැති බරක් පතලකට ගත්තේ නැති අඩියක් පුඩියක් ගහල ජොලියේ සින්දුවක් කියාගෙන හිටපු තාත්තා එක වරම වගකීම් සහිත පුද්ගලයෙකු උනා.. පන්සලේ එකතුවෙන මුදල් හදල වල භාරකාරත්වය ලැබුනෙත් තාත්තට.. මහා ලොකු මුදලක් එකතු නොවුනත් ලැබෙන රුපියල පවා පිළිවෙලට සටහන් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන පන්සලට අරන් දෙන්න තාත්තා කටයුතු කරා.. හැබැයි තාත්තට ඒ මදි උනා.. ලොකු හාමුදුරුවෝ බණ කියල අහවරවෙලා සිවුර ගලවල අඳනය පිටින් පංසලේ වැඩ කරද්දී තාත්තා ඒ වගේම තවත් බරපතල කටයුත්තකට අත ගැහුවා.. ඒ අර කන්ද උඩට උඩට පංසලේ තැන තැන හැදිච්ච වන්දනාමාන කරන ස්ථාන වලට හා ධර්ම ශාලා වලට යන්න පාරවල් හදන එක.. බැකෝ වලින් කපල මඩ වෙලා තිබ්බ කන්ද පාමුලම පන්සලට ඇතුළු වෙන තැනින් 'පාර හදන්න' තාත්තා පටන් ගත්ත.. කොහොමද.. කන්ද පුරා ඇවිදලා තමනට පෙරලන්න පුළුවන් ප්‍රමාණයේ විශාල තිරිවාන ගල් පෙරලගෙන ඇවිත් ගලෙන් ගල වලවල් හාරලා යට කරලා මතුපිට සුමට වෙන විදියට අඩි අටකට වැඩිය පළලින් වැඩි පාරක් තාත්තා 'තනියම' හදන්න ගත්ත.. ඔය වැඩේ පටන් ගන්නකොට තාත්තට වයස අවුරුදු හැත්තෑව පිරිලා.. සමහර දවසටම ගෙනල්ල යටකරන්න වෙන්නේ එක ගලයි නැත්නම් දෙකයි.. මාසෙට දවස් හතරක් සිල් සමාදන් වෙලා ඉතුරු දවස් හැම එකකම උදේම පංසලට ගිහිං තාත්තා වැඩ කරා.. එතන ඉඳල එක දිගට අවුරුදු හතකට ටිකක් වැඩි කාලයක් එහෙම වැඩ කරලා තාත්තා පන්සල පුරා කන්ද උඩට උඩට ඉතා අලංකාර ඒ වගේම ශක්තිමත් තනිකරම ගල් වලින් නිම කරපු පාරවල් මීටර් තුන්සියයක් පමණ 'තනිවම' හදල නිම කරා.. එක සත පහක වියදමක් නැතුව.. අද ඒ පාරෙන් කිසි ගැටළුවක් නැතුව වාහනයක් පංසල ඉහලටම ගන්න පුළුවන්..
පංසල ඉහත්තාවේම තියෙන අලංකාර චෛත්‍ය හදල නිම කරනවත් එක්කම වගේ තාත්තගේ 'රෝඩ් ප්‍රොජෙක්ට්' එකත් ඉවර උනා.. චෛත්‍ය හදල කොත නිරාවරණය කරන දවසේ ඉතා විශේෂ සිදුවීමක් උනා.. කොත නිරාවරණය කිරීමේ උත්සවයට වැඩම කරලා හිටපු ඌව පළාතේ සියළුම මහා සංඝයා ඉදිරියේ කටුගස්තොට නාලකවංශ හාමුදුරුවෝ මයික් එක අරගෙන මේ කටයුත්ත අගය කරලා චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න තාත්තාට ආරාධනය කරා.. ඒක හරිම සංවේදී මොහොතක් උනා..
මිනිහෙක්ගේ ජිවිතේ වෙච්චි වැරදිවලට ගෙවන වන්දි ගණනය කරන සිස්ටම් එකක් තිබුනානම් මට හිතෙන්නේ අපේ තාත්තා ඒවා පොලියත් වැල් පොලියත් එක්ක ඔක්කොම එකවර ගෙවා දමල තියෙනවා.. කඳු පාරේ මඩේ ලිස්සමින් කූඩැල්ලෝ එල්ලෙමින් ගිය පාරේ අද සැදැහැවතුන් සැහැල්ලුවෙන් තියන අඩියක් අඩියක් ගානේ ඒ පින් තාත්තට අනුමෝදන් වෙනවා නිසැකයි.. ඒ උනත් තාත්තා ඒ දේවල් වත් ලොකුවට ගණන් ගන්න එකක් නෑ.. සිංදුවක් කියල හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න තියෙනවනම් ඒක තමයි මම දකින තාත්තා අත්දකින සැනසීම..
අවුරුදු හැත්තෑනවයක හැරමිටියෙන් ඇවිදින මේ මහලු කොල්ලා හොයාගෙන රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරෙන් ගිය දවසේවත් ඒක වෙනස් උනේ නෑ.. මේ වීඩියෝවේ මුල් විනාඩි පහ හයෙන් අපේ ගමේ පංසලත් අපේ තාත්තගේ දාඩිය මහන්සියෙන් හදපු ඒ පාරත් අපේ තාත්තගේ සිංදු කෑල්ලකුත් අහගන්න පුළුවන්..
********************************************************
අවුරුදු 62 වගේ අඩු වයසකින් සසර ගමනේ අවසානයට ආසන්න නැවතුමකින් නික්ම ගිය ඒ කටුගස්තොට නලකවංශ නම් වූ ප්‍රිය යතිවරයාණන්ට මේ සටහන උපහාරයක් වේවා!
තාත්තා සහ හිමිපාණන් යන දෙපලම තෘප්තිමත් වූ සරළ දිවි පැවැත්ම කියවද්දි ඇසට කඳුලක් ඒම වලක්වා ගත්තෙ අමාරුවෙන්, කල්‍යාණ මිත්‍රයෝ
ReplyDeleteස්තුතියි ගුණසිංහ මහත්මයා.. :)
Deleteපොටෝ ටිකකුත් ආයේ බදුලු ගියාම අරගෙන මේකට අමුනන්න...!
ReplyDeleteආයෙත් වැඩකරන්න ඕනී කියන හැඟීම ආවා තාත්තා ගැන කියෙව්වම...!
ඔහුට දීර්ඝායුෂ පතමි...!
//ආයෙත් වැඩකරන්න ඕනී කියන හැඟීම// මටත් ලැජ්ජා හිතෙනවා සමහරවිට මං ගැනම.. :)) ෆොටෝ නම් තිබ්බ.. දාන්න ඕනි බලල දෙක තුනක්..
Delete++++++++++++++++++++++
ReplyDeleteතම්බ්ස් අප්! :)
Deleteතාත්තා කියන වචනෙ ළඟ බොහෝ සංවේඳි වෙන හිතක් තියෙන නිසා මුලින් හිතුවා මේක නොකියවා ඉන්න... ඒත් පස්සේ හිතුවා නෑ කියවලා බලනවා කියලා...මැදක් වෙනකන්ම හිතුනේ මේක තාත්තා ගැන නෙවෙයි හාමුදුරුවෝ ගැන පෝස්ට් එකක් කියල.ඒත් අවසානයේදී ඇස් තෙත් උනා... ඔබේ පියාට හදවතින්ම දීර්ඝායුෂ පතනවා... රූප රාමු දැක්කම ඔය කියන තැනට ගිහින් බලන්න තරම් ආසාවක් ආවා.
ReplyDelete//මැදක් වෙනකන්ම හිතුනේ මේක තාත්තා ගැන නෙවෙයි හාමුදුරුවෝ ගැන පෝස්ට් එකක් කියල// ලියද්දි මටත් ඕකම හිතුන.. ඒත් ගහට පොත්ත වගේ සෙට් වෙලා හිටි හින්ද එක්කෙනක් ගැන ලියද්දි අනිකා ගැන ලියන්නම වෙනවා..
Deleteඒ වෙනුවෙන්ම නෙවෙයි.. බදුල්ලේ පැත්තේ යන දවසක් උනොත් කියන්න මම තාත්තට කියන්නම්.. පන්සලත් බලල අපේ අම්මගෙන් බත් ටිකකුත් කාල එන්න.. අපි නැති උනාට අවුලක් නෑ.. :)
ආරාධනාවට ස්තූතියි කමී...අවුරුද්දකට පාරක් විතර ඔය පැත්තේ සවාරියක් යනවා අපි බොහෝ විට බලමු ඊළඟ පාර යන වෙලාවක
Delete+++++++++
Deleteඅප්‍රමාණ සන්තෝසයි මචං! තාත්තාට නිරෝගී සුව පතමි! තවත් පන්සල දියුණු කරන්නට ශක්තිය ලැබේවා!!
ReplyDeleteස්තුතියි මිත්‍රයා!
Deleteමාමා ඉතා ජොලියෙ ඉන්න මනුස්සයෙක් නෙ. වෙනදාට මං ඔය වැඩසටහන බලනවා. අර හසන්ත ලොක්කගෙ ඇටපට්ටමට වඩා ඔය වැඩසටහන හොඳයි. හැබැයි එදා බලන්න බැරිවුණා.
ReplyDeleteමාමාට දිගාසිරි වේවා!
උඹට නම් පුළුවන් කාර් එකට තව ට්‍රිප් එකක් සෙට් කරගෙන ගිහින් බලල කරලා එන්න..
Deleteස්තුතියි ශ්‍රංග..
Nibbutha noona so pitha
ReplyDeleteNibbutha noona sa matha
Nibbutha noona sa naree
Yassayan eedi so pathi
තාත්තා ගැන ආඩම්බරයෙන් ලියන්න ලැබීම සතුටක්! ස්තුතියි!
Deleteතාත්ත එල කොල්ලෙක් නෙ ..
ReplyDeleteසින්දු කියන එක නැවැත්තුවෙ නැති එක ඉතිං ඒතරං වැරැද්දක් නෙමේ නෙ බං ..
අපි නං ඉතිං තාත්තව දැකල කතා කරල එකට සින්දු එහෙමත් කිව්වනේ...
ඇත්තටම උඹේ තාත්තට එහෙම සින්දු ගායනා කරන්ඩ පුලුවං වෙලා උඹට තාලෙට අත්පුඩියක් වත් ගහගන්න බැරි උනේ කෝමද ..??
අඩෝ මේ ස්පෑම් එවන්න එපා.. බොහොම අමාරුවෙන් සුද්ද කරලා ගත්තේ.. ඔය පේනවනේ.. මට මද ගහන්න බ්ලොගර් ඉඩ තියන්නේ නෑ.. කෙලිම්ම ස්පෑම් කරනවා.. අන්නේහෙමයි අපි.
Deleteකලකට පෙර මෙවැනි දේ කළ අය ගැන අසා තිබුණත් මෑතකදී මෙවැන්නක් ඇහුවමයි. අනුන් කර දෙන තුරු බලා නොසිට තමන්ම වැඩේට අතගැසීම, තමන්ට හැකි පමණින් වැඩේ පටන් ගැනීම, පටන් ගත් වැඩේ අතරමඟ අත නොහැර දිගටම ඇදගෙන යාම ආදිය විශිෂ්ඨයි. තාත්තාට දීර්ඝායුෂ පතමි.
ReplyDeleteතාත්තා ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. ස්තුතියි ඉකොනෝ.. :)
Deleteවීඩියෝ එකත් බලන කන් මුකුත් ලියන්නේ නැතිව හිටියේ. දැන් බැලුවා. තාත්තා ශ්‍රේෂ්ඨ වැඩක් කරලා තියන්නේ. අර හාමුදුරුවොත් කල්‍යාණ කියන්න වගේම කෙළින් වැඩ කරන ධර්මය කියන එක ඇත්තටම උගත් හාමුදුරු නමක්. මට කතා දෙකක් මතක් වෙනවා. ඒක ඔය චීන කතාව වගේම නෙමෙයි . ලංකාවේ ඔය මහියංගනේ පැත්තේ සොර බොර වැව කියල එකක් තියෙනවා නේද? එක්කෝ ඒක හැදුවේ ඔහොම ගොවි මහතෙක් . එහෙම නැත්නම් ඒකට යන පාර හැදුවේ තනියම ගොවි මහතෙක්. මට හරියටම මතක නැහැ. කාට හරි මතකද?
ReplyDeleteදෙවෙනි කතාව තමයි සෙන් බුදු දහමේ උගන්වන දේ. මගේ ජීවිතෙත් සෑහෙන බලපෑමක් කළ එකක්. සෙන් බුදු දහමේ - භාවනාව පුරුදු කරන කොට මුලින් කියන්නේ වැඩ කරන්න. එක දිගට දැඩි අවධානය යොමු වෙන වැඩ කිරීම. ඒ වගේම රිපීට් කිරීම .
සෙන් බුද්ධාගම - කියන්නේ දර පලන්න, වතුර අදින්න , වතුර අදින්න දර පලන්න - කියල විහිළුවට වගේ කියනවා.
මේ හාමුදුරුවොත් ඒ වගේ. භාවනානුයෝගිව හිටි කෙනෙක්. අර කැටයම් කැපීම් , ගල් වැට හැදීම් කෙරෙන්නේ එහෙම. කරුණාදාස මහත්මයටත් ඒ ආභාෂයම ලැබිල එයත් ඒ දේ කලා. මුලදී බීව , සින්දු කීව වුනත් දැන් ඔහු ජීවිතය අවබෝධ කරගෙන. ඒ සැහැල්ලුව මුහුණෙන් පෙනෙනවා.
ඔබේ පියාට දීර්ඝායුෂ පතනවා
මේ අර සෙන් කතාව:
"Chop wood and carry water" This was first told to me as a story. Here is an abbreviated version.
A young boy became a monk. He dreamed of enlightenment and of learning great things. When he got to the monastery he was told that each morning he had to chop wood for the monks fires and then carry water up to the monastery for ablutions and the kitchen. He attended prayers and meditation, but the teaching he was given was rather sparse.
One day he was told to take some tea to the Abbot in his chambers. He did so and the Abbot saw he looked sad and asked him why.
He replied every day all I do is chop wood and carry water. I want to learn. I want to understand things. I want to be great one day, like you.
The Abbot gestured to the scrolls on shelves lining the walls. He said, "When I started I was like you. Every day I would chop wood and carry water. Like you I understood that someone had to do these things, but like you I wanted to move forward. Eventually I did. I read all of the scrolls, I met with Kings and and gave council. I became the Abbot. Now, I understand that the key to everything is that everything is,'chopping wood and carrying water.' and that if one does everything mindfully then it is all the same.
සොරොබොර වැව හැදුවේ බුලතා යෝදයා.. යෝධයා කියුවට ශක්තිවන්ත මනුස්සයෙක්.. තනියම.. ඒකට ඉතාමත් අලංකාර ඒ වගේම විශිෂ්ඨ තාක්ෂණයකින් යුත් 'පිටවාන'ක් ද ඔහුම නිර්මාණය කරලා තියෙනවා.. මේ ස්ථානය අද සංචාරක ආකර්ෂණයක්.. මට මතකයි විචාරක තුමා මෙතන බලන්න ගිහින් වීඩියෝ එකකුත් එකතු කරලා තිබ්බ බ්ලොග් එකේ.. 'හරබර' හෙවත් සොරබොර වැව හැදුනු කතන්දරේ මෙතනින් කියවන්න..
Deletehttp://www.divaina.com/2016/03/20/nimna08.html
සෙන් බුදු දහම ගැන..//the key to everything is that everything is,'chopping wood and carrying water.' and that if one does everything mindfully then it is all the same// මම ඒකට ගොඩක් කැමතියි.. ස්තුතියි!
ආන් බලාපන් බුලතා කරපු වැඩේ
Deleteයතුරු දාපු ගල් දොර යට වතුර හැලේ.
යන් එන්නෝ ඇස් නෑරම සෙවුම් බලේ
සොරබොර වැව නොදුටු ඇස් මොටද පින් කලේ
එළ! උදාර කවියක්නේ.. ;)
Deleteතාත්ත කොල්ලට තෙරුවන් සරණ වගේම දීර්ඝායුෂ ලැබේවා !!
ReplyDeleteස්තුතියි මචං.. දවසක හම්බ උනොත් උඹ හුඟක් කැමති වෙන චරිතයක්.. :)
Deleteඅනිවා , අහගන්න ගොඩක් දේවල් තියනව.
Deleteඅනිවා , අහගන්න ගොඩක් දේවල් තියනව. ඔහොම පාරක් තනියෙන් හදන්න බොහොම සන්සුන් සිතක් තියෙන්න ඕනෙ. තාත්තගෙ නියම මූඩ් එකට එන්න ඇත්තෙ දරුවො ටික පිලිවලක් උනාට පස්සෙ වෙන්න ඇති.
Deleteරේල්වේ කතාත් තියෙනවනේ.. :)
Deleteපුතාගේ තාත්තා. :) හරිම වටින, ලේසිපාසු කෙනෙකුට කරන්න බැරි වැඩක් තාත්තා කරලා තියෙන්නේ.
ReplyDeleteඇත්තට අයියේ, අපේ තාත්තාත් අදටත් කරන දේවල් දැක්කාම අපි, අපේ පරම්පරාව ඉන්නේ එයාලාට වඩා ගොඩාක් පිටිපස්සෙන් නේද කියලා හිතෙනවා. අයියගේ තාත්තාටයි අම්මාටයි දෙන්නාටම නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂ පතනවා.
අපේ සිත්තරාගේ ලොකු නංගි ඉන්නේ මොණරාගල. අපි අවුරුද්දකට සැරයක්වත් එහෙ යනවා. ගිය දෙසැම්බරේ එහෙ ගිහින් මහියංගනෙත් ගිහිං ආවා. ඊළඟ වතාවේ බදුල්ලේ එන්න ඕනේ මේ ලස්සන පන්සල වැඳපුදාගන්න. ඒ ලොකු හාමුදුරුවනුත් අදටත් හිටියනම් කොච්චර වටිනවද. උන්වහන්සේටත් සංසාර ගමන ඉක්මනින්ම නිමා කරගෙන උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියලා පතනවා.
අපේ අක්කත් ඉන්නේ මොණරාගල.. අපි මාස තුනකට සැරයක් ගාල්ලේ ඉඳන් මොණරාගල හරහා බදුලු ගිහින් එනවා.. බදුලු යනවනම් කියන්න මම තාත්තට කියන්නම්.. පන්සලත් බලල අපේ අම්මගෙන් බත් කටකුත් කාලම එන්න පුළුවන්..
Deleteදිග කොමෙන්ට් එකටත් සුභ පැතුම් වලටත් ස්තුතියි!
කමි අයියගේ තාත්තාට දිගාසිරි පතනවා..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි! ඔයාගේ තාත්තාගෙන් අවසර අරන් වෙලාවක ඔයාගේ අර මහත යාළුවො ටිකත් එක්ක කන්ද නැගල පංසල වැඳලා එන්න.. එයාලට ඇඟ බස්සගන්නවත් පුළුවන් වෙයිනෙ.. :)) ඔයා නම් ඉතින් කෙට්ටුම කෙට්ටු නිසා අවුලක් නෑ.. :))))
Deleteහරියට ටයිප් කර ගත්තානම් ඉල්ලා අස්කර ගන්න වෙන්නේ නෑනේ උදාර අයියා.. :)))
Deleteගෙදරට තාත්තාගෙන් පොඩි පොඩි අඩුපාඩු උනාට තාත්තා ගමට කරලා තියන සේවය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්නේ. අපි නිතර ඔය පැත්තේ යනවා. ඔය කියන පන්සල බලන්න ලොකු ආසාවක් ඇති උනා. ඔබේ තාත්තාට නිදුක් නිරෝගී සුවය පතනවා.
ReplyDeleteනිතර ඒ පැත්තේ යනවනම් අනිවා දවසක යන්න.. පෝය දවසේ හෝ එන දවස් හතරෙන් එකක ගියොත් භාවනා වැඩසටහනට සහභාගී වෙන්න සිල් ඇත්තන්ට දනක් පුජා කරන්නත් පුළුවන්..
Deleteඅපේ තාත්තා බැඳලා තියෙන්නේ අවුරුදු 22න්.. අවුරුදු 37ක් වෙද්දී ළමයි හය දෙනෙක් ගේ තාත්තා කෙනෙක්.. රේල්වේ ගාඩ් මහත්තයෙක් විදියටත් ලොකු වගකීමක් තියෙන්නේ ඇති.. සමහරවිට මේ සේරම තාත්තට ඔරොත්තු නොදෙන්න ඇති.. මොකද එයා ස්වභාවයෙන්ම සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් නේ.. ඒකට තාත්තා දක්වපු ප්‍රතිචාරය වැරදි නිසා ඒ කාලේ එයාගෙන් අපිට අඩු පාඩු වෙන්න ඇති.. අම්ම තමයි ලොකු ධෛර්යයකින් අපේ පවුල ගොඩ දැම්මේ.. අම්මගේ ඒ පෞරුෂය නිසාත් තාත්තා අපිට අඩුවෙන් පේන්න ඇති.. ඒත් ළමයි ලොකුවෙලා වගකීම් වලින් නිදහස් වෙලා විශ්‍රාම ගත්තට පස්සේ මට හිතෙන්නේ තාත්තට තාත්තාගේ නියම ස්වභාවයෙන් (usual self) ජිවත් වෙන්න ලේසි වෙන්න ඇති.. :)) දිගට දිගට හිතන කොට තමයි මේවා හිතෙන්නේ.. ස්තුතියි ඉරෝමනි..
කාටවත් නැමෙන් නැතුව කෙළින් වැඩකරන හාමුදුරුවො වගේ මිනිස්සුත්, බොලැයි තාත්ත වගේ ජීවිතේ සැහැල්ලුවෙන් විඳින මිනිස්සුත් එකතු උනාම කරන්න බැරි දෙයක් නෑ කියන එක මේ වැඩෙනුත් ඔප්පු වෙලා තියෙනව.
ReplyDeleteමේක කියෝගෙන එනකොට දෑස තෙත් වෙන එක වළක්වන්න බැරි උනා. උඹලැයි තාත්තට දීර්ඝායු පතනවා.
ස්තුතියි ප්‍රසන්නයා.. සරල උනාම ජිවිතේ සැහැල්ලුයි තමයි.. ජිවිතේ සැහැල්ලු උනාම 'බර' දේවල් වලට සැහැල්ලුවෙන් කර ගහන්න පුළුවන් ඇති.. ඇති කියුවේ අපි තම එහෙම සැහැල්ලුවක් අත්විඳලා නැති නිසා..
Deleteඅනේ මරු මචන්....වෙලාවක එන්ඩ හිතෙනව පන්සල පැත්තේ
ReplyDeleteරෝද දෙකෙන් යනවද? උපාලි එක්ක යනවද? :) තැන්කියු තඩියා..
Deleteඅම්මෝ රෝද දෙකනම් බෑ පුක රිදෙනව උපාලියගෙන් එන්නම්
Delete:))))
Deleteසිරා බං... පට්ටම සිරා... මම වීඩියෝ එකත් බැලුවා. තාත්තා මරු.. ලෝකේ ලස්සන වෙන්නේ ඔය වගේ මිනිස්සු හින්ද...
ReplyDeleteස්තුතියි පැතුමා.. ලෝකේ ලස්සන දකින්නෙත් ඒ වගේ මිනිස්සු තමයි.. :)
Deleteඕන් මචෝ මිනිස්සු... උඹත් ඒ වගේම එකෙක්නේ...
ReplyDeleteහම්මේ.. බ්ලොග් වසන්තයයි නෙලුම්යායයි එක පාර දින්නා වගේ.. :)
Deleteඅපූරුයි කමියා... තාත්තත් හාමුදුරුවොත් දෙන්නම විශිෂ්ට මිනිස්සු (ප.ලි. උඹ විතරයි පොඩි අප්සට් ඩයල් එකකට ඉන්නෙ.. හැක්)
ReplyDeleteපවුලකට කවුරු හරි එකෙක් ඉන්නත් එපැයි බං.. :)) තැන්කියු වේවා!
Deleteහරිම අපූරුයි කල්‍යාණ, තාත්තා තනියම හැදුවාට හත් අට දෙනෙක් එකතුවෙලාවත් ඔය වගේ පිලිවෙලට පාරක් හදන්න පුළුවන් අය දැන් ඉන්නවද මන්දා. තාත්තාගේ ඒ කැපවීම ගැන කියන්න වචන නැහැ. මෙහෙම දෙයක් කලාම දැනෙන accomplishment එක මිල කරන්න බැරිව ඇති. තාත්තාට තව තවත් මේ වගේ යහපත් වැඩ කරන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteස්තුතියි මලී.. තාත්තට මේ කමෙන්ට් එක පෙන්නලා අහන්නම් දැනෙන හැඟීම ගැන.. :) මට ෂුවර්.. මොකුත් නොකියා යන්තමට හිනාවෙයි..
Deleteවැඩ කාරයට බොරු බෑ කියන්නේ බොරුවටද සෑර්.
ReplyDeleteවීඩියෝ එකේ බැලුවා, ලොකු සෑර්ගේ වැඩේ පුල් ප්‍රොපෙෂනල්, බලන්ඩකෝ සෑර් ලෙවල්, සොලොප් අරව මෙව්වා . එල කිරි.
(තමනුත් ඔය වගේ හැදෙන්ඩ බලන්ඩ ඈ (බි. පෙ. සි)
ජය වේවා!
ගහේ කටු උල් කරන්න ඕනි නෑනේ බං.. අපිත් ගිය ගිය තැන ඇමිනෙන්නේ අන්න ඒ නිසයි.. හැක්.
Deleteකෝ යකෝ මගෙ කමෙන්ට් එක ...???
ReplyDeleteකෝ යකෝ මගෙ කමෙන්ට් එක ...???
ReplyDeleteඩෙංගු යලි හිස ඔසවයි. මදුරු මර්ධන මෙහෙයුම් රට පුරා.
Deleteඒ මං උඹේ කොමෙන්ට් එක කියෙව්වනේ කලින්.. දැන් කෝ හැබෑට.. එකත් එකටම ඩෙංගු කේස් නිසා ස්පෑම් උනාද මංදා.. බලමු හොයල එල්ලන්න.
Deleteමාතායියා කියනවා වගෙ උබත් ඉතින් ඒ වගෙ බොක්ක හොද එකෙක්නෙ...
ReplyDeleteචැ..ඒ උනාට තාත්තා බලලා අඩියක් ගහලා එන්න හිටියෙ..කමක් නැහැ තාත්තා බලලා කොලබ අවිත් පුතා එක්ක අඩියක් ගහනවා..
චියැස්! අනිත්ව බැරි උනාට තාත්තගේ ඒ පුරුද්ද නම් පිහිටලා තියෙනවා ලෙසටම.. වරෙන් වරෙන්..
Deleteතාත්තගෙ වැඩේ නම් හරිම අපුරුයි. මේවා දකිනකොට අපි ගැන ලැජ්ජ හිතෙනවා බං.
ReplyDeleteඔයා නටපු නාඩගම් මදැයි ඔය වයසට.. හැක්. ඔන්න අපි නම් තව කියුවත් කමක් නෑ..
Deleteකමියගෙ තාත්තා සුපිරි පොරක්.
ReplyDeleteබොහොම සරළ.. :)) ස්තුතියි බක්කරේ..
Deleteහාමුදුරුවොයි බොලැයි තාත්තයි පට්ට ඩෑල් දෙකක්නේ...
ReplyDeleteපන්සල ගොඩ නගල තියෙන විදිහ හරි ක්‍රමවත් වගේම ලස්සනයි...
පියතුමාණන්ට දීර්ඝායු වේවා...!
තැන්කියු ලොකු පුතා.. පංසලේ ප්ලෑනින් ඔක්කොම හාමුදුරුවන්ගේ.. සුපිරි බාස් නේ ඉතිං.. තාත්තත් ඒ වගේ තමයි.. ගහන්නේ එක ඉරද ආයේ ඇදයක් හොයන්න නැතිවෙන්න තමයි ගහන්නේ.. අපි වගේ උඩින් පල්ලෙන් වැඩ නෑ..
Deleteඇසට කඳුලු ආව!
ReplyDeleteඔබේ දෙමාපියන්ට නිදුක් නීරෝගි බව පතනව!
සංවේදී උනාට බොහොම ස්තූතියි!
Deleteතාත්තාට දීර්ඝායුෂ.
ReplyDeleteආඩම්බරෙන් කතා කරන්න පුළුවන් තාත්තලා ඇත්තටම ආඩම්බරයක්.
ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වීම ඇත්තටම සතුටක්.. ස්තුතියි මනෝජ්..
Deleteමම ඔයාගේ හිතවතෙක්වත් යාලුවෙක් වත් නෙමෙයි... අඩුම තරමින් මම මීට කලින් ඔයා ලියපු දෙයක්වත් කියවපු කෙනෙක් නෙමෙයි... ඒත් ලංකා නිව්ස් වෙබ් එක බලද්දී අහම්බෙන් මේ ලිපියේ හෙඩිම දැකලා තමයි කියෙව්වේ.. ඒකට මම කොච්චර වසී වුණාද කිව්වොත් තකහනියක් යූ ටියුබ් ගිහින් අරැම පුදුම රෝද හතරේ ඔයගේ තාත්තා ඉන්න එපිසෝඩ් එකත් බැලුවා.. හරිම අව්‍යාජ පියෙක්.. ඔයා ආඩම්බර වෙන්න ඔයාගේ තාත්තා ගැන.. තරැණ කාලෙදි ඔයාලට තාත්තගෙන් අඩු පාඩු වෙන්න ඇති... ඒත් ඒ එයාගේ හැටි... ඔයාගේ තාත්තට නිදුක් නීරෝගී සුවය පතනවා...
ReplyDeleteඅනේ මේවා ලියල පබ්ලිෂ් කරන්නේ 'යාලුවොන්ට'ම බලන්න නොවෙයි.. අනික ඇහින් දැකල මුවින් දොඩලා නොතිබුනාට මිනිස්සුන්ට 'හිතවත්' වෙන්න බැරි කමකුත් නෑනේ.. මේ කොමෙන්ට් එක ඔබ මගේ හිතවතෙක් කරා.. බොහෝම ස්තුතියි!
Deleteවීඩියෝවෙ ලින්ක් එකකුත් මේකටම ඇමුනුවා නං වටිනවා.
ReplyDeleteවීඩියෝව ලිංක් කරලා තියෙන්නේ අන්තිමට අරුම පුදුම රෝද හතර වැඩසටහන.. අන්තිම පේළිය මත ක්ලික් කරන්න. ස්තුතියි!
Deleteකමියෝ, අපි සමහරවෙලාවට නොදකින හොඳ මිනිස්සු තුළ තියෙනවා. ඒවා මතුවෙන්න වෙලාවක් එනවා. ඒකම නරකටත් පොදුයි. මේ ලිපිය තාත්තාට පෙන්නපන්. මිනිහෙක්ට ජීවිතේ එන්න පුළුවන් ලොකුම තෘප්තියක් තමයි ආදරය කියන එක, විශේෂයෙන්ම තමන්ගේ එකෙක්ගෙන් ලැබෙන. අපි කරන්නෙ ප්‍රමාද වෙනකල් ඉන්න එක. තාත්තා වීරයෙක් සහ ධෛර්යවන්ත, යහපත් මනුස්සයෙක් කියලා මේක කියවගෙන යද්දි මට හිතෙනවා.
ReplyDelete//අපි කරන්නෙ ප්‍රමාද වෙනකල් ඉන්න එක// මම ඕක ගැන සෑහෙන්න හිතෙන එකෙක්.. පුළුවන් හැමදේම ප්‍රමාද නොකර කරනවා.. අතපසුවීම් නොවෙනවා නොවෙයි.. තනි තරුව මේ පැත්තේ කාලෙකට පස්සේ පායලා තියෙනවා දැක්කම අප්‍රමාණ සන්තෝසයි..
Deleteඅදයි දැක්කෙ.... තාත්තා නම් විශිෂ්ටයි. කඳුළුත් ආවා. අම්මයි, තාත්තත් බලල පන්සලත් බලල එන්න ඒ පැත්තෙ යන්න ඕන...
ReplyDeleteයමු.. මම වැඩේ ඇරෙන්ජ් කරලා දෙන්නම්.. අපිත් ඉන්න දවසක එනවා නම් වඩා හොඳයි.. ස්තුතියි!
Deleteමෙන්න වැඩසටහනේ ලින්කුව...
ReplyDeletehttps://www.youtube.com/watch?v=AWkuJZhCaYc
හාමුදුරුවන්ට නිවන් සුව, තාත්තාට දීර්ගායුෂ.
බොහෝම ස්තුතියි.. යූ ටියුබ් දානකන් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව හිටියේ.. :) රූපවාහිනියට සම්භන්ද ඒ 'මහා ඇතුගල' ඔබද? :)
Deleteසර්ව සම්පුර්ණ මිනිස්සු නැහැ බං හැමෝගෙම වැරදි තියනව නමුත් උඹලගෙ තාත්ත හරි සොඳුරු මිහෙක් කියල හිතුන. අපේ තාත්තත් ගමේ මිනිස්සුන්ට මාර හිතවත් බං තාත්ත නැති උනාට පස්සෙත් ගමේ මිනිස්සු අපිට කිසිම කරදරයක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ තාත්ත නිසා. ඒ එක්කම මම ඇතුළු අපේ පවුලේ අයගෙ සාර්ථකත්වය බලන්න අපේ තාත්ත නොහිටපු එක ගැන හෙන දුකක් ඇති උනා බං.
ReplyDeleteඅර දාල තියන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ බං :(
ඔහු කළ පෙර වැරදි ඇත්නම් ඒ සියල්ල මෙයින් කමා වෙනව.
ReplyDeleteකොහම උනත ඔබ වැනි පුතෙක් , ඔබ වැනි සැමියෙක් , ඔබ වැනි අප්පච්චී කෙනෙක්, ඔබ වැන් ලබැදි මිතුරෙක් ලෝකෙට දායාද කලාට ඔහුට අපි ණයගැති වෙමු.
සුබ උපන් දිනයක් තාත්තා ට.