Photo courtesy- www.google.com
කලා වැවේ ඉස්මත්තෙන් හඳ පායන ලීලා
බලා ඉන්නවා තවමත්- හිරිමල් කිරි කෝඩුවියට
ඉගිල්ලෙන්න බෑ මැණිකේ මගෙ අත්තටු සිඳිලා..//
කෝල කොමල මල් හසරැලි - ඉතින් බෝ දුරයි අද මට
තබා ගියේ මගෙ තනියට- මේ කඳුලැලි විතරයි
හිතට උරුම නැති සතුටක්- මගෙ හදවත පාරයි...
නාන තොටමුණේ නැවතී- අදත් බලනවා රහසින්
නුඹේ හිනාවෙන් හැඩවුණු- නෙළුම් කැකුළු බෝමයි
මට විතරක් නොවෙයි සොඳුරු- ගං දියටත් පාළුයි...
සමහර මතක හැමදාමත් සුන්දරයි.. ඔය උඩින් ලියල තියෙන්නේ මගේ ඒ වගේ එක මතකයක්.. 2004 වසරේ මුල් හරියෙදී වරක් පුහුණුවක් සඳහා මාස කිහිපයකට තායිලන්තයේ සතාහිප් නාවික කඳවුරට යන්න වුනා.. ඊට ටික දවසකට කලින් විවාහ ගිවිස ගත්ත මගේ ජීවිතේ විශේෂිතම වූ දවස් කීපයක් අතර තමයි ඔය කැඳවීම ලැබුණේ. ගමන යෙදිල ඉන්න අතරතුර දවසක් හදිසියේම වගේ මාව බලල යන්න ආව මගේ අතිජාත මිත්‍රයා (අර මගේ අභිනොනික්මන කෙටිකතාවට පාදක උනු නේරංජන දිය රැළි මත නිසඳැස ලියුව එකා) ජයවීර මට සින්දු කීපයක් ඇතුලත් CD එකක් දීල 'මචං ඔය කවුඩ ගේ අලුත් සිංදු ටිකක්, එහෙදි අහපන්' කියල ගියා.
සතාහිප් යන්න කලින් බැංකොක් වලට ගොඩ බැහැපු ගමන් මං කලේ පටුනාම් මාකට් එකෙන් පෝටබල් සීඩී ප්ලේයරයක් ගත්ත එක.. මං ප්‍රියකරන ලංකාවේ ගායක ගායිකාවන්ගේ ගීත දහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු CD තිබුනත් අනිච්ඡානුකවම මගේ අතගියෙ අපෙ ආදරණීය කවුඩා නැත්නම් විශාරද සරත් පීරිස් ගේ ගීත ඇතුලත් උනු CD පටියට.. එදා සිට නැවත ලංකාවට ගොඩ බහින තුරුත් ඉන් පසු ලැබුණු හැම අවස්ථාවකමත් කී සැරයක්නම් මේ සිංදුව මං ඇහුවද කියන්න මට මතක නෑ.. යොවුන් සරසවි මානවිකාවකගේ පන්හිදෙන් මතුවෙච්චි නෑඹුල් පද රචනයත්, අපූරු නැවුම් සංගීතයත් එක්ක මුහු වෙච්චි කවදත් මට අහල පුරුදු ආදරණීය 'අපේ කවුඩා' ගේ නිරවුල්, ගැඹුරු, ලයාන්විත කටහඬත් ගීතයට අපූරු රසයක් එකතු කරනවා..
මේ ගීතයත් එක්ක මා මිත්‍ර ජයවීර විසින් රචිත සරත් විසින් සංගීතවත්කොට ගායනා කල පහත ගීත තුනත් ඇතුලත්ව උපරිම ගීත 6ක් හෝ 7ක් තිබුණු ඒ සීඩී පටය දැන් මා ලඟ නැතත් ඒ සංවේදනාවන් (සඳුමල්ගෙන් කොපි කළෙමි) නම් හිතේ පතුලේම තාමත් තියෙනවා.
සරත්ගෙත් මගේත් ජයවීරගේත් හිතවත්කම් බොහෝම ඈතට යනවා.. 1988 වසරේ මම බදුලු මැදි මහ විදුහලට යනකොට සරත් මගේ පන්තියේ.. ඔහුගේ පියා අපේ විදුහලේ ඒ වගේම බදුල්ල දිස්තික්කයේම ප්‍රසිද්ධ සංගීත ආචාර්ය විජේසිරි පීරිස් මහත්මයා.. පහු කාලෙක සරත් ඔහුගේ උපන් දිනයෙන් තිබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් පන්තියක් පහලට ගියත් අපි නැවත උසස්පෙළ කරන කාලෙදි එක ලඟ පන්ති දෙකකදි සෙට් වෙනවා.. ඒ 12 හා 13 ගණිත අංශ සිසුන් ලෙස.. ඒ වෙනකොට ජයවීර මගේ පන්තියට එකතු වෙලා.. උසස්පෙළ ඉවර කරපු ගමන් මම නාවික හමුදාවට බැඳෙනව.. සරත් හා ජයවීර එයින් වසර දෙකකට පමණ පසු පේරදෙණියේ විශ්වවිද්‍යාලයේ එකම වසරක සිසුන් ලෙස නැවත එක් වෙනවා.. පුහුණුව අවසන් කරල හිටපු මම 2000-2001 කාලේ රාජකාරි නිවාඩු අතරතුර 'පේරා' හි නිළ නොලත් නේවාසිකයෙකු වෙන්නේ මේ බැඳීම් නිසා.. එහෙ මෙහෙ වෙලා හැංගිල පොත් යටට තෙරපිලා තිබ්බ කවි හිත් සංගීත හිත් එකී මෙකී නොකී 'කලා හිත්' සරසවි බිමකදී තටු ලැබිලා නිදහසේ ඉගිලෙන හැටි ගැන කියන්න මම ප්‍රබල සාක්ෂිකාරයෙක්.. ඔය සරසවි රස මතකයන් අතරත් බලසම්පන්නම එක පේරදෙණි මතකයන් කියල තමයි මටනම් හිතන්නේ.. ඒ ගැන මේක බලන බොහෝ 'පේරා' බ්ලොග්කරුවනුත් එකඟවෙයි කියල හිතනවා. කාලයත් එක්ක නොයෙක් බැඳීම්, වගකීම් හා වගවීම් නිසා අවස්ථා ගනන අඩු වුනත් අවසර කල් රහස් තැන ලද විට අපේ එකතුවේ රස නම් දශමෙකින්වත් අඩු වුනේ නෑ.. බොහෝම මෑතකදි ඒ වගේ එකතුවුණු අවස්ථාවක් තමයි 'තිලකසිත' බ්ලූක් එක දොරට වැඩුමට පෙර දින.. සරත් ගැන තිලකසිතත් ඔය පොත දොරට වැඩුමෙන් පස්සෙ දවසක කියල තියෙනව මෙහෙම.. එදින සරත් කලා වැවේ සිංදුව එතනදි කිව්වත් තාක්ශනික භ්‍රන්තයක් නිසා බොහෝ දෙනෙකුට එය රස විඳීමට නොහැකි උනා..
කාලය සමහර දේවල් හරි අපූරුවට නැවත නැවත හගිස්සවනවා.. ඊයේ රාත්‍රීයේ මා මිත්‍ර ජයවීර ඔහුට පුරුදු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්තව කොංගෝ හා උගන්ඩා යන රටවල සාම සාධක මෙහෙයුම්හි රාජකාරියක් සඳහා උගන්ඩා බලා පිටත්වී ගියා. ඔහුට සමුදීමට එහි ගිය අවස්ථාවේ නැවත අපි දෙන්නාගේ කතාවට මාතෘකාව වුනේ (හා ඊට දුරකථනය ඔස්සේ සම්භන්ද උනේ) සරත්.. ඒ විශේෂ හේතුවක් නිසා..
අවුරුදු 15කට වැඩි සරත්ගේ නිර්මාණ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් මේ මස 27 වනදා සනිටුහන් වෙනවා.. ඔහුගේ නිර්මාණ ඇතුලත් ප්‍රථම සංයුක්ත තැටිය 'නියඟයට පසු' නමින් එදිනට බදුල්ල සයිමන් පීරිස් අණුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී දොරට වඩිනවා. ඉහතින් සඳහන් කර ඇති ගීත හතරත් ඇතුලත්ව එහි ඇතුලත්වන ගීත 17ම සරත් විසින් සංගීත නිර්මාණය කොට ඇති අතර ඔහුට අමතරව අමරසිරි පීරිස්, නෙලු අධිකාරි , ශානිකා සුමනසේකර , ජයොද්‍ය සචින් යන ශිල්පී ශිල්පිනියන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යාපීඨ කලා කවයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගීත ගායනයෙන්ද ජයවීර බන්ඩාර, තිලකසිරි ඒකනායක, බෝගන බෝකන්ද, වසන්තා මිහිඳුකුලසූරිය, ජයන්ත ජෝතියරත්න, බී.එච්, ගුණරත්න, චන්දිමාල් ලියනආරච්චි, උත්‍රා කුමාරි සහ පද්මිණි ශ්‍රියාලතා යන ගී පද රචකයින් පද රචනයෙන්ද දායක වී තිබෙනවා..
දෙගොඩ තලා උතුරා යමින් කඳු වැටි සමතලා කරමින් මිනිස් ජීවිත බිලිගන්න ඒ රුදු වැස්ස බදුල්ලට ආගන්තුක නොවුනත් කොළඹ හෝ වෙනත් ප්‍රධාන නගර මෙන් නොව බදුල්ලේ ජනතාවට කලාත්මක අගයන්ගෙන් යුත් නව නිර්මාණ නම් බොහෝ සෙයින් ආගන්තුකයි.. වෙසෙසින්ම ආදරණීය බදුලු පුත්‍රයෙකුගෙන් ලැබෙන එවන් තිලිණයක් ඊටත් වඩා නුහුරුයි නුපුරුදුයි.. ඉතින් ඒ නිර්මාණ නියගයට පසු මේ වැටෙන සරත් පීරිස් සංගීත වැහි සුයාමය සැබවින්ම එහි මුඛ්‍ය අගය තව තවත් වැඩි කරනවා.. බදුල්ල 'මහගම සේකර පරපුර' නම් නිර්මාණකරුවන්ගේ එකමුතුවේ අප්‍රතිහත ධෛර්‍යෙන් හා බොහෝ සංගීත ලැදි හිතවතුන්ගේ ආදර අනුග්‍රහයෙන් මේ මස 27 වෙනිදා සවස 6ට 'නියඟයට පසු' දොරට වඩින්න දැන් සියල්ල සූදානම්.. පේරාදෙණිය විවි යේ උප කුලපති මහැදුරු අතුල සේනාරත්න මහත්මාගේ මුලසුනෙන් හා දර්ශන රුවන් දිසානායක හා
දර්ශනන වික්‍රමතුංග යන සංගීතවේදීන්ගේ සංගීත කතිකාවතින් හැඩවෙන මේ සැන්දෑවට ඔහු සමඟ සංගීත් නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති
නන්දසිරි, හර්ෂණ දිසානායක, ශානිකා සුමනසේකර හා අනුරාධා නන්දසිරි යන ආරාධිත ප්‍රවීණ හා නව පරපුරේ ගායක ගායිකාවන් ගීතවත් වනු ඇත.
වැඩිය කියන්න නරකයි.. එතකොට ඕනෙම දෙයක රස අඩුවෙනවනේ.. ඔන්න බදුල්ලේ අපිට කාලෙකින් අහන්න දකින්න ලැබෙන සුපිරි සංගීත ඇත්දැකීමක් 'අපේ එකෙක්ගෙම' හදින් (හඬින් පමණක් නොව ) අහන්න දකින්න විඳින්න ලැබෙන මේ මොහොතට මමනම් කොහොමහරි එකතු වෙනවා.. එන්න පුළුවන් කමක් තියෙන හැමෝටමත් එදාට අපිත් එක්ක එකතු වෙන්න කියල හදවතින්ම ආරධනා කරනවා. තියෙන්නේ බදුල්ලෙනේ.. ඉතින් වෙලාවක් තිබුනත් ගොඩක් දෙනෙකුට එන්න වෙන්නේ නැහැනෙ.. ඒක බොරුවක් නොවෙයිනේ.. හැබැයි මේ අවස්ථාව සාර්ථක වෙන්න කියල ඔහු වෙනුවෙන් සුභ පතා ප්‍රාර්ථනා කරන්නයි කියල මට ඔබෙන් බය නැතුව ඉල්ලන්න පුළුවන්. ඒ වගේම තව එක ඉල්ලීමක් 27 වෙනිදගෙන් පස්සේ නිකුත් කරන මේ සංයුක්ත තැටියක් කොහෙන් හෝ මිලදී ගෙන ඒ සොඳුරු අත්දැකීමට පසුව හෝ සමවදින්න කියලත් කාරුණිකව ඉල්ලනවා.. එය අනිවාර්‍යෙන්ම ඔබේ ජීවිතයට මතක හිටින හඬක් හදවතක් වනවා නොඅනුමානයි.. ජය ශ්‍රී!
ප.ලි.- විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් වෙත 'ඇක්සස්' තියෙන අපේ සොඳුරු බ්ලොග් හිතවතුන්ගෙන් මේ ගැන පොඩි 'ප්‍රමෝශන්' එකක් දීමට 'බකප්' එකක් දෙන ලෙසද ඔහු වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තූතියි කළින්ම.
1988 ඉස්කෝලේ යනවා? මම ඒ කාලේ යුද්ද කරනවා. අඩේ පොඩි කොල්ලා :D
ReplyDeleteප්‍රේම ගීතයක නියම රසය දැනෙන්නේ අපිත් ප්‍රේමයක පැටලිලා ඉන්නවිටයි. ඒ වගේ ගීතයක් භාවනාවක් වගේ සමවැදෙමින් අහන වෙලාවට, ලෝකයම සැහැල්ලු පිහාටුවක් කියලා හිතෙනවා.
ඒයි...............තායිලන්තෙදි රස්තියාදු ගැහුවේ එහෙම නෑ නේද?
හෙහ්! මං ඔය කාලෙ හැරමිටියෙන් යනවා, ගිය ආත්මෙ!!
Deleteඅසූ අටේ තමයි සිස්සත්තෙන් පාස්සෙලා මහ විද්‍යාලෙට ගියේ.. තාම පොඩි උන් වගේ තමයි හිතින් නම්.. ප්‍රශ්නේ කියන්නේ විචාරක තුමෝ මේ දහ අටේ විස්සේ කෑලි අන්කල් අන්කල් කියන එකනේ..
Deleteඅපෝ නෑ.. මේ මොනව කියනවද ඔබ තුමා.. බැංකොක් පටායා පූකට් ඇහින් දැකල නෑ.. අයුත්‍යා වල පන්සල් ටික වඳින්න නම් ගියා..
මං පොඩි එකා කියන්නේ එතකොට මනෝශ් බබා! :P
Delete88 තමයි මම ඉපදුනේ...
Deleteදිනේශ් මල්ලි ගැන ආඩම්බරයි.. වැරැද්දකට කියනවා නෙවෙයි ඒත් ඔයාලගෙ ජෙනරේශන් එකෙන් පස්සේ ගොඩාක් දෙනෙක් කොම්පියුටරෙන් පිට කිසිම කලාවක් ගැන සංවේදී නෑ. ඒකයි ඔබ ගැන ආඩම්බර..
Deleteවෙසක් මාසෙ උණ පඳුරක් යට සිහින් මද නළක වෙලීගෙන කපුගේගෙ ගීයක් ඇහුව වගේ හිතට මහා ශාන්ත සිහිල් බවක් ගෙනාව මේ පෝස්ටුව. හවස 6ට නේද... ආපහු ගෙදර එන තමයි ප්‍රශ්නේ. බයික් එකේ ආවත් මහ රෑ එන්න වෙන්නේ. කවිකාරිවනම් එක්ක එන්න බැරිවෙයි. ඒත් මං හරි කොහොම හරි එන්න උත්සාහ ගන්නවා. මේ වගේ සංගීත භාවනාවන් අපිට හරිම දුර්ලබයි. සේරම තියෙන්නෙ අගනුවර. ඉඳහිට මහ නුවරත් එනවා. බොහොම කලාතුරකින්. මේකනම් අත ළඟට ගෙනාව වාසනාවක්.
ReplyDelete//වෙසක් මාසෙ උණ පඳුරක් යට සිහින් මද නළක වෙලීගෙන කපුගේගෙ ගීයක් ඇහුව වගේ// උඹේ උපමා තමයි උපමා..
Deleteකොහොම හරි වරෙන් මල්ලි.. එදාට හම්බෙලා කතා කරන්නත් පුලුවන්නේ ටිකක්.. යන එක ගැන හිතන්නෙපා.. සියලු පහසුකම් සපයන්නම්..
මේ වගේ වැඩසටහන් ගමට එනවා අඩුවුනාට ඒවාට ගමෙන් ලැබෙන ප්‍රතිචාර අඩු නෑ.කොළඹදී තිබුන නාට්‍ය උණ නිසා මෙහේ ස්වර්ණපාලියට ආපු නාට්‍යක් බලන්න ගියා.බලන්න තියා හිටගන ඉන්නවත් ඉඩ නෑ.ඒත් මේ තියන අවස්තාවෙන් ප්‍රයෝජන නොගෙන පරණ තැටියම වාදනය කරමින් ඔවුන් මේවා කොළඹටම සීමා කරගන්නවා.මේවායේ ඉන්න කොල්ලො කෙල්ලෝ උන්ගේ හීන හැබෑ කරගන්න ඕනෙනෙම් කොළඹටම ගාටන්න ඕන.මහා ලොකුවට බුද්ධිගලනය ගැන කතාකරන එවුන්ට ඒවා පේනේ නෑ.මේ පැතිවල මළගෙයකු උනොත් ඒ මළගෙදර නිදිමරන්නවත් හරියට කොල්ළෙක් නෑ.උන් ඔක්කොම රස්සා වලට හරි ඉගන ගන්න හරි කොළඹ.
ReplyDeleteමොනව උනත් මේ විදිහට ගම අමතක නොකරන කළාකරුවන්ට අපි ගෞරවකරන්න ඕන ඒ නිසයි.ජය වේවා කියලා සුභපතනවා ඒ සහෝදරයට.
මචං අද ගොඩාක් එවුන් කලාව කරන්නේ ආත්ම තෘප්තියට වඩා රස්සාවට.. ඉතින් කලා කාරයොත් බලන්නේ උදේට ලමයි ඉස්කෝලෙ දාල ගෙදර වැඩ ටික කරගෙන හවසට පොඩ්ඩක් නාට්ටියකට හරි සංගීතෙකට හරි සෙට්වෙලා කීයක් හරි අරං ගෙදර යන්න.. ගොඩාක් එවුන් ඒක නිසා ජනතා ප්‍රතිචාර ගන එහෙම සංවේදී නෑ. ප්‍රබුද්ධ රසිකයෝ කලාවෙන් ඈත් වෙන්න හේතුවත් ඒකයි.. ඉතින් මොකටෙයි ඔය ටිකට පැය හත අටක් ගිහින් බදුල්ල අනුරාධපුරේ පොළොන්නරුවේ වගේ තැනව කලා කටයුතු කරන්නේ.. උපරිම කොළඹින් කි.මි. 30ක් ඇතුලත විතරයි.. හැක් හැක්..
Deleteස්තූතියි සුභ පැතුමට.. 27න් පස්සේ දැක්ක තැනකදි CD එකක් අරන් අහපන්.. සුපිරි සිංදු ටික.. ජය ශ්‍රී!
CD එක නිකුත් උනාට පස්සේ ගෙදරට කියලා අරන් තියා ගන්නම්.. ඊට පස්සේ හෙමීට අහන්න බැරිය..
ReplyDeleteඅනිවාර්යෙන්ම අහන්න මල්ලි.. හරිම ලස්සන සිංදු ටික.. අනික ඒක කලාකාරයෙක් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම උදව්වක්.. ජය ශ්‍රී!
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15372-2015-01-18-00-13-58
ReplyDeleteබොහෝම ස්තූතියි අජිත් අයියා.. මං දැනන් හිටියා ඔයාගෙන් මේ සහයෝගය ලැබෙන බව.. ජය ශ්‍රී!
Deleteස්තුතියි. LNW Chief Editor ත් නැග එන කලාකරුවන්ට ඕනේ කෙනෙකුට අත හිත දෙනවා.
Deleteකරුණාකර ඔහුටත් මගේ ස්තූතිය පුද කරන්න. ඒ වගේ සොඳුරු මිනිස්සු නිසා තමයි අලුත් කලාකරුවෙකුට මෙහෙමවත් අවස්ථාවක් තියෙන්නේ..
Deleteමේ උයන් තෙරේ - මේ තුරු සෙවණේ
ReplyDeleteඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ - මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ - නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ //
අතරමගත මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ - නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ //
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ
නිර්මලා කියන ඔය ගීතය තමා මට උඩම තියෙන පද ටික දැක්කම මතක් වුණේ.
මූණුපොතෙන් ප්‍රචාරයක් දෙන්නම්.
ෂහ්! මේක නිකන් පිළිතුරු ගීය වගේනේ.. ස්තූතියි පෙම්බර මධූ.. වෙලාවක අපි සරතත් එක්ක සෙට් වෙලා ලයිවු ශෝ එකක් කරමුකෝ.. ජය ශ්‍රී!!
Deleteලිපියේ අන්තර්ගතය වෙනකක් උවත් මේ ලිපිය පසුබිමේ තියෙන බොලාගෙ මිත්‍රත්වය ඒ අව්‍යාජ හැගීම මට බොහොම තදින් දැනුනා...නාදුනන්නී ගීතය පේරාදෙණි පරිසරය හිතින් මවාගෙන දෙවරක්ම ඇහුවා...හරිම අනර්ඝයි...මම හිතනවා අනිත් ගීත දෙකට වඩා එය අපූරුයි කියලා...
ReplyDeleteස්තූතියි සිරා.. සිරාගේ බොහෝ පොස්ට් මගේ හිතට තදින් වැදෙන්නෙත් මෙන්න මේ වගේ බැඳීම් නිසා තමයි.. නාදුනන්නී එකේ.. 'නුඹ කවුදැයි නොදන්න මුත් කඳුලැලි හඳුනන්නේ' කියන කොටස මටත් තදින්ම වැදිච්ච තැනක්.. අවාසනාවට කලා වැවේ සින්දුවේ ලින්ක් එකක් දෙන්න දැනට මා ලඟ නෑ.. මට ශුවර් උඹ ඒකට උඩින්ම මනාප වෙනව කියල.. CD එක ලෝන්ච් වෙච්චි ගමන් අහපන්.. ස්තූතියි. ජය ශ්‍රී!
Deleteතිලක් අයියගෙ පොත දවසෙ උන්නද? අපරාදෙ මමත් ආවනෙ එදා.... සරත් පීරිස් ගායන ශිල්පියි සංගීතඥයා ගැන මම එදයි දැනගත්තෙ.. ඔහු දක්ෂයෙක්...
ReplyDelete88 ශිෂ්‍යත්වෙ කළා නම් අපි එක වයස්වල වෙන්න ඕන....
තරූ එදා ඇවිත් උන්න බව මම ඉන් පස්සේ තිලකසිත තුල වෙච්චි සංවාදෙකදි කොහෙදි හරි දැක්කා.. සරත්, ජයවීර හා මම ආවෙ එකට. මමත් ජයවීරත් උත්සවය ඉවර උනු සැනින් ආපහු ගියා.. සරත් එහෙමම බදුල්ලේ ගියා.. හම්බවෙලා දැන අඳුන ගෙන යන්න තිබ්බනම් අගෙයි..
Deleteමම 87දී ශිෂ්‍යත්වය (6 වසර ) ලියුවේ. මතක විදියට තරූලගේ අවුරුද්දේ හෝ ඊට පස්සෙ අවුරුද්දෙ තමයි 5-6 වසර දෙකම එකවර විභාගෙට ලියල එය 5 වසරට මාරු උනේ. කොහොමත් එක ලඟ ලඟ වයස් වල තලත්තෑනි උදවිය තමයි අපි දැන්. කලාහිතට ගොඩවෙල මේ වගේ සටහනක් තිබ්බට ස්තූතියි. ජය ශ්‍රී!
සරත්ගේ cd එක එලියට එන දවසේ එන්න නම් බැරි වෙන එක හරියට සහෝදරයෙක්ගේ මගුල් ගෙදර එන්න බැරි වෙනවා වගේ බරපතල දෙයක් මටනම් . මගේ නිවාඩුව ජනවාරි අග වෙනකම් තිබුනානම් මම කොච්චර වාසනාවන්තද ?ඒත් කලනලා වගේ යාලු මිත්‍රයන්ගේ කරපිටින් මේ සුවිශේෂ ගායකයා ජනගත වෙන එක ගැන නම් තියෙන්නේ ඉහ වහ යන සතුටක්. සරත්ට හා යාලුවන්ට මගෙන් උණුසුම් සුබ පැතුම්.!!
ReplyDeleteඔබතුමා එතන නැති එකනම් අපිට ලොකු අඩුවක්. හැකි තරම් උත්සාහ කරන්නම් ඒ අවස්ථාවේ මතක බ්ලොග් සටහනකට එකතු කරන්න. මෙහෙම සටහනකින් හරි දිරි දෙන එක ගොඩාක් වටිනවා. අනිවාර්යෙන්ම සරත්ට ඔබේ සුභ පැතුම් එක් කරන්නම්.. ස්තූතියි. ජය ශ්‍රී!
Deleteඅපේ පළාත් වලින් කොයි තරම් කලාකාරයො බීහි උනත් මේ වගේ සුවිශේෂි අවස්ථාවන් බොහෝවිට සීමා වෙන්නෙ කොළඹට. තම කුළුදුල් නිර්මාණය එළිදැක්වීමට තමන් ඉපදුන හැදුන වැඩුන ගම් පළාත තෝරාගැනීම ගැන ඔබේ මිත්‍රයාට ඒ පළාතෙ කෙනෙක් විදිහට මම ස්තූතිවන්ත වෙනවා. ඉතින්, සමන් ජයනාත්, නදීක ගුරුගේ වගේ ගායකයින් බිහි වු (ඒ දෙන්නම අපේ ඉස්කෝලේ) ඌවෙන් බිහිවන නව ගායන තරුවටත්, තිලකසිරි ඒකනායක මහත්මා ඇතුළු ගීත රචකයින්ටත් මගේ සුබ පැතුම් !...
ReplyDeleteසඳ වියමන ආදරෙන් පිළිගන්නව කලාහිතට.. 'අපේම එකෙක්' කියල දැන ගත්තෙනම් අද තමයි.. ස්තූතියි සුභ පැතුමටත් අගය කිරීමටත්.. ලඟකදි සඳ වියමනක් නැත්තේ මොකද කම්මැලි වෙලාද වැඩ වෙඩි වෙලාද?
Deleteබදුල්ලේ තියෙන නිසා එන්න නම් වෙන්නේ නෑ.. ඒ උනාට ඒ කාර්යය හොඳින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා !!!
ReplyDeleteසුභ පැතුමට ස්තූතියි මධුරංග.. එන්න බැරි වෙන වග නම් දන්නවා ගොඩක් හිතවතුන්ට.. CD එකක් දැක්කොත් අරගෙන අහන්න.. ජය ශ්‍රී!
Deleteනියගයක් අනිවාර්යෙන් ම ඉවර කරන්නේ මහා වර්ෂාවක් තමයි................. සුභ පැතුම්......
ReplyDeleteඇත්තටම හරි හමන් අවස්ථාවක් ලැබිල තිබ්බනම් සරත් එක නියඟයක් නෙවෙයි නියඟ හතක් සංසිඳවනව සංගීතයේ.. ඒ තරම් දක්ශයි.. ස්තූතුයි කුරුටු පවුලේ හැමෝටම සුභ පැතුමට.. CD එකක් දැක්කොත් අරන් අහන්න.. ජය ශ්‍රී!
Deleteමම එනවෝ ... කතා ඕන නෑ උඹව එතැනදී අල්ලගන්නම් ...
ReplyDeleteඅල්ලමු අල්ලමු හොඳ ජල්ලියක් එදාට.. වෙන මොකුත් මේ ගැනනම් උඹට කියන්න ඔනෙ නෑනෙ.. :D
Delete