Thursday 30 October 2014

කොස්ලන්දද නාය ගියේය...


කොස්ලන්දද නාය ගියේය...

පොඩි උන් දෙන්නාත් බිරිඳත් උගසට තබා පැමිණ කොළඹ සිට ලියමි...

කොස්ලන්දත් නාය ගියේය.. මහ වැසි මැදම හිමිදිරියේ කොස්ලන්ද දෙමළ විදුහලට ජීවිතයට නව අකුරක් සොයා ගිය පොඩි එවුන් හැත්තෑපස් දෙනෙකු මහ වැසි මැදම ආපසු පැමිණ පොලොවේ පස් කකා වැලපෙනු දුටිමි. උන්ගේ දෙමව්පියෝ ඒ පස් යට පනපිටින් වැලලී උන්හ.

අයෙක් දෑත් හිස මත බැඳගෙන පස්යට වැළලී තම ඥාතියා හෝ ඥාතී සමූහයා ගැන විලාප දෙති.
අයෙක් කම්ම්මුලේ අත්ගසා ගෙන සිදුවූ අහස පොළොව නුහුල්ලන අපරාධය විශ්වාසකොට ගත නොහී ලතවෙති.

මාධ්‍ය අතවැසියෝ එකා පරයා එකා 'බ්‍රේකින් නිව්ස්' අප්ඩේට් කිරීම සඳහා ෆොටෝ අල්ලමින් හා බාගෙට මැරී ගොඩ ආවුන් ගෙන් ප්‍රශ්ණ විචාලමින් දුව යති. 

මේ අතර ෆෝ වීල් ඩ්‍රයිව් වාහන වලින් අමාරුවෙන් කන්ද තරණය කර මෙහි ආ සමහර මහත්වරු 'ටැලිෆෝන්' මගින් තම තමන්ගේ ලොක්කන් සමග සිදුවී ඇති සිදුවීම හා ආකාරය ඇනලයිස් කරති..

1815 කන්ද උඩරට පාවාදීමත් සමග ලාංකිකයන්ගේ ශිෂ්ඨාචාරය හා සභ්‍යත්වය නාය ගියේය..

ඉන් අනතුරුව 1948 සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනයද, 57 සිට ජාතීන් අතර සහයෝගීතාවයද නාය යමින් පවතී..

1977 සිට සදාචාරය බරපතල නාය යෑමකට ගොදුරු වූ අතර අද වන විට එය විළිලැජ්ජා නැති උපරිමයකට පැමිණ ඒ හා සමගාමීව ආර්ථික නාය යාමකටද හසුව ඇත.

මේ සියල්ල මැද මධ්‍යම කඳුකරයේ ඊසාන බෑවුමට වැසි රැගෙන ඊසානදිග මෝසම් සුළඟ හා වර්ශා කාල නොකඩවා එළඹියේය.. සෑම වසරකම ජූනි අගෝස්තු මාසවල දැඩි නියඟින් පීඩා විදින ලංකාවේ අඩුම සංවර්ධිත මේ කලාපය ඉන් මනත එළඹෙන දරුණු මෝසම් වර්ශාවෙන් සිය ජීවිතාශාව මද කලකට අත් හැර ගනිති.  ' 'හත් දුරුත්ත' ලෙස ව්‍යවහාරික භාශාවෙන් හැඳින්වෙන ජනේරුවේ ඇද හැලන දින ගනනාවක නොනවතින වැස්සෙන් පසු යන්තම් වසන්තයට අරුනළු වැටුනද ඒ හා සමගම ලඟ එන දැඩි නියගයට යලි සූදානම් විය යුතුය.

මේ 'කපුගේ'ද නොගැයූ ඌව වෙල්ලස්සේ ගීතයයි. 

ඌණ සංවර්ධිත මෙම කලාපයේ වෙසෙන බහුතර ජන කොට්ඨාශයකට ඉහත සඳහන් කල අනේක විධ නාය යෑම් ගැන අඩු වැටහීමක් තිබුණද (මොණරාගල දිස්ත්‍රීක්කයේ ආසන්නතම මැතිවරණ ප්‍රථිඵල වලින් මා කියූ මෙම කරුණ සනාථ වේ) කලින් කල එළඹෙන වර්ශා කාලයත් සමග කඳු බෑවුම් නාය යාම ගැන නම් අති බිහිසුණු වැටහීමක් ඇත.

2011 වර්ශයේ මුල බදුල්ල දිස්ත්‍රීක්කයේ ස්ථාන බොහෝ ගණනක මෙවැනි නාය යාම් බහුල විය.  වෙනදා සාපේක්ශව අඩු තර්ජනයකට ලක්වූ බදුල්ල නගර ආශ්‍රිත ප්‍රදේශයද එවර නාය යාම් වලට ගොදුරු විය. ඌව වි.වි ආශ්‍රිත පස්සර මාර්ගයේ 2 සැතපුම් කණුව අසලත්, බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හංදිය අසලත්, බදුල්ල බදුලුසිරිගම, සුවිනීතගම, වීර්යපුර, ඉඹුල්ගොඩ, කටුපැලැල්ලගම, එළදලුව වැනි තදාසන්න ප්‍රදේශත් දැඩිව නාය යාම් වලට ලක්විය. 

එක්වරම නින්දෙන් අවදි වූ දේශපාලකයින් හා නිළධාරීන් තම නින්දාව වසා ගැනීමට නොයෙකුත් පිළියම් ගෙන ආහ. ඔවුන් පළමුවෙන්ම කලේ යන්තම් හෝ නිවසක ඉරිතැලීමක් හෝ සිදුවී ඇත්නම් ඒ නිවස අයිති කලාපයම නාය යාමට ලක්විය හැකි 'අනාරක්ශිත' කලාපයක් බවට නිවේදනය කිරීමයි. එසේ කිරීමෙන් අනතුරුව එවැනි ග්‍රාම සේවා වසම් වල ලැයිස්තුවක් නගර සභාවට හා දිස්තීක් ලේකම් කාර්යාල වල ප්‍රදර්ශනය කලේය. 

ඉන්පසු සහන දීම ඇරඹිනි. 

ගෙවල් සම්පූර්ණයෙන්ම කඩා වැටුනු තැන් පූර්ණ හානි ලෙසත් ඉරි තැලීම් පමනක් සිදුවූ ස්ථාන අර්ධ හානි ලෙසත් වෙන් කරනු ලැබීය.
කඳු උඩ තාවකාලික නිවාස හා පැල්පත් සාදාගෙන හිටි ජනයාගේ නිවෙස් වැස්ස ඇරඹීමත් සමගම ඔවුන් විසින් හැරදා යන ලදී. මෙසේ හැරදා ගිය සමහරුන් නිවසෙහි සෙවිලි තහඩු පවා ගලවා ගෙන ගිය නිසා ඒවා වැස්සට හේදී ගරා වැටුණි. මේ අතර සැබෑවටම බරපතල විනාශයන්ට ලක්වූ නිවෙස් කිහිපයක්ද විය. ස්ප්‍රින්වැලි මාර්ගයේ වලකඩදෝව හන්දිය අසල පිහිටි විශාල නවීන නිවස ඉහලින් කඩාවැටුනු දැවැන්ත පස්තට්ටුවකින් සම්පූර්ණයෙන්ම යටවී විනාශ වී ගියේය.

නිලධාරීන්ගේ ගණන් ගැනීමට අනුව මේ දෙවර්ගයම පූර්ණ හානි විය. 

ඉහතින් සඳහන් කල ප්‍රදේශවල තම තම හැකි පමණින් ශක්තිමත්ව ගොඩ නගා ගෙන සිටි පහල මධ්‍යම පාන්තික නිවාස බොහෝමයක ඉරි තලා බිත්ති අතර අඟල් තුන හතර විවර මතුවී තිබුනත් අතරින් පතර හෝ යොදා තිබූ කොන්ක්‍රීට් ලින්ටල් නිසා කඩා වැටී තිබුනේ නැත. මේ අතර නාය යාමේ කිසිම තර්ජනයක් නොතිබූ නමුත් ඉදිකිරීමේ අඩුපාඩු නිසා සෑහෙන කලක පටන් සියුම් ලෙස ඉරිතලා තිබූ නිවෙස්ද තිබුණි.

නිළධාරීන්ට මේවා සියල්ල අර්ධ හානි විය.

ලැයිස්තු දේශපාලක අමනයන් අතට පත් වීමෙන් පසු ඒවාට තවත් ඇඩිශන්ස් ඇන්ඩ් ඕල්ටරේශන්ස් එන්නට විය.

ඉන්පසු එළඹියේ ලාබ, සමාවන්න හානිවූවන්ට සහන ලබා දෙන කාලයයි. පෙරමුණ ගත්තේ ගමේ සංධානයේ සංවිධායකවරයායි. ග්‍රාම සංවර්ධන සමිතිවල නිළධාරීන් පොරවල් විය. 

පූර්ණ හානි වූ හා අර්ධ හානි වූ 'සමහරුන්ට' ඉඩම් බෙදාදෙන ලදී.. බදුල්ල නගරයේ සිට කිමි 12ක පමණ දුරින් තෙල්බැද්ද ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ ඉඩමක් කැබලි කර පර්චස් 7-8 කොටස් විසිපහක් තිහක් බෙදාදීමට නියමිතව තිබූ අතර එසේ බෙදා දෙනවයි කී දින වනවිටත් සමහරු එහි ඉදිකිරීම් ආරම්භ කර තිබිණි. ඒ අතර සංධානයේ ප්‍රබල අධාර කරුවනුත් ග්‍රාම සංවර්ධන සමිති වල ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුත් හැර නිවාස අහිමි වූවන් සිටියේ නැත.  

වලකඩදෝව හංදියේ නිවස හිමිව තිබූ මහත්මියටත් ගරා වැටුණු නිවාස වල පදින්චිව සිට ඉවත්ව ගොස් සිටි එදිනෙදා වේල බදුල්ල නගරය තුල කුලියක් මලියක් කර හම්භ කරගත් කම්කරු පිරිසෙන් කොටසකටත් වැලිඔය ජානකපුර සිට මුලතිවු දක්වා දිවෙන පාරෙන් හැරී කිමි 5ක් පමණ ඇතුලට ගිය තැන්හී පිහිටි අක්කරයක් බැගින් වූ ඉඩම් කොටස් බෙදාදෙන ලදී. අදාල ලියකියවිලි ලබා ගැනීමට නම් ලැබුණු ඉඩම් කොටසේ නිවසක් තාවකාලිකව හෝ ඉදිකර පදිංචි විය යුතුය. නිවස ඉදිකර ගැනීම සඳහා ටකරං තහඩු 10ක් රජයෙන් ලබා දීමටව නියමිතව ඇති නමුත් ටකරං ලබා ගන්නා උන් ඒව විකුණා දමා යාවි යැයි සැකය නිසා ටකරං ලබා දෙන්නේද මිට නැති උදලු තලය හා කැති තලය (වගා කිරීමට පෙළඹවීමට) දෙන අවස්ථාවෙදීමය. ඒ සඳහා ඉළුක් හෝ මානා වලින් හෙවිල්ලූ නිවසක පදිංචි වී 'පෙන්විය' යුතුය. පෙන්වීමට නැතහොත් කීමට කාරණා බොහෝය. නමුත් ඒ ගැන ඔය ඇතියැයි සිතේ.

අර්ධ හානී වූවන්ටද  අපූරු වන්දි ලැබිණි. සමහරුන්ට ටකරන් තුනකි. ඔවුන් නිවෙස් හෙවිල්ලා තිබුනේ ඇස්බැස්ටෝස් වලින් නමුත් හානි වී තිබුනේ බිත්ති වලටය.

සමහරුන්ට වැසිකිලි පෝච්චියකි. ඔවුන්ගේ ටයිල් අල්ලා සකස් කර තිබුණු ඉස්තරම් වැසිකිලිවලට කිසිදු හානියක් වී නොතිබිණි. 

සමහරුන්ට සිමෙන්ති කොට්ට පහකි. තමන්ගේ නිවාස වලට වූ හානි සම්භන්දයෙන් රජයෙන් ලැබුණු මේ වන්දි බොහෝ දෙනෙකු අත්සන් කොට බාර ගෙන තිබුණි. සමහරු පැත්ත පලාතකවත් පැමිණ තිබුනේ නැත. සමහරුන්ටනම් රජ මගුල් ය. අයියා..අයියා කියමින් සංවිධායකතුමා පස්සෙන් ගිය සමහර ගැහැණු නම් බොහෝ ප්‍රථිලාභ ලැබූ බව ගම් වැසියෝ අදටත් කියති.  

අපේ මහ ගෙදර නිවසේ බිත්ති ස්ථාන 16කින් පුපුරා ගොස් තිබුණි. මුල් කාලයේ ඉද්කර තිබූ සමහර ඉදිකිරීම් වලටම අල්ලා පසු කාලයේ වෙනත් ඉදිකිරීම් කර තිබූ නිසා ඉදිකිරීම් වල ප්‍රමිතියක් තිබුණේ නැත.  සමහර තැන්වල අඟල් හතර පහ තරමේ පැලුම් විවර විය. වැස්සත් සමග කඩා නොවැටුනද වහලය සමග එක කොටසක් ඇදී ගොස් තිබූ නිසා එම කොටස කඩ ඉවත් කර අනෙක් ටික බේරා ගන්නට සිදුවිය. 

පවුලේ බාලයා ලෙස මහ ගෙයි නිවසේ 'සාඩම්බර භාරකාරයා' වූ මට ඒ වනවිට එහි පදිංචි වී නොසිටියත් මහ ගෙයි බර ප්‍රථම වරට දැනෙන්නට විය. අම්මාගේ අණින් මා එහි කැඳවූ මුල් අවස්තාවේ මා විසින් ලබා ගත් ෆොටෝ කිහිපයක් පමණක් මෙහි දක්වනුයේ එහි තරම ඔබට යම් තරමකින් හෝ දැනෙන්නටයි. 




කිසිදු පැහැදීමක් නැතත් මෙවන් පොදු ස්ථාන මග හැරීමෙන් එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නා බව හොඳින්ම දන්නා අම්මා එන්න කියා තිබූ දවසේ ආධාර බෙදා දෙන තැනට නොවරදවාම ගොස් තිබිණ. අප නිවසට වූ හානිය වෙනුවෙන් සංවිධායක තුමාගේ තක්සේරුව වී තිබුණේ සිමෙන්ති කොට්ට හතරකි. පෙර දිනයකදී ගමේ සංවිධාන කටයුතු සම්භන්දයෙන් 'නිමල් ඇමතිතුමාගේ' මූණටම දොස් කීම නිසා 'හරිනම් ඕකවත් දෙන්න වටින්නේ නැති' ගනයට අපේ නිවස නැත්නම් අපේ අම්මා ගොනු කර තිබිණි. සියලු ලෞකික අසාවන්ගෙන් කෙමෙන් ඈත්වී පන්සලටම සීමාවෙමින් සිටින අම්මා කෙසේ හෝ 'උපේක්ශාවෙන්ම' කිවයුතු සියල්ල කියා දී තිබුණි. අවසන සිමෙන්ති කොට්ට හතර එපා කියා එන්නට ගොස් ආපසු හැර්‍රි ගිහින් එය භාරගෙන කුඩා ලොරි රථයකට එම ස්ථානයේදීම මුදල් බැඳ පන්සලට ගෙනගොස් දමන ලෙස පවසා ඇය එන්නට ආවාය.

කවදත් ඔය වැනි දේ සම්භන්දයෙන් කිසි විශ්වාසයක් නැති මම බිරිඳත් සම්ග කතිකා කර බැංකු ලෝන් එකක් හෝ ලබාගෙන නිවස කඩා අලුත් වැඩියා කිරීමට ඉටා ගත්තෙමි. මිතුරෙකුගේ මාර්ගයෙන් සරල නිවාස සැලසුමක් ඇඳගත් මා  එය අනුමත කර ගැනීමට නගර සභාවේ ටීඕ මහත්තයෙකු වූ මගේම තවත් හිතවතෙකුට ඇමතුමක් දුන්නෙමි.. 
"මචං උඹල ගෙවල් හරිය අවධානම් කලාපයක් කරලනේ තියෙන්නේ. දැන් ඒ පැත්තෙ ප්ලෑන් ඇපෲ කරන්න බෑනෙ."
ලද ආරංචියෙන් විස්සෝප වී ගිය මම වහාම මගේ හිතවත් බැංකු මිත්‍රයෙකු ඇමතූවෙමි. 
"ඔව් බං.. දැන් ඔය පැත්තෙ ඔප්පු වලට ණය දෙන්නෙ නෑ.. අවධානම් කලාපයේනෙ.."
මෙය හරියන්නේ නැත. වහාම දින දෙකක් නිවාඩු ගෙන ගම රට ගියේ දෙකෙන් එකක් විසඳා ගෙන ඒමටයි. දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හතර මායිම් නොදන්නා මා අම්මාවත් එකතු කොටගෙන එහි ගොස් කුඩා කල සිට හොඳින් දන්නා හඳුනනා ප්‍රාදේශීය ලේකම් වරයා මුණ ගැසුනෙමි. 
"ඇන්ටි ඔය කේස් එක තියෙනවා.. ගොඩාක් දෙනෙකුට..තවම මේකට ස්ථීර තීරණයක් නෑ. ඇන්ටිලාට ඉඩමක් හම්භ උන නැති එක ගැන මට ලියුමක් දෙන්නකෝ. මං හොයල බලන්නම්.. එතකං ටිකක් ඉන්න වෙනවා."
ඔහුද අසරණය.. ඊට එහා යමක් කියා වැඩක් නැත. අපි හැරී ආවෙමු.

අතින් වියදම් කර මහා ලොකුවට රෙපෙයාර් කරද වැඩක් නැති නිසා දැන් වසර තුනකට අධික කාලයක් මේ 'හිල්' තාවකාලිකව වසාගෙන අපි එහි ජීවත් වෙමු. අහ්! කියන්නට අමතක වූ දෙයක් නම් අපේ ලංකාවේ සුපිරි අධ්‍යාපන ප්‍රථිපත්තියට පිං සිද්ද වෙන්නට මා කොළඹ සිටියදී මගේ දරු පැටවුන් සහ බිරිඳද 2012 සිට මේ මර උගුලේ සිර කර තැබීමට සිදු වූ වගයි..

දැන් කොස්ලන්ද ද නාය ගොස් ඇත!!!

අපි තවමත් අවධානම් කලාපයේ වෙමු. ඌව පළාත් සභා මැතිවරණයද පැමිණ ගියේය. හිඟමනේ පැමිණ චන්ද ලබාගත් දේශපාලක අලුගුත්තේරුවෝද උන්ට කත් අදින පරිපාලන බලු ගැත්තෝද ඊලඟ නාය යන බූමියට ගොස් ලොක්කන්ට සිටුවේශන් ඇනලයිස් කරන තුරු සුවසේ නිදි වදිති.

88 comments:

  1. පපුවත් පුපුරනවා බිත්ති වගේම

    ReplyDelete
  2. ඒ පපුවක් තියෙන උන්ගෙ විතරයි මචන්.. අපේ රටේ තීන්දු තීරණ ගන්න ඉන්න උන්ට පපුවකුත් නෑ මොලේකුත් නෑ අපේ අවාසනවට.. අහ්! වෙල්කම් ටු කලාහිත.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පපුවත් නෑ. ඔලුවත් නෑ. බඩනම් තියෙනවා. දැන් විරේකයක් දෙන්න කාලෙ හරි.

      කුලී ගේකවත් නවත්තන්න පවුලෙ අය අවදානමේ තියන්නෙ නැතිව.

      Delete
    2. //දැන් විරේකයක් දෙන්න කාලෙ හරි..// ජනේරුවේවත් දෙයිද මිනිස්සු විරේකයක්.. මේ දවස් දෙක පුරාම මාතෘකාව ගෙවල් මාරු කරන එක තමයි තමයි මදු.. තවම කතාව ඉවර කර ගන්න බැරි උනා.. ස්තූතියි හිතවත්කමට..

      Delete
  3. ඇත්තෙන්ම රත්න ශ්‍රීට ලියන්නත් බැරිවුන, කපුගේට ගයන්නත් බැරිවුන ඌවෙ මේ ශෝකී ගීය අද මුලු රටක් හඬවන වැලපුම් ගීයක් වෙලා. මිනිස්සු සත්තු ගානට දාලා, මිනිස්සුන්ට මිනිස්සු විදියට ජීවත් වෙන්න ඉඩක් නැති අම්මගේ රටක සාඩම්බර රට වැසියන් වෙච්ච අපිට හැම දාමත් උරුම හීල්ලීම පමණයඉ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු සත්තුන්ව උඩට ගෙනත් දැන් ඒ සත්තු මිනිස්සුන්ව සත්තු ගානට දාල.. මම මගේ ළමයි දෙන්නවයි බිරිඳවයි අරගෙන ඔතනින් ඉවත් උනොත් මේ ප්‍රශ්ණෙට උත්තර හම්බවෙයිද මනෝශ්?

      Delete
    2. හ්ම්... ඔබේ තියෙන හයියට, සවිමත් ආර්ථිකේට පිංසිද්ධ වෙන්න ඔබත්, දරු පවුලත් මේ ප්‍රශ්නෙන් ගැලවෙනවා. ඒත් තව දාහක් දෙනාට ඒ ප්‍රශ්නෙ එහෙමම ඉතිරිවෙනවා. ඇඳුම් මාරු කරනවා වගේ ගෙවල් මාරු කරන්න පුලුවනෑ...

      ඒත්, මේ මොහොතෙම ඔබ වහාම කලයුතු දේ තමයි ඒ ගොල්ලන්ව ඉවත් කරගන්න එක. නැත්නම් ඔබට සදහටම පසු තැවීමක් ඉතිරිවෙයි.

      Delete
    3. මනෝශ්.. මමත් බිරිඳත් මේ ගැටලුව මේ දින දෙක පුරාම කතා කරනවා.. වැස්ස පටන් ගැනීමට පෙර, මේ ආසන්නතම අවධානමට පෙර එසේත් නැත්නම් ඊයේ කොස්ලන්දේ සිදුවූ අවාසනාවන්ත සිදු වීමට පෙර ඔතනින් නික්මුණානම් හිත හදාගෙන එන්න තිබුණ බවත් දැන් එසේ තනිවම යා නොහැකි බවත් මං කෙසේ වෙතත් මගේ බිරිඳ තරයේ කියා සිටිනවා. ඉතුරු ටික මං සිංහයා එක්කත් කිව්වා.. උත්තර හොයන්න ඕනෙ කවුද කියල ඔබ දන්නවනේ. හිතේ ආවේගය මේ වගේ පෝස්ට් එකකින් වත් පිට කර ගන්න උත්සාහ කලේ ඒකයි..

      Delete
    4. කොස්ලන්දෙ වැඩකරපු වැඩකල යාලුවෙක් හිටියා. කොයිකටත් මට විදින්න madhumadhavi135@gmail.com තැනක් තිබුණොත් බලන්නං. 50 ට 50. අපි බලමු.

      Delete
    5. ඔබ කියූ දෙය ඇත්තෙන්ම මට වැටහුනේ නෑ හරියටම මදූ.. ඒ ගැන අහන්නත් එක්ක විදින්නම්.. ස්තූතියි හිතවත්කමට..

      Delete
    6. ළමයි පාසැල් යන නගරය දන්වන්න. ඒ පැත්තෙ නිවාස කුලියට දෙන කෙනෙක් ගැන තොරතුරු දන්වන්න හැකි වේවි.

      Delete
    7. මදූ.. ඔබේ හිතවත්කමට කොහොම ස්තූති කරන්නද තේරෙන්නෙ නෑ. ළමයි දෙන්නම පාසැල් යන්නෙ බදුල්ල නගරයේමයි. මගේ නිවස තියෙන්නෙත් ඒ ආසන්නයෙන්ම පයින් උනත් ඇවිදගෙන යන්න පුළුවන් දුරින්.. දැනට තාවකාලිකව රාත්‍රී කාලයට හා වෙනත් ඕනෙම අවස්ථාවක ගිහින් හැමෝමත් එක්ක නතර වෙන්න වඩා ආරක්ශාකාරී ස්ථානයක තියෙන මගේම ලොකු අයියගේ නිවස සූදානම් කර ගත්තා. මේ වෙනකොට වැස්සත් මදක් පසු බැහැල තියෙන්නේ.. නමුත් මේ තත්වය ජනවාරි අග වෙනකම් සාමාන්‍යයෙන් කඩින් කඩ එනවා.. කළබල නැතුව ස්තීර විසඳුමක් හොයා ගන්න ඕනි.

      ඇත්තටම 2012 වසරේ ගාල්ලේ බිරිඳගේ නිවසේ ඉඳල බදුල්ලට සංක්‍රමණය උනේ දේපල ගැන ආසාවකින් නොවේ. ලොකු දුවට ඉස්කෝලයක් නැති උන නිසා. බදුල්ලේ මගේ තියෙන සම්භන්දකම් වලින් ඉස්කෝලයකට දා ගත්තට ගාල්ලේවත් කොළඹවත් හොඳ ඉස්කෝලෙකට කොහොමවත් එහෙම යන්න බැරි බව ඔබ දන්නවනෙ.. මේ සියල්ල කරන්නේ ළමුන් වෙනුවෙන්..

      මම ඊයක් එවන්නම්.. බදුල්ලේ ඉන්න ඔබේ හිතවතුන් ගැන මට දන්වන්න.. අඳුනාගෙන සිටීම වැදගත්.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

      Delete
  4. මේ ජීවිත...... මිනිස් ජීවිත..................... ඉලක්කම් වලින් කියන්න පුළුවන් වුණාට මනුස්ස ජීවිත...... ඒකවත් අපේ උන්ට තේරුණොත් ලොකු දෙයක්.....

    ReplyDelete
    Replies
    1. පවුල් 150යි.. ගෙවල් 120යි.. අක්කර 200යි.. ළමයි 75යි.. මිසින් 400යි? ITN එකටනම් 150ක් පමණයි.. ඇත්තම ෆිගර්ස් දෙයියො පමණක් දනියි.. ස්තූතියි කුරුටු.. ඇත්තටම මේ අපි අපේම මිනිස් ජීවිත නොවේද?

      Delete
    2. මතක් කරන්නෙපා බං නයි ටී එනුයි, අවජාතකෙයි, ඕකුන් අනිව හෙට අනිද්ද කියයි මේකත් උනේ විපක්ෂයේ අධිරා‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියලා!!

      Delete
    3. ඒකට කමක් නෑ.. හෙට 2දා ඉරිදා රෑ හතට අවජාතිකේ යනව වන වැදුනු වන මං Vanished Trails කියල ප්‍රෝග්‍රෑම් එකක්.. ඒකෙ English Script එක ලියුවෙ මම.. ඩිරෙක්ටර් ට ඉන්ටනැශනල් අවෝඩ් එකක් (AIBD) හම්භ උනා ප්‍රොග්‍රෑම් එකට.. ලස්සනයි.. බලල හොඳ නරක කියපන් සඳුමල්.. ජයශ්‍රී! :)

      Delete
    4. "වන වැදුනු වන මං" මං බොහොම ආසාවෙන් නරඹපු ප්‍රෝගෑම් එකක්. ඇත්තෙන්ම ඒ පෙන්වපු දේවල් සහ ඒ ජන ජීවිතය මං බොහොම ප්‍රිය කරන රටාව. ඒ එක වැඩසටහන තුල එක් දවසක කපුගේ ශූරීන්ගේ ගීයක නිධාන කතාවකුත් ගියා. හරිම සුන්දරයි. මං ඉංග්ලිෂ් වර්ෂන් එකනම් බලල නෑ. ඒත් සිංහල එකට පුදුම ආසයි. ඒ වගේම ඔබ ඊට මෙලෙස සම්බන්ධ වූ බව දැන ගැනීම මට මහත් සතුටක්. ඒ වගේම ඔබ පිළිබඳ ඉමහත් ගෞරවයක් මට ඇතිවුනා.

      උදව්වක් ඉල්ලන්නම්, ඒ වැඩසටහන් පෙළ(සිංහල වර්ෂන් එක ) ලබා ගතහැකි ආකාරයක් තියේනම් දන්වන්න. මිල්ට ගන්න පුලුවන්ද? ඩවුන්ලෝඩ් කරගන්න හැකි විදියක්වත්?

      Delete
    5. ඔබ ඔය සඳහන් කරන්නේ 2013 දී පමණ විකාශය වූ සිංහල වැඩසටහන් මාලාව නේද? එහි සමහර කොටස් අන්තර්ජාලයෙන් හොයාගන්නත් පුළුවන්.. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක රූපවාහිනියෙන් ගන්න පුළුවන් වෙයි. ඩිරෙක්ටර් උපතිස්ස මහතා මගේ ලඟ හිතවතෙක්..මං ඔහුගෙන් අසා ඔබට කියන්නම්.. ඇගයීමට ස්තූතියි.. (වැඩසටහන් බලල ඉතිරු හරිය කියපන් මල්ලී.. මොකද ස්ක්‍රිප්ට් එක ලියුවට මටත් තවම ඕක හරියට බලන්න බැරි උනා.. හෙහ් හෙහ්..)

      Delete
    6. මේ දැනුත් ජාතික රූපවහිනියෙන් වන වැදුනු වන මං වැඩසටහනෙ කොටසක් බැලුවා.

      Delete
    7. මට හිතෙන්නෙ ඒ ඔබ කීව කොටස තමයි. මං මුලින් හිතුවෙ ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි හඬකවපු එකක් කියලයි. ඒක උපසිරැසිගන්වල නේද තිබුනේ. ඒකියන්නෙ ඒක සබ්ටයිටල් කලේ අපේ කල්‍යාණ. අප්‍රමාණ සංතෝසයි. ඇත්තෙන්ම ඔබ එය හොඳින් නිමකර තිබුනා. ඉතාම හොඳට භාශාව හසුරවා තිබුනා. අංගසම්පූර්ණ විස්තරය බොහොම සරලව අලංකාරව ඉදිරිපත්කරල තිබුනා. විශිෂ්ටයි.

      ඔබට ජය!

      Delete
    8. ස්තූතියි මනෝශ්
      ඇත්තටම මේ මං කියපු ප්‍රෝග්‍රෑම් එක තමයි.. ඕකෙ ඔරිජිනල් එක (අවෝඩ් ගත්ත ) හඬ කවල තමයි කලේ. මේක ඒකම එඩිට් කරල උඩින් සබ් ටයිටල් විතරක් දාල.. මන් දෙතුං පාරක්ම කෝල් කරා උපතිස්ස මහත්තය ආන්සර් කරන්නෙ නෑ.. ඇත්තටම ඒ ඉන්ග්ලිශ් ස්ක්‍රිප්ට් එක තමයි මං ලියුවේ.. ඒකෙ කොටස් මේකට කඩල අරන් තිබුනා. මටනම් ඒක එච්චරම ගැලපුනේ නෑ. එහෙ මෙහෙ වෙච්ච තැන් ගොඩක් තිබුන.. කොහොම හරි වැඩසටහනෙ අන්තිමට මගේ නම දැම්මා ට්‍රාන්ස්ලේටර් කියල. :D එතකොට මියුසික් කරෙත් මගෙ ලොකු අයියගෙ පුතා ලහිරු..
      මේ සීරීස් එක තියෙන එක අපි රූපවාහිනියෙන් ගමු.. මං ඒක ඔයාට හොයල දෙන්නම්..
      ජය ශ්‍රී!

      Delete
    9. ///////මේ සීරීස් එක තියෙන එක අපි රූපවාහිනියෙන් ගමු.. මං ඒක ඔයාට හොයල දෙන්නම්..//////

      මටත් කොපියක් ඕන ප්ලීස්.

      Delete
    10. අරූ අයියා... අනිවා. බොක්කෙන්ම :D

      Delete
  5. උඹ ඔච්චර දන්න එකා වෙච්චි, ඔතන රිසික් ඇසෙස්මන්ට් ඕනෙද බන් ඔය ගල් ගොඩ අතෑරල කොළඹ අවට හරි ඉන්න පුලුවන් හරියෙන් යමක් හදාගන්න බලන්න?

    තරහ ගන්න එපා මචෝ, මම කියන්නෙ ( මට පේන කරුණු අනුව ) උඹලගෙ නොසැලකිල්ලත් මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. සිංහයා මචන් මං දන්නව මගේ ලොකු වැරැද්දක් තියෙනවා.. ඒ වැරැද්ද මං විතරක් නෙවෙයි දැන් දැන් අපේ ගෙදර උන්දැත් කරනවා..

      මේ ටිකේම අපි කතා වෙනව ළමයි දෙන්නත් එක්කගෙන වෙන තැනකට යන්න.. එහෙම යනවනම් මං අම්මයි තාත්තවයි එක්කගෙන යන්න ඕනි.. නැත්නම් උකසට තියල යන්නෝනෙ.. එතකොට අපේ අක්කගේ කොල්ල ඉන්නව තවම අපි ලඟ..ඉස්කෝලෙ යනව.. එක්කො ඌවත් අරන් යන්න ඕනි.. නැත්නම් ඌව බිල්ලට දීල යන්න ඕනි.. අපේ වත්තට උඩ වත්තෙ ඉන්නෙ මගේම අයියයි උගෙ පවුලයි.. අපි යනකොට උන්ට මොනව හිතෙයිද? එතකොට වටේ පිටේ හැම තැනම ඉන්නෙ කෙඳිරියක් ගානකොට ඇවිත් බලන්න ඉන්න නෑයෝ සහ නොනෑයෝ වෙන අසල්වැසියෝ ටික.. මං බය නැතුව කොළඹට වෙලා ඉන්නෙ උන් මගේ උන්ව ඇහැක් වගේ බලා ගන්න නිසා..
      උන් ඔක්කොගෙම ගෙවල් මේ වගේ කැඩිල බිඳිල සමහරු මීටත් වඩා බයානක තත්වෙන් ඉන්නේ.. අපි නාය යනවට බයේ ගෙවල් අතෑරල යනකොට උන්ට මොනව හිතෙයිද? ඒ ඔක්කොමත් හරි.. අපි ආවට පස්සෙ මොකක් හරි මේ වගේ කරදරයක් වෙලා උන් ඔක්කොම සදහටම යන්න ගියොත්..මට බේරුන කියල හිත හදාගෙන ඉන්න පුළුවන් වෙයිද? මං ඉස්සර හිතුවෙත් අපේ ගෙදර උන්දැ දැන් හිතන්නෙත් එහෙම.. තනියෙං බුදු වෙනවට වඩා ඔක්කොම එකට මැරිල යනව හොඳයි කියල මචං.. මං දන්නව ඒක මහ මෝඩ තීරණයක්.. ඒත් එහෙම බඩවැල කඩාගෙන වගේ තනියම එන්න බැරි කතාවක් මචං.. මගේ තනි ප්‍රශ්ණයක් උනානං මට උත්තර හොයන්න තිබුනා.. පණ්ඩිතකං කියනව කියල හිතන්න එපා.. බොහෝමත්ම ස්තූතියි උඹේ ලෙන්ගතු කමට..

      Delete
    2. මචෝ, මිනිස්සුන්ට කියන්න ලේසියි, කරන එකට තමයි අමාරුව. ඒක මම ඉතාම හොඳින් දන්නව. එහෙම දැන දැනත් මම උඹෙන් මෙහෙම අහනව.

      ඇයි උඹල එකතුවෙලා එක එකාගෙ වත්කම් ශක්තිය යොදවල එකට තැනකට නොයන්නෙ, එහෙම නැත්තන් මේ ප්‍රශ්ණෙ ගැන එක හඬක් රජයේ අයතන/ බළධාරීන්ට නගන්න හිතුවෙ නැද්ද?

      මට උත්තර එපා මචෝ. හේතුව උඹෙ බර, ප්‍රශ්ණෙ මට දැනෙන නිසා, එක හාර හාර පාරවන්න, රිද්දන්න ඕනෙ නැති නිසා. ඒත්, උඹලගෙ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ කියල අල්ල දාන්න එපා. විශේෂයෙන් උඹ වගේ වෘත්තිකයෙක් ඉන්න එකේ, මීට වඩා යමක් කරන්න බැරි වෙන්නම බෑ.

      පවුලෙ හැමෝටමයි අසල්වැසියන්ටයි, අදහන ආගමක්, වඳින පුදන දෙවියෙක් හෝ මොනම පාරබෞතික/ බෞතික බලවේගයක හෝ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා කියල පතනව!

      Delete
    3. කියන්න තියෙන හැම පරයටම කියනව බං.. මහ එකාගේ ඉඳල හැමෝටම.. උඹ කිව්ව වගේ තව ටිකක් බලල ගමේ උන් ඔක්කොම ඇන්න ගිහින් පදිංචි වෙනව පළාත් සභා ගොඩනැගිල්ලේ.. යුව රජ්ජුරුවොංගේ කාමරේ තමයි ටොයිලට් එකට ගන්නේ.. ඕකුන් ගැන මතක් කරන කොට මට වඳුරු කුණුහරුප මතක් වෙන්නේ..

      උත්තර නැති ප්‍රශ්ණ නෑනේ.. ඕක තමයි ඊළඟ උත්තරේ..

      ප්‍රාර්ථනාවට කොහොම ස්තූති කරන්නද මංදා.. දෙයියන්ගෙම පිහිට තමයි අපේ උන්ට..

      Delete
    4. // පවුලෙ හැමෝටමයි අසල්වැසියන්ටයි, අදහන ආගමක්, වඳින පුදන දෙවියෙක් හෝ මොනම පාරබෞතික/ බෞතික බලවේගයක හෝ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා කියල පතනව!// ඒ ප්‍රාර්ථනාවට අපිත් හදවතින්ම එකතු වෙනවා.

      Delete
    5. කල්‍යාණ මිත්‍ර

      කිසිවක්ලගුපන් න නොකියමි , තේරුම්ගන්න්ඔවැනිතත්වයන්ටපත්වෙලාඇතිනිසාවිසදුමක්පැබේවා
      ල ක්මනි් නඉ ු

      Delete
    6. මරාගෙන මැරෙන්නෙ හිතෙනවා බං... මරාගෙන මැරෙන්න හිතෙනවා...කාලකණ්ණි හැත්ත. මුන්ට බාල් නටන්න, කෝටි ගනන් කාබාසිනිය කරන්න පුලුවන්..වැඩක් නෑ ලේ කෝප වෙනවා. මචං, මිත්‍ර, ඔතනින් අයින් වෙලා ගමම පංසලකට හරි යන්න. ජීවිත වටිනවා ඔක්කොටම වඩා.

      Delete
    7. මේ ටික කියෙව්වාම හරි බරක් දැණුනා ඔළුවට. අපේ බැඳීම්වල තියෙන ශක්තිමත් කම නිසා තමයි එකට මැරුනත් සැපයි හිතෙන්නේ. මචෝ,,උඹ කියන හැම දෙයක්ම මාත් පවුලක ලොකු එකෙක් නිසා සහසුද්ධියෙන් තේරෙනවා. ඔතනින් ඉවත්වෙයන් කියනවා හැර වෙන මුකුත් කියන්නේ කොහොමද? උත්තර නැති ප්‍රශ්නවුනාම ඒ වේදනාව දරන්න අමාරුයි.

      Delete
    8. අටම්.. මනෝශ්.. අරූ අයියා..

      උඹල කියන කතාව මට හොඳටම තේරෙනවා.. මගෙත් එකම අභිප්‍රාය ඔතන අතෑරල වෙන තැනකට යන්න තමයි.. ඒත් හිතපල්ල පොඩ්ඩක්.. මේ වෙලාව.. ඔක්කොටම එකවගේ ප්‍රශ්ණයක් තියෙද්දි මං විතරක්.. උන්ට ප්‍රශ්ණයක් නැති වෙලාවක මං කැඩිල එනවනම් ඒක වෙනම දෙයක්.. එක බඩ වැල කඩාගෙන ආපු උනුයි එහෙම නොවුනට එයිට වඩා ලං වෙච්චි උනුයි බලාගෙන ඉද්දි ආත්මාර්ථකාමියෙක් වගේ... අනේ මංදා.. ස්තූතියි හැමොටම ලෙන්ගතු කමට..

      Delete
    9. මචං, කියන්නෙ උඹට විතරක් පැනලයන්න කියල නෙවෙයි, ඔක්කොමලත් එක්කම කොහෙට හරි යන්න කියන එකයි. ඒකයි කිව්වෙ පන්සලකට හරි කියලා. අද රෑටවත් විස්වාස නෑනෙ බං, ප්ලීස්...

      Delete
    10. සඳුමල්.. උඹලගේ මේ හිතවත්කමට මට ආපහු දෙන්න තරම් වටින දෙයක් මගේ ලඟ නෑ මල්ලි.. දැනට රෑටත් වෙන ඕනම අවධානම් වෙලාවකත් ගිහින් නතර වෙන්න අපේම ලොකු අයියලගෙ ගෙදර සෙට් කරා මචං.. ඔක්කොමත් එක්ක ගිහින් එහෙ ටික දවසක් ඉන්න පුළුවන් ඕනෙ වෙලාවක.. ඒකත් තියෙන්නෙ ටවුන් එක ලඟමයි හැබැයි වඩා ආරක්ශිතයි.. මම නැති උනාට අනිත් අයියල තුන් දෙනාම ලඟ පාත ඉන්න නිසා බයක් නෑ.. උඹෙ ඉස්කෝලෙ ගියෙ බදුල්ලෙ නිසා නොදැන ඉන්න විදියක් නෑ 'ප්‍රවණ' ඉන්ස්ටිටියුට් එක කරන 'ලලිත්' සර්ව..

      Delete
    11. මම ඒ තැන සහ ලලිත් සර්ව අහල තියෙනවා. ඒත් පුද්ගලික ඇඳුනුම්කමක් නම් නෑ.

      වචන වලින් හරි මෙහෙම සමීප වෙච්ච මනුස්සයෙක්ට කරදරයක් උනොත්, දැන දැනත් කරදරයක් උනොත් ඒක දරාගන්න අමාරුයි. කොහොම උනත් පවතින් තත්වයේ හැටියට ඔවුන් තරමක් හෝ ආරක්ෂිතයි කියල දැනගත්ත එක ලොකු සැනසීමක්.

      Delete
    12. ඔවු මචන්.. ඒ මගේ ලොකු අයියා.. එතන ගොඩාක් ආරක්ශිතයි.. උඹල වගේ හිත හොඳ උන් සෙට් එකක් අඳුන ගන්න ලැබීම තමයි මේ බ්ලොග් එක ලියන්න පටන් ගැනීමෙන් මට හම්බුනු ලොකුම සතුට..

      Delete
  6. කියන්න ඕන ගොඩක් දේවල් අන්තිම ඡේදෙ හිර වෙලා තියෙනවා බන්.

    උඹට ඊ තලයක් විද්දා. ඇනිලා තියෙනවද බලහන්!

    ReplyDelete
    Replies
    1. //කියන්න ඕන ගොඩක් දේවල් අන්තිම ඡේදෙ හිර වෙලා තියෙනවා// හැබැයි සිදු නොවිය යුත්තම එහෙම වෙන එක තමයි ප්‍රියෝ ඉවසන්න බැරි..

      උඹේ ඊය වැදුනා.. බොහෝමත්ම ස්තූතියි.. ඒත් මේක ඊයම් බරුවක් වගේ ඊයෙ උදේ ඉඳල (ඇත්තටම හුඟක් කල් ඉඳල ) හිතේ තිබ්බ නිසා උත්තරයක් ලියන්න බැරි උනා. දැන් මේ ලියන ගමන්.. ජය ශ්‍රී!

      Delete
  7. කලා ..උඹට ..................................................................................................................................................................... මංදා බං, එක ගමේ වෙලා උඹ ගැන මම දන්නා තරම , මටම ලැජ්ජයි බං .

    ReplyDelete
    Replies
    1. මං උඹේ පෝස්ට් එක කියවලා මේ එන ගමන්.. මචං උඹ මගේ ගැන විශේෂයෙන් නොදැන ගත්තට මේ ප්‍රශ්ණෙන් දුක් විඳින උන් ඔක්කොම ගැන පොදුවේ දන්නව.. ඒක උඹේ පෝස්ට් එකෙන් පේනව. මට ඒ හොඳටම ඇති..මචං ඇත්තටම මාත් මං ගැන දන්නවට (හිතනවට ) වඩා ඔක්කොම ගැන පොදුවේ දන්නවා .. ඒකයි මේ ඕල් කොලවරි ඩී... ජය ශ්‍රී!

      Delete
  8. කමෙන්ටුත් එක්ක කියවගෙන එද්දි කියන්න කිසි දෙයක් නෑ මට. කියන්න තියන්නෙ සිතින් මා ඔබ ලඟයි කියල විතරයි. ඉක්මන් විසඳුමක් ලැබේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.. අපි මෙහෙම කියමු.. 'සිතින් මා ඔබ සැම ලඟයි'.. එතකොට මටත් හිත හදා ගන්න ලේසියි.. ජය ශ්‍රී!

      Delete
  9. මේ ඛේදවාචකය ගැන ඇස් රිදෙනකම් ටී වී එකේ ප්‍රවෘත්ති බැලුවා. කණ රිදෙනකම් රේඩියෝ එකේ ප්‍රවෘත්ති ඇහුවා. බ්ලොග් අඩවි ගණනාවක ලිපි කියෙව්වා ඇතිවෙනතුරු. මේ ගැන ලිපියක් ලියන්න කරුණු දහස් ගණනක් හිතේ තියනවා. නමුත් ලියන්න හිතෙන්නේ නැහැ. එපාවීම කලකිරීම නිසා.

    දැන් බලනකොට ඔබත් මේ අවාසනාවන්ත තත්වයේ වින්දිතයෙක්.

    ඇත්තටම අපිව මකලා හදන්න පුළුවන් වෙන රටකින් හරි ඇවිල්ලා අපිව අවුරුදු 25 ක් 30ක් පාලනය කරපල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමනි.. ඔබ මේ ලිපිය බොහෝ උවමනාවෙන් කියවා ඇති බව පැහැදිලියි.. මා සිතුවේ මෙතනට මගේ නිවසේ උදාහරණයක් යොදා ගැනීම නිසා ලිපිය ලිවීමේදී මා අදහස් කල දේ වැරදියට අර්ථ කතනය වී ඇතුවාදෝහෝයි. නමුත් ඔබේ කොමෙන්ටුවෙන් එය එසේ නොවන බවත් අනෙක් උන් ආසන්නතම උදාහරණය නිසා සංවේදී වී ඇතුවා පමණක් බවත් සිතා ගත්තෙමි. ඔබට ලිපියේ අරමුණ වැටහී ඇති නිසා වැඩි යමක් පැවසීම අනවශ්‍යයයි සිතමි.

      ඔව්. මාත් 'එක්' වින්දිතයෙක් වෙමි.

      //අපිව මකලා හදන්න පුළුවන් වෙන රටකින් හරි ඇවිල්ලා අපිව අවුරුදු 25 ක් 30ක් පාලනය කරපල්ලකෝ.// මේ ටිකට මං බොහෝම කැමතියි. ජය ශ්‍රී!

      Delete
  10. කළණ...මෙන්න මචෝ ඇත්තම ඇත්ත...
    මමත් දිගටම තෙරුම්ගන්න ට්‍රයි කලා කොහොමද මේ මිනිස්සු මේ ගෙවල් අත ඇරලා යන්නේ කියලා.කොච්චර වොර්නින්ග්ස් දුන්නත්, කොහොමද ඔය ඔක්කෝම දාලා යන්නේ කියලා..එක මනුස්ස ගති ගුනයක්, ඒත්, මම දැකලා තියෙනවා, ගංවතුර වගේ වෙලාවට මිනිස්සු ඔක්කෝම දාලා දුවනවා...
    මේ වෙලාවට මට මතක් වෙන්නේ, මම ප්‍රසිද්ධියේ අහලා තියෙන, ඔය මතුකරන මනුස්ස ගතිගුනයට චැලේන්ජ් කරන අනවුන්ස්මන්ට් එකක්...ෆ්ලයිට් එකක් ටේක් ඕෆ් කරන්න ඉස්සරවෙලා කරන සේෆ්ටි ඩෙමොන්ස්ට්‍රේෂන් එකේදි කියන්නේ ඔක්සිජන් මාස්ක් එක තමන්ගේ ලමයින්ට ඉස්සර වෙලා තමන් දාගන්න කියලා කැබින් ප්‍රෙෂර් එක අඩු උනොත්... කීයෙන් කී දෙනාටද ඒ ආත්මාර්ථකාමී වැඩේ කරන්න පුලුවන්..
    අන්න එතන තමයි උඹ ඉන්නේ..
    තීරණයක් ගන්න වෙනවා මචෝ..
    ඒත් පරම්පරාවෙන් ලැබිච්ච දේපොල (දැන් වටිනාකමක් නැතිනිසා මුදල් කරගන්නත් බැහෑ)
    අම්මා තාත්තා..අය්යා මල්ලි..අක්කාගේ ලමයා...
    ලමයින්ට අලුත් ඉස්කෝල..
    කියනෙවා වගේ නෙමෙයි කරන එක..
    ඒත් තීරණයක් ගත යුතුයි...

    ReplyDelete
    Replies
    1. චෙෆාකී..
      ඉහතින් මා විචාරක තුමාට පැවසූ කරුණම මෙහිලා ඔබටත් පවසමි. ඔබ මාගේ උත්සාහය නිවැරදිව තේරුම් ගෙන ඇත. පරම්පරාවෙන් ලැබුණු සෙද්දවල්නම් මට තඹේකට වැදගැම්මක් නැත. මා කොහොමත් ඔය සියල්ල හැරදා හෙට අනිද්දා වෙනවිට කොහේ හෝ තොලොංජි වීමට සිතා සිටිමි. නමුත්..නමුත්.. අර අනෙක් ටික.. අන්න ඒ ටික හැරදා මේ අවස්තාවේ.. මේ තත්ත්වය මැද එසේ කිරීමට මගේ කෙහෙල්මල් හෘද ශාක්ෂිය ඉඩ දෙන්නේ නැත.. එය හරියටම මවකට ඔක්සිජන් අඩුවන විට පොඩි එකා අමතක කර තම මුවේ එය රුවා ගැනීමට බැරුවාක් මෙනි. ස්තූතියි ලෙංගතු අදහස් දැක්වීමට.. ජය ශ්‍රී!

      Delete
  11. හදවත ස්විච් ඕෆ් කරලා හරි මොළේ කියන විදියට වැඩ කරන්න කලා. ඉක්මණින් තීරණයක් ගන්න දැන් කාලෙ හරි.

    ReplyDelete
    Replies
    1. බස්සි මේ පැත්තට ආපු මුල්ම අවස්ථාව.. ආදරයෙන් පිළිගන්නව කලා හිතට.. සැපේදී කෙසේ වෙතත් දුකේදී එක්වීම ඉතාමත් වටිනව..

      \\හදවත ස්විච් ඕෆ් කරලා හරි මොළේ කියන විදියට වැඩ කරන්න\\

      හ්ම්ම්.. 200% එකඟයි.. තවම මේ ඔන් ඕෆ් සුවිච් එක හොයනවා.. ජය ශ්‍රී!

      Delete
  12. මිනිස් ජීවිත එක්ක සෙල්ලම්කරලා වලලන්න පෙට්ටියක් දෙන පාහරයින් ඉන්න රටක දුක වේදනාව කොහොම මනින්නද....මට මහා කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ සියල්ලක් සම්බන්ධව.

    ReplyDelete
    Replies
    1. \\මට මහා කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ සියල්ලක් සම්බන්ධව\\ හරියටම හරි අරූ අයියේ.. මගේ ප්‍රශ්නෙකට වඩා මට ඇති වෙච්ච කළකිරීම තමයි මං අකුරු කලේ..
      නාය ගියාම කුමාරවරුත් කැන්දන් හෙලිකොප්ටරෙං ගිහින් ඇවිත් ශෝකය ප්‍රකාශ කරල ඊලඟ පාරත් මටම චන්දෙ දෙන්න කියන මහ රජවරුයි.. උන්ගේ ඇමැත්තොයි එක්ක මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැරි වෙයි මයේ හිතේ.

      \\මිනිස් ජීවිත එක්ක සෙල්ලම්කරලා වලලන්න පෙට්ටියක් දෙන පාහරයින් ඉන්න රටක..\\
      ඔය සිදුවීමම තියෙන සිංහල ෆිල්ම් එකක් බලල තියෙනව මේ වෙලාවේ නම මතක් වෙන්නෙ නෑ. ජය ශ්‍රී!

      Delete
  13. උඹලත් වැරදියි බං.. මොන විදියෙන් හරි රිස්කි ඒරියා ප්‍රමෝට් නොකීරිම රජයක් නෙමෙයි ඕනම ආයතනයක් කරන දෙයක්. බොලා අවුරුදු ගානක් ඕක දැනගෙන සද්ද නැතිව තම තමන් වැඩ කලා මිසක් එකතු වී ගොඩ යන්න බැලුවද??

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං ලෙක්චර.. පහසුවටත් ලේසියටත් දැන දැන වැරදි කරනවා.. හැබැයි ඉතින් මහ ජනතාවම හරි වැරැද්ද තෙරුම් අරගෙන හරි දේ විතරක් කරන රටක් වුනානං ඔය ආණ්ඩු, නීති රීති, නිළධාරීන්, උසාවි පොලීසි විතරක් නෙවෙයි ආගම් පන්සල් පල්ලි මොකවත් ඕන වෙන එකක් නෑ නේද?

      මිනිහෙක් බඩගින්න හොඳටම වැඩි වෙලා වෙන කොරන්නම දෙයක් නැතිවුනොත් හොරකමක් කරල හරි කන්නෙ බඩගින්නේ මැරෙනවට වැඩිය පොලීසියෙන් ගුටි කාල මැරෙන එක හොඳයි කියල වෙන්නැති බන්..

      ස්තූතියි මේ පැත්තෙ පැමිණියාටත් ලෙංගතුව අදහස් දැක්වුවාටත්.. ජය ශ්‍රී!

      Delete
  14. ඔබටත් මේ ප්‍රශ්නයෙන් බැට කන්න සිදුවෙලා කියනඑක ඇසීම දුකක්.
    අපි ගොඩ දෙනෙකුට ගමේ තියෙන මුල් කපන්න අකමැති කම, බැරිකම් තියෙනවා

    නමුත් ඔබේ කියූ පරිදි එක ගොඩේ මැරෙමු කියල කියන එක ගැන තව හොඳට හිතල බලන්න,
    මොනවා හරි උනොත් එක ගොඩේ මැරෙන්නේ "ඔබ හැර" ඔබේ දුවා දරුවන්, මව්පියන්, නෑ නොනෑ හිතවතුන්.
    ඒක සුවිසයිඩ් කරගන්න ඉඩ හරිනවා වගේ වැඩක්. ඒ වගේම අසාධාරණයි. මොන දේ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ.

    ඔක්කොටම එක පාර ඔතනින් මිදිලා වෙන තැනකට යන්න බැහැ. ඒක ප්‍රායෝගිකත් නැහැ..
    පවුල් එක ගානේ හරි ඔතනින් පිටවෙන එක කලයුතුම දෙයක්.
    තමන්ටම කියල ගෙයක් හදන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. කුළියට ඉන්න තැනක් මුලින් හොයා ගන්න. ඊට පස්සේ අනිත් කටයුතු ගැන බලන්න පුළුවන් කාලයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ලොකු මලය.. සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. ස්තූතියි හිතවත්කමට.

      ඇත්තෙන්ම ලොකු ගැටලුවක්..මේ දවස් වල නිහඬව පිළිතුරු සොයමින් ඉන්නව.. මටත් වැඩිය ඔවුන් සමගම රැඳිල ඉන්න බිරිඳ දැන් මේ අවස්ථාවේ ඔවුන් හැර දමා ඒමට මැළි වීම තමයි ලොකුම හේතුව.. නැත්නම් අනිත් සියල්ල පසෙක තබා එන්න තිබ්බ..

      ඒත් එහෙම කිව්වත්.. දවසකටද දෙකකටද.. කොයි කාලෙකටද.. ප්‍රශ්ණ කීයක්ද? හ්ම්ම්.. වඩා යහපත් තීරණයක් හැකි ඉක්මණින් ගත යුතුයි.. කොච්චර ආත්මාර්ථකාමී උනත්.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

      Delete
  15. මිත්‍ර,ඊයෙ "හිරු" නිවුස් වල එක තරුණයෙක් අඬ අඬා කතා කරල එක ප්‍රශ්ණයක් ඇහුව.මට ඒක රෑ හීනෙනුත් පෙනුන.
    "ජීවිතේ කියන්නේ මොකද්ද සර්....?"
    උඹේ ප්‍රශ්නෙට සන්වේදී නොවනවා නෙමෙයි මිත්‍ර;ඒත් දැන් මට පේන විදිහට මේකට කරන්න තියෙන්නෙ මරාගන මැරෙන එක විතරයි මේ වෙලාවෙ.මේ තුච්ඡ system එකට සාප වෙන්න ඕන.
    උඹේ කුටුම්භයටත් මුලු ගමටමත් කිසිදු කරදරයක් නොවේවා....

    ReplyDelete
    Replies
    1. ජීවිතය කියන්නේ මොකක්ද.....

      මට ඒ තරුනයා ගැන හරිම කණගාටුයි. මම ඒ දේ දැක්කා. මිනිස්සු මිනිස්සුන්ට ගෞරව කරන සමාජයක් හැදෙන්න ඕන. රෙද්දේ මතවාද වැඩක් නැහැ.

      ඇත්තටම බං....වැටිච්ච වෙලාවට විතරක් නෙමේ නැගිටිලා ඉන්න වෙලාවෙත් අහන්න ඕන ප්‍රශ්නයක්" ජීවිතය කියන්නේ මොකක්ද" අපි පුකේ පන්ඩිතයෝ . අපි ගැටළුවකදි පමනක් ලවුඩ්ස්පීකර් දාන, ඊට පස්සේ කටුවට රිංගන ඉබ්බෝ. අපි සියල්ලෝම ටෝක්, කෝක්, ශෝක්, පෝක්, හැන්දාවට වෝක් මිනිස්සු. වැඩක් නැහැ කතා කරලා. අපි කියලා කිව්වේ අපි හොඳේ.

      Delete
    2. උඹ විතරක් නෙමෙයි අයියේ....අපි ඔක්කොම අපි ටෝක්, කෝක්, ශෝක්, පෝක්, හැන්දාවට වෝක් මිනිස්සු.අද සිකුරාද.රටේ මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි පොඩ්ඩක් බලපන් බාර් දිහා.වාහන වලින් ඇවිත් month end එකේ නිදහසේ සෙට් වෙලා ආතල් එකක් ගන්නව."මැරිච්ච එකා මැරුන.අපේ ආතල් එක අපි ගන්නව".ඒක තමයි අපි හැඩ ගැහිල ඉන්න විදිහ.අපිව හැඩ ගස්සල තියන විදිහ.මිත්‍රගේ ප්‍රශ්නෙදි වුනත් ඒ අය එකතුවෙලා කරන උද්ගෝශනයෙදි හෝ උපවාසයකදි හෝ ඒ දේට සහභාගි වෙන්න පුලුවන් මෙතනින් කීයෙන් කී දෙනාටද?මෙතනදි කමෙන්ට් කරල කනගාටුව ප්‍රකාශ කරනව ඇරෙන්න ,ලෝකෙනැති පුකේ අදහස් දෙනව ඇරෙන්න උඹටවත් මටවත් අපේ දරුපවුලේ ගැටලු පැත්තකට කරල ඔය වෙනුවෙන් කැප වෙන්න පුලුවන්ද අරූ අයියෙ?
      "ජීවිතේ කියන්නේ මොකද්ද සර්.......?"

      Delete
    3. කටුසු.. අරූ අයියා..

      මට මේ සංවාදෙට අමුතුවෙන් එකතු කරන්න දෙයක් නෑ.. ඒත් මේ 'ඕක්' ශබ්දයේ වචන ටික දැක්කම මෙහෙම හිතුනා..

      ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද? සමහරුන්ට ජස්ට් අ ජෝක් (joke).. ගොඩාක් දෙනෙක්ගෙ ජීවිත එක එක ප්‍රශ්ණ නිසා එක තැනක චෝක් (choke) වෙලා මේ මගෙ වගේ.. තවත් සමහරුන්ට ෆෝක් (ඇන්ඩ් ස්පූන්) තියෙනවනම් (කෑම ටික හම්බෙනවනම්) වෙන මොකුත් ඕන් නෑ. මුළු විශ්වයම ගැන හිතනකොට යන්තම් නිකන් ක්ඕක් (quark) එකක් වගේ වෙන අපි හොඳ නරක හරියට සෝක් (soak) කර ගත්තෙ නැත්නම් මේ ජීවිතේම අපිට යෝක් (York) වෙනව දවසක පොලු ගලවල යන්නම.. දැන්වත් ජීවිතෙ කියන්නෙ මොකක්ද කියල හොයල (ඉ)වෝක් (evoke) වෙන්න කාලේ හරි නේද? ජය ශ්‍රී!

      Delete
  16. උඹගේ ඔලුව ගිනි අරං ඉන්න වෙලාවේ අපි මොනවා කිව්වත් වැඩක් නෑ. උඹේ හිතට හරියි කියලා හිතෙන දේ කරපං. හැබැයි කරන්න කලින් ඩිංගක් කල්පනා කරපං. ලගම හිතවතෙක් එක්ක කථා කරපං. මොනවා උනත් මේ වෙලාවේ උඹ කරන දේ හරියි කියලා පිලි ගන්න මම සුදානම්. උඹට මේ වෙලාවේ බණ නෙවෙයි ඕනේ දෛරිය. ඒකට තව අය ඉඳියි. උඹ තීරණේ ගනින්. අපිත් ඉන්නවා හදවතින්. ගත්තු තීරණ ගැන කිසිදා පසුතැවිලි වෙන්න එපා. මොකද ඒ වෙලාවේ ගන්න තියෙන හොඳම තීරණය ගත්ත නිසා. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක.. උඹල වගේ හෘදයාංගමව කතා කරන උන් සහෘදයෝ ටිකක් ඉන්න එක ගැන මට ලොකු සතුටක් දැනෙනව ප්‍රශ්ණ අතරෙම.. තාවකාලික විසඳුමක් විදියට හැමෝවම ඒ ලඟ තියෙන වඩා ආරක්ශාකාරී තැනකට එක්ක ගියා.. ඒ නිසා ගොඩාක් ලොකු ලොකු වෙනස් කම් කරන්න ඕනි උනේ නෑ ජීවිතේට.. හොදට හිතල මතල ස්තීර විසඳුමකට එන්න ඕනි ඉක්මණින්ම.. ඇවිද්ද පය කියෙව්වා.. බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා.. අලුත් විස්තරත් එක්ක ආයෙම එන්නම්.. ජය ශ්‍රී!

      Delete
  17. ඔය මේකෙත් බක පන්ඩිතයෝ කියලා තියෙන්නේ ආන්ඩුවේ වේස බල්ලෝ කියන කතාවම. අන්තීමට උඹලයි වැරදි.. උඹ කොළඹ හතෙන් ලක්ෂරි එපාර්ට්මන්ට් එකක් ගනින් බං.. මේ කුණුහබ්බ ලියන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතේ.. අර අරූ උඩින් කියල තියෙන විදියටම අපි ගොඩක් උන් ටෝක්, ශෝක්, පෝක් එක්ක කෝක්, හැන්දෑවට වෝක් උන්නේ. හැබැයි එහෙම හරි ඇවිත් මොනව හරි කියන එක ඉහටත් උඩින් මේ වගේ වෙලාවට...
      මං මේ ලක්ශරි අපාර්ට්මන්ට් දෙක තුනක්ම බැලුවා.. සමහර ඒවයෙ කාර් 5-6කට වඩා නවත්තන්න බෑ.. සමහර ඒවයේ අස්සයොන්ට ඉන්ඩ තැනක් නෑ.. සමහර එව්වයෙ ටොයිලට් ඒසී කරල නෑ.. ඔය එක එක වගේ ප්‍රශ්ණ.. සුපර් තැනක් හම්බෙච්ච ගමන් එනව..
      අහ්! එක නෙවෙයි.. වෙල්කම් ටු කලාහිත.. උඹේ සින්ඩියෙන් බල බල දවකට එකක් දෙකක් කෑලි මොනා හරි එල්ල ගන්නවා.. ඒකට හවම තැන්කියු කියන්නත් බැරි උනා.. ජය ශ්‍රී!

      Delete
  18. (කියෙව්වත් කමෙන්ටුවක් දාන්න පරක්කු උනා මචෝ)
    මගේ අදහස මේකයි.
    රජයෙන් වැඩේ කෙ‍රෙන හැටි දැං අපි දන්නව නෙව. (ඉන්දිකට කියල තියන උත්තරේ මම මගේ පෝස්ටුවෙ කිව්ව වගේ, "මිනිස්සුන්ට ඉඩම් අත්හැරල යනව කියන්නෙ සියල්ල අත්හැරල යාමක්" තමයි. නමුත් ජීවිත ගැන හිතල ආරක්ෂිත පැත්තකට යන්න පුළුවන් නම් ලොකු දෙයක් මචං. ප්‍රායෝගික දුෂ්කරතා අනන්තවත් එයි. නමුත් ඕව කාලයක් යද්දි මඟහැරෙන්න පුළුවන්. මම කියන දේ ගැන හිතල බලපං. අපහසුතා පැමිණියාට ජීවිතය නවතින්නෙ නෑ. ඔක්කෝටම කලින් ජීවිතය බේරගෙන ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. \\(කියෙව්වත් කමෙන්ටුවක් දාන්න පරක්කු උනා මචෝ)\\ ඒකට කමක් නෑ මචෝ.. උඹේ පෝස්ට් එක හරහා ගොඩාක් උන් මාව හොයාගෙන ඇවිත් දුක සැප බෙදා ගත්තා.. ඒ පිනම උඹට ඇති.. ඒත් එක්කම මගෙනුත් බිලේටඩ් වෙල්කම් එකක්.. පුළු පුලුවන් වෙලාවට ගොඩ වෙයන් කලාහිතට.. :D

      සිංහයාට උත්තර දෙන වෙලාවට වැඩිය ගොඩාක් පහසු තැනක මචං දැන් ඉන්නේ.. කට්ටියටම රෑට නතර වෙන්නත් ඕනෙම හදිසි අවස්ථාවක ගිහින් ඉන්නත් පුළුවන් විදියට තැනක් ලෑස්ති කර ගත්ත මචන් ටවුන් එකෙන්ම.. පයින් උනත් දුවගෙන එන්න පුළුවන් ආරක්ශිත තැනක.. ඒක නිසා ඇඩ්මින් ප්‍රශ්ණ ගොඩාක් ආවෙත් නෑ. හැමදේම හොයල බලල කරන්න අයියලත් යාලුවෝ ටිකත් ඉන්න නිසා මටත් මෙහෙට වෙලා සැහැල්ලුවෙන් දැන් ඉන්න පුලුවන්.. මේක අද හෙට ඉවර වෙන ප්‍රශ්ණයක්වත් 'ආණ්ඩුවෙන්' ඉවර කරන ප්‍රශ්ණයක් වත් නොවන නිසා හොඳට හිතල මතල ස්තීර තීරණයක් හැකි ඉක්මණින් ගන්න ඕනි. බොහෝමත්ම ස්තූතියි මේ සහෝදරත්වයට.. ජය ශ්‍රී!

      Delete
  19. කලන,
    මේ සටහන කියෙව්වම කියන්න දෙයක් හිතාගන්න බෑ.. පහුගිය දවස් දෙකේ කොස්ලන්දෙ මිනිස්සුත් එක්ක හිටියේ.. ඔවුන් කොච්චර අසරණද,?? ඔවුන්ගේ හඩ තාම දොංකාර දෙනවා වගේ..

    මචෝ ඉක්මනට අවධානම් තත්වයෙන් එලියට යන්න බලපං.. අාණ්ඩුවෙන් හෝ වෙන තැන්වලින් ලැබෙන උදවු ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.. මොකද ඡන්දෙන් පස්සේ එ් මිනිස්සු නෑ..

    ReplyDelete
    Replies
    1. විදානේ.. උඹ එහෙම හරි ඒ මිනිස්සුත් එක්ක දුක බෙදා ගත්තනම් ඒක ලොකු දෙයක්.. දැන්නම් ගොඩක්ම තත්වෙ හොඳයි බන්.. වැස්ස අඩු උනා.. ඒත් ජනේරුව වෙනකම් ආයේ ආයේ වහිනවා. ඕක තමයි රුටීන් එක. මේ දවස් ටිකට තාවකාලික විසඳුමක් හොයා ගත්තා.. ලඟදීම හොඳට හිතල ලොකු තීරණයක් ගන්න වෙනවා.. ස්තූතියි දුක බෙද ගන්න මේ පැත්තෙත් ආවට.. ජය ශ්‍රී!

      Delete
  20. හරිම දුකක්,වේදනවක්,කණගාටුවක් දැනෙන්නේ මේවා දකින කොට කියවන කොට.තමන්ට විපතෙන් බේරිලා යන්න පුළුවන් කම තියෙද්දිත් එහෙම නොගිහින් අනිත් උන් ගැනත් හිතන උඹ කල්‍යාණ මිත්‍රයෙක්ම තමයි.අවදානමට පෙර සුදානම වටිනවා.
    කාලකන්ණි දේශපාලකයෝ විසඳුම් හොයලා ක්‍රියත්මක කරන කොට වෙන්න ඕනේ විපත වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්.. ස්තූතියි ගොඩක් අපිව බලල යන්න ආවට.. දැන්නම් අවදානම් (අපි ඉන්න තැනට) ගොඩක් අඩුයි..නමුත් සුළු සුළු විසඳුම් හොයා ගත්තා තාවකාලිකව.. ස්ථීර විසඳුමක් හොයන්න ඕනි මේ ඉමීඩියෙට් ඩේන්ජර් එක ඉවර උනාම.. සැපේදි එකට ඉඳල ප්‍රශ්ණයක් එනකොට තනියෙම පැනල යන්න හිතෙන්නෑ බං මාරය ඉස්සරහදිවත්.. අනේ මංද මෝඩ කමද කියල.. ජය ශ්‍රී!

      Delete
  21. මේ දේවල් වෙනස් කරන්න එකම දෙයයි කරන්න ඕන.මිනිස්සුන්ට ඒක තේරෙන්න තරම් ඔලුවක් නැති එකයි ප්‍රස්නෙ.එතකන් අබ සරන තමා.

    ReplyDelete
    Replies
    1. Anonymous1 November 2014 15:49

      මිත්‍රයා.. ඔබේ අදහස මට නම් තේරෙනවා හොඳින්ම.. 'ඔලුවක්' කෙසේ වෙතත් හදවතක් තියෙන නිසා.. කිව්ව හරි \\ එතකන් අබ සරන තමා\\

      ජය ශ්‍රී!

      Delete
  22. ඉස්සරින්ම ඔබට හා පවුලට අනතුරක් හෝ පීඩාවක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    ඔබේ මාපියන්ගේ නිවස වගේ ඒවා හරිනම් නායයාමේ අවදානමේ නැහැ වෙන්න ඕනේ කියා ඔබ කියනවා. එත් පරණ ගෙය ඉරිතලා ඇති නිසා එය මාක් කල බවක්. මේවා ඇත්ත වෙන්නත් පුළුවන් මොකද ලංකාවේ මාර පට්ට ක්‍රමවේද තියේ කියා හිතන්නේ නැහැ නාය යාමේ අවදානම් මනින්න.

    හැබැයි මට එකතු කරන්න තියෙන්නේ ලංකාවේ බොහෝ කඳුකර නිවාස පැරණි ගම්මාන වල ඒවා පවා තියෙන්නේ නායයාමේ අනතුරක කියා කිසියම් විද්‍යාත්මක අධ්‍යනයකින් අවොත් කිව්වත් මා පුදුම නොවෙන බව. පැරණි ගම්මාන වුනත් දැන් දාලා තියෙන කොන්ක්‍රීට් ලෝඩ් එකත් එක්ක නොචේ ඒ කාලේ තිබ්බේ. ඒ නිසා නිසි අධයනයකින් වාරතාවක් ආවොත් රට මැද ජනගහනයෙන් සැහෙන ප්‍රතිශතයක් කිසියම් නායයාමේ අනතුරක සිටිනවා කියා මම ඒ ගැන පුදුම වන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුජීව කොකාවල ව සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. පැමිනීමටත් හෘදයාංගම ප්‍රාර්ථනයටත් ගොඩාක් ස්තූතියි..

      මුලින්ම කියන්න ඕනේ..\\ ඔබේ මාපියන්ගේ නිවස වගේ ඒවා හරිනම් නායයාමේ අවදානමේ නැහැ වෙන්න ඕනේ කියා ඔබ කියනවා.\\ ඔබට එසේ වැටහුනානම් එය මාගේ ලිවීමේ දෝශයක් විය යුතුයි. මා කිසි විටෙක එසේ අදහස් කලේ නෑ. අපි පමණක් නොවෙයි මේ වනවිට මේ වගේ කඳුකර ප්‍රදේශ වල බෑවුම් වල නිවාස ඉදිකරගෙන සිටන කිසිවෙකුත් මේ තර්ජනයෙන් වියුක්ත නෑ. \\ පැරණි ගම්මාන වුනත් දැන් දාලා තියෙන කොන්ක්‍රීට් ලෝඩ් එකත් එක්ක නොචේ ඒ කාලේ තිබ්බේ\\ සම්පූර්ණයෙන්ම එකඟයි. අවශ්‍ය කරන නවීන තාක්ශණික උපකරණ වල හිඟයක් හා සංවිදානගත වැඩපිළිවෙලක අඩුවක් තිබිය හැකි නමුත් මෙවැනි කඳුකර ප්‍රදේශවල නාය යාමේ අවධානම හා සීමා නිර්ණය කිරීමේ හැකියාව හා දැනුමේ අඩුවක් මා දකින්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය කරනුයේ. ජාතික ප්‍රතිපත්තියක් හා ප්‍රබල දේශපාලනික උවමනාවක් පමනයි. අවාසනාවකට නැත්තේමද එයයි.. ජය ශ්‍රී!

      Delete
  23. මාතලන්ගේ සින්ඩියේ දැකලා මෙතෙන්ට ආවේ. අපි 1972-74 කාලේ හිටියේ බදුල්ලේ ලුණුගල. ඒ දවස්වල හා පසුවත් රජයක අඩුම අවධානය යොමුවෙච්ච පළාතක්. ඔය නාය යන ප්‍රශ්නය ඒ කාලේ ඉඳන්ම තිබු දෙයක්නේ. දේශපාලකයොයි නිලධාරියි වවාගෙන කන ප්‍රශ්නයක්නේ.
    1. දැන් ඔය කට්ටියට එකතු වෙලා අර ඉවාන් පව්ලුෂ දාල තියෙන ලිපියේ වගේ ක්‍රමයකින් නාය යෑම වෙයි කියල හිතෙන කඳු පාමුල වගේ ගල් දාල ගල් වැටවල් ගහල ශක්තිමත් කරන්න බැරිද?
    2. ඒ සඳහා කිසියම් ව්‍යාපාරයක් පදනමක් හදන්න බැරිද මුදල් එකතු කරන්න ?
    3. මේ ප්‍රශ්නයත් දේශපාලන පක්ෂවලට දෙන්න බැරිද උද්ශෝෂණය කරන්න

    ReplyDelete
    Replies
    1. අජිත් මහතා සාදරයෙන් පිළිගන්නව කලා හිතට.. මාතලන් ගේ මැදිහත්වීම නිසා ඇත්තටම මේ ලිපියට ලොකු වටිනාකමක් ලැබුනා.
      පාඨක ප්‍රතිචාර ගැන හිතා නොවේ කොස්ලන්ද සිද්ධියෙන් පසු හිතට දැනුනු දුකත් ආවේගයත් පිට කර ගැනීම සඳහායි මේ ලිපිය ලියුවේ. ඔබ අහල තියෙන ප්‍රශ්ණ තුන මං අවසානයේ නො අසා තමයි ලිපිය ඉවර කලේ. වහාම ප්‍රබල දේශපලන මැදිහත්වීමකින් මේ ගැන සොයා බලා නිසි ප්‍රමිතියකට හා දේශපාලනික නොවන ජාතික ප්‍රථිපත්තියකට අනුව මෙම කඳුකර නිවාස හා ඉදිකිරීම් ප්‍රතිස්ථාපනය නොවුනොත් ආසන්න අනාගතයේදී 'කඳුබඩ සුනාමියක්' ඇතිවීම වළක්වන්න බෑ.

      නැවතත් ස්තූතියි මෙහි පැමිනියාට. ජය ශ්‍රී!

      Delete
    2. මල්ලි ඔබ වගේ අනිත් අය ගැන හිතන අය හුඟක් අඩුයිනේ දැන්. ඉතින් අහල පහල නෑදෑයෝ, හිතවත්තු දාල යන්නේ කොහොමද කියල හිතන එක හරිම සංවේදියි. නමුත් ඔබේ දරුවන් දෙදෙනා ගැන ඔබට යුතුකමක් තිබෙන නිසා මේ ප්‍රශ්නය ගැන වෙනත් විධිහකටත් හිතන්න වෙයි. හරිම සංකීර්ණයි. දරුවන්ට ඉස්කෝලයක් ගන්න ආවත් දැන් ඒ දරුවන්ම අන්තරාවකට මුහුණ දීම. ඔය ඉස්කෝලේ ප්‍රශ්නයත් මහා එපා කරපු එකක්. මගේ අක්ක ලුණුගල මාධ්‍ය මහා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා විශාඛා ගියා. තුන් පාරක්ම A /l කරලා අන්තිමට දැන් pharmacist කෙනෙක්. අරකෙ හිටියනම් හරි බදුල්ලේ ගියා නම් හරි දොස්තර කෙනෙක්. ඒ කාලේ තිබු දිස්ත්‍රික් ලකුණු මට්ටම් ක්‍රමය නිසා. දෙපැත්ත කැපෙන ප්‍රශ්නයක්. අනාගතයේ කඳුබද සුනාමියක් ගැන ඔබ කියන දේ බරපතල නිසා ඒ ගැන මිනිසුන් හා දේශපාලන පක්ෂ දැනුවත් කල යුතුයි නේද.?

      Delete
    3. අජිත් අයියා..

      මුලින්ම කියන්න ඕනි දැනට තාවකාලිකව එතනින් ඉවත් වෙලා ඉන්නේ.. බදුල්ල නගරයේම වෙනත් ආරක්ශාකාරී තැනක් නිසා ගැටලු ගොඩක් අඩුයි..

      අනිත් කාරණේ මං පහුගිය ටිකේම උත්සාහ කලා පවුල මගේ ලඟට ගන්න.. කොළඹ ගේනවනම් ඉන්ටනැශනල් ස්කූල් එකකට දාන්න බලන් ගේන්න ඕනි. අපේ රට අපේ කම කියල මේ කුනුහබ්බ රටම බදාගෙන ඉන්න, පුලුවන් කාලයක් පන එපා කියල යුද්ද කරල අනිත් උන්ට යුද ජයග්‍රහන ගැන කියල නරිවාදං ගහන්ට පාර කපල දුන්න මට, මගේ පොඩි උන්ට, වඩා චීන්නුන්ගෙ කොරියන්ගෙ ළමයින්ට සලකන තැනකට දාල උගන්නන්න තියෙන අකමැති කමත් මගේ උන්ට ඉගෙන ගන්න මේ ලංකාවෙ තැනක් නෑ ඉස්කෝලයක් නෑ කියන එක ඉවසගන්න බැරි නිසාත් තමයි බදුල්ලට දක්කං ගිහින් එහෙ තියාගෙන උගන්නන්නෙ.
      කඳුබඩ සුනාමියක් එන්නෙ මේ පස්කඳුවලට දරාගන්න බැරි තරං බර ගෙවල් ගොඩක් මෙව්වයේ එල්ලනව අපේ උන් කිසිම ප්‍රමිතියක් නැතුව.. විශේෂයෙන්ම ටවුන් වලට ආසන්න තැන් වල.. ඉතින් එහෙම ගියාම කවද හරි ඔය පස් තට්ටු ඔය ගෙවල් එක්කම කඩාගෙන නගරෙ උඩට පහත් වෙනව.. මේක මේ අමනයන්ට කියල දෙන්න ඕනි තමයි..ඒත් උන් එක්ක කතා කරන්න ගියොත් ඕව කියන එක පැත්තක තියල 'කැවුතු කන්න' හිතෙනව.. මුන්ගේ මේ මොළවල් ගලවල අලුතෙන් එකක් හයි කරල ඉන්න ඕනි කතා කරන්න කලින්.. අම්මප මතක් කරන කොට ඇඟේ මාලු නටනව..
      එකම විසඳුම විදියට දැනට පේන්නෙ... දෑහට නොපෙනෙන තැනකට තොලොන්ජි වෙලා යන එක විතරයි.. හිතේ කේන්තියටමයි ලියුවේ.. අමනාප වෙන්න එපා..

      Delete
    4. නැහැ ඔයාගේ හිතේ වේදනාවයි කෝපයයි තේරුම් ගන්න පුළුවන්. නමුත් අපිට වුනත් මේ වගේ දේකදී හිතා ගන්න අමාරුයි මොකක්ද කරන්න පුළුවන් කියල. අනික අපි පිටරටවල ඉඳගෙන ලංකාවේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන එකත් වැරදියි.

      Delete
    5. ///අනික අපි පිටරටවල ඉඳගෙන ලංකාවේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන එකත් වැරදියි/////

      .හරියටම හරි අජිත්.....හිතේ දුකට කියන කවි තමයි මාත් කියන්නේ...

      Delete
  24. මිනිස්සුන්ගේ බැඳීම් හා වුවමනාවන් වලට සාධාරණ විකල්පයක් නොදී හිටි ගමන් ඉන්න තැනින් ඉවත් වෙන්නයි කිව්වම මිනිස්සුන්ට යන්න බැරි වෙන සජීවී හේතු මේ ලිපියෙන් ඇහැට මෝල් ගහෙන් අනින්නා වගේ පෙන්නලා දීල තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කලාහිත කියවන එක මට මේ හැම දුකක් අස්සෙම සතුටක්.. ස්තූතියි පැමිණීමටත් අගය කිරීමටත්..

      ආවේගයකින් හිටපු නිසා සංයමයක් නැතුව හිතට එන විදියටම ලියුවා.. මෙහි කී නොකී කරුණු හැම එකක්ම සත්‍යය.. ඔය නැවත පදිංචි කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල උතුරටත් වඩා දහස් වාරයකින් අසාර්ථකයි මෙවැනි තැන් වලදි.. මුන් හිතන්නෙ මිනිස්සුත් කෙහෙල් පැළ වගේ ගලවල ගිහින් කොහෙ හරි හිටෙව්වම ඔහේ පැලවෙනව කියල.. හරක්..

      ඔබ මහාචාර්ය විතානගේට ලියූ පරිදි ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යයතාවය තදින්ම දැනෙනව.. ජය ශ්‍රී!

      Delete
  25. දන්න තේරුමක් ඇති උඹ ඇතුළු සිය පවුලවත් ප්‍රවේශම් වෙයං බං ......
    බොරුවට අකුරු ගොඩක් ...වචන කොරල වැඩක් නැහැ....
    පොඩ්ඩක් හිතන්න.....ගොඩක් කිව්ව කියල හිතා ගනින් මච්චෝ......
    සුභ අනාගතයක්'''''''''''''!..........................

    ReplyDelete
    Replies
    1. කෙන්ජි.. බොහෝ දුර බැහැර ඉඳල දුකේදි බලල යන්න කලාහිතට ආපු උඹව සාදරයෙන් පිළිගන්නව මචන්..

      උඹ හරි.. බීරි අලින්ට වීනා ගහල වැඩක් නෑ.. Patriotism අතෑරල මුන්ට කුද ගහගන්න කියල වෙන රටකට වත් ගිහින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ. තාවකාලිකව ආරක්ශිත තැනක් හොයා ගත්ත.. ලඟදිම තීරණයක් ගන්නව ස්ථීරෙටම.

      ස්තූතියි හිතවත්කමට.. උඹටත් ජය ශ්‍රී!

      Delete
  26. අදයි මේ පැත්තට ගොඩ වුනේ... පොස්ට් එක කියෙව්වහම හිතට ලොකු දුකක් දැනුනා..

    කිසිම කෙනෙකුට කරදරයක් නොවී මේ විපතෙන් බේරෙන්න ඉක්මනින්ම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථ්නා කරනවා...

    ReplyDelete
    Replies
    1. තුශානිව පිළිගන්නව ඉත සිතින් කලා හිතට.. අමාරු වෙලාවේ ඇවිත් බලල යන්න ආපු එකට ගොඩක් ස්තූතියි.. දැන්නම් තත්වෙ ගොඩක් දුරට හොඳයි.. තාවකාලිකව ආරක්ශිත තැනකට ගියා..
      දිගටම රැඳිල ඉන්න.. ඔයාගේ කවි ලියවිල්ල ඉතාමත් හොඳයි..අන්න මං පොඩි උපදෙස් ටිකකුත් දීල ඇති චන්දනගේ සටහනේ.. දිගටම ලියන්න... ජයශ්‍රී!

      Delete
  27. කල්‍යාන මිත්‍රයා බොහෝම වටිනා ලිපියක්. අදමයි ගොඩවුනේ. දිගටම ලිපි කියවන්න එන්නම්. ඔබ සඳුන් සෙවණට ගොඩවූවාටත් ස්තූතියි.ජය !

    ReplyDelete
    Replies
    1. චන්දන සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. ඇගයීමට ස්තූතියි.. මෙය කඳුකරයේ අද වෙනකොට ජීවත් වෙන බොහෝ දෙනෙකුගෙ පොදු කතාවක්.. හෙට අනිද්ද තව බිමක් නාය ගියොත් ආන්ඩුව පලි ගහයි අපි යන්න කියල තිබ්බෙ කියල.. එයිට කලින් ඇත්ත මොකක්ද කියල මිනිස්සු කීපදෙනෙක් හරි දැන ගන්න එක හොඳයි කියලහිතුන නිසා ලියුවේ.. දිගටම රැඳිල ඉන්න කලාහිතත් සමග.. ජය ශ්‍රී!

      Delete
  28. ඇයි එක ගොන් නාලිකාවක්, අපි තමා මේ සිද්ධිය මුලින්ම මාධ්‍යයයට නිකුත් කලේ කියලා තප්පුලෑවේ :)

    ReplyDelete
    Replies
    1. උන්ට මේ වගේ සංවේදී සිදුවීම් කියන්නේ මාකටින් ප්ලෑන් එකට හම්බෙන බෝනස් බූස්ට් එකක් විතරයි මධුරංග.. මේවට කියන්නේ ජනමාධ්‍ය නෙවෙයි ජඩ මාධ්‍ය..

      Delete