Saturday 22 November 2014

සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 3 (අවසන්) කොටස



මෙහි මුල් කොටස් දෙක කියවා නැතිනම් කරුණාකර මෙතැනින් 1 හා මෙතැනින් 2 කියවන්න. එය ඔබට පහසු වනු ඇත.

මුලින්ම සඳහන් කල යුතු වන්නේ මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කලයුතු විශයයක් නමුත් සියල්ලන්ටම තේරුම් ගැනීමට හැකිවන අයුරින් හා 'බෝරින්' නොවන අයුරින් හැකි තරම් සංක්ෂිප්තව කරුණු දක්වන බවයි. මෙනිසාම ආරම්භයේදී භාවිතා කල නාට්‍යානුසාරයෙනුත් අත්මිදී භාශාවත් කළමණාකරනය කරගෙන මෙය ලිවීමට සිදුවී ඇත.

මුල් කොටස් දෙකේදී උස් ස්ථානයක වැඩ කිරීම සම්භන්දව නීතිමය තත්වයත් එවැනි රාජකාරීයක  තිබෙන ප්‍රධාන අනතුරු වර්ගත් සාකච්ඡා කරා ඔබට මතක ඇති. 
අද අවසන් වශයෙන් ඒ ඒ අනතුරු වලට නිර්දේශ කල හැකි පූර්ව ආරක්ශක ක්‍රමවේද (Control Measures) ගැන පොදුවේ කතා කරමු. 

මේ වීඩියෝ එක දැම්මෙ උස් ස්ථානයක් කිව්වම එකපාරටම ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන පලංචියක් හරි වහලක් හරි වගේ පොළොවට උඩින් තියෙන තැනක්ම වෙන්නෝනෙ කියන මනස පොඩ්ඩක් වෙනස් කරන්න 

Working @ Height වල තියෙන පළවෙනිම අනතුරු දායක තත්ත්වය තමයි මිනිසුන් උඩ සිට පහලට වැටීමට ඇති හැකියාව. මෙහිදී අප සැලකිළිමත් වන කරුණු දෙකක් තියෙනවා..
1. වැටෙන්න නොදී ආරක්ශා කර ගැනීම- Fall Prevention
2. යම් හෙයකින් වැටුනොත් හානි වීමේ හැකියාව හැකි තරම් අඩු කිරීම- Fall Protection
මෙතනදි මේ සිංහල ඉංග්‍රීසි වචන වල සමාන අසමානකම් ගැන වැඩිය හිතන්න එපා. කොහොම හරි විය යුත්තේ ඔය දෙක තමයි.

කලින් පාඩමේ Hierarchy of Control  ගැන කියද්දි මුලින්ම කිව්වා වගේ අපි සෑම විටම ප්‍රමුඛතාවය දිය යුත්තේ මේ Fall Prevention කියන එකට. ඒ කියන්නේ 
'Eliminate / reduce risk of falling so far as  reasonably  practicable' කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. 
ඇත්තටම එහෙම කරන්න පුළුවන්. Settled working environment නැත්නම් ස්ථායී වැඩබිමකදි කරල තියෙන්නෙ මේ දේ තමයි. නමුත් අපි කතා කරන්නේ ඉදිකිරීමක් හෝ තාවකාලිකව අස්ථායි වැඩ වේදිකාවක්නම් පහත සඳහන් ක්‍රම මගින් වැටීම් වැළක්වීම කල හැකියි. 

1. නියමිත උසට හා ප්‍රමිතියට සවි කරන ලද අත්වැට Hand rail/ Guard rail පෙලක් මගින්; ලංකාවේදී අප දැනට අනුගමනය කරනු ලබන පිළිවෙල BS 5973 (superseded by BS EN 12811-1 in 2004)  අනුව මෙහි අවම උස මි.මි. 910ක් විය යුතු අතර හරස් දඬු දෙකක් අතර උපරිම පරතරය මි.මි. 470 ඉක්මවා නොයා යුතුය. කෙසේ වුවත් අනතුරු තක්සේරුව අනුව මෙහි උස අවම සීමාවෙන් පහතට නොවැටෙන ලෙස වෙනස් කරගනු ලැබේ. උදා:- හරස් දඬු දෙකක් හෝ තුනක් ලෙස
2. මිනිසුන්ව ඔසවා රඳවා තබා ගත හැකිලෙස සාදා අනුමත කර ගන්නා ලද කූඩු (Man cage)- මේවා තමන්ට අවශ්‍ය හා එසවීමට භාවිතා කරන උපකරණයන්ට ගැලපෙන පරිදි ඩිසයින් කර සාදා ගැනීමෙන් අනතුරුව බලයලත් නිළධාරීයෙකු ලවා අනුමත කර ගත යුතුයි. තවද එහි රැගෙන යා හැකි උපරිම බර හා වෙනත් අවහිරතා ඇතොත් ඒ බව පැහැදිලිව සටහන් කර තැබිය යුතුය. 
3. ජංගම උස් වැඩ වේදිකා භාවිතය- MEWP- Mobile Elevated Working Platform නිසි ප්‍රමිතියට සාදන ලද පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි හා හැසිරවිය හැකි ජංගම උස් වැඩ වේදිකා භාවිතා කිරීම. උදා:- Scissor lift, cherry pickers, mobile articulated boom cage, mobile tower (scaffolding) with ladder and hand rails
අනේ මේවට සිංහල නම් නං අහන්ඩත් එපා දන්නේත් නෑ..
Scissor Lift
Cherry Picker
Mobile Articulated Boom Cage
Mobile Tower with Ladder & Guardrails

4. වැටීම වළක්වන ආරක්ශක ඈඳනය (Fall restrain harness/ belt) මෙමගින් සිදු කරනුයේ වැඩ කරන්නාගේ එහෙට මෙහෙට ගමන් කිරීමේ හැකියාව පාලනය කිරීම මගින් අනතුරුදායක ස්ථානයකට ලඟාවීම වැළැක්වීමයි. හරියට පොල් පැලේට කිට්ටු කරන්න බැරි වෙන්න හරකගේ ලනුව කොට කරල ගැට ගහනව වගේ.. හැක් හැක්.. (මේ ආරක්ශක ඈඳනය Full body safety harness කක් නොවේ. නමුත් ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා කම නිසාත්, නීතියෙන් ගැලවීමට 'පමණක්' නිසාත්, ගාන අඩු නිසාත් Safety harness වෙනුවට මේ fall restrain belt ලබා දෙමින් සේවකයින් රවටති; අමාරුවේ දමති.)

Hierarchy of control එක්ක සන්සන්දනය කරල බැලුවොත් මෙහි පළවෙනි තුනම වැටෙන්නේ Engineering controls වලට.. අවසාන එක PPE වලට. දැන් පේනවනේ PPE වලින් වැඩ කිරීමේ නිදහස සීමා වෙනව.. ඒකයි PPE හැමවිටම අවම අභිමත ක්‍රමය කියන්නේ.

මේ ක්‍රමයක් තනිවම හෝ වෙනත් එකක් සමග එකතු කරල අරන් Fall Prevention කියන එක තහවුරු කරන්න බැරි වෙන තැන් වලදි අපිට යන්න වෙනවා Fall Protection කියන එකට.. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමේකින් උඩකින් බිමකට තැරි ගැහුනොත් (හි හි.. මං ගෝලයොන්ට බනින වෙලාවට මේ වචනෙ තමයි පාවිච්චි කරන්නේ) වෙන හානිය අවම කරන්න. මෙතනදිත් ප්‍රධාන ක්‍රම තුනක් අනුගමනය කරනවා.
1. අනුමත වැටීම් ආරක්ශන උපාංගයක් සහිත ප්‍රවේශම් ඈඳනය Full body Safety Harness - මෙහිදී අනුමත ආරක්ශක උපාංගය කියන්නේ වැටීම පාලනය කර කම්පනය උරා ගත හැකි ලෙස සකස් කරන ලද කොටසක් සහිත සම්භන්ධකයයි. මෙය Shock absorbent lanyard  හෝ Inertia reel (සීට් බෙල්ට් එකේ මෙන්) විය හැකියි. මෙවැනි උපාංග කිහිපයක්ම ඇති නිසා ඒ ගැන දිගින් දිගටම කතා කිරීමට අපහසුයි. යම් අයෙකුට අවශ්‍යනම් වැඩි විස්තර පසුව ලබා දිය හැකියි. වඩාත්ම වැදගත් වනුයේ පැළඳ සිටින්නා විසින් මෙය අනිවාර්යයෙන්ම අනුමත බර දරා ගත හැකි බවට පරීක්ශා කොට සහතික කරන ලද ඇමුණුම් කොක්කකට තම සම්භන්ද කරගෙන සිටීමයි. 
Full body safety harness with shock absorbing lanyard (doubled)
Inertia reel

පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති පරිදි කි.ග්‍රැ. 100 බර පුද්ගලයෙකු අඩි හයක උසකින් වැටුනොත් ගැටීම මගින් ඔහුගේ සිරුරේ ඇතිකරනු ලබන ප්‍රතිවිරුද්ධ බලය (Arresting force) ආසන්න වශයෙන් රාත්තල් 5000ක් (කි.ග්‍රැ.2200ක්) පමණ වේ. එය තව විදියකින් කියූවොත් මෙම පුද්ගලයා Shock absorbent lanyard එකක් නැති harness එකක් පැළඳ සිටියදී ඉහත අනතුරට මුහුන දුන්නේ නම් අඩි හයක් පහලට වැටී නතර වනවිට ඒ මගින් ඔහුගේ සිරුර මත ඇති කරන තෙරපුම කි.ග්‍රැ. 2200ක් (5000 lbs) වේ. මයික් ටයිසන් ගේ එක මුෂ්ඨි පහරක බර එකල ආසන්න වශයෙන් රාත්තල් 250ක් පමණ වේ යැයි කියනු ලැබේ. මයික් ටයිසන් ගේ හොඳම පහරවල් විස්සක් එකවර දරා ගැනීමට සිදුවුවහොත්? කියනකොටත් මගේ නම් ඇඟ හීතල වී යයි. වැටුනොත් ඇඟ හීතලවී නොව අස්ථි පඥ්ඥරයටම කෙලවී මිස ගොඩ ඒමක් නැත. කම්පනය උරා ගන්නා පටියක් (shock absorbent lanyard) මගින් නම් මෙය ආසන්න වශයෙන් රාත්තල් 800ක් පමණ දක්වා අඩු කර දෙනු ලබන අතර inertia reel එකක් මගින් වැටෙන දුර අඟල් 6ත් 12ත් අතර සීමාවකට අඩු කරන බැවින් හානිය අවම වේ.

මේ සඳහා නිසි පුහුණුවක් හා අධීක්ෂණයක් අතයාවශ්‍ය වේ. නියමිත ප්‍රමිතියෙන් යුතු Full body safety harness එකක් නිවැරදිව පැලඳ සිටීමත් එය අනුමත් ඇමුණුම් ස්ථානයකට සම්භන්ධ කොට තිබීමත් ඉතා වැදගත් වන හෙයින් වැඩ අධීක්ෂකයෙකුට මෙහිදී විශාල වගකීමක් පැවරේ.

2. දෙවන ක්‍රමය නම් නියමිත ඇමුණුම් කොක්කක් ආසන්නයේ නොමැති විටකදී දුරින් පිහිටි එවැනි කොකු දෙකක් යා කර අදිනු ලබන ජීවිතාරක්ශක කඹයකට (Static line/ life line) එය (Harness) සම්භන්ධ කොට ගෙන වැඩ කිරීමයි. මෙහිදී ජීවිතාරකශක කඹයට ඉහතින් කී බොහෝ අවශ්‍යතා බලපාන අතර එහි දිග නිර්ණය කිරීම වැටීමට අවකාශ ඇති උස හා සාපේක්ශව තීරණය කරනු ලැබේ. වහලවල් හෝ ස්ලැබ් වැනි ස්ථාන වලදී මෙම ක්‍රමය අනුගමනය කළ හැක. මෙය PPE හා Engineering Control එක්වන අවස්ථාවකි.
Safety harness with static line

3. වඩාත් සාර්ථක නමුත් සමහරවිට ප්‍රායෝගික නොවන හා මිලෙන් අධික වන ක්‍රමය නම් වැඩ කරන වේදිකාවට යටින් සේෆ්ටි නෙට් එකක් එල්ලීමයි. ප්‍රායෝගිකව සිදුකල හැකි අවස්ථාවල මෙය සිදු කිරීමෙන් බොහෝ අපහසුතා මගහරවා ගෙන පහසුවෙන් රාජකාරි කර ගත හැකි වන අතර සේවකයාට ඇතිවන ආරක්ශාව පිළිබඳ හැඟීම Sense of Security/ Safety නිසා අනතුරු සිදුවීමේ අවධානමද බොහෝ සෙයින් අඩුවේ.
Safety netting

ඉහත සියල්ලේදී අප සාකච්ඡා කරනු ලැබූයේ මිනිසුන් වැටීම වළක්වා ගැනීමයි. දැන් අපගේ දෙවෙනි අනතුර හෙවත් බඩු භාන්ඩ වැටීම නිසා පහල සිටින මිනිසුන් අනතුරට ලක්වීමේ අවධානම හා භාන්ඩ වලට හානි සිදුවීම වළක්වා ගැනීමට එරෙහිව සටන් වදිමු. ජයවේවා!.. අහ්! සමාවෙන්න. එරෙහිව කියනකොට මතක් වෙන්නෙම සටන් වදින්න.. හෙහ් හෙහ්..

මෙහිදී අප ප්‍රධාන වශයෙන් සැලකිළිමත් විය යුතු කාරණා කිහිපයකි.
1. තාවකාලික වැඩ වේදිකාව ශක්තිමත්ව හා අතුරුසිදුරු නැතිව සාදා ගත යුතුයි. 
2. වැඩ වේදිකාව වටේට හා ඇතුල් පැත්තෙන් විවර වී ඇත්නම් ඒ පැත්තෙනුත් වන පරිදි අවම වශයෙන් මි.මී. 150ක උසට (නැවතත් BS 5973) පැති පුවරු (Toe Board) ශක්තිමත්ව සවිකොට ගත යුතුයි. මේ අවම උස වන අතර ඔබ භාවිතා කරන උපකරණ හා ගොඩ ගැසීමට බලාපොරොත්තුවන බඩු මුට්ටු අනුව මෙය සෑහෙන ලෙස උසකට සාදා ගැනීම වැදගත් වේ.
3. කුඩා ප්‍රමාණයේ භාන්ඩ හා උපකරණ සෑම විටම එකින් එකට බැඳ තබා හෝ විශාල භාජනයක් තුල අසුරා තැබිය යුතුයි.
4. භාවිතා කරන සියලු උපාංග නිසි පරිදි ගබඩා කල යුතු අතර වැඩ වේදිකාවෙන් පිටතට යොමු කරන සෑම විටකම ඇමුණුම් නූලකින් භාවිතා කරන්නා හා සම්භන්ද කොට තැබිය යුතුයි.
5. සියළුම උපකරණ නිසි පරිදි පිරිසිදු කොට තෙල් ග්‍රීස් හෝ මඩ වැනි ලිස්සන සුළු ද්‍රව්‍යයන්ගෙන් තොරව තිබිය යුතුයි. ආයුධ මිලට ගැනීමේදී නියමිත ප්‍රමිතියෙන් යුතු සැහැල්ලු හා මිට ලෙහෙසියෙන් ලිස්සා නොයන ආකාරයේ ආයුධ මිලට ගත යුතුයි.
6. ආයුධ ඉහලට හා පහලට ගෙනයාමේදී අතේ රැගෙන යාමෙන් වැළකිය යුතු අතර ඔසවනයකින් ඔසවා තැබීම හෝ ඉණේ රඳවන ආධාරකයක රඳවා ගෙන යා යුතුයි. දොඹකර සහයකින් තොරව බර භාණ්ඩ හෝ උපකරණ ඉහලට ගන්නේ නම් ඒ සඳහා නිසි පරිදි අනතුරු තක්සේරුවක් කිරීමෙන් පසු අවශ්‍ය තරමට සේවකයින් හා වැඩ පරීක්ෂක මහතුන්ගේ සේවය ලබාගෙන එය කල යුතුයි.
7. සෑම විටම වැඩට අදාල භණ්ඩ හා ආයුධ පමණක් අවශ්‍ය ප්‍රමාණයට ඉහලට ගත යුතු වන අතර වැඩි පුර ද්‍රව්‍ය පහළින් ආරක්ශිතව ගබඩා කොට තැබිය යුතුයි.
8. වැඩ කරන ස්ථානයට අනවශ්‍ය පුද්ගලයින් පැමිණීම හැකිතාක් දුරට අවම කරයුතුයි. මේ සඳහා බැරිකේඩ් කිරීම, දැන්වීම් පුවරු සවි කිරීම හා/ හෝ මුර කරුවන් යෙදවීම කල හැකියි. බිම් මහලෙහි අදාල ප්‍රදේශය ආරක්ශිත කලාපයක් කොට එහි ඇතුළු වීමේදී ආරක්ශිත හිස් වැසුම් පැළඳීම අනිවාර්ය කල හැක. 
9. පිටස්තර පුද්ගලයන් නිතර ගැවසෙන ස්ථානයක් නම් උදා: මහා මාර්ගයක්/ ව්‍යාපාරික ස්ථානයක් වැනි; විශේෂ ආරක්ශිත විධි විදාන සළකා බැලිය යුතුයි. උදා: කැනොපි, ආරක්ශක දැල් (Engineering control) වැඩකරන කාල සීමාවන් වෙනස් කිරීම (රාත්‍රී කාලයේ වැඩ කිරීම ), වැඩි පිරිසක් යොදා හැකි ඉක්මණින් වැඩය අවසන් කිරීම (Administration control) වැනි ක්‍රියාමර්ග.

මේ සියල්ල අවස්ථානුකූලව වෙනස් වේ.

තුන්වන අනතුරුදායක තත්ත්වය වන වැඩ වේදිකාව පිටින් දඩ බඩ ගාලා පොලොවට පත බෑ වීම.. තේරෙන විදියට කියනවනම් Collapse of Scaffolding/ working platform මේකට කරන්න තියෙන්නේ ඉතින් හරියට ඕක හදා ගන්න එකනේ.. ඔව් ඔව්.. ඒක කරන්නේ කොහොමද කියල තමයි මේ කියන්න යන්නේ.

පලංචි ප්‍රධාන වශයෙන් හතර වරිගයකි. ඒ 
1. තනියම ගැටගහගෙන උඩට නගින පලංචි- Independent tied scaffolding
2. කාගේ හරි ඇඟේ එල්ලිල උඩට නගින පලංචි- Put log scaffolding
3. කුරුළු කැදලි- bird cages
4. ජංගම ටැම් පලංචි- Mobile tower යනුවෙනි. මේවායෙද එක එක කා කොටා ගැනීම් ඇති අතර ඒවා විසඳා දීම පලංචි ඩිසයින් කරන ඉන්ජිනේරුවාගේ වැඩකි. එච්චර දුර යා යුතු නැත. පොදුවේ ආරක්ශාකාරීව පලංචියක් ගසා ගන්නේ කොහොමදැයි විතරක් බලමු.

1. පලංචි ඉදිකිරීම, පරීක්ශා කිරීම හා සහතික කිරීම ඒ සඳහ සුදුසුකම් ලත් පළපුරුදු වැඩකරුවන් Competent Personnel විසින් පමණක් සිදු කලයුතුයි. 
2. ඉදිකිරීමේදී ඒ සඳහ නියමිත ප්‍රමිතිය (ලංකාවේදී නම් නැවතත් BS 5973) අනුව නියමිත ඩිසයින් එකට ඉදි කිරීම කල යුතුයි. 
3. ඉදි කිරීමෙන් පසු පලංචියක් භාවිතයට පෙර, පෙර කී පරිදි සුදුසුකම් ලත් පුද්ගලයෙකු විසින් පරීක්ශා කොට අනුමත කිරීමෙන් පසු පමණක් භාවිතයට දිය යුතු අතර මේ සඳහා අවශ්‍යනම් Scaffolding handing over/ taking over ක්‍රමවේදයක් අනුගමනය කල හැක. මෙහිදී අවශ්‍යනම් යනුවෙන් සඳහන් කලේ ඕනෑවට වඩා නීති හා බාදා යොදා ගැනීමම ඒවා බිඳ දමා කටයුතු කිරීමට හේතු විය හැකි නිසායි. නමුත් පලංචිය අනුමත කිරීමෙන් පසු එහි ගොඩවෙන පඩිපෙල අසල කොළ පාට හෝ කහ පාට ටැග් එකක් එල්ලා තැබිය යුතුයි. සාමාන්‍යයෙන් කොළ පාට ටැග් එකක් එල්ලනු ලබන්නේ වැටීම් වලින් සම්පූර්ණ ආරක්ශාව ලබා දී ඇති (Fall prevention) පලංචි වල පමණි. Fall protection සඳහා PPE ඇඳීම අවශ්‍ය වන පලංචි වලදී කහ පාට ටැග් එකක් එල්ලනු ලැබේ. පලංචියක රතු පාට ටැග් එකක් එල්ලා ඇත්නම් කිසිම විටෙක එහි ගොඩ නොවිය යුතුයි. එයින් අදහස් වන්නේ එක්කෝ එය තවම ඉදිවෙමින් පවතින් හෝ දෝශ සහිත පලංචියක් බවයි.
4. පරීක්ශාවට ලක් කොට අනුමත කරන ලද පලංචියක් කිසිම හේතුවක් නිසා වෙනස් කිරීමට හෝ අවසරයකින් තොරව කොටස් එක්කිරීම නොකල යුතුයි. එවැනි වෙනස්කමක් කරන සෑම විටකම රතු පාට ටැග් එකක් එල්ලා තැබිය යුතුයි.
5. කිසිම විටක පලංචියක් මත අනුමත බරට වඩා බර පැටවීමෙන් වළකින්න. 
6. ඩිසයින් එකක් නැතිනම් හැකි සෑම ස්ථානයකින්ම පලංචිය ස්ථීර ව්‍යුහයකට ඈඳා තැබිය (Tie) යුතුයි. මෙහිදී වර්ග මීටර් 32ක වපසරියකට අවම වශයෙන් එක ස්ථානයකින් හෝ ඈඳීම කල යුතුයි.
7. උස් හා තිරස් බට වලට අමතරව හැඩයට යොදන ආධාරක බට (Longitudinal bracing) ඇතිතරම් යෙදවිය යුතුයි.
8. කියන්න අමතක උනා.. පලංචිය ඉදිකරන බිම හොඳින් නිරීක්ශණය කර ඒ සඳහා සුදුසු බව තහවුරු කර ගත යුතුයි. ඉන් අනතුරුවද උස් අතට තබන බට වලට යටින් ඝනකම ලී පතුරක් බැගින් හා ඊටත් යටින් එවැනි බට 2කට හො3 කට එකක් වන පරිදි ඝනකම දිග ලෑලි අතුරා පොලොව සකස් කර ගත යුතුයි. මේ සඳහාද BS 5973 හි උපදෙස් ලබා දී ඇති අතර ඒවා අනුගමනය කිරීම කල හැක. 
9. බිම සිට ඉදිකරන පලංචියක්නම් හැකිතාක් උඩට පිටින් ලබාදෙන ආධාරක බට (Out riggers) හරහා පාදම ස්ථාවර කල යුතුයි. 

දැන් නම් හොඳටෝම මහන්සිය.. සිරීපාදේ කන්ද කොපමණ දුර නැග්ගත් මහ ගිරිදඹේ නොනැග මළුවට ගොඩ වෙන්න බැරිය.. අමාරුවෙන් හරි ඒ ටිකත් නගිමු.. 

ඒ කියන්නේ අපේ අන්තිම ප්‍රධාන අනතුරුදායක තත්වය.. ඉහළින් ගමන් කරන විදුලි රැහැන්.. සුද්දා නම් මේකට මරු පෝස්ටරයක් ගසන්නේය.. "Look up & Live" සිංහලෙනුත් එවැන්නක් නිර්මාණය කල යුතුය. කෙසේ නමුත් උස් ස්ථානවල වැඩකිරීමේදී සිදුවන මරණ වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් මේ ගනයට අයත් වේ. මේ ගැටලුව බොහෝ විට high rise construction වලදී නැත.. එහෙත් medium rise/ low rise construction සහ industrial/domestic maintenance තත්ත්ව වලදී මේ ගැන බොහෝ සෙයින් අවධානය යොමු කල යුතුයි. 
1. හොඳම දේ මුලින්ම හොඳ අනතුරු තක්සේරුවක් කර ගැනීමයි.
2. පලංචිය ඉදිකිරීමට පෙර භූමිය නිරීක්ශනයේදී අනිවාර්යෙන්ම උඩ බැලීමටත් මතක තබා ගන්න
3. හැකි සෑම අවස්ථාවකම විදුලි රැහැන් මග හැර පලංචි ඉදිකර ගන්න
4. විකල්ප ක්‍රියාමර්ගයක් නොමැති අවස්ථාවලදී පලංචි ඉදිකිරීමට පෙර අදාල විදුලි රැහැන්වල වෝල්ටීයතාවය සොයා බලා ඊට ගැලපෙන අනුමත මායිමක් ඉතුරු කිරීමෙන් පසු පමණක් පලංචිය ඉදිකිරීම අරඹන්න.
5. එයත් කල නොහැකි විටක නම් විදුලි සම්පාදක සමාගම හා ගිවිසුමකට පැමිණ අදාල කාලය තුල සැපයුම විසන්දි කර ගන්න. මේ සඳහා ඔබට අමතර වියදමක් හා වෙහෙසක් දැරීමට සිදුවනු නොඅනුමානයි. නමුත් 'ගෝල්ඩන් රූල්' එකනම් විදුලි රැහැන් හා පලංචි එක තැන තිබිය නොහැක යන්නයි.
6. ඉහත අවස්ථා 4 දී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවකි. 

  • පලංචි සඳහා යකඩ බට භාවිතා කරන්නේ නම් අදාල වෝල්ටීයතාවයට නිර්දේශිත අවම දුරට Safety clearance වඩා මොනම හේතුවක් නිසාවත් අදාල බට විදුලි රැහැන් වලට ලන් නොකල යුතුයි. 
  • මේ සඳහා පලංචිය ඉදිකරන අවස්ථාවේ වෙනම නිරීක්ශකයෙක් යොදවන්න. 
  • කරන්ට් වැදීමට වයර් එකේ ගෑවිය යුතුම නොවන බව මතක තබා ගන්න. මා දන්නා පරිදි Arc flash යනු චුම්බක ක්ශේෂත්‍රයක් හරහා සන්නායකින් තවත් සන්නායකට විදුලිය පැනීමයි. මෙය කියවන ඉලෙක්ට්‍රිකල් ඔස්තාද් කෙනෙකු හිටියොත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් තවදුරටත් කරනු ඇත. 
  • කෙසේ නමුත් මේ අවම සේෆ්ටි ක්ලියරන්ස් Safety clearance එක නිර්ණය කරනු ලබන්නේ මෙම සාධකය මුල් කර ගෙනයි. 
  • පලංචිය මත වැඩ කිරීමේදීත් එය එසේමයි. ඇලුමිනියම් හෝ යකඩ ඉණිමං, කොකු හෝ වෙනත් ඉහලට ඔසවන දෑ භාවිතය සපුරා තහනම්ය. 
  • මෙවැනි කටයුතු අනිවාර්යෙන්ම වැඩ අවසර පත්‍රයක් මගින් පාලනය කල යුතුයි.
  • එසේම වගකිවයුතු පුද්ගලයෙකුගේ අධීක්ශණය යටතේ පමණක් මේ සඳහා සේවකයින් යෙදවිය යුතුයි. 
  • මෙවැනි කටයුතු දිගින් දිගට ඇදගෙන යන්නේ නැතුව හැකි ඉක්මණින් කර අවසන් කර පලංචි ගලවා ඉවත් කල යුතුයි. 
  • මේ සඳහා සහභාගී වන කණ්ඩායම දෛනිකව tool box කතාබහ හරහා දැනුවත් කල යුතු වන අතර අවසර නොලත් කිසිම පුද්ගලයෙකු පලංචි මතට ගොඩ වීම වැලැක්වියයුතුයි. 
  • මෙවැනි ස්ථාන රාත්‍රී කාලයෙදී හෝ අත් හැර නොදැමිය යුතු අතර හැකිනම් වට ආරක්ශාවක් ලබා දී ඇතුළුවන ස්ථාන මුර කරුවන් යොදා ආරක්ශා කල යුතුයි. මන්ද කඩාකප්පල්කාරී ක්‍රියා වල යෙදෙන්නන් හා වීර ක්‍රියා කිරීමට කැමති ජනයාගෙන් පරිස්සම් කරගතයුතු බැවිනි.

හම්මේ.. කතාකල දේට වඩා නොකල දේ බොහෝව ඇති විටෙක මම උස් ස්ථානයක වැඩ කිරීම ගැන ලිවීම මෙයින් අවසන් කරමි. කිවයුතු දේ නම් මෙම මූලික කරුණු හරහා ඕනෑම කෙනෙකුට වැඩක් 'ප්ලෑන් කරගත' හැකි බවයි. වැඩිමනත් විස්තර සඳහා යා යුතුනම් තනිවම අන්තර්ජාලය තුල සැරි සැරීමෙන් හෝ යමක් වටහා ගැනීමට (කිසිවක්ම නොදැන සිටි අයෙකුට වුවද ) මෙම දැනුම ප්‍රයෝජනයට ගත හැක. 

මේ ලිපිය කියවූ මගේ බොහෝ මිතුරු මිතුරියෝ ඒ ගැන එක්කර තිබූ කොමෙන්ට් අනුව ඔවුන් ඉතා හොඳ අවබෝදයකින් සිටිනා බව පසක් වේ. මෙයින් මා අදහස් කලේ එහෙ මෙහෙ විසිරී තිබුනාවු ඒ දැනුම හා අවබෝධය පිළිවෙලකට අසුරා දීමයි. අනික, හිතුනු ගමන් පටන් ගෙන එකදිගට මතකයෙන් ලියාගෙන (ටයිප් කරගෙන ) ගොස් පළ කිරීමෙන් පසු පුටුවෙන් නැගිටිනවා හැර කිසිම පොතක් පතක් හෝ වෙනත් ලියවිල්ලක් බලමින් නොලියන නිසා කරුණු පෙළ ගැස්සීමේදී හා අන්තර්ගත කරුණු වල වුව වෙනස් කම් තිබිය හැක. නිදොස් කිරීම සඳහා එවැනි තැන් පෙන්වා දෙන්නේ නම් අගේ කොට සළකමි. 

මෙය ලියැවිල්ලකට ගෙන අන්තර්ජාලය භාවිතා නොකරන ඔබේ සේවක මහතෙකුට ලබාදීමට හෝ වෙනත් ස්ථානයක පල කිරීමට හෝ මගෙන් කිසිම බාදාවක් නැත. ඇත්තටම එසේ කරනවානම් මා සතුටු වෙමි. මන්ද මගේ උත්සාහය වැඩි දෙනෙකු දකින හෙයිනි. 

අවසන් වශයෙන් මා ඔබට සුළු අභ්‍යාසයක් පවරමි. මා මෙහි උඩින් එක්කල වීඩියෝව දැන් මතකද? අර office එකක ගෑණු කෙනෙක් man hole එකකින් ඇතුලට වැටෙන්නෙ.. අන්න ඒක. මා ඉහතින් සඳහන් කල කාරණා වලට බොහෝ සෙයින් වෙනස් situation එකක් තමයි එතැන වෙන්නේ.. ඔබට පුළුවන්ද මේ මූලික කරුණු අරගෙන ඒ සිද්දිය නැවත නොවෙන්න විසඳුම් යෝජනා කරන්න.. මං දන්නව ඔබට පුළුවන්.. හැබැයි මට ඕන පහුගිය කොටසෙදි ඉගෙන ගත්ත hierarchy of control කියන එකත් එක්ක ඔබේ විසඳුම් ගැලපෙන විදිය පැහැදිලි කිරීමකුත් සමඟයි.. හැමෝම අවශ්‍ය නෑ.. හිතන්න ලියන්න වෙලාව හොයාගන්න පුළුවන් කෙනෙක් හිටියොත් උත්තර ලියන්න.. මම කොමෙන්ට් වලදි ඔබේ උත්තර නිර්වචනය කරන්නම්. පුංචි අභ්‍යාසයක් පමණයි. 

මුල් කොටස් දෙකේදීම ඉතා උනන්දුවෙන් කියවා දීර්ග ලෙස කොමෙන්ටු ලෙස විචාර එක්කල හා සුබ පැතූ සැමට ස්තූතියි. වෙනත් මාතෘකාවකින් සේෆ්ටි සිංහලෙන් හා නැවත හමුවෙමු. ජය ශ්‍රී! 

31 comments:

  1. මේව ලියන්න ගියාම සෑහෙන්න මහන්සියි නේද... හැමෝටම තේරෙන විදිහට ලියන්නත් එපැයි. ඒක කළණ අඩුවක් නැතුව කරල තියනවා. අන්තිමට රතු පාටින් ලියා තිබෙන දේ වෙනුවෙන් මගේ ප්‍රණාමය !!!
    Scissor Lift වලින් පහල තියන ගැජමැටික් ටික නම් මරු. ආසාවෙ බෑ. කීයක් වෙනවද දන්නෑ එකක්..:D
    කාටත් වැදගත් වෙන මේ සටහන වෙනුවෙන් ස්තුතියි කළණ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.. ලියනවට වඩා මහන්සි ඇති කියවන එක.. මේ ලියවිල්ල මුලින්ම පටන් ගත්තෙ මගේ සේෆ්ටි යාලුවෝ ගොඩක් ඉන්නව (ඉන්ගිරිස් ගැටළුව නිසා) සබ්ජෙක්ට් එක හරියට ක්ලියර් නැති.. ලියනකොට තමයි තේරුනේ උන් විතරක් නෙවෙයි අනෙක් ගොඩක් වෘත්තිකයොත් මේක කියවනවා ඒ වගේම ඉන්ටරෙස්ට් කියල. ඉතින් මුලින්ම ශෛලිය වෙනස් කලා. ඊලඟට ටිකක් ප්‍රොෆෙශනල් වුනා.. හැක් හැක්.. ඇත්තටම චන්දන සිංහල භාශාවෙන් ලංකාවෙදි මේ විස්තර හොයා ගන්න බෑ. කවුරු හරි තනියම ලියල ලඟ තියාගෙන ඉන්නවද දන්නෙ නෑ නමුත් ප්‍රසිද්ධියෙ නෑ. ඉතින් කවුරු කවුරු හරි එකෙක් ඉගෙන ගන්නවනම් ඒක තමයි මට වැදගත්. අනික මේ ටික උඩින් පල්ලෙන් කියවල කාටවත් වැඩක් වෙන්නෙ නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ටික එකතු කරල සටහනකට අරගෙන ලඟ තියාගෙන ඕන වෙලාවට පාවිච්චි කරන්න ඕනි. ඉතින් ඒකට බාදා කරල වැඩක් නෑ නේ.

      දවසක් දෙකක් ෂේප් එකේ කවියක් කාරිය ලිය ලිය ඉඳල මහන්සිය නිවා ගන්න බැරියැ.. ආවට ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
  2. මම බයවුනේ උසකින් වැටිලාවත්ද සද්දයක් බද්දයක් නැත්තෙ කියලා :ඩී
    කළණ, උසකට නැග්ගාම හිතට එන බය මේ අනතුරු කළමණාකරණයේදි සලකා බලනවද? ඒ නිසා අනතුරු ඇතිවිය නොහැකිද? (කළබල වීම වගේ දේ නිසා)

    ReplyDelete
    Replies
    1. උන්නු තැනිනුත් පහලට වැටුනද වැටිලා උන්නු තැනින් ගොඩ එනවද කියල ජනවාරි 8න් පස්සේ බලා ගන්න පුලුවන් වෙයි නෙද මද්දෝ..

      ඉතාමත් වැදගත් කාරණයක් මතු කලේ..

      අනිවාර්යෙන්ම සලකලා බලන්න ඕනි. මේකට අපි කියන්නේ Personal Factors කියල. ඒවා මූලිකම කාරණා නිසා ඇත්තටම මං මෙතනදි ඇතුල් කලේ නැ. දැන් පොඩ්ඩක් ලියන්නම් අහපු නිසා.
      මුලින්ම සේවකයෙක් වැඩට ගන්නකොට අපි Health Screening එකක් කරන්න ඕනි, ඒකට Full Medical Check-up එකක්, Medical history investigation එකක් වගේම One to One interview එකකුත් කරනව. එතනදි අඳුන ගන්න අය එක්කො recruit කිරීමෙන් වළකිනව නැත්නම් Light duty/ sedentary duty කියන category එකට දානවා.

      ඊට පස්සෙ කාලෙන් කාලෙට Health surveillance එකකුත් කරනව. එතනදි අදුන ගන්න කෙනෙක් හිටියොත් ඒත් එහෙමයි, එක්කො disqualify කරනවා නැත්නම් LD/SD category එකට දානව. මේ අය ගැන වෙනම monitor කරන සිස්ටම් එකකුත් තියෙනවා.

      ඊලඟ වැදගත්ම දේ තමයි supervision.. තව Training, competency assessment, counselling මේ වගේ දේවල් වලින් අපිට පුලුවන් සමහරුන්ව ගොඩ දාන්න.. එහෙමත් බැරි කෙනෙක් උනොත් Alternative ජොබ් එකක් දෙනව.. හැමවිටම උත්සාහ කරන්නේ රස්සාවක් නැති නොකර ඉන්න.. ඒත් සමහර වෙලාවට ඒ දේ වුනත් කරන්න වෙනවා තත්ත්වයේ බරපතල කම අනුව.

      W@H විතරක් නොවේ ඕනෙම Critical ජොබ් එකක් කරන්න කලින් කරන Risk Assessment එකේදී මේ හැම දෙයක්ම සලකල බලන්න ඕනි. එවැනි අයව රැකියාවේ යොදවන්න එපා කියන එක almost අනිවාර්ය කොමෙන්ට් එකක් Risk assessment එකක.

      උනන්දුව ගැන ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
  3. කමියා.......උඹටත්, විචාරකටත් තියෙන්නේ හරි අමාරු ගැටළුවක්. ඒ කියන්නේ මේ වගේ දේවල් සිංහලෙන් ලියන්න ගියාම තියෙන අමාරුව. ඒත් දෙන්නාම නියමෙට වැඩේ ගොඩ දානවා. උඹේ කලාහිතටත් පොඩි චාන්ස් එකක් දීපන්. මේ ලිපි ඉතා වැදගත්, ඒත් යකඩ ගොඩට යටින් උඹ ගාව කලා රිටක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වැඩේනම් අමාරුවෙන් හරි ගොඩ දානවා කියමුකෝ. මේ කොහෙද යන කබ්බෝ ඇවිත් ඒවා කොපිකරලා උන්ගේ සයිට් වල දානවා උන් ලිව්වා වගේ.

      පෙර දිනයක මාළඟ හිටි මිනිහෙක් - පාරේ ඇවිදිනවා
      මගේම සරමක් අගේට ඇඳගෙන - උගේ වගේ යනවා.

      Delete
    2. @ අරූ අයියා.. අමාරු බව ඇත්ත.. ඒත් අපිත් මොනව හරි ලියන්න එපැයි.. අපිට නෑනෙ ඉතින් අනිත් උන්ට ඉරිසියා හිතෙන තරං ජීවිත අත්දැකීම් ලියන්න.. හැහ් හැහ්...
      හම්මේ ඒක ඇත්ත.. සුමානයක් හමාරක් ඉන්නෝන ඉතින් ඔය කවියක් හමාරක් ලියාගෙන රිලැක්ස් එකේ.. 54 කෝ? ජය ශ්‍රී!

      Delete
    3. @ විචාරක තුමා.. ඔබ තුමා අත්දැකීමෙන්මනේ කියන්නේ, මටනම් තවම එහෙම එකක් උනේ නෑ.. කිව්වත් වගේ ඒක මහ නසරානි වැඩක්.. අඩුම තරමින් ගත්තෙ කොහෙන්ද කියල දාන්න යුතුකමක් තියෙන්න ඕනි..

      Delete
  4. එක හුස්මට කියවගෙන ගියා. සතුටුයි. ආයෙත් මුලට ගිහින් කියවගෙන ආවා. කරුණු ටිකක් අවබෝධ වුණා. ආයෙත් මුලට ගිහින් ඡේදයෙන් ඡේදය හෙමින් කියවගෙන ආවා. සෑහෙන්න දැනුමක් ලැබුණා. බොහොම ස්තුතියි.

    මගේ යාලුවෙක් ඉන්නවා ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවෙක්. ඊයේ පෙරේදා මේකා හවස හතට විතර කතාකරා මට මිනිහා කුරුණෑගල නගරයේ කොන්ත්‍රාත් අරගෙන ඉදිකරමින් පවතින විශාල ගොඩනැගිල්ලක පස්වැනි තට්ටුවේ ස්ලැබ් එක මත ඉඳගෙන, රාත්‍රියේ නගර සිරි නරඹමින් මධුවිතක් තොලගාන්න. මම එතනට නැග්ගේ තවම වැඩ ඉවර නැති, ගල්, ගඩොල්, සිමෙන්ති මිටි, යකඩ කම්බි, ගොඩක් අතරින් බොහොම අමාරුවෙන්. එතනට ගියගමන් මම ඇහුවේ ඈ යකෝ මං වගේ නාකියෙක් බීලා ආපහු බහින්නේ කොහොමද කියලා. හැබැයි මම කිසිම අනතුරක් නැතුව බැහැලා අවා. ඒ වුනාට ඒක ගොන් පාට එකක්. කාටහරි ඒ වෙලාවේ අනතුරක් වුණානම් බලු බල්ලෙක් නෑ අපිව බේරගන්න. මම මේ ලිපිය ප්‍රින්ට් කරලා මිනිහට දෙනවා.

    අනේ අර චෙරි කඩන එකක් මටත් ඕනෙ. අපේ තියන එකම කොස් ගහේ ගෙඩි ඉදිලා වැටෙනවා. උස වැඩි නිසා කඩන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් කාට හරි කියල කොස්....... කිරා ගන්න කො. එතකොට ඉස්සෙයි.. (ආයුදේ ලෝඩ් කරනව වගෙ එකකුත් ඇහෙනව... @ දුවමින්.....) :D :D :D

      Delete
    2. මං මුලිනුත් තැනක කිව්වා.. මේක ලියනවට වඩා කියවන එක අමාරුයි.. විශය කරුණු නෙ.. ඔබ තුමා උනන්දුව නිසාම එහෙම තුන් හතර පාරක් කියවල ඔළුවට ගත්තට අනිත් උන්ට ඕක කරන්න බැරිවෙයි.. ඒක නිසා අර කිව්වා වගේ ප්‍රින්ට් එකක් අරන් ඕනි වෙලාවකට කියවගන්න හරි ඕනි කෙනෙකුට දෙන්න හරි හිතනවනම් ගොඩක් හොඳයි.
      කුරුණෑගල සයිට් එකේ යාලුවට කියන්න ඊලඟ පාර එන්න කලින් බොන තැන වටේට Hand rail එකක් හයි කරල යන එන Access/ egress හරියට maintain කරන්න කියලා. ගොඩක් දෙනෙක් Housekeeping කියන එක මහ බරක්, වෙනම ජොබ් එකක් කර ගන්නවා නොදන්න කම හා කම්මැලි කම නිසා. Housekeeping කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.. කෙටියෙන්ම කියනවනම්.. A place for everything and everything in place.. ජය ශ්‍රී!

      Delete
    3. @ චන්දන.. මචං මාත් මේ ඕක කියා ගන්න බැරුව හිටියේ හුඟක් සීනියර් නිසා.. උඹ කියපු එක හොඳයි.. හැක් හැක්..

      Delete
    4. අහුවෙයව්කෝ තොපි දෙන්නම මට. ලෝඩ් කරන හැටි පෙන්නන්න.

      Delete
  5. නොදන්න ඩේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්තටම වැඩක් කරන්න කලින් අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් දිගටම මේ බ්ලොගය කියවන්න එනවා....

      Delete
    2. මදුරංග බ්‍රදර්.. වෙල්කම් ටු කලාහිත..
      \\ \ඇත්තටම වැඩක් කරන්න කලින් අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්ඩ ඕන.\\\ අනිවාර්යෙන්ම.. අපි ඉස්සරහදි හැමෝටම වගේ අදාල වෙන තව ගොඩාක් දේවල් සේෆ්ටි ගැන කතා කරමු.. දිගටම රැඳිල ඉන්න.. ජය ශ්‍රී!

      Delete
    3. මම මේ බ්ලොග් එක මගේ සිංඩිකේටරයටත් දාගත්තා.... ජය වේවා !
      දිගටම ලියමු.

      Delete
    4. බොහෝම ස්තූතියි.. මේ දිරිගැන්වීම සතුටක්

      Delete
  6. හරිම වෙහෙසකර ලිවීමක් වෙන්න ඇති මේකනම්. විචාරක ට්ඝුමාගේ අර යුධ සැලසුම් ලිපි වගෙයි. ඔබේ ලිවීම නම් සාර්ථකයි.

    ලංකාවෙ පුද්ගලික ආයතන වලින් කීයෙන් කීයක මේ දේවල් මේ විදියට මේ ප්‍රමිතියෙන් වෙනව ඇත්ද? අනික ලංකාවෙ කම්කරුවන් තවමත් මේ ක්‍රම විධි ගැන පැහැදීමක් නෑ. ඒ නිසා ඔවුන් මේව රාජකාරියේදී ඉරිහැරයක් විදියටයි සලකන්නෙ. ඒ නිසාම බොහෝ වෙලාවල ඔවුන් මේව පිළිපැදීම මඟහරිනවා.

    ReplyDelete
    Replies
    1. සඳුමල්..
      වෙහෙසකර උනත් මේක මගේ යුතුකමක් නැත්නම් රාජකාරියේම කොටසක් කියල හිතාගෙන ලියනවා. බ්ලොග් ලියන්නේවත් බලන්නේවත් නැති මගේ සේෆ්ටි ෆීල්ඩ් එකේ මිත්‍රයෝ කිහිප දෙනෙක් ගැන හිතල තමයි මේ දේ කරන්නේ. ඒ ගමන්ම උඹල වගේ උනන්දුව තියෙන තව කොට්ඨාශයකට දැනුමක් ලබා දෙන්න පුළුවන් වීමත් බෝනස් එකක්.

      ඇත්තටම ලංකාවේ සේෆ්ටි කරන එක අමාරු වැඩක්. සේවකයොන්ගේ වැරැද්දටත් වැඩිය හරි හමන් නීතියක් නැති එක තමයි ප්‍රශ්ණේ. නීතියක් නොතිබුනානම් උඹවත් මමවත් වාහන පදින්න ලයිශන් ගන්න උනන්දු වෙන්නේ නෑනේ නේද? එහෙම උනානම් පුළුවන් එකාත් පදිනව බැරි එකාත් පදිනව.. අන්තිමට ඌත් ඉවරයි.. වාහනෙත් ඉවරයි.. තව කොහෙ හරි යන අහිංසකයෙකුත් ඉවර වෙන්න පුළුවන්..

      ජය ශ්‍රී!

      Delete
  7. කලේ ඇත්තමයි මේ කියන්නෙ මුල ඉදලම ලිපි ටික කියව්ව හන්ද කියන්නෙ මේ ලිපි සෙට් එක නං පට්ට වැදගත් ඇත්ත අපි මේ සම්බන්ධ ක්ෂේත්‍ර වල වැඩ නෑ තමා ඒත් ඇත්තටම වටින එකාට ලොවෙත් වටිනව නෙව..

    උඹේ මේ වැඩේ නං පට්ට වටිනව ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. උඹේ මේ කොමෙන්ට් එක මට පට්ට වටිනව මයියා..

      වෙන මොකුත් කියන්න ඕනෙ නෑ.. ජය ශ්‍රී!

      Delete
  8. හ්ම්ම්.....මේ ලිපිය තාම එකපාරයි කියෙවුවේ.තේරුනානම් අඩුයි වගේ.ප්‍රින්ට් කරගත්තා.මේ වැඩ අඩුවුනහම හිමින් කියවනව.සිරාවට උඹ මේ කරන දේ ක්ශේස්ත්‍රයේ ගොඩදෙනෙකුට සෑහෙන්න වටිනව.මේ සම්බන්ද වැඩ නොකලත් මේවයින් ගන්න තියන දේ ගොඩයි.ඒකෙ වටිනාකම වැඩිවෙන්නේ උබ මේක ලියන්න ගන්න මහන්සියත් ගොඩක් වැඩි නිසයි.

    විචාරකතුමා වගේ මාත් ලොකු වෙලා චෙරි කඩන එකක් ගන්නව.ඊට පස්සේ ගම වටේ යනව."පොල් කඩනවා.... අඹ කඩනවා....කොස් කඩනවා....තැඹිලි බානවා...".ඒකෙ පිටිපස්සේ ගහනවා "අත හිත කලා හිතගෙන්" කියල... සිරාවට.

    ජය වේවා!.....

    ReplyDelete
    Replies
    1. කසුට්ටෝ..
      උඹේ අර සුභ පැතුම් කවිය පට්ට බන්.. මේකට රිප්ලයි කරන්නත් කලින් එතන කොමෙන්ටුවක් දැම්මා.. මාත් හිතාගෙන ඉන්නේ මේ වගේ මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති විශය කරුණු ලියනෙක නවත්තල කවියක් දෙකක් ලියාගෙන ඉන්න.. හිකිස්.. ඒත් අර උඹ කිව්ව වගේ 'ක්ෂේත්‍රයේ' ඉන්න උන් කීප දෙනෙක්ගෙන් බලපෑමක් තියෙනව.. ඒ නිසා ලියනව..

      අර චෙරි කඩන බිස්නස් එකත් පට්ට වැඩේ හැබැයි හරියට ප්‍රොමෝට් කරල ගන්නවනම්.. ජය ශ්‍රී!

      Delete
    2. ඒක සිරා සීන් එකක් නිසා දාපු එකක් බන්.හිටපු කටුස්සි මේ බ්ලොග් එක බලනව කියල මම දන්නවා.ඒකයි ඒක බ්ලොග් එකට දැම්මේ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.මම ඒකෙ කමෙන්ට් කරන්නෙත් නෑ.මම එහෙම කලොත් ඒක නිකන් මම පොර වෙන්න කරපු දෙයක් වගේ වෙයි.
      ඕක නවත්තන්න එපා.අපිට වඩා ඕක ප්‍රයෝජනවත් වෙන එවුන් ඉන්නව.මම උඹේ ලිපි ටික අනුරාධපුර DEFI ගේ ඩුවට පෙන්නුවා.ඒකි ඒක තාත්තාට පෙන්නල.ඒක ඒටික ප්‍රින්ට්කරන් ගෙනෙහින්.ඒකයි මම කිවුවේ නොහිතන ගොඩ දෙනෙක් ඕක ප්‍රයෝජනයට ගන්නව.
      ජය වේවා උඹට......

      Delete
  9. තවම පළවෙනි කොටස් දෙක කියවන්න ඉසිඹුවක් ලැබුනෙ නෑ...සති අන්තය වෙද්දි වෙලාව ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. සිරා වෙලාව අරන් නිදහසේ කියවමු.. මේ දවස් වල කියවන්න අහන්න දකින්න රසවත් මාතෘකාත් ඕනෙ තරම් තියෙනවනේ.. කොහෙදි හරි අවශ්‍ය වුනොත් නැවත බලන්න.. ස්තූතියි.. ජය ශ්‍රී!

      Delete
  10. වටිනා ලිපි පෙළක්... දීර්ඝ කමෙන්ට් එකක් දැමිය යුතු උනත් මේ වෙලාවේ ඒකට වෙලාව යොදවන්න අපහසුයි.
    මේ කරුණු සිංහලෙන් ලිවීමේ ලොකු වැදගත් කමක් තියෙනවා. ඒ වගේම මේවා අදාළ වෙන පාර්ශව සඳහා උපුටා ගැනීමට අවසර දීපු එකත් සෑහෙන්න වටිනවා.
    ජය...!

    ReplyDelete
    Replies
    1. ලොකු මලයෝ.. මේ සම්භන්දව ඔබේ උනන්දුව මම දන්නවා.. වෙලාව ලැබුණු විටෙක නිදහසේ කියවා ගැටළුකාරී තැනක් තියෙනවනම් ලියන්න.. ජය ශ්‍රී!

      Delete
  11. අනිච්චේ.... මගේ පොටෝ කීයක් නං ඇල්ලුවාද අපේ සේෆ්ටියෙං.. උං මට ලියුම ගහන කොට මම උංගෙ හෙල්මට් නැති ඒවා.. සයිට් එකේ ඒවා එක්ක ලියුමක් ගහල ගෝලයෙක් අතේ යවනවා.අද වෙනකං දඩ කාලා නෑ.උං සයිට් එක හදලත් නෑ... හපෝයි
    තව ලිවුවොතින් තවත් වටී...

    ReplyDelete
    Replies
    1. උඹට පුතේ හරි හමං සේෆ්ටියෙක් හම්බෙලා නෑ.. හැක් හැක්..

      ලබ්බෝ, ඔය දඩ ගහන වැඩේ මගේ ලිස්ට් එකේ අන්තිමට තියෙන්නේ. ඊට කලින් කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. හම්මේ ලියන්න කොච්චර උවමනාවල්/ ඉල්ලීම් තියෙනවද? කෝ මේ කම්මැලිකම වෙලාවක් දෙන්නෙම නෑනේ. සාදරෙං පිළිගන්නව කලාහිතට. ජය ශ්‍රී!

      Delete