Thursday 20 April 2017

කුණු ගැන රත්තරං වටිනා අත්දැකීමක්.... precious little කුණු experience!

හැම තැනම කුණු ගැන කතා! මේ අසාධාරණයට ලක්වෙලා මියගිය මිනිස්සුන්ගේ මරණ වලට මාත් අනියම් වග උත්තරකරුවෙක් කියල හිතෙනකොට එන වරදකාරී හැඟීම නිසාම මම ඒ ගැන ලියන්න ගියේ නෑ. ඒත් කුණු කතා ඔක්කොම වගේ කියෙව්වා. ඒ අතර තිබුණු කවදත් සුවිශේෂ යමක් ලියන සුජීව කොකාවල ගේ The Null Device බ්ලොග් එකේ ගිය මේ කුණු කතන්දරේ කියවෙනවා කුණු උප සංස්කෘතියක් ගැන. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්න සීත කාමර වල ඉඳගෙන ඉන්න සුදු කරපටි මහත්වරුන්ට නොහැකි බවත් ඒ සඳහා ඒ උපසංස්කෘතිය සහිත භුමියේ පය ගසා ඇවිද යා යුතු බවටත් සුජීව යෝජනා කරනවා. මේ කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ මට අහම්බයෙන් එහෙම තැනකට එබිලා බලන්න ලැබුණු අවස්ථාවක්.. ඇත්තටම මට අදටත් හිතා ගන්න අමාරුයි මේ පිළිවෙල.

ඒ 2003 අවුරුද්දේ අග හෝ 2004 මුල වෙන්නොනි.. මිතොටමුල්ලට නෙවෙයි ඊට කලින් බ්ලුමැන්ඩල් වලට කොළඹ කුණු දාපු කාලේ..  මම ඒ කාලේ වැඩකලේ නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යුධ නෞකාවක ඉංජිනේරු නිළධාරී වශයෙන්.. විශාල යුධ නැව් වලනම් මේ රාජකාරියට වෙනමම Marine Engineer කෙනෙක් අනුයුක්ත කලත් කුඩා නෞකා වලදී එම රාජකාරිය භාර වෙන්නේ නැවේ ඉන්න අමතර නිලධාරියෙකුට.. මගේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමර ශිල්පී (Engine Room Artificer- ERA) නැවියෙකු හා ඉංජිනේරු කාර්මික නැවියන් කීපදෙනෙක් ඇතුලත් වෙනවා.

මේ කියන දවස්වල අපි (නැව) කොළඹ වරාය ට ඇවිත් හිටියේ. ඒ නැවේ වතුරෙන් යට කොටසේ රෙපයාර් සඳහා.. මේ රෙපෙයාර් කටයුතු කරේ Colombo Dockyard (CDL) එකෙන්.. ඒ සඳහා නැව විශේෂයෙන් සකස් කල ආධාරකයක රඳවා වතුරෙන් ඉහලට ඔසවා ගන්නවා. මේකට සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ කාලයක් ගතවෙන නිසා ඒ කාලය තුල නැවේ තියෙන අනෙකුත් අඩුපාඩු සකස් කර ගැනීමත් කාලයෙන් කාලයට එන මේන්ටෙනන්ස් වගේ දේවල් මේ කාලයටම යොදා ගෙන සිදු කිරීමත් සාමාන්‍ය පුරුද්ද.. ඉතින් මේ වඩාත් එක්ක නැවේ ඉංජිනේරු කාර්යමණ්ඩලය ඉතාමත් කාර්ය බහුල වෙනවා. මේ ටික සඳහන් කලේ හඳුන්වා දීමක් වශයෙන්..
A ship dragged on slipway for underwater repairs
මේ docking පීරියඩ් එකේදී නැවේ එන්ජින් හතරේම major routine maintenance එකක් යෙදිලා තිබුන නිසා අපි කරේ dock එකට ගන්න කලින් නැවේ එන්ජින් හතර ගලවල බිමින් තියා ගත්ත එක. එන්ජින් එක්කම shaft, propellers, after steering system, rudders මේවා ඔක්කොම ගලවල අයින් කරනවා. නැව් ගැන දැනීමක් නැති උතුමෝ මේ කියන කෑලි  බෑලි ඒ හැටි තකන්න ඕනි නෑ. ඔයින් මෙයින් කොහොම හරි නැවෙන් බාගයක් විතර දැන් CDL ජැටිය උඩ.. ඉංජිනේරු අංශයේ නැවියන් හෝ ගාල වැඩ.. ඔය අතරේදී අපේ ERA ට ඕනි වෙලා තියෙනවා බොහොම වටිනා සහ හොයා ගන්න අමාරුම ඒ වගේම නැවත සවි කිරීමේදී අත්‍යවශ්‍යම වෙන පිත්තල බෙයාරින් (Bearings) 4ක් වැඩි පරිස්සමට අයින් කරන්න. මේවා එන්ජින් එකයි ෂාෆ්ට් එකයි සම්භන්ද වෙන තැනට එන බෙයාරින් වගයක්. 1970 දශකයේ චීනයේ පාවිච්චි කරපු නැව් වෙච්චි අපේ ඒ යුධ නෞකාවකට spare parts හොයන්න සමහරවිට චීනෙත් නෑ කියල දන්නා නිසාම මිනිහා මේ බෙයාරින් 4 වෙනම ඔයිල් භාජනේක දාල පරිස්සමට අරන් තියල..
A kind of brass bearings (Ball Bearings)
අන්තිමට නැව undock කරන්නත් කිට්ටුව තමයි මිනිහට බෙයාරින් හතර මතක් වෙලා තියෙන්නේ.. බැලින්නම් බෙයාරින් හතර තියා බෙයාරින් දාපු ඔයිල් භාජනේවත් හොයා ගන්න නෑ. දෙලෝ රත්වෙලා ආවා මෑන් මගේ ලඟට.. එක පාරට මටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියල.. කෝකටත් ගත්ත CO (Commanding Officer හෙවත් අණදෙන නිලධාරියා)  ට කෝල් එකක්. අරං කියුව විස්තරේ.. CO ත් අම්බානට පැනික් උනා.. එකක් මේක ලංකාවේ ගන්න නෑ.. ඒ මැටිරියල් එක සහ ඩිසයින් එක නැතුව ලේත් මැෂින් එකකින් කප්පව ගන්නවත් බෑ. ඕඩර් කරලා චීනෙන් ගෙන්නන්න ගියොත් මාස ගානක් යන්න පුළුවන්. සමහරවිට චීනෙත් නැති වෙන්නත් පුළුවන්. එතකන් නැව Operational කරන්න බෑ. එන්ජින් ටික හයි කරන්නේ නැතුව නැව undock කරන්න බෑ. එක දවසක් CDL එකේ වැඩිපුර තියාගන්න උනොත් ලක්ෂ කියකින් බිල නගීද කියන්නත් බෑ. ඔක්කොටම හපන් මේක Area Commander ට සහ Navy Commander ට කියන එක.. ප්‍රශ්ණ කෝටියයි. එදා දවසෙම අපි තුන්දෙනත් බැහැල නැවේ මුළු crew එකම දාල CDL එකේ අහුමුළු සේරම ඇවිස්සුව... ම්හු.. බඩු නෑ.

ඉහ අත බදාගෙන මමත් CO සර්ත් අපේ ERA හෙවත් අස්සයා මැරිච්චි ජොකියාත් CDL ජැටිය උඩට වෙලා කල්පනා කරනවා.. කොහෙන් හරි ආපු අයිඩියාවකට අපි ගිහින් CDL එකේ security එකෙන් ඇහුව කවුද මෙහෙ කුණු අයින් කරන්නේ කියල.. බැලින්නම් එක එක ජාතියේ කුණු අයින් කරන්න එක එක කන්ට්‍රැක්ටර් ලා ඉන්නේ. උන් අතරින් oil waste අයින් කරන කන්ට්‍රැක්ටර් ගේ නම්බර් එක ඉල්ලා ගත්ත.. ගත්ත ඌට කෝල් එකක්.. මමමයි කතා කරේ. "මම නේවි එකේ කොළඹ හාබර් එකේ කෑම්ප් එකෙන් ලෙෆ්ටිනන් අහවලා" කියුවම ඌ ටිකක් සාවධානව ඇහුන්කන් දුන්න.. ඌට මුළු විස්තරේම කියල අන්තිමට මට ඇඬේන්නත් වගේ කිට්ටු වෙනකං ඉඳල ඌ කියපි "මහත්තය අපි කුණු ගෙනිච්චට ඒවා අපිට අයිති නෑ. අපි ට්‍රාන්ස්පෝර්ට් එක විතරයි කරන්නේ.. ඒවා අහවල් තැනට ගෙනිහින් අහවලාට බාර දෙනවා" කියල.. ආයෙත්  කනිපින්දන් ගහල අමාරුවෙන් අහවලා ගේ නොම්මරේ ඉල්ලගෙන ඌට කතා කරලා මුල ඉඳන් මගේ දුක් ගැනවිල්ල කියුව. ඒ වෙනකොට මට විතරක් නෙවෙයි CO ටත් ඇඬේන්න වගේ.. මුළු විස්තරයම අහල මිනිහත් කියපි "මහත්තය අපි මෙතන චෙක් කරලා බා ගන්නවා විතරයි.. කුණු තෝරන්න එන්නේ අහවලාගේ කට්ටිය.." කියල..


A busy garbage site- not in Sri Lanka
 ඔහොම අහවල්ලු තුන් හතර දෙනෙකුට කතා කරලා අන්තිමේ ඒ වෙනකොට කොළඹ කුණු කන්දේ නොනිළ අයිතිකාරයා හෙවත් කුණු ගෝඩ් ෆාදර් ව කන්ටැක් කර ගන්න අපිට පුළුවන් උනා. කන්ටැක් කියුවට ඇත්තටම ඇපොයින්ට්මන්ට් එකක් තමයි දුන්නේ පහුවෙනිදට.. හැබැයි නේවි නොවුනානම් සහ ඒ වෙනකොට කොළඹ වාරයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නේවි එකට පවරලා නොතිබුනා නම් ලොවෙත් මේ සොයා ගැනීම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි පහුවෙනිදා උදේ හරියටම දහය වෙනකොට නාල කරලා අලුත් යුනිෆෝම් එහෙම ඇඳලා මාත් CO ත් අපේ ERA ත් තුන්දෙනා CO ගේ නාහ නිල රථයෙන් බ්ලුමැන්ඩල් ගියේ 'කුණු ලොකු බොස්' හම්බවෙන්න. 

පොරගේ 'සෙකට්‍රි' කියපු පාරවල් තුන හතරකින් හැරී හැරී ගියාම අපිට පලවෙනි මාර්ග බාදකේ වැටුන.. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ CO නිසාද කොහෙද බටු ඇට දෙකක් විතර උස කොලු ගැටයෙක් ඇවිත් මගෙන් ඇහුව 'බොස් මේ කොයෙද?" කියල.. ලොකු අයියගේ නම කියපු ගමන් එතෙන හිටපු වෙන එකෙක් අතුරුදන් වෙලා තව හන්දියකින් මතුඋනා.. බටු ඇට දෙකය මට ඌව පෙන්නලා 'අතනින් යන්න මාතියා' කියුවම CO වාහනේ ඉස්සරහට ගත්ත.. එතනට යනකොට අරූ ආයෙම අතුරුදහන්.. වෙන එකෙක් ඇවිත් වාහනේ නැවැත්තුව.. ඌ මොකුත් අහන්නත් කලින් අපේ මග පෙන්නන්න ඊළඟ හන්දියෙන් මතුවෙලා අත වැනුවා.. මම ඔලුවෙන් මිනිහව පෙන්නුවා අලුත් මාර්ග බාදකයාට.. එතකොට ඌ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යන්න දුන්න. ඊළඟ හන්දියෙන් එහාට වාහනේ යන්න බෑ. තව දෙපොලකින් විතර හැරිලා ගියාම පාර ඉවර උනා. ඒ පාර වටේම එකම වහලක් වගේ.. හරියට ගෙයක් ඇතුලෙන් පාර ඉවර උනා වගේ. තැන් තැන් වල පොඩි යකඩ ගේට්ටු තුන හතරක් සහ එල්ලෙන මල් වගේ වැල් තිබ්බ පෝච්චි ටිකක් ඇරෙන්න මොකුත් එලියට පේන්න නෑ. එතන තිබ්බ එක ගේට්ටුවකින් අපිව ඇතුලට දාල අර හොල්මන් මග පෙන්වන්නා ආයෙම අතුරුදහන් උනා.

එතන ඇතුලේ කොල්ලෝ සහ කොලු වයස ඉක්මවල ගිය තලත්තැනි තුන් හතර දෙනෙක්ම හිටිය. උන් ඔක්කොම හොඳට ඇඳලා කරලා හිටියා.. ඒත් කවුරුවත් අපිත් එක්ක විස්තර කතා කරේවත් මොකුත් කියුවේවත් නෑ. විනාඩි කීපයක් මෙහෙම ඉඳල මම එකෙක්ගෙන් 'ලොකු අයිය' ගැන ඇහුව.. 'ටිකක් ඉන්න දැන් එන්න කියයි' කියල ඒ ගමන්ම වගේ ඔයාල ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න කියුවම කොල්ලෙක් අපිට ඉස්සර උනා. අපි ඌ පස්සෙන් වැටුන. ගේ ඇතුලේත් වට දෙක තුනක් ගිහින් ලස්සනට කාපට් කරලා හදපු ලොකු විසිත්ත කාමරේක සෝෆා එකක් පෙන්නුවා අපිට වාඩි වෙන්න. ඒ පෙන්නලා ඌ ගියා.

අපි බලාපොරොත්තු උනේ හෙන ගාම්භීර ගොරෝසු කටහඬක් තියෙන දැල් බැනියමක් ඇඳලා පච්ච කොටපු ඩයල් එකක්.. ඒත් අපි ඉස්සරහට ආවේ අවුරුදු 35ක විතර සාමාන්‍ය පෙනුමැති කොල්ලෙක්.. දුක් මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි ව්‍යාපාරිකයෙක්ගේ වගේ පෙනුමක් තමයි මෑන් ගේ තිබ්බේ.. අපේ ඉස්සරහින්ම ඇවිත් වාඩි වෙලා "මොකක්ද සර් කේස් එක?" කියල ඇහුවේ බොහොම යටහත් පහත්ව වගේ.. ඇත්තටම පොර මූ ද නැත්නම් නියම ඩයල් එක ආයේ තව ඇතුළෙද හිතා ගන්න බැරි උනත් අපේ CO මිනිහට සම්පුර්ණ විස්තරේ කියුව..
"බය වෙන්න එපා.. ඔය කියන විදියේ අයිටම් එකක් පහුගිය ටිකේ මෙහෙට ආවනම් අපිට හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඉන්නකෝ මම නියම මෑන් ව ගෙන්නන්න" කියල කියුවම තමයි අපි කතාකරල තියෙන්නේ නියම 'අයියට' කියල මට කන්ෆර්ම් උනේ.

මිනිහා ගෝලයෙකුට කතාකරන්න හිතනකොට ගෝලය එතන.. "... මහත්තයට එන්න කියපං.. මේ සර් ලට බොන්න මොනවහරි ගෙනෙන්" කියනකොටම අපේ CO අත උස්සල "බොන්න නම් මොකුත් ඕනේ නෑ. අපේ වැඩේ උනානම් ඇති මල්ලි" කියුවත් බොසා වත් ගෝලයා වත් ඒක කණකට ගත්තේ නෑ.

විනාඩියක් යනකොට '..... මහත්තය' ආව.. අර ගේ ඉස්සරහ හිටපු එකෙක්..

"... ...ජීය ඉන්නවනං එන්න කියන්න' බොස් සාවධානව ඕඩර් එක දුන්න.. විනාඩි බාගයක් යනකොට '... ...ජියා' එතන.

'මහත්තය කියන්නකෝ මූට මොකක්ද අයිටම් එක කියල.. ' කියපු ගමන් අපේ ERA පැහැදිලි විස්තරයක් සැපයුවා.. විස්තරේ බාගයක් කියනකොට '... ..ජීය' ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්ත.. ඉවර කරන්න උනේ නෑ.. "ඒක තියෙනවා මට මතකයි" කියල '... ...ජියා' උත්තර දුන්න.. අන්න ඒ වෙලාවේ මටත් CO ටත් ERA ටත් දැනුනු සතුට කියන්න වචන නෑ පිංවතුනි..

"ආ.. ඒක ගෙනත් මේ මහත්තුරුන්ට දීපං.. අරුන් නැවේ තියෙන ඒවත් ඔහොම ගලවන් එනවද දන්නේ නෑ.." කියල ලොක්ක කියනකොටත් '... ...ජියා' ගිහිං ඉවරයි. ඒ එක්කම කේක්, බිස්කට් සහ කුල් බීම සංග්‍රහයක් අපේ ඉස්සරහ.. සතුටට මොකුත් කන්න බැරි උනත් අපි තුන්දෙනාම කුල් ඩ්‍රින්ක් එක අතට ගත්ත..

මට මේක පුදුම ප්‍රෙහෙලිකාවක්.. ඇත්තම කියුවට නැවේ ඒ වෙනකොටත් මාස ගානක් වැඩ කරලා තිබ්බට වත්, EO උනාටවත් මටවත් ඔය කියන බෙයාරින් 4 මතක තිබ්බේ නෑ. මූ කොහොමද මේක ටක්කෙටම දන්නේ.. අනික ඩොක්යාඩ් එකෙන් අතුරුදහන් වෙච්චි එක කොහොමද මේ මුඩුක්කු පේලියෙන් මතු වෙන්නේ? ඒ වෙනකොට 'මල්ලි' කියල කුණු අයියට කතා කරන ගානට අපේ CO පොරත් එක්ක සෙට් වෙලා වැඩිය කතා නොකරට අපිත් එක්කත් ඒ සුහදතවයම පෙන්නන නිසා මම ඕනේ එකක් කියල මිනිහගෙන් ඒ ගැන ඇහුව.. "කොහොමද ඒක කුණුත් එක්ක ඇවිත් මෙතනට එන්නේ?"

"ඔය කොළඹින් එන කුණු කොයිම වෙලාවකවත් නිකන් විසි කරලා දාන්නේ නෑ සර්.. කුණු කියන්නේ සල්ලි උල්පතක්.. එක මිනිහෙකුට එපා වෙලා විසි කරන දේවල් සමහරවිට තව මිනිහෙකුට ඕනිම දේ වෙනවා. කොළඹ විසි කරන කුණු ට්‍රැක්ටර් දහයක් ගත්තොත් නවයක්ම එහෙම තව කෙනෙකුට ඕනි වෙන නැත්නං ආපහු පාවිච්චි කරන්න පුළුවන්, වෙන වැඩක් ගන්න පුළුවන් ඒවා.. විශේෂයෙන්ම හාබර් එකෙන් ලොකු බිල්ඩින් හදන තැන්වලින් ෆැක්ටරි වලින් එහෙම ගේන කුණු අපි කවදාවත් නිකං විසි කරන්නේ නෑ. මේ ගෙවල් පේලි ඔක්කොගෙම ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මේ කුණු තෝරන එක තමයි.. දවසට දාහක් හමාරක් මහන්සියක් නැතුව හොයනවා උන්.. යකඩ, අලුමියම්, පිත්තල, පොලිතින් ප්ලාස්ටික්, පත්තර විදුරු ටින් මේ ඔක්කොම ජාති වෙන වෙනම කිරල උන්ට සල්ලි දෙනවා.. ඒවගෙන් සමහර ජාති යකඩ, ප්ලාස්ටික් පොලිතින් පත්තර එහෙම කෙලින්ම අපේ ලොරිවල රි සයිකල් කරන තැන්වලට යවනවා. සමහරු ඇවිත් අරන් යනවා.. තව කොටසක් පුච්චන්න පුත්තලමේ සිමෙන්ති පැක්ටරියට යවනවා.. තඹ, පිත්තල එහෙම එක පාරට විකුනන්නේ නෑ.. ඒවා ආයෙම තෝරලා උණු කරන්නේ නැතුව විකුනන්න පුළුවන් ඒවා වෙනම එකතු කරනවා.. අනිත්ව තලලා එකතු කරලා තියල තඹ පිත්තල ඉල්ලුම වැඩි කාලෙට වැඩි මිලට විකුනනවා.. ඔය '... ...ජීය' තමයි කාලෙක ඉඳල ඒවා එකතු කරන්නේ.. මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි..  ඔය ෆැක්ටරි වලින් එහෙම ගොඩක් වෙලාවට දන්නා එවුන් ඔය කෑලි හොයාගෙන එනවා. තව නාඩාර් ල එනවා ඇවිත් මිනිස්සු හොයන ජාතියේ කෑලි සල්ලි වලට අරං යනවා.. සර්ලා නේවි නොවුනනන් අද '... ...ජියා' ඕක දෙන්නේ ලක්ස ගානක් ඇදලා.."
Kids and teenages on Garbage Dump- fighting for daily bread
කුණු ගැන රත්තරන් කතාවක් ඒ විදියට අහන්න ලැබුනේ එදා කුණු සක්විතිගේම කටහඬින්.. මේ කතාව සුදු පිටුවල කළු අකුරෙන් කීප වතාවක් කියවල තිබ්බට එතනට යනකං ඒක එහෙමය කියල නිකමටවත් හිතුනේ නෑ.. මගේ කුතුහලේ තවත් සැරයි.. ඒ වගේම 'ලොකු අයිය' දැන් තවත් හිතවත් නිසා මම ආයෙම මුට්ටියක් දැම්ම.. "මට ආසයි ඔය කුණු තෝරන විදිය බලන්න"

"හඃ. හඃ.. හඃ.. මහත්තයල නේවි එකේ නිසා තමයි මෙච්චරවත් දුරක් මේකේ එන්න උනේ.. නැත්නම් '...... හංදියෙන් මෙහාට එන්න වෙන්නේ නෑ.. සෙට් එකත් ගලෝල කුණු වලට වෙන් කරනවා මේකේ උන්.. මේක වෙනම ලෝකයක් සර්.. මේ කුණු අපිට ගඳ නෑ.. කුණු තමයි අපේ උන්ගේ ජිවිතේ.. කුණු ගොඩවල්වල ඉන්න ඌරු මීයෝ තමයි අපේ හුරතල්ලු.. හැබැයි අපි මේ කුණු ලෝකෙන් එහාට ගියාම කොන් වෙනවා.. ඒක නිසා අපේ උන් මෙතනින් එහා ලෝකේ දිහා බලන්නේ තරහෙන්.. කුණු තෝරන පීල්ඩ් එකේ නම් සර්ලා යන්න එපා ඔය යුනිපෝමුත් ඇඳගෙන.. ඒක අමු අපායක්.." එහෙම කියනකොට '... ...ජීය' ආව අපේ බෙයාරින් හතරත් අරගෙන.. ෂාහ්.. අලුතෙන් ගත්ත වගේ සුපිරියට සුද්ද කරල දිලිසි දිලිසි තියෙනවා.. පුංචි පිත්තල කම්භී කෑල්ලකින්ම කොක්කක් වගේ හදල එකට අමුණලා.. ERA ගේ මූනත් ඒ එක්කම දිලිසෙනවා..
"මල්ලි ලොකු උදව්වක් මේක.. කියලවත් කර ගන්න බැරි.. අපි මාර අප්සෙට් එකේ හිටියේ.. ලක්ෂ ගානක් නම් දෙන්න නෑ.. මට පුළුවන් ඔයාගේ මේකට මහන්සියයි වියදමයි කියනවනම් සාධාරණ ගානක් දෙන්න" බැලින්නම් CO එනකොට cash imprest එකෙන්ද කොහෙද දහ දාහකුත් අරං ඇවිත්..
"පිස්සුද සර් සල්ලි ගන්න.. සල්ලි නෙවෙයි ඕනි උදව්වක් ඕනි වෙලාවක කියන්න.. ආ.. '... ...ජියා' මෙහෙ වරෙන්.. මේ සර්ලට ඕනෙලු උඹේ පිත්තල කඩේ බලන්න.. හඃ..හඃ,. යනිම්ගමන් එතන පොඩ්ඩක් පෙන්නපන්.. යකඩ ඉස්ටෝරුවෙන් එහාට යන්න එපා පීල්ඩ් එක පැත්තට.. කවුරුවත් දකින්න ඕනෙත් නෑ. වාහනේ එලියට යනකම් පොඩ්ඩක් පස්සෙන් හිටපං" ලොකු අයිය සමුගැනීමේ අවසරය දුන්න..

එනින් ගමන '... ...ජීය' අපි තුන්දෙනවා උගේ පිත්තල/ තඹ ඉස්ටෝරුවට එක්ක ගියා. ඒත් අපත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. අඩි විස්සේ හතළිහේ වගේ කාමරයක් පුරෝලා එක එක ජාතියේ තඹ පිත්තල හා වෙනත් (යකඩ නොවන) ලෝහ වල එක එක විදියේ කෑලි ලස්සනට පිළිවෙලට එල්ලලා ගැට ගහල වැල් වැල් වගේ එල්ලෙනවා.. පිත්තල screw ඇන, පිත්තල කම්බි ඇන එහෙම එක එක සයිස් වලින් බාල්දි බැරල් ගණන් පුරෝලා.. තඹ එක පැත්තක.. සාමාන්‍ය ප්‍රමාණයේ පිත්තල පහන්, ඉලත්තට්ටු, අලියා පාත්තර පවා තියෙනවා.. කුණු ගොඩවල් වලින් ඇහින්දපුව  කියල කියන්නවත් බෑ.. ඔක්කොම ලස්සනට සෝදලා සුද්ද කරලා.. එතන තිබ්බ පිත්තල වල බර අනුව වටිනාකම විතරක් ඒ කාලේ හැටියට රුපියක් කෝටියක් වත් වෙන්න ඇති. වැඩි විස්තරයක් දැන ගන්න '... ...ජියා' කතා කරන්නෙත් නැති නිසා බෙයාරින් හතරත් පරිස්සමෙන් අරං අපි වාහනේට ගොඩ වෙලා එන්න ආව.. '..... හන්දියෙන්' මහපාරට දානකොටම එච්චර වෙලා අපි දිහා බලං හිටපු '... ...ජියා' අතුරුදහන් උනා..

මගේ කුණු කතාව මෙතකින් අවසානයි. කියවූ ඔබ සැමට ස්තුතියි! ඒත් ලංකාවේ කුණු කතාව කවදා ඉවරවෙයිද කියල හිතෙනකොට .. හ්ම්ම්ම්...

68 comments:

  1. මේ කියලා තියෙන කතාව ඇත්ත. ඒත් ඔය කියනා ලොක්කා දැන් නැහැ. මැගසින් පාරේ ඕල්කට් වෙඩි තියලා මැරුවා. දැන් මේක රන් කරන්නේ මාලිගාවත්තේ රජීව්. රජීව් මාත් එක්ක කේරී කොලේජ් එකේ හිටියේ. දැක්කම කියන්න බැහැ ඌද ඒ වගේ බිස්නස් එකක් රන් කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තතුදත් ඇනෝ.. මමනං එදායින් ප්ස්සේ මොනව උනාද දන්නේ නෑ. දැන් ගොඩක් පොඩි කොල්ලෝ තමයි චන්ඩි.. ඇත්තටම උනුත් නෙවෙයි උන්ගෙ ඉනේ හැංගිලා ඉන්න කටපුංචෝ තමයි..

      Delete
    2. ඔය චන්ඩි 35/40 වෙනකොට චකබ්ලාස් වෙනවා තව එකෙකුගේ අතින්

      Delete
    3. ඒක වෙන්නැති දැන් ඉස්සර වගේ වයසක තලත්තෑනි චණ්ඩි නැත්තේ..

      Delete
    4. මහවත්තේ ලක්ෂ්මන් තවම ඉන්නවා පොර ඔය කියනා ලොක්කාගේ දකුණු අතට ටිකක් පහලින් හිටපු එකකේ

      Delete
    5. නං ගං නං දන්නේ නෑ බං.. එතන හෙන සෙට් එකක් හිටි බව විතරයි දන්නේ..

      Delete
  2. කුණු කථා කියයි හැම තැන අඩුවැඩිය
    කුණුවෙන් මිදිය යුතුවෙයි අපි කඩිමුඩිය
    කුණු ගොඩ අස්සෙ ඇති සෙල්ලම් බොහොවැඩිය
    කුණු කථාව කියු කමියට අත්පුඩිය.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කුණු ගැන ලියූ මේ කෙටි සටහනට වසා..
      උණු උණු කවි ගඟුල දියකර නැතුව දොසා..
      වැනු ඒ වැනුම මා වෙත දී අමිල තොසා..
      ගනු මේ මල් කළඹ එය ඇත ඔබ නමට ගසා..

      Delete
  3. මේක මාර කුණු කතාවක්නෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔය කුණු සක්විති කෙනෙක් මීතොටමුල්ලෙ ඉන්න නැතුව ඇති නේද?

      Delete
    2. ඒකෙත් තවම ඉන්නව.

      Delete
    3. මාර-අන්තික කුනු එක්ස්පීරියන්ස් එකක් තමයි.. කම්මල කියනවා වගේ නැති වෙන්න බෑ.. එක්කෙනෙකුට වඩා හිටියොත් මිසක්..

      Delete
  4. පට්ට කතාව ...
    ඔය බිස්නස් එක එසේ මෙසේ එකක් නෙමේ නේද ..
    මිනීමැරුම්ම කීයක් උනාද ..??
    මං හිතන්නෙ අපේ කම්මලයත් හොඳට අඳුනනව ඔය අයියව ...

    ReplyDelete
    Replies
    1. මගෙන් තමයි පිත්තල කෑලි ටික ඉල්ලගත්තෙ, අපේ බොසා කිවුව හින්ද නිකං දුන්න මිසක් ..ආ ඒකට හරියන්න මම කාරෙකේ තිබ්බ පිත්තල තරු ටිකක් ගලෝගත්ත.
      ඔය අයිය කමියලගෙ නැව ගෙනියන්න , පිත්තල හොයල දුන්න වගේ , මගෙ තේ ටික පරිස්සම් කරගන්නත් උදවු කලා

      Delete
    2. හුකා.. එතකොට මේකද '... ...ජියා' දැන් පොඩ්ඩක් මහත්වෙලා උනාට හපුටු මූණ නං ඒ වගේම තමයි මතක විදියට .. හැක් ..

      කම්මලයෝ.. ඒ කතාවත් ලියලා එවපංකෝ මේකටම අමුණන්න..

      Delete
    3. ඔතන දින වකවානු ඔක්කොම චරිත එක්ක විස්තරේ දෙන්න තිබ්බ ගෝලය මේ දවස් ටිකේ නිවාඩුවකට වැලිකඩ ගිහින් ඉන්නෙ, ඉස්සල්ලා කමෙන්ට් එක ටයිප් කරද්දිත් ඌ කෝල් කරා විස්තර ටික ගන්න වෙලාව මදි.

      Delete
    4. කම්මලයට නිකමට උඩ පනින්න කියපන්. ඕකව ටිලිං ටිලිං ගානවා. කම්මලේ ගෘහස්ත ප්‍රචන්ඩත්වෙට අහුවුනහම අඩුවෙන කෑලි හොයා ගන්නේ ඔය කුණු වලෙන්.දැන් ඕකාගේ බරෙන් 1/3ම පිත්තල, තඹ කෑලි

      Delete
  5. කුණු සල්ලි කරන විදිහ බදුල්ලෙ නගර සබාවෙ කුණු ටැට්ටරේ කොල්ලො ටික දන්නව. උං ලඟ තියෙන අහක යන යකඩ ගොඩවල් පාරිස් අයිය කිලෝ ගානට ගන්නව. සමහර දවස්වලට මාත් එතනිං ට්‍රාන්ස්පෝමර් එහෙම ගේනව.

    කොයි කුණු ගොඩත් හරියාකාරව දුන්නොත් හුඟක් විට ප්‍රතිචක්‍රී කරණය කරන්න ඇහැකි. ඒ වුනාට අපේ එවුං කුණු තවත් කුණු කරනවනෙ. ඉඳුල් ටිකයි, කාඩ්බෝඩ් ටිකයි, ඉලෙක්ට්‍රොනික් කෑලියි වීදුරුයි එකට දාල කොත්තුවක් කරනවනෙ. එහෙම නැතුව හොඳට වෙන්කරල යහපත් විදිහට බැහැර කරනවනං හරි.

    මේ කතාව ප්‍රසිද්ධ උනොත් මිනිස්සු කුණු විසි නොකර ගෙදරම තියා ගනියි නේද?

    ReplyDelete
    Replies
    1. මේ පැතිවලනං නගර සභාවේ ටැට්ටරේ ඩැයිබර් ට ගානක් දෙනවා රුපියල් තුන්සීයක් ද කොහෙද කුණු ලෝඩ් එක උන් කියන තැන් ඔල බාල යනවට.. ටැට්ටර් මල්ලිලාට ඕනෙ විදියට කරන්න බෑ. අපේ උන් ඔහොම හිතල ගෙදර කුනු තියාගත්තොත් දවස් දෙක තුනකින් මුලු ටවුමම ගඳ ගහන්න ගන්නවා.. මොකද පෙරේත කමට තියා ගත්තට තෝරා බේරලා ඉවරයක් කරන්න කම්මැලි නේ..

      Delete
  6. ඊලඟ පාර නෙලුම් යායට ලෑලි කෑලි නැතිව පිත්තල කෑලි ගන්න තැනක් සෙට් වුනා එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ඒ ලෑලි කෑල්ලේ පිත්තල කෑල්ලකුත් තියෙනවා ඒවා ගත්තේ මෙතනින් තමා ,ඒ කරලා ඒවාට දීපු ගාන සාක්කුවේ දාගත්තා , දැන් ඒ සල්ලි වලින් නැවක් ගන්න ඉන්නේ කමියා , එතකොට කමියත් නූතන බිබිලේ කෙනෙක් තමා හැක

      Delete
    2. @ සරසතුමා.. ඒක හොඳ අදහස හැබෑට!

      ඉවාන් ඕක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි මෙහෙම.. අද්‍යතන බිබිලේ (කිට්ටුව), නූතන ගාල්ලේ (කිට්ටුව) කියල .. හැක්

      Delete
  7. මාර ඉල්ලමක්නේ , ඔන්න ගඳ රත්තරං

    ReplyDelete
    Replies
    1. කුණු කියන වචනේ වෙනස් කරල ගඳ කියන්නෙත් නැතුව නිකං 'කටුක සුවඳ රත්තරං' වගේ නමක් දැම්මනං කොහොමද?

      Delete
  8. ඔය පාත් එකම පොඩ්ඩක් පිලිවෙලක් කරල ගත්තනම් ඉවරයිනෙ.. හැබැයි ඒකට අත දන්න නම් ඉතින් ලපයි සිපයි හරියන්නෙ නෑ.කොම්පැණි වෙනම දාල මෙයාලව ඒවගෙ සබා ලට වගේ දැම්ම නම් රවුලයි කැඳයි දෙකම බේරගන්නත් ඇහැක් වෙයි.
    කමියගෙ පස්ට අත්දැකීම... ගස්ලබ්බත් හරි ආසයි ඔය වගේ සීන් කෝන් වලට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය පාත් එක තමයි බං ඔය එක එක විදියට කියන්නේ .. වැඩේ තියෙන්නේ අපි කුණු නොවන දේත් කුණු කරලා තමයි ආයෙ තෝරන්නේ.. කුණු නොවන ඉවතලන ද්‍රව්‍ය කුණු වෙන්න කලින් වෙන්කරල ගත්තනං වැඩේ තවත් ලේසියි.
      තා අත්දැකීම් දෙක තුනක් තියෙනවා පාතාලයොත් එක්ක.. ලියන්න කලින් උන්ගේ අද තත්තේ හොයල ඉන්න ඕනි.. නැත්තං අතෙං අරං තියාගත්ත වගේ වෙනවා.. හැක්

      Delete
  9. කුණු වෙන දේ ඇත, කුණු නොවන දේ ද ඇත!

    ReplyDelete
    Replies
    1. කුණු නොවන දේට කුණු කියා කීම ඛේදවාචකයේ ආරම්භයයි..

      Delete
  10. පස්ට කුණු කතාවක්නේ...
    නිකං අහල පුරුදු කතාවක්ද කියලත් හිතුනා...

    මේක කියෙව්වම හිතුනේ වෙන මක්කවත් නෙමෙයි, රස්සාව අතඇරලා කුණු තෝරන්න ගියානම් ලාබයි වගේ කියන සුට්ටි අදහස තමයි...

    ReplyDelete
    Replies
    1. අහල තියෙන්නත් පුලුවන් ඉතිම් ඔය කාපු බීපු වෙලාවට එකේක දේවල් කතා වෙනානේ..
      මොකද කියන්නේ කුනු කුනු ගගා ඉන්නේ නැතුව දෙමුද රෙසිග්නේශන් අද හෙටම?

      Delete
  11. පිස්සු හැදෙනවනෙ,කුණු එකතුකරන්ඩ දැම්ම යනව.

    ReplyDelete
    Replies
    1. හැදෙන මිනිහෙක් .. ජයවේවා !!

      Delete
  12. හොඳ අත්දැකීමක්.. අර කිව්වත් වගේ මේ වැඩේම ටිකක් පිළිවෙල කරලා ගත්ත නම් හරි නේ.. කුණු ප්‍රශ්නේ හැමෝටම ලාබදායි විදියට විසදන්න පුළුවන් නේ..

    ReplyDelete
    Replies
    1. පිළිවෙළක් උනානං අපිට උනත් රස්සාවක් විදියට කරන හොඳ වැඩක් තමයි ... (දැන් එක්ස්පීරියන්සුත් තියෙනවා නේ.. 😀😁)

      Delete
  13. අපිට හැමදේම කුණු උනාට කුණු වලින් ගොඩ යන මිනිස්සුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කුණු වලින් වැඩි හරිය කුණු නොවන කුණු.. ඒවා නියම ගොඩ යන මාර්ග

      Delete
  14. බ්ලූ මැන්ඩල් කුණු එක එක ඒරියා වලින් ආපු ලොරි වලට වෙනම මිලක් තිබ්බ. තරු හෝටල් වලින් කෑම ගෙනාපු ලොරි වගේම ගෙවල් වලින් ගෙනාපු කුණු ගෙනාපු ලොරි වල කුණු තෝරන්න බාල මහළු ගැහැණු පිරිමි , කුඩ්ඩො වෙන්ම කණ්ඩායම් බෙදල හිටිය.
    බ්ලූ මැන්ඩල් කුණු කන්ද තිබ්බ ඉඩම අයිති සමාගමකට සජිත් ප්‍රේමදාසත් ඒකෙ සම අයිතිකාරයෙක් කියල කතාවක් තිබ්බ. ඒ සමාගමෙන් ඔය ප්‍රදේශයේ හිටපු පාතාල නායකයට මාස් පතා ලක්ෂ විස්සක් ගෙව්ව( ලු ). ඒ කුණු දැමීමට එරෙහි වෙන ප්‍රදේශවාසීන්ගේ විරෝධය නවතා දෙන පොරොන්දුවට.
    කුණු කන්ද පාමුල පදිංචි කුණු තෝරන වැඩේ පූර්ණකාලීනව කරමින් පාට්ටයිම් විදිහට අහල පහල ෆැක්ටරි වල වැසිකිලි හෝදන මනුස්සයෙක් අපේ තැනකටත් ආව ඌ ගදට වගේම ජරාවටත් අනුවර්තනය වෙලා හිටියෙ ( ඌ ගැන කතාවක් දවසක කියන්නම් , මම දැක්ක සුපිරි චරිතයක් ). ඔය කුණු කන්ද පාමුල ජීවත්වෙන මිනිස්සු ගැන දැනගන්න මිනිහ නියන සාම්පලයක්.
    ඔය අවට අමුතු ලෝකයක් අවුරුදු 10 විතර බ්ලූ මැන්ඩල් , මහවත්‍ත අවට ජීවත්වෙච්ච කාලෙ ලබා ගත්ත අත්දැකීම් කියල නිම කරන්ඩ බෑ.
    වරායෙන් එන කන්ටේනර් වලින් බඩු අදින තැන්. කස්ටම් යාඩ් එකෙන් බඩු පන්නල විකුනන උන් , තේ ලොරි වලින් තේ උස්සන තැන් , වාහන වලින් තෙල් ඇදල විකුණන තැන්, කුඩු තොගේට විකුනන තැන් ,එක්ස්පයර් දේ සුද්ද කරන තැන්, ඔය ඒරියා එක ලංකාවෙ නීතියට පිටින් යන වෙනම ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. අපේ තිබ්බ නීතුයානුකූල පසුබිම නිසා ඕවගේ ඉන් ඩෙප්ත් අපිට දැන ගන්න හැටියක් තිබ්බෙ නෑ.. කවුරුත් අපිත් එක්ක ඕවා ලේසියෙන් කියන්න එන්නේ නෑනේ. අනික මම කොලඹ හිටියෙත් ඔය වගේ සූපින් ට්‍රිප් ආපු වෙලාවල විතරයි. උඹ කියන සමාජේ යන්තං හරි අත්දකින්න ලැබුනේ නේවි එකෙන් අයින්වෙලා හ්‍යුන්ඩායි එකේ හාබර් ප්‍රොජෙක්ට් එකට ගියායින් පස්සේ.. හොරකම වංචාව හා ශක්තිවන්තකම ජයගන්න කෲර සමාජයක් ඒක.. බැහැලම බලන්න ඕනි ඒත් ඇඟේ ගාවගන්නෙවත් නැතුව ඉන්න පරිස්සං වෙන්න ඕනි තැනක්..

      Delete
  15. හප්පේ බෙයාරින් ටික ගිහින් තියෙන දුරක්.. ඔයිල් භාජනේක දාලා වෙනමම තියලා තිබිලත් කුණු වලට ගියා කියන එකනේ පුදුමේ.

    ReplyDelete
    Replies
    1. හැබෑට ඔහේ ඒ දවස්වලත් ඔතන හිටියැයි? :)) දැනං උන්නනං උදව්වක් ගන්න තිබ්බා.. භාජනයක් කියුවට ඔය කට පැත්තකිං කපපු කෑන් කෑල්ලක් වෙන්ටෑ. සතියක් හමාරක් එක තැන තියෙද්දි වේස්ට් ඔයිල් කෑන් එකක් කියල අයින් කරන්න ඇති. ඒ දවස්වලට වඩා දැන්නං ඔතන සෑහෙන පිලිවෙළයි මගේ හිතේ.. නේවි එකට බෝට්ටු හදපු කාලේ වෙනකං නං නිතර ඔතනට ආවා ගියා.. මෑතක නං ආවෙම නෑ.

      Delete
    2. එතකොට අපි ඉස්කෝලේ යනෝ.... හිටිය නම් බෙයාරින් හොයන මෙහෙයුමට සම්බන්ද වෙන්න තිබුනා හි..හි...

      මම නම් කියන්නෙ සම්පූර්ණ වැරැද්ද ඔයාලගෙ. එහෙමත් දාලා තියෙනවද ඔය වගේ දේවල්...

      Delete
    3. මම නං කියන්නේ සම්පූර්ණ වැරැද්ද ඔයාලගේ// හුහ්.. කොම්පැණි කාරයෝ කවදද වැරැද්දක් බාර ගත්තේ.. (මේ කොමෙන්ට් එක ලොක්ක දැක්කනං හෙට ඉඳල තුශානිට ප්‍රමෝශන් එකක් දෙනවා)

      Delete
  16. කැමරා (ෆෝන්) එක අතේ තිබුනෙ නැතෙයි?
    //කම්භී කෑල්ලකින්ම // ඛම්භී ඛෑළ්ළඛිණ්ම වෙන්න ඕනෙ නේද?

    තව මේ වගේ කතා ලියන්නකො බොස්

    ReplyDelete
    Replies
    1. ෆෝන් වලට කැමරා එන්න ගත්ත මුල් දවස් වගේ නේ.. මගේ ලඟත් තිබ්බ පොඩි නොකියා ෆෝන් එකක් කැමරාවක් එක්ක.. මතක නෑ හරියට එදා තිබ්බද නැද්ද කියල.. කොහොමත් මේ 'ගවේශනසීලී මාද්දියවේදියෙක්' වෙන්න කලිංනේ.. තව පාතාල අත්දැකීම් දෙක තුනක් තියෙනව ලියන්න කලින් පොඩ්ඩක් හොයල ඉන්න ඕනි උන්ගේ දැන් වැඩ ගැන.. නැත්තං ඉල්ලං කන්න වෙනෝ..

      Delete
    2. Pra,

      ඛමියඨ ථියනව ඔය ළෙඪේ ළාවඨ,

      ඒඛඨ ඛියණ්ණෙ "Excessive mahaprana usage syndrome" ඛියළ.

      සිංහලෙං කිව්වොත් "ප්‍රමාණාත්‍රිකාන්ත මහාප්‍රාණ භාවිත සහලක්ෂ්‍යය"

      Delete
    3. මට හොයාගන්න බැරුව හිටපු ලෙඩේ නම.. හික්. අම්මප මට ඔය මහප්පරාන දාංන ඕන නොදාංන ඕනි තැන් එහෙමට නිච්චියක් නෑනේ.. රවියනං ඕකේ. ප්‍රා කවද ඉඳල ද විචාරකතුමා ගේ වැඩ බලන්ඩ ගත්තේ.. හැක්.

      Delete
  17. Kunu kiyanne salli akarayak.

    ReplyDelete
  18. සැඟවුණ ප්‍රතිචක්‍රීකරණය නෙහ් කමී

    ReplyDelete
  19. Replies
    1. ආ නංකී.. ඔයා තාම බොග් කියෝනව නේ.. ඔය පැත්තේ හිටියා නමුණුකුලෙන් ආපු නංකි කෙනෙක් බොග් ලියපු.. දැක්කොත් මතක් කරා කියන්න

      Delete
  20. කුණු කිව්වම මතක් වුනේ ඇත්තටම ඒක අම්බ බිස්නස් එකක්. මෙහේ ඉන්න ජිප්සිල රෝම් ල වගේ අයගේ ජීවන මාර්ගය කුණු. කොටින්ම අපි ගිහින් පාරේ තියෙන එක එක වර්ගයේ කුණු වර්ග කරලා දැම්මට විනාඩි පහලොවෙන් විස්සෙන් එක එක්කෙනා පාස් වෙලා ඒ ඔක්කොම එලියට අදිනවා. ඒ විතරක් නම් කමක් නෑ ඒ අය මොනා හරි දෙයක් හොයාගන්නවා. මේක ලොකු පොඩි කියලා නෑ මාස දෙකකට කලින් මම ඩබල් බෙඩ් එකක් විසි කලා මහා රෑ දෙකට විතර. (නීතියෙන් තහනම්. ඒක විසි කරන්නම අවශ්‍ය නෑ. ඒත් මට වැඩක් නෑ. තහනම් වුනත් එවෙලේ වෙන කරන්න දෙයක් නැති නිසා දැම්මේ. ) දෙකයි තිහට ගිහින් බලනකොට බෙඩ් එකේ කෑලිවත් නෑ. අනේ මම බයේ හිටියේ මට දඩ ගහයි දැන් මාට්ටු වෙයි කියලා.

    තව මගේ යාළුවෙක් එයාගේ මුළු බාර් ස්ටීල් ෆ්‍රිජස්, බාර් සෙට් අප් අරවා මේවා ඔක්කොම. යකඩම කිලෝ හාර පන්දාහක් එකම ගැලෙව්වා. අඩුම ගානේ ලොකු ලොරි දෙකක බඩු. ‍යාළුවා පට්ට ලෝබයා. අර පාරේ යන රෝම් කෙනෙකුට කතා කරලා කිව්වා මෙහේම බඩු ටිකක් තියෙනවා කියලා විනාඩි තිහක් යන්නැති ලොරි පෝලිමක්. ආයේ මොනවද ලෑලි බෝඩ් දෙකක්ද තුනක්ද කොහෙද පාරේ දාලා ගිහින් තිබුනා. ;)

    තව හොයාගන්න පුළුවන් ලංකාවට ඉතාලියෙන් එන කාගෝ වලින්... වරායේ පැත්තේ ගියා නම් ඉතාලියේ කුණුගොඩවල් තනිකරම ලංකාවේ....

    ReplyDelete
    Replies
    1. හි..හි.. මං අහල තියෙනවා පරණ වාහන පවා සමහර රටවල්වල පාරේ අයිනේ නවත්තලා කවුරුහරි ගෙනියනකම් බලං ඉන්නවා කියල..
      ටුවරිස්ට් වීසා එකක්වත් ගහගෙන ඔය පැත්තේ සවුමක් ඇවිත් යන්න හිතෙනව 'විසි කරන කුණු' මොනවද කියල ඇහුවම..

      Delete
  21. මේ ගැන අහල තිබ්බට විශ්වාස කටයුතුම විස්තරය දැනගත්තේ ඔන්න මේ පොස්ට් එකෙන් තමයි. මෙව්වා කියවල මිනිස්සු කුණු දාන එක නවත්තයිද දන්නේ නැහැ. වැඩිහරියක් මිනිස්සු කැමති නැහැ තමුන් ඉවත දමන දෙකින් හරි වෙන එකෙක් වැඩක් ගන්නවට.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කතාව මචං.. විසි නොකර ගෙවල් අස්සේ තව කොච්චර කුණු තියං ඉන්නවද මිනිස්සු.. කැමති නෑ නිකමටවත් වෙන එකෙක්ගේ ප්‍රයෝජනයට දෙන්න තමන්ට කකොච්චර එපා උනත්..

      Delete
  22. හප්පේ... මේ පෝස්ට් එක ගෙවල්වල ඉන්න ගෑනු මිනිස්සු දැක්කොත් එහෙම ගෙදර කාමරයක් පුරෝල කුණු 'කෑලි' ගොඩගහගනී. හැක්..

    //මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි.// විභාග පාස් වෙන්න උපදෙස් ගන්න වටින මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පිලිවෙළකට අපේ උන්දැට නං ඕක කරන්න බෑ.. උපරිම දවස් දෙකක් කුණු තියාගෙන තුන්වෙනි දවසේ බාජනෙත් එක්ක විසි කරලා දානවා සුවර්.. ඒක නිසා මං නං බය නෑ. කෝකටත් බොලා පරිස්සමෙන් .. හැක්

      Delete
  23. කතාවනම් හොඳයි.. .පොඩි කොස්සක්.. "මිතොටමුල්ලට නෙමෙයි ඊට කලින් බ්ලුමන්ඩ්ල් වලට කුණු දාපු කාලේ" මේක තමයි මේ දවස්වල හදාගෙන යන කතාව. මිතොටමුල්ලේ කුණු ගොඩ 1995ත් තිබුන මට මතකයි. මගේ යාලුවෙක්ගෙ ගෙදරක් තිබුන. එයාල හිටපු අපහසුව, ඔක්කොටම වඩා ගඳ,... කාටද මේ බ්ලූමැන්ඩල් කුණු ටිකෙන් මිතොටමුල්ලේ කුණුකන්ද හැදුනා කියල කියන්න ඕනේ වුනේ?

    ReplyDelete
    Replies
    1. බ්ලූමැන්ඩල් කුණු මීතොටමුල්ලේ දානවා නෙවෙයි නේද? 2008 ට කලිං කොලඹ කුණු මහපරිමාණ ලෙස බැහැර කරේ බ්ලුමැන්ඩල් වලට. ඒත් 2008 එතනට කුණු දැමීම උසාවියෙන් තහනං කරා. ඊට පස්සේ ඉඳල කොලඹ කුණු වැඩිහරියක වගේ දැම්මේ මීතොටමුල්ලේ .. ඒ වෙනකොට එතන පොඩියට කුණු කන්දක් තිබුන නිසා හා තව දාන්න ඉඩ තිබුනු නිසා. හරියටම දැන් කොලඹ කුණු වත්තලට හස් රත්මලාන ට යවනවා වගේ. ඉතිං 2008න් පස්සේ තමයි මීතොටමුල්ල 'කුණු කන්දක් ' උනේ.. මේක කාගේ උවමනාවට කවුරු කරාද කවුරු කියුවද නම් දන්නේ නෑ. ඒත් ඕක තමයි අපි දන්නා සාමාන්‍ය කතාව.. මමත් 2006-08 කාලේ ඔය කිට්ටුව IDH හරියේ හිටිය නිසා ඉස්සර ඉඳලම මීතොටමුල්ලේ කුණු දාපු බව දන්නව..
      ඔබේ විමර්ශනාත්මක කොමෙන්ටුවට ස්තූතියි!

      Delete
  24. හරිම ආසාවෙන් කියවගෙන කියවගෙන ගියා ඉවර වෙනකල්ම. ලිපියනම් ලස්සනයි, කුණු නම් ඉතින් ලස්සනත් නෑ සුවඳත් නෑ. අපිට පුළුවන් නම් අපේ කුණු ටික ප්‍රතිචක්‍රකරණය කරන්න, කොච්චාර හොඳද? අඩු තරමී සුරංග කියන විදියට අපිට පුලුවන්නම් කුණු ටික වර්ගීකරණය කරලා භාර දෙන්න, එකත් වටිනවා. ගෙදර උයන පිහනකොට ඉතිරිවෙන දේ එකතු කරලා කොම්පෝස්ට් පොහොර හදා ගන්නත් පුළුවන්. මම පේරාදෙණියේ නවතිලා හිටපු ගෙදරක උදවිය නම් ඒ වැඩේ කළා. අපිත් කළා, ඊක එච්චර අමරු දෙයක් නෙවෙයි. අපිට ටිකක් මොළේ කල්පනා කරලා බැලුවොත් කරන්න බැරිදෙයක් නෑ. එත් ඉතින් අපේ උදවිය ඒව කරන්න හරි කම්මැලියි.




    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙත්මා නංගි. ඇත්ත.. අපේ ඇටිටියුඩ් එක තමයි වෙනස් වෙන්න ඕනි.. මම තාමත් හිටපු ගමන් මගේ රූම් එකේ ඩස්ට්බින් එක දිහා බලලා මටම ටොක්කක් ඇන ගන්නවා.. මටත් බැරි උනා තාම ඕක හරියට පිලිවෙලට කරන්න පුරුදු වෙන්න. ඉතිං තව කවර කතාද?

      Delete
  25. මොකද බන් අෆ්ට්ර් අප්රෙවල් දාලා
    එක හුස්මට කියෙව්වා
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දවස් හතරකට පස්සේ වැටෙන ඒවාට තමයි ඇපෘවල් දාල තිබ්බේ.. නැත්තං ඒවා මට මිස් වෙනවා බං.. ඕන මගුලක් කියල ඔන්න අයින් කරා..

      Delete
  26. මේ මගුල අයින් කරහන් උබ දුරයි වගේ අපේ කෙමෙන්ට් වලට උබ අප්රෙවල් දෙන්න ගියහම

    ReplyDelete
  27. නියම කුණු කතාවක් නේ කමියා. දැක්කේ නැහැ මේක. ඒ දවස් වල ඔය මාළිගාවත්ත, කොම්පඤඤ වීදිය කොල්ලු පිටිය බමබලපිටිය වගේ එවල තියන ලොකු පොඩි ෆ්ලැට්ස් වල තියනවා තඹ අකුණු සන්නායක. ඕවා කුණු ගෙනියන්න එන අය කපාගෙන ගිහින් විකුනනවා කුණු කන්දට.

    ReplyDelete