Wednesday 4 May 2016

මහා මුහුද මැද ගිලිහුණු රන්වැටක අඳුරු මතක.. War, it ain't nothin' but a heartbreaker

එදා මැයි මාසේ අද වගේම දවසක්.. හරියටම මීට අවුරුදු 15කට කලින්.. බුරුල් කරගෙන තිබුණු ආරක්ෂක බඳ පටිය යලිත් මදක් තදකරගෙන බිම තියලා තිබ්බ හැවර්සැක් එකත් කකුල් දෙක අස්සේ හිරකරගෙන මම ඉදිරියෙන් පෙනෙන නොපෙනෙන කවුළුවෙන් ඔහේ බලාගෙන හිටියා.. ඒ වෙනකොට මා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 30-40 ක් පමණ හා අත්‍යවශ්‍ය බෙහෙත් හා අනෙකුත් ද්‍රව්‍ය පුරවාගත් ගුවන් හමුදාවේ ඇන්ටනොව් යානය වැල්වැටිතුරේ ගුවන් සීමාවට ඇතුළුව තල් රුප්පාවට ඉහලින් පලාලි ගුවන් තොටුපල වෙත ලඟා වෙමින් තිබුනා. කන් අගුලුවැටි කී..ඊ..ඊ ශබ්දයෙන් රිදුම් දෙද්දී මම නහය මිරිකාගෙන කන් දෙකෙන් හා කටින් සිරුරේ ඇතුලත හා පිටත පීඩනය සමාන කර ගැනීමට අලස උත්සාහයක් ගන්නා අතර ගුවන් නියමුවන් විසින් සාර්ථකව යානය ගුවන් පථය මත ගොඩ බස්වා තිබුනා..

මීට හරියටම සති දෙකකට පෙර එනම් අප්‍රේල් 20 දින දහවලේ කලබලෙන් මේ ගුවන් තොටුපලෙන්ම නික්ම කොළඹ යන්නට සිදු නොවුනානම්.. //නාවික හමුදාවට ගුවන් බල ඇණියක් එක් කිරීමේ පළමු පියවර වශයෙන් නාවික නිලධාරීන් 8 දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට කල උත්සාහයේ එක් පියවරක් ලෙස අපිට ගුවන් හමුදා වෛද්‍ය පරීක්ෂණයකට හදිසියේ මුහුණ දීම සඳහා ගුවන් මගින් රත්මලානට පැමිණීමට සිදු වුනා. ඇත්තටම ඒ වනවිටත් 'ලයන් එයාර්' ආයතනය මගින් කරන ලද Aptitude ටෙස්ට් එකක් හා පුර්ණ වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් සමත් වී අපි 8 දෙනෙකු ඉන්දියාවේ අදාල පුහුණුව ලැබීම සඳහා තොරා ගෙන තිබුනත් පසුව වියදම් අඩුකර ගැනීම සඳහා පුහුණුව ගුවන් හමුදාව විසින් ලබා දීමට ගත ප්‍රතිපත්තිමය හදිසි තීරණයක් නිසා අපිට නැවත ගුවන් හමුදාව මගින් පවත්වනු ලැබූ සම්පුර්ණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුනා..// එකකට එකක් වෙනස් සිතුවිලි වලින් මගේ හිත පිරෙද්දී ගුවන් යානයෙන් බිමට පැනගත් මම පෝලිමේ විත් ගුවන් පථයට මදක් ඈතින් නවත්වා තිබු ඩිෆෙන්ඩර් රථයට ගොඩ වුනා. සුළු මොහොතකින් තවත් නිලධාරීන් දෙදෙනෙකු හා ගුවන් තැපැල් මල්ල සමඟ තවත් යම් යම් බෑග් වගයක් රැගත් නැවියන් දෙතුන් දෙනෙකුත් සමඟ දුවිලි පිරුණු පලාලි කන්කසන්තුරය මාර්ගය දිගේ අපි කන්කසන්තුරය නාවික හමුදා කඳවුර වෙත ඒමට පිටත් උනා..

"සර්.. මාර කේස් එක නේද?".. "රජීව් සර්ටයි සොයිසටයි කොහොමද සර්?" "මැරිච්ච කොල්ලොන්ගේ ගෙවල් ඔක්කොටම ගියාද? එපා වෙනවා නේද සර් 'මිසින්' කියල කියන්න ගියාම?" "පයිලට් ල ගන්න වැඩේට මොකද සර් වෙන්නේ? ඇයි ආයෙම මෙඩිකල් තියන්නේ?" "මොකක්ද සර්ගේ අලුත් ඇපොයින්මන්ට් එක?" පලාලි සිට කන්කසන්තුරේට එන ටිකට කනිෂ්ට නිලධාරීන් දෙපළගේ අනේකවිද ප්‍රශ්න වලට මම මොනවාදෝ උත්තර දුන්න.. හැකි සෑම උත්සාහයක්ම අරගෙන සාමාන්‍ය විදියට ඉන්න උත්සහ ගත්තත් ඒක පහසු උනේ නෑ කියල විතරක් මතකයි..

*********************************************************************************
මේ කියන කාලය වනවිට කොටින්ගේ මුහුදු ගමන් ඉතාම උච්ච ස්ථානයකට ඇවිත් තිබුනා. විශේෂයෙන්ම ඔවුන්ගේ ආයුද ගෙන ඒමේ කටයුතු. ඔබ දැන් දන්නා පරිදි ඈත මුහුදේ නවතා තියෙන නැවකින් පුංචි පුංචි යාත්‍රා වලට පටවාගත් ආයුද නාවික හමුදා ඇසට හොරෙන් ගොඩ බිමට රැගෙන ඒම.. මේක නැවත්වීම සඳහා නාවික හමුදාවෙන් දිවයින වටා ආරක්ෂක වළලු තුනක් යොදවා තිබුනා.. ඈතින්ම තියෙන්නේ ලොකු නැව් ටික.. ලොකු කියුවට ලංකාවේ නේවි එකට ඒ හැටි ලොකු නැව් තිබුනේ නෑ.. Offshore Petrol Vessels යනුවෙන් හඳුන්වපු සාමාන්‍ය මට්ටමේ (ටොන් 500- 1000 අතර වගේ) නැව් කීපයක් තමයි තිබුනේ.. ඔය ටික මාරුවෙන් මාරුවට මුහුදේ.. දවස් 10ක් 15ක් ඉඳලා ඇවිත් දවස් 5-6ක් රෙස්ට් කරලා ආයිම යනවා.. ඊට ඇතුලෙන් Fast Gun Boat නැත්නම් කට වහරෙන් ගන් බෝට් කියා හැඳින්වුණු කුඩා යාත්‍රා (ඩෝරා වලට වඩා මදක් විශාල) වලින් ආරක්ෂක වැටක් නිර්මාණය කර තිබුනා.. ගන් බෝට් වල තත්වයත් අතිශය ඛේදනීයයි.. වතුර පරිස්සම් කරගෙන දවස් තුනක් හතරක් මුහුදේ ඉන්න පුළුවන්. හැබැයි ගොඩට එනකොට වේලපු කරවල වගේ තමයි ගොඩක් දෙනා.. මුහුද සැර නැත්නම් (සුළං නැත්නම්) ඉන්න බෑ පිච්චෙනවා.. සුළං සැර උන ගමන් නැව (බෝට්ටුව) පැද්දෙන්න ගන්නවා.. ඒ වෙලාවට තමයි බඩ කටින් එන්නේ අම්ම මෝ සිහි වෙන්න.. මොන යුද්දද ඉතින්..

යුද්දේ වෙනුවෙන් නේවි එකේ කාර්යභාරය සියයට ගණනක් විදියට පෙන්නලා දෙන උදවිය (ඔය විචාරක තුමාල එහෙම.. හැක්) ඉස්සර නැවකින් ගිහින් ගොඩ බහින්නේ පොළොවට වැඳ වැඳ.. ලෝකේ තියෙන අමාරුම රස්සාව මුහුදු රස්සාව කියලා තේරෙන්න මුහුදට ගිහින්ම බලන්න ඕනි.. මගේ මතය නම් නේවි එකේ ඩෝරා හැරුණු විට ඔය කියූ අනිත් නැව් කණ්ඩායම් දෙකම කල කාර්ය භාරය කෙටියෙන්ම විස්තර කරන්න පුළුවන් මෙහෙම.. Punching above weight.. ඔවුන් කලේ තමන්ගේ තරමට වඩා ගොඩාක් එහා ගිය රාජකාරීන්.. ඒක නිසා ප්‍රතිපල හරහා ඔවුන්ගේ කැපවීම මනින එකට මම එකඟ නෑ.

මේ සටහන ලියන්න ගත්තේ මීට අවුරුදු 15 කට කලින් අප්‍රේල් මාසේ 21 වෙනිදාවක මාව නියත මරණයෙන් බේරලා මගේ වෙනත් ගමන් සගයින් පස් දෙනෙකුත් සමඟ මුලතිව් මුහුදේ සැඟවී ගිය මගේ ආදරණිය P 495 ඩෝරා යාත්‍රාව ගැන ලියන්න.. අප්‍රේල් 21 වෙනිදාම ලියන්න හිටියත් විභාග කටයුත්තක් නිසා පහු උනා.. ඊට සති දෙකකට පස්සේ අද තමයි විවේකයක් ලැබුනේ.. 2001 මැයි මාසේ 4 වෙනිදා මම රත්මලානෙන් ගුවන් හමුදා යානයට නැගලා නැවත කන්කසන්තුරයට ගියේ මගේම මළ ගෙදරින් පස්සේ මිනිය වළලලා එතෙක් ජිවත් වුනු ගෙදරට යන ගන්දබ්බයෙක් වගේ.. ඒකයි කතාව එතනින් පටන් ගත්තේ.. ඒ යන්න කලින් සති දෙකක කාලයක් මම ලංකාවේ ප්‍රදේශ 5ක මිනී නැති මළගෙවල් පහකට සහභාගී වුනා.. මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.. ඒක හරිම අමාරු වැඩක්..

*********************************************************************************
ඩෝරා ජිවිතේ හරි වෙනස්.. ඩෝරා එකත් අරන් කන්කසන්තුරේ සති දෙකකට ඔපරේෂන් ඇටෑච්මන්ට් එකකට ගියාම ජිවිතේ ඊටත් වෙනස්..

මීටර් විස්සක් විතර දිග මීටර් 5ක් විතර පළල ඇලුමිනියම් තහඩු වලින් හදපු සැහැල්ලු නමුත් අධිවේගී ඒ වගේම අධික වෙඩි බලයක් සහිත නවීනතම යුධ අවි වලින් සන්නද්ධ අපූරු යාත්‍රාවක් තමයි ඩෝරා එකක් කියන්නේ. ඔය යාත්‍රාවේ ඉඩෙන් භාගයක්ම යන්නේ විශාල එන්ජින් දෙකට සහ ඒ හා සබැඳි අනෙක් යාත්‍රාව හසරවිමේ පද්ධතිය අඩංගු කාමර වලට.. ඒ ඔක්කොම තියෙන්නේ යාත්‍රාවේ පසු පස කොටසට වෙන්න.. ඉස්සරහම තියෙනවා ඇන්කර් එකේ කේබල් එක සහ අනිත් බඩු භාණ්ඩ දාල තියෙන පොඩි ස්ටෝරු කාමරයක්. ඊළඟට ප්‍රධාන අවියේ උණ්ඩ හා සෙසු අවිවල උණ්ඩ ගබඩා කරපු අවි ආයුද ගබඩාව.. ඔය ගබඩාවට හා පසු පස එන්ජින් කාමර වලට අතර මැදි කොටස බොහොම පරිස්සමට ඉඩ පාවිච්චි කරලා හදපු ගෙයක් වගේ.. නිලධාරීන්ට හා නැවියන්ට නිදා ගන්න හදපු bunk ඇඳවල්, නානකමරයක් හා වැසිකිලියක්, පොඩි පැන්ට්‍රියක්, ෆ්‍රිජ් එකක් අවන් එකක්, ටීවී එකක් වගේම කෑම මේසයක් වගේ ගොඩක් දේවල් ඔය පොඩි ඉඩේ හරි ලස්සනට පරිස්සමට ස්ථානාගත කරලා තියෙනවා.. මේ සියල්ල නැව් තට්ටුවට යටින් තියෙන්නේ. ඔපරේෂන් රූම් එක තියෙන්නේ නැව් තට්ටුවට ඉහලින් කොටසේ..

ඩෝරා එකක වේගය හා වෙඩි බලය ඉතා ඉහලයි. ඉස්සරහා නැව් තට්ටුවේ ප්‍රධාන අවිය ස්ථානගත කරලා තියෙනවා.. මෙය බොහෝ විට 23mm හෝ 30mm උණ්ඩ යොදා ගන්නා කම්පියුටරයිස්ඩ් වෙපන් සිස්ටම් එකකින් පාලනය කරන අවියක්.. දිවා හා රාත්‍රී දුර බලන කැමරා හා ගන් කන්ට්‍රෝල් සිස්ටම් එකකින් තමයි ක්‍රියාත්මක කරන්නේ.. වෙපන් එක හා සිස්ටම් එක stabilized.. නැව පැද්දුනාට වෙපන් එකේ aim එක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම target එක lock කරන්න පුළුවන්. එහෙම ලොක් කරාම නැව හැරවෙනකොටත් එක්තරා angle එකක් දක්වා වෙපන් එක target එකට aim වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වෙපන් එක ෆයර් කරන්නේ නැවේ දෙවන අණභාර නිලධාරියා.. ඔහු ඒ සම්භන්දව දක්ෂයෙකු හා පළපුරුදු කෙනෙකු වීම ඉතාම වැදගත්.. ඒ ඇයි කියලා පස්සේ කියන්නම්..

සාමාන්‍යයෙන් නවීනතම යුද ආයුද වලින් සන්නද්ධ ඩෝරා යාත්‍රාවක නිලධාරීන් තුන් දෙනෙක් ඉන්නවා.. අණභාර නිලධාරියා (officer-in-command), දෙවන අණභාර නිලධාරියා හා අමතර නිලධාරියෙකු වශයෙන්.. නායක නැවි තරාතිරමේ හා ඊට පහල නැවියන් 15-18ක් අතර වගේ කණ්ඩායමකුත් මේකේ ඉන්නවා.. එයින් ජෙෂ්ටතමයා හඳුන්වන්නේ කොක්සන් (coxswain) යනුවෙන්.. ඔහු සාමාන්‍යයෙන් යාත්‍රික අංශයේ (සීමන්) නායක නැවි තරාතිරමේ කෙනෙක්.. ඊට අමතරව තවත් යාත්‍රික අංශයේ අවි විශේෂ පුහුණුව ලැබූ නැවියන්, මැරයින් ඉංජිනේරු සහකාර නැවියන්, විදුලි කාර්මික/ ගුවන් විදුලි කාර්මික නැවියෙකු, සංඥා අංශයේ නැවියෙකු වශයෙන් කාර්ය මණ්ඩලයක් මේ පුංචි ඩෝරා යාත්‍රාවක වරකට ගමන් කරනවා..

ඩෝරා යාත්‍රාවක මුහුදේ ඉන්න පුළුවන් කාල සීමාව එහි වතුර හා ඉන්දන රැගෙන යාමේ හැකියාව මත තමයි රඳා පවතින්නේ.. සාමාන්‍යයෙන් ඩෝරා යාත්‍රාවක ඉන්ධන (ඩිසල්) ලීටර් 8000 සිට 14000 ක් පමණ ගෙන යා හැකියි. මෙය යාත්‍රාවේ නිර්මාණය අනුව වෙනස් වනවා.. ඩිසල් ලීටර් 14000ක් යනු ඉතා විශාල ප්‍රමාණයක් යයි හැඟුනත් මේ යාත්‍රාවක ඉන්ධන වැය වීමේ ප්‍රමාණයත් සමඟ සසඳන කල එය එතරම් විශාල නෑ.. සමහර යාත්‍රා වල උපරිම වේගයෙන් පැයක් ධාවනය කිරීමේදී ඉන්ධන ලීටර් 900 ක් පමණ වැය වෙනවා.. එනිසා සාමාන්‍ය තත්ත්ව යටතේදී ඩෝරා එකක යාත්‍රා කාලය සාමාන්‍යයෙන් පැය 12ක් 15ක් අතර තමයි රඳවන්නේ...

ලිපිය දිග වෙන නිසා ඉතුරු ටික දවස් දෙක තුනකින්..

112 comments:

  1. ගනරියො .... ඕන නෑ ඉතුරු ටික...
    අතුරුදහන් වීමක් ගැන කියලහිත රවට්ට ගැනිල්ලත් කෙසෙල් කොට ඒමත් එක්තරා විදියට සාමාන්‍යකරණය වුණ කාලයක් තිබ්බ කියල හිතෙද්දිත් ... අනේ මංද කලණෙ...

    ඉතුරු ටිකත් ලියන්නකො.. කියවන්න බලාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ගනරියෝ.. හුහ්.. අඩෝ මෙඩ්ඩා.. හිටහන් ඉතුරු ටිකත් ලියන්නං හෙමිට..

      Delete
  2. කතාව රසවත් නිසා ඉවරවෙනවා තේරුණේ නෑ, හරියට දැම්ම ගමන් ගියා වගේ කියල හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. හිහ.. එහෙමද? මම හිතුවේ දිග වැඩියි කියලා බැණුම් අහන්න වෙයි කියල..

      Delete
    2. දිග වැඩි උනාම බැනුම් අහන්න වෙන්නෙ නෑ..කෑ ගහනවා මිසක්...නැද්ද හැලපේ...!

      Delete
  3. මදි මදි හොඳටම මදි...
    එකට බොක්ක දීගෙන හිටපු උන් පොකුරු පිටින් මැරිලා යද්දී දැනෙන වේදනාව සුළුපටු එකක් නොවෙන බව තේරෙනවා...
    ඒ වගේම ඒ ඒ පවුල් වල ඉතුරු මිනිස්සුන්ට මොන තරම් දුකක්ද ඉතුරු වෙන්නේ...
    අතුරුදහන් කියන්නේ ඊට එහා දුකක්...

    ReplyDelete
    Replies
    1. හෙන නිදිමතේ ලියුවේ බං.. තව ලියන්න කම්මැලි හිතුනා.. හිහ්. මැරෙන එක වාසනාවක් අතුරුදහන් වෙන එකත් එක්ක බැලුවම..

      Delete
  4. මිනී නැති මළ ගෙවල්වල යන්න වෙනවා..මිසින් කියලා කියන්න වෙනවා.. . ඒක මොන තරම් වේදනාවක්ද???

    ඉතුරු කොටසත් ඉක්මනින් ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. ඉක්මනින් ලියන්නං.

      Delete
  5. පට්ට විස්තරේ. හරි පැහැදිලිව ලියලා....

    ReplyDelete
  6. පට්ට විස්තරේ. හරි පැහැදිලිව ලියලා....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් දෙකටම ස්තුතියි :)

      Delete
  7. Replies
    1. නැව ගිලුනත් බෑන්ඩ් චූන්.. :)

      Delete
  8. කියන්න ආපු කතාව මඟ නැවතිලා තුවාල පෑරිලා රිදෙනකොට වෙන කතාවකින් වේදනාව මකන්න දරපු උත්සාහය බොහොම හොඳයි.ඒත් මදි මචං.. කොච්චර උනත් ඒක මකන්න බැරි බව හැබෑව.ලිපිය කෙටි වැඩියි බං..කියෝගෙන යනවා තේරෙන්නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකක් ඒ වේදනාව.. අනික මිට කලින් බුම් අහලා තියෙනවා කියවන උන් නොදන්නා මගුල් ගැන ලියලා කියලා.. ඒක නිසා දෙක බැලන්ස් කරගන්න අසාර්ථක උත්සහයක් ගත්ත.. ඇත්තටම වේදනාවෙන් උනත් මුල් කොටහ එක දිගට ලියන්න තිබ්බනම් හොඳයි.. මට හරි කම්මැලියි මේ ටෙක්නිකල් දේවල් විස්තර කර කර ඉන්න. ඒකට ගැලපෙන්නේ විචාරක තුමා වගේ අය.. :)

      Delete
    2. බුම් නෙවෙයි බැණුම් :)

      Delete
  9. ලස්සන භයානක කතාවක් වගේ.....මේක ඇත්ත කතාවක්ද ? මොන රටේ වෙච්ච දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්.. කොන්ටෙයාන්ස් වල වෙච්චි.. :)

      Delete
  10. Replies
    1. සුම්මා- එල එකිනෙකට පරස්පරයි වගේ.. :)

      Delete
  11. නෙත් පුරා එක හීනයේ - මුළු ලෝකයා නිදනා රැයේ

    දේශයේ මුර දේවතා එලි - රෑ පුරා දැල්වී තියේ ……

    මේ රෙස්පට් එක පිළිගනිං මචං !!!!!!

    ReplyDelete
    Replies
    1. දෙන්නටම මගෙත් රෙස්පෙක්ට් එක. :)

      Delete
  12. //"මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.. ඒක හරිම අමාරු වැඩක්.."//

    මෙන්න මේ කෑල්ල බොක්කටම වැදුනා , මේක කොයිතරම් අමාරු වැඩක්ද කියල හිට්ට්හාගණන් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක මහා මූසල අත්දැකීමක් බං.. කොහොම කියන්නද අම්මෙකුට ගෑනියෙකුට උඹේ පුතා උඹේ මිනිහා මැරිලා හිත හදාගනින් කියල.. සක්.. මහා එපාම කරපු රාජකාරියක්..

      Delete
    2. මැරුනහම පවුලෙ අයගෙ කාලයක් යන කොට හිත් ටිකෙන් ටික ඒකට හැඩ ගැහෙනවා.
      අතුරුදහන් වුනහම හැමදාම විඳවනවා.

      Delete
    3. යුද්දේ ඉවර වෙලා හත් අවුරුද්දකට පස්සේ තාමත් තමන්ගේ සැමියා පුතා තාත්තා එයි කියල බලාගෙන ඉන්න පවුල් බොහොමයක් මම පුද්ගලිකව දන්නවා.. :/

      Delete
    4. ඔය නිසා තමයි, මිනියක ඇටකටු කීපයක් සොයාගැනීම, ඒවා හඳුනා ගැනීම කියන එකට සෑහෙන වැදගත් කමක් ලැබෙන්නේ... තමන්ගේ ආදරණීයයෙක් මිය ගියහම ඔවුන්ට අවසන් ගෞරව දක්වන්න ඉඩ ලැබීම, නිශ්චිත ස්ථානයක වලලන්න හෝ අළු තැම්පත් කරන්න ලැබීම මානසිකව ලොකු බලපෑමක් ඇති දෙයක්.

      Delete
    5. මුහුදේදී සටනින් පසු නැවත් සමඟ ගිලී මියගිය එකෙක්ගේවත් මෙතෙක් ඇටකටු සොයාගෙන කන්ෆර්ම් කරගෙන නෑ. :( අවුරුද්දක් තිස්සේ Missing in Action (MIA) ලිස්ට් එකේ තියාගෙන ඉඳලා අවුරුද්දකට පස්සේ (KIA- Killed in Action) ලිස්ට් එකට මාරු කරනවා. ඊට පස්සේ තමයි ගෙවීම් ආදී සියල්ල ලබා දෙන්නේ.. මොනවා දුන්නත් මොකටද මනුස්සය නැතුව නේද?

      Delete
  13. //"මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.. ඒක හරිම අමාරු වැඩක්.."//
    I can't even imagine. I hate every war due to these reasons. No matter where or who. No one merits to die that way!

    ReplyDelete
  14. //ඔය විචාරක තුමාල එහෙම.... ඉස්සර නැවකින් ගිහින් ගොඩ බහින්නේ පොළොවට වැඳ වැඳ..// :-D

    සී සික්නස් එකට පුරුදු වුනේ කොහොමද?
    කවදාවත් පුරුදු නොවන අයත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරුන්ට කවදාවත් ඒක නැති වෙන්නේ නෑ. මම කලේ ඒකට හුරු වෙච්චි එක.. බඩ හිස් වෙන්න නොදී හොඳට කාල හුළං ටිකක් වදින්න එලියට පහලියට ගිහින් හිටියම හරි. අනිත් එක එතන මෙන්ටල් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. යුද්දයක් යන වෙලාවට කිසිම කෙනෙකුට සී සික් නෑ.. සාමාන්‍යයෙන් නැවක යද්දී 'මොකද වෙන්නේ' කියන එක ගැන අවබෝධයක් තියෙන්නේ සීනියර් ස්ටාෆ් එකට විතරයි. එහෙම 'අයිඩියා' එකක් ඒම් එකක් ඇතුව ඉන්න කොටත් සී සික්නස් එනවා අඩුයි. ජුනියර්ස් ලට, ට්‍රේනිස් ලට සී සික්නස් එනවා වැඩියි. අත්දැකීම් අඩු කමටත් වඩා 'බ්ලයින්ඩ්' ගතිය හා ප්‍රෙෂර් එක නිසා. ආමි එකේ උන්ටත් තියෙන්නේ මේ බ්ලයින්ඩ් ගතිය හා හෝම් සික් එක. එතකොට මුහුද කියන්නේ වහක්. සී සික්නස් ගැන වෙනම පොස්ට් එකක් විතර ලියන්න පුළුවන්. හැක්.

      Delete
    2. ලියන්නකො.
      කෑම ගැනත් grog ගැනත් (ඒකාලෙත් සිංගල් මෝල්ට්ද? ) ලියන්න

      Delete
    3. හෆොයි.. බලමු ඉස්සරහට. ඒ කාලේ සිංගල් නේ.. මොන මෝල්ට් ද ඉතින්?

      Delete
    4. මගෙනුත් රික්වෙස්ට් එකක්.
      සී සික්නස් ඕන......

      Delete
    5. දැන් ලියන්නම වෙනවා.. සක්.. කට වරද්දා ගත්තද මංදා. :)

      Delete
    6. ගල් බෝතලයක් විතර අමුවෙන්ම ගහල මොකක් හරි දිහා එක දිගට බලාගෙන හිටියොත් ඔය සී සික්නස් ගැන අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි.

      Delete
    7. විස දුමක් අතේ තිබුන නම් එක උගුරයි දෙකයි.. ඊට පස්සෙ අතේම පිච්චිලා ඇඟිලිත් පිච්චෙනකම් ලං කරන්නෙවත් නෑ..හ්ම්ම්. සී සික්

      Delete
    8. ඔය දෙකම අත්හදා බලලා තියෙනවා.. :)

      Delete
  15. අණ භාර නිලධාරිය හා අණ දෙන නිලධාරි නිලධාරි කියන දෙකේ වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. නේවි එකේ තියෙන හැම නැවක්ම අධිකාරියට පත් කරලා නෑ. 'අධිකාරියට පත් කරනවා කියන්නේ තනියම සියලු වැඩ කරගන්න පුළුවන් මට්ටමට පත් කරනවා වගේ වැඩක්. නැව් මෙන්ම ගොඩබිම් ආයතනත් මේ ආකාරයට අධිකාරියට පත් කරනවා. ඔබ අහලා ඇති නැවක් හෝ ආයතනයක් හඳුන්වන්න කලින් 'ශ්‍රී ලංකා නාවික නෞකා' එහෙම නැත්නම් Sri Lanka Navy Ship (SLNS) කියන කොටස යොදනවා. මේ හැඳින්වීම කරන්නේ එහෙම අධිකාරියට පත් කරපු නැව්/ ආයතන වලට විතරයි. එවන් ආයතනයක මුලිකයා තමයි අණ දෙන නිලධාරි එහෙම නැත්නම් Commanding Officer කියන්නේ. මේක ඉතාමත් බලගතු තනතුරක්. තමන්ගේ සිමාව ඇතුලෙදි කවුරු ආවත් එයා තමයි ලොක්කා. සමහර කුඩා යාත්‍රා සමූහ/ නැත්නම් බලඝන විදියට තමයි තියෙන්නේ. මේ සමුහයටම එක අණ දෙන නිලධාරියෙක් ඉන්නවා ගොඩක් වෙලාවට. ඩෝරා, විශේෂ යාත්‍රා බලඝනය (SBS) හා RABS (ක්ෂණික විහිදුම් යාත්‍රා බලගණය) මේවට උදාහරණ. මෙවන් කුඩා යාත්‍රාවක ප්‍රධානියා නිලධාරියෙක් වෙනවනම් ඔහු අණභාර නිලධාරියෙක් (Officer-in-Command) විදියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ අණදෙන නිලධාරියා සතු යම් යම් බලතල මේ නිලධාරියට පවරා තියෙනවා. නමුත් එවන් කුඩා යාත්‍රාවක් භාරව සිටින්නේ අධිකාරියට පත් නිලධාරියෙකු නොවේනම් ඔහු ස්ථාන-භාර නිලධාරී (officer in charge) ලෙස පමණක් කටයුතු කරනවා. අණදෙන නිලධාරියාගේ බලතල කිසිවක් පැවරෙන්නේ නෑ. මේ ආකාරයෙන්ම ගොඩබිම ආයතන වලට අනුයුක්ත Company, Detachment එහෙමත් තියෙනවා.සමහර අවස්ථාවල කනිෂ්ට නිලධාරීන් පවා ස්ථාන භාර නිලධාරීන් ලෙස පමණක් කටයුතු කරනවා. ඒ එහි තිබෙන වැදගත්කමට සාපේක්ෂව පමණයි. උදා යුද්ද කාලේදී ඉතාමත් critical detachment එකක ස්ථාන භාර නිලධාරී ලෙස කනිෂ්ට නිලධාරියෙක් ඉන්න පුළුවන් අණදෙන නිලධාරී සතු කිසිම බලතලයක් ඔහු මත නොපවරා. මම හිතන්නේ ටිකක් පැහැදිලි ඇති.

      Delete
    2. අහ.. OOW කියන්නේ නැවක් මුහුදේ යනකොට අදාල මුරය (Watch) භාර නිලධාරියා. ඒක නැව පිටත් වෙන්න කලින් watch සිස්ටම් එක හා ඊට අදාළ OOW හා නැව් කණ්ඩායම රොස්ටර් එකකින් ඉදිරිපත් කරනවා.. OOW කෙනෙක් වෙන්නේ Executive branch එකේ (හෙවත් Seaman branch එකේ) නැවේ ඉන්න ජේස්ට නිලධාරියෙක් (මුරයට එක්කෙනා බැගින්). OOW කෙනෙක් විදියට qualify වෙන්න තියෙනවා test එකක් කරලා certify වෙන්න. ඒකට කියන්නේ Bridge Watch Keeping Certificate එක කියලා. සාමාන්‍යයෙන් Seaman Officer කෙනෙක් Sub-Lieutenant කාලේම මේ සර්ටිෆිකෙට් එක ගන්නවා.

      Delete
  16. ෂා තවම බැරි වුනානේ නැවක නගින්න හිටං.

    ReplyDelete
    Replies
    1. දවසක යමං කොළඹ වාරයට හිටං..

      Delete
  17. මමත් එක සැරයක් මේ වගේ අධිවේගී යාත්‍රාවක ගියා... උපතෙන් පස්සෙ බඩ සම්පූර්ණයෙන්ම හිස් වෙච්ච එකම දවස මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අත්දැකීම්.. :)

      Delete
    2. මටත් මතකයි දවසක් අසාමාන්‍ය විදියට මුහුදෙ වතුර වැඩිවුනා

      Delete
    3. ඔය රාජ් කියන්නේ උසට ආව රැල්ලක් ගැන වෙන්නොනේ.. නැත්නම් මුහුදේ වතුර වැඩි වෙන්නේ (මට්ටම ඉහල යන්නේ) වඩදිය high tide එක වෙලාවටනේ.. මම මුහුදේ ඉඳලා තියෙනවා පොල් ගස් දෙකක් විතර උසට රැලි එන වෙලාවල.. කෙලින්ම නැව උස්සලා පොළොවේ ගහනවා හා සමානයි..

      Delete
    4. නෑ බන් ඔය තිසර වමනෙ දාපු නිසා තමයි මුහුදේ වතුර වැඩිවෙලා තියෙන්නේ.

      Delete
    5. හැක්. මට මීටර් උනේ නෑනේ. ටිපිකල් රාජ්.

      Delete
    6. ඇයි යකෝ අරූගෙ (අරූ කිව්වෙ තිසරය) තරමට බඩ හිස් කලාම එහෙම නොවෙයිද!

      Delete
    7. යකෝ ඒ වගේ තව දෙතුන් දෙනෙක් ඒ නැවේ හිටියනං ආයෙත් සුනාමියක් එනව ශුවර්. හැක්..

      Delete
    8. තිසරයාගේ ෆොටෝ කෑල්ලක් දෙකක් දැකලා තියෙන නිසා උඹලා දෙන්න කියන ඒවා නිකම්ම අහක දාන්න බෑ.. හැක්.

      Delete
  18. ඔය තියෙන්නේ වෙඩි වගේ මතක සටහන්.

    නාවික හමුදාවට වගේම යුද හමුදාවටත් ගුවන් ඒකකයක් පිහිටුවීම සඳහා නිලධාරීන් තෝරාගත්තා, ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ තමයි පුහුණුව දෙනවා කිව්වේ. සාමාන්‍යයෙන් බොහෝ රටවල තිබෙනවා, සේවා බලකායට Service Corps අදාළ, ගුවන් ප්‍රවාහන බලඇණි. ඔය නාවික හමුදා නිලධාරීන්ට අත්වුණ ඉරණමම තමා, අන්තිමට අර තෝරාගත් යුද හමුදා නිලධාරීන්ටත් සිද්ධ වුනේ. පියෑඹීමේ නිළ බලය හිමි අය විරුද්ධ වුනා කියලා කතාවකුත් තියනවා.

    හම්බෝ.............ලක්ෂ 10 වැටුපක් එක්කවත්, නැව් රාජකාරි නම් එපා. ඇත්තටම නාවික හමුදාව කරන දුෂ්කර රාජකාරියේ වටිනාකම, ඒ කාලෙදිම හොඳට අවබෝධ වුණා. ඒ කාලේ LCM එකේ ගිහින්, ගිහින්, (වමනෙත් ගිහින්) මූද දකිනකොටත් එපාවෙනවා. 'ලිහිණියා' එකේ කන්කසන්තුරේ - ත්‍රිකුණාමලේ අතර ගමන එන්නේ, ඩෝරා වලින් දෙන ආරක්ෂාව ගැන විශ්වාසය තියාගෙන.

    පුත්තලමේ හිටිය කාලේ, මගේ ඥාතියකු වන, (දැනට කැප්ටන්) ගුරුගේ එක්ක, ඩෝරා එකක රවුමක් ගියා. බොහොම සුන්දර මතකයක්. ත්‍රාසයද නොඅඩුවම ලැබුවා.

    ReplyDelete
    Replies
    1. මම ඔය පයිලට් ලා විදියට පුහුණු කරන්න බඳවා ගත්ත අවසන් 8 දෙනාට හිටියා. ඒක නිසා මට උණු ලොකුම සේවය තමයි මේ යාත්‍රාවේ හිටියනම් මුහුණ දෙන්න වෙන නියත මරණයෙන් බේරුණු එක. අපි ගුවන් හමුදාවේ අනුරාධපුර කඳවුරේ ටික කාලයක් පුහුණු වෙද්දී තමයි ඔය air wing එක withdraw කරේ. ඔබ කියනවා වගේ පියාඹීමේ නිළ බලය හිමි අය ගේ බලපෑම මත තමයි එහෙම උනා කියන්නේ.
      නාවික හමුදා සේවය අගේ කොට දැක්වීම ගැන ස්තුතියි.
      ඊළඟ කොටසත් එක්ක ඩෝරා එකේ තව රවුමක් යමු.

      Delete
    2. දෙදෙනාගේ වෙනස හැසිරීම ලියන ආකාරය පැහැදිලිවම් පේනවා වැදගත් කෙනා කවුරුදැයි දැන් පැහැදිලියි නියම සොල්දාදුවා වැඩ පෙන්වයි ලිවීමෙන් පවා......සතුටුයි

      Delete
    3. "ඇත්තටම නාවික හමුදාව කරන දුෂ්කර රාජකාරියේ වටිනාකම, ඒ කාලෙදිම හොඳට අවබෝධ වුණා. "

      හැබැයි විචාරක මහත්තෑලෑ ලොක්කනම් කිව්වේ එයා තනියම වම් පයින් ගහලා යුද්දේ ඉවර කළා කියලා...තාම කියන්නෙත් එහෙම...

      Delete
    4. ඇනෝ.. එක එක පුද්ගලයාගේ අත්දැකීම් මෙන්ම ලියන ශෛලියත් වෙනස්.. විචාරක තුමාගේ ශෛලියට මට ලියන්න බෑ. එතුමා ලද අත්දැකීම් මම ලබලත් නෑ, ඒක නිසා කම්පෙයාර් කරන්න උත්සහ කරන්න එපා. වෙන වෙනම රස විඳින්න.

      සෙන්නෝ.. ඒ එයා විතරයි බන් එහෙම කියන්නේ.. එයාට වෙන ඇරියස් එකක් තියෙනවනේ.. ඒකයි. නැත්නම් ෆීල්ඩ් එකේදී ආමි, නේවි උන් ගොඩක් ක්ලෝස්.. ඒ ෆිට් එක තාමත් තියෙනවා.

      Delete
    5. නේවි,ආමි උන් ගොඩක් ක්ලෝස් /////// එකත් හරි යට අසපුවේ වැඩුණු ගිරවයි, හොර ගුහාව වැඩුණු ගිරාවගේ කතාව වගේමයි. අපි දැන් දන්නවා අසපුවේ හැදුනේ කවුද කියලා

      Delete
    6. හොර ගුහාවේ හැදුනේ ගෝටා. අසපුවේ හැදුනේ මෛත්‍රී.

      Delete
    7. ගෝටා හා මෛත්‍රී සහෝදරයෝ කියලා ඇහුවමයි.. :)

      Delete
    8. hamudawe general kenek NAVY eke inne ballo kiyala kiwwa neda

      Delete
    9. ඒක ඒ මහත්තයා දැකපු විදිය වෙන්න ඇති.. අපි ඒ ගැන කලබල වෙන්න නරකයි. :)

      Delete
  19. //"මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.. ඒක හරිම අමාරු වැඩක්.."//
    I can't even imagine. I hate every war due to these reasons. No matter where or who. No one merits to die that way!

    ReplyDelete
    Replies
    1. මේකනම් කම්මල syndrome එකේ දරුණුම අවස්ථාවක්.. :)

      Delete
    2. අනේ හොදට හිටිය බූරු බබා,
      ෆෝන් එකේ බ්‍රවුසරේට UC browser එක දාගන්ඩ,

      Delete
  20. Patta kathawa.mata hithata alluwema vicharaka thmala goda bahina seen eka.ithuru tika ikmanata dandooow.

    ReplyDelete
    Replies
    1. හික්.. කෝ උඹේ සිංහල වලට මක්ක වෙලයි? මේ ටිකේ වැඩ අඩු නිසා 'හා' කියල පොරොන්දු උන හැකි.. :)

      Delete
  21. මම හිතුවට වඩා ඩෝරා එකක ති‍යෙන තාක්ෂණ‍ය ගොඩක් දි‍යුණු‍යි නේ. 'සැක සහිත චලන' හඳුනගන්න එහෙමත් මේ සිස්ටම් එකට පුලුවන්ද කලණ? මැරුණ කි‍යල දැනගන්නවට වඩා අතුරුදන් වුනාම වෙන අපහසුතාව‍ය, දුක වැඩි‍යි...
    කම්මැලි නැතුව ඉතිරි ටිකත් ඉක්මනට දාන්න... හරී පිපාසෙ‍යි... හැක්..!

    ReplyDelete
    Replies
    1. ඩෝරා එකක් කියන්නේ අධි තාක්ෂණික බෝට්ටුවක්. ඒක අපිට ගොඩක් උපකාරී උනා වගේම සමහර වෙලාවල ප්‍රශ්නයකුත් උනා. එක වෙඩි උණ්ඩයක් 'නරක තැනකට' වැදුනොත් සමහරවිට මුළු බෝට්ටුවම එක තැන හිටිනවා.. :) දැනට කුරුම්බා ගෙඩියක් බීපන්.. දවස් දෙක තුනකින් ලියන්නම් ඉතුරු ටික..

      Delete
  22. මමත් මිනී නැති මළගෙදරක ගිහින් තියෙනවා. මිනිය නැති බව දැනගත්තේ මැරුණු සෙබළාගේ බිරිඳ මිනිය නොදැක සීල්තැබූ පෙට්ටිය වැළලීමට ඉඩ නොදුන් නිසා. පෙට්ටිය ඇතුලේ තිබුණේ ලොකු බ්ලැන්කට් දෙකක් සහ කළු ගල් කිහිපයක්. මේ සිදුවීමත් සමග මළ ගෙදර තත්වය සම්පුර්ණයෙන් කණපිට හැරුණා. අද මෙම සෙබළ බිරිඳ සිටින්නේ විදේශගතව තම සොහොයුරිය ළඟ. ඇයත් දරුවනුත් අදටත් තම සැමියා/පියා ගැන ආරංචියක් ලැබෙන තුරු බලාසිටිනවා.

    ඉතුරු ටිකත් ඉක්මනට දාපිය :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් හෙනම ට්‍රැජික් සිටුවේෂන් එකක්.. අඳුන ගන්න පුළුවන් කෑල්ලක් වත් නැතුව එහෙම බ්ලැන්කට් ගල් මුල් දාලා 'මැරිලා' කියල යැව්වේ නෑ නේවි එකේනම්.. හරියටම කන්ෆර්ම් නැති හැම වෙලාවකම MIA තමයි. මොනවා උනත් ඇය ගැන කණගාටුව!

      aye aye sir! ඉක්මනට ලියන්නං. :)

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඇස්පනාපිට අත්විඳි බොහෝ අතීත මතක සිහිපත් වුණා.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ සාක්කි. ස්තුතියි ඔබට!

      Delete
  25. ලියමු ඉතිරියත්...

    ReplyDelete
  26. නැවකට නැග්ගේ එක දවසයි. ඒකත් නවත්තලා තිබුනු ඔමාන් නේවි නැවකට. නාවික ජීවිතේ කොච්චර අමාරු ඇතිද හිතුනා ඒ ඉන්න කැබින් එහෙම දැක්කාම.
    මහවැව පැත්තෙන් ඉතාලියට පන්නන බෝට්ටු යන දවස්වලට ෆාමසිය ඉස්සරහ කස්ටිය ඉන්නවා වමනෙට ටැබ්ලට්ස් ගන්න.

    මට පුරහඳ කළුවර ෆිල්ම් එක මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නැවකට නැග්ගානම් අනිවා සසරම කළකිරෙනවා.. :) ඇවොමින් (වමනේ පෙති) ගහලත් ගොඩ යන්න අමාරුයි සී සික් හැදුනොත්නම්.. හැබැයි වමනේ නොයා තියාගන්න පුළුවන් උනොත් හොඳයි.. ඒ ගැන ලියන්නම් ඉස්සරහට..

      Delete
  27. Most sad word for a war hero - MIA

    ReplyDelete
    Replies
    1. inshallah! you got to wait another year to become a deceased even after your death, yet no proof of it. adding salt to the wound, you know, no one cares of you after one year.. so no one would remember you as a war hero. They need those service funerals, gun salutes, buglers and slow marches to rate you a true war hero. how sad this is?

      Delete
  28. //මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා..//
    කොයිතරං දරා ගැනීමක් තියෙන්න ඕනිද. ක.මි. නාවික හමුදාවෙද? පරක්කු වෙලා බ්ලොග් ලෝකෙට ඉපදිලා අහන ප්‍රශ්න වලට සමාවෙන්ට ඈ.

    ඉතුරු ටික ඉක්කමනට කියන්නෝ.

    ReplyDelete
    Replies
    1. හි හි.. 2009 ට කලින් ඉපදිලා නේද හිටියේ.. එහෙනම් මේවා තේරෙනවා තමයි. මම 97 ඉඳන් නාවික හමුදාවේ හිටියා.. 2009 නොවැම්බර් වල resign උනා..

      ඉතුරු ටිකත් ලියන්නම්කො..

      Delete
  29. Missing ලිස්ට් 1 ගැන අහද්දි නම් මාර අවුල්. දුකයි අනේ.. ඒ කාලේ කතා අහද්දි හිතට අප්සැට්.:-(

    ReplyDelete
    Replies
    1. සී සික් ගැන ලියන්න හොදේ,,

      Delete
    2. මිසිංග් ලිස්ට් එක තමයි ඒ කාලේ අපිටත් අහන්න අවුල්ම.. සී සික් ගැනත් එකතු කරලා තව විස්තරයක් ලියන්නම්කො..

      Delete
  30. //මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා.. ඒත් උන්ගේ අම්මලා තාත්තලා ගෑණු දරුවෝ එක්ක පන්සල් පල්ලි ගානේ ගිහින් දෙයියන්ට බුදුන්ට කියනවා අපේ පුතා, මහත්තයා, තාත්තා, අයියා, මල්ලි, මිත්‍රයා ඉන්න තැනකින් ඉක්මනට ගෙනත් දෙන්න කියලා.//

    මේ ටික තමයි වැඩියෙන්ම හිතට වැදුණෙ.. මේක කොච්චර අමාරු දෙයක්ද කියලා හිතාගන්න පුළුවන්..

    ඉතිරි කොටස ලියන තෙක් බලා සිටිමි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු. අද ලියන්න හිතං ඉන්නේ..

      Delete
  31. .. මම හොඳටම දන්නවා මගේ හිතවතා මැරිලා කියලා..

    ඒක නොදන්න හිතවතාගේ ගෙවල්වල මිනිස්සු ඔහු කවදාහරි ඒවි කියලා තියාගෙන ඉන්න බලාපොරොත්තු කන්දරාව අප්‍රමානයි. මගේ පවුලේ බොහෝ දෙනෙක් ත්‍රිවිධ හමුදාවේ සේවය කලා. කොතනකට හරි කොටි ගහනවා කියලා ඒ දවස්වල නිවුස් වලට කියනකොට පවුල් වල
    දෙයියෝ බුදුන් යදිනවා කාටවත් අනතුරක් වෙන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකෙ අමාරුව උඹලා හොඳින්ම දන්නවා..

      Delete
  32. //War, it ain't nothin' but a heartbreaker// යුද්ධය යනු සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව සිතන්නේ බොහොම ටික දෙනෙක්. යුද්ධයක හානිය මෙතෙකැයි කියන්න අමාරුයි. මම දැනට සිටින රට වන ජපානයේ, පිහිටි හිරෝෂිමා නගරය යුද්ධය ගැන ලොවට කියන්නේ ඉතා දුක්බර කතාවක්. හිරෝෂිමා ආසන්නයේ කුරේ නගරයේ පිහිටි නාවික කවුතුකාගාරය බලන්නත් ලැබුනා. හරිහැටි බලන්න වුනේ නැහැ වෙලාව මදි කම නිසා. එහි සැබෑ සබ්මැරීනයක් පවා ප්‍රදර්ශනය කරනවා. ඔබ වැනි අයෙක් ඊට බොහොම කැමතිවේවි කියලයි මට හිතන්නේ. https://www.jmsdf-kure-museum.go.jp/en/

    ඒ හැරෙන්නට හිරෝශිමාවෙදී දුටුවා තවත් වැදගත් දෙයක් තමයි යුද්ධයේදී ඔවුන් සිදුකල අමානුෂික ක්‍රියා පිළිගෙන නැවත ඒවා සිදු න්වීමට වගබලා ගැනීම උදෙසා සිදුකරන දැනුවත් කිරීම. හිරෝශිමාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් බොහෝදෙ ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙනවා ඉදිරියේදී.

    ප.ලි.
    අපේ රටේ (මා දන්නා තරමින්) හිටපු නියෝජ්‍ය නාවික හමුදාපතිවරයෙක් සමග මා ලගින් සිට පරයේෂණ වලට සහාය දී තිබෙනවා. එමෙන්ම හිටපු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියෙක් වූ හිටපු නාවික හමුදාපතිවරයෙකුද වෙනත් පර්යේෂණ කටයුත්තක් සදහා හමුවී මම කතාබස් කර තිබෙනවා. මේ අවස්ථා දෙකම මගේ ජීවිතයේ වටිනා අමතක නොවෙන අවස්ථා දෙකක්.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, සාදරයෙන් පිලිගන්නවා කලාහිත ට.. ඔබ අත්දැකීම් බොහොමයක් ඇත්තෙක් වගෙයි. ඔබේ අඩවියටත් මේ ගමන්ම ගොඩ වෙලා බලන්න හිතුවා.. ස්තුතියි.

      Delete
  33. පරණ කලාහිත නැවත පැමිණීම ගැන මාගේ බලවත් සතුට :D කියවගෙන යද්දි මට නම් හිතුනෙ ඉක්මනින් ඉවර උනා වගේ.අර මියගිය යහළුවන් දකින එකයි ඒ අයගෙ පවුල් වලට ඒ ගැන දැනුම් එකයි ගොඩක් සංවේදී අමතක නොවන සිදුවීම් වෙන්නැති........කතාවේ ඉතිරි කොටස් ඉක්මනින් බලාපොරොත්තු වෙමි ;) :)

    ReplyDelete
    Replies
    1. මියගිය යහළුවන් දකිනවා කියුවට ආයේ උන්ව කවදාවත් දාකින්න උනේ නෑ.. ස්තුතියි නංගි.. ඉතුරු ටික අද ලියනවා..

      Delete
  34. කමි, මට මේක බලන්න උනේ දැන්. පහුගිය දවස් තුනේම එක එක වැඩ තිබුනා.

    මං මේ හමුදා අද්දැකීම් වලට ඒ විස්තර දැන කියාගන්න බොහොම මනාපයි. ඒත් මේ පිටිපස්සෙ තියෙන සමහර කතා අහනකොට පපුව හිර වෙනවා වගේ දැනෙනවා. ඊලඟ කොටසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. උඹට ඊයේ රෑ අන්තිමට මුළු කතාවම කියන්න උනා නේ.. හැක්.

      Delete
  35. ඩෝරා ගැන හොඳ විස්තරයක් තියෙනව.
    ඇත්තටම මැරුනට පස්සෙ මිනිය හොයාගන්නවට වඩා දුකක් අතුරුදන් උනාම තියෙනව. එහෙම පවුල්වලට කවදාවත් තමංගෙ ඥාතියා මියගියායැයි කියල හිත හදාගන්න බෑ.

    ඉතුරු ටිකත් ඉක්මනින් ලියහං.

    ReplyDelete
    Replies
    1. ඩෝරා ගැන පොඩි විස්තරයක් මැද්දෙන් එබුවේ නොදන්නා උන්ගේ පහසුවට.. ඒකෙන් කියන්න හදපු දේ කියා ගන්න බැරි උනා.. ඉතුරු ටික අද ලියනවා..

      Delete
  36. දැන් මේකේ මොන ලබ්බටද කමෙන්ට් කරන්නේ? මෙහෙම ලියන්න එපා යකෝ.දිගට ලියන්න බැරිනම් නොලිය නිකන් හිටපිය.ඔළුවත් බාගෙට කාලා. කනවනම් කාපන් සම්පූර්නයෙන්ම

    ReplyDelete
    Replies
    1. ඇයි බං මං හිතුවේ මේක දිග වැඩියි කියල..

      Delete
  37. අසන්නන්ගේ ඉල්ලීම් වලට කන් දීපන් , මගේ ඉල්ලීම ඉටු කරපං.
    ඔය ඩෝර එකකට නැගල බලන්න විදිහක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බොලා හදන්නෙ ඒකත් ඩබොල් කරන්න ද?

      Delete
    2. පුළුවන්.. වෙලාවක (සෙනසුරාදාවක හෝ ඉරිදාවක) යමං කොළඹ හාබර් එකට..

      ප්‍රසා.. අම්මපා ඒ කාලේ මුගේ ඒ හැකියාව තිබ්බනම් නැව් ගාන ඩබල් කර ගන්න තිබ්බා නෙහ්! :)

      Delete
  38. වෙලාවක යමු ඩොව්රා බෝට්ටුවේ රවුමක්..ලස්සන මල් වැටිච්ච ඇඳුමකුත් ඇඳගෙන එන්නන්...ඉක්මනට ඊලඟ එක දාහං...
    මචං.. ඒ උනාට යුද්දේ හරි නරකයි...!

    ReplyDelete
    Replies
    1. යුද්දේ නරකයි නේන්නං.. අර මොකෝ මල් මල් ඇඳුමක්? හිහ්..

      තව කොටහක් ලියන ගමන්.. ජයවේවා!

      Delete
  39. පින්තූර වල දැකල තිබුනට, ඔබේ ලිපියෙන් විස්තර බොහොමයක් දැන ගත්තා.

    ReplyDelete
  40. කලින් කියවලා නැති විස්තර බොහොමයක් කියවන්න ලැබුනා මේ ලිපියෙන්..ලියලා තියෙන භාෂාව ඉතාම රසවත්..කිසිම කම්මැලි කමක් නැතුව කියවන්න පුලුවන්.

    තමන්ගෙ හිතවතා මැරුන බව දැන දැනත් ඒ බව විශ්වාස නොකරන ඔහුගේ ඥාති සමූහයා අතරට යන එක මොන තරම් අමාරු වැඩක්ද කියලා මම කල්පනා කලේ...මේ ලිපිය දැක්කම ඔබෙත් මගෙත් හිතවතා සමීර ගැන මට ලියන්න අතපසු වෙච්ච ලිපිය අද හෙට දවසක ලියන්න ඕනෙ කියන සිතුවිල්ල හිතට ආවා...ඔබට ජය ක.මි...

    ReplyDelete
  41. මෙම p 495 යාත්‍රාව 2001 3 21 මුලතිව් චලේ අතර විනාශ විය මම එම යාත්‍රාවේ රාජකාරි කල අතර එදින නිවාඩු ගොස් ත්‍රීකුනාමලය කදවුරට වාර්තා කරන ලදි .

    ReplyDelete